වෙබ් ලිපිනය:

Wednesday, December 30, 2015

සී යා නැක්ස්ට් යා...!!!

මේ සටහන පළ වී එක් විසි පැයෙකින් නවසීලන්තයේ සහ ෆිජිහි සිට ඉකොනොමැට්ටාගේ බොජුන්හලට ගොඩවදින පාඨකයින්ට හෝමෝ සේපියන්ස්ලා වත්මනෙහි භාවිතා කරන ප්‍රමුඛ දින දසුන අනුව නව වසරක් උදා වේ. පැය දෙසාළිසෙකින් ඇමරිකාවේ කැලිෆෝර්නියා, වොෂින්ටන්, ඔරිගන් හා නෙවාඩා ප්‍රාන්ත වල සිටත් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සිටත් මෙහි ගොඩවදින පාඨකයින් හට නව නව වසර උදාවේ. මේ අතරේ ගෙවෙන එක් විසි පෑ කාලාන්තරය තුළ මගේ පාඨකයින් සියල්ලන්ගේම දින දසුන් අළුත් වනු ඇත.

දිනදසුන අනුව වසරක අවසානය යනු ගෙවෙන වෙනත් ඕනෑම මොහොතකට වඩා සුවිශේෂී මොහොතක් නොවේ. ඒ නිසාම, වෙනත් ඕනෑම මොහොතක වුවද කළ හැකි, පසුගිය කාල වකවානුවක් පිලිබඳ පසු විපරමක් කිරීමට මෙය නුසුදුසු අවස්ථාවක් නොවේ. මේ අයුරින්ම සියය හෝ පනස්දහස වැනි 'රවුම්' සංඛ්‍යාවක් වෙනත් 'රවුම් නැති' සංඛ්‍යාවකට වඩා සුවිශේෂී නොවේ. කෙසේ වුවද, වසරක අවසානය මෙන්ම, යම් නිශ්චිත ලිපි ගණනක් ලියා අවසන් කරන අවස්ථාව හෝ නිශ්චිත හිට්ස් ගණනක් කරා ලඟා වන අවස්ථාව බොහෝ විට බ්ලොග් කරුවෙකු විසින් තමන්ගේ බ්ලොග් කෙරුවාව ගැන පසු විපරමක් කිරීමට යොදාගැනීම නරක දෙයක් නොවේ.

මා මේ වියුණුව අරඹා මේ වන විට ගෙවෙන්නේ තිස්තුන්වන සතියයි. සති තිස් තුනක් වියුණුවක් නඩත්තු කිරීම ලොකුවට පාරම්බාන්නට තරම් දෙයක් නොවේ. සාපේක්ෂව, මෙය ඉතා කෙටි කාලයකි. කෙසේ වුවද, මා මෙය අරඹන විට (නො)පැවති බලාපොරොත්තු අනුව මෙය සැලකිය යුතු ආශ්චර්යයකි. හරියටම කියනවානම් දශක ගණනක සිට එදාවේල ක්‍රමයට ඇදගෙන යන ලංකාවේ ආර්ථිකය තාමත් විශාල අර්බුදයකට නොගොස් තිබෙන්නාක් වැනි ආශ්චර්යයකි.

ආර්ථික විද්‍යාවේ දෙපැති වෙළඳපොළවල් (Two-sided markets) නම් වූ සංකල්පයක් තිබේ. මා දන්නා තරමින් මෙවැනි වෙළඳපොළවල් ගැන මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී ඉගැන්වීමක් නොකෙරේ. පාරිභෝගිකයින් විසින් බොහොමයක් භාණ්ඩ මිල දී ගන්නේ යම් නිශ්චිත, ප්‍රමුඛ ක්‍රමයකින් සතුටක් හෝ වාසියක් (උපයෝගීතාවක්) ලැබීම අරමුණු කරගෙනය. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු චෙරි, ස්ට්‍රෝබෙරි, තක්කාලි හෝ හරක් මස් මිල දී ගන්නේ කෑමෙන් ලබන සතුට පිණිසය. ඇඳුමක් මිලදී ගන්නේ ඇඳීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් මිල දී ගන්නේ කියවීමෙන් ලබන සතුට වෙනුවෙනි. පොතක් නොකියවා රාක්කයේ තබා ගැනීමෙන් සතුටු වන අයද සිටියත් එවැන්නන් අරමුණු කරගෙන පොත් 'නිපදවීමක්' සාමාන්‍යයෙන් සිදු නොවේ. මෙසේ එකම ආකාරයේ අවශ්‍යතාවක් වෙනුවෙන් භාණ්ඩයක් මිලදී ගන්නා 'සමජාතීය' පාරිභෝගිකයින් වෙනුවෙන් භාණ්ඩ නිපදවා විකුණන වෙළඳපොළක් 'එක්පැති වෙළඳපොළක්' (One-sided market) ලෙස හැඳින්වේ.  මූලික හෝ අතරමැදි ආර්ථික විද්‍යා පාඨමාලාවකදී බොහෝ විට උගන්වන්නේ මෙවැනි එක්පැති වෙළඳපොළවල් හා අදාළ විවිධ ආකෘතීන්ය.

දෙපැති වෙළඳපොළක පාරිභෝගික කණ්ඩායම් දෙකක් සිටිති. මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා මුළුමනින්ම වෙනස්ය. උදාහරණයක් ලෙස පුවත්පත් වෙළඳපොළ ගත හැකිය. වැඩිදෙනෙකු පුවත්පත් මිලදී ගන්නේ එහි ඇති ලිපි, ප්‍රවෘත්ති වැනි දේ කියවීමටය. මේ පළමු පාරිභෝගික වෙළඳපොළ තුළ සාමාන්‍යයෙන් නිෂ්පාදකයාගේ ලාභය වැඩිවන්නේ වැඩි පිටපත් ගණනක් විකිණීමෙනි. ඒ සඳහා හොඳ ලිපි සහ කාලීන පුවත් හැකිතරම් පළ කළ යුතුය. පුවත්පත් හා අදාළව දෙවන පාරිභෝගික කණ්ඩායමක්ද සිටිති. මේ අය මූලිකවම පුවත්පතක් මිල දී ගන්නේ දැන්වීම් බැලීම සඳහාය. රැකියා ඇබෑර්තු, මංගල යෝජනා හෝ විකිණීමට ඇති මෝටර් රථ පිලිබඳ දැන්වීම් වෙනුවෙන්ම සිළුමිණ හෝ සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පත් මිල දී ගන්නා පාඨක පිරිසක් සිටින බව රහසක් නොවේ. මේ දෙවන පාරිභෝගික කණ්ඩායමට පුවත්පත් විකිණීමෙන්ද පුවත්පත් සමාගමකට යම් ලාභයක් ලැබෙන නමුත් දෙවන පාරිභෝගික වෙළඳපොළ තුළ ප්‍රධාන වශයෙන්ම ලාභ ලැබෙන්නේ දැන්වීම් පළකිරීම වෙනුවෙන් අයකරන ගාස්තු වලිනි.

දෙපැති වෙළඳපොළක අලෙවි කිරීම සඳහා භාණ්ඩයක් නිපදවීමේදී ලාභ වැඩිකරගැනීම සඳහා මේ වෙළඳපොළෙහි අංශ දෙක මැනවින් කළමනාකරණය කළ යුතුය. පුවත්පතක ඇති මුළු ඉඩ ප්‍රමාණයෙන් දැන්වීම් සඳහා වෙන් කරන ඉඩ ප්‍රමාණය වැඩි වන විට දෙවන පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම වැඩි වන නමුත් පළමු පාරිභෝගික කණ්ඩායම තුළ ඉල්ලුම අඩුවේ. පළමු කණ්ඩායම ප්‍රධාන පාරිභෝගික කණ්ඩායම බැවින් එවිට අලෙවිවන මුළු පිටපත් ගණනද අඩුවේ. මේ නිසා අඩුවන ලාභය දැන්වීම් ගාස්තු වලින් ආවරණය වේනම් ප්‍රශ්නයක් නැත. එහෙත්, සාමාන්‍යයෙන් වැඩිපුර දැන්වීම් ලැබෙන්නේ වැඩි පිටපත් ගණනක් විකිණෙන පුවත්පත් වලටය. ලුහුඬු දැන්වීම් කියවීමට පුවත්පත් මිලදී ගන්නා යම් පිරිසක් සිටියත් භාණ්ඩ හා සේවා ප්‍රචාරණ දැන්වීම් වලින් ඉලක්ක කෙරෙන්නේ ලිපි හෝ ප්‍රවෘත්ති කියවීම සඳහා පුවත්පතක් මිලදී ගන්නා පාඨකයින්වය. මේ නිසා දැන්වීම් ගාස්තු වලින් ලැබෙන ආදායම වැඩි කරගැනීමට වුවද දැන්වීම් සඳහා වෙන්කරන ඉඩ සීමා කර ආකර්ශනීය ලිපි හා පුවත් අවශ්‍ය ප්‍රමාණයට පළ කිරීමට සිදුවේ.

වාණිජ අරමුණකින් තොරව 'අතින් කයිට් කරගෙන' ලියන බ්ලොග් එකක් වුවද එක්තරා ආකාරයකින් දෙපැති වෙළඳපොළක් වෙනුවෙන් නිපදවන භාණ්ඩයකි. බොහෝදෙනෙකු (මාද ඇතුළුව) කියන්නේ තමන් ලියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් බවයි. එහෙත්, මේ කාටත් යම් පාඨක පිරිසක් අවශ්‍යය. යමෙක් බ්ලොගයක් ඕනෑම අයෙකුට කියවිය හැකි පරිදි විවෘතව තබන්නේ තමන් ලියන දෙය කිසියම් නොදන්නා පාඨක පිරිසක් වෙත අලෙවි කිරීමේ අරමුණිනි. කෙසේ වුවද, එක් එක් බ්ලොග්කරුවාට ළඟා වීමට අවශ්‍ය කරන පාඨක කණ්ඩායම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වෙනස්විය හැකිය. බ්ලොග්කරුවෙකුට තමන්ට අවශ්‍ය දෙය අවශ්‍ය පරිදි ලිවීමෙන්ද, එසේ ලියන දෙය වැඩි පිරිසක් විසින් කියවීමෙන්ද සතුටක් ලැබේ. මෙය බ්ලොගයක් විවෘතව තබන සියල්ලන්ටම පාහේ පොදු විය යුතුය. මෙහිදී තමන්ට අවශ්‍ය දෙය ලිවීමෙන් ලැබෙන සතුට පුවත්පතක් දැන්වීම් පළකර ලබන ආදායම වැනි දෙයකි.

ඇතැම් විට බ්ලොග් කරුවෙකු ලියන 'තමන්ට අවශ්‍ය දෙය' කියවන්නට කැමති පිරිස අතළොස්සකි. හරියටම තමන්ට අවශ්‍ය දෙයම නොවන නමුත් එයට බොහෝ කිට්ටු දෙයක් ලිවීමෙන් ඇතැම් විට මේ පාඨක පිරිස වැඩි කර ගත හැකිය. පාඨකයින් වැඩි කර ගැනීම වෙනුවෙන් තමන් ලියන දෙය හෝ ශෛලිය වෙනස් කිරීමේදී මේ දෙපැති වෙළඳපොළෙහි එක් අංශයකින් ලැබෙන ලාභය වැඩිවී තවත් අංශයකින් ලැබෙන ලාභය අඩුවේ. ඇතැම් අය පාඨක අවශ්‍යතා සලකමින් වැඩිපුර නම්‍යශීලි වෙති. තවත් අය මෙසේ නම්‍යශීලි වෙන්නේ ඉතා අඩුවෙනි.

ඉතා පැහැදිලිවම මගේ පාඨකයින් නිසා මම දිරිමත් වූයෙමි. බොහෝදුරට මා ලියූවේ මට අවශ්‍ය දේ වුවත්, මගේ ලිපි කියවන පිරිස මෙයට වඩා අඩු වීනම් මා මෙපමණ කෙටි කලක් තුළ දැනට ලියා පළකර ඇති ලිපිගණන නොලියනු ඇත. එනයින්, මා මගේ පාඨකයින්ගේ 'ඉල්ලුම' නිරීක්ෂණය කරමින් 'සැපයුම' වෙනස් කර තිබේ. එමෙන්ම, පාඨක ප්‍රතිචාර සලකමින් මගේ ලිපි වල විෂය පථය, ශෛලිය මෙන්ම වෙනත් තාක්ෂණික කරුණුද යම්තාක් දුරකට වෙනස් කර ඇත.

මේ වියුණුව ඇරඹීමට ආසන්නම හේතුවක් වූයේ ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් වත්පොත හරහා පලකළ සටහන් කිහිපයකට නොදන්නා පාඨකයින් රැසකගෙන් ලැබුණු ප්‍රතිචාරයි. පසුගිය  වසර ඇරඹෙන තුරුම ඉකොනොමැට්ටාගේ මැවුම්කරු විසින් ඔහුගේ පෞද්ගලික වත්පොත් ගිණුමේ මිතුරන් ලෙස තබා ගත්තේ ඔහු විසින් සැබෑ ජීවිතයේදී කිසියම් කලෙක ඇසුරු කළ ඇති අය පමණි. එසේ නොදන්නා අයගේ ඉල්ලීම් අනුමත නොකෙරිණි. එහෙත්, වත්පොත හරහා 'හොඳ මිනිසුන් සහ ගැහැණුන්' හමුවන විට මේ ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැර වීමට සිදු විය. මෙසේ එක් වූ කිහිප දෙනාගෙන් කිසිදු ගැටළුවක් මතු නොවූවත්, එවැනි ඉල්ලීම් ගොඩගැහෙද්දී එක් අතකින් ලියන දේ කියවන්නට කැමති අයට අවස්ථාවක් දීමේ උවමනාවේත්, අනෙක් අතින් පෞද්ගලික හා වෘත්තීය තොරතුරු නොදන්නා පුද්ගලයින් සමඟ බෙදාගැනීමට තිබුණු අකැමැත්තේත් ප්‍රතිඵලය වූයේ ඉකොනොමැට්ටා අනන්‍යතාවයේ සහ මේ වියුණුවේ උපතයි.

වියුණුව අරඹන විට කරන්නට අවශ්‍ය දෙය පිලිබඳ යම් අදහසක් විය. පළමු අරමුණ වූයේ, වරකට එක බැගින් මූලික ආර්ථික විද්‍යා මූල ධර්ම සරලව ඉදිරිපත් කරන ලිපි මාලාවක් ලිවීමයි. මෙයින් අපේක්ෂා කළේ පසුව වඩා ගැඹුරු කරුණු කතා කරන මට්ටමට වියුණුව පැවතුණහොත් කියන දේවල් නොතේරෙන්නට ඉඩ ඇති අයට සරල කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය වූ විට යොමු කළ හැකි පදනම් ලිපි මාලාවක් ගොඩ නඟා ගැනීමයි. මෙයට සම්බන්ධ නැති, දෙවන අරමුණ වූයේ බොහෝ දෙනෙකුට කියවා රස විඳින්නට තරම් දෙයක් ඇතැයි මා අවංකවම සිතූ සහ තවදුරටත් සිතන විවිධ වෘත්තීය, භූගෝලීය, සමාජ හා සංස්කෘතික ක්ෂේත්‍ර වල පැතිරුණු පෞද්ගලික අත්දැකීම් සටහන් කිරීමටය. මෙයින් දෙවන අරමුණ ලේඛකයාගේ පදනම නොදන්නා පිරිසක් අරභයා ලිවීමේදී නොගැලපෙන්නක් බව වැඩි කල් නොයාම පැහැදිලි වූ බැවින් ඒ ආකාරයේ ලිවූ ලිපි වුවද වැඩි ප්‍රමාණයක් පළ කෙරුණේ නැත. දෙවන අරමුණ මේ වන විට ප්‍රමුඛ අරමුණක් නොවේ.

පළමු අරමුණනම් බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මේ අරමුණ හා හොඳින් ගැලපෙන්නේ දැනට ලියා ඇති ලිපි වලින් අඩක් පමණ පමණක් පමණි. ඒ ලිපි වුවද නිශ්චිත පිළිවෙළකට ලියැවී නැත. මෙයට එක් හේතුවක් වූයේ පාඨකයින් රඳවා තබා ගැනීම සඳහා ඔවුන්ගේ රසඥතාවන් සලකමින් නම්‍යශීලි වීමයි. කෙසේ වුවද, මේ ලිපි බොහොමයක් අදාළ අරමුණ හා ගැටෙන ඒවා නොවේ. මේවා අතර හිස්තැන් පිරවීමෙන් ලොකු කලාලයක් වියන්නට බැරිකමක් නැත.

තෙසතියකට පමණ පෙර ඉකොනොමැට්ටාගේ මැවුම්කරු සිතුවේ වසර අවසානයේදී ඉකොනොමැට්ටා අනන්‍යතාවයට සමු දී මුල් අරමුණ පමණක් වෙනුවෙන් වෙන් වුණු වියුණුවක් අළුතින් ඇරඹිය යුතු බවයි. මේ ගැන පෙර දැනුම්දීමක් කිරීමට නොසිතුවත් පෙර සටහනකින් ඉබේම වාගේ ඒ ගැන ඉඟියක් පළ විය. එයට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් සහ වෙනත් අය පෞද්ගලිකව දැක්වූ ප්‍රතිචාර නිසා මේ අදහස නැවතත් වෙනස් විය. කාල වේලා ප්‍රශ්න ඇතත් ඉකොනොමැට්ටාගේ බොජුන්හල ලබන නවවසරේදීත් විවෘතව පවතිනු ඇත. ලිපි පළ වන වේගය අඩු විය හැකි වුවත් ආකෘතියේ සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇත. ඒ සමඟම ආර්ථික විද්‍යා විෂයයට අදාළ ලිපි වෙනුවෙන් ඇති නැඹුරුව නොගිලිහෙන පරිදි පවත්වා ගැනීම සඳහා යම් වෙනසක් කෙරෙනු ඇත.



ඔබ සැමට සුබ නව වසරක්!

සී යා නැක්ස්ට් යා...!!!

(Image: almostnakedanimals.wikia.com)

32 comments:

  1. සීයට සුභ පැතුම්........... නව වසරටත් සුභ පැතුම්.....

    ජයවේවා

    ReplyDelete
  2. බොහොම හොඳ ස්වයං අර්ථ කථනයක්. සති 33 ක අත්දැකීම තුළින් ඔබ කරුණු ගණනාවක් අවබෝධ කරගෙන තිබෙන බව පෙනෙනවා. ඉල්ලුමට සැපයුම දෙන න්‍යාය මා කිසිවිටකත් අනුගමනය කරන්නේ නැහැ. එසේ ලියනවානම්, ඉතා කෙටි කලකින් අතිවිශාල ජනප්‍රියත්වයක් ලබාගත හැකි, පහත් පෙළේ සම්ඵප්‍රලාප ලිවීම, මහා කජ්ජක් නෙවෙයි. යම් යම් සීමාවන් තුළ සිටිමින්, ඉල්ලුමට සැපයුම දීමයි මා අනුගමනය කරන පිළිවෙත. ඔබ තුළත් එය තිබෙන බව පෙනෙනවා.

    හරවත් ගැඹුරු ලිපි වැඩිපුර කියවන්නට නොලැබෙන්නේ, සිංහල බ්ලොග් ලෝකය තුළ පමණක්ද යන ගැටළුව මට ඇතිවූයේ, මට වටහාගත හැකි මට්ටමේ, ඉංග්‍රීසි බ්ලොග් අඩවි කියවීමෙන් පසුවයි. එවැනි අඩවිවල කෙරෙන සංවාද ද, බුද්ධි වර්ධනයට හේතුවනවා.

    ගැඹුරු හරවත් මාතෘකා සහිත බ්ලොග් අඩවි කීපයක් සිංහලෙන් ලියවුනත්, එවැනි අඩවි පාලකයන්, ජනප්‍රියත්වය, සිය ගණනක් පාඨක ප්‍රතිචාර, සින්ඩිකේටර වල ඉහලම තලය, අපේක්‍ෂා නොකරන නිසා, අවශ්‍ය අය, වටිනාකම දන්නා අය, එවැනි අඩවි වලට යනවා.

    ඔබ දන්නා විෂයය කරුණු, සරල භාෂාවෙන් ලිවීම තමයි කලයුත්තේ කියා, මා යෝජනා කරනවා. කතන්දර කියාදීමේ ශෛලියෙන් ලිවීමෙන්, ගැඹුරු විෂයය කරුණු, සරලව සහ වැඩි දෙනෙකුට අවබෝධ වන පරිදි, ඉදිරිපත් කළහැකි බව, මා අද්දැකීමෙන් දන්නවා.

    ඉදිරියට යන්නට ඔබට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ පැතුමට සහ යෝජනා වලට ස්තුතියි, විචාරක. මමත් හිතන්නේ ඔබ කියන ශෛලිය වඩා හොඳ බවයි. ඇතැම් ලිපි පමණක් කරුණු වල ස්වභාවය අනුව තරමක් බරට ලියනවා. ඔබට සුබ නව වසරක්!

      Delete
  3. අර්ථික විද්‍යාව හදාරා තිබුණත් දෙපැති වෙලඳ පොළ ගැන අසා තිබුණේ නැහැ. බ්ලොග් අඩවිය නව වසරේත් පවත්වාගෙන ගන බව ඇසීම ඉමහත් සතුටට කාරණයක්. ඔබට 2016 සැම අතින්ම තෘප්තිමත් වසරක් වේවා !

    ReplyDelete
  4. නව වසරට සුබ පැතුම් ඉකෝ!

    ReplyDelete
    Replies
    1. නැවතත්, ඔබටත් සුබ නව වසරක්, රයිගම්!

      Delete
  5. නව වසරටත් ඔබේ ශතකයටත් සුබ පැතුම්!. ලබන වසර සදහාත් බොජුන්හල පවත්වාගෙන යන බව දැනගන්නට ලැබීම සතුටක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, සඳ වියමන්. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  6. නිතර කමෙන්ට් නොකලත් මම බොහොම කැමැත්තෙන් කියවන බ්ලොගයක්. සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙල්ඩන් ෆෝ 'සීයා'

      Delete
    2. ස්තුතියි, තිසර. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  7. ඊළග අවුරුද්දෙ හම්බෙමු එහෙනං...
    100 ක් කියන්නෙ සෙල්ලං නෑ

    ReplyDelete
    Replies
    1. ඔවු, මහේෂ්, සෙල්ලං නෑ. එහෙනං හම්බවෙමු! සුබ නව වසරක්!

      Delete
  8. සීයට සුබ පැතුම්.
    ඉකොනොටත් බොජුන්හලට ගොඩවදින සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  9. පිස්සු නම් කෙලින්න එපා... මේක බ්ලොග් සම්පතක්... මට මේල් එකක් දානවද පොඩි උවමනාවකට... මම මේල් එකක් දැම්මා පොඩ්ඩක් චැක් කොරනවයි...

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක්, මාතා! මේල් එකට උත්තර දැම්මා.

      Delete
  10. විශාල ලියන්නන් පිරිසක් සිටියත් තවමත් බ්ලොග් අවකාශය "හිඩැස්වලින්" තොර නෑ. ඉකොනොමැට්ටා පිරෙව්වෙත් ඉන් එකක්. කමෙන්ටුවක් දැම්මත් නැතත් කියවන බ්ලොග් අඩවියක් මේක.
    සීයටත් නව වසරටත් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රාජ්. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  11. මුලින්ම නව වසරට සුබ පැතුම් ඔබ ඇතුළු සියලු බ්ලොග් ලියන්නන්ටත් කියවන්නන්ටත්.

    මේක තමා මම කියවන්න කැමතිම බ්ලොග් එක. මුලින්ම ඉකොනොමැට්ටා කියවන්න කැමති උනේ මේක ආර්ථික විද්යාව පිලිබද සිංහලෙන් ලියවුනු ලස්සන බ්ලොග් එකක් නිසා කොහොම උනත් ලැබුණු අනෙකුත් බොජුන් වලටත් මගේනම් කිසිම අකමැත්තක් නෑ. නව වසරේ ආර්ථික විද්යාව ගැන වැඩි බරක් තියන ඒක ගැන අහන්නත් සතුටුයි.

    (ආර්ථික විද්යාව ගැන ලියන්න අලුත් බ්ලොග් එකක් ආරම්භ කරනවානම් ඒක අදට වඩා හෙටට ප්‍රයෝජනවත් වෙන දෙයක් වේවි)

    ReplyDelete
    Replies
    1. ඔබේ ත්‍යාගශීලි කමෙන්ටුවට ස්තුතියි, තිලංක. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  12. බෝල් 33 ට ලකුණු සීයයි. බ්ලොග් වර්ල්ඩ් රෙකොර්ඩ් එකක්ද මන්දා අෆ්ෆා.. :)
    ඈස් යූසුවල්.. දෙපැති වෙළඳපොල ගැන පත්තර හා බ්ලොග් උදාහරණ හරහා හොඳින් තේරුම් ගත්තා.. තැන්කියු වේවා!

    ඕකේ දෙන්.. සී යා ටූ දෙයා.. හෑව් අ බ්ලාස්ට් ඩුඩ්.. හැපී 2016..!!

    ReplyDelete
    Replies

    1. සෙන්චරියනම් රෙකෝඩ් එකක් නෙමෙයි. ඒත් ලිපි වල දිග සහ කරුණු එක්ක බැළුවහම ලිවීම වගේම සැලකිය යුතු පිරිසක් එක දිගට කියවීමට කාලය වැය කිරීමත් සැලකිය යුතු දෙයක්. ඔබටත් සුබ නව වසරක්, කමි !

      Delete
  13. සුබ නව වසරක් වේවා ඉකොනොමැට්ටා මචං !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්, පත්තරේ!

      Delete
  14. සුභ නව වසරක් වේවා..!!!!!!!!!!!!!!

    ReplyDelete
  15. Econ,
    Wish you a happy
    n
    peaceful new year....!

    ReplyDelete
  16. ඉතාම වේගවත් මෙන්ම චමත්කාරජනක වු පිති හරඹයකින් නෙලා ගත් ශතකයට සුබ පැතුම්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: