අද (දෙසැම්බර් 12) දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ඩොලර් මිලියන 337ක් වන දෙවන වාරිකය නිදහස් කර තිබෙනවා.
Tuesday, December 12, 2023
IMF දෙවන වාරිකය නිදහස් කරයි!
අද (දෙසැම්බර් 12) දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව හා අදාළ ස්ථායිකරණ වැඩ පිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ඩොලර් මිලියන 337ක් වන දෙවන වාරිකය නිදහස් කර තිබෙනවා.
Thursday, December 7, 2023
නිල විදේශ සංචිත - නොවැම්බර් 2023
නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 83ක් හා ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර නොවැම්බර් මාසය තුළද විදේශ සංචිත ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එම මාසය තුළද යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,705 දක්වා පහත වැටී තිබුණු අතර 2023 ජූලි වන විට ඩොලර් මිලියන 3,765 දක්වා වර්ධනය කර ගැනුණා. එහෙත්, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමෙන් පසුව ආසන්න වශයෙන් එපමණකින් පහත වැටුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුයි. මේ සඳහා මෙම මාසය තුළ ඩොලර් මිලියන 847ක සංචිත එකතු කර ගත යුතුයි. ඉදිරි සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණද, ඉලක්කයට යාම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් පමණ සොයා ගන්නට වෙනවා. ඇතැම් විට ආසියානු සංවර්ධන බැංකුවේ ණයකින් එම අඩුව පුරවා ගැනීම සැලසුම විය හැකියි.
Wednesday, December 6, 2023
ඕස්ට්‍රේලියා යන සල්ලි...
ඕස්ට්‍රේලියාව යනු අධ්‍යාපනය විකිණීමෙන් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයන රටක්. 2019 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40,068ක්. යකඩ, ගල් අඟුරු හා ස්වභාවික වායු වලින් පසුව ඕස්ට්‍රේලියාව වැඩිම අපනයන ආදායමක් උපයන්නේ අධ්‍යාපනය විකිණීම මගින්. කෝවිඩ් හේතුවෙන් ඉහත ආදායමේ අඩු වීමක් සිදුව ඇතත්, පසුගිය 2022 වසර තුළද ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදලක් උපයා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත අනුව, 2023 ජනවාරි හා සැප්තැම්බර් අතර කාලය තුළ ශිෂ්‍ය වීසා යටතේ ඕස්ට්‍රේලියාව තුළ ඉගෙන ගත් විදේශ සිසුන් ප්‍රමාණය 746,080ක්. ඒ අතරින් වැඩිම පිරිස චීන හා ඉන්දියානු සිසුන්. ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන රටවල් අතරින් මේ වන විට ලංකාව 12 වන තැන දක්වා පැමිණ තිබෙනවා. 2015 වසර වන විට ලංකාව ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන ප්‍රධාන රටවල් 20 අතර නොසිටියත් ඉන් පසුව ලංකාවේ ස්ථානය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන්නේ පහත ආකාරයටයි.
(source: https://www.education.gov.au/international-education-data-and-research/international-student-numbers-country-state-and-territory)
2016 - 19 (සිසුන් 6,871ක්)
2017 - 16 (සිසුන් 8,766ක්)
2018 - 16 (සිසුන් 10,921ක්)
2019 - 13 (සිසුන් 13,440ක්)
2020 - 13 (සිසුන් 13,336ක්)
2021 - 13 (සිසුන් 11,663ක්)
2022 - 14 (සිසුන් 11,864ක්)
2023 - 12 (සිසුන් 15,270ක්)
පසුගිය 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණනු ලැබූ ප්‍රධාන රටවල් දහය පහත තිබෙනවා.
(source: https://www.education.gov.au/international-education-data-and-research/education-export-income-2021-calendar-year)
චීනය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5,972යි
ඉන්දියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4,408යි
නේපාලය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2,579යි
වියට්නාමය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1,176යි
දකුණු කොරියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 856යි
මැලේසියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 819යි
හොංකොං - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 701යි
පිලිපීනය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 591යි
කොලොම්බියාව - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 688යි
තායිලන්තය - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 674යි
ඉහත ප්‍රධාන රටවල් දහය අතර තවමත් ලංකාව නැහැ. කෙසේ වුවත්, මෙම ලැයිස්තුවේ ඊළඟ තැන් කිහිපයෙන් එකක් ලංකාවට හිමිව තිබිය යුතුයි. 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් විදේශ සිසුන්ට අධ්‍යාපනය විකුණා ඉපැයූ මුළු ආදායම වන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදල එම වසරේ විදේශ සිසුන් ගණන වූ 619,371න් බෙදූ විට එක් විදේශ සිසුවෙකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් 42,931ක්. එම මුදල 2023 ශ්‍රී ලාංකික සිසුන් ගණන වන 15,270න් වැඩි කළ විට ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 656ක්. මෙම මුදල අධ්‍යාපන වියදම් ලෙස වසරකට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල පිළිබඳ අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 2022 සිට 2023 දක්වා ඕස්ට්‍රේලියාවේ "අධ්‍යාපන උද්ධමනය" 9.7%ක් ලෙස සැලකූ විට මෙම ඇස්තමේන්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720 දක්වා ඉහළ යනවා.
බොහෝ ශ්‍රී ලාංකිකයින් ස්ථිර පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත යනවා. එසේ යන අයගේ දරුවන්ටද ස්ථිර පදිංචිය හිමි වන නිසා ඔවුන් විසින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වියදම්ද ලංකාවෙන් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. එම මුදලද එකතු කළ විට, අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720ට වඩා වැඩි විය යුතුයි. එනම්, ඇමරිකන් ඩොලර් 472 ඉක්මවිය යුතුයි.
මීට අමතරව අධ්‍යාපනය හැර වෙනත් කටයුතු සඳහාද සංක්‍රමණිකයින් විසින් මුදල් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. මෙම මුදලට සාපේක්ෂව වසරකට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රේෂණ ලෙස ලංකාවට ලැබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් පමණයි.
තවත් අමතර කරුණක් ලෙස, අධ්‍යාපනය සඳහා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන සිසුන්ගෙන් වැඩිම පිරිසක් යන්නේ වික්ටෝරියා (මෙල්බර්න්) වෙතයි. එම ප්‍රමාණය 9,474ක් වන අතර වික්ටෝරියා වෙත සිසුන් එවන රටවල් අතරින් පස්වන තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද?
පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා වානිජ බැංකු සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පැවසුවා.
ඉහත සඳහන් කළ අලුත් යාන්ත්‍රනය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ අනුව, 2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.
2022 සිවුවන කාර්තුව - ඩොලර් මිලියන 1,215.4
2023 පළමු කාර්තුව - ඩොලර් මිලියන 1,413.2
2023 දෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,409.4
2023 තෙවන කාර්තුව - ඩොලර් මිලියන 1,522.5
පසුගිය වසරක කාලයේ ප්රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.
ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.
1. කුවේට් - ඩොලර් මිලියන 612.7
2. කටාර් - ඩොලර් මිලියන 564.6
3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 523.7
4. සවුදි අරාබිය - ඩොලර් මිලියන 494.6
5. ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 433.8
6. දකුණු කොරියාව - ඩොලර් මිලියන 384.7
7. එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 312.3
8. ඉතාලිය - ඩොලර් මිලියන 309.0
Monday, November 27, 2023
දෙවන පිරිපහදුව චීනයට!
ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.
දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි.
මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.
අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.
Thursday, November 9, 2023
විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?
පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා. එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා.
පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.
ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්රශ්නය මෙයයි.
Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?
දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?
ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්.
මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්.
වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි.
කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි.
සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.
ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.
ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි.
ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි.
ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි.
"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා.
මේ අනුව, ජාතිකවාදී හා ප්රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා.
අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ.
මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.
අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා.
මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.
යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.
මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.
මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ.
කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ.
Tuesday, November 7, 2023
අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!
අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණය හා කොන්ග්රස් මැතිවරණ වල සිට ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ මෙන්ම ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක්ද එක වර පැවැත්වෙන්නේ මෙම මැතිවරණ දිනයේදීයි.
මේ අයුරින්, මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් තිබෙන නිසා ඇමරිකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව හෝ පැවැත්වෙන දිනය පිළිබඳව අවිනිශ්චිතතාවයක් නැහැ. බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්වෙන දිනය කල් දමන්නට හෝ මැතිවරණ කලින් පවත්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම, සියලුම මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා වියදමත් අඩුයි.
ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක් නිසා වසර හතරකට වරක් මැතිවරණ දිනය කෙරෙහි ලෝකයේම අවධානය විශාල ලෙස යොමු වෙනවා. වසර දෙකකට වරක් කොංග්රස් මැතිවරණ පැවැත්වෙන නිසා එම වසර වල මැතිවරණ දිනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. මේ අයුරින් ප්‍රධාන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේ ඉරට්ටේ අවුරුදු වලයි. ඒ නිසා, මේ අවුරුද්ද වැනි ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ දිනය කෙරෙහි යොමු වන්නේ සාපේක්ෂව අඩු අවධානයක්.
ප්‍රධාන ජාතික මැතිවරණ නොපැවැත්වුනත්, ඔත්තේ අවුරුදු වලදී අනෙකුත් මැතිවරණ හා ජනමතවිචාරණ දහස් ගණනක් එක වර පැවැත්වෙනවා. එමෙන්ම, හදිසි මරණයක් හෝ ඉල්ලා අස්වීමක් වැනි විශේෂ හේතුවක් නිසා කොංග්රස් ආසන පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු පිරවීම සඳහාද ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ පැවැත්වෙනවා.
මීට වසර කිහිපයකට පෙර අපේ පාසැල් කලාපයේ පාසැල් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ගුරු වැටුප් වැඩි කිරීම, සිසු-ගුරු අනුපාතය අඩු කිරීම හා අනෙකුත් පහසුකම් වැඩි කිරීම පිණිස වසර හතක කාලයක් සඳහා වසරකට 0.2275%ක අමතර දේපොළ බද්දක් පැනවීම යෝජනා වූ අතර එම යෝජනාව ජනමත විචාරණයකින් අනුමත වුනා. වසර හතක කාලය අවසන් වීම නිසා මෙම බද්ද මේ වසරේදී අහෝසි වෙනවා. ඒ නිසා, පාසැල් පවත්වාගෙන යාම සඳහා ලැබෙන අරමුදල් පහත වැටෙනවා. මේ තත්ත්වය හමුවේ තරමක වියදම් කප්පාදුවක් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර අටක කාලය තුළ 0.1995%ක අමතර දේපොළ බද්දක් පැනවීම සඳහා අද ජනමත විචාරණයක් පැවැත්වුණා. මෙය කලින් වසර හත තුළ පැවති බදු අනුපාතයට වඩා තරමක් අඩුයි. මෙම යෝජනාව අනුමත කරමින් 70%ක පමණ ඡන්ද ලැබී තිබෙනවා.
ඇමරිකාව පුරාම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් අද දින මෙවැනි ජනමතවිචාරණ ගණනාවක් පැවැත්වුණා. ඒ අතරින් එක් වැදගත් ජනමතවිචාරණක් වූයේ මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් ඇති කිරීම සඳහා පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. දැනට ප්‍රාන්තයේ විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධති ප්‍රධාන වශයෙන්ම අයිති ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකකටයි. එහෙත්, මෙම සමාගම් දෙකේ සේවා සැපයීම පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා. ජනමතවිචාරණයෙන් යෝජනා කෙරුණේ මෙම සමාගම් සතු යටිතල පහසුකම් මිල දී ගෙන අදාළ සේවා සැපයීම සඳහා ලාබ ලැබීම ඉලක්ක නොකරන පොදු සමාගමක් පිහිටුවීමටයි. තවමත් ප්‍රතිඵල මුළුමනින්ම ප්‍රකාශයට පත්ව නැතත්, මෙම යෝජනාව පරාජය වී ඇති බව පැහැදිලියි. 70%ක් පමණම ඡන්දය දී තිබෙන්නේ යෝජනාවට විරුද්ධවයි.