වෙබ් ලිපිනය:

Tuesday, May 12, 2020

කුඹුරට තල්ලු කිරීම හා කුඹුරෙන් ගොඩගැනීම


ලංකාවේ කෘෂිකර්ම, වන හා ධීවර අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,215,128ක්. ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක්. ගණන් ආසන්නව සමානයි.

ඇමරිකාවේ බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක් පමණයි. ලංකාවේ බෝග වගාවේ යෙදෙන ප්‍රමාණය මට සොයා ගත හැකි වුනේ නැහැ. නමුත්, එම ප්‍රමාණය ඉහත ගණනින් 70%ක් පමණවත් වේයැයි හිතන්න පුළුවන්.

ලංකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,300,000ක්. මේ ගණන ඉහත ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 1.45ක් වැටෙනවා. ඉහත ශ්‍රමිකයන් ගණනට ධීවරයින්ද ඇතුළත් නිසා අක්කර ගණන 2ක් පමණ කියා හිතන්න පුළුවන්. ලංකාවේ කුඹුරු ඉඩමක සාමාන්‍ය ප්‍රමාණයත් අක්කර දෙකයි.

ඇමරිකාවේ වගා කළ හැකි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 152,262,500ක්. ශ්‍රමිකයින් ගණනින් බෙදු විට එක් ශ්‍රමිකයෙකුට අක්කර 298.25ක්. අක්කර 300ක් කියමු.

ලංකාවේ ගොවියාගේ මූලිකම ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. කොයි තරම් කාර්යක්ෂම වුනත් අක්කර 300කින් ගන්න අස්වැන්න අක්කර දෙකකින් ගන්න බැහැ. ලංකාවේ වගා කළ හැකි ඉඩම් සියල්ලම වගේ මේ වන විටත් වගාව සඳහා යොදා ගෙන අවසන් නිසා මේ ප්‍රමාණය වැඩි කරන්නත් බැහැ.

ඉඩම් වැඩි කරන්න බැරිනම් කරන්න වෙන්නේ ගොවියන් අඩු කරන එකයි. එක් ගොවියෙකු සතු ඉඩම් ප්‍රමාණය ඇමරිකාවේ තරමට වැඩි කරන්නනම් ශ්‍රමිකයින් ගණන 11,000ක් පමණ දක්වා අඩු කරන්න වෙනවා. එවැන්නක් හදිසියේ කළ නොහැකි බව ඉතා පැහැදිලියි. නමුත්, කළ යුත්තේ ක්‍රමක්‍රමයෙන් කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ සලසන එකයි.

කෘෂිකර්මයෙන් ශ්‍රමිකයන් ඉවත් වෙන්න ඉඩ හැරීම කියන එකෙන් අදහස් වෙන්නේ රට කෘෂිකර්මයෙන් ඉවත් වීම හෝ ගොවීන් පාරට ඇද දැමීම නෙමෙයි. කෘෂිකර්මයට වඩාත්ම කැමති හා වඩාත්ම දක්ෂ පිරිසට රැඳෙන්න හැර අකමැත්තෙන් ගොවිතැන් කරන අයට වඩා ඵලදායී වෙනත් කටයුත්තක නිරත වෙන්න ඉඩ හැරීමයි. ගොවියාගේ ජීවන තත්ත්වය උසස් වෙන්නනම් එය අනිවාර්යයෙන්ම විය යුතුයි.

මේ විදිහට ශ්‍රමිකයින් කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන්නේ එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයෙන් ශ්‍රම හිඟය පියවෙනවා කියන එකයි. එවිට අස්වනු ඵලදායීතාවයත් ඉහළ යනවා. එයින්ද ආදායම් වැඩි වෙනවා.

මේ වැඩේ කවුරුවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රමිකයින් බලෙන් එළියට ඇද දමා ඔවුන්ට යහපතක් කරන්න බැහැ. කළ යුත්තේ කෘෂිකර්මය නැංවීමේ ලේබලය යටතේ කර්මාන්තයේ දැනට සිටින ශ්‍රමිකයින් එහිම හිර කර තබන එකෙන් වැළකී සිටීමයි. ගොවියා රැක ගැනීමේ අරමුණින් කියා කරන බොහෝ දේවල් වලින් වෙන්නේ ගොවියාව මේ කර්මාන්තය ඇතුළේ කූඩු කෙරෙන එකයි.

රටක් ආර්ථික වශයෙන් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික අංශය ක්‍රමයෙන් හැකිලෙන එක අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. රටේ කෘෂිකාර්මික අංශය ගොඩක් විශාලයි කියා කියන්නේ ඒ රටේ මිනිස්සු කනවා බොනවා හැර වෙනත් ජීවිතයක් නැති බවයි. කෘෂිකාර්මික අංශය 10%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් දහ ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි.  කෘෂිකාර්මික අංශය 1%ක් කියා කියන්නේ කන බොන දේ මෙන් සිය ගුණයක් වෙනත් දේවල් පරිභෝජනය කරනවා කියන එකයි. මේක හරියටම මේ විදිහටම නොවුණත් කතාව මේ වගේ එකක්.

රටක කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ රටේම මිනිස්සුන්ට කන්න දෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය හදන්න අවශ්‍ය මිනිස්සු ගණන අඩු වෙනවා කියන එකයි. වෙන දේවල් කරන්න ශ්‍රමය නිදහස් වෙන්නේ එතකොටයි.

පැරකුම් යුගයේ වැව් අමුණු හදන්න ශ්‍රමය නිදහස් වුනේ ගොවිතැන් කළ පිරිසට රටටම කන්න දෙන්න පුළුවන් වූ නිසා. ඇමරිකාව කන බොන දේ හදා ගන්නවාට වඩා තව ගොඩක් දේවල් කරන්නේ රටේ ඉතා සුළු පිරිසකට රටටම කන්න දෙන්න පුළුවන්කම තිබෙන නිසා.

වී ගොවිතැන ඕනෑ නැහැ. අපි තේ වගේ වෙන දෙයක් ගනිමු. කලින් පෝස්ට් එකේ විස්තර කරපු පරිදි ආහාර අපනයනයෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ තේ වලින්නේ.

දැන් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් වගේනේ. අපි හිතමු තව අවුරුදු දහයකින් ඕක 8000ක් වුනා කියලා. සමාජ සාධාරණත්වය ගැන හිතනවානම් තේ ශ්‍රමිකයෙකුගේ ආදායමත් අඩු වශයෙන් දෙගුණ විය යුතුයිනේ. එතකොට තේ කර්මාන්තයේ පිරිවැයට මොකද වෙන්නේ? කර්මාන්තය පවතින්න පුලුවන්ද?

අනිවාර්යයෙන්ම බැහැ. තව අවුරුදු දහයකට පස්සේ තේ කර්මාන්තය පවතින්නනම් අනිවාර්යයෙන්ම යාන්ත්‍රීය ලෙස දළු කඩන්න වෙනවා. එවිට දැන් ඉන්න ශ්‍රමිකයින්ගෙන් සෑහෙන පිරිසකට රැකියා අහිමි වෙනවා. ඒ අයට කරන්න මොනවා හෝ රැකියා ජනනය විය යුතුයි. මොකද රටෙන් බාගයකගේ ආදායම දෙගුණ වෙලා අනිත් බාගයට රස්සා නැති වෙනවා කියන්නේ රට එතැනමයි. රටේ ආදායම දෙගුණ වෙනවා කියන්නේ කාගේත් වාගේ ආදායම දෙගුණ වීමයි.

ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් වන, ධීවර හා දඩයම් අංශද ඇතුළුව කෘෂිකාර්මික අංශයේ රැඳී ඉන්නේ 1.5%ක් පමණයි. ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයට ඒ අයගේ දායකත්වය ඩොලර් බිලියන 169.2ක්. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය මෙන් දෙගුණයක් පමණ වුවත් ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. ඉතිරි 98.5% කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) රැකියා කරමින් දළ ජාතික නිෂ්පාදිතයෙන් 99.2%කට දායකත්වය සපයනවා.

ලංකාවේ කෘෂිකාර්මික අංශය ශ්‍රම බලකායෙන් 25.8%ක්. එහෙත්, ඔවුන්ගෙන් දළ ජාතික නිෂ්පාදිතයට තිබෙන දායකත්වය 7.4%ක් පමණයි. කර්මාන්ත හා සේවා අංශ වල (රාජ්‍ය අංශයද ඇතුළුව) සේවය කරන එමෙන් තුන් ගුණයක පිරිස දළ ජාතික නිෂ්පාදිතයෙන් 93.6%කට දායකත්වය සපයනවා.

ලංකාව ගත්තත් ඇමරිකාව ගත්තත් එක දෙයක් ඉතා පැහැදිලියි. කෘෂිකර්මයෙන් ඉවත් වන පිරිස් වඩා ඵලදායී වෙනත් රැකියා වල යෙදෙනවා මිස කරන්න වැඩක් නැතුව වේලෙන්නේ නැහැ. ඒ වගේම, ඒ පිරිස ඉවත් වුනා කියා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සමස්ත නිෂ්පාදිතය හෝ ඵලදායීතාවය අඩු වෙන්නේත් නැහැ.

ධනවාදී ක්‍රමයක් පවතිද්දී ශ්‍රමිකයෙක් කෘෂිකර්මයෙන් ඉවත් වී වෙනත් අංශයක රැකියාවකට මාරු වෙන්නේ එය තමන්ට වඩා වාසිදායක නිසා. ඒ වගේම තවත් ශ්‍රමිකයෙක් එසේ ඉවත් නොවී කෘෂිකර්මයේම රැඳී සිටින්නේත් එය තමන්ට වඩාත්ම වාසිදායක නිසා. ඇතැම් අවස්ථා වලදී මෙය අඩු නරක තෝරා ගැනීමක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ යම් පුද්ගලයෙකු සතු කුසලතා හා රටේ තිබෙන විකල්ප මතයි.

ලෝකයේ හැම රටක්ම වගේ පටන් අරන් තිබෙන්නේ කෘෂිකාර්මික රටවල් විදිහටයි. රටක ආර්ථිකය ටිකෙන් ටික දියුණු වන විට කෘෂිකාර්මික අංශයත් ටිකෙන් ටික හැකිලෙනවා. එය වඩා වේගයෙන් වෙනවා කියා කියන්නේ රටක් වඩා වේගයෙන් දියුණු වෙනවා කියන එකයි. හැබැයි මෙහිදී කෘෂිකාර්මික අංශය හැකිලෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ එම ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් ප්‍රමාණය අඩු වෙනවා කියන එක මිසක් කෘෂිකර්ම අංශයේ සමස්ත නිෂ්පාදිතය අඩු වෙනවා කියන එක නෙමෙයි.

රටේ ආර්ථිකය ඉදිරියට යොමු කරවන දේශපාලනයක ඉලක්කය විය යුත්තේ කෘෂිකර්මය වෙත තවත් වැඩි වැඩියෙන් පිරිස් යොමු කරවන එක නෙමෙයි. එසේ කිරීමෙන් වෙන්නේ එම ක්ෂේත්‍රයේ දැනටමත් ඉන්න ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය තවත් පහත වැටෙන එකයි. ඒ වෙනුවට, වෙනත් ක්ෂේත්‍ර වල රැකියා බිහි වී ඒ හරහා ඉහළ යන ආදායමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටනම් කෘෂිකාර්මික ශ්‍රමිකයන්ට වන්නේ යහපතක්.



27 comments:

  1. චීන කොමිනිස්ට් පක්ෂය දින 60 ක් තුල ඇමරිකානු ආර්ථිකය බිම දැමුවා..! -ධවල මන්දිර වෙළඳ උපදේශක

    වෛරසය බිහිවූ වූහාන්හිම P4 චීන අවි පර්යේෂනාගාරයකුත් තියෙනවා..

    ධවල මන්දිර වෙළඳ උපදේශක පීටර් නවාරෝ පවසන පරිදි චීන කොමිනිස්ට් පක්ෂය කොරෝනා වෛරස ව්‍යාප්තිය හසුරුවන ලද ආකාරය මගින් දින 60 ක් වැනි කෙටි කලක් තුල ඇමරිකානු ආර්ථිකය විනාශය කරා ඇද දමා ඇත.

    ෆොක්ස් නිව්ස් නිවේදිකා මරියා බාටිරෝමෝ සමග සම්මුඛ සාකච්ඡාවක දී නවාරෝ පැහැදිලි කළ පරිදි, ව්‍යාප්තිය වසන් කිරීමට උත්සාහ කිරීම මගින් හා ආසාදිත චීන ජාතිකයන් හට අවහිරයකින් තොරව ලොව පුරා ගමන් කිරීමට සැලසීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂය වෛරසය ලොව පුරා පැතිරවීමට ඉඩ සලසා ඇත.
    වෛරසය බිහිවූ වූහාන්හිම චීන අවි පර්යේෂනාගාරයකුත් තියෙනවා..

    "නොවැම්බර් මස මැද වන විට පළමුවන රෝගියා චීනයෙන් වාර්තා වූ බව දැන් අපි දනිමු. ඒ වුහාන් නගරයේ. පී4 (P 4) අවි පර්යේෂණාගාරය පිහිටා තිබෙන්නේද මෙම වෛරසය ජනිත වූ වූහාන්හිම බව අපි දනිමු." යයි නවාරෝ පැවසීය.

    "ඊ ළඟ මාස දෙක තුල ලෝක සෞඛ්‍යය සංවිධානයට මුවාවී වෛරසය ලෝකයෙන් වසන් කිරීමට චීනය කටයුතු කළා. එසේ කරන අතරම වුහාන් සිට වෙනත් චීන නගර වෙත පියාසර කිරීම අත්හිට වූ දිලිසෙන චීන ගුවන් යානා නිව්යෝර්ක්, මිලාන් වැනි නගර වෙත පියාසර කරමින් වසංගත බීජ ලොව පුර ව්‍යාප්ත කළා " යි ආර්ථික විශාරදයකු මෙන්ම කතුවරයකුද වන නවාරෝ වැඩිදුරටත් පැහැදිලි කළේය.
    චීනය වෛරසයෙනුත් කැත ලාභයක් ලැබුවා..

    නවාරෝ ප්‍රකාශ කරන පරිදි රේගු වාර්තා වලින් දැක්වෙන ආකාරයට චීන කොමිනිස්ට් පක්ෂය ලොව පුරා තිබූ බිලියන 2 ක් පමණ වූ මුඛ ආවරණ ඇතුළු සියලුම පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) තම භාරයට ගැනීමට කටයුතු කළ අතර එම උපකරණ ලොව පුරා නැවත අලෙවි කිරීම මගින් අධික ලාබ ඉපයීමට ද කටයුතු කර තිබේ. තවද කොරෝනා වෛරසය චීනයේ හටගත් බව ප්‍රතික්ෂේප කිරීමට සමහර රටවලට බල කළ අතර තායිවානය ගැන කතාකිරීම ද තහනම් කරන ලදී.

    සිදුවීම කෙටියෙන් එසේ සිදුවූ අතර චීන වෛරසයේ බලපෑම නිසා ඇමරිකානුවන්ට අද උදෑසන දේවස්ථානයට යාමට නොහැකි වී ඇත. ඇමෙරිකානු දූ දරුවන්ට මේ මවුවරුන්ගේ දිනයේ සිය මෑණිවරුන් උදෑසන ආහාරය සඳහා පිටතට රැගෙන යාමට නොහැකි වී ඇත. හෙට උදෑසන මිලියන 33 ක් ඇමරිකානුවන්ට යාමට රැකියාවක් නොමැති වී ඇති අතර, පාසල් ගොස් ලිවීම, කියවීම සහ අංක ගණිතය ඉගෙන ගතයුතු මිලියන ගණනක් වූ ඇමෙරිකානු දූ දරුවන්ට සිය නිවසට වී බිත්ති නැගීමට සිදුව ඇතැයි නවාරෝ වැඩි දුරටත් පැවසීය.

    පසුගිය වසර 3 තුල ලොව ශක්තිමත්ම සහ ආකර්ශනීයම ආර්ථිකය ගොඩ නැගීමට ජනාධිපති ට්‍රම්ප් සමත් වූ අතර චීන කොමිනිස්ට් පක්ෂය දින 60 ක් තුල එය විනාශ කිරීමට සමත්ව ඇතැයි ධවල මන්දිර වෙළඳ උපදේශක වරයා අවසාන වශයෙන් පැවසීය.
    චීන කොමියුනිස්ට් පක්ෂය නිසා ලෝ වැසියන් 2,80,000 ක් දැනට මිය ගියා..

    එපොක් ටෛම්ස් පුවත් පත මීට පෙරත් වාර්තා කොට ඇති පරිදි, නොවැම්බර් මස හෝ දෙසැම්බර් මස ආරම්භය වන විට වෛරසය මගින් ඇති කරන කොවිඩ් 19 (KOVID 19) අසාදන තත්වය වුහාන් පළාත තුල පැතිර යන බව චීන කොමිනිස්ට් පක්ෂය දැන සිටි නමුත් එය සෙසු ලෝකයෙන් වසන් කිරීමට ඔව්හු දැනුවත්ව කටයුතු කළහ. පැතිර යන උවදුර ගැන අනතුරු ඇඟවීම් කළ වෛද්‍යවරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ චීන බලධාරීන් සුපුරුදු ප්‍රබල පුවත් වාරණය මගින් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුලින් වෛරසය ගැන පුවත් පළවීම අවහිර කරන ලදී.

    චීන කොමිනිස්ට් පක්ෂය මෙසේ ක්‍රියා කිරීම හේතුවෙන් වෛරසය අද ලෝක වසංගතයක් දක්වා වර්ධනය වී ඇති අතර දෙලක්ෂ අසූ දහසකට (2,80,000) අධික ලෝවැසියන් පිරිසක් මිය ගොස් ඇමරිකාව ඇතුළු රටවල් රැසක ආර්ථිකය විනාශය කරා ඇද දමා ඇත.

    ට්‍රම්ප් ජනාධිපතිවරයා මැයි මස 3 වන දා ප්‍රකාශ කළ පරිදි ලෝක වසංගතයක් ඇතිවීම සඳහා චීනය තුල වූ සිදුවීම් පිලිබඳ ප්‍රබල වාර්තාවක් ළඟදීම එළිදැක්වෙන අතර මෙය පැතිරයාම තුලින් චීන කොමිනිස්ට් පක්ෂය අවමානයට ලක්ව ඇති බවත්, ආසාදිත චීන ජාතිකයන්ට වූහාන් සිට ලොව පුරා ගමන් කිරීමට ඉඩ දීම මගින් සෙසු ලෝකයාට ඉතා නරක ලෙස සලකා ඇත.

    -මැයි 11 දා එපොක් ටෛම්ස් පුවත් පතේ පළවූ White House Trade Adviser Says Chinese Communist Party Took Down US Economy in 60 Days

    ReplyDelete
    Replies
    1. මේ නිවුස් එක ඇත්තද? එහෙනම් මේ බ්ලොග් එකේ ලියනවා වගේ හොද තරඟකාරී, විවෘත,දොරගුළු නොවසා සිදුකල ආර්ථිකයක් ඇමරිකාවේ නැහැනි. චීනේ දවස් 60 න් එක බිමට සමතලා කරලනි. බලං ගියාම ඕනිවට වඩා අරින්නත් හොද නෑ වගේ (ආර්ථිකේ).

      Delete
    2. මිතුර, චීනයෙන් පිටත මුද්‍රිත සහ e form එකෙන් පලවන The Epoch Times පුවත් පත අත්‍යන්තයෙන්මම චීන කොමියුනිස්ට් පක්ෂයට (CPC) විරුද්ධව ලෝක ජනමතයක් ඇති කිරීමට පලවන පුවත් පතක්. Falun gong මිතුරන් මඟින් ඒ පුවත් පත මට කියවන්නට ලැබෙනවා. එහි පලවන තොරතුරුවල සත්‍යාසත්‍යතාව ගැන මම ඒ මිතුරන්ගෙන් ඇසූ විට ඔවුන් කියන්නේ එහි පලවන තොරතුරු 100% ම වැරදි හෝ ව්‍යාජ ඒවා නොවන බවයි.

      මගේ පුද්ගලික මතය සහ දැක්ම නම් ET පුවත්පත විවේචනය කරන්නේ CPC එක මිස චීනයේ කොල්ලකාරී රාජ්‍ය ධනවාදය නොවේ. බොහොමයක් රටින් පිටස්තරව ඉන්න චීන්නු CPC එකට විරුද්ධ වුනාට චීන ක්‍රමයට විරුද්ධ නැහැ. උන්, උන්වම රවටා ගන්නවා CPC ය සහ චීන ක්‍රමය යනු දෙකක් ය කියලා.

      චීනා ලෝකයේ දේශපාලනය කරන්නේ ethics නැතුව. 1971 කැරැල්ල පරාජය කරන්න මාඕ, සිරිමාට නැව හරවං ඇවිත්පු ආයුධ දීලා ගියා කියලා Robin Blackburn ලියලා තිබුන බව මට මතකයි.

      ලංකා- ඊලාම් යුද්ධය තුල ප්‍රභාකරන්රව තීණාත්මකව පරාජය කරන්න චීන සාධකය බෙහෙවින් ඉවහල් වූ බව අපි කාටත් අමතක නැහැනේ.

      අවසාන ලෙස කියන්න තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව තුල තියෙන්නේ තරඟයට ඉඩ දෙන ආර්ථිකයක්. හැබැයි චීනා එ තරඟයේ නීති රීති උල්ලංඝනය කරනවා කැත නැතුව.
      මේ සම්බන්ධව ඉකොනො මිතුරා මොනවා කියයිද කියා බලමු.

      CP-C (CPC නෙවේ��)

      Delete
    3. මම ET කියවලා නැහැ. ඒ නිසා එහි මතවාදය ගැන මම දන්නේ නැහැ. CPCය සහ චීන ක්‍රමය යනු දෙකක්ය කියා මමත් හිතන්නේ නැහැ. චීන ක්‍රමය කියන්නේ CPCයම තමයි. අනෙක් කරුණු ගැනත් අඩු වැඩි වශයෙන් එකඟයි.

      //අවසාන ලෙස කියන්න තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව තුල තියෙන්නේ තරඟයට ඉඩ දෙන ආර්ථිකයක්. හැබැයි චීනා ඒ තරඟයේ නීති රීති උල්ලංඝනය කරනවා කැත නැතුව.//

      මෙතැන ප්‍රශ්නය මේ තරඟයේ නීති ඇමරිකාවේ හා කැනඩාවේ (හා තවත් රටවල) නීති මිසක් චීනාගේ නීති නෙමෙයි. ඒ නිසා චීන දෘෂ්ඨි කෝණයෙන් අවුලක් නැතුව ඇති. ඒ නිසා අවසාන වශයෙන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ බලය මත. අනෙත් කරුණ චීනා කරන ගොඩක් දේවල් කරන්නේ රටක් විදිහට චීනයේ යහපතට. ඒ කරුණේදී ඇමරිකාවත් එහෙමයි. එහිදී අනෙක් රටවලට සිදු වන හානි ගැන සැලකිල්ල යොමු වන්නේ අඩුවෙන්. උදාහරණයක් විදිහට චීනයේ රජයේ නිලධාරියෙක් කොමිස් ගත්තොත් ඔහුට බොහෝ දුරට දඬුවමකට ලක් වෙන්න වෙනවා. නමුත්, වෙන රටක රජයේ නිලධාරියෙකුට කොමිස් දෙන්න චීනය පැකිලෙන්නේ නැහැ.

      Delete
    4. චීනය කියන්නේ ලංකාව තුල සිංහල සංස්කෘතියට හිමිවියයුතු විශේෂත්වය පිලිගන්න රටක්.
      ඇමරිකා ඔරුමත්තුනාඩුව කියනනේ සිංහලයන්ට හිමිතැන අහිමිකරන රටක්.
      ඒ නිසා චීනය සිංහලයාගේ මිතුරෙක්.

      Delete
    5. \\ඒ නිසා චීන දෘෂ්ඨි කෝණයෙන් අවුලක් නැතුව ඇති\\ :)
      We fed the tiger, and created a monster’ — Pat Buchanan on China

      Delete
    6. # AnonymousMay 12, 2020 at 6:47 PM,CP-C (CPC නෙවේ��)

      කවුද ඔයි තමුසෙගෙන් ඇහුවේ? අනුන්ගේ කොමෙන්ට් අස්සේ රෙන්# නැතිව ඉදහන්. කොමෙන්ට් එක ටයිප් කරලා තියෙන විදිය බලපන්කෝ. රියල් පී ඩයල් එකක් වගේ.

      Delete
    7. 1. මිතුර, මගේ comment එක නිසා ඔබට අවැඩක් වූවා නම් සමා වන්න. මම කිසිවකුටවත් humilate කිරීමේ අදහසකින් නොවේ , එය ලියූවේ. ඉකොනෝ විසින් ලියමින් යන මේ මතවාදීමය ලිපි පෙලට හරවත් ලෙස confront වෙන්න මට තිබූ උවමනාවටයි. කෙසේ වෙතත් ඔබ රියල් පී ඩයල් එකක් සහ රෙන්# ලෙස හැඳින්වූයේ කුමක්දැයි පහදන්නේ නම් මැනවි.

      2 @ අන්තෝනියෝ.
      චීනය, ලංකාවේ මිතුරකු නම් ඇයි මිතුරේ හම්බන්තොට වරාය මැද්දට විසාල ගලක් දාලා වරාය හැදුවේ? ඒ ගල යාලුකම වැඩිවෙලා දැක්කේ නැද්ද?

      I wonder you guys see this comment of mine , since we are passing ahead.
      CP-C

      Delete
  2. පිස්සු ඩබල් වුණා.... කමෙන්ට් එකත් කියෙව්වම. තෝරු මෝරු යුද්ධ කරද්දී හාල්මැස්සන්ට මොනවා වෙයිද?

    ReplyDelete
  3. ලංකාවේ ග්‍රාමිය දුප්පත්කම සහ වී වගාව අතර ඇත්තේ ඍජු සම්බන්දකමක්.ගම දුප්පත් වි ඇත්තේ වි වගාව නිසයි.ලංකාවේ වි ගොවියා කරන්නේ අවුරුද්ද කෑමට වී ටිකක් තබාගෙන ඉතුරු කොටස විකුණා සරළ දිවි පෙවතක් ගෙනයාම.ලංකාව වී වගාවෙන් සම්පූර්ණයෙන් ඉවත්වනවා යැයි අපි උපකල්පනය කලහොත් එයින් ග්‍රාමිය ආර්ථිකයට හොදක් මිසක් නරකක් වන්නේ නෑ.ඔබේ සන්සන්දනය කිරිම ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ඇති දියුණු රටක් හා සන්සන්දනය කරා නම් මෙය තවත් හොඳින් පැහැදිලි වෙනවා.

    ReplyDelete
  4. පතහෑලි ලියන්න කියවන්න කම්මැලි.කෙටියෙන් කියන්නේ.මේ ලිපි වල සදහන්ව නැහැ ලංකාවේ වගා හානිය.ඒක බරපතල වරදක් වගේම, සංක්‍යා ලේඛන වලටත් බලපාන දෙයක්. සාමාන්‍යයෙන් 40 % ක පමණ වාර්ෂික වගා හානියක් වන සතුන් නිසා ලංකාවේ සිදු වනවා. ඉන්පසු පසුඅස්වනු හානියත් සැලකියයුතු තරම් ඉහලයි. සාමානයෙන් වගා අස්වැන්නෙන් 50 % ක් පමණම අපතේ යන්නේ. අස්වැන්නේ අඩුවක් නැහැ. ඒක පාරිභෝගිකයා අතට එන්නේ නැති එකයි ගැටලුව.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලිපිය සැලකිල්ලෙන් කියෙවුනම් ඔබට තේරෙයි අස්වැන්නට 50%ක් එකතු වුනා කියා ගොවියෙකුගේ ආදායම විශාල ලෙස ඉහළ නොයන බව. ඇත්තටම කියනවානම් ඔය නාස්තිය නැති වුනත් මිල සාධකය නිසා ආදායම ඉහළ යන්නේ 50%කටත් වඩා ගොඩක් අඩුවෙන්. මෙය නාස්තිය අඩු කිරීමේ වැදගත්කම අවතක්සේරු කිරීමක් නෙමෙයි.

      Delete
    2. දිගට ලියන්න කියවන්න කම්මැලි නිසා කෙටියෙන් කිව්වේ ඔබට පැහැදිලි වෙයි කියලා. මිල කියන සාධකයටත් බලපානවා 50% ක් වගේ අස්වැන්න එකතු උනාම. මොකද එහෙම උනාම දැන් වෙළදපොලට දාන බෝග ප්‍රමාණය වගා කරන්න මිට වඩා සැහෙන තරම් අඩු ඉඩම් ප්‍රමාණයක්, අඩු ශ්‍රමයක්, අඩු කෘෂිබීජ,අඩු පොහොර යන්නේ. අනික මෙහි ඇමරිකාවේ සහ ලංකාවේ අස්වනු සංසන්දනය කර තිබුනා. එහිදී උනත් තර්ක කරන්න පුළුවන් හානි උනත් ලංකාවේ අස්වැන්න මීට වඩා තියෙනවා කියලා. වැඩේ වෙන්නේ ඒක වෙළදපලට නොයෙන එක.

      Delete
    3. වගා හානි හා අතරමැද සිදු වන නාස්තිය ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු.

      Delete
    4. නමුත් අස්වැන්නෙන් 50% යනු සැලකිය යුතු ප්‍රමාණයක් නොවෙිද? එය අඩු/ වැඩි වීම අවසාන ආදායමට බලපෑමක් නොකරන්නේ කෙසේද?

      Delete
    5. පැහැදිලිවම බලපෑමක් තිබෙනවා. මම කියන්නේ එසේ නොවන බව නෙමෙයි. අපි කියමු මුළු අස්වැන්නෙන් 50%ක් නාස්ති වෙනවා සහ මොනයම් හෝ ක්‍රමයකින් හෝ ඒ නාස්තිය නැති කරගන්න පුළුවන් කියා. එසේ කරලා ආදායම දෙගුණ කර ගත්තා කියමු. නමුත්, එසේ කළා කියා අක්කර දෙකක් අයිති ගොවියෙකුට අක්කර 300ක් අයිති ගොවියෙකුගේ ආදායම කිට්ටුවකටවත් එන්න බැහැ.

      Delete
    6. copied that.
      Thanks.

      Delete
  5. ජනගහනය අඩු කිරීම හොඳ නැද්ද? කොහොමත් ටික කාලයක් කට්ට කන්න වෙනවා වැඩිහිටි ජනගහනය වැඩි වීමෙන්. නමුත් ගැටළුව නම් දූපතක්වන අපේ රටේ භූමි ප්‍රමාණය වැඩි නොවන බව රටේ ජනතාවට තේරුම් නොයෑමයි. තව අවුරුදු සීයකින් බොන්න ගන්න මුහුදු වතුර පිරිසිදු කරන්න වේවි.

    ReplyDelete
    Replies
    1. පසුගිය වසරේ ලංකාවේ ජනගහණ වර්ධනය 0.5%ක් පමණයි. එය ඉතා අඩු මට්ටමක්. ජනගහණය ඕනෑවට වඩා වැඩියෙන් වර්ධනය වීම ප්‍රශ්නයක් වුනත්, ගොඩක් අඩු වුන විට වෙන්නේ කිසියම් කාලයකදී වයස්ගත ජනගහණයට සාපේක්ෂව ශ්‍රම බලකාය ගොඩක් අඩු වෙන එකයි. එයත් හොඳ දෙයක් නෙමෙයි.

      Delete
  6. ලංකාවේ අපනයන භෝග වලින් සෑහෙන ලාභයක් නැත්තේ නෑ. මේ බලන්න ධම්මික පෙරේරා මේ කියන දේවල් බොරු නෙවෙයිනේ...

    https://www.facebook.com/102555518004572/posts/140172080909582/?app=fbl

    ReplyDelete
  7. ආහාර ආනයනය සහ අපනයනය ගැන කතාකරන විට වැදගත්විය හැකි (පරණ) දත්ත යම් ප්‍රමාණයක් මෙතන තියෙනවා.
    එකේ හැටියට (බොහොම high profile වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක වූ පසුත්) ලංකාව කුරහන්, කොමඩු, කජු, පේර, පිපිඤ්ඤ සියඹලා, කහ, ඉඟුරු වගේ දේවලුත් ටොන් ගණනින් රටින් ගෙනල්ලා.

    ReplyDelete
  8. මේක මතුපිටින් පේනවට වඩා සන්කීර්න ප්‍රශ්නයක්. ඉකොනො එක ඉතා සරලව අපිට තේරෙන විදියට ලිහමින් ඉන්නවා.

    ReplyDelete
  9. අපේ තාත්තලා වගාවට බැස්ස 1950 කාලේලංකාවේ කුඹුරට බැස්සේ ඇත්තටම හොද දක්ෂයින්පිරිසක්. අද වෙද්දි ගණන් ෆේල් අට වසර වත් පාස් නැති ගෙදර ඉන්න අමුම මැට්ටා තමයි ගොවිතැනට සෙට් වෙන්ේන්.. ශූර හැකියාවක් තියෙන ඉස්කෝල වැඩට දක්ෂයා රාජගිරියේ ගෙයක් හදාගෙන පොඩි මරුති කාර් එකක් අරගෙන කොම්පැනියක වැඩ කරනවා.

    ඉතින් මේ නූගත් කුඹුරු ගොවියා මොකද කරන්නේ ඔහේ යන විදිහට වැනි වැනී දුප්පතෙක් විදිහටම වැඩ කරනවා. ඇතැම්විට ඔහු අමාරුවෙන් තනියෙන් ගොවිතැන් කරනවාට වඩා ඔහුට ලාබයි කාගේ හරි කුලි වැඩක් කරන එක. ඒත් උදැල්ල හෝදන අත රට පාලනය කරන්න සුදුසුයි කියලා ගෝබබයෝ කියවන නිසා ඔහේ ගොවිතැන් කරනවා.

    ලංකාවේ ගොවිතැන සහ ධීවර කර්මාන්තය තුල දැනට ඉන්නේ හාල්මැස්සෝ විතරයි. තෝරු මෝරු මෝල් කාරයෝ හොද ධීවර වෙලෙන්දෝ උන්නත් ඒ අය නිකං ගමේ එක්තරා පරිමාණ චන්ඩි ටිකක් විතරයි. එතනින් එහාට එයාල ලොකු බිස්නස් බුවාල හෝ සරු ඩෑල් නෙමෙයි. බුද්දි ගලන නිසා හෝ මොකක් හෝ නිසා හැම ක්සේත්‍රයකම දේසපාලනයේදි වගේම ලොකු වෙලා ඉන්නේ නියම බුවාල නෙමෙයි. මම හිතන්නේ ලංකාවවෙනස් කරන්න නම් මුලින්ම අධ්‍යාපනය අයාලේ යන්න දෙන්නඕනි. එතකොට තමයි තමුනගේ එකාට ගොඩයන්න පුලුවන් අධ්‍යාපනයක් වෙලද පොලෙන් මිලදී අරගෙන දෙමාපියෝ දරුවන්ට දෙන්න උත්සාහ ගන්නේ. දැන් යන්නේ රජයට ඕනා පැටියා නිෂ්පාදනය කරගන්නයල්පැනගිය ක්‍රමයක්..

    මම අවුරුදු හතරක් පහක් කැම්පස් එකේ ඉංජිනේරු උපාධි කෑල්ලක් කරලා එලියට එද්දි මට ඕනි මොකක් හරි රස්සාවක්. ඒත් මම ඇත්තටම අවුරුදු 20-25 කාලේ හොද රටකට ගිහින් ගොවිතැන් ගැන පරීක්ෂණ කලානම් අඩුගානේ මට නාකි වෙලා හරි මගේ ගොවිතැනක් කරගන්න ශක්‍යතාවයක් එන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා තියෙන්නේ ටිකක් අමුවෙන්ම වුනත් ඇත්තටම ගොඩක් ප්‍රශ්න වල මුල අධ්‍යාපන ප්‍රතිපත්තියයි. මෙයත් කතා කරන්න ගියොත් කෙළවරක් නැති දෙයක්. තවම අත ගසා නැත්තේ ඒ නිසයි. ලංකාවේ බලයේ සිටියේ කොයි ආණ්ඩුව වුවත් අධ්‍යාපන ප්‍රතිපත්ති හැදීමේදී එය දිගින් දිගටම සිදු වී තිබෙන්නේ සමාජවාදීන්ට අවශ්‍ය විදිහටයි. සමාජවාදය විද්‍යාත්මකයි කියන මතය සමාජවාදීන් විසින්ම සාර්ථකව ජනගත කිරීම නිසා බොහෝ උගතුන් හා කලාකරුවන් සමාජවාදය වෙත ආකර්ෂණය වුනා. ඉන් පසුව නොදැනම ඔවුන් එම මතවාදයේ ප්‍රචාරකයන් වෙනවා. තවත් අය එම මතවාදයට ආකර්ෂණය වෙනවා. මෙය චක්‍රයක් ලෙස සිදු වෙනවා. නිදහස් අධ්‍යාපනය කියන නම යටතේ තමන්ගේ සල්ලි වලින් තමන්ට අවශ්‍ය දෙය ඉගෙන ගන්න තිබෙන නිදහස නැති කිරීම තුළ බොහෝ දෙනෙක්ව ඔවුන්ගේම මුදලින් සුළු පිරිසකගේ මතවාදයක සිරකරුවන් කෙරෙනවා. ඉන් පසු එයින් ගැලවෙන්න ඉතාම අමාරුයි. දැන් මෙය ටිකෙන් ටික වෙනස් වෙන්නේ සමාජ මාධ්‍ය නිසා එක් පිරිසකට වූ දැනුම් ආධිපත්‍යය අභියෝගයට ලක් වීමත් එක්කයි. චීනය සමාජ මාධ්‍ය දැඩි සේ වාරණය කරන්නේත් මේ හේතුව නිසයි.

      Delete
    2. තවත් අමතර කරුණක් ලෙස ලංකාවේ සමාජවාදයට විකල්පයක් ලෙස ජාතිකවාදය මතු වී තිබෙනවා. නමුත්, ආර්ථික තලයේදී ලංකාවේ ජාතිකවාදය තවමත් බොහෝ දුරට සමාජවාදී එකක්. ලංකාවේ ජාතිකවාදී අදහස් මතු වුනේ සමාජවාදීන්ව සිටි අය අතරින්. ඒ අය තමන් සමාජවාදයෙන් කැඩී සිටින බව කොයි තරම් කිවුවත් ආර්ථික තලයේදී එවැන්නක් සිදු වී නැහැ. මෙයත් බ්ලොග් එක පටන් ගත් කාලයේ සිට කොයි වෙලාවක හෝ විස්තරාත්මක ලෙස ලියන්න සිටි කරුණක්. මේ අදහස මෑතකදී "ජාතික චින්තනයට අටුවාවක්" බ්ලොග් අඩවියේ ලියැවී තියෙනු දැක්කා.

      Delete
    3. ජාතික චින්තනයට අටුවාව blog ekata link ekak denna puluwanda?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: