වෙබ් ලිපිනය:

Tuesday, December 31, 2024

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය පැවතුණේ 69.8% මට්ටමේ. එයින් අදහස් වන්නේ එම මාසයෙන් අවසන් වූ මාස 12ක කාලය තුළ සමස්තයක් ලෙස මිල මිල මට්ටම 69.8%කින් ඉහළ ගොස් තිබුණු බවයි.

කෙසේ වුවද, 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 27ක කාලය තුළම සමස්තයක් ලෙස මිල මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි. 

එළඹෙන 2025 වසරේ පළමු කාර්තුව තුළ අනිවාර්යයෙන්ම අවධමන තත්ත්වය පවතිනු ඇතත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී නැවතත් උද්ධමනය හිස එසවීමට නියමිතව ඇති බැවින් දැනට පවතින තාවකාලික අවධමන තත්ත්වය කණස්සල්ලට කාරණයක් නෙමෙයි. 




Monday, December 30, 2024

ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග


ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ සටහන් වූ වසරක්.  

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට සමාන්තරව දේශපාලන අර්බුදයක්ද ඇති වුනා. එමෙන්ම, අර්බුදය හමුවේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වල සැලකිය යුතු වෙනසක් සිදු වෙද්දී, ඊට සමාන්තරව දේශපාලන පර්වර්තනයක්ද සිදු වුනා. 

මේ ලිපියෙන් අප දේශපාලනික කරුණු පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. එමෙන්ම ආර්ථික අර්බුදයට හෝ එයින් ගොඩයාමට දායක වූ පුද්ගලයන් කවුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාවය දෙන්නේද නැහැ. මෙය ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ආ මග පිළිබඳ පසු විපරමක් සහ යා යුතු ඉදිරි මග පිළිබඳ විමසුමක්. 

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරනු ලැබ, අදාළ ණය මුදල අනුමත වූයේ 2023 මාර්තු මාසයේදීයි. මෙම ලියැවිල්ල සඳහා පාදක කර ගනුයේ ශ්‍රී ලංකාවේ සාර්ව-ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඒ වෙද්දී පිළියෙළ කර තිබුණු සැලසුම මත පදනම්ව ඔවුන් විසින් පිළියෙල කර තිබුණු ඇස්තමේන්තු සහ ලබා දී තිබුණු ඉලක්ක සහ ඊට සාපේක්ෂව සැබෑවටම සිදු වූ දෙයයි.

අදාළ කාලයේදී අප විසින් පෞද්ගලිකව මෙම ඉලක්ක කරා යාමේ ශක්‍යතාව සහ ඇස්තමේන්තු දෙස බැලුවේ තරමක් නිශේධනාත්මක ලෙස බවද කිව යුතුයි. හේතු සහගතව එවැනි දැක්මක සිටියේ මීට පෙර අරමුදල සමඟ එකඟතා ඇති කරගත් හැම විටකම මෙන් සිදුව තිබුණේ එවැන්නක් වීම නිසායි. එහෙත්, මතු විස්තර කරන පරිදි, මෙවර සිදු වූයේ ශ්‍රී ලංකාව අරමුදල විසින් ලබා දුන් කාර්ය සාධන ඉලක්ක බොහොමයක්ම ඉක්මවා යාමයි. 

වර්ෂාවසාන උද්ධමනය පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - 57.2%

2023-  15.2%

2024 - 6.7%

2025 - 5.6%

2026 - 5.2%

2027 - 5.1%

2028 - 5.0%

සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ උද්ධමනය ඉලක්ක මට්ටම වන 5.0% කරා අඩු කර ගැනීමට සැලසුම් කෙරුණේ 2028 වන විටයි. එහෙත්, 2023 වසර අවසන් වන විටම උද්ධමනය 4.0% ලෙස සටහන් වුනා. මෙම (2024) වසර අවසන් වනු ඇත්තේ අවධමනයක් වාර්තා කරමිනුයි. 

රාජ්‍යමූල්‍ය කළමණාකරණය විධිමත් කෙරෙන සහ රාජ්‍ය අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය ගැනීම (සල්ලි අච්චු ගැසීම) වැළැක්වෙන අණපනත් රටේ නීතිය බවට පත්ව ඇති තත්ත්වයක් යටතේ උද්ධමනය 5%  ඉලක්කයෙහි පවත්වා ගැනීම සාපේක්ෂව පහසු කාර්යයක්. ඒ නිසා, ඉදිරි මග සම්බන්ධව අවදානමක් නැහැ. 

ආර්ථික වර්ධන වේගය පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - (-8.7)%

2023-  (-3.0)%

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%

2028 - 3.1%

සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ ඉලක්ක කළේ ආර්ථික වර්ධන වේගය 2027 වන විට 3.1% මට්ටම දක්වා ඉහළ නංවාගෙන එම මට්ටමෙහි දිගටම පවත්වා ගෙන යාමයි. මෙම (2024) වසරේ මුල් කාර්තු තුන ඇතුළත රටේ ආර්ථිකය 5.2%ක වර්ධන වේගයක් පෙන්නුම් කර තිබෙනවා. වසර අවසාන වෙද්දී 5.0% ඉක්මවන හෝ ඊට ආසන්න ආර්ථික වර්ධනයක් වාර්තා වීමට නියමිතයි. ඉදිරි කාලයේදී කළ යුත්තේ මෙම වර්ධන වේගය පවත්වාගෙන යාමයි. 

රාජ්‍ය ආදායම (දදේනි % ලෙස) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - 8.5%

2023-  11.0%

2024 - 13.3%

2025 - 14.9%

2026 - 15.0%

2027 - 15.1%

2028 - 15.3%

ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - (-3.8)%

2023-  (-0.7)%

2024 -  0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%

2028 - 2.3%

ප්‍රාථමික අයවැය ශේෂය (රුපියල් බිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - (-895)

2023-  (-209)

2024 - 268

2025 - 835

2026 - 905

2027 - 981

2028 - 1,062

සාර්ව ආර්ථික වැඩ සටහන යටතේ ඉලක්ක කළේ රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය 2025 වන විට දදේනියෙන් 2.3% දක්වා ඉහළ නංවා ගෙන එම මට්ටමෙහි දිගටම පවත්වා ගෙන යාමටයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් විශාල ලෙස වැඩි කරගත යුතුව තිබුණා. මෙය විශාල දේශපාලන අභියෝගයක්ව තිබුණු කාර්යයයක්. 

අදාළ සැලසුම අනුව, 2024 ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 268 දක්වා ඉහළ යා යුතුව තිබුණා. කෙසේ වුවද, පළමු මාස දහයක කාලය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 831ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ අනුව, මෙම වසරේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) වසර සඳහා ඉලක්කය වූ 0.8% පමණක් නොව දිගුකාලීන ඉලක්කය වූ 2.3% මට්ටමද ඉක්මවා යාමට නියමිතයි. පළමු කාර්තු තුනේ තත්ත්වය අනුව මෙම අගය 3.5% ආසන්න මට්ටමක තිබෙනවා. 

දැනටමත් රජය විසින් බදු සහන ලබා දීමේ ප්‍රවේශයකට පිවිස තිබීමෙන් පෙනී යන්නේ ඉදිරි වසර වලදී ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි % ලෙස) 2.3% මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් පවත්වා ගැනීම ආණ්ඩුව විසින් අභියෝගයක් සේ නොසලකන බවයි. මේ දක්වා තත්ත්වය ඉලක්ක ඉක්මවන යහපත් මට්ටමක පැවතියේ වුවද, ඉදිරි වසර වලදී ඉලක්ක මග නොහැර පවත්වා ගැනීම ඉතාම වැදගත්.

විදේශ සංචිත (ඩොලර් මිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - 1,898

2023-  4,431

2024 - 6,128

2025 - 8,520

2026 - 10,888

2027 - 14,208

2028 - 15,875

මේ හා අදාළවද කිව හැක්කේ 2023 හා 2024 වසර වලදී ශ්‍රී ලංකාව විසින් ඉහත ඉලක්ක ලඟා කර ගෙන ඇති බවයි. එබැවින්, ඉදිරි වසර වලදීද අවශ්‍ය සංචිත ඉලක්ක වලට යාම කළ නොහැක්කක් නෙමෙයි. මෑතකදී ජනාධිපති දිසානායක විසින් 2028දී ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයක් කරා යාම ගැන කියද්දී අදහස් කළේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023දී පිළියෙල කළ ඉහත වැඩපිළිවෙළෙහි ඇති සංචිත ඉලක්ක පිළිබඳවයි. "ණය ගෙවන්නට සිදු වීම" හෝ "වාහන ආනයනය විවෘත කිරීම" ආදිය ඉහත සංචිත ඉලක්ක වලට යාමට බාධාවක් නොවන්නේ සාර්ව ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙල තුළ ඉහත සංචිත ඉලක්ක පිළියෙල කර තිබෙන්නේ එම උපකල්පනද සමඟ වීම නිසායි.

කෙසේ වුවද, අප මෙහිදී අමතක නොකළ යුත්තේ 2023 හා 2024 වසර වලදී ශ්‍රී ලංකාව විසින් සංචිත ඉලක්ක ලඟා කරගෙන තිබෙන්නේ මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කළ මට්ටම් වලට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක ඩොලරයක අගය පවත්වා ගනිමින් බවයි. එබැවින්, 2028දී ඉහත සංචිත ඉලක්කය කරා ලඟා වීම විශාල අභියෝගයක් නොවෙතත්, සැබෑ අභියෝගය වන්නේ එම ඉලක්ක වලට යන අතරම ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ගැනීමයි. මෙය දේශපාලනික ඉලක්කයක් මිස ආර්ථික ඉලක්කයක් නොවන බවද මෙහිදී මතක් කළ යුතුයි.

ඩොලරයක මිල (රුපියල්) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - 315

2023-  397

2024 - 441

2025 - 463

2026 - 483

2027 - 502

2028 - 513

මේ වන විට ඩොලරයක මිල පවතින්නේ ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසාම, අරමුදල විසින් ඇස්තමේන්තු කළ ආකාරයේ අපනයන ආදායම් වර්ධනයක්ද සිදු වී නැහැ. 

අපනයන ආදායම් (ඩොලර් මිලියන) පිළිබඳ 2023 මාර්තු පෙර දැක්ම:

2022 - 13,106

2023-  13,666

2024 - 14,517

2025 - 15,270

2026 - 16,065

2027 - 16,869

2028 - 17,717

අනෙක් නිර්ණායක වල පැහැදිලි ප්‍රගතියක් දැකිය හැකි වෙතත්, 2022දී ඩොලර් මිලියන 13,106ක් වූ අපනයන ආදායම 2023 වන විට ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටුණා. මෙම (2024) වසරේ මුල් මාස දහයේ ප්‍රගතිය අනුව ඇස්තමේන්තු කළ හැක්කේ 2024 අපනයන ආදායම ඩොලර් මිලියන 12,830කට ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. එසේනම්, 2028 වන විට මෙම අගය ඩොලර් මිලියන 17,717 තෙක් ඉහළ නංවා ගත හැකිද? 

අපනයන ආදායම් ඉහළ නොගියද, ඩොලරයක මිල පහත වැටුනේ ආනයන සීමා වී තිබුණු නිසායි. එබැවින් නැවත ආනයන විවෘත වෙද්දී ඩොලරයක මිල ඉහළ යාම පාලනය කර ගැනීමටනම් අපනයන ආදායම් වර්ධනය විය යුතුයි. 

අනෙක් කරුණු හා අදාළව කෙසේ වුවත්, අපනයන වර්ධනය හා අදාළ ප්‍රතිපත්ති අනුව, පැවති ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. අපනයන වර්ධනය පැවති ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද ආර්ථික උපාය මාර්ගයන්හි කොටසක් වුවත්, ඒ සඳහා අනුගමනය කරන බව පෙනෙන ප්‍රවේශ දෙක සහමුලින්ම වෙනස් ප්‍රවේශ දෙකක්. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටේ අපනයන ප්‍රවර්ධනය පිණිස අනුගමනය කළ ප්‍රවේශය ලෙස පෙනෙන්නට තිබුණේ පෞද්ගලික අංශය මත පදනම් වූ ප්‍රවේශයක්. එහෙත්, පසුගිය දෙවසරක කාලය තුළ ප්‍රායෝගික වශයෙන් සිදු වූයේ ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටීම පමණයි. වඩා හදිසි කෙටිකාලීන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු වැර යොදන්නට සිදු වී තිබීම හා රටේ ජනමතය ඔහුගේ ප්‍රවේශයට එරෙහිව පැවතීම ඇතුළු හේතු නිසා පසුගිය කාලයේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් ඇති වීම මිස එයින් එහාට ලොකු දෙයක් සිදු වුනේ නැහැ.

මෙයින් වෙනස්ව මාලිමාව පෙනී සිටියේ අපනයන ප්‍රවර්ධනය සඳහා වූ රාජ්‍යමූලික ප්‍රවේශයක් වෙනුවෙනුයි. බළලා හදා තියෙන්නේ ඉටියෙන් වුවත්, මැටියෙන් වුවත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ මීයන් ඇල්ලීම බැවින්, අපනයන ආදායම් ඉලක්ක වලට යා හැකිනම් ක්‍රමවේදය කුමක් වුවත් එහි ප්‍රශ්නයක් නැහැ. ඉදිරි වසර කිහිපය මාලිමාවේ අපනයන ප්‍රවර්ධන ක්‍රමවේදය පරීක්ෂාවට ලක් වන කාලයක්. රනිල් ගිය පාරේම යන්නේ නැත්නම් වෙන පාරකින් හෝ අවශ්‍ය ඉලක්ක වලට ගිහින් පෙන්වන්න වෙනවා.

කණගාටුවෙන් වුවත් කිව හැක්කේ මේ මොහොතේදී 2028දී අපනයන ඉලක්ක ලඟා කර ගැනීමේ ශක්‍යතාව පිළිබඳ අපගේ පෞද්ගලික පෙර දැක්ම නිශේධනාත්මක එකක් බවයි. මෙම ඉලක්ක කරා යා හැකි ආකාරයක් දැනටනම් පෙනෙන්නට නැහැ. අපගේ ප්‍රාර්ථනය වනුයේ රනිල් විසින් ආණ්ඩුව ගත් අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදීද අපට පෙනෙන දෙයට වඩා වැඩි දෙයක් සිදු වනු දැකීමයි. 

අපනයන ඉලක්ක වලට නොගියද, ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම අපහසු දෙයක් නෙමෙයි. පෙර සඳහන් සංචිත ඉලක්ක ලඟා කරගැනීමේ අරමුණින් හැර විණිමය අනුපාතය කෙරෙහි බලපෑම් නොකරන්නේනම්, අපනයන ආදායම් හා ගැලපෙන පරිදි ආනයන වියදම් ගැලපීම වෙළඳපොළ යාන්ත්‍රනය හරහා ස්වයංක්‍රීය ලෙසම සිදු වීමට නියමිතයි. ආර්ථිකය නැවත අස්ථාවර විය හැක්කේ, වසර කිහිපයකට පෙර කළ පරිදි, විණිමය අනුපාතය පාලනය කිරීමට ගියහොත් පමණයි.

ඉදිරි වසර කිහිපය තුළ ඩොලරයක මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදු වුවහොත් (යම් සීමාවක් දක්වා) එය කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහිදී දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයද පහළ යන බැවින් අපේක්ෂිත ණය සහනය එලෙසම ලබා ගැනීමේ අවස්ථාව ලංකාවට හිමි වෙනවා. ඩොලරයේ මිල ප්‍රමාණවත් තරමින් ඉහළ නොගියහොත් සිදු වන්නේ අමාරුවෙන් එකතු කරගන්නා විදේශ විනිමය වලින් සැලකිය යුතු කොටසක් ණයහිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස වෙන් කිරීමටයි. 

ඩොලරයක මිල දේශපාලනිකව සංවේදී කාරණයක්. හැම විටම මෙන් ඩොලරයක මිල ඉහළ යාම පවතින ආණ්ඩුවට අවාසිදායකයි. ඒ නිසා, රටේ ආර්ථික ස්ථාවරත්වය අනතුරේ නොහෙලමින් ඩොලරයක මිලද පහළින් තියා ගැනීමටනම්, ඉදිරි වසර තුන හතරක කාලය තුළ අපනයන ආදායම් වැඩි කර පෙන්වන්නට සිදු වෙනවා. 

මේ ආණ්ඩුව බලයට පත් වූයේද අපනයන ආදායම් වර්ධනය කිරීම පිළිබඳව පොරොන්දු වෙමින් නිසා ආණ්ඩුවේ අනාගතය තීරණය කරන සහ රාජ්‍යමූලික සංවර්ධන උපාය මාර්ගය නැවත වරක් පරීක්ෂාවට ලක් කෙරෙන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ඉදිරි වසර කිහිපය ඇතුළත ලංකාවේ අපනයන ආදායම් වර්ධනය වන ආකාරයයි. අනෙක් ඉලක්ක බොහොමයක්ම දැනටමත් ලඟා කරගෙන අවසන්. මෙය සිදු වන ආකාරය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.

ඔබ සැමට සුබ නව වසරක් සමඟ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්!

Thursday, December 26, 2024

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!


අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා.

පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව, 1954දී එම වීශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තා. ඉන් පසුව වසර තුනක කාලයක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහි ආර්ථික විද්‍යාව හැදෑරූ ඔහු 1957දී එම සරසවියෙන් ලබාගත් උපාධියක්ද සමඟ නැවත ඉන්දියාවට පැමිණ කෙටි කලක් පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව, ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙතගොස් 1962දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තා.

ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ආචාර්ය මන්මෝහන් සිං පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මෙන්ම දිල්ලි විශ්ව විද්‍යාලයේද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළා. ඊට අමතරව ඔහු UNCTAD වැනි ජාත්‍යන්තර සංවිධාන වලද සේවය කළා. පසුව ඉන්දියාවේ රාජ්‍ය සේවයට සම්බන්ධ වූ ආචාර්ය මන්මෝහන් සිං මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන උපදේශක ලෙස මෙන්ම ඉන්දියාවේ මහ බැංකුවේ අධිපති ලෙසද ඉන්දියාවට සිය සේවය ලබා දුන්නා. 

දශක ගණනාවක් තිස්සේ සමාජවාදී, සංවෘත, රාජ්‍යමූලික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දියාවේ ආර්ථිකය 1991දී විශාල ගෙවුම් ශේෂ අර්බුදයක සිරව සිටි අවස්ථාවේදී මුදල් ඇමති ධුරය භාර ගන්නා මෙන් එවකට ඉන්දියාවේ අගමැති වූ නරසිංහ රාඕ විසින් ඔහුට බල කර සිටියා. මේ අවස්ථාවේදී ආචාර්ය මන්මෝහන් සිං දේශපාලනයට සම්බන්ධ වුනා. 

එම අවස්ථාවේදී ඉන්දියාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අවදානම් තත්ත්වයක ඇති බව ක්‍රොන්ග්‍රස් පක්ෂ ප්‍රධානීන්ට පැහැදිලි කළ ආචාර්ය මන්මෝහන් සිං දැඩි ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු නොකර ඉන්දියාවට ගොඩයාමක් නැති බව පෙන්වා දුන්නා. පක්ෂ ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මධ්‍යයේ වුවද අගමැති නරසිංහ රාඕ විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආචාර්ය මන්මෝහන් සිංට අනුමැතිය දුන්නා. ඒ අනුව, ඉන්දියාව පෙර නොවූ විරූ ධනවාදී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් අද තිබෙන ශක්තිමත් ඉන්දියන් රාජ්‍යය ගොඩ නැගීමට මූලික පියවර ගත්තා. 

මේ වන විට නාමික විණිමය අනුපාත අනුව ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන අතර, ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකයයි. එදා ඩොලර් බිලියනයකවත් විදේශ සංචිත නොතිබුණු ඉන්දියාව සතුව අද වන විට ඩොලර් බිලියන 650 ඉක්මවන විදේශ සංචිතයක් තිබෙනවා. 1991දී හරි පාරට වැටුණු ඉන්දියාවට ඉන් පසුව ගෙවුම් ශේෂ අර්බුද ප්‍රශ්නයක් වී නැහැ.

කෙසේ වුවත්, ආචාර්ය මන්මෝහන් සිංගේ කාර්ය භාරය එදා එපමණම අගය කෙරුණේ නැහැ. 1992දී සිදු වූ කොටස් වෙළඳපොළ වංචාවකට ඔහුගේ නමද ගාවමින් චෝදනා කිරීමට දේශපාලන විරුද්ධවාදීන් පෙළඹුණු අතර 1996 මහ මැතිවරණදී ඉන්දියානු ඡන්දදායකයින් විසින් කොංග්‍රස් පක්ෂය පරාජය කර භාරතීය ජනතා පක්ෂය බලයට පත් කරගත්තා. 

කෙසේ වුවද, 2004දී ඉන්දියාවේ අගමැති ධුරයට පත් වුනු ආචාර්ය මන්මෝහන් සිං වසර දහයක් එම ධුරයේ කටයුතු කළා. මෙම කාලය, විශේෂයෙන්ම ඔහුගේ පළමු ධුර කාලය, ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන්ම වර්ධනය වූ කාලයක්. ආචාර්ය මන්මෝහන් සිංව ඉන්දියානුවන් විසින් අදටත් වඩා අගය කරනු ඇත්තේ අනාගතයේදීයි.

ගිය අවුරුද්දේ EPF එකට වුනේ කුමක්ද?


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි. 

ඉහත ලාභයෙන් රුපියල් බිලියන 61.9ක මුදලක් බදු ලෙස රජයට ගෙවීමෙන් අනතුරුව, ඉතිරි වූ ලාභ යොදා ගනිමින් සාමාජික ගිණුම් ශේෂ මත 13.0%ක පොලියක් ගෙවා තිබෙනවා. එය පසුගිය වසර 13ක කාලය තුළ ගෙවා ඇති ඉහළම පොලියයි. 

වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් උපයා ඇති ආයෝජන ආදායම රුපියල් බිලියන 469.5ක් වන අතර, අරමුදල කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1.5ක මුදලක්ද, කම්කරු දෙපාර්තමේන්තුව විසින් තවත් රුපියල් බිලියන 0.8ක්ද වැය කර තිබෙනවා. 

වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වත්කම් රුපියල් බිලියන 3,857.4 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය රුපියල් බිලියන 397.5ක වැඩි වීමක්. 

පෙර (2022) වසර අවසන් වෙද්දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂ වැඩි වශයෙන්ම ආයෝජනය කර තිබුණේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. ඒ වෙනුවෙන් වැය කර තිබුණු මුදල රුපියල් බිලියන 3,068.7ක්. එහෙත්, 2022 අවසානය වන විට මෙම බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,914.4 දක්වා පහත වැටී තිබුණා. එය මෙම වත්කම් වල වටිනාකම 37.5%කින් අඩු වීමක්.

පසුගිය (2023) වසර තුළ භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 3,234.8 දක්වා රුපියල් බිලියන 166.1කින් ඉහළ යද්දී, එම ආයෝජන වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,168.0 දක්වා රුපියල් බිලියන 1,253.6කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටීමයි. 

විශ්‍රාම වැටුප් අරමුදලකට වාර්ෂිකව නිශ්චිත ලෙස මුදල් ගලා එන නමුත් එම මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය වන්නේ විශාල කාලයකට පසුවයි. එබැවින් විශ්‍රාම වැටුප් අරමුදලක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, කළ යුත්තේත්, තමන්ගේ භාරයේ ඇති අරමුදල් සඳහා දිගුකාලීනව වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි පරිදි, දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි ආයෝජනයක ඵලදායීතාවය විමසා බැලිය යුත්තේද දිගුකාලීනවයි. 

දිගුකාලීන බැඳුම්කර වල අරමුදල් ආයෝජනය කළ විට සිදු විය හැකි එක් දෘශ්‍යමාන අවාසියක් වන්නේ කෙටිකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය විට එහි වාසිය ලබා ගන්නට නොහැකි වීමයි. එවැනි අවස්ථා වලදී දිගුකාලීන බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම පහත වැටෙනවා. එහෙත්, කෙටිකාලීනව ඉහළ යන පොලී අනුපාතික දිගින් දිගටම එවැනි ඉහළ මට්ටමක නොපවතින බැවින් දිගුකාලීන ප්‍රතිලාභ සලකද්දී හැමවිටම මෙන් වඩා වාසිදායක වන්නේ දිගුකාලීනව ආයෝජනය කිරීමයි. 

මේ වන විට කෙටිකාලීන පොලී අනුපාතික 9% සීමාවෙන්ද පහතට වැටී තිබෙනවා. එය කෙටිකාලීනව ආයෝජනය කර ඇති අයට විශාල අවාසියක්. ඉහළ පොලී අනුපාතික වලට ආයෝජනය කර ඇති ඔවුන්ගේ අරමුදල් දැන් නැවත ආයෝජනය කරන්නට සිදු වෙන්නේ බෙහෙවින්ම අඩු පොලී අනුපාතිකයක් යටතේයි.

එහෙත්, සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් දිගුකාලීනව ආයෝජනය කර ඇති බැවින්, පොලී අනුපාතික පහත වැටෙද්දී එම අරමුදලට කිසිදු අවාසියක් නොවනවාක් මෙන්ම අරමුදලේ ආයෝජන වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස ඉහළ යාමක්ද සිදු වෙනවා. අරමුදලේ මෙම (2024) වසරේ ගිණුම් ප්‍රකාශයට පත් වූ පසුව, අදාළ වාසිය කොපමණදැයි හරියටම දැනගන්නට ඉඩ ලැබෙනු ඇති. 

සේවක අර්ථසාධක අරමුදල විසින් පසුගිය (2023) වසර තුළ ලැබූ ශුද්ධ ලාභය කොපමණද යන්න රටේ ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක බදු ගෙවීමට පෙර ලාබ සමඟ සංසන්දනය කිරීමෙන් අවබෝධ කරගත හැකියි.

සේවක අර්ථසාධක අරමුදල - රුපියල් බිලියන 468.0

ලංකා බැංකුව - රුපියල් බිලියන 40.3

මහජන බැංකුව - රුපියල් බිලියන 15.3

සම්පත් බැංකුව - රුපියල් බිලියන 29.8

කොමර්ෂල් බැංකුව - රුපියල් බිලියන 31.9

හැටන් නැෂනල් බැංකුව - රුපියල් බිලියන 32.7

LOLC හෝල්ඩින්ග්ස් (2023/24) - රුපියල් බිලියන 30.2


සේවක අර්ථසාධක අරමුදල විසින් පෙර වසර වල ලාබ ලැබුවේ පහත අයුරිනුයි.

2019 - රුපියල් බිලියන 257.7

2020 - රුපියල් බිලියන 284.0

2021 - රුපියල් බිලියන 340.7

2022 - රුපියල් බිලියන 313.9

2023 - රුපියල් බිලියන 467.2


අරමුදලේ ශුද්ධ වත්කම් ඉහළ ගොස් තිබෙන්නේ මෙලෙසයි.

2019 - රුපියල් බිලියන 2540.4

2020 - රුපියල් බිලියන 2824.3

2021 - රුපියල් බිලියන 3166.1

2022 - රුපියල් බිලියන 3459.9

2023 - රුපියල් බිලියන 3857.4

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වසරෙන් වසර ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යන ආකාරය ගණන් හදා පෙන්වූ අයත් හිටියේ වැඩි කාලයකට පෙර නෙමෙයි.

Wednesday, December 25, 2024

ඝානා රජය ණයහිමියන්ට දුන් විකල්ප දෙක

ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී තාක්ෂනික ලෙස සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ණය උපකරණ හෝ වෙනත් ණය වෙනුවට අලුත් ණය උපකරණ එකක් හෝ කිහිපයක් නිකුත් කරන එක. මේ ක්‍රියාවලිය සංකීර්ණ එකක්. "ණය කපා හැරීම" වගේ වචනයක් භාවිතා කරන්න වෙන්නේ අදාළ මූලික දැනුම නැති පිරිසකට මේ සංකීර්ණ ක්‍රියාවලිය ඒ විදිහටම විස්තර කරන එක අමාරු කාර්යයක් නිසා. නමුත්, අප විසින්ද කර තිබෙන, මේ ඕනෑවට වඩා සරල කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වන සමහර දේවල් මග හැරෙනවා. එහෙම නැත්නම් වැරදි අවබෝධ ඇති වෙනවා.

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ ආකෘතිය අනුව ඉතාම සංකීර්ණයි. බැඳුම්කර ගැන මූලික දැනුමක් තිබෙන කෙනෙකුට වුනත් මේ ණය උපකරණ හරියට තේරුම් ගන්න යම් ආයාසයක් දරන්න වෙනවා. 

ලංකාවට සාපේක්ෂව බැලූ විට ඝානා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අලුතෙන් නිකුත් කළ ණය උපකරණ සරල ණය උපකරණ. ඒ නිසා, ඒවා තේරුම් ගන්න එක වඩා පහසුයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේදී සිදු වූ දෙය වඩා නිවැරදිව තේරුම් ගන්න උනන්දුවක් දක්වන අයෙකු විසින් පළමු පියවරක් ලෙස ඝානාවේ සිදු වූ දෙය තේරුම් ගන්න එක හොඳ ප්‍රවේශයක් කියා මම හිතනවා.

මේ සමඟ පළ කරන පළමු වගුවේ තිබෙන්නේ ඝානා රජය විසින් හුවමාරුව සඳහා ඉදිරිපත් කළ, ස්වෛරිත්ව බැඳුම්කර 15ක විස්තර. මේ සියල්ලෙහි මුහුණත අගයන්හි වටිනාකම ඩොලර් මිලියන 13,104ක්. විශාලතම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 1,250ක් වන අතර කුඩාම බැඳුම්කරයේ මුහුණත අගය ඩොලර් මිලියන 149ක් පමණයි. කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 7.92%ක්. මෙම අගය ලංකාවේ එම අගයට වඩා වැඩි අගයක්. ඒ වගේම දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර සඳහා ගෙවිය යුතු වූ කූපන් පොලී අනුපාතික මීටත් වඩා වැඩියි. 

ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කළේ 2022 දෙසැම්බර් 19 දිනයි. 2024 ඔක්තෝබර් මාසයේදී ඝානාව විසින් ඔවුන්ගේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය සියල්ල ප්‍රතිව්‍යුහගත කර අවසන් කළා. මෙම කාලය අතරවාරයේදී කල් පිරුණේ ඩොලර් මිලියන 149ක එක් බැඳුම්කරයක් පමණයි. එම බැඳුම්කරය කල් පිරුණේද 2023 අගෝස්තු 7 දිනයි. ඒ වෙද්දී ඝානාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සෑහෙන දුරක් ගිහින්. 

ඒ වගේම, ඝානාවේ විදේශ සංචිත කිසිදු විටෙක ඩොලර් මිලියන 149ක් ගෙවා ගත නොහැකි මට්ටමකට පහත වැටුණේ නැහැ. ඝානා රජයට එම මුදල පහසුවෙන්ම නියමිත දිනයේදී ගෙවිය හැකිව තිබුණා. ණය පැහැර හැරීම නිසා ප්‍රධාන වශයෙන්ම සිදු වුණේ අදාළ කාලය තුළ ගෙවිය යුතු වූ කූපන් පොලී මුදල් ගෙවීම නැවතීමයි. මෙම මුදල වසරකට ඩොලර් මිලියන 1,038ක් පමණ වූ මුදලක්. 

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඝානා රජය විසින් ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත්තේනම් ණයහිමියන්ට ලැබෙන්නේ හුවමාරු කරගන්නා බැඳුම්කර වල මුහුණත අගයෙන් 63%කට සමාන මුහුණත අගයක් ඇති බැඳුම්කර ප්‍රමාණයක්. ඒ කියන්නේ 37%ක අඩුවීමක්. එහෙත්, දෙවන විකල්පය (PAR option) තෝරා ගත්තේනම් එවැනි මුහුණත අගය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. 

සියලුම ණයහිමියන්ට මේ විකල්ප දෙකම විවෘතව තිබුණා. පළමු විකල්පය (DISCO option) තෝරා ගත් සියලුම ණයහිමියන්ට එම විකල්පය ලැබුනා. පළමු විකල්පය (DISCO option) තෝරා නොගත් ණයහිමියන්ට දෙවන විකල්පය (PAR option) හිමි වුනා. යම් හෙයකින් අවම වශයෙන් මුහුණත අගයෙන් 87.8%ක ප්‍රමාණයක් සඳහා පළමු විකල්පය තෝරා නොගැනුනේනම්, එම විකල්පය තෝරාගත් යම් පිරිසකට දෙවන විකල්පය භාර ගන්නට සිදු වෙනවා. එහෙත්, එවැන්නක් සිදු වුනේ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයැදුම්පත් කැඳවීමෙන් පසුව, ණයහිමියන්ගෙන් 91.0%ක්ම ඉල්ලා සිටියේ පළමු විකල්පයයි. දෙවන විකල්පය ඉල්ලා සිටියේ 7.6%ක් පමණයි. ඉතිරි 1.4% ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුමැතිය දුන්නේ නැහැ. 

මේ අනුව පෙනී යන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් භාරගන්නා විකල්පයට එවැනි කප්පාදුවක් නොමැති විකල්පයට වඩා ඉල්ලුමක් පැවතුණු බවයි. මෙම ලිපියෙන් අවධාරණය කරන්නට අදහස් කරන කරුණ වන්නේද මෙයයි.

ණයහිමියෙකුට විකල්ප දෙකක් ලබා දුන් විට ඔවුන් විසින් තෝරා ගන්නේ එම විකල්ප දෙක අතරින් තමන්ට වඩා වාසිදායක විකල්පයයි. මේ අවස්ථාවේදී වැඩි පිරිසක් විසින් වඩා වාසිදායක විකල්පය ලෙස සලකා තිබෙන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත විකල්පයයි. ඒ ඇයි? 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි මෙම විකල්ප දෙක පිළිබඳව වැඩි විස්තර කරා යමු.

මුහුණත අගය කප්පාදුවක් නැති දෙවන විකල්පය (PAR option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර දෙකක් ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයෙන් ඩොලර් 96ක මුහුණත අගයක්.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්.

නාමික අගය ප්‍රතිපූරණය කරන බැඳුම්කරයේ මුහුණත අගය 2036දී වාරික දෙකක් සහ 2037දී එක් වාරිකයක් ලෙස සමාන වාරික තුනකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර වසරකට 1.5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2024දී ලැබෙන්නේ එක් කූපන් ගෙවීමක් පමණයි (0.75%). ඉන් පසුව, කල් පිරෙන තුරු, වසරකට ගෙවීම් දෙක බැගින් ලැබෙනවා. 

මුහුණත අගය 37%කින් අඩුවන පළමු විකල්පය (DISCO option):

මෙහිදී ඉහත සඳහන් (වගුව 1) බැඳුම්කර 15න් ඕනෑම එකක ඩොලර් 100ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට බැඳුම්කර තුනක්  ලැබෙනවා.

- ක්ෂණික මුදල් බැඳුම්කරයෙන් ඩොලර් 4ක මුහුණත අගයක් 

- කෙටිකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 24.2ක මුහුණත අගයක්.

- දිගුකාලීන බැඳුම්කරයෙන් ඩොලර් 34.8ක මුහුණත අගයක්.

මෙම අගයන්හි එකතුව ඩොලර් 63ක්. මුහුණත අගය 37%කින් අඩු වීම යන්නෙන් අදහස් වන්නේ මෙයයි.

ක්ෂණික මුදල් බැඳුම්කරය සඳහා කූපන් පොලී ගෙවීමක් සිදු වන්නේ නැහැ. එහි මුහුණත අගය 2024-2026 කාලය ඇතුළත සමාන වාරික පහකින් ආපසු ගෙවනවා. 2024දී එක් වාරිකයක් සහ 2025 හා 2026 වසර වලදී වාරික දෙක බැගින්. (එනම් මෙය දෙවන විකල්පයේදී ලැබෙන ක්ෂණික මුදල් බැඳුම්කරයමයි.)

කෙටිකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2026-2029 කාලයේදී වසරකට වාරික දෙක බැගින් සමාන වාරික අටකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

දිගුකාලීන බැඳුම්කරයේ මුහුණත අගය 2030-2034 කාලයේදී මුහුණත අගයෙන් 7.8%කට සමාන වාරික දහයකින් (වසරකට දෙක බැගින්) සහ ඉන් පසුව 2035දී මුහුණත අගයෙන් 11%කට සමාන වාරික දෙකකින් ආපසු ගෙවනවා. එම කාලය අතරතුර 2028 වර්ෂය තෙක් වසරකට 5%ක කූපන් පොලී මුදලක් වසරකට කොටස් දෙකකින් ලැබෙනවා. 2029 වසරේ සිට එසේ වසරකට කොටස් දෙකකින් ලැබෙන කූපන් මුදල වසරකට 6% දක්වා ඉහළ යනවා.

ඔය විස්තර කළේ ඇත්තටම සිදු වූ දෙයයි. ලංකාවේ සිදු වූ දෙයට සාපේක්ෂව බෙහෙවින්ම සරල වුවත්, මෙය තේරුම් ගන්නටත් යම් ආයාසයක් දරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී සිදු වූ දෙයෙහි බලපෑම මම පසුව වඩා සරලව ඉදිරිපත් කරන්නම්. 

අපට තේරුම් ගන්නට තිබෙන පළමු මූලික ගැටලුව වන්නේ 37%ක මුහුණත අගය කප්පාදුවක් සහිත පළමු විකල්පය එවැනි කප්පාදුවක් නොමැති දෙවන විකල්පයට වඩා ආකර්ශනීය වූයේ මන්ද යන්නයි. එතරම් තාක්ෂනික නොවන සරල පිළිතුරක් ලෙස අනුමානයෙන් කිව හැක්කේ මීට හේතුව පළමු විකල්පය සඳහා ලැබෙන කූපන් පොලිය 5% හෝ 6% වෙද්දී, දෙවන විකල්පයේ කූපන් පොලිය 1.5%ක් පමණක් වීම විය හැකි බවයි. 

එහෙත්, මතු පෙන්වන පරිදි, මෙම කූපන් පොලී වෙනස සැලකුවද, දෙවන විකල්පයේදී අවසාන වශයෙන් අතට ලැබෙන මුදල පළමු විකල්පයේදී අතට ලැබෙන්නේ නැහැ. එබැවින්, මේ අනුමාන පිළිතුර නිවැරදි පිළිතුරක් සේ සැලකිය නොහැකියි. මේ වෙනසට හේතුව මුදලේ කාල වටිනාකම් වෙනසයි. එනම් කලින් අතට ලැබෙන මුදලක වටිනාකම පසුව ලැබෙන මුදලක වටිනාකමට වඩා වැඩි වීමයි. 

මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා, ඩොලර් 1000ක මුහුණත අගයක් හුවමාරු කරගන්නා ණයහිමියෙකුට එක් එක් විකල්පය යටතේ මුදල් ආපසු ලැබෙන ආකාරය විමසා බලමු. මෙහිදී මුහුණත අගය ආපසු ගෙවීම් හෝ කූපන් පොලී ගෙවීම් ලෙස ලැබෙන සියලුම මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගෙන තිබෙනවා. 

මේ සමඟ පළ කරන දෙවන වගුවේ දෙවන හා තුන්වන තීරු වල පෙන්වා ඇති පරිදි, දෙවන විකල්පය යටතේ ඩොලර් 1000ක මුහුණත අගයක් වෙනුවෙන් ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන අතර පළමු විකල්පය යටතේ එසේ ආපසු ලැබෙන්නේ ඩොලර් 846.21ක මුදලක් පමණයි. එසේනම්, පළමු විකල්පය වඩා ආකර්ශනීය වූයේ ඇයි?

ඝානාව විසින් අලුතෙන් නිකුත් කර ඇති, ඉහත විස්තර කර තිබෙන, බැඳුම්කර සඳහා ෆිච් රේටිං ආයතනය විසින් ලබා දී තිබෙන්නේ CCC+ අවදානම් ශ්‍රේණියයි. එම ශ්‍රේණිය විස්තර කෙරෙන්නේ මෙලෙසයි.

"A CCC+ credit rating indicates a slightly lower risk of default than a CCC rating, but still carries a high degree of credit risk."

"ඝානාව විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම CCC ශ්‍රේණියට වඩා යාන්තමින් අඩු වුවත්, එම අවදානම තව දුරටත් ඉහළ මට්ටමක පවතී."

ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබෙන්නේද මෙම CCC+ ශ්‍රේණියයි. මෙය "ආයෝජනය සඳහා අයෝග්‍ය" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතරද පහළම ශ්‍රේණියක්. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව, "ආයෝජනය සඳහා යෝග්‍ය (Investment grade)" බැඳුම්කර අවදානම් කාණ්ඩ අතර පහළම ශ්‍රේණිය BBB- ශ්‍රේණියයි. ඊට පහළ ශ්‍රේණිගත කිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීම හැඳින්විය හැක්කේ සමපේක්ෂකයින්ගේ සූදුවක් ලෙසයි. CCC+ මට්ටම සමපේක්ෂකයෙකු වුවද කර ගහන්නට පැකිළෙන අවදානම් මට්ටමක්. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉහළ යන තරමට ගෙවන්නට සිදු වන (සහ ණයහිමියන් විසින් අපේක්ෂා කරන) පොලී අනුපාතිකයද ඉහළ යනවා. CCC+ ශ්‍රේණිය හා අදාළව මෙම පොලී අනුපාතිකය 11%ක් පමණ වෙනවා. මේ අනුව, ණය පැහැර හැරීමේ අවදානම සලකා බලමින්, CCC+ ආයෝජනයක් වෙනුවෙන් අනාගතයේදී ලැබීමට නියමිත ප්‍රතිලාභ ආයෝජකයෙකු විසින් සලකා බලන්නේ 11%ක ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජනයකට සාපේක්ෂවයි. 

ඒ අනුව, ආයෝජකයෙකු විසින් කිසියම් දිනක අතට ලැබෙන ඩොලර් 100ක මුදලක් සමාන කරන්නේ එදින සිට වසරකට පසුව ලැබෙන ඩොලර් 111ක මුදලකටයි. මෙයම වෙනස් අයුරකින් කිවහොත්, වසරකට පසුව ලැබෙන ඩොලර් 100ක මුදලක අද වටිනාකම ලෙස සලකන්නේ ඩොලර් 90.09ක මුදලකුයි. මීට හේතුව, ඩොලර් 90.09ක මුදලක් CCC+ අවදානම් කාණ්ඩයේ බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසුව ඩොලර් 100ක මුදලක් ලබා ගත හැකි වීමයි. 

මුදල අතට ලැබෙන්නට ගත වන කාලය වසරකින් වැඩි වන සෑම විටම එහි අද වටිනාකම මෙම අනුපාතයට අඩු වෙනවා. ඒ නිසා, දෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 81.16 දක්වාත්, තෙවසරකට පසුව ලැබෙන ඩොලර් 100ක අද වටිනාකම ඩොලර් 73.12 දක්වාත් පහත වැටෙනවා.

මෙම පදනම මත, අපට ඉහත විස්තර කළ පළමු (DISCO) හා දෙවන (PAR) විකල්ප යටතේ අපේක්ෂා කළ හැකි අනාගත මුදල් ප්‍රවාහ වල අද වටිනාකම ගණනය කළ හැකියි. එම ගණනයන් දෙවන වගුවේ හතරවන සහ පස්වන තීරු වල පෙන්වා තිබෙනවා. 

මේ අනුව පෙනී යන්නේ, අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහ 11% වට්ටම් අනුපාතයට වට්ටම් කළ විට, ඩොලර් 1000ක මුහුණත අගයක් සමඟ හුවමාරුවට ලැබෙන බැඳුම්කර සඳහා ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්මන් වටිනාකම පළමු (DISCO) විකල්පයේදී ඩොලර් 492.58ක් සහ දෙවන (PAR) විකල්පයේදී ඩොලර් 400.68ක් ලෙස පහත වැටෙන බවයි. එබැවින්, 11% අනුපාතයෙන් වට්ටම් කළ පසු, වඩා ආකර්ශනීය වන්නේ පළමු විකල්පයයි.

පළමු විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට ලැබෙන්නේ ඩොලර් 1000ක් සඳහා ඩොලර් 846.21ක මුදලක් වුවත් 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 492.58ක් දක්වා පහත වැටෙනවා. දෙවන විකල්පයේදී වට්ටම් නොකර ගණන් බැලූ විට, මීට වඩා වැඩි, ඩොලර් 1,177.60ක මුදලක් ආපසු ලැබෙන නමුත්, 11% අනුපාතයට වට්ටම් කළ විට එහි වත්මන් වටිනාකම ඩොලර් 400.68ක් පමණයි. ඒ අනුව, 11% වට්ටම් අනුපාතය යොදා ගෙන වට්ටම් කරන ණයහිමියෙකුගේ පැහැදිලි තේරීම වන්නේ පළමු විකල්පයයි.

එසේනම්, අඩු පිරිසක් වුවත්, ණයහිමියන්ගේන් 7.6%ක් දෙවන විකල්පයට කැමති වුනේ ඇයි?

දැන් CCC+ මට්ටම දක්වා පහත වැටී සිටියත්, ඝානාව මෙන්ම ලංකාවද කලකට පෙර සිටියේ B+ අවදානම් ශ්‍රේණියේයි. එම කාණ්ඩයේ ශ්‍රේණිගත වී ඇති බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ 7% ආසන්න මට්ටමකයි. ඒ වගේම, දැන් පොලී අනුපාතික තිබෙන්නේ දිගුකාලීන සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමකයි. මේ සියල්ල සලකා බලා, 11% වට්ටම් අනුපාතය වෙනුවට 6.5% වැනි වට්ටම් අනුපාතයක් යොදා ගෙන ඉහත වට්ටම් කිරීම සිදු කළහොත් තත්ත්වය කුමක්ද?

දෙවන වගුවේ හයවන සහ හත්වන තීරු වල පෙන්වා තිබෙන්නේ එම තත්ත්වයයි. එහිදී විකල්ප දෙකේ මුදල් ප්‍රවාහ වල වත්මන් අගය ආසන්න ලෙස සමාන වෙනවා. ඒ නිසා, 6.5% වට්ටම් අනුපාතය යොදාගෙන වත්මන් අගය ගණනය කරන ණයහිමියෙකුට විකල්ප දෙක අතර වැඩි වෙනසක් නැහැ. 

කිසියම් ආයෝජනයක අවදානම ගණනය කිරීමේදී ආයෝජකයෙකු විසින් ශ්‍රේණිගත කිරීමේ ආයතන වල නිර්දේශ සලකා බලන නමුත් මුළුමනින්ම ඒවා මත පදනම්ව තීරණ ගන්නේ නැහැ. ඒ නිසා, ඇතැම් ණයහිමියන් විසින් ඝානාව විසින් නිකුත් කළ අලුත් බැඳුම්කර සඳහා මුදල් නොගෙවා පැහැර හරිනු ලැබීමේ අවදානම මේ මොහොතේ ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පෙන්වන තරම්ම වැඩි නැති සේ සලකන්න පුළුවන්. ඒ අනුව, 6.5% නොක්මවන වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන ණයහිමියෙකු විසින් තෝරා ගැනීමට ඉඩ තිබෙන්නේ දෙවන විකල්පයයි. 

මෙහිදී අප විසින් සලකා බලනු ලැබුවේ ණයහිමියෙකු විසින් ඝානා රජය විසින් ලබා දුන් විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ තිබුණු ආකාරයයි. මෙය ඔවුන්ගේ පැත්තෙන් අඩු අවාසිය තෝරා ගැනීමක්. විකල්ප දෙකෙන් කවර එකක් තෝරා ගත්තද, එහි වාසිය තිබෙන්නේ ඝානා රජයටයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ඝානා රජයට ලැබුණු වාසිය කොපමණද? මෙය ගණනය කිරීම සඳහා අප‍ට ණය පැහැර හැරීමේ තීරණය ගත් මොහොත දක්වා ආපසු යන්නට සිදු වෙනවා. එසේ ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පසු අපේක්ෂිත මුදල් ප්‍රවාහ කිසියම් වට්ටම් අනුපාතයක් යොදාගෙන වට්ටම් කරන්නට සිදු වෙනවා. 

එවැනි විශ්ලේෂණයක් සිදු නොකර, 37%කින් මුහුණත අගය අඩු කිරීම දෙස පමණක් බලා අපට මේ පිළිබඳ නිගමන වලට පැමිණිය නොහැකියි. ඉහත උදාහරණ දෙස බැලුවද, 6.5% ඉක්මවන වට්ටම් අනුපාතිකයකදී ඝානා රජයට වඩා වාසිදායක වන්නේ මුහුණත අගය අඩු නොකර මුළුමනින්ම ආපසු ගෙවන දෙවන විකල්පයයි. ණයහිමියන්ගෙන් 91%ක්ම එම පළමු විකල්පය තෝරා නොගෙන මුහුණත අගය 37%කින්  කප්පාදු කෙරෙන පළමු විකල්පය තෝරාගත්තේ ඒ නිසායි.

ඝානා රජයට ලැබුණු වාසිය මෙන්ම ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජයට ලැබුණු වාසිය නිවැරදිව ගණන් බැලිය හැක්කේද මීට සමාන්තරව මේ ආකාරයේ ගණනය කිරීමක් කිරීමෙන් පසුව පමණයි. ලංකාව විසින් අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල සංකීර්ණ ස්වභාවය නිසා මෙවැන්නක් කිරීම වඩා අසීරුයි. 

Sunday, December 22, 2024

ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?


ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි.

මේ විවේචන වලට යම් පදනමක් තිබෙනවා. ඊට හේතුව ඝානා ආර්ථික අර්බුදය සහ ලංකාවේ ආර්ථික අර්බුදය අතර සැලකිය යුතු සමානකම් තිබෙන නිසා සාධාරණ සංසන්දනයක් කළ හැකි වීම සහ ඝානාවේ සහ ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තරමක් වෙනස් ආකාර වලින් ගනු ලැබීමයි. 

ආර්ථිකයන්හි ප්‍රමාණ 

2021 වසරේදී ඝානාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 79.5ක්. ලංකාවේ එය ඩොලර් බිලියන 88.6ක්. ඝානාවේ ජනගහණය මිලියන 32ක් වෙද්දී ලංකාවේ ජනගහණය මිලියන 22ක් පමණයි. ඒ නිසා, ඝානාවේ 2021 ඒක පුද්ගල ආදායම ඩොලර් 2,679ක් වෙද්දී ලංකාවේ එම අගය ඩොලර් 3,999ක්ව පැවතුණා.

අර්බුදයේ සම්භවය - අයවැය හිඟය 

රටවල් දෙකේම ආර්ථික අර්බුද වලට ප්‍රධානම හේතුවක් වුනේ රජය ආදායම ඉක්මවා වියදම් කිරීම සහ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමයි. 2019දී ඝානාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 58.3%ක් පමණයි. 2022 වන විට මෙම අගය 92.4% දක්වා ඉහළ ගියා. එය 2019-2022 අතර 34.1%ක වැඩි වීමක්. එම කාලය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයද දළ දේශීය නිෂ්පාදිතයෙන් 81.9% සිට 114.3% දක්වා 32.4%කින් ඉහළ ගියා.

ණය ශ්‍රේණිගත කිරීම් 

රාජ්‍ය ණය වේගයෙන් ඉහළ යාම හමුවේ 2022 පෙබරවාරි මාසයේදී මූඩිස් ආයතනය ඝානාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත දැමුවා. 2022 අගෝස්තු මාසයේදී S&P ආයතනයත් එයම කළා. මූඩිස් ආයතනය විසින් ලංකාව C කාණ්ඩයට දැමුවේ 2020 සැප්තැම්බර් මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී S&P ආයතනයත් එයම කළා. ඒ කියන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම හඳුනා ගන්නේ අවුරුදු එකහමාරකට දෙකකට කලින්. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටෙද්දී ඝානාවට වගේම ලංකාවටත් අලුතෙන් විදේශ ණය ගන්න අමාරු වෙනවා. අඩුව පිරවෙන්නේ අච්චු ගහන සල්ලි වලින්. 

විදේශ සංචිත 

අච්චු ගහන සල්ලි වල උදවුවෙන් අයවැය හිඟය පියවා ගත්තත්, විදේශ අංශය තුලනය කරගන්න වෙන්නේ රටේ විදේශ සංචිත විකුණලා. 2021 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 11.4ක්ව පැවති ඝානාවේ විදේශ සංචිත 2023 මාර්තු වෙද්දී ඩොලර් බිලියන 5.1 දක්වා පහත වැටෙනවා. මාස 19කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්. 2020 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 7.9 මට්ටමේ තිබුණු ලංකාවේ විදේශ සංචිත 2021 නොවැම්බර් වෙද්දී ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටෙනවා. මාස 21කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්. 

උද්ධමනය 

ඝානාවේ උද්ධමනය 2022 දෙසැම්බර් වන විට 54.1% දක්වා ඉහළ යනවා. ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් වන විට 67.4% දක්වා ඉහළ යනවා.

ණය පැහැර හැරීම සහ මූල්‍ය අරමුදලේ පිහිට පැතීම 

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 මැයි මාසයේදීත් ඝානාවේ එවකට සිටි මුදල් ඇමතිවරයා කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 ජූලි මාසයේදී මේ අදහස වෙනස් වෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. එම සම්මුතියකට පැමිණ සතියකට පසුව, 2022 දෙසැම්බර් 19 දින, ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කරනවා. 2023 මාර්තු මාසයේදී ඝානාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් අනුමත වෙනවා. මෙය ඝානාව මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 පෙබරවාරි මාසයේදීත් ලංකාවේ බලධාරීන් කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට තීරණය කරනවා. ඉන් පසුව, 2022 අප්‍රේල් මාසයේදී ණය පැහැර හැරීම නිවේදනය කරනවා. ඝානාව මූල්‍ය අරමුදල වෙත යන්න තීරණය කරන විටත් ඩොලර් බිලියන පහක පමණ විදේශ සංචිත ඝානාව සතුව තිබෙනවා. එහෙත් ලංකාව මේ තීරණය ගන්නා විට පරක්කු වැඩි නිසා නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙන තුරු අල්ලාගෙන ඉන්න බැරි වෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් ලැබෙනවා. මෙය ඝානාව මෙන්ම ශ්‍රී ලංකාවද මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

පොලී අනුපාතික 

උද්ධමන උණුසුම දැනෙද්දී ඝානාවේ මහ බැංකුව පොලී අනුපාතික වේගයෙන් වැඩි කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විටත් ඝානාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පැවතුණේ 29% මට්ටමේ. එහෙත්, ලංකාවේ මහ බැංකුව විසින් 2022 අප්‍රේල් මාසය වන තුරුම කළේ පොලී අනුපාතික හිර කරගෙන සිටීමයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 

විදේශ ණය පැහැර හැරීම නිවේදනය කරන්නටත් පෙරම ඝානාව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවේදනය කළා. ඒ වන විට ඝානාව මූල්‍ය අරමුදල සමඟ එක්ක නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණ නැහැ. අදාළ කටයුතු පසුබිමෙහි සිදු වෙමින් පැවතුණා පමණයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වට දෙක 2023 ජනවාරි හා පෙබරවාරි මාස වල  අවසන් වෙද්දී අදාළ ණයහිමියන්ගෙන් 91%ක්ම ස්වේච්ඡාවෙන් මේ සඳහා සහභාගීවී සිටියා. ඉතිරි අයට මුල් ගිවිසුම් ප්‍රකාරව ණය හා පොලිය ආපසු ලැබෙනවා. 

මෙම වට දෙකේදී වෘත්තීය සංගම් වල වීරෝධතා නිසා විශ්‍රාම වැටුප් අරමුදල් සතු වූ බැඳුම්කර ප්‍රතිව්‍යුගත කළේ නැතත්, පසුව 2023 සැප්තැම්බර් මාසයේදී ඒවාද ප්‍රතිව්‍යුහගත කළා. එහිදී අදාළ ණය වලින් 95%ක් ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කෙරුනා. ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වුනේද 2023 සැප්තැම්බර් මාසයේදීයි.

මීට අමතරව, ඝානාවේ දේශීය නීතිය යටතේ නිකුත් කර තිබුණු ඩොලර් බැඳුම්කර වලින් (ලංකාවේ සංවර්ධන බැඳුම්කර වැනි) 92%ක් සහ කොකෝවා සංස්ථාව විසින් නිකුත් කර තිබුණු කොකෝබොන්ඩ්ස් වලින් 97%ක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. ඝානාවේ මහ බැංකුවෙන් රජය වසින් ලබා ගෙන තිබුණු බැඳුම්කර නොවන ණය (ලංකාවේ මහ බැංකුවේ තාවකාලික අත්තිකාරම් වැනි) ණය වලින් 50%ක් කපා හැර ඉතිරි කොටස බැඳුම්කර බවට පරිවර්තනය කෙරුණා. 

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 20.3ක වටිනාකමක් ඇති දේශීය ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. මීට සමාන්තරව ලංකාවේ සිදු වූ දේ අප පෙර ලිපි වල විස්තරාත්මක ලෙස කතා කර තිබෙනවා. ලංකාව ප්‍රතිව්‍යුහගත කළේ දේශීය ණය වලින් සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක්. 

විදේශ ණය 

දෙදහස් විසි තුන වසර අවසානයේදී ඝානාවේ විදේශ ණය සංයුතිය පැවතුනේ මෙලෙසයි.

බහුපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 9.13

ද්විපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 5.33

ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් බිලියන 13.10

අනෙකුත් වාණිජ ණය - ඩොලර් බිලියන 3.86



මෙම ගණන් අපට 2023 අවසානයේදී ලංකාවේ විදේශ ණය සංයුතිය හා සැසඳිය හැකියි.

බහුපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 11.79

ද්විපාර්ශ්වීය ණය - ඩොලර් බිලියන 10.81

ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් බිලියන 12.55

අනෙකුත් වාණිජ ණය - ඩොලර් බිලියන 2.19

මේ අනුව පැහැදිලි වන පරිදි ශ්‍රී ලංකාවේ සහ ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණ ආසන්නව සමානයි. බැඳුම්කර ප්‍රමාණය සැලකුවහොත් ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් හතක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඝානාව ස්වෛරිත්ව බැඳුම්කර 15ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් තුනක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි.

ද්විපාර්ශ්වීය ණය 

ආරම්භයේදී ලංකාව මෙන්ම පැරිස් සංසදය හා චීනය එකම මේසයකට රැගෙන විත් සාකච්ඡා කිරීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටියත්, මෙම වසරේ මැයි මාසයේදී ඝානාව ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණුනා. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවද එවැනි එකඟතාවයකට පැමිණුනා.

ස්වෛරිත්ව බැඳුම්කර ණය 

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඝානාව ණයහිමියන් කණ්ඩායම් දෙකක් සමඟ වෙන වෙනම සකච්ඡා කළා. එක් කණ්ඩායමක් ජාත්‍යන්තර ණයහිමියන්ගෙන් සමන්විත වූ අතර අනෙක් කණ්ඩායම සමන්විත වූයේ අප්‍රිකානු කලාපයේ ණයහිමියන්ගෙන්. මේ අයුරින්ම, ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර ණයහිමියන් සහ දේශීය ණයහිමියන් සමඟ වෙන වෙනම සාකච්ඡා කළා. මෙම සාකච්ඡා වලදී ඇති කරගත් එකඟතාවයන් අනුව, ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය පසුගිය (2024) ඔක්තෝබර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කර අවසන් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය දෙසැම්බර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කෙරුණා. 

ශ්‍රී ලංකාව මෙන්ම ඝානාවද ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. ඝානාවේ ණයහිමියන්ගෙන් 91.0%ක් පළමු විකල්පය තෝරා ගත් අතර, තවත් 7.6%ක් දෙවන විකල්පය තෝරා ගත්තා. මුළු එකතුව 98.6%ක්. ඝානාවේ බැඳුම්කර වලින් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය අවම අනුමැති සීමාව වූ 50% බෙහෙවින්ම ඉක්මවන 98.6%ක අනුමැතියක් ලැබුණා. සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැඳුම්කර තුනක් සඳහාද පිළිවෙලින් 92.4%, 97.4% හා 98.7%ක අනුමැතියක් ලැබුණු බැවින් ඝානාවට ඔවුන්ගේ ස්වෛරිත්ව බැඳුම්කර 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වුනා. 

පළමු විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කළ බැඳුම්කර සඳහා ඝානාවට 37%ක මුහුණත අගය කප්පාදුවක් (හෙයාකට් එකක්) ලැබුණු අතර ණය ආපසු ගෙවීම 2026-2035 අතර කාලය තුළ සිදු වෙනවා. දෙවන විකල්පය යටතේ ණය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. එහෙත් ණය ආපසු ගෙවීම සිදු වනුයේ 2036දී සහ 2037දීයි. 

මීට සාපේක්ෂව, ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කරද්දී 83.6%ක් පළමු විකල්පය යටතේද, 14.3%ක් දෙවන විකල්පය යටතේද ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර අවම අනුමැතිය නොමැති වීම නිසා එක් බැඳුම්කරයකින් 26.87%ක් ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ නැහැ. සමස්තයක් ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 97.86%ක් පමණයි. මෙම අගය ඉතා ඉහළ මට්ටමක ඇතත්, එය ඝානාවේ මෙන් 100%ක් නෙමෙයි. 

ලංකාවේ පළමු විකල්පය යටතේ නිකුත් කරනු ලැබුවේ සාර්ව ආර්ථික නිර්ණායක හා බැඳී බැඳුම්කර වූ බැවින් ලැබෙන මුහුණත අගය කප්පාදුව රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අනුව විචලනය වන්නක්. දළ දේශීය නිෂ්පාදිතය මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු හා සමපාත වුවහොත් ශ්‍රී ලංකාවට 27%ක මුහුණත අගය කප්පාදුවක් ලැබෙන නමුත් මෙය 14.5% දක්වා අඩු විය හැකියි. මේ අනුව, ලංකාව විසින් එළැඹ ඇත්තේ ඝානාවට සාපේක්ෂව අවාසිදායක ගනුදෙනුවකට බව යමෙකුට තර්ක කළ හැකියි. කෙසේ වුවත්, මෙම ණය ආපසු ගෙවිය යුත්තේ 2029-2038 අතර බවත්, එය ඝානාවට ලැබෙන කාලයට වඩා වසර කිහිපයකින් වැඩි කාලයක් බවද අප‍ට සැලකිල්ලට ගන්නට සිදු වෙනවා. 

තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිව්‍යුහගත කරනු ලැබූ ඝානාවේ ඇතැම් බැඳුම්කර කල් පිරීමට නියමිතව තිබුණේ 2049, 2051 හා 2061 වැනි ඉතා දිගු කාලයකට පසුව බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙම බැඳුම්කර හිමි වූ අයට තමන්ගේ ආයෝජනය වඩා කලින් මුදල් කර ගැනීමට ඉඩ ලැබුණා. ලංකාවට සාපේක්ෂව ඝානාවේ එවකට පැවති, දැනට පවතින හා අපේක්ෂිත දිගුකාලීන පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සැලකූ විට මුදල් වසරක් හෝ කලින් ලැබීම විශාල වාසියක්. මෙම කාල වෙනසේ වාසියද සැලකූ විට ඝානාවේ ණයහිමියන්ට මුහුණත අගය කප්පාදුවක අවාසිය ඒ තරම්ම විශාල නැහැ. 

එසේනම්, ලංකාව මෙවැනි "අවාසිදායක" ගනුදෙනුවකට ගියේ ඇයි?

පළමුව කිව යුත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවාසිදායක ගනුදෙනුවක් සේ සැලකිය නොහැකි බවයි. මෙවැනි ගනුදෙනුවකදී අවාසිය සිදු වන්නේ ණයහිමියාටයි. ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය වන්නේ ඝානාවට ලැබුණු මට්ටමේ ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා ගත නොහැකි වූයේ මන්ද යන්නයි. 

වැරැද්ද පසුගිය ආණ්ඩුවේද? 

පසුගිය ආණ්ඩුව පැවති කාලයේදී මෙම ණය ප්‍රතිව්‍යුගහත කිරීම ඇතුළු ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හැකි ඉක්මණින් අවසන් ක‍ර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු වුනා. ජනාධිපතිවරණය ආසන්නව සිදු වූයේ මෙම ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරන ක්‍රියාවක්. 

ආණ්ඩුව වෙනස් වීමට පෙර ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව පැවති අතර ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විශාල ප්‍රමාණයක් අතරින් නවදෙනෙකු සමඟද එවැනිම එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 40%ක ප්‍රමාණයක් අයිතිව තිබුණේ ඔවුන්ටයි. එහෙත් මෙම එකඟතාවය පාර්ශ්ව දෙකක් අතර ඇති කර ගනු ලැබූ ලිහිල් එකඟතාවයක් මිස අවසන් කළ නෛතික ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ලිහිල් එකඟතාවයකින් ඉවත් වීම අසීරු කාර්යයක් නෙමෙයි. සැබෑ නෛතික ගිවිසුමක් ඇති වන්නේ, දැන් සිදුව ඇති පරිදි, ණය හුවමාරුව අවසන් වීමෙන් පසුවයි.

පෙර සඳහන් කර තිබුණු පරිදි, ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් පැහැර හැර තිබුණු අතර ඒවායින් 7ක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඒ අනුව, සමස්තයක් ලෙස මෙම බැඳුම්කර හතේ මුහුණත අගයයන්ගෙන් 50% ඉක්මවන ණය ප්‍රමාණයක හිමිකරුවන් කිසියම් ණය හුවමාරුවකට එකඟ වුවහොත්, එක් එක් බැඳුම්කරය හා අදාළ එම කැමැත්ත කවරක් වුවද, මෙම බැඳුම්කර හතේ මුහුණත අගයෙන් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වෙනවා. ඉතිරි බැඳුම්කර හතර එවැනි සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැවින් එසේ කිරීම සඳහා ඊට වඩා වැඩි පිරිසකගේ (උදාහරණයක් ලෙස 75%කගේ) කැමැත්ත අවශ්‍යව තිබුණා. 

මෙම නෛතික තත්ත්වය හමුවේ සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ එක් බැඳුම්කරයක් සඳහා අවශ්‍ය වූ එම අවම කැමැත්ත වූ 75% නොලැබෙන පරිදි එම බැඳුම්කරයේ මුහුණත අගයෙන් 25% ඉක්මවන කොටසක අයිතිය හිමි ණයහිමියන් ඒකරාශී කර ගැනීමට එක් ණයහිමියෙකු වූ හැමිල්ටන් රිසර්ව් බැංකුව කලින්ම සමත්ව සිටියා. ඝානාවට එවැනි නෛතික අභියෝග වලට මුහුණ දෙන්නට සිදුව තිබුණේ නැහැ. 

ශ්‍රී ලංකාවේ ඉලක්කය වූයේ බැඳුම්කර හුවමාරුවට යාමට පෙර සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් බලාත්මක කිරීම සඳහා පසු කළ යුතු 50% සීමාව කොහොමටත් පසු කෙරෙන බව ශ්‍රී ලංකාව සමඟ පූර්ව ගිවිසුමකට එළැඹ නොමැති ණයහිමියන්ට ප්‍රදර්ශනය කිරීමයි. එවිට, තමන්ගේ කැමැත්ත නොමැතිව වුවද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන බව ඔවුන්ට පෙනී යන නිසා ඔවුන්ද ණය හුවමාරුව සඳහා අයදුම් කිරීමට පෙළඹෙනවා. ඇත්තටම සිදු වුනේද එයයි. 

මෙම ඉලක්කය ඇතිව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ණයහිමියන් නව දෙනෙකු සමඟ එකඟතාවයක් ඇති කර ගත්තා. ඔවුන් සතුව බැඳුම්කර වලින් 40%ක් පමණ තිබුණා. දේශීය ණයහිමියන් සමඟ වෙනත් එකඟතාවයක් ඇති කරගත් අතර ඔවුන් සතුව බැඳුම්කර වලින් 12%ක් පමණ තිබුණා. එහෙත්, බැඳුම්කරහිමියන් විශාල පිරිසක් සමඟ එවැනි පූර්ව එකඟතා ඇති කරගෙන තිබුණේ නැහැ. එමෙන්ම, මෙම ඉතිරි පිරිස සතුවද බැඳුම්කර ණයවලින් අඩකට වඩා අඩු, එහෙත් ඊට ආසන්න ප්‍රමාණයක් තිබුණා. 

හුවමාරුවේදී සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර නිකුත් කළේ ඉහත කී පළමු කණ්ඩායමේ සිටි ණයහිමියන් නව දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔවුන් කැමති කර ගැනීම පිණිසයි. ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට මෙම එකඟතාව ඇති කරගෙන අවසන්ව පැවති අතර ඒ සඳහා චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ එකඟතාවයද, IMF අනුමැතියද ලැබී තිබුණා. ඒ අනුව, කළ යුතුව තිබුණේ නිල වශයෙන් ණය හුවමාරුව සඳහා අයදුම්පත් කැඳවීම සහ ලැබෙන අයැදුම්පත් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි.

යම් හෙයකින් මේ කටයුත්ත මීට පෙර අවසන් කළ හැකිව තිබුණේනම් පසුගිය ආණ්ඩුව විසින් අනිවාර්යයෙන්ම එසේ කරන බව පැහැදිලියි. මීට වඩා දේශපාලනිකව මෙන්ම මූල්‍ය ස්ථායීතාවය හා අදාළවද අවදානම් කටයුත්තක් වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පසුගිය ආණ්ඩුව පැකිළුනේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වේගයෙන් ක්‍රියාමාර්ග ගැනෙමින්න් පැවතුනා. ජනාධිපතිවරණ දිනය එළබුනේ එම ක්‍රියාවලිය අවසන් වන්නට ආසන්නව තිබියදීයි.

තමන්ට "ගෙදර යන්නට සිදුවීම" පැහැදිලිව පෙනීම මත ආණ්ඩුව දේශපාලනිකව සිතා කටයුතු කළේනම් බොහෝ විට කළ හැකිව තිබුණේ මෙම එකඟතාවයට නොපැමිණ තවත් කෙටි කාලයක් කල් මැරීමයි. අවසාන වශයෙන් සිදු වුනේ ආණ්ඩුව ගෙදර යාම වුවත්, ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩුව විසින් මෙම එකඟතාවන් පිළිබඳව නිවේදනය කළේ එහි දේශපාලන වාසියද ලබා ගැනීමේ අරමුණින් බව තේරුම් ගැනීම ඒ තරම්ම අපහසු නැහැ. 

පසුගිය ආණ්ඩුව විසින් කළේ ඔවුන්ට කළ හැකි වූ උපරිමයයි. මීට වඩා වාසිදායක ගනුදෙනුවකට යා හැකි වීනම් ඔවුන්ට එය නොකර ඉන්නට හේතුවක් තිබුණේ නැහැ. එම ආණ්ඩුව දේශපාලන වාසියක් ලබා ගන්නට උත්සාහ කළේනම්, ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර එහි ගෞරවය ලබා ගැනීම මගිනුයි. ආණ්ඩුව ගෙදර ගියේ අදාළ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අවසන් කිරීමෙන් පසුවයි. 

වත්මන් ආණ්ඩුවට වෙනත් විකල්පයක් තිබුණේම නැද්ද?

මේ ආණ්ඩුව බලයට පත් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා කළ යුතුව තිබුණේ අයදුම්පත් කැඳවීම සහ ඒ මත පදනම්ව ණය හුවමාරු කිරීම පමණයි. එය පහසුවෙන්ම මාසයක් ඇතුළත කළ හැකිව තිබුණු දෙයක්. මෙවැන්නක් කළ හැකිව තිබුණේ පසුගිය ආණ්ඩුව විසින් ඇති කරගෙන තිබුණු එකඟතා මත පදනම්වයි.

එහෙත් එයින් අදහස් වන්නේ පසුගිය ආණ්ඩුව විසින් වත්මන් ආණ්ඩුව ගිවිසුමකින් හිර කර තිබුණු බව නෙමෙයි. මේ ආණ්ඩුවට අවශ්‍ය වී නම් පසුගිය ආණ්ඩුව විසින් ඇති කර ගෙන තිබුණු එකඟතාවයෙන් ඉතා පහසුවෙන් බැහැර යා හැකිව තිබුණා. එම ලිහිල් එකඟතාවයට කිසිදු නෛතික පදනමක් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව එසේ නොකළේ, ඉතා නිවැරදි ලෙස, එවැනි ක්‍රියාමාර්ගයක අවදානම අවබෝධ කරගත් නිසායි.

යම් හෙයකින් මේ ආණ්ඩුව අදාළ එකඟතාවයෙන් බැහැර වී වඩා වාසිදායක ගනුදෙනුවක් ඉල්ලා සිටියේනම් සිදු විය හැකිව තිබුණේ සමස්ත ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය දිගින් දිගටම කල් යාම පමණයි. අවසාන වශයෙන් ඇති කරගත් එකඟතාවයට වඩා වාසිදායක ගනුදෙනුවකට යාම බොහෝ විට සිදු නොවිය හැකිව තිබුණු දෙයක්. කෙටියෙන් කිවුවොත්, මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව ගමන් ගත් පාරෙන් බැහැරව වෙනත් පාරක යා හැකිව තිබුණත් එම විකල්ප පාර අතරමගින් අවසන් වන, ගමනාන්තයක් නොමැති පාරක් (dead end). 

ඝානාව ලබා ගත් දේ ලබා ගැනීමේ හැකියාවක් ලංකාවට නොතිබුණේ ඇයි? 

ඝානාවේ ආර්ථිකයේ ප්‍රමාණය හා ස්වරූපය, එහි ආර්ථික අර්බුදයේ සම්භවය සහ දිග හැරුණු ආකාරය, අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඇතුළු බොහෝ දෑ ලංකාවේ අදාළ තත්ත්වයන් සමඟ පහසුවෙන් සැසඳෙන බව ඇත්තක් වුවත්, දෙරට පැවති තත්ත්වයන් අතර ඉතා වැදගත් වෙනස්කම්ද කිහිපයක්ම තිබුණා. එයින් පළමුවැන්න ඒක පුද්ගල ආදායම්හි වෙනසයි.

ආර්ථිකයන්හි ප්‍රමාණ ආසන්නව සමාන වුවද, ලංකාවේ ජනගහණය ඝානාවේ ජනගහණයට වඩා අඩු බැවින් ලංකාවේ ඒක පුද්ගල ආදායම තිබුනේ සාපේක්ෂව ඉහළ මට්ටමකයි. අඩු ආදායම්ලාභී රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඳින බෙදුම් ඉර වැටී තිබුණේ ඝානාවේ සහ ලංකාවේ ඒක පුද්ගල ආදායම් අතරමැදිනුයි. ඒ අනුව, ඝානාව අඩු ආදායම් රටක් සේ හඳුනා ගැනෙද්දී ලංකාව මැදි ආදායම් රටක් ලෙස හඳුනා ගැනුණා.

මේ හේතුව නිසා ලංකාවේ හා ඝානාවේ ණය ගෙවීමේ හැකියාව තීරණය වූයේ එකම පදනමකින් නෙමෙයි. ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ලංකාවට එහි රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% මට්ටම දක්වා අඩු කර ගන්නට සිදු වෙද්දී ඝානාව හා අදාළ එම සීමාව 55% තරම් පහත මට්ටමක පැවතුනා. ලංකාවට යා යුතු වූ 95% ඉලක්කයට යාම සඳහා විශාල ණය කප්පාදුවක් කළ යුතු වූයේ නැහැ. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගැනීම තුළින් පමණක් වුවද එම ඉලක්කය ආසන්නයට යා හැකිව තිබුණා.

එහෙත් ඝානාවට ලැබී තිබුණේ අසීරු ඉලක්කයක්. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගෙන ඉතාම ආක්‍රමණශීලී (aggressive) මට්ටමක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමෙන් පසුවද, ඝානාවට 55% ඉලක්කය කරා යාම විශාල අභියෝගයක්ව තිබුණා. ස්වෛරිත්ව බැඳුම්කර ණය සඳහා විශාල මුහුණත අගය කප්පාදුවක් නොලබා එම ඉලක්කයට යා හැකිව තිබුණේ නැහැ. ඒ අතර, ලංකාවේ 95% ඉලක්කය කරා යාම සඳහා සාපේක්ෂව සුළු ණය සහනයක් ප්‍රමාණවත්ව තිබුණා.

ලංකාවට යෝජනා කළ ආකාරයේ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර පිළිබඳ යෝජනාවක් ඝානාව වෙතද ඉදිරිපත් වුණා. එහෙත්, එම යෝජනාව මගින් ඝානාවේ ණය තිරසාරත්ව ඉලක්කය වෙත යාමට ඉඩ නොසැලසෙන බව මූල්‍ය අරමුදලේ නිගමනය වූ බැවින් ණයහිමියන්ට එම යෝජනාව අකුලා ගන්නට සිදු වුනා. ලංකාව හා අදාළව ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනාව අරමුදල විසින් පිළිගත්තා. 

රාජ්‍ය ආදායම් ප්‍රවණතා වෙනස 

ඝානාවේ රාජ්‍ය ආදායම් කාලයක් තිස්සේ ඉහළ යමින් පැවතුනා. 1990දී ඝානාවේ රාජ්‍ය ආදායම එරට දදේනියෙන් 5.02%ක් පමණක් වූ අතර, ඒ වන විට ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 18.96%ක් (මූලාශ්‍රය: IMF). 2022 වසර වන විට ඝානාව රාජ්‍ය ආදායම දදේනියෙන් 15.84% මට්ටම දක්වා වර්ධනය කරගෙන තිබුණා. එහෙත් ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 8.33% දක්වා පහත වැටී තිබුණා. මෙම පහත වැටීම කාලයක් තිස්සේ ක්‍රමික ලෙස සිදු වෙමින් පැවතියත්, එකවර විශාල කඩා වැටීමකට ලක් වූයේ 2020 බදු කප්පාදුවෙන් පසුවයි. එම බදු කප්පාදුව ලංකාවේ ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් සැපයූවා.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය 2008දී මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටුනා. ශුන්‍ය මට්ටම ආසන්නයටම කියා කිව හැකියි. මෙම තත්ත්වය තුළ චීනයට ඔවුන්ගේ ප්‍රාග්ධනය ඇමරිකාව ඇතුළු බටහිර රටවල රඳවා තැබීම අවාසිදායක කටයුත්තක් වූ බැවින් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි පරිදි ලංකාව හා ඝානාව වැනි රටවල මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන්නට එරට පෙළඹුණා. බටහිර රටවල පෞද්ගලික ආයෝජකයින්ට සහ අරමුදල් වලටද ලංකාව හා ඝානාව වැනි රටවල බැඳුම්කර වඩා ආකර්ශනීය වීම නිසා මෙවැනි රටවල රජයයන්ට විදේශ ණය ලබා ගැනීම පහසු කටයුත්තක් බවට පත් වුණා. ඒ හේතුවෙන් වියදම් ඉහළ ගොස් අයවැය හිඟය පුළුල් වී ණය බර වැඩි වුනා.

ඉහත තත්ත්වය ලංකාවට සහ ඝානාවට පොදු තත්ත්වයක් වුවද, ලංකාවේ සිදු වූ ආකාරයේ රාජ්‍ය ආදායම් අඩු වීමක් ඝානාවේ සිදු වී තිබුණේ නැහැ. මේ හේතුව නිසා, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී ලංකාවට සාපේක්ෂව ගත් කළ, ඝානා රජයට රාජ්‍ය ආදායම් විශාල ලෙස වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබුණත්, ලංකාවේ රජය විසින් එය අනිවාර්යයයෙන් කළ යුතු කාර්යයක්ව පැවතුනා. ලංකාව විසින් හඹා යා යුතු වූයේ දැවැන්ත රාජ්‍ය ආදායම් ඉලක්කයක්.

රාජ්‍ය ආදායම් ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයෙන් විශාල කොටසක් විසඳීමට නියමිතව තිබුණා. එබැවින්, ණය තිරසාරත්වය කරා යන ගමනේදී ස්වෛරිත්ව බැඳුම්කර ණය බර අඩු කර ගැනීමට ඝානාවට තරම් අවශ්‍යතාවයක් ලංකාවට තිබුණේ නැහැ. ඒ නිසා, ණයහිමියන්ගේ පැත්තෙන්, ඝානාවට දුන් මට්ටමේ සහනයක් ලංකාවට ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

ලංකාව ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීනම් කුමක් සිදු විය හැකිව තිබුණේද?

මැතිවරණ වලට පෙර දේශපාලන වේදිකා වල කියූ කතා මෙන්ම දැන් ඇහෙන එවැනිම කතා බැහැර කර ඇත්ත තත්ත්වය විමසා බැලුවහොත්, ලංකාවට ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීම සඳහා කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව, පසුගිය ආණ්ඩුව ගිවිසුමක් මගින් එසේ කිරීමේ හැකියාව සීමා කර තිබීම නෙමෙයි. කිසිසේත්ම එවැනි බාධකයක් තිබුණේ නැහැ. 

යම් හෙයකින් ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාව පසුගිය ආණ්ඩුව විසින්ම ඒකපාර්ශ්වීය ලෙස බිඳ හෙලුවද උපරිම වශයෙන් සිදු වන්නේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම පමණයි. ණයහිමියන්ගේ පැත්තෙන් බැලුවද, ණය හුවමාරුව සඳහා නිල වශයෙන් අයැදුම්පත් කැඳවීමෙන් අනතුරුව අදාළ එකඟතාව පරිදි එම ණයහිමියන්ගෙන් අයෙකු අයදුම් නොකළේනම්, ශ්‍රී ලංකාවට ඊට එරෙහිව කිසිවක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහිදී සිදු වන්නේ විශ්වාසය කඩවීමක් පමණයි. ආණ්ඩුව බලයෙන් පහ වී අලුත් ආණ්ඩුවක් විශාල ජනවරමකින් බලයට පත් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව සමඟ ඇති කරගත් එකඟතාව නොසලකා හැර නැවත මුල සිට සාකච්ඡා කළේනම්, අඩු වශයෙන් එවැනි විශ්වාසය කඩවීමක් හෝ සිදු වන්නේ නැහැ. 

ඇත්තටම තිබුණු ප්‍රශ්නය අදාළ එකඟතාවයෙන් බැහැර වීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් නොතිබීමයි. කලින් පෙන්වා දුන් පරිදි, ලබාගත් ණය පොරොන්දු වූ පරිදි ආපසු නොගෙවද්දී එහි අවාසිය හිමිවන්නේ ණයහිමියන්ටයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට ඔවුන්ගෙන් ණය සහනයක් ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කිසිදු හැකියාවක් නොමැති බව කරුණු සහගතව පෙන්වා දීමෙන් පසුව පමණයි. මේ සඳහා ශ්‍රී ලංකාවට මෙවලමක් ලෙස උපකාරී කර ගත හැකිව තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනයයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනය අනුව, 2025-2027 කාලයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 99.0 ඉක්මවුවහොත්, ණය තිරසාරත්වය පවත්වා ගැනීම සඳහා 14.5%ක පමණ මුහුණත අගය කප්පාදුවක් ප්‍රමාණවත්. ඒ නිසා, ණයහිමියන් කණ්ඩායමක් විසින් යෝජනා කළ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු විකල්පය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවට සාධාරණ හා තර්කානුකූල හැකියාවක් තිබුණේ නැහැ. 

ඝානාව හා අදාළව පැවතියේ වෙනත් තත්ත්වයක්. ඝානාව හා අදාළවද මෙවැනි විකල්පයක් ඉදිරිපත් කෙරුණත්, පළමුව ණයහිමියන්ගේම එක් කණ්ඩායමක් එම විකල්පයට එකඟ වූයේ නැහැ. දෙවනුව, එම විකල්පයෙන් ඝානාවේ ණය තිරසාරත්වය ඇති නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දුන්නා. ඒ නිසා ඝානාවේ ණයහිමියන්ට එම යෝජනාවෙන් බැහැර වන්නට සිදු වුනා.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් මැතිවරණයට පෙර පැවසුවේ ඔවුන් බලයට පත් වීමෙන් පසුව අරමුදල සමඟ සාකච්ඡා කර ණය තිරසාරත්ව විශ්ලේෂණය (DSA එක) වෙනස් කරගන්නා බවයි. මා හිතන පරිදි, ඔවුන් මේ ප්‍රකාශය කළේ බටහිර රටක එක්තරා ආර්ථික විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්වයි. ඔහු යෝජනා කර සිටියේ අරමුදල විසින් ඝානාවේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සඳහා යොදා ගත් අඩු ආදායම් රටවල් සඳහා වූ ආකෘතියම ලංකාව සඳහාද යොදා ගත යුතුව තිබුණු බවයි. 

යම් හෙයකින් ලංකාවේ ණය තිරසාරත්වය සඳහා රාජ්‍ය ණය ප්‍රමාණය දදේනියෙන් 55% මට්ටම දක්වා අඩු කර ගත යුතු බව අරමුදලේ නිගමනය වීයැයි සිතමු. එය ඝානාව සඳහා ලබා දී තිබුණු ඉලක්කයයි. එය එසේ වීනම්, ඒ මත පදනම්ව ශ්‍රී ලංකා රජයට බැඳුම්කර ණයහිමියන් ඇතුළු අනෙකුත් විදෙස් ණයහිමියන්ගෙන් වඩා විශාල ණය කප්පාදුවක් ඉල්ලා සිටිය හැකිව තිබුණා. එමෙන්ම, ණයහිමියන් විසින් එවැනි ණයකප්පාදුවක් කිරීමේ ඉඩක්ද තිබුණා. කෙසේ වුවත්, එවැන්නක් සිදු වූයේනම්, දේශීය ණයද විශාල ලෙස කපා හැරීම, බදු තවත් වැඩි කිරීම, රාජ්‍ය වියදම් තවත් අඩු කිරීම, රාජ්‍ය දේපොළ විශාල ප්‍රමාණයක් විකිණීම වැනි වෙනත් ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටද ශ්‍රී ලංකා රජයට සිදු වෙනවා. එසේ නොකර 55% වැනි සීමාවකට යා නොහැකියි. 

මෙහිදී අවධාරණය කළ යුත්තේ ඉහත සඳහන් කළ තත්ත්වය තනිකරම මනඃකල්පිත තත්ත්වයක් පමණක් බවයි. මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම් රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරන සම්මත ක්‍රමයක් තිබෙනවා. එය ලංකාව හෝ ඝානාව ඉලක්ක කර හැදූ සම්මතයක් නෙමෙයි. ඒ නිසා, මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා සාකච්ඡා කර අඩු ආදායම් රටවල් සඳහා වූ ණය තිරසාරත්ව විශේල්ෂණ ක්‍රමවේදය ලංකාව වෙනුවෙන් යොදා ගැනීමට ඔවුන්ව පොළඹවා ගැනීම කිසිසේත්ම සිදුවිය නොහැකිව තිබුණු මනෝරාජික අදහසක් පමණයි. එවැන්නක් ගැන නිකමට මෙන් විමසා බැලීමේ හැකියාවක්නම් තිබුණා. ඇතැම් විට ආණ්ඩුවේ නියෝජිතයින් විසින් එවැන්නක් කළා විය හැකියි.

අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය එලෙසම තිබියදී, කිසිදු සාධාරණ හේතුවක් නැතිව එකඟතාවෙන් ඉවත් වීම සමාන කළ හැක්කේ අරමුදල සමඟ වූ එකඟතා වලින්ද ඉවත් වීමක් ලෙසයි. යම් හෙයකින් එවැන්නක් වීනම්, මුලින්ම විය හැකිව තිබුණු දෙයක් වූයේ වාර ගණනාවක් විභාගයට නොගෙන කල් දමමින් තිබුණු හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයටගනු ලැබීමයි. එහිදී ලංකාවට අවාසිදායක තීන්දුවක් ලැබුනේනම් (ඉදිරියේදී සිදු වීමට ඉඩ ඇති පරිදි) තවත් බොහෝ ණයහිමියන් විසින්ද ඔවුන් ගත් මග ගනු නොඅනුමානයි. 

එසේ වී නම්, ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ ඇති කරගෙන තිබුණු එකඟතාවද බිඳ වැටෙන අතර, අරමුදලේ ඉතිරි වාරික ලැබීම අවම වශයෙන් තාවකාලික ලෙස හෝ නවතිනවා. එවැනි තත්ත්වයක් තුළ නැවතත් 2022දී මෙන් සමපේක්ෂකයින් ක්‍රියාත්මක වී පළමුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමත්, ඒ හේතුවෙන් ආර්ථිකය නැවත කඩා වැටීමත් විශාල විභවයක් තිබුණු අවදානමක්. 

මේ ආණ්ඩුව ඒ මග නොගියේ එය කිසිම තේරුමක් නැති මෝඩ අවදානමක් බව මුල සිටම දැන නොසිටියේනම් අඩු වශයෙන් පසුව හෝ තේරුම් ගත් නිසා මිස පසුගිය ආණ්ඩුව විසින් අවසාන මොහොතේ ඔවුන්ව හිරකර තිබුණු නිසා නෙමෙයි. කිසියම් හෙයකින් ප්‍රධාන විපක්ෂය බලයට පත් වීනම්, ඔවුන්ටද වෙනත් මාර්ගයක යාමේ හැකියාවක් තිබුණේ නැහැ. එවැනි කතා සියල්ලක්ම ගැලරිය පිනවන කතා පමණයි. 

Friday, December 20, 2024

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි!


ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත් වෙනවා. ඉදිරි කාලයේදී ඉතිරි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක විසින්ද මෙවැනිම නිවේදන නිකුත් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

මෙම තීරණය ගැනීමේදී මෑත කාලයේදී වාර්තා වී ඇති ශ්‍රී ලංකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය, අඩු වී ඇති උද්ධමනය හා බැංකු වල ස්ථායීතාවය වැඩි දියුණු වීම යන කරුණු වලට අමතරව දේශපාලන ස්ථාවරත්වය සහ IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා වත්මන් ආණ්ඩුවේ කැපවීමද සැලකිල්ලට ගෙන තිබෙනවා. 

රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම 2021දී පැවති 67% මට්ටමේ සිට 2028 වන විට 42% මට්ටම දක්වා අඩු වනු ඇතැයි  ෆිච් රේටිං ආයතනය විසින් පුරෝකථනය කර ඇතත්, මෙම නිර්ණායකය හා අදාළ CCC කාණ්ඩයේ රටවල මධ්‍යස්ථ අගය 16%ක් බව එම ආයතනය විසින් පෙන්වා දෙනවා. එබැවින්, වඩා හොඳ ණය ශ්‍රේණියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හා පොලී වියදම තව දුරටත් අඩු කර ගැනීම ගැන බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා. 

නව වසරක් එළැඹීමට ආසන්නව තිබියදී ශ්‍රී ලංකා රජයට ලෝකය හමුවේ බංකොලොත් බවෙන් මිදී පෙනී සිටීමට හැකිවීම ශ්‍රී ලාංකිකයින්ට බෙහෙවින්ම සතුටු විය හැකි පුවතක් බව නොඅනුමානයි. එහි ගෞරවය පසුගිය වසර කිහිපය තුළ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වූ සියල්ලන්ට හිමි වෙනවා. 

Thursday, December 19, 2024

රාජ්‍ය ණය කළමනාකරණයට අලුත් ආයතනයක්!

 


දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙය මහ බැංකුවක කාර්ය භාරයේ කොටසක් නොවන්නාක් මෙන්ම, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ බැඳියා පිළිගැටුමක් ඇති කරවන්නක්ද වුනා. 

මේ ගැන කතාබහ කෙරුණේ අද ඊයේ සිට නොවුවත්, දශක ගණනාවක් තිස්සේම මේ ආයතනික ආකෘතියේ වෙනසක් සිදු වුනේ නැහැ. 2015 කුප්‍රකට බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව මෙම බැඳියා පිළිගැටුම පිළිබඳ අවධානය ඉහළ ගිය අතර, පසුව මෙම කාර්ය භාරය මහ බැංකුවෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොටසක් වුනා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනික සහයෝගයද අරමුදලෙන් ලැබුණා.

රජය වෙනුවෙන් දේශීය ණය නිකුත් කිරීම සහ කළමනාකරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වුනත්, විදේශ ණය කළමනාකරණය සිදු වුනේ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව යටතේයි. ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේදී එම දෙපාර්තමේන්තුව මෙන්ම මහ බැංකුවද එක්ව කටයුතු කළා. මේ සියලු කටයුතු වලට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවද සම්බන්ධ වුනා.

මේ වන විට මෙම සියලු කාර්යයයන් සිදු කිරීම සඳහා වෙනම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කොට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ජනවාරි මාසයේ සිට මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ අදාළ දෙපාර්තමේන්තු විසින් මෙතෙක් සිදු කළ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු සියල්ල පවරා ගැනීමට නියමිතයි. 

මහ බැංකුව විසින් කරන තවත් "අදාළ නොවන" කාර්යයක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමයි. 

බදු සංශෝධන කා වෙනුවෙන්ද?



අලුත් ආණ්ඩුවේ යෝජිත බදු සංශෝධන වලින් වාසි සැලසෙන්නේ කාටද?

1. පුද්ගල ආදායම් බදු සංශෝධනය: 

දැනට ආදායම් බදු ගෙවන සියලුම පුද්ගලයින්ට මෙම සංශෝධනය මගින් වාසියක් සැලසෙනවා. පහත තිබෙන්නේ මාසික ආදායම අනුව ලැබෙන බදු සහනයේ ප්‍රමාණයයි.

රුපියල් 100,000ට අඩු - කිසිවක් නැත.

රුපියල් 110,000 - රුපියල් 600ක සහනයක් 

රුපියල් 120,000 - රුපියල් 1,200ක සහනයක් 

රුපියල් 130,000 - රුපියල් 1,800ක සහනයක් 

රුපියල් 140,000 - රුපියල් 2,400ක සහනයක් 

රුපියල් 150,000 - රුපියල් 3,500ක සහනයක් 

රුපියල් 175,000 - රුපියල් 5,000ක සහනයක් 

රුපියල් 200,000 - රුපියල් 7,500ක සහනයක් 

රුපියල් 225,000 - රුපියල් 10,500ක සහනයක් 

රුපියල් 250,000 - රුපියල් 13,000ක සහනයක් 

රුපියල් 300,000 - රුපියල් 16,500ක සහනයක් 

රුපියල් 350,000 - රුපියල් 20,000ක සහනයක් 

රුපියල් 368,333ට වැඩි - රුපියල් 20,500ක සහනයක් 

මේ අනුව පෙනී යන පරිදි මාසික ආදායම වැඩි වන තරමට ලැබෙන බදු සහනයේ ප්‍රමාණයද වැඩි වී රුපියල් 20,500ක උපරිමයක් දක්වා ගොස් නවතිනවා. එනම් ඉහළ ආදායම්ලාභීන්ට වසරකට රුපියල් 246,000ක අමතර මුදලක් අතට එනවා. 

රුපියල් 368,333ට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ටම මෙම රුපියල් 20,500ක මාසික බදු සහනය ලැබෙන අතර ඊට වඩා අඩු ආදායම් මට්ටම් වල සිටින අයට ඊට වඩා අඩු කිසියම් හෝ සහනයක් ලැබෙනවා. දැනට පුද්ගල ආදායම් බදු නොගෙවන මාසික ආදායම රුපියල් 100,000ට වඩා අඩු අයට මෙම බදු සංශෝධනයේ බලපෑමක් නැහැ. 

2. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම:

පොලී ආදායමද ඇතුළුව දැනට අවම වශයෙන් රුපියල් 150,000ක මාසික ආදායමක් ලබන අයට මෙම බදු වැඩි කිරීමෙන් බලපෑමක් සිදු වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බැවින්, ඔවුන්ට තමන්ගෙන් කපාගෙන තිබෙන රඳවා ගැනීමේ බද්ද තමන් විසින් ගෙවිය යුතු ආදායම් බදු වලින් අඩු කළ හැකියි. මෙහිදී ඔවුන්ට කිසියම් මුදලක් ආපසු ලැබෙන්නත් පුළුවන්. 

මෙම බද්දෙන් බලපෑමක් සිදු වන්නේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන අයටයි. ඔවුන් ඇත්තටම මෙම රඳවා ගැනීමේ බද්ද ගෙවිය යුතු නැතත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන බවට දැනුම් දීමක් නොකළහොත් බැංකුව විසින් මෙම මුදල කපා ගන්නවා. එම දැනුම් දීම කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බවයි රජය පැත්තෙන් කියවුණේ. කෙසේ වුවත්, ප්‍රායෝගිකව අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුගෙන් මෙම බද්ද රජයට එකතු වීමට ඉඩ තිබෙනවා. 

3. යෝගට් සහ කිරි නිෂ්පාදන මත අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීම: 

මෙම බදු සංශෝධනයේ සෘජු බලපෑමක් තිබෙන්නේ දැනට වැට් බදු සඳහා ලියාපදිංචි වී සිටින වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 ඉක්මවන මහා පරිමාණ නිෂ්පාදකයින්ටයි. වැට් බදු ගෙවීමට අවශ්‍යව තිබියදී ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා වැට් බදු මුදල් රජයට ගෙවන්නේ, ඔවුන් විසින් මිල දී ගත් අමුද්‍රව්‍ය හා උපාංග වෙනුවෙන් ගෙවන වැට් බදු ප්‍රමාණය අඩු කර ගැනීමෙන් පසුවයි. දැන් වැට් බද්ද ඉවත් කිරීම නිසා ඔවුන් අතරමැදි නිෂ්පාදකයින්ගේ තත්ත්වයේ සිට අවසන් පාරිභෝගිකයින් බවට පත් වෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය යම් ප්‍රමාණයකින් ඉහළ යනවා. ඔවුන් එය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ තිබෙනවා. 

කෙසේ වුවත්, වැට් බද්ද ඉවත් වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලැබෙන නිසා මෙසේ සැපයුම්කරුවන් විසින් ඉහළ මිලක් අය කළද ඔවුන්ට ගෙවන්නට වෙන්නේ අඩු මිලක්. දේශීය යෝගට් සහ කිරි නිෂ්පාදන සැපයුම සීමිත නිසා මිල අඩු වී ඉල්ලුම ඉහළ ගියද, සැපයුම වැඩි වුනේ නැත්නම් සිදු වන්නේ මිල නැවත ඉහළ යාමයි. නිෂ්පාදනය දිරිමත් වී සැපයුම වැඩි වීමටනම්, වැට් ගෙවීම් පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදකයින්ට සිදු වන පාඩුව ඉක්මවා යෝගට් මිල වැඩි විය යුතුයි. සියලු සාධක සැලකු පසු මෙම බදු සංශෝධනය හේතුවෙන් නිෂ්පාදනයේ යම් ප්‍රගතියක් ඇති වීමට ඉඩ තිබෙනවා. 

4. සේවා අපනයන මත බද්ද:

මෙම බද්ද අඩු කිරීම හේතුවෙන් සේවා අපනයන වල යම් දිරිගැන්වීමක් සිදු විය හැකියි. 

රජයක බදු ප්‍රතිපත්තියේ වෙනසක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙස හෝ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙස වර්ග කළ හැකියි. අඩුආදායම්ලාභීන්ට වැඩි සහනයක් සැලසෙන බදු ප්‍රතිපත්තියක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙසත්, වැඩි ආදායම්ලාභීන්ට වැඩි සහන සැලසෙන  බදු ප්‍රතිපත්තියක් ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙසත් හැඳින්වෙනවා. 

සාමාන්‍යයෙන් රජයක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ සමාජ සාධාරණත්වය ඉලක්ක කරන විටයි. ආර්ථික වර්ධනය සඳහා වඩා හිතකර වන්නේ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. ඊට හේතුව, අඩු ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් බොහෝ විට පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී, වැඩි ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් ආයෝජන වෙනුවෙන් වෙන් කිරීමයි. 

මෙම බදු සංශෝධන වලින් වැඩිපුර පෙනෙන්නේ වර්ධන අභිලාශයයි. 

Wednesday, December 18, 2024

රාජ්‍ය ආදායම සහ බදු සහන


අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද?

අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ දිගුකාලීන ඉලක්කය වනුයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.3% මට්ටම දක්වා වැඩි කර ගෙන, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.0% මට්ටම නොඉක්මවීම මගින් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. 

රාජ්‍ය ආදායම් 15.3% මට්ටම දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබුණේ පහත ආකාරයෙනුයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%


මේ වන විට අප 2024 පළමු කාර්තු තුනේ රාජ්‍යමූල්‍ය ප්‍රවණතා ගැන හරියටම දන්නවා.

2024 පළමු කාර්තුව:

බදු ආදායම - 10.52%

බදු නොවන ආදායම - 0.98%

රාජ්‍ය ආදායම - 11.50%

ප්‍රාථමික වියදම් - 7.53%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.97%


2024 දෙවන කාර්තුව:

බදු ආදායම - 12.93%

බදු නොවන ආදායම - 1.09%

රාජ්‍ය ආදායම - 14.02%

ප්‍රාථමික වියදම් - 10.65%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.37%


2024 තෙවන කාර්තුව: 

බදු ආදායම - 13.10%

බදු නොවන ආදායම - 1.05%

රාජ්‍ය ආදායම - 14.15%

ප්‍රාථමික වියදම් - 10.92%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 3.23%


මේ අනුව පෙනී යන්නේ 2024 තෙවන කාර්තුව වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.15% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම අගය සිවු වන කාර්තුවේදී තවත් වැඩි වීමට මිස අඩු වීමට හේතුවක් නැහැ. තවත් ඉහළ නොගියද, 2025 ඉලක්කය වන 15.0% මට්ටමට යාමට තවත් අවශ්‍ය වන්නේ දදේනියෙන් 0.85%ක වැඩි වීමක් පමණයි.

දෙවන විමර්ශනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි, වාහන ආනයනය විවෘත වෙද්දී මෙම අගයට 0.80%ක් එකතු වන අතර, වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.30%ක් එකතු වීමට නියමිතයි. එමෙන්ම, "ආරෝපිත ගෙවල් කුලී" බද්ද හඳුන්වා දීමෙන් පසුව තවත් 0.15%ක් එකතු වෙනවා. මේ සියල්ල එකතු වීමෙන් පසුව, 2025 රාජ්‍ය ආදායම දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය ඉලක්කය වන 15.3% මට්ටමද ඉක්මවා යනවා.

මෙම තත්ත්වය හමුවේ රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න "සමාජ ප්‍රජාතන්ත්‍රවාදී" ප්‍රවේශය ලෙස හැඳින්විය හැකි, බදු ආදායම් වැඩි කරගෙන වියදම්ද වැඩි කිරීමේ ප්‍රවේශයයි. මැතිවරණ වලට පෙර ආණ්ඩු පක්ෂ කණ්ඩායම ප්‍රදර්ශනය කළේ මෙවැනි ප්‍රවේශයක් ඔවුන් විසින් අනුගමනය කරන්නට යන බවයි. දෙවන ප්‍රවේශය වනුයේ "නව ලිබරල් ප්‍රවේශය" ලෙස හැඳින්වෙන වියදම් වැඩි නොකර, බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගන්නේනම්, මේ ප්‍රවේශ දෙකෙන් කුමක් අනුගමනය කළද එය ආර්ථික ස්ථායීතාවය අවදානමේ හෙළන්නේ නැහැ. මේ මොහොතේදී ආණ්ඩුව විසින් දෙවන ප්‍රවේශය තෝරා ගෙන ඇති බවක් පෙනී යනවා. 

පෞද්ගලික ආදායම් බදු හා අදාළ සහනයක් ලබා දීම සඳහා පැවති ආණ්ඩුව විසින්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලබා ගෙන තිබුණා. එහෙත් දැන් ලබා දෙන්නට යන සහනය එම සහනය ඉක්මවා යන්නක්. එමෙන්ම, මගේ මතකය නිවැරදිනම්, මැතිවරණ වලට පෙර පොරොන්දු වූ සහනයට වඩා අඩු මට්ටමක සහනයක්. අරමුදල සමඟ සාකච්ඡා වලදී පෙනී ගිය පරිදි, ආර්ථික ස්ථායීතාවය අවදානමේ නොහෙළමින් ලබා දිය හැකි උපරිම සහනය මෙය විය හැකියි. 

ඩොලරයක මිල පහත වැටී තිබුණද, ආනයන වල විශාල වර්ධනයක් සිදු නොවීමට එක් හේතුවක් වනුයේ මධ්‍යම පන්තියේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී තිබීමයි. ඊට හේතුව වැඩි කළ බදු නිසා ඔවුන්ගේ රුපියල් ආදායම් පහත වැටී තිබීමයි. බදු සහන නිසා ආනයන ඉල්ලුමෙහි යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි අතර එය ඩොලරයක මිල යම් තරමකින් ඉහළ දැමීමටද හේතුවක් විය හැකියි. ඒ වාහන ආනයනය විවෘත වීම සහ පොලී ගෙවීම් ආරම්භ වීම නිසා සිදු විය හැකි බලපෑමට අමතරවයි. කෙසේ වුවත්, මේ මොහොතේ ඩොලරයක මිල තරමක් ඉහළ යාම ප්‍රශ්නකාරී දෙයක් නෙමෙයි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම - අවසන් ප්‍රතිඵල


මේ වන විට ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳ සාරාංශයක්.

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණය = ඩොලර් මිලියන 12,550

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ ප්‍රමාණය = ඩොලර් මිලියන 12,083.2 (96.3%)

බහුතර කැමැත්ත මත ප්‍රතිව්‍යුහගත කළ හැකි ප්‍රමාණය = ඩොලර් මිලියන 198.2 (1.6%)

ප්‍රතිව්‍යුහගත කෙරෙන මුළු බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 12,281.3 (97.9%)

විදේශ විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කෙරෙන ප්‍රමාණය = ඩොලර් මිලියන 10,493.2

දේශීය විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කෙරෙන ප්‍රමාණය = ඩොලර් මිලියන 1,788.1

විදේශ විකල්පය යටතේ නිකුත් කෙරෙන ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 7,657.1

දේශීය විකල්පය යටතේ නිකුත් කෙරෙන ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 1,126.5

අලුතෙන් නිකුත් කෙරෙන මුළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය = ඩොලර් මිලියන 8,783.6

අපේක්ෂිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය අඩු වීම = ඩොලර් මිලියන 3,497.7

ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර බවට පත් කෙරෙන නොගෙවූ පොලී ප්‍රමාණය = ඩොලර් මිලියන 1,647.7

දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වැඩිවීම හේතුවෙන් ගෙවන්නට සිදු විය හැකි අමතර මුදල = ඩොලර් මිලියන 1,206.9

(2025, 2026 හා 2027 වසර වල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 99.0 ඉක්මවුවහොත් ඉහත මුදල ගෙවන්නට සිදු වන අතර 2024 දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය බොහෝ විට ඩොලර් බිලියන 99.0 ඉක්මවනු ඇති බැවින්, ඩොලරයක මිල විශාල ලෙස ඉහළ නොගියහොත් මෙය සිදු වනු ඇත.)

දේශීය විකල්පය යටතේ නිකුත් කෙරෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 155.72

(ඩොලර් මිලියන 536.4කට සමාන මුදලකි.)

Tuesday, December 17, 2024

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට!


මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය 2.6%කින් වර්ධනය වී තිබෙනවා. 

වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.3%කින් වර්ධනය වූ අතර, දෙවන කාර්තුවේදී 4.7%කින් වර්ධනය වුනා. සමස්තයක් ලෙස, පළමු කාර්තු තුන ඇතුළත, රටේ ආර්ථිකය 5.2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 

මෙම ප්‍රවනතාව අවසන් කාර්තුව තුළද මෙලෙසම පැවතියහොත්, වසර තුළ 5% ඉක්මවන වර්ධන වේගයක් පවත්වා ගැනීම අපහසු කටයුත්තක් නෙමෙයි. අවසන් කාර්තුවේ වර්ධන වේගය අවම වශයෙන් 4.5% මට්ටමේ පැවතුනොත්, 2024 වසරේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටමට යනවා. 


Sunday, December 15, 2024

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?


කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ හැකියි. 

මේ ප්‍රශ්නය යම් පදනමක් තිබෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියා යම් විවේචනයක් තිබෙනවා. ඒ විවේචනය සාධාරණ විවේචනයක්ද?

පෙර සටහන් වල ඉතාම සරල ලෙස පැහැදිලි කළත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහිදී තාක්ෂණිකව සිදු වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර 11ක් වෙනුවට අලුත් බැඳුම්කර වර්ග පහක් නිකුත් කරන එකයි. දැනට ගෙවා නැති කූපන් පොලී වෙනුවෙන් තවත් බැඳුම්කරයක් නිකුත් කරනවා. මේ බැඳුම්කර හය නිකුත් කරන්නේ විදේශිකයින් සඳහා වූ විකල්පය යටතේ.

දේශීය විකල්පය යටතේ තවත් ඩොලර් බැඳුම්කර හා රුපියල් බැඳුම්කර ගණනාවක් නිකුත් කෙරෙනවා.

ඉහත සඳහන් ඩොලර් බැඳුම්කර සියල්ලේම කූපන් පොලී ගෙවීම් අඩු මට්ටමකින් පටන් ගෙන ක්‍රමයෙන් වැඩි වන ආකාරයටයි සැලසුම් කර තිබෙන්නේ. ඇතැම් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතිකය 9.75% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ වීදිහට සැලසුම් කර තිබෙන්නේ ඇයි කියා මම පැහැදිලි කරන්නම්. 

පළමුව, මුල් බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික දෙස බැලුවොත් ඒවා 5.875% සිට 7.85% දක්වා විචලනය වෙනවා. සියල්ලම කලවමේ ගත්තොත් බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය 6.711%ක් පමණ වෙනවා. ඉදිරි කාලයේදී කල් පිරෙන බැඳුම්කර පමණක් සලකා ගණන් බලද්දී මෙම බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය එන්න එන්නම වැඩි වෙනවා. ඒ මේ ආකාරයටයි.

2025 - 6.947%

2026 - 7.049%

2027 - 7.089%

2028 - 7.410%

2029 - 7.695%

2030 - 7.550%

මෙයින් අදහස් වන්නේ දැනට නිකුත් කර තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් නියම විදිහට පොලී සහ මුල් මුදල ගෙවාගෙන ගියේනම් ඩොලර් 100ක ආයෝජනයක් සඳහා 2025දී ඩොලර් 6.95ක්, 2026දී ඩොලර් 7.05ක් ආදී ලෙස කූපන් පොලී ගෙවන්නට සිදු වන බවයි. 

දැනට සිදුවන හුවමාරුවේදී ඩොලර් 100ක් ආයෝජනය කර ඇති අයෙකුට ලැබෙන්නේ ඩොලර් 72.972ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, ඉහත සඳහන් කූපන් පොලී මුදල් එලෙසම ලැබෙන්නනම් කූපන් පොලී අනුපාතිකය කොපමණ විය යුතුද?

එක් එක් කූපන් පොලී අනුපාතිකය 0.72972න් බෙදීමෙන් අපට මෙම කූපන් පොලී අනුපාතික සොයාගන්න පුළුවන්.

2025 - 9.520%

2026 - 9.660%

2027 - 9.715%

2028 - 10.155%

2029 - 10.545%

2030 - 10.346%

දැන් අපට මෙම කූපන් පොලී අනුපාතික අලුතින් නිකුත් කරන කූපන් පොලී අනුපාතික සඳහා ගෙවිය යුතු බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතික එක්ක සංසන්දනය කරන්න පුළුවන්. 

විදේශීය විකල්පය 

2025 - 3.459%

2026 - 3.459%

2027 - 3.459%

2028 - 3.944%

2029 - 3.990%

2030 - 4.043%

2031 - 4.087%

2032 - 4.165%

2033 - 9.532%

2034 - 9.586%

2035 - 9.667%

2036 - 9.750%

2037 - 9.750%

2038 - 9.750%


දේශීය විකල්පය 

2025 - 1.00%

2026 - 1.50%

2027 - 1.75%

2028 - 2.00%

2029 - 2.25%

2030 - 2.25%

2031 - 2.75%

2032 - 2.75%

2033 - 3.00%

2034 - 3.00%

2035 - 3.00%

2036 - 3.50%

2037 - 3.50%

2038 - 3.50%

දේශීය විකල්පය සඳහා ගෙවන කූපන් පොලී අනුපාතික පැහැදිලි ලෙසම අඩුයි. විදේශ විකල්පය සඳහා ගෙවන කූපන් පොලී 2033 සිට සාපේක්ෂව ඉහළ මට්ටමයි තියෙන්නේ. උපරිමය 9.75%ක් දක්වා යනවා. නමුත් මෙහිදී අමතක නොකළ යුත්තේ මේ විදිහට 9.75%ක කූපන් පොලියක් ලැබෙන්නේ ඩොලර් 100ක් ආයෝජනය කළ අයෙකුගේ ඩොලර් 72.97ක් සඳහා පමණයි කියන එක.

ඒ කියන්නේ ඩොලර් 100ක ආයෝජනයකට කූපන් පොලිය ලෙස ලැබෙන මුදල ඩොලර් 7.11ක්. මෙය සමාන කළ හැක්කේ 7.11%ක කූපන් පොලියකටයි. 2028-2030 අතර කල් පිරෙන බැඳුම්කර සඳහා දැනට ගෙවන කූපන් පොලිය ඊට වඩා වැඩියි.

ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ 2033 වන විට තව දුරටත් ගෙවන්න ඉතිරි වී තිබෙන්නේ මුල් මුදලින් 42%ක් පමණයි කියන එක. ලොකු මුදලක් ගෙවන්න ඉතිරිව තිබියදී ලංකාව ගෙවන්නේ අඩු කූපන් පොලියක්. වැඩි කූපන් පොලියක් ගෙවන්නේ ණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඉවර කළාට පස්සේ ඉතිරි වී තිබෙන කොටසට පමණයි.

පහත තිබෙන්නේ ඩොලර් 100,000ක ආයෝජනයක් සඳහා විදේශ විකල්පය යටතේ ගෙවිය යුතු කූපන් පොලී මුදල් පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.

2025 - $ 2524.40

2026 - $ 2524.40

2027 - $ 2524.40

2028 - $ 2878.33

2029 - $ 2704.82

2030 - $ 2531.30

2031 - $ 2287.48

2032 - $ 2043.65

2033 - $ 4031.26

2034 - $ 3396.71

2035 - $ 2762.16

2036 - $ 1857.57

2037 - $ 928.79

මෙහි සඳහන් ගණන් සියල්ලම සියයට සියයක්ම නිවැරදි නැහැ. මේවා ආසන්න දළ ඇස්තමේන්තු පමණයි. නමුත් විශාල වැරැද්දක් නැහැ. හෙට (දෙසැම්බර් 16) විස්තර හරියටම ප්‍රකාශයට පත් කළ පසුව හරියටම ගණන් දැනගන්න පුළුවන්. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය වෙනස් වන ආකාරය අනුව මෙම ගෙවීම් අඩු හෝ වැඩි විය හැකියි. ඒ පිළිබඳව මේ සටහනෙහි කතා කර නැහැ. 

Saturday, December 14, 2024

ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද?


ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද? මෙය කීප දෙනෙක්ම අසා තිබුණු ප්‍රශ්නයක්.

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. එකක් විදේශිකයින් සඳහා විකල්පය. දෙවැන්න දේශීය ආයෝජකයින් සඳහා විකල්පය. නමුත්, දේශීය හෝ විදේශීය ආයෝජකයින් ඕනෑම කෙනෙකුට මේ විකල්ප දෙකෙන් ඕනෑම එකක් තෝරා ගැනීමේ අවස්ථාව තිබුණා.

දැනට අප දන්නා කරුණු අනුව මුළු ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් 98%ක් ඔය ක්‍රම දෙකෙන් එකකට ප්‍රතිව්‍යුහගත වෙනවා. එක් එක් ක්‍රමයට ප්‍රතිව්‍යුහගත වන ප්‍රමාණය තවම හරියටම කියන්න බැරි වුනත්, දේශීය විකල්පය ඉල්ලා ඇති ප්‍රමාණය ආසන්න වශයෙන් 10%ක් පමණ විය හැකියි. වැඩි දෙනෙකු ඉල්ලා තිබෙන්නේ විදේශිකයින් සඳහා විකල්පය බව හිතාගන්න අමාරු නැහැ.

මේ එක් එක් විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන්ගේ ණය ආපසු ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

විදේශිකයින් සඳහා විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.

2029 - $ 5,179.50

2030 - $ 5,179.50

2031 - $ 6,773

2032 - $ 6,773

2033 - $ 6,773

2034 - $ 6,860

2035 - $ 6,860

2036 - $ 9,522

2037 - $ 9,526

2038 - $ 9,526

එකතුව - $ 72,972

(ඉතිරි ඩොලර් 27,028 ආපසු නොලැබේ.)

දේශීය විකල්පය තෝරාගත් ණයහිමියෙකුට තමන් විසින් ආයෝජනය කර ඇති ඩොලර් 100,000ක මුදලක් ආපසු ලැබෙන්නේ පහත ආකාරයටයි.

2029 - $ 5,040

2030 - $ 5,040

2031 - $ 5,040

2032 - $ 5,040

2033 - $ 7,560

2034 - $ 7,560

2035 - $ 7,560

2036 - $ 7,560

2037 - $ 7,560

2038 - $ 5,040

එකතුව - $ 63,000

(තවත් ඩොලර් 30,000කට සමාන මුදලක් රුපියල් වලින් ආපසු ලැබෙන අතර ඉතිරි ඩොලර් 7,000 ආපසු නොලැබේ.)

මෙම ගෙවීම් රටේ ආර්ථික වර්ධනය ඇතුළු කරුණු ගණනාවක් අනුව අඩු හෝ වැඩි විය හැකියි. ඒ ගැන පසුවට. 

කෙසේ වුවත්, එක් දෙයක් පැහැදිලි විය යුතුයි. ඒ, 2029 තෙක් ණය ආපසු ගෙවීමක් සිදු නොවන බව සහ 2029 හා 2030 වසර වලදීද ආපසු ගෙවිය යුත්තේ වසරකට මුළු ණය ප්‍රමාණයෙන් 5%ක් පමණ බවයි. ඒ නිසා, මේ ණය ආපසු ගෙවන්නට යද්දී රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා කියන එක පදනමක් නැති කතාවක්.

ඒ වගේම, ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් වීමෙන් පසුව ක්ෂණිකව නැවත ණය ආපසු ගෙවිය යුතු නැහැ. එහෙත්, දැනට ගෙවීම නවත්වා ඇති පොලී ගෙවන්නට පටන් ගන්න සිදු වෙනවා. ඒ වගේම, පසුගිය කාලය තුළ පැහැර හැර ඇති පොලී ගෙවීම්ද කොටස් වශයෙන් ගෙවන්නට සිදු වෙනවා. මේ සඳහා යම් විදේශ විණිමය ප්‍රමාණයක් වැය වනු ඇති නමුත් එම ප්‍රමාණය දරාගත නොහැකි තරම් විශාල ප්‍රමාණයක් නෙමෙයි.

මීට අමතරව, ඉදිරි වසර තුළ වාහන ආනයනය වෙනුවෙන්ද විදේශ විණිමය වැය කරන්නට සිදු වෙනවා. මේ හේතු දෙක නිසා රටේ විදේශ විණිමය අවශ්‍යතා ඉහළ යනවා වගේම ඒ හේතුවෙන් විණිමය අනුපාතය තරමක් ඉහළ යා හැකියි. කොපමණකින්ද යන්න තීරණය වන්නේ රටට ලැබෙන විදේශ විණිමය කොපමණ වර්ධනය වේද යන්න මතයි. 

ඉල්ලුම හා සැපයුම මත තීරණය වන ඩොලරයක මිල නිශ්චිතව පුරෝකථනය කළ නොහැකියි. එහෙත්, ඉල්ලුම වැඩි වන බව පැහැදිලි නිසා යම් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි. එම වැඩිවීම හෙමිහිට මිස එකවර සිදු වෙන එකක් නැහැ. එමෙන්ම කැපී පෙනෙන විශාල වැඩිවීමක් සිදු වීමට තරම් හේතු පෙනෙන්නේත් නැහැ. 

Friday, December 13, 2024

බැඳුම්කර හුවමාරුව සඳහා ඉල්ලුම

ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. 

මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් "අවශ්‍ය අවම ප්‍රමාණය" එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින් අදාළ බැඳුම්කර හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නොමැති, ණයහිමියන්ගේ බැඳුම්කරද ඔවුන්ගේ කැමැත්ත රහිතව ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකියි. අදාළ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ එවැනි කොන්දේසියක් සහිතවයි.

කෙසේ වුවත් එක් බැඳුම්කරයක්, එනම් 2022 ජූලි 25 දින කල් පිරුණු ඩොලර් බිලියනයක බැඳුම්කරය, එලෙස ඒක පාර්ශ්වික ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන අවම අනුමැතිය ලැබී නැහැ. ඒ නිසා, එම බැඳුම්කරය හිමි, එහෙත් හුවමාරුව සඳහා අයදුම්කර නැති, අයගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ සැලසෙන්නේ නැහැ. 

මෙම කොටස ඉවත් කළ පසු ඉතිරි 98%ක පමණ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ හැකියි. එම ප්‍රමාණයට කැමැත්තෙන් හුවමාරු කෙරෙන 96%ක් සහ බහුතර කැමැත්ත මත පදනම්ව හුවමාරු කෙරෙන තවත් 2%ක බැඳුම්කර ප්‍රමාණයක් ඇතුළත්.

හුවමාරු නොකෙරෙන කොටසේ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ හැමිල්ටන් රිසර්ව් බැංකුව සතු ස්වෛරිත්ව බැඳුම්කර විය යුතුයි. ඒ සම්බන්ධව, අධිකරණ ක්‍රියාමාර්ග හරහා පසුව ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය අති සාර්ථක ලෙස අවසන් වේ!


ශ්‍රී ලංකාව විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය ඊයේ (දෙසැම්බර් 12) දිනයෙන් අවසන් වුනා. දැනට පෙනී යන පරිදි මෙම හුවමාරුව සඳහා විශාල ඉල්ලුමක් පැවතී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්වෛරිත්ව බැඳුම්කර වලින් 98%ක් පමණම හුවමාරු වීමට නියමිතයි. 

මේ අනුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියම අවසානයකට පැමිණෙමින් තිබෙනවා. ලැබී ඇති අයදුම්පත් විමර්ශනය කිරීමෙන් පසුව, බැඳුම්කර හුවමාරුව පිළිබඳ අවසන් තීරණ දෙසැම්බර් 16 වන දින දැනුම් දෙනු ලැබීමට නියමිතව ඇති අතර, පැරණි බැඳුම්කර අවලංගු කර ඒ වෙනුවට අලුත් බැඳුම්කර නිකුත් කිරීම දෙසැම්බර් 20 දින සිදු වෙනවා.

මෙසේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් සතියක් ඇතුළත අවසන් වීමෙන් පසුව, ඉදිරි වසර එළැඹෙද්දී ශ්‍රී ලංකාවට තව දුරටත් ණය පැහැර හැර ඇති රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට සිදු වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්ද ඉතා ඉක්මණින් ඉහළ යාමට නියමිතයි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉදිරි වසර දක්වා කල් යාමේ අවදානම සලකා බලමින්, අතුරු අයවැයෙන් ඒ සඳහා රුපියල් ට්‍රිලියන තුනක ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කළා. දැන් එම ප්‍රතිපාදනය ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත රජයට අලුතෙන් ණය ලෙස ලබා ගන්නට සිදු වෙන්නේ රුපියල් ට්‍රිලියනය නොඉක්මවන මුදලක් පමණයි.

ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇති හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙම බැඳුම්කර හුවමාරුවට කෙසේ ප්‍රතිචාර දක්වා ඇත්දැයි පැහැදිලි නැහැ. ඇතැම් විට හුවමාරුව සඳහා අයදුම්කර නොමැති 2% කොටස තුළ සිටින්නේ එම බැංකුව විය හැකියි. 

Monday, December 9, 2024

ප්‍රතිලෝම යමක Won’t lovers revolt now?


කලින් සටහනේ Palindrome සහ Ambigram ගැන විස්තර කළානේ. Palindrome එකක් වමේ සිට දකුණට කියෙවුවත්, දකුණේ සිට වමට කියෙවුවත් කියැවෙන්නේ එකම විදිහටයි. හැබැයි Palindrome එකක් දෘශ්‍යමාන ලෙස සමමිතික බවක් එයින් අදහස් වෙන්නේ නැහැ. ඊට හේතුව,  Palindrome එකක අකුරු එක එක වෙන වෙනම ගත් විට ඒ සෑම එකක්ම අනිවාර්යයෙන්ම සමමිතික නොවීම. එවැනි සමමිතියක් තිබේනම් Palindrome එකක්  Ambigram එකක්ද වෙනවා. නමුත් Ambigram එකක් හැම විටම Palindrome එකක් විය යුතු නැහැ.

සමමිතික අකුරු පමණක් තිබෙන "MOM" හා "WOW" Palindrome වගේම Ambigramද වෙනවා. මෙවැනි සිංහල වචනයකට නිදර්ශනයක් ලෙස "පිංපි" කියන එක පෙන්වන්න පුළුවන්. වචනය හරි මැදින් සිරස් අතට ඉරක් ඇන්දොත් දෙපැත්ත සමමිතිකයි. ඒ නිසා, එම සිරස් රේඛාව වටා මෙවැනි වචනයක් අඩංගු ත්‍රිමාණ රූපයක් අංශක 180කින් කැරකෙවුවොත් පෙනෙන්නේ මුල් රූපයමයි. 

හැබැයි "ප" අකුර සමමිතික නැත්නම් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා, සමමිතික ලෙස "ප" නිරූපණය වන ෆොන්ට් එකක් ගත්තොත් පමණයි මෙය Ambigram එකක් වෙන්නේ. මේ විදිහටම "mom", "noon" වගේ වචනත් Ambigram ලෙස නිරූපණය කරන්න පුළුවන්.  ඒ සඳහා "m" "n" සමමිතික ලෙස ලියන්න වෙනවා. 

"SOS" වැනි වචනයක් හරි මැදින් අඳින සිරස් හෝ තිරස් රේඛාවක් වටා භ්‍රමණය කර ඒ රූපයම ගන්න බැහැ. නමුත් වචනය මැදින් ලබ්බකව ඇඳිය හැකි රේඛාවක් වටා අංශක 180ක් කරකවලා ඒ රූපයම ලබා ගන්න පුළුවන්. ඒ නිසා එයත් Ambigram එකක්. "pod" වැනි වචනයක් Palindrome එකක් නොවුනත්, එම වචනය මැදින් ලබ්බකව ඇඳිය හැකි රේඛාවක් වටා අංශක 180ක් කරකවලා ඒ රූපයම ලබා ගන්න පුළුවන් නිසා එයත් Ambigram එකක්. Ambigram කියන වචනයත් Ambigram එකක් වෙන විදිහට නිරූපනය කළ හැකියි. අවශ්‍යනම් විකිපීඩියා පිටුවට ගිහින් බලන්න. 

Ambigram එකක තිබෙන්නේ අකුරු වලින් හැදුනු වචනයක් වුනත් සාමාන්‍යයෙන් එම අකුරු සහ වචනය විශේෂ  ආකාරයකට ලිවුවොත් පමණයි Ambigram එකක් වෙන්නේ. නමුත් Palindrome එකකට ඒ ප්‍රශ්නය නැහැ. Palindrome එකක සමමිතිය පරීක්ෂා කෙරෙන්නේ අකුරෙන් අකුර වෙන වෙනම අරගෙනයි. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රචලිත Palindrome ගණනාවක් තිබෙනවා. පහත තියෙන්නේ ඒවායින් කීපයක්.

Borrow or rob?

Never odd or even.

Now, sir, a war is won!

Won’t lovers revolt now?

ඔය විදිහට දෙපැත්තෙන්ම කියවිය හැකි ප්‍රචලිත සිංහල වචන බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණ විදිහට "වඩුමඩුව", "රතු වතුර", "නාගොඩ ගොනා" ආදිය පෙන්විය හැකියි. පැරණි සිංහල සාහිත්‍යයට ගියොත් කව් සිළුමිණ, කව්මිණි මල්දම වැනි පොත් වල යොදාගෙන තිබෙන විවිධ කාව්‍යාලංකාර අතරින් එක ප්‍රවර්ගයක් ප්‍රතිලෝම යමක ලෙස හැඳින්වෙනවා. ප්‍රතිලෝම යමකයක් කියා කියන්නේ Palindrome එකක් ලෙස පබඳිනු ලැබූ කවියක්. 

"නී පිපි වී ලද වනත- දලදර පවන විනි ලෝ - ලෝ නිවි නව පරද ලද- තනව දල වී පිපිනී"

"දසත පවන සසල මද ද දලසර ලප ගන සරන ද දනරස නග පල රස ල ද දද මලසස නවපත ස ද"

"නව දල ලද වන 
මී පවන නවප මී
සදලව වල දස 
නී තනන නනත නී"

(මම සිංහල භාෂා විශේෂඥයෙක් නොවන නිසා වැරදි තියෙන්න පුළුවන්)

අවුරුදු තුන හතරකට කලින්, සිංහල ජන සංගීතය ගැන කතා කරද්දී අමතක කළ නොහැකි, ලංකාවේ ගායකයෙක් ඇමරිකාවේ සංචාරයකට ආවා. ඒ ආපු වෙලාවේ, විවේකීව හිටපු හවස් වෙලාවක, ලංකාවේ පැරණි සාහිත්‍යයේ සහ ජන කවි වල දැකිය හැකි විවිධ කාව්‍යාලංකාර පිළිබඳව ඔහු යම් විස්තර කිරීමක් කළා. ලොකු දෙයක් දන්නේ නැතත්, ඔය මැද්දට මමත් දැනගෙන හිටපු දේවල් කිහිපයක් එකතු කළා. ඔය අවස්ථාවේදී ඔහු මට යෝජනාවක් කළා පුලුවන්නම් ප්‍රතිලෝම යමකයක් විදිහට යම් පබැඳුමක් කරන්න උත්සාහ කරන්න කියලා.

ඇත්තටම ඔය කතාබහ සිදු වෙද්දී මම "ප්‍රතිලෝම යමක" කියන වචනය දැනගෙන හිටියේ නැහැ. ඒ කතාබහේදී එම වචනය භාවිතා වුනෙත් නැහැ. සාකච්ඡාව ගියේ ඔය වචනය නැතුව "දෙපැත්තෙන්ම කියැවිය හැකි" කියන තැන ඉඳලා. පසුව මේ ගැන විපරම් කරද්දියි ප්‍රතිලෝම යමක ගැන දැනගන්න ලැබුණේ.

කොහොම වුනත් ඔය කතාබහෙන් ලැබුණු උත්තේජනය නිසා මම පසු අවස්ථාවක ඔය විදිහේ පබැඳුමක් කරන්න උත්සාහ කළා. මේ වෙනුවෙන් ඒ වෙලාවේ යම් මහන්සියක් දැරුවත් පසුව අනෙකුත් වැඩ එක්ක එය අමතක වෙලා ගියා. නැවත ඒ ගැන මතක් වුනේ AᗺBA ලිපිය ලියද්දී. 

හරි පිළිවෙලකට සංරක්ෂණය කර නොතිබුණු නිසා ලියපු පද ටික නැවත හොයා ගන්නත් යම් මහන්සියක් වෙන්න සිදු වුනා. යම් කාලයක් යොදවපු වැඩක් නිසා සංරක්ෂණය කිරීමේ අරමුණීන් මෙහි පළ කරනවා.

බාල ලමා (ළමා) මාල ලබා කරන නරක සේවෙ වෙසේ
සේවෙ වෙසේ කරන නරක බාල ලමා (ළමා) මාල ලබා

ලාබ බලා මාද දමා රාජ කලෝ (කළෝ) ලෝක ජරා
රාජ කලෝ (කළෝ) ලෝක ජරා මාද දමා ලාබ බලා

මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ

මිහි හිමි දන නද යටටය යටටය
යටටය යටටය දන නද මිහි හිමි

සිරි ලක කල (කළ) රිසි යටටය යටටය
යටටය යටටය සිරි ලක කල  (කළ) රිසි

මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ

කාමදේව සේ වාසේ හේලෙ ලෙහේ වදේ මකා
කාමදේව හේලෙ ලෙහේ සේවා සේ වදේ මකා

පාද දපා කාවි විකා හීන නහී දාහ හදා
දාහ හදා හීන නහී කාවි විකා පාද දපා

දීම බලෝ ලෝබ මදී දනේ මගෙම මටම නේද
දනේ මටම මගෙම නේද දීම බලෝ ලෝබ මදී

මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ

රාජ සබා බාස ජරා නේක දනා නාද කනේ (කණේ)
නේක දනා නාද කනේ (කණේ) රාජ සබා බාස ජරා

ලෝක දවා වාද කලෝ (කළෝ) මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ ලෝක දවා වාද කලෝ (කළෝ)

මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ

මිහි හිමි දන නද යටටය යටටය
යටටය යටටය  දන නද මිහි හිමි

සිරි ලක කල (කළ) රිසි යටටය යටටය
යටටය යටටය සිරි ලක කල (කළ) රිසි

මේක සදා දාස කමේ
මේක සදා දාස කමේ

මිය යමි මිය යමි මිය යමි මිය යමි
මිය යමි මිය යමි මිය යමි මිය යමි

හ්ම්...ම්හ්...

වේගෙ ගෙවේ මල (මළ) කෝලම වේගෙ ගෙවේ!
වේගෙ ගෙවේ මල (මළ) කෝලම වේගෙ ගෙවේ!!

(මේ සමඟ පළ කරන රූපය කරතොට හිමියන්ගේ බාරස කාව්‍යයේ ගර්හ චක්‍රය. මෙය වමේ සිට දකුණට, දකුණේ සිට වමට, උඩ සිට පහළට මෙන්ම පහළ සිට උඩටද කියැවිය හැකි පරදී සකස් කර තිබෙනවා.)

වෙබ් ලිපිනය: