වෙබ් ලිපිනය:

Monday, March 16, 2026

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය


එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. 

මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර තිබෙනවා. එදා තෙල් තිබුණත් තෙල් මිල දී ගන්න ඩොලර් තිබුණේ නැහැ. අද ඩොලර් තිබුණත් මිල දී ගන්න තෙල් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න දෙක වෙනස් ප්‍රශ්න දෙකක්.

අද ප්‍රශ්නයට විසඳුමක් සේ මේ වන විට ලබා දී තිබෙන්නේ එදා ප්‍රශ්නයට ලබා දුන් QR කෝඩ් විසඳුමමයි. ඒ විසඳුම එදා පැවති ප්‍රශ්නයට හොඳම විසඳුම. නමුත් ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙද්දී පරණ ප්‍රශ්නයකට දීපු විසඳුම අලුත් ප්‍රශ්නයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අද ප්‍රශ්නයට එදා විසඳුම දීමෙන් ප්‍රශ්නයේ එක් කොටසක් විසඳෙන නමුත් ඒ හේතුවෙන් වෙනත් ප්‍රශ්න උග්‍ර වීම නොවැලැක්විය හැකියි. 

එදා ඩොලර් ප්‍රශ්නයට හේතු වී තිබුණේ විශාල ලෙස සල්ලි අච්චු ගැසීම නිසා ඇති වී තිබුණු අධි ඉල්ලුම. ඒ හේතුවෙන් විශාල උද්ධමන ප්‍රශ්නයක්ද ඇති වී තිබුණා. ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොලී අනුපාතික ඉහළ දමා, ආර්ථිකය හකුළා, ඉල්ලුම පාලනය කළ යුතුව තිබුණා. QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳෙනවාට අමතරව, මේ වැඩෙත් වුනා. එය ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ.

නමුත් අද තත්ත්වය වෙනස්. මේ වෙද්දී උද්ධමන ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නය ඇති වන තුරුම ආණ්ඩුව උත්සාහ කරමින් සිටියේ ආර්ථිකය හැකි පමණ ප්‍රසාරණය කරගන්නයි. දැන් ඒ අදහස වෙනස් වෙලානම් එය වෙනම කරුණක්. නමුත් එය එසේයැයි මා හිතන්නේ නැහැ. 

එදා වගේම අදත් QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නමුත් ඒ එක්කම සිදු වන අනෙක් දේ රටේ ආර්ථිකය හැකිළෙන එකයි. චේතනාන්විතව එවැන්නක් කරන්නේනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දකින විදිහට රජයට එවැනි අවශ්‍යතාවයක් නැහැ. 

රටක ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන සැපයුම සීමා වෙද්දී ආර්ථිකය හැකිලෙනවා. එදා අවශ්‍ය වී තිබුණේ ඩොලර් ප්‍රශ්නයට තාවකාලික පිළියමක් ලෙස ඉල්ලුමට ඉඩ නොදෙමින් ඉන්ධන සැපයුම සීමා  කරන්න වුනත්, අද අවශ්‍යතාවය වන්නේ ඉල්ලුම හා ගැලපෙන සේ ඉන්ධන සැපයුම වැඩි කර ගැනීමයි. 

එදා QR කෝඩ් විසඳුම ඉදිරිපත් කළේ ඩොලර් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳා ගන්නා තුරු තාවකාලික පිළියමක් ලෙස පමණයි. ඉන් පසුව, QR කෝඩ් තව දුරටත් අවශ්‍ය වුනේ නැහැ. ඒ එක්කම මිල සූත්‍ර විසඳුමද ක්‍රියාත්මක කෙරුණා.

ඒ වෙලාවේ මිල සූත්‍ර විසඳුමද ක්‍රියාත්මක කළේද නිශ්චිත ප්‍රශ්නයකට නිශ්චිත පිළියමක් ලෙසයි. මෙහි අරමුණ වූයේ තෙල් සංස්ථාවේ පිරිවැය හා මිල ගලපා තෙල් සංස්ථාවේ පාඩුව ඉවත් කිරීම. ඉන් පසුව, මිල සූත්‍රය ක්‍රියාත්මක වූ පසුගිය කාලයේ දැන් මෙන් යුද තත්ත්වයක් තිබුනේ නැහැ. මාසයක කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස වෙනස් වූයේද නැහැ. ඒ නිසා, මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් වුනා.

දැන් තත්ත්වය වෙනස්. දවසින් දවස ලෝක තෙල් මිල වෙනස් වෙනවා. මේ තත්ත්වය තුළ මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් විසඳුමක් නෙමෙයි. ඒ නිසා, QR කෝඩ් විසඳුම වගේම මෙතෙක් ක්‍රියාත්මක වූ මිල සූත්‍ර විසඳුමද අලුත් ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුම් නෙමෙයි. 

තෙල් වෙළඳපොළෙහි වත්මන් ප්‍රශ්නය ඩොලරය හිර කරගෙන සිටීම නිසා විණිමය වෙළඳපොළෙහි ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. ඒ ප්‍රශ්නයට විසඳුම ඩොලරය පා කිරීම වූ අයුරින්ම මේ ප්‍රශ්නයට විසඳුම වන්නේ තෙල් මිල පා කිරීමයි.

කෙසේ වුවත් විණිමය වෙළඳපොළෙහි මෙන් දේශීය තෙල් වෙළඳපොළෙහි සැපයුම්කරුවන් විශාල ප්‍රමාණයක් නැහැ. ඒ නිසා පා කරන විසඳුම ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න බැහැ. විණිමය අනුපාතය හා අදාළව තිබුණු අනෙක් විකල්ප විසඳුම වෙනත් මුදල් ඒකකයකට පෙග් කරන එකයි. එවිට ඒ මුදල් ඒකකය පාවෙන නිසා මේ මුදල් ඒකකයත් ඒ මුදල් ඒකකය සමඟ පාවී ප්‍රශ්නය විසඳෙනවා.

රට ඇතුළේ ප්‍රමාණවත් තරඟයක් නැතත්, ලෝක වෙළඳපොළේ තෙල් මිල පාවෙනවා. ඒ නිසා තෙල් සංස්ථාවේ මිල ලෝක තෙල් මිල හා පෙග් කළ ගමන් ප්‍රශ්නයෙන් ලොකු කොටසක් විසඳෙනවා. ඉන් පසුව, අනෙක් තරඟකරුවන්ට නිදහසේ මිල තීරණය කරන්න ඉඩ දී රට ඇතුළේ ඉල්ලුම හා සැපයුම ගැලපෙන මිල පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.

මේ වැඩෙන් ආරම්භයේදී තෙල් මිල තරමක් ඉහළ යා හැකියි. නමුත් අඩු උද්ධමනයක් තිබෙන මේ වගේ වෙලාවක එය ප්‍රශ්නයක් නොවනවා වගේම ආර්ථිකය ප්‍රසාරණය වීමට උදවුවක්ද වෙනවා. වෙළඳපොළ පිළිබඳව සැකයක් ඇත්නම් දැනට ක්‍රියාත්මක QR ක්‍රමය ඒ විදිහටම තියාගෙන ලබා දෙන තෙල් ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරන්න පුළුවන්. මේ වගේ දෙයක් නොකළොත් නැවතත් ආර්ථිකය හැකිළෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්න බැහැ.

13 comments:

  1. ඉකොනො ඊයේ පෙරේදා කිව්ව ලංකාවේ ආර්ථිකේ නියමෙට යනවා කියලා.

    ඒ කියලා කට ගත්තේ නෑ හෙන ගැහවා.

    ඉකොනෝ නං සුපිරිම ඇස් වහ ඩයල් එකක්.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය.

      ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි.

      ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි.

      තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ⁣ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි.
      දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය.
      මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්‍යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය.

      වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය.

      සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්‍රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත.

      ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත.
      රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය.

      මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය.

      Delete
  2. @ Economatta

    ඔය කතාවේ හරිම ගැඹුරු ආර්ථික විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. 2022දී තිබුණේ ඩොලර් නැති නිසා තෙල් ගේන්න බැරිවෙච්ච, ඒ නිසාම QR එකක් දාලා බලහත්කාරයෙන් ඉල්ලුම හකුළුවලා (Demand Destruction) ඩොලර් ටික බේරගන්න කරපු තාවකාලික වැඩක් වුණාට, අද තියෙන්නේ ලෝක වෙළඳපොළේ සැපයුම සීමාවීම නිසා (Supply Shock) ඇතිවෙච්ච සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්නයක්. එදා යුක්රේන යුද්ධය අස්සේ තෙල් මිල ඉහළ ගියත් ප්‍රධානම ප්‍රශ්නය වුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටීම සහ උණ්ඩියල් ප්‍රචාර නිසා රට ඇතුළේ ඇතිවුණු ඩොලර් හිඟය වුණත්, අද ඩොලර් තිබුණත් ඉරාන යුද්ධය වැනි භූ-දේශපාලනික කාරණා නිසා ලෝක මිල දවසින් දවස අස්ථාවර වීමයි ප්‍රධාන ගැටලුව. ඉතින් එදා ආර්ථිකය හකුළුවන්න QR කෝඩ් එක හොඳ විසඳුමක් වුණාට, අද වගේ උද්ධමනය අඩු, ආර්ථිකය ප්‍රසාරණය විය යුතු වෙලාවක QR එකක් දාලා තෙල් සීමා කරනවා කියන්නේ රටේ නිෂ්පාදන සහ ප්‍රවාහන ක්‍රියාවලිය බලහත්කාරයෙන් අඩාල කරලා ආර්ථිකය හැකිළීමට (Contraction) පාර කැපීමක්. ඒ වගේම, ලෝක මිල දිනපතා වෙනස් වන අද වැනි පසුබිමක මාසෙකට සැරයක් මිල සංශෝධනය කරන පරණ මිල සූත්‍රයත් ප්‍රමාණවත් නැහැ; ඒ නිසා මේ අලුත් ලෙඩේට පරණ බෙහෙත් දීමෙන් වෙන්නේ තෙල් පෝලිම් පාලනය වුණත් ආර්ථිකයේ වර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වීමයි.

    ReplyDelete
  3. ඉකොනෝ ලංකාවේ වර්තමාන තත්ත්වය තුල තෙල් පරිභෝජනය පාලනය කරන QR code ක්‍රමය මීට පෙර 2022දී ගෙනාවේ එතකොට ලංකාවට සහ ලෝකයටම මීට වඩා බරපතල තෙල් ප්‍රශ්නයක් තිබුණා.

    දැන් ඒක ආයේ ගෙනාවේ නැවතත් ඊට වඩා සීමිත තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක් ද එකම ද?

    මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ලංකාවේ ජනාධිපති දිසානායක විසින් විස්තර කර තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්, ඔහු කියන විදියට එදා තෙල් තිබුණත් තෙල් මිල දී ගන්න ඩොලර් තිබුණේ නැහැ. අද ඩොලර් තිබුණත් මිල දී ගන්න තෙල් නැහැ, ඒ නිසා මේ ප්‍රශ්න දෙක වෙනස් ප්‍රශ්න දෙකක් බව, නමුත් ඇත්තටම නමුත් එදාත් 2021 සිට 2022 කාලයේ රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වී එකපාරටම ලෝක තෙල් මිල අධික ලෙස ඉහල යාම සමග තෙල් මිල බැරලයක් ඩොලර් 124 ක් ඉක්මවා ගිය අතර ඊට පසුව වසර දෙකක් පමණ කාලයකදී සැපයුම විශාල ලෙස වැඩිකරලා කෙමෙන් එම ප්‍රශ්නය නිරාකරණය වී 2024-2026 කාලය පුරාම තෙල් මිල පහලට ඇද වැටී මිල තිබුණේ බැරලය ඩොලර් 60 සීමාවේ

    ඒ වගේම වර්තමාන කෙටිකාලීන ඉරාන යුද්ධය නිසා තෙල් මිල තවමත් ඩොලර් 90 සීමාවේ පවතින අතර එය ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා

    අද ප්‍රශ්නයට විසඳුමක් සේ මේ වන විට ලබා දී තිබෙන්නේ එදා ප්‍රශ්නයට ලබා දුන් QR කෝඩ් විසඳුමමයි. ඔයා කියන විදියටම ඒ විසඳුම එදා පැවති ප්‍රශ්නයට හොඳම විසඳුමක් වූ නමුත් ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වෙද්දී පරණ ප්‍රශ්නයකට දීපු විසඳුම අලුත් ප්‍රශ්නයට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අද ප්‍රශ්නයට එදා විසඳුම දීමෙන් වෙනත් ප්‍රශ්න උග්‍ර වෙනවා. 

    එදා ඩොලර් ප්‍රශ්නයට හේතු වී තිබුණේ එක්සත් ජනපදය යුරෝපීය සංගමය ඇතුලු ලෝකයේ හැම රටක්ම කොවිඩ් වසංගතය කාලයේ කරපු විදිහට ලංකාවත් විශාල ලෙස සල්ලි අච්චු ගැසීම නිසා ඇති වී තිබුණු අධි ඉල්ලුම සහ ලංකාවේ ප්‍රධාන ආදායම වන සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතය නීසා සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා එක දිගටම වසර තුනක් පමණ වසරකට ඩොලර් බිලියන පහ බැගින් සංචාරක ආදායම සම්පුර්ණයෙන්ම පාහේ නොලැබී ඩොලර සංචිත පහළ වැටීම, කොවිඩ් වසංගතය නිසා විදේශ ශ්‍රමිකයින් ලංකාවට විශාල ලෙස පැමිණීම සහ රට තුල සිටි අයට රට යාමට බැරිවීම, ඊට පෙර යහපාලන රජය කෙටිකාලීනව අරගෙන තිබුණු ISB ණය ඩොලර් මිලියන හතක් පමණ බැගින් වසරකට ගෙවීමට සිදුවීම, එවකට පැවති රජයේ ඇතැම් වැරදි තීන්දු තීරණ ඒ වගේම එවකට පැවති රජයට විරුද්ධව පැවති බොහෝ වැරදි ප්‍රචාර නිසාත් ආර්ථිකය කඩා වැටෙයි කියල කරපු සැලසුම් සහගත ප්‍රචාර propaganda නිසා විදේශ වල හිටපු ශ්‍රමිකයින් සල්ලි නොඑවීම හෝ උණ්ඩියල් මගීන් එවීම වගේ දේවල් හේතුවෙන් විශාල ඩොලර් හිඟයක් ඇතිවී ඒ මත පදනම්ව උද්ධමන ප්‍රශ්නයක්ද ඇති වී තිබුණා. ප්‍රශ්නයට විසඳුමක් ලෙස පොලී අනුපාතික ඉහළ දමා, ආර්ථිකය හකුළා, ඉල්ලුම පාලනය කළා.

    ඔය QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳෙනවාට අමතරව, මේ වැඩෙත් වුනා. එය ඒ වෙලාවේ කළ යුතුව තිබුණු දේ බව කියන කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නමුත් අද තත්ත්වය වෙනස්. මේ වෙද්දී උද්ධමන ප්‍රශ්නයක් නැහැ.

      එදා වගේම අදත් QR කෝඩ් විසඳුම හරහා, තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නමුත් ඒ එක්කම සිදු වන අනෙක් දේ රටේ ආර්ථිකය හැකිළෙන එකයි.

      රටක ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉන්ධන අවශ්‍යයි. ඉන්ධන සැපයුම සීමා වෙද්දී ආර්ථිකය හැකිලෙනවා. එදා අවශ්‍ය වී තිබුණේ ඩොලර් ප්‍රශ්නයට තාවකාලික පිළියමක් ලෙස ඉල්ලුමට ඉඩ නොදෙමින් ඉන්ධන සැපයුම සීමා  කරන්න වුනත්, අද අවශ්‍යතාවය වන්නේ ඉල්ලුම හා ගැලපෙන සේ ඉන්ධන සැපයුම වැඩි කර ගැනීමයි. 

      එදා QR කෝඩ් විසඳුම ඉදිරිපත් කළේ ඩොලර් ප්‍රශ්නය යම් තරමකින් හෝ විසඳා ගන්නා තුරු තාවකාලික පිළියමක් ලෙස පමණයි. ඉන් පසුව, QR කෝඩ් තව දුරටත් අවශ්‍ය වුනේ නැහැ. ඒ එක්කම මිල සූත්‍රයත් තියෙනවා

      ඉන් පසුව, මිල සූත්‍රය ක්‍රියාත්මක වූ පසුගිය කාලයේ දැන් මෙන් ඉරාන යුද තත්ත්වයක් තිබුනේ නැහැ. මාසයක කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස වෙනස් වූයේද නැහැ. ඒ නිසා, මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් වුනා.

      දැන් තත්ත්වය වෙනස්. ලෝකයේ තෙල් සංචිත විශාල ලෙස වෙළඳපොලට නීකුත් කරත් බැරල් මිලියන 400ක සංචිත නිදහස් කලත් ඉරානයේ දැඩි ප්‍රහාර හමුවේ එක්සත් ජනපදය ඊශ්‍රායලය යුරෝපීය නේටෝ සංවිධානය සහ වෙනත් රටවල් ඇතුලු මිත්‍ර පාර්ශව වල හමුදා දිනපතාම දැඩි පසුබෑමකට ලක්ව සිටින නිසා දවසින් දවස ලෝක තෙල් මිල වෙනස් වෙනවා. මේ තත්ත්වය තුළ මාසයකට වරක් මිල ගැලපීම ප්‍රමාණවත් විසඳුමක් නෙමෙයි. ඒ නිසා, QR කෝඩ් විසඳුම වගේම මෙතෙක් ක්‍රියාත්මක වූ මිල සූත්‍ර විසඳුමද අලුත් ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුම් නෙමෙයි. 

      ඉදිරිපත් කරපු යෝජනාව න්‍යායාත්මකව ලස්සනට පෙනුණට, ඒකේ තියෙන භයානක ආර්ථික විද්‍යාත්මක අවදානම මෙන්න මෙහෙම විග්‍රහ කරනවා

      තෙල් මිල ලෝක වෙළඳපොළට "පෙග්" (Peg) කරලා නිදහසේ පාවෙන්න හැරීම ඩොලරය පා කරනවා වගේ සරල නැහැ, මොකද තෙල් කියන්නේ මුළු ආර්ථිකයේම පිරිවැය තීරණය කරන "ප්‍රධාන ආදායකය" (Primary Input) නිසයි. තෙල් මිල දිනපතා ලෝක වෙළඳපොළේ උච්චාවචනය වන වේගයෙන් දේශීයව පාවෙන්න හැරියොත්, ප්‍රවාහන ගාස්තු සහ නිෂ්පාදන පිරිවැය දිනපතා වෙනස් වීම නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ පිරිවැය පුරෝකථනය කරගත නොහැකි වී, ඔවුන් "අවිනිශ්චිතතා ප්‍රිමියම්" (Uncertainty Premium) එකක් එකතු කරමින් භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමනවා; මෙය "පිරිවැය-තල්ලු උද්ධමනය" (Cost-push Inflation) හරහා ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට මුළු වෙළඳපොළම අස්ථාවර කරනවා. ඒ වගේම, QR ක්‍රමය (සලාකනය) පවත්වා ගනිමින් මිල පා කිරීම කියන්නේ එකිනෙකට පරස්පර ක්‍රමවේද දෙකක්, මොකද මිල යාන්ත්‍රණයෙන් (Price Mechanism) ඉල්ලුම පාලනය වෙන්න ඉඩ නොදී කෘත්‍රිමව QR එකෙන් ඒක හිර කරගෙන ඉන්නකොට වෙළඳපොළේ සැබෑ සමතුලිත මිලක් (Equilibrium Price) කවදාවත් හමු වෙන්නේ නැහැ.
      ​එතකොට ඔය ප්‍රශ්නයට මගේ පිළිතුර

      මෙවැනි භූ-දේශපාලනික කම්පන (Geopolitical Shocks) වලදී වඩාත්ම සාර්ථක විසඳුම වන්නේ මිල ස්ථායීකරණ අරමුදලක් (Price Stabilization Fund) ක්‍රියාත්මක කිරීමයි. ලෝක වෙළඳපොළේ මිල පහළ යන කාලවලදී ලැබෙන අතිරික්ත ලාභය එම අරමුදලට එකතු කරලා, දැන් වගේ යුදමය තත්ත්වයන් නිසා මිල හදිසියේ ඉහළ යන වෙලාවට එම අරමුදල හරහා සහනාධාර ලබා දී දේශීය මිල ස්ථාවරව තබා ගැනීමයි බුද්ධිමත් ආර්ථික කළමනාකරණය වන්නේ.

      මේ "මිල ස්ථායීකරණ අරමුදලක්" ලංකාව වැනි රටකට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන ඔයා හිතන්නේ මොකක්ද?

      Delete
  4. ඕකට තව දෙයක් එකතු කරන්න ඕනේ ඉකොනෝ, 2022 දී විතර ලංකාවේ ආණ්ඩුවට තෙල් වලට සල්ලි මදි වුණා වගේම ගෝලීය වසංගතය පාලනය කිරීම සඳබා සෞඛ්‍ය වියදම්, සුබසාධන වියදම් සැලකිය යුතු ගණනකින් ගොඩක් ඉහළ ගියා.

    බාණ්ඩාගාරෙ ඩොලර් බිලියන හතක් එක්ක බාර දුන්නට ඩොලර් බිලියන හයක් පමණ ණය වාරික ගෙවන්න සිදු වුනා 2020. ඇත්තටම 2019 වසරේ ආර්ථික වර්ධනය -2.5% ක් පමණ මොකද යහපාලන රජය බාරදුන්නෙ රින ආර්ථිකයක්.

    ඒ වගේම වසංගතේ අස්සෙ උද්ඝෝෂණ කරල කොරෝනා පොකුරු හදල රටේ ආදායම හරි මගට ගන්න එක කඩාකප්පල් වුණා ලෝකෙ කොහෙද එහෙම වුනේ? ඩොන්ල්ඩ් ට්‍රැම්ප් කියල තියෙනවා නේද ඒවට USAID ආව කියල ඒ කාලේ තිබුණ ඇමරිකන් ඩිමොක්‍රැටික් පක්ෂ ආණ්ඩුව හරහා?

    ReplyDelete
  5. ඉකොනෝ (උපුටා ගැනීමක්)
    මම හැමදාම කියන දෙයක් නෙ 2022 ආර්ථික අර්බුදය වෙලාවේ සජිත් සහ අනුර ජනාධිපතිකම භාරගන්නෙ නැතුව පැනල ගියා කියලා 😒
    එහෙම කිව්වාම ඔයාලා අහන දෙයක් ඇයි එයාලට පිස්සුද ජනාධිපතිකම වගේ දෙයක් අතාඇරියෙ කියලා 🙃
    ඒකට උත්තරේ සරලවම කිව්වොත්,සජිත් සහ අනුර ඒ වෙලාවෙ නිසැකවම දැනගෙන හිටියා නිකමට හරි එයාලා මේක භාර අරගෙන,අඩුම තරමේ ප්‍රශ්නවලින් 20%ක්වත් විසදන්න බැරි උනොත් අරගලය කැරකෙන්නෙ තමන්ගෙ පැත්තට කියලා.ඒ වගේම එයාලා දැනගෙන හිටියා ගෝටා යාන්තමට ජීවිතේ බේරගත්තට මේක තවත් දුර දිග ගියොත් ජනතාව කුපිත වෙලා මේ රට ලේ විලක් වෙනව කියලා 🤐(ඒක මැයි 09ට වඩා දහස්ගුණයක් නරක එකක්) ඒ වගේම එයාලා දැනගෙන හිටියා නිකන් හරි එයාලා මේක භාරඅරගෙන කරගන්න බැරි උනොත් එයාලගෙ දේශාපාලන අනාගතය සම්පූර්ණයෙන්ම අදුරු වෙනවා කියලා.කොටින්ම කිව්වොත් ඒ වෙලාවෙ ලංකාව කියන්නෙ බාගයකටත් වඩා ගිලුණු නැවක් 🛳️ ඉතින් මේ නැව බේරගන්නවට වඩා සජිත්ට සහ අනුරට ඕනෙ උනේ,මේ නැවේ ගිලුණු නැති කෑල්ලට වෙලා තමන්ගෙ පටු දේශපාන අරමුණු ඉටු කරගන්න.
    හැබැයි මේ රටේ හිටියා තමන්ගෙ මවුබිම ගැන කැක්කුමක් තියෙන,අභියෝග වලට බය නැති,විශේෂයෙන්ම පටු දේශාපාලන අරමුණු නැති වයසක මනුස්සයෙක් 🧓
    මිනිහ බය නැතුව මේ ගිලෙන නැව එහෙම නැත්නම් ලංකාව භාරගත්ත වගේම ඉතාම කෙටි කාලෙකින් රටේ ආර්ථිකය අංශක 360ක් අනික් පැත්ත ගැහුවා.ඒ කරලා අවුරුදු 2ක් වෙද්දි රට සම්පූර්ණයෙන්ම බංකොලොත්බාවයෙන් මුදා ගත්තා 🫡
    හැබැයි මේ දක්ෂ නායකයා එක වැරැද්දක් කර ගත්තා,ඒ තමයි ඔය අවුරුදු 2 ඇතුලත දේශාපාලනය නොකිරීම.ඒ කාලය ඇතුලට මෙයා ජන්ද හෙව්වේ නෑ,තමන්ට බනින අයට නැවත බනින්න ගියෙ නෑ.ඔහු කලේ අවංකවම රට ගොඩදාන්න වැඩ කරපු එක 😘
    ඒ ප්‍රතිපලය විදිහට අපේ මෝඩ මිනිස්සුත් මේ නායකයව පරාද කරලා අර කලින් පැනල ගිය එකෙක්ට බලය දුන්නා 😒
    ඒක මිනිස්සුන්ගෙ මෝඩකම,කොහොම හරි රනිල් තමන්ගෙ වගකීම අකුරටම ඉෂ්ට කලා 💚😌

    ඉස්සර ලෙබනනය ඉතාම දියුණු රාජ්‍යක්.
    අපේ රටිනුත් මුලින්ම මැදපෙරදිග සේවයට යන්න පටන් ගත්තේ ලෙබනනයෙන්

    ඊටපස්සේ ඊශ්‍රායල් ඉරාණ හිස්බුල්ලා යුද්දෙකට පැටලුනා.

    ලෙබනන්නයේ තිබුණු මහා ආයෝජන ඔක්කොම ඩුබායි රාජ්‍ය අත්පත් කරගත්තා. ඒ කාලේ ඩුබායි කියන්නේ බොහොම දුර්වල රටක්.

    යුද්දේ පාවිච්චි කරමින් ඩුබායි ලෝකේ ප්‍රභල ආර්ථික යක් හිමි රටක් උනා.

    දැන් ඩුබායි රාජයේ ආයෝජකයින් ට විශ්වාස ය අඩු වෙලා යමින් තියෙන්නේ.
    ඒ අයව ග්‍රහණය කරගන්න පුළුවන් එකම රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව.

    ශ්‍රී ලංකාවේ පිහිටීම
    දේශගුණ තත්වය වගේ හැම එකකම ඒකට ගැලපෙන්න තියෙනවා.

    තව පෝර්ට් සිටි දෙක තුනක් ගැහුවත් අපේ රටට පාඩු වෙන්නෙ නෑ.

    නමුත් කාලකන්නි මූසල කළගුණ නොදන්නා මිනිස්සු හින්දා කවදාවත් මේ රට දක්ෂ මිනිහෙක්ට පාලන ය කරන්න දෙන්නේ නෑ.

    අපරාදේ.
    පව් මගේ රට
    ******

    රනිල් 2024 සැප්තැම්බර් 21 ජනාධිපති වුනානම් මේ වෙනකොට හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදුව වැඩ පටන් අරගෙන..

    එහෙම වුනානම් මේ අර්බුදය අස්සේ අපි තෙල් අපනයනය කරන රටක් වෙනවා...

    රටක් පාලනය කරන්න සුදුසු පුද්ගලයාට ඔයා රට පාලනය කරන්න සුදුසු නෑ විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්න කියා කියූ ජනතාව මොන තරම් මරි මෝල් සෙට් එකක්ද නේද ✍️✍️

    මේ ටික උපුටා ගත්තේ Sachinthaka Gunawardena අයියාගෙන්

    මොකද එයා තමයි අනුරයට චන්දෙ දෙන්න කලින් කිව්වේ අනුරට චන්දෙ දෙනවා නම් අනිවාර්යෙන් qr එක පරිස්සමින් තියාගන්න කියලා 😁😁

    ReplyDelete
  6. උඹලා මෙතන ඉන්ධන කොටා QR කොටා කියලා අපහාස කරන්නේ රටක ජනාධිපතිවරයෙක්ට 🤬🤬👺 වහාම ඕක නවත්තල දාපල්ලා

    ReplyDelete
  7. ඊකෝනෝ රුසියාව කියලා තියෙනවා රූබල් වලින් හරි යුආන් වලින් ගෙවනවා නම් තෙල් ඕන තරම් දෙන්නම්, ක්ෂණිකව තෙල් නැව් දෙකක් එවන්නම් කියලා, ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඇමරිකන් ඩොලර් නම් එපා කියල ඒ අය විවෘතවම කියනවා, මේ නිසාම ලංකාවට අපේ අපනයන චීනය රුසියාව වගේ රටවලට කරන්න සිදු වේවි බටහිර රටවලට කරන අපනයන නවත්තලා අපනයන විවිධාංගීකරණයකට ලක් කරන්න වේවිද මේකත් එක්ක?

    ඒ වගේම බාල ගල් අඟුරු ගෙනාපු කේස් එක සම්පූර්ණයෙන් වංචාවක් ඇමති කුමාර සහ ජනාධිපති කුමාර එකතුවෙලා කරපු ( ඇමති කුමාරව ජා.ලැ. ගෙනත් ඔය ලංකාවේ ලොකුම ප්‍රොක්‍යුමන්ට් එක කරන ආයතනය භාර දුන්නෙ මකන්න හුරු කුමාර ) බව මේ වනවිට ලංකාවේ බහුතර ජනතාවඅතර ප්‍රචලිත මතයයි, ඒ අනුව ඔය කෝල් ප්‍රශ්නය ටෙන්ඩර් එක දුන්න දවසෙ ඉඳල ( කෝල් ගේන්නත් කලින් ) පාර්ලිමේන්තුවේ කිව්වෙ මන්ත්‍රී චානක. එදා ඉඳල ආන්ඩුව ඕක හේදුව. අන්තිමට ගිය සතියෙ කෝප් එකෙ සභාපති දාලත් හෝදන්න ට්‍රයි කලා.

    ඒ අතර මුල් ටෙන්ඩර් එකේ සම්පූර්ණ කෝල් ප්‍රමාණය ඩිලිවර් කරන්නත් කලින් ස්පොට් ටෙන්ඩර් එකට ගිහින් ඒ බාල කෝල් ගෙනා සමාගමටම අලුත් එකත් දුන්න.

    දැන් තව දවස් තිහයි තියෙන්නෙ ලංකාවට කෝල් ගෙනල්ල බාන්න. හැබැයි ඒ දවස් තිහ ඇතුලෙ ඉතුරු නැව් ටික එන්නෙ නෑ. මේකෙන් වෙන්නෙ බාල කෝල් නිසා අඩු විදුලිය ජනනයක් වගෙම අඩු කෝල් නිසා වහන්න වීමක්.

    මේව තනිකරම ආන්ඩුවෙ වැරදි කළමනාකරණය සහ වංචාව නිසා.

    මේකට මිළ මිනිස්සු ගෙවිය යුතු නෑ නේද? ඇයි මේ ආණ්ඩුව කරන වැරදි වලට මිනිස්සුන්ට ගෙවන්න වෙලා තියෙන්නේ? මේකට අපි මොකද කරන්න ඕන පිළියම?

    අනෙක දැන් ෂෙඩ් වල ඩීසල් නැත්තෙ දැම්මම ආන්ඩුව තිබුණ ඩීසල් ටික පෞද්ගලික බලාගාර වලට දුන්න නිසා..

    මේ පේන විදියට නම් ලංකාවට නන්දසේන මෝලාගේ (ගෝඨගෙ) කාලෙට වඩා ලොකු විදුලි කප්පාදුවක් අනිවාර්යයි. ඒක එල් නිනෝ නිසා වගේ බොරු බයිලා කියලා ඒ වගේ බයිලාවලින් වහන්න බෑ..ඒක තනිකරම ආන්ඩුවෙ වැරැද්ද. මේකට පොදු ජනතාව විදියට අපි මොකද කරන්න ඕන?

    ReplyDelete
  8. @ Economatta

    ලෝකයේ විවිධ රටවල විවිධ කර්මාන්ත ආදායම් නිර්මාණය වන ස්වභාවය අනුව ඒ ඒ රටට අර්බුදය බලපාන ආකාරය වෙනස් වෙනවා. උදාහරණ විදිහට මුහුදේ ඇතිවන සුළි කුණාටුවක බලපෑම ධීවරයන්ට බලපාන විදියයි ගොවීන්ට බලපාන විදියයි රජයේ සේවකයන්ට බලපාන විදිහයි පතල් කර්මාන්තයට බලපාන විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්

    ඇත්තටම 2022 ලංකාවට ලංකාවට ආපු ප්‍රශ්ණය රටේ ඩොලර් ණය ගෙවාගන්න බැරිවීමයි. එතකොට ලංකාවට ඩොලර් ලැබෙන ක්‍රම කිහිපයක් තියෙනවා. කෝවිඩ් හරහා වුණේ ඒ විදියට ඩොලර් එන බොහෝ මාර්ග අවහිර වීම හෝ සම්පූර්ණයෙන්ම පාහේ නැවතීමයි. හැබැයි ලෝකයේ අනෙක් රටවල්වලට ඩොලර් ලැබෙන ක්‍රම වෙනස්. ඒ නිසා ඒ ඒ රටවල්වලට කෝවිඩ් බලපාන්නේ එක එක විදියට මිසක් එක විදියට නෙමෙයි කියලා ඇයි ඔයාට තේරුම්ගන්න බැරි?

    අනෙක ඔයාට නොතේරෙන අනිත් දේ තමයි රට නිකන් බංකොලොත් වුණේ නැහැ කියන එක. ඒක විශේෂයෙන් 2015 ඉදන් වුණු දෙයක්. රටේ මහා බැංකු බැඳුම්කර සිදුවීම වගේ සැලකිය යුතු මූල්‍ය හානියක් වෙලා, 2019 දී පාස්කු ප්‍රහාරය වෙලා රටට ඩොලර් බිලියන පහ බැගින් වාර්ෂිකව ලැබුන සංචාරක කර්මාන්තය ඒ නිසාම එක දිගටම වසර තුනකට වඩා කෙළ වෙලා, මිනිස්සු අමාරුවෙන් ඉන්නකොට ගෝඨා කලේ ඔවුන්ට යම් සහනයක් දෙන්න කර්මාන්ත දියුණු වෙන්න බදු සහනයක් දීමයි. හැබැයි ඒ එක්කම කොරෝනා එනවා. එතකොට මිනිස්සු තවත් වැටුණා. ඔයා හිතන්නේ ඒ වෙලාවේ බදු වැඩිකරන්න පුළුවන් කියලාද? ඔහු ඒ බර මිනිස්සුන්ට දුන්නේ නැහැ. මේ මම කියන දේ හොදින් මතක් කරගන්න. එදා හර්ෂ ද සිල්වා, අනුර මොකක්ද කිවුවේ. රට වහන්න කිවුවා. ඒක කිවුවෙත් උද්ඝෝෂණ කරලා. ඇත්තටම ගෝඨාට වුණා අවුරුද්දක් විතර රට වහන්න. සංචාරකයන් නැහැ. ඩොලර් නැහැ. එතකොට කොහොමද විපක්ෂය හැසිරුණේ? ඇත්තටම ඔයාලා කොහොමද හැසිරුණේ?

    ඇත්තටම අතීතය මතක නැති මිනිස්සුන්ට මේවා කොච්චර කිවුවත් වැඩක් නැහැ. අවසාන විදියට, අනුරලා හැමදාම විරුද්ධ වුණා ණයගන්න එකට. ඔයා දන්නවාද, අලුතෙන් ණය නොගත් එකම ජනාධිපති ඔහුයි. තාවකාලිකව currency swap කරාට එකම ISB එකක් වත් IMF ණය වගේ දේවල් වත් ගත්තේ නෑ

    මට හිතාගන්න බැරි, ඡන්දයට කලින් මාලිමාව වේදිකාවල නිතරම කියපු ඒ හාඩ් කෝ මාලීමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු එකාව ඇයි ඔයාලා පැන්නුවේ? ඇයි ඔයාලා දැන් රනිල් එක්ක නැතුව මාලීමාව එක්ක ඉන්නේ?

    ReplyDelete
  9. ඉන්ධන කෝටාව මදි මදි අපට මදී

    බුම්මති මුළු රටම හොඳටම හිතට රිදී

    කෙබර කොටා අද කංචන නමට වඳී

    ලොන්ඩරි හරක් රැල ඇත දැන් පිස්සු හැදී...

    ReplyDelete
  10. ඉකෝන්

    මේ දවස්වල ෆේස්බුක් වල හැමතැනම ෂෙයාර් කරලා තියෙන මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    මේ කියන විදියට විදුලි කප්පාදුවක් ඒවිද?


    //
    රට පුරා ජනතාව වේදනාවෙන් කෝපයෙන් ඉන්ධන පෝලිම් වල දුක් විඳින අතරේ රටේ විදුලි බල මණ්ඩලය යළි පැය 13 ක විදුළි කප්පාදුවක් ඇතකරයි ද?

    අද ආපු නැවෙන් ඉන්ධන 80%ක්ම විදුලියට!

    පෝලිම් යුගය ඉවරයි කියලා හිතුවට, රට යළිත් දරුණු බලශක්ති අර්බුදයක අද්දරටම ඇවිත්! අද ලංකාවට ආපු තෙල් නැවෙන් 80%ක්ම වෙන් කරන්න වෙලා තියෙන්නේ විදුලිය නිපදවන්නයි. වාහනවලට තෙල් ටිකක් ගහගන්න බලාගෙන හිටපු ජනතාවට මේක මරු පහරක්!

    මේ විනාශයට හේතුව මොකක්ද?

    බලධාරීන් ගෙනාපු බාල ගල් අඟුරු නිසා දැන් විදුලි ජනක යන්ත්‍ර දුවවන්න අමතර ඉන්ධන විශාල ප්‍රමාණයක් පිච්චීමට සිදුවෙලා.

    බාල ගල් අඟුරු නිසා විදුලිය නිපදවන්න ඉන්ධන ලීටර් ලක්ෂ 140ක් වැඩිපුර වැය වෙනවා!

    අපේ ඩොලර් සහ තෙල් ටික මහ දවල් අපතේ යවන හැටි!

    ඇයි මේ පැය 13ක අවදානම?

    ගල්අඟුරු ටෙන්ඩරය දූෂිත ලෙස වංචනිකව සිදු කිරීම නිසා මුළු රටම අඳුරේ තැබීමේ අවදානමක් පවතිනවා. රජයට දැන් තෝරා ගැනීමට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණයි:

    1️⃣ TARANJOT Resources: මූල්‍යමය වශයෙන් බංකොලොත් (Insolvency) වී ඇති බව පැවසෙන සමාගමක්.

    2️⃣ A2A Trading FZE: ගල්අඟුරු සැපයීමේ කිසිදු පූර්ව පළපුරුද්දක් නැති අලුත් සමාගමක්.

    ⛈️ කාලය හරහට හිටී:

    මැයි මුල මෝසම් වැසි ඇරඹීමට පෙර ගල්අඟුරු ගොඩබෑම අවසන් කළ යුතුයි. ඒ සඳහා මාර්තු 20 වන විට ටෙන්ඩරය ලබා දී, අප්‍රේල් 10 වන විට නැව් ලංකාවට පැමිණිය යුතුමයි.

    ලෝක වෙළඳපොළේ ගල්අඟුරු මිල ඩොලර් 200 සීමාව ඉක්මවා යද්දී, බලධාරීන්ගේ මේ "අසාර්ථක සැපයුම්" සෙල්ලම නිසා බැට කන්නේ අහිංසක ජනතාවයි.

    මිලියන 22ක ජනතාවගේ ඉරණම තීරණය කරන මේ තීරණාත්මක මොහොතේ කුමක් වේවි ද?

    #PowerCut #CoalCrisis #FuelShortage #SriLankaEconomy #EnergyCrisis #BreakingNews #SriLankaPolitics//

    ReplyDelete
  11. "එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය "

    හ්ම්

    ඔය ප්‍රශ්නේ අපේ ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් මහත්මයාගෙන් ඇහුවා නම් දේවි හොඳ (යන්නේ කොහෙද ? මල්ලේ පොල්) වැනි අගක් මුලක් හොයා ගන්න බැරි පිළිතුරක් 🤣😂😅

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: