වෙබ් ලිපිනය:

Sunday, August 31, 2025

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය


සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක් අතර පමණයි. 

නමුත් මේ විදිහට පොදු දැනුමක් වී තිබෙන්නේ සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන මූලික අදහස පමණයි. එය සිදු වෙන්නේ කොහොමද කියන එක තවමත් ඒ පොදු දැනුමේ කොටසක් වෙලා නැහැ. 

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන ආකාරය විවිධ අය තේරුම් අරගෙන තිබෙන්නේ විවිධ ආකාර වලිනුයි. එයට මේ දැනුම සමාජගත කිරීම සඳහා ඕනෑවට වඩා සරල ආකෘති යොදා ගෙන තිබීමත් එක් හේතුවක්. ඒ වැඩේට අපද දායක වී තිබෙනවා. 

යම් අදහසක් මුලින්ම සමාජගත කරද්දී අවශ්‍ය වැදගත්ම කරුණට පමණක් අවධානය යොමු කරමින් සරලව පැහැදිලි කිරීම සහ හැම දෙයක්ම විස්තර කිරීම අතර තේරීමක් තිබෙනවා. අවශ්‍ය වන්නේ කෙටි කලකින් වැඩි දෙනෙකු දැනුවත් කිරීම වූ විට පළමු ක්‍රමය තෝරා ගන්න සිදු වෙනවා. නමුත් එහි දිගුකාලීන බලපෑම් දිහා බැලුවොත් සමහර දේවල් බාගෙට දැන ගැනීම නොදැන සිටීමටත් වඩා භයානක වන අවස්ථාත් දැකිය හැකියි. 

මේ සම්බන්ධය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපි කුඩා දූපතක් වෙත යමු. දැන් මේ කරන්නේත් සරල පැහැදිලි කිරීමක්ම තමයි. 

ආරම්භයේදී ඔය දූපතේ අද අර්ථයෙන් මුදල් කියා දෙයක් නැහැ. දූපතේ මිනිසුන් අතර සිදු වන සීමිත ගනුදෙනු සිදු වන්නේ භාණ්ඩ හුවමාරු ලෙසයි. රජුට බදු ගෙවන්නේත් භාණ්ඩ වලින්.

ඔහොම තියෙද්දී ඔය දූපත විදේශිකයින් පිරිසක් විසින් යටත් කර ගන්නවා. එම විදේශික රජයේ හමුදාවට වැටුප් ගෙවන්නේ කිසියම් මුදල් වර්ගයකින්. මේ මුදල් දැන් රට පාලනය කරන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් තමන්ගේ රටින් රැගෙන ආ මුදල්. ඒවා එකම වර්ගයක ලෝහ කාසි. ඒ ලෝහ කාසි ගෙවා නැවේ තිබෙන ආහාර වැනි දේ මිල දී ගන්න පුළුවන්. ඒවාත් මුල් රටින් රැගෙන ආ ආහාර. ආහාර වල අයිතිය තිබෙන්නේත් ආක්‍රමණික කණ්ඩායමේ නායකයාටයි.

ඉතා ඉක්මණින් නැවේ ආහාර අවසන් වෙනවා. නමුත් විදේශිකයින් සතුව මුදල් තිබෙනවා. ඔවුන් එම මුදල් ගෙවා ස්වදේශිකයින්ගෙන් ආහාර මිල දී ගන්න උත්සාහ කළත් ඔවුන් එවැනි හුවමාරුවකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ට මේ මුදල් වලින් වැඩක් නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක් නෙමෙයි.

මේ වෙලාවේ රටේ අලුත් පාලකයා වන ආක්‍රමණික කණ්ඩායමේ නායකයා විසින් සියලුම රටවැසියන්ට බද්දක් පනවනවා. එම බද්ද ගෙවිය යුත්තේ මුදල් වලින්. නමුත් ස්වදේශිකයින් සතුව මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට මුදල් ලබා ගැනීම සඳහා විදේශිකයින් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීමට සිදු වෙනවා. ඒ හරහා රටේ නිපදවන භාණ්ඩ වලට මුදල්මය වටිනාකමක් ලැබෙනවා.

බදු ගෙවද්දී භාණ්ඩ හුවමාරුව හරහා ස්වදේශිකයින් අතට පත් වෙන මුදල් නැවත අලුත් රජය සතු වෙනවා. ඒ නිසා, ඒ මුදල් වලින් නැවත නැවත වැටුප් ගෙවිය හැකියි. වැටුප් ලබන අයට ඒ වැටුප් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ හැකියි. භාණ්ඩ හා සේවා විකුණන අයට ඒ මගින් බදු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකියි. 

මේ විදිහට මුදල් මත පදනම් වූ සීමිත ගනුදෙනු ආර්ථිකයක් හැදී රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලට මුදල් වටිනාකමක් ලැබීමෙන් පසුව ගනුදෙනු ආර්ථිකය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. දැන් ස්වදේශිකයෙකුට තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය නොවුනත් මුදල් පිණිස භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන්. ඒ වගේම, ඒ මුදල් ගෙවා තමන්ට අවශ්‍ය, තමන් සතු නැති, භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. ඊට අමතරව මුදල් වලින් වත්කම් එකතු කරන්න පුළුවන්. 

ඔය විදිහේ ගනුදෙනු ආර්ථිකයක් හැදුනට පස්සේ රජය විසින් මුලින් පනවපු බද්ද ඉවත් කළත් මුදල් භාවිතය නැති වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ හැකියාව සහ අනාගත ගනුදෙනු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව නිසාම මුදල් වලට වටිනාකමක් ඇති වෙනවා. ඒ සඳහා අදාළ මුදලේ නෛසර්ගික වටිනාකමක් තියෙන්න අවශ්‍ය නැහැ. 

අපි හිතමු මුලින්ම නැවෙන් ගෙනාවේ සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි කියලා. ඔය මුදල් ප්‍රමාණය ඉවර වෙනකම් රජයට පුළුවන් මුදල් සැපයුම වැඩි කරන්න. බදු ගෙවීම සඳහා පමණක් මුදල් අවශ්‍ය වන මුල් අවස්ථාව සැලකුවොත්, අවුලක් නැතිව මුදල් සැපයුම වැඩි කළ හැක්කේ බදු ලෙස එකතු කර ගත යුතු මුදල් ප්‍රමාණය දක්වා පමණයි. මිනිස්සුන්ට ඊට වඩා මුදල් අවශ්‍ය වන්නේ නැහැ. මුදල් සැපයුම ඊට වඩා වැඩි කළොත් ඒ මුදල් වැටුප් සේ ලබා ගන්නා අයට මුදල් සමඟ හුවමාරුවට භාණ්ඩ හා සේවා ලබා ගන්න අමාරු වෙනවා. එවැනි අය භාණ්ඩ හා සේවා මිල දී ගන්න තරඟ කරද්දී භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් උද්ධමනයක් ඇති වෙනවා.

නමුත් ගනුදෙනු ආර්ථිකයක් හැදී එය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ හේතුවෙන් මුදල් ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා, උද්ධමනයකට මුහුණ නොදී මුදල් සැපයුමත් දවසින් දවස ඉහළ දමන්න පුළුවන්. අලුතෙන් රාජ්‍ය සේවකයින් බඳවා ගන්න පුළුවන්. මේ මගින් රජය විශාල කර ගන්න පුළුවන්. 

ඔහොම ගිහින් නැවේ ගෙනාපු සල්ලි සියල්ලම සංසරණයට එකතු කර අවසන් කළාට පස්සේ වෙන්නේ කුමක්ද? නැවේ ගෙනාපු සල්ලි ඉවර නිසා මුදල් සැපයුම තවත් වැඩි කරන්න බැහැ. නමුත් රටේ ගනුදෙනු ව්‍යාප්ත වෙද්දී මුදල් වලට තිබෙන ඉල්ලුම එන්න එන්නම ඉහළ යනවා. ඒ නිසා, තිබෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න තරඟය වැඩි වෙලා මුදල් වල වටිනාකම ඉහළ යනවා. මුදල් වලට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල අඩු වෙනවා. ඒ කියන්නේ අවධමන තත්ත්වයක් ඇති වෙනවා. 

දැන් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ තමයි උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ කිසියම් මුදල් වර්ගයකට තිබෙන ඉල්ලුම හා සැපයුම මත කියන එක. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් උද්ධමනයක් ඇති වෙනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් අවධමනයක් ඇති වෙනවා. මෙය වෙනත් භාණ්ඩයක හෝ සේවාවක මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වීමට සමානයි.

මෙහි තිබෙන්නේ පරිකල්පනීය විස්තරයක් වුනත්, ඉංග්‍රීසි කාලයේදී ලංකාවේ ගනුදෙනු සංස්කෘතිය ව්‍යාප්ත වෙද්දී සිදු වූ දෙයත් මීට බොහෝ දුරට සමානයි. මුදල් ඉල්ලුම එන්න එන්නම වැඩි වුනා. නැවේ ගෙනාපු සල්ලි ඉවර වෙද්දී "තව නැවු වලින් සල්ලි ගේන්න පුළුවන් වූ නිසා" මුදල් සැපයුමත් එන්න එන්නම වැඩි වුනා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව මුදල් වල වටිනාකම වෙනස් වී උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වුනා. 

මේ විස්තරයේ තිබෙන පරිකල්පනීය දූපතේ මුදල් සැපයුම තීරණය කරන්නේ රජය විසින්. රජයක හෝ මහ බැංකුවක ඒකාධිකාරය යටතේ තනි මුදල් වර්ගයක් භාවිතා කරන රටකට මේ විස්තරය ගැලපෙනවා. නූතන ලෝකයේ බොහොමයක් රටවල් එවැනි රටවල්. (එවැනි ඒකාධිකාරයක් තිබුණත් ඒ ඒකාධිකාරයට තිබෙන සීමාවන් ගැන පසුව වෙනත් ලිපියකින් අවධානය යොදවමු.)

මුදල් සැපයුම පාලනය කරන රජයකට හෝ මහ බැංකුවකට එය හරියටම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා, මුදල් ඉල්ලුම දන්නවානම් හරියටම මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම ගලපන්න පුළුවන්. එවිට උද්ධමනයක් හෝ අවධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට මුදල් ඉල්ලුම හරියටම දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මහ බැංකුවකට හෝ රජයකට කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැහැ. එක්කෝ උද්ධමනයක් ඇති වෙනවා. නැත්නම් අවධමනයක් ඇති වෙනවා.

කෙටිකාලීනව මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් නැති වුනත්, මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළව මහ බැංකුවකට හෝ රජයකට ඒකාධිකාරී බලයක් තිබේනම්, දිගුකාලීනව මුදලේ අගය ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ නැත්නම් දිගුකාලීනව ස්ථාවර වේගයකින් මුදලේ අගය අඩු වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඒ කියන්නේ උද්ධමනය දිගුකාලීනව ස්ථාවර මට්ටමක පවත්වා ගන්නවා කියන එක. මේ පරිකල්පනීය උදාහරණයේ මෙන් ඒකාධිකාරී බලයක් නැතත්, ලෝකයේ මහ බැංකු බොහොමයක් විසින් දැන් කරන්නේ මේ වැඩේ. 

ඉතිහාසයේ මුල් යුගයේ කෙසේ වෙතත් යුරෝපීයයන් ලංකාවට පැමිණෙන කාලය වෙද්දී, දළ අදහසක් ලෙස, ලංකාවේ තිබුණේ රජුගේ අයිතියට යටත් වූ පොදු දේපොළ ක්‍රමයක්. ඔය ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිසුන් අතේ විශාල ලෙස වත්කම් සමුච්ඡනය වීමක් සිදු වුණේ නැහැ. නමුත් වෙනත් ඇතැම් සමාජ වල, විශේෂයෙන්ම යුරෝපයේ, පෞද්ගලික දේපොළ ක්‍රමය වඩා ප්‍රචලිතව තිබුණා. එවැනි රටවල වත්කම් ගබඩා කර ගැනීමේ මාධ්‍ය ලෙස රන් හා රිදී වැනි දුලබ ලෝහ භාවිතා වුනා. මෙවැනි ලෝහ වර්ග ගනුදෙනු සඳහාද යොදා ගැනුණා. ඒ සඳහා රජු හෝ රජය මගින් සම්මත කාසි නිකුත් කර ඒවාට බාහිරින් වටිනාකමක් ලබා දෙන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් වල වටිනාකමේ ප්‍රභවය එහි ලෝහ සංයුතිය මිස ඒ මත ඇති රජුගේ මුද්‍රාව වැන්නක් නොවේනම් මුදල් සැපයුම ඒකාධිකාරයක් වන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මුදල් "හොයා ගෙන" සංසරණයට එකතු කළ හැකියි. ඒ නිසා, මුදල් ඉල්ලුම වගේම මුදල් සැපයුමද විචලනය වෙනවා. මේ අනුව, අවධමනයක් හෝ උද්ධමනයක් ඇති වීම හෝ පැවතීම කිසිවෙකුට පාලනය කළ නොහැකියි. 

යුරෝපීයයන් ඇමරිකාව සොයා ගැනීමෙන් පසුව වටිනා ලෝහ සංචිත, විශේෂයෙන්ම එවකට මුදල් ලෙස වඩාත්ම ප්‍රචලිතව තිබුණු රිදී, විශාල ලෙස හමු වූ බැවින් යුරෝපය තුළ මුදල් සැපයුම වැඩි වී මුදලේ වටිනාකම අඩු වුනා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. උද්ධමනයක් ඇති වුනා. මේ විදිහට උද්ධමනයක් ඇති වෙද්දී තමන්ගේ වත්කම් රන් හා රිදී වලින් තබා ගෙන සිටි අයගේ එම වත්කම් වල වටිනාකමද පහත වැටුණා. උද්ධමනය නිසා හානියක් වෙනවා කියන අදහස පසුව ප්‍රචලිත වන්නේ ඔය යුගයේ නිරීක්ෂණ මත පදනම්වයි. උද්ධමනය කියා කිවුවත්, ඔය කාලය වෙද්දී උද්ධමනය කියන පසුකාලීන සංකල්පය වැඩි දියුණු වෙලා නැහැ.

මේ යුගයේ නිරීක්ෂණත් එක්ක පෙනී ගිය කරුණක් වූයේ මුදල් සැපයුම, නිශ්චිතව කිවුවොත් රන් හෝ රිදී සැපයුම, ඉහළ යද්දී පොදුවේ ජනතාව වඩ වඩා ධනවත් වීමක් සිදු නොවන බව සහ ඒ වෙනුවට මුදලේ වටිනාකම පහළ යාම හේතුවෙන් අවසාන වශයෙන් මුදල් සැපයුම ඉහළ යාමේ විශේෂ වාසියක් රටට හෝ එහි ජනතාවට නොමැති බවයි. ප්‍රංශ චින්තකයෙකු වන ෂෝන් බෝදන් (Jean Bodin) විසින් 1568දී මේ බව පෙන්වා දුන්නා. එම අදහස ඉදිරිපත් කළේ උද්ධමනයට හේතුව මුදල් බාල කිරීමය යන එවකට ප්‍රචලිතව පැවති අදහසට විකල්ප අදහසක් ලෙසයි. බෝදන්ටත් කලින් මාටින් ද අස්පෙල්ක්වේතා (Martín de Azpilcueta ) වැන්නන් මේ අදහස ඉදිරිපත් කර තිබුණත්, අදහස ඉදිරියට ගෙන ගියේ ෂෝන් බෝදන්.

පසුව ජාන් ලාක් (John Locke), ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය මේ අදහස වැඩි දියුණු කළා. ජෝන් ස්ටුවට් මිල්, ඇල්ෆ්‍රඩ් මාෂල් වැනි අය තවත් එකතු කිරීම් කළා. මේ සියලුම අය ප්‍රධාන වශයෙන් අවධානය කළේ මුදල් සැපයුම සහ පොදුවේ මිල ගණන් ඉහළ යාම අතර සම්බන්ධයටයි. එසේ නැත්නම් එය සිදු විය හැකි යාන්ත්‍රනයටයි.

කලකට පසුව, 1911දී අර්වින් ෆිෂර් විසින් මේ අදහස වඩා සම්පූර්ණ හා තර්කානුකූල ගණිතමය සමීකරණයක ආකාරයෙන් ඉදිරිපත් කළා. මෙය පසුව මුදල් ප්‍රමාණ සමීකරණය ලෙස ප්‍රචලිත වුනා. මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම සරල සර්වසාම්‍යයක්. මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව මීළඟ ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු.

ඔය කාලය වන විට ඇමරිකාවේ මහ බැංකුවක් තිබුණේ නැහැ. ඒ නිසා, මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් තිබුණේත් නැහැ. ෆෙඩරල් සංචිත බැංකුව පිහිටවූයේ 1913 වසර අවසානයේදීයි. මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරයක් නොමැති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම තීරණය වුනේ රන් සැපයුම මතයි. ඒ වෙද්දී රන් කැණීම කර්මාන්තයක් බවට පත් වී තිබුණා. 

රන් සංසරණයට එකතු කිරීමේ ඉහළ ආවස්ථික පිරිවැය නිසා පසුකාලීනව රන් සැපයුම ඉහළ ගියේ අඩු වේගයකින්. ඒ නිසාම, රන් සැපයුම හා ගැට ගැසී තිබුණු මුදල් සැපයුම ඉහළ ගියේද අඩු වේගයකින්. නමුත් යුරෝපයේත්, විශේෂයෙන්ම "අලුත් ලෝකය" වූ ඇමරිකාවේත් ගනුදෙනු ආර්ථික වේගයෙන් ප්‍රසාරණය වෙමින් පැවති නිසා මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවන වේගයකින් මුදල් ඉල්ලුම වර්ධනය වුනා. මෙහි ප්‍රතිඵලය වූයේ උද්ධමනයට වඩා අවධමනය සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වීමයි. 

උද්ධමනය හේතුවෙන් මුදල් වල වටිනාකම විශාල ලෙස පහත වැටුණු, යුරෝපය විසින් අලුත් ලෝකය සොයා ගත්, 16 වන සියවසේදී මෙන්ම එහි විලෝමය සිදු වූ 19 වන සියවසේදීද මේ දේවල් සිදු වූයේ මධ්‍යගත අධිකාරයක් විසින් මුදල් සැපයුම පාලනය කළ තත්ත්වයක් යටතේදී නොව එවැන්නක් සිදු නොවූ තත්ත්වයක් යටතේදීයි. 

විශේෂයෙන්ම 1500-1650 අතර කාලයේදී බටහිර යුරෝපයේ භාණ්ඩ මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ ගියා. ස්පාඤ්ඤය විසින් දකුණු ඇමරිකාවේ වත්මන් බොලීවියාවෙන් එකතු කරගත් රිදී හා රන් යුරෝපයට රැගෙන ඒම නිසා මුලින්ම ස්පාඤ්ඤයේ ඇති වූ උද්ධමනය පසුව පෘතුගාලය, ඉතාලිය, ප්‍රංශය වැනි රට වලට ව්‍යාප්ත වී අවසාන වශයෙන් එංගලන්තය, ජර්මනිය හා ස්කැන්ඩිනේවියාව දක්වා ව්‍යාප්ත වුනා. 

මෙසේ සියවස් එකහමාරක පමණ කාලයක් එක දිගට පැවති උද්ධමනය යුරෝපයේ ධනවතුන්ගේ වත්කම් වල වටිනාකම විශාල ලෙස පහත හෙලුවා. ඔය කාලය යුරෝපයේ ධනවතුන් සීමිත පිරිසක් අතේ විශාල ධනයක් එක් රැස් වී තිබුණු, ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු කාලයක්. මිල ගණන් 4-6 ගුණයකින් ඉහළ යනවා කියන්නේ රන් හෝ රිදී සේ තබාගත් වත්කම් වල වටිනාකමෙන් 75%-83% අතර කොටසක් අහිමි වෙනවා කියන එකයි. නමුත් මෙලෙස වත්කම් අහිමිවීමක් සිදු වන්නේ ඒ වත්කම් රන් හෝ රිදී සේ තබාගත් නිසා. 

මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි මූර්ත වත්කම් වල වටිනාකම අඩු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස එළදෙනකගේ හෝ අශ්වයෙකුගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මෙවැනි මූර්ත වත්කම් වර්ධනය වනවා වගේම ඊට අමතරව උද්ධමනය නිසා නාමික වටිනාකම් ඉහළ යාමක්ද සිදු වෙනවා. උද්ධමනය නිසා ධනය අහිමි වීම නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි මූර්ත වත්කම් වෙනුවට, නාමික වටිනාකමක් පමණක් ඇති රන් රිදී ගොඩ ගසා ගෙන සිටි අයට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රශ්නයක්. 

වාර්ෂික සාමාන්‍යයක් ලෙස බලන්නේනම් මේ කාලයේ පැවති උද්ධමනය 1-1.5% අතර අගයක්. අද තත්ත්වයන් හා සංසන්දය කළහොත් පෙනී යනු ඇත්තේ මෙය ඉතා අඩු මට්ටමක උද්ධමනයක් බවයි. නමුත් සියවස් ගණනාවක් මිල ගණන් ස්ථාවරව පැවතීමෙන් පසුව ඇති වූ මෙම තත්ත්වය යුරෝපයේ සමාජය, විශේෂයෙන්ම ධනවතුන්ව, විශාල ලෙස කම්පනය කළ සුවිශේෂී තත්ත්වයක්. චීනය වැනි රටවල මීට බොහෝ පෙරද මෙවැනි උද්ධමන තත්ත්වයන් ඇති වී තිබුණත් යුරෝපයට ඒ අත්දැකීම ලැබී තිබුණේ නැහැ.

කෙසේ වුවත්, ලෝහ වල සාපේක්ෂ වටිනාකම් අඩු වීම නිසා ලෝහ කැනීම සඳහා වූ උනන්දුව අඩු වීමත්, යුරෝපයේ ගණුදෙනු ආර්ථිකය ප්‍රසාරණය වී මුදල් ඉල්ලුම ඉහළ යාම මෙන්ම යටත් විජිතකරණය හරහා ගණුදෙනු ආර්ථිකයේ භූගෝලීය වපසරිය වර්ධනය වීමත් නිසා 1650 පමණ වන විට නැවතත් යුරෝපයේ මිල මට්ටම් ස්ථාවර වුනා. උද්ධමන යුගය අවසන් වුනා. ලංකාවේ පෘතුගීසි පාලන යුගය යුරෝපයේ උද්ධමන යුගයක්. ලන්දේසි පාලන කාලය යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවති යුගයක්. 

ඉහත කී පරිදි යුරෝපයේ මිල ගණන් බොහෝ දුරට ස්ථාවරව පැවතීමට හේතුව මුදල් වල වටිනාකම වෙනස් වීමට අනුරූපව රන් හා රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා වූ පෙළඹවීමද වෙනස් වීමයි. මුදල් ඉල්ලුමට වඩා මුදල් සැපයුම ඉහළ යද්දී රන් හා රිදී වල වටිනාකම පහත වැටී කැණීම සඳහා වූ පෙළඹවීම අඩු වුනා. මේ හේතුවෙන් සැපයුම පාලනය වී නැවතත් මිල ඉහළ ගියා. මිල ඉහළ යද්දී නැවතත් රන් රිදී සොයා ගැනීම සඳහා වන උනන්දුව ඉහළ ගියා. 

කෙසේ වුවත්, දහනව වන සියවසේ අග භාගයේදී දෙවන කාර්මික විප්ලවය හමුවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ ගොස් මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී ඊට අනුරූපව මුදල් සැපයුමේ ඉහළ යාමක් සිදු වූයේ නැහැ. ඒ වන විට, පහසුවෙන් හා අඩු වියදමකින් ලබා ගත හැකි රන් සංචිත අවසන් වෙලා. මෙහි ප්‍රතිඵලය වූයේ දැනෙන තරමේ විශාල හා දශක ගණනාවක් පැවතුණු අවධමන කාලයක්. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කෙරෙන්නේ ඇමරිකාවේ හා යුරෝපයේ පැවති මෙම අවධමන යුගයේ අවසානය සනිටුහන් වෙද්දීයි. මේ සියල්ල සිදු වන්නේ වසර පන්සීයකට පමණ පෙර සිට වසර සීයකට පෙර දක්වා වූ අතීත කාලයකදීයි. 

ඉතිහාසයේ ඉහත කාලය සැලකුවහොත්, ඉඩම් වැනි වත්කම් හිමි ධනවතුන් සහ ශ්‍රමය පමණක් හිමි දුප්පතුන් ලෙස සමාජයේ පැහැදිලි කොටස් දෙකක් සිටියා. දුප්පතුන් අතේ මුදල් එක්රැස් වී තිබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වීමට සිදු වී තිබුණේ එදිනෙදා උපයන ආදායමෙන්. එයින් වෙනස්ව, ධනවතුන් සතුව එක්රැස් කරගත් වත්කම් තිබුණා. සාමාන්‍ය කරුණක් ලෙස ධනය හා බලය එකට යන බව අප දන්නා කරුණක්. ජීවත්වීම පිණිස රැකියාවක් සොයන, සංවිධානය නොවූ, දුප්පතෙකුට ධනවතෙකු හා හෙට්ටු කර වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව සීමිතයි. ඊට සාපේක්ෂව ධනවතෙකුට ශ්‍රමය වෙනුවෙන් ශ්‍රමිකයින්ට ගෙවන මිල තීරණය කිරීමේ හැකියාවක් තිබුණා. මේ තත්ත්වයන් දැනට වුවත් මුළුමනින්ම අහෝසි වී නැතත්, ඉහත කාලයේදී වඩා පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

රන් රිදී වැනි වටිනා ලෝහ හෝ එවැනි ලෝහ වල වෙළදපොළ වටිනාකම මත වටිනාකම නිර්ණය වූ මුදල් එක්රැස් කරගෙන සිටියේ සමාජයේ ධනවතුන් විසිනුයි. දුප්පතුන් සතුව එසේ එක්රැස් කරගත් ධනයක් තිබුණේ නැහැ. 

මුදල් වල වටිනාකම ලෝහ වටිනාකම අනුව තීරණය වෙද්දී, එක දිගට උද්ධමනයක් පැවති වකවානු වලදී ධනවතුන්ගේ වත්කම් අඩු වුනා. එක දිගට අවධමනයක් පැවති වකවානු වලදී ඔවුන්ගේ වත්කම් වල වටිනාකම ඉහළ ගියා. මෙය ශ්‍රමය පමණක් හිමිව තිබුණු දුප්පතුන්ට බලපෑවේ කෙසේද?

උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ යද්දී දුප්පතුන්ට කලින් ලබා ගත් වැටුපෙන් ජීවත් වීමට හැකි වූයේ නැහැ. ඒ නිසා, ධනවතුන්ට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට සිදු වුනා. නමුත් එවැනි වැටුප් වැඩිවීමක් ඔවුන්ට විශේෂ වාසියක් වූයේ නැහැ. ලැබෙන ආදායම අනෙක් අතට භාණ්ඩ හා සේවා මිල දී ගැනීම වෙනුවෙන් වැය වුනා. 

අවධමනය දුප්පතුන්ට බලපෑවේ කොහොමද? අවධමන තත්ත්වයක් පවතිද්දී කලින් වැටුපම ලැබුණේනම්, එම වැටුපෙන් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිල දී ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ හේතුවෙන් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. නමුත් මිල ගණන් ඉහළ යාමක් කියන්නේ උද්ධමනයක් මිසක් අවධමනයක් නෙමෙයි. ඒ නිසා, එක දිගට අවධමනයක් පැවතීමෙන් පෙනී යන්නේ මෙවැන්නක් සිදු නොවූ බවයි. එක දිගට අවධමනයක් පැවතීමට හේතුව මිල ගණන් අඩු වෙද්දී ඊට අනුරූපව ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මිලද පහත වැටීමයි.

උද්ධමනයක් එක දිගට පවතිද්දී ධනවතුන්ට ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි කරන්නට සිදු වෙනවා. එමෙන්ම, අවධමනයක් පවතිද්දී, ඔවුන්ට ශ්‍රමයේ මිල අඩු කිරීමට ඉඩකඩ ලැබෙනවා. ඒ අනුව, උද්ධමනය හෝ අවධමනය නිසා ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. 

මාක්ස්වාදයට පදනම් වූයේ මේ නිරීක්ෂණයයි. එනම්, ධනවතුන්ට ශ්‍රමිකයින්ට ඔවුන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය අවම මිල පමණක් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය මිල දී ගත හැකි බවයි. අවම වශයෙන් ඉතිහාසයේ එක් යුගයක් හා අදාළව මේ නිරීක්ෂණය පදනමක් නැති එකක් නෙමෙයි. 

උද්ධමනයක් හෝ අවධමනයක් පැවතීම ප්‍රාග්ධනය අහිමි ශ්‍රමිකයෙකුගේ ජීවන තත්ත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්නේ නැහැ. කෙටිකාලීනව බලපෑමක් සිදු විය හැකි වුවත්, ඊට හේතුව ඔවුන්ගේ සීමිත හෙට්ටු කිරීමේ හැකියාව මිසක් උද්ධමනය හෝ අවධමනය නෙමෙයි. එය ආර්ථික කරුණකට වඩා දේශපාලනික කරුණක්. දිගුකාලීනවනම් බලපෑමක් වන්නේම නැහැ. 

එහෙත්, තමන්ගේ වත්කම් රන් හෝ රිදී වැනි වටිනා ලෝහ වලින් හෝ එවැනි ලෝහයක ව්‍යුත්පන්නයක් වූ මුදලකින් තබා ගන්නා ධනවතෙකුට උද්ධමනය පැහැදිලි අවාසියක්. අවධමනය වාසියක්. එය එසේ වන්නේ රන් හෝ රිදී වල තිබෙන්නේ සැබෑ වටිනාකමක් නොවන නිසා. මේ අතින් රන් හා රිදී ෆියට් මුදල් වලට සමානයි. රන්, රිදී, ෆියට් මුදල්, බිට්කොයින් ආදී කිසිවක් සැබෑ ආයෝජන නෙමෙයි. සැබෑ ආයෝජනයක් හෙවත් මූර්ත ආයෝජනයක් සේ සැලකිය හැක්කේ අනාගතයේදී භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි යන්ත්‍ර සූත්‍ර, කෘෂිකාර්මික උපකරණ, වෙනත් යටිතල පහසුකම් ආදියයි. එවැනි ආයෝජන වල ප්‍රතිලාභ කෙරෙහි උද්ධමනයේ හෝ අවධමනයේ කිසිදු දිගුකාලීන බලපෑමක් නැහැ.

මේ සඳහන කළත්, මේ ලිපියේ සහ ඉදිරි ලිපි වල ප්‍රධාන ඉලක්කය සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය අතර සම්බන්ධය පැහැදිලි කිරීමයි. වර්තමාන සන්දර්භය තුළ උද්ධමනයේ හා අවධමනයේ වාසි අවාසි කාටද කියන එකත් වෙනම ලිපියක විස්තරාත්මකව කතා කරමු. ඊට කලින්, පෙර සඳහන් කළ, මුදල් ප්‍රමාණ සමීකරණය පිළිබඳව පැහැදිලි කර ගනිමු. 

මේ සමඟ පළ කරන රූපය අලුතෙන් නිකුත් කර තිබෙන රුපියල් 2000 නෝට්ටුවේ නිදර්ශකයක්. මෙය අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් කෙරෙන මුල්ම මුදල් නෝට්ටුව විය හැකියි.මෙම නෝට්ටුව ඉදිරි කාලය තුළ විශාල වශයෙන් සංසරණය වීමට නියමිතයි. එහෙත් එය ආර්ථික විද්‍යා අර්ථයෙන් සල්ලි අච්චු ගැසීමක් හෝ මුදල් සැපයුම වැඩි කිරීමක් නෙමෙයි. මහ බැංකුව විසින් මෙම නෝට්ටු සංසරණයට එකතු කරනු ඇත්තේ පැරණි නෝට්ටු සංසරණයෙන් ඉවත් කර විනාශ කිරීමෙන් පසුව ඒ වෙනුවටයි.

Friday, August 29, 2025

ජූලි මාසය අවසානයේදී විදේශ අංශය


ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය (2024) වසරේ පළමු මාස හතක කාලය තුළද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී තිබුණත් එම අතිරික්තය ඩොලර් මිලියන 1,274.1ක් පමණයි. දැනට දැකිය හැකි අතිරික්තයෙහි විශේෂත්වය වනුයේ වාහන ආනයන නිදහසේ සිදු වෙමින් තිබියදී පවා පසුගිය වසරේ ජංගම ගිණුමේ අතිරික්තය ඉක්මවා යන අතිරික්තයක් වාර්තා වී තිබීමයි. 

ජංගම ගිණුමේ අතිරික්තයක් යන්නෙන් අදහස් වන්නේ රටට ලැබෙන ආපසු නොගෙවිය යුතු විදේශ විණිමය ලැබීම් වලින්, එනම් සංචාරක කර්මාන්තයේ ලැබීම් ඇතුළු භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදියෙන්, රටේ ආනයන අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීම් හැර අනෙකුත් විදේශ විණිමය ගෙවීම් සඳහා අවශ්‍ය ප්‍රමාණය ඉවත් වීමෙන් පසුව ඉතිරි වන කොටසයි. ණය ආපසු ගෙවීම් ජංගම ගිණුමෙහි සටහන් නොවෙතත්, විදේශ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම් එහි සටහන් වෙනවා. මේ ඉතිරිය ඒ සියල්ලෙන් පසුවයි. 

ලංකාව විශාල කාලයක් තිස්සේ නිදන්ගත ජංගම ගිණුම් හිඟයක් පැවති රටක්. 1956 වසරෙන් පසුව, 2023 වසර දක්වාම, රටේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වූයේ රුපියල එක වර විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු 1965 සහ 1977 වසර දෙකේදී පමණයි. එහෙත් 2022දී රටේ ආර්ථිකයේ සිදු වූ දැවැන්ත කඩා වැටීමෙන් පසුව රජය සහ මහ බැංකුව විසින් රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි දිශාවට වෙනස් කර ගැනීම හේතුවෙන් මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. 

රටේ ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූයේ රජයේ නිදන්ගත අයවැය හිඟය සහ එය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදෙස් ණය ලබා ගැනීමයි. එම විදෙස් ණය පියවනු ලැබුණේ වඩා වැඩියෙන් තවත් විදෙස් ණය ලබා ගැනීම මගිනුයි. මේ තත්ත්වය ණය පැහැර හැරීමකින් සහ ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමකින් කෙළවර වුනා.

ජංගම ගිණුම් හිඟයට මූල හේතුව වූ රජයේ නිදන්ගත අයවැය හිඟය තුලනය කර ගැනීම සඳහා රජය යොමු වීමෙන් පසුව මහ බැංකුවට නිවැරදි විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජංගම ගිණුමේ හිඟය අතිරික්තයක් බවට පත් කර ගැනීමට හැකි වුනා. ඒ අනුව, 2023 වසරේදී රටේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,439.1ක අතිරික්තයක් වාර්තා වූ අතර 2024 වසරේදී තවත් ඩොලර් මිලියන 1,205.8ක අතිරික්තයක් වාර්තා වුනා. කෙසේ වුවද, මෙම අතිරික්තයන් වාර්තා වූයේ වාහන ආනයන ඇතුළු ඇතැම් ආනයන සිදු නොවන තත්ත්වයක් යටතේදීයි.

මේ වන විට සියලුම ආනයන නිදහසේ සිදු වෙනවා. මාස හතක කාලයක් ඇතුළත ඩොලර් මිලියන 1,739.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි. කෙසේ වුවද, අදාළ කාලය තුළ රටේ දළ නිල සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 24.9කින් පමණයි. ඒ අනුව පෙනී යන්නේ මෙම අතිරික්තය මුළුමනින්ම මෙන් රටේ විදේශ බැරකම් අඩු කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති බවයි. 

පසුගිය (2025) ජූනි මාසයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණයේ මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද යම් අඩු වීමක් පෙන්නුම් කළත්, ජූලි මාසයේදී දළ නිල සංචිත වල මෙන්ම ශුද්ධ විදේශ සංචිත වලද, විශාල වැඩිවීමක් නොවුනත්, වැඩිවීමක් දකින්නට ලැබෙනවා. මහ බැංකුව විසින් අගෝස්තු මාසය අවසානයේදී රටේ දළ නිල සංචිත ප්‍රමාණය තවමත් නිවේදනය කර නැහැ. එහෙත් එම මාසය තුළද මහ බැංකුව විසින් ඩොලර් මිලියන 81.8ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බැවින් ශුද්ධ විදේශ සංචිත තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි. මෙම මුදල මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යොදා නොගත්තේනම්, දළ නිල සංචිත ප්‍රමාණයද ඉහළ ගොස් තිබිය යුතුයි.

Thursday, August 28, 2025

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු.

ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා කළ හැකි වුවත්, සාපේක්ෂව මෑත ඉතිහාසයෙන් පටන් ගනිමු. 

සියවස් ගණනාවක සිට ලංකාවේ ලෝහ කාසි භාවිතා වී ඇතත්, ලංකාවේ සාමාන්‍ය පුද්ගලයින් මුදල් ගනුදෙනු වලට පෙලැඹී විශාල කාලයක් නැහැ. ඉංග්‍රීසි කාලයේ මුල් යුගය වන විටත් ලංකාවේ බොහෝ දුරට තිබුණේ එකිනෙකින් ස්වායත්ත ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ගණනාවක්. ඒ කුඩා ස්වයංපෝෂිත ආර්ථිකයන් ගනුදෙනු හරහා ලොකුවට එකිනෙක හා සම්බන්ධ වී තිබුණේ නැහැ. 

ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් ස්වාධීන ඒකක ලෙස පැවතුණා වගේම නිවාස ඒකක වල තිබුණේත් බොහෝ දුරට ස්වයංපෝෂිත ආර්ථික. ආයුධ, වළං වගේ දේවල් හදපු අය හිටියත්, ඒවා මුදලට විකිණීමක් සිදු වුණේ නැහැ. ඒ කියන්නේ ගනුදෙනු සිදු වුණත්, ඒවා අද ආර්ථික විද්‍යා අච්චුවේ ගනුදෙනු නෙමෙයි. 

ගොවිතැන් නොකරන පවුල් ඒකකයක් විසින් ආයුධ, වළං වගේ දේවල් සපයද්දී එහි හිලවුවට වී, හාල් වගේ දේවල් ලැබුණත්, ඒවා ලබා නොදී වුනත් වී හාල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ වගේම, වී හාල් ලබා ගත නොහැකි වෙලාවක වුවත් තමන්ගේ සේවාවන් ලබා නොදී සිටීමට එය හේතුවක් කර ගැනුණේ නැහැ. ගම් ප්‍රධානීන්ට සහ පන්සල් දේවාල වලට මුදල් ආධාර හෝ ගෙවීම් ලැබුණේ නැහැ. ඒ වෙනුවට දුන්නේ ධාන්‍ය පංගු හෝ එවැනි වෙනත් දේ. කෙටියෙන්ම කිවුවොත්, ගනුදෙනු සිදු වුනත්, අද අර්ථයෙන් මුදල් භාවිතයක් සිදු වුනේ නැහැ.

යුරෝපීයයන්, විශේෂයෙන්ම ඉංග්‍රීසින්, විසින් වෙළඳ ආර්ථිකයට සම්බන්ධව නොසිටි සාමාන්‍ය ජනතාව මත විවිධ බදු පනවද්දී, ඒ බදු ගෙවන්න අවශ්‍ය මුදල් රටේ මිනිස්සු අතේ සංසරණය වෙමින් තිබුණේ නැහැ. ඒ නිසාම, ඉංග්‍රීසින්ටත් රාජකාරි ක්‍රමයේ ව්‍යුත්පන්න ක්‍රම දිගටම පවත්වා ගෙන යන්න වුනා. ඇඟ බද්ද වගේ දේවල් ආවේ ඒ නිසා. 

වෙනත් සමහර සමාජ වල වගේ ලංකාවේ වත්මන් මුදල් වලට, ඒ කියන්නේ රුපියල් වලට, පිළිගැනීමක් ලැබුණේ ඒවා ඊට පෙර මුදල් ලෙස භාවිතා වූ වටිනා ලෝහ වල ව්‍යුත්පන්නයක් වූ නිසා නෙමෙයි. රජයට බදු ගෙවීම සඳහා එම මුදල් අවශ්‍ය වූ නිසා. රජය වෙනුවෙන් සේවය කළ අයට මුදලින් වැටුප් ලැබුණා. එසේ නොකළ අය විසින්ද බදු ගෙවිය යුතු වූ නිසා ඔවුන් මුදල් ලබාගෙන ඒ වෙනුවට භාණ්ඩ හා සේවා ලබා දුන්නා. රටේ බහුතර ජනතාව අතර පොදුවේ ගනුදෙනු සඳහා මුදල් භාවිතා වීම දෙවනුව සිදු වූ දෙයක්. 

ඉහත හේතුව නිසා, මුල සිටම මෙන්, ලංකාවේ රුපියල් වලට වටිනා ලෝහ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. රජයට බදු ගෙවීම සඳහා මේ මුදල් යොදා ගත හැකි වීම නිසාම ඒවාට වටිනාකමක් ලැබුණා. නමුත් මේ විදිහට ලංකාවේ රුපියල් වලට වටිනාකමක් තිබුණේ රට ඇතුළේ පමණයි.

රටින් පිටතදී ලංකාවේ රුපියල් වලට කවදාවත්ම වටිනාකමක් හැදුනේ නැහැ. ලංකාවේ රුපියල් කවදාවත්ම සෘජුව රන් වැනි දෙයක් එක්ක ගැට ගහලා තිබුණෙත් නැහැ. නමුත් ලංකාවේ රුපියල ඉන්දියාවේ රුපියල එක්ක ගැට ගහලා තිබුණා. ඉන්දියාවේ රුපියල බ්‍රිතාන්‍ය පවුම එක්ක ගැට ගහලා තිබුණා. බ්‍රිතාන්‍ය පවුම රන් එක්ක ගැට ගහලා තිබුණා. ඒ නිසා වක්‍ර සම්බන්ධයක් තිබුණා.

මේ සම්බන්ධය සෘජු සම්බන්ධයක් නොවී වක්‍ර සම්බන්ධයක් වූ නිසා ලංකාවේ රුපියලේ බාහිර වටිනාකම පවත්වා ගැනීම සඳහා ලංකාවට රන් සංචිතම පවත්වා ගන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් ඉන්දියන් රුපියල් හෝ වෙනත් විදේශ සංචිත පවත්වා ගන්න සිදු වුනා. අද වන තුරුත් මේ තත්ත්වයේ වෙනසක් සිදු වී නැහැ. 

රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යද්දී රට තුළ රුපියලේ වටිනාකම අඩු වෙනවා. උද්ධමනය ඇති වෙනවා. ඒ අතින් ලංකාවේ රුපියල සහ ඇමරිකන් ඩොලරය අතර වෙනසක් නැහැ. නමුත් ඇමරිකන් ඩොලරයට මෙන් ලංකාවේ රුපියලට රටෙන් පිටත පිළිගැනීමක් නැහැ. ප්‍රායෝගිකව ලංකාවේ රුපියලේ බාහිර අගය තීරණය වෙන්නේ රුපියල් සැපයුම කොපමණද කියන එක මතම නෙමෙයි. රුපියල් ප්‍රමාණය කොපමණ වුනත්, ඒ රුපියල් ප්‍රමාණය හා සැසඳෙන විදේශ සංචිත මහ බැංකුවේ තියෙනවාද කියන එක මතයි. ප්‍රමාණවත් සංචිත නැත්නම් රුපියල අවප්‍රමාණය වෙනවා.

රුපියල අවප්‍රමාණය වූ විට ආනයනික බඩු වල මිල ඉහළ යනවා. එයද උද්ධමනයට හේතු වෙනවා. මුදල් සැපයුමේ ලොකු වෙනසක් නැතිව වුනත්, රුපියල අවප්‍රමාණය වීමෙන් ලංකාවේ උද්ධමනය ඉහළ යන්න පුළුවන්. ඒ වගේම, මුදල් සැපයුම ඉහළ යද්දී වුවත් රුපියල ශක්තිමත් වීම නිසා උද්ධමනය පාලනය වී තියෙන්න පුළුවන්.

අපි හිතමු මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000ක් කියලා. ඩොලරයක මිල රුපියල් 200නම්, මේ රුපියල් ප්‍රමාණය ඩොලර් බිලියන 5කට සමානයි. මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5ක විදේශ සංචිත තිබෙනවා කියා හිතමු. ඒ කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් සියල්ල ආපසු අරගෙන ඒ වෙනුවෙන් ඩොලර් ආපසු දීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. 

මෙහෙම දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ තමයි. නමුත් ඩොලර් බිලියන 5ක විදේශ සංචිත අතේ තියාගෙන රුපියල් බිලියන 1000ක සංචිත මුදල් එළියට දමා ඇත්නම් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා කියන එක එයින් ගම්‍ය වෙනවා. ඒ නිසා, ස්වාධීන මුදල් ඒකකයක් විදිහට රුපියල ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙකුට වුනත් විදේශ සංචිත නිසා ඒ විශ්වාසය ඇති වෙනවා. 

ඔහොම තියෙද්දී මහ බැංකුව සල්ලි අච්චු ගැසීම නිසා සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? රට ඇතුළේ රුපියල බාල්දු වෙන එක කොහොමටත් සිදු වෙනවා. එය සිදු වෙන්නේ මුදල් සැපයුමේ වැඩි වීමට අනුරූපවයි. නමුත් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි කර ගන්න පුළුවන්නම්, රුපියල ගැන තිබෙන බාහිර විශ්වාසය පළුදු වෙන්නේ නැහැ. තව දුරටත් රුපියල් 200ක් ඩොලරයක් වටිනවා. ඒ අනුපාතයට රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන්.

නමුත් ඔය විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 දක්වා වැඩි නොවී, ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක් දක්වා ඉහළ ගියොත් සිදු වෙන්නේ කුමක්ද? දැන් රුපියල් බිලියන 1500ක සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් කරන්න පුළුවන් තරම් විදේශ සංචිත මහ බැංකුවේ නැහැ. ඒ නිසා, රුපියල් 200ක් ඩොලරයක් හා සමානව වටිනා බවක් රුපියල ගැන විශ්වාසයක් නැති පාර්ශ්වයකට පෙනෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ බොහෝ දෙනෙක් රුපියල් ඩොලර් කරනවා. ඔය වැඩේ අනෙක් අයට වඩා කලින් නොකළොත් ප්‍රමාද වූ අයට රුපියල් ඩොලර් කර ගන්න ඉඩක් ලැබෙන්නේ නැති බව ඔවුන්ට පේන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල ඉහළ යනවා. 

මහ බැංකුවට සංචිත මුදල් වැඩි කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් විදේශ විණිමය මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. අනෙක් ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඒ වෙනුවට රුපියල් නිකුත් කරන එක. ඔය ක්‍රම දෙකෙන් පළමු ක්‍රමයේදී සංචිත මුදල් වැඩි වුනත් ඊට අනුරූපව විදේශ සංචිතත් ඉහළ යනවා. නමුත් දෙවැනි ක්‍රමයේදී ඒ වැඩේ වෙන්නේ නැහැ. 

මේ විදිහට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 මට්ටමේම තියෙද්දී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500ක දක්වා වැඩි කළත්, ඩොලරයක මිල රුපියල් 200 සිට රුපියල් 300 දක්වා වැඩි වෙන්න ඉඩ හැරියොත්, එසේ මිල ඉහළ යාමෙන් පසුව, නැවතත් රුපියල ගැන විශ්වාසය තහවුරු වෙනවා. ඊට හේතුව, එම අනුපාතයට සංචිත මුදල් සියල්ල ඩොලර් කිරීම සඳහා අවශ්‍ය විදේශ සංචිත මහ බැංකුව සතුව තිබීමයි. නමුත් ඩොලරයක මිල ඔය විදිහට ඉහළ යද්දී ඒ හේතුව නිසා ආනයනික බඩු වල මිල ඉහළ ගිහින් උද්ධමනයක් ඇති වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ස්වාධීන මහ බැංකුවකට රුපියල් නිකුත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ විදිහට විදේශ සංචිත තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකයේ හැම මහ බැංකුවක්ම එසේ කරන්නේ නැහැ. ස්ථාවර හා අඩු මට්ටමක උද්ධමනයක් දිගටම පවත්වා ගැනීම මගින් විදේශ සංචිත නැතුව මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය ගොඩ නගා ගන්න පුළුවන්. ඩොලර්, යුරෝ වගේ මුදල් ඒකක පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා. ඇමරිකාව රන් සම්මතයෙන් ඉවත් වුනේ රන් එක්ක තරඟ කළ හැකි තරමේ විශ්වාසයක් ඇමරිකන් ඩොලරයටත් ඒ වෙද්දී තිබුණු නිසා.

නමුත් ඉතිහාසයේ කිසිම දවසක ලංකාවේ රුපියල පිළිබඳව එවැනි විශ්වාසයක් ගොඩ නැගී නැහැ. පසුගිය සංඛ්‍යාලේඛණ දෙස බලද්දී පෙනී යන්නේ මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන රුපියල් ප්‍රමාණය සහ මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය අතර අනුපාතය සමඟ ඩොලරයක මිල ගැලපෙන්නේ නැත්නම්, ඩොලරයක මිල ඉහළ ගොස් මේ තුලනය සිදු වන බවයි. 

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වුනෙත් මෙයයි. සල්ලි අච්චු ගැසීම නිසා රට තුළ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටීම උද්ධමනයට හේතු වුනත්, එය උද්ධමනයට හේතු වූ එකම කරුණ නෙමෙයි. විදේශ සංචිත අවසන් වී ඩොලරයක මිල ඉහළ යාමේ බලපෑම එහි විශාල ලෙස තිබෙනවා. නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම් අවම වශයෙන් සංචිත මුදල් සැපයුම හා ගැලපෙන තරමේ විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුවේ පවත්වා ගත යුතු වෙනවා.

පසු ගිය ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,660.1ක්. ඩොලරයක මිල 299.97ක්. ඒ කියන්නේ මේ රුපියල් ප්‍රමාණය ඩොලර් කරන්න ඩොලර් මිලියන 5,534ක් අවශ්‍යයි. ඒ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 6,081ක විදේශ සංචිත තිබුණු නිසා ඩොලරයක මිල ඔය මට්ටමේ පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ඊයේ (අගෝස්තු 27) වෙද්දී සංචිත මුදල් ප්‍රමාණය රුපියල් 1,719.2 දක්වා ඉහළ ගොස් තිබුණා. ඩොලරයක මිල රුපියල් 302.30ක්. ඩොලර් මිලියන 5,687ක විදේශ සංචිත ඇත්නම්, ඔය සංචිත මුදල් ප්‍රමාණයත් එක්ක ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ පවත්වා ගෙන යන්න පුළුවන්. දැනට දැකිය හැකි පරිදි, මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කරද්දී ඩොලරයක මිල සහ විදේශ සංචිත ප්‍රමාණය අතර තුලනය අවශ්‍ය අවම මට්ටමේ තියාගෙන යනවා.

නමුත් ප්‍රශ්නය වන්නේ මේ කතා කරන්නේ දළ විදේශ සංචිත ගැන මිසක් ශුද්ධ විදේශ සංචිත ගැන නොවීමයි. මහ බැංකුව සතුව අවශ්‍ය පමණ දළ විදේශ සංචිත තිබුණත්, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයට, ඉන්දියාවට සහ මූල්‍ය අරමුදලට ආපසු ගෙවිය යුතුයි. මේ සඳහා අවුරුදු කීපයක කාලයක් තිබෙන නිසා ක්ෂණික ප්‍රශ්නයක් නැතත්, අවසාන වශයෙන් මහ බැංකුවට ඔය අවශ්‍ය ප්‍රමාණයට ශුද්ධ විදේශ සංචිත හදාගන්න වෙනවා. එසේ නොකළහොත්, ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත නැවතත් අර්බුදයක් මතු වෙන්න පුළුවන්. 

පසුගිය තෙවසරක පමණ කාලය පුරා දළ විදේශ සංචිත වගේම ශුද්ධ විදේශ සංචිතද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියා. නමුත් පසුගිය ජූනි මාසයේදී මේ ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී තිබුණා. එය තාවකලික තත්ත්වයක්නම් ගැටලුවක් නැතත් එසේ නොවේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය වෙලාවේ සිදු වූ දෙය සහ දැන් තත්ත්වය අතර වෙනස කුමක්ද? සංචිත මුදල් වැඩි වූ රටාවන් පමණක් සංසන්දනය කළොත් විශාල වෙනසක් පේන්නේ නැහැ. නමුත් අර්බුදයට පෙර දෙවසර තුළ සංචිත මුදල් වැඩි වුණේ මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත වල දැවැන්ත කඩා වැටීමකුත් එක්කයි. ඒ ගැන සලකා බැලූ විට පෙනෙන තත්ත්වය, සංචිත මුදල් වැඩිවීම දෙස පමණක් බලද්දී පෙනෙන තත්ත්වයට වඩා ගොඩක් භයානක තත්වයක්. දැවැන්ත කඩා වැටීමකට හේතු වුනේ ඒ භයානක සමස්ත තත්ත්වයයි. 

පසුගිය (2025) ජූනි මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,418 සිට 1,667 දක්වා 17%කින් වැඩි වී තිබෙනවා. මෙය පැහැදිලි ලෙසම සැලකිය යුතු වැඩි වීමක්. ඊට කලින්, 2022 ජූනි සිට 2024 ජූනි දක්වා අවුරුදු දෙක සැලකුවොත් දැකිය හැක්කේ රුපියල් බිලියන 1,453 සිට 2.4%ක අඩු වීමක්. ඔය අඩු වීම තමයි අවධමනයකට දායක වුනේ. ඊටත් කලින් අවුරුදු දෙක සැලකුවොත්, ඒ කියන්නේ 2020 ජූනි සිට 2022 ජූනි දක්වා කාලයේදී, රුපියල් බිලියන 869 සිට 67%ක් වැඩි වීමක් දකින්න පුළුවන්. මේ වැඩි වීම රුපියල් වලින් බිලියන 584ක්. 

පසුගිය අවුරුද්දේ සංචිත මුදල් වැඩි වීම අර්බුදයට පෙර සිදු වූ සංචිත මුදල් වැඩිවීම එක්ක බලද්දී අඩු මට්ටමක් වුනත්, කණස්සල්ලට කාරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ. නමුත් මේ දෙකේ වෙනසට එකම හේතුව වැඩි වූ සංචිත මුදල් ප්‍රමාණ සහ අනුපාත අතර වෙනස නෙමෙයි.

අර්බුදයට කලින් මෙහි සඳහන් වසර දෙකක කාලය තුළ සංචිත මුදල් වැඩි වුනේ රුපියල් බිලියන 584කින් වුනත්, ඊට අමතරව ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 2,437කින් අඩු වුනා. සල්ලි අච්චු ගහලා රජයට මහ බැංකුවෙන් දුන් ණය ප්‍රමාණය (ශුද්ධ වශයෙන්) රුපියල් බිලියන 2,537කින් ඉහළ ගියා. මෙය 356%ක වැඩි වීමක්!

වෙනත් විදිහකින් කිවුවොත්, සංචිත මුදල් සැපයුම ඔය මට්ටමෙන්, ඒ කියන්නේ 67% මට්ටමෙන්, වැඩි වෙලා නැවතුණේ අච්චු ගහලා රජයට දුන් සල්ලි වලින් විශාල කොටසක් විදේශ සංචිත විකුණලා නැවත ලබාගත් නිසා. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත ඉවර වුනා විතරක් නෙමෙයි මහ බැංකුවට ණය වෙන්නත් සිදු වුනා. රුපියල පිළිබඳ බාහිර විශ්වාසය බිඳ වැටුනා. මූල්‍ය අරමුදලට ගිහින් සහ තවත් නොයෙක් දේවල් කරලා විදේශ අංශය තුලනය කරගෙන ඒ නැති වූ විශ්වාසය ඉතා ඉක්මණින් නැවත ගොඩ නගා ගත්තේ නැත්නම් උද්ධමනය ඔය මට්ටමෙන් නවතින්නේ නැහැ. 

පසුගිය අවුරුද්දේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. සංචිත මුදල් ප්‍රමාණය වසරක් තුළ රුපියල් බිලියන 242කින් වැඩි වී තිබුණත්, එම කාලය තුළ ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 661කින් වැඩි වෙලා තිබෙනවා. ඔය කාලයේදී රජයට ණය දීමක් සිදු වෙලාම නැහැ. රුපියල් බිලියන 4ක පමණ අඩු වීමකුයි දකින්න තියෙන්නේ. ඒ නිසා, ඔය කාලය තුළ සංචිත මුදල් වැඩිවීමක් සිදු වී තිබුණත්, ඒ හේතුව නිසා රුපියල පිළිබඳ බාහිර විශ්වාසය පළුදු වීමක් සිදු වෙලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ විශ්වාසය නැවත ඇති වීමක්. මුදල් ඒකකයක් පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙද්දී ඒ මුදලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කළා කියලා අනිවාර්යයෙන්ම උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පමණ සිට ගත වූ කාලය තුළ රටේ දළ නිල විදේශ සංචිත වල පෙනෙන වර්ධනයක් සිදු වී නැහැ. නමුත් මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත දිහා බැලුවොත් පසුගිය ජූනි මාසය දක්වා දිගටම වර්ධනයක් සිදු වී ඇති ආකාරය දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත පසුගිය සැප්තැම්බර් මාසය වන තෙක්ම තිබුණේ සෘණ පැත්තේ. ඔක්තෝබර් මාසයේදී තමයි යාන්තම් ධන පැත්තට ගියේ. 

ආණ්ඩුවේ කවුරු හෝ ඇමති කෙනෙක් පසු ගිය දවසක සෘණ තිබුණු සංචිත ධන වුනු කතාවක් කියලා තිබුණේ, මම හිතන විදිහට, මේ ගැනයි. වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ගැඹුරු ශුද්ධ විදේශ සංචිත වලක් සම්පූර්ණයෙන්ම ගොඩ කිරීමෙන් පසුවයි ආණ්ඩුව වෙනස් වුනේ. ඒ නිසා, අලුතෙන් කරන්න තිබුණේ ඒ ගොඩ කරපු වල උඩ සංචිත කන්දක් නැවත හදා ගන්න එකයි. ඊට කලින් එකතු කරගත් සංචිත සියල්ලෙන්ම කළ හැකි වූයේ අර්බුදයට පෙර හදා තිබුණු ගැඹුරු වල වහන එක පමණයි (ප්‍රස්ථාරය බලන්න).

මහ බැංකුවේ ඉලක්කය ඩොලරයක මිල රුපියල් 300 ආසන්නව තියා ගන්න එකනම් සහ සංචිත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1,800 පමණ දක්වා වැඩි කරන්න සැලසුම් කර තිබෙනවානම්, රුපියල පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6ක පමණ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ගොඩ නගා ගන්නා තුරු මහ බැංකුව වැඩි අවධානය යොමු කර තිබුණේ දළ නිල සංචිත වැඩි කර ගන්න එකටයි. නමුත් ඔය ඩොලර් බිලියන හයේ සීමාවට ආවට පස්සේ අවුරුදු තුනක පමණ කාලයක් පැවතුනු වැල් පාලම් අවදානම ඉවත් වුනා. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ණය අඩු කර ගනිමින් ශුද්ධ විදේශ සංචිත වැඩි කර ගන්නයි.

ශුද්ධ විදේශ සංචිත වැඩි වෙනවානම් දළ විදේශ සංචිත වැඩි නොවෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ශුද්ධ විදේශ සංචිත අඩු වෙනවානම් එහි ලොකු අවුලක් තිබෙනවා. ඒ නිසා, දැන් විමසිල්ලෙන් බලා සිටිය යුතුව ඇත්තේ ශුද්ධ විදේශ සංචිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක දෙසයි. 

Friday, August 22, 2025

විදේශ සංචිත හා උද්ධමනය


නලින් ද සිල්වා ජීවත්ව සිටියදී ජනගත කළ ප්‍රචලිත අදහසක් වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් බටහිර විද්‍යාවට ප්‍රවාද කිසිවක් එකතු කර නොමැති බවයි. මේ කතාව ආර්ථික විද්‍යා ප්‍රවාද වලටද අදාළයි. ලංකාව තුළ බොහෝ විට සිදු වන්නේ වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ගෙඩි පිටින් එලෙසින්ම ප්‍රයෝජනයට ගනු ලැබීමයි. 

ඇත්ත වශයෙන්ම මා මේ අයුරින් වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ප්‍රයෝජනයට ගැනීම හෙළා දකින්නෙකු නෙමෙයි. රෝදය නැවත නැවත සොයා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රවාද ප්‍රවාද සේ හඳුනා නොගෙන, එම ප්‍රවාද ගොඩ නගා තිබෙන පසුබිම තේරුම් නොගෙන, නොගැලපෙන සන්දර්භ වල යොදා ගනු ලැබීමයි. මෙය අන්ධ අනුකරණය සේ හඳුන්වන්න පුළුවන්.

එංගලන්තයේ සිට ගලක් උඩ දැම්මත්, ලංකාවේ සිට එය කළත්, ගල පොළොවට වැටෙන විදිහේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, එංගලන්තයේ නිරීක්ෂණ මත පදනම්ව හදන ප්‍රවාදයක් ඒ විදිහටම ලංකාවට යොදා ගත්තා කියා විශේෂ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ශුද්ධ විද්‍යා වල සිට ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවකට එන විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.

ආර්ථික විද්‍යා ප්‍රවාද බොහොමයක් පරීක්ෂාවට ලක් වී තිබෙන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හෝ වෙනත් එවැනි බටහිර රටකයි. එවැනි සමහර ප්‍රවාද ඒ විදිහටම ලංකාවට යොදාගන්න බැහැ. නමුත් බොහොමයක් පොදු මිනිස් හැසිරීම් රටින් රටට වෙනස් නොවන නිසා මේ කරුණ අදාළ වන්නේ ලංකාව එවැනි රටකින් වෙනස් වන තත්ත්වයන් යටතේදී පමණයි. 

බටහිර රටවල ගොඩ නැගී පරීක්ෂාවට ලක් වන ඇතැම් ආර්ථික විද්‍යා ප්‍රවාද කලක් යද්දී එම රටවලින්ම ප්‍රතික්ෂේප වෙනවා. මීට එකම හේතුව පැරණි ප්‍රවාදය වඩා දුර්වල එකක් වීම නෙමෙයි. සමාජය ගතික ලෙස වෙනස් වීමත් එයට හේතුවක්. වසර පණහකට පෙර හොඳ ප්‍රවාදයක් වූ ප්‍රවාදයක් අද වන විට කිසිම වැඩකට නැති ප්‍රවාදයක් වෙන්න පුළුවන්. අන්ධ අනුකරණයට අමතරව කාලයකට පෙර ඒවා ගොඩ නැගුණු සමාජ වලින් පවා ප්‍රතික්ෂේප වී තිබෙන ප්‍රවාද තවමත් කර තියාගෙන යාම ලංකාව තුළ දැකිය හැකි එතරම් දුලබ නැති දෙයක්. 

ඇමරිකන් ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම හා යුරෝව වැනි මුදල් ඒකකයකට ලෝකය පුරාම පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රුපියලට එවැනි පිළිගැනීමක් නැහැ. ඇමරිකාවේ මහ බැංකුව සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ඇමරිකන් ඩොලර්. ඒ ඩොලර් සමඟ වෙනත් බොහෝ රටවල් ඉතා කැමැත්තෙන් භාණ්ඩ හා සේවා හුවමාරු කර ගන්නවා. බ්‍රිතාන්‍ය පවුම හෝ යුරෝව හා අදාළව වුනත් තත්ත්වය එහෙමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ඒ ශ්‍රී ලංකා රුපියල් එක්ක හුවමාරුවට වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ලබා ගන්න බැහැ. ඒ නිසා, වෙනත් රටවල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ලංකාවට විදේශ විණිමය උපයන්නම වෙනවා. එය සිදු නොවන්නේනම් වෙනත් රටවලට ණය වෙන්න සිදු වෙනවා.

රටේ දේශීය නිෂ්පාදිතය දුර්වල වූ අවස්ථාවක ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට හෝ එංගලන්ත බැංකුවට සංචිත මුදල් සැපයුම වැඩි කරලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ඒ අච්චු ගහපු සල්ලි වලින් ආනයන කරන්න පුළුවන්. දිගින් දිගටම මේ වැඩේ කරන්න බැහැ තමයි. නමුත් අඩු වශයෙන් කෙටිකාලීනව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙත් ලංකාවට අඩු වශයෙන් කෙටිකාලීනව හෝ මෙවැන්නක් කරන්න බැහැ.

සාමාන්‍ය කරුණක් ලෙස, යම් සීමාවක් ඉක්මවා රටක මුදල් සැපයුම වැඩි වන විට, අදාළ මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, අදාළ මුදල් ඒකකයට සාපේක්ෂව උද්ධමනයක් ඇති වෙනවා. ඊට හේතුව මුදල් සැපයුම වැඩි වීමට අනුරූපව භාණ්ඩ හා සේවා සැපයුම වැඩි නොවීමයි. නමුත් එම මුදල් යොදා ගෙන වෙනත් රටවලින් ආනයන සිදු කළ හැකිනම් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. එක පැත්තකින් රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගහපු තරමටම වැඩි වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ භාණ්ඩ හා සේවා සැපයුම රට තුළ සිදු වන නිෂ්පාදිතය ඉක්මවා ඉහළ යනවා.   

මම ප්‍රචලිත උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.

අපි හිතමු ඇමරිකාවේ සමස්ත නිෂ්පාදිතය ඇපල් ගෙඩි 100ක් කියලා. වෙනත් දේවල් කිසිවක් නැහැ. මුදල් සැපයුම ඩොලර් 100ක්. දැන් මේ ඇපල් ගෙඩි 100 ඩොලර් 100 එක්ක තරඟ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් ගෙඩියක් ඩොලර් 1ක් ලෙස මිල තීරණය වෙනවා.  නිෂ්පාදිතය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටුනොත් මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යනවා. ඒ වගේම, නිෂ්පාදිතය වෙනස් නොවී මුදල් සැපයුම ඩොලර් 125 දක්වා වැඩි වුනොත් ඒත් වෙන්නේ මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යන එකයි. 

ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නේ මේ වගේ සරල ආකෘති නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඔය වගේ ආකෘතියක් යොදා ගෙන සංකල්ප පැහැදිලි කරනවා. ඉහත සරල උදාහරණයේ අදහස පැහැදිලියි කියලා මම හිතනවා.

දැන් අපි ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පිළිගැනීමක් තිබීම කියන කරුණත් එක්ක මේ උදාහරණය දිහා බලමු. නිෂ්පාදනය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටෙනවා. මුදල් සැපයුමත් ඩොලර් 120 දක්වා වැඩි වෙනවා. දැන් මිල ඉහළ යන්න හේතු දෙකක්ම තිබෙනවා. ඒ නිසා හරිනම් මිල ඩොලර් 1.50 (=120/80) දක්වා ඉහළ යා යුතුයි. නමුත් ඔය අලුතෙන් අච්චු ගහපු ඩොලර් 20 ගෙවලා වෙනත් රටකින් ඇපල් ගෙඩි 20ක් ආනයනය කළොත් ප්‍රතිඵලය කුමක්ද?

රටේ ඇපල් නිෂ්පාදිතය 100 සිට 80 දක්වා පහත වැටිලා වුනත්, ආනයනය කරපු ඇපල් ගෙඩි 20 නිසා දැන් නැවත ඇපල් සැපයුම 100ක් වෙලා. ඒ වගේම, මුදල් සැපයුම 100 සිට 120 දක්වා වැඩි කරලා වුනත්, එයින් ඩොලර් 20ක් රටින් පිටට ගිහින් නිසා රට ඇතුළේ මුදල් සැපයුම නැවතත් ඩොලර් 100ක් පමණයි. අවසාන වශයෙන් රට ඇතුළේ ඇපල් ගෙඩියක මිල ඩොලර් 1ම තමයි!

රටේ නිෂ්පාදිතයත් අඩු වෙලා, මුදල් සැපයුමත් වැඩි වෙලා තියෙද්දී මේ විදිහට මිල ඉහළ යාම පාලනය වුනේ කොහොමද? තනිකරම ඩොලරයට ඇමරිකාවෙන් පිටත තිබෙන පිළිගැනීම නිසා. ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවට පුළුවන් උද්ධමනය පාලනය කරගෙන සැලකිය යුතු තරමකින් සල්ලි අච්චු ගහන්න.

නමුත් ඇමරිකාවට කරන්න පුළුවන් ඔය වැඩේ ලංකාවට කරන්න බැහැ. ඒක කලින්ම කිවුවනේ. ඒ නිසා, ඇමරිකාවේ මුදල් සැපයුම වැඩි වෙන හැටි පෙන්වලා ඒ මත පදනම්ව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් වුනත්, ඒ සමහර තර්ක ලංකාව හා අදාළව තේරුමක් නැති තර්ක. 

දැන් අපි ලංකාවට එමු. රටේ නිෂ්පාදිතය පොල් ගෙඩි 100ක්. මුදල් සැපයුම රුපියල් 10,000ක්. ඒ අනුව, පොල් ගෙඩියක මිල රුපියල් 100යි.

දැන් රටේ මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි වෙනවා. නමුත් නිෂ්පාදිතය තවමත් පොල් ගෙඩි 100ම තමයි. දැන් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යා යුතුයිනේ. රුපියල් වැඩි වුනා කියලා ඒ රුපියල් වලින් පොල් ආනයනය කරන්න බැහැනේ. එහෙම කරන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වලට පමණයි.

හැබැයි ලංකාවේ රජයට පුළුවන් විදේශ ණය ගන්න. අපි හිතමු රජය ඩොලර් 10ක් ණයට ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 200යි. දැන් රජය ඔය ඩොලර් ටික වෙළදපොළේ විකුණනවා. එයින් රුපියල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. නමුත් රට ඇතුළේ ඩොලර් සැපයුම ඉහළ යනවා. කවුරු හෝ පිරිසක් ඔය ඩොලර් 10 මිල දී ගෙන පොල් ආනයනය කරනවා. පොල් මිල ඩොලර් ශත 50ක් සේ සැලකුවොත් පොල් ගෙඩි 20ක් රටට එනවා. දැන් රටේ පොල් ගෙඩි ප්‍රමාණය 120 දක්වා වැඩි වෙලා. ඒ නිසා රුපියල් සැපයුම 12,000 වී තිබුණත්, පොල් ගෙඩියක මිල වැඩි වෙන්නේ නැහැ. එය රුපියල් 100 මට්ටමේම තියෙනවා.

දැන් පැහැදිලියිනේ. ඇමරිකාවට ඩොලරයට රටින් පිටත තිබෙන පිළිගැනීම නිසා රටේ උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. (මේ වැඩේට සීමාවක් තිබෙනවා. දැන් ඇමරිකාව කරන දේවල් වලට එක හේතුවක් ඒ සීමාව හඳුනා ගැනීම. ඒ ගැන වෙනම කතා කරමු). ලංකාවට ඇමරිකාව විදිහටම උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න බැහැ. නමුත් විදේශ ණය ගැනීම මගින් ලංකාවටත් උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. 

හැබැයි මේ වැඩේ අවුලක් තියෙනවා කියන එක ඉතාම පැහැදිලියිනේ. ඩොලර් වලින් ගන්න ණය ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්නනම් ගන්න ණය ප්‍රමාණයට හරියන්න විදේශ සංචිතයක් පවත්වා ගන්න වෙනවා. 

විදේශ සංචිත හදාගන්නනම් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් සැපයුම අඩු වෙනවා. ඩොලර් සැපයුම අඩු වෙද්දී ආනයන කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා භාණ්ඩ සැපයුම අඩු වෙනවා. ඔය ක්‍රම දෙකෙන්ම මිල ඉහළ යනවා.

කලින් උදාහරණයටම ආවොත්, ආනයන නැත්නම් පොල් ගෙඩි ගණන 100ම තමයි. වැඩි වුනාට පස්සේ මුදල් සැපයුම රුපියල් 12,000යි. ඩොලර් 10 මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් රුපියල් 2000ක් අලුතෙන් අච්චු ගහන්න වෙන නිසා මුදල් සැපයුම රුපියල් 14,000 දක්වා ඉහළ යනවා. දැන් පොල් ගෙඩියක් රුපියල් 140ක් වෙලා. මහ බැංකුව මැදිහත් වී සංචිත වැඩි කර ගත්තේ නැත්නම් පොල් ගෙඩිය රුපියල් 100ක් පමණයි. ඒ කියන්නේ අනාගතය ගැන හිතලා මහ බැංකුව සංචිත ගොඩ නගා ගන්න යද්දී වුනත් ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්.

සංචිත විකුණද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. අපි හිතමු රජය විසින් විදේශ ණය නොගෙන මහ බැංකුවෙන් රුපියල් 2000ක ණයක් ගත්තා කියලා. දැන් හරිනම් මුදල් සැපයුම රුපියල් 14,000ක් වී පොල් ගෙඩියක් රුපියල් 140ක් විය යුතුයි. නමුත් ඒ එක්කම මහ බැංකුව ඩොලර් 10ක සංචිත විකිණුනොත් රුපියල් 2000ක් මහ බැංකුවට ආපසු එන නිසා මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා අඩු වෙනවා. විකුණපු ඩොලර් 10 වැය කර ආනයන කිරීම නිසා පොල් ගෙඩි ප්‍රමාණය 20කින් ඉහළ ගිහින් 120ක් වෙනවා. අවසාන වශයෙන් පොල් මිල රුපියල් 100යි.

ඔය ක්‍රමයට, විදේශ සංචිත විකිණීම මගින්, එක පැත්තකින් සංචිත මුදල් වැඩි වීම සීමා කරගන්න පුළුවන්. නමුත් මේක වංගුවක් ගැහීමක් නිසා පෙනෙන කෘතීම තත්ත්වයක් මිසක් ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් සංචිත මුදල් වල පෙනෙන සීමිත වැඩි වීමේ බලපෑම වුනත් උද්ධමනය තුළ පේන්නේ නැහැ. ඔය ක්‍රමයෙන් සංඛ්‍යාලේඛණ වල සංචිත මුදල් අඩුවෙන් පෙන්විය හැකි වුවත්, කරපු වැඩේ විපාකය තේරෙන්නේ විදේශ සංචිත ඉවර වෙලා සංචිත නැවත හදාගන්න වූ විටයි. ඒ තත්ත්වය කලින් විස්තර කළා. 

කෙටියෙන් කිවුවොත් කතාව මේකයි. සල්ලි අච්චු ගැසීම නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම වැඩි වීම නිසාත්, උද්ධමනය හැදෙනවා තමයි. නමුත් ඊට බලපාන තවත් කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වෙනත් කරුණු අනුව, ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉන්නේ මේ දේවල් ගැන විශේෂඥතාවයක් හා පළපුරුද්දක් තිබෙන අයයි. ඔවුන් එකම නිර්ණායකයක් දිහා පමණක් බලන්නේ නැහැ. එවැනි විශේෂඥතාවයක් හා පළපුරුද්දක් නොමැති අය විසින් තීරණ ගැනීමද ලංකාව වැනි රටවල සිදු විය හැකි දෙයක් වුනත් එය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක, විදේශ සංචිත වේගයෙන් අඩු වන කාලයක, සංචිත මුදල් සැපයුම වෙනස් වෙන එකට වඩා අවධානය යොමු විය යුත්තේ විදේශ සංචිත වලට සිදු වෙන්නේ කුමක්ද කියන එකටයි. ඒ වගේම, විදේශ සංචිත ගොඩ නැගෙනවානම්, සංචිත මුදල් වැඩි වෙන එකේ අවදානම අඩුයි. 

දැන් ඊළඟට මතු වෙන අනිවාර්ය ප්‍රශ්නය මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියන එක කියලා මම දන්නවා. ලිපිය දැනටම ගොඩක් දිග නිසා ඒ ගැන කතා කරන එක වෙනත් ලිපියකට ඉතිරි කරමු. මේ පැහැදිලි කිරීම් ටික කලින් නොකර ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කරන්න අමාරුයි.

Thursday, August 21, 2025

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 


මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් කියාත් මහ බැංකුව කියනවා. මහ බැංකුවට මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් පසුගිය මාස වලදී සිදුව ඇති බවට විවිධ අය විසින් සිදු කරන ප්‍රචාරයයි. 

මහ බැංකුව විසින් පැහැදිලි කර ඇති පරිදි මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුතෙන් මුදල් නිකුත් කිරීමයි. එනම් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පුළුල් මුදල් සැපයුම (M2b) කියන්නේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාර වලින් එකක්. 

පසුගිය කාලයේදී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් සිදු වී නැහැ. එහෙත් පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් ට්‍රිලියනය ඉක්මවන වැඩි වීමක් සිදු වී තිබෙනවා. මෙසේ පුළුල් මුදල් සැපයුම ඉහළ ගිය විට එය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ දැක්වීම මීට පෙරද සිදුව ඇති දෙයක්. 

ආර්ථික අර්බුදයට පෙර රටේ මුදල් සැපයුම හෝ සල්ලි අච්චු ගැසීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් නෙමෙයි. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව ගිණි පෙණෙල්ලෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කණාමැදිරින්ටද බය වීමේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් විපක්ෂ දේශපාලනයින් විසින් මෙවැනි ප්‍රචාර සිදු කළා. එය දැනුත් සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ විපක්ෂය වෙනස් වී තිබීම පමණයි. 

මහ බැංකුව පැහැදිලි කරන පරිදිම, ඇත්ත වශයෙන්ම, මුදල් සැපයුමේ වැඩිවීම කියන්නේ අළුතෙන් මුදල් අච්චු ගැසූ ප්‍රමාණය නෙමෙයි. නමුත් මහ බැංකුව විසින් මෙහි කියා නොමැති දෙයක් වන්නේ අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ මුදල් සැපයුමේ වැඩිවීම බවයි. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම, එසේ නැත්නම් සංචිත මුදල් වැඩි කිරීම, උද්ධමනයට හේතු වන්නේ ඒ මගින් මුදල් සැපයුම වැඩි කෙරෙන නිසා. ඒ නිසා, මුදල් සැපයුම වැඩිවීම කියන්නේ සල්ලි අච්චු ගැසීමම නොවුනත්, මුදල් සැපයුම වැඩිවීම පිළිබඳව බියවීම අහේතුක නැහැ. 

දැන් මෙහිදී කතා කෙරෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත වූ කාලය තුළ සිදු වූ මුදල් සැපයුමේ වැඩි වීම පිළිබඳවයි. එම වැඩි වීම, 2024 සැප්තැම්බර් අවසානයේ සිට 2025 ජූනි අවසානය දක්වා මාස නවයක කාලය තුළ, රුපියල් බිලියන 1225.9ක්. එයින් සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 136.5ක් පමණයි. පුළුල් මුදල් සැපයුමේ වැඩිවීමෙන් රුපියල් බිලියන 1,060කටම හේතු වී තිබෙන්නේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමයි. 

පෞද්ගලික අංශයේ ණය මේ තරම්ම වැඩිවීමට මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියද හේතු වී තිබෙනවා. සරලව කිවුවොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගැනීම. එසේ කිරීමේදී සංචිත මුදල් ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 1225.9කින් පුළුල් මුදල් සැපයුම ඉහළ යාම සහ රුපියල් බිලියන 136.5කින් සංචිත මුදල් ඉහළ යාම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. 

කෙසේ වුවද, සංචිත මුදල් සැපයුම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම මහ බැංකුවක සාමාන්‍ය කාර්යයක්. මහ බැංකුව විසින් ඒ කාර්යය කළ යුත්තේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි ආකාරයටයි. රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගසන්නට සිදු වේනම් මහ බැංකුවකට එය කළ නොහැකියි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර සිදු වූයේ එවැන්නක්. 

දැන් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව කටයුතු කළ හැකියි. එමෙන්ම රජය විසින් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය නොගන්නා ප්‍රතිපත්තියක සිටිනවා. ඒ නිසා, මහ බැංකුවට කරන්නට තිබෙන්නේ දී තිබෙන උද්ධමන ඉලක්කය හා ගැලපෙන පරිදි පුළුල් මුදල් සැපයුම පාලනය කිරීමයි. මෙය මහ බැංකුවට සෘජුව හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවුණත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම පාලනය කිරීම සහ පොලී අනුපාතික මත බලපෑම් කිරීම මගින් වක්‍ර ලෙස මෙය කළ හැකියි.

මහ බැංකුවට දී තිබෙන ඉලක්කය වන්නේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීමයි. පසුගිය කාලයේම ලංකාවේ උද්ධමනය පැවතුණේ ඊට වඩා බොහෝ පහළ අවධමන පරාසයකයි. එවැනි තත්ත්වයක් තුළ  මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය (2025) ජූනි මාසයේදී 0.7%ක උද්ධමනයක් වාර්තා කළත් නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබුණේ අවධමන තත්ත්වයක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ උදවුවෙන් මේ තත්ත්වය ඉදිරි මාස වලදී වෙනස් වනු ඇතත්, මහ බැංකුවේ පුරෝකථන අනුව, උද්ධමනය ඉලක්ක මට්ටමට යාමට නියමිතව ඇත්තේ 2026 මැද වන විටයි.

මෙම වසරේ පළමු කාර්තුවේ දත්ත අනුව, එම කාර්තුව තුළ, රැකියා 69,714ක් අලුතෙන් නිර්මාණය වී විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී තිබෙනවා. සේවා අංශයේ පමණක් අලුත් රැකියා 258,577ක් අලුතෙන් නිර්මාණය වී ඇති අතර, කාර්මික අංශයේ රැකියා ප්‍රමාණයද 63,800කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ කෘෂිකාර්මික අංශයේ රැකියා වල නියැලුණු ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවා අංශය වෙත මාරු වී ඇති ආකාරයයි. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව, සේවා අංශයේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩියි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයේ රැකියා සේවා අංශය වෙත විතැන් වෙද්දී අදාළ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා කියන එකයි. එමෙන්ම රටේ ආර්ථිකය, විශේෂයෙන්ම කාර්මික හා සේවා අංශ, හොඳින් වර්ධනය වෙමින් පවතින බවයි. කාර්මික හා සේවා අංශ වල ගැනුම්කරුවන්ගේ දර්ශක වලින් පෙන්නුම් කරන්නේ මේ දක්වාම මේ යහපත් ප්‍රවණතාව එලෙසම පවතින බවයි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙන්ම අප‍ට පෙනෙන්නට ඇති පරිදිද මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% වැනි මට්ටමකට යා හැකියි. එය මූල්‍ය අරමුදලේ පුරෝකථන සැලකිය යුතු ලෙස ඉක්මවා යන හොඳ තත්ත්වයක්. මේ වර්ධනය පෙනෙන්නට තිබෙන්නේ උද්ධමන තර්ජනයක් නොමැති පසුබිමකයි. 

ලංකාවේ සේවා අංශය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන සේවා, බැංකු හා රක්ෂණ වැනි අංශයි. මෙවැනි අංශ වේගයෙන් වර්ධනය වෙද්දී මුදල් සංසරණයද ඉහළ යන බව සාමාන්‍ය දැනීමෙන් වුවත් තේරුම් ගත හැකි දෙයක්. එහි ප්‍රතිඵලය රටේ මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. මෙය ඓන්ද්‍රීය ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නෙමෙයි.

රටේ මුදල් ඉල්ලුම ඉහළ යද්දී, මහ බැංකුවට අවශ්‍යනම්, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එම ඉල්ලුම පාලනය කළ හැකියි. එයින් අදහස් වන්නේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම රැකියා ජනනයද විනාශ කරනවා යන්නයි. උද්ධමනය විශාල තර්ජනයක් වී ඇත්නම්, අකැමැත්තෙන් හෝ මෙය කරන්නට සිදු වෙනවා. එහෙත්, උද්ධමන තර්ජනයක් පේන තෙක් මානයක හෝ නැත්නම් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුවක් නැහැ. 

අනෙක් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ යාම යනු රාජ්‍ය අයවැය මත පීඩනය වැඩි වී අනාගත ණය බර ඉහළ යාමයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණ ඉලක්ක සමඟද ගැලපෙනවා. මෙය මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් වේයැයි සිතීම තනිකරම වැරදි අදහසක්.

කෙසේ වුවත්, අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ දේශීය ඉල්ලුම නිසා මිස බාහිර ඉල්ලුම වැඩි වීම නිසා නොවන බවයි. ඒ නිසා, රටේ රැකියා වැඩි වී ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යද්දී විදේශ විණිමය ඉපැයීමට තිබෙන උනන්දුව අඩු වීමටත්, ආනයන ඉල්ලුම ඉහළ යාමටත් ඉඩ තිබෙනවා. ඒ හරහා අනාගත අර්බුදයකට පාර කැපෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ කරුණටයි.

Tuesday, August 19, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන


පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.

පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස්ද ලංකාවේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරද්දී එයින් අදහස් කළේ භාණ්ඩ නිෂ්පාදනය සහ භාණ්ඩ අපනයනයයි. ඒ නිසා, මේ හා අදාළ වත්මන් තත්ත්වය විමසා බැලීමේ වැදගත්කමක් තිබෙනවා. 

දෙවනුව, ලෝක වෙළඳාම තුළ සේවා වෙළඳාමේ වැදගත්කම ඉහළ ගියේ සාපේක්ෂව පසු කාලයකදී නිසා ලෝකයේ විවිධ රටවල භාණ්ඩ අපනයන හා අදාළ සංඛ්‍යාලේඛණ තිබෙන තරමටම සේවා අපනයන පිළිබඳ විශ්වාසනීය දීර්ඝකාලීන සංඛ්‍යාලේඛණ නැහැ. 

තුන්වනුව, ලංකාවේ සේවා අපනයන හා එහි විභවය ගැන කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස භාණ්ඩ අපනයන  වලින් සාකච්ඡාව පටන් ගන්න අවශ්‍ය වුනා. සේවා අපනයන ගැන කොහොමටත් පසුව වෙනම කතා කරන්නයි හිටියේ. දැන් මේ කරන්නේ ඒ වැඩේ.

කලින් ලිපියෙහි සඳහන් කළ පරිදි,  2024 වන විට ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.00052ක් හෙවත් 0.052%ක් පමණයි. භාණ්ඩ හා සේවා අපනයන කාණ්ඩ දෙකම සැලකූ විට මේ පංගුව මීට වඩා තරමක් වැඩියි. නමුත් ඒ වෙනස ලෝක මට්ටමේදී බලපෑමක් කළ හැකි තරමේ වෙනසක් නෙමෙයි. 2024දී මේ පංගුව 0.00061ක් හෙවත් 0.061%ක් පමණයි. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වේගයෙන් පහත වැටුණු නිදහසින් පසු මුල් යුගය පැත්තකින් තිබ්බොත්, මේ පංගුව වැඩිම මට්ටමක තිබී ඇත්තේ 2016 හා 2017 වසර වලදීයි. මෙම උපරිම අගය 0.084%ක් පමණ. නාමික ඩොලර් අගය සැලකුවොත් දැනට ලංකාව වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායමක් උපයා තියෙන්නේ 2018 වර්ෂයේදීයි. එම අගය ඩොලර් බිලියන 20.3ක්. වෙන ආණ්ඩුවක කාලය තුළ මේ දේවල් සිදු වුනානම් ඒවා විශාල ලෙස ප්‍රචාරණය කෙරෙනවා. පාස්කු ප්‍රහාරය සිදු වූ 2019දී පවා ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන පංගුව 0.078% තරම් ඉහළ අගයක පැවතුණා. මෙම පංගුවේ 2015-2019 සාමාන්‍ය අගය 0.081%ක්. එය අනෙකුත් වකවානු එක්ක බලද්දී කැපී පෙනෙනවා.

ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ලංකාවේ අපනයන පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව ඒ ආණ්ඩුව විසින් කළ දේවල් කියා කියනවාට වඩා නොකළ දේවල් කියා කියන්න පුළුවන්. ඔය කාලයේදී සාපේක්ෂව විණිමය අනුපාතය මත මහ බැංකු මැදිහත්වීම් සිදු වුනේ අඩුවෙන්. රජය මුල් වී රටේ නිෂ්පාදනයේ හා අපනයන වල සංයුතිය හෝ දිශානතිය මත බලපෑම් කළේ අඩුවෙන්. ඒ නිසා, වෙළඳපොළ යාන්ත්‍රනය වඩා හොඳින් ක්‍රියාත්මක වුනා. ඊට අමතරව, ඊට පෙර යුගයේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව, සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. එය දිගටම සිදු වුනා. ඔය සේවා අපනයන ආදායම් වලින් විශාල කොටසක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විණිමය. 

මෙම වසරේදී ලංකාවේ නාමික භාණ්ඩ හා සේවා අපනයන ආදායම 2018 මට්ටම ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ඒ අනුව, මෙම 2025 වසරේදීද, 2018දී මෙන්, ලංකාවේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම වාර්තා වෙයි. එහෙත්, ලංකාවේ වෙළඳ පංගුවනම් 2015-2019 මට්ටමට යන එකක් නැහැ. 

කෙසේ වුවත්, ඉහත සඳහන් ලංකාවේ පංගුව වසරක් හෝ දෙකක් ඇතුළත 2015-2019 පැවති මට්ටමට ඔසොවා ගන්න එක අසීරු වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු දේවල් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එතැනින් උඩට වුනත්, යම් සීමාවක් දක්වා වැඩි කර ගැනීමේ විභවයක් තිබෙනවා. නමුත් ගොඩක් වැඩි කරගන්න එකනම් ප්‍රායෝගිකව අසීරු වැඩක්. 

මේ ආණ්ඩුව රටේ භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයනය වැඩි කර ගැනීම සඳහා සාපේක්ෂව වැඩි බරක් තබමින් සිටින බව පේනවා. චීනය වගේ රටක වෙළඳපොළට ඇතුළු වෙන්න ව්‍යවසායකත්වය තිබිලා මදි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ භාණ්ඩ අපනයන ලොකුවට වර්ධනය නොවීමට හේතු වන මූලික හේතු තිබෙනවා. කලින් ලිපියක විස්තර කළ, මානව සම්පත් වෙනුවෙන් ප්‍රශස්ත මට්ටම ඉක්මවා ආයෝජනය කර තිබීම එක් හේතුවක්. එයටම සම්බන්ධ, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවත් හේතුවක්. මේ වගේ සාර්ව ආර්ථික සාධක නිසා ලංකාවේ නිෂ්පාදන පිරිවැය වඩා වැඩියි. 

ආණ්ඩුව, බලයට පත් වෙන්න පෙර කියපු විදිහටම, "විද්‍යාත්මක ක්‍රමයකට" අපනයන භාණ්ඩ හා අපනයන වෙළඳපොළවල් තෝරා ගෙන ඒවා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ මගින් යා හැකි උපරිම සීමාව කාලයක් යද්දී අවබෝධ වෙයි. හැබැයි මේ උත්සාහයන් නරක නැහැ. අවම වශයෙන් භාණ්ඩ අපනයන පංගුව තියෙන මට්ටමේම තියා ගන්න වුනත්, ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ භාණ්ඩ අපනයන වර්ධනය කර ගන්න වෙනවා. 

කොහොම වුනත්, මේ ආණ්ඩුව පවා, කෙටිකාලීනව විශ්වාසය තබා තියෙන්නේ සංචාරක ඉපැයීම් මතයි. ප්‍රායෝගිකව දැනට ලංකාවට වැඩිම ශක්‍යතාවයක් තිබෙන තැන මෙයයි. ජූලි මාසය අවසන් වෙද්දී සංචාරකයින් 1,368,288 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. අගෝස්තු 18 වන විට මෙම ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවලා කියලා වාර්තා වී තිබෙනවා. කෙසේ වුවත්, 2018දී, ජූලි මාසය අවසන් වන විට සංචාරකයින් 1,382,476 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. තවමත් සංචාරක පැමිණීම් 2018 මට්ටමට වඩා අඩුයි. 

පුරෝකථන අනුව, මෙම (2025) වසරේදී ලෝක සංචාරක කර්මාන්තය 3%-5% අතර වර්ධනයක් පෙන්නුම් කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය නිසා 2019දී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් සිදු වුනත්, එම වසරේදී ලෝක සංචාරක කර්මාන්තයේ 3.6%ක වර්ධනයක් සිදු වුනා. ඉන් පසුව, කෝවිඩ් නිසා කර්මාන්තය කඩා වැටුණත්, 2024 වන විට නැවතත් 2019දී සිටි තැනට එම කර්මාන්තය පැමිණුනා. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් 2018 මට්ට්ටමට පැමිණ නැහැ. ඒ නිසා, මෙම වසරේදී 2018 මට්ටමට පැමිණුනත්, එය 2018ට සාපේක්ෂව ලංකාවේ පංගුවේ 7%-9% පමණ අඩු වීමක්. 

එක පැත්තකින් මෙය නරක දෙයක්මත් නෙමෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාවට පහසුවෙන්ම අත්පත් කර ගත හැකි විභවයක් පවතින බවයි. 

රටට විදේශ විණිමය ලැබේනම් එසේ ලැබෙන්නේ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද යන්න වැදගත් නැහැ. මොන විදිහකින් ලැබුණත් ඒ විදේශ විණිමය වලින් රටට අවශ්‍ය ආනයන සිදු කළ හැකියි. ණය ගෙවිය හැකියි. 

සංචාරක කර්මාන්තය වැනි තනි විදේශ විණිමය ප්‍රභව මත යැපීමේ අවදානමක් තිබෙනවා. ඇඟලුම් වැනි නිෂ්පාදනයක් සැලකුවත් ඒ අවදානම තිබෙනවා. අවදානම ආවරණය කර ගැනීම සඳහා කළ යුත්තේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නංවා ගෙන පවත්වා ගෙන යාමයි.

තවත් විශේෂ කරුණක් පැහැදිලිව සටහන් කර තැබිය යුතුයි. එනම් දිගුකාලීනව නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරමින් කෙටිකාලීනව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරියන උපාය මාර්ගයක් නොවන බවයි. සංචාරක කර්මාන්තයෙන් රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ලැබෙන තරමට රුපියල වඩ වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන තරඟකාරිත්වය තව තවත් අඩු වීම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මුලින් සංචාරක කර්මාන්තය මගින් විදේශ විණිමය උපයා ගෙන පසුව භාණ්ඩ අපනයන පංගුව වැඩි කර ගැනීම එකිනෙක හා ගැටෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙකක්. දොන් සිමන් දෙකම එකවර ඉලක්ක නොකර සේවා ආර්ථිකය ගැන වැඩි විශ්වාසයක් තබා කටයුතු කර ඇති 2015-2019 කාලයේදී ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව එයයි. 

දත්ත වල මූලාශ්‍රය ලෝක බැංකුව (https://data.worldbank.org/indicator/NE.EXP.GNFS.CD).

Monday, August 18, 2025

ගතික විචල්‍ය මිල ක්‍රමය


ගතික විචල්‍ය මිල ක්‍රමය අදාළ සන්දර්භයන්හිදී වඩා කාර්යක්ෂම මිල ක්‍රමයක් වන්නේ ඇයි? මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි සරල උදාහරණයක් සලකා බලමු. 

ගොඩබිම සිට බෝට්ටුවකින් යා යුතු පරෙවි දූපත වැනි දූපතක් තිබෙනවා. මෙම දූපත සංචාරක ආකර්ශනයක්. දූපතේ අයිතිය වගේම එම දූපතට බෝට්ටු මගින් මගීන් ප්‍රවාහනය කිරීමද රාජ්‍ය ඒකාධිකාරයක්. ලිපියේ මුඛ්‍ය අරමුණ මෙම රාජ්‍ය ඒකාධිකාරය ප්‍රශ්න කිරීම නෙමෙයි. කවර හේතුවක් නිසා හෝ රටේ ජනතාවගේ කැමැත්ත වනුයේ මෙම රාජ්‍ය ඒකාධිකාරය එලෙසම පවත්වා ගෙන යාමයි.

රජය මගින් මෙම බෝට්ටු සේවයේ මිල තීරණය කරන ක්‍රමය කුමක්ද?

1. හැකි තරම් වැඩි පිරිසකට දූපතට යාමට අවස්ථාව සැලසිය යුතුයි.
2. අය කරගන්නා මුදලින් අවම වශයෙන් පිරිවැය ආවරණය විය යුතුයි. 

ලිපියේ අරමුණ ඉහත රාජ්‍ය ප්‍රතිපත්තිය විචාරය කිරීම නෙමෙයි. කවර හේතුවක් නිසා හෝ රාජ්‍ය ප්‍රතිපත්තිය එයයි. 

රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණත්, එහි ප්‍රධාන අරමුණ පුළුවන් තරම් ලාබ වැඩි කර ගැනීම නොවුනත්, ආර්ථික විද්‍යා න්‍යායයන් වැඩ කරනවා. මෙහි තිබෙන්නේ වෙළඳපොළක්. එම වෙළඳපොළේ සැපයුම හා මිල තීරණය කිරීමේ බලය රාජ්‍ය ඒකාධිකාරයක ග්‍රහණය යටතේ ඇතත්, ඉල්ලුම තීරණය වන්නේ පාරිභෝගික මූලධර්ම අනුව සාමාන්‍ය ක්‍රමයටයි. 

සැපයුම

එක් බෝට්ටුවක එය ක්‍රියා කරවන්නාට අමතරව මගීන් පස් දෙනෙකුට ගමන් කළ හැකියි. දූපතට යාමට සහ ආපසු පැමිණීමට ගත වන කාලය අනුව දිනකට එක් බෝට්ටුවකට එක් ගමන් වාරයකට වඩා ක්‍රියාත්මක කළ නොහැකියි. එහෙත්, ඉල්ලුම තිබේනම්, බෝට්ටු ප්‍රමාණය වැඩි කළ හැකියි. බෝට්ටුවක දිනක වියදම රුපියල් 10,000ක්. 

ඉල්ලුම 

පහත තිබෙන්නේ එක් දිනක පාරිභෝගික ඉල්ලුම. වෙනත් දින වලද එය හරියටම එසේයැයි දැනට උපකල්පනය කරමු. ඕනෑම දිනක දූපතට යාමට කැමති පාරිභෝගිකයින් ගණන 10ක්. එහෙත් මේ එක් එක් පාරිභෝගිකයා එසේ කරන්නේ තමන් ගෙවන්නට සූදානම් උපරිම මිලට හෝ අඩුවෙන් ගමන යා හැකිනම් පමණයි. පහත තිබෙන්නේ එක් එක් පාරිභෝගිකයා ගෙවන්නට සූදානම් උපරිම මිල. 

ඈන් - රුපියල් 10,000
බෙන් - රුපියල් 8,000
චෑන් - රුපියල් 6,000
දිලිත් - රුපියල් 5,000
එඩ්වඩ් - රුපියල් 4,000
ෆ්‍රෑන්ක් - රුපියල් 3,000
ගයානි - රුපියල් 2,000
හරිනි - රුපියල් 1,500
ඉෂාන් - රුපියල් 1000
ජෙයන් - රුපියල් 500

මිල තීරණය කිරීම 

පහත තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරය විසින් මිල තීරණය කරන ආකාරයයි. මෙය කරන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි.

බෝට්ටුවක දිනක වියදම = රුපියල් 10,000
ගෙන යා හැකි මගීන් ගණන = 5
එක් මගියෙකුගෙන් අය කළ යුතු මුදල = රුපියල් 2000

ප්‍රතිඵලය 

ඉහත මිල යටතේ මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් හත් දෙනෙකු ඉදිරිපත් වන නමුත් එක් බෝට්ටුවක යා හැක්කේ ඔවුන්ගෙන් පස් දෙනෙකුට පමණයි. ඉතිරි දෙදෙනාට අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා, යම් ක්‍රමයකින් මේ හත් දෙනාගෙන් පස් දෙනෙකු තෝරා ගන්නට සිදු වෙනවා. අපි මේ සඳහා යොදා ගත හැකි විකල්ප ක්‍රම තුනක් සලකා බලමු.

1. මිල ගැලපීම 
2. පෝලිම් ක්‍රමය 
3. ලොතරැයි ක්‍රමය 

මිල ගැලපීම 

එක් මගියෙකුගෙන් අය කරන මිල රුපියල් 4,000 දක්වා වැඩි කළහොත් පහසුවෙන්ම ප්‍රශ්නය විසඳෙනවා. ෆ්‍රෑන්ක් සහ ගයානි එම මිලට ප්‍රවේශපත්‍ර මිල දී ගන්නේ නැහැ. ඔවුන්ට අනුව මේ ගමන ඒ තරම් වටින්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම 5 දක්වා අඩු වෙනවා. එම මගීන්ට එක් බෝට්ටුවක ඉඩ ප්‍රමාණවත්. 

මේ ක්‍රමය අසාධාරණද?

ෆ්‍රෑන්ක්ට සහ ගයානිට මේ මිල වැඩි කිරීම අසාධාරණ සේ පේන්න පුළුවන්. මිල වැඩි කිරීම නිසා ඔවුන්ට අවස්ථාව අහිමි වුනා. නමුත් පැවති මිල යටතේ පවා හරිනි, ඉෂාන් සහ ජෙයන් යන තිදෙනාගේ අවස්ථාව අහිමි වෙලයි තිබුණේ. සියල්ලන්ටම අවස්ථාව දීමටනම් මිල රුපියල් 500 දක්වා අඩු කරන්නට සිදු වෙනවා. එවිට පස් දෙනෙකුගෙන් එකතු වන්නේ රුපියල් 2,500ක මුදලක් පමණක් නිසා බෝට්ටුවක දිනක වියදම වන රුපියල් 10,000 ආවරණය වෙන්නේ නැහැ. 

පෝලිම් ක්‍රමය 

මෙහිදී කලින්ම ප්‍රවේශපත්‍ර මිල දී ගන්නා පස් දෙනාට අවස්ථාව හිමි වෙනවා. වඩා කාර්ය බහුල අයෙකුට හරියටම වෙලාව බල බලා ඉන්න බැහැ. ඈන් සහ දිලිත් එවැනි කාර්ය බහුල අය බැවින් ඒ දෙදෙනාට පෙර අනෙක් අය ප්‍රවේශපත්‍ර මිල දී ගන්නවා. ඈන්ට සහ දිලිත්ට අවස්ථාව අහිමි වෙනවා.

මේ ක්‍රමය වඩා සාධාරණද?

මේ ක්‍රමය වඩා සාධාරණ බව ෆ්‍රෑන්ක්ට සහ ගයානිට පෙනෙන්න පුළුවන්. නමුත් ඈන්ගේ සහ දිලිත්ගේ පැත්තෙන් බලද්දී මෙය අසාධාරණ ක්‍රමයක්. ඔවුන් වැඩි මිලක් ගෙවන්න සූදානම්ව සිටියදී ඔවුන්ගේ අවස්ථාව අහිමි වෙලා. මේ වගේ තත්ත්වයක් යටතේ "කළු කඩයක්" ඇති වීමේ නැඹුරුවක් තිබෙනවා.

දිලිත්ට ගමන යන්නම අවශ්‍යයි. ඔහු ගයානි විසින් මිල දී ගත් ප්‍රවේශපත්‍රය වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් අර්පණය කරනවා. ගයානිට මේ ගමනේ වටිනාකම රුපියල් 2000ක් පමණයි. තමන්ගේ ප්‍රවේශපත්‍රය දිලිත්ට විකුණන එකෙන් ඇයට රුපියල් 500ක ලාබයක් ලැබෙනවා. ඇයට මේ ගමන යන්න අවශ්‍යනම් රුපියල් 2000ක් පමණක් වියදම් කර ඊළඟ දවසේ ගමන යා හැකියි. 

දිලිත්ගේ පැත්තෙන් බලද්දී ගයානිගේ ප්‍රවේශපත්‍රය මිල දී ගැනීමේ අවදානමක් තිබෙනවා. එහි නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 10%ක්. නම පරීක්ෂා කළොත් ගෙවපු රුපියල් 2,500 අපතේ යනවා. නමුත් එම මුදලට රුපියල් 5,000ක් වටිනා දෙයක් ලැබෙන්න 90%ක සම්භාවිතාවක් තිබෙනවා. ඒ නිසා මෙය වාසිදායක ගනුදෙනුවක්. ඔහුට මෙම ප්‍රවේශපත්‍රයේ රුපියල් 4,500ක වටිනාකමක් තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 2,000ක ලාබයක්.

දිලිත් සහ ගයානි අතර සිදු වූ කළුකඩ ගනුදෙනුවෙන් ඔවුන් දෙදෙනාටම ලාබයක් සිදු වී තිබෙනවා. නමුත් වෙනත් කිසිම කෙනෙකුට එයින් පාඩුවක් සිදු වී නැහැ. ප්‍රවේශපත්‍රයේ නම පරීක්ෂා කරන සම්භාවිතාව 50% ඉක්මවා වැඩි කළහොත් මේ ගනුදෙනුව සිදු වන්නේ නැහැ. 

නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 10%ක් පමණක්නම්, ඉෂාන් වැනි කෙනෙක් වෙනත් අයෙකුට විකිණීම සඳහාම ප්‍රවේශපත්‍රයක් මිල දී ගන්න ඉඩ තිබෙනවා. එම ටිකට්පත අනිවාර්යයෙන්ම කාට හෝ විකිණිය හැකි බව ඔහු දන්නවා. එය දිලිත් වැනි කෙනෙකුට රුපියල් 4,500 දක්වා මුදලකට විකිණිය හැකියි. 

ඉෂාන් තරඟයට එකතු වීම නිසා ෆ්‍රෑන්ක්ට ප්‍රවේශපත්‍රයක් ගැනීමේ අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඔහුට ප්‍රවේශපත්‍රයක් කළු කඩයෙන් මිල දී ගැනීම සඳහා දිලිත් එක්ක තරඟ කරන්නත් බැහැ. ඒ නිසා ඔහුට ගමන යන්න වෙන්නේ නැහැ. දිලිත් කළු කඩෙන් ප්‍රවේශපත්‍රයක් අරගෙන ගමන යනවා. 

නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව අඩුනම් කළු කඩය ක්‍රියාත්මක වීමෙන් පසුව අවසන් ප්‍රතිඵලය ලැයිස්තුවේ මුල් පස් දෙනාට අවස්ථාව ලැබීමම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිල වැඩි කිරීමේදී ලැබෙන ප්‍රතිඵලයමයි. ප්‍රධානම වෙනස කළු කඩය හරහා කිහිප දෙනෙකු අමතර මුදලක් හොයා ගැනීමයි.

ලොතරැයි ක්‍රමය 

මේ ක්‍රමය ඉහත ක්‍රමයට සාපේක්ෂව වඩා සාධාරණ ක්‍රමයක්. මෙම ක්‍රමයේදී දිලිත් වැනි වඩා කාර්ය බහුල අයෙකුට වුවත් සම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා කළු කඩ හැදීමේ ඉඩකඩ තරමක් අඩු වෙනවා. නමුත් නැති වෙන්නේ නැහැ. මෙම ක්‍රමය යටතේ වුවත්, ඉෂාන් වැනි කෙනෙක් වෙනත් අයෙකුට විකිණීම සඳහාම ප්‍රවේශපත්‍රයක් මිල දී ගැනීම සඳහා තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන්. එයින් අනෙක් අයගේ දිනීමේ සම්භාවිතාව අඩු වෙනවා. ඒ වගේම, මෙහිදී කළු කඩය හරහා වාසියක් ලබා ගැනීමේ හැකිව මහන්සියට වඩා වාසනාව මත තීරණය වෙනවා. 

පරීක්ෂා කිරීමේ සම්භාවිතාව වැඩි කිරීම මගින් කළු කඩ හැදෙන එක වලක්වන්න පුළුවන්. නමුත් එසේ කළු කඩ නැවැත්වුවා කියා අවශ්‍ය සියල්ලන්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉහත කවර තත්ත්වයක් යටතේ වුවද ගමන යන්න කැමති දහ දෙනෙකුගෙන් පස් දෙනෙකුට එම අවස්ථාව අහිමි වෙනවා. ඒ අතරින් ලැයිස්තුවේ අවසන් තුන් දෙනාට ඉහත කවර තත්ත්වයක් යටතේ වුවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතිරි හත් දෙනාගෙන් පස් දෙනෙකුට අවස්ථාව ලැබෙනවා. පළමු ක්‍රමයේදී මෙන්ම දැඩි පරීක්ෂාවක් සිදු නොවන තත්ත්වයක් යටතේ දෙවන හා තෙවන ක්‍රම වලදීද අවස්ථාව ලබා ගන්නේ වැඩිම මුදලක් ගෙවන්නට සූදානම් අයයි. පෝලිම් ක්‍රමය යටතේදී වැඩිම උනන්දුවක් ඇති අයට එම අවස්ථාව ලැබෙනවා. ලොතරැයි ක්‍රමයේදී වාසනාව මත අවස්ථාව ලැබෙනවා.

කෙසේ වුවද, නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 100%ක් වුවද, දෙවන ක්‍රමය යටතේදී වැඩිම මුදලක් ගෙවන්නට සූදානම් අයට වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ ඉඩකඩක් ඉතිරි වෙනවා. ඔවුන්ට තමන් වෙනුවෙන් මුදල් ගෙවා වෙනත් අයව පෝලිමට එකතු කරන්න පුළුවන්. එහෙත් ලොතරැයි ක්‍රමයේදී මෙවැන්නක් කළ නොහැකියි. පෝලිම මාර්ගගත පෝලිමක් වුවත් මෙහි වෙනසක් නැහැ.

සැපයුම වැඩි කර ප්‍රශ්නය විසඳිය නොහැකිද?

මේ උදාහරණයෙහි පෙන්වා තිබෙන්නේ එසේ කළ නොහැකි අවස්ථාවක්. රුපියල් 2000ක මිල යටතේ ඉල්ලුම උපරිම වශයෙන් 7ක් පමණක් නිසා දෙවන බෝට්ටුවකට සිටින්නේ පාරිභෝගිකයින් දෙදෙනෙකු පමණයි. එම දෙදෙනා වෙනුවෙන් බෝට්ටුවක් යොදවා එහි පිරිවැය ආවරණය කර ගන්න බැහැ.

ගතික විචල්‍ය මිල ක්‍රමය විසඳුමක් වන්නේ කෙසේද?

ගතික විචල්‍ය මිල ක්‍රමය යටතේ පිරිවැයද ආවරණය කර ගනිමින් සැපයුම වැඩි කරන්න පුළුවන්. ගතික විචල්‍ය මිල ක්‍රමයකදී විවිධ ආකාර වලින් මිල විචලනය කළ හැකියි. පහත තිබෙන්නේ එක් උදාහරණයක්.

බෝට්ටු ප්‍රමාණය = 2
ප්‍රවේශපත්‍ර ප්‍රමාණය = 10

ආරම්භක මිල - රුපියල් 2,500
ගමනට දින 23කට පෙර ප්‍රවේශපත් 3කට වඩා විකිනුණහොත් එසැණින්ම මිල රුපියල් 5,000 දක්වා වැඩි කෙරේ. 

එඩ්වඩ්, ෆ්‍රෑන්ක් සහ චෑන් පළමු දිනම ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500

මිල වැඩි කිරීමෙන් පසුව, දිලිත් සහ බෙන් රුපියල් 5,000 බැගින් ප්‍රවේශපත්‍ර මිල දී ගනී. එහෙත් ඊට වඩා ප්‍රවේශපත් නොවිකිණේ.

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 = රුපියල් 17,500

ගමනට දින 15කට පෙර ප්‍රවේශපත් 6කට වඩා විකිණී නැත්නම් නැවත මිල රුපියල් 2,500 දක්වා අඩු කෙරේ. 

ඈන් රුපියල් 2,500ක් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිල දී ගනී.

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 = රුපියල් 20,000

මේ වන විට බෝට්ටු දෙකේම පිරිවැය මුළුමණින්ම ආවරණය වී තිබේ.

ගමනට දින 7කට පෙර ප්‍රවේශපත් 8කට වඩා විකිණී නැත්නම් මිල රුපියල් 1,500 දක්වා අඩු කෙරේ.

හරිනි සහ ගයානි ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 + 3,000 = රුපියල් 23,000

ගමනට පෙර දින වන විට ප්‍රවේශපත් සියල්ල විකිණී නැත්නම් මිල රුපියල් 500 දක්වා අඩු කෙරේ.

ඉෂාන් සහ ජෙයන්ද ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 + 3,000 + 1000 = රුපියල් 24,000

අවසාන වශයෙන් බෝට්ටු සවාරිය යාමට අවශ්‍ය සියල්ලන්ටම එම අවස්ථාව ලැබී ඇති අතර රජයට රුපියල් 4,000කින් පිරිවැය ඉක්මවන ලාබයක්ද ලැබී තිබෙනවා. 

මෙහි පෙන්වා දී තිබෙන්නේ ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැක්කේ අභිලාෂය හැකි තරම් ලාබ වැඩි කර ගැනීම වූ විට පමණක් නොවන බවයි. එමෙන්ම තරඟකාරී වෙළඳපොළක් නොමැති, රාජ්‍ය ඒකාධිකාරයක් පවතින තත්ත්වයක් යටතේ වුවද වඩා හොඳ අවසන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි ආකාර පවතින බවයි. ඊට අමතරව මේ නිදර්ශනය ඇසුරෙන් පෙන්වා දිය හැක්කේ වෙළඳපොළ යාන්ත්‍රනය මගින් පවතින තත්ත්වය වඩා කාර්යක්ෂම කර ගැනීම බොහෝ අවස්ථා වලදී කර ගත හැකි වුවත්, ඕනෑම අවස්ථාවකදී එය සිදු නොවන බවයි. 

ඉහත නිදර්ශන වල මගියෙකු ප්‍රවාහනය කිරීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 2,000ක්. එසේනම්, හරිනි, ඉෂාන් සහ ජෙයන් යන තුන් දෙනෙකුටම ඊට වඩා අඩු මුදලක් ගෙවා ගමන යා හැකි වූයේ කෙසේද? මීට හේතුව, මගියෙකු ප්‍රවාහනය කිරීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 2,000ක් වුවද අවසන් මගීන් හතර දෙනා ප්‍රවාහනය කිරීමේ ආන්තික පිරිවැය ශුන්‍ය වීමයි. ඔවුන්ට අවස්ථාව නොදී එම ආසන හිස්ව තියාගෙන ගමන ගියත් එයින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, අඩු මිලක් අය කර හෝ අවසන් මොහොතේ ඔවුන්ටද අවස්ථාව දීම වඩා කාර්යක්ෂමයි. 

Saturday, August 16, 2025

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය


දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක් හෝ ප්‍රති උපකාරයක් ලෙසම නොවුණත්, ඔහු ඇමරිකාවට ඇවිත් අපේ නගරයේ ගත කළ දින කිහිපය මම ඔහු වෙනුවෙන් වෙන් කළා. වැඩිපුරම කළේ ඔහුගේ රියැදුරු වැඩේ. 

ඔය දවස් කිහිපයෙන් එක් දවසක් ඔහු යොදා ගෙන තිබුණේ මගේත් වැඩසගයෙකු (coworker) වන ඇමරිකානුවෙකු හමු වෙන්න. රාත්‍රී භෝජනයක් එක්ක සිදු වූ ඒ හමුවීම සඳහා නියම කරගෙන තිබුණේ නගරය මැද තිබෙන ජර්මන් අවන්හලක්. සාමාන්‍යයෙන් මම ඔය වගේ වැඩකට තේරීමක් කරද්දී නගරය මැද තැනක් තෝරා ගන්නේ නැහැ. ඊට හේතුව වාහනය නවත්වන්න තැනක් හොයා ගැනීම තරමක හිසරදයක් වීම. නගරයේ පැත්තකට යද්දී ඒ ප්‍රශ්නය නැති තැන් ඕනෑ තරම් තිබෙනවා. කොහොම වුනත් මේ අවස්ථාවේදී වැදගත් වුනේ චීන මිතුරාට සහ ඇමරිකන් වැඩසගයාට පහසු තැනක් තෝරා ගැනීම. මට කළ හැකිව තිබුණේ චීන මිතුරාගේ රියැදුරා ලෙස ඔහුට පහසුකම් සැලසීම පමණයි.

අවන්හල වටේ රවුමක් දෙකක් කැරකුනාට පස්සේ කොහොම හරි පාර අයිනේ වාහනයක් ඉවත් කර ගනිද්දී වාහනය ඒ ඉඩට දමා ගත්තා. මේ වගේ වාහනයක් නැවැත්විය හැකි ඉඩකට අංකයක් තිබෙනවා. ඒ අංකය කිට්ටුව තිබෙන මුදල් ගෙවීමේ යන්ත්‍රයකට ඇතුළු කරලා අවශ්‍ය කාලය වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. අනුන්ගේ ඉඩමක වාහනයක් නවත්වද්දී අපි කරන්නේ එම ඉඩ යම් කාලයකට කුලියට ගන්න එක. මාස කුලියට ගෙයක් ගන්නවා හෝ දවස් කුලියට හෝටල් කාමරයක් ගන්නවා වගේම වැඩක්. 

පාර අයිනේ මේ ඉඩ අයිති නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටයි. වාහන නැවැත්වීම සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව වාහන නැවැත්විය හැකි බිම්කොටස් ප්‍රමාණය සීමිතයි. වෙනත් විදිහකින් කිවුවොත්, ඉල්ලුම කොපමණ වුණත් සැපයුම වැඩි කරන්න බැහැ. හරියට දුම්රියක ආසන ප්‍රමාණය වගේ. ඒ නිසා තිබෙන සීමිත සැපයුම කිසියම් ක්‍රමයකට වෙන් කරන්නම වෙනවා. මේ වෙන් කිරීම කරන්නේ අය කරන මිල මගිනුයි. 

අය කරන මිල නියම මිලට වඩා අඩුනම් ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි ගෙවලා වුනත් වාහනයක් නවත්වන්න තැනක් හොයා ගන්න බැරි වෙනවා. අපි වගේ රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට යන කෙනෙකුට එක්කෝ වාහනය සෑහෙන ඈතක නවත්වලා පයින් ඇවිදගෙන එන්න වෙනවා. එහෙම නැත්නම් ළඟ තැනක් හොයා ගන්න සෑහෙන්න කලින් එන්න වෙනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අමතර කාලයක් නාස්ති වෙනවා. ඔය අපහසුතාවය විඳින්න හෝ කාලය නාස්ති වීමේ පාඩුව දරාගන්න කැමති නැති කෙනෙක්ට වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් නගරයට වාහනයකින් එන්නේ ඔය කට්ට කන්න කැමති සහ කාලයේ වටිනාකම අඩු අය. 

අය කරන මිල අවශ්‍ය පමණ වැඩි කිරීම මගින් ඔය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන්. එහිදී වෙන්නෙත් කිසියම් පිරිසක් ඉවත් කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරන එක. මේ විකල්පයේදී, මුදලක් ඉතිරි කර ගැනීම සඳහා ඉහත කට්ට කන්න කැමති අය තරඟයෙන් ඉවත් වෙනවා. වැඩි මුදලක් ගෙවන්න කැමති අයගේ කාලය ඉතිරි වෙනවා. 

දෙවන ක්‍රමය නගරයේ තිබෙන අවන්හල් ආදියටත් වාසියි. පහසුවෙන් වාහන නැවැත්වීමේ විකල්පය නැත්නම් වැඩි මුදලක් වියදම් කළ හැකි පාරිභෝගිකයෝ ඔය අවන්හල් වලට එන්නේ නැහැ. නමුත් මිල ගැන හිතා වාහනය කිට්ටුව පාතක නොනවත්වා ඈතක නවත්වන පාරිභෝගිකයෝ කොහොමටත් එනවා. සංචාරකයෙක් තමන්ගේ සංචාරක ගමනාන්ත තෝරා ගනිද්දී වෙන්නෙත් ඔය වැඩේමයි. තමන්ට අවශ්‍ය තේරීම් නැති බව පේනවානම් ඒ තේරීම් තිබෙන රටකට යනවා. ඉස්තිරික්කයෙන් රොටී පුච්චන සංචාරකයෝනම් කොහොමටත් එනවා.

ඉහත හේතුව නිසාම නගරය මැද තිබෙන මිල අධික අවන්හල් විසින් මුදල් අය කර වාහනය ඉඩ තිබෙන තැනක නවත්වා දීමේ සේවාව (valet parking) සපයනවා. ඒ වගේ අවන්හලකට ඇවිත් ලොකු මුදලක් වියදම් කරන පාරිභෝගිකයෙකුට වැඩි මුදලක් ගෙවා ඔය සේවාව ලබා ගන්න එක වාහනය නවත්වන්න තැනක් හොයන්න කට්ටක් කන එකට වඩා වාසියි. මම ඔය කාණ්ඩයේ පාරිභෝගිකයෙක් නොවුනත්, වාහනය නවත්වන්න තැනක් හොයාගන්න දඟලන එකට තිබෙන අකැමැත්ත නිසාම සාමාන්‍යයෙන් ඉඳහිට නගරයේ අවන්හලකට යන දවසකට ඔය පහසුකම ලබා ගන්නවා. නමුත් මගේ වැඩ සගයින් සහ වෙනත් මිතුරන් බොහෝ දෙනෙක් ඔය ඩොලර් කීපය ඉතිරි කර ගැනීම සඳහා රවුම් දෙක තුනක් කැරකෙන්න වැඩි කැමැත්තක් තිබෙන අය. 

මගේ චීන මිතුරාත් ඔය දෙවන කාණ්ඩයට අයිති කෙනෙක්. සමහර විට වාහනය නැවැත්වීමේ ගාස්තුව ඔහුගේ අතින් ගෙවන්න හිතාගෙන හිටපු නිසා, ඔහුගේ අදහස වුනේ වාහනය නවත්වන්න තැනක් හොයාගන්න ඒ තරම් අමාරු නැති බවයි. "ඒ තරම් අමාරු නැහැ" කියන එක සාපේක්ෂ මිනුමක්නේ. කොහොම හරි වාහනයක් ඉවත් කර ගන්නා බවක් ඔහු නිරීක්ෂණය කළා. මම වාහනය එතැනට දැම්මා.

වාහනය නැවත්වූ ගමන්ම මුදල් ගෙවීම සඳහා චීන මිතුරා බැහැලා ගියා. මේ මුදල් අය කිරීම කරන්නේ පෞද්ගලික සමාගමක් විසින්. නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුව විසින් එසේ මුදල් එකතු කරගැනීමේ අයිතිය පෞද්ගලික සමාගමකට විකුණලයි තියෙන්නේ. රජය විසින් ඔය වගේ සිල්ලර වැඩත් කරන්න යන එකට වඩා ඒ වැඩේ කාර්යක්ෂමයි. අදාළ බිම්කොටස් වාහන නැවැත්වීම සඳහා කුලියට දීම මගින් වැඩිම ආදායමක් උපයන වැඩේ වඩාත්ම හොඳින් සිදු වෙන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ආයතනයක් විසින් ඒ වැඩේ කරද්දීයි. එවැනි සමාගම් අතරින් වැඩිම මිලක් ගෙවන සමාගමකට අදාළ බිම් කොටස් එක වර වසරක් වැනි දීර්ඝ කාලයකට කුලියට දීම මගින් නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටත් එම බිම්කොටස් වෙනුවෙන් වැඩිම මුදලක් ලබා ගන්න පුළුවන්. 

මම වාහනය නවත්වලා අදාළ මුදල් ගෙවීමේ යන්ත්‍රය වෙත යන කොටත් චීන මිතුරා විසින් පැය එකහමාරක කාලයක් වෙනුවෙන් මුදල් ගෙවලා. ඩොලර් තුනක පමණ සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. අපේ නගරය ඇමරිකාවේ ලොකු නගර එක්ක බලද්දී ඒ තරම්ම ජනාකීර්ණ නගරයක් නොවන නිසා ඔය වගේ සුළු මුදලක් අය කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරගන්න පුළුවන්. 

මේ වගේ හමු වීමකදී ආගිය කතා කතා කරලා ඉවර වෙද්දී පැය එකහමාර පනිනවා කියන එක මටනම් ඉතාම පැහැදිලි කරුණක්. මගේ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් ඔය වගේ වැඩකට පැය දෙකක් පමණවත් යනවා. ඒ නිසා, චීන මිතුරා මට මුදල් ගෙවන්න ඉඩ හැරියානම්, මම කරන්නේ අඩුම වශයෙන් පැය තුනකටවත් මුදල් ගෙවන එක. එවිට හිතේ නිදහසින් කෑම ටික කාලා වාහනයට එන්න පුළුවන්. එහෙම නැත්නම්, අඩු මුදල ගෙවන්න කෑම නවත්වලා නැගිටලා එන්න වෙනවා. වාහනය නැවැත්තුවෙත් අවන්හලට තරමක් දුරින්. 

මගේ අඬවැඩියාව නිසාම චීන මිතුරා තවත් පැය බාගයක කාලයක් එකතු කළා. දැන් ඩොලර් හතරයි. වැඩිපුර ගියේ තවත් ඩොලරයක් පමණයි. තවත් අමතර ඩොලරයක් ගෙවුවානම් හිතේ නිදහසේ කෑම ටික කන්න තිබුණත්, මගේ කීමට ඩොලරයක් වැඩියෙන් ගෙවුවටත් පස්සේ තවත් ඔය ගැන වාද කරන්න බැරි නිසා මම කටවහගෙන හිටියා. 

අපේ සුහද හමුව අවසන් වෙලා නැවත අවන්හලේ සිට වාහනයට ඇවිදගෙන එද්දී, ලොකු වෙලාවකින් නොවුනත්, පැය දෙක පහු වෙලා. ඒ කියන්නේ දඩ කොළයක් ලැබීමට ඉඩක් තිබෙනවා. රාත්‍රී 7:54 දක්වා අපි මුදල් ගෙවලයි තිබුණේ. චීන මිතුරා දිගින් දිගටම කිවුවේ රාත්‍රී අටෙන් පසුව වාහන නැවැත්වීම සඳහා මුදල් ගෙවිය යුතු නැති බව සහ ඒ දක්වා තිබෙන මිනිත්තු 6ක කාලය තුළ මෙය පරීක්ෂාවට ලක් වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් වාහනයට පැමිණි වහාම තහවුරු වුනේ ඔහු වැරදි බවයි. අවසාන වශයෙන් ඩොලරයක් ඉතිරි කර ගැනීමේ උත්සාහය වෙනුවෙන් ඩොලර් විස්සක දඩයක් ගෙවන්න වුනා.

මේ අවස්ථාවේදී චීන මිතුරා විසින් කළේ වාසියක් අපේක්ෂාවෙන් අවදානමක් ගන්න එක. නමුත් ඔහු සූදුවෙන් පැරදුනා. මේ ගැන කතාබහ දිගට යද්දී ඔහු කිවුවේ ඔහුගේ මිතුරෙක් කිසිම දවසක වාහන නැවැත්වීම සඳහා මුදල් නොගෙවන බවයි. ඊට හේතුව, එම මිතුරාගේ ගණනය කිරීම් අනුව, දඩ කොළ ලැබීමේ සම්භාවිතාව අඩු නිසා වාහන නැවැත්වීමේ ගාස්තු නොගෙවීම මගින් ඉතිරි කරගත හැකි මුදලින් ඉඳහිට දඩයක් ගෙවුවත් අවසාන වශයෙන් කීයක් හෝ ඉතිරි වීමයි. 

මේ තමයි මිනිසුන්ගේ සාමාන්‍ය චර්යාව. ඔවුන් කටයුතු කරන්නේ, තීරණ ගන්නේ තමන්ට ලැබෙන වාසි අවාසි කිරා මැන බැලීමෙන් පසුවයි. ඉහත දිනයේ එම හමුවට මම තනිවම ගියානම් මම කරන්නේ වාහනය නවත්වා දීමේ සේවාව (valet parking) ලබා ගැනීමයි. ඒ සඳහා ඩොලර් 15ක් පමණ ගෙවන්න වෙනවා. විකල්පයක් ලෙස පාරේ වාහනය නැවැත්වීමට තීරණය කළේනම්, මම කරන්නේ අවම වශයෙන් පැය තුනක කාලයක් සඳහාවත් මුදල් ගෙවන එකයි. ඒ අනුව, වාහනය නවත්වා දීමේ සේවාව ලබා ගැනීම වෙනුවෙන් මට අමතර ඩොලර් 10ක් පමණ වැය වෙනවා. නමුත්, මට සාපේක්ෂව, වාහනය නවත්වන්න තැනක් සෙවීමේ අපහසුව මග හැර ගැනීම ඩොලර් 10කට වඩා වටිනවා. නමුත් මගේ බොහෝ මිතුරන් එම අපහසුව විඳ ගැනීම ඩොලර් 10ක් බේරා ගැනීම වෙනුවෙන් විඳ දරාගන්නවා. මා මෙන්ම ඔවුන් කරන්නේද තමන්ට වඩාත්ම වාසිදායක දෙයයි.

ඇතැම් විට අපට කිසියම් තීරණයක වාසි අවාසි ගැන කලින් නිශ්චිතව දැන ගන්න බැහැ. මිල දී ගන්නා ලොතරැයියකින් දිනුමක් ඇදුනොත් වාසියක් වෙනවා. දිනුමක් නැත්නම් අවාසියක් වෙනවා. මේ වගේ අවස්ථා වල මිනිස්සු තීරණ ගන්නේ අපේක්ෂිත වාසි හා අවාසි මත පදනම්වයි. 

ඉහත අවස්ථාවේදී මගේ චීන මිතුරා අපේක්ෂා කළේ සුහද හමුව පැය එකහමාරකින් පමණ අවසන් වනු ඇති බවයි. එමෙන්ම, යම් හෙයකින් වාහනයට නැවත පැමිණෙන විට පැය දෙකක් පසු වී තිබුණේ වුවද එය කිසිවෙකුගේ අවධානයට යොමු නොවනු ඇති බවයි. ඔහුගේ එම උපකල්පන නිවැරදි වීනම් ඔහුට ඩොලරයක වාසියක් සිදු වෙනවා. ඔහුගේ මිතුරා කිසි දිනක වාහන නැවැත්වීම වෙනුවෙන් මුදල් නොගෙවන්නේද එය ඔහුට හෝ ඇයට වාසිදායක නිසයි.

වාහන නැවැත්වීම සඳහා බිම්කඩ කුලියට දෙන සමාගම විසින් එම බිම්කඩ නාගරික අධිකාරයෙන් කුලියට ගෙන නැවත කුලියට දෙන්නේ එසේ කිරීම මගින් ඔවුන්ට ලාබයක් අපේක්ෂා කළ හැකි බැවිනුයි. එමෙන්ම, එම නාගරික අධිකාරය, එනම් පොදු වැඩ දෙපාර්තමේන්තුව, ඒ කාර්යය වැඩිම මුදලක් ගෙවන සමාගමට පවරා තිබෙන්නේ එය වඩාත්ම වාසිදායක නිසයි. 

මේ සියල්ල ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් හැම විටම සදාචාරය හෝ නීතිය සමඟ එකඟ වන්නේ නැහැ. තමන්ට සාපේක්ෂව වාසියක් වේනම් මිනිස්සු සාමාන්‍යයෙන් ඒ වාසිදායක දේ කරනවා. ඇතැම් විට එවැනි වාසිදායක දෙයක් සදාචාරයේ හෝ නීතියේ සීමා කඩන දෙයක් වෙන්න පුළුවන්. 

දුම්රිය ප්‍රවේශපත් කලින් අලෙවි කරද්දී එසේ කරන්නේ අනන්‍යතා සංකේත රහිතවනම්, එයින් අදහස් වෙන්නේ එසේ අලෙවි කරන්නේ හුවමාරු කළ හැකි (transferable) හිමිකමක් බවයි. එවැනි අවස්ථාවකදී ප්‍රවේශපතක් මිල දී ගෙන නැවත අලෙවි කරනා අයෙකු විසින් කිසිදු නීතිමය හෝ සදාචාර සීමාවක් නොසලකා හරින්නේ නැහැ. නමුත් එම ප්‍රවේශපත් වලට අනන්‍යතා සංකේත ඇතුළු කිරීමෙන් පසුව මෙම හිමිකමේ ස්වභාවය වෙනස් වී හුවමාරු කළ නොහැකි හිමිකමක් (non transferable) බවට පත් වෙනවා. හුවමාරු කළ නොහැකි හිමිකමක් පසුව මුදල් ගෙවා මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ අවදානමක් ගැනීමක්. එහිදී එවැන්නෙකු විසින් මුදල් ගෙවන්නේ තමන්ට ඇත්තටම අයිති නැති හිමිකමක් වෙනුවෙන්. එසේ මිල දී ගන්නා, වෙනත් අයෙකුට අයිති ප්‍රවේශපත්‍රයක් පෙන්වා අදාළ හිමිකම භුක්ති විඳින අයෙකු විසින් ඇත්තටම කරන්නේ හොරකමක් හෝ වංචාවක්. ව්‍යාජ ප්‍රවේශපත්‍රයක් පෙන්වා දුම්රියකට ඇතුළු වීමට සමාන දෙයක්. එම ප්‍රවේශපත්‍රය වෙනුවෙන් ඉහළ මිලක් තෙවන පාර්ශ්වයකට ගෙවූ පමණින් මෙය නිවැරදි දෙයක් වන්නේ නැහැ. 

යම් ක්‍රියාවක් වැරදි හෝ නිවැරදි වීම සහ එය සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකමක් වීම කරුණු දෙකක්. වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටීම මට සාපේක්ෂව නිවැරදි දෙයක් නෙමෙයි. නමුත් යම් නිශ්චිත වාස්තවික තත්ත්වයන් යටතේ පුද්ගලයින් එසේ කරන්නට පෙළඹීම අනිවාර්යතාවයක්. ඒ වගේම මට සාපේක්ෂව නිවැරදි නොවන දෙයක් වෙනත් අයෙකුට සාපේක්ෂව නිවැරදි දෙයක් වෙන්නත් පුළුවන්. 

අලෙවි කරන්නේ හුවමාරු කළ නොහැකි හිමිකමක් වුවත්, ප්‍රායෝගිකව හිමිකම භාවිතා කරන අවස්ථාවේදී එය පරීක්ෂාවට ලක් නොවේනම්, ඇතැම් අය එම තත්ත්වයෙන් වාසියක් ගැනීමට පෙළඹෙනවා. ලංකාවේ දුම්රිය ප්‍රවේශපත් නැවත අලෙවි වීම සිදු වුනේ ඒ නිසයි. මගේ චීන මිතුරාගේ මිතුරා වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටින්නේද මෙය පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාව අඩු නිසා. නමුත් සදාචාර සීමාවන් හෝ වෙනත් හේතු නිසා හැම දෙනෙක්ම එසේ කටයුතු කරන්නේ නැහැ. යම් හෙයකින් වැඩි දෙනෙකු එසේ කටයුතු කරන්නේනම්, ඒ හේතුව නිසාම පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාවද ඉහළ යනවා. 

බැංකුවක ආරක්ෂක විධිවිධාන දුර්වල වන විට එම බැංකුවෙන් මංකොල්ලකරුවෙකු විසින් මුදල් පැහැර ගැනීමේ සම්භාවිතාවද ඉහළ යනවා. ආරක්ෂක විධිවිධාන දුර්වල වූ පමණින් ඕනෑම කෙනෙක් බැංකුව මංකොල්ල කන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් එසේ බැංකු මංකොල්ල කන අයෙකු ඒ සඳහා තෝරා ගන්නේ ආරක්ෂක විධිවිධාන දුර්වල බැංකුවක් මිසක් ශක්තිමත් බැංකුවක් නෙමෙයි. කිසියම් බැංකුවක් නැවත නැවත මංකොල්ල කනු ලබන්නේනම් එය එම බැංකුවේ ආරක්ෂක විධිවිධාන දුර්වල බව පෙන්වන සංඥාවක්. මේවාත් ආර්ථික ක්‍රියාකාරකම්ම තමයි. 

ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස් හැසිරීම් පැහැදිලි කරන එක. ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඒ හැසිරීම් පරීක්ෂණ මගින් නැවත නැවත තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතින නිසා. එම හැසිරීම් හරිද වැරදිද කියන එක ආර්ථික විද්‍යාවේ වපසරියට අයිති දෙයක් නෙමෙයි. ස්වභාවික මිනිස් හැසිරීම් පැහැදිලි කරන එකට අමතරව එම මිනිස් හැසිරීම් වෙනස් කර ගත හැකි ආකාරයන්ද ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන්. එහෙත් එසේ වෙනස් කර ගත යුතුද නැද්ද යන්න බොහෝ විට ආර්ථික විද්‍යාවෙන් බාහිර දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික සාධක මත තීරණය වන දෙයක්.

Thursday, August 14, 2025

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?


ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ ලිබරල් කඳවුර විසින් දිගින් දිගටම කියපු කතාව වුනේ "මේ බදු ගෙවන්න වෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයාට" කියන එකයි. බටහිර මාධ්‍ය වලින්ද ඔය අදහසට බරක් තබා ඇති බව දැකිය හැකියි.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඔය අන්ත දෙකම ඇත්ත නෙමෙයි. ඕනෑම බද්දක බර, ගෙවන්නේ කවුරු විසින් වුනත්, අවසාන වශයෙන් පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යනවා. මෙය සිදු වන්නේ කවර අනුපාතයකින්ද කියන එක තීරණය වන්නේ මිල ප්‍රත්‍යස්ථතා මතයි. 

ඇමරිකාවේ ආනයනික භාණ්ඩ හා අදාළව පාරිභෝගිකයා ඉන්නේ ඇමරිකාවේ වුවත් නිෂ්පාදකයා ඉන්නේ වෙනත් රටක. ඒ නිසා, ඇමරිකන් තීරු බද්දේ බර බෙදී යාම ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර බදු බර බෙදී යාමක්ද වෙනවා. බද්ද අය කර ගන්නේ ඇමරිකන් රජය විසින් නිසා අවසාන වශයෙන් සිදු වෙන්නේ ඇමරිකන් රජය විසින් විදේශිකයින්ගෙන් කවර හෝ මුදලක් එකතු කර ගැනීමක්. ඒ අතරම, ඇමරිකන් පාරිභෝගිකයින්ටත් බද්දේ බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා. 

අපි හිතමු ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක් මත රුපියල් 50ක අලුත් බද්දක් රජය විසින් අය කරනවා කියලා. සාමාන්‍ය කරුණක් ලෙස මේ විදිහේ බද්දක් අය කළ විට රට ඇතුළේ අර්තාපල් කිලෝවක් විකිණෙන මිලත් ඉහළ යනවා. 

ලංකාවේ අර්තාපල් නිෂ්පාදනයක් නැත්නම්, අර්තාපල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් පමණක්නම් සහ අර්තාපල් කියන්නේ පාරිභෝගිකයින්ට මිල දී නොගෙන ඉන්නම බැරි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක්නම්නම්, උපරිම වශයෙන් රුපියල් 50කින් දේශීය අර්තාපල් මිල ඉහළ යන්න පුළුවන්. අනෙක් අතට දේශීය අර්තාපල් ගොවීන්ට ඉන්දියාව එක්ක තරඟකාරී ලෙස ඉන්දියාවට වඩා අඩු මිලකට රටට අවශ්‍ය තරම් අර්තාපල් නිපදවීමේ හැකියාවක් තිබෙනවානම් ඔය බද්ද දැම්මා කියලා දේශීය අර්තාපල් මිල සතයකින්වත් වැඩි නොවෙන්න පුළුවන්. ඔය දෙකම තර්කානුකූලව සිදු විය හැකි දේ වුනත් ප්‍රායෝගිකව සිදු වන්නේ ඔය අන්ත දෙක අතර දෙයක්. 

අර්තාපල් වෙනුවට ඉන්ධන වගේ දෙයක් සැලකුවොත් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කිරීමක් වෙන්නේ නැහැ වගේම එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම ඉන්ධන කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, ඉන්ධන ලීටරයක් මත රුපියල් 50ක තීරු බද්දක් දැම්මොත් එහි බර වැඩි වශයෙන්ම වැටෙන්නේ පාරිභෝගිකයින් මතයි. නමුත් ඉන්ධන වගේ දෙයක් සැලකුවත්, මිල වැඩි වෙද්දී ඉල්ලුම සුළු වශයෙන් හෝ අඩු වෙනවා. 

ඉල්ලුම අඩු වෙද්දී සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා. ඒ නිසා, සැපයුම්කරුවන් විසින් ලාබ වැඩි කර ගැනීමේ අරමුණින් මිල තරමක් හෝ අඩු කරනවා. තෙල් සංස්ථාව විසින් මේ වැඩේ නොකළත්, ලාබ වෙනුවෙන් ලංකාවේ ඉන්ධන විකුණන IOC හෝ සිනොපෙක් වැනි සමාගමක් අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරනවා. ඒ නිසා, රුපියල් 50ක බද්දෙන් ශත කීපයක් හෝ අවසාන වශයෙන් නිෂ්පාදකයාටත් දරාගන්න වෙනවා. පාරිභෝගිකයා මත පැටවෙන බර රුපියල් 50ට වඩා ශත කිහිපයකින් හරි අඩුයි.

ලංකාවේ ආදේශක තිබෙන දේවල් වල මිලට ඔය විදිහේ තීරු බද්දක් නිසා සිදු වන බලපෑම ගොඩක්ම අඩුයි. පොල් වගේ දෙයක් සැලකුවොත්, ආනයනික පොල් මත රුපියල් 50ක බද්දක් දැම්මා කියලා රුපියල් 50ක් වැඩියෙන් පොල් විකුණන්න බැහැ. ආනයනික පොල් ලංකාවේ විකුණනවානම් විකුණන්න වෙන්නේ දැනට රටේ පොල් විකිණෙන මිලට ආසන්න මිලකටයි. ඕනෑනම් රුපියල් පහක් වගේ වැඩියෙන් විකුණන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බද්දේ බර දේශීය පාරිභෝගිකයා මත නොවැටෙන තරම්.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ නිසා, ඇමරිකාව මෑතකදී කළා වගේ පොදුවේ සියලුම භාණ්ඩ වලට තීරු බදු ගහද්දී එහි සමස්ත බලපෑම ඇස්තමේන්තු කරන එක සංකීර්ණ වැඩක්. ධවල මන්දිරය විසින් උපකල්පනය කරලා තිබුණේ බදු නිසා මිල මත ඇති වන බලපෑම 25%ක් කියලයි. එයින් අදහස් වන්නේ ඇමරිකන් රජය විසින් තීරු බදු ලෙස ඩොලර් 100ක් අය කර ගනිද්දී එයින් ඇමරිකන් පාරිභෝගිකයාට ගෙවන්න වෙන කොටස ඩොලර් 25ක් පමණයි කියන එකයි. ඉතිරි ඩොලර් 75 විදේශ රටවල් වලින් අය කෙරෙන බද්දක්. නමුත් සමහර අය පෙන්වා දී සහ තර්ක කර තිබුණේ මෙම අනුපාතය 93%ක් තරම් ඉහළ අනුපාතයක් බවයි.

තීරු බද්දක බලපෑම පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර බෙදී යන බව න්‍යායාත්මකව පෙන්වා දිය හැකි වුවත් ඒ කවර අනුපාතයකින්ද කියා සොයා ගන්න වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණයි. ඉහත කී 25% හා 93% වැනි ඇස්තමේන්තු වලට පදනම් වී තිබුණේ එවැනි දත්ත විශේලේෂණ. එහෙත්, අදාළ ඇස්තමේන්තු සකස් කර තිබුණු තත්ත්වයන් මෑතකාලීන ඇමරිකන් තීරුබදු පැනවීමට හරියටම සමාන තත්ත්වයන් නෙමෙයි.

පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ තීරුබදු ආදායම ඩොලර් බිලියන 27 දක්වා ඉහළ ගියා. එය පෙර වසරේ ජූනි මාසයට සාපේක්ෂව ඩොලර් බිලියන 21ක වැඩි වීමක්. මේ වන විට නිකුත් වී ඇති 2025 ජූලි සංඛ්‍යාලේඛණ අනුව, එම මාසයේ තීරු බදු ආදායමද ඩොලර් බිලියන 28 දක්වා ඩොලර් බිලියන 21කින් වැඩි වී තිබෙනවා. මේ අනුව, පසුගිය මාස දෙකේ වැඩි කළ තීරු බදු වල බලපෑම ඩොලර් බිලියන 42ක් සේ සැලකිය හැකියි.

ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30ක් පමණ වෙනවා. මාස දෙකට ඩොලර් ට්‍රිලියන 5ක් පමණ. ඒ අනුව, වැඩි වූ තීරු බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.84%ක්. දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානුවන් විසින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සේ සැලකුවහොත්, ඉහත සඳහන් ඩොලර් බිලියන 42ක තීරු බදු බර මුලුමනින්ම දැරුවේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින්නම්, ඒ හේතුව නිසා සමස්ත මිල මට්ටම 0.84%කින් පමණ ඉහළ යා යුතුයි. ඔවුන් මත පැටවුණේ එම බරෙන් කොටසක් පමණක්නම් සමස්ත මිල මට්ටමෙහි අනුපාතික ඉහළ යාමක් සිදු වී තිබිය යුතුයි.

මේ වන විට ප්‍රකාශිතව ඇති පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, 2025 ජූනි මාසයේදී සමස්ත මිල මට්ටමේ ඉහළ යාම 0.3%ක් පමණද, ජූලි මාසයේදී එම ඉහළ යාම 0.2%ක් පමණද වෙනවා. එකතුව 0.48%ක්. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තබා ගැනීමට බැවින් මාස දෙකක කාලයක් ඇතුළත මිල මට්ටම 0.33%කින් ඉහළ යාම එම ඉලක්කය හා ගැලපෙන සාමාන්‍ය තත්ත්වයක්. පසුගිය දෙමස තුළ මිල මට්ටම තුළ දැකිය හැක්කේ ඊට වඩා සුළු වැඩි වීමක් පමණයි. ඒ නිසා, ජූනි මාසයේදී මෙන්ම ජූලි මාසයේදීද ඇමරිකාවේ උද්ධමනය 2.7% මට්ටමට සීමා වී තිබෙනවා. මීට සාපේක්ෂව, 2022දී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 

මේ අනුව දැනට පෙනී යන්නේ අලුත් තීරු බදු වලින් වැඩි කොටසක් ඇත්තටම ගෙවා තිබෙන්නේ ඇමරිකන් පාරිභෝගිකයින් විසින් නොවන බවයි. ධවල මන්දිරයේ 25% ඇස්තමේන්තුව ඇතැම් විට නිවැරදි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ඇමරිකන් ආණ්ඩුවට දැන් යන මාර්ගයේම තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට ධෛර්යය සපයන්නක්. 

මෙම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන්නට පෙර, තීරු බදු පැනවූ අළුතම, අප විසින් කියා ඇති එක් දෙයක් මෙම දත්ත වලද උදවුවෙන් නැවත අවධාරණය කළ හැකියි. එනම්, ඇමරිකාවේ අලුත් තීරුබදු නිසා ඇමරිකන් පාරිභෝගිකයින්ට දැනෙන බලපෑමක් සිදු නොවන බවයි. එමෙන්ම ඇමරිකන් ආණ්ඩුවට ඇමරිකාවේ පාරිභෝගිකයින් කෙරෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් නොමැති බවයි. 

Wednesday, August 13, 2025

නියම මිල සහ කෘතිම මිල


මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. 

ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක් ඇති කොට අදාළ දුම්රිය ප්‍රවේශපත්‍ර කෘතිම මිලකට විකිණීම මගින් ලාබයක් උපයන බවයි. දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව අලුත් කතාවක් වුවත්, මේ කතාව අලුත් කතාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට ඊනියා හාල් මාෆියාව පිළිබඳ ජනප්‍රිය කතාවත් ඕකමයි.

මේ සටහනෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ මේ තර්කය තුළ තිබෙන විසංවාදය පෙන්වා දීමටයි. මිල බුබුළු වැනි විශේෂ තත්ත්වයන් වලදී හැර, නියම මිලට වඩා වැඩි කෘතීම මිලකට භාණ්ඩයක් විකුණා කාටවත් ලාබයක් ලබන්න බැහැ. එසේ ලාබයක් ලබන්නේනම් අදාළ භාණ්ඩය විකිණෙන්නේ නියම මිලට මිසක් කෘතිම මිලකට නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී සිදු වී තිබෙන්නේ රජය විසින් කෘතිම මිලක් නියම කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවස්ථාව හඳුනා ගන්නා පුද්ගලයෙකුට ලාබයක් ලැබීමට අවස්ථාවක් උදා වීමයි. ඇතැම් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා. 

මේ සංවාදය මූලික වශයෙන්ම අදාළ වන්නේ ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය ගමන්වාර වලට බැවින් අප ඒ කෙරෙහි අවධානය යොදවමු. එහෙත් ගමන්වාරයක් සඳහා දුම්රිය ආසනයක් කලින් මිල දී ගත හැකි ඕනෑම අවස්ථාවකට මෙය පොදුවේ අදාළයි. එසේ ආසන වෙන් කිරීමක් සිදු නොකෙරෙන දුම්රිය ගමන්වාර ගැන තවදුරටත් කතාකරන්න අවශ්‍යනම් වෙනම කතා කරමු.

ඇල්ල ඔඩිසි දුම්රිය සතියකට දින දෙකක් (බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින වල) කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙනවා. පසු දින (සිකුරාදා සහ ඉරිදා දිනවල) ආපසු කොළඹ බලා පැමිණෙනවා. මෙම දුම්රිය මූලික වශයෙන්ම සංචාරක ආකර්ශනයක්. ගමන අතරතුර ඡායාරූප ගැනීමට ඉඩ සලස්වමින් සංචාරක ආකර්ෂණ ස්ථාන අටක හෝ ආසන්න ප්‍රමාණයක දුම්රිය නවත්වනවා. දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල පළමු, දෙවන හා තෙවන පංති ප්‍රවේශපත්‍ර සඳහා පිලිවෙලින් රුපියල් 5000ක්, 4000ක් සහ 3000ක් වෙනවා. ගමන සිදුවන දිනට දින 30කට පෙර සිට මාර්ගගත ක්‍රමයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකියි.

මේ දුම්රිය ප්‍රවේශපත් ඊයේ දිනය තෙක්ම ලෝකය පුරා විවිධ වෙබ් අඩවි වල සැලකිය යුතු ඉහළ මිලකට අලෙවි වුනා. ඊයේ පරීක්ෂා කරද්දීත් පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල ඩොලර් 57ක්. මාස කිහිපයකට පෙර මතක හැටියට යුරෝ හැත්තෑ ගණනක හෝ වැඩි මිලකට අලෙවි වුනා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවහොත් ඩොලර් 57ක් කියන්නේ රුපියල් 17,100ක මිලක්. රජය විකුණන මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි. 

සමහර අය පෙන්වා දී තිබෙන්නේ මෙවැනි මිලකට විකිණිය හැක්කේ ටිකට්පත් කිහිපයක් පමණක් බවයි. එකම ටිකට්පත වෙනුවෙන් වුවත් එක් එක් පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිල වෙනස්. මෙවැනි මිලකට ඕනෑම ටිකට්පත් ප්‍රමාණයක් විකුණන්න බැහැ. නමුත් තැරැව්කරුවෙකුට අඩු ටිකට්පත් ප්‍රමාණයක් පමණක් විකුණා වුවත් ලාබයක් ලබා ගන්න පුළුවන්.  

උදාහරණයක් ලෙස යම් නිශ්චිත ගමන්වාරයක් සඳහා පළමු පංතියේ ආසන ප්‍රමාණය 30ක් පමණක් කියා හිතමු. මෙම ටිකට් සියල්ල මිල දී ගැනීම සඳහා තැරැව්කරුවෙකු විසින් ගෙවිය යුත්තේ රුපියල් 150,000ක (= 5000x30) මුදලක් පමණයි. ටිකට්පතක් රුපියල් 15,000 බැගින් විකිණුවහොත්, ටිකට්පත් 10ක් පමණක් විකුණා ඒ මුදල හොයා ගන්න පුළුවන්. ඊට වඩා ටිකට් විකුණා ගන්න පුළුවන් වුවහොත් එම අතිරික්ත මුදල තැරැව්කරුවාගේ ලාබයයි.

තැරැව්කරුවන් විසින් රුපියල් 5000 ගෙවා තොග වශයෙන් ටිකට්පත් මිල දී ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන්ට එම ටිකට්පත් වැඩි මිලකට විකුණා ලාබයක් ගැනීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් ඇති බවයි. ඔවුන් විසින් ටිකට්පත් සියල්ලම විකුණන්නේද නැද්ද යන්න අදාළ කරුණක් නෙමෙයි. එසේ විකිණුවත් නැතත් ඔවුන් ලාබයක් ගන්නවා. ලාබයක් නැත්නම් ඔවුන් මේ වැඩේ කරන්නේ නැහැ. 

තැරැව්කරුවන්ට ටිකට්පතක් රුපියල් 5000 බැගින් මිල දී ගෙන වැඩි මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් සහ එහිදී ඔවුන් අතින් අගය එකතු කිරීමක් සිදු නොවන්නේනම්, අපට තර්ක කළ හැක්කේ මෙම ලාබය රජයටම ලබාගත හැකිව තිබුණු ලාබයක් බවයි. එය එසේනම් ප්‍රශ්නයට හේතුව රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කිරීමයි. තැරැව්කරුවන් විසින් කර ඇත්තේ එසේ රජය විසින් කෘතීම මිලකට විකුණන ටිකට්පත් මිල දී ගෙන නියම මිලට විකිණීම මගින් ලාබයක් ලැබීමයි. 

රජය විසින් ටිකට්පත් විකුණා ඇත්තේ නියම මිලටනම්, තැරැව්කරුවන් විසින් සිදු කර ඇත්තේ අගය එකතු කිරීමක් කර එම අගය එකතු කිරීම වෙනුවෙන් මුදලක් ලබා ගැනීමයි. එය එසේනම් ඔවුන්ගේ මිලද නියම මිලක් මිස කෘතීම මිලක් නෙමෙයි. 

ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඉහත කරුණු දෙකේම මිශ්‍රණයක්. රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කරන නිසා ඇතිව තිබෙන ටිකට්පත් හිඟයෙන් තැරැව්කරුවන් වාසියක් ගෙන තිබෙන අතර අගය එකතු කිරීම් කරමින් එම අගය එකතු කිරීමේ මිලද ඔවුන් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ඊයේ ඩොලර් 57කට අලෙවි වූයේ අවසන් දිනය තෙක් ආපසු විකිණිය හැකි (refundable) ටිකට්පතක්. එම පහසුකම නොමැති ටිකට්පතක් අලෙවි වූයේ ඩොලර් 47.50ක මිලකටයි. මේ අනුව, ඩොලර් 7.50ක් අය කර තිබුණේ මෙම ආපසු විකිණිමේ පහසුකම වෙනුවෙනුයි. 

දන්නා තරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විකිණූ ටිකට්පත් ආපසු මිල දී ගන්නේ නැහැ. මෙම පහසුකම අදාළ තැරැව්කරුවන් විසින් සිදු කර ඇති අගය එකතු කිරීමක්. එම මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගත හැකි වන්නේ එවැනිම අගය එකතු කිරීමක් කළහොත් පමණයි. කෙසේ වුවත්, සමස්තයක් ලෙස ගත් විට ප්‍රශ්නයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෘතිම අඩු මිලකට ටිකට්පත් විකිණීමයි. එය කෙතරම් අඩු මිලක්ද යන්න අදාළ කරුණක් නෙමෙයි. 

භාණ්ඩයක මිල කෘතිම මිලක් යන්නෙන් අදහස් වන්නේ එය නියම මිල නොවන බවයි. ඒ නිසා, කෘතිම මිලක් ගැන කතා කිරීම සඳහා නියම මිල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍රයක නියම මිල කීයද?

භාණ්ඩයක නියම මිල කියා කියන්නේ එහි ඉල්ලුම හා සැපයුම තුලනය වන මිලයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව, අඩු වශයෙන් කෙටිකාලීනව, සැපයුම වෙනස් නොවන නියතයක්. එහෙත්, දිනය අනුව ඉල්ලුම වෙනස් වෙනවා. නියම මිල කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ දිනයේ ප්‍රවේශපත්‍ර සඳහා තිබෙන ඉල්ලුම මතයි. මිල නියම මිලද කියා අපට තහවුරු කර ගත හැක්කේ කෙසේද?

පහත අවශ්‍යතා දෙක සම්පූර්ණ වේනම්, ටිකට්පත් මිල නියම මිල කියා අපට කියන්න පුළුවන්. 

1. ගමන්වාරය ආරම්භ වීමට ආසන්න වන තුරුම අවශ්‍ය අයෙකුට ටිකට්පත් මිල දී ගැනීමට හැකි විය යුතුයි. එනම් ටිකට්පත් කලින් විකිණී අවසන් නොවිය යුතුයි.

2. ගමන්වාරය ආරම්භ වන අවස්ථාව වන විට සියලුම ටිකට්පත් විකිණී අවසන් විය යුතුයි. 

ඉල්ලුම හා සැපයුම හරියටම තුලනය වේනම් අන්තිම ටිකට්පත හරියටම අවසන් මොහොතේ විකිණිය යුතුයි. මේ තරම්ම ප්‍රශස්ත ලෙස ඉල්ලුම කළමනාකරණය කර ගැනීම ප්‍රයෝගිකව අපහසු වුවත් විචල්‍ය මිල ක්‍රමයක් මගින් ඊට බොහෝ ආසන්න ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ලෝකයේ ප්‍රධාන දුම්රිය සේවා සියල්ලක්ම මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා සපයන්නන් විසින්ද අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි. 

විචල්‍ය මිල ක්‍රමයකදී සිදු වන්නේ ඉල්ලුම හා ගැලපෙන පරිදි ආන්තික මිල වෙනස් කිරීමයි. ආන්තික මිල යනු අවසන් ටිකට්පත විකිණෙන මිලයි. ඊනියා තැරැව්කරුවන් විසින් කරන්නේ මෙයයි. ඔවුන් මිල දී ගන්නා ටිකට්පත් සියල්ල විකිණී අවසන් නොවේනම් එයින් අදහස් වන්නේ ආන්තික මිල ශුන්‍ය බවයි. එනම් අවසන් ටිකට්පත් වලින් පාඩුවක් සිදු වන බවයි. එහෙත්, ඔවුන්ට සමස්තයක් ලෙස පාඩුවක් සිදු වන්නේ නැහැ. ඉල්ලුම සහ සැපයුම තුලනය වන්නේ ආන්තික මිල අනුව වුවත් ලාබය කෙරෙහි බලපාන්නේ සාමාන්‍ය විකිණුම් මිලයි. 

ඇතැම් අය ප්‍රශ්නයක් කරගෙන තිබෙන්නේ ආසන හිස්ව තිබීමයි. දුම්රිය නඩත්තු කිරීමේ ප්‍රධාන අරමුණ හැකි තරම් මගීන් ප්‍රවාහනය කිරීමනම් මෙය ප්‍රශ්නයක්. වැඩට යන වෙලාවල මගී දුම්රිය හා අදාළව තත්ත්වය මෙය වුවත්, ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය යෙදවීමේ අරමුණ විය යුත්තේ ලාබ ලැබීම සහ විදේශ විණිමය ඉපැයීමයි. ඒ සඳහා අනිවාර්යයයෙන්ම සියලුම ආසන පිරී තිබිය යුතු නැහැ. 

තැරැව්කරුවන් පැත්තකින් තියා රජය විසින්ම ටිකට් විකුණන්නේයැයි සැලකුවත්, රුපියල් 5000 බැගින් ටිකට්පත් 30ක් විකුණනවාට වඩා රුපියල් 8,000 බැගින් ටිකට්පත් 20ක් විකුණන එක ලාබයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තේරුම් ගෙන නැති මේ කරුණ තැරැව්කරුවන් විසින් තේරුම් ගෙන තිබෙනවා. 

කෙසේ වුවත්, මිල හැකි තරම් වැඩි කරන අතරම ආසන සියල්ලම පිරවීමෙන් වඩා වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්. විචල්‍ය මිල ක්‍රමයේදී සිදු වන්නේ එයයි. උදාහරණයක් ලෙස දින 30කට පෙර ටිකට්පත් විකිණීම ආරම්භයේදී රුපියල් 5000 වෙනුවට රුපියල් 10000ක් ලෙස ටිකට්පත් මිල කරන්න පුළුවන්. යම් නිශ්චිත දින ගණනකට පෙර, උදාහරණයක් ලෙස දින 15කට පෙර, ටිකට්පත් වලින් 50%කට වඩා විකිණුනොත් ඒ වහාම මිල 20%කින් වැඩි කරන්න පුළුවන්. දින 15කට පසුවත් ටිකට්පත් වලින් 50%ක් විකිණී නැත්නම් මිල 20%කින් අඩු කරන්න පුළුවන්. අවසාන මොහොත දක්වාම ටිකට්පත් යම් ප්‍රමාණයක් විකිණී නැත්නම් කළ යුත්තේ එම ටිකට්පත් කීයකට හෝ විකුණන එකයි. රුපියල් 50කට විකිණුවත් එය ලාබයක්. 

මේ ක්‍රමයෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. යම් නිශ්චිත දවසක ටිකට්පත් මිල ගොඩක් වැඩිනම්, ඒ දවසේම ගමන යා යුතු කෙනෙක් කීයක් හෝ ගෙවා ටිකට්පත මිල දී ගනියි. මගේ බිරිඳ ලංකාවේ සිටියේ සීමිත දින ගණනක් පමණක් නිසාත්, ඇල්ල ඔඩිසි ගමන් වාර තිබෙන්නේ සතියකට දෙවරක් පමණක් නිසාත් ඇයට වෙනත් විකල්ප තිබුණේ නැහැ. බොහෝ විදේශ සංචාරකයින් හා අදාළවද තත්ත්වය එයයි. තමන්ට අවශ්‍ය දිනයේ ගමන යාම සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවන්න කැමතියි. 

නමුත් බොහෝ දේශීය සංචාරකයින් මිලට සංවේදීයි. ඔවුන්ට දවස වෙනස් කරගන්න අපහසුවක් නැහැ. ඒ නිසා, විචල්‍ය මිල ක්‍රමයක් පවතීනම්, ඔවුන් අඩු මිලක් ගෙවා යා හැකි දිනකට ගමන වෙනස් කරගන්නවා. 

දුම්රිය ගමනක් සඳහා කලින් ආසන වෙන් කරගන්නා කෙනෙක් කොහොමටත් අවදානමක් ගන්නවා. යම් හේතුවක් නිසා ගමන යන්න නොහැකි වුනොත් ගෙවපු මුදලින් ප්‍රයෝජනයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් ඇල්ල ඔඩිසි ටිකට් මිල දී ගන්න උත්සාහ කළත්, ඒ වෙද්දී ඒ ගමන යන බව ඇය ස්ථිරව තීරණය කරලා තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණානම් මම අවම වශයෙන් ටිකට් දෙකක් ගන්නවා. ඇත්ත වශයෙන්ම සුඛෝපභෝගී බස් රථයක අසුන් දෙකක් කලින් මිල දී ගත්තා. ඒ විකල්පයක් විදිහට. 

දුම්රිය ටිකට්පත් මිල දී ගත හැකි වුනානම් කොහොමටත් බස් ගමන සිදු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුම්රිය ගමන යන්න බැරි වුනා වගේම බස් ගමන ගියේත් නැහැ. ඒ ආසන දෙක හිස්ව තියෙන්න ඇති. යම් ආකාරයකින් බස් ගමන ගියානම් බොහෝ විට ගමන යන්නේ තනියම. ටිකට් දෙකක්ම මිල දී ගත්තේ තනියම යන්න වුනානම් යාබද අසුන හිස්ව තියා ගන්න. යාබද අසුන් මිල දී ගැනීම සඳහා මේ වෙද්දී ප්‍රධාන ගුවන් යානා සමාගම් ගණනාවක්ම ඉඩ ලබා දෙනවා. ප්‍රවාහන සමාගමක පැත්තෙන් වැදගත් වන්නේ ආසන ප්‍රමාණය සඳහා අදාළ මිල කවුරු හෝ විසින් ගෙවන එක මිසක් ඒ ආසන වල කවුරු හෝ වාඩි වී යනවාද කියන එක නෙමෙයි.

තැරැව්කරුවන් හිටියත් නැතත් ඇල්ල ඔඩිසි වැනි දුම්රිය ගමනකට සමහර දින වල ඉල්ලුම වැඩියි. සමහර දිනවල අඩුයි. ඒ නිසා, සැපයුම වැඩි කළත් ප්‍රශ්නයේ කොටසක් ඉතිරි වෙනවා. විචල්‍ය මිල ක්‍රමයෙන් ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ අවස්ථාවේදී තැරැව්කරුවන් විසින් රජය පැත්තෙන් සිදුව තිබුණු අඩුපාඩුවකින් ප්‍රයෝජන ගත්තා. රජය විසින් ඒ අඩුපාඩුව නිවැරදි කර ගැනීම නිවැරදියි. නමුත් වෙළඳපොළ ප්‍රසාරණය කරන්නන් ලෙස තැරැව්කරුවන්ගෙන් සිදු වන සේවය අමතක කරන්න බැහැ. සමහර විට ඉල්ලුම මේ තරම් වැඩි වී තියෙන්නේම තැරැව්කරුවන් නිසා වෙන්න පුළුවන්. 

අරමුණ ලාබ වැඩි කර ගැනීමනම්, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෙළින්ම මගීන්ට ටිකට් විකිණුවත්, තැරැව්කරුවන්ට විකිණුවත් එහි වෙනසක් නැහැ. ඇත්ත වශයෙන්ම තොග වශයෙන් තැරැව්කරුවන්ට ටිකට් විකුණන එක වඩා කාර්යක්ෂමයි. එක් යෝජනාවක තිබුණ පරිදි ටිකට් බ්ලොක් විදිහට තැරැව්කරුවන්ට වෙන්දේසි කරන එක වුනත් හොඳ ක්‍රමයක්. වෙන්දේසි කළාට පස්සේ ඒ ටිකට් කීයට විකුණවද, විකිණෙන්නේ නැද්ද වගේ කරුණු අදාළ නැහැ. වෙන්දේසි කරද්දී උපරිම මිලකට වෙන්දේසි කළානම් එච්චරයි. 

ඇල්ල ඔඩිසි උදාහරණයට ගත්තත්, වායු සමීකරණය කළ සහ පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ඕනෑම එකකට මේ කරුණු පොදුවේ අදාළයි. මෙවැනි සුඛෝපභෝගී ගමන්වාර අවස්ථා වලින් වැඩි ලාබයක් ලැබීම මගින් ආසන වෙන් කිරීමක් සිදු නොවන සාමාන්‍ය මගී දුම්රිය ගමන්වාර වල පාඩුවෙන් කොටසක් හෝ පියවා ගන්න පුළුවන්. ඒ වගේම වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්.

වෙබ් ලිපිනය: