වෙබ් ලිපිනය:

Sunday, April 26, 2020

අම්බිකා නික්ම ගිහින්!


කෙනෙක් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන මොනවා හරි දේවල් ටිකක් තියෙන නිසයි. එහෙත්, එසේ රටකින් රටකට සංක්‍රමණය වීමේදී අහිමි වන දේවල් ටිකකුත් තියෙනවා. කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් රටකින් රටකට සංක්‍රමණය වෙන්නේ මේ දෙගොඩ කිරා බැලූ පසු සමස්තයක් ලෙස වාසියක් තිබෙන නිසයි.

හැබැයි මේ කතාව අදාළ වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් සංක්‍රමණය වන අයටයි. වෙනත් අයෙකුගේ මන දොල සපුරන්න රටකින් රටකට සංක්‍රමණය වෙන්න සිදු වන කෙනෙක්ට මේ කතාව ඒ විදිහටම වලංගු නැහැ. ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල සිට උතුරු ඇමරිකාවට සංක්‍රමණය වෙන්න සිදුව ඇති අලි ඇතුන් වැටෙන්නේ මේ ගොඩටයි.

වයස අවුරුදු අටක පමණ අලි පැටික්කියකව සිටියදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කැලෑවකින් අල්ලා ගනු ලැබ වසර පහක් කොට ඇදීමේ රාජකාරියේ යෙදී ඇති අම්බිකා ඇමරිකාවට පැමිණ තියෙන්නේ 1961 වසරේදී. ඈ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි හත් දෙනෙකුගෙන් යුත් ආසියානු අලි කණ්ඩායමේ සිටි වයස්ගතම සාමාජිකාවයි. අම්බිකාගේ සැත්තෑ එක් වසක දිවිසැරිය පසුගිය මාර්තු 27 වනදායින් නිමා වී තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ඉතිරිව සිටින ආසියානු අලි පංතියේ සිවු දෙනෙකුම එකම වසරකදී ශ්‍රී ලංකාවේ උපන් අයයි. ඒ ශාන්ති, කමලා, ස්වර්ණා හා බොසී යන සිවු දෙනායි. ඉතිරි දෙදෙනා ඉන්දියාවෙන් හා තායිලන්තයෙන් පැමිණි අයයි. පසුගිය ජූනි මාසයේදී මා අවසන් වරට මේ අයව පියවි ඇසින් දැක ගත්තා. අන්තර්ජාලය හරහානම් ඕනෑම වෙලාවක ඔවුන්ව සජීවීව නැරඹිය හැකියි.

අම්බිකාගේ සෞඛ්‍ය තත්ත්වය කාලයක් තිස්සේම පිරිහෙමිනුයි තිබුණේ. කළ හැකි සියළු ප්‍රතිකාර කිරීමෙන් පසුව සුව වීමේ ඉඩක් පෙනෙන්නට නොතිබුණු බැවින් හා අම්බිකාගේ වයස ගැන සලකමින් පසුගිය මාර්තු 27 වනදා ඇයට සුවදායක මරණයක් ලබා දීමට ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ සිටි ආසියානු අලි අතරින් අම්බිකාගේ ළඟම යෙහෙළියන්ව සිටියේ ශාන්ති හා බොසී දෙදෙනායි. අම්බිකා මරණයට පත් වීමෙන් පසුව ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් අලින් කරන පරිදි, මිනිත්තු 15-20ක පමණ කාලයක් දේහය වටා පැදකුණු කරමින් හා සිය හොඬයෙන් අම්බිකාගේ කණ, මුඛය හා හොඬ අග ස්පර්ශ කරමින් ඔවුන් දෙදෙනා සිය වැඩිමහල් මිතුරියට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අම්බිකා ගැනත්, මෙහි සඳහන් ඇගේ යෙහෙළියන් ගැනත් පෙර ලියූ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

අම්බිකාගේ විලාපය


2 comments:

  1. අම්බිකා, යලි තිරිසන් බවයක නූපදීවා!

    ReplyDelete
  2. වියට්නාමය, කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ චීනයෙන් වෙන්ව පවතින්නේ ගොඩබිම් දේශ සීමාවකිනි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය පුද්ගලයින් නව කෝටි හැත්තෑ ලක්ෂයකට (මිලියන 97) නිවහන වෙයි. නමුත් මේ දක්වා වියට්නාමයෙන් වාර්තා වී ඇත්තේ කොරෝනාවෛරස් ආසාදිතයින් 270 දෙනෙකු පමණක් වන අතර එකදු මරණයක් හෝ එරටින් වාර්තා වී නොමැත.(BBC-Sinhala)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: