වෙබ් ලිපිනය:

Sunday, July 20, 2025

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්.

බදු ආදායම

වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ බදු ආදායමක් අපේක්ෂා කළ හැකියි. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, ඉහත ප්‍රක්ෂේපිත ආදායම ඊට වඩා රුපියල් බිලියන 133කින් පමණ අඩු මට්ටමක්. මූල්‍ය අරමුදලේ අවසන් පුරෝකථනය වූයේ මෙම වසරේ බදු ආදායම රුපියල් බිලියන 4,439ක් වනු ඇති බවයි. ඉහත  ප්‍රක්ෂේපනය ඊට වඩා තරමක් හොඳ මට්ටමක්.

අනෙකුත් ආදායම් හා ලැබීම් 

වසරේ පළමු මාස පහ තුළ අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 139.9ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.3%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 422.1 මට්ටමට යනවා.

සමස්ත රාජ්‍ය ආදායම 

ඉහත ප්‍රක්ෂේපන අනුව වසර අවසන් වන විට සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,899.9ක් විය යුතු අතර අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 90කින් පමණ අඩුයි. එහෙත් මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තුව වන රුපියල් 4,819ට වඩා රුපියල් බිලියන 80කින් පමණ වැඩියි.

වාහන ආනයන සිදු වන ආකාරය අනුව වසරේ අවසන් මාස හත තුළ බදු ආදායම් වර්ධනය පළමු මාස පහේ වර්ධන වේගයට වඩා වැඩි මට්ටමක පැවතීමේ විභවයක් තිබෙන බැවින් යාන්තමින් හෝ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තවමත් තිබෙනවා.

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,024.1ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 17.5%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3,113.4 පමණ දක්වා ඉහළ යා හැකියි. මෙය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970ට වඩාරුපියල් බිලියන 143කින් වැඩියි. මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තු අනුවද වර්ෂාවසාන පුනරාවර්තන වියදම (පොලී ගෙවීම් හැර) රුපියල් බිලියන 2,952ක් පමණයි. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175.4කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 9.2%ක අඩු වීමක්. මේ අනුව පෙනී යන්නේ පුනරාවර්තන වියදම් අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ යාමේ අවදානමක් ඇති තත්ත්වයක් තුළ සමස්ත රාජ්‍ය වියදම පාලනය කර ගනිමින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් දැඩි ලෙස සීමා කිරීමක් සිදු වී ඇති බවයි. මෙම අනුපාතය අනුව ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 717.7 ඉක්මවන්නේ නැහැ.

අයවැය මගින් රුපියල් බිලියන 1,315ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීමක් සිදුව පැවති අතර, මගේ මතකය නිවැරදිනම්, ජනාධිපති දිසානායක විසින් මෙය ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම බවට පාරම්බෑමක්ද සිදු කළා. ඉතිහාසයේදී ලංකාවේ අයවැය ඇත්තටම තුලනය වී ඇති ආකාරය ගැන යම් හෝ අවබෝධයක් වීනම් ඔහු මේ කරුණ මේ තරමින් අවධාරණය නොකර සිටිය හැකිව තිබුණා. අරමුදලේ ඇස්තමේන්තු අනුව වර්ෂාවසාන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,130ක්. 

අයවැය ඇස්තමේන්තු ඉක්මවා පුනරාවර්තන වියදම් ඉහළ යාම සහ එම ඇස්තමේන්තු වලට වඩා බදු ආදායම් අඩු වීම සාමාන්‍යයෙන් ලංකාවේ සිදු වන දෙයයි. මෙහිදී අයවැය තුලනය පවත්වා ගැනීම සඳහා බොහෝ විට අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමයි. කෙසේ වුවද, දැනට ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති මට්ටම පුනරාවර්තන වියදම් ඉහළ යාමේ හා බදු ආදායම් අඩු වීමේ සමස්ත බලපෑම නිශේධනය කරන මට්ටමට වඩා වැඩි නිසා අවසන් මාස හතක කාලය ඇතුළත ඉහත ප්‍රක්ෂේපනය ඉක්මවා ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ විභවයක් තිබෙනවා. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස පහක කාලය තුළ රුපියල් බිලියන 742.9ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස පහක කාලයට සාපේක්ෂව 34.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයට (දදේනියෙන් 2.3%කට) ආසන්නව සමාන වන අතර යාන්තමින් ඉක්මවා යනවා. 

මේ අනුව, වසරේ ඉදිරි මාස හත තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මෙම වාසිදායක තත්ත්වය නිසා, ඉදිරි මාස හතක කාලය තුළ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය අරමුදල් බදු ආදායමෙන් වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කළ හැකියි. එසේ කිරීම මගින් අයවැය ඉලක්ක සහ සත්‍ය ප්‍රාග්ධන වියදම අතර පරතරය අඩු කර ගන්න පුළුවන්. පුනරාවර්තන වියදම කවර ආකාරයකින් හෝ අයවැය ඉලක්ක තුළ රඳවා ගත හැකිනම් ප්‍රාග්ධන වියදම් තව දුරටත් අයවැය ඉලක්ක ආසන්නයට ගන්න පුළුවන්.

පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගාස්තු පුනරාවර්තන වියදම් වලට එකතු වී ඇත්නම්, එම ගාස්තු පසුගිය වසරට අනන්‍ය වියදමක් බැවින්, ඉහත සිදු කර ඇති වර්ෂාවසාන පුනරාවර්තන වියදම් ප්‍රක්ෂේපනය සිදු කළ යුතු වන්නේ පසුගිය වසරේ පුනරාවර්තන වියදම් වලින් අදාළ වියදම ඉවත් කිරීමෙන් පසුවයි. මේ ගැන නිශ්චිතව නොදන්නා නිසා මා එසේ කර නැහැ. මෙවැන්නක් සිදුව ඇත්නම් පුනරාවර්තන වියදම් හා අදාළවද අයවැය ඉලක්ක වලට යාමේ විභවයක් තවමත් තිබෙනවා. 

Saturday, July 19, 2025

ගනුදෙනු වල ආරම්භය කුමක්ද?

සම්භාව්‍ය ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ නිදහස් ගනුදෙනු සිදුවන්නේ ස්වාර්ථය මතයි කියන අදහස පාදකවයි. ඇඩම් ස්මිත්ට අනුව ඔබට පාන් ලැබෙන්නේ බේකරිහිමියාගේ කරුණාව නිසා නොව බේකරිහිමියා ස්වාර්ථය මත ක්‍රියා කිරීම නිසායි. මේ ප්‍රකාශයේ වරදක් නැතත්, මෙවැනි අදහස් ඉදිරියට යද්දී එයින් එහාට ගිය ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ය යන අදහස ඉස්මතු වීමක්ද දැකිය හැකියි. ධනවාදයේ සදාචාරත්මක පදනම වන්නේද මෙම අදහසයි.

නූතන ආර්ථික විද්‍යාවට අනුව ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ම නෙමෙයි. පරාර්ථය නිසාද ගනුදෙනු සිදු වෙනවා. ඒ කියන්නේ ඇතැම් විට බේකරිහිමියාගේ කරුණාව නිසාත් ඔබට පාන් ලැබෙන්න පුළුවන්. මෙය චර්යා ආර්ථික විද්‍යාවේදී දිගින් දිගටම පර්යේෂණාත්මකව තහවුරු වී ඇති දෙයක්. 

ඇත්ත වශයෙන්ම ඇඩම් ස්මිත් වුවද, ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්යැයි කියන්නේ නැහැ. ඔහු කියන්නේ වෙනත් අයෙකු විසින් පරාර්ථය මත සිදු කරන දේවල් පිළිබඳව පමණක් ඔබට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

"But man has almost constant occasion for the help of his brethren, and it is in vain for him to expect it from their benevolence only."

කෙසේ වුවත්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ උපකල්පන මත ගොඩ නැගී ඇති ආකෘති සැබෑ ලෝකයෙහි වැඩ කරනවා. ඊට හේතුව එම ආකෘති වැඩ කිරීම සඳහා මුලින් එම ආකෘති ගොඩ නැගීමේදී සිදු කෙරුණු උපකල්පන සියල්ලක්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවීමයි. සීමිත උපකල්පන යටතේ වුවද ආකෘති බොහොමයක් වැඩ කරනවා.

මුදල් ක්‍රමයේ විකාශනය ගැන විස්තර කෙරෙද්දී සෘජු භාණ්ඩ හුවමාරුව යන්නෙන් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු. ඒ නිසාම, සෘජු භාණ්ඩ හුවමාරුව ඇරඹුණු කාලය සේ සැලකෙන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි ඇති කාලයයි. 

නිදහස් ගනුදෙනු යනු පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි අදහසක්. එයට ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු පමණක් ඇතුළත් විය යුතු නැහැ. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් සිදු වන ඕනෑම ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් සේ සැලකිය හැකියි. 

ජීව විද්‍යාත්මක හේතු මත සිදු වන ගනුදෙනු මූලිකම මට්ටමේ ගනුදෙනු සේ සලකන්න පුළුවන්. මෙවැනි මූලික ගනුදෙනු ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත වුවද සිදු විය හැකියි. 

ඕනෑම සත්ත්ව ගහණයක් වඳ නොවී පැවතිය හැක්කේ තිරසාර ලෙස වර්ගයා බෝවීමක් සිදු වන්නේනම් පමණයි. මිනිසුන් ඇතුළු බොහෝ සතුන් හා අදාළව මේ සඳහා ගැහැණු හා පිරිමි සතුන් අතර ලිංගික එක්වීමක් අවශ්‍ය වෙනවා. මෙවැන්නක් සිදු විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් ලිංගික බලහත්කාරය. දෙවැන්න නිදහස් කැමැත්ත මත සිදු වන එක් වීම. 

මිනිසුන් අතර වුවද බලහත්කාරය මත පදනම් වූ ලිංගික එක් වීම් සිදු වෙනවා. නමුත් බොහෝ විට දැකිය හැක්කේ කැමැත්ත ලබා ගැනීම පිණිස සිදු කරන පොළඹවා ගැනීමුයි. මේ තත්ත්වය සතුන් අතරද දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම අහඹු ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු අතර ලිංගික එක්වීමක් සිදු වන්නේ නැහැ. 

මීට පෙර වාලම්පුරි ගැන ලියා ඇති ලිපියක විස්තර කර ඇති පරිදි, කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලන් ඉතා දුලබයි. කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලෙකුට කටුව වාමාවර්තව කැරකුණු බෙල්ලෙකු හා ලිංගිකව එක්වීම භෞතික වශයෙන් ඉතා අසීරු දෙයක්. අපේ ප්‍රදේශයේ ඇති සත්ත්ව උද්‍යානයක එක්තරා බෙල්ලන් වර්ගයක කටුව දක්ෂිණාවර්තව කැරකුණු සතෙකු හිටියා. එම සතාගෙන් ජනිතයින් බිහි කරගැනීමේ අරමුණින් එවැනිම තවත් සතෙකු සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දැරීමෙන් පසුව එවැනි තවත් සතෙකු සොයා ගැනීමට හැකි වුනා. නමුත් මේ සතුන් දෙදෙනා අතර ලිංගික එක් වීමක් සිදු වූයේ නැහැ.

වඩා දියුණු මොළයක් සහිත සතුන් අතර ලිංගික සහකරුවන් තෝරා ගැනීමේ චර්යාව පැහැදිලිව දකින්න පුළුවන්. ක්ෂීරපායීන්, පක්ෂීන් මෙන්ම යම් දුරකට මත්ස්‍යයන් විසින්ද මෙම චර්යාව පෙන්නුම් කරනවා. මෙහි පදනම සවිඥානිකත්වය මත පදනම් වූ නිදහස් කැමැත්තක්ය යන්න එයින් අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ නැහැ. මෙය සිදු වන්නේ ජීව විද්‍යාත්මක හේතු මතයැයි සලකන්නේනම්, මේ කාරණය හා අදාළව මිනිස් හැසිරීම්ද එවැනිම පදනමකින් සිදු වීමේ හැකියාව බැහැර කරන්න බැහැ. 

ලිංගික එක්වීම් හා අදාළව පැහැදිලි වන පරිදි මිනිසුන් විසින් විරුද්ධ ලිංගිකයෙකුගේ කැමැත්ත ලබා ගැනීම සඳහා විවිධ දේවල් කරනවා. එසේ කළ පමණින් අනිවාර්යයෙන්ම අනෙකාගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. මෙය මිනිසුන්ට අනන්‍ය දෙයක් නෙමෙයි. ඇතැම් සතුන්ටද පොදු දෙයක්. අවසාන වශයෙන් මෙහි තිබෙන්නේ ස්වාර්ථය පිණිස සිදු කරන ගනුදෙනුවක් හෝ එහි මූලික ස්වභාවයක්. 

මිනිසුන් පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරන්නාක් මෙන්ම සතුන්ද සාමූහිකව කටයුතු කරනවා. වෘකයින් කණ්ඩායමක් ලෙස සාමූහිකව දඩයමේ යනවා. නමුත් මේ අවස්ථාවේදී වුවද සහයෝගීතාවයක් ඇති වීමේ පදනම ස්වාර්ථ සාධනයයි. 

එහෙත් සිය ජනිතයින් ලොකු මහත් කර ගැනීම පිණිස කාලය හා ශ්‍රමය වැය කරද්දී මෙවැනි ස්වාර්ථ සාධන අරමුණකින් ඔබ්බට ගිය පරාර්ථකාමී අරමුණක් දකින්න පුළුවන්. මෙය මිනිසුන්ට අනන්‍ය වූ තත්ත්වයක් නෙමෙයි. සිය ජනිතයින් කෙරෙහි වන මෙම පරාර්ථකාමී අරමුණ නොවන්නේනම් මිනිස් ගහණය ඇතුළු බොහෝ සත්ත්ව ගහණයන් මේ වන විට වඳ වී ගිහින්. 

පරිනාමිකව ඉදිරීයෙන් සිටින සත්ත්ව ගහණයක තිරසාර පැවැත්ම සඳහා ස්වාර්ථ සාධනය මුල් කර ගනිමින් ආහාර සපයා ගැනීම මෙන්ම පරාර්ථකාමය මත පදනම්ව ජනිතයින් ලොකු මහත් කිරීමද අවශ්‍ය වෙනවා. ඒ නිසා, ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත පදනම්ව සිදු වන ගනුදෙනු වලටද ජීව විද්‍යාත්මක පදනමක් තිබෙනවා. 

මිනිසුන් අතර සිදු වන සංකීර්ණ ගනුදෙනු ගහණයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සීමාවෙන් ඔබ්බට ගිය ගනුදෙනු බව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි සංකීර්ණ ගනුදෙනු වල මූලාරම්භය කුමක්ද? 

සත්ත්ව චර්යා දෙස බැලූ විට පෙනෙන්නේ ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොමැති සතුන් දෙදෙනෙකු අතර සිදු වන ගනුදෙනු මුලින්ම ආරම්භ වන්නේ ස්වාර්ථය මුල් කොටගත් ක්‍රියාවකින් නොව පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවකින් විය හැකි බවයි. මෙම පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දැක්වීම හේතුවෙන් (reciprocal altruism) එම පරාර්ථකාමී ක්‍රියාව ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඉන් පසුව, පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු මගින් ලබා ගත් "අධ්‍යාපනය"හේතුවෙන්  ස්වාර්ථය මත පදනම්වද එවැනි ගනුදෙනු සිදුවිය හැකියි.

ලේ උරා බොන වවුලෙකු විසින් වෙනත් වවුලෙකුට ආහාර සැපයීම හෝ  වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකුගේ සිරුර පිරිසිදු කිරීම උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. මුලින්ම මෙවැන්නක් කරන්නේ ස්වාර්ථය මුල් කරගත් ගනුදෙනුවක් ලෙස නෙමෙයි. තමන්ගේ ජනිතයෙකු වෙනුවෙන් කරන ආකාරයේ පරාර්ථකාමී ක්‍රියාවක් ලෙසයි. මෙවැනි එක් පරාර්ථකාමී ක්‍රියාවක් නිසා වෙනත් සතුන්ද එසේ කිරීමට පෙළඹෙනවා. නමුත් සියල්ලන්ම මෙවැනි ක්‍රියාවකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අහඹු අයෙකුට උදවු කිරීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් උදවු කර ගැනීමේ චර්යාවක් ගොඩ නැගෙන්න පුළුවන්. එවිට එය ස්වාර්ථය මත පදනම් වූ ගණුදෙනුවක්. 

මිනිස් ක්‍රියාකාරකම් බොහොමයකට කිසියම් ජානමය සම්බන්ධයක් තිබෙනවා. ආහාර තේරීම්, මත්ද්‍රව්‍ය සඳහා වන කැමැත්ත වැනි දේවල් වල සිට මුදල් ඉතිරි කිරීමේ නැඹුරුව දක්වා විශාල පරාසයක ක්‍රියාකාරකම් වල මේ සම්බන්ධය දැකිය හැකියි. ඒ නිසා, මිනිසුන්ගේ තීරණ මුළුමනින්ම ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන තීරණ නෙමෙයි. නමුත් ස්වාධීන කැමැත්තක් නොමැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. පුහුණු වීම මගින් මුත්‍රා කිරීම වැනි අතිශය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් පවා පාලනය කිරීමේ හැකියාවක් මිනිසුන්ට තිබෙනවා. එහෙත් මිනිසුන් කියන්නේත් අනෙක් සතුන් වැනිම කාබනික යන්ත්‍ර.

සතුන්ට පමණක් නැති සවිඥානිකත්වයක් මිනිසුන්ට පමණක් ඇති බව යල් පැන ගිය හෝ ආගමික අදහසක් පමණයි. දර්පණ පරීක්ෂණය යමෙකුගේ ස්වයං දැනුවත්භාවය (self-awareness) පිළිබඳ පරීක්ෂාවක්. දර්පණයකින් පෙනෙන්නේ ඔබේම ප්‍රතිබිම්බයක් බව ඔබට හඳුනා ගත හැකිද? දර්පණයක ඇති ප්‍රතිබිම්බයක් දෙස බලාගෙන ඔබේ සිරුරේ ඇති කිසියම් සලකුණක් ස්පර්ශ කිරීමේ හැකියාවක් ඔබට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබට ස්වයං දැනුවත්භාවයක් ඇති බවයි.

මිනිස් දරුවන් දර්පණ පරීක්ෂණය සමත් වන්නේ මාස 18-24 අතර වයසකදීයි. එයින් අදහස් වන්නේ මිනිසුන් තුළ ස්වයං දැනුවත්භාවය ගොඩ නැගෙන්නේ එම කාලයේදී බවයි. චිම්පන්සි, බොනබෝ වඳුරන්, අලි, ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම පොල්කිචි වර්ගයේ පක්ෂීන් විසින්ද මෙම දර්පණ පරීක්ෂණය සමත්ව තිබෙනවා. 

වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. කපුටන් විසින්ද වෙනත් කපුටෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. මෙයින් පෙනී යන්නේ එම සතුන්ට අනෙක් සතුන්ගේ හැසිරීම් පිළිබඳව පවා අවබෝධයක් ඇති බවයි. එමෙන්ම ආයුධ භාවිතයද බොහෝ සත්ත්ව වර්ග විසින් කරන දෙයක්. 

ඉහත කරුණු අනුව සියල්ල එක්ව ගත් විට පෙනී යන්නේ සවිඥානිකව හා ස්වාර්ථය මුල් කරගෙන, අනෙකාගේ කැමැත්ත පිළිබඳවද තක්සේරුවක් ඇතිව, ගනුදෙනු කිරීමේ හැකියාවක් සතුන්ට පවා ඇති බව බැහැර කළ නොහැකි බවයි. එය එසේනම් මිනිස් සත්ත්වයා විසින් ස්වාර්ථය මුල් කරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව  වර්ධනය කර ගන්නට ඇත්තේ මිනිසා සතුන්ගෙන් විභේදනය වීමටද පෙර කාලයකදීයි. 

කෙසේ වුවද දඩයම් සතෙකු වූ මිනිසා කෘෂිකාර්මික සතෙකු බවට පත් වී පෞද්ගලික දේපොළ මත පදනම් වූ සමාජ ගොඩ නැගුනු පසු මිනිසාගේ ස්වාර්ථ සාධන අරමුණ වෙනුවෙන් කරන ගනුදෙනු වේගයෙන් ඉහළ යනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි සමාජ ක්‍රමයකදී ශ්‍රම විභජනයේ වාසි ඉහළ යාමයි. ඊටම සම්බන්ධ අනෙක් හේතුව නිෂ්පාදන අතිරික්තය සහ ඒ මගින් වත්කම් බිහිවීමයි.

සෛද්ධාන්තිකව භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වෙනත් සත්ත්ව ගහණයක වුනත් ඇති වෙන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසි වන ස්වයං දැනුවත්භාවය සහ අනෙකාගේ හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව ඇතැම් සත්ත්ව වර්ග විසින් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. නමුත් සත්ත්ව සමාජ කිසිවක භාණ්ඩ හුවමාරු ක්‍රමයක් බිහි විය හැකි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නැහැ. ඒ සඳහා සංකීර්ණ සමාජ ගොඩ නැගුමක් අවශ්‍ය වෙනවා.

මිනිසුන්ගේ වුවද, දඩයම් සමාජයක මේ වාස්තවික තත්ත්වයන් නැහැ. භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වීම සඳහා පළමුව පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් විය යුතුයි. දඩයම් සමාජයක් කෘෂිකාර්මික සමාජයක් බවට පරිණාමය වෙද්දී මේ වෙනස සිදු වෙනවා. මා වගා කළ දෙයක අස්වැන්න මගේ දෙයක්. ඔබ වගා කළ දෙයක අස්වැන්න ඔබේ දෙයක්. ඔබට අයිති දෙය ඔබේ කැමැත්ත ලබා නොගෙන මා විසින් ලබා ගැනීම වරදක්. සොරකම වරදක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් වීමෙන් පසුවයි. පෞද්ගලික දේපොළ අයිතිය සමාජ සම්මතයක් වන තුරු සොරකම කියන වරදට අර්ථයක් නැහැ. 

පෞද්ගලික දේපොළ අයිතිය සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන්නේ සිය දරුවන් පිළිබඳව මවට තිබෙන අයිතියයි. මෙය සතුන්ටද තිබෙන හැඟීමක්. සපයා ගන්නා ආහාර වල අයිතිය පිළිබඳ හැඟීමද මෙවැනි මූලික දෙයක්. තමන් සතු මෙවැනි "දේපොළ" ආරක්ෂා කර ගැනීම සඳහා සාපේක්ෂව දියුණු මොළයක් තිබෙන ඕනෑම සතෙක් සටන් කරනවා. නමුත් භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වෙන්නනම් පෞද්ගලික දේපොළ අයිතියේ පරාසය මීට වඩා විශාල විය යුතුයි. දඩයම් සමාජයක් ඒ සීමාව පනින්නේ නැහැ. 

කිසියම් සමාජයක පෞද්ගලික දේපොළ පරාසය විශාල වීමෙන් පසුව වුවද හැම පෞද්ගලික දේපොළක්ම හුවමාරු භාණ්ඩ බවට පත් වන්නේ නැහැ. ඉඩමක් වැනි දෙයක අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සංකීර්ණ සමාජ සම්මුතීන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඉඩමක් අතින් අරගෙන යන්න බැහැ. නමුත් කුකුළෙක් හෝ එළුවෙක් අතින් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කුකුළෙක් හෝ එළුවෙක් කියන්නේ කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළක් කියන සාමූහික විශ්වාසය ගොඩ නගා ගත්තාට පස්සේ එවැනි දේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක වෙළඳ භාණ්ඩ බවට වීමේ විභවයක් ඇති වෙනවා.

මේ සියල්ල සිදු වූ පමණින්ද භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රම විභජනය මත පදනම් වූ සමාජ ක්‍රමයක් ගොඩ නැගෙන්නත් අවශ්‍යයි. ස්වයංපෝෂිත ආර්ථික ඒකක පමණක් තිබෙන සමාජ ගොඩනැගුමක භාණ්ඩ හුවමාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 

කෘෂිකාර්මික සමාජ ක්‍රමයක මූලික අදියරේදී බිහි වන්නේ ඔය විදිහේ ස්වයංපෝෂිත ආර්ථික ඒකකයි. දඩයම් කර ආහාර සපයා ගැනීම වෙනුවට වගා කොට හෝ සත්ත්ව පාලනය මගින් ආහාර සපයා ගැනීම ආදේශ වෙනවා. නමුත් එපමණකින්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා අනෙකෙකු සමඟ කරන ගනුදෙනු පිළිබඳව විශ්වාසය තැබීමක් සිදු වන්නේ නැහැ.

පෞද්ගලික දේපොළ අයිතිය සම්මුතියක් බවට පත් වී, වත්කම් ගොඩ නැගීමක්ද සිදු වීමෙන් පසුව, කිසියම් සමාජ කණ්ඩායමක් තුළ යම් ප්‍රමාණයක හෝ වත්කම් විෂමතාද ඇති වෙනවා. මෙයින් අදහස් කෙරෙන්නේ මූලික ආර්ථික ඒකකය මූලික සමාජ ඒකකයකට වඩා විශාල වූ තත්ත්වයක්. සාමාන්‍යයෙන් දඩයම් සමාජයක හෝ සත්ත්ව ගහණයක සමාජ ඒකකයක් හා ආර්ථික ඒකකයක් අතර වෙනසක් නැහැ. ඒ නිසාම, එකට ජීවත් වන කණ්ඩායමක් අතර සම්පත් විෂමතා නැහැ.

කෘෂිකාර්මික හැරවුමකින් පසුව මිනිස් සමාජයේ මේ මූලික සැකැස්මේ වෙනසක් සිදු වෙනවා. මූලික ආර්ථික ඒකකය පවුල. මූලික සමාජ ඒකකය ගම හෝ ගෝත්‍රික කණ්ඩායම. මෙවැනි සමාජ ඒකකයක් තුළ ආර්ථික ඒකක අතර වත්කම් විෂමතා පැවතීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත්, සමාජ ඒකකය තුළ පවතින පොදු බැඳීම නිසා ආර්ථික ඒකක අතර පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. වැඩිපුර ආහාර තිබෙන අයෙකු විසින් ආපසු යමක් අපේක්ෂා නොකර ආහාර නොමැති අයෙකුට ආහාර ලබා දීමක් සිදු වෙන්න පුළුවන්. 

මෙවැනි අවස්ථාවකදී පෞද්ගලික දේපොළ සමාජ සම්මතයක් වී ඇති කණ්ඩායමක් තුළ අනෙකෙකුගේ උපකාර ලබන අයෙකුට තමන් විසින් ලබා ගත් දේ වෙනුවෙන් ආපසු යමක් කිරීමේ පෙළඹුමක් ඇති වෙන්න පුළුවන්. ඒ පෙළඹුම නිසා මුල් ගනුදෙනුව පසුව ආපසු හැරවෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ණය දීමේ සහ ණය ලබා ගැනීමේ සංස්කෘතියක මූලික බීජය පැල වෙනවා. ඒ නිසා, කාලයක් යද්දී ණය දීම හා ගැනීම සම්මුතියක් සහ ස්වාර්ථ සාධනය මත පදනම් වූ ගනුදෙනුවක් බවට පත් වෙන්න පුළුවන්. 

මෙවැනි තත්ත්වයක් යටතේ වුවද සිදු වන්නේ භාණ්ඩ හුවමාරුවක්. එකම වෙනස ගනුදෙනුවේ සංරචක දෙක අතර කාල වෙනසක් පැවතීමයි. එවැන්නක් සිදු විය හැක්කේ අදාළ පාර්ශ්ව දෙක අතර සැලකිය යුතු මට්ටමේ විශ්වාසයක් ගොඩ නැගී ඇත්නම් පමණයි. නමුත් එසැණින් අවසන් වන භාණ්ඩ හුවමාරුවක් සඳහා මෙවැනි විශ්වාසයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, භාණ්ඩ හුවමාරුව සඳහා අවශ්‍ය වන්නේ ණය ගනුදෙනු සිදු වීම සඳහා අවශ්‍ය වන වාස්තවික තත්ත්වයන්ට වඩා අඩු කොන්දේසි ප්‍රමාණයක්. 

ණය ගනුදෙනු ඇති වීමට හෝ භාණ්ඩ මුදල් බිහි වීමට පෙර භාණ්ඩ හුවමාරු ක්‍රමය ඇති වීම තර්කානුකූලව සිදු විය යුතු දෙයයි. ඒ සඳහා අවශ්‍ය වන කොන්දේසි වල ස්වභාවය නිසා ලෝකයේ විවිධ කලාප වල මෙය සිදු වන්නට ඇත්තේ විවිධ කාල වකවානු වලයි. 

පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 9000 වැනි කාලයක පවා භාණ්ඩ හුවමාරු සිදුව ඇත්තේයැයි විශ්වාස කෙරෙනවා. මෙම විශ්වාසයේ පදනම වන්නේ කිසියම් ස්ථානයක සිට කිලෝ ඈතින් පමණක් ලබා ගත හැකි දේ අදාළ ප්‍රදේශයේ වීමයි. වත්මන් ඊශ්‍රායලය, තුර්කිය හා පකිස්ථානය රටවලට අයත් විවිධ පෙදෙස් වලින් මෙවැනි සාක්ෂි හමු වී තිබෙනවා. නමුත් එයින් අදහස් වන්නේ මුදල් විකාශනයේ ඊළඟ අදියරකට යාමෙන් පසුව එම ප්‍රදේශ වලින් භාණ්ඩ හුවමාරු ක්‍රමය අතුරුදහන් වූ බව නෙමෙයි. අද පවා යම් සීමිත තත්ත්වයන් යටතේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 

මෙවැනි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සංකල්පීය ලෙස ස්වාර්ථය මුල් කොට ගෙන සිදු වන මූලික මට්ටමේ ගනුදෙනු සේ සැලකිය හැකියි. ලිපියෙහි විස්තර කර ඇති පරිදි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු වීම සඳහා මුලින්ම ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ඇති විය යුතුයි. එහෙත් කිසියම් සමාජ කණ්ඩායමක් තුළ මේ අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී භාණ්ඩ හුවමාරු ගනුදෙනු ආරම්භ වීමෙන් පසුව එම කණ්ඩායමට එවැනි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. ඒ නිසාම, අවසාන වශයෙන්, වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් දෙකක් අතර වුවද මේ භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු විය හැකියි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පරීක්ෂණ තත්ත්වයන් යටතේ, කැපුචින් වඳුරන් මිදි වෙනුවට ඇපල් හුවමාරු කරගෙන තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම්ව, සවිඥානික තේරීමක් හා හුවමාරුවක් කිරීමේ හැකියාව එම වඳුරන් සතු බවයි. මෙය තොප්පි වෙළෙන්දාගේ කතාවේ වඳුරන්ගේ ප්‍රතිචාරය වැන්නක් නෙමෙයි. එහෙත් මෙවැනි හුවමාරුවක් සිදු වන්නේ පර්යේෂකයින් විසින් එම වඳුරන්ට මුලින්ම මිදි ලබා දී පසුව එම මිදි වෙනුවට ඇපල් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් නිසා. ස්වභාවික තත්ත්වයන් යටතේ වඳුරන් සතුව මෙවැනි හුවමාරු කළ හැකි පෞද්ගලික දේපොළ හෝ හුවමාරු කිරීමේ අවස්ථාවන් නැහැ. ඒ නිසාම වඳුරන් අතර භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමයක්ද නැහැ. 

භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමට පෙර දඩයම් සමාජයක් තුළ පවතින්නේද මෙවැනි තත්ත්වයක්. එහෙත්, යම් කෘෂිකාර්මික සමාජයක් තුළ භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමෙන් පසුව, ඔවුන්ට දඩයම් සමාජයක් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. වඳුරන්ට තේරෙන තරමේ දෙයක් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු නැහැ. 

මුදල් ක්‍රමයේ විකාශනයේ පසු අදියර වලදී සිදු වී තිබෙන්නේද මෙවැන්නක්. එම විකාශනයේ බොහෝ පසුකාලීන අදියරක් ගැන එකවරම දැනගන්නා සමාජයකට ඒ අදියරට යාම සඳහා මුල් අදියර සියල්ල සම්පූර්ණ කර පැමිණෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. එකවරම පියවර ගණනාවකින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ස්වභාවික විකාශනය හරහා පසු අදියරකට යාමටනම් මුල් අදියර පසු කරන්නට සිදු වෙනවා. 

මේ හේතුව නිසා මුදල් ක්‍රමයේ ඓතිහාසික විකාශනය පිළිබඳ ආකෘති වල ආකෘති සලකද්දී ලොකු වැරැද්දක් නැහැ. නමුත් මේ ආකෘති ඉතිහාසය සමඟ ගලපන්න ගියොත් අනිවාර්යයෙන්ම විශාල නොගැලපීම් හමු වෙනවා. මේ සටහන "ගනුදෙනු වල ආරම්භය කුමක්ද?" යන ලිපියේ මාතෘකාවට පිළිතුරක් නෙමෙයි. එම ප්‍රශ්නයද මුල් කරගෙන මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවක් පමණයි. 

ඉතිහාසය කියා කියන්නේ දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ ඇසුරෙන් හදා ගන්නා කතාවකටයි. මෙහි දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ කියද්දී එයට අපට පෙර පරම්පරා වලින් දැනගන්නට ලැබුණු ඉතිහාස කතන්දරද ඇතුළත්. මේ කතා සහ අතීතයේ ඇත්තටම සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම සමාන විය යුතු නැහැ.

සමහර වෙලාවට, සමහර කරුණු හා අදාළව බොහෝ වෙලාවට, මේ ඉතිහාස කතා හැදෙන්නේ ඒ මොහොතේ පවතින දේශපාලනික අවශ්‍යතා මතයි. ඒ නිසා, විකල්ප කතා ගණනාවක් තියෙන්න පුළුවන්. මේ කතා අතරින් හරි කතාව තෝරා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

කිසියම් දෙයක ඓතිහාසික විකාශනය තේරුම් ගත හැකි විකල්ප ක්‍රමයක් වන්නේ දැනටත් අප‍ට නිරීක්ෂණය කළ හැකි, එම විකාශනයේ මුල් අදියරක තවමත් සිටින සමාජ පරීක්ෂාවට ලක් කිරීමයි. සියවසකට හෝ දෙකකට පෙර එවැනි මිනිස් සමාජ තිබුණත් මේ වෙද්දීනම් නැති තරම්. මෙයට එක් විසඳුමක් වන්නේ සත්ත්ව ලෝකය වෙත අවලෝකනය කිරීමයි. 

වඳුරන් සමඟ සිදු කර ඇති ගනුදෙනු ගැන මෙම ලිපියෙහි මෙන්ම පෙර ලිපියකද කතා කළා. නමුත් මේ ගනුදෙනු පර්යේෂණ තත්ත්ව යටතේ සිදු කර ඇති ගනුදෙනු පමණයි. ඒ කිසිම අවස්ථාවක් වඳුරන් හෝ වෙනත් සතුන් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වූ අවස්ථා නෙමෙයි.

සාපේක්ෂව මෑතකදී ඉන්දුනීසියාවේ බාලිහි පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදු කර ඇති වීඩියෝ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇති පරිදි, මිනිසුන් විසින් සෘජුව පුහුණු නොකරම වදුරන් විසින්ම ගනුදෙනු කිරීමට ඉගෙන ගෙන ඇති බවද දකින්නට ලැබී තිබෙනවා. මෙවැනි ගනුදෙනු දඹුල්ල වැනි තැන් වල සිටින ලංකාවේ රිළවුන් විසින් වුවද කරනවා වෙන්න පුළුවන්.

මේ වඳුරන් වඩා වටිනා දෙයක් සමඟ හුවමාරු කරගැනීමේ අරමුණින්ම ඔවුන්ට වැඩක් නැති, මිනිසුන්ට වටිනා දේවල් පැහැර ගන්නවා. මෙය දරුවෙකු පැහැරගෙන කප්පම් ඉල්ලීමකට සමානයි. 

ඔවුන් කරන්නේ පැහැදිලි ගණුදෙනුවක්. පූජනීය ස්ථාන වලට පැමිණෙන සංචාරකයින්ගෙන් මේ පැහැර ගැනීම් කරද්දී ඔවුන් කිසි විටෙකත් මිනිසුන්ට හිරිහැර කරන්නේ නැහැ. සැලසුම් කර, කල් යල් බලා, ඉතා ක්ෂණිකව තමන්ට අවශ්‍ය දේ පැහැර ගැනීමයි හැම විටම මෙන් සිදු කර තිබෙන්නේ. එසේ පැහැර ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ලඟා විය නොහැකි තරම් ඈතකට යන්නේ නැහැ. ගනුදෙනුවක් සිදු කළ හැකි සීමාවක රැඳෙනවා.

ජංගම දුරකථනයකින්, කාන්තා අත් බෑගයකින් හෝ උපැස් යුවලකින් වඳුරෙකුට වැඩක් නැහැ. විශ්ලේෂණ අනුව පෙනී ගොස් ඇති පරිදි වඳුරන් මෙවැනි දේ පැහැර ගන්නේම හුවමාරුවක් කර ගැනීමේ අරමුණින්. ඒ වගේම, මේ වඳුරන්ට මිනිසුන්ට වටිනා දේවල් ගැන අවබෝධයක් තිබෙනවා. එය අත්දැකීම් ඇසුරෙන් ලබාගත් අවබෝධයක්. හුවමාරු වටිනාකමක් නැති, මිනිසුන්ට එතරම්ම නොවටිනා දේ වඳුරන් විසින් පැහැර ගන්නේ ඔවුන්ට එහි වටිනාකමක් ඇත්නම් පමණයි.

මෙවැනි පැහැර ගැනීම් කරන්නේ ආහාර නොමැතිකම නිසාද නෙමෙයි. මේ වඳුරන්ට ප්‍රමාණවත් තරම් ආහාර ලැබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වඩා කැමති දෙයක් ලබා ගැනීමයි. පැහැර ගත් දෙයක් ආපසු ඉල්ලා සිටි විට වඳුරන් විසින් ඵලදායී හෙට්ටු කිරීමක් කරනවා. ඔවුන්ට සාපේක්ෂ වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් වඳුරාගෙන් වඳුරාට වගේම, අවස්ථාව අනුවද වෙනස් වෙනවා. තමන්ට ලබා ගත හැකි උපරිම මිල ලැබෙන තුරු ඔවුන් පැහැර ගත් දෙය ආපසු දෙන්නේ නැහැ. අඩු මිල අර්පණයන් සියල්ල පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මගින් මිනිසුන් අතර භාණ්ඩ හුවමාරු සංස්කෘතියක් ඇති වූ ආකාරය ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්. 


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳ කතාව


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව පිළිගත් සම්මත කතාවක් තිබෙනවා. ඒ කතාව අඩු වැඩි වශයෙන් පහත සාරාංශගත කර තිබෙන ආකාරයට සමානයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ ලෝහ කාසි ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල් ↓ ඉලෙක්ට්‍රොනික මුදල් ↓ ඩිජිටල් සහ ක්‍රිප්ටෝ මුදල්


සමහර විට මේ කතාව මීට වඩා පියවර ගණන අඩු, සරල එකක් වෙන්න පුළුවන්. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල්

කතාවේ මූලික ආකෘතිය දෙවැන්න ලෙසත්, පළමුවැන්න ඒ තුළට අප්‍රධාන පියවර එකතු කර පුළුල් ලෙස හදපු ආකෘතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 

මේ ආකෘති වල ලොකු වැරැද්දක් නැතත්, ආකෘතිය විස්තර කරද්දී සහ තේරුම් ගනිද්දී සමහර වෙලාවට මෙය ආකෘතියක් කියන එක අමතක වෙනවා. ඒ නිසා, මේ විකාශනය තේරුම් ගැනෙන්නේ වැරදි අවබෝධත් එක්ක විය හැකි අවස්ථා තිබෙනවා.

ආකෘතිය විස්තර කරද්දී, ගොඩක් වෙලාවට, එයට කාල වකවානු යෙදීමක් සිදු වෙනවා. ඒ කාල වකවානු ලෝකයේ හැම කලාපයකටම ගැලපෙන්නේ නැතත්, සාමාන්‍යයෙන් ඒ කරුණට අවධානය යෙදවෙන්නේ අඩුවෙන්. ඒ වැරැද්ද නිවැරදි කෙරෙන විස්තර කිරීමකදී වුවත්, මේ විකාශනය අනිවාර්ය රේඛීය ගලායාමක් විදිහට තේරුම් යනවා. නමුත් එය එසේම විය යුතු නැහැ. ඉදිරි පියවරක සිට පසු පියවරකට ආපසු ඇවිත් නැවත ඉදිරියට ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මේ හැම පියවරක්ම අනිවාර්ය නැහැ. පියවර පැනලා ඉදිරියට යන්න බැරිකමක් නැහැ. ලෝකයේ බොහෝ කලාප වල එය එසේ සිදු වී තිබෙනවා.

මේ ආකෘතිය කාලානුක්‍රමනික (chronological) විකාශනයක් ලෙස තේරුම් නොගෙන සංකල්පීය විකාශනයක් ලෙස තේරුම් ගත්තොත් අවුල් අඩුයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system)

ගනුදෙනු වල මූලිකම අවස්ථාව සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system) කියන එක බොහෝ දෙනෙකුට පහසුවෙන්ම එකඟ වෙන්න පුළුවන් කරුණක්. මේ අවස්ථාවේදී ගනුදෙනු සිදු වුනත්, මුදල් කියා දෙයක් නැහැ. සංකල්පීය වශයෙන් වගේම ප්‍රායෝගිකවත්, ගනුදෙනු කරන්න මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, මේ පියවර ආකෘතිගත කරන්න වෙන්නේ ඕනෑම මුදල් වර්ගයක් භාවිතා කරන අදියරකට පෙර අදියරක් ලෙසයි.

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී හුවමාරුවක් සිදු වෙන්නනම් එක් එක් පුද්ගලයා සතුව අනෙක් පුද්ගලයාට අවශ්‍ය දෙයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබුණත් වී නැහැ. ඒ පුද්ගලයාට වී අවශ්‍යයි. ඔය වගේ තත්ත්වයක් යටතේදී හුවමාරුවක් සිදු වෙනවා. මේ විදිහට අවශ්‍යතා ද්විත්වයක සමපාත වීමක් සිදු නොවුවහොත් ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් (Commodity money)

මේ තමයි මුදල් කියන සංකල්පයේ මූලිකම අවස්ථාව. භාණ්ඩ මුදල් භාවිතය සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සීමාවන් අතික්‍රමණය කරනවා. උදාහරණයක් ලෙස මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබෙනවා. පොල් හුවමාරු කරගන්නත් කැමතියි. නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වන්නේ බිත්තර මිසක් වී නෙමෙයි. ඒ නිසා, හුවමාරුවක් වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් ක්‍රමයකදී මේ පුද්ගලයා විසින් මා සතු වී ලබාගෙන ඒ වෙනුවට පොල් ලබා දෙනවා. නමුත් එසේ කරන්නේ ඒ පුද්ගලයාට වී අවශ්‍ය නිසා නෙමෙයි. වෙනත් අයෙකු එක්ක වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමේ අරමුණෙන්. එසේ කරන්නේ වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමට කැමති කෙනෙක් සිටියි කියන විශ්වාසය මතයි. මේ ගණුදෙනුවේදී වී භාණ්ඩ මුදලක් සේ ක්‍රියා කරනවා. 

භාණ්ඩ මුදලක් විය හැක්කේ මොන වගේ භාණ්ඩයක්ද?

භාණ්ඩ මුදලක් විය හැක්කේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක්. හුවමාරු කර ගැනීමේ ශක්‍යතාවය වැඩි වන්නේ භාණ්ඩ මුදලක් වැඩි දෙනෙකුට අවශ්‍ය භාණ්ඩයක් වූ තරමටයි. ඊට අමතරව භාණ්ඩ මුදලක් නැවත හුවමාරුවක් සිදු කරන තුරු කල් තබා ගත හැකි ද්‍රව්‍යයක් විය යුතුයි. ඒ නිසා, බිත්තර වැනි දෙයක් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. වී ගැලපෙනවා. 

මුදල් වලින් කාර්යයන් තුනක් ඉටුවන සේ සැලකෙනවා. ඒ කාර්යයන් තුන භාණ්ඩ මුදල් ඇසුරෙන් වුවත් පැහැදිලි කළ හැකියි.

1. ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස - තමන්ට වී අවශ්‍ය නැති කෙනෙක් තමන් සතු පොල් වෙනුවට වී හුවමාරු කර ගන්නවා. ඉන් පසුව වී වෙනුවට බිත්තර හුවමාරු කරගන්නවා. අවසාන වශයෙන් වෙලා තියෙන්නේ පොල් වෙනුවට බිත්තර ලබා ගැනීම. කෙළින්ම පොල් වෙනුවට බිත්තර හුවමාරු කර ගත හැකි වුනානම් වෙන්නෙත් මේ වැඩේමයි. නමුත් බිත්තර සතු වූ පුද්ගලයාට අවශ්‍ය වී තිබුණේ වී මිසක් පොල් නෙමෙයිනම්, ඒ වගේ ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ උපකරණයක් ලෙස වී යොදා ගත හැකි වූ නිසා මේ වැඩේ සිදු වුනා. 

2. වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් ලෙස - කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදලක් වූ විට එම භාණ්ඩය ඇසුරෙන් අනෙක් භාණ්ඩ වල වටිනාකම් මනින්න පුළුවන්. පොල් ගෙඩියක් වී සේරුවයි, බිත්තර පහක් වී සේරුවයි යනාදී වශයෙන්. ඔය විදිහේ සම්මතයක් හදාගත්තට පස්සේ පොල් වල සහ බිත්තර වල වටිනාකම් වී වලින් කියන්න පුළුවන්. ප්‍රායෝගිකව කොහොම වෙතත්, සෛද්ධාන්තිකව වී කියන දේ එකවරම ලෝකයෙන් අතුරුදහන් වුනත් ඔය සම්මතය දිගටම පවත්වා ගෙන යමින් වී වලින් වටිනාකම් මනින්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සාමූහික එකඟතාවයක් නැත්නම් සම්මුතියක් පමණයි. නමුත්, මේ විදිහට වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් සම්මුතියක් බවට පත් වෙන්නනම් මුලින්ම අදාළ දෙය  ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් වෙන්න ඕනෑ. ඒ නිසා මුදලක පළමු කාර්යය දෙවන කාර්යයට වඩා ප්‍රමුඛයි. 

3. වටිනාකම් ගබඩා කළ හැකි දෙයක් ලෙස - වටිනාකම් ගබඩා කිරීම සඳහා මුදල් කියා දෙයක් තිබීම තබා ගනුදෙනු සිදුවීම හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඔය දෙකෙන් එකක්වත් නැතත් කෙනෙකුට වටිනාකම් ගබඩා කර ගන්න පුළුවන්. තමන්ටම අයිති වී තමන් විසින්ම ගබඩා කර ගනිද්දීත් වටිනාකම් එක්රැස් වීමක් වෙනවා. ඒ නිසා, මේ කාර්යය වෙනුවෙන් පමණක් මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. මුදලක කාර්යයන් තුනෙන් අඩුවෙන්ම වැදගත් කාර්යය මෙයයි. මුදල් නොවන දෙයක් වටිනාකම් ගබඩා කිරීම සඳහා යොදා ගත් විට එය වත්කමක් වෙනවා. ඒ නිසාම, මුදල් කියන්නේද වත්කමක් වුවත්, වත්කම් කියන්නේ මුදල් පමණක් නෙමෙයි.

භාණ්ඩ මුදල් ලෙස යම් කිසි මුදල් වර්ගයක් භාවිතයට එනවාද කියන එක තීරණය වෙන්නේ ඉහත එක් එක් අවශ්‍යතාවය කොයි තරම් වැදගත්ද කියන එකත්, කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදල් සේ භාවිතා කිරීමෙන් එම අවශතාවය කෙතෙක් දුරට ඉටු වේද කියන එකත් මතයි. 

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයක ඉඳලා භාණ්ඩ මුදල් භාවිතයට ක්‍රමයෙන් පුරුදු වෙද්දී ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදලක් යොදා ගැනීමේ හැකියාව ගැන බොහෝ දෙනෙකුට ලොකු විශ්වාසයක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේදී යම් තරමකින් හෝ විශ්වාසය තැබිය හැක්කේ වී වැනි දෙයක් මතයි. ගනුදෙනුවක් සඳහා යොදා ගන්න බැරි වුනොත් පරිභෝජනය සඳහා හෝ ගන්න පුළුවන්. 

නමුත් ගනුදෙනු සංස්කෘතියක් ඇති වෙලා කිසියම් මුදලකින් ගනුදෙනු කිරීමේ හැකියාව ගැන සාමූහික විශ්වාසයක් ඇති වුනාට පස්සේ මේ වැඩේට පරිභෝජනය කළ හැකි දෙයක්ම අවශ්‍ය වන්නේ නැහැ. එවිට වැදගත් වන්නේ නරක් නොවී කල් තබා ගත හැකි වීම. ඒ කියන්නේ තුන් වන කාර්යය වන වටිනාකම් විනාශ නොවී ගබඩා කර තබා ගැනීම. 

කුකුළන්, එළුවන් වැනි පණ තිබෙන සතුන්ද භාණ්ඩ මුදල් ලෙස භාවිතා වී තිබෙනවා. මේ සතුන් බෝ වෙන නිසා ප්‍රතිලාභයකුත් තිබෙන වත්කමක් සේ සලකන්න පුළුවන්. නමුත් සත්තු හදිසියේ මැරෙන්න පුළුවන් නිසා අවදානමකුත් තිබෙනවා. 

ලෝකයේ විවිධ කලාප වල විවිධ කාල වකවානු වල විවිධ භාණ්ඩ භාණ්ඩ මුදල් සේ භාවිතා වී තිබෙනවා. ඒ අතර, රන්, රිදී, තඹ වැනි ලෝහ වර්ගද තිබෙනවා. මෙවැනි ලෝහ වර්ග භාණ්ඩ මුදල් සේ ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ විනාශ නොවී කල් තබා ගැනීමේ හැකියාව නිසා විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝහ වර්ග විසින් වත්කම් ලෙස ඉටු කළ කාර්ය භාරය. 

මේ වර්ග අතරින්ද රන් බොහෝ විට භාවිතා වී තිබෙන්නේ මුදලකට වඩා වත්කමක් ලෙසයි. මුදල් ලෙස වැඩිපුරම භාවිතා වී තිබෙන්නේ රිදී. ඊට හේතුව කලාප කිහිපයක හැර, කිසිම විටෙක ගනුදෙනු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට රන් සැපයුමක් ලෝකයේ තිබී නොමැති වීමයි. ඊට සාපේක්ෂව ගනුදෙනු සඳහා ප්‍රමාණවත් රිදී සැපයුමක් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල තිබී ඇති බව පේනවා. 

රන් හෝ රිදී කියන්නේ වී හෝ කුකුළන් වැනි පරිභෝජනය සඳහා බොහෝ දෙනෙකුට අවශ්‍ය වන දේවල් නෙමෙයි. ඒ නිසා, භාණ්ඩ මුදල් ක්‍රමය තුළම වී හෝ කුකුළන් වෙනුවට රන් හෝ රිදී ආදේශ වෙද්දී පසුකාලීන අදියරකදී භාවිතයට ආ ෆියට් මුදල් වල මූලික ස්වරූපයක් මුදල් ක්‍රමයට එකතු වෙනවා. යමෙක් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ෆියට් මුදල් භාර ගන්නේ ඒ ෆියට් මුදල් වෙනත් අයෙකුට දී තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත හැකි වේයැයි යන විශ්වාසය නිසා. මුදල් ලෙස රන් හෝ රිදී භාර ගනිද්දී සිදු වෙන්නෙත් ඔය දෙයමයි. 

ඉහත හේතුව නිසා අවශ්‍යනම් කෙනෙකුට රන් හෝ රිදී කියා කියන්නේ භාණ්ඩ මුදල්ම නෙමෙයි කියලා කියන්නත් පුළුවන්. භෞතිකව වී හෝ කුකුළන් වගේම රන් හා රිදී කියන්නෙත් භාණ්ඩ. නමුත් සංකල්පීයව මේ දෙවර්ගයේ වෙනසක් තිබෙනවා. ඔය දෙවර්ගය එකට දමනවා වගේම අවශ්‍යනම් රන් හා රිදී, ඒවා මත පදනම් වූ නියෝජිත මුදල් සහ ෆියට් මුදල් ආදී වර්ග සියල්ලම එක ගොඩකට දමලා ඉරක් අඳින්නත් පුළුවන්. ඓතිහාසික විකාශනයන් විස්තර කරද්දී සිදු කරන යුග බෙදීම් හා අදියර බෙදීම් කියන්නේ ආකෘති ඇතුළේ තිබෙන වෛෂයික බෙදීම් මිසක් වාස්තවික බෙදීම් නෙමෙයි. 

Wednesday, July 16, 2025

ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන


කලින් සටහන ඇමරිකානු සන්දර්භයේ මතු කළ කරුණකට පිළිතුරක්. එහි සඳහන් සංඛ්‍යාලේඛණ ලංකාවට සෘජුව අදාළ කරගන්න බැහැ. මෙය ලංකාවට අදාළ වන ආකාරය ගැන කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණා.

මිනිසුන්ට වත්කම් එකතු කරගැනීමේ අභිප්‍රායයක් ඇති වීමේ සහ මිනිසුන් අතර ගනුදෙනු සිදු කිරීමේ සංස්කෘතියක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වත්කම් වර්ග මුදල් බවට පත් වෙනවා. මුදල් වලින් තබා ගන්නා වත්කම් මූල්‍ය වත්කම්. යම් පිරිසක් මූල්‍ය වත්කම් එකතු කරගනිද්දී ඊට අනුරූපව මූල්‍ය බැරකම් එකතු කරගන්නා පිරිසක්ද අවශ්‍ය වෙනවා. මේ දෙකම යන්නේ එකට. 

වෙනත් විදිහකින් කිවුවොත්, ගනුදෙනු සංස්කෘතියක ඇතැම් ගනුදෙනු සිදු වෙන්නේ ණයට. ණය සේ ලබා දෙන අරමුදල් ණය දෙන්නාගේ මූල්‍ය වත්කමක් වෙනවා. මේ අරමුදල් ගනුදෙනු සඳහා යොදා ගැනෙද්දී මුදල් මැවීමක්ද සිදු වෙනවා. ඒ සඳහා මහ බැංකුවක් තිබිය යුතු නැහැ. 

කවර හෝ මුදල් මැවීමේ ක්‍රියාවලියක් නිසා මුදල් සැපයුම මුදල් ඉල්ලුමට වඩා වැඩි වුවහොත් අදාළ මුදල් වර්ගයේ වටිනාකම අඩු වෙනවා. එම මුදල් වර්ගය හා අදාළව උද්ධමනයක් ඇති වෙනවා. මුදල් සැපයුම ප්‍රමාණවත් නොවුනොත් මුදලේ වටිනාකම ඉහළ ගොස් අවධමනයක් ඇති වෙනවා. 

මුදලේ වටිනාකම නියාමනය කිරීමටද ඉතිහාසයක් තිබෙනවා. කාලයක් මේ නියාමනය හරහා සිදු වුනේ කිසියම් නිශ්චිත ලෝහ වර්ගයක වටිනාකමට සාපේක්ෂව මුදලේ වටිනාකම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම.

එක්තරා යුගයක බොහොමයක් රටවල් විසින් අනුගමනය කළේ මේ ක්‍රමය. දැන් ප්‍රචලිත ක්‍රමය වන්නේ පොදුවේ සියළුම පරිභෝජන භාණ්ඩ වලට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.

ඇතැම් අවස්ථා වල ඇතැම් මහ බැංකු මේ වැඩේ හරියට කරන්න සමත් වන්නේ නැහැ. නමුත් එය පැරණි ක්‍රමය තුළද පැවති තත්ත්වයක්. මුදල් ක්‍රමයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම මුදල් ක්‍රමයක ප්‍රශ්නයක් නෙමෙයි.

වටිනාකම නියතව තබා ගන්නා ක්‍රමයකට සාපේක්ෂව වටිනාකම වෙනස් වීම නියතව තබා ගන්නා ක්‍රමයකදී මුදලක වටිනාකම කාලයත් සමඟ පහළ යනවා. නමුත් එය සිදු වෙන්නේ කලින් සිතා ගත හැකි ආකාරයකටනම් අනාගතය හා අදාළ තීරණ ගැනීමට මෙය බාධාවක් වන්නේ නැහැ. 

මේ විදිහට මුදලේ වටිනාකම් ක්‍රමිකව පහත වැටෙනවා කියන්නේ කවුරුවත් දුප්පත් වෙනවා කියන එක නෙමෙයි. මුදලක වටිනාකම අඩු වීම ප්‍රශ්නයක් වෙන්නේ මුදල් මුදල් ලෙසම තියා ගත්තොත් පමණයි. 1989-2024 කාලය සැලකුවොත්, මෙම වසර 35ක කාලය තුළ රුපියලක වටිනාකමෙන් 96%කටත් වඩා ක්ෂය වී ගොස් තිබෙනවා. ඒ කියන්නේ 2024 රුපියලක වටිනාකම 1989 රුපියලක වටිනාකමෙන් 4%කටත් වඩා අඩුයි. 1989 රුපියලක 2024 වටිනාකම රුපියල් 25.14ක්. 

කවුරු හෝ කෙනෙක් රුපියල් නෝට්ටු පෝර උරයක දමා හෝ මෙට්ටයක් අස්සේ දමා මේ අවුරුදු 35 තිස්සේ තියාගත්තේනම්, ඒ පුද්ගලයාගේ මුදල් වල වටිනාකමෙන් 96%ක්ම මේ වෙද්දී නැති වෙලා. නමුත් සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියා ගන්නේ කලාතුරකින් අයෙක්. මුදල් ආයෝජනය කිරීම මගින් මුදල් වල වටිනාකම ක්ෂය වීම ඉක්මවන වාසියක් ලබා ගන්න පුළුවන්. මෙසේ මුදල් ආයෝජනය කළ හැකි විකල්ප මොනවාද?

යමෙක් 1989දී මාස-12 භාණ්ඩාගාර බිල්පත් වල රුපියල් 100ක් ආයෝජනය කර ඒ ආයෝජනය වසරින් වසර අලුත් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම කීයද? මෙම මුදල රුපියල් 7,084ක්.

1989 රුපියල් 100ක 2024 වටිනාකම රුපියල් 2,514ක්. ඊට හේතුව උද්ධමනය නිසා රුපියල් වල වටිනාකම වෙනස් වී තිබීමයි. නමුත් භාණ්ඩාගාර බිල්පත් වල එම මුදල ආයෝජනය කිරීම මගින් මේ හානිය ඉක්මවන ලාබයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා, උද්ධමනයක් තිබූ පමණින් කවුරුවත් දුප්පත් වෙන්නේ නැහැ.

මෙම ගණනයේදී 1989 සිට ගණන් හැදුවේ දත්ත තිබෙන්නේ එම වසරේ සිට නිසා. ඒ වෙද්දී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර තිබුණේ නැහැ. මුලින්ම බැඳුම්කර නිකුත් කළේ 1997දී. සාමාන්‍යයෙන් බැඳුම්කර පොලිය බිල්පත් පොලියට වඩා වැඩියි. ඒ නිසා, බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් මීටත් වඩා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. 

අනෙක් විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන එක. සමස්ත කොටස් මිල දර්ශකයේ වර්ධනය අනුව, 1989දී රුපියල් 100ක් ආයෝජනය කළේනම්, එම මුදල 2024දී රුපියල් 9,018ක් වෙලා. මීට අමතරව වාර්ෂිකව ලාභාංශ ආදායම් ලැබෙන බැවින් සම්පූර්ණ ප්‍රතිලාභය මීට වඩා වැඩියි.

පසුගිය අර්බුද සමයේ ඇතැම් අය රුපියල් ඩොලර් වලට මාරු කළා. ඩොලර් කියන්නෙත් රුපියල් වගේම වටිනාකම අඩු වෙන මුදලක්. නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම දිගින් දිගටම ඉහළ යනවා. 1989දී කවුරු හෝ කෙනෙක් රුපියල් 100ක් ඩොලර් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම රුපියල් 731ක් වෙලා. එහෙත් එයින් උද්ධමනය නිසා සිදු වූ හානිය ආවරණය වන්නේ නැහැ.

අපි හිතමු මේ විදිහට ඩොලර් කිරීමෙන් පසුව එම ඩොලර් වලින් රන් මිල දී ගත්තා කියලා. මම දන්නා තරමින් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට මෙහෙම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි එහෙම හිතමු. ඉන් පසුව 2024දී නැවත රන් ඩොලර් කරලා ඩොලර් රුපියල් කරනවා. එසේ කළේනම්, 1989 රුපියල් 100ක මුදල 2024දී 3,696ක් වෙලා. එයින් උද්ධමනයේ හානිය ආවරණය වෙනවා. නමුත් කොටස් වෙළඳපොළ හෝ රාජ්‍ය සුරැකුම්පත් බැඳුම්කර ආයෝජන තරමට වාසියක් නැහැ. 

රන් වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළක්. ලංකාවේ රන් නිපදවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රන් මිල නිර්ණය වෙන්නේ ජාත්‍යන්තර මිල සහ ඩොලරයක මිල මත කියා හිතන්න පුළුවන්. ඒ නිසා, ලංකාවේ රන් මිල වැඩි වීමද ඉහත අනුපාතයට සිදු වී ඇතැයි උපකල්පනය කරන්න පුළුවන්. 

නමුත් ලංකාවේ ගොඩක් අය රන් කියලා මිල දී ගන්නේ රන් ආභරණ. ඒවා විකුණන්නේ රන් මිලට වැඩ කුලිය එකතු කරලා. රන් ආභරණයක් උගස් තියද්දී හෝ විකුණද්දී එහි වැඩ කුලිය කොටස ආපසු ලැබෙන්නේ නැහැ. ආපසු ලැබෙන්නේ රන් වටිනාකම පමණයි. ඒ නිසා, පාඩුව මීට වඩා වැඩියි. වැඩ කුලිය ගියාට පස්සේ උද්ධමනයේ පාඩුව වුනත් පියවෙන්නේ නැති විය හැකියි.

ඉහත ආයෝජන වල වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභය (ජ්‍යාමිතික සාමාන්‍ය අගය) මෙලෙස සාරාංශගත කළ හැකියි.
1989-2024 සාමාන්‍ය උද්ධමනය - 9.65%
භාණ්ඩාගාර බිල්පත් පොලිය - 12.95%
කොටස් වෙළඳපොළ - 13.73% + ලාභාංශ 
ඩොලර් නෝට්ටු - 7.00%
රත්තරන් - 10.85%

උද්ධමනය සාමාන්‍ය මට්ටමක තියෙද්දී පොලී අනුපාතික තියෙන්නේ ඊට වඩා ඉහළින්. ඉහත සාමාන්‍ය අගයයන් දෙස බැලුවත් බිල්පත් පොලිය සහ උද්ධමනය අතර 3.3%ක පරතරයක් දකින්නට ලැබෙනවා. බැඳුම්කර පොලිය මීටත් වඩා වැඩියි. නමුත් උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විට ඊට අනුරූපව පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම හානියක් වෙන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විටයි. උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක ඇති විට එවැනි හානියක් වෙන්නේ නැහැ. මහ බැංකුවක වගකීම වන්නේ උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි.
 
මේ සටහනේ වගේම පෙර සටහනේත් ඇති විශ්ලේෂණ හා එම විශ්ලේෂණ මත පදනම් වූ නිගමන පාදක වෙන්නේ අදාළ ආයෝජන වල අතීත හැසිරීම් මතයි. අතීතයේ සිදු වූ දේ අනාගතයේදීද ඒ අයුරින්ම සිදු වීම අනිවාර්යතාවයක් නෙමෙයි. ඒ නිසාම, මෙම සටහන් කිසිසේත්ම ආයෝජන උපදේශන නෙමෙයි. තමන්ට ගැලපෙන හොඳම ආයෝජන තෝරා ගැනීම තමන් විසින් සිතා බලා කළ යුතු දෙයක්.

Tuesday, July 15, 2025

රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?


පහත තිබෙන්නේත් පසුගිය සටහනකට දමා තිබුණු ප්‍රතිචාරයක්.

"රන් බාර් එකකින් 1975 දී ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන් වුණා.

රන් බාර් එකකට 2025 දීත් ඇමෙරිකාවෙ නිවසක් මිලදී ගන්න පුළුවන්.

1975: $64,000/බාර්

2025: $1,300,000/බාර්

රත්තරන් මිල වැඩි වෙලා නෑ.

ගෙවල් මිල වැඩි වෙලා නෑ.

මහ බැංකු ක්‍රමය නිසා ෆියට් ඩොලරයේ අගය අඩු වෙලා සහ ඒ හා සමානව වේතන වැඩි වෙලා නෑ.

නමුත් 1975 වගේ නෙමේ දැන් ඇමෙරිකාවේ තරුණ පරපුරට ගෙයක් ගන්න ඉතා අපහසු වෙලා."

මම හිතන විදිහට මේ ප්‍රතිචාරයේ මූලික අදහස 1975-2025 අතර කාලයේදී ඇමරිකාවේ නිවාස මිලට සාපේක්ෂව රන් මිල ස්ථාවරව පැවතී ඇතත්, ඇමරිකන් ඩොලරයක මිල විශාල ලෙස අඩු වී ඇති බවයි. එම මූලික අදහස පමණක් සැලකුවොත් කරුණුමය වශයෙන් මෙහි ඇති දේ නිවැරදියි. 

නිවුයෝර්ක් සරසවියේ මහාචාර්ය දමෝදරන් විසින් මහත් පරිශ්‍රමයකින් පිළියෙල කර ඇති සංඛ්‍යාලේඛණ අනුව, 1975-2024 කාලයේදී ඇමරිකාවේ නිවාස මිල 13.08 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙය නිවාස මිලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම එම අනුපාතයෙන් අඩු වීමක් ලෙසත් සලකන්න පුළුවන්. නමුත් මෙම කාලය තුළ රන් මිල 14.00 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත් විට රන් මිල හා නිවාස මිල වැඩි වී තිබෙන්නේ එකම අනුපාතයකින්. ඇත්ත වශයෙන්ම රන් මිල තරමක් වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, 1975දී නිවසක් මිල දී නොගෙන ඒ සඳහා ප්‍රමාණවත් වූ තමන් සතු වත්කම් රන් වල ආයෝජනය කළ අයෙකුට 2024දී එම රන් මුදල් කර පහසුවෙන්ම නිවසක් මිල දී ගත හැකියි. යමෙක් තමන් සතු වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තබා ගත්තේනම්, 1975දී එවැනි නිවෙස් 13ක් මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් වූ මුදල් ප්‍රමාණය තිබුණත් එය නොකළ හැකියි. 

සංසන්දනය හා ඒ මත පදනම් වූ ගණනය නිවැරදි වුවත්, මේ සංසන්දනය සිදු කෙරෙන්නේ වැරදි උපකල්පනයක් මතයි. එනම් මිනිසුන් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු වල ආයෝජනය කරන බවයි. සිහි බුද්ධියක් තිබෙන කෙනෙක් තමන්ගේ වත්කම් ඩොලර් නෝට්ටු ලෙස තියා ගන්නේ නැහැ. එසේ තබා ගන්නේ එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. 

ෆියට් මුදල් ක්‍රමයක් යටතේ මුදල් වල වටිනාකම අඩුවෙනවා කියන එක ඇත්ත. නමුත් තමන් සතු මුදල් කිසියම් වෙනත් වත්කමක ආයෝජනය කිරීම මගින් එහි හානිය ඉක්මවන වාසියක් ලබා ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකු සතුව තිබෙනවා. 1975දී මුදල් ගෙවා නිවසක් මිල දී ගත හැකි තරමේ ධනයක් තිබුණු කිසිම කෙනෙක් තමන්ගේ එම ධනය මුදල් නෝට්ටු සේ වසර 50ක් තියා ගන්නේ නැහැ. රන් වල ආයෝජනය කිරීමද මෙහිදී පුද්ගලයෙකු සතු විකල්පයක්. නමුත් කොටස් ආයෝජනය හා බැඳුම්කර ආයෝජන වැනි ඊට වඩා හොඳ ආයෝජනද තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් 1975දී තමන්ගේ මුදල් දස අවුරුදු බැඳුම්කර වල ආයෝජනය කළේනම් වසර 50කට පසුව එම මුදල 18.84 ගුණයකින් වැඩි වෙලා. රන් වල ආයෝජනය කළේනම් එම වැඩිවීම 14.00ක් පමණයි. මධ්‍යම මට්ටමේ අවදානමක් සහිත (Baa) සාංගමික බැඳුම්කර වල ආයෝජනය කළේනම් එම මුදල 62.44 ගුණයකින් වැඩි වෙලා. 1975දී ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් 2024දී ගෙවල් හතරක් අරගෙන ඒ ගෙවල් වලට ගෘහභාණ්ඩ ගන්නත් සල්ලි ඉතිරි වෙනවා. වැඩි අවදානමක් නැති (S&P 500) කොටස් වල ආයෝජනය කළේනම් මෙම මුදල 235.05 ගුණයකින් වැඩි වෙලා. වඩා වැඩි අවදානමක් සහිත (Small cap) කොටස් වල ආයෝජනය කළේනම් මුදල 435.90 ගුණයකින් වැඩි වෙලා. 1975 එක ගෙයක් ගත හැකිව තිබුණු මුදලින් ගෙවල් 33කටත් වඩා ගන්න පුළුවන්!

ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව රන් කියන්නේ වත්කමක් මිසක් මුදලක් නෙමෙයි. වත්කම් වල ප්‍රතිලාභ වෙනත් වත්කම් සමඟ මිස මුදල් වල ප්‍රතිලාභ සමඟ සංසන්දනය කරන්න බැහැ. මුදල් කියන්නේ ගෙවීම් සඳහා යොදා ගන්නා උපකරණයක් මිසක් ආයෝජන උපකරණයක් නෙමෙයි.

ආයෝජන උපකරණයක් ලෙස රන් කොයි තරම් හොඳද? 

රන් වල ආයෝජනය කිරීමේ ප්‍රතිලාභය අඩු නිසාම රන් නරක ආයෝජනයක් කියන නිගමනයට එන්න බැහැ. මෙහිදී අප‍ට අවදානම ගැනද සලකා බලන්න වෙනවා. මූල්‍යකරණයේදී සහ මූල්‍ය ආර්ථික විද්‍යාවේදී වත්කම් ප්‍රතිලාභ වල සම්මත අපගමනය එහි අවදානම පිළිබඳ නිර්ණායකයක් ලෙස යොදා ගන්නවා.  පහත තිබෙන්නේ 1975-2024 කාලයේදී විවිධ වත්කම් වර්ග වල වාර්ෂික ප්‍රතිලාභ වල ජ්‍යාමිතික සාමාන්‍ය අගය සහ සම්මත අපගමනයයි. වරහන් තුළ තිබෙන්නේ සම්මත අපගමනය.

නිවාස හා දේපොළ - 5.38% (5.71%)

රන් - 5.42% (23.74%)

භාණ්ඩාගාර බැඳුම්කර (වසර 10) - 6.05% (10.14%)

සාංගමික බැඳුම්කර (Baa) - 8.62% (8.74%)

සමාගම් කොටස් (S&P 500) - 12.26% (16.34%)

සමාගම් කොටස් (Small cap) - 12.92% (25.46%)

මේ අනුව පෙනී යන්නේ මෙම තෝරා ගැනීම් අතරින් රන් යනු නරකම ආයෝජනය බවයි. රන් වලට වඩා අවදානම බොහෝ අඩු වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වල ප්‍රතිලාභය පවා රන් වලට වඩා අඩුයි. රන් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන කොටස් ආයෝජන වල අවදානම පවා රන් ආයෝජන වල අවදානමට වඩා අඩුයි. එමෙන්ම රන් මිල මේ තරම්ම විචලනය වීම මගින් පෙන්නුම් කරන්නේ රන් වල වටිනාකම තීරණය වන්නේ සමපේක්ෂණය මත බවයි. එනම්, ඩොලර් නෝට්ටු වල මෙන්ම, රන් වලද සැබෑ වටිනාකමක් නොමැති බවයි.

නිවාස මිල වසරින් වසර ඉහළ යාමට මුදල් සැපයුමෙහි බලපෑමක් තිබුණත් එයට ප්‍රධාන හේතුව ෆියට් මුදල් ක්‍රමයක් පැවතීම නෙමෙයි. රන් සම්මතයක් තිබුණු කාලයේදීද මෙය මෙසේම සිදු වුනා. 1935-1967 කාලය තුළ ඇමරිකාවේ නිවාස මිල වසරකට සාමාන්‍ය වශයෙන් 4.06%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ වසර 33ක කාලයක් තුළ 3.72 ගුණයක මිල වැඩි වීමක්. මෙම කාලයේදී රන් වල මිල වෙනස් වුනේ නැහැ. ඒ කියන්නේ 1967දී නිවසක් මිල දී ගැනීම සඳහා 1935දී අවශ්‍ය වූ රන් ප්‍රමාණය මෙන් 372%ක් අවශ්‍ය වුනා. මෙයින් අදහස් වන්නේ නිවාස මිලට සාපේක්ෂව අදාළ කාලයේදී රන් 73%කින් බාල්දු වූ බවයි. මෙහිදී සිදු කර තිබෙන්නේද මුදල් හා වත්කම් සංසන්දනයක් නිසා මේ සංසන්දනය නිවැරදි නැහැ. 1935දී නිවසක් මිල දී ගැනීමට තරම් වත්කම් තිබුණු අයෙකුට එම මුදල් කොටස් වෙළපොළෙහි (Small cap) ආයෝජනය කිරීම මගින් 271 ගුණයකින් වර්ධනය කරගත හැකිව තිබුණා. එමගින් එක ගෙයක් වෙනුවට ගෙවල් 73ක් පමණ මිල දී ගත හැකිව තිබුණා. 

ධනවාදී ක්‍රමයක් පවතිද්දී රටක ධනය උත්පාදනය වීම හොඳින් සිදු වෙනවා. නමුත් එහිදී සුළු පිරිසක් අතේ ධනය ඒකරාශීවීමද සිදු වෙනවා. රට පොහොසත් වූ පමණින් රටේ සෑම අයෙකුගේම ආදායම් ඉහළ යන්නේ නැහැ. ධනවත් වන සීමිත පිරිස නිසා ඉහළ යන ඉල්ලුමෙන් නිවාස දේපොළ වල මිල ඉහළ යද්දී ඒ වේගයෙන්ම අඩු ආදායම් ලබන අයගේ වැටුප් වැඩිවීමක් අනිවාර්යයෙන් සිදු වන්නේ නැහැ. මෙය ධනවාදී ක්‍රමයේම ප්‍රශ්නයක් මිසක් මුදල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. 

Monday, July 14, 2025

අහෝ දුකකි, පිරමිඩ උගුලකි!


මහ බැංකුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. පිරමිඩ ගැන මීට පෙර ලියා තිබෙන නිසා නැවත මූලික කරුණු විස්තර කරන්න යන්නේ නැහැ. පිරමිඩ හැදෙන එක ගැන ටිකක් කතා කරමු. 

යමෙක් හුවමාරුවක් කරන්නේ ඇයි? එසේ කරන්නේ තමන්ට සාපේක්ෂව තමන් සතු දෙයක වටිනාකමට වඩා වෙනත් දෙයක වටිනාකම වැඩි නිසා සහ එම තමන්ට සාපේක්ෂව වඩා වටිනා දෙය හුවමාරු කර ලබා ගැනීමේ හැකියාවක් තිබෙන නිසා. පෙර ලිපියෙහි විස්තර කර ඇති පරිදි මෙවැනි හුවමාරු සතුන් අතර පවා සිදු වෙනවා. හුවමාරුවක් සිදු වීම සඳහා අනෝන්‍ය විශ්වාසයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්-මිනිසුන් අතර මෙන්ම මිනිසුන්-සතුන් හා සතුන්-සතුන් අතර පවා මේ ආකාරයේ අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඊට හේතුව සහජාශයද නැත්නම් වෙනත් දෙයක්ද කියා මම දන්නේ නැහැ. 

සතුන්ටත් වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් ශ්‍රේණිගත කරන්නත් පුළුවන්. එය පර්යේෂණ වලින් තහවුරුව තිබෙන දෙයක්. හුවමාරුවට හේතුව කෙසේ වෙතත් සතුන්ගේ මේ වටිනාකම් වලට හේතුවනම් සහජාශය වෙන්න පුළුවන්. සතුන්ට වටිනාකමක් ඇති සේ තහවුරු වී තිබෙන්නේ සීමිත භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණයක් පමණයි. ඒ අතර ආහාර හා ලිංගිකත්වය ප්‍රධානයි. ඒ නිසා, ආහාර හා ලිංගිකත්වය මිනිසුන්ට වටිනා දේ වී තිබෙන්නේද සහජාශය නිසා කියා හිතන්න පුළුවන්. නමුත් එතැනින් එහාට දේවල් වටිනා දේවල් වී තිබෙන්නේ මිනිසාගේ සමාජ ජීවිතය නිසා. වරින් වර හමු වී තිබෙන කුඩා කල සිටම සතුන් සමඟ හැදී වැටුණු මිනිසුන්ට අවශ්‍ය වන්නේ ආහාර හා ලිංගිකත්වය පමණයි.

ආහාර හා ලිංගිකත්වයෙන් එහාට ඇඳුම් වැනි මූලික දෙයක් පවා සමාජයීය අවශ්‍යතාවයක්. අවශ්‍යතාවය සමාජයීය වුවත්, එම සමාජයීය අවශ්‍යතාවය මත පාදක වූ පුද්ගල කැමැත්තක් මෙහිදී ඇති වෙනවා. පුද්ගලයෙකුට එවැනි භාණ්ඩයක හෝ සේවාවක වටිනාකමක් පෙනෙන්නේත් හුවමාරුවක් සිදු වන්නේත් ඒ නිසා. නමුත් මේ විදිහට ඒකීය පුද්ගල කැමැත්ත පමණක් මත පදනම්ව, වටිනාකම පිළිබඳ තමන්ගේ විශ්වාසය මත යමෙක් ගනුදෙනුවක් සිදු කරන්නේ පාරිභෝගික භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පමණයි. එහිදී වටිනාකමේ මූලය අදාළ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමේ හැකියාව හා ඒ සඳහා වන අවශ්‍යතාවය. පරිභෝජන අවශ්‍යතාවයට හේතුව සහජාශය හෝ සමාජයීය කරුණක් වෙන්න පුළුවන්.

වත්කමක් හිමිකර ගැනීම සඳහා ආයෝජනයක් කරද්දී මේ තත්ත්වය වෙනස්. එහිදී වැදගත් වන්නේ හුවමාරු කරන දෙයෙහි තමන්ට ඇති වටිනාකම නෙමෙයි. එහි වටිනාකම පිළිබඳව වෙනත් අයට ඇති වටිනාකම පිළිබඳව තමන්ගේ විශ්වාසය. මිනිසුන් මුදල් ගනුදෙනු කරන්නේද මේ විශ්වාසය පෙරදැරිවයි. 

මිනිසුන් අතර මේ ආකාරයේ ගනුදෙනුද සිදුවීමේ ප්‍රතිඵලයක් වන්නේ තමන්ට කිසිසේත්ම වටිනාකමක් නැති දෙයක් හුදෙක් වෙනත් අයෙකුට වඩා වැඩි වටිනාකමක් ඇතැයි යන විශ්වාසයෙන් අත් පත් කර ගැනීම. බොහෝ දෙනෙක් මේ විදිහට හිතද්දී කිසිවෙකුටත් වටිනාකමක් නැති දෙයකට විශාල ඉල්ලුමක් හැදෙන්න පුළුවන්. මිල බුබුළු හැදෙන්නේ මේ විදිහටයි. මෙහිදී ක්‍රියාකාරී වන්නේ සාමූහික විශ්වාසය. එය සමූහයේ ඕනෑම තනි පුද්ගලයෙකුගේ විශ්වාසයට වඩා වෙනස්. අදාළ දෙයෙහි කිසිම කෙනෙකුට වටිනාකමක් නැහැ. නමුත් වෙනත් අයෙකුට වටිනාකමක් ඇතැයි සියල්ලන් විසින්ම හිතනවා. මේ සාමූහික විශ්වාසය අභියෝගයට ලක් වන සීමාවේදී මිල බුබුල බිඳ වැටෙනවා. 

මේ ආකාරයේ ගොඩනැගුම් වල ආන්තික තත්ත්වයක් වන පිරමිඩ් ක්‍රම වල ආයෝජනය කරන අය එසේ කරන්නේ වෙනත් අයද එසේ කරනු ඇතැයි යන විශ්වාසයෙන්. මිල බුබුළු හැදීම වගේම පිරමිඩ් ක්‍රම පැවතීම මගින්ද පෙන්නුම් කරන්නේ ධනවාදී ක්‍රමයේ පවතින ස්වභාවික දුර්වලතාවයක්. මේවා පිරිසිදු ධනවාදී ක්‍රමයක ලක්ෂණම මිසක් ධනවාදය හරියට ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵල නෙමෙයි. නියාමනය මගින් පිරමිඩ් ක්‍රම පාලනය කිරීම වගේම මිල බුබුළු හැදීම වැළැක්වීමද අපහසු වන්නේ ඒ නිසා. 

ගනුදෙනු කළ හැක්කේ මිනිසුන්ට පමණද?


මේ සටහන දමන්නේ පසුගිය සටහනකට අරුණි ශපීරෝ විසින් දමපු පහත ප්‍රතිචාරය මුල් කරගෙනයි.

"ආර්ථික විද්‍යාවේ එන trade කියන ගනුදෙනු කරන්න සත්තුන්ට බැහැ කියල ඇඩම් ස්මිත් පෙන්වා දුන්නෙ අවුරුදු 300 කට විතර කලින්!"

ඇගේ ප්‍රතිචාරයේ ඇඩම් ස්මිත්ව උපුටා දැක්වීමක්ද තිබෙනවා. අවුරුදු 300 කට විතර කලින් කවුරු හෝ කෙනෙක් ඔය වගේ දෙයක් "පෙන්වා දුන්නා" කියන එක මටනම් කිසිම විශේෂ වැදගත්කමක් තිබෙන දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් කියා කියන්නේ පසුගිය වසර 300ක පමණ කාලයේ මිනිසුන් විසින් සාමූහිකව දැනගත් බොහෝ දේවල් නොදැන සිටි කෙනෙක්. නමුත් පසුගිය කාලයේ අපගේ ලිපි වලට ප්‍රතිචාර දැමූ වෙනත් අය විසින්ද වරින් වර මේ බව "පෙන්වා දී" තිබෙනවා.

ඉතා පැහැදිලි ලෙසම නූතන මිනිසුන් විසින් සාමූහිකව කරන ආකාරයේ සංකීර්ණ ක්‍රියාකාරකම් සතුන්ට කළ නොහැකියි. ඒ වගේම මිනිසුන් කරන ආකාරයේ ගනුදෙනු සතුන් විසින් කිරීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. නමුත් සතුන් හැම විටම ක්‍රියා කරන්නේ සහජ ආශය මත පදනම්ව පමණක්ය යන්න ඇතැම් අය විසින් පහසුවට කරන උපකල්පනයක් (convenience assumption) හා එම උපකල්පනය මත පදනම්ව ඇඳගෙන තිබෙන බෙදුම් ඉරක් පමණයි. කාලයක් මේ බෙදුම් ඉර ඇන්දේ දැන් මිනිසුන් සේ සලකන ඇතැම් කණ්ඩායම්ද බැහැර කරමිනුයි. ඇඩම් ස්මිත්ගේ කාලයට බොහෝ පසුවද මෙය සිදු වුනා. 

සත්තු වගේම මිනිස්සුත් කාබනික යන්ත්‍ර. මිනිස්සුත් සහජ ආශය නිසා බොහෝ දේවල් කරනවා. ඊට අමතරව මිනිසුන්ට නිදහස් කැමැත්තක් තිබෙන බව අපි දන්නවා. මේ නිදහස් කැමැත්තේ ස්වරූපය බොහෝ දුරට තීරණය වන්නේ මිනිසෙකු හැදී වැඩෙන සමාජය සහ ජීවත්වන සංස්කෘතිය අනුවයි. එසේ නැතුව එය තනිකරම තමන් තුළින්ම පැන නගින දෙයක් නෙමෙයි.

ඉහත ඇඩම් ස්මිත් විසින් කරන බෙදීම සැලකුවත්, එය ආබ්‍රහමික ආගමික විශ්වාස හා ගැලපෙන වෙන් කිරීමක්. එම ආගම් අනුව මිනිසා මවන්නේ දෙවියන්ගේ ස්වරූපයෙන්. ඒ නිසා සතුන් හා මිනිසා අතර පැහැදිලි බෙදුම් ඉරක් තිබෙනවා. ඇඩම් ස්මිත්ගේ ප්‍රකාශය සහ මේ ආගමික විශ්වාසය අතර ආකෘතිමය වෙනසක් නැහැ. ඒ නිසා, ආබ්‍රහමික ආගමික විශ්වාස සමඟ හිතන්න පුරුදු වූ අයට සහ එවැනි අය වැඩිපුර සිටින සමාජයකට මේ වගේ අදහසක් හොඳින් පත්තියම් වෙනවා.

ආබ්‍රහමික නොවන ආගම් වල මේ විදිහේ තියුණු බෙදුම් ඉරක් නැහැ. ඉන්දියානු ආගම් අනුව වරින්වර සත්තු මිනිස්සු ලෙසත් මිනිස්සු සත්තු ලෙසත් ඉපදෙනවා. පරිධියේ දේවල් වුනත්, පාරිලෙයිය වනයේ වස් වසද්දී බුදුන්ට උදවු කරන වඳුරා සහ ඇතා එසේ කරන්නේ හිතාමතා. ඒ නිසා ඒ ක්‍රියාවන්හි යහපත් ප්‍රතිඵල ඒ සතුන්ට ලැබෙනවා. මූලික අදහස සංකල්පීය වශයෙන් ආබ්‍රහමික වල තරම් දැඩි බෙදුම් ඉරක් ඉන්දියානු ආගම් වල නැති බව පෙන්වීම. නමුත් මේ ආගම් වල වුනත් සතුන් මිනිසුන්ට සමාන කිරීමක් වෙන්නේ නැහැ. මිනිස් භවය ස්ථානගත වෙන්නේ වඩා ඉහළ තැනක.

සතුන්ටද ගනුදෙනු ආකාරයේ ක්‍රියාකාරකම් කළ හැකි බව පර්යේෂණ ගණනාවකින් පෙනී ගොස් තිබෙනවා. එක් සතෙකු විසින් තවත් සතෙකු පිරිසිදු කිරීම බොහෝ සත්ත්ව ප්‍රභේද වල චර්යාවක්. නමුත් මෙය ගණුදෙනුවක් කියා කියන්න බැහැ. සහජ ආශය නිසා මෙවැන්නක් සිදු විය හැකියි. එහෙත්, එක් සතෙකු විසින් තවත් සතෙකුව පිරිසිදු කරන්නේ ඒ සතා විසින්ද එසේ කරන්නේනම් පමණක්නම් (grooming reciprocation) එහි තිබෙන්නේ ගණුදෙනුවක්. වානර ප්‍රභේද 22ක නියැදි 48ක් ඇසුරෙන් වරින් වර සිදු කර තිබෙන නිරීක්ෂණ ඇසුරෙන් මෙම චර්යාව තහවුරු වී තිබෙනවා [1]. 

කැපුචින් වඳුරන් යොදා ගෙන සිදු කළ පර්යේෂණයක් මගින් එම වදුරන්ගේ රුචිකත්ව අනුපිළිවෙල පරීක්ෂාවට ලක් කිරීමට හැකි වී තිබෙනවා [2]. මෙහිදී එම වඳුරන් මිනිසුන් මෙන්ම තමන් අඩුවෙන් කැමති දෙයක් වැඩියෙන් කැමති දෙයක් සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස මුලින් පළතුරක් දී පසුව ඒ වෙනුවට විස්කෝතු හුවමාරු කර ගැනීමට අවස්ථාව දුන් විට වඳුරන් එසේ කර තිබෙනවා. නමුත් එය අනෙක් පැත්තට සිදු කර නැහැ. එමෙන්ම, මිදී වෙනුවට ඇපල් හුවමාරු කර ගැනීමට මෙම වඳුරන් ඉදිරිපත්ව ඇතත්, ඇපල් වෙනුවට මිදී හුවමාරු කර ගැනීමට පෙළැඹී තිබෙන්නේ අඩුවෙන්. 

ගනුදෙනු කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ වානර කුලයේ සතුන් පමණක් නෙමෙයි. ලේ උරා බොන වවුලන් එම ලේ නැවත වමාරා වෙනත් වවුලන්ට දීම සිදු කරන අතර මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන්නේ ඥාතිත්වය වැනි කරුණු නොව වෙනත් අවස්ථා වල තමන්ටද එසේ ආහාර ලබා දීමයි [3,4].

තවත් මෙවැනි පර්යේෂණයකදී කැපුචින් වඳුරන් විසින් එකම වර්ගයේ දේවල් යම් ප්‍රමාණයකට වඩා වෙනස් වර්ග වල දේවල් වලට වැඩි කැමැත්තක් ඇති බව ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙම එකම වර්ගයේ දේවල් පැකේජය සමන්විතව තිබුණේ ඔවුන් වඩා කැමති දේවල් වලින් වුවත්, විවිධත්වයට ඇති කැමැත්ත නිසා අඩුවෙන් කැමති දේවල්ද සහිත පැකේජය මේ වඳුරන්ගේ තේරීම වී තිබෙන්නේ ඊට සමාන මිනිස් චර්යාව සිහිපත් කරමිනුයි [5]. එමෙන්ම මේ වඳුරන් විසින්ම, යම් ආහාරයක කුඩා ප්‍රමාණයක් පසුව ලොකු ප්‍රමාණයක් සමඟ හුවමාරු කර ගැනීමේ අවස්ථාව ගැන දැන ගැනීමෙන් පසුව, මුලින් දෙන කුඩා ප්‍රමාණය ආහාරයට නොගෙන තමන් වෙත තබාගෙන සිට තිබෙනවා [6]. කැපුචින් වඳුරන් විසින් මෙන්ම බල්ලන් විසින්ද මෙම චර්යාව ප්‍රදර්ශනය කර තිබෙනවා [7].

මෙවැනි චර්යාවන් සාමූහික මිනිස් ක්‍රියාකාරකම් තරම් සංකීර්ණ නොමැති වුවත් සහජ ආශය නිසාම සිදු වන්නේයයි කියන්න අමාරුයි. මේ හා අදාළ පර්යේෂණ පළ කෙරෙන Animal Cognition වැනි විමර්ශිත ජර්නල පවා තිබෙනවා. 

සතුන්ටද යම් සිතීමේ හැකියාවක් තිබෙනවා විය හැකි වුවත් එම කරුණ හා අදාළව මිනිසුන් සිටින්නේ බොහෝ ඉදිරියෙන් බැවින් මෙහි ප්‍රායෝගික ප්‍රශ්නයක් නැතත් කෘතීම බුද්ධිය හමුවේ මිනිස් චින්තනයේ සීමාවන් අභියෝගයට ලක් වෙන්න පුළුවන්. වඩා දියුණු බුද්ධියකට මිනිසුන් ඇතුළු සියලුම කාබනික යන්ත්‍ර සහජ ආශය මත ක්‍රියා කරන්නන් සේ පෙනෙන්න පුළුවන්. 

References: 

1. Schino, G., & Aureli, F. (2008). Grooming reciprocation among female primates: a meta-analysis. Biology Letters4(1), 9-11.

2. Westergaard, G. C., Liv, C., Rocca, A. M., Cleveland, A., & Suomi, S. J. (2004). Tufted capuchins (Cebus apella) attribute value to foods and tools during voluntary exchanges with humans. Animal Cognition7(1), 19-24.

3. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts donations more than relatedness or harassment. Proceedings of the Royal Society B: Biological Sciences280(1753), 20122573.

4. Carter, G. G., & Wilkinson, G. S. (2013). Food sharing in vampire bats: reciprocal help predicts.

5. Addessi, E., Mancini, A., Crescimbene, L., Ariely, D., & Visalberghi, E. (2010). How to spend a token? Trade-offs between food variety and food preference in tufted capuchin monkeys (Cebus apella). Behavioural Processes83(3), 267-275.

6. Drapier, M., Chauvin, C., Dufour, V., Uhlrich, P., & Thierry, B. (2005). Food-exchange with humans in brown capuchin monkeys. Primates46(4), 241-248.

7. Leonardi, R. J., Vick, S. J., & Dufour, V. (2012). Waiting for more: The performance of domestic dogs (Canis familiaris) on exchange tasks. Animal Cognition15(1), 107-120.

Sunday, July 13, 2025

ඇමරිකාවේ අයවැය අතිරික්තයක්!





විශාල කාලයකට පසුව පසුගිය (2025) ජූනි මාසයේදී ඇමරිකාවේ අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය බදු ආදායම් වැඩි වීමේ සහ වියදම් කප්පාදු කිරීමේ සංයුක්ත ප්‍රතිඵලයක්. අදාළ සංඛ්‍යාලේඛණ පෙර වසරේ (2024) ජූනි මාසය හා සැසඳීමෙන් සිදුව ඇති වෙනස පිළිබඳව අදහසක් ගත හැකියි. 

පෙර වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 466ක් වූ අතර, වියදම ඩොලර් බිලියන 532ක් වුනා. ඒ අනුව, පසුගිය ජූනි මාසයේදී ඩොලර් බිලියන 66ක අයවැය හිඟයක් වාර්තා වුනා.

මෙම වසරේ ජූනි මාසයේදී ෆෙඩරල් රජයේ ආදායම ඩොලර් බිලියන 526 දක්වා ඉහළ ගොස් ඇති අතර  වියදම ඩොලර් බිලියන 499කට සීමා වී තිබෙනවා. ඩොලර් බිලියන 27ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඒ අනුවයි.

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 60කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

ආනයන මත අය කෙරෙන තීරු බදු ඉහළ දැමීම නිසා තීරු බදු ආදායම ඩොලර් බිලියන 6 සිට 27 දක්වා 350%කින් ඉහළ ගොස් ඇතත්, රාජ්‍ය ආදායම වැඩිවීමට ප්‍රධානම හේතුව එම වැඩි වීම නෙමෙයි. තීරු බදු වැඩි කිරීමේ දායකත්වය ඩොලර් බිලියන 21ක් පමණයි.

රාජ්‍ය ආදායම් ඉහළ යාමට ප්‍රධානම හේතුව පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යාමයි. එම වැඩිවීම ඩොලර් බිලියන 51ක්. මේ අයුරින් පුද්ගල ආදායම් බදු ආදායම ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 81 සිට ඩොලර් බිලියන 68 දක්වා 16%කින් අඩු වී ඇති ආකාරය දැකිය හැකියි.

තීරු බදු ආදායම සහ පුද්ගල ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 72කින් ඉහළ යද්දී සමාගම් ආදායම් බදු ආදායම ඩොලර් බිලියන 13කින් අඩු වීම නිසා සමස්ත වැඩිවීම ඩොලර් බිලියන 60කට සීමා වී තිබෙනවා. 

මෙම වෙනස්කම් දෙස බලද්දී පෙනී යන්නේ මධ්‍යම පාන්තිකයින් මත වැඩි බදු බරක් පැටවී ඇති ආකාරයයි. 

පෙර වසරට සාපේක්ෂව රාජ්‍ය වියදම් ඩොලර් බිලියන 33කින් පහළ ගොස් තිබෙනවා. ඒ කොහොමද?

මෙයට ප්‍රධානම හේතුව ෆෙඩරල් අයවැයේ ප්‍රධාන අයිතමයක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් මුළුමනින්ම මෙන් කප්පාදු කර තිබීමයි. 2024 ජූනි මාසයේදී ඩොලර් බිලියන 90ක් වූ අධ්‍යාපනය සඳහා වන වියදම් 2025 ජූනි මාසයේදී ඩොලර් බිලියන 11කට සීමා වී තිබෙනවා. මෙහි ඉතිරිය ඩොලර් බිලියන 79ක්. එහෙත් අනෙකුත් වියදම් ඩොලර් බිලියන 46කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස වියදම් අඩු වී තිබෙන්නේ ඩොලර් බිලියන 33කින් පමණයි. 

අධ්‍යාපන වියදම් විශාල ලෙස කප්පාදු කිරීම ඇමරිකාවේ පොදු අධ්‍යාපනය විශාල අර්බුදයකට තල්ලු කර තිබෙනවා.

රටවල් ධනවත් වීම සහ රන් වාසිය


ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බැලූ බැල්මටම "මෝඩ විග්‍රහයක්" ලෙස පෙනෙන, සරල පැහැදිලි කිරීමක් එක්ක මේ ප්‍රශ්නය දිහා බලමු. 

පසුගිය 2024 වර්ෂයේ ඇමරිකාවේ ඒක පුද්ගල දදේනිය 85,912ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් පමණයි. මේ නිර්ණායකය දිහා බැලුවොත්, ඇමරිකානුවෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙන් 19 ගුණයක් ධනවත්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

පළමුවෙන්ම අපට ඔය වෙනස පෙනෙන්නේ සංසන්දනයක් කරන නිසා. සංසන්දනය කරන්නේ ඇමරිකන් ඩොලර් මත පදනම් වූ නිර්ණායකයක් යොදා ගෙනයි. ඇමරිකානුවෙකුගේ ධනවත්කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට කිසියම් ඇමරිකන් ඩොලර් වටිනාකමක් තිබෙනවා. නමුත් ලාංකිකයෙකුගේ ධනවත් කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට සෘජු ඇමරිකන් ඩොලර් වටිනාකමක් නැහැ. ඒවාට තියෙන්නේ රුපියල් වටිනාකමක්.

ලංකාවේ දදේනිය මනින්නේ රුපියල් වලින්. සංසන්දනය කිරීම සඳහා අප එම අගය ඇමරිකන් ඩොලර් වලට හරවනවා. එය කරන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගෙන. පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ අඩුපාඩු නිවැරදි කෙරෙන ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතය කියා එකකුත් තිබෙනවා. නමුත් මෙහිදී අප කතා කරන්න යන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ වැරැද්ද ගැන නෙමෙයි. ඒ නිසා අපි පවත්නා නාමික විණිමය අනුපාතය වෙතම අවධානය යොදවමු. 

පසුගිය 2024 වසරේ ලංකාවේ ඒක පුද්ගල දදේනිය රුපියල් 1,364,235ක්. මෙම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් වෙන්නේ රුපියල් 302ක් ඇමරිකන් ඩොලරයකට සමාන සේ සැලකූ විටයි. එසේ නොමැතිව, යම් ආකාරයකින් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 302කට සමාන නොවී රුපියල් 16කට සමාන වීනම්, ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඇමරිකාවේ මට්ටම කිට්ටුවටම ඇවිත්. 

දැන් අපිට ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය වෙනුවට එහි ව්‍යුත්පන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 16කට සමාන නොවී රුපියල් 302කට සමාන වී තිබෙන්නේ ඇයි?

ඇතැම් රටවල් දුප්පත් වීම සහ තවත් රටවල් ධනවත් වීම සහ විවිධ රටවල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලකට වඩා ඇමරිකන් ඩොලරයක් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකා රුපියල් වගේම ඇමරිකන් ඩොලර් කියා කියන්නෙත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග. මෙවැනි කිසියම් මුදල් වර්ගයකට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටිනාකමක් තිබෙන බව බොහෝ දෙනෙකු විසින් සාමූහිකව විශ්වාස කරන නිසා. ඒ හැරෙන්න වෙනත් වැදගත් හේතුවක් නැහැ. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය පිළිබඳව එම විශ්වාසය වැඩියි. ඒ නිසා, එහි වටිනාකමද වැඩියි.

ගනුදෙනු සහ හුවමාරු ඉතාම ස්වභාවික දේවල්. සත්තු එක්ක පවා ගනුදෙනු කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් දීම මගින් වඳුරෙක්ව කිසියම් දෙයක් කරන්න පොළඹවා ගන්න පුළුවන්. මස් කෑල්ලක් දී බල්ලෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන්. අඩු වශයෙන් යම් පුහුණුවකින් පසුව සතුන් මේ විදිහේ ගනුදෙනු කරනවා. නමුත් රුපියල් හෝ ඩොලර් දී බල්ලෙක්ගෙන් හෝ වඳුරෙක්ගෙන් වැඩක් ගන්න බැහැ. 

කිසියම් හේතුවක් නිසා කුඩා කළ සිටම මිනිස් සමාජයෙන් මුලුමනින්ම දුරස්ථව සිටි පුද්ගලයෙක් හෝ ජන කණ්ඩායමක් හදිසියේ සම්මුඛ වුවහොත් රුපියල් හෝ ඩොලර් දී ඔවුන් සමඟ ගනුදෙනු කළ හැකි වෙයිද? පැහැදිලිවම නොහැකියි. නමුත් කිසියම් ආහාර වර්ගයක් වැනි දෙයක් දී ගනුදෙනුවක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. මුදල් වලට වටිනාකමක් තිබෙන්නේ අපගේ සාමූහික විශ්වාසය නිසා පමණයි.

ඇතැම් අයගේ අදහස රුපියල් හෝ ඩොලර් වලට සැබෑ වටිනාකමක් නොමැති වුවත් රන් වලට එවැනි වටිනාකමක් ඇති බවයි. රන් වලට තිබෙන්නේත් රුපියල් හෝ ඩොලර් වලට තිබෙන ආකාරයේම වටිනාකමක්. වෙනසක් ඇත්නම් එය ඉතාම සුළු වෙනසක්. 1799දී කොනාඩ් රීඩ්ට හමු වූ රාත්තල් 17ක රත්තරන් කුට්ටිය කාලයක්ම පාවිච්චි කළේ දොර අඩයක් ලෙසයි. ඒ වැඩේට රත්තරන් කුට්ටියක් ඩොලර් නෝට්ටු මිටියකට වඩානම් තරමක් හොඳයි. 

රත්තරන් ආභරණ සේ භාවිතා වන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවත් රත්තරන් වලට ලොකු වටිනාකමක් ඇති බවට වන පොදු පිළිගැනීම. රත්තරන් පළඳින අය එසේ කරන්නේ තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නයි. සන්නාම සහිත ඇඳුම් වලට ඉහළ මිලක් ගෙවනවා වගේ දෙයක්. සමහර අය රත්තරන් සේ පෙනෙන ඉමිටේෂන් ආභරණ පළඳින්නේ ඒ නිසා. රත්තරන් වලට තියෙන්නේ සැබෑ වටිනාකමක්නම් කවුරුවත් ඉමිටේෂන් ආභරණ පළඳින්න පෙළඹෙන්නේ නැහැ. 

ඉතිහාසයේ සෑහෙන කාලයක් රන් හා රිදී මුදල් ලෙස භාවිතා වුනා. ඒ ඒ කාලයේ ඒ සඳහා වඩා හොඳ විකල්ප නොතිබුණු නිසා. ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග වලින් මේ වෙද්දී ඒ කාර්ය භාරය ඊට වඩා හොඳින් කෙරෙනවා. රන් රිදී වැනි ලෝහ වර්ග සැලකුවත්, ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග සැලකුවත් මේවායේ තිබෙන්නේ සාමූහික විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික වටිනාකමක්. 

දැන් ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඇහැට නොපෙනෙන, අතින් අල්ලන බැරි බිට්කොයින් වැනි දේවල් වලටත් වටිනාකමක් තියෙනවා කියලා සාමූහිකව විශ්වාස කරනවා. කිසිදු නෛසර්ගික වටිනාකමක් නොමැති, ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි, ක්‍රිප්ටෝ මුදලක වටිනාකම පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම සහ ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙවි කෙනෙකු පිළිබඳව හෝ කර්මය වැනි සංකල්පයක් පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම අතර ලොකු වෙනසක් නැහැ. 

අඩු වශයෙන් වසර තුන් දහසක පමණ කාලයක් පුරා වෙළඳාම් හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වී තිබෙනවා. මෙම වෙළඳාම් වලදී ගෙවීම් මාධ්‍යයක් ලෙස රන් හා රිදී යොදා ගැනුනා. ඒ නිසාම එම ලෝහ වර්ග වල වටිනාකම පිළිබඳ සාමූහික විශ්වාසයක් ගොඩ නැගුණා. ලෝකයේ බොහෝ සංස්කෘතීන් මේ සාමූහික විශ්වාසයේ කොටස්කරුවන් බවට පත් වුණා. එහෙත් මේ ජාත්‍යන්තර වෙළඳ ජාලයට සම්බන්ධව නොසිටි සංස්කෘතීන්ද තිබුණා.

කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් රෂ් ඇති වූ දහනවවන සියවසේ මැද භාගය වන තුරුම ලෝකයේ ඇතැම් පෙදෙස් වලින් පොළොව මතුපිට තිබී රත්තරන් හමු වුනා. ඉන් පසුව පොළොව මතුපිට රත්තරන් අවසන් වී රන් රිදී "නිපදවීම" වියදම් අධික කර්මාන්තයක් බවට පත් වුණා. පොළොව මතුපිට තිබී රත්තරන් හමු වෙද්දී එය සිදු වුනේ අහම්බෙන්, වාසනාවට හෝ පිං මහිමය නිසා කියා කියන්න පුළුවන්. 

ජාත්‍යන්තර වෙළඳාමට වඩා වැඩියෙන් නිරාවරණය වී සිටි රටවල රන් හා රිදී වල වටිනාකම පිළිබඳ අදහසද කලින්ම පැතිරුණා. අඩු වශයෙන් සමාජයේ ඉහළ ස්ථරය රන් හා රිදී වලින් ගනුදෙනු කළා. ඒ නිසාම, පොළොව මතුපිට තිබුණු රන් හා රිදී කාගේ හෝ අවධානයට යොමු වී මුදල් වුනා. ලංකාවේ පොළොව මතුපිටින් හමු වූ රන් හා රිදී ගැමුණු රජුගේ කාලයේදීම මුදල් වී අවසන් වුනා වෙන්න පුළුවන්.

ස්වදේශිකයින් ජාත්‍යන්තර ගනුදෙනු සමඟ ගැට ගැසී නොසිටි උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැන්නක් සිදු වුනේ නැහැ. එම කලාප වල මතුපිට රන් ඉතිරිව තිබුණා. මෙහි වාසිය එම රටවලට සංක්‍රමණය වූ යුරෝපීයයන්ට ලැබුණා. එය එම රටවලට ධනවත් වීමටද උදවුවක් වුනා.

රන් හා රිදී ඕනෑම රටකින් අහම්බයෙන් හමු විය හැකි දෙයක්ව තියෙද්දී එය යම් ආකාරයක "දිව්‍යමය" දෙයක්. කවුරු හෝ උත්සාහ කළා කියලා රන් හෝ රිදී නිපදවා ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ රටකින් රන් හෝ රිදී හමු වෙන්නේ රජුගේ පිං මහිමයෙන්, එහෙමත් නැත්නම් රජු දෙවියන්ට ප්‍රිය වීමෙන්, වැනි ප්‍රවාදයකට සාමූහිකව විශ්වාස කළ හැකි තරමේ වලංගු භාවයක් තිබෙනවා. රටේ කොහේ හෝ තැනකින් අහම්බෙන් රන් හෝ රිදී හමු වෙන එක පැහැදිලි කරන්න ඊට වඩා ගොඩක් හොඳ ප්‍රවාදයක් හදාගන්න අමාරුයි. 

මේ හේතුව නිසාම රටක මිනිස්සු හෝ රටක් ධනවත් වෙන එකත් කිසියම් බාහිර හේතුවක් නිසා සිදු වෙන දෙයක් බවත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නොමැති බවත් පැහැදිලි වෙනවා. කාලයෙන් කාලයට සමහර රටවල් ධනවත් වීම සහ දුප්පත් වීම වෙනස් කළ නොහැකි දෙයක් ලෙස භාර ගන්න වෙනවා. වෙනස් කර ගන්න කළ හැක්කේ රජු දැහැමි වීම හෝ රජු දෙවියන්ට ප්‍රිය වන ලෙස හැසිරීම වැනි සීමිත දේවල් ටිකක් පමණයි. ඒ නිසාම, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් බාහිර දෙයක් වන රන් සැපයුම එක්ක හෝ රිදී සැපයුම එක්ක අනෙකුත් වටිනාකම් ගැට ගහන එක ගැන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්.

ඔය වගේ ලෝක සම්මතයක් තියෙද්දී ලෝකයේ සමහර රට වලින් හිටිවනම විශාල රන් හෝ රිදී සංචිත හමු වෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී එවැනි රටවලට විශේෂ වාසියක් ලැබෙනවා. පොළොවෙන් නිකම්ම වගේ ලැබෙන රන් හෝ රිදී එක්ක වෙනත් වටිනා දේවල් හුවමාරු කර ගැනීම මගින් එවැනි රටවල මිනිසුන්ගේ කෙසේ වෙතත් අඩු වශයෙන් රජ පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වය අවාසියි. එවැනි රටවල රජු සාපේක්ෂව දුප්පත් කියන්නේ රටත් සාපේක්ෂව දුප්පත් කියන එකයි. ඉතිහාසයේ සෑහෙන කාලයක් රටක දුප්පත්කම හෝ ධනවත්කම කියන්නේ රජුගේ දුප්පත්කම හෝ ධනවත්කම.

රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වයට අභියෝග කරන්න හේතුවක් නැහැ. තමන්ගේ රටෙන් වුනත් රන් හෝ රිදී හමු වීමේ යම් විභවයක් තිබෙනවා. නමුත් එසේ හමු නොවෙන්නේ තමන්ට දෙවියන් ප්‍රිය නැති නිසා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන පවුකාර කමට. වැරැද්ද තමන්ගේමනම් පවතින තත්ත්වය භාර ගන්න වෙනවා.

රන් හා රිදී "නිපදවීම" කර්මාන්තයක් වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ වටිනා ලෝහ තව දුරටත් දිව්‍යමය දේවල් වෙන්නේ නැහැ. ඒවා මිනිසුන් විසින් ශ්‍රමය යොදවා නිපදවා ගත යුතු දේවල්. එවිට අර මුල් කතන්දරය අභියෝගයට ලක් වෙනවා. රන් හා රිදී කියා කියන්නෙත් හාල් පොල් වගේ ශ්‍රමය යොදවා නිපදවා ගත හැකි දෙයක්නම්, හාල් පොල් වල නැති අමුතු දෙයක් රන් රිදී වල තියෙන්නේ හේතුවක් නැහැ. වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යෝජනා වෙන්නේ ඔය විදිහට රන් රිදී වල තිබෙන වටිනාකමේ දිව්‍යමය ස්වභාවය තව දුරටත් සාමූහිකව විශ්වාස කරන්න බැරි වෙද්දීයි.

මිනිස් චින්තනයේ මේ විදිහේ සුසමාදර්ශී වෙනසක් සිදු වුනාට පස්සේ ලෝකයේ රන් සම්මුතියක් පවතින්න හේතුවකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම බිඳ වැටිය යුතුයි. නමුත් සාමූහික මිනිස් විශ්වාස එක වර වෙනස් නොවන නිසා ඒ සඳහා යම් කාලයක් ගතවෙන්න පුළුවන්. 

අවසාන වශයෙන් රන් සම්මත බිඳ වැටී ෆියට් මුදල් නිර්මාණය වීම අහම්බයක් හෝ වැරැද්දක් නෙමෙයි. එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුව තිබුණා. කොයි තරම් විවේචන තිබුණත් ෆියට් මුදල් ක්‍රමය කියන්නේ රන් සම්මතයට වඩා ගොඩක් දියුණු මුදල් ක්‍රමයක්. ෆියට් මුදල් වල වටිනාකම තීරණය කරන දිව්‍යමය බාහිර බලවේගයක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ මිනිස්සු. 

රන් සම්මත ක්‍රමය ඒකාධිකාරී ක්‍රමයක්. ඊට සාපේක්ෂව ෆියට් මුදල් ක්‍රමයේදී මුදල් වර්ග අතර තරඟයක් තිබෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත හැකි මුදල් වර්ගයක වටිනාකම ඉහළ යනවා. එවැනි මුදල් වර්ගයක් භාවිතා කරන රට ධනවත් වෙනවා. 

නමුත් සාමූහික විශ්වාසය මත පදනම් වන මුදල් වැනි දෙයක් හා අදාළව ඒකාධිකාරයක් හැදෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සියවස් ගණනක් රන් සම්මත ක්‍රමය පැවතුනේ ඒ නිසා. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. සම්මතයක්. අඩි, රාත්තල් හෝ මීටර, ග්‍රෑම් වගේ දෙයක්. ඒ නිසා ලෝකයේම කෙසේ වුවත් කිසියම් ප්‍රදේශයක එකම සම්මතය පවතින එක වඩා කාර්යක්ෂමයි. 

කිසියම් රටක් ගත්තොත් බර මනින, දුර මනින සම්මත තිබෙනවා. රටක් ඇතුළේ මෙවැනි සම්මත ගණනාවක් නැත්තේ රාජ්‍ය බලහත්කාරයක් නිසා නෙමෙයි. එක සම්මතයක් භාවිතා කිරීම කාටත් පහසු නිසා. රටක් තුළ විවිධ මුදල් වර්ග භාවිතා කිරීම වෙනුවට එක් මුදල් වර්ගයක් භාවිතා වීම ප්‍රචලිතව තිබෙන්නේත් මේ නිසා. මෙය සීමිත ඒකාධිකාරයක් සේ දැකිය හැකි වුනත්, එය ස්වභාවික ඒකාධිකාරයක්. කිසියම් මුදල් වර්ගයකට කිසියම් භූගෝලීය සීමාවක් තුළ ඒකාධිකාරයක් තිබුණත් ඒ සීමාවෙන් එහා තවත් එවැනිම මුදල් වර්ග තිබෙන නිසා නිරන්තර තරඟයකට මුහුණ දෙන්න වෙනවා. විණිමය අනුපාත වලින් පිළිබිඹු වෙන්නේ රට රටවල මහ බැංකු මේ තරඟය තුළ කොයි තරම් සාර්ථක වී ඇත්ද යන්නයි.

මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය විවේචනය කරන අය බොහෝ විට එසේ කරන්නේ අතීතකාමය සහ වෙනස්වීමට තිබෙන අකැමැත්ත නිසා. අතීතයේ පැවති රන් සම්මත, නිදහස් බැංකු ක්‍රමය වගේ ක්‍රම එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය දියුණු සහ තව දුරටත් දියුණු වෙමින් පවතින ක්‍රමයක්. පැරණි ක්‍රම බිඳ වැටී මහ බැංකු ක්‍රමය ඇති වී තිබෙන්නේ ඒ නිසා. 

අනාගතයේදී මහ බැංකු ක්‍රමය බිඳ වැටී රන් සම්මත යුගයේ පැවති ආකාරයේ වෙනත් ලෝක ඒකාධිකාරයක් ඒ වෙනුවට ආදේශ වෙන්න පුළුවන්. එහෙම වෙන්නනම්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වටිනාකම පාලනය නොවන කිසියම් "දිව්‍යමය" දෙයක් ඒ වෙනුවෙන් ආදේශ විය යුතුයි. කෘතීම බුද්ධිය දියුණු වෙද්දී එවැන්නක් වෙන්න පුළුවන්. නමුත් දැනට තිබෙන ලෝක සන්දර්භය තුළ, ඉතිහාසයේ යම් යම් කාල වල පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප වූ විකල්ප වලට සාපේක්ෂව, මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය දියුණු ක්‍රමයක්. 

Saturday, July 12, 2025

රන්පත්විල රන් සහ රිදීගම රිදී

 

බදු නොගසා මහ සෑය හදන්න අරමුදල් සොයා ගත් ආකාරය ගැන කලින් ලිපියේ කතා කළානේ. ඒ ලිපියේ විස්තර කර තිබෙන පරිදී, මහා වංශයට අනුව, රත්තරන් හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් තුනක් ඊසාන දිගින් පිහිටි ආචාර විදියෙන්. රිදී හමු වෙන්නේ අනුරාධපුරයට යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි අම්බට්ඨකොළ දනවුවෙන්. 

වෙනත් සම්මතයන්ද තිබුණත්, යොදුනක් කියන්නේ අද සම්මතය අනුව කිලෝමීටර දහතුනකට ආසන්න දුරක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව, අනුරාධපුර සිට ඊසාන දිගට ඔය යොදුන් තුන යද්දී රන්පත්විල කියන ගම හමු වෙනවා. ගැමුණු රජ සමයේ ආචාර විදිය ඔය රන්පත්විල වෙන්න පුළුවන්. ඒ වගේම දකුණට හරියටම යොදුන් අටක් යද්දී තමයි රිදීගම හමුවෙන්නේ. අනුරාධපුර සිට රිදීගම පසු කර දිගටම යන ගැලකට මලය රටට යන්නත් පුළුවන්. ඒ අනුව, රිදීගම කියන්නේ ගැමුණු රජ සමයේ අම්බට්ඨකොළ දනවුව වෙන්න පුළුවන්. (පාඨක ප්‍රතිචාරයකට අනුව පුරා විද්‍යා සාධක වලින් මෙවැන්නක් තහවුරු වී තිබෙනවා.)

මහ සෑය හදන්න සල්ලි හොයන විදිහ ගැන ගැමුණු රජු දහ අතේ කල්පනා කර කර ඉඳිද්දී රටෙන් හමු වුනේ රන් හා රිදී පමණක් නෙමෙයි. තඹවිට ප්‍රදේශයෙන් විශාල තඹ නිධියකුත් හමු වෙනවා. ඔය කාලයේ තඹ කියන්නෙත් සල්ලි. 

දැනටත් ලංකාවේ තඹවිට කියා ගමක් තිබෙනවා. එය තියෙන්නේ සබරගමු පළාතේ මාවනැල්ල පැත්තට වෙන්න. අනුරාධපුරයේ සිට යොදුන් දොළහක් පමණ දකුණට වෙන්න. මහා වංශයේ සඳහන් තඹවිට මේ තඹවිට වෙන්න බැහැ. එය පිහිටා තිබී ඇත්තේ අනුරාධපුර සිට යොදුන් හතක් නැගෙනහිර පැත්තට වෙන්නයි. සමහර විට මුල් තඹවිට සිට සපරගමුවට සංක්‍රමණය වූ අය දැන් තිබෙන තඹවිට පදිංචි වුනා වෙන්න පුළුවන්. එසේ නැත්නම් ඒ ප්‍රදේශයෙනුත් තඹ හමු වුනා වෙන්න පුළුවන්. 

රන් රිදී හා තඹ පමණක් නෙමෙයි. නුවරින් සතර යොදුනක් ගිනිකොණ පිහිටි සමන් වැව් ගමෙන් මැණික් හමු වෙනවා. සත් යොදුනක් උතුරින් පිහිටි පෙල වැව්ව ගමෙනුත් මැණික් ලැබෙනවා. පස් යොදුනක් බටහිරෙන් පිහිටි උරුවෙල් පටුනෙන් මුතු හා පබළු ලැබෙනවා. මේ විදිහට රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී හැම දෙයක්ම එක වර ලැබෙන්න පුළුවන්ද? පිනට පහළ වුනා වගේ කතාවක් මෙය කියවන ගොඩක් අය පිළිගන්න එකක් නැහැ. මෙහෙම දෙයක් වුනා කියා පිළිගන්නනම් වඩා හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා.

ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා එකවරම මේ දේවල් වලට ඉල්ලුමක් ඇති වූ විටයි. 

කලින් ලිපියක අපි වාලම්පුරි ගැන කතා කරලා තියෙනවා. දකුණට කැරකුණු හක් බෙලි කටුවක තිබෙන විශේෂ ප්‍රයෝජනය කුමක්ද? එහෙම කිසිම විශේෂ ප්‍රයෝජනයක් නැහැ. නමුත් වාලම්පුරියක් විශාල මුදලක් වටිනවා. ඒ අපි වාලම්පුරියකට ලොකු වටිනාකමක් තිබෙනවා කියලා හිතන නිසා. 

ටිකක් හිතලා බැලුවොත් රන්, රිදී, තඹ, මුතු, මැණික් ආදී ගොඩක් දේවල් වලින් ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඔය දේවල් ඔය තරම් වටින්නේ අපි එහෙම හිතන නිසා. රත්තරන් වටිනා දෙයක් බව "නොදන්නා" සංස්කෘතියකට රත්තරන් වල කිසිම වටිනාකමක් නැහැ. යුරෝපීයයන් ඇමරිකාවට එන තුරු ඇමරිකාවේ ස්වදේශිකයින් සියවස් ගණනක් රත්තරන් උඩ ඇවිද්දා. ඔවුන්ට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ.

ගැමුණු රජ සමයේ ලංකාවේ ජීවත් වූ ගැමියෙකුට රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දෙයකින් තිබෙන ප්‍රයෝජනය කුමක්ද? එවැනි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා කවුරුවත් ඕවා හොයන්න මහන්සි වෙන්නේ නැහැ. මේ දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ හුවමාරු වටිනාකමක් විදිහටයි. එය සිදු වෙන්නේ ගනුදෙනු සංස්කෘතියක් ඇතුළේ.

නමුත් හදිසියේ එකවරම ගැමුණු රජු මහ සෑය හදන්න පටන් ගන්නවා. රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් එකතු කර දීමෙන් රජුට ඒ සඳහා උදවුවක් වෙන බව මිනිස්සු දැනගන්නවා. මෙය යුද්ධයක් දිනලා ජාතික ප්‍රබෝධයක් ඇති වී තිබෙන කාලයක්. මහ සෑය කියන්නේ මිනිස්සුන්ගෙත් කැමැත්තක් තිබෙන දෙයක්. ඒ නිසා මිනිස්සු තමන්ට හමු වෙන රන්, රිදී, තඹ, මුතු, මැණික් වගේ දේවල් රජ ගෙදරට ගිහින් දෙනවා. මෙය තවත් අය දැන ගන්නවා. මිනිස්සු මේ දේවල් හොයනවා. වැඩේ රැල්ලක් වෙනවා. රැල්ලට වැඩ කරන එක දැන් වගේම ඒ දවස් වලත් නොවෙන්න හේතුවක් නැහැනේ. ඔය හේතුව නිසා කෙටි කාලයක් ඇතුළත රට හැම තැනින්ම රජ මාලිගයට වස්තු සම්පත් එකතු වෙනවා. 

Friday, July 11, 2025

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි...


තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි.

වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම තරමක් බරපතල වැඩක්. මේ සඳහා වැය වුනු මුළු මුදල කොපමණද කියා වාර්තා කර නැතත් එය විශාල වියදමක් බව පැහැදිලියි. ගැමුණු රජු විසින්ම හදපු ලෝවාමහාපාය වෙනුවෙන් කෝටි 30ක මුදලක් සහ මිරිසවැටිය වෙනුවෙන් කෝටි 119ක මුදලක් වැය වී තිබෙනවා. අද භාවිතා වන වචන වලින්නම් පිළිවෙලින් මිලියන 300ක් සහ මිලියන 1,190ක්. මේ ගණන් මහා වංශයේ තියෙනවා. මහ සෑය හදන්නත් ඔය කිට්ටුව වියදමක් යන්න ඇති.

මේ ගණන් සඳහන් කර තිබෙන්නේ කවර මුදල් වර්ගයෙන්ද කියා නිශ්චිතව සඳහන්ව නැහැ. වටිනාකම් ගැන කතා කරද්දී මුදල් ඒකකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. එවැන්නක් අවශ්‍ය වන්නේ විවිධ මුදල් ඒකක වල වටිනාකම් සංසන්දනය කිරීමක් කරද්දීයි. 

ලංකාවේ මුලින්ම ප්‍රචලිතව තිබෙන මුදල් වර්ගය කහවණු. කහවණු ඉන්දියානු මුදල් වර්ගයක්. මම සෑහෙන කාලයකට පෙර හිතාගෙන හිටියේ කහවණු කියන වචනයේ කහවර්ණ වැනි තේරුමක් තියෙනවා කියලයි. ඒ වගේ නමක් රන් කාසියකට ගැලපෙනවා. නමුත් කහවණුව රන් කාසියක් නෙමෙයි. එය රිදී කාසියක්. කහවණු වෙන්නේ කර්ෂපාණ කියන වචනය. පාණ යන්නෙහි මුදල් යන අර්ථය තිබෙනවා. කර්ෂ කියන්නේ බර මනින ඒකකයක්. ඒ අනුව, කහවණුවක වටිනාකම වන්නේ කර්ෂ එකක් බර රිදී වල වටිනාකම. 

ලංකාවේ වත්මන් රුපියල ඉන්දියානු රුපියලේ ව්‍යුත්පන්නයක් වන්නා සේම කහවණු ලංකාවට පැමිණ තිබෙන්නේත් ඉන්දියාවෙන්. නමුත් මේ රිදී කාසි එක්කම තඹ කාසිත් ලංකාවේ භාවිතා වී තිබෙනවා. ඒවා ලංකාවේ හදාගත් ඒවා වෙන්න ඇති. මේ කාසි වර්ග වලට එකිනෙකට සාපේක්ෂ වටිනාකම් තියෙන්නත් ඇති. ඒ නිසා, මිලියන 300ක් කියා කියන්නේ කහවණු හෝ වෙනත් කාසි මිලියන 300ක්ම නෙමෙයි. එපමණ වටිනා සේ සැලකුණු කාසි යම් ප්‍රමාණයක්. 

ඒ කාලයේ මිලියන 300ක් හෝ මිලියන 1,190ක් කියා කියන්නේ කොපමණ වටිනාකමක්ද කියලා අපි අද තේරුම් ගන්නේ කොහොමද? මහ සෑය සහ ථූපාරාමය අතර බිම ගොඩ කර මට්ටම් කරන්න ලක්ෂයක් වියදම් වී තිබෙනවා. මීටර් 600-700ක වගේ දුරක්නේ. මහ සෑයේ සෙල්මුවා මල් අසුන් තුනක් හදන්න ලක්ෂ තුනක් වැය වී තිබෙනවා. මේ ගණන් එක්ක සංසන්දනය කරද්දී කෝටි 30ක් හෝ කෝටි 119ක් කියා කියන්නේ කොපමණ මුදලක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. අනුපාතිකව බැලූ විට මේ ගණන් වල ගැලපීමක් තිබෙනවා. නමුත් කෝටි 30ක් කියන්නේ කහවණු කාසි කෝටි 30ක් ලෙස සැලකුවොත් මේ ගණන් පෙනෙන්නේ අතිශයෝක්ති ලෙසයි.

මේ කාලයේ මුදල් වල වටිනාකම් නිර්ණය වුනේ ලෝහ බර අනුවමද? එහෙම නැත්නම් ලක්ෂයේ, කෝටියේ කාසි හෝ ලෝහ නොවන වෙනත් මුදල් වර්ග භාවිතයේ තිබුණාද? ලක්ෂ හා කෝටි ගණන් වලින් වටිනාකම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒ නිසාද? 

පුරාවිද්‍යා කැණීම් වලදී හමු වී තිබෙන කාසි වල විවිධ සංකේත තිබෙනවා. පොදු පිළිගැනීම ඒ සංකේත අයිතිය හඟවන සංකේත බවයි. එහෙම නැතුව මේ සංකේත වලින් දැන් වගේම වටිනාකම් අදහස් වුනාද? යම් ආකාරයකින් එය එසේ වීනම් එය වඩා දියුණු මුදල් ක්‍රමයක්. 

වියදම කොපමණ වුණත් මහ සෑය හැදීමේ වියදම විශාල වියදමක් විය යුතුයිනේ. මේ වැඩේ කරන්නේ රටේ ලොකු සිවිල් යුද්ධයක් කිරීමෙන් පසුවයි. යුද්ධයක් කියා කියන්නේ වැය අධික කටයුත්තක්. යුද්ධයකින් පසුව රාජ්‍ය භාණ්ඩාගාර හිස් වෙනවා. ඒ වගේම, සාමාන්‍ය මිනිස්සු වුනත් ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා. ඔය වගේ මිනිස්සුන්ට අමාරු වෙලාවක මහ සෑය හදන එකේ වියදම බදු ගහලා මිනිස්සුන්ගෙන් අය කරගන්න බැහැ.

"දෙමළුන් මඩනා මා විසින් මේ ජනයා පෙළන ලද්දේය. (එහෙයින්) ජනයාගෙන් අය උපයනු නොහැක්කේය. ඒ අය ගැනීම හැර සෑය කරවන්නා වූ මම කෙසේ දැහැමෙන් ගඩොල් උපයමි".

ගැමුණු රජු ඔන්න ඔය ප්‍රශ්නයට මුහුණ දෙනවා. මහ සෑය හදන්නත් ඕනෑ. එය පොරොන්දුවක්. සල්ලිත් නැහැ. සල්ලි හොයා ගන්න බදු ගහන්නත් බැහැ. එහෙමනම් අන්තිමට මහ සෑය හදන්න සල්ලි හොයා ගත්තේ කොහොමද? 

ඔන්න ඔය අවස්ථාවේදී ලංකාවෙන් රත්තරන් හමු වෙනවා. මම දන්නා තරමෙන් මෙය ලංකාවෙන් රත්තරන් හමු වූ බවට තිබෙන එකම වාර්තාව. හමු වූ තැන ඇතුළු අනෙකුත් විස්තර මහා වංශයේ නිශ්චිතව සඳහන් කර තිබෙනවා. 

"පුරයෙන් ඊසානදිග තුන් යොදුනක් මත්තෙහි ආචාර වීදි නම් වූ ගම සොළොස් කිරියක් පමණ වූ භූමි ප්‍රදේශයෙහි ප්‍රමාණයෙන් නා නා ප්‍රකාර වූ ස්වර්ණ බීජයෝ උපන්හ. උඩත් පිරිසෙයින් වියත් පමණද යටත් පිරිසෙයින් අඟුල් පමණද වූහ. ස්වර්ණයෙන් පිරුණා වූ ඒ භූමිය ඒ ගම් වැස්සෝ දැක තලියක් පිරූ රන් ගෙන ගොස් රජ හට සැල කළහ."

මේ කාලයට සාපේක්ෂව ගොඩක් මෑත කාලයක් වන 1799දී ඇමරිකාවේ නෝත් කැරොලීනා ප්‍රාන්තයේ ගමක ගොවිපොළක සෙල්ලම් කරන අවුරුදු දොළහක පිරිමි ළමයෙකු වන කොනාඩ් රීඩ්ට බිම තිබිලා රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටියක් හමු වෙනවා. ඊටත් පස්සේ 1848දී කැලිෆෝර්නියාවෙන් රත්තරන් හමු වෙනවා. ඊට පස්සේ තමයි කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක පටන් ගන්නේ. මේ ගැන පෙර ලිපියක විස්තර තිබෙනවා. මේ වාර්තා සහ මහා වංශ වාර්තාව අතර වෙනසක් තියෙනවද? 

ඉතිහාසයේ වැඩි කාලයක් රත්තරන් හමු වුනේ ඔය විදිහට තමයි. කැලිෆෝර්නියා ගෝල්ඩ් රෂ් එක සිදු වන කාලය දක්වා වගේම. එහෙම නැතුව භූ විද්‍යා සමීක්ෂණ කරලා රත්තරන් හොයා ගත්තේ නැහැ. ඒ වගේ දේවල් සිදු වුනේ පසු කාලයකදීයි. මහා වංශ වාර්තාව අනුව, ආචාර වීදියෙන් අඟලක සිට වියතක් පමණ දක්වා වූ රත්තරන් හමු වෙනවා. සාමාන්‍යයෙන් රත්තරන් ඔය විදිහට හමු වෙද්දී ඔය ප්‍රමාණයේ කුට්ටි හමු වෙනවා.

වැදගත්ම කාරණයක් වන්නේ මේ විදිහට හමුවෙන රත්තරන් රත්තරන් බව ගම් වැසියන් විසින් හඳුනාගෙන රජුට දැනුම් දීම. පොළොවෙන් ඔය විදිහට හමු වෙන රත්තරන් රත්තරන් කියා හඳුනා ගන්න අමාරුයි. කොනාඩ් රීඩ්ට බිම තිබිලා හමු වූ රාත්තල් 17ක පිරිසිදු රත්තරන් කුට්ටිය ඔහු හෝ වෙනත් අයෙක් රත්තරන් කියලා හඳුනා ගත්තේ නැහැ. එය රැගෙන ගොස් කාලයක්ම දොරට අඩයට තියපු එකයි සිදු වුනේ. නමුත් ගැමුණු රජුගේ කාලයේදී ආචාර වීදියේ ගම් වැසියන්ට මේ දැනුම තිබී ඇති බව පේනවා. 

ඔය කාලයේ මුදල් විදිහට වැඩිපුරම භාවිතා වුනේ රන් නෙමෙයි, රිදී. මහ සෑය හදන විදිහ ගැන ගැමුණු රජු සිතමින් සිටිද්දී ලංකාවෙන් රන් වගේම රිදීත් හමු වෙනවා. රිදී හමු වෙන්නේ නුවරින් දකුණු පස අට යොදුන් මත්තෙහි අම්බට්ඨකොළ නම් දනවුවක පිහිටි ලෙණකයි. මේ රිදී හමු වුනු ආකාරයත් මහා වංශයේ ඉතා විස්තරාත්මක ලෙස සටහන් කර තිබෙනවා. 

මලය රටෙන් හිඟුරු ආදිය ගෙන ඒම සඳහා වෙළෙන්දෙක් බොහෝ ගැල් ගෙන ඒ රට බලා යනවා. ඔහොම යන අතරේ ගැල් පංතිය ඔය ලෙණ තිබෙන කිට්ටුව නවත්තලා කෑමට දෙයක් හොයනවා. එහිදී ඔවුන්ට ගෙඩි පිරුණු කොස් ගහක් හමු වෙනවා. ඔය වෙලාවේ ඔය කිට්ටුව භික්ෂුන් වහන්සේලා (රහතන් වහන්සේලා) හතර දෙනෙක් ඉන්නවා. මේ වෙළෙන්දා ඔවුන්ට වරකා මදුළු පිළිගන්වනවා. වෙළෙන්දන් විසින්ද වරකා ආහාරයට ගන්නවා.

ඔය ස්වාමීන් වහන්සේලා හතර දෙනාගෙන් තිදෙනෙක් දානය පිළිගෙන පිටව යද්දී එක් හිමිනමක් ඒ ස්ථානයේම සිට දානය වළඳනවා. ඉන් පසුව, අර රිදී තිබෙන ලෙන් ප්‍රදේශය හරහා ආපසු ගැල් වෙත යා හැකි විකල්ප මාර්ගයක් වෙළෙන්දාට පෙන්වනවා. මහා වංශයට අනුව මෙසේ කරන්නේ ඔහුට රිදී නිධිය දකින්නට සැලැස්වීමේ අරමුණින්. වෙළෙන්දා රිදී හඳුනාගෙන වහාම අනුරාධපුරයට ගොස් මේ බව රජුට දැනුම් දෙනවා. 

ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බෞද්ධ භික්ෂූන්ට සාමාන්‍ය ගම් වැසියෙකුට කලින් ස්වභාවිකව තිබෙන රන්, රිදී හමුවෙන්න ඉඩකඩ වැඩියි. නමුත් බෞද්ධ භික්ෂුවකට මේ වගේ දේවල් වලින් වැඩක් නැහැ. ඒ තියා, ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ මුලින් ජීවත් වූ ස්වදේශිකයින්ට පවා රිදී රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. මේ ප්‍රදේශ වලට පැමිණි යුරෝපීයයන්ට පහසුවෙන් එකතු කර ගත හැකි පරිදි රිදී රත්තරන් ඉතිරි වී තිබුණේ ඒ නිසා. ගැමුණු රජු මහ සෑය හදන විදිහ ගැන කල්පනා කර කර ඉන්න බව දැන සිටි අදාළ භික්ෂුව තමන් දැන සිටි රිදී සංචිතය ගැන වෙළෙන්දා හරහා රජුට දැනගන්න සැලැස්සුවා වෙන්න පුළුවන්.

මහා වංශයේ විස්තරය මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. මම ගත්තේ තෝරා ගත් කොටසක් පමණයි. ඔය විදිහට හමු වූ රිදී හා රත්තරන් වලින් පමණක් මහ සෑය හැදීමේ වියදම සම්පූර්ණයෙන්ම ආවරණය වුනා කියලා මහා වංශය කියන්නේ නැහැ. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ මුදල් හා ශ්‍රම පරිත්‍යාග උපයෝහී කරගෙන තිබෙනවා. මෑත කාලයේදී රුවන්වැලි සෑය පිළිසකර කිරීම සිදු වුනෙත් බොහෝ දුරට පෞද්ගලික ධන පරිත්‍යාග වලින්. හැබැයි බදු ගැහුවේ නැති බවනම් මහා වංශය පැහැදිලිව කියනවා.

රිදී රත්තරන් වගේම මුතු මැණික් ඇතුළු තවත් දේවල් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු වී ඇතත් ඒවායින් රුවන්වැලි සෑය හදන්න බැහැ. ඒ සඳහා මෙවැනි වත්කම් වලින් ගෙවීම් කළ හැකි ආකාරයේ දියුණු ගනුදෙනු ආර්ථිකයක්ද තිබිය යුතුයි. 

Thursday, July 10, 2025

සංචිත අවශ්‍යතාවය ගණන් බලන්නේ කොහොමද?

පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් කියන්නේ ඉල්ලුම හා සැපයුම අනුව විණිමය අනුපාතය තීරණය වන ක්‍රමයක්. ඒ ක්‍රමයේදී සාමාන්‍යයෙන් විණිමය වෙළඳපොලට මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නේ නැහැ. පුද්ගලයින්ට සහ සමාගම් වලට ලැබෙන විදේශ විණිමය ඔවුන් විසින් වාණිජ බැංකු වලට විකුණනවා. වානිජ බැංකු විසින් එම විදේශ විණිමය නැවත පුද්ගලයින්ට සහ සමාගම් වලට විකුණනවා. ඔය වැඩේට මහ බැංකුව සම්බන්ධ වෙන්නේ නැහැ.

අපනයන කරද්දී, ශ්‍රමික ප්‍රේෂණ ලැබෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය එකතු වෙනවා. අනයනකරුවෝ ඔය විදේශ විණිමය මිල දී ගන්නවා. ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන ආකාරය අනුව විණිමය අනුපාතය තීරණය වෙනවා. ඒ හරහා ආනයන අවශ්‍ය මට්ටමට සීමා වෙනවා. අවශ්‍ය මට්ටම කියා කියන්නේ බැංකු පද්ධතියට ලැබෙන විදේශ විණිමය වැය කර ආනයන සිදු කළ හැකි මට්ටම.

මේ ක්‍රමයේදී රටට එන විදේශ විණිමය අඩු වෙද්දී ආනයනද ඊට අනුරූපව අඩු වෙනවා. නමුත් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සිදු කළ නොහැකි තරමට විදේශ විණිමය ලැබීම් අඩු වුනොත් එය ප්‍රශ්නයක් වෙනවා. මහ බැංකුව විසින් යම් විදේශ විණිමය ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගැනීම මගින් එවැනි අවදානම් වලට මුහුණ දෙන්න පුළුවන්. මහ බැංකුවක් සංචිත තියා ගන්නේ එවැනි අවදානම් අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න.

රටකට කොපමණ සංචිත අවශ්‍යද?

රටකට අවශ්‍ය සංචිත ප්‍රමාණය නිර්ණය කෙරෙන ක්‍රමවේදයක් මූල්‍ය අරමුදල විසින් සකස් කර තිබෙනවා. ඒ ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දුන් හා නොදුන් රටවල් පිළිබඳව සිදු කර තිබෙන පුළුල් අධ්‍යයන කිහිපයකින් පසුවයි. සමීකරණය මෙවැන්නක්. 

A = මාස 12ක භාණ්ඩ හා සේවා අපනයන ආදායමෙන් 5%ක්. 

B = කෙටිකාලීනව (වසරක් තුළ) ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයෙන් 15%ක්.

C = සමාගම් කොටස්, දිගුකාලීන ණය ආදී අනෙකුත් බැරකම් වලින් 5%ක්.

D = පුළුල් මුදල් සැපයුමෙන් 10%ක්. 

අවම සංචිත අවශ්‍යතාවය = A + B + C + D

තබාගත යුතු උපරිම සංචිත ප්‍රමාණය = අවම සංචිත අවශ්‍යතාවය මෙන් 150%ක්. 

මෙහිදී ඔබට පෙනී යනු ඇත්තේ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවයද ඉහළ යන බවයි. එනම් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වීමේ අවදානම ඉහළ යන බවයි. නමුත් ආනයන වැඩි වෙද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ නැහැ. ඒ ඇයි?

භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඉහළ යන තරමට කම්පන තත්වයකදී එම ආදායම් අඩු වීමේ අවදානමද ඉහළ යනවා. ඒ නිසා, අපනයන ආදායම ඉහළ යන තරමට සංචිතද වැඩියෙන් තබා ගත යුතුයි. 

කෙටිකාලීන හා දිගුකාලීන ණය ප්‍රමාණ ඉහළ යද්දී සංචිත අවශ්‍යතාවය ඉහළ යන්නේ ඇයි කියන එකනම් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මෙහිදී ආනයන වියදම් සලකා බලා නැත්තේ ඇයි? 

ආනයන සිදු කරන අය ඒ සඳහා වැය කරන්නේ රුපියල් මිස ඩොලර් නෙමෙයි. බැංකුවකින් විදේශ විණිමය මිල දී ගන්නේ රුපියල් දීලයි. ඒ නිසා ආනයන වැඩි වීමේ අවදානම වැඩි වන්නේ රුපියල් සැපයුම වැඩි වූ විටයි. මේ අනුව, ආනයන පාලනය කිරීම සඳහා කළ යුත්තේ රුපියල් සැපයුම අඩු කිරීමයි. එනම් පුළුල් මුදල් සැපයුම අඩු කිරීමයි. සල්ලි අච්චු ගැසීම පාලනය කිරීම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පහසුවෙන්ම මෙය කළ හැකියි. අවම සංචිත අවශ්‍යතාවය ගණන් බැලීමේදී පුළුල් මුදල් සැපයුමෙන් 10%ක් එකතු කරද්දී ආනයන වැඩි වීමේ අවදානම ආවරණය වෙනවා. ඊට අමතරව, පසුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේදී මෙන්, රුපියල් ඩොලර් කර තබා ගැනීමේ නැඹුරුව නිසා ඩොලර් හිඟවීමේ අවදානමද එයින් ආවරණය වෙනවා.

මේ අනුව තව දුරටත් පැහැදිලි වනු ඇත්තේ මුදල් සැපයුම නිවැරදිව කළමනාකරණය කරන්නේනම් විදේශ විණිමය ප්‍රශ්නද සෑහෙන තරමකින් විසඳෙන බවයි. සංචිත තබා ගත යුත්තේ එසේ නොවිසඳිය හැකි බාහිර කම්පන වලට මුහුණ දීමටයි.

පසු ගිය ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ සංචිත ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයෙන් ගොඩක් පහතට වැටුනා. මේ වන විට සංචිත යම් ප්‍රමාණයකට ගොඩ නගාගෙන තිබෙනවා. පසුගිය වසර අවසන් වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,122 මට්ටමට වැඩි වී තිබුණා. නමුත් එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 50.5%ක් පමණයි. එයින්ද කොටසක් ප්‍රයෝජනයට ගත නොහැකි චීන මුදල් හුවමාරු ණයයි. ඒ කොටස ඉවත් කළ විට තිබුණු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,686ක් පමණයි. එම ප්‍රමාණය ඉහත සඳහන් අවශ්‍ය අවම මට්ටමෙන් 38.6%ක් පමණයි.

විදෙස් සංචිත සාමාන්‍යයෙන් ආනයන සඳහා ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ සංචිත අඩුව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හදිසියේ යම් බාහිර කම්පනයකට මුහුණ දෙන්න සිදු වුනොත් ප්‍රමාණවත් සංචිත නොමැති වීම ප්‍රශ්නයක් වෙනවා. මූල්‍ය අරමුදල විසින් සංචිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන්නේ ඒ නිසා.

සංචිත ගොඩ නගා ගැනීමේ ඉලක්ක මෙහෙමයි.

2025 අවසානය - ඩොලර් මිලියන 7,255 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 60.3%ක්)

2026 අවසානය - ඩොලර් මිලියන 9,273 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 75.5%ක්)

2027 අවසානය - ඩොලර් මිලියන 12,974 (අවශ්‍ය අවම ප්‍රමාණයෙන් 100.0%ක්)

ඉන් පසුව, උපරීම වශයෙන් අවශ්‍ය අවම ප්‍රමාණය මෙන් 150% දක්වා සංචිත ගොඩ නගා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සංචිත තබා ගැනීම අනවශ්‍ය නාස්තියක්. අර්බුදයකදී වුවද ඊට වඩා සංචිත අවශ්‍ය වන්නේ නැහැ. 

දැන් මේ ඉලක්ක වලට යන්න බැරි වුනොත් වෙන්නේ කුමක්ද? කිසිම බරපතල දෙයක් වෙන්නේ නැහැ. 2027 අවසානයේදී 100% මට්ටමට යන්න බැරි වී 90% වැනි මට්ටමට පමණක් යන්න පුළුවන් වුනොත් 2028දී 100% මට්ටමට යන්න පුළුවන්. ඒ අතර ලොකු බාහිර කම්පනයක් ඇති වුනොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. නමුත් ඒ සඳහා විකල්ප විසඳුමක් තිබෙනවා. ඒ නැවත වරක් මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන එක. අවශ්‍ය අවම සංචිත ප්‍රමාණය එකතු කරගෙන ඒ මට්ටම පවත්වා ගත්තොත් සිදුවන වෙනස නැවත මූල්‍ය අරමුදලේ උදවු ඉල්ලන්න අවශ්‍ය නොවීමයි. 

අවශ්‍ය ප්‍රමාණයට සංචිත ගොඩ නගා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් එය නොකා නොබී මට්ටකුණ්ඩලී ක්‍රමයට කළ යුතු දෙයක් නෙමෙයි. 

තවත් අමතර කරුණක් ලෙස, මේ නිර්ණායකය මූල්‍ය අරමුදල විසින් පොදුවේ හදපු එකක් මිසක් ලංකාවට විශේෂයෙන් හදපු එකක් නෙමෙයි. විශාල ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ලංකාවට සුවිශේෂී තත්ත්වයක්. හදිසියේ ශ්‍රමික ප්‍රේෂණ අඩු වීම නිසා ඇති විය හැකි අවදානම පිළිබඳව නිර්ණායකය සංවේදී නැහැ. ඒ නිසා, ලංකාවේ සංචිත අවශ්‍යතාවය ගණනය කරද්දී රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් යම් ප්‍රතිශයකුත් එකතු කරන එක නරක අදහසක් නෙමෙයි. 

වෙබ් ලිපිනය: