වෙබ් ලිපිනය:

Friday, August 22, 2025

විදේශ සංචිත හා උද්ධමනය


නලින් ද සිල්වා ජීවත්ව සිටියදී ජනගත කළ ප්‍රචලිත අදහසක් වන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් බටහිර විද්‍යාවට ප්‍රවාද කිසිවක් එකතු කර නොමැති බවයි. මේ කතාව ආර්ථික විද්‍යා ප්‍රවාද වලටද අදාළයි. ලංකාව තුළ බොහෝ විට සිදු වන්නේ වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ගෙඩි පිටින් එලෙසින්ම ප්‍රයෝජනයට ගනු ලැබීමයි. 

ඇත්ත වශයෙන්ම මා මේ අයුරින් වෙනත් රටක ගොඩ නැගෙන ප්‍රවාද ප්‍රයෝජනයට ගැනීම හෙළා දකින්නෙකු නෙමෙයි. රෝදය නැවත නැවත සොයා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රවාද ප්‍රවාද සේ හඳුනා නොගෙන, එම ප්‍රවාද ගොඩ නගා තිබෙන පසුබිම තේරුම් නොගෙන, නොගැලපෙන සන්දර්භ වල යොදා ගනු ලැබීමයි. මෙය අන්ධ අනුකරණය සේ හඳුන්වන්න පුළුවන්.

එංගලන්තයේ සිට ගලක් උඩ දැම්මත්, ලංකාවේ සිට එය කළත්, ගල පොළොවට වැටෙන විදිහේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා, එංගලන්තයේ නිරීක්ෂණ මත පදනම්ව හදන ප්‍රවාදයක් ඒ විදිහටම ලංකාවට යොදා ගත්තා කියා විශේෂ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ශුද්ධ විද්‍යා වල සිට ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවකට එන විට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.

ආර්ථික විද්‍යා ප්‍රවාද බොහොමයක් පරීක්ෂාවට ලක් වී තිබෙන්නේ ඇමරිකාව, එක්සත් රාජධානිය හෝ වෙනත් එවැනි බටහිර රටකයි. එවැනි සමහර ප්‍රවාද ඒ විදිහටම ලංකාවට යොදාගන්න බැහැ. නමුත් බොහොමයක් පොදු මිනිස් හැසිරීම් රටින් රටට වෙනස් නොවන නිසා මේ කරුණ අදාළ වන්නේ ලංකාව එවැනි රටකින් වෙනස් වන තත්ත්වයන් යටතේදී පමණයි. 

බටහිර රටවල ගොඩ නැගී පරීක්ෂාවට ලක් වන ඇතැම් ආර්ථික විද්‍යා ප්‍රවාද කලක් යද්දී එම රටවලින්ම ප්‍රතික්ෂේප වෙනවා. මීට එකම හේතුව පැරණි ප්‍රවාදය වඩා දුර්වල එකක් වීම නෙමෙයි. සමාජය ගතික ලෙස වෙනස් වීමත් එයට හේතුවක්. වසර පණහකට පෙර හොඳ ප්‍රවාදයක් වූ ප්‍රවාදයක් අද වන විට කිසිම වැඩකට නැති ප්‍රවාදයක් වෙන්න පුළුවන්. අන්ධ අනුකරණයට අමතරව කාලයකට පෙර ඒවා ගොඩ නැගුණු සමාජ වලින් පවා ප්‍රතික්ෂේප වී තිබෙන ප්‍රවාද තවමත් කර තියාගෙන යාම ලංකාව තුළ දැකිය හැකි එතරම් දුලබ නැති දෙයක්. 

ඇමරිකන් ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම හා යුරෝව වැනි මුදල් ඒකකයකට ලෝකය පුරාම පිළිගැනීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රුපියලට එවැනි පිළිගැනීමක් නැහැ. ඇමරිකාවේ මහ බැංකුව සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ඇමරිකන් ඩොලර්. ඒ ඩොලර් සමඟ වෙනත් බොහෝ රටවල් ඉතා කැමැත්තෙන් භාණ්ඩ හා සේවා හුවමාරු කර ගන්නවා. බ්‍රිතාන්‍ය පවුම හෝ යුරෝව හා අදාළව වුනත් තත්ත්වය එහෙමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි කරද්දී සංසරණයට එකතු වෙන්නේ ශ්‍රී ලංකා රුපියල්. ඒ ශ්‍රී ලංකා රුපියල් එක්ක හුවමාරුවට වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ලබා ගන්න බැහැ. ඒ නිසා, වෙනත් රටවල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා ලංකාවට විදේශ විණිමය උපයන්නම වෙනවා. එය සිදු නොවන්නේනම් වෙනත් රටවලට ණය වෙන්න සිදු වෙනවා.

රටේ දේශීය නිෂ්පාදිතය දුර්වල වූ අවස්ථාවක ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවට හෝ එංගලන්ත බැංකුවට සංචිත මුදල් සැපයුම වැඩි කරලා, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා, ඒ අච්චු ගහපු සල්ලි වලින් ආනයන කරන්න පුළුවන්. දිගින් දිගටම මේ වැඩේ කරන්න බැහැ තමයි. නමුත් අඩු වශයෙන් කෙටිකාලීනව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙත් ලංකාවට අඩු වශයෙන් කෙටිකාලීනව හෝ මෙවැන්නක් කරන්න බැහැ.

සාමාන්‍ය කරුණක් ලෙස, යම් සීමාවක් ඉක්මවා රටක මුදල් සැපයුම වැඩි වන විට, අදාළ මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, අදාළ මුදල් ඒකකයට සාපේක්ෂව උද්ධමනයක් ඇති වෙනවා. ඊට හේතුව මුදල් සැපයුම වැඩි වීමට අනුරූපව භාණ්ඩ හා සේවා සැපයුම වැඩි නොවීමයි. නමුත් එම මුදල් යොදා ගෙන වෙනත් රටවලින් ආනයන සිදු කළ හැකිනම් මේ තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. එක පැත්තකින් රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගහපු තරමටම වැඩි වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ භාණ්ඩ හා සේවා සැපයුම රට තුළ සිදු වන නිෂ්පාදිතය ඉක්මවා ඉහළ යනවා.   

මම ප්‍රචලිත උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.

අපි හිතමු ඇමරිකාවේ සමස්ත නිෂ්පාදිතය ඇපල් ගෙඩි 100ක් කියලා. වෙනත් දේවල් කිසිවක් නැහැ. මුදල් සැපයුම ඩොලර් 100ක්. දැන් මේ ඇපල් ගෙඩි 100 ඩොලර් 100 එක්ක තරඟ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් ගෙඩියක් ඩොලර් 1ක් ලෙස මිල තීරණය වෙනවා.  නිෂ්පාදිතය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටුනොත් මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යනවා. ඒ වගේම, නිෂ්පාදිතය වෙනස් නොවී මුදල් සැපයුම ඩොලර් 125 දක්වා වැඩි වුනොත් ඒත් වෙන්නේ මිල ඩොලර් 1.25 දක්වා ඉහළ යන එකයි. 

ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්නේ මේ වගේ සරල ආකෘති නෙමෙයි. නමුත් සමහර වෙලාවට ඔය වගේ ආකෘතියක් යොදා ගෙන සංකල්ප පැහැදිලි කරනවා. ඉහත සරල උදාහරණයේ අදහස පැහැදිලියි කියලා මම හිතනවා.

දැන් අපි ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පිළිගැනීමක් තිබීම කියන කරුණත් එක්ක මේ උදාහරණය දිහා බලමු. නිෂ්පාදනය ඇපල් ගෙඩි 80ක් දක්වා පහත වැටෙනවා. මුදල් සැපයුමත් ඩොලර් 120 දක්වා වැඩි වෙනවා. දැන් මිල ඉහළ යන්න හේතු දෙකක්ම තිබෙනවා. ඒ නිසා හරිනම් මිල ඩොලර් 1.50 (=120/80) දක්වා ඉහළ යා යුතුයි. නමුත් ඔය අලුතෙන් අච්චු ගහපු ඩොලර් 20 ගෙවලා වෙනත් රටකින් ඇපල් ගෙඩි 20ක් ආනයනය කළොත් ප්‍රතිඵලය කුමක්ද?

රටේ ඇපල් නිෂ්පාදිතය 100 සිට 80 දක්වා පහත වැටිලා වුනත්, ආනයනය කරපු ඇපල් ගෙඩි 20 නිසා දැන් නැවත ඇපල් සැපයුම 100ක් වෙලා. ඒ වගේම, මුදල් සැපයුම 100 සිට 120 දක්වා වැඩි කරලා වුනත්, එයින් ඩොලර් 20ක් රටින් පිටට ගිහින් නිසා රට ඇතුළේ මුදල් සැපයුම නැවතත් ඩොලර් 100ක් පමණයි. අවසාන වශයෙන් රට ඇතුළේ ඇපල් ගෙඩියක මිල ඩොලර් 1ම තමයි!

රටේ නිෂ්පාදිතයත් අඩු වෙලා, මුදල් සැපයුමත් වැඩි වෙලා තියෙද්දී මේ විදිහට මිල ඉහළ යාම පාලනය වුනේ කොහොමද? තනිකරම ඩොලරයට ඇමරිකාවෙන් පිටත තිබෙන පිළිගැනීම නිසා. ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවට පුළුවන් උද්ධමනය පාලනය කරගෙන සැලකිය යුතු තරමකින් සල්ලි අච්චු ගහන්න.

නමුත් ඇමරිකාවට කරන්න පුළුවන් ඔය වැඩේ ලංකාවට කරන්න බැහැ. ඒක කලින්ම කිවුවනේ. ඒ නිසා, ඇමරිකාවේ මුදල් සැපයුම වැඩි වෙන හැටි පෙන්වලා ඒ මත පදනම්ව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් වුනත්, ඒ සමහර තර්ක ලංකාව හා අදාළව තේරුමක් නැති තර්ක. 

දැන් අපි ලංකාවට එමු. රටේ නිෂ්පාදිතය පොල් ගෙඩි 100ක්. මුදල් සැපයුම රුපියල් 10,000ක්. ඒ අනුව, පොල් ගෙඩියක මිල රුපියල් 100යි.

දැන් රටේ මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා වැඩි වෙනවා. නමුත් නිෂ්පාදිතය තවමත් පොල් ගෙඩි 100ම තමයි. දැන් පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ යා යුතුයිනේ. රුපියල් වැඩි වුනා කියලා ඒ රුපියල් වලින් පොල් ආනයනය කරන්න බැහැනේ. එහෙම කරන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල් වලට පමණයි.

හැබැයි ලංකාවේ රජයට පුළුවන් විදේශ ණය ගන්න. අපි හිතමු රජය ඩොලර් 10ක් ණයට ගත්තා කියලා. ඩොලරයක් රුපියල් 200යි. දැන් රජය ඔය ඩොලර් ටික වෙළදපොළේ විකුණනවා. එයින් රුපියල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. නමුත් රට ඇතුළේ ඩොලර් සැපයුම ඉහළ යනවා. කවුරු හෝ පිරිසක් ඔය ඩොලර් 10 මිල දී ගෙන පොල් ආනයනය කරනවා. පොල් මිල ඩොලර් ශත 50ක් සේ සැලකුවොත් පොල් ගෙඩි 20ක් රටට එනවා. දැන් රටේ පොල් ගෙඩි ප්‍රමාණය 120 දක්වා වැඩි වෙලා. ඒ නිසා රුපියල් සැපයුම 12,000 වී තිබුණත්, පොල් ගෙඩියක මිල වැඩි වෙන්නේ නැහැ. එය රුපියල් 100 මට්ටමේම තියෙනවා.

දැන් පැහැදිලියිනේ. ඇමරිකාවට ඩොලරයට රටින් පිටත තිබෙන පිළිගැනීම නිසා රටේ උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. (මේ වැඩේට සීමාවක් තිබෙනවා. දැන් ඇමරිකාව කරන දේවල් වලට එක හේතුවක් ඒ සීමාව හඳුනා ගැනීම. ඒ ගැන වෙනම කතා කරමු). ලංකාවට ඇමරිකාව විදිහටම උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න බැහැ. නමුත් විදේශ ණය ගැනීම මගින් ලංකාවටත් උද්ධමනය වැඩි කර නොගෙන මුදල් සැපයුම වැඩි කරන්න පුළුවන්. 

හැබැයි මේ වැඩේ අවුලක් තියෙනවා කියන එක ඉතාම පැහැදිලියිනේ. ඩොලර් වලින් ගන්න ණය ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා. එහෙම ගෙවන්නනම් ගන්න ණය ප්‍රමාණයට හරියන්න විදේශ සංචිතයක් පවත්වා ගන්න වෙනවා. 

විදේශ සංචිත හදාගන්නනම් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් සැපයුම අඩු වෙනවා. ඩොලර් සැපයුම අඩු වෙද්දී ආනයන කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා භාණ්ඩ සැපයුම අඩු වෙනවා. ඔය ක්‍රම දෙකෙන්ම මිල ඉහළ යනවා.

කලින් උදාහරණයටම ආවොත්, ආනයන නැත්නම් පොල් ගෙඩි ගණන 100ම තමයි. වැඩි වුනාට පස්සේ මුදල් සැපයුම රුපියල් 12,000යි. ඩොලර් 10 මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් රුපියල් 2000ක් අලුතෙන් අච්චු ගහන්න වෙන නිසා මුදල් සැපයුම රුපියල් 14,000 දක්වා ඉහළ යනවා. දැන් පොල් ගෙඩියක් රුපියල් 140ක් වෙලා. මහ බැංකුව මැදිහත් වී සංචිත වැඩි කර ගත්තේ නැත්නම් පොල් ගෙඩිය රුපියල් 100ක් පමණයි. ඒ කියන්නේ අනාගතය ගැන හිතලා මහ බැංකුව සංචිත ගොඩ නගා ගන්න යද්දී වුනත් ඒ හේතුවෙන් උද්ධමනය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්.

සංචිත විකුණද්දී වෙන්නේ ඕකෙම අනික් පැත්ත. අපි හිතමු රජය විසින් විදේශ ණය නොගෙන මහ බැංකුවෙන් රුපියල් 2000ක ණයක් ගත්තා කියලා. දැන් හරිනම් මුදල් සැපයුම රුපියල් 14,000ක් වී පොල් ගෙඩියක් රුපියල් 140ක් විය යුතුයි. නමුත් ඒ එක්කම මහ බැංකුව ඩොලර් 10ක සංචිත විකිණුනොත් රුපියල් 2000ක් මහ බැංකුවට ආපසු එන නිසා මුදල් සැපයුම රුපියල් 12,000 දක්වා අඩු වෙනවා. විකුණපු ඩොලර් 10 වැය කර ආනයන කිරීම නිසා පොල් ගෙඩි ප්‍රමාණය 20කින් ඉහළ ගිහින් 120ක් වෙනවා. අවසාන වශයෙන් පොල් මිල රුපියල් 100යි.

ඔය ක්‍රමයට, විදේශ සංචිත විකිණීම මගින්, එක පැත්තකින් සංචිත මුදල් වැඩි වීම සීමා කරගන්න පුළුවන්. නමුත් මේක වංගුවක් ගැහීමක් නිසා පෙනෙන කෘතීම තත්ත්වයක් මිසක් ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් සංචිත මුදල් වල පෙනෙන සීමිත වැඩි වීමේ බලපෑම වුනත් උද්ධමනය තුළ පේන්නේ නැහැ. ඔය ක්‍රමයෙන් සංඛ්‍යාලේඛණ වල සංචිත මුදල් අඩුවෙන් පෙන්විය හැකි වුවත්, කරපු වැඩේ විපාකය තේරෙන්නේ විදේශ සංචිත ඉවර වෙලා සංචිත නැවත හදාගන්න වූ විටයි. ඒ තත්ත්වය කලින් විස්තර කළා. 

කෙටියෙන් කිවුවොත් කතාව මේකයි. සල්ලි අච්චු ගැසීම නිසාත්, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සැපයුම වැඩි වීම නිසාත්, උද්ධමනය හැදෙනවා තමයි. නමුත් ඊට බලපාන තවත් කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වෙනත් කරුණු අනුව, ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවක ඉන්නේ මේ දේවල් ගැන විශේෂඥතාවයක් හා පළපුරුද්දක් තිබෙන අයයි. ඔවුන් එකම නිර්ණායකයක් දිහා පමණක් බලන්නේ නැහැ. එවැනි විශේෂඥතාවයක් හා පළපුරුද්දක් නොමැති අය විසින් තීරණ ගැනීමද ලංකාව වැනි රටවල සිදු විය හැකි දෙයක් වුනත් එය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක, විදේශ සංචිත වේගයෙන් අඩු වන කාලයක, සංචිත මුදල් සැපයුම වෙනස් වෙන එකට වඩා අවධානය යොමු විය යුත්තේ විදේශ සංචිත වලට සිදු වෙන්නේ කුමක්ද කියන එකටයි. ඒ වගේම, විදේශ සංචිත ගොඩ නැගෙනවානම්, සංචිත මුදල් වැඩි වෙන එකේ අවදානම අඩුයි. 

දැන් ඊළඟට මතු වෙන අනිවාර්ය ප්‍රශ්නය මේ දවස් වල ලංකාවේ විදේශ සංචිත වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද කියන එක කියලා මම දන්නවා. ලිපිය දැනටම ගොඩක් දිග නිසා ඒ ගැන කතා කරන එක වෙනත් ලිපියකට ඉතිරි කරමු. මේ පැහැදිලි කිරීම් ටික කලින් නොකර ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කරන්න අමාරුයි.

5 comments:

  1. ඇත්තටම ඉකොනොමැට්ටා අද නම් සතුටු දවසක් ලංකාවේ ආර්ථිකය විනාශ කිරීමට මුල්වූ රනිල් වික්‍රමසිංහ තාවකාලිකව හරි හිරේ ගිය එක විශාල සතුටක්, අපි එලිවෙනකම් මත්පැන් පානය කරලා වැඩේ සැමරුවා

    ඒ වගේම අපි කිසිම දවසක ලංකාවේ සැබෑ ඉතිහාසය වැරදියට ලියන්න ඉඩ නොදෙමු, රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු 2015 සිට 19 දක්වා වූ යහපාලන රජය මගින් නිර්මාණය කරපු ඩොලර් බිලියන 12.5ක කෙටිකාලීන ISB ණය උගුලේ ප්‍රතිඵලය ලෙස 2022 ඇතිවු බරපතල ආර්ථික අර්බුදය වෙලාවේ බලයට පත්වන රනිල් ගැන රනිල්ගේ ගොට්ටෝ මොන බයිලා ගැහුවත් ඇත්තටම 2022 ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න කියලා, රනිල් කරපු විශේෂ බක්කක් නෑ.

    එතන සජිත් ප්‍රේමදාස හිටියත්, ඩලස් අලහප්පෙරුම හිටියත්, අනුර කුමාර දිසානායක සහෝදරයා හිටියත්, නාමල් රාජපක්ෂ වගේ පල් හොරෙක් හිටියත් මහ බැංකුවයි ආණ්ඩුවයි කට සහ පසුපස පෙදෙස වහගෙන IMF එකයි කියන ටික අනිවා කරනවා ඇරෙන්න, ජනාධිපති කෙනෙක්ගේ "මොළෙන්" කරන්න කියලා කිසිම මහා ලොකු දෙයක් තිබුණෙ නෑ.

    දැන් කියන්න එපා, අසීරු අවස්ථාවේ වෙන කවුරුත් බාර ගත්තේ නෑ කියලා.

    කාටවත් ඒ වෙලාවේ අත උස්සලා ජනාධිපති වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණු රාජපක්ෂලාට ඕන කෙනා තමයි පත් කරගත්තේ. ඒක තමයි දූෂිතයෝ එක එකා රැක ගන්න යොදා ගන්න ක්‍රමවේදය.

    රනිල් ඔය පිං ජනාධිපති කමේ ඉන්නකන් කරේ, ඔය වගේ පුද්ගලික රට සවාරි යන එකයි, මාමණ්ඩි ජනාධිපති කාලේ දැකලා ආස හිතිච්ච, Galle Face එකේ නිදහස් උත්සවේ උත්තමාචාරයට හිටගෙන ඉඳීම, ජනරජ පෙරහරක් කිරීම වගේ හෙන බොළඳ අසාවල් ටිකක් ඉෂ්ඨ කරගත්ත එකයි විතරයි. නැතුව මිනිහා ලංකාවට කරපු කිසිම සත පහක වැඩකට ඇති දෙයක් කරලා නෑ හැබැයි කරලා තියෙන්නේ ඔය වගේ දූෂිත හොර තක්කඩි වැඩ ගොඩක් විතරයි

    මේ හොර සංචාරය හරහා මහජන මුදල් ගසාකෑම හැරුණුකොට තව ඕන නම්, ව්‍යාවස්ථා විරෝධී විදියට පොලිස්පති කෙනෙක් පත් කරගෙන, ඡන්ද කල් දාලා, කිසිම ජනවරමක් නැතුව රටට අහිතකර නීති වගයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක නම් කරා කියන්න පුළුවන්.

    රනිල් රිමාන්ඩ් එකේ දුක සේ ඉන්න පින්තුර දදා, Gratitude Gratitude කිය කියා, බුකියේ හඬා වැලපෙන DNA වලින්ම UNP කොළඹ ඉන්න සිලින්ඩර බයියන් කියන අමු ගොබ්බ අමන පාදඩයන්ට වඩා නම් ඇත්තටම මහින්දගේ ගෙදරට කිරිහට්ටි අරන් ආව අනුරාධපුරේ ගෝඩේ ගම් බයියෝ දාහකින් හොඳයි! අඩුම තරමේ උන් තාම කලගුණ සලකන්නේ අවුරුදු 30 ක් රටේ තිබුණු යුද්ධය අහවර කරා කියන නාමෙට.

    මේ සිලින්ඩර බයියෝ කල ගුණ සලකන්නේ, ගෙදර කුස්සියට ගෑස් සිලින්ඩරයක් ගන්න හදලා දුන්නටලු.

    කොළඹ අවට ෂෙඩ් වලට තෙල් ටික දීලා, පැය 24 ලයිට් දීලා, ගෙදරට ගෑස් සිලින්ඩරේ ගන්න සෙට් කරලා දුන්නම මුන්ට හොඳටෝම ඇතිලු "රට ඉස්තාවර කොරා" කියලා හිතන්න.

    මුන් "රට" කියල හිතන් ඉන්නේ මීගමුවෙන් දකුණටයි පානදුරෙන් උතුරටයි තියෙන කෑල්ල විතරයි. ඒක ස්ථාවර වුණා නම්, ඕන මගුලක්! හැබැයි ඇත්තටම ඒක කළේ රනිල්ට කලින් රටින් පැනලා ගිය නන්දසේන සහ කපුටු කාක් කියන හොරු දෙන්නා ඉන්දියාවෙන් ඩොලර් බිලියන හතරක credit line එකක් අරගෙන, රනිලා එතකොට ජනාධිපති වුණා විතරයි ඌට ඒකෙන් ලකුණු වැටුණා විතරයි

    මේ සිලින්ඩර බයියෝ සහ මැදමුලන බයියෝ "ප්‍රභූත්වයේ සංකේතය" හැටියට වඳින පුදන මේ "අස්පර්ශනීය" චරිත දෙක, ඔය ගොබ්බ වැඳුම් පිදුම් නිසාම කවදා හරි දේවත්වයට පත්වෙයි.

    එකෙක් "කොළොම්බාර දෙයියෝ" හැටියට, අනිකා මැදමුලනේ "ගම්බාර දෙයියෝ" හැටියට... 🤪😀😅

    මේ ගැනත් විස්තර සහිතව පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  2. ඉකොනෝ

    ලංකාවේ ආණ්ඩුව සහ විපක්ෂය සාමූහිකව එක්ව රඟ දක්වන රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ නාඩගමට සමගාමීව මෙම ව්‍යාජ නාඩගම රටේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    ලෝක දේශපාලනය තුල වුවද සමහර දේශපාලන කතා අනපේක්ෂිත අවසානයක් ඇති සිනමාපටයක් වැනියි. රනිල් වික්‍රමසිංහගේ වත්මන් ඉරණම ද එවැනිම වූ අමුතුම කතාවකි. දේශපාලනයේදී "කල කම් පල දෙනවා" යන කියමනට හොඳම උදාහරණය මෙයයි. ඔහු විසින්ම හදා වඩා ගත් බලවේගයක් විසින් ඔහුටම දෂ්ට කිරීම, දෛවයේ අපූර්ව සරදමකි.

    ලංකාවේ බොහෝ දෙනෙකුට රනිල්, දශක ගණනාවක් තිස්සේ ජාතිකවාදී බලවේගවල පොදු සතුරා වූ අතර 2015-2019 කාලයේ ඔහුගේ පාලනය බොහෝ දෙනෙකුට අමතක කළ නොහැකි අත්දැකීමකි. එහෙත්, 2022 දී බංකොලොත් වූ රට බේරාගැනීමට ඔහු ඉදිරිපත් වූ විට, විරෝධය පළකළ බොහෝ පිරිසක්ම ඉතාමත්ම පුදුමාකාර ලෙස යූ ටර්න් ගසා ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් ඔහුටම එක්වරම වීරයකුගේ තත්ත්වය ලබා දුන්හ. එහෙත්, ඔහුගේ විවේචකයන්ට අනුව, රට බංකොලොත් වීමට වගකිව යුතු කෙනෙක් වීරයකු ලෙස පෙනී සිටීම, දේශපාලන විගඩමකි.

    ​2024 ජනාධිපතිවරණයේදී රනිල් ගත් තීරණය, බොහෝ දෙනෙකුට පුදුමයක් නොවීය. ඔහු සජිත්ට එරෙහිව අනුරට සහාය පළකළ බවට කෙරෙන චෝදනා බොහෝ දුරට සාධක සහිත විය, එය ඔහුගේ තවත් එක් සටකපට දේශපාලන උපාය මාර්ගයක කොටසක් බව බොහෝ දෙනාගේ මතය විය. පරාජය වන බව දැන දැනම, ඔහු අනුරගේ ජයග්‍රහණයට දායක වූයේ, තමන්ට අවශ්‍ය දේශපාලන පෙරළියක් ඇති කිරීම සඳහා විය හැකිය. ඔහුට අවශ්‍ය වූ ලෙසම ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම අනුර යටතේ IMF පරිවාස භාරය යටතේ එලෙසම ක්‍රියාත්මක වේ.

    නමුත් නාඩගමක් රඟපෑමට හෝ
    අවසානයේදී, අධිකරණයේදී දාඩිය පෙරාගෙන සිටින විට ඔහුට තේරෙන්නට ඇත්තේ තමා විසින්ම ඇති දැඩි කළ බලවේගයක් අතින් තමන්ටම වින්නැහියක් සිදුව ඇති බව විය හැකිය. රනිල්ගේ සැබෑ ඉරණම, දේශපාලන ක්‍රීඩාවේ සංකීර්ණත්වය සහ එහි අනපේක්ෂිත ප්‍රතිඵල පෙන්නුම් කරයි. සර්පයන්ට කිරිපෙවූ අයට සිදු වූ පරිදිම තමන්ගේම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල තමන්ටම ආපසු ලැබෙන ආකාරය පිළිබඳව මෙය හොඳම නිදසුනක් නොවේද?

    ReplyDelete
  3. රනිල් නාඩගම ගැන මුකුත් ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  4. අල්ලාහ්ජ් මොහොදින් බෙග්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: