වෙබ් ලිපිනය:

Tuesday, March 31, 2026

ආයෝජන වියදම් අඩු වෙලාද?


පසුගිය දවස් වල ප්‍රශ්න හා ප්‍රතිචාර ගණනාවකටම මාතෘකාව වී තිබුණු ආයෝජන වියදම් පිළිබඳව සටහනක් දැමීම මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා අවශ්‍ය සියළුම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු බලා ඉන්න සිදු වූ නිසා. මේ වෙද්දී අවශ්‍ය සියලුම දත්ත ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි.

රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන 24,311යි

ආයෝජන වෙනුවෙන් වැය කර ඇති වියදම = රුපියල් බිලියන 9,709යි.

මේ අනුව, රටේ දදේනියෙන් 74.2%ක කොටසක් පරිභෝජන වියදම් වෙනුවෙන් වෙන් වෙද්දී, 29.6%ක කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් වී තිබෙනවා (මේ කොටස් දෙකේ එකතුව 100% ඉක්මවන්නේ අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කර තිබෙන නිසා).

ඊට පෙර (2024) වසරේ ආයෝජන වියදම වූ රුපියල් බිලියන 7,929ට සාපේක්ෂව පසුගිය වසරේ ආයෝජන වෙනුවෙන් වැය කර තිබෙන මුදල 24.4%කින් වැඩියි. ඊට සාපේක්ෂව බලද්දී පරිභෝජන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.0%කින් පමණයි. මෙය සෑහෙන්න හොඳ තත්ත්වයක්. 2024දී ආයෝජන වෙනුවෙන් වැය කර තිබුණේ එම වසරේ දදේනියෙන් 26.3%ක් පමණයි.

රටක ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍ය වෙනවා. නමුත් රටක ආයෝජන කියන්නේ ඇතැම් අය හිතාගෙන ඉන්නවා වගේ රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් කියන්නේ ලංකාව ඇතුළු බොහොමයක් රටවල වසරක් තුළ සිදු කෙරෙන ආයෝජන වියදම් වලින් සාපේක්ෂව කුඩා කොටසක්.

පසු ගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 998ක ප්‍රාග්ධන වියදමක් වැය කර තිබුණා. තේරුමක් නැති සංසන්දනයක් වුනත්, රුපියල් ගණන අනුව, ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ප්‍රාග්ධන වියදම. මෙය තේරුමක් නැති සංසන්දනයක් වන්නේ ප්‍රාග්ධන වියදම් පෙර වසර වලට වඩා වැඩි මට්ටමක තිබීම බොහෝ වසර වල සිදු වන සාමාන්‍ය දෙයක් නිසා. 

කෙසේ වුවත්, රටේ මුළු ආයෝජන වියදම් එක්ක බලද්දී මෙම ප්‍රමාණය 10.3%ක කොටසක් පමණයි. මෙය පසුගිය අවුරුද්දේ පැවති විශේෂ තත්ත්වයක් නෙමෙයි. 2024 වසරේ වැය කළ ප්‍රාග්ධන වියදම වූ රුපියල් බිලියන 791 සැලකුවත්, එම වසරේ මුළු ආයෝජන ප්‍රමාණයෙන් 10.0%ක් පමණයි. ප්‍රාග්ධන වියදම් වලින් 90.0%ක්ම සිදු කර තිබෙන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ නිසාම, රටේ ආර්ථික වර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කරන ආයෝජන මිසක් රාජ්‍ය අංශයේ ආයෝජන නෙමෙයි. 2024 සහ 2025 දෙවසර තුළ 5.0% බැගින් වන ආර්ථික වර්ධනයක් වාර්තා වීම අනුව වුනත්, එම දෙවසර තුළ ආයෝජන මදි කමක් තිබී නැති බව පේනවා.

අඩු වෙලා කියන රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සැලකුවත්, 2025 ප්‍රාග්ධන පිරිවැය පෙර වසරට වඩා 26.2%කින් වැඩියි. මෙය සැලකිය යුතු වැඩි වීමක්. එහෙමනම්, මේ ප්‍රාග්ධන වියදම් අඩු වෙලා කියන කතාවේ පදනම කුමක්ද? 

වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වල ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,315ක් වෙන් කර තිබුණා. නමුත්, පසු ගිය වසර වලදී වගේම, ඇත්තටම වියදම් කරලා තියෙන ප්‍රමාණය මේ වෙන් කළ මුදලට වඩා අඩුයි. අඩුව රුපියල් බිලියන 317ක්. 

රජය විසින් ඔය රුපියල් බිලියන 317ත් වියදම් කළානම් ආර්ථිකය මාර විදිහට වර්ධනය වෙලා තියෙයිද? කිසිසේත්ම නැහැ. ඇත්ත වශයෙන්ම බොහෝ විට ඇහැට පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 

මේ මුදල වියදම් කළානම් රජයට ඒ ප්‍රමාණයට තවත් ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය දදේනියෙන් 2.3% සිට 3.2% දක්වා ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරිත්තය දදේනියෙන් 5.4% සිට 4.5% දක්වා අඩු වෙනවා. ඒ වගේම, මේ විදිහට තවත් ණය ගැනීම සඳහා රජයට පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වෙනවා. පෞද්ගලික අංශයේ ණය වලින් වැඩි කොටසක් ආයෝජන සඳහා ලබා ගන්නා ණය නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩු වෙනවා. 

පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය සේ සැලකුවොත්, ශුද්ධ වශයෙන් බලද්දී ආයෝජන අඩු වෙන්නේ රුපියල් බිලියන 79ක් වැනි ප්‍රමාණයකින්. ඒ වගේ සුළු වෙනසකින් ආර්ථික වර්ධන වේගයේ ඇහැට පෙනෙන වෙනසක් වෙන්නේ නැහැ. රජය කරන්න හිටපු රුපියල් බිලියන 317ක පමණ ආයෝජනයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ වලට වඩා එයින් 75%ක් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ වැඩි වෙන්න වුනත් පුළුවන්.

රජයකට ආයෝජන කරන්න වෙන්නේ එක්කෝ බදු ලෙස එකතු කර ගන්නා මුදල් වලින්. නැත්නම් ණය අරගෙන. ණය අරගෙන ආයෝජන කරද්දී පෞද්ගලික අංශයට ණය ගන්න තිබෙන හැකියාව සීමා වෙනවා. කලින් විස්තර කළේ  ඒ තත්ත්වය. අනෙක් ක්‍රමය වන බදු මුදල් වලින් ආයෝජන කිරීම ප්‍රතිඵලදායක වන්නේ අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත් පමණයි. වැඩි ආදායම්ලාභීන් විසින් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් කොහොමටත් ආයෝජනය කරන නිසා රජය විසින් ඒ සල්ලි එකතු කරගෙන ආයෝජනය කරද්දී වෙන්නේ වඩා කාර්යයක්ෂම ආයෝජනයක් වෙනුවට අකාර්යක්ෂම ආයෝජනයක් ආදේශ වීම පමණයි. අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත්නම්, ඔවුන්ගේ පරිභෝජනය සීමා වී ඒ සල්ලි ආයෝජනය වීමක් සිදු වෙනවා.

ඔය ක්‍රම දෙකටම අමතරව තිබෙන අනෙක් ක්‍රමය විදේශ ණය අරගෙන ආයෝජනය කරන එක. ඒ ක්‍රමයේදී, මුලදී වෙනත් හානියක් නැතිව ආර්ථිකය වර්ධනය වෙනවා. නමුත් ණය ආපසු ගෙවන්න සිදු වූ විට ඒ ආර්ථික වර්ධනය ආපසු හැරෙනවා. ඒ නිසා, එවැනි ආර්ථික වර්ධනයක් තිරසාර වර්ධනයක් නෙමෙයි. විදේශ ණය අරගෙන ආයෝජනය කළ වකවානු වල ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වුනේත්, පසුව ඒ ණය ආපසු ගෙවන්න සිදු වෙද්දී ආර්ථිකය හැකිළෙන්න ගත්තේත් ඒ නිසා. 

පසු ගිය දශක හතරකට ආසන්න කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් දදේනි අනුපාතයක් ලෙස ඉහළ මට්ටමක තිබුණු සෑම වසරකදීම අයවැය හිඟය තිබුණේ ඊට වඩා වැඩි මට්ටමකයි. එයින් අදහස් වන්නේ ප්‍රාග්ධන ආයෝජන නිසා රජය සතු වත්කම් වැඩි වෙනවාට වඩා වැඩියෙන් රාජ්‍ය ණය වැඩි වෙලා කියන එකයි. පසු ගිය අවුරුද්දේදී වසර 38කට පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. අයවැයේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ණය වැඩි වීම ඉක්මවා වත්කම් වැඩි වී ඇති බවයි. 

අටවන වරටත් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහේ!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, 2026 මාර්තු මාසයේ උද්ධමනය 2.2%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, 2026 පළමු කාර්තුවේ සාමාන්‍ය උද්ධමන වේගය 2.0%ක් සේ සටහන් වෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, මහ බැංකුව විසින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 3%-7% සීමාව ඇතුළත රඳවා ගනිමින් 5%ක සාමාන්‍ය උද්ධමන වේගයක් ඉලක්ක කළ යුතුයි. මෙම උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර 2023 ඔක්තෝබර් 3 දින මේ හා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ රැඳී සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා එක දිගට කාර්තු අටක්ම මහ බැංකුවට රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූයේ නැහැ. 

මෙහිදී සිදු වූයේ උද්ධමනය එකඟ වූ ඉලක්ක සීමාව ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. 2026 පළමු කාර්තුවේදීද උද්ධමන ඉලක්කය ගිලිහී ඇති බැවින් මහ බැංකුවට නැවත වරක් රජයට කරුණු දැක්වීමට සිදු වෙනවා.

මහ බැංකුවට දෙවසරක කාලයක් පුරා රජය විසින් ලබා දුන් උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඉන්ධන සහ විදුලි ගාස්තු ආදියේ මිල රජය විසින් පහත හෙළීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල පහත වැටීමයි.

මේ වන විට ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු වී ඇති බැවින් සහ ඩොලරයක මිලද ඉහළ යමින් ඇති බැවින්, උද්ධමනයේද වැඩි වීමක් සිදු වෙමින් තිබෙනවා. ඒ අනුව, 2026 දෙවන කාර්තුව තුළ මහ බැංකුවට සිය උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකි වේයැයි සිතිය හැකියි.

පසුගිය මාර්තු මාසය තුළ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතත්, සහල්, පොල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත වැටීම හේතුවෙන් උද්ධමනය කෙරෙහි සිදු විය හැකිව තිබුණු ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී තිබෙනවා.

Monday, March 30, 2026

රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රවණතා සහ අනාගතය


පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි. 

- ප්‍රාථමික අයවැය අතිරික්තය පසුගිය (2025) වසර තුළ පැවති දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2040 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා. 

- එසේ නැතිව, දැනට සැලසුම් වල සඳහන්ව තිබෙන, දදේනියෙන් 2.4% මට්ටමේ දිගටම තියාගෙන ගියහොත්, 2055 වර්ෂය වන විට රජයේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී අවසන් වෙනවා.

- යම් හෙයකින්, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 0.4% මට්ටම දක්වා අඩු වුවහොත්, ණය ගෙවී අවසන් වන්නේ 2126 වර්ෂයේදීයි!

රාජ්‍ය ණය ප්‍රමාණය වෙනස් වන ආකාරය කෙරෙහි ප්‍රාථමික අයවැය අතිරික්තය බලපාන ආකාරය මේ අනුව පැහැදිලියිනේ. මේ කෙරෙහි ආර්ථික වර්ධනය වැනි අනෙකුත් සාධක වල බලපෑමක් තිබුණත්, ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයයි.

එහෙමනම්, දැන් ප්‍රශ්නය වන්නේ පසුගිය වර්ෂයේ වාර්තා වූ 5.4% අනුපාතය දිගටම පවත්වා ගත හැකි අනුපාතයක්ද කියන එකයි. විශේෂයෙන්ම මේ වන විට පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මේ වගේ ඉහළ මට්ටමක අතිරික්තයක් නඩත්තු කරන්න පුළුවන්ද? කෙටි පිළිතුර බැරිකමක් නැහැ කියන එකයි.

මෙහිදී අපට මේ 5.4% මට්ටම කරා ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්න වෙනවා. මෙම සංඛ්‍යාලේඛනය ඇතුළේ, පැහැදිලි ලෙසම, පසුගිය (2025) වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම තිබෙනවා. නමුත් එපමණකින්ම මෙවැනි මට්ටමකට යන්න බැහැ. එක් වර්ෂයක් තුළ ඔය වගේ වැඩක් කළ හැකිනම්, ණය ගෙවා අවසන් කරන්න දශක ගණනක් බලා ඉන්න අවශ්‍ය වන්නේ නැහැනේ. 

පසුගිය වර්ෂයේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4% දක්වා වැඩි කර ගත හැකි වූයේ ඊට පෙර වසරේදී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පැවති නිසා. ඒ කියන්නේ 2024 වර්ෂයේ මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ බලපෑම නිසා. ඒ වගේම, 2024 වර්ෂයේදී දදේනියෙන් 2.2% මට්ටමට යා හැකි වූයේ, 2021 වර්ෂයේදී දදේනියෙන් 5.7%ක හිඟයක්ව පැවති ප්‍රාථමික අයවැය ශේෂය 2023 වන විට දදේනියෙන් 0.6%ක අතිරික්තයක් බවට හරවාගෙන තිබුණු නිසා.

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)

2021: (-5.7%)

2022: (-3.7%)

2023: +0.6

2024: +2.2

2025: +5.4

අයවැයෙහි ජංගම ගිණුමේ වසර 38කට පසුව අතිරික්තයක් වාර්තා වූයේද, ඔය විදිහටම, වසර කිහිපයක් එක දිගටම මනා රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පැවති නිසා. සාර්ව ආර්ථික කළමනාකරණයෙන් ප්‍රතිඵල ලබා ගැනීම සහාය දීවීමක් වගේ දෙයක් මිසක් මීටර සියය දුවනවා වගේ වැඩක් නෙමෙයි. කලින් දුවපු අය පරතරයක් තියාගෙන ඉදිරියෙන්ම සිට ඇත්නම්, වැඩි දක්ෂතාවයක් නැති ක්‍රීඩකයෙකුට වුවත් ඒ පරතරය තියාගෙන දුවන්න  පුළුවන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෙකුට පරතරය තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙත් ක්‍රීඩකයෙකුට දුවන්න පටන් ගන්න වෙන්නේම අවසාන ස්ථානයේ සිටනම්, කොයි තරම් වේගයෙන් දිවුවත්, උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ ඉදිරියෙන්ම ඉන්න තරඟකරු එක්ක තිබෙන පරතරය අඩු කර ගන්න එක පමණක් වෙන්න පුළුවන්. තරඟය දිනන එක පහසු නැහැ. 

පසුගිය වසර පහ දිහා හැරී බැලුවොත්, සෑම වසරකදීම, ප්‍රාථමික අයවැය ශේෂය හා අදාළව, පෙර වසරේ මට්ටම පවත්වා ගන්නවාට අමතරව තරමක් හෝ ඉදිරියට ගිහින් තිබෙනවා. 

2022දී: +2.0%කින් 

2023දී: +4.3%කින් 

2024දී: +1.8%කින් 

2025දී: +3.2%කින් 

ඔය රටාව අනුව බැලුවොත්, 2026දී ප්‍රාථමික අතිරික්තය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා, පවතින අහිතකර බාහිර සාධක හමුවේ දුවන වේගය තවත් වැඩි කරගන්න අමාරු විය හැකි වුවත්, අඩු වශයෙන් වේගය එලෙසම පවත්වා ගනිමින් දැනට තිබෙන පරතරය පවත්වා ගන්න එක අමාරු නැහැ.

මීට පෙරද මේ විදිහටම ආරම්භයක් ගත් අවස්ථා තිබුණා. 2017 වර්ෂයේදී සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් හදාගෙන, 2018දී එය දදේනියෙන් 0.6% දක්වා වැඩි කරගනු ලැබුවා. නමුත් ඊට පස්සේ හුළඟක් හමලා ඔය අතිරික්තය වාෂ්ප වී හිඳී ගියා. ඔය විදිහට ප්‍රාථමික අතිරික්තය හින්ද හුළඟින් පසුව, අතිරික්තය හිඟයක් වී ටිකෙන් ටික හිඟය ඉහළ ගියා. වැඩේ කෙළවර වුනේ ශ්‍රී ලංකා රජය ණය පැහැර හරින තැනටම ගිහින්.

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි ප්‍රතිශත ලෙස)

2017: +0.0%

2018: +0.6%

2019: (-3.4)

2020: (-4.4)

2021: (-5.7)

ආර්ථික අර්බුදයෙන් පසුව මේ තත්ත්වය ආපසු හැරවිය හැකි වූයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුනක උදවුවෙන්.

- බදු කප්පාදුව ආපසු හැරවීම

- ආර්ථිකය නැවත ප්‍රසාරණය වෙද්දී බදු පදනම පුළුල් වීමට ඉඩ හැරීම මගින් බදු ආදායම් වැඩි කර ගැනීම 

- වියදම් ඉහළ යාම පාලනය කර ගැනීම

මේ තුනෙන් දෙවන හා තෙවන ක්‍රියාමාර්ග වල උදවුවෙන් ප්‍රාථමික අයවැය අතිරික්තය වැඩි අපහසුවක් නොමැතිව තව දුරටත් වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

Sunday, March 29, 2026

රාජ්‍ය ණය තවමත් ඉහළ යන්නේ ඇයි?


මීට පෙර සටහන් කිහිපයකින්ද කතා කළ රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත අපි නැවත යොමු වෙමු. පහත තිබෙන්නේ පසුගිය (2025) වසරේ ශ්‍රී ලංකා රජයේ අයවැය පිළිබඳ වඩාත්ම යාවත්කාලීන තොරතුරු.

රාජ්‍ය ආදායම් හා ප්‍රදාන - රුපියල් බිලියන 5,485.6 (දදේනියෙන් 16.7%ක්)

රාජ්‍ය වියදම් - රුපියල් බිලියන 6,230.4 (දදේනියෙන් 19.0%ක්)

අයවැය හිඟය - රුපියල් බිලියන 744.9 (දදේනියෙන් 2.3%ක්) 

ප්‍රාථමික අයවැය අතිරික්තය - රුපියල් බිලියන 1,755.8 (දදේනියෙන් 5.4%ක්)

මීට පෙරද සඳහන් කළ පරිදි, මේ සංඛ්‍යා වලින් පෙන්නුම් කරන්නේ 1956 වර්ෂයෙන් පසුව, ඒ කියන්නේ වසර 69කට පසු, වාර්තා වන හොඳම තත්ත්වය. එසේ කියන්නේ මූලික වශයෙන්ම දදේනි අනුපාත ලෙස අයවැය හිඟය දෙස සහ ප්‍රාථමික අයවැය අතිරික්තය දෙස බලමිනුයි.

පසු ගිය වසරේ වාර්තා වී තිබෙන ප්‍රාථමික අයවැය අතිරික්තය ඉතිහාසයේ ඉහළම අගය. ඒ වගේම, අයවැය හිඟය වසර 69කට පසුව වාර්තා වන අඩුම අගය. එසේ වුවත්, එම අගය තව දුරටත් හිඟයක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම් කොපමණ වැඩි වී තිබුණත්, වියදම් ඊට වඩා වැඩියි. 

ආදායමට වඩා වියදම වැඩියි කියන්නේ, හේතු මොනවා වුනත්, ආදායමෙන් අවසාන වශයෙන් ඉතිරියක් නැහැ කියන එක. හිඟය පියවා ගැනීම සඳහා ණය ගන්න වෙනවා කියන එක. ඒ නිසා, රජයේ ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ යනවා කියන එක. මේ තත්ත්වය වෙනස් වෙන්නේ අයවැය අතිරික්තයක් වාර්තා වූ දවසක පමණයි. 

දැනට තිබෙන හිඟ අයවැය තත්ත්වය අතිරික්ත තත්ත්වයක් වෙන්නනම් ආදායම් වැඩි වීම, වියදම් අඩු වීම හෝ ඔය දෙකම සිදු විය යුතුයි. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී සහ උද්ධමනය නිසා බදු අනුපාතික වැඩි කළේ නැතත් බදු ආදායම් වසරෙන් වසර ඉහළ යනවා. ඒ නිසා, ආදායම් වැඩි වීම කියන්නේ කිසිවක් අමුතුවෙන් නොකළත් සිදු වෙන දෙයක්. නමුත් වියදම් අඩු කර ගැනීම කියන්නේ ඊට සාපේක්ෂව ඉතාම අසීරු කාර්යයක්. 

සාමාන්‍යයෙන් උද්ධමනය නිසා වියදම් වසරෙන් වසර යම් තරමකින් හෝ ඉහළ යන එකයි වෙන්නේ. ඒ නිසා, අයවැය තුලනය කරා යන ඉලක්කගත ගමනකදී ප්‍රායෝගිකව කරන්න වෙන්නේ ආදායම් ඉහළ යද්දී වියදම් ඉහළ යාම පාලනය කර ගන්න එකයි. එසේ කිරීම මගින්, ආදායම් හා වියදම් අතර පරතරය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. 

රජයේ වියදම් අතරින් ලොකුම වියදම් සංරචකය පොලී වියදම කියා කියන්න පුළුවන්. පසුගිය වසරේ පොලී වියදම රුපියල් බිලියන 2,500.7ක් හෙවත් දදේනියෙන් 7.6%ක්. අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%ක් පමණයි. ඒ නිසා, වියදම් ඉහළ යාම පාලනය කර ගන්නනම්, අනිවාර්යයෙන්ම පොලී වියදම් ඉහළ යාම පාලනය කර ගැනීම ගැන හිතන්න වෙනවා. 

පොලී වියදම් හැදෙන්නේ සාධක දෙකක් මත පදනම්වයි. පළමු සාධකය ණය ප්‍රමාණය. දෙවන සාධකය පොලී අනුපාතිකය. 

රාජ්‍යමූල්‍ය කළමනාකරණය කොයි තරම් හොඳ වුනත්, අයවැය හිඟයක් පවතින තුරු අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ නිසා ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා, පොලී වියදම් අඩු විය හැකි එකම ක්‍රමය පොලී අනුපාතික අඩු වීමයි. 

රජයේ වත්මන් ණය කළඹ දිහා බැලුවොත්, එම ණය වලින් විශාල කොටසක් දිගුකාලීන ණය. ණය ප්‍රතිව්‍යුහගත කරද්දී ප්‍රධාන වශයෙන්ම කළේ ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට ණය වලින් විශාල කොටසක් සඳහා අනාගතයේ ගෙවිය යුතු පොලී අනුපාතික දැනටමත් තීරණය වී අවසන්. මෙයින් ඉලක්ක කළේ අනාගතයේදී වැඩි පොලියට ණය ලබාගන්න සිදු වීමේ අවදානම ඉවත් කර ගන්න වුනත්, එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණය පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවද සීමා වී තිබෙනවා. 

වෙනත් විදිහකට කිවුවොත්, කෙටිකාලීනව පොලී අනුපාතික වල සිදු වන වෙනස් වීම් රජයේ ණය පොලී වියදම කෙරෙහි බලපානවා තමයි. නමුත් ඒ විදිහේ බලපෑමක් තියෙන්නේ ණය කළඹෙන් සාපේක්ෂව කුඩා කොටසක් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික වලට පමණයි. දිගුකාලීන ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික කලින්ම තීරණය වෙලා ඉවරයි. ඔය තත්ත්වයත් එක්ක, පොලී අනුපාතික අඩු කර ගැනීම මගින් තව දුරටත් වියදම් අඩු කර ගැනීම ප්‍රායෝගිකව පහසු වැඩක් නෙමෙයි. 

පොලී අනුපාතික අඩු වුනේ නැතත්, ණය ප්‍රමාණය අඩු වෙද්දී පොලී වියදම් අඩු වෙනවා. නමුත් ණය ප්‍රමාණය අඩු වෙන්නනම් අයවැය අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. දැනට අයවැය අතිරික්තයක් නැහැ.

අයවැය අතිරික්තයක් නැතත්, දැනට සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගට පවත්වා ගැනීම මගින් යම් කාලයකට පසුව අයවැය හිඟය අයවැය අතිරික්තයක් බවට හරවා ගන්න පුළුවන්. ඉන් පසුව, ක්‍රමයෙන් ණය අඩු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ගත වන කාලය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ පවත්වා ගන්නා ප්‍රාථමික අයවැය අතිරික්තය මතයි.

පසුගිය (2025) වසර ආරම්භයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.7ක්. එම ණය ප්‍රමාණයේ අනුපාතයක් ලෙස බලද්දී වසර තුළ ගෙවා තිබෙන පොලී මුදල එයින් 8.7%ක්. ඒ කියන්නේ වසර ආරම්භයේදී තිබුණු ණය ප්‍රමාණය මත, සාමාන්‍ය අගයක් ලෙස, 8.7%ක පොලියක් ගෙවා තිබෙනවා. වසර අවසන් වෙද්දී රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,994.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔය ණය ප්‍රමාණය වෙනුවෙන් 2026 වසර ඇතුළත පොලී වැය ලෙස 8.7%ක වියදමක් දරන්න සිදු වෙනවා කියා සැලකුවොත්, ණය වැඩි වී තිබෙන අනුපාතයෙන්ම පොලී වියදමද ඉහළ යනවා. ඒ නිසා, අනෙකුත් වියදම් මොන විදිහකින් හෝ ස්ථාවරව තියා ගත්තත්, රජයේ සමස්ත වියදම ඉහළ යනවා.

කෙසේ වුවත්, ඔය විදිහට පොලී වියදම ඉහළ යද්දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යනවා. රටේ දදේනිය ඉහළ යද්දී, බදු අනුපාතික අඩු කළේ නැත්නම්, රජයේ බදු ආදායම් අවම වශයෙන් අනුපාතිකව ඉහළ යනවා. බදු අය කරන අවම සීමාවන් වෙනස් නොකළොත් බදු ආදායම් වඩා වැඩියෙන් ඉහළ යනවා. ඒ නිසා, රාජ්‍ය වියදම් වැඩි වෙද්දී වුනත්, එසේ වැඩි වන වේගය සීමා කර ගැනීම මගින්, දදේනි අනුපාතයක් විදිහට ප්‍රාථමික අතිරික්තය වැඩි කරගන්න හෝ පවත්වා ගන්න පුළුවන්. 

දදේනි අනුපාතයක් විදිහට ප්‍රාථමික අයවැය අතිරික්තය දැනට තිබෙන 5.4% මට්ටමේ දිගටම පවත්වා ගන්නවා කියලා අපි උපකල්පනය කරමු. අනුපාතය වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයේ රුපියල් අගය රටේ දදේනිය වර්ධනය වන වේගයෙන් වසරින් වසර ඉහළ යනවා කියන එකයි. ප්‍රාථමික අයවැය අතිරික්තයේ රුපියල් අගය මේ විදිහට ඉහළ යද්දී, පොලී වියදම් වැඩි වන වේගය ඊට වඩා අඩු මට්ටමක පවත්වා ගන්න පුළුවන්නම්, වසරින් වසර අයවැය හිඟය ටිකෙන් ටික අඩු වෙලා යම් වසර ගණනකට පසුව අයවැය තුලනය වෙනවා. ඉන් පසුව, ණය ප්‍රමාණයද අඩු වෙන්න පටන් ගන්නවා. 

රටේ දදේනිය උද්ධමනය සහ ආර්ථික වර්ධනය කියන කාරණා දෙක මත තීරණය වෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් බලද්දී රටේ දිගුකාලීන රාජ්‍යමූල්‍ය තත්ත්වය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු වන්නේ උද්ධමනය,  ආර්ථික වර්ධනය, සාමාන්‍ය පොලී අනුපාතිකය සහ ප්‍රාථමික අයවැය අතිරික්තය කියන කරුණු හතරයි. මේ කරුණු හතර අතරින් ආර්ථික වර්ධනය කෙරෙහි රජයට ලොකු සෘජු බලපෑමක් කරන්න බැහැ. උද්ධමනය ස්ථාවරව තබා ගැනීම මහ බැංකුව විසින් කරන දෙයක්. පොලී අනුපාතික ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ උද්ධමනය මත නිසා, පොලී අනුපාතික කෙරෙහි උද්ධමනයෙන් ස්වායත්තව රජයට තිබෙන්නේ සීමිත පාලනයක් පමණයි. රජයට පහසුවෙන්ම පාලනය කළ හැකි විචල්‍යය වන්නේ රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තයයි.

පහත උපකල්පන යටතේ ඉදිරි කාලයේ ලංකාවේ රාජ්‍යමූල්‍ය අංශයේ හැසිරීම මොන වගේ විය හැකිද කියා අපි දැන් විමසා බලමු. උපකල්පන මේවායි.

1. උද්ධමනය - දිගුකාලීනව සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටේම් පවතිනු ඇත. මෙය මහ බැංකුවේ ප්‍රකාශිත ඉලක්ක මට්ටමයි.

2. ආර්ථික වර්ධනය- දිගුකාලීනව සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටේම් පවතිනු ඇත. මෙය 2024 හා 2025 වසර වල වාර්තා වූ ආර්ථික වර්ධන මට්ටමයි.

3. පොලී අනුපාතිකය - දිගටම සාමාන්‍ය අගයක් ලෙස 8.7% මට්ටේම් පවතිනු ඇත. මෙය පසුගිය වසරේ රජයේ පොලී වියදම සහ වසර මුල පැවති ණය ප්‍රමාණය අතර අනුපාතයයි.

4. රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය - දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම පවතිනු ඇත. මෙය පසුගිය 2025 වසරේදී ලඟා කර ගත හැකි වූ මට්ටමයි.

ඉහත උපකල්පන යටතේ, 2029 වසර දක්වා රාජ්‍ය ණය තව දුරටත් වැඩි වන නමුත්, 2030 වර්ෂයේදී සමස්ත අයවැය අතිරික්තයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන් පසුව, ණය තවත් වැඩි නොවී අඩු වෙන්න පටන් ගන්නවා. ඔය තත්ත්වය ඔය විදිහටම දිගටම තිබුණොත්, 2040 වර්ෂය වන විට රජයේ සියලුම ණය ගෙවී අවසන් වෙනවා.

ඉහත පළමු උපකල්පන තුන නොවෙනස්ව තිබියදී, රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.4% මට්ටමේ පැවතුණොත් ඉහත ප්‍රක්ෂේපණය වෙනස් වෙන්නේ කොහොමද? දදේනියෙන් 2.4% කියන්නේ දැනට රජයේ දිගුකාලීන සැලසුම් වල තිබෙන ඉලක්කයයි.

එසේ වුවහොත්, අයවැය තුලනය වනු ඇත්තේ 2044 වසරේදී වන අතර, ණය ගෙවී අවසන් වනු ඇත්තේ 2055 වසරේදීයි.

යම් හෙයකින් රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය අගයක් ලෙස 5% නොවී 4.5% වුනොත්? 

එසේ වුවද, 2030 වර්ෂයේදී සමස්ත අයවැය අතිරික්තයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම, 2040 වර්ෂය වන විට රජයේ සියලුම ණය ගෙවී අවසන් වෙනවා. ඒ කියන්නේ, යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය 5% නොවී 4.5% වුනත්, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම පවත්වා ගත හැකිනම්, රාජ්‍යමූල්‍ය තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව 4.5% මට්ටමටත් වඩා අඩු වෙන්න හේතුවක් නැහැ. 

අනෙක් අතට, ආර්ථික වර්ධන වේගය මොන විදිහකින් හෝ 6% දක්වා ඉහළ දමා ගත්තත්, අතිරික්තයක් හදා ගන්න පුළුවන් වෙන්නේ 2030දීම තමයි. රජයේ ණය ගෙවී අවසන් වෙන්නේ 2039දී. කාලය අඩුවෙන්නේ අවුරුද්දකින් පමණයි. 

උද්ධමන ඉලක්කය 5% සිට 4% දක්වා අඩු කළොත්, පොලී අනුපාතික අඩු වුනේ නැත්නම්, මේ කාලය 2041 දක්වා වසරකින් ප්‍රමාද වෙන එකයි වෙන්නේ. නමුත් උද්ධමනය ඉලක්කය අඩු කළොත්, පොලී අනුපාතිකද අඩු වී මේ බලපෑම නිශේධනය වෙනවා. ඒ වගේම, සාමාන්‍ය උද්ධමනය ඉහළ ගියොත්, පොලී අනුපාතික ඉහළ ගිහින් එහි බලපෑම නිශේධනය වෙනවා. අවසාන වශයෙන් රාජ්‍යමූල්‍ය අංශයෙහි අනාගතය කෙරෙහි ලොකුවට බලපාන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය පමණයි.

පසුගිය අවුරුද්දේදී දදේනියෙන් 5.4%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී ඇතත්, එවැනි ඉහළ මට්ටමක් දිගටම පවත්වා ගන්නා බවක් කිසිවෙකු කියා නැහැ. එකම දේ මේ ඉලක්කය ලඟා කර ගත හැකි ඉලක්කයක් බව මේ වෙද්දී තහවුරු වී තිබීම පමණයි. 

මේ අවුරුද්ද ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය හා අදාළව අභියෝගාත්මක අවුරුද්දක්. ඒ නිසා, මේ අවුරුද්දේත් දදේනියෙන් 5.4%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වීම පිළිබඳව කිසිම සහතිකයක් නැහැ. දැනට ඉලක්ක කර තිබෙන දිගුකාලීන සාමාන්‍ය අගය දදේනියෙන් 2.4%ක් පමණයි. ණය තිරසාරත්වය සඳහා අවශ්‍ය අවම අගය සේ හඳුනාගෙන තියෙන්නේ දදේනියෙන් 2.3%. මෙම අගය වෙනස් වෙද්දී රජයේ ණය ගෙවී අවසන් වීම සඳහා ගත වන කාලය වෙනස් වෙන්නේ මේ විදිහටයි.

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%ක්නම් - 2056දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.4%ක්නම් - 2055දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.5%ක්නම් - 2054දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 3.0%ක්නම් - 2050දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 3.5%ක්නම් - 2047දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 4.0%ක්නම් - 2044දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 4.5%ක්නම් - 2042දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.0%ක්නම් - 2041දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4%ක්නම් - 2040දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.5%ක්නම් - 2039දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 6.0%ක්නම් - 2038දී 

රජයක් ණය ගෙවා අවසන් කළ යුතුද? ලෝකයේ අනෙක් රටවල් වල ඒ වගේ දෙයක් වෙනවද?

රජය ණය ගෙවා අවසන් කරනවා කියන එකෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ ශුද්ධ වශයෙන් ණය ගෙවා අවසන් කරනවා කියන එකයි. රජයේ ණය වලට වඩා රජය සතු ද්‍රවශීල මූල්‍ය වත්කම් වැඩිනම්, එය රජය විසින් ණය ගෙවා අවසන් කිරීමක් සේ සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් රජයක් සතු  සතු ද්‍රවශීල මූල්‍ය වත්කම් විවිධ කාර්යයන් සඳහා පිහිටුවන අරමුදල් වල තබා ගන්නවා. දැනට ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි අරමුදල් නැති තරම්.

මෙවැනි අරමුදල් සඳහා උදාහරණයක් ලෙස, ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පෙන්වා දෙන්න පුළුවන්. මෙහි අරමුණ වන්නේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක සහනාධාර ලබා දීමයි. සහනාධාර දෙන්නේ කලින්ම ඒ සඳහා වෙන් කර තිබෙන අරමුදල් යොදවමින් නිසා මෙවැන්නක් රජයට අමතර වැය බරක් වෙන්නේ නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග සංවර්ධනය, සමාජ සංරක්ෂණය වැනි විවිධ කටයුතු වෙනුවෙන් මෙවැනි අරමුදල් පිහිටුවන්න පුළුවන්.

රජය සතු මෙවැනි අරමුදල් වල මුදල් ඇති විට, එම මුදල් සුරක්ෂිත ලෙස ආයෝජනය කිරීමටද සිදු වෙනවා. ඒ වෙනුවෙන්, රජයට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කළ හැකියි. එසේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම රජය විසින් ණය ගැනීමක් වුවත්, එහිදී රජයට ණය දෙන්නේ නැවත වරක් රජය විසින්ම බැවින්, ශුද්ධ වශයෙන් රජය ණය නැහැ. රජය ණය ගෙවා අවසන් කිරීමක් කියන්නේ එවැනි තත්ත්වයක්.

Saturday, March 28, 2026

පෝලිමක පැයක්!


කාලයකට පසුව අද පැය බාගයක පමණ කාලයක් පෝලිමක හිටියා. අඩු වශයෙන් සැතපුම් බාගයක්වත් දිග පෝලිමක්. සාමාන්‍ය තත්ත්වයක් නොවුනත්, ඇමරිකාවේ ඔය වගේ පෝලිම් හැදෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. 

වෙළඳපොළක ඉල්ලුම සහ සැපයුම තුලනය වෙනවානම්, පෝලිම් හැදෙන්නේ නැහැ. නිදහස් වෙළඳපොළක ඉල්ලුම සහ සැපයුම තුලනය වෙන්නේ මිල යාන්ත්‍රනය හරහායි.

පවතින කවර හෝ මිල යටතේ, සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම්, භාණ්ඩයක් අත්පත් කර ගැනීම සඳහා පෝලිම් හැදෙනවා. මේ විදිහට පෝලිම් හැදෙද්දී සැපයුම්කරුවන් විසින් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන මිල වැඩි කරනවා. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම, තවත් සැපයුම්කරුවන් ඉදිරිපත් වෙනවා. ඒ මගින්, ඉල්ලුම අඩු වී සැපයුම ඉහළ යනවා. ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. පෝලිම නැති වෙනවා.

යම් හෙයකින් පවතින මිල ඉල්ලුම හා සැපයුම තුලනය වන මිලට වඩා අඩු නම්, ඒ මිල යටතේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා, පෝලිමක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට, වෙසක් දන්සැල් වලදී මෙන්, යමක් මුදල් අය නොකර දෙන බොහෝ අවස්ථා වලදී පෝලිම් ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෝලිම් දකින්න ඇත්නම්, එයින් පෙන්නුම් කරන්නේ සැපයුමට වඩා ඉල්ලුම වැඩියි කියන එක.

නමුත් අද පෝලිමක ඉන්න සිදු වූ හේතුව මීට වඩා තරමක් වෙනස්. මේ පෝලිම හැදෙන්න හේතු වී තිබුනේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීමයි. 

ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් පෝලිමක් හැදුනේ කොහොමද? 

මේ පෝලිම ගන්න හැදුනු පෝලිමක් නෙමෙයි. දෙන්න හැදුනු පෝලිමක්. වෙනත් විදිහකින් කිවුවොත් භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා හැදුනු පෝලිමක් නෙමෙයි. භාණ්ඩ බැහැර කිරීම සඳහා හැදුණු පෝලිමක්. 

ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ අත්පත් කර ගැනීම. ප්‍රමාණවත් තරම් මුදල් නැත්නම්, අප‍ට අප‍ට අවශ්‍ය සියලුම භාණ්ඩ අත්පත් කර ගැනීමේ අවස්ථාව නැති වෙනවා. නමුත් ඇමරිකාව වගේ රටක තමන්ට අවශ්‍ය භාණ්ඩ අත්පත් කර ගැනීම වගේම, අනවශ්‍ය භාණ්ඩ බැහැර කිරීමත් විශාල ප්‍රශ්නයක්.

මාසයකට දෙකකට කලින් අපේ රෙදි සෝදන යන්ත්‍රයේ ස්පිනර් එක හරියට වැඩ කරන්නේ නැතිව ගියා. ඒ වෙද්දී මේ යන්ත්‍රය අවුරුදු හත අටක් පාවිච්චි කරලයි තිබුණේ. සාමාන්‍යයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් අවුරුදු දහයක් දොළහක් පාවිච්චි කරන්න පුළුවන්.

ප්‍රශ්නයට හේතුව එහි ශොක් ඇබ්සෝබර් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම්, ස්පිනර් එක යන්ත්‍රයට සම්බන්ධ වන සැකිල්ලේ (ස්පයිඩර් ආම් එකේ) ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඇත්ත ප්‍රශ්නය කුමක්ද කියන එක අනුව, ඩොලර් පණහක පමණ සිට ඩොලර් දෙසිය පණහක පමණ දක්වා මුදලක් අමතර කොටස් සඳහා වැය කරන්න වෙනවා. 

මේ වගේ වැඩකට කාර්මිකයෙකු ගෙන්වා ගත්තොත්, තවත් සැලකිය යුතු මුදලක් ගෙවන්න සිදු වෙනවා. එහෙම කාර්මිකයෙකු ගෙනත් අලුත්වැඩියා කරගත්තත්, ඔය වගේ යාන්ත්‍රික උපකරණයක් නැවත ලෙඩ දෙන්න පුළුවන්. මෙය තනියම ගොඩ දාගන්න බැරි තරම් අමාරු වැඩක් නොවුනත්, ඒ වගේ වැඩක් වෙනුවෙන් ඒ වෙලාවේ කාලය යෙදවීමේ ආවස්ථික පිරිවැය වඩා වැඩියි. ඒ වගේම, රෙදි සෝදා වේලා ගැනීම සති ගණනක් කල් දමන්න හෝ නොකර ඉන්න බැහැ. අලුත් යන්ත්‍රයක් මිල දී ගත්තොත්, බොහෝ විට, අවුලක් නැතිව තව අවුරුදු දහයක් පමණ පාවිච්චි කරන්න පුළුවන්. 

කලින් තිබුණු රෙදි සෝදන යන්ත්‍රය සහ රෙදි වේලන යන්ත්‍රය කොරියන් සන්නාමයක්. රෙදි සෝදන යන්ත්‍රය කැඩුනේ අවුරුදු අටක් හෝ නවයක් පාවිච්චි කළාට පසුව නිසාත්, රෙදි වේලන යන්ත්‍රය තවත් අවුරුදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙන නිසාත්, ඒ සන්නාමයේම අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න එක ගැන මුලින්ම හිතා බැලුවා. 

හරියටම ඔය දවස් වල තමයි ජනාධිපති ට්‍රම්ප් තීරුබදු ක්‍රීඩාව කරමින් සිටියේ. ඇමරිකාවේ රෙදි සෝදන යන්ත්‍ර සහ රෙදි වේලන යන්ත්‍ර වෙළඳපොළට තීරු බදු ප්‍රතිපත්තියේ විශාල බලපෑමක් තිබෙනවා. පිරිවැයේ විශාල වෙනසක් නැති තත්ත්වයක් යටතේ, කොරියන් සන්නාමය ඇමරිකන් සන්නාම එක්ක අමාරුවෙන් තරඟකරමින් සිටියේ සම තරඟයක් තිබුණු නිසා. තීරු බදු දමපු ගමන්, කොරියන් සන්නාමයට තරඟ කරන්න අමාරු වෙනවා. රෙදි සෝදන යන්ත්‍ර සහ රෙදි වේලන යන්ත්‍ර ඇමරිකානු වෙළඳපොළේ විකුණන්නනම්, තීරු බද්දෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයාට සම්ප්‍රේෂණය නොකර සමාගම විසින් දරාගන්න වෙනවා.

හැබැයි මිල කියන්නේ පාරිභෝගික තීරණ වලට බලපාන එකම සාධකය නෙමෙයිනේ. මිල සහ ගුණාත්මක භාවය සමාන තත්ත්වයක් යටතේදී, පාරිභෝගිකයින් විසින් "දේශීය නිෂ්පාදන" ලේබලය වෙනුවෙන් වැඩි බරක් තියන්න පුළුවන්. "ඇමරිකන් ෆස්ට්" වගේ ස්ලෝගන් එකක් රටේ දේශපාලන රැල්ලක් හදා තිබෙන පසුබිමක ඔය බලපෑම වඩා වැඩියි. ඔය වෙලාවේ තිබුණෙත් ඔය වගේ තත්ත්වයක්. ඒ නිසා, කොරියන් සන්නාමය විකුණාගන්න පුළුවන් වෙන්නේ පාරිභෝගිකයාට සැලකිය යුතු මිල වාසියක් දුන්නොත් පමණයි. 

ඇත්තටම කොරියන් සමාගම විසින් කරලා තිබුණේ ඔය වැඩේ. එම සමාගම විසින් තෝරාගත් පාරිභෝගික කණ්ඩායම් වලට විශාල වට්ටමක් ලබා දී තිබුණා. උදාහරණයක් විදිහට හමුදා පවුල් වල සාමාජිකයින්ව. 

දැන් මේ වගේ වට්ටමක් ලබා දීමේදී හමුදා පවුල් වල සාමාජිකයින් වැනි කණ්ඩායම් ඉලක්ක කර තිබෙන්නේ ඇයි? සාමාන්‍ය කරුණක් විදිහට, හමුදා සාමාජිකයින්ගේ "දේශප්‍රේමය" වැඩියි. ඒ නිසා, විශාල මිල වෙනසක් නැත්නම්, හමුදා පවුලක කෙනෙක් ඇමරිකන් නිෂ්පාදනය වෙනුවට කොරියන් නිෂ්පාදනය මිල දී ගන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ ඉන්න කොරියන් සංක්‍රමණිකයෙක් වගේ කෙනෙක් සැලකුවොත් තත්ත්වය වෙනස්. එවැනි පාරිභෝගිකයෙක් විසින්, දෙකේම මිල සමානනම්, බොහෝ විට මිල දී ගන්නේ කොරියන් සන්නාමය. ඒ නිසා සමාගමේ පැත්තෙන් බලද්දී, පොදුවේ මිල අඩු කිරීමක් කරන එකේ තේරුමක් නැහැ. ඉලක්කගත වට්ටමක් දෙන එක වඩා වාසිදායකයි. 

ඔය විදිහට වට්ටම් ලබා ගත හැකි කණ්ඩායම් බලද්දී, ඒ එක් කණ්ඩායමකට මාවද අයත් වන බව පෙනුනා. ඒ අනුව, අලුත් රෙදි සෝදන යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා වැය වන්නේ කලින් හිතාගෙන හිටපු සාමාන්‍ය මිලට වඩා සැලකිය යුතු අඩු මිලක්. කැඩුණු යන්ත්‍රය ගලවලා බැලුවානම් ප්‍රශ්නය හරියටම හඳුනා ගන්න තිබුනා. එසේ හඳුනාගැනීමෙන් පසුව, ප්‍රශ්නය ශොක් ඇබ්සෝබර් වල ප්‍රශ්නයක්නම්, ඩොලර් සීයකින් පමණ වැඩේ ගොඩ දාගෙන තවත් අවුරුදු තුන හතරක් ඇදගන්න තිබුණා. නමුත් මේ වෙනුවෙන් වෙලාව වැය කළාට පස්සේ ලෙඩේ තියෙන්නේ සැකිල්ලේනම්, එය මාරු කරන එකට වඩා අලුත් යන්ත්‍රයක් ගන්න එක වාසියි. වට්ටම් සමඟ අලුත් යන්ත්‍රයක මිල එක්ක බලද්දී, ගලවන්න කාලය යොදවන්නේ නැතිව, තීරණය කලින්ම ගන්න එක වාසියි. ඒ නිසා, අලුත් යන්ත්‍රයක් ඇනවුම් කළා.

මේ හා අදාළව ගන්න තිබුණු තීරණය මේ වගේ එකක්.

යන්ත්‍රය පරීක්ෂා කිරීමෙන් පසු ඇති විය හැකි තත්ත්වය: ඩොලර් පණහක වියදමක් හෝ ඩොලර් දෙසිය පණහක වියදමක් සමඟ ශ්‍රමය. ශ්‍රමයේ වියදම, ප්‍රශ්නයේ ස්වභාවය අනුව, තවත් ඩොලර් සීයක් හෝ එකසිය පණහක් පමණ. මේ වෙලාවේ මගේ කාලයේ ආවස්ථික පිරිවැය වඩා වැඩි නිසා, මේ වැඩේට වෙනත් අයෙකු යොදවා ගැනීම වාසිදායකයි. ඒ අනුව, පරීක්ෂා කිරීමෙන් පසු, මුළු වියදම ඩොලර් එකසිය පණහක් තරම් අඩු හෝ ඩොලර් හාරසීයක් තරම් වැඩි වෙන්න පුළුවන්. 

අලුත් රෙදි සෝදන යන්ත්‍රයක් ඩොලර් හයසීයකට පමණ මිල දී ගන්න පුළුවන්. අලුත්වැඩියා කිරීමෙන් පසුවද, පරණ යන්ත්‍රය අලුත් යන්ත්‍රයකට සමාන නොවන නිසා, එහි වටිනාකම වැඩිම වුනොත් ඩොලර් දෙසිය පණහක් පමණ. ඒ නිසා, ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් වැඩක් වෙන්නේ සැකිල්ලට හානි වී නැත්නම් පමණයි. එසේ වුවද, ලැබිය හැකි වාසිය ඩොලර් සීයක පමණ වාසියක්. ඒ නිසා, පරීක්ෂා නොකරම තීරණය ගන්න එක වාසියි. එමගින් පරීක්ෂා කිරීම සඳහා යන කාලය හෝ මුදල ඉතිරි වෙනවා. 

මේ පරීක්ෂාව සඳහා වෙනත් අයෙකු කැඳවුවහොත්, ඒ වෙනුවෙන් ඩොලර් පණහක් පමණ ගෙවන්න සිදු වෙනවා. ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් පසුව වැඩේ භාර දුන්නොත්, සාමාන්‍යයෙන් ඒ මුදල අඩු කරනවා. ඒ නිසා, සැකිල්ලට හානියක් වී නැත්නම්, ඩොලර් එකසිය පණහකින් වැඩේ ඉවර වෙනවා. නමුත් සැකිල්ලට හානි වී ඇත්නම්, වඩා වාසිදායක අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න එකයි. ඒ නිසා, කැඳවීම වෙනුවෙන් මුදල් ගෙවන්න වෙනවා. එය අළුත් යන්ත්‍රය මිල දී ගන්න යන වියදමට අමතර වියදමක්. ඔය තත්ත්වයත් එක්ක අලුත් යන්ත්‍රයක් මිල දී ගන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. 

හැබැයි මෙය පරීක්ෂා කරන්න වෙලාව තිබුණානම් තත්ත්වය වෙනස්. මේ වගේ අලුත්වැඩියාවක් තනිව කරන එකෙන් ලැබෙන සතුටටත් වටිනාකමක් තිබෙනවා. සමහර වෙලාවට, මූල්‍යමය වාසියක් නැතත්, මම ඔය වගේ වැඩ කරනවා. යන්ත්‍රය කැඩුනේ ශීත සෘතුවේ කාලගුණය නරකම දවසක නොවී උණුසුම් දවසක වුනානම්, යන්ත්‍රය ගලවා නැවත සවි කරන්න තිබෙන කැමැත්ත උඩට එනවා. 

අලුත් යන්ත්‍රයක් මිල දී ගනිද්දී එය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් සහ සවි කිරීම වෙනුවෙන් වෙනම මිල ගණන් ගෙවන්න වෙනවා. අලුත් යන්ත්‍රය ගත්තට පස්සේ පරණ යන්ත්‍රය බැහැර කිරීමත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඔය වැඩේට ඩොලර් පණහක් පමණ ගන්නවා. අලුත් යන්ත්‍රය ප්‍රවාහනය කිරීම සහ සවි කිරීම කරන කොන්ත්‍රාත්කරු විසින් පරණ යන්ත්‍රය අරගෙන යනවා. අවශ්‍ය මිල ගෙවුවට පස්සේ ප්‍රශ්නය ඉවරයි.

අලුත් යන්ත්‍රය ප්‍රවාහනය කර සවි කරන්න නියමිතව තිබුණු දවසේ කාළගුණය ගොඩක් නරක අතට හැරුණා. අඩියකට කිට්ටුව හිම වැටුණා. ඒ නිසා, එය ප්‍රවාහනය කිරීම සහ සවි කිරීම සඳහා පැමිණි කොන්ත්‍රාත්කරුට දවස තුළ දමාගෙන තිබුණු වැඩ අවසන් කරන්න වැඩි වෙලාවක් ගොස් තිබුණා. සාමාන්‍යයෙන් දවසක් තුළ මෙවැනි ප්‍රවාහනය කිරීම් සහ සවි කිරීම් හත අටක් කරනවා. ඇප් එකක් මගින් දැන් වැඩේ කරන තැන බලාගන්න පුළුවන්. දිගටම වැඩේ සිදු වුනේ කාලසටහනට වඩා ප්‍රමාදයකින්. අන්තිමට අපේ ගෙදරට ආවේ රාත්‍රී අටට පමණ. ඔහුට ඒ වෙලාවේ වැඩේ අවසන් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. 

කොන්ත්‍රාත්කරු විසින් එදින කළේ යන්ත්‍රය ප්‍රවාහනය කිරීම පමණයි. එය සවි කිරීම හෝ පරණ යන්ත්‍රය රැගෙන යාමක් සිදු වුනේ නැහැ. මේ ගැන ආයතනයට පැමිණිලි කළ විට වෙනත් දවසක් ලැබුනත් එය තවත් සතියකින් පසු දවසක්. එතෙක් කාලයක් බලා සිටිය නොහැකි නිසා අන්තිමට යන්ත්‍රය ඊට පෙර සවි කරගන්න සිදු වුනා. පැරණි යන්ත්‍රය ගෙදර ඉතිරි වුනා. එය රැගෙන යාම සඳහා අය කළ මුදල ආපසු ලැබුනත්, ඒ මුදලින් එය බැහැර කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. එම සේවාව සපයන්නේ අලුත් යන්ත්‍රයක් ප්‍රවාහනය කර සවි කරන විට පමණයි. 

අද පැය බාගයකට වඩා කාලයක් පෝලිමේ සිටියේ මාස දෙකකට පමණ පසු මේ යන්ත්‍රයෙන් නිදහස් වීම සඳහා. මාස හයකට වරක් අපේ කවුන්ටියේ ප්‍රතිචක්‍රීකරණ දිනයක් තිබෙනවා. එදිනට, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දේවල් නොමිලේ බැහැර කළ හැකියි. පොදු ස්ථානයකදී මේවා භාර ගන්නවා. පිළිස්සුනු විදුලි බුබුළු, පරණ බැටරි, ඉතිරි වූ තීන්ත ඇතුළු සාමාන්‍ය කුණු බක්කියකට දැමිය නොහැකි තවත් බොහෝ දේ නොමිලේ බැහැර කිරීම සඳහා මේ දිනය පැමිණෙන තෙක් බලා ඉන්න සිදු වෙනවා.

අනවශ්‍ය දේවල් බැහැර කිරීම අපට පමණක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවේ පොදු ප්‍රශ්නයක්. මේ දවසට විශාල පෝලිමක් හැදෙන්නේ ඒ නිසා.

අනවශ්‍ය දේවල් බැහැර කළ හැකි වඩාත්ම වාසිදායක ක්‍රමය සුළු මුදලකට විකිණීමයි. එසේ කළ නොහැකිනම්, නිකම් දීමයි. එහෙත්, නිකම් දුන්නත් කවුරුවත් ගන්නේ නැත්නම්, බැහැර කිරීම සඳහා මිලක් ගෙවන්නට වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් සල්ලිත් එක්ක බඩුව දෙන්න වෙනවා.

මෙයින් අදහස් වන්නේ මෙවැනි භාණ්ඩ නොවටිනා භාණ්ඩ කියන එක නෙමෙයි. රෙදි සෝදන යන්ත්‍රයක් "මස් කර" එහි අමතර කොටස් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එක වර්ගයේ යන්ත්‍ර කිහිපයකින් එකක් "මස් කර"තවත් යන්ත්‍ර ගණනාවක් අලුත් වැඩියා කරන්න පුළුවන්. කාලය සහ කුසලතාවය තිබේනම්, මෙවැන්නක් කර මුදල් සොයන්න පුළුවන්. එසේ කරන අය ඉන්නවා. ඇත්තටම ප්‍රශ්නය ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීම සහ සමතුලිත මිල සෘණ අගයක් වීමයි.

පසුගිය වසංගත සමයේ එක් අවස්ථාවක බොරතෙල් මිල සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ සල්ලිත් එක්ක බොරතෙල් ලබාගත හැකි තත්ත්වයක් ඇති වුනා. ඒ වෙලාවේ ඇමරිකාවේ රජය ඉන්ධන වෙළඳපොළට මැදිහත් වී ඉන්ධන මිල දී ගත්තා. ඕනෑම භාණ්ඩයක් හා අදාළව මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ කාලයක් ලංකාවට ආ ඇතැම් ජපන් වාහන ජපානය තුළ මිලක් ගෙවා බැහැර කළ යුතු වූ සේ සැලකිය හැකි වාහනයි. 

අද අමාරුවෙන් බැහැර කළ මට්ටමේ රෙදි සෝදන යන්ත්‍රයක් ලංකාව වැනි රටකදීනම් සැලකිය යුතු වටිනාකමක් තිබෙන භාණ්ඩයක්. කාලය තිබේනම් එවැන්නක් පහසුවෙන් අලුත්වැඩියා කළ හැකියි. පෝලිමේ සිටි අනෙක් බොහෝ දෙනෙකු විසින් මේ විදිහට ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා රෙදි වේලන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, වැකියුම් ක්ලීනර්, තණකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ රැසක් නොමිලේ බැහැර කරනු දැකිය හැකි වුනා. මේ උපකරණ අතර, අනිවාර්යයෙන්ම වැඩ කරන මට්ටමේ උපකරණද තිබෙනවා.

ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල සෘණ මිලක්නම්, මිල ශුන්‍ය මට්ටමේදීද ඉල්ලුමට වඩා සැපයුම වැඩියි. ඒ නිසා, ඉල්ලුම්කරුවන් පසුපස සැපයුම්කරුවන්ට පෝලිමේ ඉන්නට සිදු වෙනවා. ඒ නිසා, ඇතැම් තත්ත්වයන් යටතේදී, ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීම හේතුවෙන් හැදුනු පෝලිම්ද දැක දැකගන්න පුළුවන්. 

Wednesday, March 25, 2026

මිල සූත්‍රය වෙළඳපොළ උපාංගයක්ද?


මිල සූත්‍රය කියද්දී එක වරටම මතක් වෙන නම් අතර මංගල සමරවීර නම උඩින්ම තියෙනවා. මංගල සමරවීරව ලංකාව හඳුනා ගන්නේ දැඩි ලිබරල් මතධාරියෙක් විදිහට. මංගල සමරවීර වැනි අයගේ අනුග්‍රහයෙන් කාලයක් ක්‍රියාත්මක වෙලා පසුව හරියකට ක්‍රියාත්මක නොවී තිබුණු මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඒ වෙද්දී මිල සූත්‍රය සඳහා අනුග්‍රහය දක්වමින්ර සිටියේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුව. 

ඔය අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවට බලපෑම් කළා. තවමත් බලපෑම් කරනවා. ලංකාවේ බොහොමයක් වාමාංශික මතධාරීන්ට අනුව මූල්‍ය අරමුදල කියන්නේ නවලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. ලංකාවේ මිල සූත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී ගොඩක් වෙලාවට විරුද්ධ වෙලා තියෙන්නේත් වාමාංශික මතධාරීන්.

ඔය සියලුම නිරීක්ෂණත් එක්ක මිල සූත්‍ර ක්‍රමය වෙළඳපොළ උපාංගයක් කියලා ලංකාවේ ඇතැම් අය හිතනවා. නමුත් QR ක්‍රමය හරහා මේ වෙද්දී ක්‍රියාත්මක කෝටා ක්‍රමය වගේම මිල සූත්‍ර ක්‍රමයත් මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක උපාංග මිසක් වෙළඳපොළ ආර්ථික ක්‍රමයට සම්බන්ධ දේවල් නෙමෙයි. 

වෙළඳපොළ ආර්ථික ක්‍රමයේදී "නියම මිල" තීරණය කරන නිශ්චිත පුද්ගලයෙක් හෝ ආයතනයක් නැහැ. එය වෙළඳපොළ හරහා තීරණය වෙනවා. "අදෘශ්‍යමාන හස්තය" කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. නමුත් මිල සූත්‍රය යොදා ගන්නේ "නියම මිල" හොයා ගන්න. එය වෙළඳපොළ විරෝධී අදහසක් මිසක් කිසිසේත්ම වෙළඳපොළ ක්‍රමයක් තුළදී අවශ්‍ය වන දෙයක් නෙමෙයි. මිල සූත්‍ර ක්‍රමයේ මූලික පදනම සහ මාක්ස්වාදී සමාජවාදී ආර්ථික ක්‍රමය තුළ ශ්‍රම න්‍යාය යොදා ගැනීම අතර ලොකු වෙනසක් නැහැ. ඔය දෙකෙන්ම කරන්නේ භාණ්ඩයක හෝ සේවාවක යෙදවුම් පිරිවැය මත පදනම්ව එහි නියම මිල හොයා ගන්න උත්සාහ කරන එක. 

වෙළඳපොළ ක්‍රමය තුළ මිල තීරණය වන්නේ ඉල්ලුම මගින් පෙන්වන වටිනාකම මත මිසක් යෙදවුම් පිරිවැය මත පදනම්ව නෙමෙයි. එම වටිනාකම යෙදවුම් පිරිවැයට වඩා වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. ඔය දෙක අතර සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසාම, මිල තීරණය කිරීම සඳහා පිරිවැය නිවැරදිව සොයා ගැනීමේ හෝ ඒ සඳහා මිල සූත්‍රයක් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ප්‍රයෝජනයක් නැහැ. 

මෙයින් කියන්නේ පිරිවැයෙහි කිසිම අදාළත්වයක් නැති බව නෙමෙයි. මිල පිරිවැය ඉක්මවන්නේ නැත්නම් එහි ලාබයක් නැහැ. ඒ නිසා, වෙළඳපොළ ක්‍රමය ඇතුළේදී පිරිවැයට වඩා පහළින් මිල තීරණය වෙන්නේ නැහැ. යම් හෙයකින් "අදෘශ්‍යමාන හස්තය" විසින් තීරණය කර තිබෙන මිල යම් නිෂ්පාදකයෙකුගේ පිරිවැයට වඩා අඩුනම් ඒ නිෂ්පාදකයා තව දුරටත් සැපයුමක් කරන්නේ නැහැ. ඒ නිසා, නිෂ්පාදකයින්ගෙන් කොටසක් වෙළඳපොළෙන් ඉවත් වෙනවා. ඒ එක්කම සැපයුම පහත වැටී හිඟයක් ඇති වෙනවා. හිඟය නිසා මිල ඉහළ යනවා. මිල තමන්ගේ පිරිවැය ඉක්මවූ වහාම වෙළඳපොළෙන් ඉවත්ව සිටි නිෂ්පාදකයෝ නැවතත් වෙළඳපොළට එනවා. හිඟය නැති වෙනවා.

ඔය ක්‍රමය ඇතුළේ පිරිවැයට වඩා අඩුවෙන් මිල තීරණය වෙන්න ඉඩක් නැතත්, පිරිවැය ඉක්මවන මිලක් තීරණය වීම වැලකෙන්නේ නැහැ. නමුත් එහෙම වුනා කියලා හිතුමතේට කැමති තරමකට මිල වැඩි කිරීමක් වෙන්නෙත් නැහැ. ඒකාධිකාරයක් ඇති තත්ත්වයක් යටතේ වුවත්, මිල වැඩි කරද්දී ඉල්ලුම අඩු වෙනවා. යම් සීමාවකදී ඉල්ලුම අඩු වීමේ අවාසිය මිල වැඩි කිරීමේ වාසිය ඉක්මවා ගිහින් මිල වැඩේ වීම නවතිනවා. 

අඩු වශයෙන් තරඟකරුවන් දෙදෙනෙකු සිටීනම්, ඒකාධිකාරයක් ඇති තත්ත්වයකට සාපේක්ෂව, මිල පහළ යනවා. තරඟකරුවන් ප්‍රමාණය වැඩි වෙද්දී මේ විදිහට මිල පහළ යන්න තිබෙන ඉඩකඩද ඉහළ යනවා. තරඟකරුවන් එක් අයෙකුට වඩා සිටින තත්ත්වයක් යටතේදී සැපයුම්කරුවෙක් විසින් මිල තීරණය කරන්නේ සියළුම සැපයුම්කරුවන් අතරින් වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරුගේ පිරිවැය මත පදනම්වයි. වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු තමන් නොවේනම්, මේ මිල තමන්ගේ පිරිවැයට වඩා වැඩියි. ඒ නිසා මිල සහ පිරිවැය අතර වෙනස ලාබයක් බවට පත් වෙනවා. 

වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු වුනත්, පාඩුවට, ඒ කියන්නේ පිරිවැයට වඩා අඩුවෙන්, විකුණන්නේ නැහැ. මිල පිරිවැයට වඩා අඩුනම් සැපයුම නවත්වනවා. ඒ නිසා, හැම විටම වෙළඳපොළේ ඉතිරි වන්නේ පවතින මිලට වඩා අඩු පිරිවැයකින් භාණ්ඩය හෝ සේවාව සපයා ලාබයක් ලැබිය හැකි අය පමණයි.

සැපයුම්කරුවන් අතරෙන් අයෙක් රජය වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රජය විසින් මිල තීරණය කරන්නේ දේශපාලන අභිලාශ පෙරදැරිව මිසක් ලාබ බලාගෙනම නෙමෙයි. මේ තත්ත්වය තුළ රජය විසින් පිරිවැයට වඩා අඩුවෙන් භාණ්ඩය මිල කරන්න ඉඩ තිබෙනවා. කාලයක් තිස්සේ ලංකාවේ ඔය තත්ත්වය දකින්න පුළුවන් වුනා. නමුත් මේ විදිහට දිගින් දිගටම පිරිවැයට වඩා අඩුවෙන් භාණ්ඩයක් විකිණිය නොහැකි නිසා, ඔය ක්‍රමය කොයි වෙලාවක හෝ අර්බුදයට යනවා. තෙල් සංස්ථාවට බදු මුදල් වලින් රුපියල් බිලියන 884ක් පොම්ප කරන්න වුනේ ඔය ක්‍රමය අර්බුදයට ගිය නිසා. 

රජය හැර වෙනත් කිසිවෙකු පාඩුවට විකුණමින් දිගින් දිගටම වෙළඳපොළ තුළ රැඳී ඉන්නේ නැති නිසා, රජය විසින් දිගින් දිගටම පිරිවැයට වඩා අඩුවෙන් තෙල් විකුණන තත්ත්වයක් යටතේ, අනිර්වාර්යයෙන්ම වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරු වෙන්නේ රජය. ඒ නිසා, අනෙක් සියලුම සැපයුම්කරුවන්ට රජයේ මිලට විකුණන්න වෙනවා. නමුත් සාමාන්‍ය වෙළඳපොල ක්‍රමයකදී මෙන් වඩාත්ම අකාර්යක්ෂම සැපයුම්කරුගේ මිලට විකුණා අනිවාර්යයෙන්ම ලාබයක් ලබා ගන්න තිබුණු අවස්ථාව දැන් නැහැ. ඒ නිසා "අදෘශ්‍යමාන හස්තය" ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් යටතේ අනෙක් සැපයුම්කරුවෝ එකිනෙකා වෙළඳපොළෙන් ඉවත්වෙන්න පටන් ගන්නවා. 

මෙවැනි තත්ත්වයක් දිගටම පැවතුනොත් අන්තිමට වෙළඳපොළ තුළ ඉතිරි වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරය පමණයි. නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි අඩුම මිලට ඉන්ධන ලැබෙනවා කියන එක නෙමෙයි. රජය විසින් රජයේ පිරිවැයට වඩා අඩුවෙන් ඉන්ධන සපයනවා විය හැකි වුවත්, ඊට වඩා අඩු පිරිවැයක් දරමින් ඊට වඩා අඩු මිලකට ඉන්ධන විකුණා ලාබයක් ගන්න පුළුවන් වෙනත් සැපයුම්කරුවන් ඉන්න පුළුවන්. සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ යන තරමට එවැනි කවුරු හෝ සිටීමේ ඉඩකඩද ඉහළ යනවා. අනෙක් අතට, රජය විසින් පාඩුවට ඉන්ධන විකුණද්දී, ඉන්ධන පාරිභෝගිකයින්ට යම් වාසියක් ලැබුණේ වුනත්, එහි බර පොදුවේ බදු ගෙවන්නට දරන්න වෙනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකාවට බල කළේ සහ කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. වෙළඳපොළ යාන්ත්‍රනයක් තිබේනම්, "අදෘශ්‍යමාන හස්තය" අවශ්‍ය වැඩේ කරනවා. නමුත් රජය සැපයුම්කරුවෙකු ලෙස සිටින  නිසා "අදෘශ්‍යමාන හස්තය"ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, නියම මිල දැනගන්න ක්‍රමයක් නැහැ. මිල සූත්‍රයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා.

රජයකට යම් කාලයක් පිරිවැයට වඩා අඩුවෙන් විකුණන්න පුළුවන් වුනත්, ඔය වැඩේ කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. ඔය සීමාව පැනපු නිසා තමයි ලංකාවේ රජයට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුනේ. 

ලංකාවේ ඉන්ධන සහ විදුලිබල වෙළඳපොළවල් වල තවමත් වෙළඳපොළ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තවම තියෙන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමය. නමුත් කවදා හෝ  වෙළඳපොළ ක්‍රමය හරියකට ක්‍රියාත්මක වන තුරු දැනට තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය දුවා ගන්න වෙනවා. ඉන්ධන සහ විදුලිබලය ලැබෙන පිළිවෙළක් තියෙන්නත් ඕනෑනේ. කෝටා වගේම මිල සූත්‍ර ක්‍රමයත් අවශ්‍ය වන්නේ අමාරුවෙන් හෝ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නඩත්තු කරන්නයි. 

හැබැයි මේ මිල සූත්‍ර ක්‍රමය කියන්නේ පැලැස්තරයක් මිසක් නියම විසඳුමක් නෙමෙයි. ලොකු අර්බුදයක් නොතිබුණු කාලයේ මේ ක්‍රමයට දුවා ගන්න පුළුවන් වුනත්, අර්බුදයක් ආපු ගමන් මිල සූත්‍ර ක්‍රමයේ අඩුපාඩු මතුවී තිබෙනවා. මිල සූත්‍ර ක්‍රමයේ අඩුපාඩු කියන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමයේ අඩුපාඩු. 

හර්ෂ ද සිල්වා විසින් මිල සූත්‍ර ක්‍රමය මත පදනම්ව සිදු කළ ගණනය කිරීමක් දැක්කා. හර්ෂ ද සිල්වා කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ මිල සූත්‍රය ක්‍රියාත්මක කළ ආකාරය හොඳින් දන්නා කෙනෙක් විය යුතු නිසා, ඔහුගේ ගණනය කිරීම් සහ ඒ මත පදනම්ව ගොඩ නගා තිබෙන තර්කය නිවැරදියි කියා මම හිතනවා. ඔහුගේ චෝදනාව වන්නේ, කෙටියෙන් කිවුවොත්, මිල සූත්‍රය යොදාගෙන පිරිවැය ගණනය කිරීමේදී සත්‍ය පිරිවැය වෙනුවට ආවස්ථික පිරිවැය යොදාගෙන කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, ඉන්ධන ගෙන්වපු ඇත්ත මිල වෙනුවට පවතින වෙළඳපොළ මිල යොදා ගෙන කියන එකයි. 

වෙළඳපොළ අර්ථ ක්‍රමයේ මූලධර්ම අනුව බලනවානම් වඩා නිවැරදි වන්නේ සත්‍ය පිරිවැය අනුව මිල තීරණය කරන එක නෙමෙයි. නමුත් මිල සූත්‍ර ක්‍රමයේ පදනම මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය මිසක් වෙළඳපොළ අර්ථ ක්‍රමය නොවන බව කලින්ම කිවුවනේ. ඒ කියන්නේ චෝදනාවට පදනමක් තිබෙනවා. වෙළඳපොළ පැත්තට හැරෙමින් සිටින සමාජවාදී ආණ්ඩුවකට චෝදනා කිරීම සඳහා හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් මේ විදිහේ තර්කයක් ඉදිරිපත් කිරීමේ තිබෙන උත්ප්‍රාසය වෙනම කරුණක්. 

හර්ෂ ද සිල්වාගේ ගණනය කිරීම් නිවැරදිනම්, ආණ්ඩුව විසින් කරලා තියෙන්නේ මිල සූත්‍රය නමන එක. හැබැයි ඒ නැමිල්ල නමලා තියෙන්නේ වෙළඳපොළ මූලධර්ම වලට බර වැටෙන විදිහටයි. දැන් ප්‍රශ්නය ආණ්ඩුව එහෙම කළේ ඇයි කියන එකයි. ඇත්තටම හේතුව වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ මිල සූත්‍ර පැලැස්තර විසඳුම තව දුරටත් ප්‍රමාණවත් විසඳුමක් නොවීමයි. 

ලංකාව ඉන්ධන හා අදාළව ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් රට ඇතුළේ මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කළත්, රටෙන් එළියට ගිය ගමන් වෙළඳපොළ මූලධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා, ලංකාව වැනි රටකට වෙළඳපොළ මූලධර්ම මග හැර මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කරන්න කෙසේවත්ම බැහැ. එහෙම කරන්නනම්, රටට අවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ හදාගත හැකි තරමේ විශාල ආර්ථිකයක් තියෙන්න ඕනෑ. මෙයට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේත් ඉන්ධන.

නලින්ද ජයතිස්සට අනුව, තෙල් සංස්ථාව ඉන්ධන මිල දී ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා. එක ක්‍රමයකට මිල දී ගනිද්දී ලෝක වෙළඳපොළේ පසුගිය මාසයේ සාමාන්‍ය මිල අනුව පිරිවැය තීරණය වෙනවා. අනෙක් ක්‍රමයේදී පසුගිය දින පහේ සාමාන්‍ය මිල අනුව පිරිවැය තීරණය වෙනවා. ඔය පළමු ක්‍රමයට පමණක් ඉන්ධන මිල දී ගන්නවානම්, පිරිවැය මත පදනම්ව මාස්පතා මිල වෙනස් කරමින් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. නමුත් දෙවන ක්‍රමයට ඉන්ධන මිල දී ගන්නවානම් දවස් පහකට වරක්වත් මිල සංශෝධනය කරන්න වෙනවා.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩිපුර ඉන්ධන මිල දී ගන්නේ පළමු ක්‍රමයට වෙන්න ඇති. නමුත් පේන විදිහට දැන් වැඩිපුර ඉන්ධන මිල දී ගන්නේ දෙවන ක්‍රමයට. 

මේ ප්‍රශ්නයට අමතරව, හදිසියේ විශාල ලෙස මිල ඉහළ යද්දී, මුදල් ප්‍රවාහ කළමනාකරණ ප්‍රශ්නයකුත් ඇති වෙනවා. පළමු ක්‍රමයට මිල දී ගත්තේ වුනත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ආවස්ථික පිරිවැය මත පදනම්ව මිල තීරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. නමුත් සත්‍ය පිරිවැය අනුව මිල තීරණය කරලා තෙල් විකුණා ලබා ගන්නා මුදල් වලින් අලුතෙන් තෙල් මිල දී ගැනීමේ පිරිවැය ආවරණය නොවන නිසා කාරක ප්‍රාග්ධනය හොයා ගන්න වෙන්නේ බැංකු ණය විදිහටයි. එසේ කරද්දී සත්‍ය පිරිවැයට තවත් සංරචකයක් එකතු වෙනවා. 

මෙවර අර්බුදය එක්ක ඇති වූ ලොකුම ප්‍රශ්නයක් වුනේ ලෝක වෙළඳපොළේ මිල වැඩි වුනු වේගය. මිල සුළුවෙන් වෙනස් වෙන සාමාන්‍ය කාලයකදීනම් මාසයකට වරක් මිල සංශෝධනය කරමින් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය තුළ, මාසයක් මිල එක මට්ටමේ තියා ගන්නවා කියන්නේ සැපයුම්කරුවන්ට විශාල පාඩුවක් දරන්න වෙනවා කියන එක. සිනොපෙක් වැනි සමාගම් ඔය විදිහට පාඩු විඳින්නේ නැහැ. මිල පිරිවැයට වඩා අඩුනම් සැපයුම නවත්වනවා. කලින් මාසයකට වරක් සිදු කළ මිල සංශෝධනය දින දහයකට වරක් කරන්න ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ ඔය හේතු නිසා.

ඇතැම් අයගේ තර්කයක් වන්නේ තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් තිබුණානම් මේ වෙලාවේ පාඩුවට තෙල් විකුණා පාඩුව පසුව අල්ලගන්න තිබුණා කියන එක. ඉතිහාසයේදීද තෙල් සංස්ථාව කිවුවේ ඔය කතාවම වුනත්, ප්‍රායෝගිකව අඩුවට විකුණන කොටස මිසක් පාඩුව පසුව අල්ලගන්න කොටස සිදු වුනේ නැහැ. රුපියල් ට්‍රිලියනය ඉක්මවන සමුච්ඡිත අලාබයක් එකතු වුනේ ඒ නිසා.

කෙසේ වුවත්, දැන් ඔය වැඩේ කරන්න බැරි තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් නැති නිසා නෙමෙයි. ඔය වගේ වැඩ කරපු නිසා රජය ණය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙලා මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනක ඉන්න නිසා. රජයට පාඩුවට තෙල් විකුණන්න ශක්තියක් තියෙනවානම්, තෙල් සංස්ථාව සතුව ඒකාධිකාරයක් නොතිබීම එයට බාධාවක් නෙමෙයි. දැන් යම් තරමකින් කරනවා වගේ සහනාධාර දීම මගින් ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. 

මේ වගේ ලොකු කම්පනයකදී ලෝකයේ බොහෝ රටවල රජයන් විවිධ ආකාර වලින් වෙළඳපොළට මැදිහත් වීම් කරනවා. එසේ කරන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නේ රජය සතු මූල්‍ය ශක්තිය මත මිසක් තෙල් වෙළඳපොළේ රාජ්‍ය භාගය මත නෙමෙයි. ඇමරිකාව වගේ රටවල රජයයන් රජය විසින් පවත්වා ගෙන යන ඉන්ධන සංචිත මුදා හැරීම මගින් මේ වගේ වෙලාවල් වල වෙළඳපොළට මැදිහත් වෙනවා. තවත් රටවල් මිල ස්ථායිකරණ අරමුදල් වල තියෙන මුදල් යොදවා බලපෑම් කරනවා. බදු වෙනස් කිරීම හා සහනාධාර දීම තවත් ක්‍රම දෙකක්. මේ ක්‍රම වලින් කරන්නෙත් මිල පාලනය කිරීමක් වුනත්, එසේ කරන්නේ "අදෘශ්‍යමාන හස්තයට" ක්‍රියාත්මක වෙන්න ඉඩ ඉතිරි කරමිනුයි. ඒ නිසා, වෙළඳපොළ අර්ථ ක්‍රමයේ මූලධර්ම තව දුරටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ගැසට් ගැසීම මගින් පමණක් කරන මිල පාලනය කියන්නේ ඔය සියළු ක්‍රම වලට වඩා අසාර්ථක ක්‍රමයක්. ඒ විදිහට මිල පාලනය කරද්දී "අදෘශ්‍යමාන හස්තයට" ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. 

ලංකාවේ රජය සතුව ක්‍රමෝපායික ඉන්ධන සංචිතයක් නැහැ. මිල ස්ථායිකරණ අරමුදල් නැහැ. ඒ නිසා, ඉතිරිව තියෙන්නේ බදු අඩු කිරීම සහ සහනාධාර දීම කියන විකල්ප දෙක පමණයි. ඔය විකල්ප දෙක අතරින් ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ දෙවන විකල්පය. ඉතිරිව තිබෙන විකල්ප දෙක අතරින් වඩා හොඳ විකල්පය වන්නේද සහනාධාර ක්‍රමයයි.

බදු අඩු කළොත් රජයේ ආදායම් අඩු වෙනවා. සහනාධාර දෙද්දී වියදම් ඉහළ යනවා. ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමය අනුගමනය කළත් අවසාන වශයෙන් වෙන්නේ අයවැය හිඟය ඉහළ යන එක. නමුත් පළමු ක්‍රමයේදී අරමුදල් පාලනය රජයෙන් ගිලිහෙනවා. දෙවන ක්‍රමයේදී පාලනය රජය සතුව තිබෙන නිසා සහනාධාරය අවශ්‍ය තැන් වලට යොමු කරන්න පුළුවන්. දැන් වෙන්නේ ඒ වැඩේ. එක පැත්තකින් බලද්දී පැට්‍රෝල් වලින් අය කරන බදු වලින් ඩීසල් සුබසාධනය කිරීමක් කියා කියන්නත් පුළුවන්. 

වෙළඳපොළ තුළ ප්‍රශ්නයක් තවමත් ඉතිරි වී තිබෙන්නේ සහනාධාර ලබා දීම නිසා නෙමෙයි. සීමාව පැන්නොත්, සාර්ව ආර්ථික තුලනයට සිදු වන බලපෑම හැරුණු කොට ඒ මගින් ඉන්ධන වෙළඳපොළ තුලනයට විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මිල පාලනය නිසා "අදෘශ්‍යමාන හස්තය" අකර්මන්‍ය වෙනවා.

නලින්ද ජයතිස්සට අනුවම, තෙල් සැපයුම්කරුවන් විසින් වඩා වැඩි මිල වැඩි කිරීමක් ඉල්ලා තිබෙනවා. නමුත් රජය විසින් ඒ ඉල්ලපු වැඩි කිරීම ඒ විදිහටම ලබා දී නැහැ. මේ වගේ හෙට්ටු කිරීමකදී රජය ඉන්නේ වාසිදායක තැනක නිසා හෙට්ටු කරලා අනෙක් සමාගම් එකඟ කරගන්න පුළුවන් වුනත්, වාසියක් වගේ පේන මිල අඩු වීම අවසාන වශයෙන් වාසියක් නොවෙන්න ඉඩ තිබෙනවා. ගල් අඟුරු ටෙන්ඩරය හා අදාළව වෙලා තිබෙන බව පේන්නෙත් ඒ වගේ දෙයක්.

තෙල් සමාගමක් විසින් ඔවුන්ගේ පිරිවැය කියලා යම් මිලක් ඉදිරිපත් කරනවානම්, ඔවුන් එක්ක හෙට්ටු කරන එකේ තේරුමක් නැහැ. ඔවුන් ඉදිරිපත් කරන්නේ මිල පාලනයක් තිබුණේ නැත්නම් ඔවුන් විකුණන මිල. ඒ මිල හරිද වැරදිද වගේ දේවල් හොයන එකේ තේරුමක් නැහැ. අවශ්‍ය මිල නොලැබුණොත් ඔවුන්ට ඉන්ධන සපයන එක සීමා කරන්න පුළුවන්. නමුත් නිදහස දුන්නට පස්සේ ඔවුන් වැඩි මිලකට විකුණන බව පැහැදිලිව පේනවානම්, සිපෙට්කෝ සමාගමට පාඩු නොලබා ඊට වඩා අඩුවෙන් විකුණන්නත් පුළුවන්නම්, තරඟය හරහා පහසුවෙන්ම මිල අඩු කරගන්න පුළුවන්. මිල තීරණය කරන්න නිදහස දීම එයට බාධාවක් නෙමෙයි.

ඉන්ධන වල සිපෙට්කෝ ඉන්ධන හෝ සිනොපෙක් ඉන්ධන කියලා, පාරිභෝගිකයාගේ පැත්තෙන්, ලොකු වෙනසක් නැහැ. ඔවුන් හොයන්නේ අඩු මිල. ලංකාවේ පාරිභෝගිකයින්ගෙන් සැලකිය යුතු පිරිසකට පෝලිම් ලොකු ප්‍රශ්නයකුත් නෙමෙයි. සුපිරි ඩීසල් සහ සුපිරි පැට්‍රෝල් පාරිභෝගිකයින් අතර පෝලිම් විශාල ප්‍රශ්නයක් වෙන අය වැඩිපුර ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පැට්‍රෝල් සහ සාමාන්‍ය ඩීසල් පාරිභෝගිකයින් අතර ඒ වගේ අය අඩුයි. ඒ නිසා, රුපියල් පහක දහයක පමණ මිල වෙනසක් වෙනුවෙන් වුනත් ඔවුන් බොහෝ දෙනෙක් කැමැත්තෙන් පෝලිම් වල ඉඳියි.

ඉහත හේතුව නිසා, මිල තීරණය කරන්න නිදහස දුන්නත්, අධික ලාබ ලැබීම පිණිස, සාමාන්‍ය පැට්‍රෝල් සහ සාමාන්‍ය ඩීසල් හා අදාළව ලොකු මිල වෙනසක් පවත්වා ගන්න කිසිම තෙල් සැපයුම්කරුවෙකු විසින් උත්සාහ කරන එකක් නැහැ. යම් හෙයකින් එවැනි වෙනසක් පවත්වා ගන්නවානම් එසේ කරනු ඇත්තේ පාඩු නොලබා ඊට වඩා අඩුවෙන් විකුණන්න කිසිසේත්ම බැරි නිසා. ඉන්ධන පිරවුම්හල් තිබෙන්නේ එකම තැන නොවන නිසා, පෝලිම් වල ආවස්ථික පිරිවැයට අමතරව, ඈත තිබෙන පිරවුම්හලකට යන එකේ ආවස්ථික පිරිවැයකුත් තිබෙනවා. ඒ නිසා, පෝලිම් නැති තත්ත්වයක් යටතේ වුනත් රුපියල් කිහිපයක මිල වෙනසක් තියා ගන්න පුළුවන්. 

Monday, March 23, 2026

දැන් තෙල් සමාගම් වලට ලාබද?


රජය විසින් මේ වන විට තවත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කර අවසන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තිය අනුව, බලශක්ති විෂය භාර අමාත්‍ය වරයාට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් මෙවැනි මිල සංශෝධනයක් කළ හැකියි. මෙවැනි අවස්ථාවකදී බොහෝ විට කරන්නේ නමට එක් ගැසට් පිටපතක් පමණක් මුද්‍රණය කරන එකයි. ඒ නිසා, අවශේෂ පුද්ගලයින්ට ඒ වහාම ගැසට් නිවේදනය හරියටම බලා ගන්න ලැබෙන්නේ නැහැ. ගැසට් නිවේදනයේ තිබෙන දේ හරියටම දැන ගැනීම සඳහා එය ප්‍රසිද්ධ කරන තෙක් බලා ඉන්න සිදු වෙනවා. 

මේ හා අදාළව මීට පෙර නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය අනුව, නීතිමය අවදානමක් නොගෙන ලංකාව ඇතුළත, ඉන්ධන අලෙවි කළ හැකි වූයේ හරියම ගැසට් නිවේදනයේ සඳහන්ව තිබුණු මිල ගණන් වලට පමණයි. සිනොපෙක් සමාගම විසින් මිල ගණන් සංශෝධනය කරමින් මේ වන විට නිකුත් කර ඇති නිවේදනය අනුව, ඉන්ධන වර්ග දෙකක මිල ගණන් ස්වාධීනව තීරණය කිරීම සඳහා සිපෙට්කෝ හැර අනෙකුත් සමාගම් වලට නිදහස ලැබී ඇති බව පෙනී යනවා.

මේ අනුව, සිනොපෙක් සමාගම විසින් සුපිරි ඩීසල් සහ සුපිරි පැට්‍රෝල් (95) මිල ගණන් සිපෙට්කෝ මිලට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා තිබෙනවා. එහෙත්, සාමාන්‍ය ඩීසල් සහ පැට්‍රෝල් වල මිල තීරණය කිරීම සඳහා ඔවුන්ට එවැනි අවසරයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැහැ. 

මෙතෙක් සිපෙට්කෝ සමාගම අනුව යමින් මිල ගණන් තීරණය කළ LIOC සමාගම විසින්ද මෙවර සිනොපෙක් සමාගම අනුව මිල තීරණය කර තිබෙනවා. ඒ අනුව, මිල තීරණය කිරීම හා අදාළව මෙතෙක් සිපෙට්කෝ සමාගම සතු වූ වෙළඳපොළ පුරෝගාමියාගේ භූමිකාව මේ වන සිනොපෙක් සමාගම වෙත මාරු වී තිබෙනවා.

මිල සූත්‍රය අනුව, මෙම අවසන් සංශෝධනය හා අදාළ මිල ගණන් වෙනස් වී ආකාරය හෝ මීට පෙර වටයේදී එය සිදු කළ ආකාරය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එහෙත් පෙබරවාරි මාසය අවසානය දක්වා එම තොරතුරු ප්‍රසිද්ධ කර තිබෙනවා. පහත තිබෙන්නේ මිල සූත්‍රය අනුව, පසුගිය පෙබරවාරි 27 දින සාමාන්‍ය (92) පැට්‍රෝල් ලීටරයක මිල තීරණය වූ ආකාරයයි.

ගොඩ බෑමේ පිරිවැය = රුපියල් 153.95

බදු = රුපියල් 115.39

අනෙකුත් පිරිවැය හා ගැලපුම් = 18.23

ලාබ ආන්තිකය = රුපියල් 5.43

එකතුව = රුපියල් 293.00

පෙබරවාරි 27 වන විට ඉන්ධන මිල කෙරෙහි යුද්ධයේ බලපෑමක් තිබුණේ නැහැ. ඒ වන විට සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 79.30ක් වූ අතර ඩොලරයක විකිණුම් මිල රුපියල් 313.06ක්. මේ වන විට (2026 මාර්තු 20) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 145.00ක් වන අතර (මහ බැංකුවේ දත්ත අනුව - ඇමති ජයතිස්සට අනුවනම් ඩොලර් 150.61ක්). ඩොලරයක විකිණුම් මිල රුපියල් 315.94ක්. මේ අනුව, පෙබරවාරි 27 මිල සංශෝධනයෙන් පසුව පෙට්‍රෝල් ලීටරයක ගොඩ බෑමේ පිරිවැය 84.5%කින් ඉහළ ගොස් තිබෙනවා (ඇමති ජයතිස්සට අනුව වැඩිවීම 89%ක්). මේ අනුව, මහ බැංකු දත්ත අනුව සහ ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදියද අනුපාතිකව වැඩි වී ඇතැයි යන උපකල්පනය යටතේ, ගොඩබෑමේ පිරිවැය ආසන්න වශයෙන් රුපියල් 130.14කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත කාලය ඇතුළත සාමාන්‍ය පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 105කින් ඉහළ දමා තිබෙනවා. අනෙකුත් පිරිවැය හා ගැලපුම් හා ලාබ ආන්තිකය නොවෙනස්ව පැවති සේ සැලකුවද, ගොඩ බෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් 130.14ක මිල වැඩි වීමක් සිදු විය යුතු අතර එයට වැට් බද්දේ බලපෑම එකතු කළ විට රුපියල් 153.57ක මිල වැඩි වීමක් සිදු විය යුතුයි. ඒ අනුව, මේ වන විට සාමාන්‍ය පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 445.57ක් පමණ විය යුතුයි. එහෙත්, මේ වන විටද එම මිල රුපියල් 398ක් පමණයි. මේ අනුව, තවමත් රුපියල් 47.57ක මිල වෙනසක් දැකිය හැකිව තිබෙනවා. ඇමති ජයතිස්සට අනුව එම වෙනසින් රුපියල් 20ක් රජය මගින් සුබසාධනය කෙරෙනවා. ඊට අමතරව බදු ආදායම් ඉහළ යාම 7.27කින් අඩු වෙනවා. ඒ නිසා රජයේ සමස්ත පාඩුව රුපියල් 27.27ක්. ඉතිරි රුපියල් 20.30 සිපෙට්කෝ ඇතුළු අනෙකුත් තෙල් අලෙවිකරුවන්ට දරාගන්නට සිදු වෙනවා. 

ඉහත ගණනය කිරීම සුපිරි පැට්‍රෝල් සඳහා ආදේශ කළ විට අපේක්ෂිත මිල වන්නේ රුපියල් 488.90ක්. සිපෙට්කෝ මිල වන රුපියල් 455මීට වඩා රුපියල් 24කින් පමණ අඩු වුවත්, සිනොපෙක් සහ LIOC මිල වන රුපියල් 487 මීට ආසන්නයි. මේ අනුව පෙනෙන පරිදි, සුපිරි පැට්‍රෝල් සඳහාද රුපියල් 20 සහනාධාරය ලැබේනම්, සිපෙට්කෝ සමාගම විසින් ඔවුන්ගේ පිරිවැය ආසන්න වශයෙන් ආවරණය කර ගන්නවා. අනෙකුත් සමාගම් එම මුදල තමන්ගේ ලාබයට එකතු කර ගන්නවා. සහනාධාරය ලැබෙන්නේ සාමාන්‍ය පැට්‍රෝල් සඳහා පමණක්නම්, අනෙකුත් සමාගම් ඔවුන්ගේ පිරිවැය ආසන්න වශයෙන් ආවරණය කර ගන්නවා. සිපෙට්කෝ සමාගම සුපිරි පැට්‍රෝල් වලින්ද පාඩුවක් ලබනවා.

සාමාන්‍ය හා සුපිරි ඩීසල් හා අදාළවද මෙවැනිම ගණනය කිරීමක් කළ හැකියි. මහ බැංකු දත්ත අනුව, ඩීසල් හා අදාළ ගොඩ බෑමේ පිරිවැය 142.6%කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 314.83කින් රුපියල් 597 පමණ දක්වාද, සුපිරි ඩීසල් මිල රුපියල් 320.91කින් රුපියල් 647 පමණ දක්වාද ඉහළ යා යුතුයි.

සාමාන්‍ය ඩීසල් ලීටරයක පාලන මිල වන රුපියල් 382 සුත්‍රය අනුව පිරිවැය වන රුපියල් 597ට වඩා රුපියල් 215කින් අඩුයි. මෙම වෙනසින් රුපියල් 100ක් රජය විසින් සුබසාධනය කරන්නේනම්, ඉන්ධන අලෙවිකරුවන්ට තවත් රුපියල් 76.70ක පාඩුවක් දරාගන්නට සිදු වෙනවා. වැට් බලපෑමද සමඟ රජයට සමස්තයක් ලෙස රුපියල් 138.79ක පාඩුවක් සිදු වෙනවා. 

සිනොපෙක් සහ LIOC සමාගම් සුපිරි ඩීසල් විකුණන රුපියල් 572ක මිල පිරිවැය අනුව මිල විය යුතු රුපියල් 647ට වඩා අඩු වුවත්, සුපිරි ඩීසල් වෙනුවෙන්ද රුපියල් 100ක සහනාධාරයක් ලැබේනම් එම මිලට විකිණීම මගින් ඔවුන්ට සැලකිය යුතු ලාබයක් ලැබෙනවා. එහෙත්, එවැනි සහනාධාරයක් ලැබුනේ වුවද, සිපෙට්කෝ මිල වන රුපියල් 443ට සුපිරි ඩීසල් අලෙවි කළ හැකි වන්නේ පාඩුවක් දරමිනුයි.

සමස්තයක් ලෙස ගත් විට වැඩි කළ මිල ගණන් යටතේ සහ රජයෙන් ලැබෙන සහනාධාරයෙන් පසුවද, සිපෙට්කෝ සමාගමට යම් පාඩුවක් සිදු වෙනවා. එමෙන්ම, සිනොපෙක් සහ LIOC සමාගම් වලටද සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවියෙන් පාඩුවක් සිදු වෙනවා. නමුත්, සහනාධාරය ලැබේනම්, සුපිරි ඩීසල් සහ පැට්‍රෝල් අලෙවියෙන් පාඩුවක් සිදු වන්නේ නැහැ. ඔවුන් විසින් උත්සාහ කරන්නේ සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවියේදී සිදු වන පාඩුව සුපිරි ඩීසල් සහ පැට්‍රෝල් අලෙවිය මගින් උපයා ගැනීමට විය හැකියි. 

මේ අයුරින් ගණනය කිරීමක් කළද, කලින් මිල දී ගත් ඉන්ධන අලෙවි කිරීම මගින් පාඩුව අඩු කර ගැනීමට හෝ කිසියම් ලාබයක් ලැබීමට මේ සියලුම සමාගම් වලට යම් හැකියාවක් තිබෙනවා. සිනොපෙක් සමාගම විසින් මිල නියම කර ඇති ආකාරය සහ එයට LIOC සමාගම විසින් දක්වා ඇති ප්‍රතිචාරය අනුව පෙනී යන්නේ මෙම මිල ගණන් යටතේ සිනොපෙක් සමාගම විසින්, අවම වශයෙන් සුපිරි පැට්‍රෝල් සහ ඩීසල් වලින් ලාබයක් ලබන බවයි. LIOC සමාගම විසින් සිනොපෙක් සමාගම අනුව මිල තීරණය කර තිබෙන්නේ එම සමාගමට සිනොපෙක් සමාගම සමඟ මිල තරඟයකට යා නොහැකි බැවිනුයි. ඒ කියන්නේ, සිනොපෙක් සමාගම විසින් ලාබයක් ලබන නමුත් එම ලාබය විශාල ලාබයක් නොවන බවයි.

අවසාන වශයෙන් සිනොපෙක් සහ LIOC සුපිරි ඩීසල් මිල සහ සිපෙට්කෝ සමාගමේ එම මිල අතර රුපියල් 129ක පරතරයක්ද, සුපිරි පැට්‍රෝල් හා අදාළව රුපියල් 32ක එවැනිම පරතරයක්ද ඇති වී තිබෙනවා. පාරිභෝගිකයෙකු විසින් මෙවැනි විශාල වැඩි මිලක් ඉන්ධන වෙනුවෙන් ගෙවීමට පෙළඹෙන්නේ පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය ඊට වඩා වැඩිනම් පමණයි. ඒ නිසා, සිනොපෙක් සහ LIOC සමාගම් වලට තමන්ගේ පිරවුම්හල් වල පෝලිම් නැති බවට වග බලා ගන්නට සිදු වෙනවා. 

සිපෙට්කෝ මිලටම සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් අලෙවි කිරීමට සිදු වී ඇති බැවින් සිනොපෙක් සහ LIOC පිරවුම්හල් වල එම ඉන්ධන අලෙවියට ඇත්නම් පෝලිම් ඇතිවීම වැළැක්විය නොහැකියි. මෙය ඔවුන්ගේ සුපිරි ඉන්ධන අලෙවිය කෙරෙහිද බලපානවා. ඒ නිසා, තව දුරටත් මෙම සමාගම් විසින් සාමාන්‍ය පැට්‍රෝල් සහ ඩීසල් ආනයනය කර අලෙවි කිරීම සඳහා උනන්දු නොවී සිටිය හැකියි. 

Sunday, March 22, 2026

සැපයුම් කම්පනයකදී කළ හැක්කේ කුමක්ද?


රජය විසින් නැවතත් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. මාර්තු 10 සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමක් සිදු කිරීමෙන් පසුව, මට පෞද්ගලිකව පෙනුනේ මාර්තු 20 දින තවත් සැලකිය යුතු මිල වැඩි කිරීමක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මා අපේක්ෂා කළ එම මිල වැඩි කිරීම මාර්තු 21 සිට බලපැවැත්වෙන පරිදි සිදු කර තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ මාර්තු 31 දින තවත් මිල සංශෝධනයක් අපේක්ෂා කළ හැකි බවයි. 

මේ අවස්ථාව, කවර පක්ෂයක් බලයේ සිටියත්, ආණ්ඩුවක් සතු විකල්ප ඉතාම සීමිත තත්ත්වයක්. ඒ නිසා, ආණ්ඩුව විසින් ගත හැකිව තිබුණු තීරණ පුරෝකථනය කිරීම ඒ තරම්ම අසීරු වූයේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වීමට ආසන්නව සිටි කාලයේදී ඔවුන් බලයට පත් වීමෙන් පසුව IMF ගිවිසුම සම්බන්ධව කටයුතු කිරීමට ඉඩ තිබෙන ආකාරය පිළිබඳව අප විසින් නිවැරදිව පුරෝකථනය කළේද මෙම පදනම මතයි. 

සමතුලිතව ඇති ආර්ථිකයක් විවිධ ආකාරයේ කම්පනයන් නිසා තාවකාලිකව අසමතුලිත විය හැකියි. මේ කම්පන ඉල්ලුම් කම්පන හා සැපයුම් කම්පන ලෙස වර්ග කෙරෙනවා. ඉල්ලුම් කම්පන වල අහිතකර බලපෑම් මුදල් ප්‍රතිපත්ති වල සහ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් සාපේක්ෂව පහසුවෙන් සීමා කර ගත හැකි වුවත්, සැපයුම් කම්පන වලදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට එවැන්නක් කිරීම අසීරුයි.

ඉල්ලුම ඕනෑවට වඩා ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. එහිදී පොලී අනුපාතික වැඩි කිරීම හා බදු වැඩි කිරීම වැනි ක්‍රම මගින් ඉල්ලුම පාලනය කර උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් එවැනි ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනයද සීමා වෙනවා. පුද්ගලයින්ගේ පැත්තෙන් බලද්දී, ඔවුන්ගේ වියදම් අඩු කිරීම සඳහා ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ආදායම්ද අඩු වෙනවා. එහෙත් වඩා බරපතල ප්‍රශ්නය උද්ධමනයනම් ආර්ථිකය හකුළා උද්ධමනය පාලනය කළ හැකියි.

ආර්ථික වර්ධනය අඩු මට්ටමක ඇති විට, රටේ උද්ධමන ප්‍රශ්නයක් නැත්නම්, ඉල්ලුම වැඩි කර ආර්ථිකය වර්ධනය කළ හැකියි. එහෙත්, මේ ක්‍රමයට ආර්ථිකය උත්තේජනය කළ හැකි සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා ඉල්ලුම වැඩි වූ විට ආර්ථිකය වර්ධනය වීම වෙනුවට දැක ගන්නට ලැබෙන්නේ උද්ධමනය ඉහළ යාමයි. උද්ධමනය ඉහළ යන විට ප්‍රතිපත්ති සම්පාදකයින්ට නැවතත් ආර්ථිකය හකුළන්නට සිදු වෙනවා. 

ඉහත ක්‍රම දෙක මගින් රටේ සාර්ව ආර්ථික ඉල්ලුම කළමනාකරණය කරමින්, මුදල් ප්‍රතිපත්ති සහ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන්, ඉල්ලුම් කම්පන හමුවේ රටේ ආර්ථික වර්ධනය සහ උද්ධමනය ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් ඇතත්, සැපයුම් කම්පන වලදී මෙවැන්නක් කිරීම අසීරුයි.

හැම සැපයුම් කම්පනයක්ම නරක නැහැ. හිතකර සැපයුම් කම්පනයකදී උද්ධමනය අඩු වී ආර්ථික වර්ධනයද ඉහළ යනවා. එහිදී, මෙවැන්නක් සිදු වන්නේ මුදල් ප්‍රතිපත්ති වල හෝ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල උදවුවෙන් නොවුනත්, ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලකුණු වැටෙනවා. ඇත්ත වශයෙන්ම පසුගිය (2025) වසර තුළ යම් තාක් දුරකට දැකිය හැකි වූයේ එවැනි තත්ත්වයක්. එම හිතකර සැපයුම් කම්පන තත්ත්වයේ උදවුවෙන් රටේ උද්ධමනය අඩු වී ආර්ථික වර්ධනයද ඉහළ ගියා. දැන් සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

අහිතකර සැපයුම් කම්පනයකදී ආර්ථික වර්ධනය අඩු වන අතරම උද්ධමනයද ඉහළ යනවා. මෙවැන්නක් සිදු වන්නේ මුදල් ප්‍රතිපත්ති වල හෝ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල වරදකින් නෙමෙයි. රට තුළ සිදු වන දිත්වා වැනි ආපදාවක් හේතුවෙන් හෝ රටින් බාහිරව ඇති වන ඉරාන යුද්ධය වැනි හේතුවක් නිසා අහිතකර සැපයුම් කම්පනයක් ඇති විය හැකියි. කෙසේ වුවද, සැපයුම් කම්පනයක බලපෑම ඉවත්ව යාමෙන් පසුව ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයද ස්වභාවික ලෙසම පෙර පැවති මට්ටම් වලට පැමිණෙනවා. ඒ නිසා, මෙවැනි තත්ත්වයකදී ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය, රැල්ලක් එද්දී සෘජුව කෙලින් හිටගෙන ඔලුව උඩින් රැල්ල යන්න දෙන්න ඉඩ අරිනවාක් මෙන්, කම්පනයට මුහුණ දෙන එකයි. රැල්ලට බිය වී රැල්ල සමඟ පොර බදන්න ගියොත් රැල්ලට ගහගෙන යන්න පුළුවන්.

මෙයින් අදහස් වන්නේ මේ ප්‍රතිපත්තිය ඕනෑම අහිතකර සැපයුම් කම්පනයකට ගැලපෙනවා කියන එක නෙමෙයි. බොහොමයක් අහිතකර සැපයුම් කම්පන කෙටි කාලයකින් අවසන් වන නිසා ප්‍රතිපත්ති සම්පාදකයෙකුට ප්‍රතිචාර දැක්වීම සඳහා කාලයක් ඉතිරි වන්නේ නැතත්, ඇතැම් අවස්ථා වලදී සැපයුම් කම්පනයක බලපෑම කාලයක් පවතින්න පුළුවන්. ඒ වගේම, රැල්ල සාමාන්‍ය රැල්ලක් නොවී සුනාමියක් වෙන්න පුළුවන්. 

සුනාමියක් නොවන සාමාන්‍ය රැල්ලක් සැලකුවත්, එය අල්ලා ගෙන සිටිය නොහැකි දුර්වල අය ඉන්නවා. ඒ නිසා, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජයකට කළ හැකි යම් යම් දේ තිබෙනවා. කෙසේ වුවද, මෙවැනි අවස්ථාවක සමාජයේ දුර්වල අය රැක ගැනීම වෙනුවෙන් රජයක් යම් යම් දේ කරද්දී, අනෙක් කොටස් මත කම්පනයේ බරට අමතරව තවත් වැඩිපුර බරක් වැටෙනවා. කවර තත්ත්වයක් යටතේ වුවද, අහිතකර සැපයුම් කම්පනයක් දේශපාලනික ලෙස බලයේ සිටින ආණ්ඩුවට අවාසිදායක බලපෑමක් සිදු කරනවා.

පවතින අහිතකර සැපයුම් කම්පන තත්ත්වය සමස්ත ලෝකයටම මෙන් පොදුවේ බලපා ඇති තත්ත්වයක්. එහි තීව්‍රතාවය මෙන්ම පවතින කාලයද තව දුරටත් වැඩි විය හැකියි. ඒ පිළිබඳ නිවැරදි විනිශ්චයකට පැමිණීම පහසු කරුණක් නෙමෙයි.

මේ කම්පනය හමුවේ ලෝකයේ ඇතැම් රටවල් රැල්ල සමඟ පොර බදමින්, ලෝක වෙළඳපොළේ උච්ඡාවචනයන් හමුවේ වුවද, තෙල් මිල ස්ථාවරව තබා ගෙන සිටිනවා. තවත් රටවල් සෘජුව කම්පනයට මුහුණ දෙමින් කම්පනය අවශෝෂණය කර ගන්නවා. ඇතැම් රටවල් අතරමැදි තැනක සිටිනවා.

දැනට පෙනෙන්නට තිබෙන තොරතුරු අනුව, ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා කර තිබෙන්නේ කම්පනය අවශෝෂණය කර ගැනීමයි. තමන්ට ඒ සඳහා ශක්තිය ඇති බැවින් කිසියම් රටකට මෙවැනි අහිතකර සැපයුම් කම්පනයක් අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම, කම්පනය හමුවේ ඒ සමඟ පොර බැදීමේ ශක්තියක් නොමැති බැවින් එසේ කරන්නට රටකට සිදු වෙන්නත් පුළුවන්. එහිදී සිදු වන්නේ අඩු නරක තෝරා ගැනීමක්.

මුලින් කී පරිදි, අහිතකර සැපයුම් කම්පනයක් හේතුවෙන් ආර්ථික වර්ධනය අඩු වී උද්ධමනය ඉහළ යනවා. එය කිසිවෙකුගේ වැරැද්දකින් සිදු වන දෙයක් නෙමෙයි. මෙවැනි අවස්‌ථාවකදී රජය හෝ මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම පිණිස ක්‍රියාමාර්ග ගතහොත් සිදු වන්නේ කොහොමටත් අඩු වෙන ආර්ථික වර්ධන වේගය තවත් විශාල ලෙස අඩු වීමයි. අනෙක් අතට, ආර්ථික වර්ධනය පවත්වා ගැනීම පිණිස ක්‍රියාමාර්ග ගැනීමේදී කොහොමටත් ඉහළ යන උද්ධමනය තව දුරටත් ඉහළ යනවා. ඒ නිසා, මොන දේ කළත්, අවසාන වශයෙන් ඒ කරන දේ ආණ්ඩුවේ ජනප්‍රිත්වය කෙරෙහි නරක ලෙස බලපානවා.

ලංකාවේ දිගුකාලීන ඉලක්කය රටේ උද්ධමනය 3%-7% පරාසය තුළ පවත්වා ගැනීමයි. පසුගිය පෙබරවාරි මාසයේ රටේ උද්ධමනය පැවතුණේ 1.6% මට්ටමේ. ඒ අනුව, ලංකාවට උද්ධමන කම්පනයක් අවශෝෂණය කර ගැනීම සඳහා මේ මොහොතේ විශාල අවකාශයක් තිබෙනවා. ඒ අනුව, වඩා හොඳ විකල්පය වන්නේ උද්ධමනය ඉහළ යාමට ඉඩ හරිමින් ආර්ථික වර්ධන වේගය ආරක්ෂා කර ගැනීමයි. 

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, 2022 ජූනි මාසයේදී පෙට්‍රෝල් (LP92) ලීටරයක මිල රුපියල් 470 දක්වා ඉහළ දමනු ලැබුවා. එය බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි ඉහළ මිලක් වුවත්, ශ්‍රී ලාංකිකයින් විසින් දැනටමත් දරාගෙන තිබෙන මිලක්. 2022 වසරට සාපේක්ෂව රටේ ආදායම් මට්ටම 2025 වන විට 36.0%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, 2022දී රුපියල් 470ක් පෙට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් ගෙවීම, ක්‍රය ශක්ති පදනම මත, සමාන කළ හැක්කේ අද රුපියල් 640ක මිලක් ගෙවීමටයි. පෙර ලිපියක පෙන්වා දී ඇති පරිදි, 2022දී වුවද රටේ ඉන්ධන පරිභෝජනය අඩු වී තිබෙන්නේ සාමාන්‍ය පරිභෝජන මට්ටමට වඩා 17%කට නොවැඩි ප්‍රතිශතයකින්. ඒ අනුව, ඉහත මිල ලංකාවේ පාරිභෝගිකයින් විසින් බොහෝ දුරට අවශෝෂණය කර ගෙන ඇති ආකාරය පෙනී යනවා.

ඉහත අවස්ථාව වන විට (2022 ජූලි 1) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 138.20ක්. ඩොලරයක විකිණුම් මිල රුපියල් 367.24ක්. මේ වන විට (2026 මාර්තු 19) සිංගප්පූරුවේ පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 137.50ක්. ඩොලරයක විකිණුම් මිල රුපියල් 315.12ක්. මේ අනුව, එදා පැවති තත්ත්වයට සාපේක්ෂව, මේ වන විටද පිරිපහදු කළ පැට්‍රෝල් බැරලයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 15%කින් පමණ අඩුයි. ඒ අනුව, මිල සූත්‍රය අනුව දැනට නියම කෙරී ඇති මිල වන රුපියල් 398ක මිලද, එදා පැවති රුපියල් 470ක මිලට වඩා 15%කින් පමණ අඩු මිලක්. එදා පාරිභෝගිකයින් විසින් ගෙවා ඇති මිල දැනට පවතින මිලට වඩා 18%කින් පමණ වැඩි මිලක්. ඔවුන් ඒ අදට වඩා 18%කින් වැඩි මිල එදා ගෙවා තිබෙන්නේ සාමාන්‍ය ආදායම් මට්ටම අදට සාපේක්ෂව 27%කින් පමණ අඩු මට්ටමක තිබියදීයි. 

මෙය පාරිභෝගිකයින් මත තව තවත් බර පැටවිය යුතුයැයි කරන යෝජනාවක් සේ වරදවා වටහා ගත යුතු නැහැ. රජය සතුව යම් සහනයක් ලබා දීමේ හැකියාවක් ඇත්නම්, එසේ කිරීමේ වැරැද්දක් නැහැ. එය දේශපාලනික තීරණයක්. එසේ කිරීමේ හැකියාවක් රජය සතුව තිබේද? 

රජයට ඉන්ධන මිල සුබසාධනය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය බදු අඩු කිරීමයි. දෙවන ක්‍රමය බදු අඩු නොකර සහනාධාරයක් ලබා දීමයි. පළමු ක්‍රමයේ වැඩි වාසිය ලැබෙන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවත් අයටයි. දෙවන ක්‍රමයේදී රජයට තමන්ට අභිමත පරිදි තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබා දිය හැකියි. ප්‍රායෝගිකව මේ දෙවන ක්‍රමයෙන් අඩු ආදායම්ලාභීන්ට වැඩි සහනයක් ලබා දිය හැකියි. එමෙන්ම නිෂ්පාදනය දිරිමත් වන පරිදි එය කළ හැකියි.

කෙසේ වුවද, ඔය කොයි ආකාරයෙන් ඉන්ධන මිල සුබසාධනය කළද එමගින් රාජ්‍ය අයවැයේ ප්‍රාථමික අතිරික්තය පහත වැටෙනවා. පළමු ක්‍රමයේදී බදු ආදායම් අඩුවීම හරහාද, දෙවන ක්‍රමයේදී වියදම් ඉහළ යාම හරහාද මෙය සිදු වෙනවා. මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ මට්ටමක ඇති නිසාත්, වියදම් අඩු මට්ටමක ඇති නිසාත්, මෙවැන්නක් කිරීමේ හැකියාවක් රජය සතුව ඇතත්, ඒ සමඟම අනාගතයේදී එසේ කිරීමේ හැකියාව සීමා වෙනවා.

දැනට දැකිය හැකි තත්ත්වය තුළ, මැදපෙරදිග කලාපයේ ඇතැම් මහා පරිමාණ ඉන්ධන නිෂ්පාදන පහසුකම් වසර කිහිපයකට නැවත ගොඩ නැගිය නොහැකි ආකාරයෙන් විනාශ වෙමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල කාලයක් එක දිගට ඉහළ මට්ටමක පැවතුනහොත් රජයට දිගින් දිගටම සහනාධාර ලබා දීමේ හැකියාවක් තිබේද? සහනාධාර ලබා දීම අවශ්‍යම මොහොත මේ මොහොත නොවෙන්නට පුළුවන්. 

තිබෙන සම්පත් හදිසි වී ඕනෑවට වඩා කලින් අවසන් කර ගතහොත් සිදු විය හැක්කේ වඩා නරක තත්ත්වයක් යටතේදී රජයට කිසිවක් කරගත නොහැකි වීමයි. පවතින යුද වාතාවරණය තුළ වුවද, ලෝක ඉන්ධන මිල තවමත් පවතින්නේ ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම මට්ටම් වල නෙමෙයි. මීට වඩා සැලකිය යුතු මිල වැඩිවීම් ඉතිහාසය තුළ සිදු වී ඇති අතර, එවැනි ඉහළ මිල ගණන් එක දිගට දිගු කාලයක් පැවතී තිබෙනවා. ඒ නිසා, සහන ලබා දිය යුත්තේ කවර තත්ත්වයන් යටතේ කවර කණ්ඩායම් වලටද යන්න ආණ්ඩුව හමුවේ තිබෙන අසීරු තීරණයක්.

Friday, March 20, 2026

වැඩි මිලට තෙල් විකුණන්න පුළුවන්ද?


සමහර අය කියන විදිහට පෞද්ගලික තෙල් සමාගම් වලට තෙල් ගෙනත් කැමති මිලකට විකුණන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් එසේ නොකර ඉන්නවද? ඒ විදිහට, ඔවුන්ට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන්ද?

මේ හා අදාළව දැනට බලාත්මකව තිබෙන්නේ 2479/27 අංක දරන, 2026 මාර්තු 9 දින නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයයි. එහි සඳහන්ව තිබෙන්නේ කුමක්ද?

"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වන මම, 2026 මාර්තු 9 දින මධ්‍යම රාත්‍රී 12:00 සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරමි."

ඉන් පසුව, ඉන්ධන වර්ග පහක පවතින මිල සහ සංශෝධිත මිල සඳහන් කර තිබෙනවා. එම සියළුම මිල ගණන් නිශ්චිත මිල ගණන්. මේ මිල ගණන් කිසිවක් අවම හෝ උපරිම මිල ගණන් බවක් ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ. ඒ වගේම, මෙම මිල ගණන් අදාළ වන්නේ නිශ්චිත ආයතනයකට හෝ නිශ්චිත ප්‍රදේශයකට බවක්ද ගැසට් නිවේදනයේ සඳහන්ව නැහැ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වෙත පැවරී ඇති බලතල මොනවාද?

පණතේ 66(1) වගන්තිය අනුව බලශක්ති ඇමතිවරයාට මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබා ගෙන ඉන්ධන මිල ගණන් හා අදාළව (a) උපරිම මිලක් (b) අවම මිලක් හෝ (c) නිශ්චිත මිලක් නියම කරමින් නියෝගයක් නිකුත් කළ හැකියි. 

පණතේ 66(2)a අනු වගන්තිය අනුව එසේ නියෝගයක් කරන විට එය තෙල් සංස්ථාවට පමණක් බලපැවැත්වෙන පරිදි සිදු කළ හැකියි. එසේ නැත්නම්, 66(2)b අනුව සියල්ලන්ටම බලපාන පරිදි නියෝගය පැනවිය හැකියි. 66(2)c අනුව, යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ කාලයකට පමණක් බලපාන පරිදි සිදු කළ හැකියි. 

බලශක්ති ඇමතිවරයා විසින් මෙවැනි නියෝගයකට අත්සන් තබා එය ගැසට් කිරීමෙන් පසුව නියෝගය බලාත්මක වෙනවා. 

ඉංජිනේරු කුමාර ජයකොඩිගේ නිවේදනයෙහි "ඉන්ධන මිල" මිස එයින් අදහස් වන්නේ කුමක්ද කියා පැහැදිලි කර නැහැ. ඒ නිසා, පණතේ 66 වන වගන්තිය සහ නියෝගය එක්ව ගත් විට මෙය උපරිම, අවම හෝ නිශ්චිත මිලක් වෙන්න පුළුවන්. ඒ වගේම, මේ නියෝගය තෙල් සංස්ථාවට පමණක් බලපාන නියෝගයක් බව සඳහන් කර නැහැ. ඒ නිසා, හරියටම ගැසට් නිවේදනයේ සඳහන් මිලට ඉන්ධන නොවිකුනා අඩුවෙන් හෝ වැඩියෙන් විකුණන අයෙකුට නීතිමය අවදානමක් ගන්න සිදු වී තිබෙනවා. ඒ නීතිමය අවදානම හා බැඳුනු විශාල මූල්‍යමය අවදානමකුත් තිබෙනවා.

පේන විදිහට ඇත්තටම වෙලා තියෙන්නේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් (කැම්පස් වල කෝස්වර්ක් ගහන විදිහට) හිටපු බලශක්ති අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ ගැසට් නිවේදන වල දිනය සහ මිල ගණන් පමණක් වෙනස් කරලා අලුත් ගැසට් එකක් ගහන එක. අස්සන ගහද්දී පණත කියවා ඇති බවක් පේන්නේ නැහැ. ඊට කලින් අනුර කුමාර දිසානායක විසින් කරලා තියෙන්නෙත් ඒ විදිහටම කාංචන විජේසේකර ගහපු ගැසට් එකේ දිනය සහ මිල ගණන් වෙනස් කර අලුත් ගැසට් එකක් ගහන එක.

කාලයක් තිස්සේ ලංකාවේ ඉන්ධන මිල ගණන් නිසි ක්‍රමවේදයකට සංශෝධනය වුනේ නැහැ. තෙල් සංස්ථාව රුපියල් ට්‍රිලියනය ඉක්මවන විශාල අලාබයක් එකතු කර ගත්තේ ඒ නිසා. මේ වැඩේ අවුරුදු ගාණකට පස්සේ වෙනස් වුනේ 2022දී. ඒ අනුව මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබ කිසියම් පිළිවෙළකට මිල ගණන් විචලනය කිරීමක් (මාසයකට වරක්) සිදු වෙන්න පටන් ගත්තා.

මිල සූත්‍රයේ අරමුණ වුනේ තෙල් සංස්ථාවට පාඩු නොලැබෙන මිලකට තෙල් විකුණන එක. සාමාන්‍යයෙන් මේ මිල අඩු මිලක් වූ නිසා ඒ වෙද්දී වෙළඳපොළේ හිටපු LIOC සමාගම කවදාවත් ඊට වඩා අඩුවෙන් තෙල් විකිණුවේ නැහැ. තෙල් සංස්ථාවේ විශාල වෙළඳපොළ පංගුව නිසා ඊට වඩා වැඩියෙන් තෙල් විකිණුවෙත් නැහැ. ඒ නිසා ඒ කාලයේ ඔය ගැසට් නිවේදනය කවදාවත් ප්‍රශ්නයක් වුනේ නැහැ.

සිනොපෙක් සමාගම පැමිණි අලුත ඇතැම් ඉන්ධන වර්ග රුපියල් තුනක් අඩු මිලකට විකිණුවා. රජය විසින් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඒ අනුව පෙනෙන පරිදි, රජය විසින් ගැසට් කළ මිල ප්‍රායෝගිකව උපරිම සිල්ලර මිලක් සේ සැලකීම පිළිබඳ පුර්වාදර්ශ තිබෙනවා. නමුත් ඒ මිලට වඩා වැඩියෙන් විකුණන එකේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

දින කිහිපයකට කලින් ජනාධිපති දිසානායක විසින් ව්‍යාපාරිකයින් පිරිසකට වැඩි මිලට තෙල් මිල දී ගෙන විකිණීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් එසේ කිරීම මගින්, පෙනෙන විදිහට, නීතිමය අවුලක් හදාගෙන තිබෙනවා. ඉතා ඉක්මණින් හරියකට ගැසට් එකක් ගසා නියෝගය අලුත් කිරීම මගින් මේ අවුල ලෙහා ගන්න පුළුවන්.

ගැසට් එක හරියට ගැසිය හැක්කේ කොහොමද?

- ආණ්ඩුවට ඇත්තටම අවශ්‍ය උපරිම සිල්ලර මිලක්නම් එය පැහැදිලිව සඳහන් කළ යුතුයි. එසේ නැත්නම්, ව්‍යාකූල ලෙස 66 වගන්තිය අනුව කියන්නේ නැතිව, 66(1)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ආණ්ඩුවට අවශ්‍ය තෙල් සංස්ථාවේ මිල තීරණය කිරීමට පමණක්නම්, එය පැහැදිලිව නියෝගයේ සඳහන් විය යුතුයි. එසේ නැත්නම්, 66(2)a අනුව කියා නිශ්චිතව සඳහන් කළ යුතුයි.

- ඔය දෙකම නිශ්චිතව සඳහන් කළත්, "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පණතේ 66 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව මෙතෙක් නිකුත් කර ඇති අනෙකුත් සියලුම නියෝග මේ සමඟ අවලංගු වේ" කියන කොටසත් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතුයි. එසේ නැත්නම් කවදා හෝ නිකුත් කළ පරණ නියෝගයකට වලංගු භාවයක් තිබෙනවා. 

(ඔය වැඩේ කළත් පෞද්ගලික තෙල් සමාගම් වැඩි මිලට තෙල් නොවිකුණන්න ඉඩ තිබෙනවා. එය වෙනම ආර්ථික කාරණයක් නිසා මේ සටහනේ පැහැදිලි කරන්න යන්නේ නැහැ.)

රාජ්‍ය අයවැය තුලනය සහ රාජ්‍ය ණය


මේ වන විට පසුගිය (2025) වසරේ රාජ්‍ය අයවැය තුලනය හා රාජ්‍ය ණය පිළිබඳ නිල සංඛ්‍යාලේඛණ මෙන්ම නිල ජාතික ගිණුම් ඇස්තමේන්තුද ප්‍රකාශයට පත් කර අවසානයි. මීට පෙර අප විසින් පළ කළ සටහන් වල අප විසින් ඉදිරිපත් කළ මේ හා අදාළ අනුපාත පදනම් වූයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ අපගේ පුරෝකථන මතයි. අප එසේ කළේ, අනෙකුත් විකල්පය වූ, දදේනිය පිළිබඳ මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු ඒ තරම්ම නිවැරදි නොවූ බව අපගේ අදහස වූ බැවිනුයි. 

මේ වන විට අප දන්නා සත්‍ය ඇස්තමේන්තු අපගේ පුරෝකථන වලට බොහෝ ආසන්න බැවින්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හා අදාළ පෙර සටහන් වල සඳහන් අනුපාත වලට බලපෑම් සහගත වෙනසක් සිදු වී නැතත්, මෙම ලිපියෙහි අප නැවත වරක් ඉදිරිපත් කරන්නේ නිවැරදිම අනුපාතයි. මෙම අනුපාත කිසිවක් පුරෝකථන මත පදනම් වී නැහැ.

රාජ්‍ය ආදායම් හා ලැබීම් 

දදේනි අනුපාත ලෙස 16.7%ක රාජ්‍ය ආදායම් හා ලැබීම් පසුගිය වසර තුළ වාර්තා වී තිබෙනවා. මෙම අගය වසර 19කට පසු වාර්තා වන ඉහළම රාජ්‍ය ආදායම් හා ලැබීම් අනුපාතයයි. මෙයින් 15.4%ක් බදු ආදායම් හා 1.2%ක් බදු නොවන ආදායම් වන අතර ඉතිරි 0.1% ප්‍රදානයි.

රාජ්‍ය වියදම් 

සමස්ත රාජ්‍ය වියදම දදේනියෙන් 19.0%කට සීමා වී ඇති අතර මෙම අනුපාතය පසුගිය වසරේ එම අගයට වඩා අඩු අගයක් වුවත්, 2022 (18.6%), 2018 (17.5%) වැනි වසර හා සසඳද්දී ඒ තරම් අඩු අගයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉහත වියදමෙන් 7.6%ක්ම පොලී වියදම් වන අතර අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%කට සීමා වී තිබෙනවා. එමෙන්ම, මෙම වියදමෙන් 16.0%ක්ම පුනරාවර්තන වියදම් වන අතර ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 3.0%ක් පමණයි. 

අයවැය හිඟය 

අයවැය හිඟය දදේනියෙන් 2.2%කට සීමා වී ඇති අතර එය 1956 වර්ෂයෙන් පසුව, එනම් වසර 69කට පසු, වාර්තා වන අඩුම අයවැය හිඟයයි. එමෙන්ම, දදේනියෙන් 5.4%ක් තරම් විශාල ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර ඒ මට්ටමේ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මීට පෙර යම් හෝ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙන්නේ 1954, 1955,1992, 2017, 2018, 2023 හා 2024 වසර වලදී පමණයි. 

බොහෝ වසර වල වාර්තා වී තිබුණේ සුළු ප්‍රාථමික අතිරික්තයක් වුවද, 2024දී දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබුණා. ස්ථායීකරණ වැඩ පිළිවෙළ මගින් ඉලක්ක කළේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.3% දක්වා වැඩි කර ගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යාමටයි. පසුගිය වසරේ වාර්තා වී ඇති 5.4% මට්ටම එම ඉලක්කය බෙහෙවින්ම ඉක්මවා යන්නක් වන අතර එවැනි ඉලක්කයක් පවත්වා ගැනීම මගින් ශ්‍රී ලංකා රජයට ණය බරින් නිදහස් වීම සඳහා ගත වන කාලය වසර ගණනාවකින් කෙටි කරගත හැකියි.

ප්‍රාථමික අතිරික්තයකට අමතරව මෙවර දදේනියෙන් 0.7%ක ජංගම ගිණුම් අතිරික්තයක්ද වාර්තා වී ඇති අතර එවැන්නක් සිදුව ඇත්තේ වසර 38කට පසුවයි. මේ කතා කරන්නේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම ගැන නෙමෙයි. වසර 46කට පසුව, 2023දී එම ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර එම තත්ත්වය 2024 හා 2025 වසර වලදීද දැක ගත හැකි වුනා. කෙසේ වුවත්, එය බොහෝ දුරට රජයේ නොව මහ බැංකුවේ කාර්ය භාරය හා අදාළ කරුණක්.

රාජ්‍ය ණය 

මධ්‍යම රජයේ ණය බර මේ වන විට දදේනියෙන් 91.6% දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසර අවසන් වෙද්දී එම අනුපාතය 95.5%ක්ව පැවතුණා. ප්‍රාථමික අතිරික්තය ඉහළ යන තරමට ණය බර වේගයෙන් පහත වැටෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ණය බර දදේනියෙන් 95% මට්ටම දක්වා පහත දමා ගැනීමයි. මේ වන විටද එය සිදු වී තිබෙනවා.

Thursday, March 19, 2026

තෙල් බද්ද, තෙල් සංස්ථා ණය ගෙවීම හා මිල සූත්‍රය


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී සිදු කළ කතාවක ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය තුළ 2022දී රජයට පවරා ගනු ලැබූ රුපියල් බිලියන 884ක සිපෙට්කෝ ණය පිළිබඳව නැවත මතක් කිරීමක් කළා. මේ කතාවෙන් පසුව එම ණය පිළිබඳව නැවතත් උනන්දුවක් ඇති වී තිබෙනවා. කිහිප දෙනෙකු විසින්ම ඒ ගැන වැඩි තොරතුරු අසා ඇති බැවින් මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්. 

අපි පසුගිය (2025) වසරේ ගිණුම් වාර්තා දෙස බැලුවොත් සිපෙට්කෝ සමාගම රුපියල් බිලියන 36ක ලාබයක් වාර්තා කර තිබෙනවා. ඊට පෙර වසරේ (2024) ලාබය රුපියල් බිලියන 34ක්. මේ වගේ ලොකු ගණන් දෙස සංසන්දනාත්මකව බැලුවේ නැත්නම් බිලියන ගණනක ලාබයක් ඉතාම විශාල ලාබයක් වගේ පේනවා. නමුත් 2024 වසර සැලකුවොත්, එම වසරේ සිපෙට්කෝ ආදායම (පිරිවැටුම) රුපියල් බිලියන 923ක්. ඒ කියන්නේ ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 3.9%ක් පමණයි. 2025 පිරිවැටුම රුපියල් බිලියන 841ක්. ඒ අනුව, පිරිවැටුමෙන් 4.3%ක ලාබ ආන්තිකයක් තිබෙනවා. 

මේ ලාබ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. ඒ කරුණ අමතක කර ගිණුම්කරණ ලාබය දෙස පමණක් බැලුවත්, මේ පෙනෙන්නට තිබෙන ලාබය තුළ නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ පෙර කී 2022දී රජයට පවරා ගනු ලැබූ රුපියල් බිලියන 884ක සිපෙට්කෝ ණය මුදල. ඒ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් හා ණය වාරික දැන් සිපෙට්කෝ ගිණුම් වල පේන්නේ නැහැ. 

ආර්ථික අර්බුදයෙන් පසුව, 2022 වසර අවසන් වන විට, සිපෙට්කෝ සමාගමේ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,032ක් දක්වා ඉහළ ගොස් තිබුණා. 2022 වසර තුළ පමණක් එම සමාගම රුපියල් බිලියන 618ක දැවැන්ත අලාබයක් ලැබුවා. පසුගිය දෙවසර තුළ සිපෙට්කෝ සමාගමේ ලාබ එම සමාගමේ සාමාන්‍ය ලාබ සේ සැලකුවොත්, එවැනි සමුච්ඡිත අලාභයක් පියවා ගැනීම සඳහා වසර 30ක් පමණ කාලයක් යනවා. ඒ කියන්නේ සිපෙට්කෝ සමාගම තිබුණේ ප්‍රායෝගිකව ගොඩ ගත නොහැකි තත්ත්වයකයි. එම සමාගමේ ණය වලින් රුපියල් බිලියන 884ක් රජය විසින් පවරා ගත්තේ ඒ පසුබිම තුළයි.

ඉහත ණය ප්‍රමාණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොලිය හා වාරික කොපමණදැයි මා හරියටම දන්නේ නැහැ. පැහැදිලි කිරීම සඳහා ණය වාරික අමතක කර, පොලිය 10%ක් සේ සැලකුවහොත් වසරකට රුපියල් බිලියන 88ක පොලී වියදමක්. 

දැන් මේ පොලී වියදම ඇත්තටම සිපෙට්කෝ ආයතනය විසින් දැරිය යුතු පොලී වියදමක් වුවත් එම වියදම සිපෙට්කෝ ගිණුම් වල නැහැ. ඒ නිසා එම ආයතනය ලාබ ලබන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් එම පොලී වියදම ගිණුම් වාර්තා වල තිබුණේනම්, රුපියල් බිලියන 36ක ලාබය රුපියල් බිලියන 52ක අලාබයක් බවට පත් වෙනවා. ඒ අනුව, පවරාගත් ණය වෙනුවෙන් රජය විසින් ගෙවන, රජයේ වෙනත් කිසියම් ගිණුමක සටහන් වන පොලියද සමග, ඉන්ධන වල සැබෑ පිරිවැය සැලකුවහොත්, පසුගිය වසර වල සිපෙට්කෝ ආයතනය විසින් ඉන්ධන විකුණා තිබෙන්නේ පිරිවැයට වඩා අඩුවෙන්. 

එහෙමනම් මේ වාසිය පාරිභෝගිකයින්ට ලැබුණාද? 

ඔය විදිහට සිපෙට්කෝ ආයතනය විසින් දැරිය යුතු පොලී වියදමක් රජය විසින් දැරුවත්, ඉන්ධන මත බද්දක් අය කිරීම මගින් රජය එම මුදල සහ බොහෝ විට තවත් අමතර මුදලක් පාරිභෝගිකයින්ගෙන් එකතු කර ගන්නවා. මේ බදු මුදල හරියටම කීයද කියා මම දන්නේ නැහැ. නැවතත්, පැහැදිලි කිරීමේ පහසුව පිණිස, බදු මුදල පිරිවැටුමෙන් 20%ක් ලෙස සලකමු. ඒ කියන්නේ රුපියල් බිලියන 168ක්. ඒ කියන්නේ, එම මුදල බදු ලෙස අය නොකරන අතර දැන් මිලටම ඉන්ධන විකුණුවේනම් සිපෙට්කෝ ආයතනයේ ලාබය රුපියල් රුපියල් බිලියන 116ක් වෙනවා (= 36 - 88 + 168). පිරිවැටුම එක්ක බලද්දී එහි 13.8%ක ආන්තිකයක් තිබෙනවා. 

රජය විසින් සිපෙට්කෝ ණය පවරා නොගෙන, බදුද අය නොකර සිටියේනම්, එම ආයතනය දැන් ලබන ලාබයට වඩා සැලකිය යුතු තරමින් වැඩි ලාබයක් ලබනවා. එම ලාබයෙන් රජයට ආදායම් බදු ලෙස මුදලක් අය කරන්න ඉඩ ලැබෙනවා වගේම, දැන් රජය විසින් සිපෙට්කෝ ණය වෙනුවෙන් ගෙවන පොලිය රජයට ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් දැන් එකතු වෙන ඉන්ධන බද්ද රජයට නොලැබී යනවා. සමස්තයක් ලෙස ඔය වැඩෙන් රජයට ලාබයක් නැත්නම්, එකතු කරන බදු මුදල සිපෙට්කෝ ණය හා පොලිය වෙනුවෙන් නැවත වැය වෙනවානම්, ඔය විදිහට පටලවපු එකේ තේරුමක් තියෙනවද?

එක වෙනසක්නම්, එවැනි විකල්ප තත්ත්වයක් යටතේ, සිපෙට්කෝ ලාබය ගිණුම් අනුව වැඩියෙන් පේනවා. එම ලාබයෙන් කොටසක් රජයට ආදායම් බද්දක් සේ අය කරගන්න පුළුවන් වුනත්, සමස්තයක් ලෙස රජයේ බදු ආදායමේ සැලකිය යුතු අඩු වීමක් වෙනවා. මේ ක්‍රමය මගින් රජයට, යම් තරමක් කෘතීම ආකාරයකින්, බදු ආදායම වැඩියෙන් පෙන්වන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන්, සිපෙට්කෝ ලාබය මීට වඩා ගොඩක් වැඩියෙන් පෙනුනානම්, ඉන්ධන මිල අඩු කර ඒ ලාබයේ වාසිය පාරිභෝගිකයින්ට දෙන්න දේශපාලන පීඩනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් රජයට ලැබෙන බද්ද සහ සිපෙට්කෝ ලාබය කියන දෙකම නැති වෙනවා. කාලයක් තිස්සේම ඔය වැඩේ ඔය විදිහට සිදු වුනු නිසා තමයි සිපෙට්කෝ සමාගමේ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,032ක් දක්වා ඉහළ ගියේ.

හැබැයි ඔය හේතු වලට වඩා බරපතල කාරණයකුත් මේ ගණන් හිලවු පටලැවිල්ල ඇතුළේ තියෙනවා.

සිපෙට්කෝ සමාගමේ සිට LIOC සමාගම වෙතට හැරුනොත්, එම සමාගම විසින් 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය ඇතුළත රුපියල් බිලියන 276ක ආදායමක් සහ රුපියල් බිලියන 14ක පමණ ලාබයක් ලබා තිබෙනවා. මෙහි ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 5.0%ක් පමණයි. සිපෙට්කෝ ලාබ ආන්තිකය එක්ක බලද්දී විශාල වෙනසක් නැහැ. අනෙකුත් වියදම් වලට පෙර දළ ලාබය දෙස බැලුවොත්, සිපෙට්කෝ ආන්තිකය 8.9%ක් වෙද්දී LIOC ආන්තිකය 7.6%ක් පමණයි. 

සිපෙට්කෝ සමාගම විකුණන හැම දෙයක්ම LIOC එක විකුණන්නේ නැති නිසාත්, ඒ දේවල් වලින් ඒකාධිකාරී ලාබයක් ගන්න පුළුවන් නිසාත්, සිපෙට්කෝ එකට වැඩි දළ ලාබ ආන්තිකයක් පවත්වා ගන්න පුළුවන්. නමුත් LIOC එකට සාපේක්ෂව බලද්දී සිපෙට්කෝ එක අකාර්යක්ෂම නිසා අමතර වියදම් අඩු කළාට පස්සේ LIOC ආන්තිකය තරමක් වැඩියි. 

දැන් අපි නැවතත් ඉන්ධන බද්ද වෙත එමු. කලින් කළ 20% උපකල්පනය යටතේ, මේ බද්ද නැත්නම් LIOC එක වෙත ඉතිරි වන අමතර මුදල රුපියල් බිලියන 55ක්. ඒ අනුව, LIOC ලාබය රුපියල් බිලියන 14 සිට රුපියල් බිලියන 69 දක්වා ඉහළ යනවා. ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 25% දක්වා ඉහළ යනවා. මෙය විශාල ලාබ ආන්තිකයක්. සිනොපෙක්, ෂෙල් ඇතුළු අනෙකුත් සමාගම් වල ලාබ ආන්තිකයද ඔය විදිහටම විශාල ලෙස ඉහළ යනවා. මෙය සිදු වෙන එක වැලකී තිබෙන්නේ රජය විසින් අය කරන බද්ද නිසා. 

නමුත් මෙහිදී අප විසින් උපකල්පනය කළේ බද්ද ඉවත් කළොත් ඉහත සමාගම් විසින් එහි වාසිය මුළුමනින්ම අරගෙන දැන් අය කරන මිල ඒ විදිහටම අය කරයි කියලා. එය එසේ වෙන්නේ නැහැ. බද්ද ඉවත් කළොත් එම සමාගම් විසින් මිල අඩු කරනවා. එසේ මිල අඩු කරමින් වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. දැන් මේ සමාගම් විසින් එසේ නොකරන්නේ මිල සූත්‍රය සහ බද්ද හරහා ලාබය සීමා කර තිබෙන නිසා. පවතින තත්ත්වය තුළ කොහොමටත් ලැබෙන්නේ අවම ලාබයක් නිසා මිල අඩු කරන එක ඒ සමාගම් වලට පාඩුයි.

ඔය විදිහට බද්ද ඉවත් කිරීමෙන් පසුව පෞද්ගලික සමාගම් විසින් තෙල් මිල අඩු කළොත් එම සමාගම් වලට තව දුරටත් ලාබ ගන්න පුළුවන්. මිල අඩු කිරීමේ අවාසිය අලෙවිය වැඩි වීමෙන් ආවරණය වෙනවා. නමුත් එසේ වෙද්දී සිපෙට්කෝ එකේ වෙළඳපොළ පංගුව ටිකෙන් ටික අහිමි වෙනවා. එය වලක්වා ගන්න මිල අඩු කළොත් පිරිවැය ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා, මිල අඩු කළත් සිපෙට්කෝ එක අමාරුවේ. මිල අඩු නොකළත් සිපෙට්කෝ එක අමාරුවේ. 

මේ අනුව බලද්දී, සිපෙට්කෝ එක වෙනුවට පෞද්ගලික සමාගම් විසින් පමණක් ඉන්ධන අලෙවි කරන උපකල්පිත තත්ත්වයට සාපේක්ෂව, බද්ද කියන්නේ පාරිභෝගිකයින් විසින් ගෙවන අමතර මුදලක්. සිපෙට්කෝ එක නැත්නම්, බද්දත් නැත්නම්, පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙනවා. නමුත් සිපෙට්කෝ එක තියෙද්දී බද්ද අඩු කළොත් එක පැත්තකින් සිපෙට්කෝ එකට පවතින්න අමාරු වෙනවා. අනෙක් පැත්තෙන්, සිපෙට්කෝ එක පවතින්න දරන උත්සාහය නිසා, බද්ද අඩු කළ එකේ වාසියෙන් කොටසක් පෞද්ගලික සමාගම් වලට යනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි, රජය විසින් අය කරන බද්ද මගින් නිරූපණය වන්නේ සිපෙට්කෝ සමාගම සහ අනෙකුත් පෞද්ගලික සමාගම් අතර කාර්යක්ෂමතා වෙනසයි. රජය විසින් කරන්නේ සියලුම සමාගම් වල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා බදු මුදල සිපෙට්කෝ පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීම පිණිස යෙදවීම මගින් සිපෙට්කෝ සමාගමේ අකාර්යක්ෂමතාව නඩත්තු කිරීමට උපකාර කිරීමයි. 

මේ තත්ත්වයෙන් ගැලවෙන්නේ කොහොමද? එසේ ගැලවෙන්න පුළුවන් වෙන්නේ සිපෙට්කෝ සමාගමද අනෙක් සමාගම් තරමටම කාර්යක්ෂම වුවහොත් පමණයි. එතෙක් මෙවැන්නක් කළ නොහැකියි. කෙසේ වුවත්, අමතර කරුණක් ලෙස මේ වෙනස මගින් නිරූපණය වන්නේ සිපෙට්කෝ සමාගමේ මේ මොහොතේ අකාර්යක්ෂමතාවය පමණක් නෙමෙයි. සිපෙට්කෝ සමාගමේ මේ මොහොතේ අකාර්යක්ෂමතාවය, එම සමාගමේ අතීත අකාර්යක්ෂමතා වල පාඩුව වගේම අතීතයේ පාරිභෝගිකයින් විසින් ලැබූ වාසියද මේ තුළ තිබෙනවා. 

මේ කොටස් තුනෙන් තුන්වන කොටස සිපෙට්කෝ ප්‍රශ්නයක් නොවන නිසා ඒ කොටස සියලුම පාරිභෝගිකයින්ගෙන් අය කරගන්න එකේ තර්කානුකූල පදනමක් තිබෙනවා. පළමු හා දෙවන කොටස් වල බර ඒ විදිහට පාරිභෝගිකයින් මත පටවන එක සාධාරණීකරණය කළ නොහැකි වෙතත්, සිපෙට්කෝ එක රාජ්‍ය ආයතනයක් බැවින් එහි අතීත හා වත්මන් අකාර්යක්ෂමතාවයන් වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වන්නේ වත්මන් සහ අනාගත බදු ගෙවන්නනටයි.

ඊළඟට අපි පෞද්ගලික සමාගම් සමඟ රජය විසින් ඇති කරගෙන තිබෙන එකඟතා ගැනත් කතා කරමු. මම මේ ගිවිසුම් කිසිවක් දැකලා නැහැ. මෙය විවිධ අවිධිමත් මූලාශ්‍ර වල තිබෙන කරුණු මත පාදකව සිදු කරන පැහැදිලි කිරීමක් පමණයි. 

කරුණක් ලෙස ගත්තොත් කාලයක් තිස්සේ සිපෙට්කෝ සමාගම විසින් පිරිවැයට වඩා අඩුවෙන් ඉන්ධන විකිණුවා. පිරිවැයෙන් කොටසකට හේතුව අකාර්යක්ෂමතාවය වුවත්, එම අකාර්යක්ෂමතාවය අත හැරීමෙන් පසුව වුවද පිරිවැය ආවරණය වී නැහැ. අකාර්යක්ෂමතාවය ඉවත් කර ගැනීම මගින් වෙනත් සමාගමකට සිපෙට්කෝ සමාගම සමඟ තරඟ කරන්න පුළුවන්. නමුත් සෘජු පිරිවැයට වඩා අඩුවෙන් සිපෙට්කෝ එක තෙල් විකිණුවොත් වෙනත් සමාගමකට කෙසේවත් තරඟ කරලා ලාබයක් ගන්න බැහැ. 

මේ හේතුව නිසා සිපෙට්කෝ එක සෘජු පිරිවැයට වඩා අඩුවෙන්, ඒ කියන්නේ දළ ලාබයක් හෝ නැතිව, ඉන්ධන අලෙවි කරන තත්ත්වයක් යටතේ, අවස්ථාවක් තිබුනත් වෙනත් කිසිදු සමාගමක් රටට එන තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙම එන්නනම් වියදමට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැහැ කියන සහතිකය ඔවුන්ට අවශ්‍ය වෙනවා. මේ අනුව, සිනොපෙක් වැනි සමාගම් රටට ඇවිත් තියෙන්නේ රජය (සිපෙට්කෝ) විසින් පිරිවැයට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැහැ කියන සහතිකය ලබා ගෙන.

මිල සූත්‍රය ක්‍රියාත්මක වන්නේ ඉහත එකඟතාවය අනුවයි. සූත්‍රය මම හරියටම දන්නේ නැහැ. නමුත් පදනම මෙයයි. අනෙකුත් සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා වලට අමතරව මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම මූල්‍ය අරමුදලේද අවශ්‍යතාවයක්. ඒ නිසා, අරමුදල සමඟ ඉන්නනම් මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතුයි. රජයට ඒ හැර වෙනත් විකල්පයක් නැහැ.

එසේනම්, ඉහත එකඟතා අනුව, රජයට ඉන්ධන මිල සුබසාධනය කිරීමේ කිසිදු හැකියාවක් නැද්ද? 

ඉන්ධන මිල සුබසාධනය කිරීම හෝ නොකිරීම වෙනම කරුණක්. එය රටේ සාර්ව ආර්ථික තුලනය සමඟද ගැට ගැසී ඇති දේශපාලනික කරුණක්. සාර්ව ආර්ථික තුලනය පැත්තකින් තිබ්බොත්, ඉන්ධන මිල සුබසාධනය කරන්න රජයට කිසිදු බාධාවක් නැහැ. උදාහරණයක් ලෙස සිපෙට්කෝ සමාගම විසින් භූමිතෙල් විකුණන්නේ පිරිවැයට වඩා අඩුවෙන්. එය දේශපාලනික තීරණයක් වගේම කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. 

මිල සුබසාධනය කිරීම මගින් ඉටු කර ගැනීමට අදහස් කෙරෙන දේශපාලනික අරමුණක් තිබෙනවා. නමුත් එහිදී සිපෙට්කෝ සමාගමට පිරිවැයට වඩා අඩුවෙන් භූමිතෙල් විකුණන්න සිදු වුනොත්, එසේ කරමින් ලාබ ලබන්න බැහැ. එය එම සමාගමට සිදු කෙරෙන අසාධාරණයක්. ඒ නිසා, ඒ වැරැද්ද හදන්න සුබසාධනයේ බර රජය විසින් දැරිය යුතුයි. මූල්‍ය අරමුදල විසින් කියන්නේ ඒකයි. සුබසාධනයේ බර රජය විසින් දරනවානම්, අවසාන වශයෙන්, භූමිතෙල් අඩුවට විකුණන තත්ත්වයක් යටතේ වුවත්, සිපෙට්කෝ සමාගමේ පිරිවැය ආවරණය වෙනවා. ඒ නිසා පාඩු ලබන්න හේතුව විදිහට සුබසාධනය ඉදිරිපත් කරන්න බැහැ.

ඉහත පදනම අනුව, අවශ්‍යනම්, ඉන්ධන මිල වැඩි මේ වගේ වෙලාවක රජයට ඉන්ධන මිල සුබසාධනය කරන්න පුළුවන්. රජයට ඒ සඳහා පූර්ණ නිදහස තිබෙනවා. නමුත් එසේ සුබසාධනය කළ යුත්තේ රජය විසින් මිසක් සිපෙට්කෝ සමාගම විසින් නෙමෙයි. එම සමාගම තව දුරටත් ලාබ ලැබිය යුතුයි. ඒ සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතුයි. ඒ අතර, රජයට පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඉන්ධන මිලෙන් කොටසක් ගෙවීම මගින් පාරිභෝගිකයින්ව සුබසාධනය කරන්න පුළුවන්. ඒ තමයි මූල්‍ය අරමුදලේ කොන්දේසිය.

මේ විදිහට රජය විසින් අයවැයෙන් මුදල් වෙන් කර පාරිභෝගිකයින් සුබසාධනය කරන්නේනම්, ඔවුන් ඉන්ධන මිල දී ගන්නේ කාගෙන්ද කියන එක නොසලකා සියලුම පාරිභෝගිකයින් එක විදිහට සුබසාධනය කළ යුතුයි. සිපෙට්කෝ පාරිභෝගිකයින්ට ලබා දෙන වාසියම සිනොපෙක් පාරිභෝගිකයින්ටත් ලබා දිය යුතුයි. මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක්නේ. සිපෙට්කෝ පාරිභෝගිකයින්ව පමණක් සුබසාධනය කරනවානම් එහි සාධාරණ තරඟයක් නෑනේ.

ගිවිසුම අනුව තෙල් සමාගම් වලට මුදල් ගෙවිය යුතුයි කියන එකේ පදනම ඕකයි. ඇත්තටම සිදු වෙන්නේ තෙල් සමාගම් වලට සල්ලි ගෙවීමක් නෙමෙයි. රජය විසින් පාරිභෝගිකයින්ව සුබසාධනය කිරීමක්. නමුත් එක් එක් පාරිභෝගිකයාට වෙන වෙනම සල්ලි ගෙවන එක අමාරු වැඩක් නිසා, ඉන්ධන අලෙවිය අනුව අදාළ සමාගම් වලට අවශ්‍ය මුදල ලබා දුන් විට සමාගම් හරහා සහනාධාර මුදල පාරිභෝගිකයින්ට ලැබෙනවා. 

දැන් මෙහි සිදුවන දේ  පැහැදිලියිනේ. සමාගම් වලට සල්ලි ගෙවීමක් ඇත්තටම නැහැ. අඩුවෙන් විකුණන්න බැරිකමකුත් නැහැ. නමුත් තෙල් මිල සුබසාධනය කරන්නේනම් එහි බර රජය විසින් දැරිය යුතුයි. අදාළ සහනය සිපෙට්කෝ ඇතුළු තෙල් සමාගම් හරහා රජය විසින් පාරිභෝගිකයින්ට ලබා දෙනවා. මේ අනුව පෙනෙන පරිදි සැබෑ ප්‍රශ්නය වන්නේ මේ වෙනුවෙන් රජයට මුදල් වෙන් කළ හැකිද කියන එකයි. 

මේ මොහොතේ පවතින තත්ත්වය වෙත ආවොත්, පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය ඇතුළත සිංගප්පූරු වෙළඳපොළේ පිරිපහදු කළ ප්‍රෙට්‍රල් බැරලයක මිල 73.4%කින් ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල (WTI) 37.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම මිල ගණන් තව දුරටත් වැඩි වෙන්න පුළුවන්. මීට අමතරව නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ආදියද ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර, ඩොලරයක මිලේද සුළු ඉහළ යාමක් (0.6%) සිදු වී තිබෙනවා. නමුත් මේ වන තුරු ප්‍රෙට්‍රල් මිල ඉහළ දමා තිබෙන්නේ 8.2%කින් පමණයි.

මේ අනුව, පවතින තත්ත්වය තුළ රජයට තවත් සැලකිය යුතු මිල වැඩි කිරීමක් කරන්නට සිදු වෙනවා. එම මිල වැඩි කිරීම පිරිවැය ඉහළ යාම හා නොගැලපෙන්නේනම්, අදාළ වෙනස සිපෙට්කෝ ඇතුළු තෙල් සමාගම් හරහා පාරිභෝගිකයින්ට ලබා දෙන්නට රජයට සිදු වෙනවා. ඒ වෙනුවෙන් අමතර මුදල් වෙන් කරන්නට සිදු වෙනවා. (මෙය එසේ කරන්න හෝ නොකරන්න කියා කරන යෝජනාවක් නෙමෙයි. එය රජයේ දේශපාලනික තීරණයක්).

මේ අයුරින් අමතර මුදලක් වැය කර පාරිභෝගිකයින් සුබසාධනය නොකරන්නේනම්, රජය සතු අනෙක් විකල්පය වන්නේ ඉන්ධන බද්ද අඩු කිරීමයි. ජනාධිපති දිසානායක විසින් පළ කළ අදහස් අනුව, මෙවැන්නක් සිදු විය හැකියි. ඉන්ධන බද්දේ බලපෑම පිළිබඳව ලිපියේ මුල් කොටසේ විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

එහි විස්තර කර ඇති පරිදි, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඉන්ධන බද්ද ඉවත් කළහොත්, සිනොපෙක් වැනි තෙල් සමාගම් වල ලාබය ක්ෂණිකව විශාල ලෙස ඉහළ යනවා. මෙවැනි විශාල ලාබයක් ලැබෙද්දී එම සමාගම් විසින් කරන්නේ බද්ද අඩු කිරීමේ ලාබයෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ට ලබා දී වෙළඳපොළ පංගුව අල්ලා ගැනීමයි. ඒ නිසා, ඉන්ධන මිල පහත වැටෙනවා. නමුත් එසේ මිල පහත වැටුණු විට සිපෙට්කෝ සමාගමට එම මිලට ඉන්ධන විකුණා ලාබයක් ලබන්න බැහැ. ඒ නිසා අනෙකුත් සමාගම් තව දුරටත් සැලකිය යුතු ලාබ ලබද්දී සිපෙට්කෝ සමාගමේ ලාබ ඉහළ යනවා. 

නමුත් දැන් තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. සිපෙට්කෝ සමාගමට අවශ්‍ය ඉල්ලුම සැපිරිය නොහැකිනම්, අනෙකුත් සමාගම් වලට වෙළඳපොල පංගුව අල්ලා ගැනීම සඳහා මිල අඩු කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, බද්ද අඩු කිරීමේ ලාබය හෝ එයින් සැලකිය යුතු කොටසක් එම සමාගම් වල දැනට තිබෙන ලාබයට එකතු කරගන්න පුළුවන්.

ඉහත තත්ත්වය හමුවේ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා රජයට ඇත්තටම කළ හැක්කේ මුදල් වැය කර පාරිභෝගිකයින් සුබසාධනය කිරීමයි. මෙමගින් රජයේ වියදම් ඉහළ යනවා. ඒ වගේම මේ ගැටලුව හා ගැට ගැසුණු, මෙහි කතා කර නොමැති, රටේ සාර්ව ආර්ථික තුලනය පිළිබඳ තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මේ කරුණු සියල්ලම සලකා බලද්දී සහ ජනාධිපතිවරයාගේ හැසිරීම් අනුව පෙනී යන්නේ රජය විසින් තෝරා ගෙන තිබෙන විකල්පය තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම බවයි. QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීම මගින් කළේ ඒ සඳහා අවශ්‍ය මානසිකත්වය හැදීම වෙන්න පුළුවන්.

Wednesday, March 18, 2026

සමාජවාදී රටකින් පාඩමක්!


වියට්නාම් සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති පරිදි, මැද පෙරදිග අර්බුද තත්ත්වය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල දිනපතා සැලකිය යුතු ලෙස විචලනය වීම සැලකිල්ලට ගනිමින්, එරට ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් කිරීම සඳහා එම අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවක් අගමැතිවරයා විසින් අනුමත කර තිබෙනවා. මීට පෙර වියට්නාමයේ තෙල් මිල සංශෝධනය කරනු ලැබුවේ සතියකට වරක් සතියේ බ්‍රහස්පතින්දා දින වලයි. 

වියට්නාමය ඉහත තීරණය ගෙන තිබෙන්නේ අවම ඉන්ධන සංචිත පවත්වා ගැනීම සහ මිල ස්ථායීකරණ අරමුදලක් පවත්වා ගැනීම ඇතුළු සැලසුම්සහගත දිගුකාලීන ක්‍රියාමාර්ග ගණනාවක්ද කලින්ම ක්‍රියාත්මකව පැවති පසුබිමකයි. 

තෙල් මිල, තෙල් බිල සහ විදේශ සංචිත


ලෝක තෙල් මිල පිළිබඳ සම්මත නිර්ණායකයක් වන ලෝක බැංකුවේ පින්ක් ශීට් සාමාන්‍ය මිල අනුව, ඉරාන යුද්ධයේ ආරම්භය තෙක්, පසුගිය වසර කිහිපයක කාලය තුළ බොර තෙල් බැරලයක මිල (ඇමරිකන් ඩොලර්) විචලනය වුනේ මේ විදිහටයි.

2018 - 68.3

2019 - 61.4

2020 - 41.3

2021 - 69.1

2022 - 97.1

2023 - 80.8

2024 - 78.7

2025 - 67.4

2026 ජනවාරි - 63.7

2026 පෙබරවාරි - 68.0

ලෝක තෙල් මිල ඔය විදිහට වෙනස් වෙද්දී ලංකාවේ තෙල් බිල (ඇමරිකන් ඩොලර් මිලියන) වෙනස් වුනු ආකාරය අපිට මහ බැංකු දත්ත වලින් බලා ගන්න පුළුවන්. 

2018 - 4,151.9

2019 - 3,891.6

2020 - 2,542.6

2021 - 3,742.9

2022 - 4,896.8

2023 - 4,702.6

2024 - 4,354.4

2025 - 4,042.5

ලෝක තෙල් මිල සහ ලංකාවේ තෙල් බිල මත පදනම්ව අපට පසුගිය කාලයේ ලංකාවේ තෙල් පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්. මේ සරල ගණනය කිරීමේ අඩුපාඩු ගණනාවක් තිබුණත් එයින් යම් අදහසක් ලබා ගන්න බැරිකමක් නැහැ. 

ලෝක තෙල් මිල අනුව, ලංකාවේ තෙල් බිලට සමාන වන බොරතෙල් බැරල් ප්‍රමාණය (මිලියන වලින්) පහත පෙන්වා තිබෙනවා. බොරතෙල් ලෙස ලංකාවට ගෙනෙන්නේ අවශ්‍ය තෙල් ප්‍රමාණයෙන් කොටසක් පමණක් නිසාත්, ඒ ප්‍රමාණය විචලනය වන නිසාත්, මෙම අගයන්ගෙන් ලංකාවේ තෙල් පරිභෝජනය හරියටම නිරූපණය වන්නේ නැහැ. එහෙත් රටේ තෙල් පරිභෝජනය මිල සමඟ වෙනස් වන ආකාරය ගැන එයින් අදහසක් ගන්න පුළුවන්. 

2018 - 60.8

2019 - 63.4

2020 - 61.6

2021 - 54.2

2022 - 50.4

2023 - 58.2

2024 - 55.3

2025 - 60.0

මේ අතරින් 2018 සහ 2025 සාමාන්‍ය අවුරුදු සේ සලකන්න පුළුවන්. ඒ වගේම සමාන කරන්නත් පුළුවන් අවුරුදු. ඔය අවුරුදු දෙකම ලංකාවේ සංචාරක කර්මාන්තය හා අදාළව හොඳම අවුරුදු. සංචාරක කර්මාන්තය සක්‍රිය අවුරුද්දක් කියන්නේ රටේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරකම්ද ඉහළ මට්ටමක පවතිනවා කියන එකයි. ඒ වගේම, රටේ ආර්ථිකයේ ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදු වුනා. ඔය සියල්ලට අමතරව ලෝක තෙල් මිල ආසන්නව සමාන අවුරුදු දෙකක්. ඔය තත්ත්වයන් යටතේ තෙල් පරිභෝජනය, අපගේ දළ නිර්ණායකය අනුව, සමානව තිබීම අහම්බයක් නෙමෙයි.

පසුගිය (2025) වසර එක්ක බලද්දී ඊට පෙර දෙවසර වල (2023 සහ 2024) තෙල් මිල ආසන්නව 17%-20%කින් පමණ වැඩියි. ඊට අනුරූපව පරිභෝජනය අඩු වීමකුත් දකින්න පුළුවන්. 2018 හා 2025 වසර වලට සාපේක්ෂව මිල අඩුවෙන් පැවති 2019දී පරිභෝජනයත් තරමක් වැඩියි. ඒ වගේම, ඉහත දත්ත අනුව, කෝවිඩ් නිසා රට වසා තිබුණු 2020දී පවා පරිභෝජනය 2025 මට්ටමට වඩා තරමක් වැඩියි. ඊට හේතුව මිල විශාල ලෙස අඩු වීම. 

නමුත් 2021 වෙද්දී තෙල් මිල සාමාන්‍ය මට්ටමට නැවත පැමිණීමෙන් පසුව කෝවිඩ් නිසා සිදු වූ ඉල්ලුමේ අඩුවීම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ කෝවිඩ් නොවන්නට 2020දී, අඩු මිල හේතුවෙන්, ඉල්ලුම මීටත් වඩා ගොඩක් වැඩි වෙනවා කියන එක (හැබැයි 2020දී මිල අඩු වුනේම කෝවිඩ් නිසා මේක තේරුමක් නැති කතාවක්. මෙයින් පෙන්වන්න උත්සාහ කළේ මිල සහ පරිභෝජනය අතර තිබෙන පැහැදිලි සම්බන්ධය). 

ඉහත දර්ශකය අනුව, ඉල්ලුම අඩුවෙන්ම පැවති අවුරුද්ද සේ පෙනෙන්නේ 2022. නමුත් මෙය විකෘතියක්. ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා, ඒ අවුරුද්දේ නියම ඉල්ලුම සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නේ නැහැ. එහෙත්, ඒ අවුරුද්ද තෙල් මිල වැඩිම අවුරුද්දක් කියන එක සලකද්දී ඉල්ලුම අඩු වීම පුදුම දෙයකුත් නෙමෙයි. 

මේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන දෙයක් තමයි තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුම අඩු වෙනවා කියන එක. තෙල් අත්‍යවශ්‍ය දෙයක් කියලා කතාවට කිවුවත්, තෙල් ඉල්ලුම ඇත්තටම අනම්‍ය ඉල්ලුමක් වුනත්, එයින් අදහස් වෙන්නේ මිල වැඩි වන අනුපාතයෙන් ඉල්ලුම අඩු නොවන බව මිසක් ඉල්ලුම කොහෙත්ම අඩු නොවන බව නෙමෙයි. තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් අඩු වෙනවා. ඒ වගේම තෙල් පරිභෝජනය සීමා කර ගැනීම සඳහා තිබෙන හොඳම සහ පහසුම ක්‍රමය මිල වැඩි වෙන්න ඉඩ අරින එක. 

කෝටා ක්‍රමය මගින් තෙල් පරිභෝජනය අඩු කරන්න අමාරුයි. ඒ කියන්නේ සැබෑ තෙල් ඉල්ලුම අඩු කරන්න අමාරුයි. එහි උදවුවෙන් කළ හැක්කේ තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන එක පමණයි. ඒ නිසා, තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා QR කෝඩ් ක්‍රමය විසඳුමක් වුනත්, එමගින් සැබෑ ඉල්ලුම පාලනය වෙන්නේ නැහැ. එය සිදු වන්නේ මිල යාන්ත්‍රනය නිසියාකාරව ක්‍රියාත්මක වුනොත් පමණයි.

කෝටා ක්‍රමයේ පදනම "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම. නමුත් තෙල් ඉල්ලුම ස්වභාවිකව හැදෙන්නේ අවශ්‍යතාවය අනුවයි. සියල්ලන්ගේම අවශ්‍යතා සමාන නොවන නිසා "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම මගින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අවශ්‍යතාව වැඩි අය කීයක් හෝ ගෙවා වැඩි මිලකට තෙල් ලබා ගන්න උත්සාහ කරනවා. කෝටා ක්‍රමයක් තුළ ඒ අයට තමන්ගේ තෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තිබෙන ප්‍රායෝගික විසඳුම තෙල් අවශ්‍ය නොවන අයෙකුගේ කෝටා එක ප්‍රයෝජනයට ගන්න එක. ඒ නිසා, මේ වගේ ක්‍රමයක් ඇතුළේ තෙල් ඒ තරම් අවශ්‍ය නැති කෙනෙකුගේ තෙල් කෝටා එකට වටිනාකමක් ලැබෙනවා. ඒ අයට එක්කෝ ලාබයක් ලබමින් තෙල් විකුණන්න අවස්ථාව තිබෙනවා. එසේ නැත්නම් කෙළින්ම තමන්ගේ කෝටාව විකුණන්න පුළුවන්. ඔය දෙකම නොකරන අයෙකුට වුනත්, තමන්ගේ කෝටාව හිතවතෙකුට නිකම් දෙන්න පුළුවන්.

සමපේක්ෂණ ඉල්ලුම පාලනය කර පෝලිම් නැති කරන එකෙන් එහාට ගිහින් ඇත්තටම ඉන්ධන පරිභෝජනය සීමා කරන්නම් වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් අවශ්‍ය වෙනවා. එවැනි වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් මගින් ඉන්ධන පරිභෝජනය සීමා වෙනවා වගේම සමපේක්ෂණ ඉල්ලුමද පාලනය වෙනවා. 

දැන් තිබෙන මිල සූත්‍ර ක්‍රමය තෙල් වල සැබෑ මිල පිළිබඳ ප්‍රමාද දර්ශකයක් (Lagging indicator). එමගින් පෙන්වන්නේ මේ මොහොතේ නියම මිල නෙමෙයි. මාසයකට පෙර පැවති නියම මිල. මාසයකට පෙර පැවති නියම මිල සහ දැන් නියම මිල අතර ලොකු වෙනසක් නොපවතින තාක් මේ ප්‍රමාද දර්ශකය හොඳින් වැඩ කරනවා. නමුත් එවැනි වෙනසක් ඇති වූ වහාම සමපේක්ෂණ ඉල්ලුමක් ඇති වෙනවා. ඊට හේතුව පාරිභෝගිකයින්ට සැබෑ මිල පිළිබඳ අදහසක් තිබීමයි. ඔවුන් මෝඩයින් නෙමෙයි. 

ඊළඟ සංශෝධනයේදී තෙල් මිල වැඩි වන බව පාරිභෝගිකයින්ට සක් සුදක් සේ පැහැදිලි කරුණක්. (ජනාධිපති දිසානායකගේම වචන වලින්, ඉදිරි සංශෝධනයේදී තෙල් මිල අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. නමුත් වෙන දේ ඕගොල්ලන්ට තේරෙනවනේ!) ඒ තත්ත්වය යටතේ, කලින් තෙල්  මිල දී ගෙන ගබඩා කර තබා ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායක විසඳුමක්. මේ නිසා සමපේක්ෂණ ඉල්ලුමක් හැදෙනවා. QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවද ඒ සමපේක්ෂණ ඉල්ලුම ඒ විදිහටම තිබෙනවා. QR කෝඩ් ක්‍රමයෙන් වෙන්නේ එම සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමේ අවස්ථාව නැති කර දමන එක. එය විසඳුමක් තමයි. අවසන් වශයෙන් සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමට අවස්ථාව නැති නිසා පෝලිම් නැති වෙනවා. නමුත් මෙයින් රටේ ආර්ථික කටයුතු වලට විශාල හානියක් සිදු වෙනවා.

සාමාන්‍ය කරුණක් ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වන අයගේ තෙල් අවශ්‍යතාවය වැඩියි. ඒ වගේම, අවසාන වශයෙන් ලාබයක් ලබා ගන්නා නිසා, තෙල් මිල වැඩි වුනත් ඒ අයට ඒ වැඩි වූ මිල දරා ගන්න පුළුවන්. ඒ නිසා, තෙල් මිල වැඩි වෙද්දී වැඩියෙන්ම අඩු වෙන්නේ පරිභෝජන ඉල්ලුම. මේ ක්‍රමයේදී රටේ ආර්ථික වර්ධනයට සිදු වෙන්නේ අඩු හානියක්. 

කෝටා යටතේ සහන මිලට තෙල් ලැබෙද්දී වැඩිපුරම අවස්ථාව අහිමි වෙන්නේ නිෂ්පාදන කාර්යයන් සඳහා තෙල් යොදා ගන්නා අයටයි. පරිභෝජනය කරන අයට බොහෝ විට වෙන්නේ වාසියක්. ඒ නිසා, මේ ක්‍රමය මගින් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනයට විශාල හානියක්ද කරමිනුයි. දැන් අරගෙන තිබෙන අලුත් තීරණය නිසා අපනයන කර්මාන්ත වලට සිදු විය හැකි නරක බලපෑම ටිකක් අඩු වෙයි. නමුත් දේශීය කර්මාන්ත වලට සිදු වන බලපෑම ඒ විදිහටම තිබෙනවා. 

තෙල් මිල ඩොලර් 67.4ක් වූ පසුගිය අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,042.5ක් පමණයි. තෙල් මිල ඩොලර් 80.8ක් වූ 2023 අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,702.6ක්.ඒ කියන්නේ ඩොලර් මිලියන 660.1කින් වැඩියි. තෙල් මිල වැඩි වීම ඩොලර් 13.4ක්. ඒ කියන්නේ තෙල් මිල ඩොලරයකින් වැඩි වෙද්දී අවුරුද්දක තෙල් බිල ආසන්න ඩොලර් මිලියන 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

මේ වෙද්දී තෙල් මිල ඩොලර් 67.4 මට්ටමට සාපේක්ෂව ඩොලර් 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. තෙල් මිල වසරක කාලයක් ඩොලර් 92 මට්ටමේ තිබුනොත්, ලංකාවේ තෙල් බිල ඩොලර් මිලියන 1,250කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, මාස හයක කාලයක් තෙල් මිල ඔය මට්ටමේ තිබුණොත්, තෙල් වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 625ක් පමණ අවශ්‍ය වෙනවා. තෙල් මිල අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පමණ වැඩි කළේ නැත්නම් මේ මුදල මීට වඩා වැඩි වෙන්න පුළුවන්. 

ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණ ඇතුළු තවත් හේතු නිසා තෙල් මිල මාස හයකට වඩා වැඩි කාලයක් ඔය මට්ටමේ තියෙන එකක් නැහැ. ඒ වගේම, අවම වශයෙන් මාස දෙකක් යන තුරු (පසුගිය දෙසතියද ඇතුළුව) මිල අඩු වීමේ ඉඩක්ද නැහැ. ඇතැම් විට මිල තවත් තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. මේ කාලය ලංකාවේ විදේශ අංශයට පීඩාකාරී කාලයක් වුනත්, තෙල් බිල වැඩි වීම හුදෙකලා කරුණක් ලෙස සැලකුවොත් එය ලංකාවේ ගෙවුම් ශේෂ ගිණුමට දරාගන්න පුළුවන් මට්ටමක එකක්. පසුගිය වසර වල ජංගම ගිණුමෙහි වසරකට ඩොලර් බිලියන දෙකකට ආසන්න ඉතිරියක් වුනා. ඒ නිසා, තෙල් බිල ගෙවන්න සංචිත වැය කළ යුතු වන්නේ නැහැ.

කෙසේ වුවත්, සංචාරක ඉපැයීම් අඩු වීමේ බලපෑම ඉහත බලපෑමට එකතු වෙනවා. කෝටා ක්‍රමය කිහිප ආකාරයකින්ම සංචාරක ඉපැයීම් වලට බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම් සහ අපනයන ආදායම් වලට සිදු විය හැකි බලපෑම් එකතු කළත් කම්පනය තිබෙන්නේ දරාගන්න පුළුවන් මට්ටමක. නමුත් යම් හෙයකින් යුද්ධය දිග්ගැස්සී ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ නැවතුනොත්නම් සංචිත වලට අත තියන්න වෙනවා. ඩොලරයක මිල පාලනය කරන්න යන්නේ නැත්නම්, දැනට එවැනි අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් දැනට වෙනවද කියලා හරියටම දැනගන්න වෙන්නේ මාසය අන්තිමටයි.

වෙබ් ලිපිනය: