වෙබ් ලිපිනය:

Thursday, September 18, 2025

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?


වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට නැවත ඉඩ ලැබීමෙන් පසුව එක වර ඉහළ ගිය වාහන ඉල්ලුමේ ප්‍රතිඵලයක්. 

මේ තත්ත්වය දිගටම පවතින එකක් නැහැ. ඒ නිසා මේ ආදායම් වැඩි වීම දිහා බලාගෙන වියදම් වැඩි කරන එක කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි. වඩා සුදුසු වන්නේ ණය අඩු කරගන්න එකයි. එහෙත් ඉදිරි වසරේ මැද භාගය පමණ තෙක් මේ තත්ත්වය මේ විදිහට පවතින්න පුළුවන්. ඒ නිසා, කලින් සැලසුම් කළ වියදම් ඒ විදිහටම කරන්න බය වෙන්න දෙයක් නැහැ. 

වියදම් පැත්ත දිහා බලද්දී ප්‍රාග්ධන වියදම් වල විශාල අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. නමුත් පුනරාවර්තන වියදම් වලනම් කැපී පෙනෙන වෙනසක් සිදු වී නැහැ. 

කජු වෙනුවට කඩල ආදේශ කළා කියලා හෝ ජනාධිපති වරප්‍රසාද අඩු කළා කියලා පුනරාවර්තන වියදම් වල පෙනෙන අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වල තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක් පමණයි. 

පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමේ සෘජු වියදම්. අනෙක් වියදම් වලින් සැලකිය යුතු කොටසකුත් රාජ්‍ය සේවකයින් ප්‍රමාණයට සමානුපාතිකව වෙනස් වන වියදම්. රාජ්‍ය සේවකයින් ප්‍රමාණය වැඩි වෙද්දී ඔවුන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ප්‍රමාණය, කාර්යාල උපකරණ ප්‍රමාණය, ඉන්ධන වියදම්, විදුලි බිල් වගේ දේවලුත් ඉහළ යනවා. 

ලංකාවේ රාජ්‍ය සේවකයින්ගෙන් වැඩි කොටසක් ඉන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක ක්ෂේත්‍ර වල. ඒ නිසා, රාජ්‍ය සේවකයින් කප්පාදු කරනවා කියන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් කප්පාදු කරනවා කියන එකයි. ඒ කියන්නේ අදාළ සේවාවන් කප්පාදු කරනවා කියන එක. මෙහි ප්‍රායෝගික සීමාවන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධව. ඒ නිසා, පුනරාවර්තන වියදම් අඩු කරන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්. පසුගිය දෙවසර තුළ කපන්න පුළුවන් පුනරාවර්තන වියදම් බොහෝ දුරට කපා තිබීමත් ඊට හේතුවක්. 

පුනරාවර්තන වියදම් අඩු කරන්න අමාරු නිසා ප්‍රාග්ධන වියදම් අඩු කරලා කියන එක ඒ තරම්ම හොඳ පැහැදිලි කිරීමක් කියලා මම හිතන්නේ නැහැ. ප්‍රාග්ධන වියදම් අඩු වී තිබෙන්නේ හිතාමතාම ඒ වියදම් සීමා කර තිබෙන නිසා නෙමෙයි. 

රජයේ ප්‍රාග්ධන වියදම් සහ ආණ්ඩුකරණ දේශපාලනය අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ඔය ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් වැය වන්නේ කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් ආදී වශයෙන්. මේ හරහා රජයේ වියදම යම් පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. රැකියා යම් ප්‍රමාණයක් ජනනය වෙනවා. 

මෙවැනි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇතැමෙක් ප්‍රාදේශීය දේශපාලනයට පැමිණීම සහ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ ඇතැමුන් කොන්ත්‍රාත්කරුවන් වීම පසු ගිය කාලය තුළ නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මෙසේ වූ පමණින්ම මෙවැන්නක් අයථා මුදල් ඉපැයීමක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ විදිහට රජය එක්ක ගණුදෙනු කිරීම් සිදු වෙද්දී එමගින් අයථා මුදල් ඉපැයීමේ ඉඩකඩක්ද විවර වෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය නිලධාරීයෙකුට හෝ දේශපාලනඥයෙකුට තමන්ට අවශ්‍ය අයෙකුට අවස්ථාව ලබා දෙමින් අත යටින් වාසියක් ගැනීමේ ඉඩක් තිබීම. ඇත්තටම එවැන්නක් සිදු වුනත් නැතත්, එවැන්නක් සිදු වෙනවා කියන සැකය කෙනෙකුට පහසුවෙන්ම ඇති කළ හැකියි.

වත්මන් ආණ්ඩුවේ දේශපාලනය වූයේ මේ වගේ අයථා මුදල් ඉපැයීම් විශාල ලෙස සිදු වෙනවා කියන එක අවධාරණය කිරීමේ දේශපාලනයක්. එවැනි දේශපාලනයක් හරහා බලයට පැමිණීමෙන් පසුව රජයක් විසින් සාමාන්‍යයෙන් කරන මූල්‍ය ගනුදෙනු කරගෙන යාම තුළ වුවත් යම් කිසි ආකාරයක පිළිගැටුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉලක්ක මට්ටමට ප්‍රාග්ධන වියදම් කර ගත නොහැකි වීමට මෙයද හේතුවක්. 

මේ දවස් වල සමාජ මාධ්‍ය වල ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ද අනෙක් කණ්ඩායම් වගේම පෞද්ගලික වත්කම් එක්රැස් කර ගැනීමට නොපැකිළෙන පිරිසක් බව අවධාරණය කිරීමයි. මේ වැඩේ කරන්නේ ආණ්ඩුවට ප්‍රතිපක්ෂ කොටස්. නමුත්, එක පැත්තකින් බලද්දී, මේ වැඩෙන් ඇත්තටම වෙන්නේ ආණ්ඩුවට කරගන්න අවශ්‍ය, ආණ්ඩුවට වාසිදායක වැඩක්. 

ආණ්ඩුකරණ දේශපාලනයට ආවාට පස්සේ වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමටත් අවශ්‍ය වී තියෙන්නේ විපක්ෂ හැව ගලවා දමලා අලුත් වෙන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මණින් සාමාන්‍යකරණය වෙන්න. එක්තරා ආකාරයකින් දැන් වෙන්නේ ආණ්ඩුව විසින් විපක්ෂයේ උදවුවෙන් ඒ වැඩේ කරගන්න එක. 

ආණ්ඩුව ජනතාව අතර සාමාන්‍යකරණය වන තරමට ආණ්ඩුවට සාමාන්‍ය ලෙස හැසිරෙන්න පහසු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආණ්ඩුකරණ දේශපාලනය වඩා පහසු වෙනවා කියන එක. ඔය වැඩේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් කොටසත් ටිකෙන් ටික ඉහළ යයි. 

ප්‍රාග්ධන වියදම් කතාවම සැලකුවත්, මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය වැඩේ කරලා දීලා තියෙන්නේ විපක්ෂ දේශපාලනඥයෙක් විසිනුයි. ආණ්ඩුව මුල් වී ප්‍රාග්ධන වියදම් වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීම වාමාංශික අදහසක්. මේ ආණ්ඩුවට මේ හා අදාළව අභ්‍යන්තර දේශපාලනික ප්‍රතිරෝධයක් නැහැ. සාමාන්‍යයෙන් වාමාංශික ආණ්ඩුවකට දක්ෂිණාංශික ප්‍රතිවාදීන් එක්ක ගැටෙන්න වෙන්නේ වියදම් වැඩි කරද්දී. 

ප්‍රාග්ධන වියදම් ඉලක්ක පරිදි සිදු වී නැත්තේ ආණ්ඩුවට එම වියදම් අඩු කරන්න අවශ්‍ය නිසා නෙමෙයි. එක පැත්තකින් මේ ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරපු දේශපාලන සංස්කෘතිය එක්ක මේ වගේ වැඩ වලින් දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට වාසියක් ගන්න අමාරුයි. ඒ නිසා, ඔවුන්ගේ උනන්දුව අඩුයි. යම් අවාසියක් සිදුව තිබුණත් මේ දේශපාලන සංස්කෘතිය නරක එකක් නෙමෙයිනේ. නමුත් ප්‍රශ්නය එවැනි අනිසි වාසි නොගන්න කෙනෙකුට වුනත්, වැඩකට අත ගහද්දී අසාධාරණ චෝදනාවකට ලක් වෙන්න සිදු වීමේ අවදානම ගන්න වෙන එක.

මේ පසුබිම තුළ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් හා සම්බන්ධව හැදී තිබෙන ප්‍රතිරූපය බිඳ වැටෙන එකෙන් ආණ්ඩුවට යම් ආකාරයක වාසියක් තිබෙනවා. මොකද හොරකම්, කොමිස්, දූෂණ චෝදනා වලට බය කෙනෙකුට කිසිම වැඩකට අත ගහන්න බැහැ. ඒ නිසා, යම් සීමාවක් දක්වා, ඔය බය ඇරෙන එක හොඳයි. නමුත් බය ඇරුනට පස්සේ සීමාව පනින්න හිතෙන එකේ අවදානමත් තියෙනවා. ඔය කවුරුත් මිනිස්සුනේ. සීමාව පනින එක වලක්වා ගන්න සංවරණ හා තුලන ශක්තිමත් කරගන්න එකයි ආණ්ඩුවට කරන්න තියෙන්නේ.

කරුණක් ලෙස ගත්තොත් ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ආර්ථික වර්ධනය කෙරෙහි දායක වෙනවා. ඒ කියන්නේ මේ වියදම් සිදු නොවුනොත් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක බලපෑමක් කළ හැකියි කියන එක. 

ආණ්ඩුවක වියදම් කියන්නේ බදු වියදම් නිසා වියදම් අඩු වෙද්දී සාමාන්‍යයෙන් බදු ආදායම් ඉතිරි වීමක් වෙනවා. ඒ විදිහට ඉතිරි වන බදු ආදායම් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කරන නිසා ඉහත සඳහන් සෘණාත්මක බලපෑම බොහෝ විට නිශේධනය වෙනවා. නමුත් ලංකාව අයවැය හිඟයක් තිබෙන රටක් නිසා ප්‍රාග්ධන වියදම් අඩු වුනා කියලා ඊට සමානව බදු ආදායම් ඉතිරි වීමක් වෙන්නේ නැහැ.

අයවැය හිඟයක් තවමත් තිබුණත්, මේ වෙද්දී ලංකාවේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සීමා වෙද්දී රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඊට සමානව පෞද්ගලික අංශයේ ණය ගැනීමේ හැකියාව ඉහළ යනවා. 

පෞද්ගලික අංශය ණය ගන්නේ ආයෝජනය සඳහා පමණක් නෙමෙයි. මේ ණය වලින් කොටසක් පරිභෝජන ණය. නමුත් 76%ක් පමණම ආයෝජන ණය. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන වියදම් රුපියල් 100කින් අඩු වෙද්දී, පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් රුපියල් 76කින් ඉහළ යනවා. 

සාමාන්‍ය මූලධර්මයක් විදිහට පෞද්ගලික අංශයේ ආයෝජන වඩා කාර්යක්ෂමයි. ඒ නිසා, අනිවාර්යතාවක් නොවුනත්, රාජ්‍ය අංශයේ රුපියල් 100ක ආයෝජන වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වය පෞද්ගලික අංශයේ රුපියල් 76ක ආයෝජන වලින් ලැබෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා. මේ හේතුව නිසා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සිදු නොවීම නිසා ආර්ථික වර්ධනය අඩුවෙයි කියන එක විශාල පදනමක් තිබෙන තර්කයක් නෙමෙයි. 

කොහොම වුනත් මේ වෙලාවේ වාමාංශික ආණ්ඩුවකට ඔවුන්ට සාපේක්ෂව දක්ෂිණාංශික විපක්ෂයකින් වියදම් වැඩි නොකිරීම ගැන චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ චෝදනාවට සම්බන්ධයක් ඇතිව හෝ නැතිව ආණ්ඩුව විසින් වසරේ ඉදිරි කාලය තුළ ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ උත්සාහයක් පෙනෙන්න තිබෙනවා. අපේක්ෂා කළ හැකි පරිදිම, ප්‍රවාහන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් ලැබී තිබෙන බව පේනවා. 

රජයේ අරමුදල් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩියෙන් වෙන් කිරීම පිළිබඳව පෞද්ගලිකව මට දේශපාලනික ප්‍රතිවිරෝධයක් නැහැ. නමුත් රටේ ආර්ථික වර්ධනය ගැන හිතනවානම් මේ දෙකෙන් එකක්වත් හොඳ ආයෝජන නෙමෙයි. ඊට හේතුව දැනට රටේ තිබෙන මානව සම්පත් වලින් හෝ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ ගත හැකි ආර්ථිකයක් නැති රටක මානව සම්පත් තවත් වර්ධනය වුනා කියලා පෞද්ගලිකව මිසක් රටේ මට්ටමෙන් කෙටිකාලීනව ලොකු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකි වීම. පෞද්ගලික මට්ටමෙන් බැලුවොත්නම් වඩා වැඩි පිරිසකට රටෙන් පිටතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය කුසලතා හදාගන්න මෙය උදවුවක් වෙයි. 

ප්‍රවාහන අංශය තුළ ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් මීට සාපේක්ෂව ඉක්මන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වගේම මේ වෙලාවේ එහෙම කරන එකේ සාධාරණත්වයකුත් තිබෙනවා. 

ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු වෙනවා කියන්නේ රටේ තිබෙන මොනවා හෝ සම්පත් ඒවා වඩාත්ම අවශ්‍ය තැන් වලට කාර්යක්ෂමව, ඒ කියන්නේ අඩු කාලයකින් හා අඩු වියදමකින්, චලනය කිරීමට ඉඩක් ලැබෙනවා කියන එක. සම්පත් කියන එකට මානව සම්පත්, නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවසන් නිෂ්පාදන යන සියල්ලම ඇතුළත්. අඩු වශයෙන් වත්මන් ලංකාවේ සන්දර්භය තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කරන එක පෞද්ගලික අංශයෙන් සිදු නොවන නිසා මේ වැඩේ කරන්න වෙන්නේ රජයටයි. 

රාජපක්ෂ දශකය තුළ වුවත්, ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කරපු එකෙන් ආර්ථික වර්ධනයට සෑහෙන තල්ලුවක් ලැබුණා. සිදු වුනු වැරැද්ද ණය ගොඩ ගසා ගනිමින් ඒ වැඩේ කරපු එකයි. රාජ්‍ය අයවැය තුලනය සහ විදේශ අංශයේ තුලනය තියාගෙන, කළ හැකි සීමාව තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කළ හැකිනම් එහි ප්‍රතිඵල ආර්ථික වර්ධන වේගය තුළ නොපෙනෙන්න හේතුවක් නැහැ.

මේ වෙලාවේ රාජ්‍ය ආදායම් වැඩි වීමට ප්‍රධානම හේතුවක් වන්නේ වාහන ආනයන මත අය කරන බදු. මේ බදු පහසුවෙන්ම විවේචනය කළ හැකි වුනත්, වාහනයක් රටට ගෙන්වනවා කියන්නේ තමන්ගේ සල්ලි වලින් ඩොලර් මිල දී ගෙන තමන්ට අවශ්‍ය වාහනය ගෙන්වා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි. මොකද මේ වාහන ගෙන්වන්නේ තමන්ගේ වත්තේ තියාගෙන හවසට වාඩි වෙලා තේ බොන්න නෙමෙයි. ගමන් යන්න. ඒ යන්නේ පොදු පාරවල් වල මිසක් තමන්ට අයිති පාරවල් වල නෙමෙයි.

රටේ කවුරු හෝ කෙනෙක් අලුතෙන් වාහනයක් පාරට දමන හැම වෙලාවකම කලින් වාහන වල ගමන් කළ හැම දෙනෙක්ටමත් ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න සිදු වෙනවා. කලින් තමන්ගේ ගෙදරට යන පාරේ තිබුනේ වාහන හතරක් පමණක්නම් පාර බෙදෙන්නේ ඒ වාහන අයිතිකරුවන් හතර දෙනා අතර පමණයි. තව වාහනයක් පාරට එකතු වෙනවා කියන්නේ ඒ හතර දෙනාගේම පංගුව ටික ටික අඩු වෙනවා කියන එකයි. ඒ නිසා, අලුත් වාහනයක් ගේන කොට එයින් බද්දක් අය කරන එකේ වැරැද්දක් නැහැ. ඒ වගේම, ඒ විදිහට අය කරන බදු මුදල් මාර්ග සංවර්ධනය වෙනුවෙන් යෙදවීම මගින් අනෙක් වාහනහිමියන්ට හා මගීන්ට සිදු වන පාඩුව නිශේධනය කරන එකයි රාජ්‍ය මැදිහත්වීම මගින් සිදු විය යුත්තේ. 

පොදු ප්‍රවාහනය දියුණු කරද්දී වුනත් මේ වැඩේ වෙනවා. වැඩි දෙනෙක් පොදු ප්‍රවාහනය තෝරා ගනිද්දී පෞද්ගලික වාහන වල යන වාහනහිමියන්ගේ පාරේ පංගුවත් ඉහළ යන නිසා ගෙවපු බද්ද වෙනුවෙන් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු වෙනවා. අවසාන වශයෙන් ආර්ථික වර්ධනය හරහා පොදුවේ රටටත් වාසියක් වෙනවා. 

1 comment:

  1. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව හොරකම් දුෂණය වංචා සිදුකරන පිරිසක් ලෙස හදුන්වා දී තිබීම පිළිබඳව ඉකොනෝමැට්ටා මහතාට බරපතර විරෝධය දක්වා සිටිමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: