ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.
කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?
සාමාන්‍යයෙන් මෙයින් අදහස් වෙන්නේ අදාළ මුදල් ඒකකය නිකුත් කරන රටින් පිටතද එම මුදල් වර්ගයට සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා කියන එකයි. දුර්වල මුදල් ඒකකයකට එවැනි ඉල්ලුමක් තිබෙන්නේ එම මුදල් ඒකකය නිකුත් කරන රට ඇතුළේ පමණයි.
කිසියම් මුදල් ඒකකයක් ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙයින් අදහස් වන්නේ එම මුදල් ඒකකය සඳහා වන ඉල්ලුම සාපේක්ෂව ඉහළ යනවා කියන එකයි. මෙහිදී සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. ඒ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමට සාපේක්ෂව සහ වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂවයි.
ඕනෑම මුදල් ඒකකයකට එය නිකුත් කරන රට තුළ, භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව යම් හෝ ඉල්ලුමක් තිබෙනවා. එවැනි ඉල්ලුමක් නැති මට්ටමට මුදල් ඒකකයක් දුර්වල වුවහොත් ඒ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්ව යනවා. මුදල් ඒකකයක ශක්තිය මූලික වශයෙන්ම තීරණය කරන්නේ මෙම දේශීය ඉල්ලුමයි. අවසාන වශයෙන්, වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව මනින මුදලක බාහිර ඉල්ලුම තීරණය කරන්නේද මුලින් මේ අයුරින් රට තුළ මුදලක ශක්තිය ඉහළ යාමයි.
මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් පමණයි. ඒ හැර, මුදල් වලට එහිම වූ නෛසර්ගික වටිනාකමක් නැහැ. නමුත් භාණ්ඩ හා සේවා වලට නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. කිසියම් මුදල් ඒකකයක ශක්තිය වන්නේ එම මුදල් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා වල වටිනාකම නිසා ලැබෙන ශක්තියයි.
ආදායම් ඉපදවීම කියා කියන්නේ, අවසාන වශයෙන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඇතැම් අය එසේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරනවා. තවත් සමහර අය තමන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. එසේ කරන්නේ වෙනත් අයගෙන් ණයට ගැනීම මගින්. මුදල් භාවිතයක් නැත්නම්, මෙසේ ඉතිරි කරන හා ණයට ගන්නා භාණ්ඩ හා සේවා අතර තුලනයක් තිබිය යුතුයි.
මුදල් භාවිතය තුළ, පරිභෝජනය කර ඉතිරි කරන්නන් විසින් තමන් සතු අතිරික්තය මුදල් බවට පරිවර්තනය කරනවා. එසේ කරන්නේ එම මුදල් වලටද භාණ්ඩ හා සේවා වලට මෙන් වටිනාකමක් ඇතැයි විශ්වාස කරමිනුයි. මේ විශ්වාසය වැඩි වන තරමට කිසියම් මුදලක් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් එම මුදල ශක්තිමත් වෙනවා.
අනෙක් අතට, ණය ගන්නා අය කරන්නේ තමන් සතුව "නැති මුදල්" භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කිරීමයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස් නොවේනම්, රටක සියල්ලන්ටම ලබා ගත හැකි සමස්ත ණය ප්‍රමාණය සහ රටේ සියල්ලන්ගේම සමස්ත ඉතිරි කිරීම් ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම්, ණය ඉල්ලුම සහ ණය සැපයුම තුලනය වන්නේ නැහැ.
යම් හෙයකින් ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩිනම්, ඉතිරි කරන්නන්ට හෙට්ටු කර වැඩි පොලියක් ඉල්ලා සිටිය හැකි නිසා, පොලී අනුපාතික ඉහළ යනවා. ඒ විදිහටම, ණය ඉල්ලුම ණය සැපයුමට වඩා අඩුනම්, පොලී අනුපාතික පහළ යනවා.
ලංකාවේ සමාජය කාලයක් තිස්සේම තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කරන්න හුරු වී සිටින සමාජයක්. ණය ගන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් අඩුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ණය ඉල්ලුම සහ සැපයුම තුලනය වීම සඳහා පොලී අනුපාතික සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතිය යුතු වීමයි.
චීනයේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 43.4%ක්. දකුණු කොරියාවේ 34.0%ක්. සිංගප්පූරුවේ 57.9%ක්. දැන් දේශීය ඉතිරි කිරීම් අනුපාතය පහත වැටී තිබුණත්, 1970දී ජපානයේ ඉතිරි කිරීම් අනුපාතය 43.3%ක්. මේ රටවල් වේගයෙන් දියුණු වුණේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගෙන කාලයක් එසේ පවත්වා ගැනීම මගිනුයි.
එහෙත් ලංකාවේ ඉතිරි කිරීම් අනුපාතය 24.3%ක් පමණයි. රටක ඉතිරි කිරීම් අනුපාතය අඩුනම්, ඒ හා ගැලපෙන පරිදි ස්වභාවික ලෙසම පොලී අනුපාතික ඉහළ යනවා. ආයෝජන සීමා වෙනවා. ඒ මගින්, විභව දළ දේශීය නිෂ්පාදිතයද සීමා වෙනවා.
රටක මහ බැංකුවට මැදිහත් වී පොලී අනුපාතික පහත දමන්න පුළුවන්. එහි අරමුණ වන්නේ ආයෝජන දිරිමත් කර ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. එහෙත් පොලී අනුපාතික ඒ අයුරින් පහත දමද්දී ණය ඉල්ලුම රටේ ඉතිරි කිරීම් ඉක්මවා ඉහළ යනවා. පොලී අනුපාතික අඩු මට්ටමක තියාගන්නනම් මේ අඩුව පිරවෙන පරිදි මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයක් ඇති වෙනවා.
ඇමරිකාවේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 17.1%ක් පමණයි. මෙය ඉතා අඩු මට්ටමක්. එහෙත් ඇමරිකාවේ පොලී අනුපාතික ලංකාවේ තරම් ඉහළ නැහැ. ඊට හේතුව විදේශිකයින්ගේ ඉතිරි කිරීම්ද ඇමරිකාවට පැමිණීමයි. ශක්තිමත් මුදල් ඒකක තිබෙන රටවලට මේ වාසිය තිබෙනවා. ඒ නිසා, එවැනි රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගන්නවා. නමුත් මෙවැනි විශේෂ වාසියක් නැති ලංකාව වැනි රටක් උද්ධමනය 5% වැනි වඩා ඉහළ මට්ටමක තබා ගැනීමට ඉලක්ක කළද, පොලී අනුපාතික ඇමරිකාවේ මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඉහළ පොලී අනුපාතික ආයෝජන සීමා කර එමගින් ආර්ථික වර්ධනයද සීමා කරනවා. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් මේ අහියෝගය ජයගෙන කෙටිකාලයක් තුළ වේගයෙන් දියුණු වුනේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තබා ගැනීම මගිනුයි.
විදේශ ණය ගැනීමත් මේ ප්‍රශ්නයට පිළියමක් වුවත්, එහිදී සිදු වන්නේ අනාගතය උගසට තබා පරිභෝජනය වැඩි කර ගැනීමක්. ඇමරිකාව විසින් විදේශිකයින්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමේදී සහ ලංකාව විසින් විදේශ ණය ගැනීමේදී සිදු වන්නේ එකම දෙයක් නෙමෙයි. පොලී අනුපාතික අඩු වීම, ආයෝජන ඉහළ යාම සහ එමගින් ආර්ථික වර්ධනය ඉහළ යාම හා අදාළව වෙනසක් නැති වුනත්, ඇමරිකාව ණය ගන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයෙන්. ඒ නිසා, ඇමරිකාවට මුදල් සැපයුම වැඩි කර පහසුවෙන්ම එම ණය ආපසු ගෙවන්න පුළුවන්.
ලංකාවේ රුපියල ඇමරිකන් ඩොලරය මෙන් ශක්තිමත් මුදල් ඒකකයක් නොවන නිසා ලංකාවට ණය ගන්න වෙන්නේ වෙනත් රටක මුදල් ඒකකයකින්. ඒ මගින් පොලී අනුපාතික අඩු කරගෙන, ආයෝජන ඉහළ දමා, ආර්ථික වර්ධන වේගයද වැඩි කර ගත හැකි නමුත් මේ සියල්ල තාවකාලිකයි. ණය ආපසු ගෙවන්න සිදු වූ විට ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවෙනවා. ඒ නිසා, විදේශ ණය වල උදවුවෙන් පොලී අනුපාතික අඩු කරගෙන එමගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරගැනීම ලංකාව වැනි රටකට තිරසාර ක්රමෝපායක් නෙමෙයි.
වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව කිසියම් මුදල් ඒකකයක ශක්තිය තීරණය වන්නේ මුදල් ඒකකයක බාහිර ඉල්ලුම මතයි. ශ්‍රී ලංකා රුපියලේ බාහිර ඉල්ලුම ඉහළ යන්නේ රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා බාහිර ඉල්ලුම ඉහළ යන තරමටයි. එම ඉල්ලුම ඉහළ යන තරමට රුපියල ශක්තිමත් වෙනවා. එහෙත්, රට තුළ ආනයන ඉල්ලුම වැඩි වන තරමට රුපියල දුර්වල වෙනවා.
ලංකාවෙන් පිටත ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ලංකාව තුළ ආනයන ඉල්ලුම වැඩියි. මෙවැනි වෙනසක් ඇති විට එය තුලනය වන්නේ රුපියලේ බාහිර අගය අඩු වීම හරහායි. ඩොලරයක රුපියල් මිල නිරන්තරයෙන් ඉහළ යාම මගින් මෙය පිළිබිඹු වෙනවා. ආනයන ඉල්ලුම වැඩි වෙද්දී, ඊට අනුරූපව රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ නොයන්නේනම්, විදේශ විණිමය ඉපැයීම් හා සමාන මට්ටමක් දක්වා ආනයන ඉල්ලුම අඩු වන තෙක් ඩොලරයක මිල ඉහළ යා යුතුයි.
රටේ මුදල් සැපයුම ඉහළ යද්දී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙන්ම ආනයන ඉල්ලුමද ඉහළ යනවා. මෙහිදී දේශීය භාණ්ඩ හා සේවා සැපයුම ඊට අනුරූපව ඉහළ නොයාමේ ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ වල මිල ඉහළ යන නමුත් ආනයන වලට එවැනි සැපයුම් සීමාවක් නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ආනයන වඩා ලාබ වී ආනයන ඉල්ලුම තවත් වැඩි වීමයි.
මේ ආකාරයෙන් රටේ මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වී, ආනයන ඉල්ලුමද වැඩි වී, ඩොලර් ඉල්ලුම ඉහළ ගිය විට අවසාන වශයෙන් ඩොලරයක මිලද ඉහළ යනවා. එමගින් ආනයන ඉල්ලුම නැවත පෙර පැවති මට්ටම දක්වා අඩු වෙනවා.
මෙහිදී රුපියල දුර්වල වන්නේ ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවේදී නෙමෙයි. මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන විට රුපියල දුර්වල වී අවසානයි. ඊට අනුරූප ලෙස ඩොලරයක මිලද ඉහළ නොගියහොත් සිදු වන්නේ දිගින් දිගටම ආනයන ඉහළ ගොස් රුපියල තව තවත් දුර්වල වීමයි. ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් එසේ රුපියල දිගින් දිගටම තව තවත් දුර්වල වීම වැළකෙනවා.
මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන වී රුපියල දුර්වල වීමෙන් පසුව ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීමයි. එහෙත් මෙසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගැනීමට හෝ සීමා කිරීමටනම් මුලින්ම සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබිය යුතුයි.
විදේශ සංචිත රැස් කරද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම අඩු වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. ඒ හරහා රුපියල දුර්වල වී ඩොලරය ශක්තිමත් වන බවක් පෙනෙනවා. නමුත් සංචිත ඉහළ යාම නිසා අනාගතයේදී රුපියල දුර්වල නොවී ශක්තිමත්ව තබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා, දිගුකාලීනව බලද්දී ඇත්තටම මෙහිදී සිදු වන්නේ රුපියල ශක්තිමත් වීමක් මිසක් දුර්වල වීමක් නෙමෙයි.
ලංකාව දැන් ඉන්නේ දිගුකාලීනව රුපියල ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත එක්රැස් කරගත යුතුයි. මෙය කරන ආකාරය පිළිබඳ සැලසුමක් තිබෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරතුරේ ඩොලරයක මිලද ඉහළ යන්නේනම් එමගින් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමක් සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමාවීමක්. ඩොලර් ඉල්ලුම අඩු වීමක්. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක්.
සංචිත විකුනමින් හෝ විදේශ ණය ගනිමින් ඩොලරයක මිල පහතින් තියාගනිද්දී ඇත්තටම සිදු වන්නේ කිහිප ආකාරයකින්ම රුපියල දුර්වල වීමයි. එක පැත්තකින් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් රටින් යනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අනාගතයේ ණය ආපසු ගෙවීමේ අවදානම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගත හැකි සංචිත නොමැති වීමේ අවදානම ඉහළ යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ රුපියල දුර්වල වීමයි.
සාරාංශයක් ලෙස, රුපියල ශක්තිමත් වීම කියා කියන්නේ ඩොලරයක මිල අඩු වීම නෙමෙයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීමයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීම නිසා ඩොලරයක මිල අඩු වේනම් එය හොඳ තත්ත්වයක්. ඩොලරයක මිල වැඩි වන අතර විදේශ අංශය ශක්තිමත් වේනම් එයද හොඳ තත්ත්වයක්. ඒ වගේම, රටේ විදේශ අංශය දුර්වල කරමින්, විදේශ ණය ගැනීම හා සංචිත විකිණීම මගින් ඩොලරයක මිල පහතින් තියා ගනිද්දී ඇත්තටම සිදු වන්නේ රුපියල දුර්වල වීමක් මිසක් ශක්තිමත් වීමක් නෙමෙයි.
ඉකොනොමැට්ටා වැනි ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳව මෙලෝ මල හත්ඉලව්වක් නොදැන බහුබූත ලියන ජෝකර්ලාට ආර්ථික සංකල්ප පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
ReplyDeleteඉකොනොමැට්ටා සහ මෙම බ්ලොගය බලන ආර්ථික විද්‍යාව පිළිබඳව උනන්දුව දක්වන අය වෙනුවෙන් මම සරලව මෙහෙම පැහැදිලි කරන්නම්.
ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති ඉකොනොමැට්ටා වැනි අය මුදල් ඒකකයක "අගය" සහ "ශක්තිමත්භාවය" පටලවා ගනිමින් ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත මෙන්ම හාස්‍යජනකයි.
ඔවුන් පවසන පරිදි ඩොලරයේ මිල ඉහළ යද්දී විදේශ අංශය ශක්තිමත් වන්නේ නම් එය හොඳ තත්ත්වයක් යන්න කිසිසේත්ම පිළිගත නොහැකි මිථ්‍යාවකි. මක්නිසාද යත්, මුදල් ඒකකයක අගය (Value) යනු රටේ සමස්ත ආර්ථික ශක්තිය මනින ප්‍රධානතම උෂ්ණත්වමානය වන බැවිනි.
මේ මූලික සංකල්ප මුලින්ම තේරුම්ගත යුතුයි
1. රුපියලේ අගය සහ ආර්ථික ශක්තිය අතර සෘජු සබඳතාව
ආර්ථික විද්‍යාත්මකව, රුපියල ශක්තිමත් වීම යනු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ ගැනුම් බලය (Purchasing Power) ඉහළ යාමයි. ඩොලරයක මිල ඉහළ යමින් විදේශ අංශය ශක්තිමත් විය නොහැක; මක්නිසාද යත් රුපියල අවප්‍රමාණය වීම යනු ආනයන පිරිවැය ඉහළ යාම, උද්ධමනය පාලනයෙන් බැහැර වීම සහ ජනතාවගේ සැබෑ ආදායම දිය වී යාමයි. මුදල් ඒකකය බිඳවැටෙද්දී ආර්ථිකය ශක්තිමත් යැයි පැවසීම, රෝගියා මිය යද්දී ශල්‍යකර්මය සාර්ථක යැයි පැවසීම වැනි මුලාවකි.
උදාහරණයක් ලෙස: රටක නිෂ්පාදන ධාරිතාව සහ යටිතල පහසුකම් වර්ධනය වන විට, විදේශ ආයෝජන ගලා එන අතර රුපියලට ඇති ඉල්ලුම ඉහළ යයි. එවිට රුපියල ශක්තිමත් වීම (ඩොලරයේ මිල අඩු වීම) නිරායාසයෙන්ම සිදු වේ. මෙය ව්‍යාජ ලෙස ඩොලර් පාලනය කිරීමක් නොව, ආර්ථිකයේ 'සැබෑ වර්ධනයේ' ප්රතිඵලයකි.
2. පහුගිය දශක කිහිපය තුල 2005 - 2015 යුගයේ සාර්ථක: ප්‍රායෝගික ආර්ථික කළමනාකරණය
ශ්‍රී ලංකා ඉතිහාසයේ සාර්ථකම ආර්ථික කළමනාකරණය දැකගත හැකි වූයේ 2005 සිට 2015 දක්වා කාලය තුළය. එම යුගයේදී රට ලබාගත් ජයග්‍රහණ හුදෙක් ඉලක්කම් නොව, ගෝලීය මට්ටමින් පිළිගත් සැබෑ වර්ධනයකි.
එකල එම දැවැන්ත ආර්ථික වර්ධනයට හේතුව එම දශකය තුළ ශ්‍රී ලංකාව වසරකට 8.5% ඉක්මවූ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වීමයි. මෙය ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස ලංකාව ඔසවා තැබීමට සමත් විය.
යටිතල පහසුකම් සහ ආයෝජන: අධිවේගී මාර්ග, වරාය සහ ගුවන් තොටුපළ වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරමින් රටේ නිෂ්පාදන ධාරිතාව (Productive Capacity) ඉහළ නංවන ලදී. මෙහි විශේෂත්වය වන්නේ, එම ණය ලබාගත්තේ ආදායම් උත්පාදනය කළ හැකි වත්කම් (Assets) ගොඩනැගීමට වීමයි.
මූල්‍ය විනය සහ ශ්‍රේණිගත කිරීම්: Fitch, Moody’s සහ S&P වැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන සියල්ලම ශ්‍රී ලංකාව BB+ වැනි ස්ථාවර මට්ටමකට ඔසවා තැබීය. එයින් තහවුරු වූයේ රටේ ණය ගෙවීමේ හැකියාව සහ ආර්ථික ස්ථායීතාවය ඉතා ඉහළ මට්ටමක පැවති බවයි.
සංචිත සහ රුපියල: පොදුවේ ඩොලර් බිලියන 8.5 ඉක්මවූ සහ ඇතැම්විට ඩොලර් බිලියන 9.1 පවා ඉක්මවූ ඉහළම විදේශ විනිමය සංචිතයක් පවත්වා ගනිමින් රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීමට එකල ආර්ථික කළමණාකරණය සමත් විය. රුපියල ස්ථාවරව පැවතියේ ණය ගෙන සංචිත විකිණීමෙන් නොව, රට තුළට ගලා ආ සෘජු විදේශ ආයෝජන සහ වර්ධනය වූ අපනයන ආදායම නිසායි.
ණය කළමනාකරණය: දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ණය ප්‍රතිශතය ක්‍රමානුකූලව සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමට එම යුගයේදී හැකි විය.
මෙබඳු මෝඩ පදනමක් නැති ව්‍යාකූල ව්‍යාජ මනස්ගාත වන
මුදල් ඒකකය දුර්වල වීම (ඩොලරයේ මිල ඉහළ යාම) හොඳ තත්ත්වයක් යැයි පවසන මෝඩ තර්ක ඉදිරිපත් කරන්නේ, දැනට පවතින අසාර්ථක අධික බදු බර පනවන IMF ණය කොන්දේසි යටතේ ඇතිවී තිබෙන අර්බුදය සහ වර්තමාන ආර්ථික අසාර්ථකත්වය වසා ගැනීමට උත්සාහ කරන පිරිස් බව පෙනේ.
සැබෑ ආර්ථික විද්‍යාව තුළ ශක්තිමත් මුදල් ඒකකයක් යනු ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක සහ දූරදර්ශී මූල්‍ය කළමනාකරණයක අනිවාර්ය ප්රතිඵලයයි. 2005-2015 යුගය අපට උගන්වන්නේ, නිසි ලෙස යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන විට සහ නිෂ්පාදනය ඉහළ නංවන විට රුපියල ශක්තිමත් වීමත්, සංචිත වර්ධනය වීමත් නිරායාසයෙන්ම සිදුවන බවයි.
ඉකොනෝ,
ReplyDeleteහරි දැන් ඉකොනෝ අපි හැමෝම ප්‍රශ්නේ දන්නවනේ. මේකට විසදුම මොකක්ද?
ආනයනය ආදේශක භාණ්ඩ නිපදවීමද? මට කෙටි උත්තරයක් දෙන්නකෝ. ශ්‍රී ලංකාව මොකක්ද කරන්න ඕනි කියලා.
"අපි" කියන එකෙන් අදහස් කරන්නේ කවුද?
Delete'අපි" කියන එකෙන් අදහස් කරන්නේ කවුද?'
Deleteරටේ මිනිස්සු. ප්‍රශ්නේ ඕක කියලා ආර්ථිකේ දන්නා අය කියන නිසා අපි දන්නවා ඕක තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් මොකක්ද විසඳුම.
1. පරිභෝජනය සීමා කර තමන්ගේ ආදායමෙන් හැකි තරම් වැඩි කොටසක් ඉතිරි කිරීම.
Delete2. එම ඉතිරි කිරීම් සඳහා ලැබෙන ප්රතිලාභ වලට වඩා වැඩි ප්රතිලාභ ගත හැකි භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිතයක් ගැන අදහසක් තමන්ට තිබේනම් ඒ වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීම.
3. රජයට සහ මහ බැංකුවට නිවැරදි මාර්ගයේ යාම සඳහා සහයෝගය දීම සහ බලපෑම් කිරීම (මේ වෙලාවේ රජය විසින් කළ යුත්තේ වියදම් පාලනය කිරීම මගින් රුපියල් එකතු කර ගැනීම සහ ණය අඩු කර ගැනීමයි. මහ බැංකුව විසින් කළ යුත්තේ විදේශ සංචිත වැඩි කර ගැනීමයි. ඔය දෙක යම් මට්ටමකට පැමිණි විට කළ යුතු වෙනත් දේ තිබුණත් ඊට කලින් ඔය දේවල් සිදු විය යුතුයි. රජය සහ මහ බැංකුව විසින් දැනට කරමින් සිටින්නේත් ඔය වැඩේ තමයි. ඒ වැඩේ තවත් වසර කිහිපයක් කරන්නයි තියෙන්නේ)
ඉකොනො,
Deleteමම අදහස් කරේ ශ්‍රී ලංකාව මොකක්ද කරන්න ඕනී දේ. භාණ්ඩ නිපදවීමද, කෘෂි කර්මාන්තයද?
ආනයන ආදේශක භාණ්ඩ නිපදවීමද. වෙන දෙයක්ද
මොකක්ද කරන්න ඕනී
ශ්‍රී ලංකාව කියන්නේ රටේ නමනේ. ශ්‍රී ලංකාව කළ යුතු දේ කියා කියන දේවල් හිස් වචන පමණයි. මොනවා හෝ කළ හැක්කේ තනි පුද්ගලයින්ට, සමාගම් වලට, රජයට හෝ මහ බැංකුව වැනි ආයතන වලට. ඒ වගේම නිපදවිය යුතු මොනවාද කියලා මට හෝ වෙනත් කෙනෙකුට නිශ්චිතව කියන්න බැහැ. වැඩේ කරන පුද්ගලයාට හෝ ආයතනයට ලාබයක් තිබෙන දෙයක් තමයි කරන්න පුළුවන්. එය කුමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. මෙය ඔබේ ප්රශ්නය මග හැර යාමක් කියා හිතෙනවානම්, මගේ අදහස අනුව කෘෂි කර්මාන්තයේ ලොකු විභවයක් නැහැ. ලංකාවේ ජනගහණය එක්ක බලද්දී ඉඩම් ප්‍රමාණය සීමිතයි.ලංකාවේ ශ්‍රමය ලාබ නැති නිසාත්, ලොකු ප්‍රාග්ධනයක් රටේ නැති නිසාත් භාණ්ඩ නිෂ්පාදනය වුනත් අමාරුයි. ලංකාවේ වැඩිපුර තිබෙන්නේ මානව ප්රාග්ධනය. ඒ වගේම ලංකාවේ මිනිස්සු ඇඟ මහන්සි කරන්න හොරයි. නමුත් ආගන්තුක සත්කාරය ඇඟේම තිබෙනවා. ඒ නිසා සේවා පැත්තෙන් තමයි වැඩි විභවයක් තියෙන්නේ. මෙහිදී ඉලක්ක කරන්න අවශ්‍ය වන්නේ කලාපය. ලෝකය කලාප විදිහට බෙදෙමිනුයි තියෙන්නේ. ඕනෑම දෙකට අගය එකතු කිරීම් කරන්න පුළුවන්. වැඩියෙන් දේවල් හදනවාට වැඩිය දැනටම හදන දේවල් වලට වැඩියෙන් අගය එකතු කරන එකයි උත්සාහ කර බැලිය යුත්තේ. දැන් පොල් හා අදාළව පසුගිය වසර වල ඒ වැඩේ යම් තරමකින් වෙලා තියෙනවනේ. ඒ වගේ.
Deleteඉකොනොමැට්ටා මෙතන පවසන "පරිභෝජනය සීමා කර ඉතිරි කිරීම සහ රජය වියදම් පාලනය කළ යුතුය" යන තර්කය ආර්ථික විද්‍යාවට අනුව "අරපිරිමැස්මේ විරුද්ධාභාසය" (Paradox of Thrift) ලෙස හඳුන්වන බරපතල වරදකි. මෙහි ඇති විද්‍යාත්මක වැරදි කිහිපයක් පෙන්වා දිය හැකියි
Deleteරටේ සමස්ත ඉල්ලුම බිඳවැටීම
මෙහෙම ජනතාව පරිභෝජනය සීමා කරන විට වෙළඳපොළේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම පහත වැටේ. ඉල්ලුම අඩු වන විට ව්‍යාපාරිකයන් නිෂ්පාදනය නතර කරන අතර, එමගින් රැකියා අහිමි වීම් සිදු වේ. මෙය ආර්ථිකය අවපාතයකට (Recession) ඇද දමන විෂම චක්රයකි. කේන්සියානු ආර්ථික විද්‍යාව (Keynesian Economics) අනුව, ආර්ථිකයක් මන්දගාමී වන විට කළ යුත්තේ වියදම් පාලනය කිරීම නොව, රජය මැදිහත් වී වියදම් ඉහළ නංවා ඉල්ලුම උත්තේජනය කිරීමයි.
සංකෝචන මූල්‍ය ප්‍රතිපත්තියේ ආදීනව
මේ කියන විදියට රජය වියදම් පාලනය කරමින් රුපියල් එකතු කිරීම (Fiscal Contraction) මගින් සිදුවන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය හිරවීමයි. රජයේ වියදම් යනු තවත් අයෙකුගේ ආදායමයි. රජය වියදම් කපන විට ජනතාවගේ ආදායම් මාර්ග ඇහිරී යන අතර, එවිට බදු ආදායම ද අඩු වේ. මෙය ණය බර තවදුරටත් ඉහළ යාමට හේතු වේ.
සංචිත සහ නිෂ්පාදනය
ලංකාවේ මහ බැංකුව කළ යුත්තේ සංචිත රැස් කිරීම පමණක් යැයි පැවසීම අසම්පූර්ණ ප්‍රකාශයකි. සැබෑ සංචිත වර්ධනය විය යුත්තේ නිෂ්පාදන අපනයනය මගිනි. ණය ගනිමින් හෝ ජනතාවගේ පටි තද කරමින් සංචිත පිරවීමෙන් "සැබෑ ආර්ථික ස්ථායීතාවයක්" ඇති නොවේ. එවැනි තත්ත්වයකදී රුපියල ශක්තිමත් වීම ව්‍යාජ (Artificial) එකක් වන අතර, එය ඕනෑම මොහොතක පුපුරා යා හැකියි.
නිදසුනක් ලෙස මීට දශකයකට පමණ පෙර ලංකාවේ රජය අධිවේගී මාර්ග ඉදිකිරීමට බිලියන ගණනින් වියදම් කළේය. එය "වියදම් පාලනය" කිරීමේ න්‍යායට විරුද්ධය. නමුත් එම වියදම නිසා සිමෙන්ති, වැලි, යකඩ සහ කම්කරු ශ්රමයට ඉල්ලුමක් ඇති වූ අතර දහස් ගණනකට රැකියා ලැබුණි. අවසානයේ එම මාර්ගය නිසා ප්‍රවාහන පිරිවැය අඩු වී සමස්ත ආර්ථිකයේම කාර්යක්ෂමතාවය (Efficiency) ඉහළ ගියේය. ඒ වගේම රජයේ ආදායම් ද අධිවේගී මාර්ග වලින් ඉහළ ගිය අතර රටේ ප්‍රවාහන කාර්යක්ෂමතාව අදාල ප්‍රදේශවල සැලකිය යුතු ලෙස ඉහළ ගියා
මේ කියන විදියට රජය එදා වියදම් පාලනය කළා නම් අදටත් අපට පරණ පාරවල්වල පැය ගණන් රස්තියාදු වන, ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 සීමාවේ පවතින දුප්පත් රටක් විදියට ඉන්න තිබූණා, ඉකොනොමැට්ටලාගේ ස්වාමිවරුන්ට ඕනේත් ඒකනේ
සරලවම පරිභෝජනය සීමා කිරීමෙන් හෝ රජයේ වියදම් කැපීමෙන් රටවල් දියුණු කළ නොහැකියි. එයින් සිදුවන්නේ ආර්ථිකය හැකිලීම පමණි. දියුණු රටවල් අනුගමනය කරන්නේ "සංවර්ධන මූල්‍යකරණය" (Developmental Finance) මිස "අරපිරිමැස්මේ මිථ්‍යාව" නොවේ.
ලෝක ආර්ථිකය අපට ලබා දෙන ප්‍රායෝගික පාඩම වන්නේ රජය නිර්භීතව ප්‍රාග්ධන ආයෝජන සිදු කරන විට ආර්ථිකය ප්‍රසාරණය වී ණය ගෙවීමේ ශක්තිය ඉබේම ගොඩනැගෙන බවයි.
ඉකොනෝ,
Deleteහරි උත්තරයක් නැහැනේ.
AnonymousJanuary 9, 2026 at 3:02 AM මම හිතන්නේ මම පිළිතුරු දී තිබෙන්නේ ඔබේ ප්‍රශ්නයට නොවෙන්න පුළුවන්. ඔබ "හරි දැන් ඉකොනෝ අපි හැමෝම ප්‍රශ්නේ දන්නවනේ." කියා කිවුවත් ඔබ ප්රශ්නය ඉදිරිපත් කළේ නැහැනේ. මම පිළිතුරු දුන්නේ ප්රශ්නය උපකල්පනය කරලා. ඒ ප්‍රශ්නයට මීට වඩා දෙන්න උත්තරයක් නැහැ. ඔබට පෙනෙන ප්රශ්නය කුමක්ද?
Delete@ ඉකොනොමැට්ටා
Deleteඔබ මෙතන පවසන පරස්පරතාව ප්‍රාග්ධන සම්ප්රයෝගය සහ ණය තිරසාරභාවය පිළිබඳව මට ඇති ගැටලුව වෙන්නේ 2005-2015 දශකයේ අනුගමනය කළ 'රාජ්‍ය මූලික යටිතල පහසුකම් ප්‍රසාරණ' (State-led Infrastructure Expansion) ආකෘතිය තුළ, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය (Debt-to-GDP) 91% සිට 71% දක්වා අඩු වුණේ කොහොමද?
මට තේරෙන විදියට මෙහිදී ක්‍රියාත්මක වූයේ 'Denominator Effect' (එනම් ණයට වඩා වේගයෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම) ද? එසේ නම්, වර්තමාන 'Austerity' (අරපිරිමැස්ම) ප්‍රතිපත්ති මගින් GDP හැකිලීම හරහා ණය ප්‍රතිශතය තවදුරටත් ඉහළ යාමේ අවදානම ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද?
ඊළඟට ඔබ මෙතන පවසන අරපිරිමැස්මේ විරුද්ධාභාසය (Paradox of Thrift) සහ අවපාත කළමනාකරණය
"කේන්සියානු ආර්ථික විද්‍යාවට අනුව, ආර්ථිකයක් අවපාතයක පවතින විට පෞද්ගලික ඉතිරිකිරීම් දිරිමත් කිරීම සමස්ත ඉල්ලුම (Aggregate Demand) බිඳවැටීමට හේතු වනවා නේද?
වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය තුළ පාරිභෝජනය සීමා කිරීමට උපදෙස් දීම, 'මාරාන්තික අවපාත චක්‍රයක්' (Deflationary Spiral) නිර්මාණය කිරීමට සමත් වෙනවා නේ. මෙය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යුහාත්මක වර්ධනයට (Structural Growth) බලපාන ආකාරය කෙබඳුද?
මෙතෙන්දි කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන ශ්‍රිතය (Production Function)
"සොලෝ (Solow) වර්ධන ආකෘතියේ 'Total Factor Productivity' (TFP) සංකල්පය අනුව, ආර්ථික වර්ධනය යනු හුදෙක් ශ්‍රමය සහ ප්රාග්ධනය මත නොව තාක්ෂණික දියුණුව මත තීරණය වන්නක් බවයි මගේ හැඟීම. ලෝකයේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ තාක්ෂණික කාර්යක්ෂමතාව නිසා මිස දත්තමය GDP වර්ධනය නිසා නොවේ නම්, ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රතිපත්ති මගින් තාක්ෂණික නවෝත්පාදනවලට (Technological Innovation) වඩා මූල්‍ය සංකෝචනයට මුල්තැන දීම 'ආර්ථික පසුගාමීත්වයට' (Economic Atrophy) තුඩු දෙන බව ඔබට එකඟ වන්නට සිදුවනවා නේද?
විනිමය අනුපාතිකය සහ සැබෑ ගැනුම් බලය (Real Purchasing Power)
"සාපේක්ෂ ගැනුම් බල සමානතා න්‍යාය (Relative PPP) අනුව, මුදල් ඒකකයක අගය තීරණය විය යුත්තේ රටේ නිෂ්පාදන ධාරිතාව මතයි. රජය විසින් ණය ගැනීම් හෝ ආනයන සීමා කිරීම් හරහා රුපියල කෘතිමව ස්ථාවරව තබා ගැනීම (Managed Float/Crawl), සැබෑ නිෂ්පාදන ආර්ථිකය (Real Economy) හඳුනා ගැනීමට බාධාවක් නොවේද?
එමෙන්ම 2005-2015 යුගයේදී මෙන් නොව, වර්තමානයේ නිෂ්පාදනය අඩාල කරමින් රුපියල රැක ගැනීමට උත්සාහ කිරීම ආර්ථික විද්‍යාත්මකව යුක්ති සහගත කළ හැක්කේ කෙසේද?
තව දෙයක් ප්‍රතිපත්තිමය පරස්පරතාව සහ ක්රෝඩින්-අවුට් ආචරණය (Crowding-out Effect) ගැන මගේ අවබෝධයේ හැටියට "රජය වියදම් පාලනය කරන අතරතුර මහ බැංකුව විදේශ සංචිත රැස් කිරීමට උත්සාහ කිරීමේදී, වෙළඳපොළේ පවතින ද්‍රවශීලතාවය (Liquidity) අඩුවීම නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩාල විය යුතුයි. මෙය IS-LM ආකෘතිය ඇසුරින් විග්රහ කරන විට, දැනට පවතින ප්‍රතිපත්ති මාලාව මගින් ආර්ථිකය 'ද්‍රවශීලතා උගුලකට' (Liquidity Trap) ඇද දමා තිබේද?
මෙය 2005-2015 යුගයේ පැවති ප්‍රසාරණීය මූල්‍ය ප්‍රතිපත්තියට සාපේක්ෂව සසඳන්න පුළුවන්ද? වෙනමම පෝස්ට් එකක් දාන්න මේ ගැන අපි සාකච්ඡා කරමු.
//දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය (Debt-to-GDP) 91% සිට 71% දක්වා අඩු වුණේ කොහොමද?//
Deleteමුදල් සැපයුම වැඩි වෙද්දී මිල මට්ටම වැඩි වෙලා නාමික දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. 2004-2014 කාලයේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වැඩි වුනේ 86%කින් පමණක් වුනත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 395.6%කින් ඉහළ ගියා. ඩොලරයක මිල පහළින් තියාගත් නිසා විදේශ ණය වල රුපියල් අගය අඩුවෙන් පෙනුනා. ඔය අනුපාතය හදන්නේ නාමික දේශීය නිෂ්පාදිතය මත පදනම්ව. මුදල් සැපයුම වැඩි කරලා නාමික දේශීය නිෂ්පාදිතය වැඩි කළ විට අනුපාතය පහළ යනවා. නමුත් විනිමය අනුපාතය හැමදාම හිරකරගෙන ඉන්න බැරි නිසා යම් කාලයකට පසුව අනුපාතය ඉහළ යන එක වලක්වන්න බැහැ. ඒක වෙන්නේ විදේශ අංශයේ අර්බුදයකුත් එක්ක. 2019-2022 දීත් ඔය වැඩේම කරන්න ගිහින් ආර්ථිකය කඩා වැටුණේ ඒ නිසා.
//මට තේරෙන විදියට මෙහිදී ක්‍රියාත්මක වූයේ 'Denominator Effect' (එනම් ණයට වඩා වේගයෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම) ද?//
මුදල් සැපයුම වැඩි වීම නිසා ඩොලරයක මිලට වඩා කිහිප ගුණයක වේගයකින් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම. නමුත් ඒ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගෙන යන්න බැරි නිසා ණය ගන්න බැරි වූ විට ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යනවා. 2022දී එය සිදු වුනා.