වෙබ් ලිපිනය:

Thursday, November 3, 2022

ෆෙඩරල් සංචිත බැංකුව පොලී අනුපාත තවත් වැඩිකරයි!

ඊයේ පැවති ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටු රැස් වීමේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ ඉලක්ක පොලී අනුපාතික 3.75-4.00% දක්වා 0.75%කින් ඉහළ දමනු ලැබුවා. ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික මීට පෙර මෙවැනි ඉහළ මට්ටමක තිබුණේ වසර 15කට පෙරයි.

ඇමරිකාවේ උද්ධමනය මේ වන විටද ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. ඉන්පසු උද්ධමනයේ පසුබෑමක් දැකිය හැකි වුවත් තවමත් තිබෙන්නේ 8.2% මට්ටමේ. ලංකාවට සාපේක්ෂව මෙය විශාල අගයක් නොවුනත් වසර හතළිහක කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වන ඉහළම උද්ධමන අගයක්.

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම එරට ජාතික මුදල් ඒකකයේ වටිනාකම ස්ථායී ලෙස පවත්වා ගැනීමයි. ඉහළ උද්ධමනයක් යන්නෙන් අදහස් වන්නේ මුදල් ඒකකයේ වටිනාකම වේගයෙන් කඩා වැටීමක්. බොහෝ රටවල මහ බැංකු යම් නිශ්චිත මට්ටමක හෝ පරාසයක උද්ධමනය පවත්වා ගැනීමට ඉලක්ක කරනවා.

ඇමරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රකාශිත ඉලක්කය උද්ධමනය 2% ආසන්නව පවත්වා ගැනීමයි. මෙය කරන්නේ පොලී අනුපාත වෙනස් කිරීම හා එමගින් වක්‍ර ලෙස මුදල් සැපයුම පාලනය කිරීම මගිනුයි. 

ඉල්ලුම් පීඩන ඉහළ යාම නිසා 2008 වසරේ මැද වන විට ඇමරිකාවේ උද්ධමනය 5.6% මට්ටම දක්වා ඉහළ ගියා. ඒ වන විට, ඇමරිකාවේ ආර්ථිකය එහි ධාරිතාවය ඉක්මවා ක්‍රියාත්මක වෙමින් තිබුණා. 2004 වසරේ ඇමරිකාවේ ආර්ථික වර්ධනය 3.9%ක් වූ අතර 2005දීද 3.5% මට්ටමේ පැවතුණා. 2006දී යම් මන්දගාමී වීමක් සිදු වී 2.8% මට්ටමට වැටුණත් ආර්ථිකය තවදුරටත් එහි ධාරිතා මට්ටම ඉක්මවා ක්‍රියාත්මක වෙමින් තිබුණා.

මේ අගයයන් ඇමරිකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉක්මවන අගයයන්. මේ අනුව මේ කාලය තුළ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ආර්ථික වර්ධනය මන්දගාමී කිරීම සඳහා පොලී අනුපාතික 5.25% දක්වා ක්‍රමයෙන් ඉහළ දැම්මා. එහෙත්, එම වැඩි කිරීම ප්‍රමාණවත් නොවූ බව බොහෝ දෙනෙකුගේ අදහසයි. 2008දී ඇමරිකාව ආර්ථික අවපාතයකට මුහුණ දුන්නා. එහි බලපෑම ලෝකයටම දැනුනා.

ආර්ථික අවපාතය හමුවේ, 2008 දෙසැම්බරයේදී  ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික 0-0.25% මට්ටම දක්වාම පහත හෙළනු ලැබුවා. හරියටම වසර හතක් පොලී අනුපාතික එම මට්ටමේ පැවතුණා. අදාළ කාලය තුළ විශාල ලෙස විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීමට ලංකාවට ඉඩ සැලසුනේද ඇමරිකාවේ පැවති ශුන්‍යයට ආසන්න වූ මේ පොලී අනුපාතිකයි. ඇමරිකාවේ මුදල් රඳවා තැබීමෙන් ලැබෙන දෙයක් නැති වූ පසු බොහෝ ආයෝජකයින් අවදානම නොසලකා වැඩි පොලී ආදායමක් ලැබිය හැකි ආයෝජන සොයා ගියා. ඒ ආයෝජන ලංකාව වෙතද පැමිණියා.

මේ අයුරින්, ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ශුන්‍යයට ආසන්න මට්ටමක තබා ගත්තේ අදාළ කාලය තුළ ඇමරිකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය එහි ධාරිතා මට්ටමට පහළින් තිබීම හා උද්ධමනය ඉලක්ක මට්ටමට පහළින් තිබීම සලකමිනුයි. 2015 වසර තුළද ඇමරිකාවේ උද්ධමනය ශුන්‍ය මට්ටමට ආසන්නව තිබුණත් ආර්ථික වර්ධනය 2.7% මට්ටම දක්වා ඉහළ යාම හා ඉදිරි කාලයේදී උද්ධමනය ඉහළ යා හැකි බව පෙනෙන්නට තිබීම සලකා බලමින් 2015 දෙසැම්බරයේදී පොලී අනුපාතික වල සුළු වෙනසක් සිදු කෙරුණා. 

ඉන්පසුව, 2015-2018 කාලය තුළ ඉලක්ක පොලී අනුපාත 2.25-2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ දමනු ලැබුවත්, උද්ධමන තර්ජනයක් නොපෙනීම මත පදනම්ව නැවතත් 1.5-1.75% මට්ටම දක්වා පහත හෙළනු ලැබුවා. 

කෝවිඩ් වසංගතය පැමිණුනේ මෙසේ තිබියදී. වසංගතය ඇමරිකානු දොරකඩින් ඇතුළු වෙද්දී වහා රැස් වුනු ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නැවත වරක් 0-0.25% මට්ටම දක්වාම ක්ෂණිකව පහත හෙලුවා. ඇමරිකානු ෆෙඩරල් රජය විසින්ද ඇමරිකානුවන්ට සල්ලි බෙදා දීම ඇතුළු ඉතා ලිහිල් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා.

ලිහිල් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ඉල්ලුම් පීඩන ඇති වෙද්දී යුක්රේන යුද්ධය හේතුවෙන් සැපයුම් කම්පනයක්ද ඇති වුනා. මෙහි බලපෑම නිසා ඉන්ධන මිල ගණන් කිහිප ගුණයකින් ඉහළ ගොස් උද්ධමනය දශක හතරක් තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ගියා. 

මහ බැංකුවක් ප්‍රතිචාර දක්වන්නේ ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනයයි. සැපයුම් කම්පන වල බලපෑම සාමාන්‍යයෙන් ස්වභාවික ලෙසම ඉවත් වී යනවා. කෙසේ වුවත්, සැපයුම් කම්පනයක බලපෑම කාලයක් තිබුණොත් එය ඉල්ලුම කෙරෙහිද බලපෑමක් කරනවා. පවතින ඉහළ උද්ධමනය කොහොමටත් ක්‍රමයෙන් අඩු වී යනු ඇති වුවත්, පොලී අනුපාතික ඉහළ දැමීම මගින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව උත්සාහ කරන්නේ මේ ක්‍රියාවලිය වේගවත් කිරීමටයි.

ඇතැම් විවේචකයින්ගේ අදහස ඉහළ පොලී අනුපාත තවත් ආර්ථික අවපාතයකට හේතු විය හැකි බවයි. එය එසේ විය හැකි වුවත්, දැනට පවතින ඉහළ උද්ධමනය නොසලකා හැරිය හැකි එකක් නෙමෙයි. 

ෆෙඩරල් පොලී අනුපාතය අනුව යමින් ඇමරිකාවේ එක් අවුරුදු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය මේ වන විටද 4.75% මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත මෙවැනි ඉහළ මට්ටමකට යද්දී නිවාස ණය, වාහන ණය ඇතුළු ණය පොලී අනුපාත ඊටත් වඩා ඉහළ යනවා. එහි ප්‍රතිඵලය ණය ඉල්ලුම අඩු වීමයි. එමෙන්ම තැන්පතු ඉහළ යාමයි. ඒ හරහා මුදල් සැපයුම අඩු වී ඉල්ලුම් පීඩන පහළ ගොස් මිල මට්ටම් අඩු වීමයි. ඇමරිකාව තුළ මේ දේවල් වෙද්දී, ඉහළ පොලී අනුපාතික හේතුවෙන් ඇමරිකාව වෙත විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය වීමක්ද සිදු වෙනවා. ඒ හේතුවෙන් ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත් වීමට නියමිතයි. 

20 comments:

  1. ඔය වැඩේ ලංකාව කරද්දී අසාර්ථක වෙන්නත් ඇමරිකාව කරද්දී සාර්ථක වෙන්නත් හේතුව මොකක්ද ඉකොනෝ? ලංකාවේ මහා බැංකුවත් මේ තීරණය ගත්තනේ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි. "ඔය වැඩේ" කියන එකෙන් අදහස් කළේ කුමක්ද?

      Delete
    2. පොලී අනුපාත වැඩි කිරීම

      Delete
    3. පළමුව, ඇමරිකාවේ වුවත් උද්ධමනය තවමත් ඉහළ මට්ටමක තිබෙනවා. මුදල් ප්‍රතිපත්ති වල බලපෑම පෙනෙන්නට යම් කාලයක් ගත වෙනවා. පොලී අනුපාතික වැඩි කළ යුත්තේ උද්ධමනය එන්න කලින්, උද්ධමනය එන බව හඳුනා ගන්නා මොහොතේ. ගොඩක් කලින් මෙසේ හඳුනා ගැනීමට පුළුවන්කමක් නැහැ. හැකි තරම් කලින් පොලී අනුපාතික වැඩි කළත් උද්ධමනය පාලනය කරනු මිස වලක්වන්න බැහැ. ඒ වගේම උද්ධමනය පහත වැටෙන්නේ යම් කාලයක් තව දුරටත් ඉහළ යාමෙන් පසුවයි.

      දෙවනුව, මේ දේවල් ලංකාව හා අදාළවත් මේ අයුරින්ම වැඩ කරනවා. පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රතිඵල මේ වන විට පෙනෙන්නට තිබෙනවා.

      තෙවනුව, ලංකාව පොලී අනුපාතික ඉහළ දැම්මේ ඕනෑවට වඩා ප්‍රමාද වෙලා. අධිපති වෙනස් වන තුරු එය සිදු වුනේ නැහැ. කලින්ම මේ වැඩේ කළානම් කළින්ම උද්ධමනය ආපසු හැරෙනවා.

      Delete
  2. ඇමරිකාවෙන් ඩග්ලස් කියලා නැවක් එවලා තියෙන්නේ ඇයි econo ? අරගලකාරයෝනට නැවේ ඉදන් වෙඩි තියලා මරන්නද රනිල් හාමු මේ ලෑස්ති වෙන්නේ?

    .....

    ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක (ඇමරිකන් කෝස්ට් ගාඩ්) නෞකාව “ඩග්ලස් මුන්රෝ" දීර්ඝ ගමනකින් පසුව කොළඹ වරාය වෙත පැමිණි බව ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රකාශ කළේය. නාවිකයන් 270 ක් දෙනෙක් සේවය කරන මෙම යුධ නැවේ ප්‍රධාන තුවක්කුව මගින් කිලෝ මිටර් 850 ක් දුරට මිසයිල යැවිය හැක.

    පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේය. සියැටල් සිට කොළඹ වරායට ඇති දුර කිලෝමීටර් විසි දාහකට ආසන්නය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙහෙයුම් දියත් කරන ලද වැඩිම දුර මෙය බවද ජනාධිපතිතුමා කියා සිටියා.

    ඩීසන්, ඉලෙක්ටිර්ක් එන්ජිං වලින් ක්‍රියාත්මක වන මෙම නවුකාවේ න්‍යෂ්ඨික යුධ ශීර්ෂ දෙකක් සවිකළ හැකියි. එක් වරක් ඉන්ධන/ සැපයුම් ලබාගත් පසු එක දිගට ගැඹුරු මුහුදේ දින 72 ක් මෙම නැවට සේවය කල හැකියි.

    ReplyDelete
    Replies
    1. වසර 50ක් භාවිතයට ගැනීමෙන් පසු විශ්‍රාම ගන්වපු යාත්‍රාවක්නේ. දැන් තවත් කාලයක් එයින් වැඩක් ගැනෙනවා. ඒක හොඳයි.

      Delete
    2. 'වසර 50ක් භාවිතයට ගැනීමෙන් පසු විශ්‍රාම ගන්වපු යාත්‍රාවක්නේ. '

      අවුරුදු 50 ක් පරණ විශ්‍රාම ගන්නපු පරණ ලදරම් නැවක් අපේ ලංකාවේ හමුදාවට ඇමරිකාවෙන් දීලා තියෙන්නේ ඒක ගිලුනම අපේ නාවික මරන්නද?

      ඇමරිකාව අපිට වින කටින්න බලන් ඉන්නේ කියන එක ඇත්ත තමයි බලාගෙන ගියාම

      Delete
    3. නිරවද්‍යතාවය ගැන දන්නේ නැතත් ලංකාවේ දැනට තිබෙන වේගවත්ම යාත්‍රාව වගේ කතාවකුත් තැනක දැක්කා. ගොඩක් වෙලාවට සල්ලි දීලා ගන්නෙත් ඔය වගේ ඒවා තමයි.

      Delete
  3. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් යම් සීමාවක් යටතේ පාලනය කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නම් ඒ අය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු බව දැනුම්දී තිබේ. ඒ නුදුරේදීම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ සමගම ඩොලරයේ අගය නැවතත් ඉහල ගොස් සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ReplyDelete
    Replies
    1. වාර්තා වුනා කියා කිවුවට වාර්තා වුන ක්‍රමයක් නැහැනේ. නිකම්ම ඕපදූපයක් වෙන්නත් පුළුවන්.

      Delete
  4. 3.75 සිට 4.00 දක්වා 0.25 කින් ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙය ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික ගැන වැඩිපුර නොදන්නා අයෙකුට පැටලිලි සහගත විය හැකියි. ඉලක්ක ෆෙඩරල් පොලී අනුපාතික කියන්නේ පරාසයක්. ලංකාවේ දැනට තිබෙන 14.5-15.5% ප්‍රතිපත්ති පොලී අනුපාතික වගේ. මෙය 3.00-3.25% සිට 3.75-4.00% දක්වා 0.75%කින් වැඩි කළා.

      Delete
    2. ස්තුතියි පැහැදිලි කිරිමට

      Delete
  5. එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3%කින් ඉහළ නංවයි.

    එක්සත් රාජධානියේ උද්ධමනය 10.1% කින් ඉහළ යාමට සාපේක්ෂව එංගලන්ත බැංකුව ඊයේ (03) දිනයේ සිට සිය පොළී අනුපාතය 3%කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.


    මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාර ඇන්ඩෲ බේලි ප්‍රකාශ කර තිබුණේ ඉහළයන උද්ධමනය පහත හෙලීම බැංකුවේ කාර්යක් බවත්, බලහත්කාරයෙන් හෝ එය ඉටු නොකළොත් තත්වය වඩාත් නරක අතට පත්විය හකි බවත්ය.


    ආහාර හා ඉහළ බලශක්ති මිල ගණන් ආදිය හේතුවෙන් වර්ධනය වන උද්ධමනය 2024 වසරේ පළමු භාගය දක්වාම පැවැතිය හැකි බවට පුරෝකතන ඉදිරිපත් වන අතර, මේත් සමඟ දේශීය නිෂ්පාදිතයේ යම් පහත වැටීමක් හා දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීයාමක් අපේක්ෂා කෙරේ.


    පොලී අනුපාතය ඉහළ දැමීමට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම තියුනු ලෙස පහත වැටුණු අතර එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2% කින් හා යුරෝවට සාපේක්ෂව 1.2% කින් ද පහත වැටීමකි.

    ReplyDelete
    Replies
    1. "එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3%කින් ඉහළ නංවයි" කියන ප්‍රකාශය වැරදි එකක්. "එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3% දක්වා 0.75%කින් ඉහළ නංවයි" ලෙස නිවැරදි විය යුතුයි. ඇමරිකාව පොලී අනුපාත ඉහළ දැමූ විට එක්සත් රාජධානියේ තිබෙන ප්‍රාග්ධනය ඇමරිකාව වෙත විතැන් වෙනවා. එය වලක්වා ගැනීම සඳහා එංගලන්ත බැංකුවටත් අඩුම වශයෙන් ඒ හා සමාන වැඩි කිරීමක් කරන්න වෙනවා. ඊට අමතරව ඇමරිකාව මුහුණ දෙන උද්ධමන ප්‍රශ්නයට ඒ විදිහටම වගේ එක්සත් රාජධානියත් මුහුණ දී සිටින නිසා මෙවැන්නක් කරන්න වෙනවා.

      Delete
  6. අයවැයෙන් වාහන ආනයන තහනම අයින් කරයිද ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. තව ටික දවසයිනේ. ලිහන්න තියෙන මල්ල ඔබන්න හදිස්සි වෙන්නේ මොකටද? මගේ අදහසනම් එවැන්නක් වෙන එකක් නැහැ කියලා.

      Delete
  7. ඉකොනෝ,

    එලෝන් මසක් වගේ නමක් තියෙන මහත්තයෙක් ට්විටර් කොම්පැණිය සල්ලි වලට අරගෙන ඒකෙ වැඩ කරපු කට්ටිය ගොඩක් ගෙදර යවලා කියන්නේ ඇත්තද?

    එහෙම දාස් ගානක් එක පාර ගෙදර යවන්නේ කොහොමද ඇමරිකාවේ වෘත්තිය සමිති ඒකට එරෙහි වෙන්නෙ නැද්ද?නීතිය කොහොමද ක්‍රියාත්මක වන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්. වාර්තා වන විදිහට සේවකයින්ගෙන් 50%ක්ම ක්ෂණිකව මෙන් ඉවත් කර තිබෙනවා. ඇමරිකාවේ ලංකාවේ මෙන් එවැන්නක් වලක්වන නීතිමය බාධා නැහැ. සේවකයින් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකියි. හේතු දක්වන්න අවශ්‍ය නැහැ.

      Delete
    2. @ Ano 1.05 AM

      එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනප්‍රියතාව වේගයෙන් ගිලිහී යන විටදි ඩිමොක්‍රටික් ලිබරල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් කෙමෙන් කෙමෙන් පසුබසින අතරේ නැවත වතාවක් ඇමරිකානු ජාතික වාණිජවාදීන් බලවත් වන බව ඉලෝන් මස්ක් වැනි අයගේ බලවත් වීම හරහා පේනවා.

      මේ වගේම යුරෝපීය රටවල් වල ජනතාව විශාල වශයෙන් ජෝ බයිඩන්ගේ ඇමරිකානු ඇජෙන්ඩා එකක් නිසා යුරෝපයේ අනවශ්‍ය ලෙස යුද්ධය ආරම්භ කිරීමත් එහි consequences නිසා කන්න වෙන කට්ට ගැනත් දැඩි විරෝධය සහ විවේචන කරමින් කෝපයෙන් පසුවන අතර ඇමරිකානු ජනතාවත් බයිඩන්ගේ අසාර්ථක රාජ්‍ය පාලනය සහ මුග්ධ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තරහින් ඉන්නවා

      සුළුතරයක් වූ ලිබරල්වාදීන් හා ඇමරිකන් තෙල් සමාගම් හිමිකරුවන්, ආයුධ නිෂ්පාදනය කරන විශාල සමාගම් හිමිකරු ආදී ඩිමොක්‍රටික් පක්ෂයේ හිතවාදීන් සතුටු කිරීමට විශාල පිරිසක් කරදරයට පත් කිරීම නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඇමරිකානු වෙනත් ආයෝජකයන් සමාගම් හිමිකරුවන් සහ විශේෂයෙන් චීනයේ රුසිතාවේ විශාල වශයෙන් ආයෝජන කරපු ඇමරිකානු ව්‍යාපාර හිමි ව්‍යවසායකයන් මෙහිදී සැලකිය යුතු ලෙස පෙරමුණු ගෙන තියෙනවා.

      ට්වීටර් ගැන ලංකාවේ සමාජ ජාල වල නිතරම සැරි සරන කෙනෙක් විදියට ලබපු අත් දැකීම් ඔස්සේ මමත් කාලයක් කල්පනා කළා ලංකාවේ ට්විටර් ජනප්‍රිය නොවීමට හේතුව..

      ඒකට මම දකින ප්‍රධාන හේතුව තමයි ට්විටර් වල තිබුනු වර්ඩ් ලිමිට් එක. මොකද සාමාන්‍යයෙන් ලාංකීයයන් අතිශය ඉමෝෂනල් මිනිස්සු, සහ දෙයක් සරලව පැහැදිලි නොකළොත් නොතේරෙන මිනිස්සු. හැබැයි ට්විටර් එකේ ට්වීට් එකක් දාන්න අකුරු ගානක් තියෙනවා.

      සාමාන්‍යයෙන් පොදුවේ සමාජ ජාල වල සැරිසරන අදහස් දක්වන ලාංකීයයන් ඉමෝෂනලි සංතෘප්ත කරන්න ඒ අකුරු ගණන මදි..

      ඒ නිසා ලංකාවේ ට්විටර් හිට් වුනේ නැහැ. කෙසේ වෙතත් මේ අඩුපාඩුව ලෝකය පුරාම එහෙම තමයි. ට්විටර් අලුත් අයිතිකාරයා ඊලොන් ට්විටර් එකේ තියෙන මේ වර්ඩ් ලිමිට් එක අයින් කරන්න යනවා.

      ඒ කියන්නේ ට්විටර් එක හෑලි වලට ඕපන් ස්පේස් එකක් වෙනවා. ඒ සමගම ඇමරිකානු ව්‍යාපාර ලෝකය සත පහකට මායිම් නොකරන බුද්ධි අංශවල ගෝලීය දේශපාලනික බල ව්‍යාපෘති වල ප්‍රධානම ටූල් එක වන නමට සකර්බර්ගේ නමින් පවත්වාගෙන යන ඇප් බී එකට තදබල කොම්පෙටිටර් කෙනෙක් වෙනවා.

      ඔන්න ඔහොම ඇමරිකානු යුදමය හා දේශපාලනික ගේම් වල සැලසුම් කරුවන්ට එරෙහිව ඇමරිකානු ගෝලීය ආර්ථික අරමුණු සහිත බලවත් ව්‍යාපාර හිමි ව්‍යවසායයන් කර්මාන්ත කරුවන් විසින් ඉතා පුළුල් ලෙස ගේම ඉල්ලීමත් සමගම ලංකාවේ ද ඇප් බී ඇතුළු සමාජ ජාල වල බලය වේගයෙන් බිඳ වැටීම සමගම ඉස්සරහට ට්විටර් ඉන්න ලංකාවේ යූසර්ස්ලා ගාන සැලකිය යුතු ලෙස වැඩිවෙයි. ඊළඟට ට්විටර් වලින් ලංකාවේ ආර්ථික සමාජීය වගේම දේශපාලනික සංකල්ප වලටත් බලපෑම් එල්ල වේවි ඇමරිකන් ලිබරල් වාදීන්ට එරෙහිව. ඊළඟ කොටස තවත් රසවත් වේවි

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: