වෙබ් ලිපිනය:

Tuesday, December 6, 2022

ඇමරිකාවෙන් සිංගප්පූරුවට...

ඇමරිකානුවෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 69,287.5 ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ 2021 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 72,794.0 ක්. ඒ කියන්නේ සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ  ඒක පුද්ගල ආදායමටත් වඩා ටිකක් වැඩියි. එසේ වුවත්, ගණන් දෙක අතර ලොකු වෙනසක් නැහැ. 

ඇමරිකාවට සාපේක්ෂව සිංගප්පූරුවේ ආදායම් විෂමතා අඩුයි. ඒ නිසා, ඇමරිකාවේ ගෘහ ඒකකයක මධ්‍යස්ථ ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට මඳක් වැඩිව තියෙද්දී සිංගප්පූරුවේ එම ගණන ඇමරිකන් ඩොලර් 85,000ක් පමණ වෙනවා. සිංගප්පූරුවේ ගෘහස්ථ ආදායමෙන් 25%ක් පමණ, එනම් ඇමරිකන් ඩොලර් 21,000ක් පමණ, නිවාස වෙනුවෙන් වැය වෙද්දී ඇමරිකානු නිවෙසක ආදායමෙන් 40%ක් පමණ, එනම් ඩොලර් 28,000ක් පමණ නිවාස වෙනුවෙන් වැය වෙනවා. මේ අනුව, සිංගප්පූරුවට සාපේක්ෂව බලා ඇමරිකාවේ නිවාස වියදම් දරා ගැනීමට අපහසුයි කියා කවුරු හෝ කියනවානම් එහි වැරැද්දක් නැහැ. 

සිංගප්පූරු රජය විසින් සහන මිලකට නිවාස ලබා දීම මෙයට හේතුවක් විය හැකි වුවත්, එය මෙම වෙනසට එකම හේතුව නෙමෙයි. ඇමරිකානුවෙකු ජීවත් වන සාමාන්‍ය නිවසක ප්‍රමාණය වර්ග අඩි 2500ක් පමණ වෙද්දී සාමාන්‍ය සිංගප්පූරු ජාතිකයෙකු ජීවත් වන්නේ වර්ග අඩි 1000ක පමණ මහල් නිවාස ඒකකයකයි. නිවසක ප්‍රමාණය විශාල වෙද්දී බිල්පත් ගාස්තු හා ගෘහ භාණ්ඩ වියදම් ආදියද අනුපාතිකව වැඩි වෙනවා.

කෙසේ වුවත්, වෙනස්කම් රැසක් ඇති සිංගප්පූරුව හා ඇමරිකාව සරල ලෙස සංසන්දනය කළ නොහැකියි. සිංගප්පූරුව ජන ඝනත්වය වැඩි නාගරික රාජ්‍යයක්. සිංගප්පූරුවේ වර්ග කිලෝමීටරයක් තුළ 8,358 දෙනෙකු ජීවත් වුනත්, ඇමරිකාවේ වර්ග කිලෝ මීටරයක් තුළ ජීවත් වන්නේ 36 දෙනෙකු පමණයි. ඒ නිසා, ඉඩම් ඉතා දුලබ සම්පතක් වන සිංගප්පූරුව හා සංසන්දනය කළ විට ඇමරිකාව "ඉඩ තිබෙන" රටක්.

කෙසේ වුවත්, සිංගප්පූරුවටත් වඩා ජන ඝනත්වය වැඩි නාගරික ප්‍රදේශ ඇමරිකාවේ තිබෙනවා. මිලියන 5.5ක ජනගහණයක් සිටින සිංගප්පූරුවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර 728.6ක්. නිවුයෝර්ක් නගර සීමාවට අයත් වර්ග කිලෝමීටර 778.2 තුළ මිලියන 8.8ක ජනගහණයක් වාසය කරනවා. නිවුයෝර්ක් වැනි නාගරික ප්‍රදේශ වල බොහෝ දෙනෙකු ජීවත් වන්නේ සිංගප්පූරුවේ මෙන්ම මහල් නිවාස ඒකක වලයි.

සිංගප්පූරු වැසියෙකුට මෙන් නොව ඇමරිකානුවෙකුට නාගරික මහල් නිවාසයක හෝ නාගරික නොවන ප්‍රදේශයක ඉඩකඩ ඇති ගෙයක ජීවත් වීමේ තේරීම තිබෙනවා. එය රටේ ප්‍රමාණය නිසා ලැබී තිබෙන වාසියක්. 

සමකය ආසන්නයේ ඇති සිංගප්පූරුවේ වැසියෙකුට තමන්ගේ මහල් නිවාසය ඇතුළේ දවසම ගෙවන්න අවශ්‍ය නැහැ. නිවසින් පිට වී අපහසුවක් නැතිව කාලය ගෙවිය හැකියි. නමුත්, ඇමරිකානුවෙකුට බොහෝ විට ශීත කාලය තුළ නිවසටම වී ඉන්න වෙනවා. ඒ නිසා, නිවස ඇතුළත වැඩි ඉඩක් තිබීමේ වටිනාකම වැඩියි.

පහළ තියෙන්නේ ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය වියදම් රටාවයි.

ආහාර - 14.3%

නිවාස - 39.9%

ප්‍රවාහනය - 21.9%

සෞඛ්‍යය - 7.0%

අධ්‍යාපනය - 1.9%

සන්නිවේදනය - 4.3%

විනෝදාස්වාදය - 4.4%

ඇඳුම් - 2.6%


ඉහත වියදම් රටා සමඟ පහත ඇති සිංගප්පූරු වියදම් රටා සංසන්දනය කළ හැකියි.

ආහාර - 21.1%

නිවාස - 24.8%

ප්‍රවාහනය - 17.1%

සෞඛ්‍යය - 6.6%

අධ්‍යාපනය - 6.6%

සන්නිවේදනය - 4.1%

විනෝදාස්වාදය - 7.9%

ඇඳුම් - 2.1%


අවශ්‍ය අයෙකුට ඉහත රටවල් දෙක සමඟ ලංකාවද සැසඳිය හැකියි.

ආහාර - 44.0%

නිවාස - 21.9%

ප්‍රවාහනය - 9.8%

සෞඛ්‍යය - 4.4%

අධ්‍යාපනය - 2.8%

සන්නිවේදනය - 2.3%

විනෝදාස්වාදය - 1.6%

ඇඳුම් - 3.4%

ලංකාව සිංගප්පූරුව වැනි නාගරික රාජ්‍යයක් නෙමෙයි. ඇමරිකාව තරම් විශාල රටකුත් නෙමෙයි. සිංගප්පූරුවේ හෝ ඇමරිකාවේ ආකෘති ලංකාවට ඒ විදිහටම ගැලපෙන්නේ නැහැ. ලංකාව ලංකාවට ගැලපෙන අතරමැදි තැනක් සොයාගත යුතුයි. 

9 comments:

  1. ලංකාවේ ප්‍රවාහන වියදම නම් දැන් ඔය ප්‍රමානෙට වඩා වැඩියි.

    ReplyDelete
  2. සසඳා බලනකොට මට නං දුක හිතුණ
    කරුණ තිබ්බෙ කෑමට වියදමෙයි යන
    දුප්පත් අපේ වියදම සන්නිවේදන
    විග්‍රහ කරන්නට වටිනව- කරනු මැන

    ReplyDelete
  3. ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙයි.

    තම මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව එම වාර්තාවේ දැක්වේ.

    ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය 2023 වසර පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

    පසුගිය ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බවත් ඉදිරි මාස වලදී ළමා මන්දපෝෂණ තත්ත්වය දරුණු විය හැකි බවට යුනිසෙෆ් සංවිධානය පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ දැක්වේ.

    ReplyDelete
  4. විනෝදාස්වාද වියදම් කියන්නේ ස්පා වලට ද ඉකොනෝ

    ReplyDelete
    Replies
    1. චිත්‍රපට, නාට්‍ය, කේබල් ටීවී, ක්‍රීඩා තරඟ නැරඹීම ආදිය.

      Delete
  5. ලංකාවේ මේ දවස් වල බැංකු වල අවම housing loan rate එක 32% යි.

    ඒ නිසා අපට ලංකාවේ ලෝකල් බැංකුවකින් ලෝන් පැකේජ් එකක් අරන් ඒ loan rate එකත් එක්ක fight කරන්න නන් නිකන් ගෙයක් හදල බෑ... Earning ගෙයක් හදන්න ඕනෙ. ගෙදර liability එකක් කරගන්නෙ නැතිව investment එකක් කරන්න ඕනෙ කියල මට හිතුනෙ. නමුත් ඒ කරලත් සැලකිය යුතු මට්ටමක රීසනබල් ආදායමක් උපයා ගැනීම ඉතාම අමාරුයි.

    හැබැයි ඉතින් එහෙම හදන ගෙදරකට පොඩි හරි earning part එකක් ආවොත් loan එකක් ගෙවන එක ටිකක් හරි අමාරුව අඩු වෙයි. උදාහරනයක් විදිහට reantable apartment එකක්, shop space එකක්, medical center එකක්, photography වලට ගැලපෙන landscape එකක්, congested area එකක් නන් අඩු ගානෙ parking space 2ක්, හොද විව් එකක් තියෙන roof top එකක්.

    ලංකාවේ ඉන්න කට්ටියට මේක දැක්කම මතක් වෙන්නෙ නිදහස පොඩ්ඩක් අඩු වෙනවා වගේ දැනෙනව නන් ආපහු loan rate එක දිහා බලන්න. (Not a Business Recommendation, though)

    ඒ වගේම තමයි හදපු ගෙවල් අඩුවට ගන්න පුළුවන් වෙයි ලංකාවේ මේ දවස් වල අධික බදු බර නිසා ගොඩක් මධ්‍යම පන්තියේ බහුතරය ලංකාවෙන් පිට රටකට යන්න උත්සාහ කරන නිසා ගොඩක් ගෙවල් අඩුවට ගන්න පුළුවන් වෙයි කෑෂ් වලට ගන්න පුළුවන් නම්.

    ReplyDelete
  6. බොහොම ස්තුති මෙ දැනුවත් කිරීමට.
    මම US වල එක නගරයකට ගිහින් තියනවා. යුරොපයෙ නගර කීපයකටම ගිහින් තියනවා. ලන්කාව කඩා වැටෙනකන් මම යුරොපයෙ නගර ගැන හිතුවෙ පසුගාමි විදියට. ඇමෙරිකන් නගර ගැන හරි ලොකුවට හිතුවෙ. මන්තීරු ගනනාවක පලල් මහා මාර්ග, ලස්සන පාලම් හරිම දැකුම්කලුයි. හැමොම කාර් පදිනවා. අන්න සො කොල්ඩ් ඇමෙරිකන් ෆ්‍රීඩම්.එකට යුරොපය! පාරවල් පටුයි කිසි ගතියක් නැ.මුල් තැන දෙන්නෙ පොදු ප්‍රවාහනයට. කොටින්ම මම දන්නව හොද ජොබ් තියන(highly skilled) යුරොපියයන් කාර් පදින්න දන්නෙ නැති

    මගෙ ප්‍රශ්නෙ මෙකයි. ඇමෙරිකාවෙ නගර sustainable ද? මෙව නඩත්තු කරන්න ඇති තරම් බදු මුදල් ලැබෙනවද? නැත්තම් කවද හරි කඩාවටෙයි ද?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වලනම් හැම නගරයකම වගේ බදු ආදායම් ඉලක්ක ඉක්මවා විශාල ලෙස ඉහළ යාම නිසා අතිරික්තය වියදම් කරගන්න බැරුව ඒ සඳහා ක්‍රම හොය හොය ඉන්නේ.

      Delete
  7. නාමරූප හෙවත් ද්‍රව්‍ය හා ශක්තිය
    ==========================

    නාමරූප පිළිබඳ බුද්ධ දේශිතය විශ්වය පිළිබඳ ඉතාම ගැඹුරු විවරණයක් ලෙස ගත හැකියි. මෙම වචනය පමණක් ම මේ ලෝකය කුමක්දැයි අර්ථකථනය කර ගැනීමට යොදාගත හැකි මොඩලයක් වේ. වචන දෙකක් ලෙස පෙනුනද බුදුන් වහන්සේ මෙය නිරන්තර ව යොදාගෙන ඇත්තේ තනි වචනයක් ලෙසයි. ඊට ප්‍රබල හේතුවක් තිබෙනවා.

    සරලව ගතහොත්, බුදුදහමට අනුව, නාම (name) යනු මනෝමය ලක්ෂණ වන අතර, රූප (form) යනු භෞතිකමය ලක්ෂණයන්ය. බුදුදහමට අනුව එම ආකාර දෙක එකතුවෙන් පුද්ගලයා නිර්මාණය වී ඇත.

    බුදුදහම නිවන ඉලක්කගත කර තිබෙන හෙයින්, එනම් බුදුන් වහන්සේට භෞතික විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නොවූ බැවින්, මෙම ඉගැන්වීම් අපගේ පොදු භෞතික ලෝකය න්‍යායගත කිරීම සඳහා යොදා ගත්තේ නැහැ. එහෙත්, පුද්ගල යථාර්ථය අරමුණු කළ මෙම ඉගැන්වීම් පැහැදිලිව ම ලෝකය තේරුම් ගැනීම සඳහාත් යොදාගත හැකිබවට විවාදයක් නැහැ. මන්ද මේ විශ්වයේ ඕනෑම කුඩා අංශු නියැදියක සමස්ත විශ්වයම අඩංගු නිසායි.

    නාම ලෙස බුදුන් වහන්සේ මෙහි උගන්වන්නේ, ශක්තිය (energy) බව අපට පැහැදිලි ව ගත හැකියි. රූප යනු, ඒ අනුව, ද්‍රව්‍ය (matter) වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් භෞතික විද්‍යාවට සිය පෙරළිකාරි විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන විට භාවිත කර ඇත්තේ, ඉහත බුදුදහමේ එන නාමරූප පිළිබඳ සංකල්පය බව ම බව මේ අනුව සිතිය හැකියි. ඉන් අදහස් වන්නේ, ඔහු එය බුදුදහමින් කොපි කළ බව නොවේ. අයින්ස්ටයින් විසින් තම ගුරු Ernst Mach හරහා බුදුදහම දැනගෙන සිටි බව වෙනම කතාවකි.

    නාමරූප යනු බුදුදහමට අනුව දෙකක් වෙමින් ම එකක් ලෙස ද, එකක් වෙමින් දෙකක් ලෙස ද ක්‍රියාත්මක වන ද්විරූපතාවකි. එනම් එක ම යථාර්ථයක දෙවිදියක පෙනීසිටීමකි. ඒ අනුව, නාමය රූපය බවටත් රූපය නාමය බවටත් පෙරළි⁣ය හැකිය. ⁣මේ දෙක එක වචනයක් ලෙස යොදා ගන්නේ, ඒ දෙක එකිනෙක මත යැපෙමින් පවතින හෙයිනි. එනම් මේ දෙකින් එකකට හෝ ස්වාධීන පැවැත්මක් නැත. එකක් අනෙක මත යැපේ. සැරියුත් හිමියන් විසින් මීට දුන් උදාහරණයක් නම් එකිනෙකට හේත්තු කර තිබෙන දරමිටි දෙකකි. එක් දර මිටියක පවා එය මිටියක් වී තිබෙන්නේ, ඒ තුළ ඇති දර කෝටු සමූහයක් නිසාය. ඒ අනුව, නාමය තේමේ ද විවිධ හේතුඵල මත ක්‍රියාත්මක වෙමින්, එය, තවත් එකක් මත, එනම් රූපය මතද යැපේ. මින් පැහැදිලි වන්නේ, මේ දෙක ම එකිනෙක බවට පත්වෙමින් පවතින බවයි. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සමීකරණයේ matter සහ energy එකිනෙක බවට පත්වන්නේ ද මේ අනුවයි. එනම් වරක් එය ද්‍රව්‍ය ද, තව වරක් එය ම ශක්තිය ද වේ.

    අපගේ ශරීරය තුළ මෙන්ම එහි ම දිගුවක් වන මහා භෞතිකය තුළ ද ආලෝකයේ වේගයෙන් සිදුවන ගැටීම් (collision) නිසා ශක්තිය නිපදවී ශරීරය සජීවිව පවතී. අප ආස්වාස කරන ඔක්සිජන් එම දැවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. අප මියයන්නේ තවදුරටත් අපට දැවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය අහිමි වූ විටයි. සූර්යා පවා යම් කලක මිය යන්නේ ඊට අනුවයි. පූර්ණ වශයෙන් දැවී ගිය අඟුරු නැවත පිළිස්සිය නොහැකියි.

    කාලය යනු ඉහත ගැටීම තුළ හුදු සම්මතයක් පමණක් බව දැන් අපට වැටහිය යුතුය. මන්ද මේ ගැටීම කාලය ඉක්මවා සිදුවන හෙයිනි. පස්වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික භික්ෂූවක් වන නාගර්ජුන විසින් සිය මූලමාධ්‍යමිකකාරිකා නම් සුප්‍රකට කෘතියේ අතීත වර්තමාන අනාගත යනුවෙන් කාල බෙදීමෙහි පදනම් විරහිත බව වෙනම පරීච්ඡේදයකින් ම දක්වා ඇත. වර්තමාන පටන් ගැනෙන්නේ කොතනද යන්න ඔබට සිතිය හැකි ද? එය සිතන විට ම ඔබ අතීතයට ගොස් අවසන්ය. අප භාවිත කරන සම්මත කාලයට එම සූක්ෂම ක්‍රියාවලිය හසුකරගත නොහැක. අයින්ස්ටයින් මෙය time dilation ලෙස දක්වා ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: