වෙබ් ලිපිනය:

Saturday, April 25, 2020

ඉන්දියාවේ කොරෝනා


ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නඩත්තු කරන කෝවිඩ්-19 දත්ත පුවරුවේ මෙන්ම වසංගත රෝග අංශය මඟින් ප්‍රකාශයට පත් කරන දෛනික වාර්තා වලද ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය පිළිබඳ සංසන්දනාත්මක දත්ත ඉදිරිපත් කරනවා. මේ රටවල් පහ ලෝකයේ වැඩිම කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති රටවල් පහයි.

කෝවිඩ්-19 ව්‍යාප්තිය අතින් පහළින් සිටින ලංකාව ඉහත රටවල් සමඟ සංසන්දනය කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. මේ රටවල් තෝරා ගෙන ඇති පිළිවෙළ අනුව ලෝකයේ වෙනත් ඕනෑම රටක එම රටවලට වඩා හොඳ තත්ත්වයක් දකින්න ලැබෙන එක අනිවාර්ය කරුණක්. ඊටත් වඩා වැදගත් දෙය මේ රටවල් පහෙන් එකක්වත් කෝවිඩ්-19 ආසාදනය රටින් දුරු කිරීමේ ඉලක්කයක් ඇතුව කටයුතු නොකළ රටවල් වීම. එම රටවල ඉලක්කය වුනේ රෝගය ව්‍යාප්ත වීම අදාළ රටවල සෞඛ්‍ය පද්ධතීන්ට දරා ගත හැකි මට්ටමට පාලනය කර ගැනීමයි. ඒ කාරණයේදී ඇතැම් රටවල් සාර්ථක වී තිබෙනවා. තවත් රටවල් අසාර්ථක වී තිබෙනවා.

මීට අමතරව පෙර කී රටවල් හා ලංකාව අතර ආර්ථික තත්ත්වයේ, දේශගුණයේ, සංස්කෘතියේ හා සමාජ ක්‍රම වල විශාල වෙනස්කම් තිබෙනවා. ලංකාවේ කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වෙනත් රටක් සමඟ සසඳනවානම් ඒ වැඩේට වඩාත්ම යෝග්‍ය රට අසල්වැසි ඉන්දියාවයි. එහෙත්, ඉන්දියාව ලංකාව මෙන් 62 ගුණයක ජනගහණයක් සිටින රටක් නිසා මෙවැනි සංසන්දයක් කළ යුත්තේ ජනගහණ අනුපාතය ගැන සලකමිනුයි.

දකුණු ආසියානු කලාපයේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වුනේ ලංකාවෙන්. එහෙත්, ලංකාවේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ දෙවන ආසාදිතයා හමු වූ මාර්තු 11 දින සිටයි. ඉන්දියාවෙන් පළමු වරට කෝවිඩ්-19 ආසාදිතයෙකු හමු වුනේ ලංකාවේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වී සතියකට පසුව වුවත්, ලංකාවේ දෙවන කෝවිඩ්-19 ආසාදිතයා හමු වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 62 දෙනෙකු හමු වී තිබුණා. මේ අනුව, එම රෝගියා හමු වන තුරු ලංකාවේ හා ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබුණේ ජනගහණ අනුපාතයටයි.

කටුනායක ගුවන් තොටුපොළ වසා දමන තුරු ගෙවුණු දෙවන අදියර තුළ ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුනා. එහෙත්, ඉන්දියාවේ එවැන්නක් වුනේ නැහැ. මුල්ම අදියරේදී ඉන්දියාව ඉතා ඉක්මණින් දැඩි තීරණ ගැනීම එයට හේතු වුනා වෙන්න පුළුවන්. මාර්තු 19 දිනය අවසන් වන විට ලංකාවෙන් රෝගීන් 66 දෙනෙකු හමු වී සිටියා. ඉන්දියාවෙන් හමු වී සිටියේ රෝගීන් 104 දෙනෙකු පමණයි. ජනගහණය අනුපාතය සැළකු විට ඒ වන විට ලංකාවේ කෝවිඩ්-19  අවදානම ඉන්දියාවේ මෙන් 39 ගුණයක් දක්වා වැඩි වී තිබුණා.

කටුනායක වසා දැමීමෙන් පසුව තෙවන අදියරේදී ලංකාව කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. එම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම විශාල ලෙස සීමා වුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වැඩි වේගයකින් වෛරසය පැතිරුණා. අප්‍රේල් 19 වන විට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 271ක් හමු වී තිබුණා. ඉන්දියාවෙන් එමෙන් 65 ගුණයක් පමණ, එනම් ආසාදිතයින් 17,615 දෙනෙකු ඒ වන විට හමු වී තිබුණා. ඒ වෙද්දී දෙරට කෝවිඩ්-19 අවදානම් තත්ත්වයන් ආසන්නව සමාන වී තිබුණා. ලංකාව ඉන්දියාවට වඩා තරමක් හෝ ඉදිරියෙන් සිටියා.

එහෙත්, පසුගිය දින කිහිපය තුළ ලංකාවේ කෝවිඩ්-19 අවදානම ඉන්දියාවට සාපේක්ෂව ඉහළ යමින් ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාව කෝවිඩ්-19 පැතිරීමේ හතරවන අදියරකට අවතීර්ණ වෙමින් ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

5 comments:

  1. අපි බලා හිඳිමු. හතරවන අදියරේදීවත් කොරෝනාව අරලියගහ මන්දිරයෙන් ඇතුලටත් ඔබ්බටත් ගිහින් සැබෑ අනතුර ගැන උගන්වයි කියලා.

    ReplyDelete
  2. මේ ගනනය කිරිම් කොහොම ගත්තත් රෝග ව්‍යාපෘතිය බොහෝ දුරට තීරනය වෙන්නෙ පුද්ගල හැසිරීම/ චර්යාවන්/ සිටින පරිසර තත්වය මත. එක පුද්ගලයෙක්ට රෝගය 10 පතුරුවන්නත් පුලුවන් 100 පතුරුවන්නත් පුලුවන්.
    ඒකට හොන්දම උදාහරනය අපේ රටෙන් ගන්න පුලුවන්. දෙවන රෝගියාගෙන් මෙය බෝඋනේ බොහොම අඩු පිරිසකට. මම දන්න විදියට ඔහුගේම රැකියාවෙ හිටිය එක කාමරය ශෙයා කරපු යාලුවෙක්ට විතරයි බෝ උනේ. ඒත් ඊට පස්සෙ හමුවුන අයගෙන් කුඩා පොකුරු වලට බෝ උනා. නිරෝදාන ක්‍රියාවලිය යටතේ උනත්.

    ReplyDelete
  3. ඔය කෙහෙල්මල් සංඛ්‍යා ලේඛන ජිල්මාට් වලින් කාටවත් එක සත පහක වැඩක් නැහැ. අද තියෙන එක නෙවෙයි හෙට.. එතකොට තව බයිලා කතාවක්... හරියටම කේන්දරකාරයො වගේම තමයි. කතන්දර ගොතන එක විතරයි පැහැදිලි විසඳුමක් නෑ. කොහොම හරි භයින් භීත වෙලා හැංගෙන්නෙ නැතුව නවකොරෝනා වයිරසය එක්ක සටන් කරමින් ජීවත් වෙමු. අපෙන් කොටසක් මැරෙනවා. ඒක භාරගනිමු. කොවිඩ්-19 එක්ක සටන් කරමු. ඒ වෙනුවෙන් වැඩ කරලා ආර්ථිකය රැකගනිමු. ඔන්න ඕක තමයි වෙන්න ඕන.

    ReplyDelete
  4. මේ ඉකොනෝ කියන මනුස්සයට පිස්සුද හැබෑටම? හැම මගුලේම සංඛ්‍යා ලේඛන ප්‍රස්ථාර විශ්ලේෂණ කර කර ඉන්න එක තමයි වැඩේ. මානසික ලෙඩෙක්ද කොහෙද. පව් මේ මිනිහගේ වයිෆ්. මෙලෝ රහක් නැති, හැම දේම ගණන් හිලව් බල බලා ඉන්නා කුණු මුඩුමයෙක් එක්ක ඉන්න ගියාම තිත්ත වෙනවා ඇති ජිවිතේ.

    ReplyDelete
  5. I think you should evaluate the number of cases tested also to make a fair judgement on the numbers.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: