වෙබ් ලිපිනය:

Tuesday, August 3, 2021

ඇමරිකාවේ ගුරු වැටුප්


ගුරු වැටුප් ඉහළ නොදැමීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා. එහෙත්, ගුරු අරගලය දිගටම සිදු වන බව පේනවා. ගුරු වැටුප් ඉහළ දැමිය යුතුද නැද්ද යන්න පිළිබඳව මා සෘජු අදහසක් ඉදිරිපත් කරන්නේ නැහැ. එය මට කළ හැකි දෙයක්ද නොවෙයි. මෙවැන්නක් කිව හැක්කේ කවර හෝ පදනමක් මතයි. තෝරා ගන්නා පදනම වෙනස් වෙද්දී නිගමනයද වෙනස් වෙනවා.

ගුරුවරුන් කියා කියන්නේ සුවිශේෂී සේවයක් කරන පිරිසක් නෙමෙයි. ආරක්ෂක හමුදා සාමාජිකයින්, වෛද්‍යවරුන් වගේම ගුරුවරුන් කියා කියන්නේත් තවත් එක් රැකියාවක් කරන පිරිසක්. රැකියාවක් කිරීමේ ප්‍රධාන අරමුණ ඒ වෙනුවෙන් ලැබෙන වැටුප්, අනෙකුත් වරප්‍රසාද හා මානසික තෘප්තියයි. මෙය ඕනෑම රැකියාවකට පොදුයි. මානසික තෘප්තිය රැකියා කරන සියල්ලන්ටම නොලැබෙනවා විය හැකියි.

ඕනෑම රැකියාවක් කරන අයෙකු විසින් සමාජයට යම් සේවයක් සලසනවාය යන අර්ථයෙන් ගුරුවරුන් විසින්ද සමාජයට සේවයක් සලසනවා. එම සේවය කොයි තරම් වටිනවාද යන්න නිර්ණය කළ යුත්තේ සේවය ලබන අය විසිනුයි. වෙළඳපොළ ක්‍රමයක් තුළ කිසියම් සේවයක් සපයන අයෙකුට එම සේවයේ නියම වටිනාකම ලැබෙනවා. සේවය ලබා ගන්නා අයට ඒ වෙනුවෙන් නියම මිල ගෙවන්න සිදු වෙනවා. 

ලංකාවේ ගුරු වැටුප් තීරණය වන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. ඒ වෙනුවට සේවය සපයන්නන් හා සේවය ලබන්නන් අතර අතරමැදියෙකු ලෙස රජය කටයුතු කරනවා. ගුරුවරුන් විසින් සපයන සේවයේ වටිනාකම තීරණය කරන්නේ රජය විසිනුයි. මේ අවස්ථාවේදී ගුරුවරු විසින් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් සිටිනවා.

රජයේ තීරණය අභියෝගයට ලක් කළත් ගුරුවරුන්ද තමන්ගේ සේවයේ වටිනාකම නිර්ණය කිරීමේ අර්බුදයක සිරව සිටින බව පෙනෙනවා. වෙළඳපොළක් නැති පසුබිමක ඔවුන්ට එය නිර්ණය කළ හැකි නිරපේක්ෂ ක්‍රමයක් නැහැ. ඒ නිසා, බොහෝ දෙනෙකු තමන්ගේ වැටුප් රජයේ වෙනත් රැකියා කරන්නන්ගේ වැටුප් සමඟත්, වෙනත් රටවල ගුරු වැටුප් සමඟත් සංසන්දනය කරමින් සිටිනවා. එවැනි එක් සංසන්දනයක ඇමරිකාවේ ගුරු වැටුප් ගැනද සඳහන්ව තිබුණා.

ඇමරිකාවේ ගුරු වැටුප් මධ්‍යගත ලෙස නිර්ණය වන්නේ නැහැ. එය සිදු වන්නේ වෙළඳපොල සාධක මතයි. කිසියම් ගුරුවරයෙකුට ඉල්ලුම වැඩි වෙද්දී ඔහුගේ හෝ ඇයගේ වැටුප්ද ඉහළ යනවා. ගුරුවරයෙකු සඳහා ඉල්ලුම වැඩි වන්නේ ඔහු හෝ ඈ විසින් සපයන සේවය පිළිබඳ සේවය ලබන්නන්ගේ ඇගයුම් ඉහළ යන තරමටයි.

ඇමරිකාවේ ගුරුවරයෙකු පසුගිය 2020 වසරේදී ඉපැයූ මධ්‍යන්‍ය වැටුප් පහත දැක්වෙනවා. 


පෙර පාසැල් ගුරුවරු - වසරකට ඩොලර් 31,930

බාලාංශ ශ්‍රේණියෙහි උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 57,860

ප්‍රාථමික ශ්‍රේණි වල (1-5) උගන්වන ගුරුවරු - වසරකට ඩොලර් 60,940

කනිෂ්ඨ ද්වීතියික (6-8) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 60,810

ජ්‍යෙෂ්ඨ ද්වීතියික (9-12) ශ්‍රේණි වල උගන්වන ගුරුවරු- වසරකට ඩොලර් 62,870

ගුරු සහායකවරු - වසරකට ඩොලර් 28,900

විදුහල්පතිවරු - වසරකට ඩොලර් 98,490


මේ ගණන් රුපියල් වලට හැරවූ විට විශාල ගණන්. ඒ නිසා, ඇමරිකාවේ ගුරු වැටුප් පිළිබඳව විමර්ශනය කිරීමේදී පහත කරුණුද සැලකිල්ලට ගත යුතුයි.


ඇමරිකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම - වසරකට ඩොලර් 78,500

ඇමරිකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  වසරකට ඩොලර් 26,500 (සිවු දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා)


ලංකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම (2016)- මසකට රුපියල් 43,511 

ලංකාවේ දරිද්‍රතා ආදායම් සීමාව -  මසකට රුපියල් 5,312


14 comments:

  1. ගුරුකම උතුම් සේවාවකි දෙකක් නැත
    ඔවුනුත් සමාජයෙ කොටසකි පිළිගත්ත
    ජීවන සටනකය දැන් පුරවැසි රොත්ත
    පාලකයන්ට දිස්විය යුතු ඒ ඇත්ත

    මහබඹු මුවෙන් ආවද දෙස්පලු හැත්ත
    බෙදා ගනිති උන්ටම, ඒකය ඇත්ත
    එනමුදු නොකරතිය උහු, උන් කළ යුත්ත
    පටි තද කරගනිව්! පළමුව තොපි රොත්ත

    මැදහත් සිතින් දකිමින් ඇත්තම ඇත්ත
    සේවයෙ නියුතු දනහට දී දිය යුත්ත
    සාධාරණය ඉටු නොකළොත් මේ රොත්ත
    එළවන හැඩයි, නොතකා ඒ මේ පැත්ත

    ReplyDelete
  2. ඇමරිකාවේ ගුරුවරු හිගාකනවා කියලද මේ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ. ලන්කාව අමෙරිකාවෙ ගුරුවරුන්ගෙ ආදායම් එක්ක සන්සන්දය කරල බැලුවම රුපියල් 30000 විතර වගෙ තමයි ප්ඩිය වෙන්න ඕන. ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ලන්කාවෙ අනිත් රාජ්‍ය නිලදාරින්න්ගෙ විශේශයෙන් ඩොස්තරලගෙ පඩි ඉතා වැඩියි. ඒක නිසා අසාදාරන පරතරයක් හැදිල තියෙන්නෙ

      Delete
    2. දොස්තර කෙනෙක් $ 206 000.00 මද්‍යන වැටුපක් ගන්නවලු, ඒ කියන්නෙ A/L ගුරුවරයෙක් වගේ 3 ගුණයකට වඩා වැඩියි. ලංකාවේ මේ අගය හතර පස් ගුණයක්.

      ඉකොනො රජයේ/නොමිලේ උගන්වන පාසලක ගුරුවරයෙක්ගේ වැටුප වෙළඳපොල ක්‍රමයට හැදෙන්නේ කොහොමද?

      Delete
    3. දොස්තරල ගුරුවරුවගෙ 10 ගුනයක්විතර වැටුප් ගන්නව ලන්කාවෙ. පඩි ගන්න්වට වඩා හරිවචනෙ තමයි සාමූහිකව හොරකන් කරනව. පර්මිට් එකෙන් වෙනම හොරකන් කරනව.
      අමතක කරන්න එපා අනිත් රටවල ආදායම් වැඩි උනාම 40% විතර බදු ගහනව. ලන්කාවෙ දොස්තරල බදු ගෙවන්නෙත් නෑ.

      Delete
    4. AnonymousAugust 4, 2021 at 12:20 AM,
      AnonymousAugust 4, 2021 at 2:12 AM,
      AnonymousAugust 4, 2021 at 4:27 AM,

      මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉකොනෝගෙන් මිසක් එක එක වටපඩයෝන්ගෙන් නෙමෙයි.-AnonymousAugust 3, 2021 at 11:52 PM ඇනෝ)

      Delete
    5. නැහැ. සාමාන්‍ය වශයෙන් ගුරු වැටුප ඩොලර් 60,000ක් පමණ බව කිව හැකියි. මෙය ඩොලර් 30,000-100,000 වැනි පරාසයක විචලනය වෙනවා. වසරකට ඩොලර් 60,000ක් කියා කියන්නේ විශාල වැටුපක් නෙමෙයි. ඇතැම් වත්පොත් පළ කිරීම් වල ඇති පරිදි ගුරුවරුන් කියන්නේ රටේ ඉහළම වැටුප් ලබන පිරිසක් නෙමෙයි. එසේ විය යුතු හේතුවක්ද නැහැ. ඒ වගේම උපාධිධාරී මට්ටමේ වෙනත් රැකියා වලට සාපේක්ෂව ගුරු වැටුප් තරමක් අඩුයි. එහෙත් මේ වැටුප් මට්ටම නරක මට්ටමක්ද නෙමෙයි. වසරකට ඩොලර් 60,000ක් උපයන අයෙක් කිසිසේත්ම හිඟා කන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් ලෙස ගෙදර ගුරු ජෝඩුවක් ගෙදර සිටිනවානම් ඔවුන්ගේ පවුලේ වාර්ෂික ආදායම ඩොලර් 120,000ක් පමණ විය හැකියි. ඇමරිකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම වසරකට ඩොලර් 78,500 බව සැලකූ විට මෙය හොඳ මට්ටමක්. වසරකට ඩොලර් 30,000ක් පමණ උපයන පෙර පාසැල් ගුරු හෝ ගුරු සහායක වැනි රැකියා අඩු ආදායම් රැකියා සේ සැලකිය හැකියි. ගුරුවරුන් උපාධිධාරීන් වුවත් මෙවැනි රැකියා කරන අය සාමාන්‍යයෙන් උපාධිධාරීන් නෙමෙයි. උපාධිධාරී මට්ටමේ වෙනත් රැකියා වලට සාපේක්ෂව ගුරු වැටුප් තරමක් අඩු ගුරු වෘත්තියට වැඩි ඉල්ලුමක් තිබෙන නිසයි. එයට හේතුව ගුරු වෘත්තියෙහි නියැලීමේ වෙනත් වාසි තිබීමයි. ගුරුවරයෙකු සේවය කරන්නේ වසරකට මාස 9ක හෝ මාස 10ක පමණ කාලයක්. ග්‍රීෂ්ම කාලයේදී පාසැල් නිවාඩු නිසා ඔවුන්ට වැඩක් නැහැ. ඒ කාලයේදී වැටුප් ලැබෙන්නේත් නැහැ. ඇතැම් ප්‍රදේශ වල මාස 9ක වැටුප් 12ට බෙදා මාස්පතා ගෙවනවා. අවශ්‍ය අයෙකුට ග්‍රීෂ්ම කාලයේදී වෙනත් රැකියාවක් කළ හැකියි. ඒ වගේම ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් හා අනෙකුත් වරප්‍රසාදද ඉහළ මට්ටමක තිබෙනවා. කෙසේ වුවත්, බදු මුදලින් යැපෙන පිරිසක් වීම නිසාත්, වෘත්තීය සමිති බලවත් නිසාත්, ඇමරිකාවේද වරින් වර ගුරු වැටුප් වැඩි කරන සේ වෘත්තීය ඉල්ලීම් මතු වෙනවා. අපේ ප්‍රාන්තයේද ඉතා මෑතකදී මෙවැනි අරගලයක් ආරම්භ වුනා. වෙනත් ප්‍රශ්න තිබේනම් හෝ පැහැදිලි කිරීම් අවශ්‍යනම් විස්තර කළ හැකියි.

      Delete
    6. //ඉකොනො රජයේ/නොමිලේ උගන්වන පාසලක ගුරුවරයෙක්ගේ වැටුප වෙළඳපොල ක්‍රමයට හැදෙන්නේ කොහොමද?//

      සාමාන්‍යයෙන් ඇමරිකාවේ පොදු අරමුදල් වුවද පාලනය වන්නේ ලංකාවේ මෙන් මධ්‍යගත ක්‍රමයකට නෙමෙයි. මෙය විස්තර කරන්න ලිපියක් හෝ ලිපි කිහිපයක් ලියන්න වෙනවා. ඇතැම් පෙර ලිපි වල ලියලත් තිබෙනවා. හරියටම කොයි ලිපි වලද කියා මතකනම් නැහැ. බොහෝ විට කිසියම් බද්දක් අය කරන්නේ නිශ්චිත කාර්යයක් සඳහා. එම බදු මුදල් නිශ්චිත අරමුදලකට යනවා. වියදම් කළ යුත්තේ ලැබෙන ආදායම අනුවයි. මේ අනුව යම් තරමකින් රජයේ ආයතන වල ආදායම් හා වියදම් සිදු වන්නේත් පෞද්ගලික ආයතනයක සිදුවන ආකාරයටමයි. වෙනස තිබෙන්නේ සිසුන්ගෙන් මුදල් අය නොකළත් ඒ වෙනුවට ඔවුන්ගේ (සහ අනෙකුත් අයගේ) පවුල් වලින් බදු අය කිරීමයි. එම බදු මුදල් මිස නැති ආදායම් වියදම් කළ නොහැකියි. ආදායම හා වියදම සමතුලිත විය යුතුයි. ගුරු වැටුප් තීරණය වන්නේ ලැබෙන ආදායම (සැපයුම) හා ගුරුවරුන් බඳවා ගැනීම කොයි තරම් අසීරුද යන්න (ඉල්ලුම) මතයි. දළ ප්‍රකාශයක් ලෙස, ගුරුවරු වැඩි පඩි ඉල්ලනවානම් එම වැඩි පඩි ගෙවීම සඳහා මුදල් ලැබෙන්නේ කෙහොමද කියන එකත් ඔවුන්ට හිතන්න වෙනවා. උදාහරණයක් ලෙස ගුරු වැටුප් වැඩි කර ගැනීම සඳහා කිසියම් බද්දක් ඉහළ දමන යෝජනාවක් ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගුරු වැටුප් වැඩි කිරීම සාධාරණයි කියා අදාළ ප්‍රදේශයේ ජනතාව හිතනවානම් ඔවුන් වැඩි බදු ප්‍රතිශතයක් ගෙවන්න කැමති වී ඡන්දය ප්‍රකාශ කරයි. එහිදී ගුරු වැටුප් වැඩි කිරීම අවශ්‍ය දෙයක් බව ජනතාවට ඒත්තු ගන්වන්න ගුරුවරුන්ට සිදු වෙනවා. ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මෙන් කවුරුවත් හාල් නොදා කැඳ හදන්න බැහැ. කැඳ බොන්නනම් කවුරු හෝ හාල් දැමිය යුතුයි. වසර කිහිපයකට පෙර අපේ ප්‍රදේශයේ පැවති ජනමතවිචාරණයකදී අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීම සඳහා වැඩි බදු මුදලක් ගෙවීමට 77%ක් පමණ එකඟ වුනා. ඒ අනුව යෝජනාව සම්මත වුනා. ඊට පෙර වසර වල එවැනිම යෝජනාවක් ඉදිරිපත් වුනත් එය සම්මත වුනේ නැහැ.

      Delete
  3. Thanks for a great article. However, this kind of discussion needs more data. I meant the mere monthly salary is not sufficient. It needs other financial benefits such as health insurance, pensions etc.. Apart from that, there other social benefits too. Have you ever seen a comprehensive model to compare salaries? For example, in many European countries, health and education are free (in Sri Lanka, it is said these are free), but it is not free in the USA (well some exceptions are there).

    If you compare with the per capita income of a person. It is around .8 M in Sri Lanka. But a salary of a teacher is .4 M (annual salary). Don't you see an issue in Sri Lanka?

    ReplyDelete
    Replies
    1. Per capita income of a Sri Lankan in 2020 is Rs. 683,106 per annum or Rs. 56,925 per month. In the US, the number is US$ 63,544 per annum, close to the median salary of a teacher, while a teacher in SL earns significantly less than the per capita income of a Sri Lankan. However, the median household income in the US is 124% of per capita income. I am sure it is significantly less in SL (Rs. 43,511 in 2016, the most recent number available). Most wage earners in SL earn less than the per capita income in SL, not just teachers. This is not meant to express an opinion about teachers' salary but to show the main reason behind what you observe. On the first part, I think SL teachers are relatively better off than their US counterparts in retirement benefits (compared to respective base salaries) and the health benefits are comparable.

      Delete
  4. එකොනෝ , අධ්‍යාපන සුදුසුකම් මත (උපාධි හෝ ඩිප්ලෝමා) ගුරුවරුන්ට වැටුප් වෙනස්වීම සාදාරණ ක්‍රමයක්ද?

    ReplyDelete
    Replies
    1. වැටුප් වෙනස් විය යුත්තේ සිදුවන සේවයේ වටිනාකම අනුවයි. වෙළඳපොළක් නැති විට සිදුවන සේවය හරියටම මැනිය හැකි ක්‍රමයක් නැහැ. ඒ නිසා, අධ්‍යාපන සුදුසුකම් වලින් හා පළපුරුද්දෙන් සිදුවන සේවය නිරූපණය වන සේ සැලකීම සාමාන්‍ය දෙයක්.

      Delete
  5. එකොනෝ , //ඇමරිකාවේ ගුරු වැටුප් මධ්‍යගත ලෙස නිර්ණය වන්නේ නැහැ. එය සිදු වන්නේ වෙළඳපොල සාධක මතයි. කිසියම් ගුරුවරයෙකුට ඉල්ලුම වැඩි වෙද්දී ඔහුගේ හෝ ඇයගේ වැටුප්ද ඉහළ යනවා. ගුරුවරයෙකු සඳහා ඉල්ලුම වැඩි වන්නේ ඔහු හෝ ඈ විසින් සපයන සේවය පිළිබඳ සේවය ලබන්නන්ගේ ඇගයුම් ඉහළ යන තරමටයි// ඇමෙරිකාවේදී මෙම සේවය ඇගයීම සිදුකරනු ලබනුයේ ඔහුගෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ද? මෙය සිදුකරනුයේ වාර්ශිකවද? තව පහදන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙය කවුරුවත් සැලසුම් කර වාර්ෂිකව හෝ යම් නිශ්චිත අවස්ථාවක කරන දෙයක් නෙමෙයි. ධනවාදී ක්‍රමයක් තුළ ස්වභාවිකව සිදු වන දෙයක්. එය සිදුවෙන යාන්ත්‍රණ ගණනාවක් තිබෙනවා. පළමුව, පළමු වරට අයදුම් කරන විට පාසැල් කිහිපයකට අයැදුම් කර වැඩි වැටුපක් ගෙවන තැන තෝරාගත හැකියි. ඉන් පසුව ගුරුවරයෙකු තමන්ගේ වැටුප ගැන සතුටු නැත්නම් දැන් සිටින පාසැලෙන් අස් වී වෙනත් පාසැලකට යා හැකියි. වැටුප් වැඩි කර ගත හැකි පහසුම ආකාරය එයයි. එහිදී වෙනත් තැනකින් අර්පණයක් ලබා ගත හැක්කේ සම්මුඛ පරීක්ෂණ අදියරේදී සේවා කාලය තුළ තමන් මේ වන තෙක් කර ඇති දේ යම් ආකාරයකින් "විකිණීමෙන්". වෙනත් තැනකින් අර්පණයක් ලැබුනොත් අනිවාර්යයයෙන්ම එය වැඩි වැටුපක්. දැනට ලැබෙන වැටුපම ගන්නනම් ඉන්න තැනින් අස් වී නොඑන බව කවුරු වුනත් දන්නවා. මේ වගේ අවස්ථාවක දැන් ඉන්න පාසැලට අවශ්‍යනම් එම අර්පණය හා ගැලපෙන සේ වැටුප් වැඩි කර ගුරුවරයා තියා ගන්න වුනත් පුළුවන්. ඒ වගේම ඇතැම් පාසැල් දිස්ත්‍රික්ක වල කාර්යක්ෂමතාවය අනුව පාරිතෝෂික මුදලක් වැටුපට එකතු කරනවා. එහිදී කවර හෝ නිශ්චිත නිර්ණායක උපයෝගී කර ගන්නවා. බොහෝ විට සිසුන්ගේ විභාග ප්‍රතිඵල විය හැකියි (standardized tests). ජීවන වියදම වැඩි පැත්තකට ගුරුවරයෙක් එන්නේ වැඩි වැටුපක් ලැබේනම් පමණයි. නිවුයෝර්ක්, කැලිෆෝර්නියා වගේ ප්‍රාන්තයක ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප මිසිසිපි වැනි ප්‍රාන්තයක ගුරුවරයෙකුගේ සාමාන්‍ය වැටුප මෙන් දෙගුණයකට කිට්ටුයි. එය සිදු වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව. ඒ වගේම, පුරප්පාඩු තිබෙන්නේ කිසියම් නිශ්චිත විෂයකටනම් එම විෂය ඉගැන්විය හැකි ගුරුවරයෙකු හොයා ගන්න වෙනවා. මෙහිදී අයදුම්කරුවන් අතරින් තෝරා ගන්නා අයෙකුට ඉල්ලන වැටුප දෙන්න වෙනවා. පාසැලකට ගුරු වැටුප් වෙනුවෙන් වියදම් කළ හැක්කේ තිබෙන බජට් එක තුළ පමණයි. බජට් එකට වඩා වියදම් වැඩිනම් ගුරුවරු අඩු කරන්න වෙනවා. වැටුප් වර්ධක සීමා කරන්න වෙනවා. බජට් එක වැඩි කර ගන්නනම් බදු වැඩි කර ගන්න වෙනවා. මිනිස්සු ඒ වෙනුවෙන් ඡන්දය දෙන්නේ ගුරුවරුන් කරන සේවය වෙනුවෙන් වැඩි මිලක් ගෙවිය යුතුයි කියා ඔවුන් හිතනවානම් පමණයි. පාසැල් ගුරුවරුන් හා අදාළව මා දන්නා තරමින් සිසුන්ගේ ඇගයීම් සලකා බලන්නේ නැහැ. එහෙත් දෙමවුපියන්ගේ ඇගයීම් වල බලපෑමක් තිබෙනවා. පාසැල් සිසුන් හා අදාළව මිල ගෙවන පාරිභෝගිකයා වන්නේ සිසුන් නොව ඔවුන්ගේ දෙමවුපියන්. දෙමවුපියන්ගේ පැමිණිලි වැඩිනම් බොහෝ විට ගුරුවරයෙකුට රැකියාව නැති වෙනවා. ඒ වගේම ගුරුවරුන් විසින්ම අනෙක් ගුරුවරුන්ව ඇගයීමක් කරනවා (peer evaluation). අධීක්ෂකයින් විසින්ද ඇගයීම් කරනවා. වාර්ෂික වැටුප් වර්ධක මෙවැනි ඇගැයීම් මත තීරණය වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: