වෙබ් ලිපිනය:

Friday, July 23, 2021

රුපියලේ අනාගතය කුමක්ද?

අලුත් වැඩක්! ඉදිරියට යනවද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිචාර අනුවයි.




කිසියම් හේතුවක් නිසා ජංගම දුරකථන වලින් පිවිසෙන අයට වීඩියෝව පෙනෙන්නේ නැහැ. පහත ලින්ක් එක හරහා වීඩියෝවට යා හැකියි: https://www.youtube.com/watch?v=echr-J7HYhQ

Wednesday, July 21, 2021

සෙනසුරු අපලයෙන් බේරෙන්නේ කොහොමද?


ලංකාවේ බොහෝ දෙනෙක් ජ්‍යෝතිෂය විශ්වාස කරනවා. ජ්‍යෝතිෂය විශ්වාස කරන අය සෙනසුරු ඒරාෂ්ඨකය සලකන්නේ ඉතාම නරක අපල කාලයක් ලෙසයි. සෙනසුරු මාරුවක් සිදු වන විට ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කර ගන්නවා. සෙනසුරු ඒරාෂ්ඨක එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරය අනුව "හෙනහුරාගේ අපලේ" ලැබෙන ආකාර ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ලග්න ඒරාෂ්ඨකය හෝ ජන්ම ඒරාෂ්ඨකය ලබපුවහම එය ගෙවෙන්න වසර හත හමාරක පමණ කාලයක් යනවා. සෙනසුරු ඒරාෂ්ඨකය ගැන දැන නොසිටියත්, හෙනහුරා අවුරුදු හතහමාරක් විෂ්ණු දෙවියන්ටත් බට කොළ කවපු කතාව ජ්‍යෝතිෂය විශ්වාස නොකරන අයෙක් වුවත් අසා නොතිබෙන්න හේතුවක් නැහැ.

ජ්‍යෝතිෂය පදනම් වී තිබෙන්නේ පෘථිවියට සාපේක්ෂව සිදු වන අනෙකුත් ග්‍රහයන්ගේ චලනය මතයි. කේන්ද්‍ර සටහනකින්  කරන්නේ කිසියම් මොහොතක පෘථිවියට සාපේක්ෂව අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම සටහන් කර තබන එකයි. මෙහිදී පොළොවට සාපේක්ෂ අහස කොටස් දොළහකට බෙදා එම එක් එක් කොටසක් තුළ දැකිය හැකි ග්‍රහයින් අදාළ කොටු වල සටහන් කරනවා.

සෙනසුරා හෙවත් ශනි ග්‍රහයා සූර්ය ග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බොහෝ ඈතින් වූ පථයක චලනය වන ග්‍රහයෙක්. පෘථිවිය චලනය වන්නේ සෙනසුරුට සාපේක්ෂව සූර්යයාට කිට්ටුවෙන් නිසා පෘථිවියට සාපේක්ෂව ශනි ග්‍රහයාට වටයක් සම්පූර්ණ කරන්න වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා, කිසියම් මොහොතක අඳින කේන්ද්‍ර සටහනක ශනි ග්‍රහයා ලකුණු කෙරෙන තැනට වටයක් ගොස් නැවත ආපසු එන්නට ශනි ග්‍රහයාට වසර තිහක පමණ කාලයක් ගත වෙනවා. ලග්න දොළහක් තිබෙන නිසා එක ලග්නයක සීමාව පසු කරන්න සෙනසුරුට වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා.

සෙනසුරු කිසියම් පුද්ගලයෙකුගේ උපන් ලග්නය, ඊට පෙර ලග්නය හා ඊට පසු ලග්නය පසුකරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලෙස හැඳින්වෙනවා. මේ කොටු තුන පහු කරන්න ආසන්න වශයෙන් වසර හතහමාරක් පමණ ගත වෙනවා. එහෙත් මෙය සාපේක්ෂ චලිතයක් නිසා කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. කිසියම් පුද්ගලයකුට බොහෝ විට ජීවිත කාලය තුළ තෙවරක් සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබනවා. එහෙත්, තෙවන වර දක්වා හැමෝම ජීවත් නොවෙන්න පුළුවන්.

උදාහරණයක් විදිහට, 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙක්ගේ ලග්නය කුම්භ ලග්නයයි. ලංකාවට නිදහස ලැබුණේ මේ වෙලාවේදී නිසා ලංකාවේ රාජ්‍ය ලග්නයද කුම්භ ලග්නය සේ සලකනවා. කුම්භ ලග්නයට පෙර ලග්නය මකර ලග්නයයි. කුම්භ ලග්නයට පසු ලග්නය මීන ලග්නයයි. මේ අනුව, ලංකාවේ රාජ්‍ය කේන්ද්‍රය අනුව, මකර-කුම්භ-මීන රාශි වල සෙනසුරා ගමන් කරන කාලය සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨක කාලය ලෙස සැලකිය හැකියි.  මකරාගේ කොටුවට සෙනසුරා ආවා කියන්නේ ඒරාෂ්ඨක කාලය ලබලා!

පසුගිය 2020 ජනවාරි 24 වෙනිදා සෙනසුරා මකර රාශියට ඇතුළු වුනා. මකර-කුම්භ-මීන රාශි හරහා ගමන් කරමින් සිටින සෙනසුරා මීන රාශියෙන් පිටව යන්නේ 2027 ජූනි මාසයේදී. මේ වසර හත හමාරක කාලය 1948 පෙබරවාරි 4 දින උදේ 7:30ට කොළඹදී උපන් කෙනෙකුගේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයක් සේ හඳුන්වන්න පුළුවන්. ජනශ්‍රැතිය අනුව, විෂ්ණු දෙවියන්ට බට කොළ කන්න සිදු වුනේත් සෙනසුරු ඒරාෂ්ඨක කාලයකයි.

විෂ්ණු දෙවියෝ ගැන කවුරු වුනත් අහලා තියෙනවනේ. ඔහුගේ බිරිඳ ලක්ෂ්මී. ධනයට අධිපති. සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලබන තුරුම විෂ්ණු ලක්ෂ්මීත් එක්ක ඉතාම සතුටින් දිව්‍ය භෝජන වළඳමින්, දෙවු සැප ලබමින් කාලය ගත කරලා තියෙනවා. ඔහොම ඉඳිද්දී හදිසියේම දවසක සෙනසුරා ඇවිදින් දැන් එළැඹෙන්නේ තමන්ගේ කාලය බව විෂ්ණු දෙවියන්ට මතක් කරලා. මේ වගේ දැනුම් දීමක් විෂ්ණු දෙවියන්ට වුනත් නොසලකා හරින්න බැහැනේ. සෙනසුරා එක්ක සෙල්ලම් නැහැ!

කොහොම වුනත් විෂ්ණු දෙවියෝ වගේ බලවත් කෙනෙක්ට පුළුවන්ද සෙනසුරාට වුනත් සෙකන්ඩ් වෙන්න? මොන නව නිංගිරාවක්ද? ඒ නිසා, විෂ්ණු දෙවියෝ කල්පනා කරනවා අපල කාලය ගෙවුනට පස්සේ  "මම තමයි හොඳටම කළේ" කියා කියන්න ක්‍රමයක්. ඔහොම කල්පනා කරලා අන්තිමට තීරණය කරනවා අපලය ගෙවෙන තුරු ඇත් වේශයක් අරගෙන සෙනසුරුට හොයා ගන්න බැරි කැලේක හැංගිලා ඉන්න. කොහොමද ටිකිරි මොළේ?

ඉතිං විෂ්ණු දෙවියෝ ඇත් වේශයක් අරගෙන කැලේකට යනවා. මේක බට කැලයක්. බට කැලේක දිව්‍ය භෝජන නැහැනේ. ඒ නිසා, අවුරුදු හතහමාරක් තිස්සෙම බට කොළ කකා කාලය ගෙවනවා. සෙනසුරු අපලය ගෙවුනට පස්සේ නැවත දිව්‍ය ලෝකයට ඇවිත් සෙනසුරාට කෝචෝක් පාරක් දානවා.

"තමුසේ හැමෝටම අපල කළාට අවුරුදු හතහමාරක් තිස්සෙම මාව අල්ල ගන්න බැරි වුනානේ?" 

මම තමයි පළමු වරට සෙනසුරු අපලෙන් බේරුණේ!

සෙනසුරා කට කොණකින් කින්ඩි හිනාවක් දානවා.

"ඔබ වගේ බලවත් දෙවි කෙනෙක්ට දිව්‍ය භෝජන අත ඇරලා, ලක්ෂ්මිය සමඟ කිසිදු ඇසුරක් නැතිව, අවුරුදු හත හමාරක් කැලේක හැංගිලා බට කොළ කන්න සලස්සන එකට වඩා තවත් කරන්න පුළුවන් අපලයක් තියෙනවද?'

මේ කතාව මට මතක් වුනේ මගේ මිතුරෙක් අහපු ප්‍රශ්නයක් නිසා.

"ආනයන පාලනය කරලා ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න බැරි වෙයිද?"

ලංකාව ආර්ථික අර්බුදයක ඉන්න බව අපි කවුරුත් දන්නවා. මේක විදේශ අංශයේ අර්බුදයක්. ඒ අනුව, ආර්ථිකය කඩා වැටුනොත් වෙන්නේ කුමක්ද?

මෙහි බලපෑම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ විණිමය අනුපාතිකයට. නරක තත්ත්වයක් යටතේ ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යා හැකියි. ඉන් පසු, ආනයන වල රුපියල් මිල ඉහළ යන නිසා බොහෝ දේ පෙර තරමට ආනයනය කරන්න බැරි වෙයි. උදාහරණයක් විදිහට ගොවීන්ට අවශ්‍ය පමණ පෝර ආනයනය කරන්න නොහැකි වී, එය අස්වැන්න අඩු කිරීමට හේතු වෙන්න පුළුවන්. අවශ්‍ය පමණ තෙල් ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. මිල අධික නිසා වාහන අවශ්‍ය ඇතැම් අයට වාහන ආනයනය කරන්න බැරි වෙන්න පුළුවන්. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්න බැරි වී එය ආර්ථික වර්ධනය කෙරෙහි නරක ලෙස බලපාන්න පුළුවන්. රට තුළ බොහෝ දෙනෙකුට ආනයනික භාණ්ඩ මිල දී ගත නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. මේ දේවල් වෙන්නේ විණිමය අනුපාතිකය එක වර කඩා වැටුණොත්.

ආනයන පාලනය කිරීමෙන් විණිමය අනුපාතිකය කඩා වැටෙන එක වලක්වා ගන්න පුළුවන්!

Saturday, July 10, 2021

දැන් රාජ්‍ය ණය කොපමණද?


අප්‍රේල් අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 16,288 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලියන ගණන් ඇඟට නොදැනෙන නිසා මේ ණය ප්‍රමාණය ලංකාවේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක පමණ ප්‍රමාණයක්. ඒ වගේම, පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම මෙන් දොළොස් ගුණයකට ආසන්න මුදලක්. 2019 අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, මාස 16ක කාලයක් තුළ, දේශීය ණය 46%කින්ද විදේශීය ණය වල රුපියල් අගය 3%කින්ද සමස්ත ණය 25%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය ණය ප්‍රශ්නය හා විදේශ ණය ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. විදේශ ණය වලින් කොටසක් රාජ්‍ය ණය වන අතර රාජ්‍ය ණය වලින් කොටසක් විදේශ ණයයි. විදේශ ණය ප්‍රශ්නයටද හේතු වී තිබෙන්නේ රාජ්‍ය ණය ප්‍රශ්නය වුවත් එය එකම හේතුව නෙමෙයි. ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියත් විදේශ ණය ප්‍රශ්නයට හේතුවක්. 

සල්ලි අච්චු ගසා රාජ්‍ය ණය ප්‍රශ්නය තාවකාලිකව විසඳා ගත හැකි වුවත් විදේශ ණය ප්‍රශ්නය එසේ විසඳා ගන්න බැහැ. මේ මොහොතේ ලංකාවේ රජය මුහුණ දී සිටින ගැටලුව එයයි. 

(Image: dailymirror.lk)

Wednesday, July 7, 2021

ඇයි රත්තරං හැංගිලා?

 


ලංකානිවුස්වෙබ් වාර්තාවකට අනුව ලංකාව තුළ දැඩි රත්තරන් හිඟයක් ඇති වෙලා. මෙයට හේතුව "රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීම" බවත් "දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන" බවත් එම වාර්තාවේම සඳහන්.

මේ බඩු හංගන කතාව කියන්නේ රත්තරන් හා අදාළව පමණක් නෙමෙයි. පෝර ගැනත් ඔය කතාවම කියනවා. කලකට පෙර හාල් ගැන කිව්වෙත් ඔය කතාවමයි. භාණ්ඩයකට පුද්ගලයෙකුට සාපේක්ෂ වටිනාකමක් මිසක් නිරපේක්ෂ වාස්තවික වටිනාකමක් නැති බව තේරුම් ගෙන ඉන්න අයටනම් මේ සිද්ද වෙන්නේ කුමක්ද කියා තේරුම් ගන්න අමාරු වෙන එකක් නැහැ. වටිනාකම ගැන ශ්‍රම න්‍යාය පමණක් දන්න අය කනිපින්දම් ගාන එක පුදුමයක් නෙමෙයි.

ලංකාවෙන් රත්තරන් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රත්තරන් සැපයුම තීරණය වෙන්නේ ආනයන මත. ආනයන සිදු නොවන තාක් රට ඇතුළේ රත්තරන් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් මේ දවස් වල රුපියලේ අගය කඩා වැටීමේ අවදානම ගැන ගොඩක් අය ඉන්නේ සැලකිල්ලෙන්. ඒ නිසා, තමන්ගේ රුපියල් ඩොලර්, රත්තරන් වගේ දේවල් වලට මාරු කරලා අගය ආරක්ෂා කර ගන්න උනන්දුවක් රටේ ඇති වී තිබෙනවා. ඒ නිසා, ඩොලර් ඉල්ලුම වගේම රත්තරන් ඉල්ලුමත් ඉහළ ගිහින්. සැපයුම එසේම තියෙද්දී ඉල්ලුම වැඩි වුනහම මිල ඉහළ යනවා.

මූලික ආර්ථික විද්‍යා න්‍යාය අනුව ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වී එම පරතරය නැති කරනවා. මිල වැඩි වෙද්දී භාණ්ඩයක් සපයන්න නිෂ්පාදකයින්ට තිබෙන උනන්දුව වැඩි වෙලා ඉල්ලුම තරමටම සැපයුම වැඩි වීම හරහායි මේ පරතරය නැති වෙන්නේ. නමුත් රත්තරන් ලංකාවේ නිපදවන්න බැරි නිසා මිල කොයි තරම් ඉහළ ගියත් දේශීය සැපයුම වැඩි වෙන්නේ නැහැ. සැපයුම වැඩි වෙන්නේ රත්තරන් ආනයනය කළොත් පමණයි. එයට ඉඩ නොලැබෙන තුරු ඉල්ලුම හා සැපයුම පහසුවෙන් සමතුලිත වෙන්නේ නැහැ.

පෝර සම්බන්ධව තත්ත්වයත් මීටම සමානයි. පෝර ලංකාවේ නිපදවන්න බැරිකමක් නැතත් එය හදිස්සියෙන් කරන්න බැහැ. ඒ නිසා, හදිස්සියේම ආනයන තහනම් කළ විට ඉල්ලුම හා සැපයුම අතර, මිල යාන්ත්‍රනය තුලින් පහසුවෙන් නැති කළ නොහැකි, පරතරයක් ඇති වෙනවා. අඩු පරිමාණයකින් වුවත් හාල් සම්බන්ධව තත්ත්වයත් ඕකමයි. 

රටක ආර්ථික-දේශපාලන ක්‍රමය කොයි තරම් ධනවාදයෙන් ඈත්ව තිබුණත්, කොයි තරම් සමාජවාදයට බරව තිබුණත්, මූලික මිනිස් හැසිරීම් වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් හැකි හැම විටම ලාබ හොයනවා. යම් හෙයකින් රුපියලේ අගය විශාල ලෙස කඩා වැටුනොත් රුපියල් අතේ තියාගෙන ඉන්න අයට වෙන්නේ විශාල පාඩුවක්. දැනට වුනත් බැංකු පොලිය උද්ධමන අනුපාතිකයට වඩා අඩුයි. රුපියල් ඩොලර් වලට හරි රත්තරන් වලට හරි මාරු කිරීම මේ අවදානම අවම කර ගත හැකි ක්‍රමයක්. ධනවාදය ගැන හරි ආර්ථික විද්‍යාව ගැන හරි හාන්කවිසියක් නොදැන හිටියත් මිනිස්සුන්ට ඔය ටික තේරෙනවා. ඒ නිසා, රුපියල් වලට වගේම ඩොලර් වලටත් මේ වෙලාවේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නේ.

ඉල්ලුම කොයි තරම් ඉහළ ගියත් ඩොලර් හෝ රත්තරන් හෝ සැපයුම ඉහළ යන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම නුදුරු දිනක සමතුලිත වන බවක් පෙනෙන්නත් නැහැ. ඒ කියන්නේ, රත්තරන් වල වගේම ඩොලර් එකේත් මිල ඉහළ යාමේ විභවයක් මිසක් පහළ යාමේ විභවයක් පෙනෙන්න නැහැ. 

ඔය වගේ වෙලාවක සිහියක් බුද්ධියක් තියෙන කෙනෙක් ස්වේච්ඡාවෙන් තමන් සතු ඩොලර් හෝ රත්තරන් හෝ විකුණන්නේ නැහැ. මොකද තමන්ට සාපේක්ෂව මේවායේ වටිනාකම වෙළඳපොළ වටිනාකමට වඩා වැඩියි. පෝර හෝ හාල් හා අදාළව වෙන්නෙත් ඕකමයි. රත්තරන් තොග තිබෙන අය මිල වැඩි වනු ඇතැයි අපේක්ෂාවෙන් තමන් සතු රත්තරන් නොවිකුණා සිටිද්දී රත්තරන් වලට ඉල්ලුම ඉහළ ගියාම මිල ඉහළ යන එක පුදුමයක් නෙමෙයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් මහ බැංකුව විසින් රුපියල් දහසක රන් කාසියක් නිකුත් කරලා. මුහුණත වටිනාකම රුපියල් දහසක් වුනත් මේ රන් කාසිය රුපියල් දහසක් ගෙවා මහ බැංකුවෙන් මිල දී ගන්න බැහැ. මහ බැංකුව විසින් කාසියක් විකුණන්නේ රුපියල් 220,000ක මුදලකට.

ලංකාවට නිදහස ලැබෙන කොට ඇමරිකන් ඩොලරයක් රුපියල් 3.30ක් පමණයි. රන් අවුන්සයක නිල මිල ඇමරිකන් ඩොලර් 35යි. ඒ කියන්නේ රන් අවුන්සයක් රුපියල් 116කට අඩුයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ අඩ සියවස සැමරූ 1971 කාලය වෙද්දීත් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් රුපියල් 208ක් පමණ. නිදහසෙන් පසුව දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වී තිබුනත්, ඒ වෙද්දීත් නිල වටිනාකම අනුව රුපියල් දහසක් ගෙවා රන් අවුන්ස 4.8ක් මිල දී ගත හැකිව තිබුණා. රන් අවුන්ස 4.8ක රත්තරන් කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස වෙනුවෙන් නිකුත් කළ රන් කාසියක තිබෙන රත්තරන් ප්‍රමාණය වගේ 13.57 ගුණයක්. ඒ කියන්නේ මේ කාසියේ තිබෙන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම ඒ වෙද්දී රුපියල් 73.68ක් පමණයි.

දැන් චීනය කොමියුනිස්ට් පක්ෂයේ සියවස සමරනවා. පහුගිය අවුරුදු පණහක මහ බැංකුවේ කෙරුවාව නිසා රුපියල කොයි තරම් බාල්දු වෙලාද කියනවානම් 1971දී රුපියල් 73.68ක වටිනාකමක් තිබුණු රත්තරන් ප්‍රමාණයක් දමලා හදපු රුපියල් දහසක කාසිය දැන් මහ බැංකුවට එහි මුහුණත වටිනාකමට විකුණන්න බැහැ. රුපියල් 1000 විකුණන්නේ රුපියල් 220,000කට.

අලුත් කාසියක කැරට් 22 රත්තරන් ග්‍රෑම් 12ක් තිබෙනවා. රන් පවුමක තිබෙන්නේ ග්‍රෑම් 7.98ක් පමණ. ඒ කියන්නේ මහ බැංකුව විසින් මේ කාසියේ මිල නියම කර තිබෙන පදනම අනුව බැලුවොත් මේ වෙද්දී රන් පවුමක වටිනාකම රුපියල් 146,300ක් විය යුතුයි. එහෙම තියෙද්දී වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 124,000ක් කියා කියන්නේ ගොඩක් අඩු මිලක්. මහ බැංකුව විසින්ම රන් පවුමක් රුපියල් 146,300කට මිල නියම කරද්දී රත්තරන් තොග අතේ තියෙන අය තමන්ගේ රත්තරන් රුපියල් 124,000 ගානේ නොවිකුණා මිල තවත් වැඩි වන තුරු බලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

Tuesday, July 6, 2021

ලංකාවට ආසියාවෙන් පළමු තැනක්!

පයිසර් එන්නත මිල දී ගත් පළමු දකුණු ආසියානු රට ලංකාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් හරහා ප්‍රචාරය කර අනෙක් පැත්ත හැරෙද්දී එය එසේ නොවන බව වෙනත් අය පෙන්වා දී තිබෙනවා. මාල දිවයින් රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ නොමිලේ ලැබුණු පයිසර් එන්නත් පමණක්නම් ජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය නිවැරදි විය හැකියි. කොහොම වුනත් මේ ප්‍රකාශයෙන්ද පෙනෙන්නේ "අපි තමයි ඉහළින්ම ඉන්නේ" උන්මාදයයි.  

මේ වන විට ඒක පුද්ගල ආදායම වගේම ආයු අපේක්ෂාව අතින්ද දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට මාල දිවයින නිසා ලංකාවට දකුණු ආසියාවේ හෝ පළමු වැනියා වීමට තිබෙන අවස්ථා අඩු වෙමින් තිබුණත් බ්ලූම්බර්ග් විසින් වාර්තා කරන පරිදි ණය ආපසු නොගෙවීමේ අවදානම අතින් මේ වන විට ලංකාව ආසියා-ශාන්තිකර කලාපයේම පළමු තැනට පැමිණ තිබෙනවා. මේ බව සඳහන් කරමින් ඊයේ පළ වූ බ්ලූම්බර්ග් විශ්ලේෂණ වාර්තාව වොෂින්ටන් පෝස්ට් ඇතුළු වෙනත් මාධ්‍ය වලද ප්‍රචාරය වී තිබෙනවා.

දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට තම ආයෝජනය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් ලංකාවට සිදු වූ පාඩුවයි. මෙසේ තම ආයෝජනය ආපසු නොලැබීමේ අවදානම අවම කර ගැනීම සඳහා ආයෝජකයෙකුට ස්වොප් ගිවිසුමක් අත්සන් කළ හැකියි. මෙවැනි ගිවිසුමක් ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් (credit default swap) ලෙස හැඳින්වෙනවා. මෙය එක්තරා ආකාරයක රක්ෂණ ගිවිසුමක් ලෙසද හැඳින්විය හැකියි. 

ණය අවදානම අඩු රටක බැඳුම්කරයක් සඳහා ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුත්තේ බැඳුම්කරයේ මුහුණත වටිනාකමෙන් 0.1% නොඉක්මවන සුළු මුදලක් වුවත් ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල පස් අවුරුදු ණය අවදානමට එරෙහිව ණය පෙරනිමි හුවමාරු ගිවිසුමක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල මේ වන විට 15.53% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම බ්ලූම්බර්ග් ගණන් බැලීම් අනුව ඉදිරි වසර තුළ ලංකාවට ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානම 27.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය 1.5% ඉක්මවීම අධි අවදානමක් ලෙස ඔවුන් සලකනවා. ඒ අනුව, ලංකාව ණය පැහැර හැරීමේ අවදානම අතින් මේ වන විට ආසියා-ශාන්තිකර කලාපයෙන්ම පළමු තැනට පැමිණ සිටිනවා. 

Sri Lanka's 1-year default probability is the highest in the Asia-Pacific

Source: Bloomberg

Note: Bloomberg's debt default probability scale lists any score above 1.5% as an indication of high risk of failure to pay


Sunday, July 4, 2021

මහ බැංකුව උගස් කර ණය ගැනීම


මේ වෙලාවේ ලංකාව විසින් කරමින් සිටින දෙය හැඳින්විය හැකි හොඳම ආකාරය "මහ බැංකුව උගස් කර ණය ගැනීම" කියන එකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට පාදක හේතුව වන අයවැය හිඟය පියවා ගැනීම සඳහා දිගින් දිගටම විදේශ ණය ගැනීම නිසා ලංකාවේ රජය අර්බුදයකට ගියා. මෙය අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. 

වැඩි වැඩියෙන් ණය ගනිද්දී ලංකාවේ රජයට තව තවත් විදේශ ණය ලබා ගැනීම අසීරු වුනා. මෙහිදී මධ්‍යම රජයේ ණය අඩුවෙන් පෙන්වීමේ උපක්‍රමයක් විදිහට රාජ්‍ය සංස්ථා හරහා ණය ගත්තා. ඉන් පසුව සෘජුව හා වක්‍රව වාණිජ බැංකු හරහා විදේශ ණය ලබා ගත්තා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වෙද්දී ලංකාවේ මධ්‍යම රජය වගේම රාජ්‍ය සංස්ථා හා වාණිජ බැංකුද එකිනෙක හා ගැට ගැහුණු ණය අවදානමක පැටලී ඉන්නවා. මේ දිය සුලිය කරා අවසාන වශයෙන් මහ බැංකුවද ඇදෙමින් සිටිනවා. 

රටක ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ වෛද්‍යවරයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා තේරුම් ගන්නා ආකාරයටයි. විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සැලකිය යුත්තේ කිසියම් රෝගයක් ගැන කරන සංඥා ලෙසයි. මොනවා හෝ කර වාර්තාව හොඳ කර ගත්තා කියා රෝගය අවසන් වන්නේ නැහැ. රටක ආර්ථිකයක සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳීමෙන් මිසක් සංඛ්‍යාලේඛණ ඉලක්ක කිරීමෙන් ආර්ථිකයක් අර්බුදයට යාම වලක්වන්න බැහැ.

මේ දවස් වල ලංකාවේ තේරීම වී තිබෙන්නේ මුදල් හුවමාරු ගිවිසුම්. මේ ගිවිසුම් සිදු වන්නේ රටවල් දෙකක මහ බැංකු අතරයි. මුදල් හුවමාරු ගිවිසුමක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්. මෙහිදී සිදු වන්නේ මහ බැංකුවෙන් ණය අරගෙන විදේශ ණය ගෙවීමක්. මහ බැංකුව වෙනත් රටක මහ බැංකුවකින් ණය ගන්නවා.

මේ වැඩෙන් සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. මොකද ශුද්ධ වශයෙන් ගත්තොත් මෙහි රුපියල් සම්බන්ධයක් නැහැ. මහ බැංකුව විසින් එක පැත්තකින් ණයට ගන්න ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) අනෙක් පැත්තෙන් ඩොලර් ලෙසම එළියට යනවා. 

හැබැයි මේ විදිහට මහ බැංකුව විසින් ණය වී ගෙවන්නේ රජයේ ණය මිසක් මහ බැංකුවේ ණය නෙමෙයි. මහ බැංකුව විසින් ණය වී ලබා ගන්නා ඩොලර් මහ බැංකුව විසින් රජයට විකුණනවා. රජය ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. ඒ මුදල් හොයා ගන්න නැවත මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණනවා. දැන් රජයේ ණය ඒ විදිහටම තිබෙනවා. කලින් තිබුණු විදේශ ණය වෙනුවට දැන් තිබෙන්නේ මහ බැංකුවට වූ ණය. සංඛ්‍යාලේඛණ වල රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය ණය වෙනස් වෙන්නේ නැහැ කිවුවත් තව දුරටත් රජය ආදායම් ඉක්මවා වියදම් කරන නිසා රාජ්‍ය ණය වැඩි වෙනවා. මම කියන්නේ ඒ හැර විදේශ ණය ගෙවීම හේතුවෙන් රාජ්‍ය ණය වෙනස් වීමක් සිදු නොවන බවයි. ඒ වෙනුවට සිදු වන්නේ විදේශ ණය වෙනුවට දේශීය ණය ආදේශ වීමක්.

මේ විදිහට මහ බැංකුවෙන් ණය ගත්තත්, ඒ සල්ලි නැවත මහ බැංකුවටම යන නිසා සංචිත මුදල් විශාල ලෙස වැඩි වෙන්නේත් නැහැ. ඒ නිසා, උද්ධමනය ගැන බය වෙන්න අවශ්‍ය නැද්ද? 

ඇත්තටම වෙන්නේ ප්‍රශ්නය මහ බැංකුව පැත්තට තල්ලු කිරීමක්. දැන් රජය වෙනුවට ණය වෙන්නේ මහ බැංකුවයි. රජයේ විදේශ ණය අඩු වන ප්‍රමාණයට මහ බැංකුවේ විදේශ ණය ඉහළ යනවා. මේ විදේශ ණය මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් අඩු කළ විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පහළ යනවා. ඒ එක්කම රුපියලට වටිනාකමක් ලැබෙන පදනම වේගයෙන් ඛාදනය වෙනවා. 

මහ බැංකුව විසින් මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කළාම මහ බැංකුවට ඩොලර් එනවා. ඩොලර් වත්කම් ඉහළ යනවා. එහෙත් ඒ එක්කම අනෙක් පැත්තෙන් ඊට හරියටම සමානව ඩොලර් බැරකම්ද ඉහළ යනවා. ඒ නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් මුදල් හුවමාරු ගිවිසුම් නිසා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ඉහළ යන්නේ නැහැ.

මේ විදිහට මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කරන්නේ රජයේ විදේශ ණය ගෙවන්න ඩොලර් හොයා ගන්න කියලා අපි දන්නවා. මහ බැංකුව මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලබා ගන්නා ඩොලර් රජයට විකුණනවා. එසේ කරද්දී මහ බැංකුවේ විදේශ වත්කම් අඩු වුනත් බැරකම් ඒ විදිහටම තිබෙනවා. මෙහි ප්‍රතිඵලය මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙන එකයි. එහෙමත් නැත්නම් මහ බැංකුවේ "වටිනාකම" අඩු වෙන එකයි. මේ වැඩේ මහ බැංකුව උගස් කර ණය ගැනීමක් වන්නේ ඒ නිසයි.

මහ බැංකුව උගස් කර ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වන විට මහ බැංකුව තිබෙන්නේ බංකොලොත් තත්ත්වයක කියා කියන්න පුළුවන්. 2021 ජූලි 1 දින වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක්. මහ බැංකුවට අනුව ඩොලරයක මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. නමුත්, මහ බැංකුව සතුව තිබෙන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඊට වඩා අඩුයි. මැයි අවසන් වන විටත් තිබුණේ ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත ප්‍රමාණයක් පමණයි.

ඩොලර් මිලියන 4,032.8ක ශුද්ධ විදේශ වත්කම් වලින් රුපියල් බිලියන 1,072.0ක මුදල් සැපයුමක් ආවරණය කළ හැක්කේ අවම වශයෙන් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ නිසා, ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තියා ගන්නනම් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් මිලියන 5,346.1ක මට්ටමට ඉහළ නංවා ගන්න වෙනවා. මුදල් හුවමාරු ගිවිසුම් වලින් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වෙනස් වෙන්නේ නැහැ. එසේ ලබා ගන්නා ඩොලර් රජයට විකිණීමෙන් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තවත් පහළ යන්නනම් පුළුවන්.

මහ බැංකුවට විදේශ වත්කම් වැඩි කර ගත හැකි වන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමෙන් පමණයි. පවතින විණිමය අනුපාතිකය යටතේ එය කළ හැකිද? 

මහ බැංකුව විසින් දැනට අනුගමනය කරන උපක්‍රමය වන්නේ ඩොලර් රටින් පිටවීම හැකි තරම් පාලනය කිරීමයි. මේ සීමාවන් නිසා විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීම වඩ වඩා අසීරු වී අවිධිමත් වෙළඳපොළේ ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඩොලරයක අවිධිමත් වෙළඳපොළ මිල බැංකු වල මිල ඉක්මවා විශාල ලෙස ඉහළ යනවා. ඒ එක්කම කවර හෝ ආකාරයකින් ඩොලර් උපයන අය, උදාහරණයක් විදිහට විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අය, රටේ බැංකු පද්ධතිය මග හැර යාමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති විය හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ මහ බැංකුවට දැන් මිලට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම තවත් අමාරු වෙන එකයි. 

දැන් යන ක්‍රමයට ලංකාවේ ආර්ථික අර්බුදය මහ බැංකුවේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතු වෙන්න වුනත් බැරිකමක් නැහැ! ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු හැත්තෑ හතක්. මහ බැංකුවටත් දැන් හැත්තෑ එකක්!!  

Friday, July 2, 2021

මහ බැංකුව බංකොලොත්ද?


ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින් අදහස් කළේ විපක්ෂ දේශපාලනඥයින් විසින් නිවැරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ බව නෙමෙයි. ඒ අය විසින් බොහෝ විට කළේ පවතිනවාටත් වඩා අශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලනඥයින් විසින් මාරුවෙන් මාරුවට සිදු කළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මෙවැනි පැහැදිලි කිරීම් නිසා ආර්ථික දර්ශක ගැන ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව බොහෝ විට අන්දමන්ද වෙලයි හිටියේ. හැමදාම විපක්ෂයේ ඉන්න පක්ෂ වල දේශපාලනඥයින් කොහොමටත් පවතින තත්ත්වය ගැන ශුභවාදීව නොබලන අශුභවාදීන් වූ නිසා ඒ අය කියන දේවල් දිහා ගොඩක් අය බැලුවේත් සැකයෙන්. ඔය අතර කලාතුරකින් රටේ ආර්ථිකය ගැන නිවැරදි විශ්ලේෂණ කරන විෂය ප්‍රවීණයන්ද හිටියත්, විෂය ප්‍රවීණයන් බොහෝ දෙනෙකුද කවර හෝ දේශපාලන පක්ෂයකට කඩේ යන්නන් වූ නිසා එසේ නොවූ අයෙකු කියන දෙයකට වුනත් වැඩි දෙනෙක් ඇහුම්කන් දුන්නේ නැහැ. 

මේ සෙල්ලම දැන් කෙළවරකට ඇවිත්. මේ වෙද්දී රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ විපක්ෂ දේශපාලනඥයින් විසින් පමණක් නෙමෙයි. පවතින ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයින් විසිනුත් තරඟයට වගේ ආර්ථික අර්බුදය ගැන මිනිස්සු දැනුවත් කරනවා.

මේ ගැන දැන් ඕනෑවට වඩා කතා කරන එකේ තේරුමක් නැහැ. කතා කරන එකේ තේරුමක් තිබුණු කාලයේ අප මේ ගැන ඕනෑ තරම් කතා කර තිබෙනවා. දිනපතා ව්‍යායාම කරන්න උපදෙස් දිය යුත්තේ හෘදයාබාධයක් හැදෙන්න කලින්. හෘදයාබාධයක් හැදුනු අයෙකුට විවේකයෙන් ඉන්න උපදෙස් දෙනවා මිසක් ලොකුවට ව්‍යායාම කරන්න උපදෙස් දෙන්න බැහැ. එක පැත්තකින් බැලුවහම මේ වියුණුව වෙනුවෙන් අප විසින් වැය කර ඇති කාලය ගැනත් තියෙන්නේ කණගාටුවක්. ඒ කාලය වඩා ඵලදායී කටයුත්තකට යෙදෙවුවානම් සමහර විට ලෝකයේ කොහේ හෝ ජිවත්වන වැඩි දෙනෙකුට යහපතක් විය හැකිව තිබුණා. කොහොම වුනත් අප ලියන දේ දිගින් දිගටම උනන්දුවෙන් කියවන යම් පිරිසක් ඉන්න නිසා වියුණුව මැරෙන්න දෙන්න අදහසක් නැහැ.

මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන සල්ලි අච්චු ගැහීම ගැන කිහිප දෙනෙක්ම විමසා තිබුණා. ඒ එක්කම ඔය සල්ලි අච්චු ගැහීම ගැන විවිධ ප්‍රවෘත්ති පැතිරෙමින් තිබෙනවා.

සල්ලි අච්චු ගැහීම ගැන මම කාලයක් තිස්සේ පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන එකටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු. මේවා සල්ලි බව කාට වුනත් පැහැදිලියි. දෙවන කොටස මහ බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල තැන්පතු මුදල්. දෙවන කොටස සල්ලි වෙන්නේ කොහොමද කියන එක එකවර පැහැදිලි වෙන දෙයක් නොවුනත්, ඔය කොටස් දෙකේ වැඩි වෙනසක් නැහැ. මේ කොටස් දෙකේම තිබෙන්නේ මහ බැංකුවේ "වගකීම්" එහෙම නැත්නම් "බැරකම්".

වාණිජ බැංකු වල තිබෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් බව අපි දන්නවා. තැන්පතුකරුවන් විසින් ආපසු ඉල්ලූ විට වාණිජ බැංකු විසින් මේ තැන්පතු මුදල් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා වාණිජ බැංකුවක් සතුව හැම විටම ඔවුන්ගේ බැරකම් ඉක්මවන වත්කම් තිබිය යුතුයි. වාණිජ බැංකුවක වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් එයින් අදහස් වෙන්නේ එම වාණිජ බැංකුව බංකොලොත් වී ඇති බවයි. බංකොලොත් වූ වාණිජ බැංකුවකට එම බැංකුව සතු සියලුම වත්කම් මුදල් කළත් තැන්පතුකරුවන්ගේ මුදල් සියල්ල ආපසු ගෙවීමේ හැකියාවක් නැහැ.

මේ කතාවම මහ බැංකුවටත් අදාළයි. කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. 

මේ විදිහට වාණිජ බැංකු විසින් තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු වලින්නම් මහ බැංකුවට කිසිම අවුලක් වෙන්න විදිහක් නැහැනේ. මොකද මහ බැංකුවට ඕනෑ තරම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවක් කවදාවත් බංකොලොත් වෙන්න විදිහක් නැහැ. නමුත් මහ බැංකුවකට එසේ සල්ලි අච්චු ගසා තමන්ගේ වගකීම් පියවිය හැක්කේ මහ බැංකුව විසින් නිකුත් කරන මුදල් හා නෝට්ටු වටිනාකමක් ඇති දේ සේ සැලකෙන්නේනම් පමණයි. ඒ නිසා, මහ බැංකුවකට හැම වෙලාවකම තමන් නිකුත් කරන මුදල් නෝට්ටු වල වටිනාකම වෙනත් නිර්ණායකයන්ට සාපේක්ෂව යම් මට්ටමක තියා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකන් ඩොලරයට හෝ රන් අවුන්සයකට සාපේක්ෂව. 

මහ බැංකුවට අනුව ජූලි 1 දින ඇමරිකන් ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52ක්. එයින් අදහස් වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු හා කාසි වලින් 200.52ක් ආපසු අරගෙන ඇමරිකන් ඩොලරයක් දෙන්න මහ බැංකුව සූදානමින් ඉන්නවා කියන එකයි. යම් හෙයකින් සියලුම වාණිජ බැංකු විසින් රුපියල් 200.52 අනුපාතයට තමන්ගේ තැන්පතු වල වටිනාකමට සමාන ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉල්ලා සිටියොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණය ලබා දිය යුතුයි. ඒ වගේම, මහ බැංකුව විසින් මෙතෙක් නිකුත් කර තිබෙන සියලුම නෝට්ටු හා කාසි ඒවායේ අයිතිකරුවන් විසින් ආපසු මහ බැංකුවට භාර දී රුපියල් 200.52 අනුපාතයට ඇමරිකන් ඩොලර් ඉල්ලුවොත් මහ බැංකුව විසින් එම ඇමරිකන් ඩොලර් ප්‍රමාණයත් ලබා දිය යුතුයි. මේ පදනම මත සංචිත මුදල් වල සංරචක දෙකේ ව්‍යුහමය වෙනසක් නැහැ.

ඔය විදිහට රුපියලේ වටිනාකම විදිහට මහ බැංකුව විසින්ම දැනුම් දෙන වටිනාකම අනුව මහ බැංකුවේ බැරකම් සියල්ල පියවන්න ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි. එසේ නැත්නම් කියන්න වෙන්නේ මහ බැංකුව බංකොලොත් වී ඇති බවයි. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා, එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය ඉහළ යනවා, කියා කියන්නේ මහ බැංකුවේ බැරකම් වැඩි වෙනවා කියන එකයි. එවිට මහ බැංකුවට එක්කෝ එම අනුපාතයට විදේශ සංචිත වැඩි කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ ඇර ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙන්න අරින්න වෙනවා. දෙවන ක්‍රමයේදී වත්කම් ඇත්තටම වැඩි වෙන්නේ නැතත් වත්කම් වල රුපියල් අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මහ බැංකුව සතු ඇමරිකන් ඩොලර්, රන් වැනි වත්කම් වලට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා. 

දැන් අපි මුලින්ම බලන්න වෙන්නේ මාධ්‍ය වාර්තා වල දැකිය හැකි පරිදි මහ බැංකුව ඇත්තටම විශාල ලෙස සල්ලි අච්චු ගහනවද කියන එකයි. පහතින් තියෙන්නේ පසුගිය කාලය තුළ රුපියල් බිලියන වලින් මහ බැංකුවේ සංචිත ඉහළ ගිය ආකාරය.

2019 දෙසැම්බර් 31-  932.6

2020 දෙසැම්බර් 31-  964.4

2021 ජූලි 1 -            1,072.0

මේ අනුව, 2019 වසරේදී රුපියල් බිලියන 31.8ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 2020 පළමු මාස හය ඇතුළත රුපියල් බිලියන 107.6ක් අලුතින් සල්ලි අච්චු ගහලා තියෙනවා. 

ඔය රුපියල් බිලියන ගණන් අපි ගොඩක් අයට ඇඟට දැනෙන්නේ නැහැනේ. කොහොම වුනත් මේ ප්‍රමාණය එක පැත්තකින් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැකිය හැකි තරම් විශාල මුදලක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ ඉතිහාසය බැලුවහම අසාමාන්‍ය මුදල් සල්ලි අච්චු ගැහීමක් නෙමෙයි. ඔය වගේ ප්‍රමාණයකින් සංචිත මුදල් සැපයුම වැඩි වුනා කියලා ලංකාව සිම්බාබ්වේ වගේ වෙන්නේ නැහැ!

මේ කතාව ගොඩක් අයට පිළිගන්න අමාරු වෙන එකක් නැහැ. ලංකාවේ බඩු මිල ඉහළ යමින් තිබෙනවා තමයි. නමුත්, මෙය අසාමාන්‍ය ඉහළ යාමක් නොවන බව මැදහත්ව සිතන ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. ඔයිට වඩා වේගයෙන් ලංකාවේ බඩුමිල ඉහළ ගිය වකවානු ඕනෑ තරම් තිබුණා.

එහෙමනම්, මේ සල්ලි අච්චු ගහන කතාව කිසිම පදනමක් නැති කතාවක්ද?

මහ බැංකුව විසින් අලුතින් අච්චු ගහන සල්ලි එළියට දමන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ඩොලර් මිල දී ගැනීම. දෙවැන්න භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. හැබැයි ඒ වගේම මේකේ අනෙක් පැත්තත් වෙනවා. මහ බැංකුවේ සංචිත හෝ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී අච්චු ගහලා එළියට දමපු සල්ලි නැවත මහ බැංකුව ඇතුළට එනවා. සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ හේතුව නිසා කිසියම් මොහොතක සංචිත මුදල් ප්‍රමාණය දෙස බලා එය උද්ධමනයට හේතු වන බව කියන්න බැහැ. උද්ධමනය ඇති වන්නේ මුදල් සැපයුම එක දිගට යම් කාලයක් ඉහළ මට්ටමක තිබුණු විටයි. 

පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. බදු අඩු කර ආදායම් අහිමි කරගත් ආණ්ඩුව ඉතාම විශාල ලෙස පුළුල් වී තිබෙන අයවැය හිඟය පියවාගනිමින් සිටින්නේ මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්. එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැහීමෙන්. 

පසුගිය වසරේ (2020) ජනවාරි පළමුවෙනිදා වන විට මහ බැංකුව විසින් මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම (මුහුණත අගය) වුනේ රුපියල් බිලියන 74.7ක් පමණයි. 2021 ජූලි පළමුවෙනිදා වන විට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 919.2ක් වෙලා. දොළොස් ගුණයකට වඩා වැඩි වැඩි වීමක්!

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ අලුතින් සල්ලි සංසරණයට එකතු කරනවා කියන එකනේ. ඒක බොරුවක් නෙමෙයි. ගොඩක් අය සල්ලි අච්චු ගැහීම කියලා මේ දවස් වල කතා කරන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැන. එහෙමනම් මම කලින් විස්තර කළ පරිදි සංචිත මුදල් මේ අනුපාතයට වැඩි වෙලා නැත්තේ ඇයි?

මහ බැංකුව විසින් එක පැත්තකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කරන අතරම අනෙක් පැත්තෙන් විදේශ සංචිත විකුණනවා. විදේශ සංචිත මිල දී ගන්න අය රුපියල් වලින් ගෙවන නිසා සංසරණයේ තිබෙන සල්ලි නැවත මහ බැංකුවට එනවා. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් අලුතින් සල්ලි සංසරණයට එකතු කිරීමේ බලපෑම නිශේධනය වෙනවා. ලංකාවට තවමත් උද්ධමන තර්ජනයක් ඇති වී නැත්තේ ඒ නිසයි.

ඒ කියන්නේ මේ කියන ආර්ථික අර්බුද කතාව බොරුවක්ද?

මෙතැන තියෙන්නේ සල්ලි අච්චු ගැහීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා සල්ලි වල ගුණාත්මක භාවය අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේක පුළුවන් තරමින් පැහැදිලි කරන්නම්.

මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.

අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.

මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි. 

මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.

මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!

මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.

නිකමට වගේ කිවුවත් රටක මුදල් ඒකකය කඩා වැටෙන්න කලින් මහ බැංකුව විසිරුවා හරින එකත් විසඳුමක්. අපි හිතමු ඩොලරයක මිල රුපියල් 265.87ක් වෙන්න ඇරියා කියලා. මේ වෙද්දී පවතින තත්ත්වය යටතේ මහ බැංකුව බංකොලොත් ලෙස ප්‍රකාශයට පත් නොකරනවානම් ඊට මෙහායින් නවත්ත ගන්න කිසිම හැකියාවක් නැහැනේ. ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් මහ බැංකුවට පුළුවන් වාණිජ බැංකු වල තැන්පතු සියල්ල ඩොලර් වලින් ගෙවලා, මුළු රටේම තියෙන රුපියල් ටිකත් ඩොලර් වලට මාරු කරලා දෙන්න. ඊට පස්සේ රුපියලුත් නැහැ. මහ බැංකුවකුත් නැහැ. රටේ මිනිස්සු හැමෝම අතේ ඩොලර් තියෙනවා. මිනිස්සු ඩොලර් වලින් ගනුදෙනු කරනවා. රජය ඩොලර් වලින්ම බදු අය කරගෙන ණය ගෙවනවා. රාජ්‍ය ණය ප්‍රශ්නය ඒ විදිහටම තිබුණත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය එතැනින් ඉවරයි. උද්ධමන ප්‍රශ්නෙකුත් නැහැ. 

කතාවට කිවුවට ඔය වගේ දෙයක් වෙන්න ඉඩක් නැහැනේ. මහ බැංකුව විසුරුවා හරිනවා තියා ඩොලරයේ අගය වැඩි වෙන්න දෙන්න වුනත් රජය හෝ මහ බැංකුව කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමනම්, පවතින තත්ත්වය යහපත් අතට වෙනස් විය හැක්කේ කොහොමද? 

ඩොලරයේ අගය දැන් මට්ටමේම තියා ගනිමින් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයේ තියා ගන්නනම් නිල සංචිත ප්‍රමාණය අඩු වශයෙන් ඩොලර් බිලියනය 1.5කින් පමණවත් වැඩි කර ගන්න වෙනවා. අපි හිතමු රජය ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්තා කියලා. ඒ ඩොලර් ටික මහ බැංකුවට විකුණලා ලබා ගන්න මුදල් ටික නැවත මහ බැංකුවටම දීලා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 300ක පමණ ප්‍රමාණයක් ආපහු ගත්තොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම එලෙසම තියෙද්දී විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගිහින් නැවතත් මහ බැංකුව ද්‍රවශීල තත්ත්වයට පත් වෙනවා. 

ලංකාව ණය අරගෙන තියෙන හැටියට ඩොලර් බිලියන 1.5ක ණයක් කියන්නේ මහා ලොකු දෙයක් නොවුනත් මේ වෙද්දී ලංකාවේ රජයට ඒ ප්‍රමාණයේ ණයක් ගන්න එක වුනත් පහසු නැති බව අපිට පැහැදිලිව පේනවා. අනෙක් එක කලින් අරන් තියෙන ණය ගෙවන්නත් වෙනම ණය ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ජූලි 27 කල් පිරෙන ඩොලර් බිලියනයේ බැඳුම්කරය. ඒ නිසා, තත්ත්වය හිතන තරම් ශුභදායී නැහැ. ආණ්ඩුවට ඩොලර් බිලියනයක් හොයා ගන්න එක ලේසි නැති බව ආණ්ඩුවේ ප්‍රධානියෙක්ම කියල තිබුණනේ.

මගේ විශ්ලේෂණ නිවැරදි නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් අනෙක් පැත්තත් පොඩ්ඩක් කතා කරමු. ජූලි 27 බැඳුම්කරය ගෙවන්න ඩොලර් බිලියනයක් සංචිත වලින් ගත්තා කියා හිතමු. ඒ එක්කම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනට බහිනවා. සංචිත වලින් ඩොලර් ගත්තත් ඔය ඩොලර් ටික මිල දී ගන්න රජය රුපියල් හොයා ගන්නත් අවශ්‍යයිනේ. මේ වෙලාවේ හරි හමං බදු ආදායමකුත් නැති නිසා ඔය සල්ලි ටික හොයා ගන්න වෙන්නෙත් භාණ්ඩාගාර බිල්පත් විකුණලා. 

ඩොලර් බිලියනයක් මිල දී ගන්නනම් රුපියල් බිලියන 200ක භාණ්ඩාගාර බිල්පත් විකුණන්න වෙනවා. යන ක්‍රමේට ඔය භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් ආපහු මහ බැංකුවටම විකුණයි කියන එකත් නරක උපකල්පනයක් නෙමෙයිනේ. අපි ඔය රුපියල් බිලියන 200න් රුපියල් බිලියන 128 මහ බැංකුවට විකිණුවා කියා හිතමු. දැන් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,200 දක්වා ඉහළ යනවා. එම බැරකම් ආවරණය කරන්න තිබෙන විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට අඩු වෙලා. 

මේ වගේ තත්ත්වයක් යටතේ මහ බැංකුවට ද්‍රවශීල තත්ත්වයේ ඉන්න පුළුවන් වෙන්නේ ඩොලරයක මිල කීයට ගියොත්ද? රුපියල් බිලියන 1,200 බිලියන තුනෙන් බෙදා බලන්න!

ලංකාව දැන් පවතින තත්ත්වය යටතේ ආර්ථික අර්බුදය මුලින්ම හිස ඔසොවනු ඇත්තේ විදේශ අංශයේ අර්බුදයක් විදිහටයි. එහිදී මුලින්ම විය හැක්කේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාම. ඉහත කී ගණනය කිරීම අනුව බැලුවොත් ඩොලරයක මිල රුපියල් 400ක් දක්වා යන එක වුනත් වෙන්න බැරි දෙයක් නෙමෙයි. මම කියන්නේ එහෙම වෙනවාම කියන එක නෙමෙයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ආර්ථිකයේ සමතුලිතතාවය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. හොඳ අතට වගේම නරක අතටත්. කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ නරක අතට වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙන බවයි.

රුපියල් 400 නෙමෙයි රුපියල් 300 දක්වා ඩොලර් එක වැඩි වුනා කියමු. ඒ එක්කම රටේ බඩු මිලත් නොවැලැක්විය හැකි ලෙස විශාල ලෙස ඉහළ යනවා. රජයේ විදේශ ණය වල රුපියල් අගයත් ඉහළ ගිහින් රජයේ අයවැය පරතරය තවත් වැඩි වෙනවා. අයවැය පරතරය පියවන්න තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඊට පස්සේ විෂම චක්‍රයක සර්පිලාකාර ගමනක් මිසක් ගොඩයාමක් නැහැ.

මේ කිසිවක් මගේ ප්‍රාර්ථනාව නෙමෙයි. ඒ වගේම මට විතරක් තේරෙන දේවලුත් නෙමෙයි. මේවා තේරෙන අය ලංකාවේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමේ ඉන්නවා. ඒ අය, තත්ත්වය පාලනය කර ගන්න මොනවා හරි කරයි කියා මම හිතනවා. කොහොම වුනත් ඕක තමයි මම දකින විදිහට මේ වෙද්දී ලංකාවේ තත්ත්වය.

වෙබ් ලිපිනය: