මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්‍රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්.
ප්‍රස්තුත කාරණය හා අදාළව කිහිප දෙනෙක්ම කියා තිබුණේ ඊනියා ජාවාරම්කරුවන් විසින් හිඟයක් ඇති කොට අදාළ දුම්රිය ප්‍රවේශපත්‍ර කෘතිම මිලකට විකිණීම මගින් ලාබයක් උපයන බවයි. දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව අලුත් කතාවක් වුවත්, මේ කතාව අලුත් කතාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට ඊනියා හාල් මාෆියාව පිළිබඳ ජනප්‍රිය කතාවත් ඕකමයි.
මේ සටහනෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ මේ තර්කය තුළ තිබෙන විසංවාදය පෙන්වා දීමටයි. මිල බුබුළු වැනි විශේෂ තත්ත්වයන් වලදී හැර, නියම මිලට වඩා වැඩි කෘතීම මිලකට භාණ්ඩයක් විකුණා කාටවත් ලාබයක් ලබන්න බැහැ. එසේ ලාබයක් ලබන්නේනම් අදාළ භාණ්ඩය විකිණෙන්නේ නියම මිලට මිසක් කෘතිම මිලකට නෙමෙයි.
ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී සිදු වී තිබෙන්නේ රජය විසින් කෘතිම මිලක් නියම කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අවස්ථාව හඳුනා ගන්නා පුද්ගලයෙකුට ලාබයක් ලැබීමට අවස්ථාවක් උදා වීමයි. ඇතැම් අය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා.
මේ සංවාදය මූලික වශයෙන්ම අදාළ වන්නේ ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය ගමන්වාර වලට බැවින් අප ඒ කෙරෙහි අවධානය යොදවමු. එහෙත් ගමන්වාරයක් සඳහා දුම්රිය ආසනයක් කලින් මිල දී ගත හැකි ඕනෑම අවස්ථාවකට මෙය පොදුවේ අදාළයි. එසේ ආසන වෙන් කිරීමක් සිදු නොකෙරෙන දුම්රිය ගමන්වාර ගැන තවදුරටත් කතාකරන්න අවශ්‍යනම් වෙනම කතා කරමු.
ඇල්ල ඔඩිසි දුම්රිය සතියකට දින දෙකක් (බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින වල) කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙනවා. පසු දින (සිකුරාදා සහ ඉරිදා දිනවල) ආපසු කොළඹ බලා පැමිණෙනවා. මෙම දුම්රිය මූලික වශයෙන්ම සංචාරක ආකර්ශනයක්. ගමන අතරතුර ඡායාරූප ගැනීමට ඉඩ සලස්වමින් සංචාරක ආකර්ෂණ ස්ථාන අටක හෝ ආසන්න ප්‍රමාණයක දුම්රිය නවත්වනවා. දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල පළමු, දෙවන හා තෙවන පංති ප්‍රවේශපත්‍ර සඳහා පිලිවෙලින් රුපියල් 5000ක්, 4000ක් සහ 3000ක් වෙනවා. ගමන සිදුවන දිනට දින 30කට පෙර සිට මාර්ගගත ක්‍රමයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකියි.
මේ දුම්රිය ප්‍රවේශපත් ඊයේ දිනය තෙක්ම ලෝකය පුරා විවිධ වෙබ් අඩවි වල සැලකිය යුතු ඉහළ මිලකට අලෙවි වුනා. ඊයේ පරීක්ෂා කරද්දීත් පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල ඩොලර් 57ක්. මාස කිහිපයකට පෙර මතක හැටියට යුරෝ හැත්තෑ ගණනක හෝ වැඩි මිලකට අලෙවි වුනා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවහොත් ඩොලර් 57ක් කියන්නේ රුපියල් 17,100ක මිලක්. රජය විකුණන මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි.
සමහර අය පෙන්වා දී තිබෙන්නේ මෙවැනි මිලකට විකිණිය හැක්කේ ටිකට්පත් කිහිපයක් පමණක් බවයි. එකම ටිකට්පත වෙනුවෙන් වුවත් එක් එක් පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිල වෙනස්. මෙවැනි මිලකට ඕනෑම ටිකට්පත් ප්‍රමාණයක් විකුණන්න බැහැ. නමුත් තැරැව්කරුවෙකුට අඩු ටිකට්පත් ප්‍රමාණයක් පමණක් විකුණා වුවත් ලාබයක් ලබා ගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස යම් නිශ්චිත ගමන්වාරයක් සඳහා පළමු පංතියේ ආසන ප්‍රමාණය 30ක් පමණක් කියා හිතමු. මෙම ටිකට් සියල්ල මිල දී ගැනීම සඳහා තැරැව්කරුවෙකු විසින් ගෙවිය යුත්තේ රුපියල් 150,000ක (= 5000x30) මුදලක් පමණයි. ටිකට්පතක් රුපියල් 15,000 බැගින් විකිණුවහොත්, ටිකට්පත් 10ක් පමණක් විකුණා ඒ මුදල හොයා ගන්න පුළුවන්. ඊට වඩා ටිකට් විකුණා ගන්න පුළුවන් වුවහොත් එම අතිරික්ත මුදල තැරැව්කරුවාගේ ලාබයයි.
තැරැව්කරුවන් විසින් රුපියල් 5000 ගෙවා තොග වශයෙන් ටිකට්පත් මිල දී ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන්ට එම ටිකට්පත් වැඩි මිලකට විකුණා ලාබයක් ගැනීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් ඇති බවයි. ඔවුන් විසින් ටිකට්පත් සියල්ලම විකුණන්නේද නැද්ද යන්න අදාළ කරුණක් නෙමෙයි. එසේ විකිණුවත් නැතත් ඔවුන් ලාබයක් ගන්නවා. ලාබයක් නැත්නම් ඔවුන් මේ වැඩේ කරන්නේ නැහැ.
තැරැව්කරුවන්ට ටිකට්පතක් රුපියල් 5000 බැගින් මිල දී ගෙන වැඩි මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් සහ එහිදී ඔවුන් අතින් අගය එකතු කිරීමක් සිදු නොවන්නේනම්, අපට තර්ක කළ හැක්කේ මෙම ලාබය රජයටම ලබාගත හැකිව තිබුණු ලාබයක් බවයි. එය එසේනම් ප්‍රශ්නයට හේතුව රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කිරීමයි. තැරැව්කරුවන් විසින් කර ඇත්තේ එසේ රජය විසින් කෘතීම මිලකට විකුණන ටිකට්පත් මිල දී ගෙන නියම මිලට විකිණීම මගින් ලාබයක් ලැබීමයි.
රජය විසින් ටිකට්පත් විකුණා ඇත්තේ නියම මිලටනම්, තැරැව්කරුවන් විසින් සිදු කර ඇත්තේ අගය එකතු කිරීමක් කර එම අගය එකතු කිරීම වෙනුවෙන් මුදලක් ලබා ගැනීමයි. එය එසේනම් ඔවුන්ගේ මිලද නියම මිලක් මිස කෘතීම මිලක් නෙමෙයි.
ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඉහත කරුණු දෙකේම මිශ්‍රණයක්. රජය විසින් කෘතීම මිලකට ටිකට්පත් අලෙවි කරන නිසා ඇතිව තිබෙන ටිකට්පත් හිඟයෙන් තැරැව්කරුවන් වාසියක් ගෙන තිබෙන අතර අගය එකතු කිරීම් කරමින් එම අගය එකතු කිරීමේ මිලද ඔවුන් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ඊයේ ඩොලර් 57කට අලෙවි වූයේ අවසන් දිනය තෙක් ආපසු විකිණිය හැකි (refundable) ටිකට්පතක්. එම පහසුකම නොමැති ටිකට්පතක් අලෙවි වූයේ ඩොලර් 47.50ක මිලකටයි. මේ අනුව, ඩොලර් 7.50ක් අය කර තිබුණේ මෙම ආපසු විකිණිමේ පහසුකම වෙනුවෙනුයි.
දන්නා තරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විකිණූ ටිකට්පත් ආපසු මිල දී ගන්නේ නැහැ. මෙම පහසුකම අදාළ තැරැව්කරුවන් විසින් සිදු කර ඇති අගය එකතු කිරීමක්. එම මුදල දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගත හැකි වන්නේ එවැනිම අගය එකතු කිරීමක් කළහොත් පමණයි. කෙසේ වුවත්, සමස්තයක් ලෙස ගත් විට ප්‍රශ්නයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෘතිම අඩු මිලකට ටිකට්පත් විකිණීමයි. එය කෙතරම් අඩු මිලක්ද යන්න අදාළ කරුණක් නෙමෙයි.
භාණ්ඩයක මිල කෘතිම මිලක් යන්නෙන් අදහස් වන්නේ එය නියම මිල නොවන බවයි. ඒ නිසා, කෘතිම මිලක් ගැන කතා කිරීම සඳහා නියම මිල පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍රයක නියම මිල කීයද?
භාණ්ඩයක නියම මිල කියා කියන්නේ එහි ඉල්ලුම හා සැපයුම තුලනය වන මිලයි. පළමු පංතියේ ඇල්ල ඔඩිසි දුම්රිය ප්‍රවේශපත්‍ර හා අදාළව, අඩු වශයෙන් කෙටිකාලීනව, සැපයුම වෙනස් නොවන නියතයක්. එහෙත්, දිනය අනුව ඉල්ලුම වෙනස් වෙනවා. නියම මිල කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ දිනයේ ප්‍රවේශපත්‍ර සඳහා තිබෙන ඉල්ලුම මතයි. මිල නියම මිලද කියා අපට තහවුරු කර ගත හැක්කේ කෙසේද?
පහත අවශ්‍යතා දෙක සම්පූර්ණ වේනම්, ටිකට්පත් මිල නියම මිල කියා අපට කියන්න පුළුවන්.
1. ගමන්වාරය ආරම්භ වීමට ආසන්න වන තුරුම අවශ්‍ය අයෙකුට ටිකට්පත් මිල දී ගැනීමට හැකි විය යුතුයි. එනම් ටිකට්පත් කලින් විකිණී අවසන් නොවිය යුතුයි.
2. ගමන්වාරය ආරම්භ වන අවස්ථාව වන විට සියලුම ටිකට්පත් විකිණී අවසන් විය යුතුයි.
ඉල්ලුම හා සැපයුම හරියටම තුලනය වේනම් අන්තිම ටිකට්පත හරියටම අවසන් මොහොතේ විකිණිය යුතුයි. මේ තරම්ම ප්‍රශස්ත ලෙස ඉල්ලුම කළමනාකරණය කර ගැනීම ප්‍රයෝගිකව අපහසු වුවත් විචල්‍ය මිල ක්‍රමයක් මගින් ඊට බොහෝ ආසන්න ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ලෝකයේ ප්‍රධාන දුම්රිය සේවා සියල්ලක්ම මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවා සපයන්නන් විසින්ද අනුගමනය කරන්නේ මේ ක්‍රමයයි.
විචල්‍ය මිල ක්‍රමයකදී සිදු වන්නේ ඉල්ලුම හා ගැලපෙන පරිදි ආන්තික මිල වෙනස් කිරීමයි. ආන්තික මිල යනු අවසන් ටිකට්පත විකිණෙන මිලයි. ඊනියා තැරැව්කරුවන් විසින් කරන්නේ මෙයයි. ඔවුන් මිල දී ගන්නා ටිකට්පත් සියල්ල විකිණී අවසන් නොවේනම් එයින් අදහස් වන්නේ ආන්තික මිල ශුන්‍ය බවයි. එනම් අවසන් ටිකට්පත් වලින් පාඩුවක් සිදු වන බවයි. එහෙත්, ඔවුන්ට සමස්තයක් ලෙස පාඩුවක් සිදු වන්නේ නැහැ. ඉල්ලුම සහ සැපයුම තුලනය වන්නේ ආන්තික මිල අනුව වුවත් ලාබය කෙරෙහි බලපාන්නේ සාමාන්‍ය විකිණුම් මිලයි.
ඇතැම් අය ප්‍රශ්නයක් කරගෙන තිබෙන්නේ ආසන හිස්ව තිබීමයි. දුම්රිය නඩත්තු කිරීමේ ප්‍රධාන අරමුණ හැකි තරම් මගීන් ප්‍රවාහනය කිරීමනම් මෙය ප්‍රශ්නයක්. වැඩට යන වෙලාවල මගී දුම්රිය හා අදාළව තත්ත්වය මෙය වුවත්, ඇල්ල ඔඩිසි වැනි සුඛෝපභෝගී දුම්රිය යෙදවීමේ අරමුණ විය යුත්තේ ලාබ ලැබීම සහ විදේශ විණිමය ඉපැයීමයි. ඒ සඳහා අනිවාර්යයයෙන්ම සියලුම ආසන පිරී තිබිය යුතු නැහැ.
තැරැව්කරුවන් පැත්තකින් තියා රජය විසින්ම ටිකට් විකුණන්නේයැයි සැලකුවත්, රුපියල් 5000 බැගින් ටිකට්පත් 30ක් විකුණනවාට වඩා රුපියල් 8,000 බැගින් ටිකට්පත් 20ක් විකුණන එක ලාබයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තේරුම් ගෙන නැති මේ කරුණ තැරැව්කරුවන් විසින් තේරුම් ගෙන තිබෙනවා.
කෙසේ වුවත්, මිල හැකි තරම් වැඩි කරන අතරම ආසන සියල්ලම පිරවීමෙන් වඩා වැඩි ලාබයක් ලබා ගන්න පුළුවන්. විචල්‍ය මිල ක්‍රමයේදී සිදු වන්නේ එයයි. උදාහරණයක් ලෙස දින 30කට පෙර ටිකට්පත් විකිණීම ආරම්භයේදී රුපියල් 5000 වෙනුවට රුපියල් 10000ක් ලෙස ටිකට්පත් මිල කරන්න පුළුවන්. යම් නිශ්චිත දින ගණනකට පෙර, උදාහරණයක් ලෙස දින 15කට පෙර, ටිකට්පත් වලින් 50%කට වඩා විකිණුනොත් ඒ වහාම මිල 20%කින් වැඩි කරන්න පුළුවන්. දින 15කට පසුවත් ටිකට්පත් වලින් 50%ක් විකිණී නැත්නම් මිල 20%කින් අඩු කරන්න පුළුවන්. අවසාන මොහොත දක්වාම ටිකට්පත් යම් ප්‍රමාණයක් විකිණී නැත්නම් කළ යුත්තේ එම ටිකට්පත් කීයකට හෝ විකුණන එකයි. රුපියල් 50කට විකිණුවත් එය ලාබයක්.
මේ ක්‍රමයෙන් පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදු වෙන්නේ නැහැ. යම් නිශ්චිත දවසක ටිකට්පත් මිල ගොඩක් වැඩිනම්, ඒ දවසේම ගමන යා යුතු කෙනෙක් කීයක් හෝ ගෙවා ටිකට්පත මිල දී ගනියි. මගේ බිරිඳ ලංකාවේ සිටියේ සීමිත දින ගණනක් පමණක් නිසාත්, ඇල්ල ඔඩිසි ගමන් වාර තිබෙන්නේ සතියකට දෙවරක් පමණක් නිසාත් ඇයට වෙනත් විකල්ප තිබුණේ නැහැ. බොහෝ විදේශ සංචාරකයින් හා අදාළවද තත්ත්වය එයයි. තමන්ට අවශ්‍ය දිනයේ ගමන යාම සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවන්න කැමතියි.
නමුත් බොහෝ දේශීය සංචාරකයින් මිලට සංවේදීයි. ඔවුන්ට දවස වෙනස් කරගන්න අපහසුවක් නැහැ. ඒ නිසා, විචල්‍ය මිල ක්‍රමයක් පවතීනම්, ඔවුන් අඩු මිලක් ගෙවා යා හැකි දිනකට ගමන වෙනස් කරගන්නවා.දුම්රිය ගමනක් සඳහා කලින් ආසන වෙන් කරගන්නා කෙනෙක් කොහොමටත් අවදානමක් ගන්නවා. යම් හේතුවක් නිසා ගමන යන්න නොහැකි වුනොත් ගෙවපු මුදලින් ප්‍රයෝජනයක් නැහැ. මගේ බිරිඳ වෙනුවෙන් ඇල්ල ඔඩිසි ටිකට් මිල දී ගන්න උත්සාහ කළත්, ඒ වෙද්දී ඒ ගමන යන බව ඇය ස්ථිරව තීරණය කරලා තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණානම් මම අවම වශයෙන් ටිකට් දෙකක් ගන්නවා. ඇත්ත වශයෙන්ම සුඛෝපභෝගී බස් රථයක අසුන් දෙකක් කලින් මිල දී ගත්තා. ඒ විකල්පයක් විදිහට.
දුම්රිය ටිකට්පත් මිල දී ගත හැකි වුනානම් කොහොමටත් බස් ගමන සිදු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුම්රිය ගමන යන්න බැරි වුනා වගේම බස් ගමන ගියේත් නැහැ. ඒ ආසන දෙක හිස්ව තියෙන්න ඇති. යම් ආකාරයකින් බස් ගමන ගියානම් බොහෝ විට ගමන යන්නේ තනියම. ටිකට් දෙකක්ම මිල දී ගත්තේ තනියම යන්න වුනානම් යාබද අසුන හිස්ව තියා ගන්න. යාබද අසුන් මිල දී ගැනීම සඳහා මේ වෙද්දී ප්‍රධාන ගුවන් යානා සමාගම් ගණනාවක්ම ඉඩ ලබා දෙනවා. ප්‍රවාහන සමාගමක පැත්තෙන් වැදගත් වන්නේ ආසන ප්‍රමාණය සඳහා අදාළ මිල කවුරු හෝ විසින් ගෙවන එක මිසක් ඒ ආසන වල කවුරු හෝ වාඩි වී යනවාද කියන එක නෙමෙයි.
තැරැව්කරුවන් හිටියත් නැතත් ඇල්ල ඔඩිසි වැනි දුම්රිය ගමනකට සමහර දින වල ඉල්ලුම වැඩියි. සමහර දිනවල අඩුයි. ඒ නිසා, සැපයුම වැඩි කළත් ප්‍රශ්නයේ කොටසක් ඉතිරි වෙනවා. විචල්‍ය මිල ක්‍රමයෙන් ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ අවස්ථාවේදී තැරැව්කරුවන් විසින් රජය පැත්තෙන් සිදුව තිබුණු අඩුපාඩුවකින් ප්‍රයෝජන ගත්තා. රජය විසින් ඒ අඩුපාඩුව නිවැරදි කර ගැනීම නිවැරදියි. නමුත් වෙළඳපොළ ප්‍රසාරණය කරන්නන් ලෙස තැරැව්කරුවන්ගෙන් සිදු වන සේවය අමතක කරන්න බැහැ. සමහර විට ඉල්ලුම මේ තරම් වැඩි වී තියෙන්නේම තැරැව්කරුවන් නිසා වෙන්න පුළුවන්.
අරමුණ ලාබ වැඩි කර ගැනීමනම්, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෙළින්ම මගීන්ට ටිකට් විකිණුවත්, තැරැව්කරුවන්ට විකිණුවත් එහි වෙනසක් නැහැ. ඇත්ත වශයෙන්ම තොග වශයෙන් තැරැව්කරුවන්ට ටිකට් විකුණන එක වඩා කාර්යක්ෂමයි. එක් යෝජනාවක තිබුණ පරිදි ටිකට් බ්ලොක් විදිහට තැරැව්කරුවන්ට වෙන්දේසි කරන එක වුනත් හොඳ ක්‍රමයක්. වෙන්දේසි කළාට පස්සේ ඒ ටිකට් කීයට විකුණවද, විකිණෙන්නේ නැද්ද වගේ කරුණු අදාළ නැහැ. වෙන්දේසි කරද්දී උපරිම මිලකට වෙන්දේසි කළානම් එච්චරයි.
ඇල්ල ඔඩිසි උදාහරණයට ගත්තත්, වායු සමීකරණය කළ සහ පළමු පංතියේ දුම්රිය ප්‍රවේශපත්‍ර ඕනෑම එකකට මේ කරුණු පොදුවේ අදාළයි. මෙවැනි සුඛෝපභෝගී ගමන්වාර අවස්ථා වලින් වැඩි ලාබයක් ලැබීම මගින් ආසන වෙන් කිරීමක් සිදු නොවන සාමාන්‍ය මගී දුම්රිය ගමන්වාර වල පාඩුවෙන් කොටසක් හෝ පියවා ගන්න පුළුවන්. ඒ වගේම වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන්.
වැරදී.
ReplyDelete@ ඉකොනො
ReplyDeleteමම ඔයාගේ පෝස්ට්වල දැකපු එක විශේෂ දෙයක් තමයි සමහර ඇනෝලා ඉතාම වැදගත් සහ දිර්ඝ විස්තර සහිතව හොඳ ප්‍රශ්න අහලා තියෙනවා ඒත් ඔයා ඒවාට උත්තර නොදී මග ඇරලා ඒ වෙනුවට ගොන් ප්‍රශ්න අහන සමහරක් profile කාරයන්ට උත්තර දෙන්න කාලය නාස්ති කරනවා, අන්තිමට ඔයා දිගටම උත්තර ලියලත් තේරුම් ගන්න බැරුව ආයේ ආයේ ඒකම අහනවා. අනික උන් එන්නෙත් මොකක් හරි විකාර ඇනෝ නමකින් මිසක් සැබෑ නමින් නෙවෙයිනේ.
මෙච්චර ලියන්න දෙයක් නෑ කලින් පෝස්ට් එකෙන් මේක පැහැදිලිවම තේරෙනවානේ සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට. ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නය ඇත්තටම ලංකාවේ ඇල්ල ඔඩිසි කියන ඉතාමත්ම ජනප්‍රිය විදේශ සංචාරකයන් අතර ප්‍රචලිතව පවතින පළමු පන්තිය සහ නැරඹීමේ මැදිරි සහිත දුම්රියේ ටිකට් සම්බන්ධව මේ දවස්වල බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී තිබෙන මොහොතක ඇත්තටම රජයට මේ ටිකට් විවෘත ටෙන්ඩර ක්‍රමයකට ලියාපදිංචි ටිකට් නියෝජිතායතන වලට වෙන්දේසි කරන්න පුළුවන් නේද? උදාහරණ විදියට ටිකට් සීයක් තියෙනවා නම් මේක ලියාපදිංචි වෙනස් සංචාරක ඒජන්සි පහකට වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරන්නට බැරිද අර මහ බැංකුව බැඳුම්කර වෙන්දේසිය කරන විදියට? ඊට පස්සේ ඒ අයට ඕනෑ නම් ලාබ තියාගෙන පිට අයට විකුණන්න පුළුවන්ද ඒක අවුලක් නෑ රජය සේරම කරට අරගෙන පාස්පෝට් චෙක් කර කර නටන්න ගියාම තියෙන එකත් නැති වෙනවා නේද?
(මම ඇනෝ දාන නිසා මේකට උත්තර නොදී ඉන්න එපා කරුණාකර මේකට උත්තර දෙන්න පුළුවන් නම් ඒක වටිනවා, සමහර විකාර කමෙන්ට් දැන ඇනෝලා ඉන්නවා තමයි ඒත් ඔය ඇනෝ එන හැමෝම අඩු කුලේ නෙමෙයි උන්ට උත්තර නොදී වෙනස්කම් කරන්න එපා හරිද?)
මෙන්න මේක තමයි ටුවරිස්ට්ල ගැන මහා අනුකම්පාවක් තියෙනවනම් කරන්න ඕන. නිත්‍යානුකූල ක්‍රමයට රජයට ආදායම එන්න කොටසක් වෙන්දේසි දාන එක ඒජන්සි වලට. නතුව කලුකඩවලට වවාගෙන කන්න දෙන එක නෙමෙයි අර දකුනු ඉවුරෙ හරක් කියනව වගෙ. හැබැයි ඉතින් සේම් සර්විස් එකට ටූ ප්‍රයිසස්.
Deleteමම හිතන්නේ පාස්පෝට් හෝ හැඳුනුම්පත් පරීක්ෂා කරන එකේ වැරැද්දක් නැහැ. එය ගොඩක් ප්‍රවාහන සේවා වල සිදු වන සාමාන්‍ය දෙයක්. අනෙක් අදහස හොඳ අදහසක්. ඒ ගැන මේ සටහනේත් ලියා තිබෙනවා.
Deleteඇනෝ ප්‍රතිචාර නොසලකා හරින්නේ නැති වුනත්, ChatGPT වැනි LLM භාවිතායෙන් සකස් කර අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තරම් කාලය හොයාගන්න අමාරුයි. ඒවා පිළිතුරු අවශ්‍ය නිසා අහන ප්‍රශ්න කියලා මම හිතන්නේ නැහැ.
මමත් මේ උඩ මිත්‍රයා කරලා තියෙන යෝජනාවට මමත් එකඟයි
Deleteඇත්තටම ඔය ඇල්ල ඔඩිසි ටිකට් ගන්න එක ලොකු ගැටලුවක්. විදේශිකයන්ට ටිකට් එකක් ගන්න හරිම අමාරුයි. සමහර වෙලාවට කළු කඩයෙන් ගන්න ගියාම ගණන් දහස් ගණනකින් වැඩි වෙනවා. ඔය කළු කඩය ඇතිවෙන්න ප්‍රධානතම හේතුව, දුම්රිය දෙපාර්තමේන්තුව හැම ටිකට් එකක්ම තමන්ගේ අතින් විකුණන්න හදන එක. ඒ නිසාම කළුකඩයක් හදාගෙන තියෙනවා
ඒ නිසා, මේකට හොඳම විසඳුම විදියට ඔය ඇනෝ කියන යෝජනාව හොඳයි. රජය දුම්රිය ටිකට් විකුණන එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා, ඒ වගකීම ටුවර් ඒජන්සිවලට බාර දෙන්න ඕන.
මට හිතෙන විදියටමේක කරන්න ඕනේ මෙහෙමයි,
1. ටිකට් වෙන්දේසි කිරීම
දුම්රිය දෙපාර්තමේන්තුව ඇල්ල ඔඩිසි වගේ ජනප්‍රිය දුම්රියවල ටිකට් (උදා: පළමු පන්තියේ සහ නැරඹීමේ මැදිරිවල) ටිකක් වෙන් කරලා, ඒ ටිකට් ටික බලපත්‍ර සහිත ටුවර් ඒජන්සිවලට වෙන්දේසි කරන්න පුළුවන්. හරියට මහ බැංකුව බැඳුම්කර විකුණනවා වගේ. ඒ අනුව විවෘත වෙන්දේසියේදී වැඩිම මිලක් කියන ඒජන්සිවලට ටිකට් ටික ලැබෙනවා. ලංකාවේ ලන්දේසි පාලන කාලයේ පවා රේන්ද (Dutch ලන්දේසි බසින් රෙන්ට් වගේ තේරුමක්) කියලා මේ වගේ දේශීය නියෝජිතයන්ට මේ වගකීම පවරලා සාර්ථකව ක්‍රියාත්මක කළා.
ඊට පස්සේ ඒ ටිකට් විවෘත වෙන්දේසියෙන් මිලට ගන්න ටුවර් ඒජන්සිවල කාර්යභාරය, ටිකට් ගත්ත ඒජන්සිවලට පුළුවන්, ඒ ටිකට්වලට තමන්ගේ ලාභය එකතු කරලා විදේශිකයන්ට විකුණන්න. මේකෙන් වංචාකාරී ක්‍රියා නැති වෙලා, විනිවිදභාවය ඇති වෙනවා. ටිකට් කළු කඩයට යන එකක් නෑ.
මේ ක්‍රමයෙන් ලැබෙන වාසි විදියට රජයට වැඩි ආදායමක් ලැබෙනවා උදාහරණ විදිහට රජය ටිකට් එකක මිල රු. 3,000ක් විදියට නියම කළත්, වෙන්දේසියකදී ඒකට රු. 5,000ක් හෝ ඊටත් වැඩියෙන් ලැබෙන්න පුළුවන්. මේ අමතර ආදායම දුම්රිය දෙපාර්තමේන්තුව තවත් වැඩි දියුණු කරන්න යොදාගන්න පුළුවන්.
ඊළඟට රජයට ඇතිවෙන පරිපාලන ගැටලු අවම වීම: අනවශ්‍ය විදියට කාලය නාස්ති කරමින් දුම්රිය මගීන්ගේ පාස්පෝට් චෙක් කරන එක, ටිකට් විකුණන වෙලාවට සර්වර් ඩවුන් වෙන එක වගේ ප්‍රශ්නවලින් රජය නිදහස් වෙනවා. මේ වගකීම් ඒජන්සිවලට යන නිසා, වැඩේ වේගයෙන් සහ කාර්යක්ෂමව සිද්ධ වෙනවා.
සංචාරකයන්ට සෑහෙන පහසුයි. විදේශිකයන්ට තමන්ගේ ටුවර් ඒජන්සියෙන් ටිකට් එක ගන්න පුළුවන් නිසා පහසුයි.
දැන් වගේ ටිකට් ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට කෙලින්ම කතා කරන්න ඕන නෑ. උදේ නමය සහ හවස හතර අතර නිතරම Engage යල්පැනගිය ටෙලිෆෝන් වල කැඩිච්ච ඉංග්‍රීසිය කතා කරන දුම්රිය සේවකයන් එක්ක ඔට්ටු නොවී ලේසියෙන්ම ටිකට් නියෝජිතායතන වලින් ලෑස්ති කරලා දෙනවා.
ලටකාවේ දේශීය
ව්‍යාපාර දියුණු වෙනවා, මේකෙන් රටේ ටුවර් ඒජන්සිවලට හොඳ බිස්නස් එකක් ලැබෙනවා. ඔවුන්ට තව තවත් වැඩ කරන්න ලාබ තියාගෙන විකුණන්න තවත් මාකට් කරන්න සංචාරකයන්ට කතා කරලා ඔවුන්ව පොලඹවන්නට උනන්දුවක් ඇති වෙනවා.
අකාර්යක්ෂමතාවය රජයන මෝඩ වැඩ කරන ආණ්ඩුව ඕන එකයි එපා එකයි හැමදේම තමන්ගේ කරට අරන්, එකක්වත් හරියට කරගන්න බැරුව අනාථ වෙනවා වෙනුවට, මේ වගේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නොත්, හැමෝටම හොඳයි. මේකෙන් රටට සල්ලිත් ලැබෙනවා, සංචාරකයන්ට පහසුකම් වැඩි වෙනවා, ව්‍යාපාරිකයන්ටත් අවස්ථා ඇති වෙනවා රජය හැම දෙයක්ම අනාගෙන හාලා හාලා කිච වෙන එකෙනුත් බේරෙන නිසා ආණ්ඩුවටත් හොඳටම හොඳයි.
මේක ඇල්ල ඔඩිසි ටිකට් ප්‍රශ්නයට තියෙන හොඳම, ප්‍රායෝගිකම විසඳුමක් බවයි මට හිතෙන්නේ.
ඔව්. මෙය හොඳ සහ පහසුවෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි විසඳුමක්.
Deleteමේක තමයි කරන්න ඕන. හැබැයි ඔක්කොම නෙම්යි. කොටසක්. දේශීය සන්චාරකයින්ට අනිවාර්‍යෙන්ම ඇක්සෙසිබල් මිලකට ට්කට් ගන්න පුලුවන් ක්‍රමයක් තියෙන අතරෙ මෙව්ක කලාට කමක් නෑ. මෙතන මේ ඉල්ලුම හැදිල තියෙන්නෙ අසමාන වෙලඳපොලවල් දෙකක් එකම ප්‍රොඩක්ට් එකකට තරඟ කරන නිසා.
Deleteරජයෙන් සහනාධාරයක් දීලා අඩු ආදායම්ලාභීන්ට නොමිලේ යන්න ආසන ප්‍රමාණයක් වෙන් කළානම් හරි! නෙලුම් කුළුණ වගේ අනෙක් තැන් වලත් ඔය වැඩේ කරන්න පුළුවන්.
Deleteසහනාදාර අවශ්‍ය නැහැ. වෙලඳපොල දෙකක් ඉලක්ක කරල ප්‍රයිසස් දෙකක් දැම්මම හරි. දැනටමත් සීගිරිය වගෙ තැන් වල කරන්නෙ. බටහිර රටවලත් කරන්නෙ ඔය සිස්ටම් එක.
Deleteඉකෝන් ඇත්තටම 2024 දෙසැම්බර මාසේ මම ලංකාවේත් මගේ ව්‍යාපාරයක් ආරම්භ කළා මගේ අත්දැකීම අනුව මට කියන්න තියෙන්නේ දැන් මේ දවස්වල කවුරුහරි ලංකාවේ සල්ලි ටිකක් හොයාගෙන තියෙනවා නම්., ඒක වියදම් කරල බිස්නස් එකකට නම් අතගහන්න එපා..,
ReplyDeleteපුළුවන් නම් ඒක වියදම් කරල, යුරෝප්, ජපන්, කොරියා, ඔසි, නිව්සී, ස්විට්සර් වගේ රටකට ගිහින් අවුරුදු 5ක් ඇදල ඇවිත් කැමති නම් බිස්නස් එකක් ආරම්භ කරන්න.,
මේ වගේ කමෙන්ට් දාගෙන ලංකාවේ ව්‍යාපාර කරන්න කියලා උපදෙස් දෙන ඔක්කොම මහත්තුරු., අහසේ සිට බිම ගැන උපදෙස් දෙන්නේ., ලංකාවේ බිස්නස් වල බිම් මට්ටම කියන්නේ සම්පූර්ණයෙන්ම විකාරයක්, ඒක, දැනට ලංකාවේ ආරම්භ කරන බිස්නස් වලින් සාර්ථක වීමේ ප්‍රතිශතය 1%යි, ඇදගෙන යාම් 24%යි, ඉතිරි 75%ම පේල්, අතිඅසාර්ථකයි, යොදවපු සල්ලි ටිකටත් බඩුම තමයි,
හේතු,, ඉස්සෙල්ලාම 2007 සමාගම් පනතේ සමාගම් මැදුරේ පිංපඩි හැත්ත ලියාපදිංචි ගාස්තු ගන්නවා පමණයි වෙන කිසිම සහයක් සොයාබැලීමක් රක්ෂණයක් හදල නෑ
ඒක ලියාපදිංචි කරන ලේකම්ලා 100% උන්ගෙ ගාස්තුව ගන්නවා පමණයි ඊටපස්සේ අවුරුද්ද අවසානේ වාර්තාව සබ්මිට් කරද්දී තමා උන්ට ගානක් කපාගන්න මතක් වෙන්නෙ
ලංකාවේ මහබැංකු සහ මූල්‍ය කටයුතු කරන සියලුම රාජ්‍ය ආයතනවල සියලුම රාජ්‍ය පිංපඩි හැත්තගේ කිසිම සහයක් නෑ., දැනට මම ලංකාවේ මේ වසර මුලදීම මිලදී ගත්ත මගේ දේපලක පස් ටික කපල ව්‍යාපාරයේ කටයුතු කරන්න ස්ටෝරුව හදාගන්න මාස 6කටත් වැඩියි, තවම අනුමැතිය ගන්න බැරිවුනා,,😂😂😂
ලංකාවේ සියලුම බැංකු සහය දෙන්නේ ව්‍යාපාර ස්වභාවයට නෙමෙයි, ව්‍යාපාරයට සල්ලි දාල,, ඒක වගේ සියගුණයක දේපලක් බැංකුවට තිබ්බාම ඒකෙන් අපිට ණයක් දෙනවා පමණයි, බැංකුවේ මුදල් අපිට ණයට දෙන්නේ නෑ
ඊලගට ලංකාවේ මහාපරිමාණ සල්ලිකාරයන්ට සියලුම ව්‍යාපාර වලදි හදල දීල තියෙන ඒකාධිකාරය., උදා:- කුමාරධර්මසේන සහ තවත් 4-5 වගේ මහා සල්ලිකාරයන්ට හරහා පමණයි ලංකාවේ වල්ලපට්ටා කරන්න පුළුවන්, සාමාන්‍ය එකෙක් හදල කරපන් බලන්න, ඌ අනිවාර්යයෙන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරල දඩත් ගහනවා,😂😂
ලංකාවේ යම් ව්‍යාපාරයක කටයුතුවලට අදාල සියලුම රජයේ නිලධාරීන් ඕනෑම ව්‍යාපාරයක් චුට්ටක් වැටීගෙන එනවා නම්, ඒ වැටෙන එකාව තවත් ඉක්මනටම වට්ටල වලක් කපල පයින් ගහල වලට දාල කොන්ක්‍රීටුත් දාල තමා පස්ස බලන්නේ
ඊලගට සියලුම සේවකයන් 100% ලංකාවේ ආයතනවලට ආදරේ, එකම එක සේවකයෙක් වත් නෑ, උන්ට මාසයක පඩිය චුට්ටක් පරක්කු වුනොත්, උන්ටික තමයි ඒ ආයතනයේ පලමු උදලු පාර ගහන්න වලදාන්න,,
ඒ නිසා අන්තිමට ටොප් මැනේජ්මන්ට් එකේ ඉන්න එකා හෝ දෙකා පමණක් සියලුම පාඩු දරාගෙන කෙලවාගෙන මානසිකව වැටිල ගෙවල්වලින් බැනුම් අහගෙන, සේවක, සප්ලයර්ස්, සහ කස්ටමර්ලගෙන් බැනුම් අහගෙන යන්නේ
##මේකත් දිග වැඩි තවත් හේතු සිය ගානක් මට කියන්න පුළුවන්., පලක් නෑ..
#හැකියාවක් තියෙනවා නම් ලංකාවේ සල්ලි ටිකක් හදාගෙන තියෙනවා නම් ඒක ලංකාවේ ව්‍යාපාරයක් කරන්න වැය කරන්න එපා, ඒකෙන් වෙනත් ව්‍යාපාර වලට සහාය දක්වන රටකට ගිහින්, ලංකාවේ ඇවිත් ප්ලෑන් A ප්ලෑන් B එකක් තියාගෙන කරන්න.,
එහෙම නැතිනම් ඔය රජයේ මැති ඇමතිවරු නිලධාරීන් ටීවීවල කියවන කිසිම මහත්තයෙක් නෝනෙක්, තමන්ට කෙලවෙද්දි නෑ ,
ලංකාවේ බිස්නස් එකක් කරනවා කියන්නේම තනිකරම සියදිවි හානිකර ගන්නවා වගේ වැඩක්... මේ කේස් එකේදී වුණත් මම හිතන්නෙ ඔය කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ හොර රැල එක්ක ගේම ගහලා "කලුකඩ " ජාවාරමුන් වැඩි මිලට විකුණපු ටිකට් ගත්ත අය ගැන උනත් හොයලා බලන කොට ඔය කේස් එක වෙච්ච දවසේ උන්ගෙන් ඔය ටිකට් අරගෙන සංචාරකයන්ට ටිකට් දෙන්න ගත්ත ජෙනුවින් ටුවර් ගයිඩ්ලටත් ඕකෙන් හොඳම එකෙන් කෙලවිලා ඇති දැන් බලාගෙන යනකොට, ඒ ගැනත් හොයල බලන්න එහෙම තමයි අන්තිමට කෙලවෙන්නෙ අවංකව ව්‍යාපාර කරන්න හදන උන්ටයි.
ඉකොනො,
ReplyDeleteවිදේශිකයන් ලංකාවට එද්දි ආදායම ලැබෙනනේ කොහොමද?
සුද්දෝ ලංකාවට එද්දි අපේ රජයට ආදායමක් ලැබෙනවා කියනවනේ..
එතකොට ප්‍රධාන ආදායම වෙන්නේ මොකක්ද
වීසා වලට ඔවුන් ගෙවන සල්ලි ද නැත්තං ටිකට් වලට ශ්‍රී ලංකා එකට ගෙවන සල්ලි ද?
මොකද ඔවුන් ටැක්සියකට වැඩි ගාණක් වියදම් කරා කියලා ඒක රජයට ලැබෙන ආදායමක් නෙමෙයිනේ..තරු පහේ හෝටලයක හිටියත් පොඩි ගෙස්ටර් එක හිටියත් එතන ලැබෙන ආදායම රජයට එන්නේ නැහැ..
එතකොට මේක හරියටම ගණනය කරන්නේ කොහොමද? රජය කියන්නේ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන මෙච්චරක් හම්බුනා කියලා. ඒක ගණනය කරන්නේ කොහොමද?
සුද්දෝ ට්‍රිවිල් එකක් අරන් තනියම travel කරාම ටුවරිසම් කරන උන් අඬනවා උන්ට ආදායමක් එන්නේ නෑහැ කියලා..එහෙම ප්‍රශ්න රජය මැදිහත් වෙලා විසඳුවා කියලා වැඩක් වෙනවද?
දැන් සුද්දන්ට එයාපෝර්ට් එකෙන්ම ලයිසන් එක දෙන නිසා උන් තනියම කාර්යයක් අරන් යනවා..දැන් හයර් දුවන උන්ට ඇඬිලා ඉන්නේ එයාර්පෝර්ට්කේ..වාහන රෙන්ට් කරන උන් තමයි සුද්දන්ගෙන් ආදායමක් ගන්නේ මේ ටිකේ..
හොඳට සල්ලි වියදම් කරන සුද්දෙක්ගෙනුයි හෙන ලෝභ සුද්දෙක් ගෙනුයි රජයට ලැබෙන ආදායම වෙනසක් වෙනව.
සංචාරකයින්ගෙන් රටට ලැබෙන ආදායම කියන්නේ රජයට ලැබෙන ආදායමක් නෙමෙයි. ඔවුන් රට ඇතුළේ වියදම් කරද්දී රටේ කාට හෝ ලැබෙන ආදායම. එහිදී අය කෙරෙන බදු (වැට් වැනි) රජයේ ආදායමක් වෙනවා. වීසා ගාස්තු, රියදුරු බලපත් ගාස්තු ආදියෙන්ද රජයට යම් මුදලක් එකතු වෙනවා. ඒ වගේම රටේ කාට හෝ සංචාරකයින් නිසා ආදායමක් ලැබුණු පසු ඔවුන්ගෙන් රජයට බදු ලැබෙනවා. ආදායම් බදු ගෙවුවේ නැතත්, ලැබුණු මුදල් වියදම් කරද්දී රජයට වක්‍ර බදු වලින් ලැබෙන ආදායම ඉහළ යනවා. සංචාරකයින් විසින් දුම්රියේ ගමන් යද්දීනම් වෙන්නේ රජය විසින් රටවැසියන්ගෙන් අය කරන බදු වලින් කොටසක් එම විදේශිකයින්ට ලැබෙන එක.
DeleteIkono,
Deleteරජය කියන්නේ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන මෙච්චරක් හම්බුනා කියලා. ඒක ගණනය කරන්නේ කොහොමද?
නියැදි සමීක්ෂණ මගින්. මෙම ගණන සියයට සියයක්ම නිවැරදි නැහැ.
Deleteඉකොනොමැට්ටා
ReplyDeleteදුම්රිය ටිකට් මිල තීරණය වෙන ආකාරය විස්තර සහිතව කියවෙන මේ පොස්ට් එක හොඳයි. එත් ආණ්ඩුව වාහන වලට ගහන තීරුබදු සහ වෙනත් tax නම් ගහල තියෙන්නේ ඔය වගේ එකම හේතුවක් වත් හින්ද නෙමේ... මේ tax පිටිපස්සේ ඉන්නේ රාජ්‍ය නිලධාරීන්..
ලංකාවේ වාහන බදු පිළිබඳව සත්‍ය කතාව තමයි මේ ඔක්කොම නිලධාරීන්ට අවු 5 සැරයක් පර්මිට් එකක් දෙනවා අසාධාරණ ලෙස.. ඔවුන් දැන් 2018 න් පස්සේ ආර්ථික අර්බුද නිසා පර්මිට් එකක් අරගෙන නැහැ...
මේ ක්‍රමේන් ඔවුන් වාහන මිල වැඩි කරගන්නව... ඊට පස්සේ ටික ටික පර්මිට් එකට ආණ්ඩුවෙන් හිමීට අවසරය හදාගන්නවා.. එතකොට පාඩු වුන අවුරුදු ගානටත් එක්ක හොඳ කැපිල්ලක් කපන්න පුළුවන්.. කොටින්ම මේ තීරණ ගන්න මුදල්, මහබැංකු ලොක්කො ඔක්කොමලට පර්මිට් එක තියෙනවා... වාහන මිල කෘතීමව වැඩි වෙලා තියෙන්නේ මේගොල්ලෝ නිසා. ඔය අසාධාරණ පර්මිට් එක ඉවත් වෙනකම් tax අඩු කරනවා බොරු. වාහන වලට ගහන Tax එන්න එන්න වැඩි වෙනවා. ඕවට කියන්නේ ලැදියාවන් අතර ගැටුම... conflict of interest එක නැති කරන්න වාහන බදු පැනවීම පිළිබඳව රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ සහ වාහන තාක්ෂණය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශාල කමිටුවක් සහ විවිධාකාර මහජන නියෝජිතයන්ගේ මතයත් සැලකිල්ලට අරගෙන හදාගන්න ඕනේ, අනෙක ඕවට නඩු දාලත් වැඩක් නෑ මොකද නඩු බලවන අයටත් පර්මිට් තියෙනවානේ ඒ නිසාම වැඩේ හරිම සංකීර්ණ නිසා මේක ගැන විස්තර සහිතව පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?
පර්මිට් ගැන කලින් ලියපු ලිපි ගණනාවක් මෙහි තිබෙනවා.
Delete