වෙබ් ලිපිනය:

Tuesday, November 22, 2022

දේශපාලනඥයින්ගේ වියදම්


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන හා ඒ සඳහා ආදායම් වැඩි කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන ලිපි කිහිපයකින්ම පෙන්වා දුන්නා. ආදායම් වැඩි කර ගැනීම අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා කළ හැකි එකම දෙය නෙමෙයි. වියදම් කැපීම මගිනුත් මෙය කළ හැකියි. 

කෙසේ වුවත්, මෙහි දිගින් දිගටම නැවත නැවත විස්තර කර ඇති පරිදි, ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් කැපීමේද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. ආදායම් පැත්ත ගැන තරමක් කතා කර ඇති නිසා දැන් අපි වියදම් පැත්තටත් එමු.

වියදම් කැපීම ගැන කතා කරන ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම්. මේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනාව පදනමක් නැති එකක් නෙමෙයි. ඇහැට පේන දෙයක්. මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ ආකාරයේ වියදම් කැපීම මගින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකි බව දරුණු මුලාවක්. 

මම පහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේ කිසිදු අයුරකින් අනවශ්‍ය, නාස්තිකාර වියදම් කපා හැරීම අධෛර්යය කරන්නට නෙමෙයි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නයි. යෝජිත 2023 අයවැයෙන් දේශපාලනඥයින්ගේ වියදම් ඇතුළත් වන වැය ශීර්ෂ පහත තිබෙනවා.

ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය = රුපියල් මිලියන 2,800

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් මිලියන 926

අමාත්‍ය මණ්ඩල කාර්යාලය = රුපියල් මිලියන 178

පාර්ලිමේන්තුව = රුපියල් මිලියන 3,699

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය = රුපියල් මිලියන 70

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය =  රුපියල් මිලියන 159

විපක්ෂ නායක කාර්යාලය = රුපියල් මිලියන 216


මේ වියදම් සියල්ලේ එකතුව = රුපියල් මිලියන 8,047


අපේක්ෂිත ආදායම = රුපියල් මිලියන 3,433,000

ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.23%


ණය ගෙවීම්ද ඇතුළුව මුළු වියදම = රුපියල් මිලියන 7,879,499

මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.10%

ඉහත වියදම් සියල්ල දේශපාලනඥයින්ගේ වියදම් නෙමෙයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් එහි සේවකයින්ගේ වියදම්. ඔවුන් දේශපාලනඥයින් හෝ දේශපාලන පත්වීම් ලැබූ අය නෙමෙයි. අනෙක් අතට, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ වියදම් මෙහි ඇතුළත්ව නැහැ. ඒ වගේම, වෙනත් වැය ශීර්ෂ යටතේ "සැඟවුණු" වියදම් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, මම මේ සංඛ්‍යාලේඛණ වලට ලොකුවට බර තබන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ සියල්ල ලිහිල් ලෙස (conservatively) සලකා බැලීමෙන් පසුව වුවත්, දේශපාලනඥයින්ගේ වියදම් මුළු වියදම් වලින් 0.5%ක්වත් විය නොහැකියි. ඒ නිසාම, මේ වියදම් කොයි තරම් අඩු කළත්, පවතින වියදම් වලින් 99.5%ක්වත් එළෙසම පවතිනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. බොහෝ විට එම ප්‍රමාණය 99.9%ක් පමණම විය හැකියි. 

මේ හේතුව නිසා අනවශ්‍ය වියදම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. අඩු වශයෙන් ආදර්ශයක් ලෙස හෝ දේශපාලනඥයින් විසින් හැකි හැම වියදමක්ම කපා දැමිය යුතුයි. ආරක්ෂක වියදම් ගැන ඉදිරි සටහනකින් කතා කරමු. 

7 comments:

  1. ප්‍රජාතන්ත්‍රවාදයටත් මිලක් ගෙවන්න වෙනවනේ ඇනෝ.

    ReplyDelete
  2. ඇමරිකාවේ මේ වියදම් වල තත්වය කොහොමද ඉකොනෝ?

    ReplyDelete
  3. ඇමරිකාවේ චිකන් කොත්තුවක් කියද

    ReplyDelete
  4. මිනිසා දේශපාලන සත්වයෙක් කියනවනේ

    ReplyDelete
  5. මගේ පුද්ගලික අදහස මිනිස්සු දේශපාලඥයන්ගේ වියදම් වැඩි කියන්නේ පුරුද්දට වගේ. වියදම් වැඩි, ඔය සල්ලි වලින් 10% වත් වැඩක් කෙරෙන දේවලට යෙදවෙනවද කියන එක මට විස්වාස නැහැ. නමුත් අර කිව්වා වගේ, මේකෙන් විතරක් රටේ වියදම අඩු කරන්න බැහැ. නමුත් මිනිස්සුන්ට ලේසි නේ තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් හිතන්නේ නැතුව වෙන කෙනෙක්ට බනින එක.
    (හැබැයි ඉතින් ඔය ඔක්කොම බැනල, අන්තිමේදී ගිහිල්ල කතිරේ ගහලත් එනවා)

    ReplyDelete
  6. 0.5% is still a big portion... considering the number of other areas of expenses that are basically ignored.

    ReplyDelete
    Replies
    1. ඉතින් යෝදියේ ඔය කියන්නෙ මුළු වියදමෙන් දේශපාලනික පරිපාලනයක් සඳහා යන සමස්ත වියදමට තවත් විශාල ගණනක් එකතු කරලා කියලා තෙරුම් ගනින් උදාහරණයක් විදියට 0.2/ 0.3 actual + 0.2 for contingencies

      අනික බන් කිරි දුවේ ඔය මුදල සම්පූර්ණයෙන්ම අයින් කරන්න කොහොමවත් බෑ එහෙම නම් ඉතින් වියදම් කරගෙන වාහන තෙල් කඩදාසි සහ වෙනත් සියලු පහසුකම් ඉන්ටනෙට් ටෙලිෆෝන් බිල් ආදිය දරාගෙන පිනට රට වෙනුවෙන් වැඩ කරන දේශපාලන කණ්ඩායම් සහ ඊට අමතර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර පිරිසක්, අඩුම තරමින් දහදාහක් විතර පිරිසක් හොයා ගෙන උන්ට නොමිලේ පුල් ටයිම් රට වෙනුවෙන් අතින් වියදම් කරගෙන පරිපාලන කටයුතු කළ යුතුයි

      අනික දෝණී හිතපන්කෝ උඹේ මාසිකව වියදම රුපියල් ලක්ෂ එකක් කියලා ඒ අනුව 0.5% කියලා කියන්නේ රුපියල් 500.00 ක් වියදම් වැඩියි කියලා රුපියල් 500 ක් වන මාසේ ෆෝන් බිල ඉතුරු කරන්න කියලා ෆෝන් එක භාවිතා නොකර ඉන්න පුළුවන් ද බොට බන් මෝඩ දියණියනි?

      එතකොට ෆෝන් එකෙන් කලපු සේරම වැඩ රස්සාවට අදාල ගණුදෙනු ආදී සියලුම දේ කරන්න වෙන්නේ නෑනේ? කවුරු හරි පිනට පෝන් එකක් දෙන්න ඕනේ එහෙම නම් ඉතින් ජවිපෙ පූර්ණකාලීන සාමාජිකාවක් වෙන්න වෙනවා එතකොට

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: