Thursday, April 9, 2020

කොරෝනාවට පෙර ලෝකය


ධනවාදය, සමාජවාදය, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය කියන "වාද" හතර (ඉංග්‍රීසියෙන් කියනවනම් "isms" හතර) මම පෞද්ගලිකව ආකෘතිගත කර ගන්නේ කොහොමද කියන එකයි කලින් ලිපියේ ලිවුවේ. මේ ආකෘතිය අනුව, ධනවාදය හා සමාජවාදය කියන්නේ තිරස් අක්ෂයේ ප්‍රතිවිරුද්ධ පැති. ඒ නිසා, ධනවාදයට නැඹුරු වීම සමාජවාදයෙන් බැහැර වීමක්ද වෙනවා. නමුත්, ජාතිකවාදය කියන එක වෙනත් මානයක්. ඒ මානය තිබෙන්නේ ධනවාදී-සමාජවාදී අක්ෂයට ලම්බක වෙනම මානයක. ඒ නිසා කිසියම් රටක් ජාතිකවාදයට නැඹුරු වීම ධනවාදයට යාමක්වත්, ධනවාදය බැහැර කිරීමක්වත් නෙමෙයි. එය වෙනම කරුණක්.

ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ නිදහස් ගනුදෙනු කියන සංකල්පය මතයි. මෙහි නිදහස් කියා කියන විට රටක ආණ්ඩුවේ බලපෑම් වලින් නිදහස් වීම ප්‍රධානයි. බොහෝ ධනවාදීන් ආණ්ඩු වල බලපෑම අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ගනුදෙනු සියල්ල ආණ්ඩුවේ බලපෑමෙන් නිදහස් වූ රටවල් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රටවල සමාජවාදය ක්‍රියාත්මක කරන්න ගොස් ඇති වූ විකෘතීන් ආපසු හැරවුණු අවස්ථා අත ඇරියොත් ආණ්ඩු එන්න එන්නම දුර්වල වනවාට වඩා ශක්තිමත් වන බවකුයි පෙනෙන්නට තියෙන්නේ.

මධ්‍යගත සැලසුම් වෙනුවෙන් පෙනී සිට ඇති හෝ පෙනී සිටින බොහෝ දෙනෙක් මාක්ස්වාදීන්. ඔවුන් කතා කරන දියුණු කොමියුනිස්ට් සමාජයකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ලෝකය ඒ තත්ත්වය කරා යන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩා වඩා කාර්යක්ෂම වී එක්තරා සීමාවක් ඉක්මවූවාට පස්සේ. එවිට, පෞද්ගලික දේපොළ අයිතිය අවශ්‍ය නොවන වාස්තවික තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ අදහස සමඟ මට පෞද්ගලිකව ලොකු අවුලක් නැහැ. මට අවුලක් තිබෙන්නේ මාක්ස්වාදීන් විසින් සමාජවාදය නමින් සමාජය බලහත්කාරයෙන් පරිණාමය කරවන්න දැරූ උත්සාහය සම්බන්ධවයි.

සමාජවාදය පදනම් වන්නේ සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස මතයි. මේ අදහස අනාගතයේ කිසියම් දවසක යථාර්තයක් වෙන්න පුළුවන්. සමස්ත මිනිස් සමාජයට සාමූහිකව නිෂ්පාදනය කරගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය එම සමාජයේ තනි මිනිස්සු සියලු දෙනාටම  මුළුමනින්ම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමකටත් වඩා ගොඩක් වැඩිනම් ඔය වගේ සමතුලිතතාවයක් පවතින්න පුළුවන්. මෙහිදී සාමූහිකව කියන එකෙන් මධ්‍යගත සැලසුමක් යටතේ කියා අදහස් වෙන්නේ නැහැ. ඕනෑම ධනවාදී සමාජයක් ක්‍රියාත්මක වන්නේද සාමූහිකත්වය මතයි.

කොහොම වුනත් පෙර කී ආකාරයේ නිෂ්පාදන තාක්ෂණයක් තවම නැහැනේ. ලෝකයේ ජීවත්වන සියලු දෙනාටම තෘප්තිමත් විය හැකි පරිභෝජන මට්ටමක් පවත්වා ගත හැකි තරම් නිෂ්පාදනයක් සමස්තයක් ලෙස ලෝකයේ සිදු වන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් තිබෙනවා. සම්පත් බෙදාහැරීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මෙහිදී දේපොළ අයිතිය ප්‍රශ්නයක් වෙනවා.

පවතින යථාර්තයන් යටතේ නිෂ්පාදන හැකියාව අතින් සියලු මිනිසුන් සමාන නැහැ පමණක් නෙමෙයි විවිධ මිනිසුන්ගේ නිෂ්පාදන හැකියාවන් විචල්‍ය වන පරාසය ඉතා විශාලයි. සියවස් හතර පහකට කලින් එවැනි පරතරයක් තිබුණේ නැහැ. මේ පරතරය ඇති වුනේ මිනිසුන් විසින් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් වේගවත් වීමත් සමඟයි. සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය වඩ වඩා කාර්යක්ෂම වුනේත්, වෙන්නේත් මේ විදිහට මිනිසුන් විසින් වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට සමාන්තරවයි. මධ්‍යගත සැලසුම් සමාජවාදය කියා කියන්නේ ඔය ක්‍රියාවලියේ එක අදියරක් වැරදියට විග්‍රහ කිරීමේ ප්‍රතිඵලයක්.

ධනවාදය තුළ සියලු මිනිසුන් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් අනුව අසමානයින් නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබීම වැරැද්දක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. යමෙකුගේ නිෂ්පාදන ඵලය ඔහුගේ හෝ ඇයගේ අයිතියක් ලෙස පිළිගැනෙනවා. ඒ නිෂ්පාදන ඵලය තනිව භුක්ති විඳිනවාද වෙනත් අය සමඟ හවුලේ භුක්ති විඳිනවාද කියා තීරණය කිරීම පුද්ගල අයිතියක්. මේ ධනවාදී සම්පත් බෙදී යාම ස්වභාවිකවම සිදුවන දෙයක් නිසා එය ක්‍රියාත්මක කරන්න අමුතු මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ. පුද්ගලික දේපොළ අයිතිය තහවුරු කිරීම ප්‍රමාණවත්.

නමුත්, සමාජවාදී ක්‍රමයකට මේ විදිහට ස්වභාවික පැවැත්මක් නැහැ. ක්‍රමය සමාජවාදී වුවත් පවතින නිෂ්පාදන ක්‍රමවේද යටතේ මිනිස්සු නිෂ්පාදන හැකියාවන් අනුව සමානයින් නොවන නිසා වඩා කාර්යක්ෂම මිනිසුන් විසින් නිපදවන දෙයින් කොටසක් අකාර්යක්ෂම මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කෙරෙන කෘතීම යාන්ත්‍රණයක් අවශ්‍යයි. මධ්‍යගත සැලසුම් හරහා වෙන්නේ ඔය කාර්යයයි. මෙය සිදු වුනේ හෝ සිදු වන්නේ පැරණි හා වත්මන් සමාජවාදී රටවල පමණක් නෙමෙයි. ඇමරිකාව වගේ රටක වුවත් මෙය අඩු පරිමාණයකින් සිදු වෙනවා. රටක බදු ක්‍රමය හරහා වෙන්නෙත් මේ දෙයයි.

සමාජවාදය වුවත්, ධනවාදය වුවත් ක්‍රියාත්මක කළ හැක්කේ ලෝකයේ පවතින දේශපාලනික බෙදීම් ඇතුළත සිටයි. ඉතිහාසයේ කවර කලෙකවත් ලෝක ආණ්ඩුවක් පැවතී නැහැ. නමුත්, සියලුම මිනිසුන් සමාන නිසා සියලුම මිනිසුන්ට සමානව පරිභෝජනය කිරීමේ අයිතියක්ද තිබෙනවා කියන අදහස දේශපාලනික සීමාවකට යටත් කරන්න බැහැ. රට ඇතුළේ හිටියත්, රටින් පිටත හිටියත් ඒ ඉන්නේ මිනිස්සු කියා සැලකුවොත් සමාජවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී විය යුතුයි. එහෙමනම්, ලෝකයේ කොයි රටක හිටියත් වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගේ නිෂ්පාදන ඵලයෙන් කොටසක් අඩු නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අය වෙත යා යුතුයි. මේ කරුණ බැහැර කර හදන මධ්‍යගත සැලසුමක් සමාජවාදයේ හරය සමඟ ගැටෙනවා.

නමුත්, ප්‍රශ්නය තිබෙන්නේ වැඩි නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තිබෙන අයගෙන් විශාල පිරිසක් සිටින්නේ මධ්‍යගත සැලසුම් පිළි නොගන්නා වෙනත් දේශපාලන බල අධිකාර තුළ වීමයි. ඒ නිසා, ඔවුන්ගේ නිෂ්පාදන ඵලය වෙනත් අය වෙත බෙදා හැරීමේ හැකියාවක් මෙවැනි මධ්‍යගත සැලසුමකට නැහැ. උදාහරණයක් විදිහට පැරණි සෝවියට් දේශය ගනිමු.

සෛද්ධාන්තිකව ගත්තොත් රට ඇතුලෙ සියලු දෙනාගේම පරිභෝජන මට්ටම් සමාන වන සම්පත් බෙදා හැරීමක් කරන්න සෝවියට් දේශයට පුළුවන්. ඒ වගේම, සෝවියට් දේශයට වඩා ආදායම් මට්ටම අඩු ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලේම මිනිසුන්ගේ පරිභෝජන මට්ටම් සමාන වන තුරු සෝවියට් දේශයේ හදන දේවල් එම රටවල් වලට දෙන්නත් පුළුවන්. ඒ රටවල් වලට නොමිලේ දෙන දෙයක් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැනේ. නමුත්, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල හදන දේවල් අයිති කරගෙන බෙදා හැරීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ නිසා, සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වෙනවා කියා කියන්නේ රටින් පිටත මිනිසුන් වෙනුවෙන් රට ඇතුළේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න ඉඩ අරිනවා කියන එකයි.

සමාජවාදී මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය ධනවාදී රටවල එම  ක්‍රියාවලියට වඩා අතිශයින්ම කාර්යක්ෂම වුනානම් සමහර විට මෙය කළ හැකිව තිබුණා. මොකද අනෙක් රටවල් වලටත් සම්පත් විශාල ලෙස බෙදා හරිමින් පරිභෝජන මට්ටමත් ඉහළින් තබා ගත හැකි තරමේ නිෂ්පාදනයක් රට ඇතුලෙ සිදු වෙනවා. නමුත්, මධ්‍යගත සැලසුම් යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම වුනේ ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියට වඩා අඩුවෙනුයි. ඒ නිසා, සෝවියට් දේශයට කවදාවත් එක් සීමාවකින් ඔබ්බට ජාත්‍යන්තරවාදී විය හැකි තරමේ ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. එහෙත්, ආර්ථිකයට ඔරොත්තු දෙන තරමට සෝවියට් දේශය ජාත්‍යන්තරවාදී වුනා.

සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ සංකල්පීය ලෙස කොහොම වුනත් ප්‍රායෝගිකව ජාත්‍යන්තරවාදී විය හැකි සීමාවක් තිබෙනවා. සමාජවාදී රටක් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කරන තරමට රට ඇතුළේ සිටින මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. එවිට, රට ඇතුළේ මිනිස්සුන්ගේ සහයෝගය පවත්වාගත හැකි තරමට ජාතිකවාදී වෙන්න සිදු වෙනවා. මේ එක්කම සංකල්පීය අවුලක් ඇති වෙනවා. සියලුම මිනිසුන් සමානයි. එහෙත්, රට ඇතුළේ ජීවත් වන මිනිස්සු වඩා සමානයි.

සෝවියට්  ආර්ථීකය බිඳ වැටීම, සෝවියට් දේශය බිඳ වැටී රුසියන් ජාතිකවාදය ඉස්මතු වීම වගේම චීන ජාතික සමාජවාදය මේ සන්දර්භය ඇතුළේ තේරුම් ගන්න පුළුවන්.

ධනවාදය ඇතුළේ සියලුම මිනිසුන් (නිෂ්පාදන හැකියාව අතින්) සමාන සේ පිළි නොගැනෙන නිසා මේ අවුල මේ විදිහට ඇති වෙන්නේ නැහැ. නමුත්, වෙනත් විදිහක අවුලක් තිබෙනවා.

ධනවාදයේ පදනම නිදහස් ගනුදෙනු වලින් ගනුදෙනුවේ දෙපාර්ශ්වයටම හිමිවන ලාබය. මෙහිදී වැදගත් වන්නේ ලාබයේ ප්‍රමාණය මිස ගනුදෙනුවේ පාර්ශ්ව කවුද කියන එක නෙමෙයි. ලංකාවේ අර්තාපල් කිලෝවක් හදන්න යන වියදමට වඩා අඩුවෙන් ඉන්දියාවෙන් අර්තාපල් කිලෝවක් ආනයනය කරන්න පුළුවන්. ලංකාවෙන් ඇඟළුම් ආනයනය කරන එක ඇමරිකාවේ ඇඟලුම් හදනවාට වඩා ලාබයි.

රටවල් අතර පූර්ණ නිදහස් වෙළඳාමක් තිබෙනවානම් ලෝකයේ කොහේ හෝ තිබෙන ලාබම ශ්‍රමයට වැඩිම ඉල්ලුමක් ලැබෙනවා. ඒ නිසා, ලෝකයේ කොහේ හෝ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ගේ ආදායම් එන්න එන්න වැඩි වී රටවල් අතර ආදායම් පරතරය අඩු වෙනවා. ඒ වගේම දුප්පත් රටවල් වල ආදායම් විෂමතාත් අඩු වෙනවා. නමුත්, මේ වැඩෙන් ධනවත් රටවල රට ඇතුළේ ආදායම් පරතරය වැඩි වෙනවා.

සෛද්ධාන්තිකව ගත්තොත් ධනවාදයත් ජාත්‍යන්තරවාදීයි. ලංකාවේ පාරිභෝගිකයෙක්ට වැදගත් වන්නේ පුළුවන් තරම් ලාබෙට අර්තාපල් කිලෝවක් මිල දී ගන්න එක මිසක් ගෙවන සල්ලි යන්නේ ලංකාවේ ගොවියෙක්ටද ඉන්දියාවේ ගොවියෙක්ටද කියන එක නෙමෙයි. සමස්ත ක්‍රියාවලියම සලකා බැලුවහම ඉන්දියාවේ ගොවියාට සල්ලි යන එක වඩා කාර්යක්ෂමයි. එයින් වෙන්නේ ලංකාවේ ගොවියාට තමන්ගේ අකාර්යක්ෂමතාවය නඩත්තු කරගන්න බැරි වීමයි. එය ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික ප්‍රශ්නයක් මිස සමාජ ප්‍රශ්නයක් නොවෙයි කියා හිතුවොත් මෙහි අවුලක් නැහැ. නමුත්, ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ.

රටවල් අතර සිදු වන ගනුදෙනු නිසා වන වාසි හා අවාසි පිළිබඳ තත්ත්වය මීටත් වඩා සංකීර්ණයි. හේතුව කිසිම රටක පූර්ණ නිදහස් වෙළඳපොළක් නැතිවීමයි. රටවල් ඇතුළේ වෙළඳාම නිදහස්ව නොතිබියදී ජාත්‍යන්තර වෙළඳාම පමණක් පූර්ණව නිදහස් කරලා අපේක්ෂිත කාර්යක්ෂමතාවය ලබා ගන්න බැහැ. අපි හිතමු ඉන්දියාවේ රජය විසින් ඉන්දියාවේ අර්තාපල් වගාව සුබසාධනය කරනවා කියලා. දැන් ලංකාවට එන ඉන්දියානු අර්තාපල් ලාබයි. ලංකාවේ අර්තාපල් ගොවියාට මේ මිලට අර්තාපල් හදන්න බැහැ. නමුත්, ඒ ලංකාවේ අර්තාපල් ගොවියාගේ අකාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. ජාතික රාජ්‍ය ලෙස දේශපාලනිකව වෙළඳපොළ බෙදී තියෙද්දී මේ වගේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ආර්ථික වර්ධනය පිළිබඳ අභිසාරී වීමේ න්‍යාය කාලයක් ජනප්‍රියව තිබුණු එකක්. මේ න්‍යාය අනුව, දුප්පත් රටවල් වඩා වේගයෙන් සංවර්ධනය වී කලක් යද්දී ලෝකයේ රටවල් අතර ආදායම් විෂමතා දුරු විය යුතුයි. එහෙත්, ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. රටවල් අතර ආදායම් විෂමතා එන්න එන්නම වැඩි වෙනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ධනවත් රටවල අඩු ආදායම්ලාභීන් දිගින් දිගටම සුබසාධනය වීමයි.

කොහොම වුනත් පසුගිය දශක ගණනාවක් මුළුල්ලේම ධනවාදයේ යම් ජාත්‍යන්තරවාදී ප්‍රවේශයක් දකින්න ලැබුණා. එහි වාසිය දුප්පත් රටවල ශ්‍රමිකයින්ටත්, ධනවත් රටවල ප්‍රාග්ධන හිමියන්ටත් ලැබුණා. එහෙත්, ධනවත් රටවල පහළ ස්ථර වලට මෙයින් සිදු වුනේ අවාසියක්. බටහිර රටවල ජාතිකවාදයන් ශක්තිමත් වෙන්න පටන් ගත්තේ මේ කණ්ඩායම ටිකෙන් ටික විශාල වී අදාළ රටවල බහුතරය බවට පත් වීමෙන් පසුවයි.

ඇමරිකාව වැනි බටහිර රටක පහළ ආදායම් ස්ථරයක සිටින අයෙකු තමන්ගේ ජීවන තත්ත්වය පහළ යාමට හේතුව චීන ශ්‍රමිකයෙකුට රැකියා හිමි වීම කියා හිතද්දී, තමන් එම චීන ශ්‍රමිකයාට වඩා අකාර්යක්ෂමය යන කරුණ අමතක කරනවා. ඒ පදනම මත ජාතිකවාදය විසඳුමක් සේ දකිනවා. එහෙත්, ධනවාදය විසින් සොයන්නේ කාර්යක්ෂමතාවය නිසා චීන ශ්‍රමිකයා වෙනුවට ඇමරිකන් ශ්‍රමිකයෙකු ආදේශ වෙන්නේ නැහැ. එසේ වුවහොත් ඒ තාවකාලිකව පමණයි. බොහෝ විට චීන ශ්‍රමිකයා වෙනුවට ආදේශ වෙන්නේ ස්වයංක්‍රීය රෝබෝවක් වෙන්න පුළුවන්.

(Image: https://www.livescience.com/8315-earth-survive.html)

5 comments:

  1. රජයේ දේශීය/ ආයුර්වේද රෝහල් වල, කොරෝනා රෝගීන් ට ප්‍රතිකාර කරන්න පුළුවන් ද ?

    බැරි ඇයි ? දුම් හට්ටි කැද ද දෙන්නේ ?
    ඔයාලට ශුවර් ද හොද වෙයි කියලා ?

    ඔව්. ඇත්තටම පුළුවන් අපේ අයට, අවශ්‍ය පහසුකම් හා කාර්‍ය මණ්ඩලය ලබා දෙනව නම්...

    අපි සැක සහිත මෙන්ම රෝගය හදුනා ගත් මුල් හා දෙවැනි අවස්ථාවේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් සාර්ථක චිකිත්සා පද්ධතිය ක් සැලසුම් කර අවසන්.

    අංක එකට කෙරෙන්න ඕනේ ජාතික ආයුර්වේද රෝහලේ , මහල් අටකින් යුක්ත නව වාට්ටු සංකීර්ණය විවෘත කර, මේ මොහොතේ කොරෝනා රෝගීන් හා සැක සහිත රෝගීන් සදහා , ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙන වාට්ටු ලෙස අවශ්‍ය ආකාරය ට සකසා දීමට රජය මැදිහත් වෙන එක.

    එතකොට එක එක්කෙනාගේ තැන් වල යන්න අවශ්‍ය වෙන්නේ නෑනේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට නේද ?

    එහෙම බැරි නම් , තෝරාගත් බටහිර රෝහලක වෙනම වාට්ටුව ක් දෙන්න Collaborative treatment plan එකකට යන්න.

    ඊට අමතරව,ඔයාලගේ සමහර අභියෝග ඔහොම ගැලපෙන්නේ කැද, දුම්
    හට්ටි කොරෝනා කෝකටත් තෛලය කියලා හිතාගෙන ගොන් පාට් දෙන ඔයාලගෙම සම හරක් බටහිර ගැති සෙට් එකට. එතැන දේශීය/ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නැහැ.පටලව ගන්න එපා.

    වෘත්තීය අවභාවිතා කරන විවිධ කණ්ඩායම් ඉන්නවා කොරෝනා බිස්නස් කරන මේ වගේ වෙලාවකත්.

    දෙන්න රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී න්ට මෙහෙම අභියෝගයක්.

    කොරෝනා ආසාදිත කියලා තහවුරු උන මුල් මට්ටමේ රෝගීන් තිහක් දෙන්න රෝගීන් ගේ කැමැත්ත අනුව.

    අපිට දෙන්න වෙනම වාට්ටුවක්. එයාලගේ ආහාර පාන විහරණ තීරණය කරන්න අපිට දෙන්න. අවුරුදු දහස් ගණනක් තිස්සේ මූලග්‍රන්ථ වල එන චිකිත්සා පද්ධතිය ට අදාල ශාක සාර ඖෂධ දෙන්න ඉඩ දෙන්න.

    චීනයේ හා ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරු එක්ක සාකච්ඡා කරලා අපි චිකිත්සා පද්ධති හදාගෙන ඉන්නේ මේ වන විටත්.

    අපිට විශ්වාසයි අවුරුදු දහස් ගණනක් තිස්සේ භාවිතා කරන ඖෂධ නිසා කිසිම අතුරු ආබාධයක් ඇති නොවන බව.

    ආයුර්වේද ඖෂධ වල අතුරු ආබාධ නැහැ.තියෙන්නේ අතුරු ප්‍රතිලාභ .

    ARDS ආවොත් විතරක් Ventilators , ICU bed එකකින් සප් එකක් දෙන්න බටහිර අංශයෙන්.එච්චරයි අවශ්‍ය.

    අනිවාර්යයෙන් ම හොද කරලා පෙන්වනවා.
    Pilot study එකක් විදිහට කරලා බලන්න කියනවාට.

    සාපේක්ෂව complications එන අය සෑහෙන ප්‍රතිශතයකින් අඩු වේවි.

    අපේ පාර්ශව වලින් සෞඛ්‍ය ලේකම් තුමියට, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිතුමියටයි යෝජනා ඉදිරිපත් කර අවසන්.

    මොකද කියන්නේ ? එක්ව ජය ගමුද ? වෙන්ව වැනසෙමුද ?

    බුද්ධිමත් ඔබගේ අවධානය ට..

    වෛද්‍ය තරංග චන්දිමාල් ජයසිංහ
    ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
    ආයුර්වේද දෙපාර්තමේන්තුව
    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය

    ReplyDelete
  2. ඔව්ව මොනවද මහත්වරුනි. පවිත්‍රා මැඩම් කියලා තියෙනවා අප්‍රේල් 19 වෙනකොට රටේ ඉන්න සේරම කොරෝනා ලෙඩ්ඩු අඳුනාගෙන ඉවරයි කියලා.

    https://www.lankahotnews.net/2020/04/19.html

    ඔයාලටත් අපටත් තියෙන්නේ එතකල් සද්දේ වහගෙන ඉඳලා සපෝට් එක දෙන්න විතරයි. සල්ලි ප්‍රශ්නයක් නැහැ. කෝටි ගානක් හම්බ වෙලා තියෙනවනේ........

    ReplyDelete
  3. ඔබ දුකක් මවාවී
    හිස් බැලුම් හෙලාවී
    නිමාව දුටු පළමු පෙමින්
    ඉකොනෝමැට්ටා තනිවේවි..

    ReplyDelete
  4. ඔච්චර ලොකු කතා අවශ්‍ය නෑ.
    වාමාංශිකයන්ය කියන්නේ
    දෙමළ ජාතිවාදයට කඩේයන, ජාතියක් ජම්මයක් නැති කාලක්කියන්ට. (ජේසු කියන්නෙත් වාංමාංශිකයෙක්)

    දක්ෂිනාංශිකයෝ කියන්නේ මංවගේ හොඳ සිංහල බෞද්ධයන්ට.

    :D

    ReplyDelete
  5. Excellent article. However, when providing support by Capitalist countries to developing nations like Sri Lanka they always almost support agriculture or social sector quite contrast to Socialist countries that supported through development of industrial sector. Does it happen as we dont have competitive advantage in industrial sector?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.