වෙබ් ලිපිනය:

Thursday, April 23, 2020

ඇමරිකාවේ පූසන්ටත් කොරෝනා හැදිලා!


ඇමරිකාවේ සුරතලයට හදන පූසන් දෙදෙනෙකුටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික පශු වෛද්‍ය සේවා විද්‍යාගාරය විසින් ඊයේ (අප්‍රේල් 22) තහවුරු කළා. මේ ඇමරිකාවේදී පූසන්ට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණු ප්‍රථම අවස්ථාවයි. එහෙත්, මීට පෙර වෙනත් රට වලින් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පූසන් පිළිබඳව වාර්තා වී තිබුණා.

මේ පූසන් දෙදෙනා හමු වුනේ මීට පෙර  කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ ව්‍යාඝ්‍රයෙකු (Tiger) හා සිංහයෙකුද හමු වූ නිවු යෝර්ක් ප්‍රාන්තයේ එකිනෙකට දුරස්ථ ප්‍රදේශ දෙකකින්. පූසන් දෙදෙනාගෙන් එක් පූසෙකුගේ අයිතිකරුද කෝවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතත්, අනෙක් පූසා සිටි නිවසේ කිසිවකු කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන නැහැ. එමෙන්ම, ඒ නිවසේම සිටි තවත් පූසෙක්ටද වෛරසය ආසාදනය වී නැහැ.

සතුන් හරහා කෝවිඩ්-19 වෛරසය කෙතරම් දුරට පැතිරෙනවාද යන්න තවමත් අවිනිශ්චිත කරුණක්. මේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසෙන තුරු පහත පියවර අනුගමනය කරන මෙන් ඇමරිකාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- ඔබේ නිවසේ සිටින සුරතල් සතුන්ට නිවසෙන් බාහිර පුද්ගලයින් හෝ සතුන් ඇසුරු කිරීමට ඉඩ දෙන්න එපා.

- සුරතල් සතුන් නිවස ඇතුළේම තබා ගැනීමට හැකි තාක් උත්සාහ කරන්න.

- බල්ලන් නිවසෙන් එළියට ගෙන යනවානම් හැම විටම ඔවුන්ව බැඳ තබා ගෙනම ගෙන යන්න. වෙනත් මිනිසෙකු හෝ සතෙකු අසලක ඇති විට අඩි 6ක අවම පරතරයක් තබා ගන්න.

- මිනිසුන් හෝ බල්ලන් එක් රැස් වන තැන් මග හරින්න.

ඔබ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ අයෙකු හෝ සැකයට බඳුන් වූ අයෙකුනම්,

- සුරතල් සතුන් ගැන බලා ගැනීම වෙනත් අයෙකුට භාර දෙන්න.

- සුරතල් සතුන් ස්පර්ශ කිරීමෙන්, ඔවුන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් හා ඔවුන්ට ඔබේ ඇඳ ඇතිරිලි ආදිය පරිහරණය කිරීමට ඉඩ හැරීමෙන් වැළකෙන්න.

- ඔවුන් ගැන බැලීම කළ යුතුමනම්, ඊට පෙර මුහුණ ආවරණය කර ගන්න. සතුන් වෙත සමීප වීමට පෙර හා පසුව හොඳින් අත් සෝදා ගන්න.

ඉදිරියේදී තව තවත් සතුන් කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කළ යුතු වනු ඇති බවට විශ්වාසය පළ කරන ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ හේතුව නිසා කෝවිඩ්-19 පරීක්ෂා කට්ටල හිඟයක් ඇති වනු ඇති බවට බියක් ඇති කර ගත යුතු නැති බවද සඳහන් කර තිබෙනවා.


(Image: https://www.foxnews.com/lifestyle/outdoor-cats-coronavirus-stay-inside)

7 comments:

  1. අපට නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ අනුව ශ්‍රී ලංකාව පරෙස්සම්!

    ඉකොනෝ, එයාලට මේ තොරතුරු එන්නේ තව මාසෙකින්- දෙකකින් විතර....

    ReplyDelete
  2. ලංකාවේ ස්ක්‍රීනින්ග් ප්‍රමාණය වැඩි කිරීමත් සමග හදුනා ගන්නා නව රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතියි!

    දිනයක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණයක් අද දිනය තුල මේ වන විට වාර්තා වීමත් , ඒ අතර රටට සුවිශේශි මෙහෙවරක් සිදු කරන හමුදා නිලධාරීන් අන්තර්ගත වීමත් ඉතාමත් කණගාටුදායක පුවත්ය...

    මේ ආකාරයට ඉදිරියට එන දින කීපයේදී හදුනා ගන්නා රෝගීන් සංඛ්‍යාව මත.. රෝගය රට තුල දරුණු ලෙසම ව්‍යාප්ත වේදැයි යන්න ගැන ඉගියක් ලැබෙනු ඇත...
    මේ අවස්තාවේදී අතලොස්සක් හැරුනු විට.. සෞඛ්‍ය , ආරක්ශක, සහ අත්‍යාවශ්‍ය සේවා සහ මහ ජනතාව, රජය මේ වසංගතය පාලනය කිරීමට ගනු ලබන ක්‍රියා මාර්ග වලට සහයෝගය දෙමින් කටයුතු කරනු දැකිය හැකිය..
    සියලු දෙනාගෙන්ම කරන්නට තිබෙන ඉල්ලීම නම්, හැකි තරම් දුරට නිවෙස් තුලට වී සිටීමත් , ඇදිරි නීති ලිහිල් කරන අවස්තාවලදී සෑම විටම මීටරයක් දුරක් පරතරයකින් යුතුව ගමන් බිමන් වල යෙදෙන ලෙසත්, එලිමහනට යන සෑම අවස්තාවකම මුඛ ආවරණයක් පලදින ලෙසත් , සෑම විටම සබන් යොදා දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත්, දුම්පානයෙන් වලකින ලෙසත් ය..
    තවද රට තුල ඇදිරි නීතිය කොතරම් දිනක් පවතීද යන්න මේ අනුව අවිනිශ්චිත බැවින් , සෞඛ්‍ය අංශ රජය සහ ආරක්ශක අංශ සමග එක්ව ඒ පිලිබද නිශ්චිත පියවරක් ගන්නා අතරම.. රට ආර්තිකමය වශයෙන් කඩා නොවැටෙන ලෙස , ප්‍රාදේශීයව ගන්නා පියවරවල් වලදී මහජනතාව වගකීමෙන් හැසිරීම ඉතාම අත්‍යාවශ්‍ය මොහොතකි..
    තවද ... මේ දත්ත වලට අනුව.. ඉදිරියේදී විය හැකි යයි අනුමාන කල හැක්කේ.. කොවිඩ් 19 තව මාස ගනනකට රට තුල ව්‍යාප්ත වී පැතිරීමේ අවදානමක් ඇති බවයි! (මගේ අදහස)
    රටේ මෙවැනි ව්‍යසනයක් ඇති අවස්ථාවක.. ජුනි 20 තබා මාස හයක් යනතුරුත් චන්දයක් පැවතීමට සුදුසු වාතාවරණයක් ඒවිදැයි මට නම් සැක සහිතය...නමුත් රටේ ස්තාවර භාවය පවත්වා ගැනීමට එය විශාල බාධකයකි!
    ව්‍යවස්ථාවත් උල්ලංගනය වීමකි! ඊට ඇත්තේද සරල පිලිතුරකි..

    පරීක්ෂණයක් කරද්දි පාලිත තත්ව යටතේ කලහොත් සාර්ථකත්වය මෙන්ම පාලිත නොවන තත්ව යටතේදී අසාර්ථක වීම ලැබෙන ප්‍රතිපලයයි..

    මට හැගෙන පරිදි රටක ව්‍යවස්ථාවක් පවා එසේමය.... රටේ පාලිත නොවන තත්වයක් ඇති වී ඇති විට පාලිත තත්ව වෙනුවෙන් හදපු ව්‍යවස්තාවක පලය කුමක්ද??

    ඒ නිසා සියලු දෙනා එකතු වී එකම ජාතියක් ලෙස මෙයට මුහුන දීමට කටයුතු කල යුතුයි!
    හිටපු මැති ඇමති වරු හෝ සුදුසු නිලදාරීන් යොදවා හෝ මාස 6 කට අමාත්‍යාංශ මෙහෙයවා රට දුවන සැලැස්මක් අවශ්‍ය යයි පාට කන්නාඩි ගැලැවුවොත් ඔබට පෙනේවි!
    එය එසේ වේවායි යන්න මගේ පැතුමයි..

    නුවන්දිකා සිරිවර්ධන (වෛද්‍ය)

    ReplyDelete
  3. ඉකොනො දකින්නටත් ඈති ලංකාවේ කොවිඩ් මර්දන විශේෂ කාර්ය සාධක බලකාය සෞඛ්‍ය ඇමති සමග ටික කලකට කලින් තියපු මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය බළලුන්ට පමණක් නොව තවත් සත්ව වර්ග රැසකට වැළදෙන බවට පර්යේෂකයින් පිරිසක් අණාවරණය කර ගෙන තිබෙන බවක්.

    මේ කතාවත් එක්ක මම තව දුරටත් අන්තර් ජාලයේ විස්තර හොයා බලද්දි දැක්ක මේ ගැන පරීක්ෂණ පැවැත්වූ අය විවිධ සතුන් 251 දෙනෙකුගේ පෙනහළු ව්‍යුහයන් අධ්‍යයනය කර අනාවරණය කරගෙන ඇත්තේ වවුලන් හෝ මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් ඔවුන්ටද කෝවිඩ් -19 වෛරසය ආසාදනය විය හැකි බව. මේ විදිහට චීනයේ හුනාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරල තියෙන්නේ.

    ඒ වගේම ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව, වවුලන්, කැබැල්ලෑවන් සහ මිනිසුන්ට අමතරව වෛරසය අවම වශයෙන් තවත් ජීවීන් දහයකටවත් ආසාදනය කිරීමේ හැකියාවක් ඇති බව කියල තිබුණ.

    ඔවුන් කියල තිබුණා බළලුන්, එළදෙනුන්, එළුවන්, ඌරන්, බැටළුවන්, මී හරකුන් සහ පරවියන් යන සතුන්ටද කොරෝනා වෛරසය ආසාධනය විය හැකි බවට පර්යේෂණ වලින් පෙන්වනවා කියල.

    තව දුරටත් විස්තර කරමින් කියල තියෙන්නේ මිනිසුන්ගෙන් ක්ෂීරපායීන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් වෛරසය නැවත නැවතත් වෙනස් වී පෙර තත්ත්වයට වඩා මාරාන්තික අයුරින් මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්‌ තියෙනව කියලත්.

    ReplyDelete
  4. "ඩොලරය රු. 200ට අඩුවෙන් තබා ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්"
    මේ අද නිවුස් එකක් .මෙයාල මේ ආයෙත් හදන්නේ මේ සල්ලි අරගෙන විනිමය වෙල්ඳ පොලට දාන්න නේද ?

    ReplyDelete
    Replies
    1. "ඩොලරය රු. 200ට අඩුවෙන් තබා ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්"
      මේ අද නිවුස් එකක් .මෙයාල මේ ආයෙත් හදන්නේ මේ සල්ලි අරගෙන විනිමය වෙල්ඳ පොලට දාන්න නේද ?
      https://economynext.com/sri-lanka-cabinet-approves-us400mn-currency-swap-with-from-india-67835/?fbclid=IwAR0hN7-46Rm3oiqniOL9KdbCyd5vaHQlWVDbq6arii_c-SqDzLha6h-oLTA

      Delete
    2. "ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200ට අඩුවෙන් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන ණය මුදලක් ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. ... එසේම රුපියල් 200ට වඩා අඩු මට්ටමෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය."

      Delete
    3. බන්දුල කට පියාගෙන ඉන්න විට උගතෙක් බුද්ධිමතෙක් වියතෙක්

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: