වෙබ් ලිපිනය:

Monday, August 18, 2025

ගතික විචල්‍ය මිල ක්‍රමය


ගතික විචල්‍ය මිල ක්‍රමය අදාළ සන්දර්භයන්හිදී වඩා කාර්යක්ෂම මිල ක්‍රමයක් වන්නේ ඇයි? මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි සරල උදාහරණයක් සලකා බලමු. 

ගොඩබිම සිට බෝට්ටුවකින් යා යුතු පරෙවි දූපත වැනි දූපතක් තිබෙනවා. මෙම දූපත සංචාරක ආකර්ශනයක්. දූපතේ අයිතිය වගේම එම දූපතට බෝට්ටු මගින් මගීන් ප්‍රවාහනය කිරීමද රාජ්‍ය ඒකාධිකාරයක්. ලිපියේ මුඛ්‍ය අරමුණ මෙම රාජ්‍ය ඒකාධිකාරය ප්‍රශ්න කිරීම නෙමෙයි. කවර හේතුවක් නිසා හෝ රටේ ජනතාවගේ කැමැත්ත වනුයේ මෙම රාජ්‍ය ඒකාධිකාරය එලෙසම පවත්වා ගෙන යාමයි.

රජය මගින් මෙම බෝට්ටු සේවයේ මිල තීරණය කරන ක්‍රමය කුමක්ද?

1. හැකි තරම් වැඩි පිරිසකට දූපතට යාමට අවස්ථාව සැලසිය යුතුයි.
2. අය කරගන්නා මුදලින් අවම වශයෙන් පිරිවැය ආවරණය විය යුතුයි. 

ලිපියේ අරමුණ ඉහත රාජ්‍ය ප්‍රතිපත්තිය විචාරය කිරීම නෙමෙයි. කවර හේතුවක් නිසා හෝ රාජ්‍ය ප්‍රතිපත්තිය එයයි. 

රාජ්‍ය ඒකාධිකාරයක් තිබුණත්, එහි ප්‍රධාන අරමුණ පුළුවන් තරම් ලාබ වැඩි කර ගැනීම නොවුනත්, ආර්ථික විද්‍යා න්‍යායයන් වැඩ කරනවා. මෙහි තිබෙන්නේ වෙළඳපොළක්. එම වෙළඳපොළේ සැපයුම හා මිල තීරණය කිරීමේ බලය රාජ්‍ය ඒකාධිකාරයක ග්‍රහණය යටතේ ඇතත්, ඉල්ලුම තීරණය වන්නේ පාරිභෝගික මූලධර්ම අනුව සාමාන්‍ය ක්‍රමයටයි. 

සැපයුම

එක් බෝට්ටුවක එය ක්‍රියා කරවන්නාට අමතරව මගීන් පස් දෙනෙකුට ගමන් කළ හැකියි. දූපතට යාමට සහ ආපසු පැමිණීමට ගත වන කාලය අනුව දිනකට එක් බෝට්ටුවකට එක් ගමන් වාරයකට වඩා ක්‍රියාත්මක කළ නොහැකියි. එහෙත්, ඉල්ලුම තිබේනම්, බෝට්ටු ප්‍රමාණය වැඩි කළ හැකියි. බෝට්ටුවක දිනක වියදම රුපියල් 10,000ක්. 

ඉල්ලුම 

පහත තිබෙන්නේ එක් දිනක පාරිභෝගික ඉල්ලුම. වෙනත් දින වලද එය හරියටම එසේයැයි දැනට උපකල්පනය කරමු. ඕනෑම දිනක දූපතට යාමට කැමති පාරිභෝගිකයින් ගණන 10ක්. එහෙත් මේ එක් එක් පාරිභෝගිකයා එසේ කරන්නේ තමන් ගෙවන්නට සූදානම් උපරිම මිලට හෝ අඩුවෙන් ගමන යා හැකිනම් පමණයි. පහත තිබෙන්නේ එක් එක් පාරිභෝගිකයා ගෙවන්නට සූදානම් උපරිම මිල. 

ඈන් - රුපියල් 10,000
බෙන් - රුපියල් 8,000
චෑන් - රුපියල් 6,000
දිලිත් - රුපියල් 5,000
එඩ්වඩ් - රුපියල් 4,000
ෆ්‍රෑන්ක් - රුපියල් 3,000
ගයානි - රුපියල් 2,000
හරිනි - රුපියල් 1,500
ඉෂාන් - රුපියල් 1000
ජෙයන් - රුපියල් 500

මිල තීරණය කිරීම 

පහත තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරය විසින් මිල තීරණය කරන ආකාරයයි. මෙය කරන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි.

බෝට්ටුවක දිනක වියදම = රුපියල් 10,000
ගෙන යා හැකි මගීන් ගණන = 5
එක් මගියෙකුගෙන් අය කළ යුතු මුදල = රුපියල් 2000

ප්‍රතිඵලය 

ඉහත මිල යටතේ මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් හත් දෙනෙකු ඉදිරිපත් වන නමුත් එක් බෝට්ටුවක යා හැක්කේ ඔවුන්ගෙන් පස් දෙනෙකුට පමණයි. ඉතිරි දෙදෙනාට අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා, යම් ක්‍රමයකින් මේ හත් දෙනාගෙන් පස් දෙනෙකු තෝරා ගන්නට සිදු වෙනවා. අපි මේ සඳහා යොදා ගත හැකි විකල්ප ක්‍රම තුනක් සලකා බලමු.

1. මිල ගැලපීම 
2. පෝලිම් ක්‍රමය 
3. ලොතරැයි ක්‍රමය 

මිල ගැලපීම 

එක් මගියෙකුගෙන් අය කරන මිල රුපියල් 4,000 දක්වා වැඩි කළහොත් පහසුවෙන්ම ප්‍රශ්නය විසඳෙනවා. ෆ්‍රෑන්ක් සහ ගයානි එම මිලට ප්‍රවේශපත්‍ර මිල දී ගන්නේ නැහැ. ඔවුන්ට අනුව මේ ගමන ඒ තරම් වටින්නේ නැහැ. ඒ නිසා ඉල්ලුම 5 දක්වා අඩු වෙනවා. එම මගීන්ට එක් බෝට්ටුවක ඉඩ ප්‍රමාණවත්. 

මේ ක්‍රමය අසාධාරණද?

ෆ්‍රෑන්ක්ට සහ ගයානිට මේ මිල වැඩි කිරීම අසාධාරණ සේ පේන්න පුළුවන්. මිල වැඩි කිරීම නිසා ඔවුන්ට අවස්ථාව අහිමි වුනා. නමුත් පැවති මිල යටතේ පවා හරිනි, ඉෂාන් සහ ජෙයන් යන තිදෙනාගේ අවස්ථාව අහිමි වෙලයි තිබුණේ. සියල්ලන්ටම අවස්ථාව දීමටනම් මිල රුපියල් 500 දක්වා අඩු කරන්නට සිදු වෙනවා. එවිට පස් දෙනෙකුගෙන් එකතු වන්නේ රුපියල් 2,500ක මුදලක් පමණක් නිසා බෝට්ටුවක දිනක වියදම වන රුපියල් 10,000 ආවරණය වෙන්නේ නැහැ. 

පෝලිම් ක්‍රමය 

මෙහිදී කලින්ම ප්‍රවේශපත්‍ර මිල දී ගන්නා පස් දෙනාට අවස්ථාව හිමි වෙනවා. වඩා කාර්ය බහුල අයෙකුට හරියටම වෙලාව බල බලා ඉන්න බැහැ. ඈන් සහ දිලිත් එවැනි කාර්ය බහුල අය බැවින් ඒ දෙදෙනාට පෙර අනෙක් අය ප්‍රවේශපත්‍ර මිල දී ගන්නවා. ඈන්ට සහ දිලිත්ට අවස්ථාව අහිමි වෙනවා.

මේ ක්‍රමය වඩා සාධාරණද?

මේ ක්‍රමය වඩා සාධාරණ බව ෆ්‍රෑන්ක්ට සහ ගයානිට පෙනෙන්න පුළුවන්. නමුත් ඈන්ගේ සහ දිලිත්ගේ පැත්තෙන් බලද්දී මෙය අසාධාරණ ක්‍රමයක්. ඔවුන් වැඩි මිලක් ගෙවන්න සූදානම්ව සිටියදී ඔවුන්ගේ අවස්ථාව අහිමි වෙලා. මේ වගේ තත්ත්වයක් යටතේ "කළු කඩයක්" ඇති වීමේ නැඹුරුවක් තිබෙනවා.

දිලිත්ට ගමන යන්නම අවශ්‍යයි. ඔහු ගයානි විසින් මිල දී ගත් ප්‍රවේශපත්‍රය වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් අර්පණය කරනවා. ගයානිට මේ ගමනේ වටිනාකම රුපියල් 2000ක් පමණයි. තමන්ගේ ප්‍රවේශපත්‍රය දිලිත්ට විකුණන එකෙන් ඇයට රුපියල් 500ක ලාබයක් ලැබෙනවා. ඇයට මේ ගමන යන්න අවශ්‍යනම් රුපියල් 2000ක් පමණක් වියදම් කර ඊළඟ දවසේ ගමන යා හැකියි. 

දිලිත්ගේ පැත්තෙන් බලද්දී ගයානිගේ ප්‍රවේශපත්‍රය මිල දී ගැනීමේ අවදානමක් තිබෙනවා. එහි නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 10%ක්. නම පරීක්ෂා කළොත් ගෙවපු රුපියල් 2,500 අපතේ යනවා. නමුත් එම මුදලට රුපියල් 5,000ක් වටිනා දෙයක් ලැබෙන්න 90%ක සම්භාවිතාවක් තිබෙනවා. ඒ නිසා මෙය වාසිදායක ගනුදෙනුවක්. ඔහුට මෙම ප්‍රවේශපත්‍රයේ රුපියල් 4,500ක වටිනාකමක් තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 2,000ක ලාබයක්.

දිලිත් සහ ගයානි අතර සිදු වූ කළුකඩ ගනුදෙනුවෙන් ඔවුන් දෙදෙනාටම ලාබයක් සිදු වී තිබෙනවා. නමුත් වෙනත් කිසිම කෙනෙකුට එයින් පාඩුවක් සිදු වී නැහැ. ප්‍රවේශපත්‍රයේ නම පරීක්ෂා කරන සම්භාවිතාව 50% ඉක්මවා වැඩි කළහොත් මේ ගනුදෙනුව සිදු වන්නේ නැහැ. 

නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 10%ක් පමණක්නම්, ඉෂාන් වැනි කෙනෙක් වෙනත් අයෙකුට විකිණීම සඳහාම ප්‍රවේශපත්‍රයක් මිල දී ගන්න ඉඩ තිබෙනවා. එම ටිකට්පත අනිවාර්යයෙන්ම කාට හෝ විකිණිය හැකි බව ඔහු දන්නවා. එය දිලිත් වැනි කෙනෙකුට රුපියල් 4,500 දක්වා මුදලකට විකිණිය හැකියි. 

ඉෂාන් තරඟයට එකතු වීම නිසා ෆ්‍රෑන්ක්ට ප්‍රවේශපත්‍රයක් ගැනීමේ අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඔහුට ප්‍රවේශපත්‍රයක් කළු කඩයෙන් මිල දී ගැනීම සඳහා දිලිත් එක්ක තරඟ කරන්නත් බැහැ. ඒ නිසා ඔහුට ගමන යන්න වෙන්නේ නැහැ. දිලිත් කළු කඩෙන් ප්‍රවේශපත්‍රයක් අරගෙන ගමන යනවා. 

නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව අඩුනම් කළු කඩය ක්‍රියාත්මක වීමෙන් පසුව අවසන් ප්‍රතිඵලය ලැයිස්තුවේ මුල් පස් දෙනාට අවස්ථාව ලැබීමම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිල වැඩි කිරීමේදී ලැබෙන ප්‍රතිඵලයමයි. ප්‍රධානම වෙනස කළු කඩය හරහා කිහිප දෙනෙකු අමතර මුදලක් හොයා ගැනීමයි.

ලොතරැයි ක්‍රමය 

මේ ක්‍රමය ඉහත ක්‍රමයට සාපේක්ෂව වඩා සාධාරණ ක්‍රමයක්. මෙම ක්‍රමයේදී දිලිත් වැනි වඩා කාර්ය බහුල අයෙකුට වුවත් සම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා කළු කඩ හැදීමේ ඉඩකඩ තරමක් අඩු වෙනවා. නමුත් නැති වෙන්නේ නැහැ. මෙම ක්‍රමය යටතේ වුවත්, ඉෂාන් වැනි කෙනෙක් වෙනත් අයෙකුට විකිණීම සඳහාම ප්‍රවේශපත්‍රයක් මිල දී ගැනීම සඳහා තරඟයට ඉදිරිපත් වෙන්න පුළුවන්. එයින් අනෙක් අයගේ දිනීමේ සම්භාවිතාව අඩු වෙනවා. ඒ වගේම, මෙහිදී කළු කඩය හරහා වාසියක් ලබා ගැනීමේ හැකිව මහන්සියට වඩා වාසනාව මත තීරණය වෙනවා. 

පරීක්ෂා කිරීමේ සම්භාවිතාව වැඩි කිරීම මගින් කළු කඩ හැදෙන එක වලක්වන්න පුළුවන්. නමුත් එසේ කළු කඩ නැවැත්වුවා කියා අවශ්‍ය සියල්ලන්ටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉහත කවර තත්ත්වයක් යටතේ වුවද ගමන යන්න කැමති දහ දෙනෙකුගෙන් පස් දෙනෙකුට එම අවස්ථාව අහිමි වෙනවා. ඒ අතරින් ලැයිස්තුවේ අවසන් තුන් දෙනාට ඉහත කවර තත්ත්වයක් යටතේ වුවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතිරි හත් දෙනාගෙන් පස් දෙනෙකුට අවස්ථාව ලැබෙනවා. පළමු ක්‍රමයේදී මෙන්ම දැඩි පරීක්ෂාවක් සිදු නොවන තත්ත්වයක් යටතේ දෙවන හා තෙවන ක්‍රම වලදීද අවස්ථාව ලබා ගන්නේ වැඩිම මුදලක් ගෙවන්නට සූදානම් අයයි. පෝලිම් ක්‍රමය යටතේදී වැඩිම උනන්දුවක් ඇති අයට එම අවස්ථාව ලැබෙනවා. ලොතරැයි ක්‍රමයේදී වාසනාව මත අවස්ථාව ලැබෙනවා.

කෙසේ වුවද, නම පරීක්ෂා කිරීමේ සම්භාවිතාව 100%ක් වුවද, දෙවන ක්‍රමය යටතේදී වැඩිම මුදලක් ගෙවන්නට සූදානම් අයට වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ ඉඩකඩක් ඉතිරි වෙනවා. ඔවුන්ට තමන් වෙනුවෙන් මුදල් ගෙවා වෙනත් අයව පෝලිමට එකතු කරන්න පුළුවන්. එහෙත් ලොතරැයි ක්‍රමයේදී මෙවැන්නක් කළ නොහැකියි. පෝලිම මාර්ගගත පෝලිමක් වුවත් මෙහි වෙනසක් නැහැ.

සැපයුම වැඩි කර ප්‍රශ්නය විසඳිය නොහැකිද?

මේ උදාහරණයෙහි පෙන්වා තිබෙන්නේ එසේ කළ නොහැකි අවස්ථාවක්. රුපියල් 2000ක මිල යටතේ ඉල්ලුම උපරිම වශයෙන් 7ක් පමණක් නිසා දෙවන බෝට්ටුවකට සිටින්නේ පාරිභෝගිකයින් දෙදෙනෙකු පමණයි. එම දෙදෙනා වෙනුවෙන් බෝට්ටුවක් යොදවා එහි පිරිවැය ආවරණය කර ගන්න බැහැ.

ගතික විචල්‍ය මිල ක්‍රමය විසඳුමක් වන්නේ කෙසේද?

ගතික විචල්‍ය මිල ක්‍රමය යටතේ පිරිවැයද ආවරණය කර ගනිමින් සැපයුම වැඩි කරන්න පුළුවන්. ගතික විචල්‍ය මිල ක්‍රමයකදී විවිධ ආකාර වලින් මිල විචලනය කළ හැකියි. පහත තිබෙන්නේ එක් උදාහරණයක්.

බෝට්ටු ප්‍රමාණය = 2
ප්‍රවේශපත්‍ර ප්‍රමාණය = 10

ආරම්භක මිල - රුපියල් 2,500
ගමනට දින 23කට පෙර ප්‍රවේශපත් 3කට වඩා විකිනුණහොත් එසැණින්ම මිල රුපියල් 5,000 දක්වා වැඩි කෙරේ. 

එඩ්වඩ්, ෆ්‍රෑන්ක් සහ චෑන් පළමු දිනම ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500

මිල වැඩි කිරීමෙන් පසුව, දිලිත් සහ බෙන් රුපියල් 5,000 බැගින් ප්‍රවේශපත්‍ර මිල දී ගනී. එහෙත් ඊට වඩා ප්‍රවේශපත් නොවිකිණේ.

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 = රුපියල් 17,500

ගමනට දින 15කට පෙර ප්‍රවේශපත් 6කට වඩා විකිණී නැත්නම් නැවත මිල රුපියල් 2,500 දක්වා අඩු කෙරේ. 

ඈන් රුපියල් 2,500ක් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිල දී ගනී.

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 = රුපියල් 20,000

මේ වන විට බෝට්ටු දෙකේම පිරිවැය මුළුමණින්ම ආවරණය වී තිබේ.

ගමනට දින 7කට පෙර ප්‍රවේශපත් 8කට වඩා විකිණී නැත්නම් මිල රුපියල් 1,500 දක්වා අඩු කෙරේ.

හරිනි සහ ගයානි ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 + 3,000 = රුපියල් 23,000

ගමනට පෙර දින වන විට ප්‍රවේශපත් සියල්ල විකිණී නැත්නම් මිල රුපියල් 500 දක්වා අඩු කෙරේ.

ඉෂාන් සහ ජෙයන්ද ප්‍රවේශපත්‍ර මිල දී ගනී. 

එකතු වූ මුදල = රුපියල් 7,500 + 10,000 + 2,500 + 3,000 + 1000 = රුපියල් 24,000

අවසාන වශයෙන් බෝට්ටු සවාරිය යාමට අවශ්‍ය සියල්ලන්ටම එම අවස්ථාව ලැබී ඇති අතර රජයට රුපියල් 4,000කින් පිරිවැය ඉක්මවන ලාබයක්ද ලැබී තිබෙනවා. 

මෙහි පෙන්වා දී තිබෙන්නේ ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැක්කේ අභිලාෂය හැකි තරම් ලාබ වැඩි කර ගැනීම වූ විට පමණක් නොවන බවයි. එමෙන්ම තරඟකාරී වෙළඳපොළක් නොමැති, රාජ්‍ය ඒකාධිකාරයක් පවතින තත්ත්වයක් යටතේ වුවද වඩා හොඳ අවසන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි ආකාර පවතින බවයි. ඊට අමතරව මේ නිදර්ශනය ඇසුරෙන් පෙන්වා දිය හැක්කේ වෙළඳපොළ යාන්ත්‍රනය මගින් පවතින තත්ත්වය වඩා කාර්යක්ෂම කර ගැනීම බොහෝ අවස්ථා වලදී කර ගත හැකි වුවත්, ඕනෑම අවස්ථාවකදී එය සිදු නොවන බවයි. 

ඉහත නිදර්ශන වල මගියෙකු ප්‍රවාහනය කිරීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 2,000ක්. එසේනම්, හරිනි, ඉෂාන් සහ ජෙයන් යන තුන් දෙනෙකුටම ඊට වඩා අඩු මුදලක් ගෙවා ගමන යා හැකි වූයේ කෙසේද? මීට හේතුව, මගියෙකු ප්‍රවාහනය කිරීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 2,000ක් වුවද අවසන් මගීන් හතර දෙනා ප්‍රවාහනය කිරීමේ ආන්තික පිරිවැය ශුන්‍ය වීමයි. ඔවුන්ට අවස්ථාව නොදී එම ආසන හිස්ව තියාගෙන ගමන ගියත් එයින් මුදල් ඉතිරියක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, අඩු මිලක් අය කර හෝ අවසන් මොහොතේ ඔවුන්ටද අවස්ථාව දීම වඩා කාර්යක්ෂමයි. 

19 comments:

  1. මහත්තයා බෝට්ටුවක අයිතිකාරයෙක් ලග වැඩ කරන ගෝලයෙක්ද?

    ReplyDelete
  2. දැන් ඔය යස අගේට ටිකට් තියන්නෙ ඩිරෙක්ට් ගන්න. කාටවත් අසාදාරනයක් වෙලා නෑනෙ දැන්

    ReplyDelete
    Replies
    1. අජිත් ඩී කුමාර කීර්තිAugust 18, 2025 at 10:47 PM

      ටිකෙට්ස් කොහෙද තියෙන්නේ?

      Delete
    2. සයිට් එකට ගියාම පෙන්නන්නෙ තියෙනව කියල.

      Delete
    3. අනේ මන්ද කට්ටිය කියන විදියට දැන් කවුරුත් ටිකට් ගන්නේ නෑලු ගයිඩ්ලා ටුවරිස්ලාට කියනවලු ටිකට් නෑ කියල මේක වෙනුවට වෙන ඒවට එක්කගෙන යනවාලු පේන විදියට තව ටික දවසකින් ඔය කෝච්චි ගමන නවත්තන්න වෙයි ද දන්නේ නැත

      Delete
    4. ටුවරිස්ට්ල අවශ්‍ය උන් ගනී. උන්ට දාපු කෝච්චියක් නෙමෙයිනෙ

      Delete
    5. //සයිට් එකට ගියාම පෙන්නන්නෙ තියෙනව කියල.//

      මටනම් පේන්න නැහැ. කලිනුත් විකිණුනේ නැති ටිකට් වර්ග පමණක් තියෙනවා.

      Delete
    6. ඇල්ල ඔඩිසි ෆර්ස්ට් ක්ලාස් රුපියල් 7000 සෙකන්ඩ් ක්ලාස් 5000 ටිකට් නෙමෙයිද මෙච්චරකල් ගන්න බැරි උනෙ? මම නම් මීට කලින් සයිට් එක බලලා නෑ.

      Delete
    7. තිබුණු මිල රුපියල් 5000, 4000 සහ 3000. දැන් මිල වැඩි කරලද? මොන දවස් වලද ටිකට් තියෙන්නේ? මම බලපු දවස් එකක්වත් තිබුණේ නැහැ.

      Delete
    8. පළමු පංතියේ ටිකට් අගෝස්තු 24 එකක්, අගෝස්තු 31 තුනක් සහ සැප්තැම්බර් 7 එකක් ඉතිරි වී තිබෙනවා. තව සැප්තැම්බර් 7 තුන් වන පන්තියේ එක ටිකට් එකක් තිබෙනවා. කොළඹ සිට ඇල්ල ඔඩිසි දුම්රියේ යනවානම් ඉදිරි මාසයටම තියෙන්නේ ඔය ටිකට් 6 පමණයි.

      Delete
    9. මම බලපු වෙලාවෙ දවස නම් මත්ක් නෑ, ටික්ට් 13ක් තිබ්බා ෆස්ට් ක්ලාස්.

      Delete
    10. දැන් බැලුව. 8/19 gmt 15:20
      September 13 fort to ella airconditioned saloon 23 tickets, second class 1 ticket
      තියෙනව.

      Delete
    11. 9/14 ac saloon tickets 69ක් තියෙනව

      Delete
    12. ඒ නුවර සිට අලුතෙන් දමලා තියෙන එක නේද? කොළඹ සිට නෑනේ. කොළඹ සිට මම දැක්කේ ඔය දවස්වල පමණයි.

      Delete
    13. සැප්තැම්බර් 13 පළමු පංතියේ 23ක් සහ දෙවන පංතියේ එකක් තිබෙනවා. සැප්තැම්බර් 14 පළමු පංතියේ 67ක් සහ තුන් වන පංතියේ 19ක් තිබෙනවා. සමහර විට මම කලින් බලද්දී වැරදීමක් හෝ මග හැරීමක් වුනා වෙන්න පුළුවන්. එසේ නැත්නම් නැවත විකිණීම සඳහා ටිකට් ගත් අයෙක් රිටර්න් කළා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. බොහෝ විට මට සිදු වූ මග හැරීමක්. සැප් 13 හා 14 හැර අනෙක් දවස් වල ගණන් හරි. අනෙක් දින සියල්ලේම ඉතිරිව තිබෙන්නේ ටිකට් 6ක් පමණයි.

      Delete
    14. ඔව්. අනිත් දවස් වල ටිකට් පොඩ්ඩයි තියෙන්නෙ. හැබැයි මම දවස් දෙකකට පමන කලින් බලද්දි වෙනත් දවසක ටිකට් තමයි 13ක් තිබුනෙ.
      ඒ කියන්නෙ දැන් අපහසුවකින් තොරව හැමෝටම සාදාරනව ගන්න අවස්තාව තියෙනව. මේක තම්‍යි මේ අවස්තාවෙ දෙන්න පුලුවන් හොඳම විසඳුම කියල ඔප්පු වුනා ඒකෙන්.

      Delete
    15. 9/20 දාල තියෙනව දැන්. ටිකට් 150ක් විතර තියෙනව.
      ඔබ කියපු කවුරු හරි රිසෙල් කරන්න ගත්තු කෙනෙක් රිටර්න් කරා කියපු හේතුවත් වැරදියි ඒ කියන්නෙ. මේ ගත්තු ක්‍රියාමාර්ගය නිසා ප්‍රශ්නය නිට්ටාවට සනීප වෙලා තියෙන බවක් තමයි පේන්නෙ.

      Delete
  3. Thank you for the good read,again !
    Your blog is an unparalleled treasure trove for me.

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමක්. සාමාන්‍යයෙන් ගුවන් සේවාවන් ආසන වෙන් කරන්නේ මෙවැනි ක්‍රමයකට. Booking systems automate this.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: