වෙබ් ලිපිනය:

Sunday, August 10, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව

 

අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ යාමයි. ඒ නිසා කිසියම් වසරකදී "ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" ලැබී තිබීම ඉතාම සාමාන්‍ය කරුණක් මිසක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. එය කිසියම් වසරක් තුළ වැඩෙන වයසේ දරුවෙකුගේ බර වැඩිවීම වැනි දෙයක්. 

රුපියල් වලින් බැලුවොත්, 2011-2022 කාලය ඇතුළත "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී නැත්තේ 2015 හා 2020 වසර දෙකේදී පමණයි. ඉන් පසුව, 2023 හා 2024 වසර දෙක තුළද 2022 වාර්තාව ඉක්මවා ගොස් නැත්තේ ඩොලරයක මිල අඩු වූ නිසායි. එසේ නොවන්නට, එම වසර වලදීද රුපියල් වලින්  "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වෙනවා. 

ඇමරිකාවේ උද්ධමනය ලංකාවට සාපේක්ෂව අඩු නිසා ඩොලර් වලින් බලද්දී "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" මේ තරම්ම සුලභ නැති වුනත්, ඒ තරම්ම දුලබත් නැහැ. 2011-2022 අතර වසර හතකදීම ඩොලර් වලින් බැලුවත් "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී තිබෙනවා. එසේ වාර්තා වී නැත්තේ වසර පහකදී පමණයි. 

ඩොලර් වලින් බැලුවත්, රුපියල් වලින් බැලුවත්, දැනට ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ 2022 වර්ෂයේදීයි. ඊට හේතුව, දැනට ලෝක වෙළඳාමේ ඩොලර් අගය වැඩිම මට්ටමක තිබී ඇති වර්ෂය 2022 වසර වීමයි. 2023 හා 2024 වසර වලදී ලෝක වෙළඳාම පැවතුණේ 2022 මට්ටමට වඩා පහළින්. 

කිසියම් වසරක "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" පැවතීම වුවද ඉතාම සාමාන්‍ය දෙයක්. 2011-2022 කාලය ඇතුළත වසර හතකදීම එසේ සිදු වී ඇති අතර එසේ සිදු වී නැත්තේ වසර පහකදී පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වන වසර වලදී ඩොලර් වලින් බැලු විට "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්"  වාර්තා වෙනවා. මීට හේතුව ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට ලෝක වෙළඳාමට සමානුපාතික වීමයි. මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව බොහෝ දුරට නොවෙනස්ව පැවතීමයි. 

මෙම 2025 වසර තුළ නැවතත් "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වීමට නියමිතව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වීමක්ද සිදු වීමට නියමිතයි. නමුත් එය විශේෂ කරුණක් නෙමෙයි. 50%ක පමණ සම්භාවිතාවක් ඇති දෙයක්. 

අපනයන ආදායම් වල සැබෑ වැඩි වීමක් සේ සැලකිය හැක්කේ එම ආදායම් වල ඩොලර් අගය ඩොලරයක වටිනාකම අඩු වීම ඉක්මවා වර්ධනය වන්නේනම් පමණයි. එහෙත්, රටක් ලෙස බලද්දී එවැනි වර්ධනයක් වුවද සතුටු විය හැකි වර්ධනයක් වන්නේ නැහැ. ඊට හේතුව එම මූර්ත ආදායම සැලකුවද, ලෝක වෙළඳාම වර්ධනය වෙද්දී ලෝකයේ බොහෝ රටවල් විසින් වර්ධනය කර ගනු ලැබීමයි. ඒ නිසා, ලංකාවේ අපනයන ආදායම් මූර්ත පදනමින් ඒ මට්ටමේම පැවතියද, අනෙක් රටවල අපනයන ආදායම් මූර්ත පදනමින් ඉහළ ගියහොත් ලෝක වෙළදපොළ තුළ ලංකාවේ පංගුව පහත වැටෙනවා. 

රටක් ලෙස ලෝකය තුළ ලංකාවේ තත්ත්වය පවත්වා ගැනීමටනම් අවම වශයෙන් ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ පංගුව තිබෙන මට්ටමේ හෝ පවත්වා ගත යුතුයි. ඒ සඳහා අවම වශයෙන් ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ අපනයන ආදායම් වර්ධනය විය යුතුයි. ලංකාවට ලෝකය තුළ ඉදිරියට යාමට අවශ්‍යනම් මෙම පංගුව වර්ධනය කරගත යුතුයි. මෙය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ පවා කතා කර තිබුණු දෙයක්. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? සරල, මැජික් පිළිතුරක් මා ළඟ තිබුණානම් මම එය හොරා වගේ හංගාගෙන ඉන්නේ නැහැ. මා ළඟ එවැනි පිළිතුරක් නැහැ. ඒ වගේම, මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යා න්‍යාය වලින් පමණක් පිළිතුරු හොයන්න බැහැ. එයින් ඔබ්බට ගිය දේශපාලනික හා උපාය මාර්ගික ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි ප්‍රවේශයන් අනුගමනය කරද්දී රටක් විදිහට කිසියම් මිලක්ද ගෙවන්න වෙනවා. 

උදාහරණයක් විදිහට ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය එක්ක ගැට ගසන එක එක් ප්‍රවේශයක්. නමුත් හරියකට ප්‍රතිඵලයක් ගන්නනම් ලංකාව කියන්නෙත් ඉන්දියාවේම කොටසක් කියලා සාමාන්‍ය ඉන්දියානුවන්ට ඒත්තු යන මට්ටමට ඔය වැඩේ සිදු විය යුතුයි. එහෙම කළාට පස්සේ ලංකාවට ඉන්දියාවෙන් තොර ස්වාධීන පැවැත්මක් නැති වෙනවා. ඔය විදිහේ උපාය මාර්ග මිසක් රැවුලත් කැඳත් බේරා ගත හැකි උපාය මාර්ග නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳාම තුළ ඔවුන්ගේ පංගුව වැඩි කර ගත්තේ නොබැඳි පිළිවෙත් අත ඇරලා. 

රටක් සතු ලෝක වෙළඳාම තුළ තමන්ගේ පංගුව වැඩි කර ගැනීම එය නැති කර ගන්නවා වගේ පහසු වැඩක් නෙමෙයි. නිදහස ලැබී දශක තුනක් යන්නත් කලින් ලංකාවට තමන් සතු වූ වෙළදපොළ පංගුවෙන් 90%ක්ම පහසුවෙන්ම නැති කරගන්නනම් පුළුවන් වුනා. ඒ ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින්. ඔව්. දැන් ඇමරිකාව අනුගමනය කරන්නෙත් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති තමයි. ඒක වෙනම දෙයක්. මේ ලංකාවට සිදු වුන දෙය.

නිදහස ලැබෙන විට (1948දී) ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.0052ක් හෙවත් 0.52%ක්. 2024 වන විට මෙම පංගුව 0.00052ක් හෙවත් 0.052%ක්. හරියටම දහයෙන් එකක්. 1976 වන විට, ඒ කියන්නේ නිදහස ලබලා අවුරුදු 28ක් යන විට, ඔය කඩා වැටීම සිදු වෙලා ඉවරයි. එම වසර වන විට ලංකාවේ වෙළඳපොළ පංගුව 0.006 දක්වා පහත වැටිලා. 

හැත්තෑ හතේ ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක ලංකාවේ ජනප්‍රිය අදහසක් මිසක් පිළිගත් විද්වත් මතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සැලකෙන්නේ අනූව දශකයේදීයි. පෞද්ගලීකරණය කිරීම් ගොඩක් සිදු වුනේ එම දශකයේදීයි. නමුත් හැත්තෑ හතේදීත් යම් විවෘත වීමක් සිදු වුනා. එහි උදවුවෙන් ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව තරමක් ඉහළ ගියා. අනූව දශකයේදී තවත් ටිකක් ඉහළ ගියත්, දෙදාහ දශකයේදී නැවතත් ඒ වැඩිවීම ආපසු හැරවුනා. ඒ නැවතත් ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදය වෙත පසු බැසීමේ ප්‍රතිඵලයක් විදිහටයි. 

ආර්ථික අර්බුදය පසු කර රටේ ආර්ථිකය නැවත හිස ඔසොවමින් තිබෙන පසුබිම තුළ මේ අවුරුද්දේ ලංකාවේ වෙළඳපොළ පංගුවේ යම් වැඩිවීමක් සිදු විය හැකි වුවත් එසේ අපේක්ෂා කළ හැක්කේ ඉතාම සුළු වෙනසක් පමණයි. නිදහස ලබද්දී ලෝක වෙළඳාමේ ඩොලර් සීයකින් ලංකාවේ පංගුව ඩොලර් ශත පණහක් පමණ. නමුත් දැන් පංගුව ඩොලර් ශත පහක් පමණයි. ඇමරිකාව තීරුබදු දමද්දී ලංකාවට කළ හැක්කක් නැති වී තිබෙන්නේ ඔය විදිහට ලංකාව ශත පහට වැටී තිබෙන නිසා. ඒ ඉන්න තැනින් ඉහළට යන්න ස්නේක් ඇන්ඩ් ලැඩර් වර්ගයේ සරල ඉනිමං නැහැ. ෂෝට්කට් නැහැ. රටේ තනි පුද්ගලයින්ට හා ආයතන වලට ලෝකය තුළ තරඟ කරලා වෙළඳපොළ අල්ලගන්න වෙනවා. 

ප්‍රස්ථාරය සකස් කිරීම සඳහා යොදාගත් දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා (https://data.worldbank.org/indicator/TX.VAL.MRCH.CD.WT). 



6 comments:

  1. මීට ටික කාලෙකට කලින් ජවිපෙ ජාතික ජන බලවේගයේ මාලිමාවේ නායක අනුර කුමාර සහෝදරයා කිව්වේ අපි ලෝක වෙළඳ පොළේ අපේ අපනයන පංගුව 2% ක් විතර දක්වා වැඩි කරගන්න පුළුවන් කියලා අනේ මන්දා මේකේ සියයට දශම ගණනයනේ

    😓😪

    හදවත් වල බටර් ගාපු
    හිරිවට්ටන වදන් කියපු
    ඩබල් පොකට් පචයා
    කිව් බොරූ ....

    - හමින්ග්බර්ඩ් සංදේශය🐦

    ReplyDelete
  2. ලෝක වෙළදපොලට පච සපයන්න පුළුවන් නං අපිට නොම්බර එක වෙන්න තිබ්බා නේද ඉකොනො පච කොටාගේ පච ටික විතරක් අපනයනය කරත්.

    ReplyDelete
  3. //රටක් සතු ලෝක වෙළඳාම තුළ තමන්ගේ පංගුව වැඩි කර ගැනීම එය නැති කර ගන්නවා වගේ පහසු වැඩක් නෙමෙයි.//

    කටින් බතල හිටවන්නට හරි ලේසියි
    තියෙන ප්‍රශ්නෙ එතකොට අල නොබැහිල්ලයි
    අපි තීරණ ගන්නෙ දුරදිග නොසිතාමයි
    දැන් දැන් ඒ වැරදි ගැන වැටහිලා වගෙයි

    ReplyDelete
    Replies
    1. ජේවීපී යුනියන් වල කඩාකප්පල් වැඩ නිසා අපනයන නිෂ්පාදන සිදු කරපු සමාගම් රැසක් රටින් ගියා

      Delete
    2. ජේවීපී කාලකන්නි තමයි රටේ ශාපය

      Delete
  4. ඇත්තටම ඉකොනෝමැට්ටා ඔයා වගේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂඥ දැනුම තියෙන කෙනෙක් කරන්න ඕනේ මේකට strategic plan එකක් යෝජනා කරන එක නේද?

    ඒ වගේ මම මේකට මගේ සීමිත දැනුම මත මූලෝපායික සැලැස්මක් සකස් යෝජනා කරන්නම්

    ​1. භාණ්ඩ අපනයන සඳහා මූලෝපායික ප්‍රවේශය

    ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වන තේ, රබර්, පොල් සහ ඇඟලුම් කර්මාන්තය නවීකරණය කිරීම අත්‍යවශ්‍යයි.

    ​නිෂ්පාදන diversifying විවිධාංගීකරණය:
    සාම්ප්‍රදායික නිෂ්පාදනවලට අමතරව, ඉහළ වටිනාකමක් ඇති (high-value) භාණ්ඩ අපනයනයට යොමුවිය යුතුය. උදාහරණයක් ලෙස, තේ කොළ වෙනුවට විශේෂිත තේ වර්ග, රබර් වෙනුවට රබර් පාදක කරගත් කාර්මික නිෂ්පාදන සහ ඇඟලුම් වෙනුවට නිර්මාණශීලී (designer) ඇඟලුම් නිෂ්පාදනය කළ හැකිය.
    ​තාක්ෂණික දියුණුව: අපනයන කර්මාන්තය නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය (automation) සහ ඩිජිටල්කරණය කළ යුතුයි. එමගින් නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කර, ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකාරීත්වයට මුහුණ දීමට හැකි වෙයිද?

    ​වෙළඳපොළ පුළුල් කිරීම: එක්සත් ජනපදය සහ යුරෝපය වැනි සාම්ප්‍රදායික වෙළඳපොළවලට අමතරව, නැගී එන ආසියානු, දකුණු ඇමරිකානු සහ අප්‍රිකානු වෙළඳපොළවල අවස්ථා සොයා බැලිය යුතුයි නේද?

    ​2. සේවා අපනයන සඳහා මූලෝපායික ප්‍රවේශය

    මට තේරෙන විදියට මේ වන විට, ලෝක ආර්ථිකයේ ප්‍රධාන පෙළඹවීම සේවා අංශයයි.

    ලංකාවේ සේවා අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට විශාල විභවයක් තිබේ.
    ​තොරතුරු තාක්ෂණය (IT): ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික දැනුම ඉතා ඉහළ මට්ටමක පවතී. මෘදුකාංග සංවර්ධනය, කෘත්‍රිම බුද්ධිය (AI), දත්ත විශ්ලේෂණය සහ සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සේවාවන් අපනයනය කිරීම තුළින් ඉහළ විදේශ ආදායමක් උපයා ගත හැකියි නේද?

    ​සංචාරක කර්මාන්තය: "සූර්යයා, මුහුද සහ වැලි" යන සංකල්පයෙන් ඔබ්බට ගොස්, සෞඛ්‍ය සංචාරක, අධ්‍යාපන සංචාරක සහ Adventure වික්‍රමාන්විත සංචාරක වැනි විශේෂිත සංචාරක අංශ ප්‍රවර්ධනය කළ යුතුය. උදාහරණ විදිහට ආණ්ඩුවේ ඇමතිවරු නිල්වලා ගඟේ මිනීකන කිඹුල් ප්‍රහාර වලට පහුගිය රජයන් වලටත් රාජපක්ෂ පවුලටත් බැන බැන කාලය නාස්ති කිරීම නවතා ඒ වෙනුවට ඒක අවස්ථාවක් කරගෙන නිල්වලා ගඟට ආරක්ෂාකාරීව Crocodile Adventure park එකක් හදන්න බැරිද විදේශීය සහ දේශීය පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගෙන? ඒ අවදානම් කලාපයේ ජනතාවට ඒ ආයෝජකයන්ගේ පැමිණීම සමග වෙනත් පලාත්වල ඉඩම් නිකුත් කරන්න වැඩපිළිවෙලක් හදාගන්න උත්සාහ කරන්න පුළුවන් නේද?

    ඊළඟට රාජපක්ෂ කල්ලිය බලයේ හිටපු දශකයේ SAITM වැනි ඒවා හදන කාලේ පොරටෝක් දීපු අධ්‍යාපන සේවා: ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම මගින්, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සිසුන්ට අධ්‍යාපන සේවා අපනයනය කළ හැකි ද යන්න ගැන පෞද්ගලික අංශය උනන්දු කරන්න ඕනේ.

    කෙසේ හෝ මම මෙතන කෙටියෙන් විස්තර කරපු මේ මූලෝපායික සැලැස්ම පිළිබඳව ඔබගේ විශේෂඥ මතය සහ ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍යයි.

    මේවා ගැන මට එච්චරම ෂුවර් නැති දේවල්

    ​1. භාණ්ඩ අපනයන නවීකරණය සහ ගෝලීය තරගකාරීත්වය: ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ (තේ, රබර්, ඇඟලුම්) සඳහා ඉහළ වටිනාකමක් එකතු කිරීමේදී ඇති ප්‍රධාන ආර්ථික සහ තාක්ෂණික අභියෝග මොනවාද? මෙම අභියෝග ජය ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වය (Public-Private Partnership) කෙතරම් තීරණාත්මකද?

    ​2. සේවා අපනයන සහ මානව සම්පත් සංවර්ධනයේදී ලංකාව, තොරතුරු තාක්ෂණ සේවා අපනයනයේදී ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් සමග තරග කරනවා. මෙම තරගයට මුහුණ දීමට ලංකාවේ මානව සම්පත ගෝලීය අවශ්‍යතා අනුව සකස් කළ හැකි පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාද? විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රවල, මෙම ප්‍රතිසංස්කරණවල ආයෝජනවල ආර්ථික ප්‍රතිලාභ කෙබඳු වේද?

    ​3. තාක්ෂණය, අපනයන සහ ආර්ථික විවිධාංගීකරණයේදි, තාක්ෂණය යොදා ගනිමින් සාම්ප්‍රදායික අපනයන අංශ නවීකරණය කිරීමටත්, ඒ සමගම නව සේවා අංශ ප්‍රවර්ධනය කිරීමටත් හැකි වන්නේ කෙසේද? මෙම ක්‍රියාවලියේදී තාක්ෂණික අසමානතාව (digital divide) අඩු කිරීමටත්, සමස්ත ආර්ථිකය තුළ සමානාත්මතාවක් ඇති කිරීමටත් භාවිතා කළ හැකි ආර්ථික ප්‍රතිපත්ති මොනවාද?

    ​4. විදේශ ආයෝජන සහ අපනයන උපාය මාර්ග: අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. ලංකාව තුළ විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අනුගමනය කළ යුතු මූල්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති මොනවාද? විශේෂයෙන්ම, දේශපාලන ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය, ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බලපාන ආකාරය ඔබ දකින්නේ කෙසේද? මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: