වෙබ් ලිපිනය:

Friday, December 30, 2022

උද්ධමනයෙන් අවධමනයට...


වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 වසරේ උද්ධමනය 57.2% ලෙස සටහන් කරමින්. දෙසැම්බර් උද්ධමනය යනු වසර තුළ පැවති උද්ධමනයයි. 

නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනය 61.0% සිට 57.2% දක්වා පහත වැටෙද්දී, ආහාර උද්ධමනය 64.4% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 53.4% දක්වාත් පහත වැටී තිබෙනවා.

උද්ධමනය සේ සැලකෙන්නේ වසරක් තුළ පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 2021 දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය 154.7ක් වූ අතර, 2022 දෙසැම්බර් වෙද්දී එම අගය 243.2 දක්වා ඒකක 88.5කින් (57.2%කින්) ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, මෙම ඉහළ යාම මුළුමනින්ම මෙන් සිදු වී තිබෙන්නේ වසරේ පළමු කාර්තු තුන තුළයි. අවසන් කාර්තුව තුළ ඇත්තටම දැකිය හැක්කේ අවධමන තත්ත්වයක්. එනම් සෘණ උද්ධමන තත්ත්වයක්. 

පළමු කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 10.2 (6.6%)

දෙවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 55.3 (35.7%)

තෙවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 24.5 (15.8%)

සිවුවන කාර්තුව තුළ දර්ශකය වෙනස් වීම = ඒකක (-1.5) (-1.0%)

වසර තුළ දර්ශකය වෙනස් වීම = ඒකක 88.5 (57.2%)

ඉහත දත්ත විසංයෝජනය තුළ දැකිය හැකි පරිදි, මේ වන විටද පවතින ඉහළ උද්ධමනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ වසරේ දෙවන කාර්තුව තුළ සිදු වූ මිල වැඩිවීමයි. තෙවන කාර්තුව තුළද සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු වුනා. එහෙත්, සිවුවන කාර්තුව තුළ දැකිය හැක්කේ මිල අඩු වීමක්. එනම් අවධමන තත්ත්වයක්. දැඩි මුදල් ප්‍රතිපත්ති ඊට හේතු වී තිබෙනවා.

මේ වන විට පසුගිය දෙවසර තුළ සිදු වූ සල්ලි අච්චු ගැසීමේ බලපෑම මුළුමනින්ම ඉවත් වී අවසන්. ඒ නිසා, තවත් සල්ලි අච්චු නොගැසුවොත්, කෙටිකාලීනව උද්ධමනය මත ඉල්ලුම් පීඩන ඇති වීමේ ඉඩක් නැහැ. එහෙත්, විදුලි ගාස්තු විශාල ලෙස ඉහළ දමනු ලැබුවහොත්, එම හේතුව නිසා, ජනවාරි හා පෙබරවාරි මාස වල උද්ධමනය නැවතත් ඉහළ යා හැකියි. 

ඉහත පෙන්වා දී ඇති පරිදි, වසරේ දෙවන අර්ධය තුළ සිදුව ඇති මිල ඉහළ යාම 15%කට වඩා අඩුයි. ඒ නිසා, 2023 පළමු කාර්තුව තුළ විදුලි ගාස්තු 400%කින් පමණ ඉහළ දමනු ලැබ, පෙබරවාරි පමණ වන විට නැවතත් උද්ධමනය 70% පමණ මට්ටමකට යා හැකි තත්ත්වයක් යටතේ වුවත්, වසර මැද වන විට නැවතත් උද්ධමනය 30% මට්ටම දක්වා අඩුවීමට නියමිතයි. එමෙන්ම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වන විට එම අගය තනි අංකයක් දක්වා අඩු විය හැකියි. 

7 comments:

  1. 'එමෙන්ම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ වන විට එම අගය තනි අංකයක් දක්වා අඩු විය හැකියි. '

    ඉකොනෝ මහත්තයා කිව්ව නිසා ඇස්වහ වැදිලා හැඳිගෑවිලාම යයිද දන්නේ නැහැ. මම තුක් තුක් තුක් කියලා තුන් පාරක් කෙලත් ගැහුවා.

    ReplyDelete
  2. මේ ආකාර බේබදුකමට හුරු වෙන්නේ ඇයි ඉකොනෝ ?

    ReplyDelete
  3. විදුලි ගාස්තුව - දැම්මොත් ඉහළට
    නඩු යනවාලුනෙ - මානව හිමිකම
    විසන්ධි කරනා - කට්ටිය එහෙමත්
    කපන්න එන්නෑ - කියති එකතුවම
    ඇහෙන විටදී නං - සතුටුයි හොඳටම
    මොනවද වෙන්නේ - බලා හිඳිමි මම!

    ReplyDelete
  4. ලංකාවේ උද්ධමනය දැනෙන තරමකට අඩු වෙලා නෑ,ඇතැම් ඒවා අඩු වෙලා ඒත් ඇතැම් දේවල් මිල තවදුරටත් ඉහළ ගිහින් ඒ නිසා ඇත්තටම ඉකොනොමික්ස් වලට අනුව ප්‍රායෝගිකව ලංකාවේ උද්ධමනය තවත් ඉහළ ගොස් ඇති බව පේනවා, නමුත් ඔය උද්ධමනය අඩු වෙලා කියලා කියන කතාව ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කියන සාවද්‍ය කරුණු මත හදපු අසත්‍ය ප්‍රචාරයක්

    මේ බලන්න https://fb.watch/hLiK4UcZU4/

    ReplyDelete
  5. ඇමරිකාවේ කුකුල් බිත්තරයක් කීයද ඉකොනෝ ?

    ReplyDelete
    Replies
    1. උත්සව සමයේ සාමාන්‍යයෙන් බිත්තර මිල ඉහළ යනවා. මේ දවස් වල ශත 28ක් පමණ (බිත්තර 12ක් ඩොලර් 3.33ක් පමණ). ඒ කියන්නේ එකක් රුපියල් 100ක් පමණ වෙනවා. උත්සව සමයෙන් පසුව මිල අඩු වෙයි.

      Delete
    2. ලංකාවේ නම් බිත්තර මිල ගණන් මෙහෙමයි. 2021 වසරේ එක බිත්තරයක් සාමාන්‍යයෙන් රු. 09 - 10 පමණ

      2022 මුලදී පළමු කාර්තුවේ එකක් රුපියල් 15 - 16 අතර

      2022 දෙවන කාර්තුවේ රු. 20 - 34 අතර අප්‍රේල් වල මැයි මාසයේ රුපියල් 20 - 25 ජුනි මාසයේ 34 ට විතර ගියා

      තුන්වෙනි කාර්තුවේ මෙය රුපියල් 34 පමණ සිට රු. 45 පමණ දක්වා සැප්තැම්බර් මාසය වන විට ඉහළ ගියා

      ඊට පස්සෙ ඔක්තෝබර් මාසයේ රුපියල් 50 ඉක්මවා ගිය අතර මේ වන විට ලංකාවේ බිත්තරයක් රුපියල් 70 ක් වත් වෙනවා ඒත් නෑ බඩු හිඟයි

      ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිත්තර සඳහා රුපියල් 55 ක පාලන මිලක් නියම කර දැනට මාස තුනක් පමණ ගියත් මේකට කිසිම විසඳුමක් නෑ ඒ වගේ පාලන මිලට ගන්න නම් ෆාම් වලට ගිහින් බිත්තර 20 ක් වත් තොග පිටින් ගන්න වෙනවා. මේකට විසඳුම් ලෙස ඉකොනොමැට්ටා යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: