Wednesday, April 22, 2020

අත බලා කොරෝනා හඳුනාගනු ලැබේ!


කෝවිඩ්-19 තර්ජනය හමුවේ බටහිර දැනුමේ සීමාවන් වඩා හොඳින් කැපී පෙනෙනවා. පහළ ස්ථර වල සිටි මෙම දැනුම විශ්වාසය මත ප්‍රයෝජනයට ගත් අයට එය බටහිර විද්‍යාව අසරණ වීමක් සේ පෙනෙනවා වෙන්න පුළුවන්. එහෙත්, මේ සීමාවන් කිසිවෙකු නොදැන සිටි දේවල් නෙමෙයි. බටහිර විද්‍යාවක යම් පුහුණුවක් ඇති අයෙකු කටයුතු කරන්නේ මේ සීමාවන් පිළිබඳ මනා අවබෝධයක් ඇතුවයි.

බටහිර විද්‍යා දැනුම කෙසේ වුවත්, කෝවිඩ්-19 සමඟ විකල්ප දැනුම් පිළිබඳ කතිකාවනම් පැහැදිලි ලෙසම දුර්වල වෙමින් තිබෙනවා. ලංකාව ගත්තත් කෝවිඩ්-19 තර්ජනය එතරම් ලොකුවට නොදැනෙන විට විකල්ප විසඳුම් ගැන කතා කළ බොහෝ දෙනෙක් තර්ජනය සැබෑවක් වෙද්දී පසු බසිමින් සිටින බව පේනවා. විකල්ප දැනුම් යටපත් වෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය නිසානම්, බටහිර දැනුමේ සීමාවන් පැහැදිලිව පෙනෙන මේ වෙලාව වෙනත් විකල්ප දැනුම් වල සාර්ථකත්වය පෙන්වන්න හොඳ අවස්ථාවක්.

ලංකාව හා අදාළව ගත්තොත් මේ වෙලාවේ තිබෙන ප්‍රමුඛතම අවශ්‍යතාවය වන්නේ කෝවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගැනීමයි. එහිදී බුද්ධි අංශ ඇතුළු ඇතැම් කණ්ඩායම් විසින් පුද්ගල සම්බන්ධතා හා හැසිරීම් පිළිබඳව සොයා බලමින් කෝවිඩ්-19 ආසාදිතයින් වීමේ වැඩි අවදානමක් ඇති පිරිස් තෝරා ගැනෙනවා. විවිධ ක්‍රම වලින් වැඩි අවදානමක් තිබෙන අයව හඳුනා ගැනීම ලෝකයේ හැම රටක්ම වාගේ මේ වෙලාවේ කරන දෙයක්. එය විකල්ප ක්‍රමවේදයක් නෙමෙයි. ඒ ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකින් වැඩි අවදානමක් ඇති අයෙකු සේ හඳුනා ගැනෙන අයෙකු කෝවිඩ්-19 ආසාදිතයෙකු බව නිශ්චිතව තීරණය කෙරෙන්නේ පීසීආර් පරීක්ෂාවන් එකක් හෝ වැඩි ගණනක් කිරීමෙන්. මෙය ලෝකයේ හැම රටක් විසින්ම මේ වෙලාවේ අනුගමනය කරන ක්‍රමවේදයයි.

දෙවියෙකුගෙන් හෝ අමනුෂ්‍යයෙකුගෙන් ලබා ගන්නා දැනුමකින්, කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන්, හස්ත රේඛා පරීක්ෂාවකින් හෝ නාඩි පරීක්ෂාව වැනි වෙනත් ක්‍රමයකින් දැනට හඳුනාගෙන නැති කෝවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීමේ හැකියාවක් කාට හෝ තියෙනවද? මෙය සියයට සියයක් නිවැරදිව කරන්න අවශ්‍ය නැහැ. කිසියම් හෝ සාර්ථකත්වයක් පෙන්වීම ප්‍රමාණවත්.

මේ වන විට ලංකාවේ සිදු කර තිබෙන කෝවිඩ්-19 පරීක්ෂා 7,393කින් ආසාදිතයින් 321 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ලංකාවේදී පීසීආර් පරීක්ෂණයකට ලක් වූ අයගෙන් 4.34%ක් කෝවිඩ්-19 ආසාදිතයින්. කිසියම් හෝ විකල්ප දැනුමකින් කෝවිඩ්-19 ආසාදිතයින් 10%ක් සිටිය හැකි කණ්ඩායමක් තෝරා ගත හැකිනම් එය දැනට අනුගමනය කරන ක්‍රමවේදයට වඩා හොඳ විකල්පයක් ලෙස සලකන්න පුළුවන්. 100%ක් නිවැරදිව ආසාදිතයන් හඳුනාගත යුතු නැහැ. දැනට පවතින තත්ත්වයන් යටතේනම් 90%ක්ම වැරදුනා වුනත් කමක් නැහැ.

මා මේ 10% ගැන කියන්නේ දැනට ලංකාවේ පවතින තත්ත්වයට සාපේක්ෂවයි. නිවු යෝර්ක් වගේ තැනක අහඹු නියැදියක් ගත්තත් මේ 10% සීමාව ඉක්මවන්න පුළුවන් නිසා එය පවතින තත්ත්වය අනුව වෙනස් විය යුතු ඉලක්කයක්. ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත වගේ කෝවිඩ්-19 ආසාදිතයින් විශාල පිරිසක් එක වර හමු විය හැකි තවත් තැන් ලංකාවේ තියෙනවද? කිසියම් දෙවියෙකු හෝ වෙනත් අමනුෂ්‍යයෙකු සමඟ සන්නිවේදනය කර එවැනි තැන් ගැන දැන ගැනීමේ හැකියාවක් තිබෙන කවුරු හෝ කෙනෙක් ඉන්නවද?

මේ වැඩේට පුහුණුවක් අවශ්‍ය වෙන්න පුළුවන්. අදාළ විකල්ප දැනුම් පද්ධතියේ කෝවිඩ්-19 ආසාදිතයින් හඳුනාගත හැකි නිශ්චිත දැනුමක් නොතිබුණා වෙන්න පුළුවන්. එවැනි නිශ්චිත හැකියාවක් බටහිර දැනුම් පද්ධතිය තුළත් තිබුණේ නැහැ. එහෙත් බටහිර ක්‍රමවේදය යොදාගෙන කෝවිඩ්-19 රෝගීන් හඳුනාගත හැකි ක්‍රමයක් ඉතා ඉක්මණින් සකස් කර ගත හැකි වුනා. ඒ වැඩේ වෙනත් විකල්ප ක්‍රමවේදයකින් වඩා කාර්යක්ෂමව කරන්න පුලුවන්ද? එසේ නොහැකිනම් කිසියම් හෝ සාර්ථකත්වයක් සහිතව කරන්න පුලුවන්ද? අත බලා හෝ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර කෝවිඩ්-19 හැදෙන්න ඉඩ තිබෙන හා නොතිබෙන අය යම් නිරවද්‍යතාවයක් සහිතව වෙන් කළ හැකිද? මෙහිදීත් 100%ක් සාර්ථක වීම කිසිසේත්ම අවශ්‍ය නැහැ.

කවුරුවත් මෙවැන්නක් නොකළා කියා විකල්ප ක්‍රමවේදයක කිසිදු  ප්‍රයෝජනයක් නැති බව තහවුරු වෙන්නේ නැහැ. එහෙත්,  කිසිවෙකු ඉදිරියට නොපැමිණියහොත් අවම වශයෙන් මේ වගේ වෙලාවක ප්‍රයෝජනයට ගත හැකි කිසිදු විකල්ප දැනුමක් කිසිවකු ළඟ නැති බව තහවුරු වෙනවා.

මේ වෙලාවේ සියලුම විකල්ප දැනුම් පද්ධතිත්, බටහිර දැනුම විවේචනය කරන අයත් බැණ බැණ හෝ බටහිර දැනුම පසුපසම නොන්ඩි ගසමින් හෝ බඩ ගාගෙන යන්න සිදු වී ඇති තරම් අසරණ වෙලාද?

6 comments:

  1. බටහිර ක්‍රමය බලපාන්නේ සාපේක්ෂව බටහිරයට. ඒ බැව නොදනී. කෙසේවතත් උතුරු අත්ලාන්තික් රටවල සහ ඉංගී‍්‍රසි ඔඩයේ යාත්‍රා කරමින් කොරෝනා වෛරසය බෙදා ගනු ලැබීම අප බලන්නේ කෙසේද සලකා? දි ඉකොනෝමැට්ටා බ්ලොග් අඩවිය ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව ලංකාව බටහිරය. එහි සිටිනා අය ලංකාවේ දැනුම බටහිර ලෙස ගනීවිද? අපදානය සහ අවදානය යොමු නොකර කටයුතු කර නොහැකි බැව දැන්වූ මනාය.

    ReplyDelete
  2. ඔය බටහිර, පෙරදිග කියලා මානව දැනුම් පද්ධතිය වෙන් කරන එක මම දකින විදියට අතිශය මිථ්‍යා මතයක්. මම කියන්නේ මානව ශිෂ්ටාචාරය බිහිවුණු මුල සිටම ලෝකය පුරා මානව ජනාවාස ව්‍යාප්ත වී ඒ හරහා විවිධ දැනුම ගලා ගියා. අපට විවිධ ක්‍ෂේත්‍ර වලින් ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්.

    දැන් බලන්න මානව සංගීතය ගත්තොත්, බටහිර සංගීත ඉතිහාසයට අනුව පයිතගරස් තමයි සප්ත ස්වර ගණිතමයව පැහැදිලි කරන්නේත් සංගීත භාණඩ සුසර කරන හැටි සොයාගන්නේත්. නමුත් ඊට සමකාලීනව පෙරදිග සංගීතයේත් සප්ත ස්වර තිබුනා. සංගීතභාණ්ඩ පවා සමකාලීනව බටහිර සහ පෙරදිග එකිනෙකා පරයමින් වේගවත්ව දියුණු වුනා.

    ලංකාවේ බෞද්ධයන් හින්දූන් ආලෝක පූජාවක් විදියට මැටි පොල් තෙල් පහන් දල්වනවා වගේ පුරාණ ඊජිප්තු වැසියනුත් ආලෝක පූජාවක් විදියට මැටි පොල් තෙල් පහන් දැල්වුවා විතරක් නෙමෙයි ඒවා බොහෝ සෙයින් අපේ මැටි පහන් වල හැඩය, දිග, පලල, ඝනකම අතින් සමාන බව පේනවා.

    තාරකා ශාස්ත්‍රය නැත්නම් ජ්‍යෝතිෂ්‍යයය ගැන කිව්වොත් ලොව පුරා පැරණිතම තාරකා විද්‍යා සංකල්ප අතර බොහෝ සමානකම් තියෙනවා. කලින් නොකිවු දෙයක් කිව්වොත්, වෛදික විංශෝත්තරී දශා ක්‍රමයට බොහෝ සෙයින් සමාන දශා ක්‍රමයක් යුරෝපීය ජ්‍යෝතිශ්‍යයේ තියෙනවා ෆිර්ඩාරියා නමින්. මෙහිදීත් උපතේදී චන්ද්‍රයා පිහිටන අංශකයට අනුව දශාශේෂය සොයා එතැන් සිට ජීවිත කාලය එක් එක් ග්‍රහයන් හට බෙදන ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත.

    ලෝකයේම පිළිගන්න සතියේ දින හත ග්‍රීක - රෝමානු සතියේ දින ක්‍රමයට කලින් ලංකාවේ හෙළ ක්‍රමය වී තිබුණේ චන්ද්‍රයාගේ තිථිය සහ සතර පෝය මගින් දින වෙන් කිරීම. එවිටත් දින හතක පමණ කාලයක් තුල එක් නිවාඩු දිනයක් වැටෙනවා. නමුත් මහ පොළවේ පය ගහල අහසදිහා බලන්න වෙලාවක් නැති මිනිස්සුන්ට රෝමානු සතියේ දින හත පාවිච්චිය පහසුයි. ඒ වගේම සතියේ දින හත මත පදනම් වුන කාල හෝරා ක්‍රමය වෛදික ජ්‍යෝතිෂ්ශ්‍යයේ වගේම බටහිර ජ්‍යෝතිෂ්ශ්‍යයේත් තියෙනවා.

    අනික් පැත්තෙන් ගුප්ත ශාස්ත්‍ර ගැන කියනවා නම් වෛදික කුන්ඩලීනියට (චක්‍ර) සමරූපී යුදෙවු කබාලා ව මනුශ්‍ය ශරීරයේ සහ ජීවිතයේ/පැවැත්මේ විවිධ මට්ටම් සහ ශක්ති අවස්ථා දක්වනවා. ඒ දෙකම පහල (පොලොවේ) සිට ඉහලට (ආකාශය) දියුණු කර ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමේ සිතියමක්. තව යෝග වර්ග හතක් තිබෙනවා. යෝග වලින් කරන්නේ චක්‍ර හත ඔස්සේ කුන්ඩලීනිය දියුණු කිරීම.

    පෙරදිගට නොදෙවෙනි අපරදිග ගුප්ත ශාස්ත්‍ර වල ශරීරයේ ජෛව ශක්තිය අවදි කර විශ්මිත දේ කිරීමේ ශාස්ත්‍ර තිබෙනවා. මේවා පෙරදිග ගුප්ත ශාස්ත්‍ර වල තිබෙන ප්‍රාණ ශක්තිය, චීන තායි-චී වල චී ශක්තිය ම තමයි.

    ඊළඟට තාක්ෂණික දැනුම ගැන දීර්ඝ වශයෙන් විස්තර අධ්‍යනය කරද්දී ලංකාවේ යෝධ ඇල නිර්මාණය කල සමයේ ම, ඊට ටික කලකට පසුව රෝම අධිරාජ්‍යයේ ඇක්වඩක්ට් ඇල මාර්ග හදල තියෙන්නේත් සැතපුමකට බෑවුම අඟල් හතරක් විතර වෙන්න.කාටවත් කියන්න බැහැ මේ කිසිවක් පෙරදිග බිහි වී අපරදිගට ආවා කියලා, ඒ වගේම අපරදිග බිහි වී පෙරදිග ට ගියා කියලත්. සියලුම මානව දැනුම් පද්ධති එකිනෙකට සම්බන්ධතා දක්වන බව පේනවා.

    ReplyDelete
  3. ඉකොනෝ, 'ඇයි කොරෝනාව මර්දනය කරන්න හැකියි කියන විකල්ප දැනුමැත්තන්ට පුංචි චාන්ස් එකක්වත් දීලා බලන්නට අපේ බලධාරීන් මැලිවෙලා තියෙන්නේ? මේ වෙලාව පිදුරු ගහක වුණත් ශක්තිය මැනලා බලන්න ඕනේ වෙලාවක් නේද?

    ReplyDelete
    Replies
    1. කෝවිඩ්-19 හැදෙන විශාල පිරිසක් කිසිම දෙයක් නොකළත් සනීප වෙනවා. රෝහල්ගත වෙන්නවත් අවශ්‍ය නැහැ. හඳුනා නොගත් ආසාදිතයින් එකතු කළ විට මේ ප්‍රමාණය 99%කට වඩා වැඩි වෙන්න පුළුවන්. අවම වශයෙන් 80%ක් කියමු. ඒ අයට විශේෂ ප්‍රතිකාර කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ පෙනහළු ආසාදනය වී හුස්ම ගන්න අසීරු තත්ත්වයකට පැමිණෙන අයටයි. ඔබ එවැනි තත්ත්වයකට පත් වුනොත් වෙන්ටිලේටර් ආදිය එපා කියා විකල්ප ප්‍රතිකාරයක් ලබා ගන්න සූදානම්ද? මම හිතන්නේ කවුරු හෝ කැමති කෙනෙක්ට හොඳ සිහියෙන් ඉන්නවානම් අවදානම පැහැදිලි කිරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ විශ්වාස වලට ඉඩ දී ඒ අවස්ථාව දුන්නට කමක් නැහැ. අවස්ථාව දිය යුත්තේ රෝගීන්ට මිසක් ප්‍රතිකාර කරනවා කියන අයට නෙමෙයි.

      Delete
    2. විකල්ප ප්‍රතිකාර ගැන කතා කරන අයගෙන් පළමුවෙන්ම අහන්න තියෙන්නේ ඔවුන් ප්‍රතිකාර කරන රෝගය කුමක්ද කියලයි. මොකද ප්‍රතිකාර කරන්න කලින් නිශ්චිත රෝගයක් තිබිය යුතුයි. ඉන් පසුව, එම රෝගය වැළඳී ඇති අය හඳුනාගත හැකි ක්‍රමවේදයක් තිබිය යුතුයි. බටහිර ක්‍රමයට පරීක්ෂා කර රෝගීන් හොයා දිය යුතුනම් ප්‍රතිකාරයෙන් වැඩක් වෙනවද කියන එක තීරණය කරන්න වෙන්නත් බටහිර ක්‍රමවේද අනුවයි. දෙවනුව, අදාළ වෛද්‍ය ක්‍රමය හදාරා ඇති වෙනත් අයට එම වෛද්‍ය ක්‍රමයේ මූලධර්ම අනුව මේ කියන ආකාරයට රෝගය හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම සාර්ථක බව පෙන්වා දෙන්න හැකි විය යුතුයි. ඔය අවම දේවල්වත් කරලා නැත්නම් එතැනින් එහාට කතා කරන එකෙත් තේරුමක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.