වෙබ් ලිපිනය:

Monday, September 29, 2025

තේ විකිණීමේ ගිනස් වාර්තාව


මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා පරීක්ෂා කළ හැකියි. 

චීනයේ යුනාන් පළාතේ වවන Puerth Hong Yin Yuan Cha සමාගමේ තේ අවුන්ස 12ක් (ග්‍රෑම් 340ක්) 2008 වසරේදී බ්‍රිතාන්‍ය පවුම් 15,000කට (ඇමරිකන් ඩොලර් 22,507කට) අලෙවි වී තිබෙනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් ඩොලර් 66,197ක පමණ මුදලක්. 

මේ මිලට මිල දී ගත් තේ එංගලන්තයේ හැරඩ්ස්හිදී තේ කෝප්පයක් පවුම් 85 බැගින් (ඩොලර් 127 බැගින්) විකුණා තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය විසින් වාර්තා කර ඇති පරිදි, ජපානයේදී ඩොලර් 860ක මිලකට තේ කිලෝග්රෑමයක් වෙන්දේසි කර මේ වන විට ඉහත වාර්තාව බිඳ දමා තිබෙනවා.

Saturday, September 27, 2025

රටේ දළ දේශීය නිෂ්පාදිතය තියෙන්නේ කා ලඟද?


පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී ගියේනම්, එක් අයෙකුගේ කොටස තමයි ඔය ප්‍රමාණය. හතර දෙනෙක් සිටින නිවසක පංගුව රුපියල් ලක්ෂ 54ක් පමණ. මාසයකට ලක්ෂ හතර හමාරක් පමණ. 

පසු ගිය වසරේ පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව තිබුණේ රුපියල් ලක්ෂ 12 මට්ටමේ. ඒ කියන්නේ රටේ සෑම පුද්ගලයෙකුටම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට සමාන ආදායමක් ලැබුනේනම්, රටේ සෑම දෙනෙකුම ආදායම් බදු ගෙවන්නෙක් කියන එකයි. 

මේ විදිහට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා තියෙන්නේ දදේනිය රටේ මුළු ජනගහණයෙන් බෙදලා. එම ගණනට අලුත ඉපැදුනු බිළිඳුන් පවා අයිතියි. නමුත් රටේ සිටින ආදායම් උපයන්නන් ප්‍රමාණය රටේ ජනගහණයට වඩා ගොඩක් අඩුයි. පසුගිය වසරේදී කුමක් හෝ රැකියාවක් කළේ මිලියන 21.9ක ජනගහණයෙන් මිලියන 7.9ක පිරිසක් පමණයි. රැකියා නොකරන, එහෙත් වත්කම් වලින් ආදායම් උපයන අයද සිටින නිසා කිසියම් හෝ ආදායමක් ඉපැයූ පිරිස මීට වඩා තරමක් වැඩි ඇති. මේ ආදායම් උපයන්නන් ප්‍රමාණය මිලියන 10ක් සේ සැලකුවත්, එක් ආදායම් උපයන්නෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ක් පමණ විය යුතුයි. ඒ කියන්නේ මාසයකට ලක්ෂ දෙක හමාරක්. 

නමුත් බදු ගෙවද්දී පෙන්වන ආදායම් දිහා බැලුවොත්, මාසයකට රුපියල් ලක්ෂය ඉක්මවන ආදායම් උපයන අය ඉන්නේ ඉහත ඇස්තමේන්තුවට වඩා ගොඩක් අඩුවෙන්. එහෙමනම්, රටේ දළ දේශීය නිෂ්පාදිතය ආදායමක් වී තිබෙන්නේ කාගේද?

රටේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ කාට හෝ ලැබුණු ආදායම් වලද එකතුවයි. රුපියල් බිලියන 29,899ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ආදායම් ප්‍රභව වලට විභේදනය කළ විට දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්.

ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් - රුපියල් බිලියන 7,645 (25.6%)
සමාගම් වල අතිරික්තය - රුපියල් බිලියන 9,218 (30.8%)
මිශ්‍ර ආදායම් (තනි පුද්ගල ව්‍යාපාර වල ලාභ) - රුපියල් බිලියන 10,196 (34.1%)
භාණ්ඩ හා සේවා මත අය කළ බදු - රුපියල් බිලියන 2,840 (9.5%)

දැන් මේ ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 7,645 රටේ ශ්‍රම බලකාය වූ මිලියන 7.9න් බෙදුවොත්, එක් ශ්‍රමිකයෙකුගේ මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ වෙනවා. එම ගණන රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පුදුම හිතෙන ගණනක් නෙමෙයි. ඒ නිසා, වැටුප් ශ්‍රමිකයින් අතර, මාසික ආදායම අවම බදු සීමාව ඉක්මවන අය මහා ගොඩක් නැති වෙන්න පුළුවන්. ඒ අයට බොහෝ විට පුද්ගල ආදායම් බදු ගෙවන්න වෙනවා. වංගු ගහන්න අමාරුයි. ඊට අමතරව වක්‍ර බදු ගෙවීම මගින් භාණ්ඩ හා සේවා මත අය කළ බදු කොටසටත් දායක වෙන්න සිදු වෙනවා. 

රටේ සමස්ත ආදායමෙන් ශ්‍රමිකයින් විසින් ලබා ගන්නා කොටසටත් වඩා වැඩි කොටසක් සමාගම් වල අතිරික්තයයි. නමුත් මේ කතා කරන්නේ විධිමත් ලෙස ලියා පදිංචි කළ සමාගම් ගැනයි. ඒ සමාගම් වලටත් ආදායම් බදු ගෙවන්න සිදු වෙනවා. 2024දී සමාගම් විසින් ගෙවූ ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 584ක්. එය ඉහත ඇස්තමේන්තුවෙන් 6.3%ක් පමණයි. මෙම අනුපාතය සමාගම් බදු අනුපාතිකයට වඩා බොහෝ අඩුයි. ඊට හේතුව බදු අය කරන්නේ ගිණුම්කරණ ලාබ මත වීම සහ ගිණුම්කරණ ලාබ පෙන්වීමේදී වංගු ගැසිය හැකි නීත්‍යානුකූල (හා එසේ නොවන) ක්‍රම තිබීමයි. 

ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ප්‍රමාණය (වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය) පසුගිය වර්ෂයේදී රුපියල් බිලියන 1,447කින් ඉහළ ගියා. මෙම අගය දළ වශයෙන් කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් වලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කළ කොටස සේ සලකන්න පුළුවන්. එසේ සැලකුවහොත්, එම අගය රටේ සමාගම් වල ලාභ වලින් 15.7%ක් පමණයි. කෙතරම් විවේචන කළ හැකි වුවත්, කොටස් වෙළඳපොළ සමාගම් සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමේ නියාමනයකට භාජනය වෙනවා. මෙවැනි පොදු සමාගම් වැඩිපුර ලාබ ගන්නවානම්, කැමති ඕනෑම අයෙකුට කොටස් මිල දී ගෙන ඒ ලාබ බෙදා ගැනීම සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.

නමුත්, ඉහත සංඛ්‍යාලේඛණ අනුව, ලංකාවේ පෞද්ගලික සමාගම් වල ලාබ වලින් 85%ක්ම තියෙන්නේ පොදු සමාගම් වලින් බාහිරව පෞද්ගලික ප්‍රාග්ධනහිමියන් සතුවයි. එම සමාගම් වල ලාබ බෙදා ගැනීම සඳහා රටේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න බැහැ. මේ සමාගම් වල ප්‍රාග්ධනය සම්ප්‍රේෂණය වන්නේ පරම්පරා උරුමය අනුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ආදායම් උපයන්නන් අතර ශ්‍රමිකයින් සහ ප්‍රාග්ධනහිමියන් ලෙස පැහැදිලි ලෙස වර්ග කර හඳුනා ගත හැකි දෙකොටසක් ඉන්නවා. 

තමන්ගේ දක්ෂතාවයෙන් ආදායම් උපයා ධනවත් වීම සහ උරුමයෙන් ලැබුණු ධනයේ ප්‍රතිලාභ වල උදවුවෙන් තව තවත් ධනවත් වීම කියන්නේ කරුණු දෙකක්. පළමුවැන්න මෙන්ම දෙවැන්නද වැරැද්දක් නෙමෙයි. එහෙත් දෙවැන්නේදී සිදු වන්නේ පළමුවැන්නේදී මෙන් ධනය ඉපැයීමේ වැඩිම ශක්‍යතාවයක් ඇති පිරිස සතුව ධනය එක්රැස් වීමක්ද නෙමෙයි. 

බදු ප්‍රතිපත්ති මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය පාලනය නොකරන්නේනම්, කාලයත් සමඟ සමාජයේ උපතින්ම ධනවතුන් හා උපතින්ම දුප්පතුන් ලෙස කොටස් දෙකක් ඇති වීම වලක්වන්න බැහැ. මේ කරුණ අමතක කර, නියාමනයෙන් තොරව, බදු ප්‍රතිපත්ති මගින් සිදු කරන මැදිහත්වීම් වලින් තොරව, සාධාරණ වෙළඳපොළ තරඟයක් ඉබේම ඇති වී රටේ ඕනෑම කෙනෙකුට ධනවතෙකු වීමට ඉඩකඩ විවර වේයැයි කවුරු හෝ හිතනවානම්, ධනවතුන් විසින් දුප්පතුන්ට පුණ්‍යාධාර ලෙස තමන්ගේ ධනය බෙදා දී දුප්පතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මත පමණක් විශ්වාසය තබනවානම්, එය මනෝරාජික, මූලධාර්මික අදහසක් පමණයි.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම් වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක් යන්නේ මිශ්‍ර ආදායම් ලෙසයි. ඒ කියන්නේ ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි ආදායම්. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බොහෝ දුරට තිබෙන්නේ මේ ගොඩේ. ලංකාවේ බදු ආදායම් අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේද මේ කොටසයි. ඒ කියන්නේ වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති පිරිස. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මේ පිරිසයි. රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි. එය කළ හැක්කේ ඕනෑම තනි පුද්ගල ව්‍යාපාරික කටයුත්තක් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ එම ලියාපදිංචිය අලුත් කිරීමේ කොන්දේසියක් ලෙස බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම මගින් පමණයි. 

Friday, September 26, 2025

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - පළමු මාස අට


වසරේ පළමු මාස අටක කාලය ඇතුළත රුපියල් බිලියන 3,068.5ක බදු ආදායමක් සමඟ රුපියල් බිලියන 3,301.5ක සමස්ත රාජ්‍ය ආදායමක් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව බදු ආදායම් 30.7%කින් වර්ධනය වී ඇති අතර වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙන් 66.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව සමස්ත ආදායම් වර්ධනය 28.7%ක් වන අතර, මෙය වර්ෂාවසාන ඉලක්කයෙන් 65.5%කට සමානයි. මේ අනුව පෙනී යන්නේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසර තුළ රාජ්‍ය ආදායම අයවැය ඇස්තමේන්තු ඉක්මවා යා හැකි බවයි.

පුනරාවර්තන වියදම් පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ 11.2%කින් පමණක් වුවත්, අයවැය ඇස්තමේන්තු මට්ටමට යාමටනම් මෙම වර්ධන වේගය 10.9%කට සීමා විය යුතු බැවින් පුනරාවර්තන වියදම් යාන්තමින් ඇස්තමේන්තු ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. එහෙත්, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.8%ක් තරම් අඩු වේගයකිනුයි. මේ අයුරින් ආදායම් ඉහළ යාමේ සහ වියදම් සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු මාස අටේ අයවැය හිඟය රුපියල් බිලියන 411.0කට සීමා වී තිබෙනවා.

වර්ෂාවසාන ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය රුපියල් බිලියන 750ක් පමණක් වුවත්, පළමු මාස අටක කාලය තුළ පමණක් රුපියල් බිලියන 1276.5ක මුදලක් ඉතිරි වී තිබෙනවා. මීට ප්‍රධානම හේතුව පළමු මාස අට තුළ වැය කර තිබෙන්නේ ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,315ක මුදලින් 25.2%ක් පමණක් වීමයි. 

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරයකින් ඇඟවුනු පරිදි, ප්‍රාග්ධන වියදම් සීමා වීමට හේතුවක් වී තිබෙන්නේ අපේක්ෂා කළ ඇතැම් ව්‍යාපෘති ණය ප්‍රමාද වීමයි. වසර අවසානයේදී එම ව්‍යාපෘති ණය ලැබුණහොත් විදේශ සංචිත ඉහළ යාමට මෙන්ම රජයේ ප්‍රාග්ධන වියදම් වැඩි වේගයකින් වැය වීමටද ඉඩ ඇතත්, දැනට පවතින තත්ත්වය අනුව බොහෝ විට ඉඩ තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු මට්ටමටම සිදු නොවීමටයි. ඒ අනුව, මුල් ඇස්තමේන්තු ඉක්මවා යන ප්‍රාථමික අයවැය අතිරික්තයක් සහ ඇස්තමේන්තුවලට වඩා අඩු සමස්ත අයවැය හිඟයක් වාර්තා වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඉහත ප්‍රවණතා අනුව වඩා වැඩි විභවයක් පෙනෙන්නට තිබුණත්, ලංකාවේ ඉලක්කය වනුයේ මෙම වසරේදී දදේනියෙන් 15.1% රාජ්‍ය ආදායමක් එකතු කර ගැනීම සහ දිගුකාලීනව එම අගය 15.3% මට්ටමේ පවත්වා ගෙන යාමයි. මෙම ඉලක්ක ලඟා කර ගත්තද, මෙම වසරේදී මෙන්ම දිගුකාලීනවද, නැගී ගෙන එන සහ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් 41ක් අතරින් ඉරානය හැරුණු විට අඩුම රාජ්‍ය ආදායමක් එකතු කර ගන්නා රට වනු ඇත්තේ ලංකාවයි. 

ඉහත රටවල රාජ්‍ය ආදායම සාමාන්‍ය අගයක් ලෙස 26.2%ක් වන අතර, අඩු ආදායම් ලබන රටවල සාමාන්‍ය අගය වන 15.7% වුවද ලංකාවේ 15.1% අගයට වඩා වැඩියි. ඉහළ ආදායම් ලබන රටවල මෙම අනුපාතය 36.6%ක්. රටක ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී රාජ්‍ය අංශයේ පංගුව විශාල වීම සාමාන්‍ය තත්ත්වයයි. 

නැගී ගෙන එන සහ මැදි ආදායම් කාණ්ඩයේ තෝරාගත් රටවල 2025දී අපේක්ෂා කෙරෙන රාජ්‍ය ආදායම් පහත පරිදි වන අතර මේ සමඟ පළ කරන වගුවෙහි ඉතිරි රටවල හා ආසන්න වසර වල සංඛ්‍යාලේඛණ ඇතුළත්ව තිබෙනවා.

ආජන්ටිනාව - 33.1%

බ්‍රසීලය - 39.2%

චීනය - 25.1%

හංගේරියාව - 42.2%

ඉරානය - 9.5%

කුවේට් - 75.8%

මැලේසියාව - 19.7%

මෙක්සිකෝව - 25.0%

පකිස්ථානය - 15.9%

පිලිපීනය - 20.2%

රුසියාව - 36.6%

තායිලන්තය - 20.9%

යුක්‍රේනය - 39.1%

වියට්නාමය - 18.7%

තුර්කිය - 28.9% 

Thursday, September 25, 2025

ඇමරිකන් රජය ආජන්ටිනා පෙසෝව බේරා ගනී!


ඇමරිකන් රජයේ විශාල රාජ්‍ය මැදිහත්වීමක උදවුවෙන් තවත් ආර්ථික අර්බුදයක මුව විට සිටි ආජන්ටිනාව එම අර්බුදය යටපත් කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇමරිකාව විසින් සාමාන්‍යයෙන් විදේශ රටකට සිදු කරන ආකාරයේ මැදිහත්වීමකින් එහාට ගිය මෙම ඇමරිකන් රාජ්‍ය මැදිහත්වීම ආජන්ටිනා ආර්ථිකය බේරා ගැනීම සඳහා සිදු කළ ආර්ථික මැදිහත්වීමක්ටත් වඩා, පිරිහෙමින් ඇති වත්මන් ආජන්ටිනා ජනාධිපති හවියර් මිලේගේ ජනප්‍රියත්වය තවත් මාසයකින් පැවැත්වෙන ආජන්ටිනා මැතිවරණයට පෙර නැවත ගොඩ නංවා දීමේ උත්සාහයක් ලෙස සිදු කළ දේශපාලන මැදිහත්වීමක් වශයෙන් සැලකිය හැකියි.  

ආජන්ටිනාව යනු පසුගිය සියවසේ මුල් කාලයේදී ලෝකයේ ධනවත් රටවල් අතර සිටි රටක්. පසුව මෙම ස්ථානය ක්‍රමයෙන් පහත වැටුනත්, දැනටත් ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටවල අවම ආදායම් සීමාව ආසන්නයේ සිටින ඉහළ මැදි ආදායම් රටක්. 2024දී ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,440ක් වූ අතර, ඉහළ ආදායම් රටවල් සේ සැලකුනේ එම ආදායම ඩොලර් 13,935 ඉක්මවන රටවලුයි. 

පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට, 1991දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට උසස් වූ ආජන්ටිනාව, ලංකාව මෙන් ඉන් පසුව නැවතත් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටුණේ නැහැ. ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර වලදී ඉහළ ආදායම් සීමාව ආසන්නයේ උච්ඡාවචනය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 හා 2017 වසර වලදී ආජන්ටිනාව ඉහළ ආදායම් කාණ්ඩයට ලඟා වුනත්, ඒ තත්ත්වයනම් දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ. මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි වීමයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "නිත්‍ය පාරිභෝගිකයෙක්" සේ සැලකිය හැකි ආජන්ටිනාව මේ වන විට 23 වරක් එම අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. මේ වන විටද මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60කටත් වඩා වැඩියි. මෙම ණය ප්‍රමාණය මූල්‍ය අරමුදල විසින් මේ වෙද්දී රටවල් 86කට ලබා දී තිබෙන, එම රටවල් විසින් අරමුදලට ආපසු ගෙවිය යුතුව ඇති, මුළු ණය ප්‍රමාණයෙන් 35.0%කට සමානයි. මේ අනුව පෙනී යනු ඇත්තේ ආජන්ටිනාවට මූල්‍ය අරමුදලෙන් තොර පැවැත්මක් නැතුවාක් මෙන්ම අරමුදලටද ආජන්ටිනාව "නැතුවම බැරි" රටක් බවයි. 

ආජන්ටිනාවට අවසන් වරට මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට සිදු වූයේ මෙම (2025) වසරේ අප්‍රේල් මාසයේදීයි. එහිදී ඩොලර් බිලියන 20ක දැවැන්ත ණය මුදලක් අනුමත වූවාක් මෙන්ම එම මුදලෙන් ඩොලර් බිලියන 12ක්ම වහාම ලබා ගැනීමටද ආජන්ටිනාවට හැකි වුනා. ඉන් පසුව සිදු කෙරුණු පළමු විමර්ශනය අවසන් වීමෙන් පසුව, ජූලි මාසයේදී තවත් ඩොලර් බිලියන 2ක මුදලක් මුදා හැරුණා. කෙසේ වුවද, මෙවැනි විශාල ණය මුදලක් අරමුදලෙන් ලබා ගැනීමෙන් පසුවද, ආජන්ටිනාව තවමත් ලංකාව මෙන් සිය විදේශ අංශය ස්ථාවර කර ගැනීමට සමත් වී නැහැ.

ලංකාව හා ආජන්ටිනාව ඇතුළු, වරින් වර නැවත නැවතත් මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගන්නා රටවල පොදු ලක්ෂණයක් වන්නේ නිදන්ගත අයවැය හිඟය සහ නිදන්ගත ජංගම ගිණුම් හිඟයයි. එහෙත්, මෙම තත්ත්වයන් හා අදාළව ආජන්ටිනාවේ ඉතිහාසය ලංකාවේ තරම්ම නරක එකක් නෙමෙයි. 1956 සිට 2024 දක්වා එක දිගට වසර 59ක් තිස්සේ අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇති ලංකාව අවම වශයෙන් තවත් වසර 15ක් පමණ යන තුරු මෙම වාර්තාව නැවත නැවත අලුත් කිරීමට නියමිතයි. ඊට සාපේක්ෂව ආජන්ටිනාව විසින් එක දිගට අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇත්තේ 2009 සිට 2023 දක්වා වූ වසර 15ක කාලය තුළ පමණයි. 2003-2008 වසර හය තුළ ආජන්ටිනාව අයවැය අතිරික්තයක් පවත්වා ගත්තා.

ආජන්ටිනාවේ දේශපාලනය 

ආජන්ටිනාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මේ වන විට වසර 40ක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති අතර, ඊට පෙර 1983 දක්වා කාලය වරින් වර ප්‍රජාතන්ත්‍රවාදී  පාලකයින් හා හමුදා ආණ්ඩු අතර බලය මාරු වූ කාලයක්. ඉන් පසු කාලයේදී, ලංකාවේ මෙන්ම, කිසියම් පක්ෂයකට ඇති කැමැත්ත නිසා නොව, බලයේ සිටින පක්ෂයට ඇති අකැමැත්තට වෙනත් පක්ෂයකට ඡන්දය දීම ආජන්ටිනාවේද දිගින් දිගටම සිදු වූ දෙයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවේ දේශපාලන බලය නව ලිබරල්වාදයේ සිට වාමාංශික ජනප්‍රියවාද දක්වා වරින් වර මාරු වුනා. 

කිසියම් ආණ්ඩුවක කාර්ය සාධනය විමසා බලද්දී එම ආණ්ඩුවේ ප්‍රකාශිත දේශපාලන මතවාද දෙස බලනවාට වඩා ඇත්තටම කරන දේවල් දෙස බැලීම වඩා යෝග්‍ය ක්‍රමයයි. ඇතැම් ආණ්ඩු වමට සිග්නල් දමා දකුණට හරවද්දී තවත් ආණ්ඩු දකුණට සිග්නල් දමා වමට හරවන අවස්ථා තිබෙනවා.

පසුගිය (2024) වසරේදී, වසර 15කට පසුව, ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කළා. එය සිදු වූයේ දක්ෂිණාංශික හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුවයි. එහෙත්, ඊට පෙර ආජන්ටිනාව විසින් අයවැය අතිරික්තයක් පවත්වා ගත් 2003-2008 කාලයේදී එය සිදු වූයේ වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටියදීයි. 

අයවැය තුලනය කිරීම 

පසුගිය වසරේදී ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීම හා අදාළව විවිධ ප්‍රබන්ධ ප්‍රචලිතව ඇතත්, ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ ආජන්ටිනා රජය විසින් වසරක් ඇතුළත විශාල ලෙස බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් ඊට වඩා අඩුවෙන් වැඩි කර ගැනීමයි. 

හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව, 2023දී පෙසෝ බිලියන 19,033ක් වූ ආජන්ටීනා ෆෙඩරල් රජයේ බදු ආදායම, 2024 වන විට පෙසෝ බිලියන 60,772 දක්වා වැඩි කර ගැනීමට සමත් වුනා. මෙය 219.3%ක වර්ධනයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදු නොවන ආදායම් ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම පෙසෝ බිලියන 32,053 සිට පෙසෝ බිලියන 98,168 දක්වා 206.3%කින් ඉහළ ගියා. 

මේ අයුරින් ආජන්ටීනාවේ රාජ්‍ය ආදායම විශාල ලෙස වැඩි වෙද්දී, රාජ්‍ය වියදම්ද ඉහළ ගියත්, එසේ ඉහළ ගියේ රාජ්‍ය ආදායම් වැඩි වූ වේගයට වඩා අඩු වේගයකිනුයි. සමස්ත රාජ්‍ය වියදම් පෙසෝ බිලියන 41,054 සිට පෙසෝ බිලියන 96,204 දක්වා 130.5%කින් ඉහළ ගියත්, ආදායම් වර්ධන වේගය ඊට වඩා බෙහෙවින්ම වැඩි වූ බැවින්, ආජන්ටිනාවට වසර 15කට පසුව නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට හැකි වුනා. 

ෆෙඩරල් රජයේ වියදම් ආදායම් වර්ධන වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වුවත්, වසරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වියදම් 145.9%කින්ද, විශ්‍රාම වැටුප් වියදම් 176.7%කින්ද ඉහළ ගියා. සමස්තයක් ලෙස පුනරාවර්තන වියදම් වැඩි වෙද්දී කප්පාදු වී තිබුණේ ප්‍රාග්ධන වියදම් කොටසයි. එම වියදම් 29.6%කින් අඩු වී තිබුණා. මේ වසරේ ලංකාවේ සිදු වන බව පෙනෙන්නේද මෙවැන්නක්. 

උද්ධමනය 

හවියර් මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී, ආජන්ටිනාවේ උද්ධමනය පැවතුණේ 160.9% මට්ටමේ. මිලේ බලයට පැමිණි වහාම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීම හේතුවෙන්, උද්ධමනය 292.2% මට්ටම දක්වා ඉහළ ගියා. කෙසේ වුවත්, එසේ විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම කළ යුතුව තිබුණු දෙයක්. 

ආජන්ටිනාවේ උපක්‍රමය වූයේ මුලින්ම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීමෙන් පසුව එහි මිල නිදහසේ තීරණය වීමට ඉඩ නොදී, අවප්‍රමාණය වීම කෘතීම ලෙස පාලනය කිරීම මගින්, උද්ධමනය පාලනය කිරීමයි. මෙම උපක්‍රමය තාවකාලිකව සාර්ථක වී උද්ධමනය මේ වන විට 33.6% මට්ටම දක්වා පහත වැටී ඇතත්, විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම මගින් ආජන්ටිනාව නැවතත් අර්බුදයකට පාර කපා ගෙන තිබෙනවා. 

විණිමය අනුපාතය 

මිලේ බලයට පත් වන විට නිල වශයෙන් ඇමරිකන් ඩොලරයක් පෙසෝ 366.5ක් වූ අතර, කළු කඩයේ ඩොලරයක් ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් විකිණුනා. මිලේ බලයට පත් වීමෙන් පසුව ඩොලරයක මිල එක රැයින් පෙසෝ 800 දක්වා ඉහළ දමනු ලැබූ අතර ඉන් පසුව මාසයකට 2% බැගින් පෙසෝව අවප්‍රමාණය කෙරෙනු ඇති බව නිවේදනය කෙරුණා. මෙහි අරමුණ වූයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මාසයකට 2%කට වඩා වැඩියෙන් වැඩි නොවන බවට වග බලා ගැනීමයි. එහෙත්, ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඊට වඩා වැඩි වේගයකින් ඉහළ යාම නිසා පෙසෝ කළු කඩය නැති වුනේ නැහැ. 

මුදල් සැපයුම 

ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම විණිමය අනුපාතයේ උදවුවෙන් නවතා ගැනීම අසීරු වූයේ මුදල් සැපයුම වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වූ බැවිනුයි. මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී පෙසෝ ට්‍රිලියන 8.97ක් වූ M0 මුදල් සැපයුම (සංචිත මුදල්) 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 44.3 දක්වා 393.9%කින් ඉහළ ගොස් ඇති අතර, පෙසෝ ට්‍රිලියන 23.8ක් වූ M2 මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 80.8 දක්වා 239.5%කින් ඉහළ ගොස් තිබෙනවා. පෙසෝ ට්‍රිලියන 41.3ක් වූ M3 (පුළුල්) මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 144.0 දක්වා 248.7%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මුදල් සැපයුම මෙසේ ඉහළ යද්දී විණිමය අනුපාතයේ උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීම අසීරුයි. අනෙක් අතට, රටේ මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී පොලී අනුපාතික වල උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීමද පහසු නැහැ. 

මිලේ බලයට පත් වන විට උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 133% දක්වා ඉහළ දමා තිබුණා. එම මට්ටම වුවද සැලකුණේ උද්ධමනය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන මට්ටමක් ලෙසයි. එහෙත්, මිලේ බලයට පත් වූ පසුව දැක ගත හැකි වූයේ ආජන්ටිනා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් ලිහිල් කරන ආකාරයයි. මෙය අලුත් ආණ්ඩුවේ දේශපාලන නැඹුරුව අනුව සිදු වූ දෙයක් සේ සලකන්න පුළුවන්. කෙසේ වුවද, මේ වන විටත් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 29%ක් වන අතර බැංකු පොලී අනුපාතික තිබෙන්නේ 54% මට්ටමේයි. 

මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක තබා නොගන්නේනම්, වැඩි වන මුදල් ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුමද වැඩි කරන්නට සිදු වෙනවා. ආජන්ටිනාවේ මුදල් සැපයුම මෙපමණ වේගයකින් ඉහළ යාමට හේතුව එයයි. විවෘත ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ යද්දී ආනයන ඉල්ලුම ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයක් ඇති වෙනවා. එම පීඩනය මුදා නොහැරේනම්, විණිමය අනුපාතය ආරක්ෂා කර ගැනීම සඳහා සංචිත වැය කරන්නට සිදු වෙනවා. 

එසේනම්, මිලේ බලයට පත් වීමෙන් පසුව ආජන්ටිනාව පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු කළේ ඇයි? මෙහි වූයේ ආර්ථික වර්ධනය වැඩි කර ගැනීමේ දේශපාලනික අභිලාශයයි.  පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එය හැම විටෙකම මෙන් පවතින ආණ්ඩුවකට දේශපාලනිකව අවාසිදායකයි. 

විණිමය අනුපාතය නිදහස් කිරීම 

කෙසේ වුවත් ආජන්ටිනාව විසින් දිගින් දිගටම විණිමය අනුපාතය හිර කරගෙන සිටීමේ ඉලක්කයක සිටියේ නැහැ. මිලේගේ දේශපාලනික අභිලාශ සමඟ වුවද වඩා ගැලපෙන්නේ හැකි ඉක්මණින් විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමයි. මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුළු වීමෙන් පසුව එහි ඉලක්කයක් වූයේද විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමයි. මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට මෙම (2025) අප්‍රේල් මාසයේදී අරමුදලේ උදවුවෙන් ස්ථායීකරණ වැඩ පිළිවෙලකට යාමෙන් පසුව විණිමය අනුපාතයේ හැසිරීම තරමක් නම්‍යශීලී වී ඇති ආකාරය මෙන්ම, වඩා වැඩි වේගයකින් පෙසෝව අවප්‍රමාණය වීමද පැහැදිලිව දැකිය හැකියි. 

විදේශ සංචිත 

මිලේ බලයට පත් වන විට ආජන්ටිනාව සතු වූ විදේශසංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 17.5ක් දක්වා පහත වැටී තිබුණු අතර පෙසෝව එක් දිනක් තුළ 54%කින් අවප්‍රමාණය කිරීමෙන් පසුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 23.6 දක්වා ඉහළ ගියත්, 2025 මාර්තු වන විට නැවතත් ඩොලර් බිලියන 19.0 දක්වා පහත වැටුණා. ආජන්ටිනාව මූල්‍ය අරමුදලේ සහාය පැතුවේ ඉන් පසුවයි. අරමුදලේ සහාය ලැබීමෙන් පසුව, මේ වන විට (2025 සැප්තැම්බර් 23) ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 39.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය සතියේ අවසන් දින තුන තුළ (සැප්තැම්බර් 17-19) ආජන්ටිනා පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වන්නට පටන් ගත්තා. මෙම අවප්‍රමාණය සීමා කර ගැනීම සඳහා එම දින තුන තුළ ආජන්ටිනාවේ විදේශ සංචිත වලින් ඩොලර් බිලියනයකට වඩා වැය කරන්නට සිදු වුනා. එසේ කිරීමෙන් පසුවද, ඩොලරයක මිල පෙසෝ 1,475 පමණ දක්වා ඉහළ ගියා. මේ තත්ත්වය හමුවේ නැවතත් ආර්ථික අර්බුදයකට නොයමින් විණිමය අනුපාතය රැක ගැනීමේ හැකියාවක් ආජන්ටිනාව සතු වූයේ නැහැ. 

පෙසෝව රැක ගැනීම පිණිස තව තවත් සංචිත වැය කළේනම් ඉතා ඉක්මණින්ම ආජන්ටිනාවේ සංචිත පහත වැටී ඉදිරි මාස වලදී ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එමෙන්ම, මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම අනුව පෙසෝව රැක ගැනීම පිණිස මහා පරිමාණයෙන් විදේශ සංචිත විකිණීමේ හැකියාවක්ද නැහැ. මිලේ පෙනී සිටින මතවාද අනුව, ඉල්ලුම හා සැපයුම තුලනය වන පරිදි ඩොලරයක මිල ඉහළ යන්නට ඉඩ හැරියේනම්, අමාරුවෙන් යටපත් කරගෙන සිටින උද්ධමනය නැවතත් හිස එසවීම වලක්වන්න බැහැ. දේශපාලනයින් විසින් වේදිකා වල කවර මතවාද වෙනුවෙන් පෙනී සිටියත්, අවසාන වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ හැකි තරම් කලක් බලයේ සිටීමට උදවු වන ක්‍රියාමාර්ග පමණයි.

මේ තත්ත්වය තුළ ආජන්ටිනාවේ වාසියට සිටියේ වත්කම් ඇමරිකන් ආණ්ඩුව සමඟ ඇති මිත්‍රත්වයයයි. මිලේගේ ඉල්ලීමට ඇමරිකාවෙන් වහාම ප්‍රතිචාර ලැබුණු අතර ආජන්ටිනාව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කිරීමට ඇමරිකාව වහාම ඉදිරිපත් වූ අතර ඇමරිකාවෙන් ඩොලර් බිලියන 20ක මුදලක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා දෙන බව ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් වරයා විසින් නිවේදනය කළා.

ඉහත නිවේදනයෙන් අනතුරුව, අදාළ මුදල් ලබා දීමටද පෙර, ආජන්ටිනා පෙසෝව සඳහා වූ සමපේක්ෂණ ඉල්ලුම පහත වැටී විණිමය අනුපාතය නැවතත් පහත වැටී තිබෙනවා. ඒ අනුව, පොරොන්දු වූ මුදල ආජන්ටිනාවට ඇත්තටම අවශ්‍ය නොවෙන්නත් පුළුවන්.

ආජන්ටිනා මැතිවරණ

එළැඹෙන ඔක්තෝබර් 26 දින ආජන්ටිනාවේ මධ්‍යවාර මැතිවරණ පැවැත්වෙනවා. මේ හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව පැවැත්වෙන පළමු මධ්‍යවාර මැතිවරණයයි. එම මැතිවරණයේදී ආජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින්ගෙන් අඩක්ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්ගෙන් තුනෙන් එකක්ද තෝරා පත් කර ගැනීමට නියමිතයි. ජනමත විචාරණ ප්‍රතිඵල අනුව දැනට ඉදිරියෙන් සිටින්නේ මිලේගේ පක්ෂය වුවත්, පෙරොන්වාදී වාමාංශික සන්ධානය සිටින්නේද ආසන්න මට්ටමකයි.

මේ අතර පසුගිය සැප්තැම්බර් 7 දින පැවති බුවනෝස් අයර්ස් පළාත් මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වූයේ පෙරොන්වාදී ජස්ටිශියලිස්ට් පක්ෂයි. එම පක්ෂය විසින් 47%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිද්දී මිලේගේ පක්ෂයට ලබා ගත හැකි වූයේ 34%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙම පළාත සාමාන්‍යයෙන් වමට බර පළාතක්ය යන්න අප‍ට අමතක කළ නොහැකි වුනත්, මිලේගේ පක්ෂය ඉදිරියෙන් සිටි ධනවතුන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශද ඇතුළුව සියලුම ආසන වල මිලේගේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටී පෙරොන්වාදීන් 2023ට සාපේක්ෂව 3%-17% අතර ප්‍රතිශත වලින් ඉදිරියට පැමිණ සිටීම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්. 

සමපේක්ෂණ ඉල්ලුම ඉහළ ගොස් පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වීමට හේතු වූයේ ඉහත මැතිවරණ ප්‍රතිඵලයයි. මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් එළැඹෙන මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල පිළිබඳවද යම් අවිනිශ්චිතතාවයක් පැන නැගී තිබෙනවා.

වත්නම් ඇමරිකන් ආණ්ඩුවේ අභිලාශය වනුයේ එළැඹෙන මැතිවරණයේදී මිලේගේ පක්ෂය ජයගනු දැකීම බව පැහැදිලියි. ඩොලර් බිලියන 20ක් ලබා දීමට එකඟ වීමෙන් පසුව ඇමරිකාව විසින් තව දුරටත් දැනුම් දී තිබෙන්නේ මැතිවරණයෙන් පසුව ආජන්ටිනාව වෙත ඇමරිකන් ආයෝජන පැමිණීම ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවයි. මෙය ආජන්ටිනාවේ ඡන්දදායකයින් වෙත ඇමරිකාව විසින් සිදු කළ දැනුම් දීමක් සේ සැලකිය හැකියි. එබැවින් මෙය සැලකිය හැක්කේ ආර්ථික මෙන්ම දේශපාලනික රාජ්‍ය මැදිහත්වීමක් ලෙසයි. මිලේගේ පක්ෂය වැනි පක්ෂ සාමාන්‍යයෙන් රාජ්‍ය මැදිහත්වීම් වලට විරුද්ධ බව පැවසුවත්, ඒ විරෝධය ප්‍රායෝගිකව මතු වන්නේ ප්‍රාග්ධනයට එරෙහි වාමාංශික රාජ්‍ය මැදිහත්වීම් වලදී පමණයි.

Friday, September 19, 2025

S&P ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි!


අද (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මූඩිස් සහ ෆිච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මීට පෙරම ලංකාවේ ණය ශ්‍රේණිය ණය පැහැර හැර ඇති තත්ත්වයෙන් ඉහළට එසවූ නමුත් S&P ආයතනය එසේ කළේ නැහැ. ඊට හේතුව වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා අවසන්ව තිබුණද අදාළ ගිවිසුම් අත්සන් කර මේ කාර්යය අවසන් කර නොතිබීමයි. ශ්‍රී ලංකා රජය ඇප වී ඇති ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව එකඟතාවයක් ඇති කර ගෙන නොතිබීමද මීට හේතුවක් වුනා.

මේ වන විට රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් බොහෝ දුරට අවසන්ව ඇති නමුත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ බැඳුම්කරය හා අදාළව එකඟතාවයක් ඇති කර ගැනීමට රජය සමත්ව නැහැ. එහෙත් ඒ හා අදාළව දෙපාර්ශ්වය සිටින දුරස්ථ ස්ථාවර අනුව මේ සම්බන්ධව මීට වඩා ප්‍රගතියක් ලබා ගැනීමේ හැකියාවක් නොපෙනෙන බැවින් එය නොසලකා හැර ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට S&P ආයතනය විසින් තීරණය කර තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලධර්ම අනුව පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලබා ගත් සහනයට වඩා අඩු සහනයක් මෙම ණයහිමියන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින් සහ ණයහිමියන් එම සහනය ලබා දීමට එකඟ නොවීම තුළ එකඟතාවයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ණය ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ වත්මන් ආණ්ඩුව විශාල ජනවරමකින් බලයට පත් වීම හරහා නැවත ඇති වූ දේශපාලන ස්ථාවරත්වයට එම ආණ්ඩුව විසින් IMF වැඩපිළිවෙළ දිගටම ඉදිරියට ගෙනයාම සඳහා කැප වෙමින් ඒ බව ප්‍රදර්ශනය කිරීමට සමත් වීම නිසා ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය එකතු වීමයි. වේගවත් ආර්ථික වර්ධනය, රාජ්‍ය අංශය තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පැවතීම, විදේශ සංචිත ඉහළ යාම, විදේශ අංශය ශක්තිමත්ව තිබීම හා රාජ්‍ය ව්‍යවසාය වල බර අඩු වෙමින් තිබීම පිළිබඳව S&P ආයතනය විසින් විශේෂයෙන් සලකා බලා තිබෙනවා.

ජාජබ විසින් මහ මැතිවරණයේදී ලබාගත් තුනෙන් දෙකක ජයග්‍රහණය සහ ඉන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම් වලදීද ප්‍රමුඛ ස්ථානයේ සිටීම S&P ආයතනය විසින් හඳුනා ගන්නේ කාලයක් තිස්සේ පක්ෂ තුළ පිල් බෙදීම් හරහා සිදු වූ ඛණ්ඩනයන් සහ පක්ෂ මාරු කිරීම් සුලභව තිබුණු දේශපාලන වාතාවරණයේ වැදගත් හැරවුමක් ලෙසයි. මෙම තත්ත්වය තුළ, බලයට පත්ව සිටින්නේ අත්දැකීම් නොමැති කණ්ඩායමක් වුවද, රටේ දේශපාලන අනාගතය හා අපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති වෙනස්කම් පිළිබඳව බාහිර පාර්ශ්වයන්ට පුරෝකථනය කිරීම පහසු වී තිබෙනවා.

The ruling NPP secured a supermajority parliament following the 2024 general elections and also controls a majority of local councils following elections in May. This situation is relatively uncommon for Sri Lanka, which has historically been characterized by frequent political factionalism and crossovers. We believe the government's strong mandate demonstrates improved political stability and policy predictability, despite the NPP's limited record and lack of governing experience.

දේශපාලනිකව සිදු කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ වලදී පවා IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුව විසින් කැප වී තිබීම S&P ආයතනය විසින් නිරීක්ෂණය කර තිබෙනවා. 

The government has demonstrated strong commitment to the IMF program, mostly meeting--although some with delay--quantitative indicators and structural benchmarks, even when it involved politically difficult reform.

S&P ආයතනයේ පුරෝකථනය වනුයේ මෙම වසරේ ආර්ථික වර්ධනය 4.2%ක් වනු බවයි. ඔවුන්ගේ පුරෝකථන අනුව, මෙම වසරේදී රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,900 දක්වා ඉහළ යනු ඇති අතර 2028 වසර වන විට ඩොලර් 6,200 දක්වා ඉහළ යාමට නියමිතයි. විදේශ සංචිත වර්ධනය හා අදාළව S&P ඇස්තමේන්තු තිබෙන්නේ බොහෝ පහළ මට්ටමක වුවත් (2028 වන විටද ඩොලර් බිලියන 7.3ක්), එම ආයතනය විසින් එය ප්‍රශ්නයක් සේ සලකා නැහැ. 

දැනට ලංකාව සිටින ණය ශ්‍රේණිය කලින් සිටි මට්ටම අනුව හොඳ මට්ටමක් වුවත්, ලොකුවට සතුටු විය හැකි මට්ටමක් නෙමෙයි. හොඳ ණය ශ්‍රේණියක් සේ සැලකිය හැක්කේ අඩු වශයෙන් B කාණ්ඩයේ ඉහළ මට්ටමකට යා හැකිනම් පමණයි. රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යමින් ඇති පසුබිමක, රාජ්‍ය වියදම් ඇස්තමේන්තු නොඉක්මවා පාලනය කර ගතහොත්, ඉලක්ක ඉක්මවන ප්‍රාථමික අතිරික්තයක් පෙන්වීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කිසිවක් එවැනි තත්ත්වයක් ගැන දැනට සලකා බලා නොමැති බැවින් එවැන්නක් සිදු වුවහොත් ණය ශ්‍රේණිය ඉහළ දැමීම සඳහා එයම වුවද හේතුවක් වෙනවා. 

රටේ ආර්ථික වර්ධනය සැලසුම් කර ඉහළ දැමීම රජයකට පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත් රාජ්‍ය අයවැය තුලනය කිරීම සෘජුවම රජයේ පාලනය යටතේ ඇති දෙයක්. අයවැය තුලනය වඩා ඉක්මණින් හොඳ අතට හැරෙනවා කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් ඉක්මණින් ඉහළ ගොස් රටට විදේශ ප්‍රාග්ධනය ගලා ඒම වැඩි වෙනවා කියන එකයි. එය රුපියල ශක්තිමත් කර ගැනීමට මෙන්ම පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමටද උදවුවක් වන අතර ඒ මගින් ආර්ථික වර්ධනය වේගවත් කරවනවා.

Thursday, September 18, 2025

ප්‍රාග්ධන වියදම් අඩු නිසා වර්ධනය බාල වෙයිද?


වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට නැවත ඉඩ ලැබීමෙන් පසුව එක වර ඉහළ ගිය වාහන ඉල්ලුමේ ප්‍රතිඵලයක්. 

මේ තත්ත්වය දිගටම පවතින එකක් නැහැ. ඒ නිසා මේ ආදායම් වැඩි වීම දිහා බලාගෙන වියදම් වැඩි කරන එක කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි. වඩා සුදුසු වන්නේ ණය අඩු කරගන්න එකයි. එහෙත් ඉදිරි වසරේ මැද භාගය පමණ තෙක් මේ තත්ත්වය මේ විදිහට පවතින්න පුළුවන්. ඒ නිසා, කලින් සැලසුම් කළ වියදම් ඒ විදිහටම කරන්න බය වෙන්න දෙයක් නැහැ. 

වියදම් පැත්ත දිහා බලද්දී ප්‍රාග්ධන වියදම් වල විශාල අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. නමුත් පුනරාවර්තන වියදම් වලනම් කැපී පෙනෙන වෙනසක් සිදු වී නැහැ. 

කජු වෙනුවට කඩල ආදේශ කළා කියලා හෝ ජනාධිපති වරප්‍රසාද අඩු කළා කියලා පුනරාවර්තන වියදම් වල පෙනෙන අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වල තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක් පමණයි. 

පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමේ සෘජු වියදම්. අනෙක් වියදම් වලින් සැලකිය යුතු කොටසකුත් රාජ්‍ය සේවකයින් ප්‍රමාණයට සමානුපාතිකව වෙනස් වන වියදම්. රාජ්‍ය සේවකයින් ප්‍රමාණය වැඩි වෙද්දී ඔවුන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ප්‍රමාණය, කාර්යාල උපකරණ ප්‍රමාණය, ඉන්ධන වියදම්, විදුලි බිල් වගේ දේවලුත් ඉහළ යනවා. 

ලංකාවේ රාජ්‍ය සේවකයින්ගෙන් වැඩි කොටසක් ඉන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක ක්ෂේත්‍ර වල. ඒ නිසා, රාජ්‍ය සේවකයින් කප්පාදු කරනවා කියන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් කප්පාදු කරනවා කියන එකයි. ඒ කියන්නේ අදාළ සේවාවන් කප්පාදු කරනවා කියන එක. මෙහි ප්‍රායෝගික සීමාවන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍යය සම්බන්ධව. ඒ නිසා, පුනරාවර්තන වියදම් අඩු කරන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්. පසුගිය දෙවසර තුළ කපන්න පුළුවන් පුනරාවර්තන වියදම් බොහෝ දුරට කපා තිබීමත් ඊට හේතුවක්. 

පුනරාවර්තන වියදම් අඩු කරන්න අමාරු නිසා ප්‍රාග්ධන වියදම් අඩු කරලා කියන එක ඒ තරම්ම හොඳ පැහැදිලි කිරීමක් කියලා මම හිතන්නේ නැහැ. ප්‍රාග්ධන වියදම් අඩු වී තිබෙන්නේ හිතාමතාම ඒ වියදම් සීමා කර තිබෙන නිසා නෙමෙයි. 

රජයේ ප්‍රාග්ධන වියදම් සහ ආණ්ඩුකරණ දේශපාලනය අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ඔය ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් වැය වන්නේ කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් ආදී වශයෙන්. මේ හරහා රජයේ වියදම යම් පිරිසකගේ ආදායමක් බවට පත් වෙනවා. රැකියා යම් ප්‍රමාණයක් ජනනය වෙනවා. 

මෙවැනි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇතැමෙක් ප්‍රාදේශීය දේශපාලනයට පැමිණීම සහ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ ඇතැමුන් කොන්ත්‍රාත්කරුවන් වීම පසු ගිය කාලය තුළ නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මෙසේ වූ පමණින්ම මෙවැන්නක් අයථා මුදල් ඉපැයීමක් වන්නේ නැහැ. 

කෙසේ වුවත්, මේ විදිහට රජය එක්ක ගණුදෙනු කිරීම් සිදු වෙද්දී එමගින් අයථා මුදල් ඉපැයීමේ ඉඩකඩක්ද විවර වෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය නිලධාරීයෙකුට හෝ දේශපාලනඥයෙකුට තමන්ට අවශ්‍ය අයෙකුට අවස්ථාව ලබා දෙමින් අත යටින් වාසියක් ගැනීමේ ඉඩක් තිබීම. ඇත්තටම එවැන්නක් සිදු වුනත් නැතත්, එවැන්නක් සිදු වෙනවා කියන සැකය කෙනෙකුට පහසුවෙන්ම ඇති කළ හැකියි.

වත්මන් ආණ්ඩුවේ දේශපාලනය වූයේ මේ වගේ අයථා මුදල් ඉපැයීම් විශාල ලෙස සිදු වෙනවා කියන එක අවධාරණය කිරීමේ දේශපාලනයක්. එවැනි දේශපාලනයක් හරහා බලයට පැමිණීමෙන් පසුව රජයක් විසින් සාමාන්‍යයෙන් කරන මූල්‍ය ගනුදෙනු කරගෙන යාම තුළ වුවත් යම් කිසි ආකාරයක පිළිගැටුම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉලක්ක මට්ටමට ප්‍රාග්ධන වියදම් කර ගත නොහැකි වීමට මෙයද හේතුවක්. 

මේ දවස් වල සමාජ මාධ්‍ය වල ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන්නේ මේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ද අනෙක් කණ්ඩායම් වගේම පෞද්ගලික වත්කම් එක්රැස් කර ගැනීමට නොපැකිළෙන පිරිසක් බව අවධාරණය කිරීමයි. මේ වැඩේ කරන්නේ ආණ්ඩුවට ප්‍රතිපක්ෂ කොටස්. නමුත්, එක පැත්තකින් බලද්දී, මේ වැඩෙන් ඇත්තටම වෙන්නේ ආණ්ඩුවට කරගන්න අවශ්‍ය, ආණ්ඩුවට වාසිදායක වැඩක්. 

ආණ්ඩුකරණ දේශපාලනයට ආවාට පස්සේ වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමටත් අවශ්‍ය වී තියෙන්නේ විපක්ෂ හැව ගලවා දමලා අලුත් වෙන්න. ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මණින් සාමාන්‍යකරණය වෙන්න. එක්තරා ආකාරයකින් දැන් වෙන්නේ ආණ්ඩුව විසින් විපක්ෂයේ උදවුවෙන් ඒ වැඩේ කරගන්න එක. 

ආණ්ඩුව ජනතාව අතර සාමාන්‍යකරණය වන තරමට ආණ්ඩුවට සාමාන්‍ය ලෙස හැසිරෙන්න පහසු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආණ්ඩුකරණ දේශපාලනය වඩා පහසු වෙනවා කියන එක. ඔය වැඩේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් කොටසත් ටිකෙන් ටික ඉහළ යයි. 

ප්‍රාග්ධන වියදම් කතාවම සැලකුවත්, මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය වැඩේ කරලා දීලා තියෙන්නේ විපක්ෂ දේශපාලනඥයෙක් විසිනුයි. ආණ්ඩුව මුල් වී ප්‍රාග්ධන වියදම් වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීම වාමාංශික අදහසක්. මේ ආණ්ඩුවට මේ හා අදාළව අභ්‍යන්තර දේශපාලනික ප්‍රතිරෝධයක් නැහැ. සාමාන්‍යයෙන් වාමාංශික ආණ්ඩුවකට දක්ෂිණාංශික ප්‍රතිවාදීන් එක්ක ගැටෙන්න වෙන්නේ වියදම් වැඩි කරද්දී. 

ප්‍රාග්ධන වියදම් ඉලක්ක පරිදි සිදු වී නැත්තේ ආණ්ඩුවට එම වියදම් අඩු කරන්න අවශ්‍ය නිසා නෙමෙයි. එක පැත්තකින් මේ ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරපු දේශපාලන සංස්කෘතිය එක්ක මේ වගේ වැඩ වලින් දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට වාසියක් ගන්න අමාරුයි. ඒ නිසා, ඔවුන්ගේ උනන්දුව අඩුයි. යම් අවාසියක් සිදුව තිබුණත් මේ දේශපාලන සංස්කෘතිය නරක එකක් නෙමෙයිනේ. නමුත් ප්‍රශ්නය එවැනි අනිසි වාසි නොගන්න කෙනෙකුට වුනත්, වැඩකට අත ගහද්දී අසාධාරණ චෝදනාවකට ලක් වෙන්න සිදු වීමේ අවදානම ගන්න වෙන එක.

මේ පසුබිම තුළ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් හා සම්බන්ධව හැදී තිබෙන ප්‍රතිරූපය බිඳ වැටෙන එකෙන් ආණ්ඩුවට යම් ආකාරයක වාසියක් තිබෙනවා. මොකද හොරකම්, කොමිස්, දූෂණ චෝදනා වලට බය කෙනෙකුට කිසිම වැඩකට අත ගහන්න බැහැ. ඒ නිසා, යම් සීමාවක් දක්වා, ඔය බය ඇරෙන එක හොඳයි. නමුත් බය ඇරුනට පස්සේ සීමාව පනින්න හිතෙන එකේ අවදානමත් තියෙනවා. ඔය කවුරුත් මිනිස්සුනේ. සීමාව පනින එක වලක්වා ගන්න සංවරණ හා තුලන ශක්තිමත් කරගන්න එකයි ආණ්ඩුවට කරන්න තියෙන්නේ.

කරුණක් ලෙස ගත්තොත් ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ආර්ථික වර්ධනය කෙරෙහි දායක වෙනවා. ඒ කියන්නේ මේ වියදම් සිදු නොවුනොත් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක බලපෑමක් කළ හැකියි කියන එක. 

ආණ්ඩුවක වියදම් කියන්නේ බදු වියදම් නිසා වියදම් අඩු වෙද්දී සාමාන්‍යයෙන් බදු ආදායම් ඉතිරි වීමක් වෙනවා. ඒ විදිහට ඉතිරි වන බදු ආදායම් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කරන නිසා ඉහත සඳහන් සෘණාත්මක බලපෑම බොහෝ විට නිශේධනය වෙනවා. නමුත් ලංකාව අයවැය හිඟයක් තිබෙන රටක් නිසා ප්‍රාග්ධන වියදම් අඩු වුනා කියලා ඊට සමානව බදු ආදායම් ඉතිරි වීමක් වෙන්නේ නැහැ.

අයවැය හිඟයක් තවමත් තිබුණත්, මේ වෙද්දී ලංකාවේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා, ප්‍රාග්ධන වියදම් සීමා වෙද්දී රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඊට සමානව පෞද්ගලික අංශයේ ණය ගැනීමේ හැකියාව ඉහළ යනවා. 

පෞද්ගලික අංශය ණය ගන්නේ ආයෝජනය සඳහා පමණක් නෙමෙයි. මේ ණය වලින් කොටසක් පරිභෝජන ණය. නමුත් 76%ක් පමණම ආයෝජන ණය. ඒ කියන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන වියදම් රුපියල් 100කින් අඩු වෙද්දී, පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් රුපියල් 76කින් ඉහළ යනවා. 

සාමාන්‍ය මූලධර්මයක් විදිහට පෞද්ගලික අංශයේ ආයෝජන වඩා කාර්යක්ෂමයි. ඒ නිසා, අනිවාර්යතාවක් නොවුනත්, රාජ්‍ය අංශයේ රුපියල් 100ක ආයෝජන වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වය පෞද්ගලික අංශයේ රුපියල් 76ක ආයෝජන වලින් ලැබෙන්න විශාල ඉඩකඩක් තිබෙනවා. මේ හේතුව නිසා රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සිදු නොවීම නිසා ආර්ථික වර්ධනය අඩුවෙයි කියන එක විශාල පදනමක් තිබෙන තර්කයක් නෙමෙයි. 

කොහොම වුනත් මේ වෙලාවේ වාමාංශික ආණ්ඩුවකට ඔවුන්ට සාපේක්ෂව දක්ෂිණාංශික විපක්ෂයකින් වියදම් වැඩි නොකිරීම ගැන චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ චෝදනාවට සම්බන්ධයක් ඇතිව හෝ නැතිව ආණ්ඩුව විසින් වසරේ ඉදිරි කාලය තුළ ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ උත්සාහයක් පෙනෙන්න තිබෙනවා. අපේක්ෂා කළ හැකි පරිදිම, ප්‍රවාහන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් ලැබී තිබෙන බව පේනවා. 

රජයේ අරමුදල් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩියෙන් වෙන් කිරීම පිළිබඳව පෞද්ගලිකව මට දේශපාලනික ප්‍රතිවිරෝධයක් නැහැ. නමුත් රටේ ආර්ථික වර්ධනය ගැන හිතනවානම් මේ දෙකෙන් එකක්වත් හොඳ ආයෝජන නෙමෙයි. ඊට හේතුව දැනට රටේ තිබෙන මානව සම්පත් වලින් හෝ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ ගත හැකි ආර්ථිකයක් නැති රටක මානව සම්පත් තවත් වර්ධනය වුනා කියලා පෞද්ගලිකව මිසක් රටේ මට්ටමෙන් කෙටිකාලීනව ලොකු ප්‍රතිලාභයක් ලබා ගත නොහැකි වීම. පෞද්ගලික මට්ටමෙන් බැලුවොත්නම් වඩා වැඩි පිරිසකට රටෙන් පිටතට සංක්‍රමණය වීම සඳහා අවශ්‍ය කුසලතා හදාගන්න මෙය උදවුවක් වෙයි. 

ප්‍රවාහන අංශය තුළ ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් මීට සාපේක්ෂව ඉක්මන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වගේම මේ වෙලාවේ එහෙම කරන එකේ සාධාරණත්වයකුත් තිබෙනවා. 

ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු වෙනවා කියන්නේ රටේ තිබෙන මොනවා හෝ සම්පත් ඒවා වඩාත්ම අවශ්‍ය තැන් වලට කාර්යක්ෂමව, ඒ කියන්නේ අඩු කාලයකින් හා අඩු වියදමකින්, චලනය කිරීමට ඉඩක් ලැබෙනවා කියන එක. සම්පත් කියන එකට මානව සම්පත්, නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවසන් නිෂ්පාදන යන සියල්ලම ඇතුළත්. අඩු වශයෙන් වත්මන් ලංකාවේ සන්දර්භය තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කරන එක පෞද්ගලික අංශයෙන් සිදු නොවන නිසා මේ වැඩේ කරන්න වෙන්නේ රජයටයි. 

රාජපක්ෂ දශකය තුළ වුවත්, ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කරපු එකෙන් ආර්ථික වර්ධනයට සෑහෙන තල්ලුවක් ලැබුණා. සිදු වුනු වැරැද්ද ණය ගොඩ ගසා ගනිමින් ඒ වැඩේ කරපු එකයි. රාජ්‍ය අයවැය තුලනය සහ විදේශ අංශයේ තුලනය තියාගෙන, කළ හැකි සීමාව තුළ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩි දියුණු කළ හැකිනම් එහි ප්‍රතිඵල ආර්ථික වර්ධන වේගය තුළ නොපෙනෙන්න හේතුවක් නැහැ.

මේ වෙලාවේ රාජ්‍ය ආදායම් වැඩි වීමට ප්‍රධානම හේතුවක් වන්නේ වාහන ආනයන මත අය කරන බදු. මේ බදු පහසුවෙන්ම විවේචනය කළ හැකි වුනත්, වාහනයක් රටට ගෙන්වනවා කියන්නේ තමන්ගේ සල්ලි වලින් ඩොලර් මිල දී ගෙන තමන්ට අවශ්‍ය වාහනය ගෙන්වා ගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි. මොකද මේ වාහන ගෙන්වන්නේ තමන්ගේ වත්තේ තියාගෙන හවසට වාඩි වෙලා තේ බොන්න නෙමෙයි. ගමන් යන්න. ඒ යන්නේ පොදු පාරවල් වල මිසක් තමන්ට අයිති පාරවල් වල නෙමෙයි.

රටේ කවුරු හෝ කෙනෙක් අලුතෙන් වාහනයක් පාරට දමන හැම වෙලාවකම කලින් වාහන වල ගමන් කළ හැම දෙනෙක්ටමත් ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න සිදු වෙනවා. කලින් තමන්ගේ ගෙදරට යන පාරේ තිබුනේ වාහන හතරක් පමණක්නම් පාර බෙදෙන්නේ ඒ වාහන අයිතිකරුවන් හතර දෙනා අතර පමණයි. තව වාහනයක් පාරට එකතු වෙනවා කියන්නේ ඒ හතර දෙනාගේම පංගුව ටික ටික අඩු වෙනවා කියන එකයි. ඒ නිසා, අලුත් වාහනයක් ගේන කොට එයින් බද්දක් අය කරන එකේ වැරැද්දක් නැහැ. ඒ වගේම, ඒ විදිහට අය කරන බදු මුදල් මාර්ග සංවර්ධනය වෙනුවෙන් යෙදවීම මගින් අනෙක් වාහනහිමියන්ට හා මගීන්ට සිදු වන පාඩුව නිශේධනය කරන එකයි රාජ්‍ය මැදිහත්වීම මගින් සිදු විය යුත්තේ. 

පොදු ප්‍රවාහනය දියුණු කරද්දී වුනත් මේ වැඩේ වෙනවා. වැඩි දෙනෙක් පොදු ප්‍රවාහනය තෝරා ගනිද්දී පෞද්ගලික වාහන වල යන වාහනහිමියන්ගේ පාරේ පංගුවත් ඉහළ යන නිසා ගෙවපු බද්ද වෙනුවෙන් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු වෙනවා. අවසාන වශයෙන් ආර්ථික වර්ධනය හරහා පොදුවේ රටටත් වාසියක් වෙනවා. 

Monday, September 15, 2025

ආර්ථිකය 4.9%කින් වර්ධනය වෙයි!


මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන වේගය බෙහෙවින්ම ඉක්මවා යන 5%කට ආසන්න වූ ආර්ථික වර්ධන වේගයක් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බවයි. 

කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 2.0%, 5.8% හා 3.9%කින් වර්ධනය වී තිබෙනවා. එහෙත්, දෙවන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරකම් තවමත් පවතින්නේ 2018දී පැවති මට්ටමට වඩා 7.6%ක් පහළින්. 2018 මට්ටමට නැවත යා හැකි වනු ඇත්තේ 2027 දෙවන කාර්තුවේදීයි. මෙම ප්‍රකෘතිමත් වීමේ අවදියේදී (recovery phase) ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ වැඩි හැකියාවක් තිබෙනවා. වඩා අසීරු වනුයේ ඉන් පසුව ආර්ථිකය සැබවින්ම ප්‍රසාරණය කිරීමයි.

කෙසේ වුවද, සාර්ව ආර්ථික වැඩ සටහනේ ඉලක්කය වූ 3.1% ඉක්මවන වර්ධනයක් කියන්නේ යහපත් තත්ත්වයක්. එවැනි වැඩි වර්ධන වේගයක් පවත්වා ගැනීම මගින් රජයේ ණය බර වඩා ඉක්මණින් අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගත හැකිනම් එය මේ සඳහා තව දුරටත් දායක වෙනවා.

Sunday, September 14, 2025

වාහන ආනයන, විදේශ අංශය හා ණය බර


මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි.

ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60

අප්‍රේල් - ඩොලර් මිලියන 134

මැයි - ඩොලර් මිලියන 118

ජූනි - ඩොලර් මිලියන 163

ජූලි - ඩොලර් මිලියන 193

එකතුව - ඩොලර් මිලියන 668

ඉහත සඳහන් ඩොලර් මිලියන 668ක මුදලින් ඩොලර් මිලියන 506ක් පුද්ගලික පාවිච්චිය සඳහා වන වාහන ආනයනය වෙනුවෙන් වැය වී ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 162 වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන වෙනුවෙන් වැය වී තිබෙනවා. 

මෙම සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ වාහන මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල් ප්‍රමාණයයි. මිල දී ගන්නා වාහන රටට රැගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු හා රක්ෂණ ගාස්තුද ගෙවන්නට සිදු වෙනවා. මෙම සේවාවන් ලබා ගන්නේ විදේශික සමාගම් වලින්නම්, අදාළ වියදම් සටහන් වන්නේ සේවා ආනයන යටතේයි. ඒ නිසා, වාහන ආනයනය සඳහා වැය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඉහත ගණනට වඩා තරමක් වැඩියි. 

මාධ්‍ය වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් 9 දින වන විට රේගුවෙන් නිදහස් කරගෙන ඇති වාහන 154,537ක මිල දී ගැනීමේ පිරිවැය, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වල එකතුව (CIF අගය) ඩොලර් මිලියන 911ක් වන අතර රේගුව විසින් එම ආනයන වලින් රුපියල් බිලියන 429ක බදු ප්‍රමාණයක් අය කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් බදු අය කරන්නේ මෙම CIF අගය මතයි.

තව දුරටත් වාර්තා වී ඇති පරිදි, සැප්තැම්බර් 3 දින වන විට, වාහන 220,026ක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 1,491ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා. මෙයින් ඉතිරි වාහන ප්‍රමාණය වසරේ අවසන් මාස හතර තුළ රටට පැමිණීම සහ රේගුවෙන් නිදහස් කර ගැනීම සිදු වනු ඇතැයි සිතිය හැකි බැවින් වසරේ වාහන ආනයන වියදම, රක්ෂණ ගාස්තු හා නැව් ගාස්තුද ඇතුළත්ව, ඩොලර් බිලියන 1.5 ඉක්මවිය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම මෙමගින් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 650 ඉක්මවිය හැකියි. 

වාහන ආනයන සඳහා නැවත අවස්ථාව ලබා දීම මගින් රජය ඉලක්ක කළේ රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක් එකතු කර ගැනීමටයි. මේ අනුව මෙන්ම මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කර තිබුණු ප්‍රකාශ අනුවද පෙනී ගියේ ඩොලර් බිලියනයක පමණ වාහන ආනයන ප්‍රමාණයක් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා කළ බවයි. දැන් පෙනී යන පරිදි, වාහන ආනයන ප්‍රමාණය 50%කින් පමණ ඉහත ඇස්තමේන්තු ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

ඉහත තත්ත්වය සාර්ව ආර්ථික තුලනය කෙරෙහි අංශ දෙකකින් බලපෑම් කරනවා. පළමුවැන්න, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යාමයි. මෙය ප්‍රාථමික අතිරික්තය ඉහළ දමන අතර සමස්ත අයවැය හිඟය පහත හෙළනවා. දෙවැන්න ආනයන වියදම් ඩොලර් මිලියන 500කින් පමණ ඉහළ යාමයි. එමගින් ජංගම ගිණුමේ අපේක්ෂිත අතිරික්තය එපමණකින් පහත හෙලන අතර සංචිත වැඩි කර ගැනීමේ හැකියාවද සීමා කරනවා. මීට අමතරව ඉහළ යන වාහන ආනයන හේතුවෙන් ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු වනවා. 

වාහන ආනයන නැවත විවෘත කෙරෙද්දී ඒ කෙරෙහි දෙආකාරයක විවේචන එල්ල වුනා. ආරක්ෂණවාදීන් විසින් මෙය දුටුවේ විදේශ අංශය නැවත අවදානමේ හෙළීමක් ලෙසයි. අනෙක් අන්තයෙහි සිටි ඇතැමුන් විසින් තර්ක කළේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම, බදු අනුපාතික ඉතා ඉහළ මට්ටමක තිබීම සහ රටේ ආර්ථිකය හැකිළී තිබීම යන තත්ත්වයන් තුළ වාහන ආනයන වලට ඉඩ දුන්නද අපේක්ෂිත පරිදි වාහන ආනයන සිදු නොවනු ඇති බවයි. ඒ නිසාම, රාජ්‍ය ආදායම් ඉලක්ක වලටද යා නොහැකි වනු ඇති බවයි.

විවිධ පුද්ගලයින්ට මතවාදී ලෙස විවිධ තර්ක ගෙන හැර දැක්විය හැකි වුවත්, ප්‍රායෝගිකව ඕනෑම ප්‍රතිපත්ති තීරණයක දෙපැත්තක් තිබෙනවා. එම දෙපැත්තම සලකා බලමින් ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ කාර්ය භාරයයි. මෙහිදී යම් අවදානමක් ගන්නට සිදු වෙනවා.

සැලකිය යුතු කාලයක් වාහන ආනයන සඳහා ඉඩ නොදී තිබීම, ආර්ථිකයේ පසුබෑම හා ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම සිදුව ඇති පසුබිමක වාහන නැවත ආනයනය කිරීම සඳහා ඉඩ දීමෙන් පසුව එයට වෙළඳපොළ දක්වන ප්‍රතිචාරය කලින් පුරෝකථනය කිරීම අසීරු කාර්යයක්. එහෙත්, මේ හා අදාළ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ තක්සේරුව සෑහෙන තරම් නිවැරදි බව මේ වන විට පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, අවශ්‍ය අයෙකුට මේ හා අදාළව අපගේ පුරෝකථන දෙසද පසු විපරමක් කළ හැකියි. 

වාහන ආනයන අපේක්ෂා කළ මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබීම තුළ වර්ෂවාසන විදේශ සංචිත ප්‍රමාණය කලින් ඇස්තමේන්තු කළ මට්ටමටම වැඩි නොවෙන්න පුළුවන්. එහෙත්, රාජ්‍ය අයවැය තුලනයෙහි සාධනීය වෙනස සහ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉහළ යාම හේතුවෙන් එමගින් ඉහළ යන අවදානම නිශේධනය කෙරෙනවා. 

ජූලි මාසය දක්වා කාලය තුළ විදේශ අංශය තුලනය වී තිබෙන්නේ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම්:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 7,794

සේවා ආදායම් - ඩොලර් මිලියන 4,228

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 422

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 4,439

එකතුව - ඩොලර් මිලියන 16,883


විදේශ විණිමය ගෙවීම්:

වාහන ආනයන වියදම් - ඩොලර් මිලියන 668

අනෙකුත් ආනයන වියදම් - ඩොලර් මිලියන 10,976

සේවා වියදම් - ඩොලර් මිලියන 1,852

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,565

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 82

එකතුව - ඩොලර් මිලියන 15,143


ඉතිරිය = ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන 1,740


කෙටියෙන් කිවුවොත්, ඇස්තමේන්තු ඉක්මවා ඉහළ ගොස් ඇති වාහන ආනයන වලින් පසුවද, ඉපැයූ ඩොලර් වලින් ඩොලර් මිලියන 1,740ක් රටේ ඉතිරි වී තිබෙනවා. එහෙමනම්, මේ ඩොලර් ප්‍රමාණයට සිදු වුනේ කුමක්ද?

මෙම අතිරික්තයෙන් ඩොලර් මිලියන 1,096.1ක් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම මිල දී ගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ වාහන ආනයන සඳහා ඉඩ දීමෙන් පසුවයි.

ජනවාරි - ඩොලර් මිලියන 12.3

පෙබරවාරි - ඩොලර් මිලියන 70.3

මාර්තු - ඩොලර් මිලියන 401.9

අප්‍රේල් - ඩොලර් මිලියන 160.8

මැයි - ඩොලර් මිලියන 256.8

ජූනි - ඩොලර් මිලියන 112.2

ජූලි - ඩොලර් මිලියන 81.8

එකතුව - ඩොලර් මිලියන 1,096.1

එසේනම්, විදේශ සංචිත එපමණකින් වැඩි නොවූයේ ඇයි? 

මෙම මාස හතක කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 25කින් පමණයි. එසේනම්, ඉතිරි ඩොලර් මිලියන 1,071ට සිදු වුනේ කුමක්ද?

මහ බැංකුවේ දළ විදේශ සංචිත වල වෙනසක් ඇත්තේම නැති තරම් වුවත්, ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 219කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 731ක පමණ මුදලක්. ඒ අනුව පෙනෙන්නේ මහ බැංකුව විසින් මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් මහ බැංකුවේම විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කර ඇති බවයි. ඉතිරි ප්‍රමාණය රජයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා රජයට විකිණුවා විය හැකියි.

ජංගම ගිණුමේ අතිරික්තයෙන් මහ බැංකුව විසින් මිල දී ගෙන නොමැති ඩොලර් මිලියන 644ක පමණ මුදලට සිදු වුනේ කුමක්ද?

ඉහත මාස හතක කාලය තුළ සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 305කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 1,018ක පමණ මුදලක්. ඒ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වැඩිවීම අඩු කළ විට, වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් වලද වැඩිවීමක් සිදු වී තිබෙනවා. මෙම වැඩිවීම ඩොලර් මිලියන 300කට ආසන්නයි. මේ සියල්ල සිදු වන්නේ වාහන ආනයන සිදු වෙද්දී. 

ජංගම ගිණුමේ අතිරික්තය යන්නෙන් අදහස් වන්නේ මුළු රටේම විදේශ විණිමය ලැබීම් අතිරික්තය. එයට ඇතුළත් වන්නේ රජයේ, මහ බැංකුවේ හෝ වාණිජ බැංකු වල විණිමය ලැබීම් පමණක් නෙමෙයි. ඒ නිසා, ඉතිරි ඩොලර් මිලියන 350කට ආසන්න මුදල අනෙකුත් සමාගම් වල හා පුද්ගලයින්ගේ විදේශ වත්කම් වලට එකතු වී තිබිය යුතුයි. එසේ නැත්නම් ඔවුන්ගේ විදේශ ණය පියැවීම පිණිස වැය කර තිබිය යුතුයි.

වාහන ආනයන ඉලක්ක ඉක්මවා වැඩි වී තිබියදීද විදේශ අංශය ශක්තිමත්ව පවතින බව පැහැදිලියි. ඒ නිසා, දළ නිල සංචිත වැඩි නොවී ස්ථාවර මට්ටමක පැවතීම ඒ තරම් කණස්සල්ලට කාරණයක් නෙමෙයි. එමෙන්ම, වාහන ආනයන මේ තරමටම සිදු වීම කාලයක් වාහන ආනයන වලට ඉඩ නොලැබීම නිසා ඇති වී තිබෙන තාවකාලික සංක්‍රාන්ති තත්ත්වයක්. මෙම ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. ඒ නිසාම, රජයේ බදු ආදායම් අතිරික්තයද දිගටම එලෙසම පවතින තත්ත්වයක් නෙමෙයි. 

කෙසේ වුවද, දැනට රජයේ බදු ආදායම් අතිරික්තයක් තිබෙනවා. රේගුවට ලබා දී තිබෙන වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් ලෙස සඳහන්ව ඇති අතර, සැප්තැම්බර් 9 දින වන විටත් රේගුව විසින් රුපියල් බිලියන 1,546ක බදු ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා. 

ජූලි මාසයෙන් අවසන් වූ වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,534ක් ලෙස වාර්තා වෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 28.2%ක වර්ධනයක්. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,490 ලඟා කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ 23.9%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි.

වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,734.9ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 26.1%ක වර්ධනයක්. වර්ෂාවසාන රාජ්‍ය ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,990 කරා ලඟා වීම සඳහා අවශ්‍ය වනුයේ 22.0%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි. අවසන් මාස පහක කාලය තුල 16.9%ක ආදායම් වර්ධනයක් සිදු වුවද මේ ඉලක්කයට යා හැකියි. මෙය පහසු ඉලක්කයක් බැවින් ඉලක්කය ඉක්මවා යාමේ හැකියාව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

පළමු මාස හතක කාලය තුළ රුපියල් බිලියන 974ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක්. මෙම මුදල ඇස්තමේන්තුගත දදේනියෙන් 3.0%කට ආසන්නයි. 

වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම මගින් රජයේ ණය බර කලින් සැලසුම් කළාට වඩා වැඩි වේගයකින් අඩු කරගන්න පුළුවන්. මේ සමඟ පළ කෙරෙන වගුවේ තිබෙන්නේ මේ හා අදාළ ලෝක බැංකුවේ ගණනය කිරීමක්. 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් හා 3.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ වුවද, 2032 වන විට ණය බර දදේනියෙන් 94.8% දක්වා අඩු කරගන්න පුළුවන්. මෙය ඉලක්ක මට්ටම වන 95%ට වඩා අඩු මට්ටමක්. එහෙත්, 3.2%ක ප්‍රාථමික අතිරික්තයක් හා 5.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ මෙය දදේනියෙන් 73.0% දක්වාම වුවත් අඩු කරගන්න පුළුවන්. 

Saturday, September 13, 2025

වාලම්පුරි - ඇල්ලුවට හපන්න පුළුවන්ද?


අපේ ප්‍රාන්තයේ සිනමාහලක ප්‍රදර්ශනය කෙරුණු පළමු සිංහල චිත්‍රපටය ලෙස පසුගිය සති අන්තයේදී "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දර්ශන වාරයක් සංවිධානය කෙරුණු බවත්, එහි සංවිධායකවරයාට ඒ සඳහා පෞද්ගලිකව මමත් පුලුවන් තරමින් සහයෝගයක් සහ උත්තේජනයක් ලබා දුන් බවත් කලින් සටහනේ ලිවුවනේ. එහෙම කරන්න පෙළඹවීමක් ඇති වුනේ මෙය මීට කලින් කූඹියෝ ටෙලිනාට්‍යය හදපු අධ්‍යක්ෂවරයා විසින් හදපු චිත්‍රපටයක් වීම. ඒ නිසාම, කූඹියෝ පැත්තකින් තියලා වාලම්පුරි ගැන කතා කරන්න අමාරුයි. 

කූඹියෝ ආවේ 2017දී. ඒ දවස් වලම ඒ ගැන ලියපු සටහනක් වියුණුවේ තිබෙනවා. නමුත් සටහන ලියද්දී පෙන්වලා තිබුණේ කථාවාර 57කින් කථාවාර 12ක් පමණයි. 

ටෙලිනාට්‍යයක කථාවාර කීපයක් පමණක් බලලා ඒ ගැන අදහස් දක්වන එකේ ලොකු අවදානමක් තියෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය බොහොමයක් හා අදාළව ඔය අවදානම ඉතාම අඩුයි. කථාවාර දහයක් බැලුවට පස්සේ කතාව ගලා යන විදිහ හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතාවේ කලින් හිතා ගන්න බැරි වූ හැරවුමක් සිදු වුනොත් එසේ වෙන්නේ හදිසියේ එහි නළුවෙක් හෝ නිළියෙක් දමලා ගහලා යාමේ ප්‍රතිඵලයක් විදිහට මිසක් තිර රචකයාගේ පරිකල්පන සීමාවේ විශාලත්වය නිසා නෙමෙයි. 

ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය බලනවාටත් වඩා මම සැබෑ ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම් දිහා පැත්තකට වෙලා බලා ඉඳලා ඒ චරිත රස විඳිනවා. මිනිහෙක්ව පැත්තකට වෙලා යම් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරද්දී ඒ පුද්ගලයාගේ පරිකල්පනයේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ අනාගත හැසිරීම් පුරෝකථනය කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ වෙනම ආතල් එකක්!

චිත්‍රපටයක් කෙසේ වෙතත්, ටෙලිනාට්‍යයක් බලද්දී ඔය වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. නමුත් ටෙලිනාට්‍ය චරිතයක අනාගත හැසිරීම් පුරෝකථනය කරන එක සැබෑ ලෝකයේ පුද්ගලයෙකුගේ හැසිරීම් පුරෝකථනය කරන එකට වඩා ගොඩක් පහසුයි. ඊට හේතුව, ටෙලිනාට්‍ය චරිතයක හැසිරීම් පරාසය සැබෑ ලෝකයේ මිනිසෙකුගේ හැසිරීම් පරාසය තරමටම පුළුල් එකක් නොවීමයි. එහි සීමාව තිරරචකයාගේ හා/හෝ අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනයේ සීමාවෙන් එහාට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ සීමාව මිනිස් හැසිරීම් හා අදාළව සැබෑ ලෝකයේදී දැකිය හැකි සීමාවට වඩා පටු සීමාවක්. ඒ නිසාම, ටෙලිනාට්‍යයක් බලන එකේ ආතල් එක සැබෑ ලෝකයේ මිනිස්සු දිහා බලා ඉඳලා ගන්න පුළුවන් ආතල් එකට වඩා අඩුයි. 

සිංහල ටෙලිනාට්‍යයක් බලද්දී ඊළඟට වෙන්න පුළුවන් දේ පහසුවෙන්ම හිතාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඊළඟ දෙබස් ඛණ්ඩය, සමහර විට අකුරක්වත් නොවෙනස්ව, ඒ විදිහටම කියන්න පුළුවන්. ඒ සඳහා අදාළ චරිතය මොන විදිහට හැසිරෙයිද කියන එක ගැන බැරෑරුම්ව හිතන්න අවශ්‍ය නැහැ. තිරරචකයා විසින් චරිත හසුරුවන්න ඉඩ තිබෙන සීමාව අල්ලා ගැනීම ප්‍රමාණවත්. දැන් ප්‍රචලිතව තිබෙන LLM එකකට තිර පිටපතේ මුල් කොටස් කිහිපය ඇතුළු කළොත් කතාවේ ඉතිරි කොටස් සෑහෙන තරම් නිවැරදිව එළියට එන්න පුළුවන්.

කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කොටස් දකිද්දීම මේ කාරණය හා අදාළව වෙනසක් පේන්න තිබුණා. එහි චරිත හැසිරුනේ මෙවැනි සිංහල ටෙලිනාට්‍යයක් තුළ චරිත හැසිරෙයි කියලා මම හිතාගෙන හිටපු සීමාව ඇතුළේ නෙමෙයි. ඒ නිසාම, ඒ චරිත කොයි විදිහට හැසිරෙයිද කියන එක අනුමාන කරන්න සාමාන්‍ය සිංහල ටෙලිනාට්‍ය චරිත වල පරාසයෙන් එළියට ගිහින්, සිංහල ටෙලිනාට්‍ය වල කලින් හමු වී නැති, සැබෑ ලෝකයේ චරිත එක්ක සංසන්දනය කිරීමක් කරන්න අවශ්‍ය වුනා. තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව වඩා පුළුල් එකක් කියන එක තේරුණා. වියුණු සටහනක් ලිවුවේ ඔන්න ඔය නිරීක්ෂණයත් එක්ක.

ඔය වෙද්දී කූඹියෝ සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුණා. නමුත් එසේ ජනප්‍රිය වී තිබුණේ මම එයට කැමති වූ හේතුව නිසාම නෙමෙයි. එහි මුලින් පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව ඊට හේතු වූ ප්‍රධාන සාධකයක්. 

ඔය දවස් වලම සහෝදරයෝ ටෙලිනාට්‍යයත් විකාශනය වුනා. ඇතැම් අය කූඹියෝ සහ සහෝදරයෝ ටෙලිනාට්‍ය එක ගොඩකට දමලා තිබුණා. නමුත් සහෝදරයෝ මටනම් ඒ තරම්ම සෙට් වුනේ නැහැ. ඒකත් සම්ප්‍රදායික වට්ටෝරු කතාවක්. වෙනස තිබුණේ වට්ටෝරුවේ පමණයි. මල් වට්ටෝරු, රජ වට්ටෝරු, වාමාංශික වට්ටෝරු කොයිවත් වට්ටෝරුම තමයි. වට්ටෝරුව කුමක්ද කියන එක තේරුණාට පස්සේ ආතල් එක ඉවරයි. කූඹියෝ ටෙලිනාට්‍යයේ ඔය වට්ටෝරු වල නොතිබුණු දෙයක් තිබුණා. මම ආකර්ෂණය වුනේ ඒ අඩංගුවට. 

මුල් කොටස් කීපය බැලුවට පස්සේ කූඹියෝ ටෙලිනාට්‍යයේ පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව මම කියවා ගත්තෙත් වැරදියට. ඒ කියන්නේ එහි තිර රචකයන් විසින් මගේ පරිකල්පනයේ සීමාව අතික්‍රමණය කරලා තිබුණා. මේ සීමාව සිංහල ටෙලිනාට්‍ය හා අදාළව මා විසින්ම දමාගෙන තිබුණු සීමාවක්. කූඹියෝ විසින් පසුව ඒ සීමාව පුළුල් කළා. නමුත් වියුණු සටහන ලිවුවේ ඊට කලින්. 

ඇත්ත වශයෙන්ම, පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව නිසා කූඹියෝ පස්සේ වැටුණු සමහර ප්‍රේක්ෂකයෝ කතාව ඉවර වෙද්දී කූඹියෝ විවේචකයින් බවට පත් වෙලා තිබුණා. නමුත් ඒ වෙද්දී ඔවුන් පරක්කු වැඩියි. ඔවුන් විසින්ම කලින්ම කූඹියෝ අවශ්‍ය තැනට උස්සලා ඉවරයි. ඒක ලස්සන ගේම් එකක්!

තිර රචකයෙකුගේ පරිකල්පනයේ සීමාව හැම විටම මෙන් සැබෑ ලෝකය තුළ කොයි තරම් දුරකට පුද්ගල චරිත කියවලා තියෙනවද කියන එකට සීමා වෙනවා. සැබෑ ලෝකයේ තමන්ට හමු වී නැති චරිතයක් ටෙලිනාට්‍යයක් ඇතුළේ ඉන්න බැහැ. රචකයෙකුගේ පරිකල්පනය ඇතුළේ අලි ඔලුවක් තියෙන සිංහයෙක් ඉන්න පුළුවන්. එහෙම සතෙක් සැබෑ ලෝකයේ නැහැ. නමුත් අලි ඔලුව සහ සිංහ ඇඟ සැබෑ ලෝකයේ තිබෙනවා. සැබෑ ලෝකයේදී අලි ඔලුව සහ සිංහ ඇඟ දැකලා නැති කෙනෙකුට අලි ඔලුවක් තියෙන සිංහයෙක් පරිකල්පනය කරන්න අමාරුයි.

කූඹියෝ පළමු කොටසේදී ජෙහාන් චරිතය ගොඩ නගන්නේ පොඩි ගේම් එකක් ගහගෙන පාඩුවේ ජීවත් වන සරල චරිතයක් විදිහට. ඒ වගේ පොඩි ගේම් කාරයින්ව ගොඩක් අය දැකලා තියෙනවා. නමුත් කතාව ගලාගෙන යද්දී එහි හිතා ගන්නවත් බැරි ලොකු ගේම් එකක් තියෙනවා. මේ වගේ ගේම්කාරයෙක්ගේ චරිතයක් කෙනෙකුට පරිකල්පනය කරන්න පුළුවන් වෙන්නේ තමන් ඇතුළේ ඊට වඩා ලොකු ගේම්කාරයෙක් ඉන්නවානම් පමණයි.

සමහර මිනිසුන් ඇතුළේ ජෙහාන් වගේ ලොකු ගේම්කාරයෝ ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ දේශපාලනයට හරි බිස්නස් වලට හරි. දේශපාලනයෙන් වගේම බිස්නස් වලින් උඩට යන්නත් මේ ගේම්කාරයා අවශ්‍ය වෙනවා. දේශපාලනයෙන් හා බිස්නස් වලින් වේගයෙන් උඩට යන අය දිහා බලා ඉන්න කෙනෙකුට පෙනෙන්නේ බලය හෝ මුදල් යඹා යාම වුවත්, ඒ අය අතර බලය හෝ මුදල් වලටත් වඩා ගේම් එක රස විඳින ගොඩක් අය ඉන්නවා. 

තමන් ඇතුළේ ජෙහාන් වගේ ගේම්කාරයෙක් ඉන්න කෙනෙක් දේශපාලනය හෝ බිස්නස් වෙනුවට තිර රචනය වගේ දෙයක් තෝරා ගන්න පෙළඹෙන්නේ කලාතුරකින්. ටෙලිනාට්‍ය චරිත තුළ හොඳ ගේම්කාරයෝ වැඩිපුර නැත්තේ ඒ නිසා. 

කූඹියෝ තිරගත වෙද්දී බලයේ හිටියේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්නේත් ගේම් එකක ප්‍රතිඵලයක් විදිහටයි. පේන්න තිබුණේ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් අනිවාර්යයෙන් දිනන බවයි. එහෙම තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන කැඩිලා ඇවිත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනවා. අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම මගින් ජවිපෙ විසින් විපක්ෂ අපේක්ෂකයාට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා.

කූඹියෝ අවසානය ආසන්නය දක්වාම ජෙහාන් ගේම් එක ගහන්නේ කා වෙනුවෙන්ද කියන එක ප්‍රේක්ෂකයාට හිතා ගන්න බැහැ. ගේම් එක තේරෙන්නේ කතාව අවසානයේදී. නමුත් කතාව ඉවර වුනාට පස්සෙත් ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. ඇත්තටම ගේම් එක ජෙහාන්ගේද? එසේ නැත්නම් ජෙහාන් කියන්නේත් මේ ගේම් එකේ ඉත්තෙක් පමණක්ද? අර ගන්නම ඕනෑ කෝල් එකේ අනෙක් පැත්තේ ඉන්නේ කවුද කියලා ප්‍රේක්ෂකයා දකින්නේ නැහැ. තිර රචකයින් විසින් ප්‍රේක්ෂකයින්ට පරිකල්පනය කිරීම සඳහා ඒ ප්‍රශ්නය ඉතිරි කරනවා. 

කූඹියෝ කියන්නේ වසර අටකට පසුවත් අමතක නොකළ හැකි ටෙලිනාට්‍ය අත්දැකීමක්. සමහර විට තමන්ගේ මුල් නිෂ්පාදනය මේ තරම්ම සාර්ථක වෙයි කියා එහි නිර්මාණකරුවන්වත් හිතන්න නැතුව ඇති. කූඹියෝ අවසන් වීමෙන් පසුව එහි දෙවන කොටස් හෝ එහි  නිර්මාණකරුවන්ගේ වෙනත් ටෙලිනාට්‍යයක් සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙනවා. එහෙත් කූඹියෝ නිර්මාණකරුවෝ මේ ඉල්ලුම් උගුලේ වැටෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් ජෙහාන්ටත් වඩා දක්ෂ ගේම්කාරයින් වීමයි. ඔවුන්ට ප්‍රේක්ෂක මනස පහසුවෙන්ම කියවා ගන්න පුළුවන්. ගේම්කාරයින් කියා කියන්නේ මේ අර්ථයෙන්. කූඹියෝ දෙවන ඉනිමකුත් ගැහුවානම් අද මම වුනත් කූඹියෝ ගැන මේ විදිහට කතා කරන එකක් නැහැ. 

කූඹියෝ පෙන්වලා අවසන් වන කාලය ආසන්නව පළාත් පාලන මැතිවරණ එනවා. මහින්ද නැවත නැගිටිනවා. පොහොට්ටුව පිපෙනවා. යහපාලනය දියවෙන්න පටන් ගන්නවා. යහපාලනය දෙකට කැඩිලා සත් සතියකට මහින්ද නැවත අගමැති ලෙසත් පත් වෙනවා. කෙටි බලු පොර කාලයකින් පසුව රනිල් නැවතත් පුටුවේ වාඩි වෙනවා.

ඊට පස්සේ පාස්කු ප්‍රහාර සිදු වෙනවා. යහපාලන ආණ්ඩුව ගෙදර යනවා. ගෝඨාභය ජනාධිපති වෙනවා. වසංගතය එනවා. ඊළඟට ආර්ථික අර්බුදය එක්ක අරගලය එනවා. ගෝඨාභය ඉල්ලා අස් වෙනවා. රනිල් නැවතත් ජනාධිපති වෙනවා. නමුත් ජනාධිපතිවරණයේදී රනිල් පරාජය වී අනුර ජනාධිපති වෙනවා. මාලිමා ආණ්ඩුවක් හැදෙනවා. කියන විදිහට ප්‍රභූ දේශපාලනය අවසන් වෙලා නිර්ප්‍රභූ ආණ්ඩුවක් හැදෙනවා. ඔය ඔක්කොම වුනාට පස්සේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සිනමා ශාලා වලට එනවා. 

චිත්‍රපටයක් බලන්න යද්දී ඒ පිළිබඳ පූර්ව නිගමන කිසිවක් නොමැතිව සිනමා ශාලාවට යන්න පුළුවන්නම් හොඳයි. නමුත් කතාවට කිවුවත් ඔය වැඩේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වාලම්පුරි බලන්න සිනමා ශාලාවට යද්දී කවදාවත් හැදුනේ නැති කූඹියෝ දෙක ඔලුවේ හොල්මන් කරනවා. වාලම්පුරි තිර රචකයා කියන්නේ කූඹියෝ හැදෙන්න කලින් හිටපු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික තිර රචකයා නෙමෙයි. ඒ නිසා, තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව ගැන පූර්ව නිගමන නැතිව, අවිඥානිකව අනපේක්ෂිත මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් සිනමා ශාලාවේ අසුන් ගන්න පුළුවන්. පැය දෙකහමාරක කාලය ඉවර වන තුරුම, කොහෙන් හෝ මතු විය හැකි නිධානය මතු වෙනකම් බලා ඉන්න පුළුවන්. 

නමුත් අවාසනාවට පැය දෙකහමාර ඉවර වෙන්නේ ඔය නිධානය දකින්න අවස්ථාවක් නැතිවයි. වාලම්පුරි චිත්‍රපටයේ බලා ගෙන හිටපු කූඹියෝ දෙක නැහැ!

කොටස් 57ක ටෙලිනාට්‍යයක් කියන්නේ පැය දාසයකට වඩා වැඩි කාලයක්. පැය දාසයක් තිස්සේ පෙන්වන දේවල් පැය දෙකහමාරකින් පෙන්වන්න බැහැ. ඊටත් වඩා, ටෙලිනාට්‍යයක කොටස් දෙකක් අතර ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් ඉතිරි වෙනවා. චිත්‍රපටයක් නරඹද්දී ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් නැහැ. හිතන්න වෙන්නේ ගෙදර ආවට පස්සේ. විශේෂයෙන්ම වාලම්පුරි වගේ වේගයෙන් රූපරාමු මාරු වෙන චිත්‍රපටයක. 

සමස්තයක් විදිහට වාලම්පුරි චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙකුට පහසුවෙන් අහුවෙන අඩුපාඩු ඉතිරි කරලා නැහැ. රඟපෑම් ප්‍රසස්ථ මට්ටමෙන් තිබෙනවා. නමුත් ආකෘතිය අනුවම මෙහි චරිත කිසිවකට තනිව ඉස්මතු වෙන්න බැහැ. ඒ නිසා, වාලම්පුරි සිඩ්නි කූඹියෝ ජෙහාන් වෙන්නේ නැහැ. කොහොමටත් තෝරා ගෙන තියෙන්නේ දක්ෂම නළුවන් පිරිසක්. ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ් එහෙම මම පෞද්ගලිකව කැමති නළුවෝ. ඔවුන් රඟපෑම් මීට වඩා ඉස්මතු වන චරිත රඟපානවා දැකලා තියෙන නිසා වාලම්පුරි රඟපෑම් වල ඊට වඩා වැඩි විශේෂත්වයක් නැහැ. වාලම්පුරි ආකෘතිය විසින් ඉල්ලා සිටින්නේ තනි චරිත ඉස්මතු කිරීමකට වඩා ටීම්වර්ක් එකක්. රඟපෑම් වල ඒ ටීම්වර්ක් එක තිබෙනවා. 

විශේෂයෙන්ම කියන්න තියෙන්නේ පසුබ්ම් සංගීතය ගැනයි. ඒකනම් වෙනම ලෙවල් එකක්. සිනමා ශාලාවක වාලම්පුරි නොබලා අන්තර්ජාලයෙන් බැලුවානම් කවදාවත් මේ අත්දැකීම ගන්න වෙන්නේ නැහැ. අවුරුදු ගණනකින් සිනමාහලකදී සිංහල චිත්‍රපටයක් නරඹා නැති නිසාත්, පසුගිය කාලයේදී අදාළ තාක්ෂනය විශාල ලෙස වැඩි දියුණු වී ඇති නිසාත්, වෙනත් ඇතැම් සිංහල චිත්‍රපට වලත් පසුබිම් සංගීතය හොඳ මට්ටමක තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලිකව මේ මට්ටමේ පසුබිම් සංගීතයක් තිබෙන සිංහල චිත්‍රපටයක් කවදාවත්ම බලන්න ලැබිලා නැහැ. 

පසුබිම් සංගීතය බෝනස් එකක් වුනත්, බලන්න ගියේ තිර රචනය සහ අධ්‍යක්ෂණයනේ. කතාවේ මුල කොටස් සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. සමහර වාණිජ චිත්‍රපට වල වගේ ගොන් ජෝක් නැහැ වගේම ඊනියා සම්භාව්‍ය චිත්‍රපට වල වගේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට නොතේරෙන අපභ්රංශත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට රස විඳිය හැකි කතාවක් තිබෙනවා. එය ගොඩක් කතා වල දැකිය හැකි ආකාරයේ දේශපාලනඥයින්ගේ, මැරයින්ගේ, ජාවාරම්කාරයින්ගේ කතාවක්. බලපු නැති අයට චිත්‍රපටය බලන්න ඉතිරි කරලා මම කතාව විස්තර කරන්නේ නැහැ. 

කතාව පටන්ගන්නේ සීගිරිය පැත්තෙන්. පේන්න තිබෙන බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදිය අනුව තේරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු වෙන සිදු වීමක් බවයි. මම හිතන්නේ මේ වෙද්දී ලංකාවේ ගම් දනවු වලට මීට වඩා නාගරිකත්වය කාන්දු වෙලා. නමුත් නාට්‍ය කණ්ඩායමත් එක්ක කතාව කොළඹට ආවට පස්සේ පෙනෙන විදිහට කාලය වර්තමාන කාලය. 

වාලම්පුරියෙන් කූඹියෝ හොයන කෙනෙකුට පළමු කූඹි ගුල හමු වෙන්නේ පොලිස් සමන් වාලම්පුරිය විකුණන්න හදන්නේ ස්වාමිටම බව පෙන්වද්දී. එතැන් සිට වාර ගණනාවක්ම, කූඹියෝ ටෙලිනාට්‍යයේ ක්‍රමයට, ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සලා මොළය කිති කවන තැන් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් හැමෝම කරන්නේ වාලම්පුරිය අයිතිකර ගන්න ගේම් එකක් ගහන එක.

කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේම මේකෙත් ගේම් තිබුණත්, ඒවා සාපේක්ෂව සිල්ලර ගේම්. ඒ වගේම සමහර දේවල් වෙන්නේ අහම්බෙන් මිසක් ගේම් වල කොටසක් විදිහට නෙමෙයි. වාලම්පුරි චිත්‍රපටයේ කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේ මහමොළකරුවෙක් නැහැ. වෙන වෙනම ගේම් මිසක් ලොකු තනි ගේම් එකක් නැහැ. ඒ කියන්නේ කතාව දුවන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂයෙක්ගේ පරිකල්පනයේ සීමාව ඇතුළේ. යම් හෙයකින් ලොකු ගේම් එකක් තිබුණත්, වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් සහ රටේ නායකත්වය ගන්න ගහන ගේම් එකක් කියන්නේ ලෙවල් දෙකක්. වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් දිහා බලලා දේශපාලන ගේම් එකක ත්‍රිල් එක ගන්න අමාරුයි. 

කූඹියෝ ටෙලිනාට්‍යය හදලා ඒකට විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් ආවාට පස්සේ එහි නිර්මාණකරුවන් විසින් එකතු කර ගන්න සමාජ ප්‍රාග්ධනය කූඹියෝ දෙක හෝ වෙනත් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වැය නොකර අවුරුදු ගාණක් පරිස්සමෙන් ඉතිරි කරගෙන වාලම්පුරිය එක්ක එළියට දමන, ජෙහාන් වගේ මහ මොළකරුවෙක්ව හදන්න තරම් විශාල පරිකල්පන ශක්තියක් තිබුණු ගේම්කාරයෙක්, එළියට දමලා තිබෙන නිෂ්පාදනය කූඹියෝ ටෙලිනාට්‍යයට වඩා බාල මට්ටමක එකක් වෙන්න පුළුවන්ද? 

පැය දෙකහමාරක් වේගයෙන් මාරු වෙන රූපරාමු දිහා බලා ඉඳිද්දී හිතන්න තරම් විවේකයක් ලැබෙන්නේ නැතත්, චිත්‍රපටය අවසන් වෙද්දී ඔන්න ඔය ප්‍රශ්නය මතු වෙනවා. ඒ ප්‍රශ්නය එක්ක ඇති වෙන කම්පනය නිසා, මේ දැන් බලල ඉවර කරපු වාලම්පුරි චිත්‍රපටය ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවීමක් ඇති වෙනවා. වාලම්පුරි චිත්‍රපටියේ කතාව ඇත්තටම මට තේරුණේ නැද්ද? කූඹියෝ ගේම් එකටත් එහා ගිය මොකක් හරි ගේම් එකක් ගැන මේ චිත්‍රපටියේ කියවුනා වෙන්න බැරිද?

ඔන්න ඔය හැඟීම ඇති වුනාට පස්සේ වාලම්පුරි රූප රාමු එකින් එක නැවත මතකයට එනවා. කතාව පටන් ගන්නේ ඩීඑස්ගේ ඉඳලා මහින්ද දක්වා ලංකාවේ රාජ්‍ය නායකයින්ගේ කතාවල පටිගත කළ දර්ශන වලින් තෝරාගත් කොටස් කිහිපයක් එක දිගට පෙන්වීමත් එක්ක. ඊට පස්සේ වාලම්පුරි සටන තිරයේ පෙන්වද්දී ඔය මුල් රූපරාමු ටික හෙමිහිට මතකයෙන් ගිලිහිලා යනවා. 

පැය දෙකහමාරකට මේ වගේ කතාවක් කපන එක විශාල අභියෝගයක්ව තිබියදී කතාවට සම්බන්ධයක් නැති සේ පෙනෙන මේ වගේ කොටසක් කතාව මුලට ඔබ්බවන්න අධ්‍යක්ෂවරයා තීරණය කළේ ඇයි? එහෙමනම්, මේ කොටසත් කතාවේම අවියෝජනීය කොටසක් විය යුතුයි. ඒ රූපරාමු වලින් පටන් අරගෙන "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" නැවත කියවගන්න බැරිද? වාලම්පුරි ඇත්තම කතාව ඔය තිරයේ මතුපිටින් පෙනුණු කතාවම නෙමෙයිද? කතාවේ වාලම්පුරිය රූපකයක් වෙන්න බැරිද?

වාලම්පුරිය කියා කියන්නේ රාජ්‍ය බලය පිළිබඳ සංකේතයක් කියා මොහොතකට හිතුවොත් වාලම්පුරි කතාව ඇතුළෙන් වෙනම කතාවක් මතු වෙනවා. කතාවේ ගොඩක් දේවල් වලට වෙනම තේරුම් ලැබෙනවා. 

පසුගිය කාලයේ ප්‍රචලිත වූ "ප්‍රභූ" හා "නිර්ප්‍රභූ" බෙදීම වගේ බෙදීමක් මගින් වාලම්පුරි පාත්‍රවර්ගයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිඩ්නි ඇතුළු නාට්‍ය කණ්ඩායම දමන්න වෙන්නේ "නිර්ප්‍රභූ" ගොඩට. අනෙක් ගොඩේ ඉහළම මට්ටමේ ප්රභූන් (මැඩම් සිසිකා), ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයින් (ජබීර්), සුළු ව්‍යාපාරිකයින් (ප්‍රියංකර), දේශපාලනඥයින් (කස්තුරි), දේශපාලනඥයින් සමඟ සම්බන්ධ පූජකයින් (ස්වාමි) හා රාජ්‍ය නිලධාරීන් (පොලිස් සමන්) ඉන්නවා. 

ආරම්භයේදී "නිර්ප්‍රභූ" කණ්ඩායමට වාලම්පුරිය ගැන අදහසක් හෝ එය ලබා ගැනීමේ අභිලාශයක් නැහැ. එහි වටිනාකම පිළිබඳ තක්සේරුවකුත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජීවත් වීම සඳහා කුමක් හෝ ගේමක් ගහන්න. එහෙත් ඔවුන්ටත් ඔවුන්ගේ මට්ටමෙන් ලොකු හීන තිබෙනවා. නිදහසෙන් පසු දශක හතහමාරක් තිස්සේ ඔවුන් කරන්නේ මේ හීන පස්සේ හඹා යන එක. හීනම හතහමාරක්!

මේ දශක හතහමාර තිස්සේ සිඩ්නි ඇතුළු පිරිස තමන්ව ගොඩ යවන නිධානයක් හොයනවා. එහෙම නිධානයක් ඇත්තටම නැහැ. නමුත් ඔවුන් නැති නිධානයක් හොයනවා. වෙලාවකට පේසාලෙන් තෙල් මතු වෙනවා වගේ පේනවා. වෙලාවකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඛණිජ වැලි වලින් පමණක් රටම ගොඩ දැමිය හැකි බව පේනවා. මේ මිනිස්සු දශක හතහමාරක් තිස්සේම කරන්නේ පොළොව යට සැඟවිලා තියෙනවා කියා ඔවුන් සිතන නිධානයක් හොයන එක. 

නැති නිධානයක් හොයන අතරම, මේ "නිර්ප්‍රභූ" කණ්ඩායම රට වටා යමින් ව්‍යාජ රඟපෑමක්ද කරනවා. ඒ රගපෑම් බලන්න මිනිස්සු එකතු වෙනවා. රගපෑම් බලන මිනිස්සුන්ගෙන් එකතු වන මුදලකින් නාට්‍ය කණ්ඩායම ජීවත් වෙනවා. නමුත් රගපෑම් වල ඇත්ත අරමුණ නිධානය ලබා ගෙන තමන් ගොඩ යන එක. 

සීගිරියේ ඉඳලා කොළඹ එන ගමන දශක ගණනක් තිස්සේ එන ගමනක්. සීගිරියේ බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදියෙන් මේ නාට්‍ය කණ්ඩායම ගමන පටන් ගන්න තැන වගේම කාලයත් නිරූපණය වෙනවා. සමහර විට කාලයත් සමඟ යාවත්කාලීන වී නැති ඔවුන්ගේ පසුගාමීත්වයද මේ පසුතල විසින් නිරූපණය කෙරෙනවා. 

"නිර්ප්‍රභූ" කණ්ඩායම නොදන්නා, නැති නිධානයක් හොයද්දී, "ප්‍රභූ" කණ්ඩායම විසින් දශක හතහමාරක් තිස්සේ වාලම්පුරි දෙකක් ආරක්ෂා කරනවා. එක කාලයකදී මේ දෙකෙන් එකක් වඩා බලවත් වෙනවා. ඉන් පසුව අනෙක් වාලම්පුරිය. ඔය වැඩේ මාරුවෙන් මාරුවට සිදු වෙනවා. ස්වාමිගෙන් නිරූපණය වෙන්නේ දේශපාලනයේ එක් ධාරාවක්නම්, මැඩම් සිසිකා කියන්නේ අනෙක් ධාරාව. 

මැඩම් සිසිකාගේ ධාරාව ප්‍රභූ තත්ත්වය නඩත්තු කරන්නේ ප්‍රදර්ශනාත්මකවයි. සිඩ්නිලාට පහසුවෙන් ඔවුන්ට ලං වෙන්න බැහැ. නමුත් අනෙක් ධාරාව ඊට වඩා වෙනස්. ඔවුන් ප්‍රදර්ශනාත්මකව හෝ සිඩ්නිලා එක්කත් ඉන්නවා. ඒ නිසා සමහර වෙලාවට ස්වාමි ඉන්නේ තමන්ගේ පැත්තේ බවක් සිඩ්නිලාට දැනෙනවා. කෙසේ වුවත්, මෙහි සිටින සිඩ්නි ඇතුළු "නිර්ප්‍රභූ" කණ්ඩායමට "පංති විඥානය" තිබෙනවා. භෞතිකව තමන් එක්ක හිටියත් ප්‍රියංකරගේ සැබෑ පැවැත්ම තිබෙන්නේ තමන්ගේ කණ්ඩායම ඇතුලෙ කියලා සිඩ්නි විශ්වාස කරන්නේ නැහැ.

"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ වාලම්පුරි අයිති කර ගැනීම සඳහා වන බල ගැටුම් වල කෙළවරක් නැහැ. ඒ ගැටුම් ඇතුළේ විවිධ සන්ධාන හැදෙනවා. ඒ සන්ධාන වෙනස් වෙනවා. "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ සිදුවන මේ බල ගැටුම් වල ඉත්තන් බවට පත් වෙනවා. අවසාන වශයෙන් ඔය හැම බල ගැටුමකදීම අනිවාරතේ ගුටි කන්නේ සිඩ්නිලා. හිරේ විලංගුවේ වැටෙන්නේ සිඩ්නිලා. දශක හතහමාරක් තිස්සේම වෙන්නේ ඕකයි. 

"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ "ප්‍රභූ ගණුදෙනු" විදිහට වගේම ගේම් හරහාත් වාලම්පුරි වල අයිතිය වෙනස් වෙනවා. නමුත් මේ ගනුදෙනු වල මූලික රීතියක් විදිහට වාලම්පුරි වල අයිතිය "ප්‍රභූ" කණ්ඩායමෙන් පිටට යන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් වන්නේ වාලම්පුරියේ අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සිදු කළ සැලසුම් සහගත ගැටුමක් අවසාන වෙද්දී වාලම්පුරි දෙකෙන් එකක් නිර්ප්‍රභූ කණ්ඩායමේ අයෙකු අතට පත් වීමෙන් පසුවයි. එයින් පසුව වාලම්පුරි සටනට "නිර්ප්‍රභූ" කණ්ඩායමද එකතු වෙනවා. කතාව අවසන් වන්නේ ප්‍රස්තුත වාලම්පුරිය "නිර්ප්‍රභූ" කණ්ඩායම සතු වීමෙන්. 

"වාලම්පුරි" අවසානය ආසන්නයේදී ස්වාමි මරණයට පත් වෙනවා. ස්වාමිගේ සංකේතාත්මක මරණය මගින් තිර රචකයා නිරූපණය කළේ කුමක්ද? ස්වාමිගෙන් නිරූපණය වූයේ ආගම මුල් කරගත් දේශපාලනයයි. "ප්‍රභූ" කණ්ඩායමේ කිසිවකු ස්වාමිව මරා දමන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම මේ සඳහා යොදා ගන්න වුවත්, ඒ උත්සාහයද සාර්ථක වන්නේ නැහැ. එහෙත් අවසාන වශයෙන් හදිසි අනතුරකින් ස්වාමි මරණයට පත් වෙනවා. ඒ එක්කම "ප්‍රභූ" කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් බොහොමයකගේ අත් වලට මාංචු වැටෙනවා.

අවසන් ජවනිකාවට ආසන්නව "ප්‍රභූ" කණ්ඩායමේ ඉහළම තලය සේ පෙනෙන මැඩම් සිසිකා සහ "නිර්ප්‍රභූ" කණ්ඩායමේ දික්ඔය අතර යම් ගනුදෙනුමය සම්බන්ධයක් ඇති වෙනවා. එක් මොහොතකට දික්ඔයව පෙනෙන්නේ පාවා දෙන්නෙක් හෝ රතු අලියෙක් ලෙසයි. නමුත් අවසාන වශයෙන් පෙනෙන පරිදි දික්ඔය විසින් කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම වෙනුවෙන් අවසන් මෙහෙයුම කිරීමයි.

මේ සටහන බොහෝ විට "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" අධ්‍යක්ෂවරයා විසින් කියවන්නට ඉඩ තිබෙනවා. ඔහු මෙහි තිර රචකයෙකුද වෙනවා. මෙහි ලියා තිබෙන චිත්‍රපටයේ කෙළින්ම ඇහැට නොපෙනන කතාව ඔහුට කියන්නට අවශ්‍ය වූ කතාව නොවෙන්නට පුළුවන්. ඒ වගේම ඔහු අදහස් කළ කතාවට කිසිම සම්බන්ධයක් නැති, හාත්පසින්ම වෙනස් කතාවක් වෙන්නත් පුළුවන්. ඒ ගැන කරන්න දෙයක් නැහැ. තිර රචකයා මොනවා හිතාගෙන ලිවුවත්, අධ්‍යක්ෂවරයා මොනවා හිතාගෙන අධ්‍යක්ෂණය කළත්, චිත්‍රපටයක් සිනමා ශාලාවට ආවාට පස්සේ එය නරඹන එක් එක් ප්‍රේක්ෂකයා විසින් නරඹන්නේ තමන්ට අවශ්‍ය කතාවයි. 

යටිපෙළක් එක්ක නිර්මාණයක් එළියට දැම්මට පස්සේ නිර්මාණකරුවෙකුට එය විස්තර කරමින් අටුවා ලියන්න බැහැ. එහෙම කළොත් මුලින් කරපු වැඩේ කිසිම තේරුමක් නැතුව යනවා. නමුත් මෙහි තිබෙන අවාසිය වන්නේ යටිපෙළ ප්‍රේක්ෂකයා විසින් වෙනස් ආකාරයකින් තේරුම් ගත හැකි වීමයි. 

"සත්ත්ව ගොවිපොළ" වැනි යටි පෙළක් තිබෙන කතා තිබෙන්නේ මගේ ප්‍රියතම ලැයිස්තුවේ ගොඩක් ඉහළින්. එහෙත් මේ වර්ගයේ සිංහල චිත්‍රපටියක් මීට පෙර නරඹා ඇති බවක් මතක නැහැ. යටිපෙළක් ඇති බව තේරුම් ගැනීමෙන් පසුව මෙවැනි චිත්‍රපටයක් නැවත වරක් බලන්න පුළුවන්නම් ඒකෙත් වෙනම ආතල් එකක් තිබෙනවා. නමුත්, අපේ නගරයේදී අමාරුවෙන් යාන්තම් එක් දර්ශන වාරයක් පමණක් සංවිධානය කරගත් නිසා එවැනි අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ මෙය නැවත වරක් අන්තර්ජාලය හරහා බලන්න අවස්ථාවක් ලැබුණු විටක පමණයි. මේට්‍රික්ස් වැනි සමහර ඉංග්‍රීසි චිත්‍රපට වාර ගණනාවක් නැවත නැවත නරඹා ඇතත්, සිංහල චිත්‍රපටයක් දෙවන වරටත් බලන්න කැමැත්තක් ඇති වුනේ පළමු වරටයි.

යටිපෙළෙන් ඔබ්බට තවත් දුරක් ගියොත්, යටිපෙල ගැන හිතනවා වගේම, කතාව අවසන් වූ තැනින් එහාටත් ප්‍රේක්ෂකයාට හිතන්න විශාල ඉඩක් ඉතිරි කර තිබෙනවා. කතාව අවසන් වෙද්දී  "නිර්ප්‍රභූ" කණ්ඩායම අතට වාලම්පුරි දෙකෙන් එකක් ඇවිත්. නමුත් ඇත්තටම කතාව එතැනින් අවසන් වෙනවාද?

වාලම්පුරිය අතට ගන්න කලින් "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායමේ උදවුවෙන් සමාජ සම්බන්ධතා හදා ගන්නවා. වාලම්පුරියේ වටිනාකම ගැන දැන ගන්නවා. නමුත් එම සමාජ සම්බන්ධතා උපයෝගී කරගෙන මේ "නිර්ප්‍රභූ" කණ්ඩායමට ගොඩ යන්න පුළුවන් වෙයිද? ඔවුන්ද "ප්‍රභූ" මට්ටමට උසස් වී "ප්‍රභූ" කණ්ඩායම විසින් කර ගෙන ගිය දේවල් ඒ විදිහටම කරයිද? එහෙම නැත්නම් මේ වාලම්පුරිය මුදල් කිරීමේ උත්සාහයේදී සිඩ්නිලාගේ කණ්ඩායම විදේශික ගැණුම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? කාලයක් යද්දී "නිර්ප්‍රභූ" කණ්ඩායමේ සමගිය නැති වී ඒ තුළත් ගැටුම් ඇති වෙන්න පටන් ගනියිද? කෙටියෙන් කිවුවොත්, වාලම්පුරිය "ඇල්ලුවට හපන්න පුළුවන් වෙයිද?"

Friday, September 12, 2025

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය

පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන කතා කරලා තිබුණු නිසා නැවත ඒ දේවල්ම කතා කරන්න අදහසක් නැහැ.

මෙහි ලියා ඇති දේ කලක සිට කියවන අය දන්නා පරිදි, මා මිනිස් ඝාතන අනුමත කරන අයෙක් නෙමෙයි. එය නේපාලයේ දෙපැත්තෙන්ම සිදු වූ මරණ වලට වගේම චාලි කර්ක් ඝාතනයටත් අදාළයි. ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ වෙද්දී සිදු වෙන නීත්‍යනුකූල ඝාතන වලටත් අදාළයි. 

මම දකින විදිහටනම් උපත හා මරණය කියා කියන්නෙත් අනෙක් බොහොමයක් දේවල් මගේම සමාජ සම්මුතීන් පමණයි. මරණය සමාජ සම්මුතියක් වුනත්, ඊනියා මරණය දක්වා මිනිස්සු ජීවත් වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා කියලා හිතනවා. ජීවත් වන මිනිස්සු, ඉඳ හිට හැර, මැරෙන්න කැමති නැහැ. 

මැරෙන්න කැමති නැති ජීවත් වන පුද්ගලයෙක්ට මැරෙන්න සලස්වන එක, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු විසින් මරන එක, සාධාරණීකරණය කිරීම මටනම් කිසිසේත්ම නොකළ හැකි දෙයක්. කෙනෙකුට තමන්ගේම ජීවිතය නැති කර ගන්න අවශ්‍යනම් ඒක වෙනම දෙයක්. ඒ වගේම, තමන්ගේ ජීවිතය පහසු ආකාරයකින් අවසන් කර ගැනීම සඳහා වෙනත් අයෙකුගේ උපකාර පැතීම සහ එසේ උපකාර කිරීම (euthanasia) වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. නමුත් තමන්ට විනාශයක් ගෙන දෙන මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෙයක් මේ විදිහට සාධාරණීකරණය කළ හැක්කේ එයින් තෙවන පාර්ශ්වයන්ට හානියක් නොවන්නේනම් පමණයි.

මගේ මූලධර්මය වන්නේ ජීවත්වන, සිහියෙන් ඉන්න, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ගේ ශරීරය හා අදාළව තීරණ ගැනීමේ නිදහස තිබිය යුතුයි කියන එක. හානියක් කරගන්න උත්සාහ කරද්දී එවැනි අයෙකුට කරුණු පැහැදිලි කර දීම වෙනම වැඩක්. නමුත් අවසාන වශයෙන් තීරණය පුද්ගලයා සතු විය යුතු එකක්. මේ හේතුව නිසාම, තමන්ගේ සිරුර තුළට වෙනත් අයෙකුට ඇතුළු වෙන්න ඉඩ දිය යුතුද, තමන්ගේ සිරුර ඇතුළේ වෙනත් දෙයකට වර්ධනය වෙන්න ඉඩ දිය යුතුද වගේ දේවලුත් පුද්ගලික නිදහසේම කොටස්. ඒ වගේ දේවල් ගැන වෙනත් අය තීරණ ගන්න එක නිවැරදි නැහැ. කවුරු හෝ එහෙම කියනවානම් එහි තිබෙන්නේ බලහත්කාරයක්. 

චාලි කර්ක් කියන්නේ ඇමරිකාවේ දේශපාලනයේ දක්ෂිණාංශික අන්තය නියෝජනය කළ කෙනෙක්. ඔහු තමන්ගේ දේශපාලන මතවාද වලට ගැලපෙන විදිහට තෝරා බේරාගෙන, පක්ෂග්‍රාහීව කරුණු ඉදිරිපත් කිරීම් කළා. මෙය වාමාංශික අන්තයේ ඉන්න අය වගේම දක්ෂිණාංශික අන්තයේ ඉන්න අයත් කරන වැඩක්. පරීක්ෂණ අවසන්ව නැතත්, චාලි කර්ක් ඝාතනයට හේතුව ඔහු විසින් ප්‍රචාරණය කළ මතවාදය මිසක් වෙනත් පෞද්ගලික කාරණාවක් කියා හිතන්න අමාරුයි. 

දැනට චෝදනා එල්ල වී තිබෙන්නේ සාපේක්ෂව අඩු වයසක සිටින තරුණයෙකුටයි. මෙය කළේ ඔහුනම්, තමන්ගේ මුළු ඉදිරි අනාගතයම පරදුවට තියලා මේ වගේ වැඩක් කළේ ඇයි කියන එකත් සිතා බැලිය යුතු දෙයක්. 

මෙවැනි ඝාතනයක් මේ තරම් පහසුවෙන් කරන්න ඇමරිකාවේ ගිණි අවි ප්‍රතිපත්තියත් උදවු වෙනවා තමයි. නමුත් ගිණි අවි නිදහස වෙනුවෙන් කෙනෙකු පෙනී සිටීම කිසිසේත්ම ඝාතනයක් සාධාරණීකරණය කරන්නේ නැහැ. 

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳව මාස කිහිපයකට පෙර චාලි කර්ක් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා බෙදා හැර තිබුණු සමීක්ෂණ ප්‍රතිඵලයක් නැවත උඩට ඇවිත් තිබෙනවා. මෙහි ඔහු අවධාරණය කරන්නේ ඇමරිකාවේ වාමාංශය තුළ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සංස්කෘතිය ව්‍යාප්ත වෙමින් පවතින බවයි. 

නේපාලයේ සිට ඇමරිකාව දක්වා වරින් වර මතු වන ප්‍රචණ්ඩත්වය මගින් නැවත නැවත තහවුරු කරන්නේ මිනිසා කියන්නේත් තවත් එක් සතෙක්ම බවයි. තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන බව පෙනෙද්දී මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙනවා. එය සිදු වන්නේ ආර්ථික හා සමාජයීය වශයෙන් නොදියුණු රටවල පමණක් නෙමෙයි. ඝාතන සංස්කෘතියට අප‍ට කොයි තරම් විරුද්ධ විය හැකි වුවත්, යටපත් කර ගෙන සිටින මේ මිනිස් ස්වභාවය වරින් වර උඩට මතු වෙන එක වලක්වන්න අමාරු දෙයක්. මේ කාරණයේදී අප එකිනෙකා වෙනස් වන්නේ අපට අපේ හැඟීම් පාලනය කර ගත හැකි උපරිම සීමාව කුමක්ද යන්නෙන් පමණයි.

විවිධ අය විවිධ ආකාර වලින් දේශපාලන දක්ෂිණාංශය අර්ථ දක්වනවා. ඒ කොයි විදිහට අර්ථ දැක්වුවත්, සාමාන්‍යයෙන් පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය එලෙසම පවත්වා ගැනීම නියෝජනය කරන්නේ දක්ෂිණාංශයයි. ඒ නිසාම, පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය තුළ වරප්‍රසාද හිමි කරගන්නා පිරිස් දක්ෂිණාංශය වටා එකතු වෙනවා. ඒ තුළ, බැහැර වන අවවරප්‍රසාදිත කොටස් වාමාංශය වටා එකතු වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය කඩා බිඳ දැමීමටයි. 

දේශපාලන අභිලාශ වල තිබෙන මේ වෙනස්කම් නිසාම වාමාංශික දේශපාලන නැඹුරුව තුළ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. දක්ෂිණාංශයට ඒ නැඹුරුව කළමනාකරණය කර ගත හැකි වන්නේ එක්කෝ වැඩිපුර අන්තවාදී නොවීමෙන්. එසේ නැත්නම්, තමන්ද ප්‍රචණ්ඩ වීමෙන්. 

චාලි කර්ක් විසින් උපුටා දක්වා තිබුණු සමීක්ෂණය සිදු කර තිබෙන්නේ රට්ගර්ස් සරසවිය විසින්. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව, ඇමරිකාවේ වාමාංශික මතධාරීන් අතරින් 50.2%ක් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා. එමෙන්ම, ඔවුන් අතරින් 56%ක් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා.

මේ සමීක්ෂණය පිළිබඳ ගැටළු අමතක කළහොත්, මෙම ප්‍රතිශත පිලිබඳව කනස්සළු නොවී සිටිය නොහැකියි. කෙසේ වුවද, වඩාත්ම අවධානය යොමු විය යුත්තේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන කතා කරද්දී චාලි කර්ක් විසින් කතා කර නැති කොටසයි. එනම්, දක්ෂිණාංශික මතධාරීන් අතරින් 14.3%ක් විසින් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීමත්, 20.3%ක් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමත් යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කර ඇති බවයි.

මට අනුවනම්, දෙවැන්න පළමුවැන්නට වඩා අවධානය යොමු විය යුතු කරුණක්. දක්ෂිණාංශිකයින්ගෙන් 20.3%ක් තමන්ගේම පිළේ සිටින ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම අනුමත කරන්නේනම්, විරුද්ධ පිළේ සිටින වාමාංශිකයින් අතරින් 56%ක් එසේ සිතීම අමුතු දෙයක් නෙමෙයි. 

මෙයින් බොහෝ විට පෙන්වන්නේ මෙම සමීක්ෂණයේ දුර්වලතාවය වෙන්න පුළුවන්. එහෙත් එය එසේ නොවේනම්, මෙමගින් පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳ භයානක තත්ත්වයක්. තමන්ගේම පිළේ සිටින ප්‍රබල නායකයෙකුව ඝාතනය කිරීම දක්ෂිණාංශිකයින් අතරෙන් 20.3%ක්ම අනුමත කරන්නේනම්, ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින වාමාංශික නායකයෙකු පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? එම ප්‍රතිශතය 56%ට අඩු විය හැකිද? සමීක්ෂණය මේ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැති නිසා ඇමරිකානුවන්ගේ ඝාතන සංස්කෘතියේ ප්‍රශ්නය වාමාංශිකයින්ට පමණක් බැර කළ නොහැකි එකක්.

දක්ෂිණාංශික මතධාරියෙකුට ජනාධිපති ට්‍රම්ප්ව හෝ ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම සාධාරණීකරණය කළ හැකි විය හැක්කේ කෙසේද? මීට හේතුව ඔවුන්ට අනුව වුවද, මොවුන් ඕනෑවට වඩා දක්ෂිණාංශික වීමද? එසේ නැත්නම්, ඔවුන්ට අවශ්‍ය තරමට දක්ෂිණාංශික නොවීමද?



Tuesday, September 9, 2025

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්!


පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම් දුලබ සිදු වීමක්. විශේෂයෙන්ම ඇමරිකාවේ අප ජීවත් වන කලාපයේ. 

පළමුවැන්න "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්". එය නැරඹීම පිණිස යාබද ප්‍රාන්තයකට යන්න වුනා. උඩට සහ පහළට කිලෝමීටර නවසීයකට වඩා වැඩියි. චිත්‍රපටයේ කාලය මෙන් හතර ගුණයකට වඩා වැඩි කාලයක් ගමනට ගත වුනා. එපමණ ආවස්ථික පිරිවැයක් දරා, මුළු දවසක්ම වෙන් කර, මේ චිත්‍රපටය නැරඹුවේ එහි ඇතැයි අපේක්ෂා කළ විශේෂත්වයක් නිසා නෙමෙයි. මෙය ඇමරිකාවේ මිඩ්වෙස්ට් කලාපය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු පළමු අවස්ථාව වූ නිසා. වෙනත් කවර හෝ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණද බොහෝ විට ඔය ගමන යන්න ඉඩ තිබුණා.

දෙවැන්න "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්". එය ප්‍රදර්ශනය කෙරුනේනම් අපේම නගරයේ. මෙය අපේ ප්‍රාන්තය තුළ සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු මුල්ම අවස්ථාව. පළමුවැන්න සඳහා ප්‍රවේශපත්‍ර මිල දී ගන්නා අවස්ථාව වන විටද දෙවැන්න සංවිධානය වී තිබුණේ නැහැ. එසේ වීනම්, ඒ වෙනුවෙන් එපමණ ආවස්ථික පිරිවැයක් දැරීම ගැන දෙවරක් හිතන්න ඉඩ තිබුණා. 

"ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" දර්ශන වාරය ගැන දැන ගන්න ලැබුණේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි ශිෂ්‍යයෙකු වූ අසල්වැසි මිතුරෙක්ගෙන්. පසුව "වාලම්පුරි" ප්‍රදර්ශනය සංවිධානය කළේත් ඔහු විසිනුයි. "ක්ලැරන්ස්" සංවිධානය කර තිබුණේ ඔහුගේ මිතුරෙකු වූ, මා පෙර දැන නොසිටි, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ වෙනත් ආදි ශිෂ්‍යයෙකු විසින්. 

"ක්ලැරන්ස්" පිළිබඳව අසල්වැසි මිතුරාගෙන් දැනගත් වහාම එහි සංවිධායකවරයා සම්බන්ධ කරගෙන ප්‍රවේශපත්‍ර දෙකක් මිල දී ගැනීමට උත්සාහ කළත්, ඒ වන විටත් ප්‍රවේශපත් සියල්ලම විකිණී අවසන්ව තිබුණා. කෙසේ වුවත්, සැලකිය යුතු ඉල්ලුමක් පැවති බැවින් පොරොත්තු ලේඛණයකට නම් එකතු කර ගෙන දෙවන රංග ශාලාවකද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් විසින් කටයුතු කළ නිසා අවසානයේදී ප්‍රවේශපත් මිල දී ගැනීමට ඉඩ ලැබුණා. 

අසල්වැසි මිතුරා සමඟ මේ කතාබහ සිදු වූයේ සති අන්තයක පැවති ආප්ප පාටියකදී. ඒ අවස්ථාවේදී "වාලම්පුරි" චිත්‍රපටය ගැනද අප කතා කළා. අපේ නගරයේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දර්ශන වාරය සංවිධානය වූයේ මේ කතාබහේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ඉතා කෙටි කලක් තුළ සිදු වුනා. 

ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවලට සාපේක්ෂව ඇමරිකාවේ විශාල ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයක් නැහැ. සිටින අයගෙන් වැඩි පිරිසක් සිටින්නේද කැලිෆෝනියා, නිවුයෝර්ක් සහ නිවුජර්සි, ටෙක්සාස්, මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත වලයි. අපේ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිස, දරුවන්ද සමඟ, දෙතුන් සීයකට වඩා වැඩි නැහැ. ඒ තත්ත්වය තුළ වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ අවම පිරිවැය ආවරණය කර ගැනීම සැලකිය යුතු තරම් අභියෝගාත්මක කටයුත්තක්. සංවිධායකවරයා වූ අසල්වැසි මිතුරා මේ අවදානම ගත්තා. 

වෙනත් බොහොමයක් කර්මාන්ත වගේම, ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තයද තරඟකාරී කර්මාන්තයක්. මේ කර්මාන්තයේ සුපිරි ලාබ නැහැ. ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා තබන නමුත් තවත් ඒවා පිරිවැය ආවරණය කරන ලාබයක් උපයා දෙන්නේ නැහැ. ඉල්ලුම අනුව සිනමාහල් හිමියන්ගේ ලාබ හෝ පාඩුද තීරණය වෙනවා. වැඩි ඉල්ලුමක් ඇති චිත්‍රපට වල ලාබයෙන් එසේ නොවන ඒවායේ පාඩුවද ආවරණය වන නිසා ඔවුන්ට අවදාමනක් ගත හැකියි. 

ඉල්ලුම පිළිබඳ කිසිම සහතිකයක් නැති සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ඇමරිකාවේ සිනමාහල් හිමියෙක් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා, එවැන්නක් සිදු විය හැක්කේ වෙනත් අයෙකු විසින් අවදානම ගන්නේනම් පමණයි. එවැන්නෙකුට දර්ශන වාරයක් සඳහා සිනමා ශාලාවක රඟහලක් කුලියට ගැනීමට සිදු වෙනවා. එසේ කුලියට ගැනීමෙන් පසුව, එම පිරිවැය ආවරණය කර ගැනීම සඳහාම සැලකිය යුතු ආදායමක් අවශ්‍ය වෙනවා. එම මුදලත්, චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට ලබා දිය යුතු මුදලත් සැලකූ විට, ප්‍රායෝගිකව අය කළ හැකි වැඩිම මුදලක් ප්‍රවේශපත්‍රයක් වෙනුවන් අය කළද, ආසන සියල්ලම මෙන් පිරුනේ නැත්නම් වියදම ආවරණය කරගන්න අමාරුයි. 

ඉහත තත්ත්වයන් තුළ, පෙර සඳහන් දර්ශන වාර දෙකම සංවිධානය කර තිබුණේ හැකි අවම පරිමාණ වලින්. එහෙත්, "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" සඳහා විශාල ඉල්ලුමක් පැවති බැවින් අවසානයේදී සිනමාහලේ දෙවන රංග ශාලාවක්ද කුලියට ගෙන පොරොත්තු ලේඛණයේ සිටි ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට සංවිධායකයින් කටයුතු කළා. "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සඳහාද තරමක් වැඩි ඉල්ලුමක් පැවති හෙයින් සියල්ලන්ටම අවස්ථාව ලබා දීම පිණිස තරමක් විශාල රංග ශාලාවකට දර්ශන වාරය මාරු කිරීමට සංවිධායකවරයා කටයුතු කළා. 

මේ අයුරින් ඇමරිකාවේ අපේ කලාපය තුළ මුල් වරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම අනාගතයේදී එවැනි දර්ශන වාර සංවිධානය කිරීමට කැමැත්තක් දක්වන අයට හොඳ පූර්වාදර්ශයක් හා මාර්ගෝපදේශනයක් සපයනවා. එමෙන්ම මේ හරහා ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ පරිමාව පුළුල් වෙනවා. 

ඇමරිකාවේ අපේ කලාපයේ ජීවත් වන්නන් විවිධ කාල වකවානු වල ඇමරිකාවට සංක්‍රමණය වූ අයයි. ඒ ඇතැම් අය ලංකාවේ චිත්‍රපට වැනි සංස්කෘතිකාංග ගැන යාවත්කාලීනව සිටියත් සියල්ලන්ම එවැන්නන් නෙමෙයි. ක්ලැරන්ස් විජේවර්ධන එසේ යාවත්කාලීන නොමැති ශ්‍රී ලාංකික ඇමරිකානුවන් අතර පවා නිරන්තරව ජනප්‍රියව සිටින ගායකයෙක්. ඒ නිසාම, "ක්ලැරන්ස්" චිත්‍රපටයට සැලකිය යුතු ඉල්ලුමක් තිබුණා කියා මම හිතනවා. චිත්‍රපටය මගින් ඉලක්ක කර තිබෙන්නේම ක්ලැරන්ස්ගේ ගීත වලට කැමති පිරිසයි.

"ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" ගායකයෙකුගේ ජීවන චරිතය මත පදනම් වූ සංගීතමය චිත්‍රපටයක්. පසුගිය කාලයේදී මේ වර්ගයේ හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් හැදුනා. Walk the Line, Nowhere Boy, Love & Mercy වැනි මේ ශෛලියේ චිත්‍රපට කාලයක සිට හැදී තිබුණත්, ඩොලර් මිලියන 900 ඉක්මවා ආදායම් ඉපැයූ Bohemian Rhapsody චිත්‍රපටයෙන් පස්සේ මේ විදිහේ චිත්‍රපට රැල්ලක්ම හැදුනා. Rocketman, Elvis, Whitney Houston: I Wanna Dance with Somebody, Bob Marley: One Love මේවායින් කීපයක්. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" නමේ ඔය අවසාන නම් දෙකේ ආකෘතිය දකින්න පුළුවන්. 

ක්ලැරන්ස් කියන්නේ අවුරුදු 21ක් වැනි තරුණ වයසකදී තමන්ගේ සිහිනය හඹා යන්න පටන් අරගෙන, ඒ සිහිනය ජය ගැනීමෙන් අනතුරුව, මතකයන් ඉතිරි කර, සාපේක්ෂව අඩු වයසකදී ජීවිතය හැර යන අයෙක්. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" චිත්‍රපටයේ කතාව ගොඩ නගා තිබෙන්නේ මූන්ස්ටෝන්ස් කණ්ඩායම හදන කාලයේ සිට ක්ලැරන්ස්ගේ විවාහය දක්වා වූ කාලය පදනම් කරගෙනයි. ඒ කියන්නේ 1960 සිට 1972 පමණ දක්වා කාලය. 

මේ කාලයෙන් වැඩි කොටසක් මා ඉපදෙන්න පෙර කාලයක්. ඉතිරි කොටස වුවත්, මට මතක තිබෙන අතීතයක කොටසක් නෙමෙයි. කවදාවත්ම අපේ වර්තමානය නොවූ අතීත යුග අපට දැකිය හැක්කේ ඉතිරිව තිබෙන ඓතිහාසික වාර්තා ඇසුරෙන් පමණයි. "ක්ලැරන්ස්- රිද්ම් ඔෆ් ගිටාර්" වැනි චිත්‍රපටද මේ ගොඩට එකතු වෙනවා. මේ චිත්‍රපට කතාවේ කාලයෙන් පසුව, ක්ලැරන්ස් ජීවත්ව සිටි කාලයක්ද මගේ මතකයේ තිබුණත්, මටත් වඩා වයසින් අඩු අයට ක්ලැරන්ස් කියන්නේ කවදාවත්ම තමන්ගේ වර්තමානය නොවූ අතීතයක්. 

චිත්‍රපටයේ නම "ක්ලැරන්ස්" වුනත්, චිත්‍රපටය පුරාම ඇනස්ලි මාලේවනගේ හෙවනැල්ල වැටී තිබෙනවා. චිත්‍රපටයේ වගේම. මම හිතන විදිහට ඇත්තටමත්, ක්ලැරන්ස්ගේ කතාව කියන්නේ ඇනස්ලි මාලේවන. ක්ලැරන්ස්ගේ ජීවිතයේ මේ යුගය හා අදාළව හොඳම මූලාශ්‍රය ඇනස්ලි මාලේවන වෙන්න පුළුවන්.

නමුත් චිත්‍රපටයේ කතාව ක්ලැරන්ස්ගේ ඇත්ත ජීවිත කතාවම නෙමෙයි. ඇත්ත කතාව මත පදනම්ව හදපු ඇත්තම නොවන කතාවක්. ඒ කතාව හදද්දී චිත්‍රපටයේ වාණිජ සාර්ථකත්වය ගැන වැඩිපුර හිතා ඇති බව පේනවා. මෙය සැබෑ පුද්ගලයින්ගේ ජීවන චරිත මත චිත්‍රපට හෝ වෙනත් කලා කෘති හදද්දී සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. අදාළ පාර්ශ්ව වලට ප්‍රශ්නයක් නැත්නම් ඒකේ අවුලක් නැහැ. අවුලක් වෙන්නේ මේ වගේ කලා කෘතියක් තුළින් කවුරු හරි ඇත්ත ඉතිහාසය හොයන්න ගියොත් පමණයි. 

ඓතිහාසික චිත්‍රපටයක් හදද්දී අවශ්‍ය පසුතල හොයා ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. දුරකථන සන්නිවේදන කුළුණක් නැති කන්දක් දැන් ලංකාවේ නැති තරම්. නමුත් තාක්ෂනය විසින් මේ වෙද්දී මේ ප්‍රශ්නයත් විසඳලා තිබෙනවා. රූප රාමුවකින් අනවශ්‍ය කොටසක් ඉවත් කරන එක දැන් ඉතාම සරල වැඩක්. සැබෑ ලෝකය එක්ක සසඳද්දී "ක්ලැරන්ස්" රූප රාමු වල තිබෙන නොගැලපීම්, හිතාමතාම ඒ රූප රාමු සැලසුම් කර තිබෙන විදිහ මිසක් අත් වැරදිම නොවන බවයි පෙනෙන්නේ. 

"ක්ලැරන්ස්" හදලා තියෙන්නේ එක දිගට ක්ලැරන්ස්ගේ ගීත රස විඳලා එයින් වින්දනයක් ලබන්න එන ඉලක්ක ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන්. පෝලිමට එන සිංදු ටිකට ගැලපෙන විදිහට කතාවක් කෘතිමව ඔබ්බලා තියෙනවා. ඒ කෘතීම කතාවේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා ඇත්ත සිදු වීම් හෝ ඇත්ත සිදු වීම් මත පදනම් වූ ගොඩ නැගීම් එකතු කරලා තියෙනවා. ඉලක්කයට එතරම් වැදගත් නැති නිසා මූන්ස්ටෝන් බිහි වන කාලයේදී 7 ශ්‍රී කාර් තිබුණද නැද්ද වගේ කරුණු ගැන ඒ තරම් අවධානය යොදවලා නැහැ. 

කතාවේ වැඩි කොටසක පෙන්වන්නේ රත්නපුර නගරය ආශ්‍රිතව සිදු වෙන සිදු වීම්. නමුත් පසුතල වලින් පේන්නේ මහනුවර පැත්ත. චිත්‍රපටයක රූගත කිරීම් අදාළ ප්‍රදේශයේම කරන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. නමුත් රත්නපුර කියා කියන්නේ ජර්සි ඇඳගෙන ඉන්න පුළුවන් හෝ අවශ්‍ය සීතල පැත්තක් නෙමෙයි. මම හිතන්නේ චිත්‍රපටයට වඩාත් දර්ශනීය පසුතල එකතු කිරීම සඳහා හිතාමතාම කරපු වැඩක්. ක්ලැරන්ස්ගේ බිරිඳගේ ආගමික පසුබිම වෙනස් කරන්න ඇත්තෙත් ඔය හේතුව නිසා වෙන්න ඇති. ක්ලැරන්ස්ට වැඩියෙන්ම කැමැති, චිත්‍රපටයට වැඩියෙන්ම ආකර්ෂණය වීමේ ඉඩක් තිබෙන, ප්‍රේක්ෂක කණ්ඩායමට මේ වෙනස වඩා හොඳින් ගැලපෙනවා වෙන්න පුළුවන්. 

ලංකාවේ වත්මන් නළු නිළියන්ගේ රංගන දක්ෂතා එක්ක සංසන්දනය කරද්දී මෙහි රඟපෑම් ඒ තරම්ම හොඳ මට්ටමක තිබෙනවා කියා කියන්න බැහැ. අඩු වශයෙන් අංග රචනය පැත්තට තව ටිකක් හෝ වැඩි අවධානයක් දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. උදාහරණයක් විදිහට ඉන්ද්‍රානි පෙරේරා කියන්නේ සාමාන්‍ය සම්මත අනුව රූමතියක් නෙමෙයි කියන එක ඇයට කරන අපහාසයක් නෙමෙයි කියලා මම හිතනවා. මෙය අවධාරණය කරමින් ක්ලැරන්ස් මුලින්ම ඉන්ද්‍රානිව දකින මොහොතේ තිගැස්මකට ලක් වන බව චිත්‍රපටයේ පෙන්වනවා. නමුත් එහිදී පෙන්වන ඉන්ද්‍රානිගේ රූපය දකින කෙනෙක් ඒ විදිහට තිගැස්මකට ලක්වෙන්න හේතුවක් නැහැ. 

මගේ මිනුම් අනුවනම්, "ක්ලැරන්ස්" චිත්‍රපටයක් විදිහට ඉතාම සාමාන්‍ය චිත්‍රපටයක්. කිලෝමීටර නවසීයක් පමණ උඩට හා පහළට ගිය එක ගැන පසුතැවිලි වෙන්න තරම් අවුලක් චිත්‍රපටයේ නැහැ. විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන ගියේ නැති නිසා. හරියටම ඇත්ත නොවුනත්, ලංකාවේ සංගීත ඉතිහාසයේ එක් කොටසක් ගැන කතාවක් චිත්‍රපටයේ තිබෙනවා. එක දිගට වැලට සිංදු එකින් එක යන නිසා ඒවා සම්බන්ධ කරන කතාව ගැන ලොකුවට නොහිතා සිංදු ටික රස විඳින්න පුළුවන්. ඒ හැරෙන්න චිත්‍රපටය බලලා ගෙදර ආවට පස්සේ ඉතිරි වෙන දෙයක්නම් නැහැ. 

මේ චිත්‍රපටය පුරෝගාමී වැඩක් කියන එකත් අමතක කරන්න බැහැ. වැඩේ පුරෝගාමී වැඩක් වෙන්නේ ලංකාවට තමයි. එය සිදු වෙන්නේ හොලිවුඩ් රැල්ල අනුකරණය කිරීමක් ලෙස වුවත්, මෙය මේ ශෛලියේ පළමු සිංහල චිත්‍රපටය. පෙනෙන විදිහට දැන් මේ ශෛලියේ තවත් සිංහල චිත්‍රපට හැදෙමින් තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටයක සාර්ථකත්වය පිළිබඳ හොඳම නිර්ණායකය වෙන්නේ එයට තිබෙන ප්‍රේක්ෂක ඉල්ලුම. ඒ අතින් මෙය සාර්ථක චිත්‍රපටයක්.

චිත්‍රපටයක් බලන ප්‍රේක්ෂකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට අවශ්‍ය වන්නේ පැය දෙකහමාරක පමණ කාලයක් තමන්ගේ දෛනික ජීවිතයේ බරින් නිදහස්ව විනෝදයක් ලබන්න මිසක් අපි වගේ ගෙදර ගියාට පස්සෙත් ඒ ගැන හිත හිත තවත් බරක් එකතු කර ගන්න නෙමෙයි. සංක්‍රමණික ප්‍රජාව අතරින් වැඩි දෙනෙකු බලාපොරොත්තු වෙන්නේත් මේ විදිහේ විනෝදයක්. ඒ වැඩේට "ක්ලැරන්ස්" චිත්‍රපට ගැලපෙනවා. 

"ක්ලැරන්ස්" බලන්න යද්දී කුමක් හෝ සිංහල චිත්‍රපටයක් බැලීමේ ආශ්වාදය මිසක් එයින් එහාට දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණත්, "වාලම්පුරි" බලන්න ගියේනම් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්. ඊට හේතුව කලින් බලලා තිබුණු "කූඹියෝ". "වාලම්පුරි" ගැන පසුව වෙනම සටහනක කතා කරමු.

Friday, September 5, 2025

රන් සම්මත මිථ්‍යාව

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව කියා කියන්නේ එම විෂයයෙහි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති සහ කාලයේ පරීක්ෂාව සමත් වූ ප්‍රවාද හා එම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කොටසයි. මෙම ප්‍රවාද මෙන්ම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ගද නිරන්තරයෙන් නැවත නැවත පරීක්ෂාවට ලක් වෙනවා. එහිදී ඇතැම් ප්‍රවාද හා ක්‍රියාමාර්ග අභියෝගයට ලක් වෙනවා. එසේ නැත්නම් අලුත් ප්‍රවාද වලින් විස්ථාපනය වෙනවා. මෙය ඕනෑම විද්‍යාවකට පොදු දෙයක්.  දැනුම අභියෝගයට ලක් නොවේනම්, වෙනස් නොවේනම් එය ආගමක් මිසක් විද්‍යාවක් වන්නේ නැහැ.

මේ ක්‍රියාවලිය තුළ, කිසියම් නිශ්චිත මොහොතක, කිසියම් නිශ්චිත කරුණක් අරභයා, ප්‍රධාන ධාරාව තුළ පුළුල් එකඟතාවයක් නැති වෙන්න පුළුවන්. එසේ වෙන්නේ ඒ වන විට පුළුල් ලෙස පිළිගත් අදහසක් අභියෝගයට ලක් වන අවස්ථා වලදීයි. නමුත් කෙටිකාලීනව පවතින මෙවැනි සම්ප්‍රේෂනීය තත්ත්වයන් අවසාන වශයෙන් බොහෝ විට පුළුල් එකඟතාවයකින් අවසන් වෙනවා. සාමාන්‍යයෙන් එසේ නොවන්නේ දේශපාලනික පදනමක් ඇති නොඑකඟතා පමණයි.

වඩා නිවැරදි, අලුත් අදහසකට හෝ ප්‍රවාදයකට පැරණි සම්මතය බැහැර කර ප්‍රධාන ධාරාව තුළ ස්ථාපිත වීම සඳහා යම් කාලයක් ගත විය හැකි නිසා, ප්‍රධාන ධාරාවේ පිළිගැනීමට ලක්ව නොතිබුණු පමණින් යම් අදහසක් බැහැර කරන්න බැහැ. නමුත් මේ කරුණ සාමාන්‍යයෙන් අදාළ වන්නේ අලුත් අදහස් වලට මිසක් කාලයේ පරීක්ෂාව අසමත් වී ප්‍රධාන ධාරාව තුළ ප්‍රතික්ෂේප වූ අදහස් වලට නෙමෙයි. එහෙත් එසේ කාලයකට පෙර පරීක්ෂා කොට බැහැර කරනු ලැබූ අදහස් හා ක්‍රියාමාර්ග ඒ ගැන නොදන්නා පිරිස් වෙත අලුත් අදහස් ලෙස ඉදිරිපත් කරන අයත් දකින්න පුළුවන්. 

රන් සම්මත ක්‍රමය කාලයකට පෙර පරිණාමීය ක්‍රියාවලිය තුළ විස්ථාපනය වී ගිය ක්‍රමයක්. මෙවැනි වෙනසක් සිදු වන හැම විටෙකම සිදු වන අලුත් වෙනස තේරුම් ගැනීමට අසමත් වන හෝ පිළිගැනීමට මැලි වන යම් පිරිසක් ඉතිරි වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. 

රන් සම්මත ක්‍රමය තුල සිදු වූයේ කඩදාසි මුදල් වල වටිනාකම රන් මගින් තහවුරු කිරීමයි. මෙවැන්නක් සිදු කළ යුතු වූයේ අදාළ කාලයේදී කඩදාසි මුදල් වර්ග පිළිබඳව පුළුල් විශ්වාසයක් ගොඩ නැගී නොතිබුණු නිසා. රන් පිළිබඳව ඒ වන විට එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබුණා. එහෙත්, පසුකාලීනව, කඩදාසි මුදල් වර්ග විසින්ද රන් වලට තිබුණු ආකාරයේම විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. ගඟෙන් එතෙර වීමෙන් පසුව තවදුරටත් ඔරුව කරේ තියාගෙන යන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් විසින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් දෙකක් වන්නේ ගෙවුම් උපකරණයක් වීම සහ වත්කමක් වීමයි. සියවස් ගණනාවකට පෙර, අද මෙන්, සංකීර්ණ මූල්‍ය වත්කම් වර්ග රාශියක් නිර්මාණය වී තිබුණේ නැහැ. මූල්‍ය වත්කම් වූයේ ස්වභාවයේ පැවති රන්, රිදී, මුතු, මැණික් වැනි දේවල්. ස්වභාවික ආකර්ෂණය සහ දුලබ බව හේතුවෙන් මෙවැනි දේවල් වලට වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම ලැබුණේ ගනුදෙනු කිරීමේ හැකියාව නිසා නෙමෙයි. 

මේ අතරින් රන් හා රිදී වල විශේෂත්වය වූයේ ඒවා සම්මතකරණය කළ හැකි වීමයි. සරලව කියනවානම්, එක සමාන කාසි ලෙස නැවත සකස් කළ හැකි වීමයි. ගෙවුම් උපකරණයක් ලෙස ප්‍රයෝජනයට ගත හැක්කේ සම්මතකරණය කළ හැකි හෝ ස්වභාවයෙන්ම ඒ ලක්ෂණය ඇති දෙයක්. ස්වභාවයෙන්ම මේ ලක්ෂණය තිබෙන කවඩි වැනි දේවල් මෙන්ම, සම්මතකරණය කර සකස් කර ගත් විවිධ ගල් වර්ග, තේ කොළ ගඩොල් ආදියද විවිධ සමාජ වල ගෙවුම් උපකරණ බවට පත් වුනා. එවැනි සමාජ තුළ, කවඩි වැනි දේවල් වලට ගනුදෙනු කිරීමේ හැකියාව නිසාම වටිනාමක් ලැබුණා. ගනුදෙනු සඳහා යොදා නොගත්තේනම් එවැනි වටිනාමක් කවඩි වලට ලැබෙන්නේ නැහැ. 

ගෙවුම් උපකරණ සේ භාවිතා වූ අනෙකුත් විකල්ප වලට සාපේක්ෂව රන් හා රිදී වලට තිබුණු විශේෂ වාසිය වූයේ එවැනි ලෝහ වටිනා වත්කමක් ලෙස මෙන්ම ගෙවුම් උපකරණයක්ද ලෙස ද්විත්ව කාර්යයක් එක වර ඉටු කිරීමයි. ගෙවුම් උපකරණයක් සේ භාවිතා නොකළද රන් හා රිදී වලට වටිනාකමක් තිබුණා. 

කඩදාසි මුදල් වලට, ගනුදෙනු සඳහා භාවිතා නොකරන්නේනම්, රන් හා රිදී වලට මෙන් වත්කමක් වීමේ හැකියාවක් නැහැ. වත්කමක් විය හැක්කේ ගනුදෙනු සඳහා භාවිතා කිරීමේ හැකියාව නිසාම පමණයි. රන් හා රිදී මෙන්, වත්කමක් ලෙස කඩදාසි මුදල් එකතු කිරීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. ඒ සඳහා, මේ වෙද්දී කඩදාසි මුදල් වල ව්‍යුත්පන්න ලෙස විවිධ මූල්‍ය වත්කම් වර්ග ගණනාවක් වැඩි දියුණු වී තිබෙනවා. 

රන් වැනි වටිනා ලෝහ ෆියට් මුදල් හා සසඳන්නේනම්, අපට රන් වැනි ලෝහයකින් සිදු කෙරුණු ද්විත්ව කාර්ය භාරය විසංයෝජනය කරන්නට සිදු වෙනවා. රන් වත්කමක් සේ සලකන්නේනම්, අප විසින් කළ යුත්තේ රන් වල ප්‍රතිලාභ වෙනත් මූල්‍ය වත්කම් වල ප්‍රතිලාභ හා සැසඳීමයි. 

මෙම සංසන්දනය මගේ පෙර ලිපියක සිදු කර තිබෙනවා. 2025 ජූලි 15 දින පළ කළ "රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?" ලිපියෙහි විස්තර කර ඇති පරිදි, 1975-2024 කාලය තුළ, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රන් මිල වසරකට 5.42%ක සාමාන්‍ය වේගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, යම් කිසිවකු අදාළ කාලය තුළ ඇමරිකන් ඩොලර් නෝට්ටු ළඟ තබාගෙන සිටියේනම්, එම ඩොලර් නෝට්ටු වල වටිනාකම වසරකට 5.42% බැගින් ක්ෂය වෙනවා. බොහෝ දෙනෙකු ෆියට් මුදල් හා රන් සංසන්දනය කරන්නේ මෙම පදනමින්. 

එහෙත් ඉහත සංසන්දනය නිවැරදි නොවන්නේ වත්කමක් ලෙස ඩොලර් නෝට්ටු ළඟ තබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා. ඩොලර් නෝට්ටු භාවිතා කරන්නේ ගෙවුම් උපකරණයක් ලෙස පමණයි. ගෙවුම් උපකරණයක් හැකි වහාම ගනුදෙනුවක් වෙනුවෙන් යොදා ගනු මිස එක දිගට ළඟ තබා ගෙන ඉන්නේ නැහැ. වත්මන් සන්දර්භයෙහි ගනුදෙනු සඳහා වුවද වැඩි වශයෙන්ම භාවිතා වන්නේ ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්න වන බැංකු ගිණුම් මිස ඩොලර් නෝට්ටු නෙමෙයි.

වත්කම් සංසන්දනයක් කරන්නේනම්, ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්නයක් සේ සැලකිය හැකි, වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වලින් 6.05%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. මෙය රන් වල ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක්. ඊට අමතරව, 12% ඉක්මවන සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකි කොටස් වෙළඳපොළ විකල්පය වැනි විකල්පද තිබෙනවා. එවැනි විකල්ප වලට සාපේක්ෂව රන් කියන්නේ පැහැදිලිවම නරක ආයෝජනයක්. 

ඉහත ලිපියෙහි සංසන්දනය කර ඇත්තේ ඇමරිකාවේ ඇති විකල්පයි. 2025 ජූලි 16 දින පළ කළ "ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන" ලිපියෙහි මෙම සංසන්දනය ලංකාව සඳහාද සිදු කර තිබෙනවා. 1989-2024 කාලයේ ලංකාවේ සාමාන්‍ය උද්ධමනය වූ 9.65% සැලකූ විට, රන් වල ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ හානිය වළකන 10.85%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත්, සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් පොලිය වූ 12.95% එම ප්‍රතිලාභය ඉක්මවනවා. කොටස් වෙළඳපොළ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 20% ද ඉක්මවනවා. ඉතා පැහැදිලිවම, ඇමරිකාව තුළ මෙන්ම ලංකාව තුළද, රන් හොඳ මූල්‍ය වත්කමක් වී නැහැ. එමෙන්ම උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වෙනවා කියන එකත් අර්ධ සත්‍යයක් පමණයි. එසේ වන්නේ යම් කිසිවෙකු මුදල් ආයෝජනය නොකර නෝට්ටු මිටි ගොඩ ගසා ගෙන සිටියහොත් පමණයි.

වත්කම් සේ සලකන්නේනම් මුදල් වලට විකල්ප ගණනාවක් තිබෙනවා. මුදල් වල ප්‍රධානම කාර්ය භාරය වනුයේ ගෙවුම් උපකරණයක් ලෙස කටයුතු කිරීමයි. හොඳ ගෙවුම් උපකරණයක් සේ සැලකිය හැක්කේ වටිනාකම වෙනස්වීම වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකි වත්කමක්. වටිනාකම වෙනස්වීම නිවැරදිව පුරෝකථනය කළ හැකිනම්, දිගුකාලීනව වටිනාකම ක්ෂය වීම බරපතල ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඊට හේතුව ආයෝජනය කිරීම මගින් එසේ ක්ෂය වන වටිනාකම ප්‍රතිපූරණය කරගත හැකි වීමයි.

උදාහරණයක් ලෙස ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මහ බැංකු ජනතාවට පොරොන්දු වී තිබෙන්නේ දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තබා ගන්නා බවටයි. ලංකාවේ මෙම අගය 5%ක්. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ මෙම අගය 2% ද නැත්නම් 5% ද යන්න නෙමෙයි. දිගුකාලීනව උද්ධමනය ඇත්තටම මේ පොරොන්දු මට්ටම ආසන්නයේ තිබෙනවාද කියන එකයි.

අපේක්ෂිත උද්ධමනය 2% වුනත්, 5% වුනත්, එම අගය නිශ්චිතව දන්නවානම් පුද්ගලයෙකුට අපහසුවක් නොමැතිව අනාගතය සැලසුම් කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ අවදානම පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. ඒ නිසා, වැදගත් වන්නේ ඉලක්කය කීය වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගන්නේද යන්නයි. එය එසේ සිදුවන තරමට මුදලක් පිළිබඳ විශ්වාසය වැඩි දියුණු වෙනවා.

උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම නිසි පරිදි ගැලපිය යුතුයි. පෙර ලිපියේ විස්තර කළ පරිදි, මුදල් ඉල්ලුම පාලනය කිරීම පහසු නැහැ. මුදල් සැපයුම වුවද මුළුමනින්ම මහ බැංකුවක පාලනය යටතේ ඇති දෙයක් නෙමෙයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමනය මගින් මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම අතර තුලනයට බලපෑමක් කිරීමයි. එය අසීරු කාර්යයක් වුවත්, ලෝකයේ මහ බැංකු විසින් පසුගිය දශක ගණනාවක් පුරාම සාර්ථක ලෙස මේ කාර්යය ඉටු කර තිබෙනවා. 

රන් සම්මත ක්‍රමයකදී සිදු වන්නේ මේ තුලනය කිසිවෙකුගේ පාලනයට යටත් නැති "රන් දෙවියාට" භාර දීමයි. මුදල් ඉල්ලුමට වඩා රන් සැපයුම වැඩි වූ 1500-1650 අතර කාලයේදී මෙය අනපේක්ෂිත උද්ධමනයකට හේතු වුනා. අපේක්ෂිත උද්ධමනයකදී මෙන් නොව අනපේක්ෂිත උද්ධමනයකදී වත්කම් හානි වීමක් සිදු වෙනවා. එහෙත්, මේ වන විට රන් සැපයුම වැඩි වන්නේ මුදල් ඉල්ලුම වැඩි වන වේගයට වඩා අඩුවෙන් නිසා රන් සම්මතයක දිගුකාලීන ප්‍රතිඵලය අවධමනයයි. මෙහිදී අවධමනයට වඩා විශාල ප්‍රශ්නයක් වන්නේ වටිනාකම වෙනස් වීමෙහි සිදු වන විශාල විචලනයයි. එමෙන්ම අවධමනය වාසියක් වන්නේ එය අනපේක්ෂිතව සිදු වන්නේනම් පමණයි. 

මුදල් ඉල්ලුම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වෙනවා. නියාමකයෙකුට සක්‍රිය ලෙස මැදිහත් වී මේ විචලනයන් සීමා කළ හැකියි. එහෙත් "රන් දෙවියා" විසින් එවැනි සක්‍රිය මැදිහත්වීමක් නොකරන නිසා වත්මන් සන්දර්භයේදී රන් සම්මතයක් පවත්වා ගතහොත් සිදු වන්නේ මුදලේ වටිනාකම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දිගුකාලීනව අවධමනයක් පවතින තත්ත්වයක් යටතේ වුවද, කෙටිකාලීනව උද්ධමනය විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි.

මේ සමඟ පළ කෙරෙන රූප සටහනෙහි පෙන්වා දී ඇත්තේ පසුගිය වසර දහයක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය මත පදනම් වූ උද්ධමනය සහ රන් මත පදනම් වූ උද්ධමනය වෙනස් වී ඇති ආකාරයයි. සාමාන්‍ය අගයක් ලෙස ඩොලර් උද්ධමනය 3.3%ක් වන අතර, රන් උද්ධමනය -4.4%ක් හෙවත් 4.4%ක අවධමනයක්. නමුත් මුදලක් හා අදාළව වඩා වැදගත් වන්නේ එහි ස්ථාවරත්වයයි. එනම් විචලනයන් අඩු වීමයි.

මෙම වසර දහයක කාලය සැලකුවොත් ඩොලර් උද්ධමනය වන 3.3% පොරොන්දු මට්ටම වූ 2.0%ට වඩා තරමක් වැඩියි. ඊට ප්‍රධානම හේතුව වසංගත සමයේදී එම අගය 10.1% දක්වා ඉහළ යාමයි. කෙසේ වුවද, වසංගත අවස්ථාව මුදල් ඉල්ලුම අනපේක්ෂිත ලෙස එක වර විශාල ලෙස පහත වැටුණු දුලබ අවස්ථාවක්. එවැනි දුලබ අවස්ථාකදී නියාමනය මගින් විචලනය සීමා කර ගැනීම බොහෝ අසීරු කාර්යයක්. එසේ වුවද, ඉතා කෙටි කලකින් උද්ධමනය නැවත ඉලක්ක සීමාව දක්වා පහත හෙළා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුව සමත් වුනා.

ලංකාව සැලකුවද, පෙර සිදු කළ ප්‍රතිපත්ති වැරදි වලට වසංගතයේ කම්පනය එකතු වීම නිසා උද්ධමනය 70% දක්වා ඉහළ ගියද, කෙටි කලකින් නැවතත් උද්ධමනය ඉලක්ක මට්ටම ආසන්නයට පහත හෙළා ගැනීමට මහ බැංකුව සමත් වීමෙන් පෙනී යන්නේ මහ බැංකු ක්‍රමයේ සාර්ථකත්වයයි. අවධමනයේ අහිතකර ප්‍රතිඵල නොසලකා හැරියද, ප්‍රස්ථාරයේ පෙනෙන ආකාරයේ මිල විචලනයන් සමඟ ආර්ථික තීරණ ගැනීම පහසු නොවන බව පැහැදිලිව තේරුම් යා යුතු කරුණක්. ඇමරිකාවේ භාණ්ඩ මිල තීරණය වූයේ ඩොලර් වලින් නොව රන් වටිනාකම අනුවනම්, පසු ගිය වසර දහයක කාලයේදී ඇමරිකාවේ උද්ධමනය 17.5% සිට -29.1% දක්වා විචලනය වෙනවා.

ඇත්ත වශයෙන්ම රන් සම්මත කාලයේදී වුවද, දැන් මෙන්ම, මුදල් අධිකාරයක් විසින් රන් සැපයුමෙන් ස්වායත්තව මුදල් සැපයුම නියාමනය කළා. එම කාලයේදී මේ ප්‍රස්ථාරයේ දැකිය හැකි තරමේ මිල විචලනයන් දැකිය හැකි නොවූයේ ඒ නිසා. උදාහරණයක් ලෙස ලංකාවේ ව්‍යවහාර මුදල් මණ්ඩලය ආරම්භ කිරීමෙන් පසුව, තබා ගත් රිදී ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා මුදල් නිකුත් කිරීමේ හැකියාවක් එම මණ්ඩලයට තිබුණා. පසුව මෙම ප්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කරනු ලැබුවා. ඉන්දියාවේ හා ඇමරිකාවේ තිබුණේද මෙවැනි තත්ත්වයක්. සියලුම දෙනා රිදී (ඇමරිකාවේනම් රන්) ඉල්ලා සිටියේනම් ලබා දීමේ හැකියාවක් ඒ කාලයේදී වුවද අදාළ බලාධිකාරයන්ට තිබුණේ නැහැ.

වෙනත් විදිහකින් කිවහොත්, රන් සම්මතය බොහෝ දුරට නමට තිබුණු එකක්. ඒ හරහා සිදු වූයේ අදාළ මුදල පිළිබඳව විශ්වාසය ගොඩ නැගීමයි. රන් නොමැතිව එම විශ්වාසය ගොඩ නැගිය හැකිනම්, තව දුරටත් රන් සම්මතයක අවශ්‍යතාවයක් නැහැ. නූතන මහ බැංකුවක් විසින් මේ විශ්වාසය ගොඩ නැගීම සිදු කරන්නේ කලින් දැනුම් දී ඇති කවර හෝ නිශ්චිත මට්ටමක උද්ධමනය කාලයක් පවත්වා ගැනීම මගිනුයි. එම මට්ටම මහ බැංකුවකට එසේ ස්ථාවරව පවත්වා ගත හැකි මට්ටමක් විය යුතුයි.

වසංගත සමයේදී ඇමරිකාවේ උද්ධමනය 10% මට්ටම දක්වා ඉහළ ගියේ එවැනි විශාල ඉල්ලුම් කම්පනයකට මුහුණ දෙමින් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීම නොකළ හැක්කක් වූ නිසා. ඉලක්කය 5% වැනි ඉහළ අගයක් වීනම්, ඇතැම් විට මෙය කළ හැකිව තිබුණා. ලංකාව වැනි රටකට 2% මට්ටම යනු පවත්වා ගත නොහැකි තරම් පහළ මට්ටමක්. එවැනි පහළ මට්ටමක් ඉලක්ක කළහොත්, සුළු කම්පනයක් නිසා වුවද මහ බැංකුවේ පාලනය ගිලිහී යන්න පුළුවන්. ඒ ඇයි කියා පෙර ලිපියක විස්තර කර තිබෙනවා. මහ බැංකුව විශ්වාස කරන පරිදි 5% මට්ටම එසේ දිගුකාලීනව පවත්වා ගත හැකි මට්ටමක්. එහෙත් මහ බැංකුව විසින් කාලයේ පරීක්ෂණය සමත් වී මෙය තහවුරු කළ යුතුයි.

මා හිතන්නේ මේ වන විට මෙම ලිපි මාලාව හරහා කාලයේ පරීක්ෂාව අසමත්ව කලකට පෙර අත හැර දමනු ලැබූ රන් සම්මත ක්‍රමය හෝ නිදහස් බැංකු ක්‍රමය මහ බැංකු ක්‍රමයට විකල්පයක් නොවන්නේ ඇයි යන්න ප්‍රමාණවත් ලෙස විස්තර කර ඇති බවයි. රන් සම්මත ක්‍රමයේ ප්‍රශ්නය මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි. ඇතැම් අය ෆියට් මුදල් වල වටිනාකම අඩු වීම සැලකිල්ලට ගෙන ඉදිරිපත් කරන තර්කය වැරදි තර්කයක් බවද මෙම ලිපි මාලාව තුළ කරුණු සහගතව පෙන්වා දී තිබෙනවා.

නිදහස් බැංකු ක්‍රමය හා අදාළව නැවත කෙටියෙන් කිව හැක්කේ දැනට වුවද මුදල් සැපයුමෙන් ලොකු කොටස තීරණය කරන්නේ වාණිජ බැංකු විසින් මිස මහ බැංකුව විසින් නොවන බවයි. ඒ නිසා, නිදහස් බැංකු ක්‍රමයක් මගින් කළ හැකි එකම වෙනස මහ බැංකුව විසින් සිදු කරන නියාමනය ඉවත් කිරීමයි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේද නියාමනයක් නොමැති මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි.

මෙහි විස්තරාත්මකව සාකච්ඡා කර නොමැති තවත් කරුණක් වන්නේ මහ බැංකු ක්‍රමය තුළම ඇතැම් රටවල අධි උද්ධමන තත්ත්වයන් ඇති වීමයි. එහෙත්, එවැනි සෑම අවස්ථාවක මෙන්ම එසේ සිදු වී තිබෙන්නේ මහ බැංකු ස්වාධීනත්වය නැති වී රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් සල්ලි අච්චු ගැසීම නිසා මිස මහ බැංකු ක්‍රමයේ වරදකින් නෙමෙයි. මෙවැනි තත්ත්වයන් රන් සම්මත ක්‍රමය තුළද සිදු වුනා. රන් සම්මත පැවති රටවල් බොහොමයකද, රජයට අරමුදල් අවශ්‍ය වූ විට සිදු වූයේ පැවති රන් සම්මතය නොසලකා හරිමින් සල්ලි අච්චු ගැසීමයි. මූල්‍ය විනයක් නොමැති වීමේ ප්‍රශ්නයට මහ බැංකු ක්‍රමය විසඳුමක් නොවනවාක් මෙන්ම, රන් සම්මත ක්‍රමයද විසඳුමක් නෙමෙයි. 

මෙම ලිපිය ඇතුළු ලිපි මාලාවේ ලිපි පහම එකට කියවිය යුතු ලිපි පහක්. මේ ලිපි වලට එක් කර තිබෙන්නේ අනිවාර්යයෙන්ම එකට කිව යුතු කරුණු පමණයි. ලිපි මාලාව ලිවුවේ මේ මොහොත වෙනුවෙන් නෙමෙයි. ප්‍රශ්න, ප්‍රතිවාද හෝ විවේචන ඇත්නම් පිළිතුරු දිය හැකියි.


වෙබ් ලිපිනය: