Thursday, April 2, 2020

කෝවිඩ් පැටවු ගහන හැටි


වසංගත පැතිරීම ආකෘතිගත කරන ආකාරය සම්බන්ධ තාක්ෂනික කරුණු දැන ගන්න කැමති බව කිහිප දෙනෙක්ම ලියල තිබුණනේ. මෙය ඇත්තටම බ්ලොග් ලිපි දෙක තුනකින් පැහැදිලි කළ හැකි තරම් සරල දෙයක් නෙමෙයි. තනිකරම විෂයයක්නේ. කොහොම වුනත් මේ වගේ අලුත් නොදන්නා විෂයයක් ගැන උනන්දුවක් ඇති වීම මේ අඳුරු වලාවේ එක් රිදී රේඛාවක් කියා කියන්න පුළුවන්. යන විදිහට ගොඩක් දෙනෙක්ට ආර්ථික විද්‍යාව ගැන දැන ගන්න විශාල උනන්දුවක් ඇති වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ.

වසංගත පැතිරීම ගැන කතා කරන්න කලින් අපි ඒ සඳහා දැන ගන්න අවශ්‍ය මූලික කරුණක් කතා කරමු. මේ ලිපිය ලියන්නේ ගණිතය හා සංඛ්‍යානය ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙනුයි. අනෙක් අයට ටිකක් බර වැඩි වෙන්න පුළුවන්.

අපි අර මූලික ප්‍රජනන අගය ගැනත් එය ඇස්තමේන්තු කිරීමේ අසීරුව ගැනත් ගොඩක් කතා කළානේ. දැනට අපි ඒ සියල්ල අමතක කරලා මේ අගය 2.0 ලෙස සලකමු. ඒ කියන්නේ එක් ආසාදිතයෙක් තවත් දෙදෙනෙකුට රෝගය පතුරුවනවා. මේ ගණන නිවැරදි බවත්, හැම ආසාදිතයෙක්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකුට රෝගය පතුරුවන බවත් අපි උපකල්පනය කරමු. අප්‍රේල් පළමුවෙනිදා රටේ එක් අයෙක් කෙසේ හෝ ආසාදනය වුනා කියා හිතමු. එහෙමනම්, දවස් 21කට පසුව රටේ ආසාදිතයින් ගණන ඇස්තමේන්තු කරන්න කාට හරි පුලුවන්ද?

මෙය ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ගැටළුවක්. මේ සරල ගැටළුවට වුවත් විසඳුමක් හොයා ගැනීම පහසු නැහැ. ඒ ඇයි?

මේ ආසාදිතයා වෙනත් අයට රෝගය බෝ කරන්නේ දවස් කීයකට පස්සෙද කියන එක අපි දන්නේ නැහැ. එය සිදු වන්නේ 22වන දවසේනම් 21 වන දවස වන විටත් රටේ ඉන්නේ අර පළමු රෝගියා පමණයි. විසඳුම හොයා ගන්නනම් අපට තවත් වැඩිමනත් තොරතුරු අවශ්‍ය වෙනවා.

උදාහරණයක් විදිහට ආසාදිතයෙක් ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියා අපි හිතමු. දැන් පළමු දිනයේ සිට රෝගීන් වැඩි වෙන්නේ මේ ආකාරයටයි.

1 - 1
2-  1
3-  2
4-  3

දැන් පළමු රෝගියා තමන්ගේ "යුතුකම" කරලා ඉවරයි. ඔහු හෝ ඇය තවත් දෙදෙනෙකුට රෝගය බෝකරලා. මේ රෝගීන් දෙන්නාව අපි 2A හා 2B රෝගීන් ලෙස නම් කරමු. මෙයින් පසුව රෝගය පැතිරෙන්නේ මොන ආකාරයටද?

වැඩේ සංකීර්ණ නිසා අපි අපේ පහසුවට මේ විදිහේ උපකල්පනයක් කරමු. මුල් රෝගියා වගේම අනෙක් සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ උපකල්පනය මත අපට ගණන් හදාගන්න පුළුවන්.

දැන් අර 2A රෝගියා ආසාදනය වුනේ 3 වන දවසේ නිසා ඇය 5 හා 6 දින වලදී තවත් දෙදෙනෙකුට (3A සහ 3B පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරනවා. නමුත්, 2B රෝගියා ආසාදනය වුනේ 4 වන දවසේ නිසා ඔහු තවත් දෙදෙනෙකුට (3C  සහ 3D පුද්ගලයින්ට) වෛරසය සම්ප්‍රේෂණය කරන්නේ 6 හා 7 දින වලදී. ඒ අනුව, ඊළඟ දවස් දෙකේදී තත්ත්වය මෙහෙමයි.

5- 4  (1, 2A, 2B, 3A)
6- 6  (1, 2A, 2B, 3A, 3B , 3C)

හත් වෙනි දවසේ වෙන්නේ කුමක්ද? හත් වන දවසේදී 2B විසින් 3D ආසාදනය කරනවා. ඒ සමඟම දෙවන පරම්පරාවේ රෝගීන් රෝගය බෝ කර අවසන් වෙනවා. ඒ අතර තුන් වන පරම්පරාව වැඩ පටන්ගන්නවා. හත් වන දවසේ 3A විසින් 4A ආසාදනය කරනවා. එතැන් සිට වැඩේ යන හැටි පහත පෙන්වා තිබෙනවා. මෙහි තේරුම් ගැනීමේ පහසුව පිණිස එක් එක් පරම්පරාවේ රෝගීන් වෙන වෙනම තීරු වල දක්වා තිබෙනවා. අන්තිම තීරුව එක් එක් දිනය අවසානයේ මුළු ආසාදිතයින් ගණන.

1 1 1
2 1
3 1 2
4 1 3
5 1 4
6 2 6
7 1 1 8
8 3 11
9 3 1 15
10 1 4 20
11 6 1 27
12 4 5 36
13 1 10 1 48
14 10 6 64
15 5 15 1 85
16 1 20 7 113
17 15 21 1 150
18 6 35 8 199
19 1 35 28 1 264
20 21 56 9 350
21 7 70 36 1 464

මේ අනුව දින 8කට පමණ වරක් ආසාදිතයින් ප්‍රමාණය 10 ගුණයකින් ඉහළ යන බව පේනවා ඇති. එය ඇමරිකාවේ රටාවට ආසන්නව සමානයි.

මේ ඇස්තමේන්තුව හැදුවේ සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 3 වන හා 4 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා කියන උපකල්පනය මතයි. දැන් අපි හිතමු මේ වැඩේ වෙන්නේ ටිකක් පහුවෙලා කියලා. දෙවන උදාහරණයේදී සෑම රෝගියෙක්ම ආසාදනය වීමෙන් පසුව 4 වන හා 5 වන දින වලදී තවත් අයට රෝගය ආසාදනය කරනවා. මේ වෙනස සමඟ රෝගීන් වැඩි වෙන ආකාරය වෙනස් වෙන්නේ කොහොමද? එය පහත පෙන්වා තිබෙනවා.

1 1 1
2 1
3 1
4 1 2
5 1 3
6 3
7 1 4
8 2 6
9 1 7
10 1 8
11 3 11
12 3 14
13 1 1 16
14 4 20
15 6 26
16 4 1 31
17 1 5 37
18 10 47
19 10 1 58
20 5 6 69
21 1 15 85

කලින් තත්ත්වය යටතේ දින 21කට පසුව 464 දෙනෙකුට රෝගය ව්‍යාප්ත වුනා. දැන් එම ගණන 85 දක්වා අඩු වෙලා. නමුත්, අවස්ථා දෙකේදීම මූලික ප්‍රජනන අංකය සමානයි.

මෙතැන වෙන්නේ මේ වගේ දෙයක්. කිසියම් රටක රතු හා කොළ කියා ජනවර්ග දෙකක් ඉන්නවා. කොයි ජනවර්ගයේ වුවත් එක් කාන්තාවක් වදන්නේ හරියටම දරුවන් දෙන්නෙක් පමණයි. එහෙමනම් එක ජනවර්ගයක් වැඩියෙන් වර්ධනය වෙන්න පුළුවන්ද?

පැහැදිලිවම ඔව්. එසේ නොවන්නේ ජනවර්ග දෙකේම කාන්තාවන් දරුවන් වදන්නේ එකම වයසකදීනම් පමණයි. එසේ නැත්නම් අඩු වයසෙන් විවාපත් වී දරුවන් වදන කණ්ඩායම වැඩියෙන් බෝවෙනවා. ඇතැම් තත්ත්වයන් යටතේ අඩුවෙන් දරුවන් හදන කණ්ඩායම වැඩියෙන් බෝවෙන්න වුවත් පුළුවන්.

17 comments:

  1. මෙ මැද්මුලනෙන් වැටුප් ගන්න අය...මේ අය පච පතුරවන්නේ , උගත් වෙන්න පුලුවන් නමුත් බුද්දිය මදයිහිතාමතාම කොරෝනා පතුරවන උන් ත්‍රස්ථවාදීන් ලෙස සලකා කටයුතු නොකලොත් මුළු රටටම බඩු බනිස්!

    ReplyDelete
    Replies
    1. වැසිකිළියට යතොත් ඉකොනෝ
      ඒ හැම විටකදීම ඉකොනෝ
      කම්මැලිකම නැතුව ඉකොනෝ
      හොදට වතුර ගහමු ඉකොනෝ..

      චීන රටේ මුල්ම කොරෝනා රෝගීයාගෙන් තවත් 20 දෙනෙකුට කොරෝනා බෝවී ඇති බව සොයාගෙන ඇත. එම 20 දෙනාම අර මුලින්ම රෝගය සෑදුනු රෝගියා සමග එකම වැසිකිලිය භාවිතා කෙරු අයයි.

      Delete
    2. පුක අයිතිකාරයාගේ මුණ බලලා බෙට්ටේ ගඳ සුවඳ කියන රටක් ඉකොනෝ මල්ලි මේක.

      Delete
  2. තර්කානුකූල විස්තර ඉදිරිපත් කිරීම අගයමි.
    එහෙත් ඒවා බලෙන් පටවන්නට නොයාම වඩාත් අගයමි. රිසි කෙනෙකුට ඒවා නොකියවාම ඉන්නත් පුළුවනි නේද?

    ReplyDelete
  3. මම ජිවත් වෙන්නේ නුගේගොඩ. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටර දෙකක් පමණ ඇතුලට වන්න. අපි ඉන්නා ප්‍රදේශයට ඇඳිරි නිතිය දමා දැන් දින 10 කට කිට්ටුයි. එක දිගටම නිවසේ තමයි හිටියේ. ඇඳිරි නිතිය දමන්න කලින් මෙතරම් දින ගණනාවකට එක දිගට මෙය ක්‍රියාත්මක කරනා බවක් රජය කිවේ නැහැ. රජයෙන් කිවේ භාණ්ඩ ගෙනත් නිවෙස් වල ගොඩ ගසා ගැනීමේ පලක් නැතිබව. අප එය විශ්වාශ කොට දින තුන හතරකට සැහෙන්න එළවලු පමණයි ගත්තේ.

    රජයේ භාණ්ඩ බෙදා හැරීම් කිසිම දෙයක් මේ දින 10 කට ආසන්න කාලය තුල අප ප්‍රදේශයට ආවේ නැහැ. එක් දිනක් මස්, මාළු වෙළෙන්දෙක් ආව. එහිදී මා නිරීක්ෂණය කරේ ඔහුගෙන් ඒවා මිලට ගන්නා යන අය ආපසු හැරී එන බව. අසල්වැසියෙකුගෙන දුරකතනයෙන් ඇසු විට ඔහු කිවේ එම මස්,මාළු වල මිල ඉතා අධික නිසා ගත්තේ නැහැ කියා. එම වෙලෙන්දත් ඉන් පසු ආවේ නැහැ.

    කුඩා ප්‍රමාණයේ ලොරියක තබාගෙන එළවලු, පලතුරු විකුණන අයවලුන් නම් දින දෙක තුනක් ආව. ඇතැමුන් ඒවායින් භාණ්ඩ ගත්තා. එනමුත් හාල්, තුනපහ, පරිප්පු, කරවල ආදිය විකිනීමට කවුරුත් ආවේ නැහැ.

    ඊට අමතරව අපගේ අතේ මුදල් නැහැ. රුපියල් 400 ක් වගේ ලග තිබෙන්නේ. බැංකු ගිණුමට පඩියෙන් 25% අඩු කරගෙන අපගේ ආයතනයෙන් දමා තිබුනා. එය ගැනීමටත් එලියට යාමට නොහැකියි. ATM යන්ත්‍ර සවිකෙරු ලොරි රථ නිවෙස් අසලට පැමිණෙනවා කිව්වට අපගේ පළාතටවත් එවැන්නක් පැමිණ නැහැ.

    ප්‍රධානම දේ උනේ ඖෂධ ලබා ගැනීම. මාගේ මව සහ පියා දිනපතා ගතයුතු ඖෂධ ඉවර වී තිබුනේ. රජයෙන් ලබා දී ඇති ඔසුසල් වල දුරකථන අංක වලට කෝල් කරත්, මැසේජ් කරත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ රජයෙන් ලබා දී ජනාධිපති කාර්යාලයේ අංක වලට ගත්තා. ඒවාත් කිසිවෙකුත් ආන්ස්වර් කරන්නේ නැහැ.

    පසුගිය දිනක මාගේ වයස 3 ක් වන කුඩා දරුවට අසනීප උනා. මා ඇඳිරි නිතිය අස්සෙම උනත් රජයෙන් ලබා දී ඇති වෛද්‍යවරුන්ගේ අංක වලට කතා කරා. කවුරුත් ෆෝන් අන්ස්වර් නැහැ. ඉන් පසු අසල ඇති වෛද්‍යවරයෙක්ගේ ගෙදර ගේට්ටුව අසලට ගොස් විනාඩි 10 ක් පමණ කතා කළා. ඔහු ආවේ නැහැ. ඉන් පසු ඇඳිරි නිතිය තිබෙද්දීම දරුවත් වාහනයට දමාගෙන බෙහෙත් ගන්න අරන් ගියා. පොලිස් මුරපලේදී මාව නැවැත්තුවා. ඒ අය කීවා මේ වෙලේ එහෙ මෙහ යන එක හොද නැහැ, ඒත් දරුවාට අසනීප නිසා පුළුවන් නම් ලග ඇති ෆාමසි එකින් හෝ බෙහෙත් අරන් ගෙදර යන්න කියා. ඉන් පසු මා ටව දුරටත් ඉදිරියට යන විට හමුදා මුරපලේදී මට අසභ්‍ය ලෙස බැන වැදී මාව එලවා දැමුවා. සමානය ජනයා එක්ක කටයුතු කොට පළපුරුදු පොලිස් නිලධාරීන් මේ වෙලේ ජනතාව ගැන තේරුම් ගන්නවා ඉහල අණ විතරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිපැදීමට පුරුදුව සිටිනා හමුදා සෙබලුන්ට වඩා. හැබැයි ඒ අයත් තේරුම් ගන්න ඕනා ඒ අයට මාසික චේතනය, වාහන, ඇදුම් පැළදුම්, ගිනි අවි, කෑම බීම, බේත් හේත් සියල්ලම ලැබෙන්නේ මහා ජනතාවගේ මුදලින් බව.

    රුපවාහිනීයේ ප්‍රවෘත්ති වල නම් පෙන්වනවා මිනිසුන්ට සහන දෙනවා, මුදල් දෙනවා, භාණ්ඩ බෙදාහරිනවා සියලු දේ කරනවා. ඒ සියල්ල ආණ්ඩුවේ රඟපෑමක් බවයි මාගේ හැගීම.


    -L M -

    ReplyDelete
  4. කොවිඩ් 19 නිසා මිනිසුන් පිඩනයට, කරදරයට පත්වෙන බව ඇත්ත. සම්පුර්ණ ඇත්ත. හැබැයි මේ ශ්‍රී ලංකාවේ රජය මේ මොහොතේ කරන්නේ කොවිඩ් කරදරයෙන් ජනතාව බේරා ගන්න කියලා ඊටත් වඩා ලොකු පීඩනයක්, කරදරයක් ජනතාවට ලබා දෙන එක. කොවිඩ් 19 හැදිලා මිනිස්සුනට වෙන කරදරයට වඩා ලොකු කරදරයක් දැන් වෙලා තියෙන්නේ. කොවිඩ් කෙසේවෙතත් හාමතේ මැරෙන්නේ මිනිස්සු. එක දිගට සති ගණනාවක් කිසිම තැකීමක් නැතිව ඇඳිරි නිතිය දැම්මම එදාවේල හම්බ කරන් කන මනුස්සයා කන්න බොන්නේ කොහොමද? බේත් හේත් ගන්නේ කොහොමද? කොවිඩ් හැදිලා හැරී හාමතේ ඉදලා හැරී දෙකෙන්ම වෙන්නේ මැරෙන එක නම් නිදහසේ ඉදලා කොවිඩ් හැදිලා මැරෙන එක හොදයි.

    ReplyDelete
  5. ඉකොනෝ හිතන්නේ ලංකාවත් ඇමරිකාව කටයුතු කරා වගේ කටයුතු කරා නම් ලංකාවේ ආර්ථිකට ඇඳිරි නිතිය නිසා වෙනවට වඩා අඩු හානියක් කොවිඩ් පැතිරීම මගින් වෙන්නට තිබුනද? ඒ කියන්නේ රට වහගෙන ඉන්නකොට වෙන සමාජීය, ආර්ථික, මානසික හානිය වඩා වැඩි නේද ඇමරිකාවේ වගේ ලිබරල්ව කටයුතු කරනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. මේ කරුණේදී ලංකාව හා ඇමරිකාව සංසන්දනය කරන්න බැහැ. ලංකාව කරන දෙය ඇමරිකාවේ කළොත් මානසික ආතතිය නිසා සෑහෙන පිරිසක් සිය දිවි නසාගන්න වුනත් ඉඩ තියෙනවා. ඇමරිකානුවන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත වෙනත් අය විසින් හසුරුවනවා දකින්න කැමති නැහැ. මම පෞද්ගලිකවත් කැමති නැහැ. කෝවිඩ් හදාගෙන මැරෙනවද නැද්ද කියන එක මගේ පෞද්ගලික තීරණයක්. හැබැයි වෙනත් අයෙකුට බෝකරන්න මට අයිතියක් නැහැ. මට පෞද්ගලිකව අවශ්‍ය වන්නේ වෛද්‍ය සේවාවන් ඇතුළු භාණ්ඩ හා සේවාවන් වෙළඳපොළ මිලට මිල දී ගැනීමේ නිදහස මිසක් ආණ්ඩුවෙන් නොමිලේ දීමක් හෝ පාලන මිලකට ලබා දීමක් නෙමෙයි. මම කටයුතු කරන්නේ ඒ පදනමින්. මම ඉතා කැමැත්තෙන් ඇමරිකාවේ ජීවත් වෙන්නේ මට ලංකාවේ නැති ඒ නිදහස ඇමරිකාවේදී ලැබෙන නිසයි. නමුත්, එසේ නොසිතන ඇමරිකානුවනුත් ඉන්නවා. විශේෂයෙන්ම ලංකාවෙන් හෝ වෙනත් බටහිර නොවන රටකින් පැමිණි සංක්‍රමණිකයින් බොහෝ පිරිසක් හිතන්නේ ඇමරිකන් ආණ්ඩුව මීටත් වඩා මැදිහත්වීමක් කළ යුතු බවයි. එහෙත් එවැනි අය ඇමරිකාවේ සුළුතරය.

      ලංකාවේ තත්ත්වය වෙනස්, සියල්ලන්ම නොවුවත් ලංකාවේ බහුතරයක් හිතන්නේ ආණ්ඩුව විසින් හැම දෙයක්ම කළ යුතු බවයි. ලංකාවේ බොහෝ දෙනෙක් තමන් වෙනුවෙන් වෙනත් අයෙකුට තීරණ ගන්න ඉඩ අරින්නේ ඉතා කැමැත්තෙන්. පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ බොහෝ දෙනෙකු ගෝඨාභය රාජපක්ෂ මත විශ්වාසය තැබීම, ප්‍රභාකරන්ට වසර 26ක් දෙමළ ජනතාව පාලනය කළ හැකි වීම, රෝහණ විජේවීරට දෙවරක් විශාල පිරිසක් මෙහෙයවන්න හැකි වීම, වතුකරයේ හා මුස්ලිම් නායකයින්ට එම ප්‍රජාවන් වෙනුවෙන් තීරණ ගත හැකි වීම ආදී සියල්ලම සිදුවන්නේ ඒ පසුබිම තුළයි. ලිබරල් කියා කියන රනිල් වගේ පුද්ගලයෙක් කෙරෙහි විශ්වාසය තියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නෙත් ඔය විදිහටම තමයි. රටේ එවැනි තත්ත්වයක් තියෙද්දී ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක කරන දෙය ලංකාවේ එලෙසම කරන්න බැහැ.

      ගෝඨාභය රාජපක්ෂවාදීන් බලාගෙන ඉන්නේ කොරෝනා ඉවර වුනාට පස්සේ කොරෝනා යුද්ධය ජයගැනීමේ වාසිය ආණ්ඩුවට ලබා ගන්න. විරුද්ධවාදීන් බලා ඉන්නේ තත්ත්වය නරක අතට හැරුණු වහාම වැරැද්ද ආණ්ඩුවට පටවන්න. ඔය දෙකම එකම කාසියේ දෙපැත්ත. දෙගොල්ලම පෙනී සිටින්නේ තමන් වෙනුවෙන් ආණ්ඩුව තීරණ ගැනීම වෙනුවෙන්. මේ තත්ත්වය ඇදෙන කොට යම් පිරිසකට හෝ ඒ ආකල්පයේ වැරැද්ද තේරෙයි කියා හිතනවා.

      Delete
    2. මේ වෙලාවේම මේ කාරණයත් කියන්නට ඉඩ දෙන්න. මේ රටේ සුළුතරයක් වුනත් 'සාඩම්බර ගෞරවනීය පුරවැසියන්' කියලා කොටසකුත් ඉන්නවා. මට වැටහෙන විදිහට මාත් එයින් එක්කෙනෙක් කියලා කියන්න වෙන්නේ කොරෝනා නිසා එහෙම දෙතුන්-දෙනෙකුත් හඳුනාගත්තු බව කියමින්.

      එයාලා නිකන් මොනවාවත්ම දෙන්න ඕනේ කියන අය නෙවෙයි. එයින් එක්කෙනෙක් තිදරු පියෙක්; ත්‍රී වීල් රියදුරෙක්. 'එදා එදා හම්බ කරගෙන කාපු අපිට දැන් වැලේ වැල් නැහැ. මම කියන්නේ මටත් වැඩිය අමාරුවේ වැටුණු දාස් ගානක් ඉන්නවා. අපිට පිනට එපා. මේ වෙලාවේ සාධාරණ ගණනක් අපි වගේ අයට ණයක් දෙන ක්‍රමයක් ආණ්ඩුවෙන් හදනවා නම්...' ඒ මනුස්සයා කොච්චර අභිමානී කෙනෙක්ද?

      ජනතාවගේ විපත සැපතක් කරගන්නා ඌරු තඩියන්ට මේවා දැනෙනවාද? පෙනෙනවාද?

      Delete
    3. //'සාඩම්බර ගෞරවනීය පුරවැසියන්' කියලා කොටසකුත් ඉන්නවා. //
      පැහැදිලිවම, ඔව්. කණගාටුවට කරුණ වන්නේ මේ වෙලාවේ ඒ අයට තමන් ගැන ආඩම්බර වෙනවා හැරෙන්න වෙන කළ හැකි දෙයක් නැති වීමයි.

      Delete
  6. Replies
    1. ඇමරිකාවේ ප්‍රදේශ ගණනකට නරකම කාලය වනු ඇත්තේ ලංකාවේ සිංහල අවුරුදු කාලයයි. එහෙත්, ඇමරිකාවේ වුවද බොහෝ තැන් වල නරකම කාලය උදා වනු ඇත්තේ සති හෝ මාස ගණනකින් පසුවයි. ඇමරිකාවේ ප්‍රදේශ (කවුන්ටි හා වෙනත් ස්වාධීන ප්‍රාදේශීය පාලන ඒකක) 3253කින් 1003කම අප්‍රේල් 1 දිනය අවසන් වන විටද එකදු කෝවිඩ්-19 රෝගියෙකු හඳුනාගෙන තිබුණේ නැහැ. එවැනි පැති වලට රෝගය ව්‍යාප්ත වෙන්න කලක් යයි. ලංකාවේ තත්ත්වය සිංහල අවුරුදු කාලයෙන් පසුව වහාම යහපත් අතට නොහැරෙන බව ඉතා පැහැදිලියි. අප දැනට දන්නා දේවල් අනුව නදීරගේ පරිවර්තනයේ හා මුල් ඉංග්‍රීසි ලිපියේ ඇති කරුණු සමඟ එකඟ විය හැකියි. ඇඳිරි නීතිය දමා රෝගය පැතිරීම පාලනය කරන තරමට සිදු විය හැකි ව්‍යසනය කල් යනවා. නමුත්, එම අනතුර එසේම තිබෙනවා. GMOA එක මේ වෙලාවේ කටයුතු කරන ආකාරය මට තේරුම් ගත හැකියි. නමුත්, ඒ ගැන වැඩිපුර කතා කරන්න කැමති නැහැ.

      Delete
  7. පැහැදිලිවම ඉකෝන් ප්‍රකාශ කර ඇති අයුරින්ම ලංකාවේ හා ඇමෙරිකාවේ තත්වය වෙනස්. ඒ නිසාම ගත යුතු වැලැක්වීමේ ක්‍රියාමාර්ගත් වෙනස්.

    දැනට යම් කිසි විදිහකට රෝගය පාලනය කර ඇතිරටවල්, එය කර ඇත්තේ සෝෂල් ඩිස්ටන්ස් වැඩ පිලිවෙලක් තුලින්. ඒ නිසා බෙහෙතක් සොයා ගන්නා තුරු මෙය කරගෙන යන්න වෙයි.එහිදී කොතරම් දුරට මෙය සිදු කරනවාද යන්න ඒ රටවල් අනුව වෙනස් වෙනවා.මෙය ඉකොන් පසුගිය ලිපියෙනුත් පැහැදිලි කලා.

    නමුත් ඉකොන් කවදාවත් නොකියූ කථාව තමයි, ඇමෙරිකාවේ සෞඨ්‍ය පහසුකම් හැමෝටම එකම ආකාරයට ලබා ගත නොහැකි බව. ලංකාවේදී නිදහස් සෞක්‍ය සේවයනිසා කුමන තරාතිරමක හෝ රෝගියෙකුට උනත් නෛතිකව එම සේවය ලබාගත හැකි උනත් ප්‍රමාණවත් රක්ශණයක් නොමැති අයෙකුට ඇමෙරිකාවෙදී මේසදහා ඩොලර් 30000/= පමන වැය කල යුතුයි. මෙය දරා ගැනීමට අපහසු ගානක්. එසේම රක්ශණයක් තිබුනත් එමගින් ඇතැම් විට කෝවිඩ් ප්‍රතිකාර හෝ පවුලේ සියලු දෙනා එමගින් ආවරණය නොවිය හැකියි. මේ නිසා දුප්පත් ඇමෙරිකානුවන් හට , විශේශයයෙන් කල්ල්ලන් ,හිස්පැනොක් ගෙටෝ වල තත්වය එච්චර හොද නෑ.ලංකාවෙ මෙන් රෝගීන් පසුපස හඹා යා නොහැකි නිසා මෙය තවත් සංකීර්ණ වෙනවා.කොටින්ම ඇමෙරිකාවේදී කොවිඩ් තර්ජනයට නිරාවරනය වෙනවද, එයින් මිය යනවද නැත්තං ප්‍රතිකාර සදහා රෝහල් ගත වෙනවද කියන එක පෞද්ගලික තීරනයක්..

    නමුත් ලංකාවේදී සියළු රෝගීන් හට ප්‍රතිකාර කිරීමට රජය බැදී සිටින බැවින්, රෝගීන් සංක්‍යාව පාලනය කිරීමේ අයිතියද රජයට පැවරෙනවා..එහිදී ගනි ලබන ඇතැම් ක්‍රියාමාර්ග කෙනෙකුගේ පුද්ගල අයිතීන් අත්‍රික්‍රමනය කල හැකි උනත්, පොදු සමාජ යහපත වෙනුවෙන් එය කල යුතුයි.

    අවසාන වශයෙන් කොතරම් පුද්ගල අයිතී. සුරකින සමාජයක උනත්, දේශපාලනය ,හරහා මේ සදහා සීමා පැනවෙනවා..

    ඒ නිසා මේ දුශ්කර අවස්ථාවේ සමාජයක් බශයෙන් පොදු යහපත වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග වෙනුවෙන් පුද්ගල නිදහසේ සීමා කිරඅ එතරම් සැලකිය යුතු නෑ..

    ReplyDelete
    Replies
    1. සමස්තයක් ලෙස ලියා ඇති දෙයට එකඟ විය හැකි වුවත් හැම දෙයක්ම නිවැරදි නැහැ. විශේෂයෙන්ම ඇමරිකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව ලියා තිබෙන දේවල්. ඇමරිකාවේ විශාල පිරිසකට ෆෙඩරල් හා/හෝ ප්‍රාන්ත රජයකින් නොමිලේ රක්ෂණ ආවරණයක් ලැබෙනවා.
      1. වයස අවුරුදු 65ට වඩා වැඩි සියලුම අයට මෙඩිකෙයා රක්ෂණ ආවරණය ලැබෙනවා. මෙය ලබන ප්‍රමාණය ඇමරිකන් ජනගහණයෙන් 14%ක් පමණ හෙවත් මිලියන 44ක් පමණ වෙනවා.
      2. අඩු ආදායම්ලාභීන්ට මෙඩිකේඩ් රක්ෂණ ආවරණය ලැබෙනවා. මේ සඳහා පදනම දරිද්‍රතා රේඛාවයි. හතර දෙනෙක් ඉන්න පවුලක දරිද්‍රතා මට්ටම් ආදායම ඩොලර් 25,750ක්. පවුලේ සිටින ගණන අනුව මෙය වෙනස් වෙනවා. දරිද්‍රතා මට්ටමෙන් පහළ ඉන්න පවුල් වලට කොයි ප්‍රාන්තයේ හිටියත් මෙඩිකේඩ් ලැබෙනවා. එයින් උඩ අයට මේ සීමාව දරිද්‍රතා මට්ටමෙන් 100% සිට 200% දක්වා ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. අඩු ආදායම්ලාභී ඇමරිකානුවන් මිලියන 70ක් පමණ මෙඩිකේඩ් ලබා ගන්නවා. ජනගහණයෙන් 21%ක් පමණ.
      3. මීට අමතරව විවිධ ආබාධ ඇති අය (disabled), ගර්භණී අය වැනි තවත් බොහෝ දෙනෙකුටත් රජයෙන් රක්ෂණ ආවරණයක් ලැබෙනවා. මේ සියල්ල නඩත්තු වන්නේ බදු මුදලින්.

      ඉතිරි වැඩි දෙනෙකු රක්ෂණ ආවරණය ලබා ගන්නේ තමන් සේවය කරන තැනින්. මෙය නොමිලේ ලැබෙන්නේ නැහැ. රක්ෂණ ආවරණයේ වියදමින් කොටසක් හා එයින් ආවරණය නොවන වෛද්‍ය වියදම් තමන් විසින් ගෙවිය යුතුයි. අවශ්‍ය කෙනෙකුට රක්ෂණ ආවරණයක් නොගෙන ඉන්න පුළුවන්. මමත් රක්ෂණ ආවරණයක් නැතිව හිටපු අවස්ථා තිබෙනවා. ඒ එසේ සිටීම මට වඩා වාසිදායක වූ නිසයි. නමුත් ACA එකෙන් (ඔබාමාකෙයාර්) රක්ෂණ ආවරණයක් ලබා ගැනීම අනිවාර්ය කළා. දැන් නැවතත් එවැනි අවශ්‍යතාවයක් නැහැ.

      දැනටත් මම මිල දී ගන්නේ high deductible රක්ෂණ ආවරණයක්. ප්‍රායෝගිකව මගේ හා පවුලේ වෛද්‍ය වියදම් සියල්ල වෙනුවෙන් මම අතිනුයි මුදල් ගෙවන්නේ. එය මට වාසියි.

      දැනටත් රක්ෂණ ආවරණයක් නැති පිරිසක් ඇමරිකාවේ ඉන්නවා. ඒ අය විවිධ හේතු මත රක්ෂණ ආවරණ මිල දී නොගන්නා අය. මට බිලියන ගණනක වත්කමක් තිබුණානම් මම කොහොමටවත් රක්ෂණ ආවරණයක් මිල දී ගන්නේ නැහැ. අඩු ආදායම්ලාභී ඇතැම් අය නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාගත හැකි වුවත් නොදැනුවත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා එසේ ලබා නොගෙන ඉන්නවා. එහෙත් විශාල පිරිසක් එසේ නොමිලේ ලබා ගැනීමට සුදුසුකම් නැති ආදායම අනුව ඊළඟට ඉහළින් ඉන්න ස්ථරයේ අය. ඒ අයට නොමිලේ රක්ෂණ ආවරණයක් ලැබෙන්නේ නැතත් වියදමෙන් කොටසක් රජයෙන් සුබසාධනය කෙරෙනවා.

      හදිසියේ අමාරු වී රෝහලකට යන අයෙකුව රක්ෂණ ආවරණයක් නොතිබීම මත ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් රෝහලට නැහැ. බිල් එවන්නේ පසුවයි. එතෙක් ප්‍රතිකාර සියල්ල කළ යුතුයි. ඇතැම් අය රක්ෂණ ආවරණයක් මිල දී නොගන්න මෙයත් හේතුවක්. බිල ආ පසු තමන් සතුව වත්කම් තිබෙන අයෙකුට එය නොගෙවා ඉන්න බැහැ. එහෙත් වත්කම් නැති අය මේ බිල් කවදාවත් ගෙවන්නේ නැහැ. වක්‍ර ලෙස ඒ මුදල් ගෙවන්න වෙන්නෙත් අනෙක් අයටයි.

      ඇමෙරිකාවේ සෞඛ්‍ය පහසුකම් හැමෝටම එකම ආකාරයට ලබා ගත නොහැකි බව ඇත්ත. ලංකාවේ වුනත් එය එහෙම තමයි. මුදල්, බලය තිබෙන කෙනෙකුට ලබා ගත හැකි හැම දෙයක්ම දුප්පත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අවශ්‍යනම් විස්තර කරන්න පුළුවන්. මේ කරුණු සමඟ එකඟ නැතත් සමස්තයක් ලෙස ප්‍රතිචාරයේ හරය සමඟ එකඟයි.

      Delete
    2. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය කියන එක අමුම අමු මිථ්‍යාවක්. හැමෝටම එක හා සමාන සෞඛ්‍ය සේවයක් තියෙනවානම් පෞද්ගලික චැනලින් සෙන්ටර්ස් සහ පුද්ගලික ෆාමසි පැටව් ගහන්නත්, පෞද්ගලික රෝහල් වැඩිවෙන්නත් හේතුවක් නෑනෙ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.