වෙබ් ලිපිනය:

Saturday, March 14, 2026

වසර 38කට පසු ජංගම ගිණුමේ අතිරික්තයක්!


ආර්ථික අර්බුදයෙන් පසුව සකස් කළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් වුනේ රාජ්‍ය ආදායම දදේනියෙන් 15.3% දක්වා වැඩි කරගෙන ඒ මට්ටමේ පවත්වා ගෙන යන එක. පසුගිය (2025) අවුරුද්දේ දදේනිය තවමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. මගේ පෞද්ගලික ඇස්තමේන්තුව රුපියල් ට්‍රිලියන 32.9කට ආසන්න අගයක්. මූල්‍ය අරමුදලේ ප්‍රකාශිත අවසන් ඇස්තමේන්තුව රුපියල් බිලියන 31,819ක්. හරිම ගණන තව සති කිහිපයකින් දැන ගන්න ලැබෙයි. 

මගේ දදේනි ඇස්තමේන්තුව සහ දැනට ප්‍රකාශිත රජයේ 2025 බදු ආදායම් අනුව, මේ අවුරුද්දේ රජයේ බදු ආදායම දදේනියෙන් 15.3% මට්ටම දක්වා ඉහළ යනවා. බදු නොවන ආදායම් සහ ප්‍රදානද සමඟ මෙම අගය 16.8% වැනි ඉහළ මට්ටමකට යා හැකියි. ඒ කියන්නේ බදු ආදායම් වලින්ම පමණක්, මේ වෙද්දී ස්ථායීකරණ වැඩ පිළිවෙලේ රාජ්‍ය ආදායම් ඉලක්කයට ගිහින් තිබෙනවා. ඒ වගේම, සමස්ත රාජ්‍ය ආදායම දදේනි අනුපාතයක් ලෙස ඊට වඩා 1.5%කට ආසන්න මට්ටමකින් වැඩි වී තිබෙනවා.

මේ ආදායම් වැඩි වීම කෙරෙහි පසුගිය (2025) වසරේ ඇතැම් සුවිශේෂී තත්ත්වයන් බලපා තිබෙන නිසා මෙම (2026) වසරේදී රාජ්‍ය ආදායම් අනුපාතය තරමක් අඩු වෙන්න පුළුවන්. එසේ අඩු වුනත්, 15.3% සීමාවෙන් පහළට වැටීමේ අවදානමක් පෙනෙන්න නැහැ. 

පොලී වියදම් හැර වර්තන වියදම් දදේනියෙන් 8.4%කට සීමා වී තිබෙනවා. මෙය ඉතා අඩු මට්ටමක්. පොලී වියදම් දදේනියෙන් 7.6%ක් පමණ වෙනවා. ඔය කොටස් දෙකම එකතු කළාම මුළු වර්තන වියදම දදේනියෙන් 16.0%ක් පමණ වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම සමස්ත වර්තන වියදම වසර 38කට පසුව රාජ්‍ය ආදායමට වඩා අඩු මට්ටමක තිබීමයි. මේ අනුව, අපගේ දළ ඇස්තමේන්තු අනුව, පසු ගිය වසර තුළ දදේනියෙන් 0.8%කට ආසන්න ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. 1987 වර්ෂයේ සිට 2025 වන තුරුම ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී නැහැ. 

මේ කතා කරන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුම ගැන. රටේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම සමඟ මෙය පටලවා ගන්න එපා. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ ශේෂය කියන්නේ රාජ්‍ය ආදායම් වලින් ප්‍රාග්ධන වියදම් හැර පොලී වියදම් ඇතුළු අනෙකුත් සියලු වියදම් අඩු පසු ඉතිරිය. මෙයින් අදහස් කෙරෙන්නේ රජයේ පරිභෝජන වියදම්. 

වර්තන වියදම් වලින් වෙනස්ව රජයේ ආයෝජන වියදම් වලින් රට තුළ වත්කම් ජනනය වීමක් සිදු වෙනවා. කෙසේ වුවත්, එම වියදම්ද රජයේ වියදම් වල කොටසක්. පසුගිය වසරේ ප්‍රාග්ධන වියදම ආසන්නව දදේනියෙන් 3.1%ක් පමණ. ජංගම ගිණුමේ අතිරික්තය දදේනියෙන් 0.8%ක් පමණ නිසා තවත් 2.3%ක පමණ සමස්ත අයවැය හිඟයක් ඉතිරි වෙනවා. කෙසේ වුවත්, 1956 වසරෙන් පසු කිසිම වසරක ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය 3% මට්ටමෙන් පහළට ඇවිත් නැති නිසා මේ මට්ටමේ හිඟයක් කියා කියන්නේ සුවිශේෂී තත්ත්වයක්. වසර හතරකට කලින් පැවති තත්ත්වය අනුව හිතාගන්නවත් අමාරු වූ අඩු අගයක්. 

අනෙක් පැත්තෙන් ප්‍රාථමික අතිරික්තය දෙසත් බලන්න පුළුවන්. එයින් අදහස් වන්නේ පොලී වියදම් හැර වර්තන හා ප්‍රාග්ධන වියදම් සහ රාජ්‍ය ආදායම අතර වෙනස. පොලී වියදම් හැර අනෙකුත් සියළුම වියදම් දදේනියෙන් 11.5%කට පමණ සීමා වී ඇති බවක් දැනට පෙනෙන්නට තිබෙනවා. මූල්‍ය කළමනාකරණ පණත අනුව අවශ්‍ය වුනේ මේ අගය 13%ට වඩා අඩුවෙන් තියා ගන්නයි. මේ අනුව, දැනට පෙනෙන පරිදි, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.3%කට ආසන්න අගයක් විය හැකියි. ඒ මට්ටමේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වනු ඇත්තේ නිදහසින් පසු ප්‍රථම වතාවටයි. 

මෙවැනි මට්ටමක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දිගටම පවත්වා ගන්න පුළුවන්නම් රජයේ ණය බර ඉතාම වේගයෙන් පහත හෙළා ගන්න පුළුවන්. ණය බර පහත වැටෙද්දී පොලී වියදමද අඩු වෙන නිසා ප්‍රාථමික අයවැය අතිරික්තය තව තවත් ඉහළ යනවා. එහි උදවුවෙන් මුලින් හිතුවාට වඩා කලින් සමස්ත අයවැය අතිරික්තයක් කරා යාමේ හැකියාවක් මේ වෙද්දී පෙනෙන්න තිබෙනවා. 

අයවැය හිඟය දදේනියෙන් 2.3% මට්ටම දක්වා අඩු වෙනවා කියන්නේ අලුතෙන් ණය එකතු වෙන්නේ ඒ ප්‍රමාණයට පමණයි කියන එක. ඊට අමතරව දදේනියෙන් 34.9% පමණ වන විදේශ ණය ප්‍රමාණයේ රුපියල් අගය ඉහළ යාම නිසා ණය ප්‍රමාණයේ රුපියල් අගය දදේනියෙන් තවත් 2.1%කින් පමණ ඉහළ යනවා. මේ කොටස් දෙක එකතු කළ විට 4.4%ක පමණ රාජ්‍ය ණය වැඩි වීමක් සිදු විය යුතු වුවත්, දදේනිය (නාමිකව) 10%කින් පමණ ඉහළ යා හැකි නිසා දදේනි අනුපාතයක් ලෙස ණය බර 5.1%කින් පමණ අඩු විය යුතුයි. ඒ අනුව, 2024 අවසානයේදී දදේනියෙන් 100.4%ක් වූ රජයේ ණය බර 2025 අවසන් වන විට 95.3% පමණ දක්වා අඩු වී තිබිය යුතුයි. මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙලේ අවසන් ඉලක්කයක් වූ දදේනියෙන් 95% දක්වා ණය බර අඩු කර ගැනීමේ ඉලක්කය ආසන්නයට කළින්ම ගමන් කිරීමක්. 

ණය බර 5.1%කින් අඩු වෙනවා කියන්නේ, පොලී අනුපාතික නොවෙනස්ව පවතින තත්ත්වයක් යටතේ, මේ වසරේ පොලී වියදම දදේනියෙන් 0.4%කින් පමණ අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ, ප්‍රාථමික අතිරික්තය 5.3% මට්ටමේ නොවෙනස්ව තිබුණොත් මේ (2026) වසරේ අයවැය හිඟය තවත් 0.4%කින් අඩු කර ගන්න ඉඩ ලැබෙනවා කියන එක. ණය බර තවත් 5.5%කින් අඩු කරගන්න පුළුවන් වෙනවා කියන එක. ඔය ක්‍රමයට අවුරුදු තුන හතරක් ඇතුළත වුනත් අයවැය තුලනය කරගන්න බැරිකමක් නැහැ. 

වර්තන ගිණුමේ හිඟයක් තිබෙනවා කියන්නේ රජය විසින් සිදු කර ඇති ආයෝජන වලට වඩා වැඩියෙන් රජය ණය අරගෙන කියන එකයි. වෙනත් විදිහකින් කිවුවොත් රජය විසින් සිදු කර ඇති සියලුම ආයෝජන සිදු වී තිබෙන්නේ ණය වල උදවුවෙන් කියන එක. ඊට අමතරව රජය විසින් පරිභෝජනය සඳහාද ණය අරගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ රජය විසින් වත්කම් ජනනය කරනවාට වඩා වැඩියෙන් ණය වැඩි කරගන්නවා කියන එක පැහැදිලි කරුණක්. 

මේ අනුව පැහැදිලි වන පරිදි, වර්තන ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන්නේ පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල සාධනීය වෙනසක්. සමස්ත අයවැය හිඟයක් පවතින තුරු තව දුරටත් ආයෝජන වලින් කොටසක් සිදු වන්නේ ණය ගැනීම් හරහා වුවත්, මේ තත්ත්වය යටතේ පොලී වියදම්ද ඇතුළුව, පරිභෝජනය සඳහා ණය ගැනීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, රජය විසින් ණය එකතු කරගන්නවාට වඩා වැඩියෙන් වත්කම් එකතු වීමක් සිදු වෙනවා. තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ මෙවැනි ප්‍රවේශයක්. 

මෙම සටහනේ ඉදිරිපත් කරන අනුපාත දැනට ප්‍රකාශිත තොරතුරු මත පදනම් වූ අපගේ ඇස්තමේන්තු බැවින් සුළු වශයෙන් වෙනස් විය හැකියි. එහෙත් ඉදිරිපත් කරන කරුණු වෙනස් විය හැකි තරමේ වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. 

6 comments:

  1. ඉකොනොමැට්ටා, ඔය ලියලා තියෙන මුළු කතාවම දිහා ආර්ථික විද්‍යාත්මකව බැලුවම පේන්නේ, මේක ඇත්ත නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනයක් ගැන නෙවෙයි, මිනිස්සුන්ව හූරා කාලා හදාගත්ත අමුම අමු "සංඛ්‍යාලේඛන මායාවක්" බවයි

    මොකද රාජ්‍ය ආදායම දදේනියෙන් 15.3%ක් දක්වා වැඩි වුණා කියන්නේ රටේ කර්මාන්ත දියුණු වෙලා, අපනයන වැඩි වෙලා නෙවෙයි, මධ්‍යම පාන්තිකයාට සහ සාමාන්‍ය ජනතාවට දරාගන්න බැරි විදිහට වැට් (VAT) සහ ආදායම් බදු ගහලා මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා බලහත්කාරයෙන් එකතු කරගත්ත සල්ලි නිසයි. ඒ වගේම ඔය මහ ඉහළින් වර්ණනා කරන 5.3%ක ප්‍රාථමික අතිරික්තය සහ ජංගම ගිණුමේ අතිරික්තය හදාගෙන තියෙන්නේ, රටේ අනාගතයට අත්‍යවශ්‍ය වෙන පාරවල්, රෝහල්, පාසල් වගේ යටිතල පහසුකම් සඳහා කරන ප්‍රාග්ධන ආයෝජන (Capital Expenditure) ඉතාමත් අවදානම් විදිහට දදේනියෙන් 3.1%ක් වගේ සුළු ප්‍රමාණයකට කප්පාදු කිරීමෙන් වන නිසා, එයින් රටේ අනාගත ආර්ථික වර්ධනය මුළුමනින්ම වලපල්ලට යැවීමක් සිදුවෙනවා.

    අනිත් භයානකම කාරණාව තමයි ණය බර 95.3% දක්වා අඩු වුණා කියන කතාව; මේක පිටිපස්සේ තියෙන ඇත්තම රහස තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDR) හරහා සාමාන්‍ය වැඩකරන ජනතාවගේ EPF/ETF අරමුදල් වල පොලියට පොල්ල තැබීමත්, තාමත් විදේශ ණය ගෙවන්නේ නැතිව (Debt Moratorium) ඩොලරයේ අගය කෘතිමව පාලනය කරගෙන ඉඳීම හරහා විදේශ ණයවල රුපියල් අගය අඩුවෙන් පෙන්වීමත් මිසක් සැබෑ ණය ගෙවීමේ හැකියාවක් වර්ධනය වීමක් නෙවෙයි.

    සරලවම කිව්වොත්, මේ පෝස්ට් එකේ කියන්නේ ලෙඩාට කන්න බොන්න නොදී, බෙහෙත් නොදී සල්ලි ඉතුරු කරගෙන "අපේ ගෙදර අයවැය ලාභයි" කියලා පම්පෝරි ගහනවා වගේ කතාවක් මිසක්, සැබෑ තිරසාර ආර්ථික වර්ධනයක් ගැන නෙවෙයි.

    ReplyDelete
  2. @ Econ

    මේ කතාව ඇත්ත ද?

    //ඉරානය පසුගියදා එල්ල කළ ප්‍රහාරයක් සමඟ මුළු ලෝකයේම අවධානය එක් කරුණක් වෙත යොමු වී තිබෙනවා. ඒ, ලොව දියුණුම ආරක්ෂක පද්ධති සහිත ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට පවා මැඩපැවැත්විය නොහැකි මට්ටමේ ප්‍රබල මිසයිල තාක්ෂණයක් ඉරානය සතු බව තහවුරු වීමයි. මෙය හුදෙක් අනුමානයක් නොව, යුද පිටියේදීම ඔප්පු වූ සැබෑ තත්ත්වයක් බව දැන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මොකක්ද මේ Fattah-2 මිසයිලය?

    ඉරානය සතු 'Fattah' මිසයිල පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු සිටිනවා. 2024 ඔක්තෝබර් මාසයේදී ඉරානය මුලින්ම භාවිතා කළ 'Fattah-1' යනු ඉතා වේගවත් බැලිස්ටික් මිසයිලයක්. නමුත් එහි ගමන් පථය යම් දුරකට අනාවැකි කිව හැකි මට්ටමේ පැවති නිසා ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිවලට එය පාලනය කිරීමේ හැකියාව තිබුණා.

    නමුත් 2023 අගභාගයේදී කරළියට ආ 'Fattah-2' ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙය 'Hypersonic Glide Vehicle (HGV)' තාක්ෂණයෙන් යුක්තයි. සරලවම කිවහොත්, මෙම මිසයිලයේ හිස කොටස (Warhead) රොකට්ටුවෙන් වෙන් වූ පසු ඉහළ වායුගෝලයේ ඉතා අධික වේගයකින් ගමන් කරන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසුකර ගත නොහැකි, අනාවැකි කිව නොහැකි වක්‍ර මාර්ගයකයි. එය සාමාන්‍ය මිසයිලයක් මෙන් චාපයක හැඩයට ගමන් කරන්නේ නැහැ. 2026 මාර්තු 1 වනදා 'Operation Epic Fury' මෙහෙයුම අතරතුර ඉරානය මෙය ප්‍රථම වරට සටන් පෙරමුණට මුදා හැරියා.

    Fattah-2 සිදු කළ විනාශය කෙබඳුද?

    ඊශ්‍රායලය තුළින් ලැබෙන වාර්තා අනුව, Fattah-2 මිසයිලයක් එරට ඉතා ආරක්ෂිත යුද අණදෙන මධ්‍යස්ථානයකට සෘජුවම පතිත වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ 'Iron Dome' හෝ 'Arrow' වැනි මිලියන ගණනක් වටිනා ආරක්ෂක පද්ධතිවලට මෙම මිසයිලය නතර කිරීමට නොහැකි වී තිබීම විශේෂත්වයක්.

    මෙම මිසයිලයේ වේගය ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක් (Mach 15) බව ඉරානය පවසනවා. ස්වාධීන විශ්ලේෂකයන් පවසන්නේ එහි වේගය අවම වශයෙන් 'Mach 5' ට වඩා වැඩි බවයි. මෙතරම් අධික වේගයකින් එන මිසයිලයක් රේඩාර් යන්ත්‍රවලට හසු වී අනතුරු ඇඟවීමේ ශබ්දය නිකුත් වන විටත්, එය ඉලක්කයට පතිත වී අවසන්. ඒ සඳහා ගත වන්නේ විනාඩි 6 ත් 8 ත් අතර සුළු කාලයක් පමණයි.

    🛡️ ඇමරිකාවට සහ ඊශ්‍රායලයට මෙය නැවැත්විය නොහැක්කේ ඇයි?

    ලොව දියුණුම ආරක්ෂක පද්ධති වන ඇමරිකාවේ 'THAAD' හෝ ඊශ්‍රායලයේ 'Arrow' පද්ධති ක්‍රියා කරන්නේ එකම සිද්ධාන්තයකටයි. එනම්, පැමිණෙන මිසයිලය යන මඟ කල්තියා හඳුනාගෙන, ඊට වඩා වේගයෙන් ගොස් එය වාතයේදීම පුපුරුවා හැරීමයි.

    නමුත් Fattah-2 වැනි 'Hypersonic' මිසයිලයක ගමන් මඟ දැනට කිසිසේත් කල්තියා හඳුනාගත නොහැකියි. ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධති නිෂ්පාදනය කරන 'Rafael' සමාගමේ උප සභාපති යුවාල් බසෙස්කි පවසන පරිදි, Mach 10 වේගයෙන් එන මිසයිලයක් නැවැත්වීමට නම් ආරක්ෂක මිසයිලය Mach 30 ක වේගයෙන් යා යුතුයි. වායුගෝලය තුළ එවැනි වේගයකින් ගමන් කිරීමේදී ඇති වන ඝර්ෂණය නිසා ආරක්ෂක මිසයිලය පවා විනාශ වී යනවා. ඔහු පවසන්නේ මෙය හරියට ලොව දක්ෂතම පැසිපන්දු ක්‍රීඩකයෙකු වන ලෙබ්‍රොන් ජේම්ස්ව එක් ක්‍රීඩකයෙකු ලවා නැවැත්වීමට උත්සාහ කරනවා වැනි වැඩක් බවයි.

    📉 මිසයිල හිඟය සහ ඉරානයේ කපටි උපාය

    ඉරානය මෙහිදී අනුගමනය කරන්නේ ඉතා දියුණු යුද උපායමාර්ගයක්. ඔවුන් මුලින්ම එල්ල කරන්නේ ඉතා පැරණි සහ අඩු වියදම් සහිත මිසයිලයි. ඊශ්‍රායලය මෙම මිසයිල නැවැත්වීම සඳහා තම වටිනා 'Arrow' ආරක්ෂක මිසයිල විශාල වශයෙන් වැය කරනවා. අවසානයේ ආරක්ෂක මිසයිල තොග අවසන් වූ පසු, ඉරානය තම ප්‍රබල Fattah-2 මිසයිල මුදා හරිනවා.

    දැනටමත් ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ ආරක්ෂක මිසයිල තොග සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව වාර්තා වනවා. ඇමරිකාව වසරකට නිෂ්පාදනය කරන්නේ THAAD මිසයිල 100 ක් පමණ වුවත්, පසුගිය යුද සමයේදී පමණක් ඉන් 150 ක් පමණ වැය වී තිබෙනවා.

    Fattah-2 සහ ලෝකය

    Fattah-2 යනු හුදෙක් ආයුධයක් පමණක් නොව, එය ලෝකයට දෙන පණිවිඩයක්. දශක ගණනාවක් තිස්සේ ඇමරිකාවේ යුද බලය රැඳී තිබුණේ "ඔබ කුමක් හැදුවත්, අපට එය නැවැත්විය හැකියි" යන විශ්වාසය මතයි. නමුත් ඉරානය දැන් එම විශ්වාසය බිඳ දමා තිබෙනවා.

    වත්මන් යුද තත්ත්වය තුළ ඇමරිකානු සහ ඊශ්‍රායල තාක්ෂණයට පාලනය කළ නොහැකි යමක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි. මෙවැනි මිසයිල නැවැත්වීමට ඇති එකම ක්‍රමය වන්නේ ඒවා විදීමට පෙර එම මධ්‍යස්ථාන විනාශ කිරීම පමණක් බව දැන් හමුදා ප්‍රධානීන් පිළිගන්නවා. මෙයින් අදහස් වන්නේ ඉදිරියේදී යුද්ධය තවත් දරුණු සහ සංකීර්ණ මට්ටමකට පත්විය හැකි බවයි.

    ඔබ සිතන ආකාරයට, වත්මන් ආරක්ෂක පද්ධතිවලට පාලනය කළ නොහැකි මෙවැනි ආයුධ ලොව බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතිද?

    මූලාශ්‍රය: CNN, BBC, Reuters සහ ජාත්‍යන්තර පුවත් සේවා ඇසුරිනි.//

    මේ ගැන විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
  3. වසර තිස් අටකට නොවෙයි ඊටත් වසර හතලිහකට ඉස්සර වසර හැත්ත අටකට පෙර ​1948 නිදහසෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ඛේදවාචකය සනිටුහන් කරමින්, 2019 පාස්කු ප්‍රහාරයෙන් ඇරඹී COVID-19 වසංගතය ඔස්සේ ඔඩුදිවූ 2022 ආර්ථික තුවාලය, 2026 වසරේදී මැදපෙරදිග යුද්ධය හමුවේ හටගත් ගෝලීය අර්බුදයත් සමඟ යළිත් ලංකාව බංකොළොත්භාවයේ අගාධයටම ඇද දමා ඇත.

    ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව, ජනගහනයෙන් 15.1% කගේ රැකියා අහිමි වී 22% ක් ණය බරින් මිරිකී සිටින මෙම අඳුරු යුගය තුළ, දෛනික විදුලි කප්පාදුව සහ යළිත් හිස ඔසවා ඇති ඉන්ධන හා ගෑස් පෝලිම් හමුවේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.

    වඩාත් සංවේදී කරුණ නම්, රටේ අනාගතය බඳු දරු පරපුරෙන් 54% කට අධ්‍යාපන අවස්ථා අහිමි වෙමින් පවතින අතර, මූලික මිනිස් අයිතිවාසිකමක් බඳු වෛද්‍ය ප්‍රතිකාර පවා පසෙකලා කුසගින්න නිවා ගැනීමට ජනතාවට සටන් කිරීමට සිදුවීමයි. මෙය 2022 ඇතිවූ අර්බුදය පවා අභිබවා යමින්, ලංකාවේ සමස්ත සමාජ ව්‍යුහයම බිඳ දමන, හදවත් බංකොළොත් කළ මහා ආර්ථික සුනාමියක් බවට පත්ව තිබේ.

    මේ 2026/27 ඉදිරි ආර්ථික අර්බුදයට මුහුණ දීමේ ප්‍රායෝගික උපාය මාර්ග

    ​අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හැරීම (Cost Optimization):

    මේක "Survival Mode" එක. විලාසිතා, අනවශ්‍ය උත්සව සහ සුඛෝපභෝගී දේවල් සම්පූර්ණයෙන්ම නතර කරලා, මුදල් ඉතිරි කරගන්න ඕනේ ආහාර සහ සෞඛ්‍ය වගේ අත්‍යාවශ්‍ය දේවලට විතරයි.

    ගෙවතු වගාව සහ ආහාර වලින් ස්වයංපෝෂිත වීම:

    54% කට අධ්‍යාපනය සහ රැකියා අහිමි වෙද්දී, තමන්ගේම කියලා පොඩි හෝ වගාවක් (එළවළු, අල වර්ග) පටන් ගැනීම කුසගින්නෙන් බේරෙන්න තියෙන හොඳම විසඳුමයි.

    ​අමතර ආදායම් මාර්ග (Side Hustles):

    එක රැකියාවක් මතම යැපෙන්නේ නැතුව, තමන් සතු කුසලතාවයක් (Skill) පාවිච්චි කරලා අන්තර්ජාලය හරහා හෝ දේශීයව අමතර මුදලක් හොයාගන්න බලන්න ඕනේ. විශේෂයෙන්ම විදේශ විනිමය (Dollars) උපයන්න පුළුවන් ක්‍රම ගැන හිතන්න.

    සමූහ සහයෝගිතාවය
    (Community Support):

    තමන්ට වඩා අමාරු මිනිස්සුන්ට උදව් කරන්න. ගමේ හෝ අසල්වැසියන් එක්ක එකතු වෙලා පොදු ප්‍රවාහන ක්‍රම (Carpooling) හෝ කෑම බෙදාගැනීමේ ක්‍රම හදාගන්න. තනියම දිනන්න බැරි ගේමකදී "අපි" කියන හැඟීම ඕනේ.

    ​මානසික සෞඛ්‍යය රැකගැනීම:

    ආර්ථිකය බිඳ වැටෙද්දී මිනිස්සු මානසිකව වැටෙනවා. ඒ නිසා පවුලේ අය එක්ක කතා කරලා, ආතතිය පාලනය කරගන්න එක වැදගත්. අර සුජීව ප්‍රසන්න ලියපු "මල් රේණු" වගේ මතකයන් එක්ක හරි හිත සන්සුන් කරගන්න බලන්න

    ​දැනුම යාවත්කාලීන කිරීම:

    අධ්‍යාපන අවස්ථා අහිමි වුණත්, YouTube හෝ නොමිලේ ලැබෙන අන්තර්ජාල පාඨමාලා හරහා අනාගතයට ගැලපෙන අලුත් තාක්ෂණික දැනුමක් ලබාගන්න.

    මේ වගේ ඔයාලටත් තියෙන යෝජනා මේකේ කමෙන්ට් කරන්න

    ReplyDelete
  4. ඔබගේ අවසාන ලිපි පෙළ බැලුවම පේනවා එක Anonymous කෙනෙක් මේ ලිපි වල හරය වෙන පැත්තකට දාන්න පොපගැන්දා කොමෙන්ට් දානවා කියලා..(හරියට පෙරටුගාමී හෝ බයි ගතියක් පේනවා) මොකද ලිපියට අදාල නැ කිසිම කොමෙන්ට් එකක්

    දරාගන්න බැරි විදිහට ආදායම් බදු...රටේ කර්මාන්ත දියුණු නෙවෙයි... බ්ලා.. බ්ලා.. බ්ලා.. මේවට පිළිතුරු දාන්න කාලය නාස්ති කරන එක කිසිම තේරුමක් නැති වැඩක්...

    ඉකොනොමැට්ටා....
    "මේ කතා කරන්නේ රාජ්‍ය අයවැයේ ජංගම ගිණුම ගැන. රටේ විදේශ අංශය හා අදාළ ජංගම ගිණුම සමඟ මෙය පටලවා ගන්න එපා...".. ලංකාවේ Trade Deficit, External Debt, වෙනත් විදේශ විනිමය වියදම් සමන්යනෙන් දැනගන්න ඕනේ ලංකාවේ රජයට තියන සම්පුර්ණ විදේශ විනිමය වියදම්... මේ ගැන කොහෙද විස්තර තියන්නේ..

    "ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.3%කට ආසන්න අගයක් විය හැකියි." මේක නම් මට බැලුවම පෙන්නේන්නේ මිට වඩා අඩු වෙන්න පුළුවන් මොකද රජයට දිත්වා කුණාටුවට වියදම් වැඩි උන නිසා 2025/dec වල...

    ReplyDelete
  5. @ Economatta

    මට ලංකාවේ මේ පවතින Fiscal සහ External Sector එකේ balance එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා, දැන් IMF වැඩසටහන නිසා ලංකාවේ රජය දැඩි මූල්‍ය විනයක් ගැන කතා කරමින් 'Primary Surplus' එක දදේනියෙන් 5.3% ක Target එකකට යනවා කිව්වත්, පසුගිය 'දිත්වා' කුණාටුව වගේ Unforeseen Exogenous Shocks නිසා ඇතිවුණු මූල්‍ය පීඩනය මේ Target එකට ඇත්තටම බලපාන්නේ කොහොමද?

    තව දෙයක් රජය මේ විපතට මුදල් 'Allocate' කරලා තිබුණත්, ඒ මුදල් 'Actual Expenditure' එකක් විදිහට Cash Flow එකට එන්නෙ නැති තාක් කල්, ඒක හුදෙක් Accounting Entry එකක් විතරක් නිසා ප්‍රාථමික අතිරික්තයට 'Window Dressing' එකක් විදිහට පාවිච්චි වෙන්න ඉඩක් නැද්ද?

    ඒ වගේම, අපි රජයේ අයවැයේ Current Account එකයි, රටේ විදේශ අංශයේ Current Account එකයි පටලවා ගත්තොත්, 2026 එන Amortization Payments පීක් එකත් එක්ක ලංකාවේ ඇත්තම Solvency ප්‍රශ්නය අපිට මගහැරෙන්න පුළුවන් නේද?

    මෙහෙම ගියොත් 'Austerity Trap' එකක් ඇතුළේ ආර්ථික වර්ධනය අඩාල වෙලා අපේ Debt-to-GDP ratio එක තවත් දරුණු වෙන්න බැරිද කියලා මට හිතෙනවා, මේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
  6. මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෑතකදී ටීවී program එකකදී කියපු විදියට මේ 2026 අවුරුද්දේ රජයටයි මහ බැංකුවටයි ඩොලර් බිලියන 3.3 ක විතර විදේශ ණය වාරික ගෙවන්න තියෙනවා. මේ තරම් විශාල මුදලක් රටෙන් එළියට යද්දී, ඒ 'Liquidity Drain' එක මැද 4-5% ක ආර්ථික වර්ධනයක් (GDP Growth) පවත්වාගන්න එක Realistic ද?

    ​දැන් මේ වසරේත් අපි 5.3% ක ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) ටාගට් කරනවා. ඒත් 'දිත්වා' කුණාටුව නිසා සිද්ධ වෙච්ච විනාශය නැවත ගොඩනගන්න (Reconstruction) යන වියදම් එක්ක, මේ surplus එක පවත්වාගන්න ගියොත් ඒකෙන් වෙන්නේ රටේ 'Internal Consumption' එක තවත් කඩා වැටෙන එක නේද?

    ​Fiscal Discipline නිසා රජය කුණාටුවට සල්ලි 'Allocate' කරලා තිබුණත්, මූල්‍ය විනය රකින්න කියලා ඒවා 'Disburse' කරන්නේ නැතුව හිර කරගෙන හිටියොත්, ඒකෙන් වෙන්නේ 'Secondary Economic Collapse' එකක් නේද?

    ​ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් (DDR) පස්සේ, දැන් බැංකු පද්ධතියේ තියෙන ණය මැචුවර් කාලය (Maturity) දික් කරලා තිබුණත්, 2026 දී එන 'Roll-over risk' එක පාලනය කරන්න ආණ්ඩුවට තියෙන ප්ලෑන් එක මොකක්ද?

    ​තව රජය නිකුත් කරපු Macro-linked Bonds (MLBs) වල Trigger එක 2026 දී රටේ ආර්ථික වර්ධනයත් එක්ක සක්‍රිය වුණොත්, අපිට ගෙවන්න වෙන ණය වාරික ප්‍රමාණය තවත් වැඩි වෙනවා නේද? ඒක අපේ Debt Sustainability එකට අනතුරක් වෙන්නේ නැද්ද?

    ඒ එක්කම රජයේ ආදායම දදේනියෙන් 15% කට වඩා වැඩි කරගන්න IMF එක කිව්වට, මිනිස්සුන්ගේ Real Income එක කඩා වැටෙනකොට Direct Taxes වලින් ඔය ටාගට් එකට යන්න පුළුවන්ද? නැත්නම් වෙන්නේ indirect taxes (VAT) වැඩි කරලා පන්තිය තවත් තලන එකද?

    පවතින ගෝලීය ආර්ථික අර්බුදය එක්කම මහ බැංකුව ඩොලර් බිලියන හතක සංචිත (Reserves) තියෙනවා කිව්වට, මේක ඇතුළේ තියෙන 'Net Foreign Assets' ප්‍රමාණය ඇත්තටම අපේ ණය වාරික ගෙවන්න තරම් ශක්තිමත්ද?

    ​ඒ වගේම Austerity Trap එක නැත්නම් මේ අරපිරිමැස්ම (Austerity) නිසාම ආර්ථිකය කුඩා වෙනකොට, අපේ 'Debt-to-GDP Ratio' එක 100% ට ගේනවා කියන එක හීනයක් නේද? මොකද GDP (හරය) අඩු වෙනකොට Ratio එක කොහොමත් වැඩි වෙනවනේ?

    ඔයා කලින් පෝස්ට් එකක කියපු විදියට උද්ධමනය 5% මට්ටමේ තියාගන්න මහ බැංකුව පොලී අනුපාත පාලනය කළත්, රජය විසින් දේශීය වෙළඳපොළෙන් දිගටම ණය ගන්නවා නම් (Crowding out effect), පෞද්ගලික අංශයට ආයෝජනය කරන්න සල්ලි ඉතුරු වෙයිද?

    අනෙක IMF එකේ Social Safety Net එක මේ තරම් ආර්ථික පීඩනයක් මැද 'අස්වැසුම' වගේ වැඩසටහන්වලට වෙන් කරන මුදල ප්‍රමාණවත්ද? 22% ක් ණය බරින් මිරිකෙන වෙලාවක මේ සේෆ්ටි නෙට් එක බිඳ වැටුණොත් ඒක මහා සමාජ විප්ලවයකට පාර කපන්නේ නැද්ද?

    ඒ වගේම දැන් මේ තියෙන ගෝලීය ඉරාන යුද උණුසුම සහ ලෝක ආර්ථික අර්බුදයත් එක්ක ලංකාවට එන ප්‍රධානම ප්‍රශ්නය 'Imported Cost-Push Inflation' සහ අපේ 'Trade Balance' එක දරුණු ලෙස කඩා වැටීම නේද?

    විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා එන තෙල් සහ ගෑස් සැපයුම සීමා වුණොත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා අපේ ඩොලර් සංචිත ටික ණය ගෙවන්න කලින් තෙල්වලටම වියදම් කරන්න වෙයි නේද? මේ වගේ 'Supply-side Shock' එකක් ආවම, අපි IMF එකත් එක්ක එකඟ වෙලා තියෙන 'Inflation Targeting' සහ 'Fiscal Surplus' ටාගට් සම්පූර්ණයෙන්ම 'Out of control' වෙලා, ලංකාව නැවතත් Default එකකට තල්ලු වීමේ අවදානමක් තියෙනවා නේද? මේ ගැන විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: