රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දවස් වල වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන මාතෘකාවක් නිසාත්, මේ මාතෘකාව කාලයක් තිස්සේ මෙහි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙන මාතෘකාවක් නිසාත් ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොදවමු. ලංකාවේ ඊනියා නිදහස් අධ්‍යාපනය හා අදාළව පසුගිය වසර ගණනාවක් තිස්සේ හිතාමතාම කතා කිරීම මග හැර සිටි පැත්තක් ගැන දැන් කතා කළාට ප්‍රශ්නයක් නැහැ කියා හිතනවා.
"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"
සමහර විට ඔය වගේ ප්‍රශ්නයක් කවදාවත් කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නැති වෙන්න පුළුවන්. කවුරු හරි කාගෙන් හෝ ඇහුවා වෙන්නත් පුළුවන්.
ඔය ප්රශ්නය හා අදාළ වාද විවාද ගොඩක් තැන් වල මම දැකලා තිබෙනවා. ඒ වාද විවාද වලට සහභාගී වෙන පාර්ශ්ව දෙකේම එක් පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ මේ ප්රශ්නය වැරදි ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීම. වාදය සිදු වෙන්නේ ඔය වැරදි ප්රශ්නය ඇත්තටම ඔය විදිහට ඇහුවද නැද්ද කියන කාරණය සම්බන්ධවයි. මේ ප්රශ්නය ඇත්තටම අහපු එකක් වුනත්, කවුරුවත් අහපු නැති එකක් වුනත්, ප්රශ්නයේ පැත්ත වෙනුවෙන් කවුරුවත් පෙනී සිටිනවා මම දැකලා නැහැ.
ප්රශ්නය අසනු ලැබූ හෝ අසනු ලැබූයේයැයි දැන් කියවෙන අවස්ථාවේදී වගේම ඉන් පසු කාලය හා අදාළව වුවත් මේ ප්රශ්නය ඇසිය යුතු ප්‍රශ්නයක්. කොයි තරම් යහපත් අරමුණකින් සිදු කරන මැදිහත් වීමක වුනත් හානි තිබෙනවා. ඒ නිසා, ඒ හානි ලැබෙන වාසි එක්ක කිරා මැන බැලීම ඉතාම වැදගත් දෙයක්. හානි අමතක කරලා වාසි පැත්ත ගැන විතරක් කතා කරන්න බැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) ගැන කතා කරද්දී තනිකරම මෙන් අවධානය යොමු වෙන්නේ වාසි පැත්තට පමණයි.
ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවා. ඒ දෙපැත්තෙන් අපි කැමති, ඒ නිසාම අපි හිටගන්න පැත්තක් තිබෙනවා. නමුත් ඒ පැත්ත දිහා විතරක් බලද්දී ලොකු චිත්රයේ කොටසක් මග හැරෙනවා. ඉහත ප්රශ්නය කවුරු හෝ විසින් ඇහුවත් නැතත්, නිදහස් අධ්‍යාපනය නිසා ඇත්තටම ගම් වල පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වුනේ නැද්ද?
ගමේ පොල් කඩ කඩ සිටිය හැකිව තිබුණු කෙනෙක් දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වී තිබේනම් ඔය ප්රශ්නයේ කතා කරන්න තරම් දෙයක් නැහැ කියා ගොඩක් අයට හිතෙනවා වෙන්න පුළුවන්. තනි පුද්ගල මට්ටමෙන් ප්රශ්නය දිහා බැලුවොත් ඒක එහෙමයි. නමුත් රටක් විදිහට බැලුවොත් ඒක එහෙමම නැහැ. නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) රටක් විදිහට බැලුවොත් ලංකාවේ වත්මන් සමාජ හා ආර්ථික ප්‍රශ්න ගණනාවකටද හේතු වී තිබෙනවා.
නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටින අයෙකු වුවත් මේ තත්ත්වයන් තේරුම් ගත යුතුයි. හානි අවම කර ගත හැක්කේ හානි හඳුනා ගන්නේනම් පමණයි. සමහර විට මුල් අවස්ථාවේදීම මේ තත්ත්වයන් හඳුනාගත් අය සිටියා වෙන්න පුළුවන්. එවැනි කෙනෙකු වුවත් ඉහත ආකාරයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
දැන් නිදහස් වෙළඳපොළ ගැන වාචිකව වගේම ප්‍රායෝගිකවත් රටේ ජනතාවට පැහැදිලි කරන සමහර අයට ඒ දේවල්ම කියපු අය "රනිල්ගේ කුක්කන්" වී සිටි වසරකට වඩා නුදුරු අතීතයේදී කුමක් හෝ වෙළඳපොළ හිතවාදී අදහසක් ඉදිරිපත් කළ අයෙකුගෙන් පෙරළා අසනු ලැබූ ප්‍රචලිත ප්‍රශ්නයක් වූයේ මෙවැන්නක්.
"ඔය කියන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කරලා ඒවාත් සල්ලි තියෙන අයට පමණක් සීමා කරන්න කියන එකද?"
ඒ කාලයේදී තමන් දක්ෂිණාංශික කඳවුරේ සිටින්නෙකු සේ හඳුනාගත් අය අතරින්ද කිසිවෙකු හෝ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කළ යුතුයි කියා කිවුවේ නැහැ. එසේ කියන අය දැනට වුනත් දකින්න නැහැ. එවැනි අය බොහෝ විට පෙනී සිටියේ මුදල් ඇති අයට මුදල් ගෙවා මෙම සේවාවන් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙනුයි.
නමුත් ලෝක මට්ටමට ගියොත් අධ්‍යාපනය හා සෞඛ්‍යය සෞඛ්‍යය වුවද රජය මැදිහත් වී සුබසාධනය නොකළ යුතුයි කියන දෘෂ්ඨිවාදයේ නැගී සිටීමක් පැහැදිලිව දකින්න පුළුවන්. කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති පූර්ණ ධනවාදී ක්‍රමයක් යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය රජය මැදිහත් වී සුබසාධනය කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ නැහැ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වාමාංශික අදහසක් මිසක් දක්ෂිණාංශික අදහසක් නෙමෙයි.
මේ වෙද්දී මේ අන්තවාදී ධනවාදය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසක් ලංකාවේත් ඉන්නවා. ඔවුන් මුදල් ක්‍රමය තුළ පවතින මහ බැංකු ඒකාධිකාරයට පවා එරෙහිව කතා කරන නමුත් නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට එරෙහිව වචනයක්වත් කතා කර ඇති බවක් මා දැක නැහැ. හේතුව පැහැදිලියි. ගුටිකන්න වෙන වැඩ වලට කවුරුවත් කැමති නැහැ!
මා දන්නා තරමින් ලෝකයේ හැම රටකම මෙන් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. වෙළඳපොළ මත සියල්ල තීරණය වන පූර්ණ ධනවාදී රටවල් ලෝකයේ කොහේවත් නැහැ. සෛද්ධාන්තිකව එවැනි ක්‍රමයක් ඇති වුවහොත් ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ යාම නිසා සමාජයේ පහළ ස්ථර මත ඇති වන පීඩනය පුපුරා ගොස් එම ක්‍රමය බිඳ වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. (නමුත් ස්වයංකරණය හා කෘතීම බුද්ධිය ආදිය නිසා අනාගතයේදී මේ තත්ත්වය වෙනස් විය හැකියි)
ධනවාදී රටවල් සේ සැලකෙන රටවල් වල සමාජ දේශපාලන අර්බුද වලට නොගොස් කාලයක් තිස්සේ ස්ථාවරව පවතින්නේ එම රටවල පවතින ද්විපක්ෂ ක්‍රමය තුළ ධනවාදය නියාමනය වන නිසා. ධනවාදය සම්පත් ජනනය පිළිබඳව වග බලා ගනිද්දී ප්රජාතන්ත්රවාදය විසින් එසේ ජනනය වන සම්පත් බෙදී යාම නියාමනය කරමින් සමාජ සාධාරණත්වය පවත්වා ගැනීම පිළිබඳව වග බලා ගන්නවා. ධනවාදී රටක දේශපාලන ආස්ථානාවලිය තුළ ප්රජාතන්ත්රවාදය හා සමාජ සාධාරණත්වය නියෝජනය කරන්නේ වාමාංශයයි.
කොයි තරම් ප්රතිතර්ක ගෙන හැර පෙන්වන්නට උත්සාහ කළ හැකි වුවද නියාමනය නොවන ධනවාදී ක්‍රමයක් තුළ සියලු මිනිසුන් සමාන වන්නේ නැහැ. පුද්ගලයෙකු සතු ප්රාග්ධනය වැඩි වන තරමට එම පුද්ගලයා සතු තීරණ ගැනීමේ (දේශපාලන) බලයද වැඩියි.
සමාගමක කොටස්හිමියන් විසින් සාමූහික තීරණ ගැනීමේදී එක් කොටස්හිමියෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේ එම පුද්ගලයාට අයිති කොටස් ප්‍රමාණය මතයි. ඒ අනුව සියලු කොටස් වලට සමාන දේශපාලන බලයක් හිමි වෙතත්, සියලු කොටස්හිමියන්ට සමාන දේශපාලන බලයක් හිමිවන්නේ වන්නේ නැහැ. ධනවාදයේ අප්රකාශිත නීතිය වන්නේද මෙයයි. සමාජය කෙරෙහි යමෙකු සතු බලය අවසාන වශයෙන් තීරණය කරන්නේ එම පුද්ගලයා සතු ප්‍රාග්ධනයයි.
ඉහත මූලධර්මය හා අදාළව ප්රජාතන්ත්රවාදයේ කාර්යභාරය හාත්පසින්ම වෙනස් එකක්. ඒ අනුව, සියලුම "කොටස්හිමියන්" සමාන පුද්ගලයින් සේ සැලකෙනවා. ඒ අනුව, කිසියම් රාජ්‍ය මැදිහත්වීමක් මගින් සියලු "කොටස්හිමියන්ගේ" පොදු යහපත සැලසේනම් එය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සිදු වන වත්කම් විතැන් වීම රටේ සමස්ත ධනොත්පාදනය කෙරෙහි අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. ආර්ථික කාර්යක්ෂමතාව පමණක් සලකන්නේනම් රටේ ධනය සීමිත පිරිසක් අතේ රැඳී තිබීම වඩා කාර්යක්ෂමයි.
ලංකාවේ ගොඩක් අයට අනුව නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ඔවුන්ට ලැබුණු අත්තටු. මෙය කියවන වැඩි දෙනෙකු මගේ පරම්පරාවේ සහ ඊට පහළ පරම්පරාවේ අයයි. මගේ පරම්පරාවට ඉහළ පරම්පරාවේ අයද සුළු පිරිසක් ඇති. මේ පරම්පරා තුන නිදහස් අධ්‍යාපනයේ පළමු, දෙවන හා තුන්වන පරම්පරා සේ හැඳින්විය හැකියි.
ඉහත පරම්පරා තුනෙන් තෙවන පරම්පරාව ලොකු මහත් වෙද්දී නිදහස් අධ්‍යාපනයට විකල්ප තිබුණත්, මගේ පරම්පරාව සතුව තිබුණු එකම විකල්පය නිදහස් අධ්‍යාපනය සැලකිය සේ සැලකිය හැකියි. ඒ නිසාම, මේ අත්තටු කතාව කියන ගොඩක් අය මගේ පරම්පරාවේ අයයි.
නිදහස් අධ්‍යාපනයේ උදවුවෙන් ඉහළට පැමිණි අප බොහෝ දෙනෙකුට "පෙනෙන" තත්ත්වය වන්නේ නිදහස් අධ්‍යාපනය නොවන්නට අප දැන් සිටින තැන් වල නොමැති බවයි. එහිදී අප විසින් චිත්රණය කරගන්නේ ලෝකයේ අනෙකුත් හැම දෙයක්ම එලෙසම නොවෙනස්ව තිබියදී "මට පමණක් නිදහස් අධ්‍යාපනය නොලැබුණේනම්" සිදු විය හැකිව තිබුණු දෙයයි. එවැන්නක් වීනම්, අනිවාර්යයෙන්ම, අපට මේ අත්තටු ලැබෙන්නේ නැහැ.
නමුත් අප බොහෝ දෙනෙකු විසින් මානසිකව සිදු කරන මේ සංසන්දනය වැරදි සංසන්දනයක්. නිදහස් අධ්‍යාපනයක් නොපැවතියේනම් ලෝකය (ලංකාව) පවතිනු ඇත්තේ අප දැන් දකින ආකාරයෙන්ම නෙමෙයි. ක්ෂුද්‍ර ආර්ථිකය දෙස බලන ආකාරයෙන්ම සාර්ව ආර්ථිකය දෙස බැලිය නොහැකියි. තනි පුද්ගල ක්‍රියාකාරකම් නිසා රටකට සිදු වන බලපෑම එම තනි පුද්ගල ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්තයට සමාන නැහැ.
ඔව්. නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පොල් ගෙඩියක් කඩා ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රමාණවත් ශ්‍රමයක් ගම් වල ඉතිරි වෙනවා. මෙයින් සංකේතවත් වන කාරණය ගත්තොත්, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව පැවති තත්ත්වයට සාපේක්ෂව, අඩු අධ්‍යාපනයක් සහිත සැලකිය යුතු ශ්‍රම බලකායක් රටේ ඉතිරි වෙනවා. ඒ නිසාම, එම ශ්‍රමය යොදා ගෙන කළ හැකි ආයෝජනද වැඩි වැඩියෙන් සිදු වී දැන් සිටිනවාට වඩා වැඩි ප්‍රාග්ධනහිමියන් පිරිසක් රටේ බිහි වෙනවා. රටේ සමස්ත ප්‍රාග්ධනයද ඉහළ යනවා. මාක්ස්වාදී අර්ථයකින් මෙය සිදු වන්නේ "ශ්‍රමය සූරාකෑම" සඳහා ප්‍රාග්ධනහිමියන්ට වැඩි අවස්ථා ලැබෙන නිසා කියන්න පුළුවන්.
දහනවවන සියවසේ දෙවන අර්ධයේදී සහ විසිවන සියවසේ මුල් දශක වල ලංකාවේ අලුත් ධනවතුන් විශාල ලෙස බිහි වී තිබෙනවා. ඒ අතර, ඉතාම පහළ මට්ටමක සිට ඉහළට ගිය අයත් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය නිසා අත්තටු ලැබූ අය නෙමෙයි. ඇතැම් විට කිසිදු අධ්‍යාපනයක් නොලැබූ අය. (මෙය අධ්‍යාපනය අවතක්සේරු කිරීමක් නෙමෙයි.)
මේ ආකාරයෙන් රටේ තිබෙන ප්‍රයෝජනයට නොගත් ශ්‍රම සම්පතෙහි වාසිය ලබා ගනිමින් කිසියම් පිරිසක් ප්රාග්ධනය එක්රැස් කර ගනිද්දී, එම ප්රාග්ධනය නැවත නැවත ආයෝජනය වීම නිසා රටේ රැකියා අවස්ථා ඉහළ යනවා. විදේශ ආයෝජන සඳහා වූ බාධාවන් නොවීනම් මෙය තවත් වේගයෙන් සිදු වෙනවා. ඒ නැතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව රට තුළ වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා.
ඔය විදිහට පෞද්ගලික අංශය මුල් වී සිදු කරන ආයෝජන නිසා රට තුළ වැඩි වැඩියෙන් රැකියා ජනනය වීනම්, යම් අවස්ථාවකදී ප්‍රාග්ධනහිමියන්ට අවශ්‍ය පමණ ශ්‍රමය රට තුළින් හොයාගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රමයේ මිල ඉහළ යනවා. මුල් කාලයේදී ශ්‍රමය "සූරාකෑමක්" සිදු වුනා කියා කාට හෝ කියන්න පුළුවන්කමක් තිබුණානම්, ඒ විදිහට ශ්‍රමය "සූරාකෑමේ" ප්‍රතිඵලයක් විදිහටම වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වී වැඩි වැඩියෙන් රැකියා බිහි වීම නිසා ඒ තත්ත්වය නිශේධනය වෙනවා. ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහටයි.
නිදහස් අධ්‍යාපනයක් නොතිබුණු විකල්ප ඉතිහාසයක් තුළ ඔය විදිහට රැකියා ඉහළ ගිහින් ශ්‍රමය සීමාකාරී සාධකයක් වුනාට පස්සේ විදේශ ආයෝජකයෙක් සමහර විට තමන්ගේ ප්රාග්ධනය වෙනත් රටකට විතැන් කරගන්න පුළුවන්. නමුත් එහෙම වුනත් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ ඒ වෙනුවට දේශීය ප්‍රාග්ධනහිමියෙක් ආදේශ වෙන එකයි. කාලයක් මෙසේ සිදු වුනත්, යම් අවස්ථාවකදී මුල් කාලයේ සිදු කළ මූලික ශ්‍රමය යොදා සිදු කරන නිෂ්පාදන වලින් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.
ඉහත සීමාවට ආවාට පස්සේ රටේ බිහිවී ඉන්න ප්‍රාග්ධනහිමියන්ට වඩා ඵලදායී ආයෝජන වෙත මාරු වෙන්න සිදු වෙනවා. උදාහරණයක් විදිහට පොල් වතුහිමියෙක් පොල් කර්මාන්තයෙන් යොදවා උපයාගත් අතිරික්ත ප්රාග්ධනය යොදවා කිසියම් කාර්මික නිෂ්පාදනයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ වැඩකට ගම් වල ඉන්න පොල් කඩන්න පුළුවන් මිනිස්සුන්ගේ ශ්‍රමය ප්‍රමාණවත් නැහැ. කිසියම් ආකාරයක පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි පුහුණු ශ්‍රමයක් රටේ නැත්නම් මොකද කරන්නේ?
රටේ ප්‍රාග්ධනහිමියන් සිටිනවානම්, ඔවුන්ගේ ලාබ ලැබීමේ අධිෂ්ඨානය ප්‍රබලනම්, මේ වගේ හේතුවක් නිසා ඔවුන් පසුබට වෙන්නේ නැහැ. අවශ්‍ය පුහුණුව වෙනුවෙන් ඔවුන් ආයෝජනය කරනවා. ඒ එක්කම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද යම් ආකාරයකින් ශ්‍රමිකයින්ට හිමිවෙනවා. අද වුනත්, කොයි තරම් උපාධි ලබා තිබුණත්, බොහොමයක් රැකියා සඳහා අවශ්‍ය වන නිශ්චිත කුසලතා ශ්‍රමිකයින්ට ලබා දීම සඳහා ආයෝජනය කරන්නේ ආයතනහිමියන් විසින්.
නිදහස් සෞඛ්‍යයක් නොතිබුණානම් වෙන්නෙත් ඔය වගේ දෙයක්. ආයතනයකට අවශ්‍ය වන්නේ නිරෝගී සේවකයින්. තමන්ගේ ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කරන එක ප්‍රාග්ධනහිමියෙකුට අවාසිදායක දෙයක් නෙමෙයි. රජය මැදිහත් වී ඒ ආයෝජනය කරනවානම් ඔවුන්ට මේ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් ඔවුන් අතින් මේ වැඩේ වෙනවා. ගොඩක් තේ වතු වල වතු දොස්තරලා සිටීම උදාහරණයක්.
වසර විස්සකට පමණ පෙර මමත් පැත්තක හිටපු එක් රැස්වීමකට ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ආයතන ගණනාවක සභාපතිවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වුනා. එහිදී රාජ්‍ය අංශයෙන් ඉදිරිපත් වූ එක් යෝජනාවක් වුනේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීමෙන් පසු එහි වියදම සඳහන් බිල්පතක් ලබා දිය යුතු බවයි. මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් අදහස් වුනේ නැහැ. "ඔබට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙපමණ මුදලක් වැය කර ඇත" කියා දැනුම්දීමක් කරන එකයි අදහස් කළේ. තරමක් දුරට අපේ ප්‍රාන්ත රජය බදු ආදායම වියදම් කරන විදිහ දැනුම් දීමට සමාන දෙයක්. සමහර විට මේ අදහස පෞද්ගලික අංශයේ පැසසුමට ලක් වෙයි කියා හිතුවා වෙන්න පුළුවන්.
ඉහත අවස්ථාවේදී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් එහි සිටි පෞද්ගලික අංශයේ ලොක්කන් සියලු දෙනාම එක හෙළා පෙනී සිටිමින් අදහස් දැක්වුවා. මෙය එහි සිටි රාජ්‍ය අංශයේ නිලධාරීන් විසින් අපේක්ෂා නොකළ දෙයක් කියා මා සිතනවා. ඔවුන් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නොවන්නට එම වියදමද ඔවුන්ට සේවක වැටුප් වලට එකතු කරන්නට සිදු වන බවයි. වෙනත් විදිහකින් කියනවානම් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා ඇත්තටම ඔවුන්ට සිදු වන්නේ වාසියක් බවයි.
විකල්ප ඉතිහාසයට නැවත ගියොත්, කිසියම් ආයතනයකට ඔවුන්ගේ ශ්‍රමිකයින්ව පුහුණු කළ හැකි වුවත්, එය කරන්නත් යම් මූලික අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. එම මූලික අධ්‍යාපනය එක් එක් ආයතනය විසින් වෙන වෙනම ලබා දෙන එක කාර්යක්ෂම නැහැ. රටේ ආර්ථිකය විසින් මෙවැනි මූලික පොදු අධ්‍යාපනයක් ඉල්ලා සිටින තත්ත්වයට ආවට පස්සේ කොහොමටත් එය කරන්නට සිදු වෙනවා. මෙහිදී ඉල්ලීම එන්නේ රටේ ප්‍රාග්ධනහිමියන්ගේම පැත්තෙන්. ඒ නිසා, බදු මගින් පිරිවැය ආවරණය කර ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
රටේ ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වෙද්දී, ශ්‍රම බලකාය සඳහා අවශ්‍ය වන මූලික පුහුණුවේ මට්ටමත් එන්න එන්නම ඉහළ යනවා. එවිට රජය මුල් වී ලබා දෙන පොදු අධ්‍යාපනය සඳහා දේශපාලන තෙරපුමද ඉහළ යනවා. මේ තෙරපුම එන්නේ ප්රාග්ධනය පැත්තෙන්මයි. ඒ නිසා, මෙයට සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සියල්ලන්ටම තිබෙන අයිතිය වගේ සංකල්ප අදාළ හෝ අවශ්‍ය වන්නේ නැහැ. අධ්‍යාපනයේ අරමුණ වන්නේම රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කිරීම නිසා ඔය දෙක අතර තුලනය දිගටම තියෙනවා. ඉගෙනගත් කෙනෙකුට රැකියාවක් නැති වෙන්නේ නැහැ.
ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් අවස්ථාවේදී එය නොකළත් යම් කාලයකට පසුව එය සිදු වෙනවා. ඒ නිසා, නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් අපි දැන් ඉන්න තැන නෑ කියා හිතන එක සිදු නොවිය හැකිව තිබුණු තත්ත්වයක් හිතින් මවා ගෙන කරන සංසන්දනයක්. හැබැයි එය මේ විකල්ප ක්‍රමයට සිදු වුනානම් එය සිදු වන්නේ වඩා ප්රශස්ත ආකාරයකටයි. එහෙම වුනානම් රටට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඒ විදිහටම ඇති වන්නේ නැහැ. රටට ප්‍රමාණවත් ප්‍රාග්ධන සංචිතයක් නොමැති වීමේ ඉඳලා සංක්‍රමණ ප්රශ්නය දක්වා ප්‍රශ්න ගණනාවකට හේතු වී තිබෙන කරුණු අතර ඕනෑවට වඩා කලින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයද එක් හේතුවක්.
කෙටිකාලීනව හා මැදිකාලීනව ප්‍රශ්න වලට පිළියමක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් කියා කියන්නේත් ඇත්තටම දිගුකාලීනව රටට ප්‍රශ්නයක්. රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොහැදෙන්න සහ අපනයන තරඟකාරිත්වය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ. මේ ගැන පෙර ලිපියක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ මත යැපෙන්න සිදු වී තිබෙන්නේ රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැති නිසා. රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැත්තේ ප්‍රමාණවත් ප්‍රාග්ධන ආයෝජන කළ හැකි ප්‍රාග්ධනහිමියෝ රටේ නැති නිසා. එවැන්නන් රටේ නැති වීමට නිදහස් අධ්‍යාපනය හේතුවෙන් පොල් කඩන්නවත් කෙනෙක් ගම් වල නැති වීමත් හේතුවක්. සමාජ සාධාරණත්වය වෙනම කරුණක්.
ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ අරමුණ වුනේ සමාජ සාධාරණත්වය වැනි දෙයක් මිසක් රැකියා වෙළඳපොළ අවශ්‍යතාවය කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි පාලනයේ ඊට පෙර කාලයේදී අධ්‍යාපනය ලබාදීම සහ රැකියා වෙළඳපොළ අවශ්‍යතා සැපිරීම එකට ගියා. පල්ලි හා පන්සල් වෙනත් අරමුණු වලින් අධ්‍යාපනය ලබා දුන්නා. එහෙත් එය වෙනත් අයට බරක් වුනේ නැහැ.
නිදහස් අධ්‍යාපනය නිසා වුනේ කකුල් දෙකට කලින් සපත්තු දෙක යනවා වගේ වැඩක්. අධ්‍යාපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම සෝවියට් දේශයේ පැවති ආකාරයේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට ගැලපෙනවා. එවැනි ක්‍රමයක් තුළ එක් පැත්තකින් විවිධ රැකියා අතර ආදායම් විෂමතා අඩුයි. අනෙක් පැත්තෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීම මධ්‍යගතව සිදු වන නිසා රැකියා සැපයීමද මධ්‍යගත සැලසුමේම කොටසක්. ඒ නිසා, මධ්‍යගත සැලසුම ඇතුළේම, අධ්‍යපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම ලොකු අවුලකට හේතු වෙන්නේ නැහැ. රැකියා අවශ්‍යතා එක්ක එකට යන විදිහට අධ්‍යපනය මධ්‍යගතව සැලසුම් කරන්න පුළුවන්.
ලංකාවේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුමක් තිබුණේ නැහැ. ඒ නිසා, අධ්‍යාපනය මධ්‍යගත ලෙස සැලසුම් වෙද්දී විරැකියාව ප්‍රශ්නයක් වෙලා අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවය පුරවන්න සිදු වුනා. මේ ප්රශ්නය මෑතක් වන තුරුම තිබුණු ප්‍රශ්නයක්. ප්රශ්නය ඔය මට්ටමෙන් හෝ විසඳී තිබෙන්නේ රැකියා සඳහා විදේශගත වීම් සහ සංක්‍රමණය නිසා. කාලයක් සිවිල් යුද්ධයත් ප්‍රශ්නයට විසඳුමක් වෙලා තිබුණා. දකුණේ කැරළි දෙක නිසාත් ප්රශ්නයේ බර යම් තරමකින් අඩු වුනා.
සමහර සමාජ ප්‍රශ්න හෝ බැලූ බැල්මටම පෙනෙන විකෘති වලටත් නිදහස් අධ්‍යාපනය හේතු වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් වෛද්‍යවරයෙකු වෙන්නේ සැලකිය යුතු ධනයක් තිබෙන පවුලක කෙනෙක් පමණයි. එවැන්නෙක් වෛද්‍යවරයෙක් වී මුලින්ම රැකියාව පටන් ගනිද්දී වෛද්‍යශාලාවක් දමාගන්න අවශ්‍ය ප්රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. වාහනයක් ගන්න සල්ලි තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට වෛද්‍යවරයෙකුගේ දරුවෙකුම වෛද්‍යවරයෙකු වී පියාගේ රැකියාව දිගටම කරගෙන යයි. දන්ත වෛද්‍ය (දන්ත කාර්මික) රැකියාව කාලයක් සිදු වුනේ ඔය විදිහට. මේ තත්ත්වය දැනටත් ඇමරිකාවේ එතරම් දුලබ නැහැ.
ඉංජිනේරු රැකියාවක් වගේ දෙයක් ගැන හිතමු. අඩු ආදායම්ලාභී පවුලක දරුවෙකුට අධ්‍යාපනය හරහා ඉහළ නැගීම කළ නොහැක්කක්නම්, ඉංජිනේරු අධ්‍යාපනය තෝරා ගන්නේ ඒ සඳහා විශේෂ කැමැත්තක් තිබෙන අයෙකු පමණයි. එවැන්නෙකු අධ්‍යපනය නිම කිරීමෙන් පසුව කිසියම් ව්‍යවසායයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. ඒ නිසා, රැකියා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වෙන්නේ රැකියා කිහිපයක් අලුතෙන්ම හැදෙන එකයි. ඒ හරහා එම අධ්‍යාපනය ලබා නොමැති අඩු ආදායම්ලාභීන්ටද අවස්ථාවක් ලැබෙනවා.
වෛද්‍ය අධ්‍යපනය මෙන් ලංකාවේ නීති අධ්‍යාපනය විශ්ව විද්‍යාල පද්ධතිය තුළට අවශෝෂණය කර ගැනුනේ නැහැ. ඒ නිසාම, නිල බාධාවක් නැතිවම, කාලයක් ලංකාවේ නීති වෘත්තීය සීමිත කවයකට සීමා වී තිබුණා. නීතිඥයින්ගේම දරුවන් බොහෝ විට නීතිඥයින් වී පියාගේ රැකියාව කරගෙන ගියා. ඔවුන්ට රැකියාව ඇරඹීම සඳහා මූලික ප්රාග්ධනය ප්‍රශ්නයක් වූයේ නැහැ. නීතිඥයින්ට රැකියා සැපයීමේ බර රජය මත පැටවුනේද නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා සිදු වූ වෙනස්කම් නොවන්නට වෛද්‍ය වැනි අනෙකුත් රැකියා හා අදාළව පැවතිය හැකිව තිබුණේද මෙවැනිම තත්ත්වයක්.
නිදහස් අධ්‍යාපනය සාධාරණීකරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද මේ ලිපිය තුළම තිබෙනවා. ඒ පැත්ත ගැන ඕනෑ තරම් කතා කෙරී තිබෙන නිසා මම ඒ ගැන බර තබන්නේ නැහැ. මෙහි උත්සාහ කළේ වැඩිපුර නොදකින පැත්ත පෙන්වා දීමටයි.
නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පරම්පරා තුනක් තුළ පොල් කැඩූ අයෙකුගේ දරුවෙකු ගුරුවරයෙකු වී ඒ ගුරුවරයාගේ දරුවා වෛද්‍යවරයෙකු වෙන එකක් නැහැ. ඒ අර්ථයෙන් බලද්දී, පෞද්ගලිකව බොහෝ දෙනෙකුගේ දෘෂ්ඨි කෝණ වලින්, නිදහස් අධ්‍යපනය කියන්නේ අපට ලැබුණු අත්තටු කියා හිතන එක හරි. නමුත් රටේ පැත්තෙන් බලනවානම් මෙය ලංකාවට සිදු වූ හොඳම දෙයක් කියා අනිවාර්යයෙන් කියන්න බැහැ.
"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"
මේ ප්රශ්නය එදා කවුරු හෝ විසින් ඇහුවානම් එය එවකට සමාජ ධුරාවලියේ පහළම සිටි අය ඉහළට පැමිණීම වැළැක්වීමේ පටු අරමුණින් ඇසූ ප්‍රශ්නයක් නොවන්න පුළුවන්. රටේ අනාගතය ගැන පුළුල් දැක්මක් තිබුණු දූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදකයෙකුට මේ වගේ ප්‍රශ්නයක් අහන්න වලංගු හා සාධාරණ හේතු තිබෙනවා.
කවුරු ඉදිරිපත් කළත්, නිදහස් අධ්‍යාපන යෝජනාව කියා කියන්නේ වාමාංශික දේශපාලනයේ කොටසක්. ක්‍රිස්ගෙන් අහපු ප්රශ්නය ඇතුළේ තියෙන්නේ දක්ෂිණාංශික දේශපාලනය. සමාජ සාධාරණත්වයට ඉහළින් සමස්තයක් ලෙස රට ගැන හිතපු කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
බලන්ගොඩ හෙන ඩොටේ ඉපදිලා එහෙ පාසැල් ගිය පොරක් ඉන්නවා මම දන්න.
ReplyDeleteආයේ ඉතිං සල්ලි වලට අමු කුනා
'ධනවාදය'ට මං කැමතියි සැකක් නැත
ReplyDeleteඒත් ඒක සාධාරණ වීම මත!
කෙලෙසද ඒක වෙන්නේ පැනයයි ම'සිත
පාරවමින් තිබුණෙ - උත්තර ලැබුණෙ නැත
ඉකොනෝ ඔබෙනි නිසි පිළිතුර අද ලැබුණේ
(ඇයි මෙතුවක් කලක් එය සිහියේ නොවුණේ)
ධනවාදෙටත් සීමා- මායිම් ඕනේ
'නියාමනය' කොයි දේටත් ගැළපෙන්නේ!
නිදහස් අද්යාපනය (ලංකාවට සාපේක්ශව ) නැති දුප්පත් රටවල ඔය විදියට වෙලා තියෙනවද?
ReplyDeleteවැඩිය ඈතට යන්න අවශ්‍ය නැහැ. ලංකාවට සාපේක්ෂව ඉන්දියාවට ප්‍රාග්ධන ප්‍රශ්නයක් නැහැ. ශ්‍රමය සහ ප්රාග්ධනය අතර තුලනය වඩා ප්‍රශස්තයි. ඉන්දියාවට ලංකාවට වඩා තරඟකාරී විය හැකිව තිබෙන්නේ ඒ නිසා.
DeleteThis comment has been removed by the author.
Deleteඅපිට ඕනෙ ප්රාග්දනය හා ශ්‍රමය අතර තුලනයක් හදන්නද? නැතිනම් හොඳට ජීවත් වෙන්නද?
Deleteඉන්දියාව වෙනම කේස් එකක්නෙ. එතන ප්රාග්දනය හැදෙන්න අදික ජනගහනයත් බලපානව.
ලන්කාව තරමෙ අෆ්‍රිකන් රටක් ගත්තොත් ඔය සූත්ටය අනුව ප්රාග්දනය තියෙන මිනිස්සු ඉන්න රටවල් තියෙනවද?
//අපිට ඕනෙ ප්රාග්දනය හා ශ්‍රමය අතර තුලනයක් හදන්නද? නැතිනම් හොඳට ජීවත් වෙන්නද?//
Delete"අපි" කියන්නේ කවුද? ඔබ සහ ඔබේ පවුලේ අයද? එසේ නැත්නම් සමස්තයක් ලෙස රටවැසියාද?
මම අහන්නෙ මිනිහෙක් ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද.?
Deleteමම හෝ රටවැසියා හෝ ගැන නෙමෙයි කතා කරන්නෙ.
ඒ කියන්නේ තනි පුද්ගලයෙක් ගැනනේ. තනි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ හොඳට ජීවත් වෙන්න. ඒක කරන්න හැකි වෙන්නේ පවතින තත්ත්වයට සාපේක්ෂව. පවතින තත්ත්වය හොඳ වුනත් නරක වුනත් තනි පුද්ගලයෙක් ඒ තත්ත්වය යටතේ වැඩිම වාසියක් ගන්න බලනවා. උදාහරණයක් විදිහට නොමිලේ අධ්‍යපනය ලබා ගැනීමේ අවස්ථාවක් තිබේනම් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි තනි පුද්ගලයෙක් විසින් කළ යුත්තේ සහ කරන්නේ. ඉන් පසුව කළ යුත්තේ සහ කරන්නේ තමන්ට වැඩිම මිලක් ගෙවන අවස්ථාවක් සොයා ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අවස්ථාව රටේ නැත්නම් රටින් පිටවීමයි. ප්‍රතිපත්ති සම්පාදනයේ අරමුණ වෙනත් රටවලට සුබසාදිත ශ්‍රමය සැපයීම මගින් හැකි තරම් වැඩි පිරිසකගේ ඒ තනි පුද්ගල අවශ්‍යතාවය සපුරන එකනම් ඒ ක්‍රමය හොඳයි. මෙය ආයතනයකට ආදේශ කළහොත් වසර ගණනක් මුදල් වැය කර ශ්‍රමිකයෙක් පුහුණු කරලා වැඩි වැටුප් දෙන වෙනත් ආයතනයකට මුදා හරිනවා වගේ වැඩක්. ඒ ශ්‍රමිකයාගේ පැත්තෙන් හොඳයි. හොඳට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. නමුත් ඔය වැඩේ දිගින් දිගටම වෙද්දී ආයතනය බංකොලොත් වෙනවා. තුලනය අවශ්‍ය වෙන්නේ ආයතනයට.
Deleteඉකොනොමැට්ටා මෙතන කියා තියෙන කරුණු ඇත්තටම ගොඩක් වැරදියි නේද? මොකද ඇත්තටම රටකට අවශ්‍ය වන්නේ ශ්‍රමය සහ ප්රාග්ධනය අතර තුලනයක් ඇති කිරීම පමණක් නොව, එමගින් රටේ සියලු පුරවැසියන්ට හොඳින් ජීවත් වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි. ආර්ථික විද්‍යාවේදී, සාර්ව ආර්ථික ස්ථාවරත්වය (macroeconomic stability) සහ ස්ථාවර වර්ධනය (sustainable growth) අත්‍යවශ්‍ය වන්නේ රටක සමස්ත යහපැවැත්ම උදෙසාය. එහෙත්, අවසාන අරමුණ වන්නේ තනි පුද්ගලයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ඔවුන්ට නිදහසේ තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, තම අරමුණු කරා ළඟා වීමටත් අවස්ථාව සැලසීමයි.
Deleteඉකොනොමැට්ටා මෙතන කරපු ප්‍රකාශය, පුද්ගලයාගේ තාර්කික හැසිරීම (rational behaviour) සහ සාමූහික ප්‍රතිඵල අතර ඇති වෙනස ගැන අවබෝධයක් නැතිව ලියලා තියෙන බවයි මට පේන්නේ.
ඉකොනොමැට්ටා ප්‍රධාන වශයෙන් වැරදි උපකල්පන කිහිපයක් මත පදනම් වී ඇති බව පැහැදිලියි. එම උපකල්පන වල වැරදි සහ ඒවාට එරෙහිව ඉදිරිපත් කළ හැකි සාක්ෂි මෙලෙස විග්රහ කළ හැකිය.
1. "තනි පුද්ගලයෙක් වැඩිම වාසියක් ගන්න බලනවා" – මානව හැසිරීම අතිශය සරල කිරීමක්, මේ ප්‍රකාශය ආර්ථික විද්‍යාවේ "තාර්කික මිනිසා" (Homo Economicus) යන සංකල්පය අතිශයෝක්තියට නංවා ඇත. සැබෑ ලෝකයේ මිනිස් හැසිරීම හුදෙක්ම මුදල් හෝ ක්ෂණික වාසිය මත පමණක් පදනම් නොවේ.
සමාජ විද්‍යාත්මක සාක්ෂි:
සමාජ බැඳීම් සහ සංස්කෘතික සාරධර්ම: මිනිසුන් රැකියා තෝරා ගැනීමේදී හෝ ජීවත්වන ස්ථානය තෝරා ගැනීමේදී පවුල් බැඳීම්, මිත්‍ර සබඳතා, සංස්කෘතික පරිසරය සහ ආගමික විශ්වාසයන් වැනි බොහෝ සාධකවලට විශාල වැදගත්කමක් දෙයි. උදාහරණයක් ලෙස, ඉහළ වැටුපක් ලැබෙන විදේශීය රැකියාවක් තිබියදීත්, බොහෝ දෙනා තම දෙමාපියන්, දරුවන් හෝ සමීපතමයන් හැර යාමට මැළි වෙති. මව්බිමේ ජීවත් වීමේ මානසික තෘප්තිය, විදේශයන්හි ලැබෙන ඉහළ වැටුපට වඩා වටිනා ලෙස සලකන අවස්ථා බොහෝයි.
ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය: "හොඳට ජීවත් වීම" යනු මුදල් පමණක් නොවේ. එයට සමාජ ආරක්ෂාව (විශ්වාසදායක සෞඛ්‍ය සේවා, හොඳ අධ්‍යාපන පද්ධති), පිරිසිදු පරිසරයක්, අඩු අපරාධ අනුපාතයක්, ප්‍රජා සේවාවන් සහ දේශපාලන ස්ථාවරත්වය ද ඇතුළත් වේ. අඩු ආදායමක් සහිත වුවද, ඉහළ ජීවන තත්ත්වයක් පවතින රටක හෝ ප්‍රදේශයක රැඳී සිටීමට පුද්ගලයන් කැමති විය හැකියි.
සමාජ වගකීම සහ දේශප්‍රේමය ගත්තත් බොහෝ පුද්ගලයන්ට තම රටට, ප්‍රජාවට හෝ සමාජයට යම් දායකත්වයක් ලබා දීමට දැඩිලෙස අවශ්‍යයි. විශේෂයෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගිය වෘත්තිකයන් අතර, තම දැනුම හා අත්දැකීම් උපන් බිම වෙනුවෙන් යෙදවීමට කැමැත්තක් දක්වයි.
උදාහරණ:ජපානය, ජර්මනිය වැනි රටවල වැටුප් එක්සත් ජනපදයට වඩා අඩු වුවත්, බොහෝ දෙනා තම මව්බිමේ රැඳී සිටින්නේ එක්සත් ජනපදයට වඩා ඒ රටවල ජීවන තත්ත්වයේ ඉහළ ගුණාත්මකභාවය, සමාජ බැඳීම් සහ සංස්කෘතික වටිනාකම් හේතුවෙනි.
ලංකාවේම, විදේශයන්හි ඉහළ වැටුප් ප්‍රතික්ෂේප කර දේශීයව සේවය කරන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ කලාකරුවන් සිටින්නේ ඔවුන් රටට දක්වන ආදරය සහ සමාජ වගකීම නිසායි.
ඊළඟට
Delete2. "නොමිලේ අධ්‍යාපනය දිගටම දීම රට බංකොලොත් කරනවා කියන කතාව" – වැරදි හේතු-ඵල සම්බන්ධයක්
නිදහස් අධ්‍යාපනයෙන් රට බංකොලොත් වන බවට හෝ ප්රාග්ධනය නැති වන බවට කරන ප්‍රකාශය ආර්ථික විද්‍යාත්මකව සාවද්‍යයි. අධ්‍යාපනය යනු මානව ප්රාග්ධනයෙහි සිදු කරන ආයෝජනයක්. එය රටක දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්.
ආර්ථික විද්‍යාත්මක සාක්ෂි:
මානව ප්රාග්ධනයේ වටිනාකම: අධ්‍යාපනය මගින් පුද්ගලයන්ගේ නිපුණතා, දැනුම සහ ඵලදායිතාව ඉහළ යයි. මෙය ආර්ථික වර්ධනයේ මූලික එන්ජිමකි. දකුණු කොරියාව, සිංගප්පූරුව, ෆින්ලන්තය වැනි රටවල් දියුණු වූයේ තම මානව ප්රාග්ධනයෙහි දැවැන්ත ආයෝජනයන් සිදු කිරීමෙනි. ඔවුන්ගේ සාර්ථකත්වය නිදහස් අධ්‍යාපනය වැනි ක්‍රම මගින් ගුණාත්මක මානව සම්පතක් බිහි කිරීමේ ප්රතිඵලයකි.
"බුද්ධි ගලනය" යනු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් මිසක් අධ්‍යාපනයෙන් උගත් පිරිසක් විදේශගත වන්නේ අධ්‍යාපනය නොමිලේ වූ නිසා නොව, දේශීය ආර්ථිකය තුළ ඔවුන්ට සුදුසු රැකියා අවස්ථා, තරඟකාරී වැටුප්, පර්යේෂණ හා සංවර්ධන අවස්ථා හෝ දියුණු ජීවන තත්ත්වයක් නොමැති වීම නිසයි. මෙය වෙනත් රජයේ ආර්ථික ප්රතිපත්තිවල, ආයෝජන ප්‍රවර්ධනයේ සහ ස්ථාවරත්වයේ ඇති අඩුපාඩුවක් මිස කිසිසේත්ම අධ්යාපනයදෙන විදියේ වරදක් නොවේ.
ආයෝජනයේ ප්රතිලාභ: අධ්‍යාපනය සඳහා දරන වියදම, දීර්ඝකාලීනව රටට බදු ආදායම්, නව ව්‍යාපාර, නවෝත්පාදන සහ සමස්ත ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් ආපසු ලැබේ. බුද්ධි ගලනය සිදුවුවද, විදේශගත වන අයගෙන් විශේෂයෙන්ම මැදපෙරදිග රටවල සේවයට යන අය වගේ අය නිසා ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ (remittances) රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. ලංකාවට සෑම වසරකම ලැබෙන විශාලතම විදේශ විනිමය ප්‍රවාහය වන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්.
උදාහරණ:
ෆින්ලන්තය ගත්තොත් ලොව විශිෂ්ටතම අධ්‍යාපන පද්ධතියක් ඇති රටක් වන ෆින්ලන්තය, සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලබා දෙයි. ඔවුන් "බුද්ධි ගලනයකට" මුහුණ දෙනවා වෙනුවට, ලෝකයේ වඩාත් නව්‍යකරණය වූ සහ සමෘද්ධිමත් ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව ඇත්තේ, තම මානව ප්රාග්ධනය දේශීයවම රඳවා ගැනීමට සහ භාවිතා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළ බැවිනි.
ඉන්දියාවත් ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ඉංජිනේරු විද්‍යා ආයතන (IITs) රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතන වන අතර, ඒවා ලෝකයේ හොඳම ඉංජිනේරුවන් බිහි කරයි. මෙම ඉංජිනේරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් විදේශගත වුවද, ඔවුන් එවන විදේශ විනිමය සහ නැවත ඉන්දියාවට පැමිණ නව ව්‍යාපාර ආරම්භ කිරීම තුළින් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අංශයට සහ සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙයි.
3. "ප්‍රතිපත්ති සම්පාදනයේ අරමුණ වෙනත් රටවලට සුබසාදිත ශ්‍රමය සැපයීම" – රාජ්‍යයේ අරමුණ විකෘති කිරීම
මෙම ප්‍රකාශය රාජ්‍යයේ මූලික කාර්යභාරය සහ ප්‍රතිපත්ති සම්පාදනයේ සැබෑ අරමුණ පිළිබඳව වැරදි චිත්‍රයක් මවයි.
නීතිමය හා ආර්ථික විද්‍යාත්මක සාක්ෂි:
පුරවැසි යහපැවැත්ම: සෑම රාජ්‍යයකම මූලිකම අරමුණ වන්නේ තම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ඔවුන්ට ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබා දීම සහ සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කිරීමයි. විදේශගත වීම සඳහා පහසුකම් සැලසීම (උදා: කම්කරු කාර්යාංශ හරහා) යනු දේශීයව රැකියා අවස්ථා හිඟ වූ විට, තාවකාලික ආර්ථික විසඳුමක් මිස, රටක දීර්ඝකාලීන උපාය මාර්ගයක් නොවේ.
රාජ්‍ය ආදායම සහ සංවර්ධනය: රජයක් අධ්‍යාපනයට ආයෝජනය කරන්නේ අනාගතයේදී එම උගතුන් රටේ ආර්ථිකයට දායක වී, බදු ගෙවා, රටේ සංවර්ධන කටයුතු සඳහා දායක වනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
උදාහරණ:
සිංගප්පූරුව වැනි රටවල්, දේශීයව ඉහළ වැටුප් සහ ජීවන තත්ත්වයක් පවත්වා ගනිමින්, බුද්ධි ගලනය අවම කර, ගෝලීය දක්ෂතා ආකර්ෂණය කර ගනී. ඔවුන්ගේ ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මිස, වෙනත් රටවල් සඳහා ශ්‍රමය සැපයීමට නොවේ.
මේ අනුව ඉකොනොමැට්ටාගේ ඉහත සාවද්‍ය ප්‍රකාශය, මානව හැසිරීම, නිදහස් අධ්‍යාපනයේ වටිනාකම සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ සැබෑ අරමුණු පිළිබඳව පවතින සාවද්‍ය සහ පටු දෘෂ්ටිකෝණයන් පෙන්නුම් කරයි. නිදහස් අධ්‍යාපනය රටක් බංකොලොත් කරන සාධකයක් නොව, එය දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍යම වන ඉතාම වටිනා මූලික ආයෝජනයකි. "බුද්ධි ගලනය" යනු අධ්‍යාපනයේ අසාර්ථකත්වයක් නොව, දේශීය ආර්ථිකයේ අවස්ථා නිර්මාණය කිරීමට රජයට ඇති අභියෝගයන්ගේ ප්රතිඵලයකි.
රටක සැබෑ අරමුණ විය යුත්තේ, පුද්ගලයාට තම උපරිම හැකියාවන් කරා ළඟා වීමට අවශ්‍ය පරිසරය දේශීයවම ගොඩනැගීම තුළින්, ඔවුන්ගේ පෞද්ගලික සමෘද්ධිය රටේ සමස්ත ආර්ථික සමෘද්ධියට ඍජුවම දායක වන බවට සහතික වීමයි. එසේ නොමැති නම්, එම රට බිහි කරන්නේ තම රටටම පාඩු ගෙන දෙන, ස්වයං විනාශකාරී ආර්ථික ක්‍රමයක් මිස, සැබෑ ලෙසම සමෘද්ධිමත් ජාතියක් නොවේ. මේ නිසාම ඉකොනොමැට්ටා කියා ඇති කරුණු සියල්ල පදනමක් නොමැති අතිශය සාවද්‍ය ව්‍යාජ තර්ක බව පැහැදිලිවම කියන්න පුළුවන්.
අපේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක්ද නොමිලේ අධ්‍යාපනයක්ද
ReplyDeleteඉකොනොමැට්ටා ලියා ඇති මේ පෝස්ට් එකේ වැරදි ගණනාවක්ම තිබෙනවා, මේ බෝහෝ කරණු හුදෙක්ම මනස්ගාත වන අතර ඒ පිළිබඳව මම සාධක සහිතව ලියන්නම් මේක බලන අය වෙනුවෙන්. ඇත්තටම ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රමය සහ ප්රාග්ධනය අතර සමතුලිතතාව පිළිබඳව ගැඹුරින් විමසා බැලීම හරිම වැදගත්. ඉකොනොමැට්ටා වගේ බොරු මනස්ගාත වෙනුවට අපි හුදෙක් සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් නොව, දීර්ඝකාලීන ප්‍රතිපත්ති, සමාජ ව්‍යුහය සහ අධ්‍යාපන පද්ධතියේ බලපෑම ගැන විග්රහ කරමු.
ReplyDelete1. ඉකොනොමැට්ටා ගෙනහැරපාන ශ්‍රමය හා ප්‍රාග්ධන සමතුලිතතාව සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය,
ආර්ථික විද්‍යාවේදී ශ්‍රමය (labour) සහ ප්රාග්ධනය (capital) යනු නිෂ්පාදන සාධක (factors of production)යි. ආර්ථික වර්ධනය සඳහා මේ දෙක අතර ප්රශස්ත සමතුලිතතාවක් අත්‍යවශ්‍යයි. ලංකාව සම්බන්ධයෙන්, මෙම සමතුලිතතාව අවිනිශ්චිත තත්ත්වයක පවතී.
ලක්දිව ප්රාග්ධනයේ හිඟය: ලංකාව දිගු කලක් තිස්සේ දේශීය ප්‍රාග්ධන සමුච්චයක් ගොඩනගා ගැනීමට අසමත් වී ඇත. මෙයට හේතුව මේ කියන නිදහස් අධ්‍යාපන නිසා වෙච්ච මගුලක් නෙවෙයි රටේ ආයෝජන ප්‍රවර්ධනයට ඇත්තටම බාධා වූ දේශපාලන අස්ථාවරත්වය, ප්රතිපත්තිවල අඛණ්ඩතාවක් නොමැතිකම සහ මහබැංකුවේ ඉහළ පොලී අනුපාත දේශීය ආයෝජන අධෛර්යමත් කර ඇත.
එමෙන්ම විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව ද සීමිත වී ඇත්තේ රතු පටි ක්‍රම (red tape), අක්‍රමිකතා සහ විදේශ ආයෝජකයන්ට විශ්වාසයක් නොමැතිකම හේතුවෙනි.
ශ්‍රම බලකායේ අභියෝග: ලංකාවේ ශ්‍රම බලකාය තුළ උගත් පිරිසක් සිටියද, ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් ඔවුන්ට සුදුසු රැකියා අවස්ථා හිඟය. විශේෂයෙන්, උසස් අධ්‍යාපනය ලබන පිරිසගේ අපේක්ෂාවන් සහ වෙළෙඳපොළේ අවශ්‍යතා අතර පරතරයක් (skill-mismatch) පවතී. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය (TVET) ප්‍රමාණවත් ලෙස සංවර්ධනය වී නොතිබීම මෙයට එක් හේතුවකි. එසේම, සංවර්ධනයට අත්‍යවශ්‍ය වන නිපුණතා සහිත ශ්‍රමිකයන් (skilled labour) හිඟයක් ද ඇතැම් අංශවල පවතී.
මේ අනුව, ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට අපහසු වන අතර, පවතින ශ්‍රම බලකාය නිසි ලෙස ඵලදායීව යෙදවීමට නොහැකි වීම නිසා ශ්‍රමය සහ ප්රාග්ධනය අතර සමතුලිතතාව බිඳී ඇත.
2. ඉන්දියාවේ හා දකුණු ආසියානු රටවල තත්ත්වය
ඉන්දියාව: ඉන්දියාවේ ආර්ථික වර්ධනය බොහෝ දුරට රඳා පවතින්නේ එරට අධික ජනගහන වර්ධන වේගය, උපත් පාලන ක්‍රම දුර්වල වීම නිසාම අතිවිශාල ශ්‍රම බලකායක් (විශේෂයෙන් තරුණ ශ්‍රම බලකායක්) සහ ඉන්දියාවේ විශාල ලෙස පවතින ස්වභාවික සම්පත්, පිහිටීමේ වාසිය, භූදේශපාලන අවශ්‍යතාවන් මත එක්සත් ජනපදය සහ බටහිර යුරෝපීය දේශපාලන කඳවුර විසින් චීනයේ වේගවත් වර්ධනය අඩාල කිරීමට උපක්‍රමයක් ලෙස පසුගිය දශක දෙක තුළ ලැබුණු විශාල විදේශ සෘජු ආයෝජන (FDI) ප්‍රවාහය මතයි. එක්සත් ජනපද මෘදුකාංග ක්ෂේත්රයේ ධනවත් සමාගම්වල උවමනාව අනුව ඉන්දියාව තුල තොරතුරු තාක්ෂණය (IT) සහ සේවා අංශය තුළ ගෝලීය වශයෙන් ශ්‍රම බලකායක් නිර්මාණය කර ඇති අතර, එය විදේශ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. ඉතාමත්ම සැලසුම්ගත ලෙස මධ්‍යගතව ආර්ථිකය හසුරුවන භාරතීය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ උපක්රමශීලීත්වය නිසා ඔවුන්ගේ ශ්‍රම වෙළෙඳපොළ වඩාත් නම්‍යශීලී වී ඇති අතර, විදේශ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා එරට රාජ්‍ය ප්‍රතිපත්ති ද වඩාත් ක්‍රියාශීලීව ක්‍රියාත්මක වේ. භූදේශපාලන උපාය මාර්ග නිසා, ඉන්දියාව තුළ ශ්‍රමය හා ප්රාග්ධනය අතර ලංකාවට වඩා යහපත් සමතුලිතතාවක් පවතී.
අනෙක් දකුණු ආසියාතික රටවල් (සාමාන්‍යයෙන්): දකුණු ආසියාතික කලාපයේ රටවල් (බංග්ලාදේශය, පාකිස්තානය වැනි) විශාල ශ්‍රම බලකායන්ට හිමිකම් කියන නමුත්, භාරතය මෙන් භූදේශපාලන අවශ්‍යතාවය දුර්වල වීම නිසාම ඉන්දියාවට සාපේක්ෂව ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීමේදී විවිධ අභියෝගවලට මුහුණ දෙයි. කෙසේ වෙතත්, බංග්ලාදේශය වැනි රටවල් ඇඟලුම් කර්මාන්තය වැනි ශ්‍රම-අධික කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, අඩු වැටුප් සහිත ශ්‍රමය උපයෝගී කරගෙන විදේශ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාවට සාපේක්ෂව මෙම රටවල සමස්ත ශ්‍රම බලකාය විශාල වුවද, ඔවුන්ගේ රජයන්ගේ ආකර්ෂණීය ආයෝජන ප්‍රතිපත්ති සහ ආර්ථික ව්‍යුහයන් ප්‍රාග්ධන ආකර්ෂණය සඳහා වැඩි අවස්ථා උදා කරගෙන ඇත.
3. ඊළඟට නිදහස් අධ්‍යාපනයේ බලපෑම සහ ප්රාග්ධනය අහිමි වීම ගැන ඉකොනොමැට්ටා ලියා ඇති බහුබූත අධික ලෙස බීමත්ව ලියා ඇති විකාර ලෙස ප්රත්යවේක්ෂා කළ හැකියි, මොකද ඇත්තටම ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු මූලික වශයෙන් රටේ මානව ප්රාග්ධනය (human capital) සංවර්ධනයට අතිවිශාල දායකත්වයක් ලබා දුන් සාධකයක් බව නොකිවමනායි. එය සමාජයේ සෑම ස්ථරයකටම අධ්‍යාපනයට ප්‍රවේශය ලබා දී, ඉහළ සාක්ෂරතා මට්ටමක් සහ උගත් ශ්‍රම බලකායක් බිහි කර ඇත. මේ උගතුන් නුගතුන්ට සාපේක්ෂව කිහිප ගුණයකින් වටිනාකම සෑහෙන වැඩි මානව සම්පතක්, මානව ප්රාග්ධනය ඉතාම පැහැදිලිවම පෙනෙන්නට ඇත. අඩුවෙන්ම උගත් කලා උපාධිධාරීන් පවා නූගත් ශ්‍රමිකයන්ට වඩා සැලකිය යුතු ලෙස වටිනාකම සෑහෙන ඉහළයි.
Deleteකෙසේ වෙතත්, මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමය ප්‍රාග්ධන සමතුලිතතාවයට අහිතකර ලෙස බලපෑවේ යැයි පැවසීම බොහෝ අසාර්ථක ප්‍රකාශයකි. එය කිසිසේත්ම ප්රාග්ධනය විනාශ කළේ නැත. නමුත්, ඇතැම් අංශවලින් සුළු වක්‍ර බලපෑම් ඇති වූ බව සිතිය හැකියි, උදාහරණ විදිහට
ශ්‍රම වෙළෙඳපොළට අනුකූල නොවීම (Mismatch): නිදහස් අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන් උසස් අධ්‍යාපන අංශය, වෙළෙඳපොළේ අවශ්‍යතාවලට වඩා න්‍යායාත්මක විෂයයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා, උපාධිධාරීන්ට සුදුසු රැකියා සොයා ගැනීමට අපහසු වීම සහ එයින් "උගත් විරැකියාව" (educated unemployment) ඇතිවිම වගේ ඒවා.
ඊළඟට බුද්ධි ගලනය (Brain Drain): නිදහස් අධ්‍යාපනය තුළින් ඉහළ නිපුණතා ලද වෘත්තිකයන් (වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ ශිල්පීන්) දේශීයව සුදුසු අවස්ථා නොමැති වීම, ප්‍රමාණවත් වැටුප් නොමැතිකම සහ දියුණු ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් විදේශගත වීම "බුද්ධි ගලනය" නිසා රට විසින් ආයෝජනය කරන ලද මානව ප්රාග්ධනය විදේශ රටවල් වෙත ගලා යාම, දේශීය ප්‍රාග්ධන සමුච්චයට අහිතකර ලෙස බලපා තිබෙනවා. මෙය ප්රාග්ධනය "විනාශ කිරීමක්" නොව, එහි පලා යාමක් ලෙස සැලකිය හැකිය. රටක් මානව ප්රාග්ධනය ගොඩනැගීමට දැරූ ආයෝජනයෙන් ප්රතිලාභ නොලැබීමක් ලෙස මෙය දැකිය හැකියි.
4. විදේශ රැකියා සහ නිදහස් අධ්‍යාපනය ගත්තාම ලංකාවේ ජනතාවට විදේශ රැකියා සඳහා යාමට ලැබීම නිදහස් අධ්‍යාපනය නිසා ලැබුණු සැලකිය යුතු වාසියක් බව නිසැකවම පැවසිය හැකියි. විශේෂයෙන්, උසස් අධ්‍යාපනය ලබා මැදපෙරදිග රටවල සේවයට යන අය වගේ ඉහළම රැකියාවලට විදේශගත වන වෘත්තිකයන්ට සහ විදේශ ශිෂ්‍යත්ව ප්රදානය වු අයට ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් දැරීමට සිදු නොවීමත් විශාල වාසියක්. ඔවුන් විදේශයන්හිදී ඉහළ වැටුප් ලබා ගන්නා අතර, එමගින් රටට ඩොලර් බිලියන අටක පමණ වාර්ෂික විදේශ විනිමයක් (remittances) ගලා ඒමද සිදු වේ.
කෙසේ වෙතත්, මෙය දෙපැත්ත කැපෙන ද්විත්ව දාර කඩුවක් (double-edged sword) බඳුයි. එක් අතකින් විදේශ විනිමය ලැබීම ආර්ථිකයට වැදගත් වුවත්, අනෙක් අතට දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දක්ෂ ශ්‍රමිකයන් අහිමි වීම දීර්ඝකාලීන සංවර්ධනයට බාධාවක්.
5. ඊළඟට මම දකින හැටියට"නිදහස් අධ්‍යාපනය" සහ "නොමිලේ අධ්‍යාපනය"
කියන යෙදුම් දෙක බොහෝ විට එකිනෙකට ආදේශක ලෙස භාවිතා වුවත්, අධ්‍යාපනවේදීන් හා ආර්ථික විද්‍යාඥයන් අතර ඒවාට සියුම් වෙනසක් පවතී.
නොමිලේ අධ්‍යාපනය (Free Education): මෙය මූලික වශයෙන් අධ්‍යාපන ක්‍රියාවලියේදී සිසුන්ගෙන් සෘජු ගාස්තු අය නොකිරීමයි. එනම්, පාසල් ගාස්තු, විභාග ගාස්තු, පෙළපොත් ආදිය රජය විසින් සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සිට විශ්වවිද්‍යාලය දක්වා බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ "නොමිලේ අධ්‍යාපනය" යන සංකල්පයයි. මෙහිදී, අධ්‍යාපනය සඳහා වන සෘජු මූල්‍ය බර සිසුන් මත පැටවෙන්නේ නැත.
නිදහස් අධ්‍යාපනය (Liberated Education/Education for Liberation): මෙය වඩා පුළුල් සංකල්පයකි. මෙහිදී අදහස් කරන්නේ අධ්‍යාපනය මගින් පුද්ගලයාගේ සර්ව සම්පූර්ණ සංවර්ධනය, විචාර බුද්ධිය, ස්වාධීන චින්තනය, සමාජ සාධාරණත්වය සහ සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව ඇති කිරීමයි. එය හුදෙක් ගාස්තු රහිත වීම ඉක්මවා ගිය දර්ශනයකි.
අධ්‍යාපනය සිසුන්ව සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන බැඳීම්වලින් "නිදහස්" කර, ඔවුන්ට ස්වාධීනව සිතීමට, ප්‍රශ්න කිරීමට සහ සමාජයට අර්ථවත් දායකත්වයක් ලබා දීමට අවස්ථාව සලසා දීම මෙයින් අදහස් කරයි.
සාපේක්ෂව ලංකාවේ පවතින්නේ "නොමිලේ අධ්‍යාපනය" වන අතර, "නිදහස් අධ්‍යාපනය" යන දර්ශනය සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට තවත් බොහෝ දුර යා යුතුව ඇත. නොමිලේ අධ්‍යාපනය තුළින් "නිදහස් අධ්‍යාපනයක්" බිහි වුවද, සෑම විටම එය එසේ සිදු නොවන බව මගේ පෞද්ගලික අදහසයි.
ඉකොනොමැට්ටා මේ වගේ මනස්ගාත ලියන්නේ නැතිව මෙන්න මේ සරල ප්‍රශ්න කීපයට උත්තර දෙන්න පුළුවන්ද ඉස්සෙල්ලාම?
Delete01. ලංකාව වැනි රටවල් විශාල මහජන මුදලක් වැයකර නිර්මාණය කරන උගත් තරුණ වෘත්තීයවේදීන් වගේ අය බුද්ධි ගලනය සහ මානව ප්‍රාග්ධන ආයෝජනයේ ප්රතිලාභ අහිමිවීම නිසා ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළින් බිහිවන ඉහළ නිපුණතා සහිත මානව ප්රාග්ධනය විදේශගත වීම, රටේ දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය වන නව්‍යකරණය (innovation) සහ ඵලදායිතාව (productivity) කෙරෙහි කෙතරම් දුරට අහිතකර ලෙස බලපායි ද?
මෙම "ආයෝජන කාන්දුව" අවම කර ගැනීමට සහ දේශීය ආර්ථිකය තුළ මෙම මානව ප්රාග්ධනය රඳවා ගැනීමට ගත හැකි සාර්ථක ප්‍රතිපත්ති මොනවාද?
ශ්‍රමය හා ප්රාග්ධනය අතර අසමතුලිතතාවට බලපාන ව්‍යුහාත්මක සාධක ලෙස ලංකාවේ ප්‍රාග්ධන හිඟය සහ ශ්‍රම බලකායේ නිපුණතා පරතරය ආර්ථිකයේ අංශ අතර (කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා) පවතින ව්‍යුහාත්මක විෂමතාවන්ට දායක වන්නේ කෙසේද? මෙම ව්‍යුහාත්මක ගැටලු නිරාකරණය කර, ශ්‍රමය සහ ප්රාග්ධනය වඩාත් ඵලදායී ලෙස යොදා ගත හැකි වන පරිදි ආර්ථික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?
විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය සහ ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ පිළිබඳව සැලකීමේදී ලංකාවට FDI ආකර්ෂණය කර ගැනීමට පවතින ප්‍රධාන බාධක මොනවාද? ශ්‍රම වෙළෙඳපොළ නම්‍යශීලීභාවය (labour market flexibility) වැඩි කිරීම, කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම FDI ආකර්ෂණය කර ගැනීමට සහ පවතින ශ්‍රම බලකාය සඳහා ගුණාත්මක රැකියා උත්පාදනය කිරීමට කෙතරම් දුරට දායක විය හැකිද?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය ගත්කල ලංකාවේ "නොමිලේ අධ්‍යාපන" ක්‍රමය "නිදහස් අධ්‍යාපන" දර්ශනය කරා ගෙන යාමටත්, ඒ ඔස්සේ ආර්ථික වර්ධනයට සෘජුවම දායක වන ශ්‍රම බලකායක් බිහි කිරීමටත් ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මොනවාද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ සමපාත කරන්නේ කෙසේද? පුද්ගලික අංශයේ දායකත්වය මේ සඳහා ලබා ගත හැකි ආකාරය කුමක්ද?
ආර්ථික අවපාතය සහ මානව ප්රාග්ධනයට ඇති බලපෑම අනුව ලංකාවේ පවතින ආර්ථික අවපාතය ලංකාවේ මානව ප්රාග්ධනයේ ගුණාත්මක භාවයට සහ එහි අනාගත ඵලදායිතාවයට දීර්ඝකාලීන බලපෑමක් කරන්නේ කෙසේද? විශේෂයෙන්, ආහාර අනාරක්ෂිතභාවය, අධ්‍යාපන අවස්ථා අහිමි වීම සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇතිවිය හැකි මානව ප්‍රාග්ධන ඛාදනය අවම කර ගැනීමට ගත හැකි ක්ෂණික සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග මොනවාද?