ලෝක තෙල් මිල පිළිබඳ සම්මත නිර්ණායකයක් වන ලෝක බැංකුවේ පින්ක් ශීට් සාමාන්‍ය මිල අනුව, ඉරාන යුද්ධයේ ආරම්භය තෙක්, පසුගිය වසර කිහිපයක කාලය තුළ බොර තෙල් බැරලයක මිල (ඇමරිකන් ඩොලර්) විචලනය වුනේ මේ විදිහටයි.
2018 - 68.3
2019 - 61.4
2020 - 41.3
2021 - 69.1
2022 - 97.1
2023 - 80.8
2024 - 78.7
2025 - 67.4
2026 ජනවාරි - 63.7
2026 පෙබරවාරි - 68.0
ලෝක තෙල් මිල ඔය විදිහට වෙනස් වෙද්දී ලංකාවේ තෙල් බිල (ඇමරිකන් ඩොලර් මිලියන) වෙනස් වුනු ආකාරය අපිට මහ බැංකු දත්ත වලින් බලා ගන්න පුළුවන්.
2018 - 4,151.9
2019 - 3,891.6
2020 - 2,542.6
2021 - 3,742.9
2022 - 4,896.8
2023 - 4,702.6
2024 - 4,354.4
2025 - 4,042.5
ලෝක තෙල් මිල සහ ලංකාවේ තෙල් බිල මත පදනම්ව අපට පසුගිය කාලයේ ලංකාවේ තෙල් පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්. මේ සරල ගණනය කිරීමේ අඩුපාඩු ගණනාවක් තිබුණත් එයින් යම් අදහසක් ලබා ගන්න බැරිකමක් නැහැ.
ලෝක තෙල් මිල අනුව, ලංකාවේ තෙල් බිලට සමාන වන බොරතෙල් බැරල් ප්‍රමාණය (මිලියන වලින්) පහත පෙන්වා තිබෙනවා. බොරතෙල් ලෙස ලංකාවට ගෙනෙන්නේ අවශ්‍ය තෙල් ප්‍රමාණයෙන් කොටසක් පමණක් නිසාත්, ඒ ප්‍රමාණය විචලනය වන නිසාත්, මෙම අගයන්ගෙන් ලංකාවේ තෙල් පරිභෝජනය හරියටම නිරූපණය වන්නේ නැහැ. එහෙත් රටේ තෙල් පරිභෝජනය මිල සමඟ වෙනස් වන ආකාරය ගැන එයින් අදහසක් ගන්න පුළුවන්.
2018 - 60.8
2019 - 63.4
2020 - 61.6
2021 - 54.2
2022 - 50.4
2023 - 58.2
2024 - 55.3
2025 - 60.0
මේ අතරින් 2018 සහ 2025 සාමාන්‍ය අවුරුදු සේ සලකන්න පුළුවන්. ඒ වගේම සමාන කරන්නත් පුළුවන් අවුරුදු. ඔය අවුරුදු දෙකම ලංකාවේ සංචාරක කර්මාන්තය හා අදාළව හොඳම අවුරුදු. සංචාරක කර්මාන්තය සක්‍රිය අවුරුද්දක් කියන්නේ රටේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරකම්ද ඉහළ මට්ටමක පවතිනවා කියන එකයි. ඒ වගේම, රටේ ආර්ථිකයේ ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදු වුනා. ඔය සියල්ලට අමතරව ලෝක තෙල් මිල ආසන්නව සමාන අවුරුදු දෙකක්. ඔය තත්ත්වයන් යටතේ තෙල් පරිභෝජනය, අපගේ දළ නිර්ණායකය අනුව, සමානව තිබීම අහම්බයක් නෙමෙයි.
පසුගිය (2025) වසර එක්ක බලද්දී ඊට පෙර දෙවසර වල (2023 සහ 2024) තෙල් මිල ආසන්නව 17%-20%කින් පමණ වැඩියි. ඊට අනුරූපව පරිභෝජනය අඩු වීමකුත් දකින්න පුළුවන්. 2018 හා 2025 වසර වලට සාපේක්ෂව මිල අඩුවෙන් පැවති 2019දී පරිභෝජනයත් තරමක් වැඩියි. ඒ වගේම, ඉහත දත්ත අනුව, කෝවිඩ් නිසා රට වසා තිබුණු 2020දී පවා පරිභෝජනය 2025 මට්ටමට වඩා තරමක් වැඩියි. ඊට හේතුව මිල විශාල ලෙස අඩු වීම.
නමුත් 2021 වෙද්දී තෙල් මිල සාමාන්‍ය මට්ටමට නැවත පැමිණීමෙන් පසුව කෝවිඩ් නිසා සිදු වූ ඉල්ලුමේ අඩුවීම පැහැදිලිව පේනවා. ඒ කියන්නේ කෝවිඩ් නොවන්නට 2020දී, අඩු මිල හේතුවෙන්, ඉල්ලුම මීටත් වඩා ගොඩක් වැඩි වෙනවා කියන එක (හැබැයි 2020දී මිල අඩු වුනේම කෝවිඩ් නිසා මේක තේරුමක් නැති කතාවක්. මෙයින් පෙන්වන්න උත්සාහ කළේ මිල සහ පරිභෝජනය අතර තිබෙන පැහැදිලි සම්බන්ධය).
ඉහත දර්ශකය අනුව, ඉල්ලුම අඩුවෙන්ම පැවති අවුරුද්ද සේ පෙනෙන්නේ 2022. නමුත් මෙය විකෘතියක්. ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා, ඒ අවුරුද්දේ නියම ඉල්ලුම සංඛ්‍යාලේඛණ වල පෙනෙන්නේ නැහැ. එහෙත්, ඒ අවුරුද්ද තෙල් මිල වැඩිම අවුරුද්දක් කියන එක සලකද්දී ඉල්ලුම අඩු වීම පුදුම දෙයකුත් නෙමෙයි.
මේ දත්ත අනුව පැහැදිලිව පෙනෙන දෙයක් තමයි තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුම අඩු වෙනවා කියන එක. තෙල් අත්‍යවශ්‍ය දෙයක් කියලා කතාවට කිවුවත්, තෙල් ඉල්ලුම ඇත්තටම අනම්‍ය ඉල්ලුමක් වුනත්, එයින් අදහස් වෙන්නේ මිල වැඩි වන අනුපාතයෙන් ඉල්ලුම අඩු නොවන බව මිසක් ඉල්ලුම කොහෙත්ම අඩු නොවන බව නෙමෙයි. තෙල් මිල ඉහළ යද්දී තෙල් ඉල්ලුමත් අඩු වෙනවා. ඒ වගේම තෙල් පරිභෝජනය සීමා කර ගැනීම සඳහා තිබෙන හොඳම සහ පහසුම ක්‍රමය මිල වැඩි වෙන්න ඉඩ අරින එක.
කෝටා ක්‍රමය මගින් තෙල් පරිභෝජනය අඩු කරන්න අමාරුයි. ඒ කියන්නේ සැබෑ තෙල් ඉල්ලුම අඩු කරන්න අමාරුයි. එහි උදවුවෙන් කළ හැක්කේ තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කරන එක පමණයි. ඒ නිසා, තාවකාලිකව සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා QR කෝඩ් ක්‍රමය විසඳුමක් වුනත්, එමගින් සැබෑ ඉල්ලුම පාලනය වෙන්නේ නැහැ. එය සිදු වන්නේ මිල යාන්ත්‍රනය නිසියාකාරව ක්‍රියාත්මක වුනොත් පමණයි.
කෝටා ක්රමයේ පදනම "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම. නමුත් තෙල් ඉල්ලුම ස්වභාවිකව හැදෙන්නේ අවශ්‍යතාවය අනුවයි. සියල්ලන්ගේම අවශ්‍යතා සමාන නොවන නිසා "සැමට සමානව" අඩු මිලට තෙල් බෙදා හැරීම මගින් ප්රශ්නය විසඳෙන්නේ නැහැ. අවශ්‍යතාව වැඩි අය කීයක් හෝ ගෙවා වැඩි මිලකට තෙල් ලබා ගන්න උත්සාහ කරනවා. කෝටා ක්‍රමයක් තුළ ඒ අයට තමන්ගේ තෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තිබෙන ප්‍රායෝගික විසඳුම තෙල් අවශ්‍ය නොවන අයෙකුගේ කෝටා එක ප්‍රයෝජනයට ගන්න එක. ඒ නිසා, මේ වගේ ක්‍රමයක් ඇතුළේ තෙල් ඒ තරම් අවශ්‍ය නැති කෙනෙකුගේ තෙල් කෝටා එකට වටිනාකමක් ලැබෙනවා. ඒ අයට එක්කෝ ලාබයක් ලබමින් තෙල් විකුණන්න අවස්ථාව තිබෙනවා. එසේ නැත්නම් කෙළින්ම තමන්ගේ කෝටාව විකුණන්න පුළුවන්. ඔය දෙකම නොකරන අයෙකුට වුනත්, තමන්ගේ කෝටාව හිතවතෙකුට නිකම් දෙන්න පුළුවන්.
සමපේක්ෂණ ඉල්ලුම පාලනය කර පෝලිම් නැති කරන එකෙන් එහාට ගිහින් ඇත්තටම ඉන්ධන පරිභෝජනය සීමා කරන්නම් වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් අවශ්‍ය වෙනවා. එවැනි වඩා නම්‍යශීලී මිල ක්‍රමයක් මගින් ඉන්ධන පරිභෝජනය සීමා වෙනවා වගේම සමපේක්ෂණ ඉල්ලුමද පාලනය වෙනවා.
දැන් තිබෙන මිල සූත්‍ර ක්‍රමය තෙල් වල සැබෑ මිල පිළිබඳ ප්‍රමාද දර්ශකයක් (Lagging indicator). එමගින් පෙන්වන්නේ මේ මොහොතේ නියම මිල නෙමෙයි. මාසයකට පෙර පැවති නියම මිල. මාසයකට පෙර පැවති නියම මිල සහ දැන් නියම මිල අතර ලොකු වෙනසක් නොපවතින තාක් මේ ප්‍රමාද දර්ශකය හොඳින් වැඩ කරනවා. නමුත් එවැනි වෙනසක් ඇති වූ වහාම සමපේක්ෂණ ඉල්ලුමක් ඇති වෙනවා. ඊට හේතුව පාරිභෝගිකයින්ට සැබෑ මිල පිළිබඳ අදහසක් තිබීමයි. ඔවුන් මෝඩයින් නෙමෙයි.
ඊළඟ සංශෝධනයේදී තෙල් මිල වැඩි වන බව පාරිභෝගිකයින්ට සක් සුදක් සේ පැහැදිලි කරුණක්. (ජනාධිපති දිසානායකගේම වචන වලින්, ඉදිරි සංශෝධනයේදී තෙල් මිල අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. නමුත් වෙන දේ ඕගොල්ලන්ට තේරෙනවනේ!) ඒ තත්ත්වය යටතේ, කලින් තෙල් මිල දී ගෙන ගබඩා කර තබා ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වාසිදායක විසඳුමක්. මේ නිසා සමපේක්ෂණ ඉල්ලුමක් හැදෙනවා. QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීමෙන් පසුවද ඒ සමපේක්ෂණ ඉල්ලුම ඒ විදිහටම තිබෙනවා. QR කෝඩ් ක්‍රමයෙන් වෙන්නේ එම සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමේ අවස්ථාව නැති කර දමන එක. එය විසඳුමක් තමයි. අවසන් වශයෙන් සමපේක්ෂණ ඉල්ලුම සපුරා ගැනීමට අවස්ථාව නැති නිසා පෝලිම් නැති වෙනවා. නමුත් මෙයින් රටේ ආර්ථික කටයුතු වලට විශාල හානියක් සිදු වෙනවා.
සාමාන්‍ය කරුණක් ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වන අයගේ තෙල් අවශ්‍යතාවය වැඩියි. ඒ වගේම, අවසාන වශයෙන් ලාබයක් ලබා ගන්නා නිසා, තෙල් මිල වැඩි වුනත් ඒ අයට ඒ වැඩි වූ මිල දරා ගන්න පුළුවන්. ඒ නිසා, තෙල් මිල වැඩි වෙද්දී වැඩියෙන්ම අඩු වෙන්නේ පරිභෝජන ඉල්ලුම. මේ ක්‍රමයේදී රටේ ආර්ථික වර්ධනයට සිදු වෙන්නේ අඩු හානියක්.
කෝටා යටතේ සහන මිලට තෙල් ලැබෙද්දී වැඩිපුරම අවස්ථාව අහිමි වෙන්නේ නිෂ්පාදන කාර්යයන් සඳහා තෙල් යොදා ගන්නා අයටයි. පරිභෝජනය කරන අයට බොහෝ විට වෙන්නේ වාසියක්. ඒ නිසා, මේ ක්‍රමය මගින් පෝලිම් ප්රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනයට විශාල හානියක්ද කරමිනුයි. දැන් අරගෙන තිබෙන අලුත් තීරණය නිසා අපනයන කර්මාන්ත වලට සිදු විය හැකි නරක බලපෑම ටිකක් අඩු වෙයි. නමුත් දේශීය කර්මාන්ත වලට සිදු වන බලපෑම ඒ විදිහටම තිබෙනවා.
තෙල් මිල ඩොලර් 67.4ක් වූ පසුගිය අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,042.5ක් පමණයි. තෙල් මිල ඩොලර් 80.8ක් වූ 2023 අවුරුද්දේ තෙල් බිල ඩොලර් මිලියන 4,702.6ක්.ඒ කියන්නේ ඩොලර් මිලියන 660.1කින් වැඩියි. තෙල් මිල වැඩි වීම ඩොලර් 13.4ක්. ඒ කියන්නේ තෙල් මිල ඩොලරයකින් වැඩි වෙද්දී අවුරුද්දක තෙල් බිල ආසන්න ඩොලර් මිලියන 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මේ වෙද්දී තෙල් මිල ඩොලර් 67.4 මට්ටමට සාපේක්ෂව ඩොලර් 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. තෙල් මිල වසරක කාලයක් ඩොලර් 92 මට්ටමේ තිබුනොත්, ලංකාවේ තෙල් බිල ඩොලර් මිලියන 1,250කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, මාස හයක කාලයක් තෙල් මිල ඔය මට්ටමේ තිබුණොත්, තෙල් වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 625ක් පමණ අවශ්‍ය වෙනවා. තෙල් මිල අවශ්‍ය වෙලාවේ අවශ්‍ය පමණ වැඩි කළේ නැත්නම් මේ මුදල මීට වඩා වැඩි වෙන්න පුළුවන්.
ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණ ඇතුළු තවත් හේතු නිසා තෙල් මිල මාස හයකට වඩා වැඩි කාලයක් ඔය මට්ටමේ තියෙන එකක් නැහැ. ඒ වගේම, අවම වශයෙන් මාස දෙකක් යන තුරු (පසුගිය දෙසතියද ඇතුළුව) මිල අඩු වීමේ ඉඩක්ද නැහැ. ඇතැම් විට මිල තවත් තරමක් දුරට ඉහළ යන්න පුළුවන්. මේ කාලය ලංකාවේ විදේශ අංශයට පීඩාකාරී කාලයක් වුනත්, තෙල් බිල වැඩි වීම හුදෙකලා කරුණක් ලෙස සැලකුවොත් එය ලංකාවේ ගෙවුම් ශේෂ ගිණුමට දරාගන්න පුළුවන් මට්ටමක එකක්. පසුගිය වසර වල ජංගම ගිණුමෙහි වසරකට ඩොලර් බිලියන දෙකකට ආසන්න ඉතිරියක් වුනා. ඒ නිසා, තෙල් බිල ගෙවන්න සංචිත වැය කළ යුතු වන්නේ නැහැ.
කෙසේ වුවත්, සංචාරක ඉපැයීම් අඩු වීමේ බලපෑම ඉහත බලපෑමට එකතු වෙනවා. කෝටා ක්‍රමය කිහිප ආකාරයකින්ම සංචාරක ඉපැයීම් වලට බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම් සහ අපනයන ආදායම් වලට සිදු විය හැකි බලපෑම් එකතු කළත් කම්පනය තිබෙන්නේ දරාගන්න පුළුවන් මට්ටමක. නමුත් යම් හෙයකින් යුද්ධය දිග්ගැස්සී ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ නැවතුනොත්නම් සංචිත වලට අත තියන්න වෙනවා. ඩොලරයක මිල පාලනය කරන්න යන්නේ නැත්නම්, දැනට එවැනි අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් දැනට වෙනවද කියලා හරියටම දැනගන්න වෙන්නේ මාසය අන්තිමටයි.
@ ඉකොනොමැට්ටා
ReplyDeleteඔවු ඔයා කියන කතාව ඇත්ත, ඔයා තෙල් මිල වාර්ෂික සාමාන්‍ය මිල දාල තියෙන්නෙ ඒත් මාසිකව මිල ගණන් විශාල ලෙස උච්චාවචනය වෙනවා විශේෂයෙන්ම 2022මාර්තු වල යුක්රේන යුද්ධය නිසා තෙල් මිල අධික ලෙස ඉහළ ගියා බැරලය ඩොලර් 125 පමණ දක්වා.
සාපේක්ෂව 2024 සහ ඊටත් වඩා 2025 කියන්නේ තෙල් මිල වගේම ලංකාවේ ආර්ථිකයට බාහිර බලපෑම් එල්ල නොවී තිබුණ ඉතාමත් වාසනාවන්ත වසර දෙකක්, ඔය Ditwah කුණාටුව එන තෙක්ම ඉතාමත් මෘදු ලෙස ලෝක ආර්ථිකය සාර්ථකව ගිය නිසා ලංකාවට වාසිදායක වුණා නමුත් ස්වභාවික ආපදා වුණත් සිදු නොවූ තරම් විශේෂයෙන්ම ලංකාවට 2025 නොවැ. දෙසැ. වගේ ඉතාම කෙටි දිනක් දෙකක් පමණ බලපාපු දිත්වා සුළි කුණාටුව නීසා සිදුවුණ පාඩුව ඒ තරමටම ලොකු එකක් නෙමෙයි, ඒකෙන් යම් තරමකට ජීවිත හානි සිදුවුණ නිසා ඒකට ජනතාව තාවකාලිකව සංවේදි වුණා, ආණ්ඩුවත් ආණ්ඩුවේ රෙදි අපුල්ලන ඩෝබිලාත් සහ මෝඩ විපක්ෂය වගේම ලංකාවේ ජඩ මාධ්‍ය මේක මහා පරිමාණ විනාශයක් විදියට අතිශයෝක්තියට නැංවුවා, නමුත් මේක ඒ තරමටම විශාල එකක් නෙමෙයි, මේ වගේ සාමාන්‍ය ගංවතුරවල් කුණාටු නාය යෑම් මේවා ලංකාවට නිතරම එනවා, හැබැයි මීට වඩා අතිශය බරපතලම ආපදාවක් තමයි 2004 සුනාමිය, ඒකෙන් වෙච්ච ආර්ථික හානිය අද වටිනාකම අනුව ඩොලර් බිලියන විසි අටකට වඩා වැඩියි, නමුත් ලංකාවේ මිනිස්සු ඒකෙනුත් ආර්ථිකය ගොඩ දාගත්තා, අනෙක ඊට පෙර 2003 වසරේ ආපු ගංවතුර තත්ත්වය මීටත් වඩා භයානක එකක්, ඒකෙන් පුද්ගලයන් 1,500 කට වඩා මියගියා ඒකෙන් වෙච්ච ආර්ථික හානිය අද මුදලින් ගණනය කළොත් මේ වගේ දෙගුණයකටත් වැඩියි.
ඒ වගේම ලංකාවට 2016 ආපු ගංවතුර කැළණි මිටියාවත හරහා බස්නාහිර පළාතටත් ගිං ගඟ නිල්වලා ගඟ හරහා දකුණු පලාත්වලට වගේම වයඹ පලාතට කරපු බලපෑම එක්ක බැලුවම මේ වතාවේ ආර්ථිකයට තියෙන බලපෑම ඉතාමත්ම සීමිතයි.
අනෙක ආණ්ඩුව කයිය ගහලා වෙන් කරලා තියෙන්නෙත් රුපියල් බිලියන 500යි ඒ ඩොලර් බිලියන 1.55 ක් පමණ නමුත් මේක වියදම් කරලා නැති තරම්, ඉතාමත්ම සුළු මුදලයි අවතැන්වූවන්ට දීලා තියෙන්නේ ගොඩක් දේවල් පෞද්ගලික අංශය මගින් සහ පොදු ජනතාව ඒ වෙනුවෙන් කලා ආණ්ඩුව මුකුත් කරේ නෑ ඒකනේ ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කුණුහරුප කියලා බනින්නේ
අනෙක ඒ මුදල් වෙන්කලේ 2022-23 සිට රජය එකතු කරපු සමුච්ඡිත අරමුදල වූ රුපියල් බිලියන 750 ක හදිසි ආර්ථික ආපදා අරමුදලෙන්, ඒ නිසාම ඒකේ කිසිම බලපෑමක් නෑ අයවැයට
මීට කලින් වෙච්ච ආපදා එක්ක බලනකොට දිනක් දෙකක් තුල ක්ෂණිකව ආපු 2025 දිත්වා කුණාටුවෙන් හානී සිදුවුණේ ලංකාවේ ආර්ථිකය තුල අඩු බලපෑමක් සහිත නැගෙනහිර උතුරුමැද සහ ඌව වගේ පලාත්වලට, බස්නාහිර දකුණ වයඹ වගේ රටේ ආර්ථිකයකට වැඩි දායකත්වය දෙන පලාත්වලට මේකේ බලපෑමක් නැති තරම්, අනෙක දිත්වා කුණාටුවෙන් හානියට පත්වූ ජනතාවට තවමත් රජයෙන් නිසි පරිදි සහන සලසලා නෑ, ජනාධිපතිවරයා බොරුවට සල්ලි වෙන් කලා කියල පච කිව්වාට අන්තිමට ජනතාවට ලැබිච්ච දෙයක් නෑ. කොටින්ම ජනාධිපති මහ ලොකුවට කෝටි ගණනක මහජන මුදල් වියදම් කරලා උත්සවයක් තියලා බෙදලා දීපු චෙක් ටිකත් රිටර්න් වෙලා කුජීත වුණා.
ලංකාවේ නාමික ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාවට ආවාට ඩොලරයේ වර්තමාන වටිනාකම අඩුවීම සහ ලෝකයේ වෙනත් රටවල ඒක පුද්ගල ආදායම වැඩිවීමට සාපේක්ෂව ලංකාව ඒක පුද්ගල ආදායම අතින් පහළට ගිසිල්ලා තියෙන්නෙ. ඒ ගැනත් අපි සැලකිල්ලට ගන්න ඕන නේද?