වෙබ් ලිපිනය:

Friday, April 24, 2020

නිවුයෝර්ක් නගරයේ 21%කට නොදැනම කොරෝනා හැදිලා!


කෝවිඩ්-19 ආසාදනය ඇතැම් අයට මාරාන්තික බව කවුරුත් දන්නා දෙයක්. එහෙත්, මේ වෛරසය ආසාදනය වන විශාල පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් හෝ පහළ වන්නේ නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් තමන්ට වෛරසය ආසාදනය වී නොදැනම සුව වී ඇති බව දන්නේවත් නැහැ. තමන්ට කෝවිඩ් ඇති බව සඟවාගෙන හිටියා කියා කෙනෙකුට චෝදනා කිරීම බරපතල වරදක් වන්නේ ඒ නිසයි.

සෑම රටකම වගේ කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කරන්නේ රෝග ලක්ෂණ පහළ වී ඇති අය හෝ ආසාදිතයින් ඇසුරු කළ අය වැනි වැඩි අවදානමක සිටින අය පමණයි. ඒ නිසා, මේ කාණ්ඩයේ ආසාදිතයින් කිසිදු රටක සංඛ්‍යාලේඛණ වලට මුළුමනින්ම ඇතුළත්ව නැහැ. එසේ සිටිනවානම් අයිස්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මහා පරිමාණයෙන් අහඹු කෝවිඩ්-19 පරීක්ෂා කරන රටක පමණයි.

දැනට බහුලව භාවිතා කරන පීසීආර් පරීක්ෂණ මඟින් කෙරෙන්නේ කෙනෙකුගේ නාසය හා උගුර ආශ්‍රිතව වෛරසය ඇත්දැයි පරීක්ෂා කිරීමයි. කෝවිඩ්-19 සඳහා ඇති අනෙකුත් පරීක්ෂාව ප්‍රතිදේහ පරීක්ෂාවයි. ප්‍රතිදේහ පරීක්ෂාවක ඇති වාසිය වන්නේ එමඟින් නොදැනම හෝ වෛරසය ආසාදනය වී ඇති අය මෙන්ම එසේ ආසාදනය වී සුව වුනු අයද හඳුනාගත හැකි වීමයි. මෙහිදී පරීක්ෂාවට ලක් වන්නේ කෙනෙකුගේ සිරුරේ කෝවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිදේහ සෑදී ඇත්දැයි යන්නයි.

නිවු යෝර්ක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ ප්‍රතිදේහ පරීක්ෂාවක මූලික අදියරේ ප්‍රතිඵල අද දින ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව, පෙනී ගොස් ඇත්තේ පරීක්ෂාවට ලක් වුනු නිවු යෝර්ක් නගර වැසියන්ගෙන් 21.2%ක පිරිසකගේ සිරුරු වල කෝවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවයි. සමස්තයක් ලෙස නිවු යෝර්ක් ප්‍රාන්තයේ පරීක්ෂාවට ලක් වූ අයගෙන් 13.9%කගේ සිරුරු වලින් ප්‍රතිදේහ හමු වී තිබෙනවා.

මෙසේ පරික්ෂාවට ලක් වූයේ මේ අවස්ථාවේදී රැකියාව සඳහා නොයන, එනම් අත්‍යාවශ්‍ය සේවයක නොනියැලෙන, කිසියම් අවශ්‍යතාවයක් සඳහා, බොහෝ විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා, නිවසින් පිටතට ගිය අයයි. වයස 18ට අඩු අය පරීක්ෂාවට ලක් කර නැහැ.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව නිවු යෝර්ක් ප්‍රාන්තයේ 13.9%කට වෛරසය ආසාදනය වී ඇති සේ සැලකුවහොත් එම ප්‍රමාණය මිලියන 2.7ක් විය යුතුයි. එහෙත්, දැනට හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය එම ගණනින් 10%ක් පමණයි. මෙයින් අදහස් වන්නේ හඳුනාගත් එක් ආසාදිතයෙකුට හඳුනා නොගත් ආසාදිතයින් දහ දෙනෙකු සිටින බව විය හැකියි. මේ පදනම මත සැබෑ කෝවිඩ්-19 මරණ අනුපාතය 0.5%ක් පමණක් විය හැකියි. මහා පරිමාණයෙන් ජනගහණ පරීක්ෂා කර ඇති අයිස්ලන්තයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ අනුපාතද තිබෙන්නේ 0.5% මට්ටමේ.

2 comments:

  1. නිව්යෝර්ක් වල ප්‍රධාන සංඟනායක ධුරන්දර බ්රුක්ලීන්වාසි අඟුනුකොළපැලැස්සේ චන්ද්‍රදෝති මහනායක ස්ථවරයන් වහන්සේ මගේ බාප්පා. මං උන්වහන්සේ සම්බන්ධ කරගත්තා දුරකතනය ඔස්සේ මේ දැන්. ලංකික අයට් කිසිසු ගැටළුවක් නෑ.

    ReplyDelete
  2. මම නම් මුල ඉඳලම හිටපු මතය තමයි.මේක සාමාන්‍ය flu තත්ත්වයක් කියන එක.රට වහලා ආර්තිකය කඩාගෙන විපාක විඳින්න වෙනකොට තේරේවි කරපු පිස්සුව.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: