වෙබ් ලිපිනය:

Monday, July 28, 2025

ක්‍රිස්ගෙන් එදා ඇසූ ප්‍රශ්නය


රාජ්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දවස් වල වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන මාතෘකාවක් නිසාත්, මේ මාතෘකාව කාලයක් තිස්සේ මෙහි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙන මාතෘකාවක් නිසාත් ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොදවමු. ලංකාවේ ඊනියා නිදහස් අධ්‍යාපනය හා අදාළව පසුගිය වසර ගණනාවක් තිස්සේ හිතාමතාම කතා කිරීම මග හැර සිටි පැත්තක් ගැන දැන් කතා කළාට ප්‍රශ්නයක් නැහැ කියා හිතනවා. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

සමහර විට ඔය වගේ ප්‍රශ්නයක් කවදාවත් කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නැති වෙන්න පුළුවන්. කවුරු හරි කාගෙන් හෝ ඇහුවා වෙන්නත් පුළුවන්. 

ඔය ප්‍රශ්නය හා අදාළ වාද විවාද ගොඩක් තැන් වල මම දැකලා තිබෙනවා. ඒ වාද විවාද වලට සහභාගී වෙන පාර්ශ්ව දෙකේම එක් පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ මේ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීම. වාදය සිදු වෙන්නේ ඔය වැරදි ප්‍රශ්නය ඇත්තටම ඔය විදිහට ඇහුවද නැද්ද කියන කාරණය සම්බන්ධවයි. මේ ප්‍රශ්නය ඇත්තටම අහපු එකක් වුනත්, කවුරුවත් අහපු නැති එකක් වුනත්, ප්‍රශ්නයේ පැත්ත වෙනුවෙන් කවුරුවත් පෙනී සිටිනවා මම දැකලා නැහැ. 

ප්‍රශ්නය අසනු ලැබූ හෝ අසනු ලැබූයේයැයි දැන් කියවෙන අවස්ථාවේදී වගේම ඉන් පසු කාලය හා අදාළව වුවත් මේ ප්‍රශ්නය ඇසිය යුතු ප්‍රශ්නයක්. කොයි තරම් යහපත් අරමුණකින් සිදු කරන මැදිහත් වීමක වුනත් හානි තිබෙනවා. ඒ නිසා, ඒ හානි ලැබෙන වාසි එක්ක කිරා මැන බැලීම ඉතාම වැදගත් දෙයක්. හානි අමතක කරලා වාසි පැත්ත ගැන විතරක් කතා කරන්න බැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) ගැන කතා කරද්දී තනිකරම මෙන් අවධානය යොමු වෙන්නේ වාසි පැත්තට පමණයි. 

ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවා. ඒ දෙපැත්තෙන් අපි කැමති, ඒ නිසාම අපි හිටගන්න පැත්තක් තිබෙනවා. නමුත් ඒ පැත්ත දිහා විතරක් බලද්දී ලොකු චිත්‍රයේ කොටසක් මග හැරෙනවා. ඉහත ප්‍රශ්නය කවුරු හෝ විසින් ඇහුවත් නැතත්, නිදහස් අධ්‍යාපනය නිසා ඇත්තටම ගම් වල පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වුනේ නැද්ද? 

ගමේ පොල් කඩ කඩ සිටිය හැකිව තිබුණු කෙනෙක් දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වී තිබේනම් ඔය ප්‍රශ්නයේ කතා කරන්න තරම් දෙයක් නැහැ කියා ගොඩක් අයට හිතෙනවා වෙන්න පුළුවන්. තනි පුද්ගල මට්ටමෙන් ප්‍රශ්නය දිහා බැලුවොත් ඒක එහෙමයි. නමුත් රටක් විදිහට බැලුවොත් ඒක එහෙමම නැහැ. නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) රටක් විදිහට බැලුවොත් ලංකාවේ වත්මන් සමාජ හා ආර්ථික ප්‍රශ්න ගණනාවකටද හේතු වී තිබෙනවා. 

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටින අයෙකු වුවත් මේ තත්ත්වයන් තේරුම් ගත යුතුයි. හානි අවම කර ගත හැක්කේ හානි හඳුනා ගන්නේනම් පමණයි. සමහර විට මුල් අවස්ථාවේදීම මේ තත්ත්වයන් හඳුනාගත් අය සිටියා වෙන්න පුළුවන්. එවැනි කෙනෙකු වුවත් ඉහත ආකාරයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

දැන් නිදහස් වෙළඳපොළ ගැන වාචිකව වගේම ප්‍රායෝගිකවත් රටේ ජනතාවට පැහැදිලි කරන සමහර අයට ඒ දේවල්ම කියපු අය "රනිල්ගේ කුක්කන්" වී සිටි වසරකට වඩා නුදුරු අතීතයේදී  කුමක් හෝ වෙළඳපොළ හිතවාදී අදහසක් ඉදිරිපත්  කළ අයෙකුගෙන් පෙරළා අසනු ලැබූ ප්‍රචලිත ප්‍රශ්නයක් වූයේ මෙවැන්නක්.

"ඔය කියන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කරලා ඒවාත් සල්ලි තියෙන අයට පමණක් සීමා කරන්න කියන එකද?"

ඒ කාලයේදී තමන් දක්ෂිණාංශික කඳවුරේ සිටින්නෙකු සේ හඳුනාගත් අය අතරින්ද කිසිවෙකු හෝ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කළ යුතුයි කියා කිවුවේ නැහැ. එසේ කියන අය දැනට වුනත් දකින්න නැහැ. එවැනි අය බොහෝ විට පෙනී සිටියේ මුදල් ඇති අයට මුදල් ගෙවා මෙම සේවාවන් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙනුයි. 

නමුත් ලෝක මට්ටමට ගියොත් අධ්‍යාපනය හා සෞඛ්‍යය සෞඛ්‍යය වුවද රජය මැදිහත් වී සුබසාධනය නොකළ යුතුයි කියන දෘෂ්ඨිවාදයේ නැගී සිටීමක් පැහැදිලිව දකින්න පුළුවන්. කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති පූර්ණ ධනවාදී ක්‍රමයක් යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය රජය මැදිහත් වී සුබසාධනය කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ නැහැ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වාමාංශික අදහසක් මිසක් දක්ෂිණාංශික අදහසක් නෙමෙයි. 

මේ වෙද්දී මේ අන්තවාදී ධනවාදය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසක් ලංකාවේත් ඉන්නවා. ඔවුන් මුදල් ක්‍රමය තුළ පවතින මහ බැංකු ඒකාධිකාරයට පවා එරෙහිව කතා කරන නමුත් නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට එරෙහිව වචනයක්වත් කතා කර ඇති බවක් මා දැක නැහැ. හේතුව පැහැදිලියි. ගුටිකන්න වෙන වැඩ වලට කවුරුවත් කැමති නැහැ!

මා දන්නා තරමින් ලෝකයේ හැම රටකම මෙන් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. වෙළඳපොළ මත සියල්ල තීරණය වන පූර්ණ ධනවාදී රටවල් ලෝකයේ කොහේවත් නැහැ. සෛද්ධාන්තිකව එවැනි ක්‍රමයක් ඇති වුවහොත් ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ යාම නිසා සමාජයේ පහළ ස්ථර මත ඇති වන පීඩනය පුපුරා ගොස් එම ක්‍රමය බිඳ වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. (නමුත් ස්වයංකරණය හා කෘතීම බුද්ධිය ආදිය නිසා අනාගතයේදී මේ තත්ත්වය වෙනස් විය හැකියි)

ධනවාදී රටවල් සේ සැලකෙන රටවල් වල සමාජ දේශපාලන අර්බුද වලට නොගොස් කාලයක් තිස්සේ ස්ථාවරව පවතින්නේ එම රටවල පවතින ද්විපක්ෂ ක්‍රමය තුළ ධනවාදය නියාමනය වන නිසා. ධනවාදය සම්පත් ජනනය පිළිබඳව වග බලා ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදය විසින් එසේ ජනනය වන සම්පත් බෙදී යාම නියාමනය කරමින් සමාජ සාධාරණත්වය පවත්වා ගැනීම පිළිබඳව වග බලා ගන්නවා. ධනවාදී රටක දේශපාලන ආස්ථානාවලිය තුළ  ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය නියෝජනය කරන්නේ වාමාංශයයි. 

කොයි තරම් ප්‍රතිතර්ක ගෙන හැර පෙන්වන්නට උත්සාහ කළ හැකි වුවද නියාමනය නොවන ධනවාදී ක්‍රමයක් තුළ සියලු මිනිසුන් සමාන වන්නේ නැහැ. පුද්ගලයෙකු සතු ප්‍රාග්ධනය වැඩි වන තරමට එම පුද්ගලයා සතු තීරණ ගැනීමේ (දේශපාලන) බලයද වැඩියි. 

සමාගමක කොටස්හිමියන් විසින් සාමූහික තීරණ ගැනීමේදී එක් කොටස්හිමියෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේ එම පුද්ගලයාට අයිති කොටස් ප්‍රමාණය මතයි. ඒ අනුව සියලු කොටස් වලට සමාන දේශපාලන බලයක් හිමි වෙතත්, සියලු කොටස්හිමියන්ට සමාන දේශපාලන බලයක් හිමිවන්නේ වන්නේ නැහැ. ධනවාදයේ අප්‍රකාශිත නීතිය වන්නේද මෙයයි. සමාජය කෙරෙහි යමෙකු සතු බලය අවසාන වශයෙන් තීරණය කරන්නේ එම පුද්ගලයා සතු ප්‍රාග්ධනයයි.

ඉහත මූලධර්මය හා අදාළව ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය හාත්පසින්ම වෙනස් එකක්. ඒ අනුව, සියලුම "කොටස්හිමියන්" සමාන පුද්ගලයින් සේ සැලකෙනවා. ඒ අනුව, කිසියම් රාජ්‍ය මැදිහත්වීමක් මගින් සියලු "කොටස්හිමියන්ගේ" පොදු යහපත සැලසේනම් එය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සිදු වන වත්කම් විතැන් වීම රටේ සමස්ත ධනොත්පාදනය කෙරෙහි අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. ආර්ථික කාර්යක්ෂමතාව පමණක් සලකන්නේනම් රටේ ධනය සීමිත පිරිසක් අතේ රැඳී තිබීම වඩා කාර්යක්ෂමයි. 

ලංකාවේ ගොඩක් අයට අනුව නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ඔවුන්ට ලැබුණු අත්තටු. මෙය කියවන වැඩි දෙනෙකු මගේ පරම්පරාවේ සහ ඊට පහළ පරම්පරාවේ අයයි. මගේ පරම්පරාවට ඉහළ පරම්පරාවේ අයද සුළු පිරිසක් ඇති. මේ පරම්පරා තුන නිදහස් අධ්‍යාපනයේ පළමු, දෙවන හා තුන්වන පරම්පරා සේ හැඳින්විය හැකියි. 

ඉහත පරම්පරා තුනෙන් තෙවන පරම්පරාව ලොකු මහත් වෙද්දී නිදහස් අධ්‍යාපනයට විකල්ප තිබුණත්, මගේ පරම්පරාව සතුව තිබුණු එකම විකල්පය නිදහස් අධ්‍යාපනය සැලකිය සේ සැලකිය හැකියි. ඒ නිසාම, මේ අත්තටු කතාව කියන ගොඩක් අය මගේ පරම්පරාවේ අයයි. 

නිදහස් අධ්‍යාපනයේ උදවුවෙන් ඉහළට පැමිණි අප බොහෝ දෙනෙකුට "පෙනෙන" තත්ත්වය වන්නේ නිදහස් අධ්‍යාපනය නොවන්නට අප දැන් සිටින තැන් වල නොමැති බවයි. එහිදී අප විසින් චිත්‍රණය කරගන්නේ ලෝකයේ අනෙකුත් හැම දෙයක්ම එලෙසම නොවෙනස්ව තිබියදී "මට පමණක් නිදහස් අධ්‍යාපනය නොලැබුණේනම්" සිදු විය හැකිව තිබුණු දෙයයි. එවැන්නක් වීනම්, අනිවාර්යයෙන්ම, අපට මේ අත්තටු ලැබෙන්නේ නැහැ. 

නමුත් අප බොහෝ දෙනෙකු විසින් මානසිකව සිදු කරන මේ සංසන්දනය වැරදි සංසන්දනයක්. නිදහස් අධ්‍යාපනයක් නොපැවතියේනම් ලෝකය (ලංකාව) පවතිනු ඇත්තේ අප දැන් දකින ආකාරයෙන්ම නෙමෙයි. ක්ෂුද්‍ර ආර්ථිකය දෙස බලන ආකාරයෙන්ම සාර්ව ආර්ථිකය දෙස බැලිය නොහැකියි. තනි පුද්ගල ක්‍රියාකාරකම් නිසා රටකට සිදු වන බලපෑම එම තනි පුද්ගල ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්තයට සමාන නැහැ. 

ඔව්. නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පොල් ගෙඩියක් කඩා ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රමාණවත් ශ්‍රමයක් ගම් වල ඉතිරි වෙනවා. මෙයින් සංකේතවත් වන කාරණය ගත්තොත්, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව පැවති තත්ත්වයට සාපේක්ෂව, අඩු අධ්‍යාපනයක් සහිත සැලකිය යුතු ශ්‍රම බලකායක් රටේ ඉතිරි වෙනවා. ඒ නිසාම, එම ශ්‍රමය යොදා ගෙන කළ හැකි ආයෝජනද වැඩි වැඩියෙන් සිදු වී දැන් සිටිනවාට වඩා වැඩි ප්‍රාග්ධනහිමියන් පිරිසක් රටේ බිහි වෙනවා. රටේ සමස්ත ප්‍රාග්ධනයද ඉහළ යනවා. මාක්ස්වාදී අර්ථයකින් මෙය සිදු වන්නේ "ශ්‍රමය සූරාකෑම" සඳහා ප්‍රාග්ධනහිමියන්ට වැඩි අවස්ථා ලැබෙන නිසා කියන්න පුළුවන්. 

දහනවවන සියවසේ දෙවන අර්ධයේදී සහ විසිවන සියවසේ මුල් දශක වල ලංකාවේ අලුත් ධනවතුන් විශාල ලෙස බිහි වී තිබෙනවා. ඒ අතර, ඉතාම පහළ මට්ටමක සිට ඉහළට ගිය අයත් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය නිසා අත්තටු ලැබූ අය නෙමෙයි. ඇතැම් විට කිසිදු අධ්‍යාපනයක් නොලැබූ අය. (මෙය අධ්‍යාපනය අවතක්සේරු කිරීමක් නෙමෙයි.)

මේ ආකාරයෙන් රටේ තිබෙන ප්‍රයෝජනයට නොගත් ශ්‍රම සම්පතෙහි වාසිය ලබා ගනිමින් කිසියම් පිරිසක් ප්‍රාග්ධනය එක්රැස් කර ගනිද්දී, එම ප්‍රාග්ධනය නැවත නැවත ආයෝජනය වීම නිසා රටේ රැකියා අවස්ථා ඉහළ යනවා. විදේශ ආයෝජන සඳහා වූ බාධාවන් නොවීනම් මෙය තවත් වේගයෙන් සිදු වෙනවා. ඒ නැතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව රට තුළ වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා.

ඔය විදිහට පෞද්ගලික අංශය මුල් වී සිදු කරන ආයෝජන නිසා රට තුළ වැඩි වැඩියෙන් රැකියා ජනනය වීනම්, යම් අවස්ථාවකදී ප්‍රාග්ධනහිමියන්ට අවශ්‍ය පමණ ශ්‍රමය රට තුළින් හොයාගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රමයේ මිල ඉහළ යනවා. මුල් කාලයේදී ශ්‍රමය "සූරාකෑමක්" සිදු වුනා කියා කාට හෝ කියන්න පුළුවන්කමක් තිබුණානම්, ඒ විදිහට ශ්‍රමය "සූරාකෑමේ" ප්‍රතිඵලයක් විදිහටම වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වී වැඩි වැඩියෙන් රැකියා බිහි වීම නිසා ඒ තත්ත්වය නිශේධනය වෙනවා. ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහටයි. 

නිදහස් අධ්‍යාපනයක් නොතිබුණු විකල්ප ඉතිහාසයක් තුළ ඔය විදිහට රැකියා ඉහළ ගිහින් ශ්‍රමය සීමාකාරී සාධකයක් වුනාට පස්සේ විදේශ ආයෝජකයෙක් සමහර විට තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් රටකට විතැන් කරගන්න පුළුවන්. නමුත් එහෙම වුනත් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ ඒ වෙනුවට දේශීය ප්‍රාග්ධනහිමියෙක් ආදේශ වෙන එකයි. කාලයක් මෙසේ සිදු වුනත්, යම් අවස්ථාවකදී මුල් කාලයේ සිදු කළ මූලික ශ්‍රමය යොදා සිදු කරන නිෂ්පාදන වලින් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.

ඉහත සීමාවට ආවාට පස්සේ රටේ බිහිවී ඉන්න ප්‍රාග්ධනහිමියන්ට වඩා ඵලදායී ආයෝජන වෙත මාරු වෙන්න සිදු වෙනවා. උදාහරණයක් විදිහට පොල් වතුහිමියෙක් පොල් කර්මාන්තයෙන් යොදවා උපයාගත් අතිරික්ත ප්‍රාග්ධනය යොදවා කිසියම් කාර්මික නිෂ්පාදනයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ වැඩකට ගම් වල ඉන්න පොල් කඩන්න පුළුවන් මිනිස්සුන්ගේ ශ්‍රමය ප්‍රමාණවත් නැහැ. කිසියම් ආකාරයක පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි පුහුණු ශ්‍රමයක් රටේ නැත්නම් මොකද කරන්නේ?

රටේ ප්‍රාග්ධනහිමියන් සිටිනවානම්, ඔවුන්ගේ ලාබ ලැබීමේ අධිෂ්ඨානය ප්‍රබලනම්, මේ වගේ හේතුවක් නිසා ඔවුන් පසුබට වෙන්නේ නැහැ. අවශ්‍ය පුහුණුව වෙනුවෙන් ඔවුන් ආයෝජනය කරනවා. ඒ එක්කම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද යම් ආකාරයකින් ශ්‍රමිකයින්ට හිමිවෙනවා. අද වුනත්, කොයි තරම් උපාධි ලබා තිබුණත්, බොහොමයක් රැකියා සඳහා අවශ්‍ය වන නිශ්චිත කුසලතා ශ්‍රමිකයින්ට ලබා දීම සඳහා ආයෝජනය කරන්නේ ආයතනහිමියන් විසින්. 

නිදහස් සෞඛ්‍යයක් නොතිබුණානම් වෙන්නෙත් ඔය වගේ දෙයක්. ආයතනයකට අවශ්‍ය වන්නේ නිරෝගී සේවකයින්. තමන්ගේ ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කරන එක ප්‍රාග්ධනහිමියෙකුට අවාසිදායක දෙයක් නෙමෙයි. රජය මැදිහත් වී ඒ ආයෝජනය කරනවානම් ඔවුන්ට මේ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් ඔවුන් අතින් මේ වැඩේ වෙනවා. ගොඩක් තේ වතු වල වතු දොස්තරලා සිටීම උදාහරණයක්. 

වසර විස්සකට පමණ පෙර මමත් පැත්තක හිටපු එක් රැස්වීමකට ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ආයතන ගණනාවක සභාපතිවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වුනා. එහිදී රාජ්‍ය අංශයෙන් ඉදිරිපත් වූ එක් යෝජනාවක් වුනේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීමෙන් පසු එහි වියදම සඳහන් බිල්පතක් ලබා දිය යුතු බවයි. මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් අදහස් වුනේ නැහැ. "ඔබට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙපමණ මුදලක් වැය කර ඇත" කියා දැනුම්දීමක් කරන එකයි අදහස් කළේ. තරමක් දුරට අපේ ප්‍රාන්ත රජය බදු ආදායම වියදම් කරන විදිහ දැනුම් දීමට සමාන දෙයක්. සමහර විට මේ අදහස පෞද්ගලික අංශයේ පැසසුමට ලක් වෙයි කියා හිතුවා වෙන්න පුළුවන්.

ඉහත අවස්ථාවේදී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් එහි සිටි පෞද්ගලික අංශයේ ලොක්කන් සියලු දෙනාම එක හෙළා පෙනී සිටිමින් අදහස් දැක්වුවා. මෙය එහි සිටි රාජ්‍ය අංශයේ නිලධාරීන් විසින් අපේක්ෂා නොකළ දෙයක් කියා මා සිතනවා. ඔවුන් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නොවන්නට එම වියදමද ඔවුන්ට සේවක වැටුප් වලට එකතු කරන්නට සිදු වන බවයි. වෙනත් විදිහකින් කියනවානම් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා ඇත්තටම ඔවුන්ට සිදු වන්නේ වාසියක් බවයි. 

විකල්ප ඉතිහාසයට නැවත ගියොත්, කිසියම් ආයතනයකට ඔවුන්ගේ ශ්‍රමිකයින්ව පුහුණු කළ හැකි වුවත්, එය කරන්නත් යම් මූලික අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. එම මූලික අධ්‍යාපනය එක් එක් ආයතනය විසින් වෙන වෙනම ලබා දෙන එක කාර්යක්ෂම නැහැ. රටේ ආර්ථිකය විසින් මෙවැනි මූලික පොදු අධ්‍යාපනයක් ඉල්ලා සිටින තත්ත්වයට ආවට පස්සේ කොහොමටත් එය කරන්නට සිදු වෙනවා. මෙහිදී ඉල්ලීම එන්නේ රටේ ප්‍රාග්ධනහිමියන්ගේම පැත්තෙන්. ඒ නිසා, බදු මගින් පිරිවැය ආවරණය කර ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වෙද්දී, ශ්‍රම බලකාය සඳහා අවශ්‍ය වන මූලික පුහුණුවේ මට්ටමත් එන්න එන්නම ඉහළ යනවා. එවිට රජය මුල් වී ලබා දෙන පොදු අධ්‍යාපනය සඳහා දේශපාලන තෙරපුමද ඉහළ යනවා. මේ තෙරපුම එන්නේ ප්‍රාග්ධනය පැත්තෙන්මයි. ඒ නිසා, මෙයට සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සියල්ලන්ටම තිබෙන අයිතිය වගේ සංකල්ප අදාළ හෝ අවශ්‍ය වන්නේ නැහැ. අධ්‍යාපනයේ අරමුණ වන්නේම රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කිරීම නිසා ඔය දෙක අතර තුලනය දිගටම තියෙනවා. ඉගෙනගත් කෙනෙකුට රැකියාවක් නැති වෙන්නේ නැහැ. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් අවස්ථාවේදී එය නොකළත් යම් කාලයකට පසුව එය සිදු වෙනවා. ඒ නිසා, නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් අපි දැන් ඉන්න තැන නෑ කියා හිතන එක සිදු නොවිය හැකිව තිබුණු තත්ත්වයක් හිතින් මවා ගෙන කරන සංසන්දනයක්. හැබැයි එය මේ විකල්ප ක්‍රමයට සිදු වුනානම් එය සිදු වන්නේ වඩා ප්‍රශස්ත ආකාරයකටයි. එහෙම වුනානම් රටට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඒ විදිහටම ඇති වන්නේ නැහැ. රටට ප්‍රමාණවත් ප්‍රාග්ධන සංචිතයක් නොමැති වීමේ ඉඳලා සංක්‍රමණ ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ගණනාවකට හේතු වී තිබෙන කරුණු අතර ඕනෑවට වඩා කලින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයද එක් හේතුවක්. 

කෙටිකාලීනව හා මැදිකාලීනව ප්‍රශ්න වලට පිළියමක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් කියා කියන්නේත් ඇත්තටම දිගුකාලීනව රටට ප්‍රශ්නයක්. රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොහැදෙන්න සහ අපනයන තරඟකාරිත්වය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ. මේ ගැන පෙර ලිපියක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ මත යැපෙන්න සිදු වී තිබෙන්නේ රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැති නිසා. රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැත්තේ ප්‍රමාණවත් ප්‍රාග්ධන ආයෝජන කළ හැකි ප්‍රාග්ධනහිමියෝ රටේ නැති නිසා. එවැන්නන් රටේ නැති වීමට නිදහස් අධ්‍යාපනය හේතුවෙන් පොල් කඩන්නවත් කෙනෙක් ගම් වල නැති වීමත් හේතුවක්. සමාජ සාධාරණත්වය වෙනම කරුණක්. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ අරමුණ වුනේ සමාජ සාධාරණත්වය වැනි දෙයක් මිසක් රැකියා වෙළඳපොළ අවශ්‍යතාවය කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි පාලනයේ ඊට පෙර කාලයේදී අධ්‍යාපනය ලබාදීම සහ රැකියා වෙළඳපොළ අවශ්‍යතා සැපිරීම එකට ගියා. පල්ලි හා පන්සල් වෙනත් අරමුණු වලින් අධ්‍යාපනය ලබා දුන්නා. එහෙත් එය වෙනත් අයට බරක් වුනේ නැහැ. 

නිදහස් අධ්‍යාපනය නිසා වුනේ කකුල් දෙකට කලින් සපත්තු දෙක යනවා වගේ වැඩක්. අධ්‍යාපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම සෝවියට් දේශයේ පැවති ආකාරයේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට ගැලපෙනවා. එවැනි ක්‍රමයක් තුළ එක් පැත්තකින් විවිධ රැකියා අතර ආදායම් විෂමතා අඩුයි. අනෙක් පැත්තෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීම මධ්‍යගතව සිදු වන නිසා රැකියා සැපයීමද මධ්‍යගත සැලසුමේම කොටසක්. ඒ නිසා, මධ්‍යගත සැලසුම ඇතුළේම, අධ්‍යපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම ලොකු අවුලකට හේතු වෙන්නේ නැහැ. රැකියා අවශ්‍යතා එක්ක එකට යන විදිහට අධ්‍යපනය මධ්‍යගතව සැලසුම් කරන්න පුළුවන්.

ලංකාවේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුමක් තිබුණේ නැහැ. ඒ නිසා, අධ්‍යාපනය මධ්‍යගත ලෙස සැලසුම් වෙද්දී විරැකියාව ප්‍රශ්නයක් වෙලා අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවය පුරවන්න සිදු වුනා. මේ ප්‍රශ්නය මෑතක් වන තුරුම තිබුණු ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඔය මට්ටමෙන් හෝ විසඳී තිබෙන්නේ රැකියා සඳහා විදේශගත වීම් සහ සංක්‍රමණය නිසා. කාලයක් සිවිල්  යුද්ධයත් ප්‍රශ්නයට විසඳුමක් වෙලා තිබුණා. දකුණේ කැරළි දෙක නිසාත් ප්‍රශ්නයේ බර යම් තරමකින් අඩු වුනා.

සමහර සමාජ ප්‍රශ්න හෝ බැලූ බැල්මටම පෙනෙන විකෘති වලටත් නිදහස් අධ්‍යාපනය හේතු වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් වෛද්‍යවරයෙකු වෙන්නේ සැලකිය යුතු ධනයක් තිබෙන පවුලක කෙනෙක් පමණයි. එවැන්නෙක් වෛද්‍යවරයෙක් වී මුලින්ම රැකියාව පටන් ගනිද්දී වෛද්‍යශාලාවක් දමාගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. වාහනයක් ගන්න සල්ලි තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට වෛද්‍යවරයෙකුගේ දරුවෙකුම වෛද්‍යවරයෙකු වී පියාගේ රැකියාව දිගටම කරගෙන යයි. දන්ත වෛද්‍ය (දන්ත කාර්මික) රැකියාව කාලයක් සිදු වුනේ ඔය විදිහට. මේ තත්ත්වය දැනටත් ඇමරිකාවේ එතරම් දුලබ නැහැ.

ඉංජිනේරු රැකියාවක් වගේ දෙයක් ගැන හිතමු. අඩු ආදායම්ලාභී පවුලක දරුවෙකුට අධ්‍යාපනය හරහා ඉහළ නැගීම කළ නොහැක්කක්නම්, ඉංජිනේරු අධ්‍යාපනය තෝරා ගන්නේ ඒ සඳහා විශේෂ කැමැත්තක් තිබෙන අයෙකු පමණයි. එවැන්නෙකු අධ්‍යපනය නිම කිරීමෙන් පසුව කිසියම් ව්‍යවසායයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. ඒ නිසා, රැකියා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වෙන්නේ රැකියා කිහිපයක් අලුතෙන්ම හැදෙන එකයි. ඒ හරහා එම අධ්‍යාපනය ලබා නොමැති අඩු ආදායම්ලාභීන්ටද අවස්ථාවක් ලැබෙනවා.

වෛද්‍ය අධ්‍යපනය මෙන් ලංකාවේ නීති අධ්‍යාපනය විශ්ව විද්‍යාල පද්ධතිය තුළට අවශෝෂණය කර ගැනුනේ නැහැ. ඒ නිසාම, නිල බාධාවක් නැතිවම, කාලයක් ලංකාවේ නීති වෘත්තීය සීමිත කවයකට සීමා වී තිබුණා. නීතිඥයින්ගේම දරුවන් බොහෝ විට නීතිඥයින් වී පියාගේ රැකියාව කරගෙන ගියා. ඔවුන්ට රැකියාව ඇරඹීම සඳහා මූලික ප්‍රාග්ධනය ප්‍රශ්නයක් වූයේ නැහැ. නීතිඥයින්ට රැකියා සැපයීමේ බර රජය මත පැටවුනේද නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා සිදු වූ වෙනස්කම් නොවන්නට වෛද්‍ය වැනි අනෙකුත් රැකියා හා අදාළව පැවතිය හැකිව තිබුණේද මෙවැනිම තත්ත්වයක්. 

නිදහස් අධ්‍යාපනය සාධාරණීකරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද මේ ලිපිය තුළම තිබෙනවා. ඒ පැත්ත ගැන ඕනෑ තරම් කතා කෙරී තිබෙන නිසා මම ඒ ගැන බර තබන්නේ නැහැ. මෙහි උත්සාහ කළේ වැඩිපුර නොදකින පැත්ත පෙන්වා දීමටයි.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පරම්පරා තුනක් තුළ පොල් කැඩූ අයෙකුගේ දරුවෙකු ගුරුවරයෙකු වී ඒ  ගුරුවරයාගේ දරුවා වෛද්‍යවරයෙකු වෙන එකක් නැහැ. ඒ අර්ථයෙන් බලද්දී, පෞද්ගලිකව  බොහෝ දෙනෙකුගේ දෘෂ්ඨි කෝණ වලින්, නිදහස් අධ්‍යපනය කියන්නේ අපට ලැබුණු අත්තටු කියා හිතන එක හරි. නමුත් රටේ පැත්තෙන් බලනවානම් මෙය ලංකාවට සිදු වූ හොඳම දෙයක් කියා අනිවාර්යයෙන් කියන්න බැහැ. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

මේ ප්‍රශ්නය එදා කවුරු හෝ විසින් ඇහුවානම් එය එවකට සමාජ ධුරාවලියේ පහළම සිටි අය ඉහළට පැමිණීම වැළැක්වීමේ පටු අරමුණින් ඇසූ ප්‍රශ්නයක් නොවන්න පුළුවන්. රටේ අනාගතය ගැන පුළුල් දැක්මක් තිබුණු දූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදකයෙකුට මේ වගේ ප්‍රශ්නයක් අහන්න වලංගු හා සාධාරණ හේතු තිබෙනවා.

කවුරු ඉදිරිපත් කළත්, නිදහස් අධ්‍යාපන යෝජනාව කියා කියන්නේ වාමාංශික දේශපාලනයේ කොටසක්. ක්‍රිස්ගෙන් අහපු ප්‍රශ්නය ඇතුළේ තියෙන්නේ දක්ෂිණාංශික දේශපාලනය. සමාජ සාධාරණත්වයට ඉහළින් සමස්තයක් ලෙස රට ගැන හිතපු කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 

5 comments:

  1. බලන්ගොඩ හෙන ඩොටේ ඉපදිලා එහෙ පාසැල් ගිය පොරක් ඉන්නවා මම දන්න.

    ආයේ ඉතිං සල්ලි වලට අමු කුනා

    ReplyDelete
  2. 'ධනවාදය'ට මං කැමතියි සැකක් නැත
    ඒත් ඒක සාධාරණ වීම මත!
    කෙලෙසද ඒක වෙන්නේ පැනයයි ම'සිත
    පාරවමින් තිබුණෙ - උත්තර ලැබුණෙ නැත

    ඉකොනෝ ඔබෙනි නිසි පිළිතුර අද ලැබුණේ
    (ඇයි මෙතුවක් කලක් එය සිහියේ නොවුණේ)
    ධනවාදෙටත් සීමා- මායිම් ඕනේ
    'නියාමනය' කොයි දේටත් ගැළපෙන්නේ!

    ReplyDelete
  3. නිදහස් අද්‍යාපනය (ලංකාවට සාපේක්ශව ) නැති දුප්පත් රටවල ඔය විදියට වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වැඩිය ඈතට යන්න අවශ්‍ය නැහැ. ලංකාවට සාපේක්ෂව ඉන්දියාවට ප්‍රාග්ධන ප්‍රශ්නයක් නැහැ. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර තුලනය වඩා ප්‍රශස්තයි. ඉන්දියාවට ලංකාවට වඩා තරඟකාරී විය හැකිව තිබෙන්නේ ඒ නිසා.

      Delete
  4. අපේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක්ද නොමිලේ අධ්‍යාපනයක්ද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: