වෙබ් ලිපිනය:

Tuesday, June 23, 2015

සුපිරි වීරයන් බිහිකරන ආන්තික තල්ලුව



ගොම්මන් අඳුර වැටෙද්දී සිය සුපුරුදු දින චරියාව වෙනස් නොකරමින් කළුවා බුලත්කොහුපිටිය හන්දියට ඇදෙන විට ඔහුගේ අතීසාර මිත්‍රයන් වන තරංග, කවිරත්න සහ රිටිගල බරපතල වැඩකට අතගහලාය. ඔවුහු ඇඟේ ඉතුරු වී ඇති මුළු වීරියම දමා තරංගලාගේ තාත්තාගේ තවමත් කෑලි නොහැලෙන ඓතිහාසික කණේ මයිල් වොක්ස්වැගනය තල්ලු කරති. වාහනේ මේ දැන් තල්ලු වෙනවා වගේ දැනේ. ඒත් ඒක එක තැනමය. හරියට පාර්ලිමේන්තුව විසිරුවන එක වගේය.

"අඩෝ, කළුවා. උඹ එනකම් තමයි මේ හිටියේ. මේකට පොඩ්ඩක් අතගහපන්."

රිටිගලයා ඕක කිවුවත් නොකිවුවත් කළුවා මල් වට්ටියට අතගහනු ඇත. කළුවාගේ කෙට්ටු දෑත් කණ්ඩායමේ මුල් අත් හයට එකතු වෙද්දී දහනම වෙනි සංශෝධනය පාස් වුණා සේ සීරුවෙන් ඉදිරියට ඇදුනු වොක්ස්වැගනයේ කණේ මයිල් කෙළින් කරමින් එන්ජිම ඉස්ටාට් විය.

"ඒකනේ! කළුවාම එන්ඩ ඕනෑ."

වොක්ස්වැගනය පණගැන්වුණේ කළුවා නිසායැයි කීවොත් එය වැරදි නැත. කළුවා නොආවානම් වාහනය අඟලක් හෝ නොසෙල්වෙනු ඇත. එහෙත් කළුවාට ඔය වාහනයම තනියම තල්ලු කිරීමනම් හිතීමටවත් බැරි දෙයකි. බුලත්කොහුපිටියේ කළුවා තඹුත්තේගම හේරත් බණ්ඩාගේ හෝ සාංචි ආරච්චිගේ ජිනදාසගේ ළඟ නෑයෙක් නොවේ.

අවශ්‍ය ජවය ලබා නොදී වාහනය තල්ලු කළ හැකිනම් නිවුටන්ගේ හතරවන නියමය බොරු නොවන නමුත් දෙවන නියමය බොරුවිය යුතුය. කළුවාගෙන් වොක්ස්වැගනයට ලැබුණේ එය චලනය කිරීමට අවශ්‍ය වන ආන්තික ජවයයි. මේ ආන්තික ජවය මහ ලොකු එකක් නොවුවත් එයින් අවශ්‍ය වැඩේ සිදුවිය. කළුවාගේ පොඩි තල්ලුවෙන් වාහනය පණගැන්වුණේ ඒ වන විටත් අත් හයක තල්ලුව වාහනයට ලැබී තිබුණු නිසාය.

මේ ආන්තික ජවය ඉතා ප්‍රබල දෙයකි. අවශ්‍ය තත්ත්වයන් සපිරී ඇතිවිට ඉතා සුළු බලයක් යෙදීමෙන් ලොකු වෙනසක් සිදුවේ.

බොහෝ ආර්ථික විද්‍යා න්‍යායයන් සහ ප්‍රායෝගික යෙදීම් සඳහා ආන්තික විශ්ලේෂණ උපයෝගී කර ගැනේ. තරංගලාගේ තාත්තාට වොක්ස්වැගනයෙන් නිදහස් වීමට අවශ්‍ය වූ විට සිළුමිණ පත්තරේ දැන්වීමක් දමනු ඇත. සෙනසුරාදා උදේ සිට කාර් එක බැලීමට සෙනඟ ඇදෙනු ඇත. ඒ අයට තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ දැනගන්නට ලැබෙනු ඇත.

ඔය තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ ඇත්තටම තරංගලාගේ තාත්තා බලාපොරොත්තු වන ගාණ නොවේ. ඊට වඩා වැඩි ගාණකි. කවුරු හරි වැඩියෙන් ගෙවනවානම් ඒ කැමැත්තෙනි. ඉතිං අපිට මොකෝ?

ඔය කිවුවාට තරංගලාගේ තාත්තා කියන අස්ප ගණන් වලට වොක්ස්වැගනය ගැනීමට කැමති මෝඩයෙක් සොයාගැනීම පොරොන්දු වූ දේ ඒ විදිහටම කරන ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ගන්නවාටත් වඩා අමාරුය. මේ බව තරංගලාගේ තාත්තා නොදන්නවා නොවේ. ඒ නිසා කාර් එකට කැමති අයට තමන්ගේ අර්පණයන් ඉදිරිපත් කිරීමට බාධාවක් නැත.

රත්නායකට කාර් එක අල්ලලා යයි. පොඩි අවුල් ටිකක් ඇතත් හත්-අට දාහකින් ගොඩදමා ගැනීමට අමාරු නැත. වාහනේ යන්ඩ ඇරියොත් අපරාදේය. හැබැයි පේන හැටියට ටිකක් අඩුවට ගන්ඩත් පුළුවන් වගේය. ඔෆර් එක ගොඩක් අඩුවුණොත් වැඩේ මිස් වෙන්නත් ඉඩ තිබේ. ඔය සියළු කරුණු සැලකිල්ලට ගෙන රත්නායක ඔහුගේ අර්පණය ඉදිරිපත් කරනු ඇත.

දවස අන්තිමේ තරංගලාගේ තාත්තාට අර්පණ තුන හතරක් ලැබේ. රත්නායකගේ අර්පණයට වඩා රුපියල් පන්දාහක් වැඩි අර්පණයක් ඇති නිසා වොක්ස්වැගනය රත්නායකට හිමි නොවනු ඇත. වාහනය හිමිකරගැනීම සඳහා අවශ්‍ය වූ ආන්තික තල්ලුව රත්නායකට දැමිය නොහැකි වූ අතර වෙන අයෙකු ඒ තල්ලුව දමා තිබේ.

නිෂ්පාදකයන් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල ගණනක් සමබන්ධ වන තරඟකාරී පුළුල් වෙළඳපලකදී අවසානයේ මිල තීරණය වන්නේ එක් ආන්තික පාරිභෝගිකයෙකු ගෙවීමට කැමති වන සහ එක් නිෂ්පාදකයෙකු විකිණීමට කැමති වන මිල අනුවය. එහෙත් මේ ආන්තික පාරිභෝගිකයා සහ ආන්තික නිෂ්පාදකයා නිර්මාණය වන්නේ තවත් දහස් ගණනක් නිෂ්පාදකයින් සහ ඊටත් වඩා ගණනක් පාරිභෝගිකයින්ගේ සාමුහික චින්තනය තුළිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති වරයා (මෛත්‍රී) ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත් අතර හිටපු ජනාධිපති වරයා (මහින්ද) ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගත්තේය (පහසුවට කොටේ හලා තිබේ). මෛත්‍රීව ජනාධිපති කිරීමට අවශ්‍ය වූ ආන්තික තල්ලුව ලැබුණේ එක් ආන්තික ඡන්දදායකයෙකුගෙනි. මේ සුවිශේෂී පුද්ගලයා කවුද? (අනේ මමනම් නෙමේ.)

මෛත්‍රීට ජනාධිපතිවීමට අවශ්‍ය වූයේ ඡන්ද පනස් අට ලක්ෂයක් සහ තවත් එකකි (හරි ගණන නොවේ. පහසුවටය.) ඒ අනුව අන්තිම ලක්ෂ හතරෙන් කිසිම වැඩක් වී නැත. ඒ අනුව අන්තිම ලක්ෂ හතර අතහැරියහොත් මහින්දට වඩා මෛත්‍රීට ඇත්තේ එක ඡන්දයකි. ගොඩවල් දෙකම සමානව තියෙද්දී මෛත්‍රී වෙනුවෙන් තම අම්බානක් වටිනා ඡන්දය පාවිච්චි කළ මේ මනුස්සයා මෛත්‍රීව ජනාධිපති ලෙස පත් කළේය. බොහොම වටිනා මනුස්සයෙකි.

සුදු වෑන් තවම ගරාජ් වල නිසා ඔය මනුස්සයාව අඳුනා ගැනීමට ඉකොනොමැට්ටාට පොඩි උදවුවවක් කළ හැකිය. ඒක කරන්නේ මේ විදියටය.


පුද්ගලයා හඳුනාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් එක්කෝටි විසි ලක්ෂය එක්තරා ක්‍රමයකට පෝලිම් ගැස්සවීමට සිදුවේ. ඉදිරියෙන්ම ඉන්නේ කැපුවත් මෛත්‍රීට කට්ටියයි. කැපුවත් මහින්දට කට්ටිය පිටිපස්සෙන්ම සිටිති. (ඉස්සරහ පස්ස මාරු කළත් ප්‍රශ්නයක් නැත.) මේ දෙගොල්ලන්ගේම පක්ෂපාතීත්වය පිලිබඳව මෛත්‍රීට හෝ මහින්දට කිසිදු සැකයක් නැත. මැදින් සිටින්නේ 'ප්‍රතිපත්තියක් නැති' වැනෙන අයයි. මේ මැද සිටින අය සිතීමේ සහ තීරණ ගැනීමේ භයානක හැකියා ඇති දරුණු පුද්ගලයින් වන අතර ඡන්දය මහින්දට මෙන්ම මෛත්‍රීටත් දීමේ සම්භාවිතාවක් ඇති පිරිසකි. එහෙත් මේ සම්භාවිතාව පණහට පණහ නොවේ. සියයට එකේ සිට අනූ නවය දක්වා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.

දැන් අපිට උවමනා වුනේ අර ආන්තික ඡන්දදායකයා සොයාගැනීමයි. ඒ සඳහා පෝලිම ඉදිරියට ඇදෙන විට ඔළුව වසා ගෙන පරීක්ෂාවෙන් සිටින බිල්ලෙකු අවශ්‍ය නොවේ. කළ යුත්තේ ඔය මැද කණ්ඩායමද මෛත්‍රීට ඡන්දය දීමේ සම්භාවිතාව වැඩිවන (සහ මහින්දට ඡන්දය දීමේ සම්භාවිතාව අඩුවන) අනු පිළිවෙලට පෙළගැස්වීමයි. එසේ පෙළ ගැස්වීමෙන් අනතුරුව පෝලිමේ මුල සිට ලක්ෂ පනස් අටක් ගණන්කර ඉවත් කළ යුතුය. දැන් ආන්තික ඡන්දදායකයා ඉදිරියෙන්ම සිටී. බඩු මාට්ටුය.

ආන්තික ඡන්දදායකයා හඳුනාගත් පසු ඔහුගේ (හෝ ඇයගේ) ලිපිගොනුව හිස් නොවේනම් ඉතා පහසුවෙනුත් එසේ නැත්නම් තරමක් අමාරුවෙනුත් ආන්තික ඡන්දදායකයාගේ තීරණය වෙනස් කර ගැනීමට බැරි නැතත් එය අත්දුටුවයි සත්තයි ප්‍රතිකර්මයක් නොවන්නේ ආන්තික ඡන්දදායකයාගේ තැන ගැනීමට තවත් ලක්ෂ හතරක් මේ පෝලිමේ සිටින නිසාය. එහෙත් ඔය උපස්ථ (බැක්-අප්) විකල්ප හැමවිටම හමුනොවේ. උපස්ථ විකල්ප අඩුවන තරමට ඡන්දදායකයෙකුගේ වටිනාකම ඉහළ යයි. 

පාවෙන ඡන්දදායකන්ගේ ඡන්දය දීමේ සම්භාවිතාවන් හරියටම හඳුනාගත නොහැකි නිසා ඔය මැද කණ්ඩායම නිවැරදිව පෙළගැස්වීම අමාරු වැඩකි. මේ නිසා ආන්තික ඡන්දදායකයෙකුට ලැබිය හැකි මිල කණ්ඩායමක් අතර බෙදී යා හැකිය. ජාතික මැතිවරණයකදීනම් මේ කණ්ඩායම ඉතා විශාලය. පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීමකදී සාපේක්ෂව අවිනිශ්චිතතාව අඩු නිසා ආන්තික ඡන්දදායකයා හඳුනා ගැනීම පහසුය. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ මිල ඉහළය.


වසර හතරකට පෙර අවසන් ගමන් ගිය සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යකඩයා පිලිබඳ තවමත් අසම්පුර්ණ සිංහල විකිපීඩියා පිටුවේ සඳහන් පරිදි "2011 වසරෙහිදී මිය යාමට වසර දෙකකට ඉහතදී යකඩයා අරලියගහ මන්දිරයෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවීමට වරම් ලැබීය. පෙරදී කුප්‍රකට සාපරාධියෙක් සුපිරි වීරයෙක් කිරීමට මෙම සිදුවීම ඉවහල් වූයේ යැයි කියති."

විකිපීඩියා අනුව පැහැදිලි වන්නේ රටේ ජනාධිපතිවරයා හමුවූවිට කුප්‍රකට සාපරාධියෙකුට වුවද සුපිරි වීරයෙක් වීම සඳහා අවශ්‍ය වන ආන්තික තල්ලුව ලැබෙන බවයි. ඔය තල්ලුව ලබා ගැනීමට ඇති පෝලිමනම් තවමත් අඩුවන පාටක් නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Sunday, June 21, 2015

ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?



"ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?"

සංගීතා චිත්‍රපටියේ රඟපෑ විජයගේ මුවින්, ජෝතිගේ හඬින් ඇසුණු ප්‍රශ්නයකි. ඇත්තටම කවුද?

සහශ්‍ර ගණනක් තිස්සේ ජනශ්‍රතිය තුළ පරිණාමය වන හින්දු විශ්වාස අනුව විශ්වය පාලනය කරන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර නම් වූ ත්‍රිමූර්තියකි. ඔවුහු පිළිවෙලින් ජනනයට, පැවැත්මට හා විනාශයට අධිපතියෝය. මෙයින් විෂ්ණු විවිධ ස්වරූප වලින් නව වරක් පොළොවේ පහළ වී ඇති අතර තවත් වරක් පහල වීමට නියමිතය.

විෂ්ණුගේ දස අවතාර පිළිබඳව ව්‍යාසගේ විෂ්ණු පුරාණයේ විස්තර කෙරේ.

සත්‍ය යුගය ඇරඹුණේය. විෂ්ණුගේ ප්‍රථම සම්ප්‍රාප්තිය සිදුවිය. මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙනි. දෙවනවරට පැමිණියේය. උභයජීවියෙකු වන ඉබ්බෙකු ලෙසිනි. තෙවන සම්ප්‍රාප්තියද සිදු විය. සිවුපා ක්ෂීරපායී සතෙකු වන ඌරෙකුගේ වෙසිනි. සිවුවන වරටද පැමිණියේය. මෙවර පැමිණියේ සිංහයෙකුගේ මෙන් ඉදිරියට දික් වූ, රෝම පිරුණු මුහුණක් ඇති මිනිසෙකු මෙන් දෙපයින් සිටගත් නරසිංහයෙකු ලෙසිනි. සත්‍ය යුගය අවසන් විය.

ත්‍රෙත යුගය ඇරඹුණේය. විෂ්ණු ආවේය. මිනිස් ස්වරූපයට තරමක් කිට්ටු වාමනයෙකුගේ වේශයෙනි. මේ විෂ්ණුගේ පස්වන සම්ප්‍රාප්තියයි. නැවතත් ආවේය. සයවන වරටය. මෙවර මිනිස් වෙසිනි. පරශුරාම නම් වූ ප්‍රාථමික අවියක් අතින් ගත් දඩයක්කාරයාය. මේ අවිය සොයා ගැනීමට පරශුරාමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විෂ්ණු සත්වන වරටත් ආවේය. රාම නම් වූ තරමක් දියුණු අවි දැරූ සටන්කරු ලෙසිනි. රාම සිය මතවාද සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. ත්‍රෙත යුගය නිමා විය.

ද්වාපර යුගය ඇරඹුණේය. විෂ්ණු අටවන වරට පහළ විය. ක්‍රිෂ්ණා නම් වූ ගොපල්ලෙකුගේ වේශයෙනි. නවවන වරටද පහළ විය. බුද්ධ නම් වූ බුද්ධිමත් ජීවියා ලෙසය.

ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට කල්කී නම් වූ විෂ්ණුගේ දසවන සහ අවසාන ස්වරූපය දැකගත හැකි වනු ඇත.

ව්‍යාසගේ විෂ්ණු පුරාණය ව්‍යාසගේ පරිණාමවාදය ලෙස හෝ ඩාවින්ගේ විෂ්ණු පුරාණය ලෙස නැවත ලිවීමට බැරිකමක් නැත.

වසර මිලියන පන්සියයකට පෙර පැලසොයික යුගය ඇරඹුණේය. පළමුව මත්ස්‍යයෝද, දෙවනුව උභයජීවියෝද පහළ වූහ. තෙවනුව ක්ෂීරපායීන් බිහිවිය. පසුව වාමන විශේෂ පරිණාමය විය. සත්‍ය යුගය අවසන් විය.

වසර මිලියන හතරකට පෙර ඔස්ට්‍රලෝපිතකස් මානවයා බිහිවිය. පසුව හෝමෝ ගණයේ මිනිස් විශේෂ ඇති විය. මිනිස්සු විශාල පරිශ්‍රමයක් දරා ප්‍රාථමික ආයුධ සොයාගත්තේය. හෝමෝ සේපියන්ස්ලාද පරිණාමය විය. වඩාත් දියුණු ආයුධ භාවිතය ඇරඹිණි. චින්තන විප්ලවයද ඇරැඹී හෝමෝ සේපියන්ස්ලාගේ සංස්කෘතික පරිණාමය ආරම්භ විය. ත්‍රෙත යුගය නිමා විය.

වසර දොළොස්දහසකට පෙර කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණි. ජනාවාස ආරම්භ විය. දඩයම් ජීවිතයට සමුදුන් හෝමෝ සේපියන්ස්ලා බෝග වගාව හා සත්ත්ව පාලනය ඇරඹුහ. සම්පත් අතිරික්තයක් සමඟ හෝමෝ සේපියන්ස්ලාට සිතීමට ඇති අවකාශ පුළුල් විය. විවිධ දර්ශනවාද බිහිවිය.

තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වේ. ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට හෝමෝ සේපියන්ස්ලාගේ මීළඟ ස්වරූපය වන අනාගත මිනිසා බිහි වනු ඇත.

මිනිසා සමඟ දෙවියාත් පරිණාමය වී ඇත. එකම ආකාරයකටය.

දෙවියන්ව මැවුවේ මිනිසානම් ඔහු එය කර ඇත්තේ තමාගේ ස්වරූපයෙනි. අපට මවා ගත හැකි දෙවියා අප දැක ඇති පරිපූර්ණම මිනිසාය. නැත්නම් අප දන්නා වෙන් වෙන් පුද්ගලයින් හෝ සතුන් සතු හොඳම ලක්ෂණ වල එකතුවකි. අපිට දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ලැබෙන්නේ අපේ ස්වරූපයෙන් නිසා අපට පරිණාමය විය හැකිනම් දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ඉබේම පරිණාමය වෙනු ඇත.

අනෙක් අතට, මිනිසුන් සෙමින් පරිණාමය වෙද්දී විෂ්ණුට ඔවුන් හා සන්නිවේදනය කරන්නට ඔවුන්ගේ ස්වරූපය ගන්නට සිදු වූවා විය හැකිය. විෂ්ණුට වුනත්, රෝමයට යන්නට වෙන්නේ රෝමන් කාරයෙකු ලෙසිනි. දෙකේ පන්තියේ නංගිලා මල්ලිලා ගොඩ දාන්නටනම් තුනේ පන්තියටවත් බැසිය යුතුය. පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය. ඔස්ට්‍රලෝපිතකස්ලාට උදවුවක් කළ හැක්කේ වාමන අවතාරයට හෝ වැඩිම වුනොත් පරශුරාමට මිස කල්කීට නොවේ.

නෙලුම්යායේ තලවකැලේ ට්‍රිප් එකට සුභපැතුම්!

Friday, June 19, 2015

සාක්කුව පිරෙන්න රිදී ඕනෑද?


ඉකොනොමැට්ටාගේ භෝජනශාලාව විවෘත කර දැනට මාසයකි. මාසයකට කලින් ඔන්න ඔහේ නිකම්ම පටන් ගත්තත් මාසයේ ප්‍රගතිය නරක නැත. මාසෙට කෑම වට්ටෝරු විසි දෙකක් හදා තිබේ. බලාගෙන ගියාම ලොකු ගානකි. කෑම පිඟන් හාරදාහක් ඉක්මවා විකිණී ඇත. තව පිඟන් දාහත් දාහක් ඉක්මවා ගූගල් ප්ලස් වලින් විකිණී ඇත.

මේ සෙනඟ ආවේ මුල සිටම කිහිප දෙනෙකුගෙන් ලැබුණු ආධාර උපකාර නිසාය. ඉකොනොමැට්ටාගේ කෑම හොඳද නරකද කියා ඉකොනොමැට්ටාට  තීරණය කළ නොහැකි නිසා ඉකොනොමැට්ටා රේඩියෝ පත්තර වල ඇඩ් දැම්මේ නැත. කඩේ දාපු බෝඩ් ටික පමණි. ඉකොනොමැට්ටාගේ ප්‍රතිපත්තිය කඩේට එන පාරිභෝගිකයින්ට පුළුවන් තරම් හොඳින් සැලකීමයි.

මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ.

තවත් ටිකක් ඇනලයිස් කර බැලූ විට ඉකොනොමැට්ටාගේ පාරිභෝගිකයින්ගෙන් හරි අඩකට වඩා ඉන්නේ ලංකාවෙන් පිටය. දිනපතා පැමිණෙන පාරිභෝගිකයින්ද සිටින නමුත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු කඩේට එන්නේ දවස් තුනකට වරකි. ආ විට සාමාන්‍යයෙන් කෑම පිඟන් තුනක් පමණ අවසන් කරයි.

මේ අනුව ඉකොනොමැට්ටාගේ මැටි මොළේට තේරුම් ගියේ මුලින් වැඩිපුර මෙනු අයිටම් ටිකක් දමා තිබීම හොඳ වුණත්, අජීර්ණ ඇති නොවීමටනම් සතියකට අළුත් වට්ටෝරු තුනක් පමණ හඳුන්වා දීම හොඳ ඉලක්කයක් බවයි.

ඒ වගේම, දැනට ඇති සංඛාලේඛණ අනුව පෙනී ගියේ වැඩි දෙනෙකු ජංජාලගත වන්නේ සතියේ දිනවල වැඩ කරන වෙලාවේ බවයි. (වැඩ කරන වෙලාවට එහෙම දෙයක් හරි කිරීම ලොකු දෙයකි.) මේ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා හොඳ දවස් ලෙස තෝරාගත් ඉකොනොමැට්ටා රාහුකාලය පන්නා හොයාගත් ශුභ මුහුර්තයකට කෑම මේසයට ඔටෝ සර්ව් වන පරිදි ඊළඟ කෑම පිඟාන ශීතකරණයේ තැන්පත් කළේය. ඊළඟ සතිය ඉකොනොමැට්ටාට ගමන් බිමන් හා වැඩ අධික වීමත් මෙයට හේතු විය.

බ්ලොග් වලට ඇබ්බැහිවීම පරාභවයට කරුණකි යන රසිකභාෂිතය සත්‍යයක් බව පසක් කරමින් උදේ පාන්දරම ලැබුණු ඊයක් නිසා සියල්ල අවුල් විය.

ඇමරිකාවේ ප්‍රධාන ගුවන් සමාගමක තාක්ෂණික අංශයක සේවය කරන මගේ උගත් මිතුරා කියවා හෝ නොකියවා යොමු කළ ඊය අනුව මගේ සාක්කු රිදී වලින් පුරවා ගැනීමේ ස්වර්ණමය නොවූවත් රජතමය අවස්ථාව දැන් මා හමුවේ ඇත.

මෙය වසර 823කට වරක් එළෙඹෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එසේ වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුන බැගින් ඇති අගෝස්තු මාසයක් 2015දී උදාවන නිසාය.

චීන ෆෙන්ග් ෂුයි අනුව මේ 'සිල්වර්- පොකට්ස් ෆුල්' වාසනාව ලැබීමට කළ යුත්තේ වහාම මේ ඊය මිතුරන් කිහිප දෙනෙකුට යොමු කිරීමයි. වැඩේ මිස් කරගත්තොත් තව අවුරුදු 823ක් බලා සිටීමට සිදු වනු ඇත. ඒ විතරක්නම් මදැයි? දවස් හතරකින් මාව දුප්පත් වීමටත් නියමිතය. (ඉකොනොමැට්ටා කොහොමටත් ඉතිං දුප්පතා නිසා ඒකෙනෙම් අවුලක් නැත.)

යාළුවන්ට මේ ඊය යවා උන්ගේ සාක්කු රිදී වලින් පුරවන්ඩ ඉකොනොමැට්ටාට ටිකක් කිචි වගේ නිසා ඉකොනොමැට්ටා වැඩේ අල්ලලා දැම්මේය. අනෙක් අතට, සාක්කුවේ රිදී කාසි පිරුණාම ඉකොනොමැට්ටාට කොහොමත් අවුල්ය. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්නේ ඒ නිසාය.

යාලුවාට පහතින් ඇති පිළිතුර ලියා යැවූ ඉකොනොමැට්ටා අද ඔටෝ සර්ව් වීමට නියමිතව තිබුණු කෑම පිඟාන පොඩ්ඩක් පස්සට තල්ලු කර මේ සැලඩ් එක සර්ව් කරන්නේ ඒ අනුවය.

"ඕකේ තියෙන්නේ පට්ටපල් බොරුවකි. අමු ජෝක් එකකි.

1. වසර 823කට පෙර මෙය අත්හදා බැලීමට ඒ කාලයේ චීනයේ ඊ-මේල් තිබෙන්නට ඇතැයි සිතමි.
2. වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි.
3. මෙය සම්භාවිතාව අනුව සාමාන්‍යයෙන් (පිළිවෙලින් නොවූවත්) වසර 7කට වරක් සිදු වන නිසා වසර 823ක් බලා සිටීමට අවශ්‍ය නැත. පසුගිය 2014දී මෙය සිදු වූ අතර 2022දී මෙන්ම 2025දීත් නැවත සිදුවනු ඇත.
4. (හොඳම එක) 2015 අගෝස්තු මාසයේ සිකුරාදාවල් පහක් ඇත්තේ චීන කැලැන්ඩර් වල විය යුතුය. මගේ කැලැන්ඩරේනම් ඇත්තේ හතරකි.

කොහොම වුනත් දවස් හතරකින් සල්ලි හම්බ වුනොත් අපිටත් කියන්ඩ, හොඳේ! :)"

යාළුවා තාමත් යාළුවෙක්යැයි සිතමි.

(ඇත්තටම 2022දී මෙය නැවත සිදු නොවන අතර 2025 හා 2031දී සිදු වේ. කී දෙනෙක් චෙක් කළාද?)

Wednesday, June 17, 2015

පොල් ලෙලිගසන මැෂිම සහ වතුරෙන් දුවන කාර්

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඉකොනොමැට්ටාගේ යාළුවෙක් පොල් ලෙලිගසන මැෂිමක් හැදුවේය. යාළුවෙක් කිවුවාට ටිකක් ජේෂ්ඨ උත්තමයෙකි. හැදුවේ ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ කම්මලේ සංවත්සර ප්‍රදර්ශනයකටය.


මේ මැෂිමේ ඇති විශේෂත්වය වන්නේ එහි ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීමයි. එහි එක් පසෙක ඇති විවරයකින් ලෙල්ල සහිත පොල් ගෙඩියක් ඇතුළු කළවිට අනෙක් පස ඇති විවරයකින් ලෙලි ගැසුණු පොල්ගෙඩිය එළියට එයි. මේ සඳහා විනාඩි දෙකක් පමණ ගත වේ.


මේ පොල් ලෙලිගසන මැෂිම ඉංජිනේරු විද්‍යා ප්‍රදර්ශනයේ නැගලා යන අයිටම් එකකි. දිවා ආහාර පැය වෙනුවෙන් ප්‍රදර්ශනය පැයකට තාවකාලිකව නවත්වන විටත් මැෂිම බැලීමට පෝලිමේ සෙනඟය.


දිවා ආහාර පැයෙන් පසු ප්‍රදර්ශනය ආපසු විවෘත විය. අක්බාර් කැන්ටිමෙන් අඩුවක් අසා වෙලාවටම පැමිණි ජේෂ්ඨ උත්තමයා ලෙල්ල පිටින් පොල් ගෙඩියක් මැෂිමට ඇතුළු කළේය. විනාඩි දෙකක් ගියේය. පොල් ගෙඩිය ලෙලිගැසී එලියට ආවේ නැත. විනාඩි තුනක් ගියේය. හතරකුත් ගියේය. ඒත් නැත.


ජේෂ්ඨ උත්තමයා දැන් හොඳටම නොසන්සුන්ය. ප්‍රදර්ශන කුටිය තාවකාලිකව වසා දැමූ ජේෂ්ඨ උත්තමයා එහි පැත්තක වූ තහඩුවක් ඉවත් කර මැෂිම ක්‍රියා විරහිත වීමට හේතුව සොයාගත්තේය.


"අඩෝ, එන්ජිමා! නැගිටපන් යකෝ. එළියේ සෙනඟ පෝලිමේ."


මැෂිම ඇතුළේ තිබුණු පොල්උලට හේත්තුවී හොඳට නිදාගෙන සිටි ෆ්‍රෙෂා ඇහැරුණු පසු හවස් වරුවේත් මැෂිම ලෙඩ නොදී හොඳට වැඩ කළේය.


ඔය ඇතුළේ සිටි ෆ්‍රෙෂා ටිකක් සීනියර් වී ජේෂ්ඨ උත්තමයෙක් වූ පසු ඔහුට වතුරෙන් දුවන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට අදහසක් ඇතිවිය. එක පාරටම වැඩේට නොබැස ඔහු පළමුව කළේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමයි. ඔහොම එකක් හදාගත් විට මුලින්ම පත්තර කාරයෙක්ව කඩේ යවා දෙවනුව ලොකු මෝරෙක් මරා ගැනීමට බැරි නැත.


පැට්‍රල් වාහන ගෑස් වලට පරිවර්තනය කිරීම නැගලා ගිය ඔය කාලයේ එන්ජිමා කල්පනා කළේ සරල තාක්ෂණයක් යොදාගෙන පැට්‍රල් කාරයක් වතුරෙන් දිවිය හැකි පරිදි පරිවර්තනය කර ගැනීමටය. ඔහුගේ ගණන් බැලීම් අනුව වැඩේට මාස තුනක් පමණ ගතවනු ඇත.


පළමුවෙන් කළ යුත්තේ පැට්‍රල් ලීටරයකට වතුර බින්දුවක් දමා වාහනය ධාවනය කිරීමයි. වාහනය සාමාන්‍යයෙන් දුවන එකක්නම් අවුලක් නැතුව පණගැන්වී ධාවනය වනු ඇත. ඉන්පසු, වතුර ප්‍රමාණය බිංදුවෙන් බිංදුව වැඩි කරමින් මෙය දිගටම සිදු කළ යුතුය. එක වතුර බිංදුවක් වැඩි වුණා කියා වාහනය ධාවනය නොවීමට ඉඩක් නැති නිසාය. අවසානයේදී  පැට්‍රල් නැතුවම වතුරෙන් වාහනය දුවනු ඇත.


පසුව වෙන ව්‍යාපෘතියක් පටන්ගෙන ගඟෙන් එගොඩ පැදීමට පටන් ගැනීම නිසා එන්ජිමා මේ ව්‍යාපෘතිය අත්හැර නොදැමුවානම් අද අපි කාර් දුවන්නේ වතුරෙනි.


ඔය තාක්ෂණයම උපයෝගී කරගෙන සාමාන්‍ය වැඩිහිටියෙකුට වැඩුණු හරකෙකු අත්දෙකෙන් එසවීමට පුළුවන. මේ සඳහා කළයුත්තේ වහුපැටියා ඉපදුණු දින ඌව අවශ්‍ය පරිදි එසවීමයි. (ඒකවත් බැරි අයටනම් මේ තාක්ෂණය හරියන්නේ නැත.) ඉන්පසු, මෙය දිනපතාම කළ යුතුය. අද උස්සපු හරකා හෙට ඉස්සීමට බැරිකමක් තිබිය නොහැක. වහුපැටියා ක්‍රමයෙන් ලොකු වන විට ලොකු හරකෙකු පහසුවෙන් එසවීමට ඔබට හැකි වනු ඇත. අත්දුටුවයි! සත්තයි!!

එන්ජිමා වැඩේ අතහැර දැම්මාට වෙන ගොඩක් අය වැඩේ දිගටම ගෙන ගියේය. 2008 වසරේදී, ශ්‍රී ලාංකික තරුණයෙක් සෑදූ වතුරෙන් දුවන මෝටර් රථයකින් තවත් බොහෝ දෙනෙකු සමඟ එවකට අගමැති වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාද කඩේ ගියේය. කඩේ යාමෙන් අනතුරුව "මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය".


http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201


මේ තරුණයාව මුදල් වංචා මත සිරගත කෙරුණු බව පසුව වාර්තා විය.
http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html


වසර හතරකට පසු 2012 මැදදී පකිස්ථානුවෙක් නැවතත් මෙවැනිම නිර්මාණයක් කළේය. බලශක්ති සීමා වලින් මිදුණු නව පකිස්ථානයක අරුණලු වැටෙද්දී මේ මෝටර් රථයෙන්ද පකිස්ථානයේ පකිස්ථාන් විද්‍යා සහ කාර්මික පර්යේෂණ කවුන්සිලයේ විද්වතුන් සහ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ දෙනෙකු කඩේ ගියෝය.
http://tribune.com.pk/story/416542/the-water-car-fraud/


මේ නිෂ්පාදකයාද අවසානයේදී නැවතුනේ සිරමැදිරියකය.


ජලය සෑදී ඇත්තේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අනු වලින් නිසා ඒවා නැවත වෙන් කර හයිඩ්‍රජන් ලබාගත හැකිය. මෙසේ ලබා ගන්නා හයිඩ්‍රජන් දහනය කිරීමෙන් ශක්තිය ලබාගත හැකි අතර මෙහිදී නැවතත් ජලය සෑදේ. කෙසේ වුවද, ජල අනුවක් බිඳීමට අවශ්‍ය ශක්තිය හයිඩ්‍රජන් දහනයේදී නිදහස් වන ශක්තියට සමාන නිසා වෙනත් ශක්ති ප්‍රභවයක් නැතිව තනිකරම වතුරෙන් කාර් දිවවීම තාපගතික විද්‍යා නියමයන්ට අනුවනම් කළ නොහැක්කකි. (හයිඩ්‍රජන් මිශ්‍ර කර වෙනත් බලශක්ති ප්‍රභවයක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි දෙයක් කළ හැකි විය හැක.)


කෙසේ වුවද, මෙවැනි 'විද්‍යාත්මක' මිත්‍යාවක් එළියට දැමූ විට වෙනත් 'මිත්‍යාවන්ට' ගරහන අයද ඇතුළු බොහෝ දෙනෙක් කඩේ යාමට ඉදිරිපත් වන නිසා වතුරෙන් දුවන කාර් තවමත් හොඳ ආදායම් උල්පතකි.


(රසාස්වාදය සඳහා උඩින්ම ඇති කතා දෙක ඉකොනොමැට්ටාට පේටන්ට් අයිතියක් නැති කාඩ් දෙකකි. ඉකොනොමැට්ටා පොඩ්ඩක් ස්පයිස් එකතු කළා පමණි.)

Tuesday, June 16, 2015

හලාල් ආහාර වලට වැඩිපුර ගෙවිය යුතුද?



සසංක කන දේවල් තිබේ. නොකන දේවලුත් තිබේ. නිර්මාංශිකයෙකු නොවන සසංක කුකුළු මස් හා ගව මස් වලට මෙන්ම සූකර මාංශයටද ගිජුය. ඔහුට මස් හලාල්ද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. අබ්දුල් සූකර මාංශ නොබුදී. ඔහු කුකුළු මස් හා ගව මස් වලට ප්‍රිය කරන නමුත් ඒවා ආහාරයට ගන්නේ හලාල්නම් පමණි. නිර්මාංශී නොවන රසිකාත්, සතියේ ඇතැම් දිනවල නිර්මාංශීව සිටින කමලිනීත් කුකුළු මස් ආහාරයට ගනිති. එහෙත් ඔවුහු අනෙකුත් 'ගොඩ මස්' වර්ග නොබුදිති.

වෙළඳපළෙහි විකිණෙන කුකුළු මස් හලාල්නම් මේ සිවු දෙනාම මස් මිලදී ගැනීමේ ඉඩ කඩක් තිබේ. එහෙත්, මස් හලාල් නොවේනම් අබ්දුල් මස් මිලදී නොගනු ඇත. මේ නිසා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කළ විට ඉල්ලුම වැඩි වේ. එහෙත්, එවිට නිෂ්පාදන පිරිවැය සුළු වශයෙන් හෝ ඉහල යයි. මේ ඉහල යන පිරිවැය අවසානයේදී දරන්නේ කවරෙක්ද?

මෙහි ඇත්තේ න්‍යායාත්මකව විශ්ලේෂණය කළ හැකි ආර්ථික විද්‍යා ගැටලුවකි.

මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සඳහා අපට ආර්ථික විද්‍යා ආකෘතියක් සකස් කර ගැනීමට සිදුවේ. අපි සරල ආකෘතියකින් පටන් ගනිමු.

වෙළඳාම සඳහා බාහිරට විවෘත නොවූ නිශ්චිත ප්‍රදේශයක් ඇතැයි අපි පළමුව උපකල්පනය කරමු. මේ ප්‍රදේශය තුළ කුකුළු මස් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාරිභෝගිකයන් සිය දෙනෙකු අතර  'රතු' සහ 'කොළ ' නම් වූ පාරිභෝගිකයෝ දෙවර්ගයක් සිටිති. කොළ පාරිභෝගිකයෝ හලාල් කුකුළු මස් පමණක් ආහාරයට ගනිති. රතු පාරිභෝගිකයෝ හලාල්ද නැද්ද යන්න නොසලකා අඩු මිලට ඇති තැනෙකින් කුකුළු මස් මිලදී ගනිති.

කුකුළු මස් නිෂ්පාදකයෙකු සාමාන්‍ය මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී කුකුළු කෑම ආදිය සදහා රුපියල් 200ක විචල්‍ය පිරිවැයක්ද සේවක වැටුප් ආදිය සඳහා රුපියල් 500ක ස්ථිර පිරිවැයක්ද දැරිය යුතුයැයි සිතමු. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කළහොත් විචල්‍ය පිරිවැය රුපියලකින් වැඩිවී රුපියල් 201ක් වේයැයිද, ස්ථිර පිරිවැය රුපියල් සියයකින් වැඩිවී රුපියල් 600ක් වේයැයිද සිතමු. කුකුළු මස් කිලෝවක් රුපියල් 225ක් වේනම් සෑම පාරිභෝගිකයෙකුම කුකුළු මස් කිලෝවක් බැගින් මිලදී ගන්නේයැයි සිතමු. කෙසේ වුවද, කොළ පාරිභෝගිකයින් මස් මිලදී ගන්නේ මස් හලාල්නම් පමණි.

අවස්ථාව 1- තනි රතු රට:

රතු රටේ පාරිභාගිකයින් සිය දෙනාම රතු අයයි. ඒ නිසා නිෂ්පාදකයෙකුට වැඩි පිරිවැයක් දරා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 25ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය (ස්ථිර පිරිවැය නොසලකා) රුපියල් 2500කි (25x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 500ක් වන බැවින් නිෂ්පාදකයන් පස් දෙනෙකුට මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත. නිෂ්පාදකයින් ගණන එයට වැඩි වුවහොත් දීර්ඝකාලීනව කිසිවකුට ලාභයක් ලැබිය නොහැක.


අවස්ථාව 2- තනි කොළ රට:

කොළ රටේ පාරිභාගිකයින් සිය දෙනාම කොළ අයයි. මේ වෙළඳපොළෙහි සාමාන්‍ය කුකුළු මස් සඳහා කිසිදු ඉල්ලුමක් නොමැති බැවින් සෑම නිෂ්පාදකයෙකුටම  හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සිදුවේ. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 24ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2400කි (24x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 600ක් වන බැවින් නිෂ්පාදකයන් සිවුදෙනෙකුට පමණක් මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත.

අවස්ථාව 3- රතු බහුතර රට:

රතු බහුතර රටේ රතු පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. කොළ පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ අනූවකි. මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2250කි (25x90). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි. දිගුකාලීන ලාභය රුපියල් 62.50කි.

අනෙක් අතට, ඔවුන් හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු සාමාන්‍ය කුකුළු මස් නිපදවනු ඇත. මෙහිදී රතු බහුතර රටේ සුළුතර කොළ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සැපිරී නැත.

පස් වන නිෂ්පාදකයෙකු හලාල් කුකුළු මස් නිපදවීමට සිතන්නේනම් මස් කිලෝ දහයක ඉල්ලුමක් ඇත. මේ නිෂ්පාදකයාට තම ස්ථිර පිරිවැය පියවා ගැනීම සඳහා මස් කිලෝවක් රුපියල් 261කට (201+600/10) විකිණීමට සිදුවේ. මේ අනුව කොළ පාරිභෝගිකයෙකු මස් කිලෝවක් සඳහා ගෙවීමට කැමති උපරිම මිල රුපියල් 261ට අඩුනම් රතු බහුතර රටේ හලාල් මස් නිෂ්පාදනය නොවනු ඇත.

ඒ මිල ඊට වැඩිනම් රුපියල් 225කට සාමාන්‍ය කුකුළු මස් අලෙවි වෙත්දී රුපියල් 261කට හලාල් කුකුළු මස් අලෙවි වනු ඇත. හලාල් කුකුළු මස් සඳහා වැඩි මිලක් ගෙවීමට රතු පාරිභෝගිකන් සූදානම් නැති නිසා ඔවුන් හලාල් මස් වලට අකමැත්තක් නැතත් හලාල් මස් මිල දී නොගනු ඇත. මෙහිදී හලාල් කුකුළු මස් සහ සාමාන්‍ය කුකුළු මස් වෙනස් ආර්ථික භාණ්ඩ දෙකක් ලෙස පවතිනු ඇත.

අවස්ථාව 4- කොළ බහුතර රට:

කොළ බහුතර රටේ කොළ පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. රතු පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ දහයකි. මුළු ලාභය රුපියල් 250කි (25x10). මෙය එක් නිෂ්පාදකයකුගේ හෝ ස්ථිර පිරිවැය නොපියවයි. ඒ නිසා කිසිදු නිෂ්පාදකයෙකු හලාල් නොවන කුකුළු මස් නොනිපදවනු ඇත.

මේ අනුව, සියළුම නිෂ්පාදකයෝ හලාල් කුකුළු මස් නිපදවති. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු හලාල් කුකුළු මස් නිපදවනු ඇත. වෙළඳපලෙහි හලාල් නොවන සාමාන්‍ය කුකුළු මස් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව රතු පාරිභෝගිකයන්ටද හලාල් කුකුළු මස් මිලදී ගැනීමට සිදුවන නමුත් ඒ සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතු නොවේ.

අවස්ථාව 5- රතු කොළ සම රට:

රතු කොළ සම රටේ කොළ පාරිභෝගිකයෝ පනස් දෙනෙකි. රතු පාරිභෝගිකයෝද පනසෙකි. මෙහිදී විශ්ලේෂණය තරමක් සංකීර්ණය.

විකල්පය-1:
ඇතැම් නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ පනහකි. මුළු ලාභය රුපියල් 1250කි (25x50). නිෂ්පාදකයින් ගණන දෙකකට වඩා වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 625කි. දිගුකාලීන ලාභය රුපියල් 125කි. එහෙත් මේ ලාභය ලබාගත හැක්කේ හලාල් කුකුළු මස් නිෂ්පාදකයන් කිසිවෙකු නැත්නම් හෝ හලාල් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 225කට වඩා වැඩිනම් පමණි. නැතහොත් හලාල් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ තරඟය හමුවේ මේ ලාභය දිය වී යනු ඇත.

මෙහිදී කොළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු නොවන බැවින් එම වෙළඳපොල ගැන පමණක් සිත් යොමන හලාල් නිෂ්පාදකයකුට ලැබිය හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 600කි (24x50/2). දිගුකාලීන ලාභයක් නැත. මේ නිසා හලාල් නිෂ්පාදකයින් රතු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර එවිට සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ලාභය අඩු වනු ඇත. ඒ නිසා ඉහත වෙළඳපොළ සැලැස්ම සිදු විය නොහැක්කකි.

විකල්පය-2:
නිෂ්පාදකයෝ සියල්ලෝම හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මෙහිදී සිය පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් හලාල් මස් නොඉල්ලන නිසාත්, සාමාන්‍ය මස් විකිණීමෙන් ලාභය වැඩි කර ගත හැකි නිසාත් ඇතැම් හලාල් නිෂ්පාදකයෝ සාමාන්‍ය මස් නිපදවීමට පෙළඹෙනු ඇත. මේ නිසා මෙයද සිදු විය නොහැක්කකි.

විකල්පය-3:

තෙවන විකල්පය යටතේ හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් දෙවර්ගයක් සිටියත් මස් වල මිලෙහි වෙනසක් නැත. මෙහිදී  රතු කොළ සම රටේ වෙළඳපලෙහි දිගුකාලීන ලාභය හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් අතර බෙදෙනු ඇත.

සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 22.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි (25x 22.5). දිගුකාලීන ලාභය රුපියල් 62.50කි. හලාල් කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 27.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 660කි (24x 27.5). දිගුකාලීන ලාභය රුපියල් 60කි. නිෂ්පාදකයන්ගේ ලාභය (ආසන්නව) සමාන වන අතර දෙවන විකල්පයේදී ලැබෙන ලාභයට වඩා වැඩිය.

මේ නිසා රතු කොළ සම රටේ මෙවැනි මිශ්‍ර සමතුලිතතාවක් ඇති වනු ඇත.

ඉහත අවස්ථා සියල්ල සලකා බැලූ විට මේ සරල ආකෘතිය අනුව යම් කිසි නිශ්චිත ප්‍රදේශයක කොළ පාරිභෝගික ප්‍රතිශතය වැඩිවෙද්දී හලාල් නිෂ්පාදකයින් වැඩි වන ආකාරය අපට තේරුම් ගැනීමට පුළුවන. ලෝකය පුරා මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින මේ සටහන කියවන්නට මෙවැනි ප්‍රදේශ හඳුනා ගත හැකි වනු ඇත.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩුනම් හලාල් ආහාර සඳහා සාමාන්‍ය ආහාර වලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙය මුදල්මය මිලක් හෝ දුර බැහැරකට යාමේ අවශ්‍යතාව වැනි මුදල්මය නොවන මිලක් විය හැකිය.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය තරමක් වැඩි වෙද්දී හලාල් සහ හලාල් නොවන ආහාර මිල සමාන වනු ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ හලාල් නොවන ආහාර වල මිලටම හලාල් ආහාර මිල අඩුවීම (රතු පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා) මිස හලාල් නොවන ආහාර මිල වැඩිවීමක් නොවේ.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා වැඩිනම් හලාල් ආහාර පමණක් වෙළෙඳපොලේ පවතිනු ඇත. මෙහිදී රතු පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩු නිසා හලාල් නොවන ආහාර වලට වඩා හලාල් ආහාර නිෂ්පාදන වියදම (ස්ථිර වියදම්ද එකතු කළ විට) අඩුය. ඒ අනුව මෙහිදීද රතු පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට  සිදු නොවේ.
ඉහත විග්‍රහය හැකිතාක් සරලව සිදු කර තිබේ. එහෙත් වඩා සංකීර්ණව මේ විග්‍රහය කළද අවසාන ප්‍රතිපලය වෙනස් නොවේ. මේ විග්‍රහය හලාල් සහ කොෂර් ආහාර වලට මෙන්ම අසාත්මිකතා ඇති කරන ආහාර සඳහාද යොදා ගත හැක. උදාහරණයක් ලෙස රටකජු වලට අසාත්මිකතා ඇති (කොළ) අය සැමවිටම රටකජු නොමුසු  ආහාර සොයන අතර අසාත්මිකතා නොමැති (රතු) අයට මෙහි වෙනසක් නැත.

යම් කිසි ප්‍රදේශයක කොළ ප්‍රතිශතය නිශ්චිත සීමාවක් ඉක්මවූ විට ඔවුන් මිල දී නොගන්නා නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් වීම (වෙළඳපොල ආර්ථිකයක් යටතේ) ස්වභාවිකවම සිදු වනු ඇත. මේ ප්‍රතිශතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය, විචල්‍ය පිරිවැය වෙනස සහ ස්ථිර පිරිවැය වෙනස මතය.
කෙසේ වුවද, රතු සහ කොළ පාරිභෝගිකයින්ට අමතරව හලාල් නොවන ආහාර පමණක් මිලදී ගන්නා 'කහ' පාරිභෝගිකයින්ද සුළු ප්‍රතිශතයක් හෝ සිටීනම් මේ සීමාවන් විශාල ලෙස වෙනස් වනු ඇත. එහෙත්, මෙහිදී කහ පාරිභෝගික ප්‍රතිශතය විශාල නොවේනම් ඔවුන්ටද කොළ පාරිභෝගිකයින්ට මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත.


(විග්‍රහය ඉකොනොමැට්ටාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි.)








Monday, June 15, 2015

හාල් නැතුව බත් කන්නම්! හරක් නැතුව මස් කන්නම්!!


හැත්තෑවේදී ඩඩ්ලිව එළවා දැමූ දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි හතළිස් අටේ සිටම නොකපා තිබූ අපේ එංගලන්ත පෙකණි වැල කපා දැම්මෙමු. එතෙක් අප සතු නොවූ ප්‍රජාතන්ත්‍රවාදය එසැණින්ම අපට ලැබුණේය. සත් තිස් වසරකට පෙර ජේ ආර් විසින් ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබ තවමත් අප තළු මරමින් භුක්ති විඳින සමාජවාදය එවකට අපට සිහිනයක් පමණක් වූ නිසා සමාජවාදය සොයා පෝලිම් වල කල් ගෙවීමටද අපි නොපැකිලුනෙමු.

සමාජවාදය හමුවන තුරු අපට බඩගින්නේ සිටීමට සිදුවිය. එහෙත්, දේශප්‍රේමය (හෝ වෙන යම්කිසි දෙයක්) අපේ කුසගිණි යටපත් කළ නිසා අපිට "බුදු අම්මෝ! බඩගිනියෝ!!" කියා කෑ ගැසුණේ නැත. අපි කෑගැසුවේ වෙන විදියකටය.

"සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
අම්ම අපිට කියනවනම්
පිදුරු වුණත් අපි කන්නම්"

අම්මා හෝ අප්පච්චී දෙන පිදුරු සීනි නැතුව අමුවෙන්ම ගිල දැමීමට සූදානම් බව බය නැතුව ලොවට පෙන්වීමට වත්පොත් නොතිබුණු මේ කාලයේ සිය වැඩිහිටියන් පෙළපාලි යද්දී ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්‍යවරයාගෙනි. හැමදාම කෙසේ වෙතත් සීනි පරීක්ෂා කරන දවස කිට්ටු වෙද්දී සීනි නොකා ඉන්නේ දියවැඩියාවට බය නිසාය. ප්‍රතිපලය සීයට අඩුනම් හවසට තේ කෝප්පයට වෙනදාටත් වැඩියෙන් සීනි වැටේ. සීයට වැඩිනම් "කාල මරණ අකාල මරණ" පොර ටෝක් ටික දවසකට ඕෆ් වේ.

කවුරුත් වගේ දන්නා එක් පැරණි රසාංගයක සිටි එතරම්ම පැරණි නැති පොරක් ඔයාකාරයට සීනි පරීක්ෂා කළේය. බෙහෙත් පාවිච්චි කරන්නට තරම් නොවූවත් සීනි වැඩිය. "කෑමෙන් පරිස්සම් වෙන්ඩ වෙයි!" දොස්තර මහත්තයා කීවේය. "මොනවාද සාමාන්‍යයෙන් කන්නේ?"

"උදේට?"
"පොල් සම්බෝලයි බතුයි. බත් කිවුවට හීල්බත්. සමහර දවසට කිරිබත්."
"දවල්ට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, කරවල බැදුමක්, තව මැල්ලුමක් වගේ."
"එතකොට රෑට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, තව මොනවා හරි එළවළු මාළු දෙයක්."
"ඔය කෑම රටාව ටිකක් වෙනස් කරන්ඩ වෙයි!"
"ඒ කිවුවේ?"
"බැරිවෙයිද රෑට පාන් පෙති දෙකක් වගේ කන්ඩ?"

මලකඩ රස රෝස පාට බෙහෙත් වතුර බොනවාට වඩා, පෙති කරල් අමාරුවෙන් ගිලිනවාට වඩා  පාන් පෙති දෙකක්ගිල දැමීම කොයි තරම් පහසුවක්ද?  දොස්තර මහත්තයා මොහොතකට මතු බුදුවෙයි. ඒත් ගෙදර යාමට පෙර හරියටම පැහැදිලි කරගත යුතුය.
"දොස්තර මහත්තයා, ඔය කියන පාන් පාමසියකින් ගන්ඩ ඕනෑද?"
"පාමසි? පාමසි වල කොහෙද ලොකු උන්නැහැ පාන් හදන්නේ? යන්ඩ බේකරියකට."
"මටත් එහෙම හිතුණා. මං මේ ඉස්තිරේටම දැන ගන්ඩයි ඇහුවේ."
"ඒකට කමක් නෑ. දැන් පැහැදිලියිනේ. කෑම පාලනේ කල්ලා හය මාසෙකින් පස්සේ ආයේ ඇවිත් සීනි පරීක්ෂා කර ගන්ඩ. තව ප්‍රශ්න මුකුත් තියෙනවාද?"
"සමාවෙන්ඩ ඕනෑ දොස්තර මහත්තයා තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය පාන් පෙති දෙක කන්ඩ තියෙන්නේ බත් කන්ඩ කලින්ද බත් කාලද?"

ඔය පැරණි රසාංගයේ සිටි මනුස්සයා තාමත් ජීවත් වේ. ඒ අපි තුළමය. වෙන මොනවා කෑවත් බත් ඩිංගක් බඩට වැටෙන තුරු බඩ පිරෙන්නේ නැත්තේ ඒ නිසාය. බත් කෑවත්, පාන් කෑවත් ඔය දෙකේම ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨ ධාතුවයි. සිංහලෙන්නම් කාබෝහයිඩ්රේට්ය. අප කාබෝහයිඩ්රේට් වලට ඇබ්බැහි වන හේතුව පරිණාමික මනෝ විද්‍යාවෙන් පැහැදිලි කළ හැකිය. මේ කැමැත්ත අපේ හෝමෝ සේපියන් ජාන වලම ලියවී තිබේ. එහෙත්, බත් වලට අප ඇබ්බැහි වන්නේ අපේ සංස්කෘතිය නිසාය. බත් වල අන්තර්ගත ප්‍රධානම සංඝටකය වන කාබෝහයිඩ්රේට් වලට ඇති අපේ ජානමය කැමැත්තට අමතරව එහි හැඩයට, පැහැයට හා සුවඳට අපේ සංස්කෘතිය අපව ආකර්ෂණය කරයි. මේ අයුරින්ම අර්තාපල්, පාන් වැනි වෙනත් කාබෝහයිඩ්රේට් ප්‍රභව වලට ඇතැම් රටවල වැසියෝ ඇබ්බැහි වෙති.

පාන් හෝ බත් වැනි කාබෝහයිඩ්රේට් ප්‍රභව ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර එකතුවීම සෞඛ්‍යමය ගැටළු ඇති කරවයි. එහෙත්, බොහෝ විට අපේ ජානමය හා සංස්කෘතික ඇබ්බැහිය වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් සඳහා වන රුචිය අභිබවන නිසා ආහාර රටාව වෙනස් කිරීම පහසු නැත. වෙන තැන් වලදී මෙන්ම මෙහිදීද අපේ උදවුවට එන්නේ තාක්ෂණයයි. ඒ අනුව, තිරිඟු පිටි නොවන වෙනත් ධාන්‍ය යොදා සකස් කළ පාන් වර්ග මෙන්ම සමතුලිත ආහාර වේලක් සඳහා අත්‍යාවශ්‍ය සංඝටක එකතු කර සැදූ පාන් වර්ගද ලංකාවේ කෙසේ වෙතත් පාන් ප්‍රධාන ආහාරය වූ බටහිර රටවල අඩු නැත. පිදුරු එකතු නොකළත් මේ පාන් වර්ග වල තන්තු සංයුතිය ඉහළ නැංවීමට නිෂ්පාදකයෝ ක්‍රියා කරති.

බත් කන ලංකාවේ අපිට මේ ආකාරයෙන් බත් වල සංයුතිය වෙනස් කර ගත හැකිනම් අපේ මානසික හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් එක් වර සපුරාගනිමින් රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකිය. එහෙත්, වෙළඳපොල සාධක මත බත් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණය පාන් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය.

අප මෙන්ම බත් කන ඉරානයේ පර්යේෂිකාවක වන ආචාර්ය දර්යාමේහාර් කේෂානි (Daryamehr Keshani) විසින් 2012 අගෝස්තුහිදී නැනෝ තාක්ෂනය යොදාගෙන විවිධ සංයුතීන්, රසයන්, වර්ණයන් සහ පැහැයන් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබේ. ඇගේ ක්‍රමවේදය පෙර වූ කෘතීම සහල් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඇය ප්‍රථම වරට ස්වභාවික සහල් හෝ ස්වභාවික සහල් ආශ්‍රිත අමුද්‍රව්‍ය කිසිවක් උපයෝගී නොකරගෙන සහල් නිපදවන බැවිනි. සුවඳින්, රසයෙන් සහ පැහැයෙන් ස්වභාවික සහල් සහල් වලට සමාන වුවත් මේ සහල් වල සංයුතිය ස්වභාවික සහල් වලට වඩා වෙනස්ය. කාබෝහයිඩ්රේට් වලට අමතරව ප්‍රෝටීන්, ලිපිඩ, ඛනිජ ලවණ, විටමින් වර්ග ආදියද මේ සහල් වල සැලකිය යුතු තරමක් අඩංගු වනු ඇත.

අඩු මිලකට, මහා පරිමාණයෙන් නිපදවිය හැකි කේෂානිගේ 'කාර්මික සහල්' (මැෂින් හාල්?) නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු, තිරිඟු, බාර්ලි, කඩල හා අර්තාපල් ප්‍රධාන වශයෙන්ද, හරක් මස් සහ කුකුළු මස් කොටස් ඇතුළු තවත් බොහෝ දේ සුළු වශයෙන්ද යොදා ගනු ඇත. කේෂානිගේ යන්ත්‍රයට අමතරව චීනය, ඉන්දුනීසියාව වැනි වෙනත් 'බත් කන' රටවලද කෘතීම සහල් නිපදවන යන්ත්‍ර දැනටමත් ප්‍රයෝජනයට ගැනේ. පිදුරු අමුද්‍රව්‍යයක් ලෙස යොදා නොගත්තත් මෙවැනි යන්ත්‍ර උපයෝගී කරගෙන  වැඩි තන්තු සංයුතියක් ඇති සහල් නිපදවා ගත හැකිය.

හාල් නැතුව බත් කෑම සරල හා ලාභදායී කටයුත්තක් වුවත් සත්ත්ව ඝාතනයෙන් වැලකී මස් කෑම එතරම් පහසු වැඩක් නොවේ. පහසු නොවූවද, සතෙකු නොමරා ඉවත් කර ගන්නා සත්ත්ව සෛලයක් පටක තාක්ෂනය යොදාගෙන විද්‍යාගාරයක් තුළ වර්ධනය කර ගැනීම මඟින් කෘතීම මස් නිපදවා ගැනීම තව දුරටත් හිතළුවක් පමණක් නොවේ. සෛද්ධාන්තිකව, එක් සෛලයකින් පටන්ගෙන ප්‍රෝටීන ප්‍රභේදයක් මඟින් වර්ධනය කර ගැනීමෙන් අවශ්‍ය ඕනෑම මස් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. 2013 අගෝස්තු මාසයේදී, නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් පෝස්ට් විසින් මෙසේ නිෂ්පාදනය කල හරක් මස් කෑල්ලකින් සෑදූ හැම්බර්ගරයක් ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ රස විඳීමේ අවස්ථාව අනාගත ආහාර ගැන බොහෝ අදහස් සටහන් කර ඇති ඇමරිකානු ගත් කතුවර ජෝෂ් ශෝන්වල්ඩ්ට සහ ඔස්ට්‍රියානු ආහාර පර්යේෂක හානි රට්ස්ලර්ට හිමි විය.

ශෝන්වල්ඩ් සහ රට්ස්ලර් රස බැලුවේ රුපියල් මිලියන හතළිහක් පමණ වටිනා හැම්බර්ගරයකි. මෙවැනි හැම්බර්ගර් දෙකතුනක් වුණත් දවසකට ගිල දැමිය හැකි ඇතැම් අය ලංකාවේ සිටින නමුත් මේ මිල බොහෝ දෙනෙකුට සිතිය නොහැකි ප්‍රායෝගික නොවන මිලකි. මහාචාර්ය පෝස්ට් සිතන පරිදි මේ තාක්ෂණය ආර්ථික වශයෙන් වාසිදායක වන ලෙස දියුණු කිරීමට තව වසර 10-15ක කාලයක් ගත විය හැකිය. කෙසේ වුවද අඩු මිලක් වැයකර සතුන් නොමරා හදන මස් කරියක් අපේ නිවසක ඉදෙන දවසක් ගැන අපිට දැන් බලාපොරොත්තුවක් තිබේ.

(ඡායාරූපය නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයට සම්බන්ධ culturedbeef.net වෙබ් අඩවියෙනි.)



Friday, June 12, 2015

අඟහරුගේ හාල් තිබේද?

එක ඇමීබා අම්මාගේ කෑලි කඩාගෙන ඉපදුණු අහසේ පියාඹන නානාවිධ කුරුල්ලෝ සහ අපි මුහුදේ පීනන මාළුවෝ ලෙසින්ද ගොඩබිම සෙල්ලම් කරන උරගයෝ ලෙසින්ද එක්ව කාලය ගෙවා දැම්මෙමු. පසුව අපි දෙමඟක ගියෙමු. ඩයිනෝසරයෝ වූ කුරුල්ලෝ අපෙන් වෙන්ව දුර අහසේ පියඹා ගියහ. ක්ෂීරපායීන් වූ අපි වානරයින් හා මිනිසුන් ලෙස ලොකු මහත් වී සේපියන්ස්ලා ලෙස පරිණත වුනෙමු.


හෝමෝ සේපියන්ස්ලා වන අපේ අවුරුදු එක්ලක්ෂ පනස් දහසක වයසින් හරි අඩකටත් වඩා අපි අපේ දුර නෑයන් වන කුරුල්ලන් අහසේ පියාඹනු ඔහේ බලා සිටියෙමු. පියෑඹීම කුරුල්ලන්ගේ දෛවය බවත් පයින් ඇවිදීම අපේ දෛවය බවත් යථාර්ථවාදී ලෙස තේරුම් ගත් අපි මේ ලෝක ස්වභාවය ගැන සතුටු හෝ කම්පා නොවීමු.


අවුරුදු හැත්තෑ දහසකට පෙර මේ ඔහේ බලා සිටීම වෙනස් විය. එතැන් සිට, ලෝක ස්වභාවය නොවූවත්, කුරුල්ලන් මෙන් අහසේ පියෑඹීම අපේ සිහිනයක් විය. අහසේ පියෑඹිය හැකි මනඃකල්පිත චරිත අපේ වීරයෝ වූහ. ඔවුහු අපේ පුද පූජා වල හිමිකරුවෝ වූහ. අපට ළඟා විය නොහැකි අහසේ ඉතා ඉහළ අපේ සිහින, පැතුම් මෙන්ම, දුක් වේදනාද තැන්පත් විය. ඒ වෙනුවෙන් අපි නිර්ලෝභීව අපේ සම්පත් වැය කළෙමු.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ මිල්විල්හි ඉපදී පසුව සිය දෙමවුපියන් සමඟ ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන් නගරය කරා සංක්‍රමණය වී එහි ජීවත් වූ විල්බර් රයිට් සහ ඩේටන්හි ඉපිද එහිම ජීවත් වූ ඔහුගේ මලණු ඕවිල් රයිට් දෙසොහොයුරෝද හෝමෝ සේපියන්ස්ලා අවුරුදු හැත්තෑ දහසක් තිස්සේ දුටු අහස ජය ගැනීමේ සිහිනය දුටුවහ. ඔවුන් ඔවුන්ගේ පුර්වගාමීන්ගෙන් වෙනස් වූයේ ඔවුන්ට මේ සිහිනය සැබෑ කර ගත හැකි වූ නිසාය.


වසර එකසිය දොළහකට පෙර රයිට් දෙසොහොයුරන් සැබෑ කළේ අවුරුදු හැත්තෑ දහසක් තිස්සේ ජීවත් වූ හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුගේ සිහිනයයි. ඒ සිහිනය ඔස්සේ අපි දැන් බොහෝ දුර පියාඹා ඇත්තෙමු. මහාද්වීප තරණයට අමතරව, සොහොයුරු හෝමෝ සේපියන්ස්ලාගේ හිස මතට රසායනික බෝම්බ, පොකුරු බෝම්බ හා පරමාණු බෝම්බ හෙළීමටත්, බලහත්කාරයෙන් පරිප්පු හෙලීමටත්, නිවුයෝර්ක්හි ලෝක වෙළද සංකීර්ණ ගොඩනැඟිල්ල වැනි දැවැන්ත ගොඩනැඟිලි පොළොවට සමතලා කරමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමටත් රයිට් දෙසොහොයුරන්ගේ තාක්ෂණය අපට ඉඩ සලසා තිබේ.


අහස ජයගත් මිනිසාගේ ඊළඟ සිහිනය වූයේ අභ්‍යවකාශය ජය ගැනීමයි. එය අහස ජය ගැනීම මෙන් ද්වි පුද්ගල ප්‍රයත්නයක් නොවීය. එය සාමූහික ප්‍රයත්නයකැයි කීමද නිවැරදි නොවන්නේ ඇත්ත වශයෙන්ම එය වෙන් වෙන් සාමූහික ප්‍රයත්නයන් දෙකක් අතර වූ තරඟයක් බැවිනි. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර වටාත් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර වටාත් එකතු වූ හෝමෝ සේපියන්ස්ලා අභ්‍යවකාශය ජය ගැනීම සඳහා වෙන් වෙන්ව දැරූ ප්‍රයත්න අවසන් වූයේ සෝවියට් කඳවුරේ ජයග්‍රහණයෙනි.


රුසියානුවෙකු වූ යූරි ගගාරින්ගේ පළමු අභ්‍යවකාශ පිවිසුම නිවේදනය වූයේ ඇමරිකානු අභිමානය පොළොවටම සමතලා කරමිනි. පසුකාලීන ලේඛකයෙකු පළමු අභ්‍යාවකාශ ගමනින් අනතුරුව පැවති ඇමරිකානු මානසිකත්වය එයින් දශක හතරකට පසු සිදු කෙරුණු ලෝක වෙළද සංකීර්ණ ප්‍රහාරයෙන් පසුව පැවති මානසිකත්වය හා සමව දැක තිබුණි. හැටේ දශකය අවසන් වීමට පෙර සඳ මඬල ජය ගැනීමේ සටනට ඇමරිකානු කඩු මුවහත් විය. උණුවතුර බෝතලයක් ගැනීමට මුලින්ම සම්මාදම් රවුම කැරකෙද්දී මේ දවස් වල අතේ සතේ නැතිව කෝඩය ගසා සිටින බුලත්කොහුපිටියේ කළුවාගේ සිරුර උණුවතුර උගුරු දෙකතුනකින් රත් වෙද්දී නැති සල්ලි නිකන්ම එළියට ඇදෙනවාටත් වඩා ඉක්මණින් ඇපලෝ ව්‍යාපෘතියට මුදල් අනුමත විය. හැටේ දශකය නිම වීමට පෙර, ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රයිට් දෙසොහොයුරන්ගේ ගම කිට්ටුවම ඉපදී ජීවත් වූ නීල් ආම්ස්ට්‍රෝන්ට සඳ මතුපිට සිය පා සටහන් ලකුණු කළ හැකි විය.


සෝවියට් රුසියාව අභ්‍යාවකාශය ජයගැනීමත්, ඇමරිකාව සඳ තරණය කිරීමත් දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමූහික ප්‍රයත්නයන්ය. යූරි ගගාරින් අභ්‍යාවකාශයට යැවීමේදී සෑම රුසියානුවෙකුගේම පාන් සලාකය කුඩා වන අතර නීල් ආම්ස්ට්‍රෝන්ගේ ඇපලෝ බරපැන ඇමරිකානුවෙකු පාන් ගෙඩියකට ගෙවන මිලට එකතු වේ. එහෙත් මේ කැපවීම කරන්නට බහුතර ඇමරිකානුවන් මෙන්ම රුසියානුවන්ද කැමැත්තෙන් සිටි බව ඉකොනොමැට්ටාගේ අදහසයි. එසේනම්, එමඟින් ඔවුන්ට ලැබුණු හෝ ලැබේයැයි අපේකෂා කළ වටිනා යමක් වූ බව සැලකීම වැරදි නැත.


ඇමරිකාව ආම්ස්ට්‍රෝන්ව හඳට යැවීමට සූදානම් වෙද්දී දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි ඊට වඩා ලොකු වැඩකට සරම් පිටපොට ගැහුවෙමු. චීත්ත තදකර ඇඳ ගත්තෙමු. ඒ ඩඩ්ලිව ගෙදර යැවීමටය. වැඩේ පහසු නොවූ නිසා ලොකු පොරොන්දු අවශ්‍ය විය.


“මම කොහොම හරි ජනතාවට සහල් සලාකය දෙනවා. මේ රටේ හාල් ප්‍රමාණවත් නැතිනම් පිටරටින් ගෙන්වනවා. පිටරට හාල් නැත්නම් හඳෙන් හරි හාල් ගෙන්වලා දෙනවා” අගමැති අපේක්ෂිකාව අපට පොරොන්දු විය. (උපුටා ගැනීම: http://www.lankateam.com/2014/03/25-350.html).  "අපේ අම්මා ළඟ එනවා - හඳෙන් හාල් ගෙන එනවා” ජනතාව පෙළපාලි ගියහ.


අම්මා ආවේය. ඒත් හඳෙන් හාල්නම් නොආවේය. ඒ වෙනුවට ආවේ හාල් පොලුය. මේ ගැන පසුව විමසීමේදී මෙවැනි පිළිතුරක් ලැබුනේයැයි මා අසා තිබේ. "ඇමරිකන් කාරයා හඳට ගිහින් හොයාගෙන තියෙනවා හඳේ හාල් නැති බව."


හඳේ ඇත්තටම හාල් තිබුණේ නැත. ඒත් ඇමරිකන් කාරයා හඳට ගියේ ඒ බව නොදැන නොවේ. ලංකාවේ අම්මා පොරොන්දුව දුන්නේත් ඒ බව නොදැන නොවේ.


හඳට මිනිසෙකු යැවීම ලොකු ආර්ථික තීරණයකි. ඉතා වියදම් අධික වැඩකි. මෙවැනි තීරණයක් තාර්කික වන්නේ ඒ ගමනින් ඊට වඩා මිලකට විකිණිය හැකි යමක් ලැබේනම් පමණි. හාල් නැති හඳෙන් ආම්ස්ට්‍රෝන් එකතු කරගත් ගල් කෑලි ටික සමඟ විකිණිය හැකි තවත් දෙයක් පැකේජ් විය. ඒ ඇමරිකානු අභිමානයයි. මේ පැකේජයට ඉහළ මිලක් ලැබුණේය.


ගගාරින්ගේ අභ්‍යාවකාශ තරණය සමඟ ඇරඹී ආම්ස්ට්‍රෝන්ගේ සඳ ගමණින් කෙළවර වුණු හැටේ දශකය සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර සහ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර අතර පැවතී නිරවි යුද්ධයේ උච්චතම අවදියයි. මේ ලොක්කන් දෙදෙනා ලෝක සිතියමෙහි ආසන්නව සමාන කොටස් හිමි කරගෙන සිටිද්දී ලංකාවේ අපි මෙන්ම තවත් බොහෝ පොඩි අය ඔය කඳවුරු දෙක අතර දෝලනය වෙමින් මධ්‍යස්ථව සිටියෙමු. ඇමරිකාවේදී ඇමරිකානු අභිමානය ලොකු මිලකට විකුණාගත හැකි වූයේ සෝවියට් කඳවුර සමඟ වූ තරඟය නිසාය. ඒ මිල සඳ තරණය ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කළේය.


හැටේ දශකයේදී සිදු වූ ඇඟට දැනෙන දියුණුවෙන් කුල්මත් වූ හෝමෝ සේපියන්ස්ලා ඉතා නුදුරේම අඟහරු ඇතුළු අනෙකුත් ග්‍රහ ලෝක තරණය කරමින් ඒවායේ පිහිටුවන ජනාවාසයකින් ඉඩම් කෑල්ලක් අරන් දැමීමට සිහින මැවූහ. එහෙත් සඳ තරණයෙන් පන්සාළිස් වසක් ගෙවී ඇතත් හෝමෝ සේපියන්ස්ලා මෙවැනි ජයග්‍රහණයක් තවමත් ලබා නැත. ඒ ඇයි?


අසූව දශකය අවසන් වූයේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික හේතූන් මුල් කරගෙන (මගේ අදහසයි) සෝවියට් කඳවුර බිඳ වට්ටවමිනි. ආර්ථික අවපාත කිහිපයකින්ම බැට කෑ ඇමරිකාවේ ආර්ථිකයද පෙර තරම්ම සරු වූයේ නැත. මේ නිසා අභ්‍යාවකාශ තරණ සැලසුම් මන්දගාමී විය. කෙසේ වුවද ඒවා නැවතුනේ නැත.


අඟහරු වෙත මිනිස් කණ්ඩායමක් යැවීම සඳහා ඇමරිකාව දැනටත් වැඩ කටයුතු කරමින් සිටිති. මෙය වසර ගණනක් ගත වන දැවැන්ත කාර්යයකි. මුලින්ම සිදු වනු ඇත්තේ මිනිසුන් රහිතව එහි යන රොබෝ කණ්ඩායම් විසින් මිනිස් වාසයට සුදුසු නිවහනක් අඟහරු මත තැනීමයි. සිවුදෙනෙකුගෙන් යුත් මුල්ම මිනිස් කණ්ඩායම 2030-2035 පමණ වන විට අඟහරු වෙත පා තබනු ඇත. ඒ සඳහා උපයෝගී කර ගැනීමට නියමිත ඔරියන් යානයේ පළමු පරීක්ෂණ ගමන (මිනිසුන් රහිතව) පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කෙරිණි.


එහෙත් තවත් කළ යුතු දෑ බොහෝය. චැලෙන්ජර් ඛේදවාචකයෙන් පාඩමක් ඉගෙනගෙන සිටින ඇමරිකාව සෑම කුඩා දෙයක් පිළිබඳවම තව දුරටත් අධ්‍යයනය කරනු ඇත. උදාහරණයක් ලෙස ආම්ස්ට්‍රෝන් හඳ මත පැන පැන මෙන් යන්නේ එහි ඇති අඩු ගුරුත්වය නිසාම පමණක් නොවේ. ඔහුගේ අභ්‍යවකාශ ඇඳුමේ ඇති සීමාවන්ද එයට හේතුවකි. අඟහරු වෙත යන නියමුවන්ගේ ඇඳුමනම් මෙයට වඩා බොහෝ නම්‍යශීලී වනු ඇති අතර එය ඇඳගෙන ට්‍රෙඩ්මිල් එකක ඇවිදීමටද ඔවුන්ට හැකිය.


කෙසේ වුවද දැනටමත් කිහිප වරක්ම සිදුවී ඇති පරිදි ආර්ථික හේතුන් මත මේ අභ්‍යවකාශ ගමන සඳහා කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හැරුණහොත් මේ කාර්යය පමා වනු ඇත. අනෙක් අතට චීනය වැනි වෙනත් රටක තරඟය හමුවේ ඇමරිකානු අභිමානයේ මිල ඉහල ගියහොත් නැති සල්ලිත් එළියට ඇදී හාල් නැති අඟහරු වෙත මිනිසෙකු පාතබන දිනය වඩාත් ලංවීමට වුවද බැරි කමක් නැත.


(ඡායාරූප: ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන්හි රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ පිහිටි, ඇමරිකානු ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශිත කිහිපයකි. අනුපිළිවෙලින් රයිට් දෙසොහොයුරන් විසින් තැනු ගුවන් යානයක්,  ඇපලෝ 15 සඳ ගමන සඳහා උපයෝගී කරගත් 'එන්ඩීවර්' පාලන මැදිරිය සහ නිරවි යුද සමයේ ලෝකය බෙදී තිබුණු අයුරු  පෙන්නුම් කෙරේ.)



වෙබ් ලිපිනය: