වෙබ් ලිපිනය:

Friday, January 3, 2025

අමුතු දොස්තර සහ ඇමති දොස්තර


කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා.

ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ. පසුව ඔය විදිහටම රෙදි සෝදන යන්ත්‍රයකුත් අරන් දෙනවා. 

සටහනට අදාළ නැති නිසා අමුතු දොස්තරගේ අනෙක් අමුතු වැඩ පැත්තකින් තියමු. ඔය ශීතකරණය රෝහලට අරන් දුන්න වෙලාවෙම මගේ ඔළුවට එක පාරටම ආවේ තව අවුරුදු කිහිපයකට පස්සේ ඔය ශීතකරණයට කුමක් වෙයිද කියන එක. 

අමුතු දොස්තර දිගටම කලපුව රෝහලේ ඉන්න එකක් නැහැ. මාරු වෙලා යන දවසක ඔය ශීතකරණය ගෙදර අරන් යන එකකුත් නැහැ. ඊට පස්සේ ශීතකරණයේ ඉරණම කුමක් වෙයිද? රෝහල් ඉන්වෙන්ට්‍රියේ ඔය ශීතකරණය තියෙනවද? ශීතකරණය කැඩුනොත් හදන්නේ කවුද?

සාමාන්‍යයෙන් ඔය වගේ කල් තබා ගත හැකි භාණ්ඩ රෝහල් වලට එක එක ගන්නේ නැහැ. එක පාරම විශාල ප්‍රමාණයක් මිල දී ගෙන රෝහල් වලට බෙදන එකයි කරන්නේ. එකම සමාගමකින් එකම වර්ගයෙන්. යම් කාලයකට සේවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන එකත් වෙනවා. 

ඊට පස්සේ වුනත් නඩත්තු කටයුතු කරන්න වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයට අදාළ ශීතකරණ මොඩල් එක ගැන විශේෂ පළපුරුද්දක් තියෙනවා. මොකද හැම රෝහලකම තියෙන්නේ ඔය එකම මොඩල් එක. ඒ මොඩල් එකේ නඩත්තුව සඳහා නිතර අවශ්‍ය වන අමතර කොටස් බොහොමයක් ඉන්වෙන්ට්‍රියක තියෙනවා.

අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය කැඩුනොත් ඔය එක දෙයකින්වත් වැඩක් නැහැ. අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය නිසා ඒ වෙලාවේ කලපුව රෝහලේ දැවෙන ප්‍රශ්නය විසඳුනත්, අන්තිමට ඔය ශීතකරණයම ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙන්න පුළුවන්. 

අමුතු දොස්තර අරන් දුන් ශීතකරණය හදිසියේ මතක් වුනේ ඇමති දොස්තර නලින්ද ජයතිස්සගේ කතාවක් ගැන මේ දවස් වල කෙරෙන විවේචන දැකලා. ඔය වගේ කතා ගැන මුළු සන්දර්භයම දිහා නොබලා පොඩි කොටසකින් පමණක් ලොකු නිගමන කරන්න අමාරුයි. කතාව කරන ස්වරූපයේ, අඩු වශයෙන් සමාජ ජාලා වල ප්‍රචාරය වන තෝරාගත් කොටස් වල, පැහැදිලි අවුල් තිබෙනවා. නමුත් මේ කියන කතාව පදනමක් තියෙන කතාවක්.

කවුරු හෝ කෙනෙක් තවත් කෙනෙකුට ස්වේච්ඡාවෙන් යමක් දෙනවා කියන්නේ දෙන දේ ගන්න කෙනා කට වහගෙන දෙන දේ දෙන විදිහට ගන්න අවශ්‍යයි කියන එක නෙමෙයි.  මුදල් හුවමාරුවක් සිදු වුනත් නැතත් මේ වගේ දෙයකදී සිදු වෙන්නේ ගනුදෙනුවක්. ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම ගනුදෙනුව ගැන හෙට්ටු කරන්න, හෙට්ටු කරලා එකඟ වෙන්න සමාන අයිතියක් තියෙනවා. නිකම් දුන්නා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ.

භාණ්ඩයකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් good කියා දෙනවා. ඒ good වචනයේම යහපත කියන අර්ථයත් තියෙනවා. අපිට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් හැම දෙයක්ම good කියන අර්ථදැක්වීමට අයිති වෙන්නේ නැහැ. සමහර දේවල් නිකම් දුන්නත් කවුරුවත් ගන්නේ නැහැ. ඒවා bads මිසක් goods නෙමෙයි. 

කුණු වගේ දේවල් බැහැර කරන්න මිලක් ගෙවන්න වෙනවා. ඔය විදිහට මිලක් ගෙවා බැහැර කරන්න වෙන්නේ කුණුම පමණක් නෙමෙයි. ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින් තියෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් වුනත් කාට හෝ දෙනවානම් දෙන්න වෙන්නේ සල්ලිත් එක්කයි. එහෙම නැත්නම් එහි ණය ටික තියාගෙන. ඒ කියන්නේ bad කොටස තියාගෙන good කොටස පමණක් දෙනවා කියන එක.

සමහර වෙලාවට කෙනෙක් bad එකක් ලෙස සලකන දෙයක් තවත් කෙනෙකුට good එකක් වෙන්න පුළුවන්. අසරණ කමට හෝ වෙනත් හේතුවකට කුණු බක්කි වල තියෙන දේවල් එකතු කරන අයත් ඉන්නවානේ. ඒ වගේම, ගොඩක් අයට bad එකක් ලෙස පේන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් සමහර අයට good එකක් වගේ පේන්න පුළුවන්. ඒ නිසා, ඔය වගේ සමහර කුණු ගොඩවල් ක්ලීන් ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘති වලට අහු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසාම තමන් නිකම් දෙන දෙයක් වෙන කෙනෙක් භාර ගත යුතුයි කියා හිතන්න තවත් කෙනෙකුට අයිතියක් නැහැ. දෙන පුද්ගලයා good එකක් සේ සැලකුවත් ගන්න පුද්ගලයාට එය bad එකක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා මුදල් හුවමාරුවක් සිදු නොවන ගනුදෙනුවකදී වුනත් දෙපාර්ශ්වයේ එකඟතාවය ඉතාම වැදගත්. 

ලංකාවේ විවාහ උත්සව වැනි අවස්ථා වලදී සමහර අය තෑගි ලෙස සල්ලි දෙනවා. ගොඩක් අය විවිධ භාණ්ඩ තෑගී විදිහට දෙනවා. සමහර විට ඔය තෑගි පාර්සල් ලෙහා බලද්දී එකම වර්ගයේ භාණ්ඩම පහක් හයක් තිබෙනවා. මේ වෙනුවෙන් තෑගි දෙන පුද්ගලයා මුදල් වැය කරලා වුනත් තෑගි ලබන්නාට එහි ඒ වටිනාකමම නැහැ. උදාහරණයක් විදිහට එක එක විදිහේ මේස ලාම්පුම හත අටක් මොනවා කරන්නද? අඩු වශයෙන් එක වර්ගයේනම් ගැලපීමක් හරි තිබෙනවා. 

තෑගි විදිහට සල්ලි දුන් විට මේ ගැටලුව නැහැ. මුදල් ලබන තැනැත්තාට තමන්ගේ රුචිකත්වය අනුව කැමති දෙයක් මිල දී ගන්න පුළුවන්. ඒ නිසා දුන්න තෑග්ගේ වටිනාකම ලබන්නාට ඒ විදිහටම ලැබෙනවා.

සමහර අය අහන දෙයක් තමයි IMF එක එක පැත්තකින් ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරන එකට විරුද්ධ වන අතරම අස්වැසුම වගේ සල්ලි බෙදන වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියන එක. සුබසාධනය සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමය සල්ලි බෙදන එක.

ඉන්ධන, විදුලිය වගේ දේවල් සුබසාධනය කළාම එහි වාසිය ලබා ගත හැක්කේ ඒ දේවල් වැඩියෙන්ම පරිභෝජනය කරන අයටයි. ඒ අය බොහෝ විට සුබසාධනය කිඊමක් අවශ්‍යම අය නෙමෙයි. ඒ වගේම, සුබසාධනය අවශ්‍ය අයට අවශ්‍ය මොනවාද කියන එක වඩා හොඳින්ම දන්නේ ඒ අයම මිසක් ආණ්ඩුව නෙමෙයි. ඒ නිසාම, දෙන්නේ නිකම් කියලා ආණ්ඩුව විසින් දෙන දේ තීරණය කරන එක හැමවිටම හොඳම ක්‍රමය නෙමෙයි.

ඇමරිකාවේනම් විවාහ උත්සවයකට කලින් විවාහ වන යුවල විසින් තමන්ට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හදනවා. තෑගි දෙන්න කැමති අයට කරන්න තියෙන්නේ ඒ ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් තමන්ට පුළුවන් දෙයක් අරන් දෙන එක. මේ වැඩෙන් අලුත් යුවලකට ජීවිතය පටන් ගන්න අවශ්‍ය ගොඩක් දේවල් තෑගි විදිහට ලැබෙනවා. පිගන්, කෝප්ප, ඇඳ රෙදි වගේ ඕනෑම දෙයක් ලැයිස්තුවට දමන්නේ තමන් විසින්ම නිසා කවුරු තෑගී දුන්නත් ලැබෙන්නේ තමන්ට අවශ්‍ය පාට. තමන්ට අවශ්‍ය මෝස්තරය. 

මේ වැඩෙන් එකම දේ කීප දෙනෙක් දෙන එක වැළකෙනවා. නොගැලපෙන දේවල් තෑගී ලෙස ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම තෑගි දෙන අයටත් දෙන්නේ මොනවද කියලා ඒ තරම් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවාහ උත්සවයෙන් පස්සේ කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය දේවල් වලින් කාගෙන්වත් තෑගි සේ නොලැබුණු දේවල් ටික පමණක් මිල දී ගන්න එකයි. සමහර විට ඔය වැඩේ දැන් ලංකාවෙත් වෙනවා වෙන්න පුළුවන්. 

මම හිතන්නේ ඇමති දොස්තර කියන්නෙත් ඔය කතාව. රෝහල් වලට තෑගි ලෙස විවිධ දේවල් පරිත්‍යාග කරන එක හොඳයි. නමුත් ඒ වගේ පරිත්‍යාගයකින් වඩාත්ම හොඳක් වෙන්නේ රෝහලට අවශ්‍යම දේ දෙන එකෙනුයි. ඒක දන්නේ පරිත්‍යාග කරන පුද්ගලයා නෙමෙයි. පරිත්‍යාගය අවශ්‍ය පුද්ගලයා. 

රටවල් වලට විදේශාධාර දෙද්දී වුනත් දැන් අනුගමනය කරන්නේ විදේශාධාර අවශ්‍ය රටේ ඉල්ලීම් අනුව ආධාර කරන ක්‍රමය. ලංකාව එපා කියපු ඩොලර් මිලියන 500ක MCC ආධාරය වුනත් දෙන්න හැදුවේ ලංකාව ඉදිරිපත් කරපු ව්‍යාපෘති යෝජනා දෙකක් ක්‍රියාත්මක කිරීමටයි. 

ගොඩක් අය පහසුවෙන්ම අමතක කර ඇතත්, ලංකාවේ ජාතික සෞඛ්‍ය සේවය මධ්‍යගත ලෙස සැලසුම් කර ඇති එකක්. ඒක එහෙම වුනේ මාලිමා ආණ්ඩුව බලය ගත්තට පස්සේ නෙමෙයි. හැමදාමත් තිබුනේ ඔය මධ්‍යගත ආකෘතිය. පළාත් සභා ආවට පස්සේ යම් විමධ්‍යගත කිරීමක් සිදු කර තිබුණත්, ප්‍රායෝගිකව තවමත් තියෙන්නේ ඊට පෙර තිබුණු මධ්‍යගත ක්‍රමයම තමයි.

ඔය මධ්‍යගත ආකෘතිය ඔය විදිහටම දිගටම පවත්වා ගත යුතුද කියන එක වෙනම දේශපාලනික කරුණක්. නමුත් කාලයක් තිස්සේම රෝහල් පරිපාලනය සිදු වන්නේ මධ්‍යගත ආකෘතියක් ඇතුළේ කියන එක කරුණක් ලෙස පිළිගත්තට පස්සේ කාට හෝ පරිත්‍යාගයක් කරන්න අවශ්‍යනම් එය කළ යුත්තේ මධ්‍යගත සැලසුමට අනුගත වන විදිහට කියන එක හරි. 

ලංකාවේ රෝහල් පරිපාලනය වගේම පාසැල් පරිපාලනය සිදු වෙන්නෙත් මධ්‍යගත ආකෘතියක් ඇතුළෙයි. නමුත් රෝහල් වලටත් වඩා පරිත්‍යාග වලින් දුවන්නේ පාසැල් පද්ධතිය. ඒ වැඩේ වෙන්නේ මධ්‍යගත ආකෘතියට පිටින් ඉතාම විමධ්‍යගත විදිහටයි. පාසැල් අතර විශාල සම්පත් විෂමතා ඇති වී තිබෙන්නේත් මේ හේතුව නිසා. රෝහල් හා අදාළව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පාසැල් හා අදාළවද ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද කියන එක බලා සිටිය යුතු දෙයක්.

18 comments:

  1. 'ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ.'

    මොන නාලිකාවේද ඉකොනො ඔය නාට්ට්‍ය විකාශනය වන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ යකා ඇමරිකාවේ හිටියත් ජාතික රුපවාහිනීය බලන ගොබ්බයෙක් නේද

      Delete
    2. @ Ano 8.10 AM

      ඉකොනෝ කියන්නේ හොඳ සම්භාව්‍ය ලංකන්-ඇමරිකන් දාර බයියෙක්, SLRC (අව)ජාතික නාලිකාව, නයිටීඑන් බලන්නේ ඒකනේ... ලංකාවේ තැරිදාර පුන්නක්කු මීහරක් බයියෝ පොහොට්ටු නීලකාස හොර රැලෙන් මාලිමා කයිපඩ ගජබින්න හොරරැලට මාරුවුණා වගේ ලංකන් ඇමරිකන් ගංකබර බයියොත් දැන් දැන් තමන්ට හොඳටම ගැලපෙන මාලිමාවට සෙට් වෙලා තරගෙට කෙබර කෙළිනවා, හරි ආතල් ඕයි මේව දැක්කම 😅🤣😂

      Delete
  2. මම අසස්පෙල කල පන්තියේ ගුරුතුමා ගාමිනී ස‘ර්
    එයා ටියුට් එකක් හදලා ආන්ඩුවේ කන්තෝරුවක රස්සාව කරන වැඩිහිටියෙක්ගෙන් චායා පිටපත් ගහන්න කියලා. ලමයෙක් ඇහුවා ඒක ස‘ර් හොරකමක් නේද කියලා.
    ස‘ර් කිව්වා ඉස්කෝලෙත් ආන්ඩුවේ, ඔෆිස් එකත් ආන්ඩුවේ.මම මේකෙන් ලාබ උපයන්නෙත් නෑ මොකක්ද හොරකම කියලා.
    මොකද හිතන්නේ

    ReplyDelete
    Replies
    1. රජයේ ආයතනික ව්‍යුහයක් තිබෙනවා. එක් එක් ආයතනයට මුදල් වෙන් කරන්නේ වෙන වෙනම. ඒ වියදම් සිදු කළ යුතු නිශ්චිත ආකාරයක් තිබෙනවා. රජයේ නෙමෙයි පෞද්ගලික අංශයේ වුනත් එහෙමයි. වෙන අංශයකින් වැඩක් කරගන්නවානම් වර්ක් ඕඩර් එකක් දැමිය යුතුයි. අතින් සල්ලි දුන්නේ නැතත් ගිණුම් වල මුදල් හුවමාරුවක් හෝ අදාළ ගනුදෙනුව සටහන් වීමක් සිදු විය යුතුයි.

      Delete
  3. ප්‍රායෝගික කියැවීමක්. ඉස්සර ලංගම බස් ගත්තෙත් ඔය විදිහටම කියල අහල තියෙනවා . උඩරට ඩිපෝවලට ටාටා , දකුණට ලේලන්ඩ්, කොළඹට ඉසුසු. එතකොට ඒ ඒ ඩිපෝ වල වගේම ප්‍රාදේශීය වැඩපල වල ඒ වෙනුවෙන් මනා දැනුමක් තියෙන පිරිසක් වගේම අමතර කොටස් ගන්න විදිහට පහසු විදිහක් තිබුණාලු. තවත් වටිනා අදහසක්.

    ReplyDelete
    Replies
    1. @ අනුරුද්ධ

      ප්‍රායෝගික නෙවෙයි ඉකොනොමැට්ටා ලියපු මේ කරුණු සියල්ලම තනිකරම කිසිම අවබෝධයකින් තොරව ලියපු මනස්ගාත ටිකක්. ප්‍රායෝගික භාවිතය ඔයිට වැඩිය ගොඩක්ම වෙනස්.

      මේ උදාහරණ සේරම ප්‍රායෝගික භාවිතය තුල සම්පූර්ණයෙන්ම වැරදියි. ඕන නම් එකින් එක ගෙන පැහැදිලි කරන්න පුළුවන්.

      මුලින්ම ඔයා මේකේදී ගත්ත උදාහරණය ගත්තොත් ලංගම බස්රථ ගත්තම කොළඹට ඉසුසු දකුණට අශෝක් ලේලන්ඩ් උඩරටට ටාටා ගත්තා කියලා කියන හේතුව සම්පූර්ණයෙන්ම වැරදියි.

      ලංකාවේ සාමාන්‍ය පොදු ප්‍රවාහනයට ගන්නා සියලුම බස්රථ ගත්තොත් ඉන් අතිශය බහුතරය අශෝක් ලේලන්ඩ් වයිකිං බස්, ඉතුරු ටික ටාටා 1510/1512 බස්. ඔය දෙක තමයි ප්‍රධාන ඒකට හේතු ගොඩක්ම තියෙනවා, කඳුකර ප්‍රදේශවල ටාටා 1512 බස් ජනප්‍රිය ඒකේ කමින්ස් 6BT 5.9L එන්ජිමේ torque එක වැඩි නිසා ඒක කඳුකර ප්‍රදේශවල කඳු අදින්නට හොඳ උනත් වයිකිං හීනෝ H සීරීස් එන්ජිම වගේ තැනිතලා ප්‍රදේශවල efficiency smooth acceleration fuel economy එක සහ මේන්ටෙනන්ස් අතින් සාර්ථක මදි නිසා බහුතර තැනිතලා ප්‍රදේශවල භාවිත වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. මේක පෞද්ගලික අංශයේ බස් වලටත් පොදුයි, ටාටා තැන්නේදී හරිම uncomfortable low efficiency and comparatively higher maintenance වියදම නිසා කන්දට විතරයි සාර්ථක

      ලංගම බස්රථ ගත්තමත් ඒවගේම තැනිතලා ප්‍රදේශවල අශෝක් ලේලන්ඩ් වයිකිං, කඳුකර ප්‍රදේශවල ටාටා වෙන්නේ එහෙම.

      කොළඹට ඉසුසු කියන කතාව ඇත්ත නෙමෙයි. ඇත්තටම ලංගම ඉස්සර තිබුණා ඉසුසු ELR500 කියන දිගුදුර ඉන්ටසිටි බස්, ඒවා 1980/90 දශකවල අපි උපදින දවස්වල දුවපුවා, දැන් එච්චරම දකින්න ලැබෙන්නේ නෑ, ඒවා කොළඹ විතරක්ම නෙවෙයි රට පුරාම විවිධ ඩිපෝවලට දීලා තිබුණා දිගුදුර වේගවත් ධාවනයට, ඉන්ටසිටි බස් විදියට, ඒත් ලංකාවේ එකල තිබ්බ රළු පාරවල ඒවායේ දුනු නිතර කැඩීම සහ සෙනඟ වැඩිපුර පැටෙව්වාම චැසියට හානි සිදුවුණා ඒවායේ රේටඩ් බරට වඩා සෑහෙන වැඩිපුර සෙනඟ පටවන්න බෑ ඉන්දියන් බස් වලට වගේ

      ඒකට ඇත්ත හේතුව අශෝක් ලේලන්ඩ් වල maintenance වියදම අඩුයි දොර දෙක තියෙන විදිය ඉන්ජිම කාර්යක්ෂමයි.

      ටාටා සහ අශෝක් ලේලන්ඩ් දෙකේ මහලොකු Maintenance කරන්න අමුතු රොකට් තාක්ෂණය nuclear රියැක්ටර් තාක්ෂණය ඕන නෑ, ඔය දෙකේම එන්ජින් වල මහාලොකු සංකීර්ණ වෙනස්කම් නෑ, අනෙක් පද්ධති transmission system, සස්පෙන්ෂන් බ්‍රේක් පද්ධති විදුලි පද්ධතියට වගේ මහාලොකු වෙනස්කම් නෑ. සාමාන්‍ය තාක්ෂණික දැනුම ඇති technicianලාට හදන්න පුළුවන්. එන්ජිමේ සුලු වෙනස්කම්වලට, clutch දෙක ටාටා එකට වඩා Leyland එක ටිකක් ලොකුයි Dia, ටාටා 5 ස්පීඩ් ගියර්බොක්ස්, Leyland 6 speed දෙකේම එයාර් බ්රේක් බොහෝ සමානයි, ටාටා suspension වල රබර් එන්ඩින් එනවා, ටාටා විදුලි පරිපථ පද්ධතිය ඩෑෂ් බෝඩ් analog ලේලන්ඩ් එකේ ඩිජිටල් ඔය වගේ සුළු වෙනස්කම් හැර මහලොකු වෙනසක් නෑ

      ඒ වගේමයි රෝහල් උපකරණ ගැන කතාවත්.

      Delete
    2. ඇනෝ ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි වගේම ඉන් කාරණා රැසක් ඉගෙන ගත්තා. ඔබේ දැනුම සහ ලිවීමේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන කැමති නමකින් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න. එතකොට අපි කවුරු වුනත් ලියන දේ ගැන ඔබේ අදහස් ගොනු කරන්න පුළුවන්. සතියකට එකක් ලියන්න. ඉඩ තියෙන වෙලාවට ලියල සතියකට සැරයක් පලවෙන්න දාන්නත් පුළුවන්. මම හිතන්නේ කවුරු වුණත් හරවත් විවේචනයට අකමැති වෙන එකක් නැහැ. එතකොට අපි හැමෝටම දැනුම ලැබෙනවා වගේම හොද සංවාදයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි පෞද්ගලිකව කෙනෙක් නමින් පෙනී ඉන්නවා නම් මම කැමතියි. හැබැයි ඒක නියම නම වෙන්නම ඕනෙ නැහැ.

      Delete
    3. මල්ලි ලඟදි උඩරට පැත්තෙ ගොහිං නෑ වගේ.
      දැන් අශෝක් ලේලන්ඩ් බස් ලොරි නුවරඑළියේ කඳු අදින්නේ බර බර ගාල. කෂ ගාල වංගුව කෙලින් කරනවා.
      දැන් ටාටා ලොවෙත් නෑ මල්ලි.

      Delete

  4. දොස්තර අමුතු වැඩවලටම උපන්නෙකි
    යහපත් සිතින් යහපත් දේ කරන්නෙකි
    රසය සේම ප්‍රඥාවත් බෙදන්නෙකි
    එනමදු ඉකොනො පවසන්නෙත් සත්‍යයකි

    ReplyDelete
    Replies
    1. නිදී

      ඔයා ගේ කවිය එළිවැට හරි වුණාට කරුණු කාරණා තාර්කික බව අතින් වැරදියි අනෙක ඉතාමත් සාවද්‍ය කරුණු සහිතයි. ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන මෙන්න මෙහෙම

      "දොස්තර නලින්ද යනු මහ ජඩ ගොන් රජෙකි..
      මහජන ආධාර හොරාකන්න දතකන මහ පල් හොරෙකි..
      ජනයා කුපිත කරවන ප්‍රලාප දෙසන තකතීරුවෙකි...
      උගෙ රෙදි හෝදන
      ඉකොනොත් දැන් කෙබර පප්පෙකී..."


      ඕන්නම් තුන්වන පදය වෙනස් කරන්න පුළුවන් වෙයි ද

      "ඌට කඩේ යන උන් ඊටත් වඩා අමු ගොන් හැත්තකී"

      වගේ එකක් දාලා නේද? මේ මම ලියපු කවිය ටිකක් ලස්සන මදි වුණත් කරුණු කාරණා ගැන අවධානය යොමුකරාම සම්පූර්ණයෙන්ම සත්‍ය අර්ථය පැහැදිලිව පේනවා. ඒ විදියට ඔයත් ලියන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete
  5. සාධාරණ විධිහට තර්ක කරලා තියෙනවා . නලින්ද ට ඕක ඔතැන කියන්නේ නැතිව ඩිප්ලෝමටිකලි ඉවසගෙන ඉඳල - එක්කෝ මහා මහින්ඩෝ අරාජ පක්ෂ වගේ කාමරේට කතා කරලා නෙලාගෙන නෙලාගෙන යන්න තිබ්බ . නැත්නම් කජු සීයා වගේ දිය රෙද්දෙන් බෙල්ල කපන්න තිබ්බා. බෙල්ල කැපිල වතුර උඩ පාවෙනකම්ම තේරෙන්නේ නැති වෙන්න . ඒකයි මේ කට්ටිය වැළපෙන්නේ . මම නම් අදේවවාදියෙක් නිසා කියන්නේ ඔය දෙයියන්ටයි උන්ට පඬුරු දෙන උන්ටයි නිලමේ ලටයි බදු ගහලා ඒ සල්ලි රෝහල් පාසැල් වලට බෙදා දෙන්න කියල .

    ReplyDelete
    Replies
    1. අජිත්

      මේ අප මිත්‍ර ඉකොනෝමැට්ටා මේ පිළිබඳව සැබෑ කරුණු නොදැන මේ පෝස්ට් එකේ ඔහුගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඇත්ත තත්ත්වය ඔයිට වඩා වෙනස්

      දේවාලයකට රෝහල් ඉදි කළ හැකි ද යන කාරණය ලංකාවේ නීතිය අනුව සොයාබලන්න ඕනේ, ඒ අනුව

      1. කතරගම දේවාලය බෞද්ධ සිද්ධස්ථානයකි.

      2. එහි පරිපාලනයට අදාළ වන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සහ අවස්ථා කිහිපයක සංශෝධනයන්ට ලක් වූ 1870 අංක 4 දරණ වැඩවසම් ආඥා පනතයි. ඊට අමතරව, ඇතැම් අවස්ථාවල දී රෙගුලාසි ද අදාළ කර ගනී.

      3. එහි නිශ්චල හා චංචල දේපල පාලනය සහ චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාත්මක කිරීමේ නෛතික භාරකරු වන්නේ බස්නායක නිලමේයි.

      4. ඔහුගේ කාර්යභාරය අධීක්ෂණය, පරීක්ෂණය, විගණනය සහ 15(1) වගන්තියට යටත් ව ධූරය අත් හිටුවීම යන බලතල ක්‍රියාත්මක කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින්.

      5. දේවාලයේ මූල්‍ය වර්ෂයක් සඳහා අනුමාන ඇස්තමේන්තුවක් සකස් කර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කර, සෑම වසරකම ජනවාරි 31 දිනට පෙර අනුමත කරවා ගැනීමෙන් තොරව මුදල් පරිහරණය කිරීමේ අවකාශයක් බස්නායක නිලමේට නැත.

      6. ඊට අමතරව, අර්ධ වාර්ෂික මූල්‍ය වාර්තා ද ලබා දිය යුතුය.

      7. කොමසාරිස් ජනරාල්වරයා විසින් අවම වශයෙන් වසරකට වරක්වත්, දේවාලය දැඩි විගණනයකට ලක් කරනු ලබයි.

      8. එවැනි විගණනයකින් යම් සැක කටයුතු වරදක් අනාවරණය වුවහොත්, අදාළ කරුණ පිළිබඳ වඩාත් සංකීර්ණ වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කෙරේ. කතරගම දේවාලය සම්බන්ධයෙන් එවැනි වෝහාරික විගණනයක් [පෙර බස්නායක නිලමේවරයෙකු සම්බන්ධයෙන්] පවත්වා ඇත.

      9. දේවාලයේ ආදායම් මාර්ග වන්නේ පහත සඳහන් ඒවා වෙයි.

      (1) ඉඩම් බදු දීමෙන් ලැබෙන ආදායම්
      (2) දෛනික වතාවත් සඳහා බැතිමතුන්ගේ ආධාර
      (3) පඬුරු ආදායම්
      (4) ප්‍රදානයන්

      10. කතරගම දේවාලයේ වැඩි ම ආදායමක් ලැබෙන්නේ පඬුරු වලින් නොවේ; ඉඩම් බදු වලිනි. එය ඉතා ඉහළ මුදලකි. වත්මන් බස්නායක නිලමේ විසින් දේවාලයේ ඉඩම් වලින් ලැබිය යුතු ව තිබූ හිඟ ආදායම් විශාල වශයෙන් අය කර ගන්නා ලදී. එමෙන්ම, ඉඩම් බදු දීමේ දී රජයේ තක්සේරුව අනුව ඉහළ බදු මුදල් අය කරන ලදී. දේවාලයේ අරමුදල් ඉහළ ගියේ එයින් මිස, පඬුරු වලින් නොවේ.

      11. පඬුරු ආදායම් වලින් දේවාල පරිපාලනයට වියදම් යොදා ගන්නේ ඉතා අඩුවෙනි.

      මීට අමතරව 2023 පමණ වන තුරු කපුවන් විසින් පුද්ගලික පරිහරණයට යොදා ගත් පඬුරු ආදායම් පවා දේවාලය සඳහා ගිණුම් ක්‍රියාවලියක් ඔස්සේ ලබා ගැනීමෙන් නව බස්නායක නිලමේවරයාගේ යෝජනාව මත මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් යොදා ගැනේ.

      12. පිළිකා රෝහල් අරමුදල දේවාලයේ වෙන ම ගිණුමකි. ඊට ලැබෙන මුදල් වෙනත් කාර්යයක් සඳහා යොදා ගනු නොලැබේ.

      13. එමන්ම, පඬුරු පෙට්ටි වලට ලැබෙන ආදායම් දේවාලයේ භාරකාර ගිණුමට බැර වේ. පඬුරු ගණනය කරන්නේ මාස දෙකකට පමණ වරක්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ,අධීක්ෂණය යටතේ ය. ගණන් කරනු ලබන ස්ථානය ආරක්ෂිත කැමරා කිහිපයකින් ද නිරීක්ෂණය වේ.

      14. පනතේ 25 වගන්තිය යටතේ නියම කරන ලද කාර්යයන් සඳහා සිද්ධස්ථානයේ ආදායම් වියදම් කළ හැකි ය. මහරගම රෝහල් අරමුදල සඳහා වියදම් සිදු කරනු ලබන්නේ, දිළින්දන්ට සහන සැලැස්වීමේ ප්‍රතිපාදනය යටතේ ය.

      15. ඊට අමතරව, වියදම් සඳහා අනුමැතිය දීමට කොමසාරිස් ජනරාල්ට අභිමතයක් ඇත.

      16. මහරගම අපේක්ෂා රෝහල් ව්‍යාපෘතිය සඳහා වූ යෝජනාව කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද අතර, ඊට අදාළ අරමුදල් වාර්ෂික අනුමාන ආදායම් වියදම් අනුව අනුමත කර ගෙන තිබේ නම් වියදම් දැරීමට කිසිදු නීතිමය බාධාවක් නැත.

      17. සමස්තයක් වශයෙන්, ලංකාවේ දේවාල 32 අතරින්, මූල්‍ය විනය සහ විනිවිදභාවය ඉහළින් ම පවත්වාගෙන යනු ලබන්නේ කතරගම දේවාලයේ ය. දෛනික ආදායම් වියදම් පවා එදිනෙදා ලබා ගත හැකි පරිදි ක්‍රමවේදයක් එහි දැනටත් ක්‍රියාත්මක වේ.

      18. කතරගම දේවාලයේ පඬුරු මුදල්, ඉහත කී නීතිමය රාමුව යටතේ රෝහල් ඉදිකිරීමක් වෙනුවෙන් වැය කිරීමට කිසිදු බාධාවක් නැත.

      19. සිදු කළ යුත්තේ මෙවැනි ක්‍රියා සඳහා සමාජය තව තවත් දිරිමත් කිරීම මිස නලින්දලා කරනවා වැනි කඩාකප්පල් කිරීම් නොවේ.

      ලංකාවේ ඇතැම් සිද්ධස්ථාන වල මාසික ආදායම ඔබ දන්නේ නම් සිහිවිසංඥ වනු ඇත.

      20. මේ කිසිවක් සම්බන්ධයෙන් යමෙකුට සැක හැර දැන ගත යුතු නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ RTIA පණත අනුව තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකියි. ඒනිසා ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර විමසා බැලිය හැකියි.

      Delete
    2. නලින්ද ජයතිස්සගෙ ආන්දෝලනාත්මක කතාව ප්‍රායෝගිකත්වය අතින් ගත්තොත් නලින්දගෙ යෝජනාව ලංකාවට මේ මොහොතේ කිසිසේත්ම ගැලපෙන්නෑ . නලින්ද කියන්නෙ සෞඛ්‍ය ක්ශ්‍රේතයට ලැබෙන donations ඒකාබද්ධ අරමුදලක් හරහා ප්‍රමුඛතා අනුව වැයකල යුතුයි කියලා. ඒක එහෙම කරන්න පුලුවන් නම් ඒකෙත් theoretically ගත්තාම යම් තර්කයක් තියෙනවා මොකද මිනිස්සු රැල්ලට emotional වෙලා කරන සමහර පරිත්‍යාග කිරීම් වලටත් වඩා ප්‍රමුඛතා හිමිවිය යුතු අංශ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙනවා තමයි.

      හැබයි නලින්දගෙ යෝජනාව ප්‍රායෝගිකත්වයට ගොඩක් ඈතයි. ඒකෙන් මේ මොහොතේ වෙන්නෙ පරිත්‍යාගශීලින් අධෛර්යමත් වෙමින් දැනට ලැබෙන පරිත්‍යාග පවා විශාල ලෙස අඩාල වීමක් සිදුවිය හැකීවිම.

      ඒකට හේතුව ලංකාවෙ දානපතීන් ඇතුලු බොහො පරිත්‍යාගශිලින් වඩාත් නැඹුරු දෘශ්‍යමාන පින්කම් පරිත්‍යාග වලට. උදාහරණයකට පිලිකා රෝහලට අවශ්‍ය යන්ත්‍රයක් උවමනායි කියලා දැක්කොත් පෝලිමෙ පෙලගැසෙනවා ඒ යන්ත්‍රය ලබාගන්නකම් මහත් කැපවීමෙන් පරිත්‍යාග කරගෙන කරගෙන යන්න.

      හැබයි පරිත්‍යාග ඒකාබද්ධ අරමුදලකට බැර කරන්න කිව්වොත් ආණ්ඩුව ඕනෙ දේවල් අරන් දෙන්නම් ඔයාලා සල්ලි දාන්න කිව්වොත් අර පෙර පැවතී උද්‍යෝගය හීන වෙනවා. කෝටියක් ලැබෙන්න තිබ්බා නම් ලැබෙන්නෙ උපරිම ලක්ශ 10 යි. ඒකවත් ෂුවර් නෑ මොකද තමුන් කරන පරිත්‍යාගය හරියටම වෙන්වන්නෙ මේ සදහාමයි කියලා ඔවුන්ට කිසිම විශ්වාසයක් නැතිකම.

      මේකෙ තවත් පැත්තක් තියෙනවා මිනිස්සු හැමතිස්සෙම පරිත්‍යාග කරන්න කැමතිත් පොදු අරමුණු උදෙසාම නෙමෙයි. තමුන්ගෙ පෞද්ගලිකත්වය සමඟ බැඳෙන තමුන්ට සංවේදි විෂයන්වලටයි ගොඩක්ම පරිත්‍යාග කරන්නෙ දැනට. උදාහරණයකට ගත්තොත් කෙනෙක්ගෙ දරුවෙක් ඉන්නවා හදවත් රෝගයක් නිසා මිය ගිය. එයා වඩාත්ම සංවේදී හදවත් රෝග සම්බන්ධ අංශ සඳහා පරිත්‍යාග කිරීම් කරන්න නම් ඒකෙ වරදක් නෑ. මොකද එයාට ඒ සම්බන්ධව සංවේදී අත්දැකීමක් තියන නිසා

      කරන්න වැඩ කෝටියක් විතර තිබියදි නිකම් හම්බෙන අශ්වයගෙ කටේ දත් ගනන් කරන්න ගිහින් හම්බුවෙන සොච්චමත් නැතිකරගන්නයි නලින්ද වගේ හාන්සිපුටු බකපණ්ඩිතයෝ මේ හදන්නෙ.

      අඩුම තරමේ එහෙම කරනවානම් මුලින්ම ආණ්ඩුව කරන්න ඕනෙ පාරිදෘශ්‍යභාවය පිලිබඳ මිනිස්සුන්ගෙ හිතේ විශ්වාසය වෙන වෙනත් අංශ හරහා ශක්තිමත් කරගැනීම.පුදනකොටම කාපි යකා කියලා මේ වගෙ අධි සංවේදි කාරණා වලට නීතීදාන්න ගියොත් වෙන්නෙ කබලෙන් ලිපට වැටීම.
      මනලින්දගෙ කතාවේ හැටියට ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක පොඩ්ඩක්වත් ප්‍රායොගික නෑ.

      අනෙක ඔය අමාත්‍යාංශවල මේ ඉකොනෝ සහ IMF පොතේගුරු නිලධාරීන් වගේ භූමියේ සැබෑ තත්ත්වය නොදන්න පණ්ඩිත නිලධාරීන් හදන ලැයිස්තුවකට අනුව කෙරෙන සම්පත් බෙදීමේ ක්‍රියාවලිය ප්‍රමුඛතා මත ක්‍රියාත්මක වන අතර, එය සෑම විටම ප්‍රායෝගික ව්‍යවහාරික අවශ්‍යතා අනුව සිදු නොවේ. එමඟින් වෙනත් බලපෑම් හා කාරණා මත තීන්දු ගන්නා බව පැහැදිලියි. බිම් මට්ටමේ සිටින වෛද්‍යවරු, ගුරුවරු, රෝහල් පාලකවරු, විදුහල්පතිවරු වැනි අය තම තමන්ගේ ආයතනවල සැබෑ අවශ්‍යතා හොඳින් දන්නා අය වේ. උදාහරණයක් ලෙස, අපේක්ෂා රෝහලේ ප්‍රධානිය තම රෝහලේ අවශ්‍යතා ගැන හොඳින් දන්නා තනි පුද්ගලයා වනු ඇත.

      නමුත්, මෙම තොරතුරු දන්නා මෙම පුද්ගලයන්ට අරමුදල් බෙදීමේ තීන්දු ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, වෙනත් පිරිසක් තීන්දු ගන්නා බව දැකගත හැක. එම පිරිස බොහෝවිට සැබෑ ප්‍රමුඛතා නොදන්නා හෝ ඔවුන්ට වෙනත් ප්‍රමුඛතා තිබීමේ හේතුවෙන්, සම්පත් බෙදීමේ ක්‍රියාවලිය දූෂණයට හා නාස්තියට පත් වෙනවා

      ඒ මෙන්ම, මෙම ප්‍රශ්නය රාජ්‍ය අංශ පමණක් නොව පුද්ගලික ආයතනවල hierarchy ක්‍රමයටද අදාලයි. එබැවින්, පාසල්වල වැසිකිළි හදන්න හෝ රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමට පරිත්‍යාගශීලීන් අවශ්‍ය නොවීම සාමාන්‍ය තත්වයක් විය යුතු නමුත්, දැනට පවතින පරිසරය නිසා, අමාත්‍යාංශ මට්ටමින් තීන්දු ගන්නා ක්‍රියාවලිය දූෂණය හා නාස්තිය ඉහළ නැංවීම සඳහා දායක වෙනවා

      අවශ්‍ය පරිත්‍යාග වුවද නිසි නඩත්තු කටයුතු නොකිරීමෙන් ඒවා අගයක් නොලැබෙන ලෙස පෙනේ. අනවශ්‍ය පරිත්‍යාග හා නාස්තිකාර වියදම් සඳහා නිවන් දැක්විය හැකි උදාහරණ රාශියක් ඇත. ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර රාජ්‍ය මත යැපීම නිසා මෙම ප්‍රශ්නය උග්‍ර වී ඇත. බොහෝ රටවල රාජ්‍ය රෝහල්ට රක්ෂණ අරමුදල් හරහා ආදායම් ලැබෙන අතර, ඒවාට මූල්‍ය ස්වාධීනතාවයක් ඇත.

      මේ ප්‍රශ්නයේ විසඳුම ලෙස, බිම් මට්ටමේ සිටින අයව තීන්දු ක්‍රියාවලියට ඇතුළත් කිරීම හෝ රජය මගින් මූල්‍ය වශයෙන් ස්වාධීන ආයතන ක්‍රමයක් පිහිටුවීම අවශ්‍ය වේ. එහෙත්, මධ්‍යගත නිලධාරිවාදයක් මගින් පරිත්‍යාග ගැනීමේ නිදහස පාලනය කිරීම, සම්පත් හිගබව තව තවත් වැඩි කරනවා.

      Delete
  6. ඇත්තටම නලින්ද නොදාන්නවාට එදත් අදත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩකළේ මාස්ටර් ප්ලෑන් එකකට අනුකුලවයි. අතනින් මෙතනින් ඒක බොහොම පොඩ්ඩක් වෙනස් නොවුනත් නොවේ.
    නමුත් ලොකු දේවල් ලබාගනිද්දී දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ සෘජු අධීක්ෂණය යටතේයි දේවල් සිද්ධ උනේ. ඔය ගොඩනැගිල්ල පවා දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණයට යටත් වෙන්න ඇති.
    නලින්ද හිතනවනං MBBS උපාධිය ලැබෙද්දී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය දුවන හැටිත් ඔටෝමටිකලි ඉගෙන ගැනෙනවා කියලා ඒක මිත්‍යාවක්.
    අනික මේ කතාව කරන තැන කතරගම දෙයියෝ වත් තිස්තුන් කෝටියක් දෙවියන්වත් ඈඳාගතයුතු තැනක් නොවේ. ඔය මොනවා කිව්වත් මිනිස්ට්‍රියට ලැබෙන සල්ලි මදි. වැඩිය ඕන නෑ කොහෙහරි රැන්ඩම් ඉස්පිරිතාලෙක වාට්ටුවටකට ගිහිං බැලුවනම් තේරෙයි තව කොච්චර සල්ලි ඕනෙද කියල.
    මහින්ද තුමාගේ ගෝලයෙක් මේකට සල්ලි දුන්න කියල මල පැනල ඔය වගේ කතාවක් කරන්න තරම් නලින්ද ඇරගන්ට් උන එක ගැන බොහොම කනගාටුයි. නමුත් ඇමතිකම ලැබුන වෙලේ සිටම ඔහු ඒ ඇරගන්ට් බව සැමවිටම පෙන්නුම්කළා.
    එනිවේ මේ අය නොදන්න මගුල් කතාකරන්න ගිහිල්ල නිකන් කොලේ ඉරා ගන්නවා.

    අනික බිල්ඩිමක් ශල්‍යාගාරයක් විවුර්ත කරනවට වඩා වෙන වැදගත් වැඩ නැද්ද මේ තිස්තුන් කෝටියක් දෙවිවරුන්ටත් වඩා ධනවත් මිනිස්ට්‍රියක් දුවවන කොට (ඒකෙ තියෙන අඩුපාඩුකම් ගැන කුමන කතාද)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: