වෙබ් ලිපිනය:

Thursday, February 27, 2025

සිංගප්පූරු අයවැය - 2024


පසුගිය (2024) වසරේදී සිංගප්පූරු රජය විසින් වසර මුලදී ඇස්තමේන්තු කළ ඩොලර් බිලියන 108.64ට වඩා ඩොලර් බිලියන 7.98කින් වැඩි ඩොලර් බිලියන 116.62ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය ඉලක්කගත ආදායමට වඩා 7.3%කින් වැඩි ආදායමක්. මෙම මුදල එරට දදේනියෙන් 15.6%ක්. පහත තිබෙන්නේ එම ආදායම එකතු වී ඇති ආකාරයයි. සියලුම සංඛ්‍යා සිංගප්පූරු ඩොලර් බිලියන වලින් වන අතර වරහන් තුළ තිබෙන්නේ දදේනියෙන් කොපමණද යන්නයි. 

සමාගම් ආදායම් බදු - 30.88 (4.1%)

පුද්ගල ආදායම් බදු - 18.97 (2.5%)

භාණ්ඩ හා සේවා බදු - 20.61 (2.8%)

වත්කම් බදු - 6.70 (0.9%)

වාහන බදු හා අධිභාර - 9.06 (1.2%)

තීරු බදු හා කාබන් බදු - 3.45 (0.5%)

රඳවා ගැනීමේ බදු - 2.28 (0.3%)

සූදු හා ඔට්ටු බදු - 3.23 (0.4%)

අනෙකුත් බදු - 9.12 (1.2%)

මුද්දර ගාස්තු - 6.36 (0.9%)

අනෙකුත් ගාස්තු - 4.58 (0.6%)

අනෙකුත් ආදායම් - 1.39 (0.2%)

එකතුව - 116.62 (15.6%)


සිංගප්පූරු රජය විසින් අරමුදල් වැය කර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

සෞඛ්‍යය - 17.94 (2.5%)

අධ්‍යාපනය - 14.58 (2.0%)

ජාතික සංවර්ධනය - 10.05 (1.2%)

අනෙකුත් සමාජ සංවර්ධන කටයුතු - 13.37 (1.7%)

ආරක්ෂාව - 20.85 (2.8%)

ප්‍රවාහනය - 14.68 (2.0%)

රාජ්‍ය පරිපාලනය - 4.09 (0.5%)

අනෙකුත් කටයුතු - 17.35 (2.3%)

එකතුව - 112.91 (15.1%)


මේ අනුව, සිංගප්පූරුව 2024 වසර තුළ ඩොලර් බිලියන 3.7ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මෙය එරට දදේනියෙන් 0.5%කට සමාන මුදලක්. 

ලංකාව විසින් ඉලක්ක කරන්නේ දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමටනම්, සිංගප්පූරුව දදේනියෙන් 0.5%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කිරීම ඒ තරම් ලොකු දෙයක්ද?

දෙරට අතර වෙනස වන්නේ සිංගප්පූරු රජය විසින් කාලයක් තිස්සේ දිගින් දිගටම මෙවැනි ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වාගෙන ගොස් තිබීමයි. ඒ මගින් ඉතිරි වන අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කර තිබෙන අතර, ඉහත සඳහන් බදු හා බදු නොවන ආදායම් වලට අමතරව එම ආයෝජන වල ප්‍රතිලාභ ලෙසද සිංගප්පූරු රජයට විශාල ආදායමක් ලැබෙනවා. 2024දී එසේ ලැබුණු ශුද්ධ ප්‍රතිලාභ මුදල ඩොලර් බිලියන 24.02ක් හෙවත් දදේනියෙන් 3.2%කට සමාන මුදලක්. ඒ නිසා, සිංගප්පූරුවේ සමස්ත අයවැය අතිරික්තය ප්‍රාථමික අයවැය අතිරික්තයට වඩා වැඩියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙන බැවින් සිංගප්පූරු රජයට මෙම ආයෝජන ප්‍රතිලාභ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, එම රජය විසින් කරන්නේ මෙම අරමුදල් නැවත ආයෝජනය කිරීමයි.

ලංකාවේ තත්ත්වය තනිකරම මෙහි අනෙක් පැත්තයි. ඊට හේතුව වන්නේ ඊනියා 76-අවුරුදු සාපය කෙසේ වුවත්, ලංකාවේ 69-අවුරුදු සාපයයි. පසුගිය දෙවසර, යහපාලන කාලයේ දෙවසරක්, පණහ දශකයේ දෙවසරක් සහ තවත් එක් වසරක් හැරුණු විට ඉතිරි වසර 69 තුළම ලංකාව වාර්තා කර තිබෙන්නේ හිඟ ප්‍රාථමික ශේෂ බැවින්, සිංගප්පූරු රජය විසින් දිගින් දිගටම වත්කම් එකතු කර ගනිද්දී ශ්‍රී ලංකා රජය විසින් ණය කන්දක් ගොඩ ගසාගෙන තිබෙනවා. 

සිංගප්පූරු රජයේ වත්කම් වලින් වාර්ෂිකව ප්‍රතිලාභ ලැබෙද්දී ශ්‍රී ලංකා රජයට වාර්ෂිකව ණය පොලී ලෙස විශාල මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන ගියත් ලංකාවේ සමස්ත අයවැය ශේෂය හිඟයක්. ඒ හිඟය පියවා ගැනීම සඳහා වාර්ෂිකව තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ තමයි ලංකාවේ හැට නමයේ සාපය!

Tuesday, February 25, 2025

රාජ්‍ය අයවැය 2025 - වියදම් පාර්ශ්වය


පෙර ලිපි වලින් අප රාජ්‍ය අයවැයෙහි ආදායම් පාර්ශ්වය ගැන කතා කළා. දැන් අපි වියදම් පැත්ත දෙස බලමු. ආදායම් පැත්ත ගැන විමසීමේදී අප දුටුවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව ලඟා කර ගත යුතු අවම ආදායම් ඉලක්කය වෙත යා හැකි පරිදි අයවැය ඇස්තමේන්තු සකසා ඇති බවයි. වියදම් පැත්තේ දැකිය හැක්කේ එම වැඩ පිළිවෙළ අනුව සිදු කළ හැකි උපරිම වියදමම වියදම් කෙරෙන පරිදි ඇස්තමේන්තු සකසා ඇති ආකාරයයි. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව මෙන්ම දැන් රටේ නීතියක්ව පවතින රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණත අනුවද රජයේ වියදම් සීමා වෙනවා. ණය හා පොලී ගෙවීම් හැර එම වියදම දදේනියෙන් 13.0% ඉක්මවිය නොහැකියි. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවට මෙම සීමාව ඉහළ දමා ගැනීම අපහසු කාර්යයයක් නොවුවත් මෙහිදී එවැන්නක් සිදු වී නැහැ. යම් හෙයකින් මෙම සීමාව ඉහළ දමා ගත්තේ වුවද, සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි එකඟතා අනුව, වියදම් වැඩි කළ හැක්කේ ආදායම්ද අනුරූපී ලෙස වැඩි වන්නේනම් පමණයි. 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ අනුව, ප්‍රාථමික අයවැය අතිරික්තය අවම වශයෙන් දදේනියෙන් 2.3%ක් විය යුතු බැවින්, 13.0% වියදම් සීමාව සීමාකාරී බාධකයක් වන්නේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 15.3% ඉක්මවුවහොත් පමණයි. රාජ්‍ය ආදායම ඊට වඩා අඩු, 15.1% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක ක‍ර තිබෙන නිසා වියදම් කළ හැකි උපරිම සීමාව කොහොමටත් 13.0% මට්ටමට පහළින් 12.8% මට්ටමේ නවතිනවා. 

ඉහත සඳහන් සීමාවට පොලී ගෙවීමේ වියදම් සහ ණය ආපසු ගෙවීම් ඇතුළත් වන්නේ නැහැ. සීමාව බලපාන්නේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් වලට සහ ප්‍රාග්ධන වියදම් වලට පමණයි.

පහත තිබෙන්නේ ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය වියදම.

පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,588.7

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,525.7

රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 4,630.4

එකතුව - රුපියල් බිලියන 11,754.9


මෙම (2025) වසරේ වියදම් ඇස්තමේන්තු පහත පරිදියි.

පුනරාවර්තන වියදම් - රුපියල් බිලියන 5,920.0

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,315.0

රාජ්‍ය ණය ආපසු ගෙවීම් - රුපියල් බිලියන 1,600.0

එකතුව - රුපියල් බිලියන 8,835.0

රාජ්‍ය ණය ආපසු ගෙවීම් වල විශාල වෙනසින් පෙන්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ බැඳුම්කර හුවමාරුවේ බලපෑමයි. එම කොටස ඉවත් කළ විට, ඉතිරි රාජ්‍ය වියදම් රුපියල් බිලියන 7,124.5 සිට රුපියල් බිලියන 7,235.0 දක්වා රුපියල් බිලියන 110.6කින් වැඩි වී තිබෙනු දැකිය හැකියි. මෙය 1.6%ක, සාපේක්ෂව සුළු, වැඩි වීමක්. පොලී ගෙවීම් රුපියල් බිලියන 200.9කින් වැඩි වී තිබීම සැළකු විට, සමස්තයක් ලෙස ප්‍රාථමික වියදම් රුපියල් බිලියන 90.4කින් පහත වැටී තිබෙනු දැකිය හැකියි. 

වියදම් පැත්ත දෙස බැලූ විට නිරීක්ෂණය කළ හැකි වැදගත් කරුණක් වන්නේ පුද්ගල පඩිනඩි වියදම් වැඩිවීම රුපියල් බිලියන 3.1ක "සොච්චමක්" පමණක් බවයි. එය ප්‍රතිශතයක් ලෙස 0.4%ක වැඩිවීමක් පමණයි. සංක්ෂිප්ත ලෙස කිවහොත්, මෙම අයවැයෙහි අනවශ්‍ය වියදම් වැඩිවීමක් දැකිය නොහැකියි. ඒ වෙනුවට, මෙහි පෙනෙන්නේ බදු අය කිරීම් සීමා කර ගන්නා අතර වියදම් ආදායම් හා ගලපා ගැනීමේ ප්‍රවේශයක්. එය කිසිසේත්ම නරක ප්‍රවේශයක් නෙමෙයි. 

Monday, February 24, 2025

හිතන තරම් වාහන ආනයන සිදු නොවුනොත්?


වාහන ආනයනයට ඉඩ දුන්නත්, ඉහළ බදු නිසා ලොකුවට වාහන ආනයනයක් සිදු වෙන එකක් නැද්ද? බදු අඩු කිරීමේ ඉඩකඩක් තිබෙන සේ සලකා වාහන ගන්න ඉන්න අය එය ප්‍රමාද කරයිද? වාහන ආනයනය හිතපු තරමට සිදු නොවුනොත් රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න බැරි වෙයිද? 

ඉහත ප්‍රශ්න කිහිප දෙනෙකු විසින්ම මතු කරලා තිබුණා. 

පහත තිබෙන්නේ පසුගිය වසර වල පුද්ගලික වාහන ආනයනය වෙනුවෙන් වැය කළ විදේශ විණිමය ප්‍රමාණ ඩොලර් මිලියන වලින්. 

2013 - 582.2

2014 - 896.7

2015 - 1359.6

2016 - 794.8

2017 - 772.7

2018 - 1573.5

2019 - 815.7

2020 - 282.9

2021 - 12.8

2022 - 11.7

2023 - 27.7

2024 - 66.2

මේ දත්ත අනුව පෙනෙන පරිදි, ආනයන තහනම් කරන්න පෙර 2015-2019 වසර පහ තුළ සාමාන්‍ය වශයෙන් වසරකට ඩොලර් මිලියන 1063.3ක වාහන ආනයනය කර තිබෙනවා. 2025දී එම ප්‍රමාණය ආනයනය කරනු ඇතැයි සිතුවොත්, 2024ට සාපේක්ෂව ඩොලර් බිලියනක පමණ අමතර වාහන රටට එනවා. 

සාමාන්‍යයෙන් වාහන වල ආනයනික මිල වසරින් වසර ඉහළ යනවා. විශේෂයෙන්ම වසංගත කාලයෙන් පසුව වාහන මිල එක වරම සැලකිය යුතු ලෙස ඉහළ ගියා. ඒ නිසා, වසංගත කාලයට පෙර ආනයනය කළ වාහන ප්‍රමාණයම ආනයනය කරන්න දැන් වැඩි ඩොලර් ප්‍රමාණයක් අවශ්‍යයි. 

ඊටත් වඩා වැදගත් කාරණය මේ විදිහට වාහන ආනයනයට ඉඩ දෙන්නේ වසර හතරකට පමණ පසුව වීමයි. ඒ නිසා, කාලයක් වාහනයක් ගන්න බලා ගෙන හිටපු අය මේ වෙලාවේ වාහන මිල දී ගැනීමේ ඉඩක් තිබෙනවා. මේ හේතු නිසා, 2025 වාහන ආනයන ප්‍රමාණය ඩොලර් බිලියනය ඉක්මවා යාමේ සැලකිය යුතු අවදානමක් තිබෙනවා (upside risk). 

අනෙක් පැත්තෙන් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තිබෙනවා. බදුත් යම් තරමකින් ඉහළ ගොස් තිබෙනවා. ඔය දෙකටම අමතරව රටේ මුදල් සැපයුම පාලනය වී ඉල්ලුම සීමා වී තිබෙනවා. මේ කරුණු වාහන ආනයනය අධෛර්යමත් කරනවා (downside risk). ඒ නිසා, හිතන තරම් ලොකු වාහන ආනයනයක් සිදු නොවෙන්න පුළුවන්.

ඔය දෙපැත්තම තියෙන නිසා ඉල්ලුම ගැන හරියටම දැනගන්න වෙන්නේ මාස කිහිපයක් ගියාට පස්සෙයි. එතෙක් වැඩිපුර සැලකිලිමත් විය යුත්තේ වාහන ආනයන අඩු වීමේ අවදානම ගැනද නැත්නම් වාහන ආනයන වැඩි වීමේ අවදානම ගැනද?

රටේ ආර්ථිකය නැවත පණ ගසා නැගිට්ටවන්න වාහන ආනයන අවශ්‍යයි. ඒ වගේම, එයින් රාජ්‍ය ආදායම් ඉලක්කයට යන එකත් පහසු වෙනවා. නමුත් වාහන ආනයනය නවත්වන්න සිදු වුනේ රටේ විදේශ විණිමය අර්බුදයක් ඇති වූ නිසා. මේ වෙද්දී  විදේශ විණිමය අර්බුදය පාලනය කරගෙන ඇතත්, තිබෙන විදේශ සංචිත රැකගන්නා සහ තවත් වර්ධනය කරගන්නා අතර ඩොලරයක මිල ස්ථාවරව තියා ගැනීම තව දුරටත් ප්‍රමුඛ ඉලක්කයක්. විදේශ අංශයේ තුලනය නැති කරගෙන ආර්ථිකය ඉදිරියට තල්ලු කරන්න බැහැ.

ඩොලර් බිලියනයක පමණ වාහන ආනයන ආර්ථිකයට දරා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි වුනොත් ඩොලරයක මිල මත යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එය තෙල් මිල, විදුලි ගාස්තු, ප්‍රවාහන ගාස්තු ආදිය හරහා උද්ධමනය බවට පත් වෙනවා. ඒ වගේම, විදේශ ණය හා පොලී ගෙවීමේ රුපියල් වියදම ඉහළ ගිහින් අයවැය මතද පීඩනයක් ඇති වෙනවා. වාහන ආනයන සීමා වූ තරමට මේ අවදානම් පහළ යනවා. 

ඉහත හේතු නිසා, ඕනෑවට වඩා වාහන ආනයන සිදු වීමේ අවදානම ගැන රජය විසින් මුලින්ම හිතන්න වෙනවා. යම් හෙයකින් එවැනි තත්ත්වයක් ඇති වුනොත්, බදු තවත් වැඩි කරලා වාහන ආනයනය පාලනය කිරීමක් කරන්න රජය පෙළඹෙන්න පුළුවන්. ඔය වගේ කතාවක් මහ බැංකු අධිපති විසින්ද කියා තිබුණා. 

හැබැයි ඔය වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ වාහන ආනයන විශාල ලෙස වැඩි වුනොත්. එහෙම නොවී වාහන ආනයන ඉතා අඩුවෙන් සිදු වුනොත් වෙන්නේ කුමක්ද?

ආර්ථික අර්බුදයට පෙර වසරකට ඩොලර් බිලියනය ඉක්මවන වාහන ආනයන සිදු වී තිබීම සැලකූ විට නරකම තත්ත්වයක් යටතේ වුවත් ඩොලර් මිලියන පන්සීයකවත් වාහන ආනයනයක් සිදු නොවෙන්න හේතුවක් නැහැ. බදු ප්‍රමාණය 300%ක් සේ සැලකුවොත් එයින් රුපියල් බිලියන 450ක පමණ ආදායමක් එනවා. රාජ්‍ය ආදායම් ඉලක්කයට යන්න ඒ ප්‍රමාණය ඇති. 

බදු අඩු කරලා, ඒ මගින් වාහන ආනයන වැඩි කරගෙන, රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න උත්සාහ කරනවා කියන එක හරියන ක්‍රමයක් නෙමෙයි. බදු අඩු කරලා වාහන ආනයන වැඩි කරන්නනම් දැනෙන්නම බදු අඩු කරන්න වෙනවා. එහෙම කරලා වාහන ආනයන වැඩි වුනත් අවසාන වශයෙන් රාජ්‍ය ආදායම් වල ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, රාජ්‍ය ආදායම් පැත්තෙන් බලනවානම්, බදු දැනට තියෙන මට්ටමේම තියා ගන්න එකයි වඩා හොඳ විසඳුම. 

රාජ්‍ය ආදායම් ගැන හිතනවානම්, පරණ වාහන ගෙන්වන්න දීම වැඩ කරන විසඳුමක්. නමුත්, පරණ වාහන ගෙන්වීම සීමා කිරීමට හේතු වූ තත්ත්වයන් එලෙසම තියෙනවා. ඇත්තටම රටේ තියෙන්නේ වසර තුන හතරකින් අලුත් වාහන නොපැමිණීමේ ප්‍රශ්නයක් මිසක් වාහන මදි වීමේ ප්‍රශ්නයක් නෙමෙයි.

වාහන ආනයන අඩු වීමේ සහ වැඩි වීමේ අවදානම් කිරා මැන බැලුවට පස්සේ අඩු වීමේ ලොකු අවදානමක් මට පෙනෙන්නේ නැහැ. ඒ නිසාම, රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යා නොහැකි වීමේ අවදානමක් පේන්නෙත් නැහැ. මේ කරුණු එක්ක බලද්දී ඉදිරි කාලයේදී වාහන ආනයන බදු අඩු වෙන්න හේතුවක් පෙනෙන්නේත් නැහැ. 

Sunday, February 23, 2025

ඉදිරි වසරේ ආදායම් ඉලක්කය

සාර්ව ආර්ථික ස්ථායීකරණ වැඩසටහන අනුව, ඉදිරි (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%කට නොඅඩු ආදායමක් ඉපැයිය යුතුයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය 10%කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර ඉහත අවම ඉලක්කය කරා යාම සඳහා අවශ්‍ය මුදල උපයා ගැනීම ඉලක්ක කර මෙවර අයවැය ඇස්තමේන්තු සකස් කර තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 5,126.0ක්.

මෙම (2024) වසරේ අපේක්ෂිත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,237.9ක් සේ ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ තවත් රුපියල් බිලියන 888.0කින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්නට සිදු වෙනවා. ඒ සඳහා ආණ්ඩුවේ සැලසුම කුමක්ද?

ඉහත මුදලින් රුපියල් බිලියන 885.4ක්ම එකතු කර ගැනීමට අපේක්ෂා කර තිබෙන්නේ බදු ආදායම් වැඩි කර ගැනීම මගිනුයි. බදු නොවන ආදායම්, ප්‍රදාන සහ පළාත් සභා ආදායම් වැඩිවීමට නියමිතව තිබෙන්නේ රුපියල් බිලියන 2.6කින් පමණයි. මේ අනුව, අපේක්ෂිත මුළු ආදායම් වැඩි වීමෙන් 99.7%ක්ම පැමිණිය යුත්තේ බදු ආදායම් ලෙසයි. (මෙහිදී අප‍ට බදු ආදායම් වලින් පමණක් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව දිගින් දිගටම විවේචන සිදු කළ වත්මන් ආණ්ඩුවේ එක්තරා නියෝජ්‍ය ඇමති වරයෙකු සිහි වී මද සිනහවක් පහළ වීම නොවැලැක්විය හැකියි.)

ඉහත සඳහන් රුපියල් බිලියන 885.4ක අමතර බදු ආදායම එකතු කර ගැනීමට අපේක්ෂා කරන්නේ කෙසේද?

අයවැය ඇස්තමේන්තු දෙස බැලූ විට පෙනී යන පළමු කරුණ වන්නේ සෘජු බදු අඩු කොට වක්‍ර බදු වැඩි කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි. මෙය මැතිවරණ වලට පෙර ආණ්ඩුවට සම්බන්ධ අය පුනරුච්ඡාරණය කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක්. 2024දී 27.7%ක් වූ සෘජු බදු අනුපාතය 2025දී 25.4% දක්වා අඩු වීමට නියමිතව ඇති අතර වක්‍ර බදු අනුපාතය 72.3% සිට 74.6% දක්වා ඉහළ යනවා. 

දෙවන කරුණ හා වඩා වැදගත් නිරීක්ෂණයක් සේ සටහන් කළ හැක්කේ වැඩි වන බදු ආදායමෙන් තුනෙන් දෙකක් පමණම ආනයන මත පදනම්ව ඇති බවයි. එයින් විශාල කොටසක් වාහන ආනයනය නිසා ලැබෙන බදු සේ සැලකිය හැකියි. එමෙන්ම, උපයන විට ගෙවීම් බද්ද ලිහිල් කිරීම නිසා අහිමි වන රුපියල් බිලියන 41.6 ඉක්මවන රුපියල් බිලියන 66.2ක මුදලක් රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම මගින් උපයා ගන්නට සැලසුම් කර ඇති ආකාරයද දැකිය හැකියි. 

දළ ගණනයක් ලෙස ඩොලර් බිලියනයක වාහන ආනයන වසර තුළ සිදු වී එමෙන් තුන් ගුණයකට සමාන බදු ආදායමක් රජයට ලැබුණහොත්, ඩොලරය රුපියල් 300 සේ සැලකූ විට, රජයට රුපියල් බිලියන 900ක බදු ආදායමක් හිමි විය යුතුයි. බදු ආදායමේ අපේක්ෂිත වර්ධනය රුපියල් බිලියන 885.4ක් පමණක් නිසා එම ඉලක්කයට යාම සඳහා ඩොලර් බිලියනයක වාහන ආනයන සිදු විය යුතු නැහැ. වෙනත් ක්‍රම වලින්ද බදු ආදායම් ඉහළ යන නිසා, ඩොලර් මිලියන 600-700ක පමණ වාහන ආනයන ඒ සඳහා ප්‍රමාණවත් විය හැකියි. ඒ නිසා, 2025 රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යාම අපහසු දෙයක් බැව් පෙනෙන්නේ නැහැ. 

Saturday, February 22, 2025

2024 අයවැය පිළිබද පසු විපරමක්...


මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. 

ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ විදිහට වසරක කාලයක් සඳහා අයවැය හදන්නේ මැදිකාලීන සහ දිගුකාලීන ඉලක්කද සහිතව එම ඉලක්ක හා ගැලපෙන විදිහටයි. 

කොහොම වුනත්, ලංකාවේ අයවැය ඉතිහාසයේ පසුගිය දශක කිහිපය දෙස බැලුවොත් මේ අයවැය ඉදිරිපත් කිරිල්ල විහිළුවක් වෙලයි තිබුණේ. ආදායම් ඇස්තමේන්තු ඉදිරිපත් කළත්, ප්‍රායෝගිකව ඒ ඉලක්ක ලඟා කර ගැනීමක් සිදු වුනේ නැහැ. ඒ වගේම, වියදම් ඉලක්ක තිබුණත්, වියදම් ඒ ඉලක්ක වලට සීමා වුනේ නැහැ. එහෙම බලද්දී, 2024 කියන්නේ බොහෝ දුරට අයවැය ඉලක්ක ලඟා කරගත් වසරක් කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ, ඇත්තටම අවශ්‍යනම් සෑහෙන තරම් නිවැරදිව ආදායම් හා වියදම් ඇස්තමේන්තු හදාගන්න බැරිකමක් නැහැ කියන එක.

පසුගිය වසරේ අයවැය සකස් කරද්දී දිගුකාලීන ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකාව 2048දී සංවර්ධිත රාජ්‍යයක් බවට පක් කිරීමයි. සමහර අයට මේ වැඩේ මීට වඩා හදිසියෙන් කරන්න අවශ්‍ය වෙලා තිබුනා වගේම 2048 ඉලක්කය විහිළුවක් වෙලා තිබුණා. නමුත්, ඔය 2048 ඉලක්කය වුනත් පහසුවෙන් ලඟා කරගත හැකි ඉලක්කයක් නෙමෙයි. 


කෙටිකාලීන ඉලක්ක ලෙස ඉදිරිපත් කර තිබුණේ මේවායි.

1. 2024දී ආර්ථිකයේ 1.8%ක වර්ධනයක් අත් කර ගැනීම 
2. උද්ධමනයේ සාමාන්‍ය අගය තනි ඉලක්කමක මට්ටමේ පවත්වා ගැනීම 
3. විරැකියා මට්ටම 2024දී 5%ට වඩා අඩු අගයක පවත්වා ගැනීම 
4. විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.

ආර්ථික වර්ධනය 5% පමණ මට්ටමකට යා හැකි බවයි මේ වෙද්දී පෙනී යන්නේ. වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස උද්ධමනය 1.2% වැනි මට්ටමකට අඩු වෙලා. විරැකියා අනුපාතය දිගටම තිබුණේ 5% මට්ටමට පහළින්. තුන්වන කාර්තුවේදී එය 4.1%යි. වාහන ආනයන වලට ඉඩ දීමෙන් පසුවද විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තියෙනවා. මේ හැම දෙයකින්ම පෙනෙන්නේ නිවැරදි රාජ්‍යමූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිඵල. 

පසුගිය වසර සඳහා අයවැය ඉලක්ක හදා තිබුණේ ඉහත සාර්ව ආර්ථික ඉලක්ක හා ගැලපෙන විදිහටයි. කෙටුම්පත් අවස්ථාවේ සිට වරින් වර අයවැය ඇස්තමේන්තු සුළු වශයෙන් වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා, විවිධ ලේඛණ වල තිබෙන ඇස්තමේන්තු හරියටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම වියදම් පැත්ත විවිධ ලේඛණ වල වෙනස් ආකාර වලින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා, සංසන්දනයක් කරන එක ටිකක් අසීරු වැඩක්. ආදායම් පැත්තේ එවැනි වෙනස්කම් අඩුයි. 

පහත තිබෙන්නේ අනුමත අයවැය ඇස්තමේන්තු අනුව 2024 රාජ්‍ය ආදායම. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලින්.

2024 රාජ්‍ය ආදායම - අනුමත ඇස්තමේන්තු 
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 507.9
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,215.6
බලපත්‍ර ගාස්තු ආදිය = 16.5
ආදායම් හා ලාභ මත බදු = 1,080.0
බදු නොවන ආදායම් = 324.0
ප්‍රදාන = 20.0
පළාත් සභා ආදායම් = 78.2
එකතුව = 4,242.2

මෙම වසරේ අයවැය කෙටුම්පතේ ඇති ප්‍රතිශෝධිත ඇස්තමේන්තු අනුව, ඉහත ඉලක්ක ලඟා කර ගෙන තිබෙන්නේ පහත පරිදියි.

2024 රාජ්‍ය ආදායම - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු
ජාත්‍යන්තර වෙළඳාම මත බදු = 481.3
දේශීය භාණ්ඩ හා සේවා මත බදු = 2,177.6
බලපත්‍ර ගාස්තු ආදිය = 19.5
ආදායම් හා ලාභ මත බදු = 1,026.2
බදු නොවන ආදායම් = 388.9
ප්‍රදාන = 60.0
පළාත් සභා ආදායම් = 84.4
එකතුව = 4,237.9

අනු කාණ්ඩ වල අඩු වැඩිවීම් තිබුණත්, සමස්තයක් ලෙස ආදායම් ඉලක්කයෙන් 99.9%ක් එකතු කරගෙන තිබෙනවා.

වියදම් පැත්තෙන් වඩා වැදගත් පුනරාවර්තන වියදම් කොටසයි. එයින් සැලකිය යුතු කොටසක් පොලී වියදම්. 

2024 රාජ්‍ය වියදම් - අනුමත ඇස්තමේන්තු 
පොලී වියදම් = 2,651.0
පුද්ගල පඩිනඩි = 799.2
අනෙකුත් පුනරාවර්තන වියදම් = 1,848.5
ප්‍රාග්ධන වියදම් = 1,709.8
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,268.4
එකතුව = 11,276.8

2024 රාජ්‍ය වියදම් - ප්‍රතිශෝධිත ඇස්තමේන්තු  
පොලී වියදම් = 2,749.1
පුද්ගල පඩිනඩි = 744.7
අනෙකුත් පුනරාවර්තන වියදම් = 2,104.9
ප්‍රාග්ධන වියදම් = 1,525.7
රාජ්‍ය ණය ආපසු ගෙවීම් = 4,630.4
එකතුව = 11,754.9
 
මේ අනුව, වියදම් පැත්තේ රුපියල් බිලියන 478.1ක වැඩි වීමක් පේනවා. එහෙත්, එයින් රුපියල් බිලියන 362.0ක් වැඩි වී තිබෙන්නේ මුලින් ඇස්තමේන්තු කළාට වඩා වැඩියෙන් ණය ආපසු ගෙවූ නිසා. තවත් රුපියල් බිලියන 98.10ක් අමතර පොලී ගෙවීම්. මේ කොටස් දෙකේ එකතුව රුපියල් බිලියන 460.1ක්. අනෙකුත් වියදම් වැඩි වීම රුපියල් බිලියන 17.9ක් පමණයි. ඒ අනුව, එම කොටස මුල් ඇස්තමේන්තුවට සාපේක්ෂව 100.4%ක් වී තිබෙනවා. එය සුලු වැඩිවීමක්. 

සමස්ත චිත්‍රය දෙස බැලු විට පෙනී යන්නේ 2024 අයවැය ඉලක්ක ඉතා කිට්ටුවට ලඟා කරගත් වසරක් බවයි. එමෙන්ම, මුලින් සැලසුම් කළාට වඩා වැඩියෙන් ණය හා පොලී ආපසු ගෙවා තිබෙනවා. ආර්ථික වර්ධනය, උද්ධමනය, විණිමය අනුපාතය, විරැකියා අනුපාතය ආදිය කලින් ඉලක්ක කළාටත් වඩා ගොඩක් හොඳ මට්ටමක තියෙන්නේ මේ යහපත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ උදවුවෙන්. 

Wednesday, February 19, 2025

අයවැය කොහොමද?


මේ වෙද්දී අලුත් ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන සමස්තයක් ලෙස සහ ඉතා සංක්ෂිප්තව කියන්න තියෙන්නේ "කියන්න තරම් වැරැද්දක් නැහැ" කියන එකයි. අයවැයේ කියන්න තරම් වැරැද්දක් නැහැ වගේම ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි හෝ ඇස් උඩ යන මැජික් කිසිවකුත් නැහැ. ඇත්තටම කිවුවොත් මේ වගේ වෙලාවක අයවැයකින් එහෙම මැජික් කරන්නත් බැහැ. එහෙම මැජික් කරන්න උත්සාහ කර නොතිබීමේ පදනම මත අවශ්‍යනම් හොඳ අයවැයක් කියා කියන්නත් පුළුවන්.

මූලික වශයෙන්ම මෙය IMF වැඩ සටහනේ පරාමිතීන් අනුව හදපු අයවැයක්. ආදායම් ඉලක්කය අවශ්‍ය අවම මට්ටමට (දදේනියෙන් 15.1%) යනවා. ඊට පස්සේ එයින් අවශ්‍ය අවම ප්‍රාථමික අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉතුරු කරලා ඉතිරි ටික වියදම් කරනවා. ඔය සීමාවන්ට යටත්ව ආණ්ඩුවට කරන්න අවශ්‍ය දේවල් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඇත්තටම කිවුවොත්, ඔය සීමාවන්ට යටත්ව ලොකු දේවල් කරන්න බැරි නිසා කරන්න පුළුවන් දේවල් ටික කරලා තියෙනවා. 

අයවැයේ පළමු හා ප්‍රධානම ප්‍රතිඵලය මේ මාසය ඉවරවෙන්න කලින් ලැබෙයි. මේ වෙද්දී IMF එක ලංකාවේ ඊළඟ වාරිකය ගැන සාකච්ඡා කිරීම න්‍යාය පත්‍රයට දමලා. පෙබරවාරි 28 එහි අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වූ විට ඊළඟ වාරිකය අනුමත නොවෙන්න හේතුවක් පේන්නේ නැහැ. ඒ වගේම, IMF වැඩ සටහනේ පරාමිතීන් අනුව අයවැය හැදීමේ ප්‍රතිඵල දේශීය ණය වෙළඳපොළ පොලී අනුපාතික තුළද පිළිඹිමු වෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වාහන ආනයන තහනම ඉවත් කිරීමත් කරලා ඉවරයි කියන්නේ දැන් IMF වැඩ සටහන යටතේ කළ යුතු ලොකු වැඩ ටික සියල්ලම කරලා ඉවරයි. ඒ නිසා, අයවැයේ ආදායම් ඉලක්ක ලඟා කර ගැනීම හැර වෙන කරන්න අමාරු දෙයක් ඉතිරි වෙලා නැහැ. මම හිතන විදිහට මේ ආදායම් ඉලක්ක ලඟා කර ගන්නත්  පුළුවන්කම තියෙනවා. වැඩිදුර විශේලේෂණයක් කරන්නනම් තවම වෙලාව ලැබුණේ නැහැ. එවැන්නක් කළාට පස්සේ සමහර විට අදහස වෙනස් වෙන්න පුළුවන්. 

වාහන ආනයන වලට ඉඩ දුන්නා කියලා විණිමය අනුපාතය අස්ථාවර වෙලා නැහැ. ඒ නිසා, දැන් නැවත විණිමය අනුපාතය අස්ථාවර වෙන්න විශේෂ හේතු කිසිවක් නැහැ. ඒ වගේම ඊළඟ IMF වාරික ටික වැඩි අමාරුවක් නැතුව ගන්න පුළුවන් වෙයි. ඔය තත්ත්වයන් එක්ක ස්ථාවරත්වය ගැන දැන් බය වෙන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ වර්ධනය ගැන හිතන්න කාලය හරි. 

මේ ආණ්ඩුව යන පාර ගැන අවිනිශ්චිතතාවයක් තිබුණානම් අයවැය යෝජනා එක්ක ඒ අවිනිශ්චිතතා ඉවත් වී යනවා. මැතිවරණ වලට පෙර වුනත්, සිදු වෙන්න වඩාත්ම ඉඩකඩ තිබෙන දේ ලෙස පෙනුණු දේ තමයි දැන් වෙලා තියෙන්නේ. අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තිබුණේ දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමේ විවිධ අය විවිධ අවස්ථා වල කියපු දේවල් වල සංගත භාවයක් නොතිබුණු නිසා. 

ආණ්ඩු පක්ෂ කණ්ඩායමට අත්දැකීම් නැහැ කියලා මැතිවරණ වලට කලින් අනෙකුත් කණ්ඩායම් විසින් කරපු විවේචනය පදනමක් නැති එකක් නෙමෙයි. අත්දැකීම් නැති කම දැනට වුනත් පේනවා. නමුත් අත්දැකීම් නැති බව තේරුම් ගෙන කටයුතු කරනවානම්, ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් අවුල් හැදෙන්නේ නොදන්නා දේවල් නොදන්නා බව නොදැන වැඩ කරන්න ගියාමයි. මේ ආණ්ඩුවේ ප්‍රවේශය සහ වියත්මග ප්‍රවේශය අතර දැනට දැකිය හැකි වෙනස ඒකයි. සමහර විට මේ ආණ්ඩුව වියත්මග තැනට තවම තල්ලු වී නැත්තේ IMF වැඩසහන නිසා වෙන්නත් පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව "මහජන ආණ්ඩුවක්" වෙන්න උත්සාහ කිරීම ඊට හේතුවක් ඇති බව අමතක කරන්නත් බැහැ.

මේ අයවැය මහජන අයවැයක්ද? මම හිතන්නේ ඒ විදිහට නම් කර ගැනීමේ වැරැද්දක් නැහැ. අයවැය මහජන අයවැයක් කියන එක ව්‍යුත්පන්න වෙන්නේ ආණ්ඩුව මහජන ආණ්ඩුවක් කියන එකෙන්. ඔය දෙකම "මහජන" වෙන්නේ මහජනතාවට අයවැයෙන් විශාල සහන ලැබී ඇති නිසා නෙමෙයි. ඊනියා මහජනතාවට රාජ්‍ය පාලනයට සම්බන්ධ වුනොත් කරන්න ඉඩ තියෙන දේවල් බොහෝ දුරට ආණ්ඩුවේ තීරණ තුළ නිරූපණය වෙන නිසා. විශේෂයෙන්ම අයවැය තුළ. 

දැන් එහෙම කිවුවහම එහෙම නැති දේවල් විශාල ලැයිස්තුවක් කෙනෙකුට වහාම මතක් වෙයි. කෙටි පිළිතුර, ඒ මතක් වෙන ලැයිස්තුවේ තිබෙන ගොඩක් දේවල් කියන්න මිසක් කරන්න පුළුවන් දේවල් නොවීමයි. රුපියල් සීයක් රුපියල බැගින් සිය දෙනෙකුට බෙදා දෙන්න පුළුවන්. රුපියල් දහය බැගින් දහ දෙනෙකුට බෙදා දෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් හොඳ තීරණය කොයි එකද කියන එක අවසාන වශයෙන් දේශපාලනික තීරණයක්. ඔය දෙකම සමාන බවක් අදහස් වන්නේ නැතත් ප්‍රායෝගිකව දෙකෙන් කැමති එකක් කරන්න පුළුවන්. නමුත් රුපියල් සියය රුපියල් දහය බැගින් සිය දෙනෙකුට බෙදන එක කරන්න බැරි දෙයක්. ඒ වගේ දේවල් ගැන කියන්න විතරයි පුළුවන්කමක් තියෙන්නේ. කරන්න බැහැ. 

පසුගිය දවස්වල ලංවිමට උපදෙස් දෙන්න ගොඩක් අය හිටියා. ඔය වගේ පිටින් ඉඳලා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමේ තිබෙන ප්‍රායෝගික සීමාවන් දන්නේ වැඩේ කරන අය. හැබැයි ඒ අයම වෙනත් දේවල් සම්බන්ධව ඒ විදිහටම යෝජනා ඉදිරිපත් කරනවා. රෝහල් පරිපාලනය වගේ දෙයක් ගත්තොත් එහි තිබෙන ප්‍රායෝගික ප්‍රශ්න දන්නේ ඒ වැඩේ කරන අය. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩේ හෝ ආර්ථිකය කළමනාකරණය වගේ දෙයක් ගත්තත් එහෙමයි. පිටින් ඉඳලා බලන කොට පේන තරම් ලේසියෙන් කිසිම දෙයක් කරන්න බැහැ. කලිසම් හැලෙන්නේ, බොත්තම් මාරු වෙන්නේ වැඩක් කරන්න යන කොට. 

හැබැයි එයින් අදහස් වෙන්නේ හැම තැනකම හැම දෙයක්ම සිදු විය යුතු හොඳම විදිහට වෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා, ඒ තරම් පදනමක් නැති අවස්ථා වලදී පවා නිරන්තර විවේචනයක් සිදු වෙන එක හොඳ දෙයක්. ආණ්ඩුව තමන් මහජන ආණ්ඩුවක් සේ සලකනවානම් විවේචන ප්‍රශ්න විදිහට දකින්න අවශ්‍ය නැහැ. 

මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ රනිල්ගේ වැඩ පිළිවෙලමද? කිසිසේත්ම නැහැ. එය ඒ වගේ පෙනෙන්නේ මේ ආණ්ඩුව IMF වැඩ පිළිවෙළ ඇතුළේ ඉන්න නිසා. රනිලුත් IMF වැඩ පිළිවෙළ ඇතුළේ හිටියට එය රනිල්ගේ වැඩ පිළිවෙලක් නෙමෙයි. හරියටම කිවුවොත් IMF වැඩ පිළිවෙළකුත් නෙමෙයි. එහි තියෙන්නේ මේ වෙලාවේ ලංකාවට යන්න පුළුවන් පාරේ දෙපැත්තේ සුදු ඉරි දෙක. කවුරු බලය ගත්තත් ඔය ඉරි කපන්න බැහැ. ඉරි කැපුවොත් ආයෙමත් කන්දක හැපෙනවා. නැත්නම් පල්ලමකට වැටෙනවා. දැන් මේ ආණ්ඩුවත් රනිල් වගේම ඉරි නොකපා ඉස්සරහට යන්න පුළුවන් විදිහට අයවැයක් හදලා තියෙනවා.

හැබැයි ඉහත සමානකම තිබුනට ඒ ඉරි දෙක ඇතුළේ මේ ආණ්ඩුව වාහනේ එළවන්නේ තමන්ගේ ක්‍රමයට. ඒ ක්‍රමය රනිල් යන්න හදපු ක්‍රමයම නෙමෙයි. IMF වැඩ පිළිවෙළ ඇතුළේ යන ගමන් එහා මෙහා කරගන්න පුළුවන් සීමිත ඉඩ මේ ආණ්ඩුව විසින් තමන්ගේ දේශපාලන අභිලාශ අනුව ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. ඒ බව ලොකුවට නොපෙනෙන්නේ ඒ සඳහා ලොකු ඉඩක් නොතිබුණු නිසා. ඒ වෙනස්කම් දිහා වැඩි අවධානයකින් බැලුවේ නැත්නම් මේ ආණ්ඩුවේ අනාගත දිශානතිය මග හැරෙනවා.

Tuesday, February 18, 2025

2025 අයවැය - අපේක්ෂිත ලැබීම් සහ මුදල් වෙන් කිරීම්


පහත තිබෙන්නේ 2025 අයවැයෙහි අපේක්ෂිත ලැබීම් සහ මුදල් වෙන් කිරීම් පිළිබඳ සාරාංශයක්.

අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)

බදු ආදායම් - 4,590

බදු නොවන ආදායම් හා ලැබීම් - 400

ණය ගැනීම් (අයවැය හිඟය) - 2,200


අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)

වැටුප් හා වේතන - 1,290

පොලී වියදම් - 2,950

පොදු ආයෝජන - 1,315

සුබසාධන වියදම් හා සහනාධාර - 1,290

අනෙකුත් වියදම් - 405


පොලී වියදම් හැර ඉතිරි මුදල් අමාත්‍යංශ, පළාත් සභා සහ අනෙකුත් විශේෂ ඒකක අතර බෙදා හැර තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය - රුපියල් බිලියන 703.8 (16.4%)

පොදු පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය - රුපියල් බිලියන 583.5 (13.4%)

පළාත් සභා නවය සඳහා - රුපියල් බිලියන 535.8 (12.5%)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - රුපියල් බිලියන 508.5 (11.9%)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය - රුපියල් බිලියන 473.4 (11.0%)

ආරක්ෂක අමාත්‍යංශය - රුපියල් බිලියන 442.0 (10.3%)

කෘෂිකර්ම, සත්ව සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශය - රුපියල් බිලියන 271.0 (6.3%)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය - රුපියල් බිලියන 208.7 (4.9%)

මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය - රුපියල් බිලියන 175.4 (4.1%)

නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය - රුපියල් බිලියන 101.3 (2.4%)

අනෙකුත් අමාත්‍යංශ සහ විශේෂ වියදම් ඒකක - රුපියල් බිලියන 291.6 (6.8%)

සදා සමරමු වඳුරු සොහොයුරා!

 



Sunday, February 16, 2025

වඳුරා නිදොස් කොට නිදහස් කරනු!


පෙබරවාරි 9 දින පෙරවරු 11:13ට ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියම ක්‍රියා විරහිත කරමින් "සිය දිවි නසාගත්" පානදුරේ වඳුරා මේ වන විට එම කඩාකප්පල්කාරී ක්‍රියාවේ ප්‍රධාන චුදිතයා වී සිටින ආකාරය දැකිය හැකියි. ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක පුවත් මැවූ මේ වඳුරාගේ මළ සිරුරේ ඡායාරූපයක් අදාළ සිද්ධිය පිළිබඳව ලංවිම විසින් ලබා දී ඇති මූලික වාර්තාවටද අමුණා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් සිද්ධිය හා අදාළ මූලික තොරතුරු පෙර සටහනෙහි විස්තර කර තිබෙනවා. මේ සටහන මගින් අප අදහස් කරන්නේ එම වාර්තාවේ සඳහන් අනෙකුත් කරුණු ගැනද කතා කරන අතරම එම වාර්තාවේ නැති දේවල්  වෙත අවධානය යොමු කරවීමටයි.

වඳුරා හැපීම නිසා පරිපථ ලුහුවත් වී මුලින්ම පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වන්නේ පෙරවරු 11:13:39.580යි. පෙරවරු 11:14:00.022ට මුළු පද්ධතියම බිඳ වැටෙනවා. මේ මුළු සිද්ධි දාමයම සිදු වන්නේ තත්පර 20ක පමණ කාලයක් ඇතුළතයි. 

මෙම සිද්ධිය සිදු වන විට (ලංවිම දත්ත අනුව) විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එම ප්‍රමාණය සැපයුනේ පහත පරිදියි.

ප්‍රධාන ජල විදුලි ප්‍රභව - මෙගාවොට් 126යි 

ගල් අඟුරු (ලක් විජය) - මෙගාවොට් 472යි 

සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව - මෙගාවොට් 141යි.

ඇත්ත වශයෙන්ම, ඉහත සඳහන් අන්තිම සංඛ්‍යාව නිවැරදී නැහැ. ඊට හේතුව, එම ගණනට කුඩා පරිමාණයේ සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල විදුලි සැපයුම ඇතුළත්ව නැති නිසා. ඒ නිසාම මුළු විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් වීය යන්නද නිවැරදි නැහැ. මෙම කරුණ ගැන අපි පසුව කතා කරමු. ලංවිම පද්ධති පරිපාලනයේදී සලකා බලා ඇති බව පෙනෙන්නේ ඉහත දත්තයි. 

මෙතැන් සිට තත්පර කිහිපයක් අනාගතයට ගියහොත්, පද්ධතිය බිඳ වැටීමට හේතුව පද්ධතියේ අවස්ථිතිය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි. වෙනත් අයුරකින් කිවහොත් පද්ධතියේ සංඛ්‍යාතය අවශ්‍ය සීමාව තුළ රඳවා ගැනීමට නොහැකි වීමයි.

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පුනර්ජනයීය බලශක්ති ප්‍රභව වල ස්වභාවික අවස්ථිතියක් නැහැ. ගල් අඟුරු බලාගාර වලත් සැපයුම හදිසියේ වෙනස් කරන්න අමාරුයි. ඒ නිසා, සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්නේ ජල විදුලිය හෝ ගල් අඟුරු නොවන තාප විදුලි ජනකයක්. මේ අවස්ථාවේදී, ලක් විජය බලාගාරය හැර, වෙනත් තාප විදුලි ජනක ක්‍රියාත්මකව පැවතී නැහැ. ඒ නිසා පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කිරීම සඳහා යොදා ගත හැකිව තිබුණේ ජල විදුලි බලාගාර වලින් එකක්. වික්ටෝරියා බලාගාරයේ විදුලි ජනකයක් මේ කටයුත්ත සඳහා යොදා ගෙන තිබෙනවා. 

එමෙන්ම මේ අවස්ථාව වන විට අවශ්‍යනම් ක්ෂණිකව පද්ධතියට මෙගාවොට් 230ක් දක්වා එකතු කිරීමේ හැකියාවක් (spin reserves) තිබුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතිව විදුලි සැපයුම 31.1%කින් වැඩි කිරීමේ හැකියාවක් තිබුණා. පද්ධතිය බිඳ වැටෙන්නේ මෙසේ තිබියදී. 

ප්‍රශ්නය පටන් ගන්නේ පානදුර ග්‍රිඩ් උපපොළෙන්. එම උපපොළ තත්පරයක පමණ කාලයක් ඇතුළත පද්ධතියෙන් විසන්ධි වෙනවා. ග්‍රිඩ් උපපොළක් පද්ධතියෙන් විසන්ධි වූ පසු, ඉල්ලුමේ අඩුවීමක් සිදු වන බැවින් සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ පද්ධතියේ සංඛ්‍යාතය ඉහළ යාමයි. එහෙත්, මෙහිදී සිදු වී තිබෙන්නේ දිගින් දිගටම සංඛ්‍යාතය පහත වැටීමයි. එසේ සිදු වුනේ ඇයි?

පානදුර ග්‍රිඩ් උපපොළට සම්බන්ධ ප්‍රද්ශයේ විදුලි ඉල්ලුම ඉක්මවන විදුලි ජනනයක් ඒ වන විට එම ප්‍රදේශයේ කුඩා සූර්ය බල ප්‍රභව වලින් සිදු වෙමින් තිබුණු නිසා මේ අවස්ථාවේදී පද්ධතියට යම් විදුලි සැපයුමක් සිදු වෙමින් තිබී එය ක්ෂණිකව නැවතුනාද? යම් හෙයකින් එවැන්නක් සිදු වුවද, එවැනි විදුලි සැපයුමක් මෙගාවොට් කිහිපයකට වඩා වැඩි වීමේ ඉඩක් නැහැ. මෙගාවොට් දහයකට නොවැඩි ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වුනත්, පද්ධතියට එකතු වුනත්, එම ප්‍රමාණය පද්ධතියට ලොකු බලපෑමක් කිරීමට හේතුවක් නැහැ.

පානදුර සිදු වීමෙන් පසුව කිසියම් නොදන්නා හේතුවක් නිසා පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන්නට පටන් ගෙන ඇති අතර, එවැනි තත්ත්වයක් ඇති වූ විට සාමාන්‍යයෙන් කරන පරිදි, ඉල්ලුම හා සැපයුම තුලනය කිරීමේ අරමුණින් අදියර පහකින් පද්ධතියේ බර සැහැල්ලු කර තිබෙනවා (load shedding). පළමු අදියරේදී මෙගාවොට් 65.4ක්, දෙවන අදියරේදී මෙගාවොට් 58.5ක් ආදී ලෙස අදියර පහම අවසන් වෙද්දී මෙගාවොට් 406.1ක් පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා. එම ප්‍රමාණය පැවති විදුලි ඉල්ලුමෙන් 55.5%ක්. පද්ධතිය තුලනය කරගත නොහැකි වී තිබෙන්නේ එවැනි බර සැහැල්ලු කිරීමක් කිරීමෙන්ද පසුවයි. එසේ වුනේ ඇයි?

මෙගාවොට් 739ක ඉල්ලුමෙන් මෙගාවොට් 406ක්ම ඉවත් වීමෙන් පසුව තව දුරටත් අවශ්‍ය වන්නේ මෙගාවොට් 333ක් පමණයි. ලංවිම වාර්තාව අනුව පෙරවරු 11:14 වීමට පෙර මෙම බර සැහැල්ලු කිරීමේ අදියර පහම ක්‍රියාත්මක වී තිබෙනවා. එම වාර්තා නිවැරදිනම්, ජනක යන්ත්‍ර අක්‍රිය වන්නේ ඉන් පසුවයි. ඒ කියන්නේ ඉල්ලුම අඩු වුනත් සැපයුම එලෙසම තිබෙනවා. ඊට අමතරව ප්‍රමාණවත් හදිසි සංචිතද තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ සංඛ්‍යාතය වේගයෙන් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් තිබේද? මේ වැදගත්ම හා අවශ්‍යම කරුණ පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් වාර්තාවේ නැහැ. 

මෙවැනි තත්ත්වයක් ඇති වීමටනම්, වාර්තාවේ විස්තර කර තිබෙන දේවල් වලට අමතරව, වෙනත් කිසියම් හේතුවක් නිසා විශාල ලෙස ඉල්ලුම ඉහළ යාමක් හෝ සැපයුම අඩුවීමක් සිදු විය යුතුයි. විය හැකියාවක් සේ අපට පෙනෙන ප්‍රධානම හේතුව වඳුරා හැපීමෙන් පසු පරිපථ බිඳිනයක් ක්‍රියාත්මක වීම සහ සංඛ්‍යාතය පහත වැටී ස්වයංක්‍රීය ලෙස පද්ධතියේ බර සැහැල්ලු වීම සිදුවෙන කාලය අතරතුර ඉහත සංඛ්‍යාලේඛණ වල නොමැති විශාල පුනර්ජනනීය බල සැපයුමක් පද්ධතියට අහිමි වීමයි. එය එසේ වීනම්. සැපයුම විශාල ලෙස පහත වැටී එය ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමක් සේ නිරූපණය වීමට ඉඩක් තිබෙනවා. මෙවැනි හිස්තැන් පිරවීමක් සිදු නොකර ලංවිම වාර්තාව කියවා ගන්න බැහැ. 

වාර්තාවේ එකම එක තැනක පමණක් මේ පිළිබඳ සඳහනක් තිබෙනවා. ඒ අනුව, පද්ධතියේ බර සැහැල්ලු කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ "NCRE rejection due to an earth fault on Panadura 132/33kV T/F 01" යන හේතුව නිසා. එනම්, වඳුරා පැනීමෙන් පසුව, සම්ප්‍රදායික නොවන සහ පුනර්ජනනීය බලශක්ති සැපයුම පද්ධතියෙන් ඉවත් වූ නිසා. මෙම ප්‍රමාණය මෙගාවොට් 224.4ක් හෙවත් 31%ක් බවද සඳහන්ව තිබෙනවා. කෙසේ වුවත්, එවැනි ප්‍රභව වලින් එපමණ විදුලිය ජනනය වූ බවක් වාර්තාවේ මුල් කොටසේ සඳහන්ව නැහැ.

දැන් අපි ලංවිම වෙනත් සංඛ්‍යාලේඛණ වෙත හැරුනොත්, සූර්යබල විදුලි ජනන ධාරිතාවය පසුගිය වසර පහක පමණ කාලය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2022දී මෙම ප්‍රමාණය මෙගාවොට් 720ක් වන අතර 2023දී මෙගාවොට් 859ක්. මෙම ප්‍රභවයෙන් විදුලිබලය නිපදවීමේ වර්ධනය සලකා බැලු විට 2025 පෙබරවාරි 9 වන විට ඉහත ධාරිතාවය මෙගාවොට් 1000 ඉක්මවා තිබුණා විය හැකියි. ලංවිම විසින් තත්කාලීනව නිරීක්ෂණය කර ඇති කොටස මෙයින් 10%කටත් වඩා අඩුයි. එම කොටසේ විදුලි ජනන දත්ත අනුව මේ සිදු වීම වන විට ඉතා හොඳින් ඉර එළිය තිබුණු බවද පෙනෙනවා.  

මේ කරුණු අනුව අපට නිගමනය කළ හැක්කේ පද්ධතිය බිඳ වැටෙන්නට පෙර විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් බැව් සදහන් වුවද, එම ගණනට ඇතුළත් නැති කොටස මෙගාවොට් 900ක් පමණ විය හැකි බවයි. ලංවිමට "පෙනෙන" ඉල්ලුම විශාල ලෙස පහත වැටීමට හේතුව ලෙසද විශාල ලෙස සූර්ය බල විදුලිය ජනනය වීම හඳුනා ගන්න පුළුවන්. එමෙන්ම, පාන්දර කාලයේ අවම ඉල්ලුම් මට්ටම හා සැසඳූ විට දිවා කාලයේදී මෙගාවොට් 1600කවත් ඉල්ලුමක් නොතිබෙන්නට හේතුවක් නැහැ. 

සැබෑ ඉල්ලුම මෙගාවොට් 1600ක් සේ සැලකුවහොත් පද්ධතියේ අවස්ථිති කළමනාකරණය සඳහා උදවු කර ගත හැකි ජල විදුලි කොටස එයින් 8%කටද අඩු කොටසක්. මෙවැනි තත්ත්වයක් යටතේ පද්ධතියේ සංඛ්‍යාතය පාලනය කර ගැනීම අසීරු කටයුත්තක්. එමෙන්ම, ආපතික සංචිතයද මුළු සැපයුමෙන් 31%ක් නොව, 14%ක් පමණයි. කෙසේ වුවද, මේ අයුරින් පද්ධතියේ සංඛ්‍යාතය පවත්වා ගැනීම අසීරු වන්නේ පද්ධතියට කිසියම් කම්පනයකට මුහුණ දෙන්නට සිදු වුවහොත් පමණයි. එවැන්නක් සිදු නොවීනම් මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ.

ඉහත කොටස අත හැර, ලංවිම විසින් නිරීක්ෂණය කරන සැපයුම දෙස බැලූ විට පෙනී යන්නේ ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රයක් මුලින්ම අක්‍රිය වීමට පෙර බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙගාවොට් 406ක් පද්ධතියෙන් විසන්ධි වී ඇති බවයි. ඉල්ලුම එපමණකින් අඩු වීමෙන් පසුව, මෙගාවොට් 230ක ආපතික සංචිතයක්ද තිබියදී, ඉල්ලුම හා සැපයුම තුලනය කර ගත නොහැකි වීමෙන් පෙනෙන්නේ වාර්තාවේ සඳහන්ව නොමැති ආකාරයකින් විශාල විදුලි බල සැපයුමක් (මෙගාවොට් 600ක් පමණ දක්වා විය හැකි) පද්ධතියට අහිමි වී ඇති බවයි. එසේ නැත්නම්, ඉල්ලුම එපමණකින් ඉහළ ගොස් ඇති බවයි. ලක්විජය ගල් අඟුරු ජනන යන්ත්‍රය අක්‍රිය වීමට පෙර තත්පර කිහිපය ඇතුළත එක් අදියරකින් හෝ අදියර කිහිපයකින් මෙවැන්නක් සිදු වී තිබිය යුතුයි. තර්කානුකූලව මෙවැන්නක් සිදු විය හැක්කේ කිසියම් ආකාරයකින් සූර්ය බල විදුලි සැපයුම පද්ධතියෙන් විසන්ධි වීම නිසායි.

මෙතෙක් මා කරුණු සටහන් කළේ සෑහෙන දුරකට වාර්තාගත නිල තොරතුරු මත පදනම්වයි. මේ සම්බන්ධව යාවත්කාලීන වූ ප්‍රායෝගික දැනුමක් නොමැති නිසා මා මෙයින් එහාට තීන්දු දෙන්න යන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මට හිතෙන දේ සටහන් කරනවා පමණයි. 

පෙර ලිපියක විස්තර කළ පරිදි, සූර්ය බල විදුලි අපවර්තක වලින් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා පද්ධතියට එකතු කරන අතර ඒ කාර්යයේදී පද්ධතියේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවය කියවීමක් කරනවා. එම තොරතුරු වලට ප්‍රතිචාර ලෙස මෙම අපවර්තක විසින් කරන තවත් දේවල් තිබෙනවා. ඒ මොනවාද යන්න අදාළ අපවර්තකයේ තාක්ෂනය මත මෙන්ම ඒවා වින්‍යාසගත (configure) කර ඇති ආකාරය මතද තීරණය වෙනවා. ඒ නිසා, පද්ධතියට එකතු කර ගැනීමේදී නියාමනය මගින් පනවා ඇති සීමාවන්ට යටත්ව, මේ අපවර්තක වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එම ප්‍රතිචාර වල සමානකම් තියෙන්නත් පුළුවන්.

සිදුවිය හැකි එක් දෙයක් වන්නේ යම් සීමාකාරී තත්ත්වයන් යටතේ අපවර්තක ස්වයංක්‍රීය ලෙස පද්ධතියෙන් ඉවත් වීමයි. සංඛ්‍යාතය කිසියම් සීමාවකින් පහළට වැටෙද්දී (low frequency threshold) මෙන්ම පද්ධතියේ වෝල්ටීයතාවය පහත වැටීමේදීද (low voltage threshold) මෙවැන්නක් සිදු විය හැකියි කියා මා හිතනවා. පද්ධතියේ කොටස් වන ජනක යන්ත්‍ර ආදියද හැසිරෙන්නේ මේ අයුරිනුයි. මේ සියලුම උපකරණ වලට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් සලසා ගැනීමේ "අරමුණක්" ඇති අතර, පද්ධතියේ උපාංග වලට ඊට අමතරව පද්ධතිය ස්ථායී ලෙස තියා ගැනීමේ "සාමූහික වගකීමක්ද" තිබෙනවා. අපවර්තක වලට මේ "සාමූහික වගකීම" නැහැ. 

අනෙක් කාරණය විදුලි-යාන්ත්‍රික උපාංග වලට සාපේක්ෂව විද්‍යුත් උපාංග වලට වෙනස් වන තත්ත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. එය එසේ නොවන්නේ කිසියම් කාල පමාවක් වින්‍යාසගත කර ඇත්නම් පමණයි. එසේනම් මෙහිදී සිදු වුනේ ජාතික විදුලි පද්ධතියේ උපාංග ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙර තනි තනි අපවර්තක වෙන වෙනම ස්වයංක්‍රීය ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා පද්ධතිය බිඳ වැටීමද? උදාහරණයක් ලෙස පානදුර සිදු වීමේදී තත්පර 1.1ක කාලයක් තුළ වෝල්ටීයතාවය පහත වැටෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් අපවර්තක ගණනාවක් විදුලි සැපයුම නවතා දැමුවද? එහිදී සැපයුම අඩු වී පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටීගෙන යද්දී, එයට ප්‍රතිචාර ලෙස බර සැහැල්ලු කිරීමේ ක්‍රියාමාර්ග ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වුනත්, එම වෙනස හඳුනා ගනිමින් තවත් අපවර්තක ගණනාවක් ඊට පෙරම විදුලි සැපයුම නවතා දැමුවද? 

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගැනීම මා මෙම උපාංග පිළිබඳ යාවත්කාලීන වූ දැනුමක් ඇති අයට ඉතිරි කරනවා. කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලියි. මෙලෙස පද්ධතිය බිඳ වැටීමට හේතුව දිවි දුන් වඳුරා නොව ඉන් පසුව සිදුව තිබෙන කවර හෝ සිදුවීම් දාමයයි. වඳුරෙකු නොමැතිව වුනත් එවැන්නක් නැවත විය හැකියි. ඒ නිසා, දැන් අපි මේ වඳුරාව නිදොස් කොට නිදහස් කළ යුතුයි!

වානරයකුගේ මරාගෙන මැරෙන ප්‍රහාරය...



වලිගය කරකවතේ 
දිය මත පාව යතේ 
දඟර වලිග ලප වානර 
දස්කම් දක්වනවා...

ඒ ගීතය ලංකාවේ ගොඩක් අය අතර ප්‍රසිද්ධ දඟර වලිග ලප වානර ගැනයි. දැන් ලංකාවේ වෙනත් වානරයෙක් ගැන මුළු ලෝකයම දන්නවා. දඟර වලිග ලප වානරටවත් කළ නොහැකි වූ වික්‍රමයක් මේ වානරයා විසින් කරලා තියෙනවා. ඒ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් තත්පර පහකින් ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියම අකර්මන්‍ය කිරීමයි.

මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වුනේ 2025 පෙබරවාරි 9 ඉරිදා දින හරියටම උදේ 11:13ට පානදුරේ ග්‍රිඩ් උපපොළේදීයි. එවැනි වඳුරු ප්‍රහාරයක් එල්ල නොවූ බවට අදාළ ස්ථානයේ සේවයේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් සිදු කළ ප්‍රකාශයකට විශාල මාධ්‍ය අවධානයක් ලැබුණු අතර මේ වන විට හිරණ පොලීසිය එම ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන තිබෙනවා. එම පොලිස් නිලධාරීන් විසින් වඳුරාගේ පිළිස්සුනු මළ සිරුරද සොයා ගෙන ඇති අතර එහි ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබෙනවා. 

මුළු රටටම විදුලිය නැති වුනේ මේ වඳුරා නිසා බව මේ වෙද්දී පැහැදිලියි. එක් වඳුරෙක් නිසා මේ විදිහට ලංකාවටම විදුලිය නැති වුනේ කොහොමද?

වඳුරා මුලින්ම ගැටී ඇති බව පෙනෙන්නේ ග්‍රිඩ් උපපොළෙහි සිට විදුලිය බෙදා හරින කිලෝ වෝල්ට් 33 නිය දඬුවක හෙවත් බස් බාර් එකකයි. එහිදී සිදුවුනු ලුහුවත් වීම නිසා, එහි පරිපථ බිඳීනය එසේත් නැත්නම් ට්‍රිප් ස්විච්චය ක්‍රියාත්මක වී තිබෙනවා. මෙය සිදු වී තිබෙන්නේ එදින පැය 11:13:39.520ටයි. 

එයින් මිලි තත්පර 1060කට පසුව, එනම් පැය 11:13:40:580ට, එම නිය දඬුවට විදුලිය සපයන ට්‍රාන්ස්ෆෝමරයෙහි දඟර දෙකේම පරිපථ බිඳීනයන් ක්‍රියාත්මක වී තිබෙනවා. මෙසේ සිදු වී තිබෙන්නේ අදාළ උපකරණ වල ආරක්ෂාව තකා ඒවා එලෙස සැලසුම් කර ඇති බැවිනුයි. මෙලෙස නිය දඬුවක පරිපථ බිඳීනය ක්‍රියාත්මක වීම නිසා ඒ හරහා විදුලි බලය සැපයුණු පානදුර මූලික රෝහල ඇතුළු ප්‍රදේශයේ විදුලිබල සැපයුම බිඳ වැටෙනවා. 

මේ අයුරින් ට්‍රාන්ස්ෆෝමරය විසන්ධි වීම නිසා එයට විදුලි බලය සැපයූ කිලෝ වෝල්ට් 132 තෙකලා සම්ප්‍රේෂණ රැහැනෙහි වෝල්ටීයතාවය සුළු වේලාවකට කිලෝ වෝල්ට් 75 පමණ දක්වා පහත වැටෙනවා. වෝල්ට් 132 සම්ප්‍රේෂණ රැහැනක වෝල්ටීයතාවය 10%කින් අඩු වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙය 40%ක පමණ පහත වැටීමක්. කෙසේ වුවත්, තත්පර 1.1ක් (මිලි තත්පර 1100ක්) ඇතුළත වෝල්ටීයතාවය 132 මට්ටමට නැවත ඉහළ යනවා. එසේ වෝල්ටීයතාවය පෙර මට්ටමට ආපසු පැමිණියත්, විදුලියේ සංඛ්‍යාතය දිගින් දිගටම අඩු වී තත්පර 5.2ක් ඇතුළත හර්ට්ස් 49.5 සීමාවට එනවා. එය සාමාන්‍යයෙන් පද්ධතියේ සංඛ්‍යාතය පවත්වා ගන්නා අවම සීමාවයි. 

මේ අයුරින් පද්ධතියේ සංඛ්‍යාතය අවම සීමාව ඉක්මවා පහත වැටෙද්දී පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීම සඳහා පූර්ව සැලසුමකට අනුව, ස්වයංක්‍රීය ලෙස පද්ධතියේ කොටස් වල විදුලිය විසන්ධි කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයයි. මෙම සිදු වීමෙන් පසුවද එය එසේ සිදු වී තිබෙනවා. එහෙත්, මේ අයුරින් අදාළ ආරක්ෂක පද්ධතිය අදියර පහක් දක්වාම නිසි පරිදි ක්‍රියාත්මක වීමෙන් පසුවද සංඛ්‍යාතය පහත වැටීම දිගටම සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ එක් අදියරකින් හෝ අදියර කිහිපයකින් පසුව සංඛ්‍යාතය අවශ්‍ය සාමාන්‍ය  සීමාවට පැමිණීමයි.

වඳුරා පනින විට පද්ධතියේ සංඛ්‍යාතය තිබී ඇත්තේ හර්ට්ස් 50.113 මට්ටමේ. ඒ පැය 11:13:39ට. මෙය හර්ට්ස් 48.74 දක්වා පහත වැටීමෙන් පසුව පැය 11:13:48ට ආරක්ෂක පද්ධතියේ පළමු අදියර ක්‍රියාත්මක වී තිබෙනවා. එහෙත්, එයින් පද්ධතියේ සංඛ්‍යාතය යථා තත්ත්වයට පත් නොවූ බැවින් පිළිවෙලින් ආරක්ෂක පද්ධතියේ දෙවන, තෙවන, සිවුවන අදියරද ක්‍රියාත්මක වී පැය 11:13:54ට පස්වන හෙවත් අවසාන අදියරද ක්‍රියාත්මක වී තිබෙනවා. මේ වන විට සංඛ්‍යාතය හර්ට්ස් 47.516 මට්ටමට පහත වැටිලා. 

ආරක්ෂක පද්ධතියේ පස්වන සහ අවසාන අදියරද ක්‍රියාත්මක වීමෙන් පසුව පද්ධතිය යථා තත්ත්වයට පත් නොවුවහොත් එය පාලනයෙන් ගිලිහෙනවා. මේ අනුව, ඉන්පසුව ඉතා වේගයෙන් එහි සංඛ්‍යාතය පහත වැටී තිබෙනවා. සංඛ්‍යාතය හර්ට්ස් 40.195 දක්වා පහත වැටීමෙන් පසුව නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුනෙන් එකක පරිපථ බිඳීනය ක්‍රියාත්මක වී එය ක්‍රියා විරහිත වී තිබෙනවා. 

මේ සිද්ධිය වන විට ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනම ක්‍රියාත්මකව පැවතී ඇති අතර ඒවායින් එකක් ක්‍රියා විරහිත වීමෙන් පසුව රට පුරා පිහිටි, ඒ වන විට ක්‍රියාත්මකව තිබුණු, අනෙක් ජනක යන්ත්‍ර වල පරිපථ බිඳීනයන්ද එකින් එක ක්‍රියාත්මක වී ඒවා එකින් එක ක්‍රියා විරහිත වෙනවා. අවසානයේදී මුළු රටටම විදුලිය නැති වෙනවා. 

ඉහත තොරතුරු තිබෙන්නේ ලංවිම විසින් ඉදිරිපත් කර තිබෙන මූලික වාර්තාවේ. මා මේ හා අදාළ විශේෂඥයෙකු නොවෙතත්, එහි පැහැදිලි කිරීම් වල අපැහැදිලි කරුණු ගණනාවක් තිබෙනවා. මෙම සිද්ධිය හා අදාළ නොවැදගත්ම කරුණ මාධ්‍ය අවධානයට වැඩියෙන්ම හේතු වී ඇති වඳුරාගේ වීර වික්‍රමයයි. සිද්ධියට හේතුව වඳුරෙක් වුනත් නැතත්, මෙහිදී සිදු වී තිබෙන්නේ විදුලිය බෙදා හරින එක් ග්‍රිඩ් උප පොළක සිදු වූ ලුහුවත් වීමකින් පසුව එම වැරැද්ද සහිත ග්‍රිඩ් උප පොළ පද්ධතියෙන් ස්වයංක්‍රීය ලෙස විසන්ධි වීමයි. 

පානදුර ග්‍රිඩ් උප පොළ යනු ලංකාව පුරා පිහිටි, මා සිතන පරිදි සියයකට ආසන්න, ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයකින් එකක් පමණයි. එහි කිසියම් ලුහුවත් වීමක් වීමෙන් පසුව සිදු විය යුතු පරිදිම එය පද්ධතියෙන් විසන්ධි වී තිබෙනවා. මෙවැනි දෙයක් සිදු වීම අසාමාන්‍ය දෙයක් හෝ දුලබ දෙයක් නෙමෙයි. වඳුරෙකු පැනීම හෝ වෙනත් හේතුවක් නිසා එවැනි දෙයක් විය හැකියි. සැබෑ ප්‍රශ්නය වන්නේ එවැනි "සුළු වරදක්" මුළු රටේම විදුලිබල සැපයුම බිඳ වැට්ටවීමට හේතු වූයේ ඇයි කියන එකයි. යම් හෙයකින් සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන සම්ප්‍රේෂණ රැහැනක අනපේක්ෂිත ලුහුවත් වීමක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වීනම් එය තේරුම් ගැනීම අපහසු නැහැ.

පානදුර වැනි එක් විදුලි උප පොළක් පද්ධතියෙන් ඉවත් වූ විට පද්ධතියට සිදු විය හැකි උපරිම ක්ෂණික බලපෑම විදුලි ඉල්ලුම ආසන්න වශයෙන් 1%කින් පමණ අඩු වීම පමණයි. එවැනි සුළු අඩුවීමක් සාමාන්‍යයෙන් පද්ධතියකට දරාගන්න අමාරු නැහැ. නමුත් මෙහිදී සිදු වී තිබෙන්නේ මෙම සුළු සිදුවීම පද්ධතිය පුරා පැතිරීමයි. එමෙන්ම අදියර පහකින් ඉල්ලුම අඩු කිරීමෙන් පසුවද පද්ධතියේ සංඛ්‍යාතය දිගින් දිගටම පහත වැටී තිබෙනවා. මෙහි තේරුම් ගැනීමට අසීරු යම් සැඟවුණු දෙයක් තිබෙනවා. 

කෙසේ වුවත්, දැනට එය අමතක කර ඉන් පසු සිදු වූ දේවල්ද විමසා බලමු.

ලංවිම සේවකයින් විසින් ලහිලහියේ වඳුරා ගැටීම නිසා පිලිස්සී ගිය පානදුර උප පොළේ උපාංග ප්‍රතිස්ථාපනය කර අදාළ පරිපථ යථා තත්ත්වයට පත් කරන අතර ජනන අංශය විසින් මුලින්ම ඉහළ කොත්මලේ ජනන යන්ත්‍රය පණ ගන්වා දහවල් 12:01ට පද්ධතියට එකතු කරනවා. එයින් ලැබෙන විදුලි බලය පස්වරු 12:23ට බියගම, සපුගස්කන්ද සහ කැළණිය ග්‍රිඩ් උප පොළවල් පද්ධතියට සම්බන්ධ කරමින් බෙදා හරින නමුත් මෙම පළමු උත්සාහය සාර්ථක වන්නේ නැහැ. දහවල් 12:40ට නැවත පද්ධතිය බිඳ වැටෙනවා. සමස්ත පද්ධතියම බිඳ වැටුණු පසු එහි තුලනය පවත්වා ගනිමින් නැවතත් කොටස් එකින් එක සම්බන්ධ කිරීම අසීරු කාර්යයක්.

කෙසේ වුවත්, දෙවන උත්සාහය සාර්ථක වෙනවා. එහිදී ඉහළ කොත්මලේ, කොත්මලේ සහ වික්ටෝරියා ජනන යන්ත්‍ර යොදා ගනිමින් බියගම, සපුගස්කන්ද, කැළණිය, කොටුගොඩ සහ කැලණිතිස්ස ග්‍රිඩ් උප පොළවල් හරහා විදුලිය බෙදා හරිමින් පස්වරු 2:35 වෙද්දී කොළඹ ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනවා. ඉන් පසුව, තාප බලාගාරද නැවත පණ ගන්වමින් සහ පුනර්ජනනීය බලශක්තියද නැවත පද්ධතියට එකතු කරමින් පස්වරු 3:45 වන විට මුළු රටේම විදුලි පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කෙරෙනවා.

කෙසේ වුවද, අක්‍රිය වුනු ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කිරීම හදිසියේ කළ නොහැක්කක් බැවින්, උපරිම ඉල්ලුමක් තිබෙන පස්වරු 5:00-9:30 අතර කාලයේදී විදුලි කප්පාදුවක් කිරීමට සිදු වෙනවා. මෙහිදී අවධාරණය කළ යුත්තේ මෙය පද්ධතිය බිඳ වැටීමෙන් පසුව එය නැවත යථා තත්ත්වයට පත් කෙරෙන තුරු ඇති වී තිබෙන තාවකාලික තත්ත්වයක් මිස දෙවසරකට පෙර ඇති වූ ආකාරයේ විදුලි අර්බුදයක් නොවන බවයි.

සාමාන්‍ය කරුණක් ලෙස විදුලිය ගබඩා කර තබා ගත නොහැකියි. දැන් කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වමින් විදුලිය ගබඩා කර තබා ගත හැකි විවිධ ක්‍රම තිබෙන බව පෙන්වා දී ඒවා විස්තර කරන්න පුළුවන්. එවැනි ක්‍රම තිබෙනවා. නමුත් ලංකාවේ දැනට තිබෙන ප්‍රායෝගික තත්ත්වය සැලකුවහොත්, අවශ්‍ය විදුලි ඉල්ලුම ඒ මොහොතේම සැපයිය යුතුයි. යම් මොහොතක රටට අවශ්‍ය උපරිම ඉල්ලුම මෙගා වොට් 3000 දක්වා ඉහළ යා හැකිනම්, එම ඉල්ලුම සැපිරීම පිණිස අවම වශයෙන් ඒ ප්‍රමාණයේ ජනන ධාරිතාවයක් රටට අවශ්‍ය වෙනවා. තාක්ෂනික හේතු ගණනාවක් නිසා සාමාන්‍යයෙන් පද්ධතියේ ධාරිතාවය උපරිම ඉල්ලුමට වඩා වැඩි විය යුතුයි.

ලංකාවේ විදුලි බල පද්ධතියේ සමස්ත ධාරිතාවය මෙගා වොට් 5000 ඉක්මවනවා. නමුත්, එසේ වූ පමණින්, ඕනෑම මොහොතක මෙගා වොට් 5000ක් හදන්න බැහැ. සූර්ය බල විදුලිය නිපදවිය හැක්කේ දවල් කාලයේදී පමණයි. ජලාශ වල ප්‍රමාණවත් තරම් වතුර නැත්නම් ජල විදුලිය පූර්ණ ධාරිතාවයෙන් නිපදවන්න බැහැ. පොසිල ඉන්ධන ආනයනය කරන්න ඩොලර් නැත්නම් තාප විදුලිය හදා ගන්න බැරි වෙනවා. ඔය වගේ සීමාවන් තිබුණත් සාමාන්‍යයෙන් රටේ උපරිම විදුලි ඉල්ලුම සැපිරිය හැකි ධාරිතාවක් මේ වෙද්දී රටේ තිබෙනවා. "වඳුරා පැනපු" අවස්ථාවේදී රට පුරාම විදුලිය නැති වුණේ විදුලිය ඉල්ලුමට සරිලන සැපයුම් ධාරිතාවයක් නොතිබුණු නිසා නෙමෙයි.

මේ වෙද්දී බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා වී තිබෙන පරිදි "වඳුරා පැනීම" හෝ වෙනත් කවර හෝ එවැනි අහඹු සිද්ධියක් සිදු වී තිබෙන්නේ ඉරිදා දිනයක් වන පෙබරවාරි 9 දින උදේ වරුවේදීයි. ඉරිදා දිනයක උදේ වරුව කියා කියන්නේ ලංකාවේ විදුලි ඉල්ලුම අඩුම වෙලාවක්. ලංවිම දත්ත අනුව, මේ වෙලාවේ පැවති විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එය ඉතාමත්ම අඩු මට්ටමක්. මෙවැනි අඩු මට්ටමක ඉල්ලුමක් ඇති විටෙක විදුලි සැපයුම ප්‍රශ්නයක් වීමට කිසිදු ඉඩක් නැහැ. පද්ධතියේ ධාරිතාවය එමෙන් හත් ගුණයකටත් වඩා වැඩියි. ඒ නිසා, ඉතා පැහැදිලිවම කිව යුත්තේ මේ බිඳ වැටීමට හේතුව පද්ධති කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් මිස විදුලි  සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා, විදුලි සැපයුම ඉහළ නැංවීම හා අදාළ ඇතැම් අයගේ යෝජිත විසඳුම් වලින් මෙවැනි තත්ත්වයන් ඇති වීම වලකාගත නොහැකියි. 

මතු සම්බන්ධයි. 

Saturday, February 15, 2025

වඳුරා පනින්නට පෙර...

පෙර සටහන අවසන් කළේ මේ විදිහටයි: "පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!"

මේක මැක්කෙක් නෙමෙයි. ඒ කියන්නේ කැරකිලා අන්තිමටම ආර්ථික කරුණු වෙත ප්‍රශ්නය ලඝු කිරීමක් නෙමෙයි. යම් සීමාවකින් එහාට ජාතික විදුලි පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීමේ ප්‍රශ්නයද ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.

මේ සටහන් ලියන්නේ අදාළ අංශ වල ඉංජිනේරුවන්ට උපදෙස් දෙන්න නෙමෙයි. ඒ වගේම, මෙහි ආර්ථික කරුණු හා අදාළ සටහන් ලියා පළ කරන්නෙත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දෙන්න නෙමෙයි. මේ සටහන් දැනුම වෙනුවෙන්, විනෝදය වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් වෙනුවෙන් සිංහල වියුණු හා වත්පොත් සටහන් කියවන සහ එයට ඇබ්බැහි වී සිටින පොදු පාඨකයින් වෙනුවෙන් ලියන සටහන් පමණයි. ඒ අය අතර ඉහත කී කණ්ඩායම් වලට උපදෙස් දිය හැකි විශේෂඥයින් ඉන්න පුළුවන්. ඒ අයට කැමතිනම් ප්‍රතිචාර දක්වමින් සංවාදයට එකතු විය හැකියි.

සටහනක් ලියද්දී අප විසින් වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ ඉලක්ක කණ්ඩායමට පහසුවෙන් තේරුම් ගත හැකි තරම් සරලව අවශ්‍ය කරුණු විස්තර කරන්නයි. නමුත්, වෘත්තීය කටයුතු අතර, වෘත්තීය නොවන කටයුත්තක් ලෙස, එක දිගට මේ සටහන් ලියා පළ කරද්දී ඒ වෙනුවෙන් යෙදවිය හැක්කේ සීමිත කාලයක් පමණක් බැවින් ලියන සටහන් නැවත කියවා සංශෝධනය කර හොඳම විදිහට ඉදිරිපත් කිරීම සඳහා කාලය මිඩංගු කරන්න අමාරුයි. එක දිගට ටයිප් කර ගෙන යන සටහනක් ඒ වහාම පළ කරන එකයි ගොඩක් වෙලාවට කරන්නේ. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කර අපැහැදිලි තැන්, අත් වැරදි ඇතුළු අනෙකුත් වැරදි ඇත්නම් ඒවා ගැන පැහැදිලි කර ගත හැකි නිසා මෙය ප්‍රශ්නයක්යැයි මා සිතන්නේ නැහැ. 

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම යන කාරණයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ අවස්ථිති කළමනාකරණය. නමුත් ඉල්ලුම් කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් නැති අයෙකුට අවස්ථිති කළමනාකරණය ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඉල්ලුම් කළමනාකරණය ගැන කලකට  පෙර සටහනක් ලියා පළ කර ඇතැයි සිතා සිටියත් එවැන්නක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා, පෙර සටහන පටන් ගන්න වුනේ ඉල්ලුම් කළමනාකරණයෙන්. පුළුල් පරාසයක දේවල් තනි ලිපියකින් කතා කරද්දී සමහර අවශ්‍ය ම කරුණු වලට තිබෙන අවධානය නැති වෙනවා. කියවන සමහර අයට අලියාගේ නැට්ට හෝ අලියාගේ කණ පමණක් අහු වෙනවා. නමුත් විෂය දැනුමක් නැති ගොඩක් අයට මේ ගැන යම් දැනුමක් ලබා ගන්න අවශ්‍ය මූලික කරුණු බොහොමයක් පෙර ලිපියේ තිබෙනවා කියා මම හිතනවා.

නැවත ඉල්ලුම් කළමනාකරණයෙන්ම පටන් ගත්තොත්, විදුලි ඉල්ලුම සාමාන්‍යයෙන් දවසේ වෙලාව අනුව විශාල ලෙස විචලනය වෙනවා. ඒ වගේම, සතියේ දිනවල සහ සති අන්තයේ ඉල්ලුමෙහි ස්වභාවය වෙනස්. සිංහල අවුරුදු දවස් ඇතුළු නිවාඩු දවස්, මැතිවරණ ප්රතිඵල විකාශනය කෙරෙන දවස් වැනි විශේෂ දවස් වල තවත් වෙනස් වෙනවා. 

සාමාන්‍යයෙන් සතියේ දවසක වැඩිම විදුලි ඉල්ලුමක් තිබෙන්නේ රාත්‍රී හතට පමණ. අඩුම ඉල්ලුමක් තියෙන්නේ පාන්දර දෙකේ සිට හතර පමණ දක්වා කාලය තුළයි. උදාහරණයක් ලෙස 2025 පෙබරවාරි 7 දින විදුලි ඉල්ලුමේ ස්වභාවය දෙස බැලුවොත් (මේ සමඟ පළ කරන පළමු රූප සටහන දෙස බලන්න) සතියේ දිනක ලංකාවේ විදුලි ඉල්ලුම වෙනස් වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පෙබරවාරි 7 ගත්තේ "වඳුරා පනින්න කලින්" අන්තිම සතියේ දවස නිසා.


ඉහත ප්‍රස්ථාරයෙන් දවස පුරා විදුලි ඉල්ලුම විචලනය වූ ආකාරය වගේම එම ඉල්ලුම විවිධ බලශක්ති ප්‍රභව වලින් සැපිරූ ආකාරයත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉල්ලුමෙන් පටන් ගත්තොත්, ඉල්ලුම අඩුම අවස්ථාවේදීත් එය මෙගාවොට් 1500ක් පමණ වෙනවා. උපරිම ඉල්ලුම මෙගා වොට් 2700ක් පමණ දක්වා යනවා. 

සැපයුම පැත්තෙන් බැලුවොත්, ගල් අඟුරු බලාගාර දවස පුරාම උපරිම ධාරිතාවයෙන් වැඩ කරලා තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් නිපදවෙන විදුලිය එසේ නිපදවද්දී එසැණින් පද්ධතියට එකතු කරගෙන තිබෙනවා. එම සැපයුම විචලනය වී තිබෙන්නේ බොහෝ දුරට පාලනයකින් තොරවයි. දවස තුළ ඉල්ලුම ඉහළ යද්දී, ඊට අනුරූපව මුලින්ම ජල විදුලිය සහ දෙවනුව තාප විදුලිය නිපදවා තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන දෙය.

සැපයුම මේ විදිහට කළමනාකරණය කරන්න හේතු ගණනාවක් තිබෙනවා. අවම පිරිවැයකින් විදුලිය නිපදවීමේ අවශ්‍යතාවය ඒ අතරින් එකක්. එය ආර්ථික කරුණක්. නමුත් මෙහිදී පිරිවැය අවම කරන්න වෙන්නේ පද්ධතියේ ස්ථායීතාවය ගැනද සිතමිනුයි. 

ගල් අඟුරු බලාගාර වල එක් ප්‍රශ්නයක් වන්නේ ඒවා පණ ගන්වා ක්‍රියාත්මක කර විදුලි බල පද්ධතියට එකතු කිරීම සඳහා විශාල කාලයක් අවශ්‍ය වීමයි. මෙම කාලය දින හතර පහක් දක්වා කාලයක් විය හැකියි. ඒ නිසා, සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාර එක දිගටම ක්‍රියාත්මකව තබා ගන්නවා. පුනර්ජනනීය බල ශක්තිය (අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී) ගබඩා කර තබා ගත නොහැකි බැවින් එසැණින් පද්ධතියට එකතු කර ගන්නට සිදු වෙනවා. මීට සාපේක්ෂව උදුන් තෙල් (Furnace oil) බලාගාර වහාම මෙන් පණ ගැන්විය හැකි අතර, ජල විදුලි බලාගාරද කෙටි කාලයක් ඇතුළත පණ ගැන්විය හැකියි. 

ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන්නේනම්, එහිදී ප්‍රයෝජනයට නොගැනෙන ජලය ජලාශ වල ඉතිරි වෙනවා. මෙය අවශ්‍ය වෙලාවක විදුලි ශක්තිය බවට පත කර ගත් හැකි විභව ශක්තිය ඉතිරි වීමක්. උදුන් තෙල් හෝ ඩීසල් බලාගාර ක්‍රියාත්මක නොවන විට ඉන්ධන ඉතිරි වෙනවා. ජල විදුලිය වඩා ලාභදායී බැවින් සාමාන්‍යයෙන් කරන්නේ ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යද්දී මුලින් ජල විදුලිය පද්ධතියට එකතු කර, ජල විදුලි බලාගාර ධාරිතා මට්ටමට ආසන්න වෙද්දී උදුන් තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමයි. ඉල්ලුම අඩු වෙද්දී මුලින් උදුන් තෙල් බලාගාර අක්‍රිය කර පසුව ජල විදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු කරනවා. ගල් අඟුරු බලාගාර අක්‍රිය කිරීම සඳහාද පැය ගණනාවක් යන බැවින් සාමාන්‍යයෙන් එය නිතරම කරන්නේ නැහැ. 

ලංකාවේ මෙගාවොට් 270ක ශුද්ධ ධාරිතාවයක් ඇති ගල් අඟුරු විදුලි ජනක යන්ත්‍ර තුනක් තිබෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 810ක ශුද්ධ ධාරිතාවයක්. 2025 පෙබරවාරි 7 දින දවස පුරාම එම බලාගාර තුන එක දිගටම ක්‍රියාත්මකව පැවතී ඇති බව පළමු රූප සටහනෙහි දැකිය හැකියි. අපි මෙය සතියේ දිනයක විදුලි ඉල්ලුම සපයන සාමාන්‍ය ආකාරය සේ සලකමු. 

මෙහිදී ඉල්ලුම විචලනය වන ආකාරය අනුව ජල විදුලි බලාගාර සහ උදුන් තෙල් බලාගාර ක්‍රියාත්මක කරමින් පද්ධතියට එකතු කර තිබෙන්නේ පෙර දත්ත මත පදනම්ව විදුලි ඉල්ලුම පුරෝකථනය කර එම පුරෝකථන මත පදනම්වයි. මෙම පුරෝකථන සියයට සියයක්ම නිවැරදි නැහැ. එහෙත් පුරෝකථන සෑහෙන තරම් නිවැරදි නිසා පුරෝකථන සහ සැබෑ ඉල්ලුම අතර වෙනස ගැලපිය හැකි පරිදි සැපයුම සීරුමාරු කිරීම ඒ තරම් අමාරු දෙයක් වී නැහැ (මේ සමඟ පළ කරන දෙවන රූප සටහන බලන්න). 



ඉහත ප්‍රස්ථාර දෙස බැලු විට පාන්දර දෙකේ සිට හතර දක්වා කාලය මෙන්ම උදේ දහයේ සිට හවස දෙක පමණ දක්වා කාලයද විදුලි ඉල්ලුම අඩු කාලයක් ලෙස හඳුනා ගත හැකියි. නමුත් මෙම ප්‍රස්ථාර වල වහල මත සවි කර ඇති සහ අනෙකුත් කුඩා සූර්ය කෝෂ වලින් නිපදවන විදුලි බලය පෙන්වා නැහැ. මෙහි තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට දවස පුරා දුරස්ථව නිරීක්ෂණය කළ හැකි වඩා විශාල පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබා දෙන විදුලි සැපයුම පමණයි. ඒ නිසා දිවා කාලය තුළ සැබෑ විදුලි ඉල්ලුම මෙන්ම සැපයුමද මේ ප්‍රස්ථාරයෙන් පෙනෙනවාට වඩා වැඩියි. 

දැන් අපි නිවාඩු දින වල තත්ත්වය විමසා බලමු. සාමාන්‍ය කරුණක් ලෙස ඉරිදා දින වලදී ලංකාවේ විදුලි ඉල්ලුම අඩුයි. මේ සමඟ පළ කරන තුන් වන රූප සටහනෙහි දැකිය හැක්කේ 2025 පෙබරවාරි 2 දින විදුලි ඉල්ලුම හා සැපයුමයි. පෙබරවාරි 2 ගත්තේ "වඳුරා පනින්න කලින්" අන්තිම ඉරිදා දිනය නිසා.



ප්‍රස්ථාරය දෙස බැලු විට ඔබට පෙනෙනු ඇත්තේ එදින අළුයම් කාලයේදීද මෙගාවොට් 1400කට නොඅඩු අවම ඉල්ලුමක් තිබී ඇති බවයි. එහෙත්, උදේ 10:30 පමණ සිට පස්වරු 2:00 පමණ දක්වා කාලය තුළ විදුලි ඉල්ලුම මෙගාවොට් 850 පමණ දක්වා පහත වැටී ඇති ආකාරය ඔබට දැකිය හැකියි. බොහෝ දෙනෙකු නිදන පාන්දර කාලයේ විදුලි ඉල්ලුමට වඩා විශාල ලෙස දිවා කාලයේදී විදුලි ඉල්ලුම අඩුවීම ඔබට පැහැදිලි කළ හැකිද?

ඇත්තටම මෙහිදී සිදුව තිබෙන්නේ විදුලි ඉල්ලුම ඒ තරමටම පහත වැටීමක් නෙමෙයි. සූර්ය බලයෙන් හදන විදුලිය ඉහළ යාමයි. මෙම විදුලි නිපැයුම එසැණින් දුරස්ථව මැනිය නොහැකි බැවින් මේ දත්ත වල එම විදුලි සැපයුම නැහැ. (එසේ කළ හැකි තරම් තාක්ෂනය දියුණු බව කිසිවෙකු මතක් කරන්න අවශ්‍ය නැහැ. මේ ලංකාවේ පවතින තත්ත්වයයි.). හොඳින් ඉර එලිය වැටී කුඩා සූර්ය කෝෂ වලින් වැඩිපුර විදුලිය නිපදවද්දී එක පැත්තකින් පද්ධතියට වැඩියෙන් වදුලිය සැපයීමක් වෙනවා. අනෙක් පැත්තෙන් එසේ පද්ධතියට විදුලිය සැපයුවේ නැතත්, එම විදුලිය පරිභෝජනය කෙරෙන බැවින් පද්ධතියෙන් විදුලිය සැපයිය යුත්තේ අඩුවෙන්. කෙටියෙන් කිවුවොත්, මේ අයුරින් විදුලි සැපයුම ඉහළ යාම පද්ධති පාලනය සඳහා යොදා ගන්නා දත්ත වල නිරූපණය වන්නේ ඉල්ලුම අඩුවීමක් ලෙසයි. මෙය මේ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

මේ අයුරින්, හොඳින් ඉර පායා ඇති ඉරිදා දිනක ජාතික විදුලි බල පද්ධතියෙන් (කුඩා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැර) සැපයිය යුතු විදුලි බලය මෙගාවොට් 850 පමණ දක්වා අඩු විය හැකියි. දවසේ උපරිම ඉල්ලුම මෙගාවොට් 2400 පමණ මට්ටමක ඇති බවද අපට නිරීක්ෂණය කළ හැකියි. මෙම ඉරිදා දිනය තුළ විදුලි ඉල්ලුම සපුරා තිබෙන්නේ කෙසේද?

මෙම ඉරිදා දිනයේදීද මූලික ඉල්ලුම ගල් අඟුරු වලින් සපයා ඇති අතර, පුනර්ජනීය බලශක්තියද එකතු කරගැනීමෙන් පසුව, ඉල්ලුම විචලනය වෙද්දී පළමුව ජල විදුලියද, දෙවනුව උදුන් තෙල් වලින් නිපදවන තාප විදුලියද පද්ධතියට එකතු කර තිබෙනවා. එහෙත් එදින ක්‍රියාත්මකව තිබී ඇත්තේ ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනෙන් දෙකක් පමණයි. මීට හේතුව ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනම සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගත නොහැකි වීමයි. සූර්ය බල විදුලි සැපයුම ඉහළ ගොස් දිවා කාලයේදී විදුලි ඉල්ලුම අඩු වෙද්දී එම ජනක යන්ත්‍ර දෙකේ විදුලි බල සැපයුමද සීමා කර තිබෙනවා. 

ජාතික විදුලි බල පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීම මෙගාවොට් වලින් ඉල්ලුම හා සැපයුම සමතුලිත කිරීමක් ලෙස සරල අංක ගණිතයෙන් පැහැදිලි කරන්න බැහැ. මෙගාවොට් වලින් ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතු වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිස ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. 

විදුලිය ජනනය කරන තැන සිට පාරිභෝගිකයා තෙක් සම්ප්‍රේෂණය කරද්දී විදුලි ශක්තිය හානි වීමක් සිදු වෙනවා. මෙය සරල පිරිවැය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සපයන විදුලියේ ගුණාත්මක භාවය පිළිබඳ මෙන්ම, පද්ධතියේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක්ද මෙහි තිබෙනවා. විදුලි බල පද්ධතියේ එකම තැනකින් පද්ධතියට විදුලිය සපයද්දී පද්ධතිය පුරා එහි අවස්ථිතිය පවත්වා ගැනීම වඩා අසීරුයි. පද්ධතියට අවස්ථිතියක් සපයන ජල විදුලිය සහ තාප විදුලිය රටේ විවිධ තැන් කිහිපයකින් පද්ධතියට එකතු වෙද්දී පද්ධතිය ස්ථාවරව තබා ගැනීම වඩා පහසු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී ගල් අඟුරු වලින් විදුලිය නිපදවීම සීමා කර ජල විදුලි සැපයුමද යම් මට්ටමක පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඒ නිසා. 

මෙහි පළ කරන හතරවන රූප සටහනෙහි ඔබට දැකිය හැක්කේ 2025 පෙබරවාරි 2 දින දිවා කාලයේදී සැබෑ විදුලි ඉල්ලුම පුරෝකථනය කර තිබුණු විදුලි ඉල්ලුමට වඩා මෙගාවොට් 300කින් පමණ පහත වැටී ඇති ආකාරයයි. මේ අයුරින් පුරෝකථන වැරදීමට ප්‍රධාන හේතුවක් වන්නේ එදින ඉර එළිය හොඳින් වැටී සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාමයි. එම දිනයේ දිවා කාලයේදී සැපයුම දුරස්ථව නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම මෙගාවොට් 75 පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. 


මේ අයුරින් පුරෝකථන වැරදීමට හේතුව සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාම බව මා කියන්නේ ඇයි?

මෙම දිනයට පෙර ඉරිදා දිනය වන 2025 ජනවාරි 26 දින සිදු වී තිබෙන්නේ හරියටම මෙහි අනෙක් පැත්තයි. එදින දිවා කාලයේදී සැබෑ විදුලි ඉල්ලුම පුරෝකථන වලට වඩා මෙගාවොට් 200කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදින අවම ඉල්ලුම තිබී ඇත්තේ මෙගා වොට් 1200 පමණ ඉහළ මට්ටමකයි. එමෙන්ම, එදින දිවා කාලයේදී සැපයුම දුරස්ථව නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම තිබී ඇත්තේ මෙගාවොට් 45 නොඉක්මවන මට්ටමකයි. 

නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම ඇසුරෙන්  නිරීක්ෂණය කළ නොහැකි කුඩා සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. එම සැපයුම මෙගාවොට් 45කින් පමණ වැඩි වෙද්දී විදුලි ඉල්ලුම මෙගාවොට් 300 ඉක්මවා පහත වැටී තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ කුඩා සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම වෙනස් වෙද්දී පද්ධතියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 300-400කින් පමණ විචලනය විය හැකි බවයි. මේ අයුරින් විදුලි ඉල්ලුම විචලනය වෙද්දී පුරෝකථන මත පදනම්ව පෙර සැලසුම් කර විදුලි ජනක ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියා විරහිත කිරීම වඩා අසීරු වෙනවා. එමෙන්ම පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමද වඩා අසීරු වෙනවා. පද්ධතියේ ස්ථායීතාවය අඩු වන තරමට "සුළු වරදකින්" පද්ධතියම ක්‍රියා විරහිත වීමේ අවදානමද ඉහළ යනවා.

මේ තත්ත්වය ජාතික විදුලි බල පද්ධතියේ අවස්ථිතිය කෙරෙහි බලපාන්නේ කොහොමද? "වඳුරා පැනපු" දවසේ සිදු වුනේ කුමක්ද? මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා කෙටිකාලීනව හා දිගුකාලීනව කළ හැකි දේවල් තිබේද? මේ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. 

Friday, February 14, 2025

විදුලිය නැති කළ වඳුරා කවුද?

මෑතකදී ලංකාවේ විදුලි බල පද්ධතියම එකවර බිඳ වැටුනා. මේ වැඩේ දැන් තරමක් කෙටි කාලාන්තර තුළ නැවත නැවත සිදු වෙන දෙයක් වෙලා. එක් ප්‍රවාදයකට අනුව වග කිව යුත්තා වඳුරෙක්. පොල් ගණන් ගිහින් තියෙන්නෙත් වඳුරෝ නිසා කියලා කියනවනේ. එහෙම බැලුවහම වඳුරෝ දැන් ලංකාවේ ඉන්න ලොකුම ආණ්ඩු විරෝධී කණ්ඩායම වගේ. යන විදිහට 2030 දිනන්නේ වඳුරෝ වෙන්නත් බැරි නැහැ. 

කොහොම වුනත්, තවත් ප්‍රවාදයක් තියෙනවා. ඒ ප්‍රවාදයට අනුව, විදුලි බල පද්ධතිය ස්ථාවරව තියාගන්න අසීරු වී තියෙන්නේ සූර්ය බල විදුලිය ඕනෑවට වඩා පද්ධතියට එක් කිරීම නිසා. මේ සටහන ඒ ගැන විමසා බැලීමක්.

මෙය ආර්ථික විද්‍යා විමසුමක් නෙමෙයි. නමුත් කතා කරන්න තියෙන්නේ ඉල්ලුම, සැපයුම සහ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන. ආර්ථිකය හසුරුවන මධ්‍යගත සැලසුමක් නොවෙතත්, කතාවේ මධ්‍යගත සැලසුමකුත් තිබෙනවා. 

විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, විදුලිය නිපදවන විටම පරිභෝජනය කරන්න වෙනවා. පරිභෝජන ඉල්ලුම විචලනය වන්නක් නිසා, ඉල්ලුමට ගැලපෙන විදිහට සැපයුම කළමනාකරණය කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ මධ්‍යගත ක්‍රමයකට. සාමාන්‍යයෙන් කොයි රටක වුනත් ඔය වැඩේ කරන්නේ ඔය විදිහට. සමහර කටයුතු වලදී මධ්‍යගත සැලසුම් වඩා කාර්යක්ෂමයි. 

ලංකාවේ විදුලිය නිපදවන ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒ අතරින් සම්ප්‍රදායික ක්‍රම වන්නේ ජල විදුලි උත්පාදනය සහ තාප විදුලි උත්පාදනය. පුනර්ජනනීය බලශක්ති කියන්නේ සාපේක්ෂව අලුත් දෙයක්. 

ජල විදුලි උත්පාදනයේදී සිදු වෙන්නේ ඉහළ උසක තිබෙන ජලයේ විභව ශක්තිය යොදා ගනිමින් ටර්බයිනයක් කරකවා එමගින් ඒ විභව ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගැනීම. විදුලි ජනකයකින් කරන්නේ චාලක ශක්තිය විදුලි බලය බවට හරවන එක. 

තාප විදුලිය හදද්දී වෙන්නෙත් මීට කිට්ටුවෙන් යන දෙයක්. එහිදී උණුසුම් ජල වාෂ්ප වල තිබෙන තාප ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගන්නවා. ඩීසල්, ස්වභාවික වායු, ගල් අඟුරු වගේ කොයි ඉන්ධනයක් යොදා ගත්තත් එයින් කරන්නේ ඉන්ධනය දහනය කරද්දී ලැබෙන තාප ශක්තිය යොදා ගෙන ටර්බයිනයක් කරකවන එක. එක්කෝ උණුසුම් ජල වාෂ්ප වලින්. එහෙම නැත්නම් උණුසුම් ස්වභාවික වායු වලින්. ඔය දෙකෙන්ම කලවමේ වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට විදුලිය හැදෙන්නේ දඟරයක් ඇතුළේ චුම්බකයක් කරකැවෙන එකෙන්. 

ලංකාවේ භාවිතයේ නැතත්, න්‍යෂ්ඨික බලාගාර වල වෙන්නෙත් ඔය වැඩේමයි. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවකින් හැදෙන තාප ශක්තිය චාලක ශක්තිය වෙලා පසුව විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් විදුලි ශක්තිය බවට පත් වෙනවා. බයිසිකලයක් පදින කොට එහි ප්‍රධාන විදුලි ලාම්පුව පත්තු වෙන්නෙත් ඔය ක්‍රමයට. බයිසිකලය පාගද්දී ලබා දෙන චාලක ශක්තිය බයිසිකලයේ තිබෙන කුඩා විදුලි ජනකයෙන් විදුලි ශක්තිය බවට හරවනවා. 

ඔය ක්‍රම වලින් හැදෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය. ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාව කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ධන සෘණ ධන සෘණ ලෙස දිශාව මාරු කරනවා. මෙය සිදු වෙන්නේ සුමට විදිහටයි. එකවර ධන සෘණ මාරු වෙන්නේ නැහැ. ටිකෙන් ටික අඩු වෙලා, බිංදුවට ආවට පස්සේ සෘණ පැත්තට යනවා. ඒ වගේම ටිකෙන් ටික වැඩි වෙලා බිංදුවට ආවට පස්සේ නැවත ධන පැත්තට යනවා. මේ චක්‍රයක් සම්පූර්ණ වෙන්න යන කාලය විදුලිය නිපදවන ජනක යන්ත්‍රය කැරකෙන වේගයට සමානුපාතිකයි. 

නමුත් සූර්ය කෝෂ වලින් හදන්නේ ඔය විදිගේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නෙමෙයි. එය සරල ධාරා විදුලිය (DC).  ධන සෘණ ලෙස දිශාව මාරු වීමක් නැහැ. වෝල්ටීයතාවය ස්ථාවර මට්ටමක දිගටම තිබෙනවා. 

අපේ ගෙවල් වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය. ඒ නිසා, ගෙවල් වල විදුලි උපකරණ බොහොමයක් හදලා තියෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියෙන් වැඩ කරන විදිහට. ඒ වගේම රටක ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය පිළිබඳ සම්මතයක් තිබෙනවා. ලංකාවේ සම්මතය වෝල්ට් 230 සහ සංඛ්‍යාතය හර්ට්ස් 50. ඇමරිකාවේනම් වෝල්ට් 120 සහ සංඛ්‍යාතය හර්ට්ස් 60. මේ වෙනස නිසා ඇමරිකාවේ භාවිතා වෙන විදුලි උපකරණයක් සෘජුවම ලංකාවේ විදුලියට සම්බන්ධ කරන්න බැහැ. එහෙම කරන්නනම් අතරමැදි උපකරණයක් අවශ්‍ය වෙනවා. 

මෙහි සංඛ්‍යාතය කියා කියන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය තප්පරයකදී සම්පූර්ණ කරන චක්‍ර ගණන. එහෙමත් නැත්නම් ධන සෘණ මාරු කරන වාර ගණන. එය එම විදුලිය නිපදවන ජනක යන්ත්‍ර තත්පරයකට කැරකැවෙන වාර ගණනට සමානුපාතිකයි.

ලංකාවේ ජනක යන්ත්‍ර සියල්ලම එක් තනි පද්ධතියක් ලෙස සම්බන්ධ කරලයි තියෙන්නේ. ලෝකයේ අනෙක් රටවල ඒ වැඩේ වෙන්නත් ඔය ක්‍රමයට. මේ ජනක යන්ත්‍ර සියල්ලෙන්ම පද්ධතියට ලැබෙන විදුලිය ඉන් පසුව රට පුරා තිබෙන ග්‍රිඩ් උප පොළවල් හරහා පාරිභෝගිකයන්ට බෙදා හරිනවා. ඒ සඳහා මධ්‍යගත සැලසුමක් අවශ්‍යයි.

මේක අපි ලංකාවේ සහල් වෙළඳපොළට සමාන කළොත් මුළු රටේම සහල් ටික රජය විසින් එකතු කරගෙන පාරිභෝගිකයින්ට බෙදා දෙන එක වගේ වැඩක්. හැබැයි හාල් ගබඩා කර තියා ගන්න පුළුවන්. විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, හැම මොහොතකම ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්න වෙනවා. වෙළඳපොළ මිල යාන්ත්‍රනය හරහා ඉබේටම සිදු වන ආකාරයේ සමතුලිතතාවයක් මෙහිදී ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පවතින මිල දෙස බලා ප්‍රතිචාර දැක්විය හැකි වුවත්, ජනක යන්ත්‍ර වලට එහෙම කරන්න බැහැ.

නමුත්, වෙළඳපොළ මිල සංඥාව වගේ එකක් මෙතැනත් තියෙනවා. වෙළඳපොළේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවනේ. ඒ වගේම, විදුලි බල පද්ධතියේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මොකද වෙන්නේ? වෙළඳපොළකනම් මිල අඩු වෙනවා. විදුලි බල පද්ධතියේ වෙන්නේ ජනක යන්ත්‍ර කැරකෙන්න ගතවන කාලය අඩු වෙන එක. 

ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා කියන්නේ කැරකෙන වේගය අඩු වෙනවා කියන එක. ඒක හරියට කරත්තෙකට බර ගොඩක් පැටෙවුවහම කරත්තේ අදින ගොනාගේ වේගය අඩු වෙනවා වගේ වැඩක්. ගොනාට බර දරාගන්න අමාරු වෙනවා වගේම, විදුලි ජනක යන්ත්‍ර වලටත් විදුලි ඉල්ලුම වැඩි වීමේ බර දරාගන්න අමාරු වෙනවා. 

අනෙක් අතට විදුලි ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් වෙන්නේ පල්ලමක් බහිද්දී බයිසිකලයක වේගය වැඩි වෙනවා වගේ වැඩක්. ජනක යන්ත්‍ර කරකැවෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පරයකට කැරකෙන වට ගණනත් වැඩි වෙනවා. නිපදවන විදුලියේ සංඛ්‍යාතය ඉහළ යනවා.

දැන් ඔය විදිහට විදුලි ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී පද්ධතියේ සංඛ්‍යාතයත් අඩු වැඩි වෙනවා. ඒ විදිහට සංඛ්‍යාතය වෙනස් වෙද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා සංඛ්‍යාතය නැවත අවශ්‍ය මට්ටමට ගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?

මේ වැඩේ කරන්නනම් ඉල්ලුම වැඩි වේගෙන යද්දී සැපයුම වැඩි කරන්න වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී නැවත සැපයුම වැඩි කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ සංඛ්‍යාතය දිහා බලාගෙන. එක තමයි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ සංඥාව. 

මේ විදිහට සැපයුම අඩු වැඩි කරන්න අවශ්‍ය වූ විට විදුලි ජනක වලට ලබා දෙන බලය සීරුමාරු කරලා ඒ වැඩේ සාපේක්ෂව පහසුවෙන් කරන්න පුළුවන්.  ජල විදුලිය නිපදවද්දී අවසානයේදී විදුලි බලය බවට පත් වෙන්නේ පහළට වැටෙන ජලය. ඒ නිසා ජල ප්‍රමාණය පාලනය කරලා විදුලි සැපයුම පාලනය කරන්න පුළුවන්. ඩීසල් විදුලි ජනකයක්නම් දහනය කරන ඩීසල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට විදුලි සැපයුම වැඩි කළ හැක්කේ විදුලි ජනකයක් එහි උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්නේ නැත්නම් පමණයි. ඒ නිසා, ඉල්ලුම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී අලුතෙන් විදුලි ජනකයක් පණ ගන්වන්න වෙනවා. ඉල්ලුම ලොකුවට අඩු වෙනවානම් විදුලි ජනකයක් අක්‍රිය කරන්න වෙනවා.

ක්‍රියාත්මක විදුලි ජනකයක සැපයුම වැඩි කරන එක ක්ෂණයකින් මෙන් කළ හැකි වුවත්, අලුත් විදුලි ජනකයක් පණ ගන්වලා පද්ධතියට එකතු කරන එක ඒ තරම්ම හදිසියෙන් කරන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා, ඉල්ලුම ඉහළ යාගෙන එන බව පෙනෙද්දීම විදුලි ජනකයක් ක්‍රියාත්මක කරන වැඩේ පටන් ගන්න වෙනවා. එසේ කරන්නනම් විදුලි ඉල්ලුම වෙනස් වෙන විදිහ පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කරන්න වෙනවා.

පද්ධතියේ ධාරිතාව ඉල්ලුමට වඩා අඩුනම් මොන විදිහකින්වත් අවශ්‍ය ඉල්ලුම සපයන්න බැහැ. ලයිට් කපන්න වෙන්නේ එහෙම වුනාම. සමහර අය අහන ප්‍රශ්නයක් තමයි "හරියටම ලයිට් ඕනෑ වෙලාවටම ලයිට් කපන්නේ ඇයි?" කියන එක. පද්ධතියේ ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්නනම්, ලයිට් කපන්න වෙන්නේ හරියටම ඒ වගේ වෙලාවකම තමයි. විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ වැඩිපුරම ලයිට් අවශ්‍ය වෙලාවට!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ අනුව, ලංකාවේ විදුලියේ සංඛ්‍යාතය උපරිම වශයෙන් හර්ට්ස් 1කට වඩා අඩු වැඩි වෙන්න බැහැ. ඒ කියන්නේ හර්ට්ස් 49-51 පරාසයේ තිබිය යුතුයි. ලංවිම සාමාන්‍යයෙන් මෙය හර්ට්ස් 49.5-50.5 පරාසයේ තියා ගන්නවා. එසේ කරන්නේ සැපයුම පාලනය කිරීම මගින්. රට පුරා තිබෙන විදුලි ජනක නිශ්චිත සැලසුමකට අනුව පණ ගැන්වීම සහ අක්‍රිය කිරීම මගින් ඒ වැඩේ කරනවා. මෙසේ කරද්දී වෙනත් අමතර සාධක ගණනාවක්ද සලකා බලන්න සිදු වෙනවා. රටේ තැන් තැන් වල වෝල්ටීයතාවය අඩු නොවී අවශ්‍ය මට්ටමේ තබා ගැනීම, හැකි තරම් අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කිරීම වගේ දේවල්.

හදිසියේ අනපේක්ෂිත බිඳ වැටීමක් වෙලා විදුලි සැපයුම එක පාරට අඩු වුනොත් සහ පද්ධතියේ ක්‍රියාත්මකව තිබෙන ජනක යන්ත්‍ර ධාරිතා මට්ටම ආසන්නයේ ක්‍රියාත්මකව ඇත්නම්, වැඩේ ගොඩ දාගන්න අමාරුයි. අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වන්න යම් අවම කාලයක් යනවා. ඒ කාලය තුළ, සංඛ්‍යාතය ගොඩක් අඩු වෙන්න පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා කළ හැක්කේ යම් ප්‍රදේශයක, සාමාන්‍යයෙන් බිඳ වැටීම සිදු වුනු ප්‍රදේශයේ, විදුලි සැපයුම විසන්ධි කරන එක. මේ වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. අනපේක්ෂිතව ලොකු බිඳ වැටීමක් වුනොත් රටේම විදුලිය ක්ෂණිකව විසන්ධි වෙන්න පුළුවන්. එහෙම වෙන විදිහට පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ උපකරණ වල ආරක්ෂාව සඳහා. ඔය වගේ බිඳ වැටීමක් සිදු වුනාට පස්සේ ජනක යන්ත්‍ර සියල්ලම නැවත එකින් එක පණ ගන්වමින් පරිස්සමින් පද්ධතියට එකතු කරන්න වෙනවා. පද්ධතියේ තුලනය පවත්වා ගෙන ඔය වැඩේ කරන්න යම් කාලයක් ගත වෙනවා. පසුගිය දවස් වල සිදු වුනේ ඕක. 

මේ ආකාරයෙන් මුළු රටකම ජනනය වන විදුලි ශක්තිය එකම පද්ධතියකට සම්බන්ධ කර එම විදුලි ශක්තිය රට පුරා බෙදා හරින ඉහත විස්තර කළ ආකාරයේ පද්ධති මුලින්ම සැලසුම් කරද්දී පුනර්ජනනීය බලශක්ති භාවිතයක් තිබුණේ නැහැ. මොන ක්‍රමයෙන් විදුලිය ජනනය කළත් අවසාන අදියරේදී සිදු වුනේ ජනක යන්ත්‍රයක් මගින් ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවීමයි. එකට එකතු කෙරුනේ එසේ නිපදවනු ලැබූ "එකම වර්ගයේ" විදුලියයි. 

සූර්ය බල විදුලිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය මේ තත්ත්වය කෙරෙහි බලපාන්නේ කොහොමද?

පෙර කී පරිදි සූර්ය කෝෂ වලින් හදන්නේ සරල ධාරා (DC) විදුලියයි. එහෙත්, නිවෙස් වල භාවිතය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලියයි. ඒ නිසා, නිවෙස් වල භාවිතය සඳහා අපවර්තකයක් (inverter) යොදා ගෙන සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. මුල් කාලයේදී මෙසේ සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා යොදා ගත්තේ යාන්ත්‍රික අපවර්තකයි. එහිදී සිදු වූයේ මුලින්ම නිපදවන විදුලියෙන් DC මෝටරයක් කරකවා එම මෝටරය මගින් ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මේ ක්‍රමයෙන් මුලින් විස්තර කළ වර්ගයේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය නිපදවා ගත හැකි වුවත් එම ක්‍රමයේදී සිදු වූ කාර්යක්ෂමතා හානිය ඉතා විශාල වූ බැවින් යාන්ත්‍රික අපවර්තක භාවිතයෙන් ඉවත් වුනා. 

දැන් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා උපයෝගී කරගන්නේ විද්‍යුත් පරිපථ පාදක කරගත් අපවර්තකයි. මෙහි ක්‍රියාකාරිත්වය සරලව පැහැදිලි කිරීම සඳහා, සරල ධාරාවක් උත්පාදනය කරන බැටරියක ධන හා සෘණ අග්‍ර දෙක වරින් වර එකිනෙක මාරු කරමින් කිසියම් පරිපථයකට විදුලි බලය සපයන්නේයැයි සිතමු. එක සමාන කාලාන්තර වලදී, තත්පරයකට 50 වරක් මේ අග්‍ර මාරුව සිදු කරන්නේයැයි සිතමු. මෙහි ප්‍රතිඵලය වන්නේ සරල ධාරා විදුලිය සංඛ්‍යාතය 50 වූ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හැරීමයි. එහෙත්, මෙහිදී නිපදවෙන්නේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා නොවෙයි. 


කෙසේ වුවද, ඉහත ක්‍රියාවලියේදී ධන සෘණ මාරු කිරීම සඳහා යොදා ගන්නා ස්විච්චය වෙනුවට එවැනි ස්විච්ච කිහිපයක් යොදා ගනිමින් සහ එම ස්විච්ච හරහා ගලා යන විදුලිය එකට එකතු කරමින් වඩා "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවා ගත හැකියි (මේ සමඟ පළ කරන රූප සටහන බලන්න). සූර්ය කෝෂ වලින් ගෙදර හදා ගන්නා විදුලිය ගෙදර භාවිතයට ගන්නේනම් එතැනින් ප්‍රශ්නය ඉවරයි. අපවර්තකයේ "ස්විච්ච ගණන" වැඩි වන තරමට වඩා හොඳ විදුලිය හැදෙනවා. 

නමුත්, මේ විදිහට "ගෙදර හදා ගන්නා" සූර්ය බල විදුලිය පෙර විස්තර කළ ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරද්දී තවත් දේවල් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ අතරින් පළමු ප්‍රශ්නය මේ විදිහට අපවර්තනය කර නිපදවන ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය සමමුහුර්ත කර ගැනීමයි. එනම්, රූප සටහනේ විදුලි තරංගයේ උසම හා පහළම තැන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය උස් පහත් වන රටාව හා හරියටම ගැලපීමයි. මේ සඳහා තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා.

ඉහත කී සමමුහුර්තකරණය සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය "කියවා" ඒ අනුව ඊට ගැලපෙන තරංගයක් කෘතිමව හැදීමේ (phase locked loop) තාක්ෂනයයි. මෙම ක්‍රියාවලියේදී අපවර්තනය කර හදන කෘතීම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරාවේ සංඛ්‍යාතයද ජාතික විදුලි බල පද්ධතියේ එම සංඛ්‍යාතය සමඟ හරියටම ගැලපෙනවා මෙන්ම එය වෙනස් වන ආකාරය අනුව වෙනස් වීමද සිදු වෙනවා. දැන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. 

දැන් නැවතත් මුලින් කතා කළ ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය වෙත ගියොත්, සූර්ය බල විදුලිය නිපදවෙන්නේ සූර්යාලෝකය වැටෙන විදිහටයි. සූර්යාලෝකය අඩු වැඩි වෙද්දී නිපදවෙන විදුලිය ප්‍රමාණයද විචලනය වෙනවා. නමුත් සම්ප්‍රදායික ක්‍රම වලට විදුලිය ජනනය කරද්දී මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ලබා දෙන ජල ප්‍රමාණය හෝ දහනය කරන ඉන්ධන ප්‍රමාණය හරියටම පාලනය කළ හැකි නිසා සැපයුම අවශ්‍ය මට්ටමේ තියා ගන්න පුළුවන්. විචලනය වෙන්නේ ඉල්ලුම පමණයි.

නමුත් සූර්ය බල විදුලිය පද්ධතියට එකතු කිරීමෙන් පසුව ඉල්ලුම මෙන්ම සැපයුමද විචලනය වෙනවා. සූර්ය බල භාවිතය අඩුනම් මේ විචලනය ඒ තරම් ප්‍රශ්නයක් නොවුනත් භාවිතය ඉහළ යන තරමට පද්ධති පාලනය අසීරු වෙනවා. මේක පළමු ප්‍රශ්නය. 

දෙවන ප්‍රශ්නය ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් විදුලි තරංගයේ සංඛ්‍යාතය අඩු වෙන බව කලින් කිවුවනේ. සම්ප්‍රදායික ජනන යන්ත්‍ර පමණක් සම්බන්ධ කර තිබේනම්, පද්ධතියේ එක් කොටසක සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙද්දී එසේ නැති වෙනත් පැත්තකින් ඒ පැත්තට විදුලිය ගලා එනවා. ඒ හරහා සංඛ්‍යාතය පහළ යාම පාලනය වීමක් සිදු වෙනවා. අනෙක් පැත්තටත් එහෙමයි. නමුත් සූර්ය කෝෂ වලින් එකතු වන විදුලියේ සංඛ්‍යාතය පාලනය කෙරෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් නැහැ. ඒ වෙනුවට, පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙද්දී වෙන්නේ ඒ දිහා බලාගෙන සූර්ය කෝෂ විදුලි අපවර්තකයෙන් හදන විදුලියේත් සංඛ්‍යාතය අඩු කරන එක. මේ වැඩෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. 

තව තුන්වන ප්‍රශ්නයකුත් තිබෙනවා. පද්ධතියට අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වා එකතු කරද්දී හෝ ජනක යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත් කරද්දී එක වරම විදුලි සැපයුම විශාල ලෙස ඉහළ හෝ පහළ යන්න පුළුවන්නේ. එසේ වුවහොත් සංඛ්‍යාතයද එක වර විශාල ලෙස වෙනස් වෙනවා. නමුත් ජනක යන්ත්‍ර යාන්ත්‍රික මෙවලම් නිසා එය ඒ විදිහටම වෙන්නේ නැහැ. ජනක යන්ත්‍රයකට ලබා දෙන ජල හෝ තාප සැපයුම නැවැත්වුවත්, අවස්ථිතිය  නිසා එය දිගටම කැරකෙනවා. නවතින්නේ යම් වෙලාවක් ගිහින්. පණ ගන්වද්දී වුනත් අවශ්‍ය වේගය එන්නේ ටික වෙලාවක් ගිහින්. මේ පමාව පද්ධති පාලකයින්ට වාසියක්. ඔය කාලය අතරතුර අවශ්‍යනම් ජනක යන්ත්‍රයක් මාරු කරන්න පුළුවන්. එය සුමට ලෙස පද්ධතියට එකතු වෙනවා. නමුත් ඔය විදිහේ යාන්ත්‍රික සම්බන්ධයක් නැති අපවර්තනය කළ සූර්ය කෝෂ විදුලිය එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි. 

ඉහත විස්තර කළ හේතු සියල්ලම නිසා අවසාන වශයෙන් වෙන්නේ පද්ධති පාලනය වඩා අසීරු වීම. අපවර්තිත විදුලිය පද්ධතියට වැඩියෙන් එකතු කරන තරමට ප්‍රශ්නය උග්‍ර වෙනවා. 

මේ ප්‍රශ්නය තියෙන්නේ සූර්ය බල විදුලියේ පමණක් නෙමෙයි. සුළං බලාගාර වලත් ඔය ප්‍රශ්නය තියෙනවා. නමුත් සුළං බලාගාර වල නිපදවන්නේ සරල ධාරා විදුලිය නෙමෙයි. එහිදී වෙන්නෙත් සුළං බලයෙන් ජනක යන්ත්‍රයක් කරකවලා විදුලිය හදන එක. එහෙමනම් සුළං බල විදුලිය ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

හදන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය වුනත්, සුළං බලාගාර වලින් ජල විදුලිය හෝ තාප විදුලිය මෙන් "පිරිසිදු විදුලිය" හැදෙන්නේ නැහැ. ඊට හේතුව ජල විදුලිය හෝ තාප විදුලිය නිපදවන විට මෙන් අවර පෙති කැරකෙන වේගය පාලනය කළ නොහැකි වීමයි. ඒවා කැරකෙන්නේ සුළං හමන වේගයට. ඒ නිසා හැදෙන විදුලියේ සංඛ්‍යාතයද සුළඟ හමන වේගය අනුව තීරණය වෙනවා සහ විචලනය වෙනවා. ප්‍රායෝගිකව බොහෝ විට කරන්නේ මෙම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය පළමුව සරල ධාරා විදුලිය බවට හරවා දෙවනුව අවශ්‍ය පරිදි අපවර්තනය කිරීමයි. ඒ නිසා, සූර්ය බල විදුලියේ තිබෙන ප්‍රශ්න සුළං බල විදුලියේත් තිබෙනවා.

සම්ප්‍රදායික ක්‍රම වලදී විදුලිය බවට නොහැරෙන බල ශක්තිය වෙනත් ආකාරයකින් රඳවා ගන්න පුළුවන්. ඉහළ ජලාශයක තිබෙන වතුර ලෙස හෝ ගල් අඟුරු වැනි ඉන්ධනයක් විදිහට. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සැපයුම වැඩි කරන්න පුළුවන්. නමුත් පුනර්ජනනීය විදුලිය හදද්දී එවැන්නක් කරන්න බැහැ. සූර්ය තාපය හෝ සුළං බලය ඒ මොහොතේම විදුලිය බවට හැරෙව්වේ නැත්නම් එම ප්‍රමාණය අපතේ යනවා. 

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩිපුර යොදා ගනිද්දී ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කිරීම සඳහා යොදා ගන්නා එක් පිළියමක් වන්නේ නිපදවන විදුලි බලයෙන් යම් කොටසක් පද්ධතියට එක් නොකර ආපතික සංචිතයක් ලෙස (contingency reserve) පවත්වා ගැනීමයි. සංචිතයක් කිවුවත් මෙය සංචිතයක්ම නෙමෙයි. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන එන කොට ඒ කොටසත් එකතු කරනවා. සංඛ්‍යාතය වැඩි වේගෙන යනවානම් එකතු කරන බල ශක්තියෙන් කොටසක් එකතු නොකර ඉන්නවා. මේ වැඩේට තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා. ඒ වගේම බල ශක්තිය සැලකිය යුතු තරමකින් නාස්ති වීමක් වෙන්න පුළුවන්. බැටරි වලින් නාස්තිය වලකා ගත හැකි වුනත් බැටරි මිල අධිකයි. 

මීට අමතරව නිවාස මට්ටමේදීම ඉල්ලුම් කළමනාකරණය කරන්නත් පුළුවන්. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන යද්දී පොඩි වෙලාවකට ගෙවල් වල වායු සමීකරණ ක්‍රියා විරහිත කෙරෙනවා. අපේ ගෙවල් වල ඒ වැඩේ කරන්න උපාංගයක් සවි කරලයි තියෙන්නේ. සුළු වෙලාවකට කරන වැඩක් නිසා එය ගෙදර අයට දැනෙන්නේ නැහැ. එක වර වායු සමීකරණ යන්ත්‍ර ගණනාවක් පොඩි වෙලාවකට ක්‍රියා විරහිත කළාම පද්ධතියේ සංඛ්‍යාතය හරියනවා. මේ වැඩේ එකම ගෙවල් ටිකට එක දිගට නොකර ගෙවල් මාරු කිරීමෙන් කාගෙවත් ගෙවල් උණුසුම් වෙන්නේ නැහැ. ඊට පෙර වායු සමීකරණ යන්ත්‍ර නැවත ක්‍රියාත්මක වෙනවා. වායු සමීකරණ යන්ත්‍ර කොහොමටත් එක දිගට වැඩ කරන්නේ නැහැනේ.

කෙටියෙන් කිවුවොත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!

Thursday, February 13, 2025

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?


තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන් ගණනාවක් තිබෙනවා. කිසියම් වෙළඳපොළක ව්‍යුහය තීරණය වෙන්නේ අදාළ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව ඇතුළු වාස්තවික සාධක ගණනාවක් මතයි. රාජ්‍ය මැදිහත්වීම් වෙළඳපොළ ව්‍යුහය තීරණය කරන එක් සාධකයක් වුනත් එකම සාධකය නෙමෙයි. මුලින්ම අපි මේ වෙළඳපොළ ව්‍යුහයන් හඳුනා ගනිමු.

1. ඒකාධිකාරී වෙළඳපොළ (Monopoly)

2. පූර්ණ තරඟකාරී වෙළඳපොළ (Perfect competition)

3. ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ (Monopolistic competition)

4. කතිපයාධිකාරී වෙළඳපොළ (Oligopoly)

තවත් ව්‍යුහයන් තිබුණත් මේ හතර ප්‍රධානම ව්‍යුහයන් හතර කියා කියන්න පුළුවන්. මේ අතරින් මුල් ව්‍යුහ දෙක අන්ත දෙකක් නියෝජනය කරනවා. 

ඒකාධිකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී වෙළඳපොළක ඉන්නේ එක් සැපයුම්කරුවෙක් පමණයි. හරියට ලංකාවේ විදුලි බල සැපයුම් වෙළඳපොළ වගේ. නමුත් මෙය හොඳ උදාහරණයක් නෙමෙයි. මොකද ලංකාවේ මේ ඒකාධිකාරය හැදිලා තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ, නිදහස් තරඟයක් තුළ නෙමෙයි. එය එසේ වී තිබෙන්නේ රජයේ මධ්‍යගත සැලසුමක කොටසක් විදිහට. කැමති අයෙකුට නිදහසේ අදාළ සේවාව සපයන්න පුළුවන්කම තිබියදීත් ඒකාධිකාරයක් හැදී ඇත්නම්, එය වෙළඳපොළ ක්‍රමය ඇතුළේ ස්වභාවිකවම හැදුනු ඒකාධිකාරයක් කියා කියන්න පුළුවන්. ඒ වගේම, ලංකාවේ විදුලිබල සේවා සපයන ලංවිම කියන්නේ පුළුවන් තරම් ලාබ ඉපැයීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකුත් නෙමෙයි. කොහොම වුනත්, ස්වභාවික ඒකාධිකාරයක දැකිය හැකි ඇතැම් ලක්ෂණ මේ ඇසුරෙන් පෙන්වන්න පුළුවන්.

ඒකාධිකාරී වෙළඳපොළක තිබෙන විශේෂම ලක්ෂණය සැපයුම්කරුට මිල හෝ සැපයුම යන දෙකෙන් ඕනෑම එකක් පාලනය කරන්න පුළුවන් වීම. මොකද මිල වැඩි කළා කියලා අඩුවෙන් විකුණන්න වෙන තරඟකරුවෙක් නැහැ. සැපයුම සීමා කලා කියලා වෙළඳපොළ පංගුව අල්ල ගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා, ලංවිමට අවශ්‍යනම් මිල තීරණය කරන්න පුළුවන්. සැපයුම සීමා කරන්නත් පුළුවන්. 

හැබැයි මේ විදිහට වෙළඳපොළ මිල හෝ සැපයුම යන දෙකෙන් එකක් පාලනය කළ හැකි වුනත්, ඒකාධිකාරී සැපයුම්කරුවෙක් "අසීමිත ලෙස" මිල වැඩි කරන්නේ නැහැ. ඊට හේතුව, එක් සීමාවකින් එහාට මිල වැඩි කිරීමෙන් ලාබය අඩු වීමයි. විදුලි ගාස්තු උදාහරණයට ගත්තොත්, මිල වැඩි කරන තරමට විදුලි පරිභෝජනය අඩු වෙනවා. මිල වැඩි කිරීමේ වාසියට වඩා ඉල්ලුම අඩු වීමේ අවාසිය වැඩිනම්, තව දුරටත් මිල වැඩි කරලා ලාබ ගන්න බැහැ. ඒ සීමාවේදී ඒකාධිකාරී සැපයුම්කරුවෙක් මිල වැඩි කරන එක නවත්වනවා. ඉහළ මිල නිසා වක්‍ර ලෙස සැපයුමද සීමා වෙනවා. එසේ නැත්නම්, ප්‍රසස්ත මට්ටමකදී සැපයුම සීමා කරනවා. සැපයුම් සීමාව නිසා මිල අවශ්‍ය තරම් ඉහළ මට්ටමක රැඳෙනවා.

මේ වගේ ඒකාධිකාරී වෙළඳපොළක වුනත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මිල තීරණය වෙන්නේ ඒ අනුව. නමුත් සැපයුම තීරණය කරන්නේ එක් සැපයුම්කරුවෙක් විසින් නිසා අවසාන වශයෙන් මිල තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාවක් ඒකාධිකාරී සැපයුම්කරුට තිබෙනවා. 

ඔය වැඩේම අනෙක් පැත්තට වෙද්දී එයට ක්‍රයේධිකාරයක් (Monopsony) කියා කියනවා. ක්‍රයේධිකාරයකදී ඉන්නේ එක් ගැනුම්කරුවෙක් පමණයි. මිල හෝ ඉල්ලුම තීරණය කරන්නේ මේ එකම ගැනුම්කරුවා විසින්. උදාහරණයක් විදිහට ලංකාවේ සූර්ය බලයෙන් විදුලිය නිපදවන නිෂ්පාදකයින් සියලු දෙනාටම විදුලිය විකුණන්න වෙන්නේ ලංවිමට. මිල තීරණය කරන්නේ ගැනුම්කරුවා විසින්. සැපයුම්කරුවෙකුට මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකියි.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් ඇති වෙන්නනම් කරුණු ගණනාවක් සම්පූර්ණ විය යුතුයි.

i) විකුණන භාණ්ඩය හෝ සේවාව සමජාතීය වීම සහ එහි ගුණාංග පොදු දැනුමක් වීම 

ii) නිෂ්පාදන තාක්ෂනය සරල වීම සහ ඒ නිසාම බොහෝ දෙනෙකුට අපහසුවකින් තොරව අදාළ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ හැකි වීම 

iii) නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ඉතා අඩු වීම සහ ඒ නිසාම අලුත් තරඟකරුවෙකුට ඉතා කෙටි කළකින් නිෂ්පාදනය ආරම්භ කළ හැකි වීම සහ අවශ්‍ය විටක නිෂ්පාදනය නැවැත්විය හැකි වීම.

පූර්ණ තරඟකාරී වෙළඳපොළක විශේෂත්වය වන්නේ කිසිදු තරඟකරුවෙකුට වෙළඳපොළ මිල කෙරෙහි බලපෑමක් කළ නොහැකි වීමයි. 

මේ සඳහා උදාහරණයක් ලෙස ඉඳි ආප්ප හදා විකිණීම පෙන්විය හැකියි. මේ වැඩේ කරන්නට විශාල පුහුණුවක් අවශ්‍ය නැහැ. තාක්ෂනය සරලයි. විශාල මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ නිසා, කැමති කෙනෙකුට කැමති වෙලාවක නිෂ්පාදනය පටන් ගන්න ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, ලොකුවට සල්ලි යට කරලා නැති නිසා, නිෂ්පාදනය නැවැත්වුවා කියලා ලැබෙන ආදායම නැති වෙනවා මිසක් වෙනත් අමතර පාඩුවක් වෙන්නේත් නැහැ. අනෙක් පැත්තෙන් ඉඳි ආප්ප කිවුවම ඉඳි ආප්ප තමයි. පාන් පිටි ඉඳි ආප්ප සහ හාල් පිටි ඉඳි ආප්ප වගේ ප්‍රභේද තිබුණත්, මේ කරුණු එවැනි ප්‍රභේද බොහොමයකට එක සේ අදාළයි. 

ඉඳි ආප්පයක මිල වැඩි කළ හැක්කේ හැමෝම එසේ කරනවානම් පමණයි. එහෙම වෙන්නේ පිටි මිල වැඩිවීම වැනි අවස්ථාවකදී පමණයි. ඒ කියන්නේ පිරිවැය ඉහළ යද්දී. එය කාටත් පොදුවේ බලපාන දෙයක්. ඒ හැර එක් අයෙකුට වැඩි මිලකට ඉඳි ආප්ප විකුණා ලාබ ගන්න බැහැ. එහෙම කළොත් වෙනත් තරඟකරුවෙක් ඒ වෙළඳපොළ පංගුව අල්ලා ගන්නවා.

බිත්තර නිෂ්පාදනයත් ඔය ගොඩට දමන්න පුළුවන්. බිත්තර කිවුවහම කොයිවත් බිත්තර. හදන නිෂ්පාදකයා අනුව බිත්තර වල වෙනසක් නැහැ. තමන් මිල දී ගන්නා බිත්තරය ගැන සැපයුම්කරුවාට තිබෙන දැනුමම පාරිභෝගිකයාටත් තිබෙනවා. අල්ලගන්න අමාරු ලොකු තාක්ෂණයක් නැහැ. යම් මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වුනත්, එය ඒ තරම්ම විශාල නැහැ. ඒ ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඉඳි ආප්ප නිෂ්පාදනය වගේ එක දවසකින් නිෂ්පාදනය පටන් ගන්න බැහැ. කුකුළු පැටවු ලොකු වෙලා බිත්තර දමන වයසට ආ යුතුයි. ඒ වගේම, එක දවසකින් නිෂ්පාදනය නවත්වන්නත් බැහැ. කිකිළියෝ දිගටම බිත්තර දමනවා. නමුත් මාස ගණනක් ඇතුළත නිෂ්පාදනය පටන් ගන්න හෝ නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. වැදගත්ම කාරණය එක නිෂ්පාදකයෙකුට වෙළඳපොළ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ. ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන වෙළඳපොළ මිලට බිත්තර විකුණන්න වෙනවා. තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

වී නිෂ්පාදනය සැලකුවත් ඔය ලක්ෂණ තිබෙනවා. විවිධ වී වර්ග තිබෙනවා තමයි. නමුත් ඒ කිසියම් නිශ්චිත වී වර්ගයක් සැලකුවත් නිෂ්පාදකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා සතුවම අවශ්‍ය නිෂ්පාදන තාක්ෂනය තිබෙනවා. ඉඩම් වැනි මූලික ප්‍රාග්ධන සම්පත් තිබෙනවා. ලංකාවේ වී ගොවිතැන් කරන ගොඩක් ඉඩම් නිදහසේ විකුණන්න බැරි වුනත්, වෙනත් අයෙකුට ඉඩම බදු දී නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසාම, සුදුසු ඉඩමක් තමන් සතුව නැති අයෙකුට වෙනත් අයෙකුගේ ඉඩමක් බදු ගෙන නිෂ්පාදනයට පිවිසෙන්නත් පුළුවන්. වැදගත්ම කරුණ තනි සැපයුම්කරුවෙකුට සැපයුම හෝ මිල මත දැනෙන බලපෑමක් කරන්න බැහැ.

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් කියා කියන්නේ ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ මිශ්‍ර වී තිබෙන වෙළඳපොළක් කියා කියන්න පුළුවන්. පූර්ණ තරඟකාරී වෙළඳපොළකට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධානම වෙනස අදාළ භාණ්ඩය හෝ සේවාව සමජාතීය නොවීමයි. හැමෝම සපයන්නේ පොදු ලක්ෂණ ගණනාවක් තිබෙන භාණ්ඩයක් හෝ සේවාවක් නිසා සැපයුම්කරුවන් අතර තරඟයක් තිබෙනවා. නමුත්, ඒ අතරම, එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ සුවිශේෂී ලක්ෂණ තිබෙනවා. මේ හේතුව නිසා, තරඟකාරී සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටියත්, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කිරීමේ හැකියාවක් තිබෙනවා. 

ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළකට හොඳම උදාහරණය ලෝකයේ පැරණිම රැකියාව කරන අයගේ කර්මාන්තය. කර්මාන්තයට ඇතුළු වෙන්න කිසිම අමාරුවක් නැහැ. අමුතුවෙන් ඉගෙන ගන්න කියලා ලොකු තාක්ෂනයකුත් නැහැ. ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ නිසා, නීත්‍යානුකූල වෙළඳපොළක් නොවුනත් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලු දෙනාම පොදුවේ එකම සේවාව සපයන අය වුනත්, සැපයුම්කරුවාගෙන් සැපයුම්කරුවාට වෙනසක් තිබෙනවා. ඒ නිසා, සැපයුම්කරුවෙකුට තමන්ගේ මිල තීරණය කළ හැකියි.

මීට සාපේක්ෂව යම් පුහුණුවක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය රූපලාවන්‍යාගාර කර්මාන්තය තවත් උදාහරණයක්. කොයි තරම් රූපලාවන්‍යාගාර තිබුණත්, පාරිභෝගිකයෝ හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. 

සුපිරි වෙළඳසැලක ෆුඩ් කෝට් එක තවත් උදාහරණයක්. මෙහිදී පාරිභෝගිකයින්ට හොඳ තේරීමක් තිබුණත් ඔවුන් හැම විටම අඩුම මිල හොයන්නේ නැහැ. හැම සැපයුම්කරුවෙක් විසින්ම කෑම සපයන නමුත් එක් එක් සැපයුම්කරු විසින් සපයන කෑම අනන්‍යයි. 

මේ අනුව පෙනෙනු ඇත්තේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සලකුණු වෙන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ස්වභාවය අනුව බවයි. එක් එක් සැපයුම්කරුවා විසින් සපයන භාණ්ඩයේ හෝ සේවාවේ පාරිභෝගිකයාට හඳුනාගත හැකි ලොකු වෙනසක් නැත්නම් එය පූර්ණ තරඟකාරී වෙළඳපොළක් වෙනවා. එවැනි පැහැදිලි වෙනස්කම් ඇති විට එය ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් වෙනවා. ඒ නිසාම, සැපයුම්කරුට මිල කෙරෙහි බලපෑමක් කළ හැකි වෙනවා. 

ඉහත වෙනස හැරුණු විට මේ වෙළඳපොළ ව්‍යුහයන් දෙකේම පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු මට්ටමක තිබීම, අවශ්‍ය තාක්ෂනය සරල වීම, සැපයුම්කරුවෙකුට පහසුවෙන් කර්මාන්තයට පිවිසීමට සහ එයින් පිටවීමට හැකි වීම ඒ අතරින් විශේෂයි.

මේ විදිහට වෙන් කළත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර ඉරක් ඇඳ වෙන් කරන එක අසීරු වැඩක්. සැබෑ බොහෝ තරඟකාරී වෙළඳපොළ වල ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ යාන්තමින් හෝ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම හෝ ගීත ගැයීම වගේ දෙයක් සැලකුවොත්, එක් එක් ක්‍රීඩකයා හෝ ගායකයා සෑහෙන දුරට අනන්‍යයි. ඒ නිසා බොහෝ දුරට ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක්. ත්‍රිරෝද රථ සේවා සැපයීම වගේ දෙයක් සැලකුවත්, එක් එක් රියදුරා වෙනස්. නමුත් මේ වෙනස ඒ තරම්ම වැදගත් වෙනසක් නෙමෙයි. ඒ නිසා මෙහි ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක ලක්ෂණ තිබෙන්නේ ඉතාම සුළුවෙන්. ඒ නිසා, මෙම වෙළඳපොළ බොහෝ දුරට පූර්ණ තරඟකාරී වෙළඳපොළක් සේ සලකන්න පුළුවන්. එසේ වුවත්, ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් අතර වෙනස සන්තතික ලෙස වෙනස් වන දෙයක් මිසක් ඉරක් ඇඳ ගොඩවල් දෙකකට වෙන් කළ හැකි වෙනසක් නෙමෙයි. 

කතිපයාධිකාරී වෙළඳපොළක් කියා කියන්නේ කුමක්ද?

ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ කතිපයාධිකාර හැදෙන බව බොහෝ විට නිරීක්ෂණය කළ හැකියි. මෙයත්  ඒකාධිකාරී වෙළඳපොළක සහ පූර්ණ තරඟකාරී වෙළඳපොළක අතරමැදි තත්ත්වයක්. පූර්ණ තරඟකාරී වෙළඳපොළක මෙන් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. නමුත්, සැපයුම්කරුවන් එක් අයෙකුට වඩා සිටින බැවින් ඔවුන් අතර තරඟයක් තිබෙනවා. ඒ නිසා, එක් අයෙකුට නිදහසේ මිල හෝ සැපයුම තීරණය කරන්න බැහැ. එසේ වුවත්, සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් නැති නිසා මිල හා සැපයුම කෙරෙහි යම් බලපෑමක් කළ හැකියි. සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වන තරමට මෙසේ බලපෑම් කිරීමේ හැකියාව ඉහළ යනවා.

දුරකථන සේවා සැපයීම, බැංකු සේවා සැපයීම ආදිය කතිපයාධිකාර ලෙස සලකන්න පුළුවන්. එය එසේ වී තිබෙන්නේ රජයේ නියාමනය නිසා වුවත්, මේ වගේ වෙළඳපොළ වල නියාමනයක් සිදු නොවුනත් බොහෝ විට කතිපයාධිකාර හැදෙන්න ඉඩකඩ වැඩියි. සබන්, දන්තාලේප වගේ නිෂ්පාදන සැලකුවත් කතිපයාධිකාර දකින්න පුළුවන්. 

පූර්ණ තරඟකාරී වෙළඳපොළක් හෝ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් නොහැදී කතිපයාධිකාර හැදෙන්නේ සුවිශේෂී වාස්තවික හේතු නිසා. මේ අතර ප්‍රධානම හේතුනම් අවශ්‍ය මූලික ප්‍රාග්ධනය විශාල වීම සහ අදාළ තාක්ෂණය සංකීර්ණ වීමයි. 

දුරකථන සේවා කර්මාන්තයේ මේ ලක්ෂණ දෙකම පැහැදිලිව දකින්න පුළුවන්. කර්මාන්තයට පිවිසෙන්න විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම, සංකීර්ණ තාක්ෂනික දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබෙන විශාල පිරිසක් නැහැ. ලංකාවේ වාහන නිපදවීමේ කර්මාන්තයක් ප්‍රචලිතව නැත්තේ ඔය සාධක සම්පූර්ණ නොවන නිසා. 

ඉහත සීමාවන් නිසා මේ වගේ කර්මාන්තයකට පහසුවෙන් ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම, ඇතුළු වුනාට පස්සේ එක පාරට අත ඇරලා යන්නත් බැහැ. එහෙම කළොත් මුලින් කරපු විශාල ආයෝජනය වතුරේ.

සබන් හදන එක වගේ දෙයක්නම් සුළු පරිමාණයෙන් පටන් ගන්න බැරිකමක් නැහැ. තාක්ෂනය දුරකථන සේවා සපයන එක වගේ සංකීර්ණ නැහැ. නමුත් ඒ විදිහට අලුත් සබන් වර්ගයක් හදලා වෙළඳපොළ අල්ලා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ වෙළඳපොළේ ඉන්න අය හදාගත්ත නමක් තියෙනවා. එහෙම කරන්න හැකි වී තිබෙන්නේ පොදුවේ සබන් කියා කිවුවත් එක් එක් සබන් වර්ගය සුවිශේෂී නිසා. ඒ කියන්නේ ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න හේතු වන තත්ත්වයන් මෙහිදීත් දැකිය හැකි නිසා. 

කාලයක් යද්දී ඇතැම් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළවල් කතිපයාධිකාරී වෙළඳපොළවල් බවට පරිණාමය වෙනවා. රූපලාවන්යාගාරයක්, කෑම කඩයක් හෝ කෝපිහලක් දැම්මට පස්සේ එයට ඉල්ලුම වැඩිනම් ඒ නමෙන්ම තවත් තැනක ශාඛාවක් දමන්න අවස්ථාව ලැබෙනවා. ඔය විදිහට ශාඛා ව්‍යාප්ත වෙලා ජනප්‍රිය සන්නාම හැදෙනවා. ජනප්‍රිය සන්නාමයකට සැලකිය යුතු වෙළඳපොළ පංගුවක් අල්ලා ගන්න පුළුවන්. ඒ වගේ සන්නාම කිහිපයක් හැදිලා වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටස සැපයුම්කරුවන් කිහිප දෙනෙකුගේ අතට ගියාම වෙළඳපොළක් ස්වභාවිකවම කතිපයාධිකාරයක් වෙනවා.

ඉහත කී තත්ත්වය යටතේ අලුත් සැපයුම්කරුවෙකුට කර්මාන්තයට පිවිසෙන්න බාධාවක් නැහැ. ඒ නිසාම, තරඟකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නත් පුළුවන්. නමුත් වෙළඳපොළ පංගුවෙන් ලොකු කොටසක් තිබෙන්නේ එයින් කිහිප දෙනෙකු අතේ. ඔවුන්ට වෙළඳපොළ මිලට සහ සැපයුමට දැනෙන බලපෑමක් කරන්න පුළුවන්. මේ විදිහේ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් ඒකාධිකාරී තරඟකාරී වෙළඳපොළ ව්‍යුහකට ගොඩක් සමාන නිසා ඔය ප්‍රවර්ග දෙක අතර දැකිය හැක්කේත් ඉරක් ඇඳ වෙන් කරන්න අමාරු සන්තතික වෙනස් වීමක්.

කතිපයාධිකාර කියන්නේ වැරැද්දක් නෙමෙයි. යම් වාස්තවික තත්ත්වයන් යටතේ හැදෙන්න පුළුවන් වඩාත්ම කාර්යක්ෂම වෙළඳපොළ ව්‍යුහය කතිපයාධිකරයක්. අදාළ තාක්ෂනය සංකීර්ණ වන තරමට සහ අවශ්‍ය ප්‍රාග්ධනය විශාල වන තරමට වෙළඳපොළ තුළ රැදී සිටිය හැකි උපරිම සැපයුම්කරුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය තමයි වඩාත්ම කාර්යක්ෂම සැපයුම්කරුවන් ප්‍රමාණය. මේ ප්‍රමාණය දෙකක් පමණක්නම් ද්වයාධිකාරයක් (Duopoly) හැදෙනවා. 

වාණිජ ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය සැලකුවොත් ලෝකයේම ඉන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙකු පමණයි. ඒ තත්ත්වය අදාළ සාධක යටතේ ස්වභාවිකවම ඇති වී තිබෙන තත්ත්වයක්. තුන්වැන්නෙකුට මේ කර්මාන්තයට එන්නනම් ඉතාම විශාල ප්‍රාග්ධනයක් යොදවන්න වෙනවා. ඒ වගේම ඉතාම සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඔය දෙකම තිබුණත්, නොදන්නා සැපයුම්කරුවෙකුගෙන් ගුවන් යානයක් මිල දී ගනිද්දී එහි විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා, වෙළඳපොළ විශ්වාසය ගොඩ නගාගන්න විශාල කාලයක් යනවා. දැනට වෙළඳපොළේ ඉන්න සැපයුම්කරුවෝ දෙන්නා කාලයක් තිස්සේ ඒ විශ්වාසය ගොඩ නගාගත් අය. 

ද්වයාධිකර තත්ත්වයකදී එක් සැපයුම්කරුවෙකුට විශාල බලයක් ලැබුණත්, සැපයුම්කරුවන් දෙදෙනා අතර තරඟය තව දුරටත් තිබෙනවා. ඒ නිසා, ඒකාධිකාරයකදී තරම් පහසුවෙන් ලාබ උපයන්න බැහැ. යම් හෙයකින් ඒ වගේ විශාල ලාබ උපයනවානම්, එයින් තෙවැන්නකුට අවදානම ගෙන වෙළඳපොළට පිවිසීම දිරිමත් කෙරෙනවා. එවැන්නක් සිදු නොවන්නේ දැනට සිටින සැපයුම්කරුවන් දෙදෙනා අතර සැලකිය යුතු මට්ටමක තරඟයක් තිබෙන නිසා. 

ද්වයාධිකාර හැදෙන විදිහටම, වෙළඳපොළ ක්‍රමය ඇතුළේම ඒකාධිකාරත් හැදෙන්න පුළුවන්. නමුත් ලංකාව වගේ රටක, ආර්ථිකය විවෘතව පවතිද්දී, එවැනි ඒකාධිකාර හැදීමේ ලොකු ඉඩක් නැහැ. ඊට හේතුව, රටට පිටතින් සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටීමයි. ඒකාධිකාර කියන්නේ බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ ආර්ථික වල ප්‍රශ්නයක්. එවැනි රටක වුවද ඒකාධිකාර හැදෙන එක කලාතුරකින් සිදු වන දෙයක්. ඇමරිකන් රජය මුල් වී බිඳ දමනු ලැබූ මයික්‍රොසොෆ්ට් වෙබ් බ්‍රවුසර් ඒකාධිකාරය උදාහරණයක්.

ප්‍රායෝගිකව ලෝකයේ දැකිය හැකි ඒකාධිකාර බොහොමයක් වෙළඳපොළ ක්‍රමය තුළ ස්වභාවිකව හැදුනු ඒකාධිකාර නෙමෙයි. ඒවා බොහොමයක් ලංකාවේ විදුලි සේවා සැපයීමේ ලංවිම ඒකාධිකාරය මෙන් රජයයන් විසින් මුල් වී හදා තිබෙන ඒකාධිකාර. එය සිදු වන්නේ වෙළඳපොළ ක්‍රමයට විකල්පයක් වන මධ්‍යගත සැලසුම් ක්‍රමයේ මූලධර්ම අනුවයි. සමහර කතිපයාධිකාර හැදී තිබෙන්නේත් ඒ ක්‍රමයට. උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ පෙන්වන්න පුළුවන්. නමුත් වෙළඳපොළ ක්‍රමය තුළ වුවත් ලංකාවේ ලංකාවේ ඉන්ධන සැපයීමේ වෙළඳපොළ තුළ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් හැදෙන්න පුළුවන්. මේ දෙකේ වෙනස දෙවැන්න නිෂ්පාදන තාක්ෂනයේ ස්වභාවය ඇතුළු පවතින තත්ත්වයන් යටතේ කාර්යක්ෂම වීම සහ පළමුවැන්න එසේ නොවීමයි. 

තාක්ෂනික ලෙස බැලුවොත් කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම්කරුවන්ට කාටලයක් විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම කළොත්, සැපයුම්කරුවන් ගණනාවක් හිටියත්, වෙළඳපොළ ව්‍යුහය ඒකාධිකාරයක් වෙනවා. ඒ නිසා, ඒකාධිකාර සහ කතිපයාධිකාර අතර තියෙන්නෙත් ඉරකින් වෙන් කරන්න අමාරු සන්තතික වෙනසක්. මේ විදිහට කාටල හැදුනොත් වෙළඳපොළ කාර්යක්ෂමතාවය නැති වෙනවා. සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි වන තරමට කාටල ලෙස කටයුතු කරන එක අසීරු වෙනවා. ටික දෙනෙකුට සම්මුතියක් ඇති කරගැනීම පහසු වුනත් පිරිස වැඩි වෙද්දී එය අමාරු වෙනවා.

කාටල හදන අය ප්‍රසිද්ධියේ, කිය කියා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට සම්මුතියකින් තොරව භාවිතය තුළ කාටල ලෙස කටයුතු කිරීමක් සිදු වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයන් හඳුනා ගන්න එකක් ටිකක් සංකීර්ණ, එහෙත් කළ හැකි වැඩක්. 

මෙහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සැපයුම්කරුවන් දෙදෙනෙක් පමණක් සිටියත්, ඒ දෙදෙනා අතර පූර්ණ තරඟකාරී වෙළඳපොළක තරමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුනොත්, ද්වයාධිකාරයක් වුනත් පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තරමටම කාර්යක්ෂම වෙනවා. ලංකාවේ දුරකථන සේවා සැපයුම් වෙළඳපොළේ මුලින් පැවතුනු ඒකාධිකාරය බිඳුණට පස්සේ හැදුනේ කතිපයාධිකාරයක් වුනත්, සැපයුම්කරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙද්දී එක් අවස්ථාවක ඔවුන් අතර විශාල මිල තරඟයක් ඇති වුනා. තවත් ටිකක් නිදහස් වුනොත්, ඉන්ධන වෙළඳපොළේ වුනත් යම් අවස්ථාවක ඒ මට්ටමේ තරඟයක් ඇති වෙන්න පුළුවන්. 

වෙබ් ලිපිනය: