වෙබ් ලිපිනය:

Thursday, April 16, 2020

අයිස්ලන්ත පරීක්ෂණය


අයිස්ලන්තය කියන්නේ ලංකාව වගේම මුහුදෙන් වට වූ දූපතක්. ප්‍රමාණයෙන් ලංකාව වගේ එකහමාරක් පමණ ලොකුයි. එහෙත් එරට ජනගහණය ලංකාවේ ජනගහණයෙන් හැටෙන් එකකටත් අඩුයි. ඒ කියන්නේ අයිස්ලන්තයේ එක් පුද්ගලයෙක් ඉන්නා ඉඩ ප්‍රමාණයේ ලංකාවේනම් මිනිස්සු සීයක් පමණ ඉන්නවා. ලංකාවට කටුනායක ගුවන් තොටුපොළ වගේම අයිස්ලන්තයට බාහිර ලෝකය සමඟ තිබෙන ප්‍රධානම සම්බන්ධය කැප්ලවික් ගුවන් තොටුපොළයි.

කෝවිඩ්-19 අභියෝගයට මුහුණ දීම හා අදාළව අයිස්ලන්තය සුවිශේෂී රටක්. ඒ අයිස්ලන්තය එරට නිරෝගී පුද්ගලයින්ද අහඹු ලෙස පරීක්ෂා කරමින් මේ වන විට රටේ ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කළ පුරෝගාමී රටක් බවට පත්ව සිටීම නිසයි. වෙනත් කිසිදු රටක් මෙතෙක් මෙපමණ විශාල අහඹු නියැදියක් පරීක්ෂාවට ලක් කර ප්‍රතිඵල ඉදිරිපත් කර නැහැ.

මේ වන විට අයිස්ලන්ත වැසියන්ගෙන් සෑම 9 දෙනෙකුටම අයෙක් කෝවිඩ්-19 පරීක්ෂාවට ලක් වී තිබෙනවා. මෙයට සාපේක්ෂව ඇමරිකානුවන් අතරින් පරීක්ෂාවට ලක් වී ඇත්තේ සෑම 100 දෙනෙකුටම අයෙක් පමණයි. ලංකාවේනම් තවමත් පරීක්ෂා කර තිබෙන්නේ සෑම 4500කටම එක් අයෙක් පමණයි.

අයිස්ලන්තයේ අහඹු නියැදි පරීක්ෂණය හා අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ඊයේ දිනයේ පළ වුනා. අදාළ පර්යේෂණයේදී ජනගහණ නියැදි දෙකක් හා ඉලක්කගත වැඩි අවදානම් නියැදියක්ද පරීක්ෂා කෙරුණා. ඉලක්කගත වැඩි අවදානම් නියැදියට අයත් වුනේ විදේශ සංචාරයක නිරත වූ, කෝවිඩ්-19 ආසාදිතයෙකු ඇසුරු කළ හෝ කෝවිඩ්-19 රෝගයට අදාළ කිසියම් හෝ රෝග ලක්ෂණයක් පෙන්වන අයයි. පළමු ජනගහණ නියැදියට ඇතුළත් වුනේ ස්වේච්ඡාවෙන් පරීක්ෂාව සඳහා ඉදිරිපත් වූ නිරෝගී අයයි. අහඹු ලෙස තෝරා ගෙන පරීක්ෂණය සඳහා සහභාගී කරගත් කණ්ඩායමක් දෙවන ජනගහණ නියැදියට ඇතුළත් වුනා.

ඉලක්කගත කණ්ඩායමේ  9199 දෙනෙකුගෙන් 1221 දෙනෙකු (13.3%) ආසාදිතයින් සේ හඳුනා ගැනුණා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී කණ්ඩායමේ 10,797 දෙනෙකු අතර ආසාදිතයින් 87 දෙනෙකු සිටියා. අහඹු නියැදියේ 2,283 දෙනෙකු අතර තවත් ආසාදිතයින් 13 දෙනෙකු සිටියා. මේ අනුව, පරීක්ෂාවට ලක් කෙරුණු හඳුනාගත් අවදානමක් නොතිබුණු 13,080 දෙනෙකු අතරද ආසාදිතයින් 100 දෙනෙකු හමු වුනා. මේ අයගෙන් 43 දෙනෙකුටම පසුව හෝ කිසිදු රෝග ලක්ෂණයක් පහළ වී නැහැ. එමෙන්ම ඉලක්කගත කණ්ඩායමෙන් හඳුනාගත් 83 දෙනෙකුටද රෝග ලක්ෂණ පහළ වී නැහැ.


2 comments:

  1. මහත්තයා අයිස්ලන්තේද වැඩ කරන්නේ?

    ReplyDelete
  2. මේ NEJM රිපෝට් එක 100% නිවැරදියි කියලා ඔබට වගකීමෙන් තහවුරු කරන්න ඕන. ඇමරිකන් පචවාහනී, Forbes වාර්තාව වගේ දේවල්ප නම් පට්ට පල් බොරු කියලා හැමෝටම කියන්න. හරියට මහබැංකු කොල්ලය පිළිබඳව රනිල් පත්කරපු UNP නීතිඥයන්ගේ හෝ පාර්ලිමේන්තු මහබැංකු කොමිසම් වාර්තාව වගෙයි. මේ වාර්තාවේ ඉහලින්ම තියන යුරෝපයේ ආරක්ෂිතම රටවල් 10 අතර නෙදර්ලන්තය 28,150 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 0.9% සහ 11% මැරිලා. ඊළඟට නොර්වේ 6798 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 0.5% සහ 2.2% මැරිලා. ඊළඟට බෙල්ජියමේ 33573 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 21% සහ 13.2% මැරිලා. ඊළඟට Czechia 6301 කට කොරෝනා හැදිලා සුවවෙලා තියෙන්නේ 13.% සහ 2.6% මැරිලා. (මුලාශ්‍රය coronavairusupdate live)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: