මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්.
බදු ආදායම
වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ බදු ආදායමක් අපේක්ෂා කළ හැකියි.
මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, ඉහත ප්‍රක්ෂේපිත ආදායම ඊට වඩා රුපියල් බිලියන 133කින් පමණ අඩු මට්ටමක්. මූල්‍ය අරමුදලේ අවසන් පුරෝකථනය වූයේ මෙම වසරේ බදු ආදායම රුපියල් බිලියන 4,439ක් වනු ඇති බවයි. ඉහත ප්‍රක්ෂේපනය ඊට වඩා තරමක් හොඳ මට්ටමක්.
අනෙකුත් ආදායම් හා ලැබීම්
වසරේ පළමු මාස පහ තුළ අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 139.9ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.3%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 422.1 මට්ටමට යනවා.
සමස්ත රාජ්‍ය ආදායම
ඉහත ප්‍රක්ෂේපන අනුව වසර අවසන් වන විට සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,899.9ක් විය යුතු අතර අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 90කින් පමණ අඩුයි. එහෙත් මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තුව වන රුපියල් 4,819ට වඩා රුපියල් බිලියන 80කින් පමණ වැඩියි.
වාහන ආනයන සිදු වන ආකාරය අනුව වසරේ අවසන් මාස හත තුළ බදු ආදායම් වර්ධනය පළමු මාස පහේ වර්ධන වේගයට වඩා වැඩි මට්ටමක පැවතීමේ විභවයක් තිබෙන බැවින් යාන්තමින් හෝ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තවමත් තිබෙනවා.
පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම්
වසරේ පළමු මාස පහ තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,024.1ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 17.5%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3,113.4 පමණ දක්වා ඉහළ යා හැකියි. මෙය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970ට වඩාරුපියල් බිලියන 143කින් වැඩියි. මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තු අනුවද වර්ෂාවසාන පුනරාවර්තන වියදම (පොලී ගෙවීම් හැර) රුපියල් බිලියන 2,952ක් පමණයි.
ප්‍රාග්ධන වියදම්
වසරේ පළමු මාස පහ තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175.4කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 9.2%ක අඩු වීමක්. මේ අනුව පෙනී යන්නේ පුනරාවර්තන වියදම් අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ යාමේ අවදානමක් ඇති තත්ත්වයක් තුළ සමස්ත රාජ්‍ය වියදම පාලනය කර ගනිමින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් දැඩි ලෙස සීමා කිරීමක් සිදු වී ඇති බවයි. මෙම අනුපාතය අනුව ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 717.7 ඉක්මවන්නේ නැහැ.
අයවැය මගින් රුපියල් බිලියන 1,315ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීමක් සිදුව පැවති අතර, මගේ මතකය නිවැරදිනම්, ජනාධිපති දිසානායක විසින් මෙය ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම බවට පාරම්බෑමක්ද සිදු කළා. ඉතිහාසයේදී ලංකාවේ අයවැය ඇත්තටම තුලනය වී ඇති ආකාරය ගැන යම් හෝ අවබෝධයක් වීනම් ඔහු මේ කරුණ මේ තරමින් අවධාරණය නොකර සිටිය හැකිව තිබුණා. අරමුදලේ ඇස්තමේන්තු අනුව වර්ෂාවසාන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,130ක්.
අයවැය ඇස්තමේන්තු ඉක්මවා පුනරාවර්තන වියදම් ඉහළ යාම සහ එම ඇස්තමේන්තු වලට වඩා බදු ආදායම් අඩු වීම සාමාන්‍යයෙන් ලංකාවේ සිදු වන දෙයයි. මෙහිදී අයවැය තුලනය පවත්වා ගැනීම සඳහා බොහෝ විට අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමයි. කෙසේ වුවද, දැනට ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති මට්ටම පුනරාවර්තන වියදම් ඉහළ යාමේ හා බදු ආදායම් අඩු වීමේ සමස්ත බලපෑම නිශේධනය කරන මට්ටමට වඩා වැඩි නිසා අවසන් මාස හතක කාලය ඇතුළත ඉහත ප්‍රක්ෂේපනය ඉක්මවා ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ විභවයක් තිබෙනවා.
ප්‍රාථමික අයවැය අතිරික්තය
පළමු මාස පහක කාලය තුළ රුපියල් බිලියන 742.9ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස පහක කාලයට සාපේක්ෂව 34.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයට (දදේනියෙන් 2.3%කට) ආසන්නව සමාන වන අතර යාන්තමින් ඉක්මවා යනවා.
මේ අනුව, වසරේ ඉදිරි මාස හත තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මෙම වාසිදායක තත්ත්වය නිසා, ඉදිරි මාස හතක කාලය තුළ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය අරමුදල් බදු ආදායමෙන් වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කළ හැකියි. එසේ කිරීම මගින් අයවැය ඉලක්ක සහ සත්‍ය ප්‍රාග්ධන වියදම අතර පරතරය අඩු කර ගන්න පුළුවන්. පුනරාවර්තන වියදම කවර ආකාරයකින් හෝ අයවැය ඉලක්ක තුළ රඳවා ගත හැකිනම් ප්‍රාග්ධන වියදම් තව දුරටත් අයවැය ඉලක්ක ආසන්නයට ගන්න පුළුවන්.
පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගාස්තු පුනරාවර්තන වියදම් වලට එකතු වී ඇත්නම්, එම ගාස්තු පසුගිය වසරට අනන්‍ය වියදමක් බැවින්, ඉහත සිදු කර ඇති වර්ෂාවසාන පුනරාවර්තන වියදම් ප්‍රක්ෂේපනය සිදු කළ යුතු වන්නේ පසුගිය වසරේ පුනරාවර්තන වියදම් වලින් අදාළ වියදම ඉවත් කිරීමෙන් පසුවයි. මේ ගැන නිශ්චිතව නොදන්නා නිසා මා එසේ කර නැහැ. මෙවැන්නක් සිදුව ඇත්නම් පුනරාවර්තන වියදම් හා අදාළවද අයවැය ඉලක්ක වලට යාමේ විභවයක් තවමත් තිබෙනවා.
ඉකොනොමැට්ටා කියන දේ අනික් පැත්ත තමයි වෙන්නේ
ReplyDeleteමම හිතන්නෙ දැන් ඇමතිලාගේ දූශනයත් නැති නිසා ඉලක්ක වලට වඩා පහසුවෙන් යනව වගෙ නේද
ReplyDeleteමේ යකා කිව්වා නං වස් වදී ලංකාවේ ආණ්ඩුවට.
ReplyDeleteවිශ්ලේෂණයට තුති. අර සැසඳුම් වගුවේ, 2025 කොලමේ (a) කියලා අවුණලා තියන පාද සටහනේ මොනවා තියෙන්න ඇද්ද කියලා කුකුසක් තියනවා.
ReplyDeleteProvisional (තාවකලික දත්ත) කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ දක්වා කාලයක් ඔහොම දමනවා. සංඛ්‍යාලේඛණ හදන තැනට ආදායම් හා වියදම් තොරතුරු 100%ක්ම නිසි වෙලාවට ලැබෙන්නේ නැහැ. සමහර තොරතුරු පසු වී ලැබෙද්දී සංඛ්‍යා වෙනස් වීමේ ඉඩක් තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් විශාල වෙනස් වීම් වෙන්නේ නැහැ.
Delete