වෙබ් ලිපිනය:

Saturday, January 17, 2026

ආයෝජන කියන්නේ මොනවාද?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ කතා කරන ආයෝජන කියන්නේ මොනවාද?

ආයෝජන කියන වචනය ඇහෙද්දී මතක් වෙන බොහෝ දේවල් තිබෙනවා. ඒ අතර, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස්, ඉඩම්, රත්තරන් ආදී දේවල් වල සිට ක්‍රිප්ටෝ මුදල් දක්වා විවිධ දේවල් තිබෙනවා. ආර්ථික වර්ධනය සඳහා මේ ඕනෑම ආයෝජනයක් උදවු වෙනවාද?

සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයෝජන කියා කිවුවත්, අප කතා කරන නිශ්චිත සන්දර්භයේදී, මේ ගොඩක් දේවල් ඇත්තටම ආයෝජන නෙමෙයි. ඒ නිසාම, මේ ගොඩක් දේවල් රටක ආර්ථික වර්ධනය සඳහා සෘජුව උදවු වෙන්නේ නැහැ. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ වසරක් (හෝ වෙනත් කාලයක්) තුළ රටක නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ආර්ථිකය වර්ධනය වෙන්නනම් රටක වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ යා යුතුයි. ඒ නිසා, ආර්ථික වර්ධනය සඳහා සෘජුව උපකාරී වන්නේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉහළ දැමිය හැකි ආකාරයේ ආයෝජන පමණයි. 

කෙනෙකුට තමන් සතු ඉතිරි කිරීම් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. නමුත් එහිදී එවැන්නෙකු විසින් කරන්නේ වෙනත් අයෙකු විසින් දැනටම මිල දී ගෙන තිබෙන සමාගම් කොටසක් මිල දී ගන්න එකනම්, එයින් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහිදී වෙන්නේ එක් අයෙකු සතු සමාගමේ කොටසක අයිතිය වෙනත් අයෙකු සතු වීම පමණයි. ගනුදෙනුවෙන් ලාබයක් හෝ පාඩුවක් වීම හේතුවෙන් මෙහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සමාගමක් විසින් සමාරම්භක කොටස් නිකුතුවක් (IPO) සිදු කරද්දී වෙන දෙය මීට වඩා තරමක් වෙනස්. එහිදී සමාගමට සෘජුවම යම් මුදලක් ලැබෙනවා. නමුත්, මෙහිදී වුවද, ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජනයක් සිදු වන්නේ නැහැ. කෙසේ වුවත්, අදාළ සමාගම විසින් එසේ ලබා ගන්නා මුදල් වැය කර සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව ඉහළ දමන කිසියම් ආයෝජනයක් කිරීම සමාරම්භක කොටස් නිකුතුවකින් පසුව සිදු වන සාමාන්‍ය දෙයයි. එය අලුත් කම්හලක් ඉදි කිරීම, අලුත් යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම හෝ අලුත් ශාඛාවක් ආරම්භ කිරීම වැනි දෙයක් වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යා අර්ථයෙන් ආයෝජන සේ සැලකෙන්නේ එවැනි ආයෝජනයයි. ආර්ථික විද්‍යා අර්ථයෙන්, කොටස් මිල දී ගන්නා තැනැත්තා විසින් කරන්නේ ඉතිරි කිරීමක් මිසක් ආයෝජනයක් නෙමෙයි.

සමාගමකට සැබෑ ආයෝජනයක් කිරීම සඳහා අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය අලුතෙන් කොටස් නිකුත් කිරීම නෙමෙයි. සමාගම් බැඳුම්කර නිකුත් කිරීම මගින්ද අවශ්‍ය අරමුදල් සපයා ගන්න පුළුවන්. මෙහිදීද, එම බැඳුම්කර මිල දී ගන්නා පුද්ගලයෙකු විසින් කරන්නේ ඉතිරි කිරීමක්. ආයෝජනය සිදු වන්නේ එයින් පසුවයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමක් පරිභෝජනය සඳහා අරමුදල් සපයා ගැනීමට කොටස් නිකුත් කරන්නේ හෝ බැඳුම්කර නිකුත් කරන්නේ නැහැ. අරමුදල් යොදවන්නේ කවර කටයුත්තක් සඳහාද යන්න සමාරම්භක කොටස් නිකුතුවේදී පැහැදිලිව සඳහන් කරනවා. ආයෝජනය අවදානම් කටයුත්තක් බැවින් අවසාන වශයෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ප්‍රමාණවත් වැඩිවීමක් සිදු නොවෙන්න බැරිකමක් නැහැ. නමුත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. සාමාන්‍ය තත්ත්වය වන්නේ ආයෝජන හේතුවෙන් අදාළ සමාගමේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඒ නිසා, මෙවැනි ආයෝජන වැඩි වැඩියෙන් සිදු වන තරමට රටක ආර්ථිකය වර්ධනය වෙනවා. 

රජයක් විසින් ණය ගනිද්දී මෙය මේ විදිහටම සිදු වෙන්නේ නැහැ. රජය විසින් පරිභෝජනය සඳහාද ණය ලබා ගැනීම අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ආර්ථික වර්ධනයට උදවුවක් සිදු වන්නේ නැහැ. එහෙත්, ලබා ගන්නා ණය මුදල් යොදවා ඵලදායී ආයෝජනයක් කළහොත් එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, ඒවා මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී වුවද, මිල දී ගන්නා අයගේ ඉතිරි කිරීම් මිසක් ආයෝජන නෙමෙයි. ඒ නිසා, එමගින් රටේ ඉතිරි කිරීම් අනුපාතය ඉහළ යන නමුත්, ආයෝජන අනුපාතය අනිවාර්යයෙන්ම ඉහළ යන්නේ නැහැ. එය තීරණය වෙන්නේ රජය විසින් අදාළ මුදල් යොදවන ආකාරය මතයි. 

ඉහත විස්තර කළ කරුණු විදේශ ප්‍රාග්ධනයටද අදාළයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී විදේශ ආයෝජන සේ සලකන හැම දෙයක්ම ආර්ථික විද්‍යා අර්ථයකින් ආයෝජන නෙමෙයි. ඒවා රට තුළ සිදු කරන විදේශිකයින්ගේ ඉතිරි කිරීම් පමණයි. 

ශ්‍රී ලංකා රජය විසින් ණය ලෙස විදේශ ප්‍රාග්ධනය ලබාගත් බොහෝ අවස්ථා වලදී සිදු වී තිබෙන්නේ ආයෝජන සිදු වීමට වඩා පරිභෝජන වියදම් ඉහළ යාමයි. එහෙත්, පෞද්ගලික සමාගමක් විසින් විදේශ ණය ලබා ගන්නේනම්, බොහෝ විට එසේ කරන්නේ කිසියම් සැබෑ ආයෝජනයක් කිරීමේ අභිලාෂයෙනුයි. ඒ නිසා, සාමාන්‍ය කරුණක් ලෙස, එහිදී රටේ ආයෝජන අනුපාතයද ඉහළ යනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වලදී මේ තත්ත්වය දකින්න පුළුවන්.

ආයෝජන හා පරිභෝජනය වෙන් කිරීම හැම විටම පහසු කරුණක් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් අලුත් වාහනයක් මිල දී ගන්නේ තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. එසේ නැත්නම්, වාහනය කුලියට දීම හෝ ප්‍රවාහන සේවා සැපයීම මගින් අනාගතයේදී ආදායම් උපයන්න වෙන්න පුළුවන්. දෙවන අවස්ථාවේදී, සාමාන්‍යයෙන්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන හැකියාවේ ඉහළ යාමක් සිදු වෙනවා. මේ කාර්යයන් දෙක සඳහාම වාහනය යොදා ගන්නේ වුවද එහි වෙනසක් නැහැ. වැදගත් වන්නේ වාහනය මිල දී ගැනීම නිසා ප්‍රවාහන සේවා නිෂ්පාදනය කිරීමේ විභවය වැඩි වන්නේද යන්නයි.

අලුත් නිවසක් හැදීම ආයෝජනයක්ද? 

මෙහිදීද, නිවස කුලියට දීමක් සිදු වේනම්, රටේ සේවා නිෂ්පාදිතය ඉහළ යන බව පැහැදිලියි. නිවස කුලියට නොදී තමන්ම එහි වාසය කළේ වුවද, මෙය තමන්ට අයිති නිවස තමන් විසින්ම කුලියට ගැනීමකට සමාන කළ හැකියි. ඒ නිසා, මෙහිදීද සේවා නිෂ්පාදිතයේ ඉහළ යාමක් සිදු වෙනවා.

මැතිවරණ වලට පෙරද අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ප්‍රතිපත්තිය අනුව, රජය සතු හෝටල් සමාගමක් විකිණීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. හෝටල් කිහිපයක් අයිති මෙම රාජ්‍ය සමාගම විදේශ සමාගමක් විසින් මිල දී ගත්තා කියා අපි හිතමු. මෙහිදී ආයෝජනයක් සිදු වෙනවාද?

මෙවැනි මිල දී ගැනීමකදී රට තුළට විදේශ ප්‍රාග්ධනය පැමිණීමක් සිදු වෙනවා. රජයට එකවර යම් ආදායමක්ද ලැබෙනවා. නමුත් කිසිදු ආයෝජනයක් සිදු වන්නේ නැහැ. ඒ නිසාම, අදාළ විකිණීම හේතුවෙන්, රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යන්නේත් නැහැ. අයිතිය වෙනස් වුවද, අදාළ හෝටල් වල සේවා නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවද, මෙවැනි මිල දී ගැනීමකින් පසුව, දේශීය හෝ විදේශීය ගැනුම්කරුවෙකු විසින් අමතර ප්‍රාග්ධනය යොදවමින් අදාළ හෝටල් වල සේවා සැපයුම් ධාරිතාවය වැඩි කරන්න ඉඩ තිබෙනවා. එවැන්නක් සිදු වුවහොත්, එමගින් ආර්ථික වර්ධනයට උත්තේජනයක් ලැබෙනවා. 

රටකට ගලා එන විදේශ ප්‍රාග්ධනය සහ රටේ සිදු වන ආයෝජන අතර වක්‍ර සම්බන්ධයක් තිබුණත් සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, රටකට වැඩි වැඩියෙන් විදේශ ප්‍රාග්ධනය ගලා ආ පමණින් ආයෝජන ඉහළ ගොස් වර්ධන විභවය ඉහළ යන්නේ නැහැ. 

ආයෝජන සිදු වුවත්, නොවුනත්, රටට විදේශ ප්‍රාග්ධනය රැගෙන එන අයෙකු එසේ කරන්නේ එමගින් ලබා ගත හැකි ප්‍රතිලාභ පසුව රටෙන් එළියට රැගෙන යාමේ අරමුණ ඇතිවයි. විදේශ ප්‍රාග්ධනය ලෙස රටට ලැබෙන සෑම ඩොලරයක් නිසාම, එම අරමුදල් පැමිණෙන්නේ ණය ලෙස වුවත්, වෙනත් ආයෝජන ලෙස වුවත්, අනාගතයේදී රටෙන් එළියට විදේශ විණිමය ගලා යාමේ යාන්ත්‍රණයක්ද හැදෙනවා. රටට ලැබෙන විදේශ ප්‍රාග්ධනය හේතුවෙන් ආයෝජන වැඩි වීමක් සිදු වුවහොත් පමණක් එමගින් රටේ ආර්ථික වර්ධනයක් සිදු වෙනවා. එසේ ආර්ථික වර්ධනයක් සිදු වුවද, එහිදී රට තුළ විදේශ විණිමය ජනනය වීමේ ඉහළ යාමක් සිදු නොවුවහොත්, යෙදවූ ප්‍රාග්ධනය ආපසු යද්දී රටට විදේශ විණිමය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

විදේශිකයින් විසින් දැනටම නිකුත් කර තිබෙන සමාගම් කොටස් කොටස් වෙළඳපොළ හරහා මිල දී ගනිද්දී රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන නමුත් ආර්ථිකයේ විභවයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. මෙහිදී සිදු වන්නේ තාවකාලිකව රුපියල් ඉල්ලුම ඉහළ යාම පමණයි. අරමුදල් වෙනුවෙන් ප්‍රතිලාභ රටෙන් එළියට යද්දී එසේ වැඩි වූ රුපියල් ඉල්ලුමද ඉක්මවා රුපියල් සැපයුම ඉහළ යනවා. ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව වැනි රටකට ඒ තත්ත්වයට මුහුණ දිය හැක්කේ රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවද විදේශ විණිමය එක්රැස් කර ගනිමින් සංචිත වැඩි කරගෙන කලින් සූදානම්ව සිටියහොත් පමණයි. එසේ නැත්නම් සිදු වන්නේ එලෙස පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ආනයන ලෙස රටෙන් පිටව යාම පමණයි. 

විවිධ ක්‍රම වලින් රටට පැමිණෙන විදේශ විණිමය ආනයන ලෙස රටෙන් පිටවීම කාලයක් තිස්සෙම ලංකාවේ සිදු වූ දෙයක්. එහෙත් මෙය ඉතාම බරපතල ආකාරයකින් සිදු වූයේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. 2006 වන විටද ඩොලර් මිලියන 11,981.4ක් පමණක් වූ ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 වන විට ඩොලර් මිලියන 42,914.1 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ වසර අටක කාලයක් තුළ ඩොලර් මිලියන 30,932.7ක වැඩිවීමක්. 

ඉහත කාලය තුළ රටේ විදේශ සංචිත ප්‍රමාණයද ඩොලර් මිලියන 4,005.4 සිට ඩොලර් මිලියන 9,884.4 දක්වා ඉහළ ගියත්, එම වැඩි වීම ඩොලර් මිලියන 5,879.0ක් පමණයි. ණය ලෙස ලබාගත් ඉතිරි ඩොලර් මිලියන 25,053.7 ආනයන වියදම් ලෙස රටින් පිටව ගියා. මෙම ආනයන වලින් යම් කොටසක් සැබෑ ආයෝජන සඳහා සිදු කළ ආනයන විය හැකි නමුත් කිසිසේත්ම මුළු මුදලම ආයෝජන නෙමෙයි. වැඩි කොටසක් පරිභෝජනය වෙනුවෙන් සිදු කළ ආනයනයි.

මෙහිදී අප විසින් විදේශ ණය සේ සලකා තිබෙන්නේ රටේම විදේශ ණයයි. එමෙන්ම විදේශ සංචිත සේ සලකා තිබෙන්නේද රටේම විදේශ සංචිතයි. එම ගණන් වලට රජයේ මෙන්ම, බැංකු අනෙකුත් සමාගම් හා පුද්ගලයින්ගේ විදේශ ණය සහ විදේශ සංචිත ඇතුළත්. 2024 වසර අවසන් වන විට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133.5ක්. රටේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 11,230.0ක්. වෙනස ඩොලර් මිලියන 45,903.5ක්. එම හිඟයෙන් ඩොලර් මිලියන 25,053.7ක්ම එකතු වුනේ 2006-2014 අතර වසර අටක කාලය තුළයි. ඉතිරි කොටසින් සැලකිය යුතු කොටසක්ද එම කාලය තුළ රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ලබාගත් ප්‍රතිලාභ ලෙස රටෙන් එළියට ගිය විදේශ විණිමයයි. 

මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වලක්වා ගන්නනම්, රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය ගැන බොහෝ සැලකිලිමත් වන්නට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ විදේශ ප්‍රාග්ධනය රටට පැමිණීමට බිය යුතු බව හෝ එය අධෛර්යමත් කළ යුතු බව නෙමෙයි. කිසිසේත්ම එවැන්නක් නොකළ යුතුයි. ඒ වෙනුවට කළ යුත්තේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනය මෙන්ම ඒ වෙනුවෙන් එම ප්‍රාග්ධනයේ හිමිකරුවන් විසින් උපයා ගන්නා ප්‍රතිලාභද අනාගතයේදී ආපසු රටින් පිටව යන බව අවබෝධ කරගෙන එයට පෙර සූදානම්ව සිටීමයි. එය කළ හැක්කේ ප්‍රමාණවත් තරමින් විදේශ සංචිත එකතු කර ගැනීම මගිනුයි.

විදේශ සංචිත එකතු කර ගැනීමේ අරමුණ විය යුත්තේ විදේශ ප්‍රාග්ධනය ආපසු යද්දී නැවත එම සංචිත විකිණීම නෙමෙයි. සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණක් එසේ කරන්නට සිදු වෙනවා. සැබෑ අරමුණ විය යුත්තේ එසේ කිරීම මගින් රුපියල අධිප්‍රමාණය නොවී අවප්‍රමාණය වීමට ඉඩ හැර ස්වභාවික ලෙසම ආනයන පාලනය වීමට ඉඩ හැරීමයි. එවිට රටට පැමිණෙන විදේශ විණිමය රට තුළම ඉතිරි වෙනවා.

2 comments:

  1. අපිට බැරි වෙයිද ඉකොනෝ ජේවීපී නුගත් රැල තාර බරට වත් විකුනලා ඩොලර් ටිකක් ගන්න ඉකොනෝ? පච කොටාට ඩොලරයක් වත් දෙයිද?

    ReplyDelete
  2. Bellita hena vadiwa. Mage lagatama enna labewa

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: