වෙබ් ලිපිනය:

Monday, April 13, 2020

ලංකාවේ කොරෝනා

චීනයේ, ඇමරිකාවේ හා වෙනත් රටවල කොරෝනා පැතිරෙන ආකාරය ගැන මා වරින් වර අදහස් පළ කළත් ලංකාවේ කොරෝනා පැතිරෙන ආකාරය විග්‍රහ කරන්න ගියේ නැහැ. එයට හේතුව ලංකාවේ දත්ත වල ස්වභාවය අනුව ලොකු නිගමන වලට පැමිණීමේ හැකියාවක් නොතිබීමයි. එහෙත්, මේ වෙද්දී මාසයක පමණ දත්ත එක් රැස් වී තිබෙන නිසා යම් නිගමන වලට පැමිණෙන්න පුළුවන්.

ලංකාවේ මෙතෙක් කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට බෙදන්න පුළුවන්. පළමු රෝගියා හමු වීමේ සිට දෙවන රෝගියා හමු වීම දක්වා කාලය පළමු අදියරයි. ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා හමු වුනේ ජනවාරි 27 වනදා. මගේ මතකය නිවැරදිනම් මෙසේ ලංකාවේදී හඳුනා ගැනුණු චීන කත දකුණු ආසියාවෙන්ම හමු වූ පළමු කොරෝනා ආසාදිතයායි.

චීනයේ වුහාන් නගරය වසා දමනු ලැබූයේ ජනවාරි 23 දිනයි. ඉහත කී චීන කත ලංකාවට පැමිණ තිබුණේ ඊට පෙරයි. ලංකාවේ චීන තානාපති කාර්යාලයට අනුව, වුහාන් නගරය වසා දැමීමෙන් අනතුරුව චීන තානාපති කාර්යාලය විසින් ඒ වන විට ලංකාවේ සිටි චීන ජාතිකයින්ව දිනපතා සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. කොරෝනා අවදානම සහිත අයෙකු ලෙස පෙර කී තැනැත්තියව හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන්නේ චීන තානාපති කාර්යාලය විසිනුයි. ඉන් පසුව ඇය සුවය ලබා චීනය බලා පිටත්ව ගියා.

මේ පළමු ආසාදිතයාගෙන් වෙනත් කිසිවෙකුට රෝගය බෝ වුනේ නැහැ. ඇයව මුලදීම හඳුනා ගැනීම එයට උදවුවක් වෙන්න ඇති. ඒ වන විට ලංකාවේ රජය කොරෝනා පාලනය ගැන බරපතල ලෙස හිතා තිබුණේ නැහැ. එසේ හිතන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ. එහෙත්, චීන තානාපති කාර්යාලයට අනුව ඔවුන් ලංකාව තුළ චීන ජාතිකයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ඒ වන විටද සැලකිලිමත්ව සිට ඇති බව පෙනෙනවා.

පළමු කාන්තාව සුවය ලබා පිටව යාමෙන් අනතුරුව ඇතැම් අය ඒ ගැන ඕනෑවටත් වඩා උදම් ඇනුවා. කොහොම වුනත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබීම ඉතාම සාමාන්‍ය දෙයක්. ආසාදිතයින්ගෙන් අවම වශයෙන් 80%කට පමණම රෝහල්ගත වීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ. මේ පළමු රෝගියා ලංකාවෙන් හමු වීම වගේම ඇය සුවය ලබා පිට වී යාමත් අහඹු සිද්ධි පමණයි. එහෙත්, ඇයගෙන් තවත් කිහිප දෙනෙකුට රෝගය පැතිරීමේ අවදානමක් තිබුණා. චීන තානාපති කාර්යාලයට අනුව ඒ අවදානම පහව තිබෙන්නේ ඔවුන්ගේ සැලකිලිමත්කම නිසයි.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දෙවන අදියර ලෙස මා සලකන්නේ දෙවන කොරෝනා රෝගියා හමු වූ තැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීම දක්වා කාලයයි. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලය මා තෙවන අදියර සේ සලකනවා.දෙවන රෝගියා හමු වූ දින සිට දිනපතාම වගේ ලංකාවෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු හමු වෙනවා. දෙවන අදියරේදී වැඩිපුර හමුවුනේ ආනයනික ආසාදිතයින්. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ඒ තත්ත්වය නැවතුනා.


කටුනායක ගුවන් තොටුපළ වසා දමනු ලැබුවේ මාර්තු 19 වනදා. දෙවන රෝගියා හමු වුනේ ඊට සතියකට පෙරයි. මේ සතිය ඇතුළත ලංකාවෙන් දිනකට හමුවන අලුත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දවසින් දවසම ඉහළ ගියා. ගුවන් තොටුපොළ වසා දැමීම තවත් කල් ගියානම් එසේ කල් යන එක් දවසක් තුළදී වුවත් රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව සැලකිය යුතු තරමින් ඉහළ යා හැකිව තිබුණා. ඒ නිසා, ඒ වෙලාවේ ගුවන් තොටුපොළ වසාදැමීම ලංකාව විසින් ගත් හොඳ තීරණයක්.

දින කිහිපයකට කලින් ගුවන් තොටුපළ වසා දැමුවානම් ආනයනික රෝගීන්ගේ යම් අඩුවක් විය හැකිව තිබුණා. එහෙත්, රටක් බාහිර ලෝකය සමඟ තිබෙන සම්බන්ධය මුළුමනින්ම කපා දැමීම හිතා මතා ගත යුතු තීරණයක්. ඒ තීරණය මීට පෙර ගත හැකිව හෝ ගත යුතුව තිබුණා කියා මා හිතන්නේ නැහැ. ඒ වගේම දින කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වසා දැමුවානම් ලංකාවට කොරෝනා රෝගීන් ඇතුළු වීමේ ඉඩක් කිසිසේත්ම නොතිබුණා කියා කියන්නත් බැහැ. මේ වෛරසය කොයි වෙලාවේ හෝ රටට ඇතුළුවීම වලක්වනු අසීරු දෙයක්.

ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම කෙරෙහි බලපෑ වැදගත්ම තීරණය කටුනායක ගුවන් තොටුපොළ වසා දමනු ලැබීමයි. ඒ සමඟම ආනයනික රෝගීන් රටට පැමිණීම වැළකුණා. මා මේ කරුණු කියන්නේ සමස්තයක් ලෙසයි. ආණ්ඩුව විසින් ගත් ඇතැම් තීරණ වල අඩුපාඩු දැකිය හැකි වූ බව එතරම් අදාළ කරුණක් නෙමෙයි.

රට බාහිර ලෝකයෙන් වෙන් කර ගැනීමෙන් පසුව, තෙවන අදියරේදී, කොරෝනා පාලන උපාය මාර්ග වල අවධානය යොමු විය යුතු වූයේ එක් පෙරමුණකට පමණයි. එහෙත්, ඊට පෙර දෙවන අදියරේදී පෙරමුණු දෙකක සටන් කළ යුතුව තිබුණා. ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු මේ දක්වාම ලංකාවේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ප්‍රධානම උපක්‍රමය සබඳතා හඹා යාමයි. මේ කටයුත්තේදී ආණ්ඩුව උතුරේ යුද්ධයේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පේනවා.

මේ වන විට අලුතෙන් හඳුනා ගැනෙන රෝගීන් බොහෝ දෙනෙක් ඊට පෙර අවදානම් සහිත පුද්ගලයින් සේ හඳුනා ගෙන නිරෝධායනයට ලක් කෙරුණු අය වීමෙන් මේ උපක්‍රමයේ සාර්ථකත්වය පෙනෙනවා. ඒ අතරම, එසේ පෙර හඳුනා නොගැනුණු ආසාදිතයින්ද වරින් වර මතු වීමෙන් හා දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබීමෙන් ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් පෙන්වා දෙනවා.

රට බාහිර ලෝකයට වසා දැමීමෙන් පසුව අලුතින් රෝගීන් හමුවන රටාව මේ වෙද්දී ඉතාම පැහැදිලියි. හමුවන රෝගීන් ගණන විචලනය වුවත් සාමාන්‍ය වශයෙන් දිනකට අලුත් රෝගීන් හය දෙනෙකු පමණ හමු වන බව පෙනෙනවා. වෙනත් බොහෝ රටවල සිදු වූ අයුරින් දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි නොවීම සැනසිල්ලට කරුණක්. එහෙත්, දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්න අඩු වන බවක්ද පැහැදිලිව නොපෙනීම කණස්සල්ලට කරුණක්.

මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි.

9 comments:

  1. මට නම් පේන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය රබර් බෝලයක් වතුර යටින් තියන් අල්ලන් ඉන්නවා වගේ දෙයක්. මොකද දැන් රට පාලනය කරන්නේ එක්තරා වෘත්තිය සමිතියක් කියලා පැහැදිලිවම පේනවා. ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න මේක හොඳම වෙලාව කියලා ඔවුන් දන්නවා. ලංකාවේ වසංගත වේදය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සිටියදී මේ වෘත්තීය සමිතිය නටන නාඩගම නම් කොහෙන් කෙලවර වේවිද කියලා හිතා ගන්නත් අමාරුයි.

    ReplyDelete
  2. මට නම් පෙන විදියට මේක රජය සාර්ථකව කරගෙන යනවා. දැනට වාර්තා උන රෝගීන් ගෙන් 60% වැඩිය හිටියේ නිරෝධායන මද්‍යස්ථාන වල. මට නම් තියන දැන් ලොකුම පර්ශ්නය ඉකොනොමි එක. ගොඩක් කොම්පැනි කෙල වෙලා.

    ReplyDelete
  3. ඉතා තදබල ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කලත්, කොතරම් කාලයක් මෙවැනි තත්වයක් පවත්වාගත හැකිද යන්න ප්‍රශ්නකාරී නේද? විශේෂයෙන් ආර්ථිකමය වශයෙන්. ඇඳිරි නීතිය වැනි තත්වයන් මාස ගනනාවක් දිගින්දිගට පැවතීමෙන් අතුරු ප්‍රශ්න (දිලිඳු පුද්ගලයින්ට අවශ්‍ය ආහාර සැපයීම, ගොවීන් තම භෝග සාධාරණ මිල ගනන් වලට විකුනාගත නොහැකි නිසා ගොවිතැන් අතහැර දැමීම වැනි ) ගනනාවකටත් මුහුණ දීමට සිදුවිය හැකියි.

    කෙසේ වෙතත් මේ suppression උපාය මාර්ගය භාවිතාකල යුත්තේ එමගින් විවරවන සහන කාලය window of opportunity සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමටත් මෙම වසංගතයට මුහුණදීමට අවශ්‍ය උපකරණ එක් රැස් කර ගනීමටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂයෙන් මෙම වසන්ගතයට ආරක්ශාකාරීව මුහුන දීමට අවශ්‍ය පුහුණු කිරීමට භාවිතා කලයුතු බවයි සාමන්‍ය අදහස. නමුත් ශ්‍රි ලංකාව මෙවෙනි කරුණු ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නොමැතිව ඉක්මනින්ම ජයග්‍රහණය සැමරීමේ යුධ මානසිකත්වයක සිටින බවයි මගේ නම් අදහස.

    ReplyDelete
  4. ආණ්ඩුවට මොකක් හරි ප්ලෑන් එකක් ඇති. ඉකොනෝට හිතෙන දේවල් ආණ්ඩුවට නොහිතෙන්න විදියක් නෑනි. එව්වා ගැන කල්පනා කරලා ඇති. හැබැයි ඇමරිකාවේ වගේ රටේ ඉදිරි තත්වය මෙහෙම වෙයි කියලා ලංකාවේ ආණ්ඩුව මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැහැ. අපි මෙන්න මෙහෙමයි මේක පාලනය කරන්න යන්නේ කියලා දැනුවත් කරන්නේ නැහැ රට්ටුන්ව. රට්ටු ඉතින් ගෙවල් වලට වෙලා ආණ්ඩුවට බැන බැන ඉන්නව අපිට කන්නත් නෑ,අරක්කු ඩිංගක් බොන්නත් නෑ, මුන් අපිව මේ හාමතේ මරන්නද කොහෙද යන්නේ, මුසල පාලකයෝ දෙන්නෙක් රටේ ජනාධිපති, අගැමති වෙලා රටට හෙන ගහ‍ලා කියකියා.

    ReplyDelete
  5. මැරිච්ච හූනෙකුටවත් බව වෙන්න ඕනේ නෑනේ දැන්. අර මංජුල පීරිස් කියලා තියෙනවා මැයි කවදද වෙනකොට මේක ඉබේම ඉවරයි කියලා. අපරාදේ බිල් ගේට්ස් එන්නතක් හොයන්න වියදම් කරපු සල්ලි.

    ReplyDelete
  6. ඇත්තටම ඉකොනො ගොඩක් භාණ්ඩ ලංකාවේ හදනවාට වඩා පිටරටින් ගේන එක ලාබයි නේද? විශේෂයෙන් කාර්යක්ෂම මහාපරිමාණ කර්මාන්ත හා ලාභ ශ්‍රමය තියෙන චීනය හා ඉන්දියාව වගේ රටවල්වලින්.?

    හැබැයි මම දකින විදියට ඇත්තටම ලාබයි තමයි මුලදී. මේක ජාත්‍යන්තර වෙළෙඳාමේ මූලික සිද්ධාන්තයක්. තමන්ට සාපේක්ෂ සඵලතාව (comparative advantage) නැති ක්ෂේත්‍ර වල දේවල් ආනයනය කරලා සඵලතාව ඇති දේ නිපදවලා පිටරට යවන්න උත්සාහ කරන්න ඕනේ කියලා කියන්නේ. මතකනෙ රනිල් "කුඹුරු ගොඩ කළ යුතුයි", රවී "වී වගාව නතර කර හාල් පිටරටින් ගෙන්විය යුතුයි" කිව්වේ මේ අනුව.

    නමුත් ජාත්‍යන්තර වෙළෙඳාමේදී ම අවධාරණය කෙරෙන දෙයක් තමයි ළදරු කර්මාන්ත තර්කය (infant industry argument). එනම් රටක කර්මාන්තයක් යම් දුරකට දියුණු වෙනකම් (until the achievement of economies of scale) ඊට රට තුළ ආවරණයක් හා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු බව.

    කොරියාවේ Samsung, Hyundai ඉන්දියාවේ Tata වැනි දැවැන්ත සන්නාම ඔය තත්ත්වයට ආවේ එසේ ආනයන වලින් එන තරගයට යම් කාලයක් යන තුරු ආවරණයක් ලැබුණු නිසා. 1978 දී ලංකාව ආර්ථිකය විවෘත කරන විට නොසිතූ, හෝ වුවමනාවෙන්ම නොසැලකූ මේ කරුණ නිසා තමයි අද දේශීය නිෂ්පාදන කර්මාන්ත ආනයන හා තරගකාරී නොවන මට්ටමක පවතින්නේ. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද ඉකොනො?

    Aravinda Karunaratne

    ReplyDelete
  7. "වෙනත් බොහෝ රටවල සිදු වූ අයුරින් දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්නම වැඩි නොවීම සැනසිල්ලට කරුණක්. එහෙත්, දිනකට හමුවන රෝගීන් ගණන එන්න එන්න අඩු වන බවක්ද පැහැදිලිව නොපෙනීම කණස්සල්ලට කරුණක්"

    හැබැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නන, මෙතෙක් කෝවිඩ් 19 යැයි තහවුරු නොකළ නමුත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව අඩුවෙමින්, තහවුරු කරනලද සංඛ්‍යාව වැඩිවෙන එකනම් එක්තරා විදියකට හිතට සහනයක්.

    ReplyDelete
    Replies
    1. https://hpb.health.gov.lk/covid19-dashboard/

      Delete
  8. //හැබැයි ඇමරිකාවේ වගේ රටේ ඉදිරි තත්වය මෙහෙම වෙයි කියලා ලංකාවේ ආණ්ඩුව මිනිස්සුන්ට දැනුම් දෙන්නේ නැහැ.//

    ආණ්ඩුව කියන දේවල්වලින් ගොඩක් කෙරෙන්නේත් නැති නිසා ඔහේ පලච්චාවේ කියලා මිනිස්සුගෙන් බාගයක් හිතනවා. අනෙක් බාගේ රටට- කාට හෙණ ගැහුවත් අපට මොකෝ කියලා වගේ- වගක් නැතිව ඉන්නවා. එහෙමයි මට නම් පෙනෙන්නේ.

    හරි යන ටිකට ක්‍රෙඩිට් ගන්න ඉදිරිපත් වෙන්නෝ ඕනේ තරම්. එත් වැරදුනු තීරණ ගැන තැවෙන- කියන අය මෙහෙ නැත්තේ අයි?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: