වෙබ් ලිපිනය:

Friday, April 10, 2020

ඇමරිකාවේ කෝවිඩ් හා ලංකාවේ ආර්ථිකය

මේ වන විට ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙන බව පැහැදිලියි. එයින් අදහස් වෙන්නේ ඉදිරි දවස් වලදී රෝගීන් හමු නොවන බව හෝ මරණ සිදු නොවන බව නෙමෙයි. ඇමරිකාවේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ වන විට 18,000ක් පමණ වෙනවා. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව, මේ මරණ ප්‍රමාණය 60,000 පමණ දක්වා ඉහළ යා හැකියි.


(Grapph: https://covid19.healthdata.org/united-states-of-america)

එහෙමනම්, කෝවිඩ්-19 පැතිරීම පාලනය වී ඇති බව කියන්නේ කොහොමද?

කිසියම් රටක කෝවිඩ්-19 පැතිරීම ආරම්භ වූ අවදියේදී ඝාතීය වර්ධනයක් දකින්න ලැබෙනවා. ඇමරිකාවේ හා යුරෝපීය රටවල් බොහොමයකම මේ තත්ත්වය දකින්න ලැබුණා. රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලය ඇතුළු ලොකු ජනගහණයක් සිටින හා ප්‍රමාද වී කෝවිඩ්-19 තර්ජනයට මුහුණ දුන් රටවල මේ වන විට මේ ඝාතීය වර්ධන තත්ත්වය දැකිය හැකියි. එහෙත්, ඇමරිකාව හා යුරෝපීය රටවල් බොහොමයක් මේ වන විට ඝාතීය වර්ධන අවදිය පසු කර රේඛීය වර්ධන අවදියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ කියන්නේ, තවමත් දිනපතා රෝගීන් වැඩි වන නමුත් දිනකට වැඩිවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන්නේ නැහැ. ලංකාවේනම් මුල සිටම දැකිය හැකිව තිබුණේ රේඛීය වර්ධනයක්.


(Grapph: https://www.worldometers.info/coronavirus/)

කලින්ම හා වේගයෙන්ම රෝගය පැතිරුණු රටවල් කලින්ම ඝාතීය වර්ධන අවදිය පසු කළා. ඒ නිසා, ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි රටවල සිදු විය හැකි මරණ වලින් විශාල ප්‍රමාණයක් දැනටමත් සිදු වී හමාරයි. නමුත්, ටික දවසකට පෙර ඝාතීය වර්ධන අවදිය පසු කළ ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ මරණ ප්‍රමාණය තවත් කිහිප ගුණයකින් වැඩි වෙයි.

තෝරාගත් රටවල් කිහිපයක සිදු විය හැකි මරණ ප්‍රමාණයන් පිළිබඳ දැනට තිබෙන (වෙනස් විය හැකි) ඇස්තමේන්තු හා දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණ මේ විදිහයි.

ඇමරිකා එක්සත් ජනපදය 18,000 -> 61,500
ඉතාලිය 19,000 -> 20,500
ස්පාඤ්ඤය 16,000 -> 18,500
ප්‍රංශය 12,000 -> 15,500
එක්සත් රාජධානිය 9,000 -> 37,000
ජර්මනිය 2,600 -> 7,000
නෙදර්ලන්තය 2,500 -> 18,000
බෙල්ජියම 3,000 -> 4,300

මේ ලැයිස්තුවේ තිබෙන රටවල් ලංකාවේ ඇඟලුම් මිල දී ගන්නා ප්‍රධාන රටවල්. 2018 වසරේදී මේ රටවල් ලංකාවෙන් මිල දී ගත් ඇඟළුම් වල වටිනාකම ඩොලර් මිලියන වලින් මෙහෙමයි.

ඇමරිකා එක්සත් ජනපදය 2,269
ඉතාලිය 463
ස්පාඤ්ඤය 23
ප්‍රංශය 64
එක්සත් රාජධානිය 737
ජර්මනිය 265
නෙදර්ලන්තය 130
බෙල්ජියම හා ලක්සම්බර්ග්  214

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 5 කට ආසන්න වූ ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් 90%ක් පමණම ලැබෙන්නේ ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ යුරෝපීය සංගමයේ රටවලින්. 60%කට වඩා ලැබෙන්නේ එක්සත් රාජධානියෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන්.

කෝවිඩ්-19 පැතිරීමත් සමඟම මේ රටවල මිනිස්සු ගෙවල් වලට වී ඉන්නවා. මේ තත්ත්වය හෙමින් මිසක් එකවර වෙනස් වෙන එකක් නැහැ. මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?

ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරීම ලංකාවේ ආර්ථිකයට සෘජුවම බලපානවා. චීනයේ කෝවිඩ්-19 පැතිරී චීන ආර්ථිකය දුර්වල වන විට වෙන්නේ ලංකාවේ ආනයන අඩු වී වියදම් පහළ බහින එකයි. නමුත්, ඇමරිකාවේ හා යුරෝපයේ කෝවිඩ්-19 පැතිරෙන කොට වෙන්නේ ලංකාවේ අපනයන අඩු වී ආදායම් පහළ බහින එකයි. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර වල ආයෝජනය කරන ආයෝජකයෝ ඔය බව හොඳින්ම දන්නවා.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ යුරෝපයේ අනෙක් ඇතැම් රටවලට වඩා තරමක් පසුවයි. මේ රටවල් දෙකේ කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඝාතීය ලෙස වර්ධනය වුනු කාලය තුළ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ඒ ආකාරයටම ඉහළ ගියා.

පසුගිය සතියේ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය මේ ඝාතීය වර්ධන අවදිය පහු කිරීමත් සමඟම ස්වෛරීත්ව බැඳුම්කර වල පොලී අනුපාතිකයත් ක්ෂණිකව ස්ථාවර වී තිබෙනවා. මේ අනුව, ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ කෝවිඩ් පැතිරීම පාලනය වීම රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගත හැකි විකල්ප බොහොමයක්ම දැනටමත් ප්‍රයෝජනයට ගෙන අවසන්ව දහ අතේ කල්පනා කරමින් ඉන්න ලංකාවට යම් තරමක හෝ අස්වැසිල්ලක් වෙයි.

එහෙත්, මේ නැඹුරුවෙන් පෙන්වන්නේ ඇමරිකාව එක් සටනක් ජයගෙන ඇති බව මිස යුද්ධය දිනා අවසන් බව නෙමෙයි. යුරෝපය හා අදාළව තත්ත්වයත් එසේමයි. කෝවිඩ්-19 පළමු චක්‍රය අපේක්ෂා කර තිබුණු පරිද්දෙන්ම අවසන් වෙමින් ඇති බව පෙනෙන්නට ඇතත්, දෙවන චක්‍රයක් මතු වීමේ අනතුර එසේම තිබෙනවා.

මේ තත්ත්වය ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර වල ඵලදා වක්‍රයෙන්ද පිළිබිඹු වෙනවා. කෙටි අන්තයේ පොලී අනුපාතික අඩු වී ඇතත් වක්‍රයේ මැද කොටස ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ අවදානම පසුපසට තල්ලු වී ඇතුවා මිස පහව ගොස් නැති බවයි.


16 comments:

  1. අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ EPF එකෙන් 20% සාමාජිකයින්ට නැවත් ගෙවන යෝජනාව ගැන ඉකොනොගෙ අදහස මොකද්ද? ඊට වඩා හොද යෝජනාවක් තියනවද? ඉදිරියට ඇතිවන තත්වය 1930 ලෝක ආර්තික අර්බුදයට සමාන කරමින් සමහ කබ්‍රාල්ගෙ යොජනාව පැසසුමට ලක්කරනවා.

    ReplyDelete
  2. ඇගළුම් ආදායම අඩු වීම නිසා රුපියල මත සිදුවන බලපෑම,ලෝක වෙළදපොලේ තෙල් මිල අඩුවීමත්, ලංකාවේ පරිබෝජනය අඩු වීමත් නිසා යම් දුරකට සමනය වෙනවා නේද?

    ReplyDelete
  3. 'මේ වගේ වෙලාවක මිනිස්සුන්ට අලුතින් ඇඳුම් මිල දී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් ඇඳුම් ඇඳලා කොහේ කියලා යන්නද?'

    ඉකොනෝ මහත්තයා ගේ ඇතුලේ ඉන්නේ නිර්වස්ත්‍රවද? මහත්තයා නිගන්ට ආගමේද?

    ReplyDelete
  4. EPF සල්ලි ඉතිරි වෙලා තියෙනවද?

    ReplyDelete
  5. දකුණු ආසියානු රටවල් 5ක තත්ත්වය.

    2020/03/23

    1. පකිස්ථානය - 873
    2. ඉන්දියාව - 467
    3. ශ්‍රී ලංකාව - 95
    4. ඇෆ්ගනිස්තානය - 40
    5. බංගලාදේශය - 33

    2020/04/04

    1. ඉන්දියාව - 3,082
    2. පකිස්ථානය - 2,708
    3. ඇෆ්ගනිස්තානය - 299
    4. ශ්‍රී ලංකාව - 159
    5. බංගලාදේශය - 70

    2020/04/08

    1. ඉන්දියාව - 5480
    2. පකිස්ථානය - 4194
    3. ඇෆ්ගනිස්තානය - 423
    4. බංගලාදේශය - 218
    5. ශ්‍රී ලංකාව - 189

    රාජ්‍ය යාන්ත්‍රණය විවේචනය කරන්නන්ගේ දැන ගැනීම සදහායි. ��

    උපුටාගැනීමකි.

    ReplyDelete
    Replies
    1. Ano 3.37 am

      Check out this;

      //කොරෝනා කොයිබටද සහ අපි නැවත වැඩට යන්නේ කවදාද ? ( පොඩි අනාවැකියක්, වරදින්න පුළුවන් )

      මේ රූපයේ තියෙන්නෙ අපේ වක්‍රය. දැනට හඳුනාගෙන තිබෙන සක්‍රීය රෝගීන් ගණන (මියගිය සහ සුවපත් වී ගෙදර ගිය අය හැරුනුකොට ) මේ අනුව අපේ ප්‍රශ්ණය හොඳ වෙමින් තියෙන්නෙ. සමහරුන් අහන්න පුළුවන් ඉතින් අපේ පරීක්ශණ ගනන අඩුයි නේද, එනිසා තව බොහෝ රෝගීන් එලියෙ ඉන්න පුළුවන් නේද කියලා. ඔවු. ඉන්න පුළුවන්, අපි තවත් පරිස්සම් වෙන්න ඕන. ඒ ගැන දෙකක් නෑ. හැබැයි මේ පරීක්ශණ භීතිකාව නම් කරුණු කොහේන් හෝ බාගෙට අහලා කරන එකක් .. මෙන්න හේතු.

      1) ලෝකයේ සෑම රටකම පරීක්ශ්ණ කරලා ඇත්තෙ ජනගහනයෙන් ඉතාම සුළු පිරිසකට පමණයි. බොහෝ දියුනු රටවලත් මේ ප්‍රමාණය 1% ට අඩුයි. නෝර්වේ 2%, ස්විට්සර්ලන්තය 2%, ජර්මනිය 1.5%, ඉතාලිය 1.4%, ඔස්ට්‍රේලියාව හා ඊශ්‍රායලය 1.3% වැනි රටවල් කිහිපයක් තමයි ඊට ටිකක් වැඩි.

      ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජපානය, නෙදර්ලන්තය, රුසියාව, මේ සියලු රටවල් 1% ටත් ගොඩාක් අඩුයි. හැමෝම පරීක්ශා කරන එක ලෝකයේ දියුනුම රටවලට උනත් ඔය කියන තරම් ලෙහෙසි වැඩක් නොවෙයි.

      2) ඒකෙන් පෙනෙනවා මේ පරීශ්ණ වලින් වෙන්නේ රෝග ව්‍යාප්තිය ගැන යම් අදහසකට එන්න සංඛ්‍යාත්මක නියැදියක් ලබාගැනීම විතරයි කියලා. 1%න් රටක් හොඳ කරන්න බැහැනේ. සෑම රටකම ඔය කියන ප්‍රමාණ වලට වඩා රෝගීන් සිටිය යුතුයි. පරික්ශණ බහුලව කරලා තියෙන් රටවලුත් ඇතුලුව. රෝගීන් ගැන වඩාත්ම දත්ත ලැබෙන්නෙ අසනීප වී රෝහල් ගත වන අයගෙන්, අප රටේ සියලුම රෝගීන් රෝහල්වලට බාර ගන්නවා ඒ නිසා රෝගීන් ගණන විශාල ලෙස වරදින්න බැහැ.

      3) පරික්ශණය කරපු කෙනෙක්ට උනත් ආපහු රෝගය හැදෙන්න පුළුවන්, පරීක්ශණය කියන්නෙ රෝගයට බෙහෙතකුත් නෙමෙයි. ඒකෙන් කරන්නෙ රෝගීන් හඳුනාගෙන ඒ අය වෙන් කරන එක විතරමයි. අපි රෝගියෙක් හොයා ගත්තම ආශ්‍රය කරපු හැමෝමත් පවුල්වල අයත්, ඒත් බැරිනම් ගම් නගර පිටින්ම වෙන් කරලා කරන්නෙත් ඒකමයි. මේ ක්‍රම වේදය හරියට වෙනවානම් පරීක්ශණ ගනන අඩු වුනා කියලා මහා ලොකු හානියක් වෙන්නෙ නැහැ. අනිත් එක මුලු රටම වහලා දාලා තියෙන්නෙ කොහොමත්.

      4) ලංකාවේ තත්වය ගොඩාක් හොඳයි කියලා මුලින් පෙනෙන කොට (සහ අපි ඒ බව මේ පිටුවෙ කියනකොට) සමහරු බය උනා විශාල ලෙඩුන් ප්‍රමාණයක් එලියේ ඉන්නවා තව සති කිහිපයකින් පෙනෙයි කියලා. නමුත් එසේ විශාල ප්‍රමාණයක් ඉන්නවානම් දැන් පෙනෙන්න ඕනෙ වගේම මේ වෙනකොට රටේ විවිධ පෙදෙස් වලින් විශාල ප්‍රමාණයක් මරණ වාර්තා වෙන්නත් ඕනෙ. එහෙම වෙන්නෙ නැහැ.

      5) අපි කොහොම තර්ක කරත් අඩු රෝගීන් ගණන සහ අඩු මරණ ගනනින් පෙනෙනවා අදාල අංශ, රජය, වෛද්‍ය හා ආරක්ශක අංශ විශාල සේවයක් නිවැරදිව කර ඇති බව. සම්පත් බහුල අනිත් රටවලට සාපේක්ශව බලනකොට.

      හැබැයි යම් දවසක එළියට යන්නත් වෙනවා. රටේ නිශ්පාදනය, රැකී රක්ශා, කර්මාන්ත, ව්‍යාපාර, ආදායම් මාර්ග, අධ්‍යාපනය ගැන හිතන්න වෙනවා.

      එහෙම කියලා ලබන සතියේ වගේ අපේ අයට නිදහස දුන්නොත් නම් කට්ටිය අවුරුදු නෑගම් ගිහින් රටටම ආපහු බෝ කරලා තමයි පස්ස බලන්නේ. අවුරුදු පහුවෙලා සති දෙකක් ගියාම එනවා මැයි දිනය, ඊටත් සතියකට පස්සෙ වෙසක්. මේ සියලු දින මේ ඉන්න විදිහටම හිටියොත් වඩාත් ආරක්ෂාකාරියි.

      දින දර්ශනය බැලුවොත් පෙනෙයි මැයි 1,2,3 සහ ඊටපසු ආයෙත් 7,8,9,10 ඔක්කොම නිවාඩු දවස්. ඒ නිසා මේ මුල් සති දෙකේ පාසල් කාර්යාල ඇරියත් මහ ලොකු වැඩක් කෙරෙන්නෙ නෑ. එහෙම බැලුවම, මැයි 11 සඳුදා තමයි වඩාත්ම ප්‍රායෝගික දවස! (ඒ වෙනකොට තත්වය පාලනය වෙලා තියෙයි කියලා උපකල්පනය කරොත්) ඔන්න පොඩි අනාවැකියක්. බලමු හරි යයිද කියලා.

      මැයි 11 සඳුදා !

      Monday the 11th of May, Ladies and gentleman ! :-)

      (https://www.facebook.com/photo.php?fbid=10156630516256222&set=pcb.10156630518336222&type=3&__tn__=HH-R&eid=ARBPtI8yXs2uxJjqz9q5n3aCj6kL7R8_vtYYUGKas7BDiQLwNvNQXxEpbch_P1q4AfW4rSzuJhxH8SBd)//

      Delete
    2. Second term of all schools will begin on Monday, 11 May 2020 - President's Media Division- adaderana.lk

      Delete
  6. මුලින්ම චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ දකුණු කොරියාවේ ඩේගු නගරයේ. හැබැයි පෙබරවාරි අග සිට එම නගරයෙන් රෝගීන් වාර්තාවීම නතර වුව ද කොරියාවෙන් වාර්තා වී ඇති රෝගින්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ ඩේගු නගරයේ දේවස්ථානයක පැවැති දේව මෙහෙයක දී කෝවිඩ් ‍වයිරස් පැතිරි මෙලෙස පුද්ගලයන් විශාල පිරිසකට ආසාදනය විම නිසා බව කොරියානු සෞඛ්‍ය බලධාරීන් කිව්වේ. දැන් කොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන්ගේ සිරුරු තුළ යළිත් වතාවක් වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් පෙන්වන බව දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරල තියෙනව.

    කොරියාවේ මේ බව තහවුරු කර ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ පුද්ගලයන් 91 දෙනකු යළි කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරුවීම සමග රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජොංන් යුන් කියොං මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මෙම පුද්ගලයන් යළි කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇත්තේ අලුතෙන් වයිරසය ශරීරගත වීමෙන් නොව සිරුරේ අක්‍රියව තිබූ ‍වයිරස යළි සක්‍රීය වීමෙන් පසුව කියලා.

    කොහොම උනත් එම සිද්ධිය ගැන වසංගත රෝග විද්‍යා පරික්ෂණ තවමත් සිදුකරමින් තිබෙනවා. මේ ප්‍රවණතාව පිටුපස ඇත්තේ කුමක් ද යන්න තවමත් පැහැදිලි වී නෑ. හැබැයි වයිරස ආසාදනය වන පුද්ගලයන්ගේ සිරුරේ වසංගතය ඇතිවීම වැළැක්වීමට ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය වනු ඇතැයි බොහෝ රවටල වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ සහ බලධාරී පිරිස උග්‍ර ලෙස දැඩිව බලාපොරොත්තු තැබූ එකට මේක ලොකු අභියෝගයක්.

    එනමුත් දැන් නම් මේ කොවිඩ් වයිරස ආසාදනය වි සුවවූ පුද්ගලයන් මෙලෙස යළි වයිරස ආසාදිතයන් බවට පත්වීම පිළිබඳ සමස්ථ ලෝකයේ ම දැඩි අවධානයක් යොමුවීම සමග දකුණු කොරියාවේ සුවය ලැබූ රෝගීන් අතරින් යළි වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 51 දෙනෙක් පහුගිය සඳුදා දිනයේ දී පමණක් වාර්තා වී තිබීම නිසා මෙම මාධ්‍ය හමුවේ මෙම තොරතුරු හෙළිකරන විට දකුණු කොරියාවේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 7,000කට ආසන්න වී තිබුණා.

    දකුණු කොරියාවේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කිම් වූ ජූ පවසන්නේ යළි ආසාදනය වන පුද්ගලයන් දැනට වාර්තා වී ඇත්තේ 91 වුව ද මේ සංඛ්‍යාව ඉතා විශාල අගයක් දක්වා ඉහළ යනු ඇති බව පේන බව උනත් මෙම පරීක්ෂණවල ප්‍රතිඵල දෝෂ සහිත විය හැකි බව වෙනත් විශේෂඥයෝ කියති.

    දැනට නම් මේ කොවිඩ් වයිරසයේ අවශේෂ හෝ දුර්වලව අඩපණ වූ වයිරස රෝගින්ගේ ස්වසන පද්ධතියේ තිබිය හැකි නමුත් එමගින් ධාරකයාට හෙවත් ආසාදිතයාට යළි අනතුරක් විය නොහැකි බව ද එම විද්‍යාඥයන් ගේ මතය වි ඇත. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය ජුං කී සූක් (හලිම් විශ්වවිද්‍යාල හෘද රෝහලේ පුප්ඵුසිය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා) පවසන්නේ මෙවැනි තත්ත්වයන් සඳහා විවිධ අර්ථ කථන දිය හැකි බවයි. නමුත් සෑම වෙනස් තත්ත්වයක් සඳහාම රජය ප්‍රතිචාර දැක්විය යුතු බව ද මහාචාර්යවරයා පවසයි.

      Delete
  7. ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ, ඉතාලියේ සිටින ශ්‍රී ලංකන් කල්ලතෝනින් වෙත...

    බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා... මුහුදේදීම එලනවා... ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි...

    නොද King ��

    ReplyDelete
  8. මේ දවස්වල රෝගීන් එන්නෙ 80 දෙනෙක් පමනයි. ඉස්සරනම් 280 ක් පමණ ආවා.

    දැන් ඉස්සර වගේ නොවෙයි. හොදටම සැලකිලිමත් වීමයි වැදගත්. ඒ නිසා වාහනයෙන් බහින්න ඉස්සෙල්ලාම ගොඩක් හේතු විමසන්නත් ඕන උණ පරීක්ෂා කරලා බලන්න ඕන.

    පුදුමෙ කියන්නේ මේ දවස් වල ගොඩාක් අයට උණ. එතකොට ඔවුන්ව වෙන් කරලා කොරෝනා සැක සහිත කෙනෙක් හැටියට ප්‍රතිකාර කරන්නත් ඕන.

    ඒත් එක්ක වාහනයක් අධික වේගයෙන් හදිසි අනතුරු අංශයට කඩා වැදුනා. අපිත් වාහනය තුලටම මුහුන හොවා බැලූ විට දුටුවේ හුස්ම නැති සිරුරකි.

    ජෛව ලක්ශන විමසා බලා විස්තර ඇසූ විට ගෙනා ආ අය පැවසුවේ එක පාරටම ඇදගෙන වැටුනා කියාය.
    එබැවින් වහා රෝගීයා රැගෙන ප්‍රතිජීවනය සදහා වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු 7 දෙනෙකු ක්‍රියාත්මක වී තිබුනි.

    ඔහු සමග පැමිණි පුද්ගලයාගේ අධිවේගී හැසිරීම් ගැන සැක සිතුනෙන් මා ඔහුත් සමග බොහෝ වේලාවක් දොඩමළු වූයෙමි .

    ඒ අවස්තාවේ ඔහුටද නොදැනී කියවුනේ. පසුගිය මාසයේ ඔවුන් දෙදෙනාම රට ඉදන් ආපු බවය.

    ඔබ සිතා බලන්න. මොවුන් දැනගෙනම වංචා කරන හැටි අදටත්...

    ඉන්පසුව එම කාමරය විශබීජ හරනය කිරීමටද, මිය ගිය සිරුර සීල් කිරීමද, පර්යේෂණ කිරීමටද අපට සිදු විය.

    ඔබ තවත් බොරු කියන්න.......
    අපි සියලු දෙනාම විදවන්නම්.....

    -පුෂ්පා රම්‍යානිද සොයිසා

    ReplyDelete
  9. sovereign bonds chart ගත්තෙ මොන සයිට් එකෙන් ද? මම හෙව්ව මට අහුවුනේ නෑනේ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වැල සයිට් එකකින් ගන්නට පුළුවන් කියල. වැල සයිට්වල පොඩියට check කරල බලන්න. ��

      Delete
    2. කොහෙන්වත් ගත්ත එකක් නෙමෙයි, ඇනෝ. ඔරිජිනල් එකක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: