වෙබ් ලිපිනය:

Sunday, June 4, 2017

සුසන්තිකාගේ පදක්කම


සුසන්තිකා නැවත වරක් සිය ඔලිම්පික් පදක්කම මුදල් කරන්නට උත්සාහයක් දරන බව පෙනේ. නැවත වරක් කියා කීවේ මීට පෙරද වාර ගණනාවක් ඇය සිය ඔලිම්පික් පදක්කම මුදල් කර හෝ එසේ කරන්නට උත්සාහයන් දරා ඇති බැවිනි. ඈ මෙය පටන්ගත්තේ ඔලිම්පික් පදක්කම ලැබෙන්නටද පෙර සිටය.

වරක් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ ඇමතිවරයෙකුට චෝදනා කළාය. තවත් වරක් ඇගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කළාය. මේ චෝදනා හා ප්‍රශ්න වලට රටේ ඉල්ලුමක් තිබුණේය. ඒ ඉල්ලුමට හේතු වූයේ සුසන්තිකා විසින් ඔලිම්පික් පදක්කමක් ලබා තිබීමයි. වෙනත් විදිහකින් කියනවානම් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ අලෙවි කළේ ඇය සතු වූ ඔලිම්පික් පදක්කමේ ව්‍යුත්පන්නයකි. නැත්නම් ඩෙරිවේටිව් එකකි.

දැන් ඇය කරන්නේද එයයි. ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන විට බොහෝ දෙනෙකුට ඇති වේයැයි ඇය සිතන කම්පනය මුදල් කරන්නට සුසන්තිකා දැන් උත්සාහ කරයි.

සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහනය ලංකාවේ විශාල පිරිසකට 'ලොකු දෙයක්' විය. අප නොදන්නා කාලයක හිමිව තිබුණු ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් පදක්කම ගැන පමණක් අසා තිබුණු අප බොහෝ දෙනෙකුට සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමේ වටිනාකමක් තිබුණේය. ඉතා දුෂ්කර මාර්ගයක ඔලිම්පික් පදක්කම දක්වා පැමිණි ඇය විසින් ලබාගත් ජයග්‍රහණයෙන් පැත්තක සිටි අපටද ලැබුණු දෙයක් තිබුණේය. සුසන්තිකා වෙනුවෙන් ඒ වන විටද රජය මඟින් වැය කර තිබුණු පොදු අරමුදල් හරහා ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපද කිසියම් පිරිවැයක් දරා තිබුණත් ලැබුණු ලාබය ඊට වඩා වැඩි වූ නිසා අප බොහෝ දෙනෙකු වෙත සුසන්තිකා වෙත ගෙවන්නට කිසියම් ණයක් තිබුණේය.

වෙනත් අයුරකින් කිවහොත් සුසන්තිකාගේ ඔලිම්පික් ජයග්‍රහණය නිසා ඇයට හිමිවූ පෞද්ගලික ප්‍රතිලාභ වලට අමතරව තවත් බොහෝ දෙනෙකුටද කිසියම් ප්‍රතිලාභයක් ලැබී තිබුණේය. මෙය මූල්‍ය ප්‍රතිලාභයක් නොවීම වෙනම කරුණකි. ආර්ථික විද්‍යා භාෂාවෙන් මෙය 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එකකි. මේ 'පොසිටිව් එක්ස්ටර්නලිටි' එක ඇගේ ජයග්‍රහණය අගය කළ මිනිසුන්ගේ හදවත් තුළ ඇයට අවශ්‍ය විටක ආපසු ගත හැකි ස්ථිර තැන්පතුවක් සේ රැඳී තිබුණේය.

සුසන්තිකා යනු මේ ආකාරයේ ඉතිරි කිරීමක් කළ එකම තැනැත්තිය නොවේ. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය හා කුමාර සංගක්කාර වැනි වෙනත් ක්‍රීඩකයෝද, බොහෝ කලාකරුවෝද වෙනත් මිනිසුන්ගේ හදවත් තුළ කිසියම් ප්‍රාග්ධනයක් ඉතිරි කළේය. එය ඔවුන්ට පහසු වූයේ බොහෝ මිනිසුන් වීරයින් නඩත්තු කරන නිසාය.

බොහෝ මිනිසුන් තමන් ගැන හිතන්නේ තමන්ගේ සැබෑ තරමට වඩා ලොකු මිනිසුන් ලෙසය. එසේ හිතුවත්, මේ බොහොමයකට තමන්ගේ හිතේ තිබෙන 'ලොකු වැඩ' කරගැනීමේ සැබෑ හැකියාවක් නැත. ඔලිම්පික් පදක්කමක් ගැනීමේ හෝ ජාතික ක්‍රිකට් කණ්ඩායමට රිංගා ගැනීමේ සිට ප්‍රසිද්ධ ගායකයෙකු හෝ නළුවකු වීම දක්වා තමන්ට ළඟා කරගත නොහැකි සිහින ලඟා කරගන්නා අය මේ මිනිසුන්ගේ වීරයෝ වෙති. වීරයින් නඩත්තු කිරීමේ වැරැද්දක් නැතත් එය වියදම් අධික කටයුත්තකි. ඔබේ වීරයා හෝ වීරවරිය විසින් ඔබ වෙත ඉතිරි කර ඇති ප්‍රාග්ධනය ඔහු හෝ ඇය විසින් කොයි මොහොතේ හෝ මුදල් කරන්නට ඉඩ තිබේ.

වීර චරිතයක් බවට පත් වුනු අයෙකුට ඒ වීරකම මුදල් කළ හැකි පහසුම ක්‍රමයක් වන්නේ වෙළඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටීමයි. කුමාර සංගක්කාර ෆොන්ටෙරා වෙළඳ දැන්වීමකට පෙනී සිටින විට, ඔහුව වීරයෙකු ලෙස සලකන බොහෝ දෙනෙකු ඒ හේතුව නිසාම ෆොන්ටෙරා කිරි මිල දී ගැනීමට පෙළඹේ. මේ හරහා සංගක්කාර ඔහුව වීරයකු ලෙස සලකන පිරිස් විසින් ඔහුගේ ජයග්‍රහණයන් තුලින් ලබාගත් 'පොසිටිව් එක්ස්ටර්නලිටි' වල වටිනාකම නැවත ආපසු ලබාගනී.

මේ ක්‍රමයේ කිසිදු වැරැද්දක් නැත. සංගක්කාරට වෙළඳ දැන්වීමක පෙනී සිටීම මඟින් රටේ සියලු දෙනාටම ෆොන්ටෙරා කිරි පොවන්නට නොහැකිය.  වෙළඳ දැන්වීම බලා ෆොන්ටෙරා කිරි බොන්නට පෙළඹෙන්නේ සංගක්කාරව වීරයෙකු ලෙස නඩත්තු කරන අය පමණි. ඒ නිසා, මෙසේ කිරීම හේතුවෙන් ක්‍රිකට් වලින් කිසිදු සතුටක් නොලබන පැත්තක සිටින අයට පාඩුවක් වෙන්නේ නැත.

වෙළඳ දැන්වීම් වල පෙනී සිටීමට අමතරව මේ ආකාරයේ "වීරයෝ" මැතිවරණ වලට ඉදිරිපත් වෙමින්ද 'පොසිටිව් එක්ස්ටර්නලියේ ' වටිනාකම තමන් වෙත ඇද ගනිති. සනත් ජයසූරිය කළේ මෙයයි. දේශපාලන පවුලකට අයත් වුවද, අර්ජුන රණතුංගද බොහෝ දුරට කළේ මෙයයි. කෙසේවුවද, මෙහිදීද ඔවුන්ව වීරයින් ලෙස නඩත්තු නොකරන අයට මිලක් ගෙවන්නට වුනේ නැත. ඒ නිසා, ඔවුන් ලබාගත්තේ ඔවුන් සතු දෙයකි.

එහෙත්, සුසන්තිකා කරන්නේ මේ දෙයම නොවේ. ඇය පීඩනයක් යොදවන්නේ රජය හරහා මහජන මුදල් වලින් වැඩිපුර ප්‍රතිලාභයක් ලබා ගැනීමටය. මහජන මුදල් වලට සුසන්තිකාව වීරවරියක් ලෙස තවදුරටත් නඩත්තු කරන අය මෙන්ම එසේ නොකරන අයද දායක වී තිබේ. ඒ නිසා, මහජන මුදලින් ප්‍රතිලාභ ලැබීම යනු පෙර අවස්ථා වලදී මෙන් තමන්ට අයිති දෙයක් මුදල් කිරීමක් නොවේ.

රටේ සියලු දෙනා කෙසේවෙතත් බොහෝ දෙනෙකු සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කිරීම හේතුවෙන් ඇයට මහජන මුදලින් මෙතෙක් කල් යම් ප්‍රතිලාභ ලබන්නට හැකිවී තිබේ. රටේ බොහෝ දෙනෙක් සුසන්තිකාව වීරවරියක ලෙස නඩත්තු කළද ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති උපරිම මිලක් තිබේ. කාලයක් තිස්සේ සුසන්තිකා විසින් මේ මිලෙන් සෑහෙන කොටසක් ලබා ගෙන තිබේ. ඒ නිසා ඈ විසින් වසර ගණනකට පෙර එකතු කළ ප්‍රාග්ධනය මේ වන විට බොහෝ දුරට ක්ෂය වී අවසන්ව තිබිය යුතුය.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට යන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් සුසන්තිකාට සමාජය කම්පනය කරන්නට හැකි වනු ඇත්තේ ඈ විසින් එකතු කළ ප්‍රාග්ධනය මෙතෙක් කල් වරින්වර මුදල් කිරීමෙන් පසුවද තවදුරටත් ඉතිරිව ඇත්නම් පමණි.

25 comments:

  1. ඈය සිතන්නේ රජය විසින් මහජන මුදලින් ඇයට මසකට ලක්‍ෂ ගණනක පඩියක් දී, සෙරමෝනියල් ඩියුටියක් බාර කළ යුතු බවයි. කොළඹින් නිවසක්, ළමයින්ට පාසල් වැනි තවත් ඉල්ලීම් ඇති!

    ඇත්තටම ඒ රිදී පදක්කම කෙතරම් වටිනාව ඇති ද?

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදන වියදම ඩොලර් 300 පමණ වේ.

      Delete
    2. Diplomatic passport එකක් ද ඉල්ලීම් අතර ඇත

      Delete
    3. ට්‍රැක් එකේ දිව්වට ජීවිතේ දුවවන්න දන්නේ නැති කමේ ඇරුමය!

      Delete
    4. //ඇත්තටම ඒ රිදී පදක්කම කෙතරම් වටිනාව ඇති ද?//

      ඔය වගේ දෙයක් අයිති කරගන්න ලොකු මුදලක් ගෙවන්න කැමති අය ඉන්න පුළුවන්. සමහර විට ප්‍රසිද්ධිය බලාගෙන ලන්සු තියන අයත් ඉන්න පුළුවන්. ප්‍රසිද්ධියේ කන්‍යාභාවය වෙන්දේසි කරන අයටත් තවම මිලියන් ගණන් ලන්සු ලැබෙනවනේ.

      https://www.thesun.co.uk/news/3210019/model-18-who-was-selling-her-virginity-to-the-highest-bidder-claims-she-has-now-sold-it-for-2m-to-a-randy-businessman-from-hong-kong/

      Delete
    5. මගේ පදක්‌කම කෝටි
      25කට විකුණන්න පුළුවන්
      - සුසන්තිකා ජයසිංහ

      නෝමන් පලිහවඩන

      තමා හිමිකරගත් ඔලිම්පික්‌ පදක්‌කම මිලට ගැනීම සඳහා පිටරටවලින් ඉල්ලීම් රැසක්‌ ලැබෙන අතර එම පදක්‌කම රුපියල් කෝටි විසිපහකට වැඩි මුදලකට විකිණිය හැකි යෑයි තමා දැන ගත් බව ඔලිම්පික්‌ ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දිවයිනට ඊයේ (7 දා) ප්‍රකාශ කළාය.මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බව පැවසූ ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක්‌ තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද කියා සිටියාය.

      ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එම මුදලින් ක්‍රීඩාව නඟාලීමට පවා තමාට උදව් කළ හැකි බව ද සඳහන් කළාය.

      සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්‌කම වෙන්දේසි කිරීමට අදහස්‌ කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.
      http://www.divaina.com/2017/06/08/news07.html

      Delete
    6. ටී බී ඒකනායක ටික කාලෙකට කලින් සපත්තුව වෙන්දේසි කරන්න කමිටුවකුත් පත් කළානේ. එහෙම බැලුවහම සුසන්තිකා හොඳයි!
      http://www.hirunews.lk/92750/high-demand-for-minister-t-bs-broken-shoe-funds-used-to-buy-shoes-children-in-wayaba-video

      Delete
  2. සුසන්තිකා බටහිර රටකදි නියමාකාරෙන් පුහුණුව ලබා බටහිර රටකදිම පදක්කම දිනල එහෙම නැවතුනානම් ඈ ඔවැනි තැනැත්තියක් වෙන්නෙ නෑ. අවාසනාවට පදක්කම පැළඳගෙන ආවේ රටවැසියන්ගේ බදු මුදලින් ජීවත් වීම අභිමානයක් ලෙස සලකන හොරුන්, මංපහරන්නන්, වංචාකාරයින් බහුල දේශයකටය.
    දිවීම හැර අන් කිසිම කුසලතාවක් වර්ධනය කර නොගත් ඇයට දැන් පිනට කෑම හැර වෙන මගක් නැත.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. කොයි තරම් ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් තිබුනත් හැම කෙහෙම්මලම ආණ්ඩුවෙන් කළ යුතුයි කියන පටු තැනින් පොඩ්ඩක්වත් එළියට එන්න ඇයට හැකි වී නැහැ. ඇයට පහසුවෙන් මුදල් කරගත හැකිව තිබුණු බොහෝ දේ තිබුණා. දැන් ඒ ගොඩක් දේ මිස් වෙලා.

      Delete
  3. සනා වගේම සුසීත් තමන්ගේ තත්වය කෙලසාගෙන ඉන්නේ. එයාගේ පදක්කම ලංකාවේ එකෙක් මිලදිගනිය කියලා හිතන්නේ නෑ. එයා එයාගේ චරිතය බාල කරගත්තා දේශපාන කරන්න ගිහිල්ලා. ලංකාවේ වැදගත් සම්මානනිය චරිතයන්වු අය එවායේ වටිනාකම රැකගන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕක විකුණන්න අදහසක් නැති වෙන්න පුළුවන්.

      Delete
  4. එයා ඉතින් ඕක ගත්තු දවසේ ඉඳන්ම වෙන්දේසි කරන එක තමා කරේ

    ReplyDelete
  5. හොද වෙලාවට මෙයා පිරිමියෙක් නොවුනේ. වුනානම් එයා මෙඩල් එක ගත්ත නිසා හැම ගෑනිම එයා එක්ක බුදියන්න ඕනා කියා කියයි.
    එයා මෙඩ්ල් එක ගන්න දුවද්දි දාපු සපත්තු දෙකටත් බදු ගෙවන මිනිස්සුන්ට ණයයි.ආන්ඩුවෙන් මෙයාට ගෙවල් වලට ටීවි වලට අරවට මේවාට ගෙවා ඇති ගාන කෝටිගානක්.
    අනික් ඇත්ලටික් කරපු එවුන් රස්සාවල් කරන ගමන් ආන්ඩුවෙන් වැඩකට කථා කළත් අතින් කයිට් කරන් එනවාග උන් හිතන්නේ ඒක උන්ගේ යුතුකමක් කියලා. ආන්ඩුවෙන් කථාකරනවා කියලා උන්ර ඒ වැඩේට එන්නේ රස්සාව කරන තැන වැඩ පාඩුකරලත් නෙමෙයි.

    අමුතු සුරතල්!


    ReplyDelete
    Replies
    1. කිසියම් විෂයක දක්ෂයෙකු වූ පමණින්ම කෙනෙක් දක්ෂ පුහුණුකරුවෙකු වෙන්නේ නැහැ. ඇය පුහුණුකාරියක ලෙස ඇයට යමක් කළ හැකි බව පෙන්නුවොත් ඇයට ඇගේ මිල ලැබෙයි. සැබෑ දක්ෂතාවයක් තියෙනවනම් පෞද්ගලික ක්‍රීඩා පුහුණු කාරියක් ලෙස වැඩ කළත් සෑහෙන පිරිසක් පුහුණු වෙන්න එයි. "ඔලිම්පික් පදක්කම් ලාභිනියකගෙන් පෞද්ගලිකවම පුහුණුව ලබා ඔබේ දුවත් ධාවන ශූරියක කරන්න" කියල පෝස්ටර් ටිකක් ගැහුවනම් ලංකාවේ අම්මලා පෝලිමට ළමයි අරගෙන එයි. ඊට පස්සේ පඩි ගෙවල වෙන කෙනෙක්ව අරගෙන වුනත් පුහුණු කරන්න පුළුවන්.

      Delete
  6. පදක්කම රැගෙන නුඹ මෙහි ආවිට
    ගුවන් තොටුපලට සපැමිණ හිත සතුටින්
    සුට්‌ කේස් ඔසවාගන සිය කැමැත්තෙන්
    නුඹ කැන්දාගෙන ගිය ඇමතිටයි
    පළමු ලන්සුවට
    සදාදර ඇරයුම!

    ReplyDelete
    Replies
    1. ඕවා වැඩිකල් තියෙන්නේ නැති බව නොතේරීම තනිකරම ඇගේ වරදකුත් නෙමෙයි. ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙක් ඉන්නේත් ඇය සිටින තැන. දැන් දැන් ක්‍රමයෙන් වෙනස් වෙනවා.

      Delete
  7. සුසන්තිකා කියන්නේ ගිය ආණ්ඩුව කාලයේ තමන්ට රුපියල් 80,000 වගේම රියදුරෙක් සමගින් වාහනයක්ද ලබා දී තිබුනත් මේ ආණ්ඩුව විසින් රියදුරු සහා වාහනය ලබා ගෙන රුපියල් 80,000 දීමනාව රුපියල් 60,000 දක්වා අඩුකර ඇති බවක් සහා දැන් එම දීමනාවද ලබා නොදෙන බවකුයි.
    ගිය ආණ්ඩුව කාලයේ හැමතැනම උපදේශකයෝ වැහි වහැලා හිටියා.ඒ හැමකෙනෙක්ම නඩත්තු වුනේ මහජනතාවගේ බදු මුදල් වලින්.සුසන්තිකා ඒ අය අතරින් එක්කෙනක් විතරයි.මෛත්‍රි ජනාධිපතිවරයා විසින් සුසන්තිකාට ක්‍රීඩා සංකීර්ණයක් සැදීමට ඉඩමක් හෝ මුදල් පරිත්‍යාගයක් කෙරුවා වගේ මතකයකුත් තියෙනවා.

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 2011 මහා මැතිවරණයට ඉදිරිපත් වෙච්චි සුසන්තිකා හිටියේ පරාජිත අපේක්ෂකයින් අතරින් පළමුවැනියට.එදා කොහොමින් හරි පාර්ලිමේන්තුවට යන්න පුළුවන් උනා නම් සුසන්තිකාගේ වර්තමාන තත්වය මෙච්චර දුක්ඛිත නොවෙන්නත් තිබ්බා.

    ReplyDelete
  8. දේශපාලකයින් මෙන්ම ජරාවට ගිය තවත් වෘත්තියක් ක්‍රීඩකයින්. ඒ කාලයේ සිටි දේශපාලකයින් සහ ක්‍රීඩකයින් සමඟ සසදන කල පරිහානියට පත්වූ දෙකොටසක්.

    ReplyDelete
    Replies
    1. තමන් සිටිය යුතු නිසි තැන තැබිය යුතු අය අතර ඉන්නේ දේශපාලනඥයින් පමණක් නෙමෙයි.

      Delete
  9. එයාට ඕන එයා හෙන පොරක් කියල පෙන්නන්න. එයාට තියන පස්න කාටවත් නෑ කියල කියන්න. එයාගෙ මාකටින් ඩිමාන්ඩ් එක වැඩි කරගන්න
    ඊටත් වඩා කොහොම හරි නිව්ස් එකක් වෙන්න.
    එයාට හිතෙද්දි කාලයක් යද්දි එයා ගැන කියවෙන්නෑ කියල එයා නිව්ස් මවල ට්‍රෙන්ඩ් එකක් හදන්න හදනව.පොඩිසයිකෝ සීන් එකක්
    මට නං හිතෙන්නෙ එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඩිමාන්ඩ් එකක් තියෙන බව හිතන නිසා ඇය එසේ කරනවා. හැබැයි ඒ ඩිමාන්ඩ් එක දැන් ගොඩක් අඩුවෙලා. එකම දේ වැඩි වැඩියෙන් විකුණන කොට මිල අඩුවෙනවා.

      Delete
  10. එදා සිට ලැබුන මුදල් හරියට කළමණාකරනය කර ගත්තානම් එ්ත වෙන්දේසි කරන්න ඔ්නයැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: