වෙබ් ලිපිනය:

Saturday, April 25, 2020

එල්ලෙන්නට පිදුරු ගහක්...


අද දවස ඇතුළත ලොව පුරා කෝවිඩ්-19 මරණ ගණන ලක්ෂ දෙක ඉක්මවයි. එයින් හතරෙන් එකක් පමණ ඇමරිකාවෙන්. ගොඩක් අය හිතන්නේ කෝවිඩ්-19 කියන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයක් බවයි. එහෙත්, කෝවිඩ්-19 කියන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. සැබෑ ප්‍රශ්නය වන්නේ කෝවිඩ්-19 සඳහා තිබෙන විසදුම් වලින් අපට සෑහීමකට පත් වෙන්න බැරි වීමයි.

විසඳුම් ඇතැයි කියා ගොඩක් අය හිතන ඕනෑම ප්‍රශ්නයකටත් වඩා හොඳ විසඳුම් තියෙන්න පුළුවන්. විසඳුමක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ තිබෙන විසඳුම් වලින් බොහෝ දෙනෙකු සෑහීමකට පත් වෙනවා කියන එක පමණයි.

කිසියම් ප්‍රශ්නයකට දැනට තිබෙන විසඳුම් වලින් සෑහීමට පත් නොවන බොහෝ දෙනෙක් ඉන්න කොට වඩා හොඳ විසඳුමක් ඉදිරිපත් කළ හැකි අයට එසේ කර ආර්ථික වාසියක් ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. මේ විසඳුම් කොයි තරම් හොඳ විසඳුම්ද කියන එක දැන ගන්න පුළුවන් වෙන්නේ ඒ විසඳුම් වලට තිබෙන වෙළඳපොළ ඉල්ලුම දෙස බැලීමෙන් පමණයි. අවසානයේදී වෙළඳපොළේ ඉඩ ලබා ගන්නේ වඩාත්ම හොඳ විසඳුම හෝ විසඳුම් කිහිපයයි. ඕනෑම කෙනෙකුට ඕනෑම විසඳුමක් යෝජනා කරන්න පුළුවන්කම තිබුණත් ඉල්ලුමක් නැත්නම් අසාර්ථක විසඳුමකට වෙළඳපොළ පැවැත්මක් නැහැ.

විසඳුම් හෙවීම ආණ්ඩුවේ ඒකාධිකාරයක් කරගත් විට ඉහත කී කටයුත්ත ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. සියල්ලන්ටම හොඳ විසඳුම තෝරන්නේ ආණ්ඩුවයි.

කෝවිඩ්-19 හමුවේ ලොව පුරා හැම රටකම වගේ ආණ්ඩු තමන්ගේ ඒකාධිකාර ශක්තිමත් කර ගනිමින් සිටිනවා. එහෙත්, කාලය විසින් තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩු වලින් යෝජනා කරන විසඳුම් පෙන්වන තරම් සාර්ථක විසඳුම් නොවන බවයි.

"මේ වෙලාව පිදුරු ගහක වුණත් ශක්තිය මැනලා බලන්න ඕනේ වෙලාවක් නේද?"

ගොඩක් අයට ඔය වගේ ප්‍රශ්නයක් මතු වන එක සාධාරණයි. ප්‍රශ්නයකට විසඳුමක් තමන්ටම හොයා ගන්න බැරි වුනහම මිනිහෙක්ට කරන්න වෙන්නේ වෙනත් අයෙකු විසින් ලබා දෙන විසඳුම් දෙස බලා සිටීම පමණයි.

අපි ගොඩක් දෙනෙකුට කෝවිඩ්-19 සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් අලුතින් හොයා ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි වැඩක් කළ හැකි දැනුමක් හා පුහුණුවක් ඇති අය ඉන්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. ඒ නිසා, අපට ඒ අය විසඳුමක් දෙන තුරු බලා ඉන්න වෙනවා.

එහෙමනම් අපට කරන්නම දෙයක් නැද්ද? මේ වෙලාවේ කරන්න තිබෙන පළමු දෙය තමන් ගැන හිතීමයි. මේ වෙලාවේ නෙමෙයි වෙන වෙලාවක වුනත් එහෙමයි. තමන්ට තිබෙන වාසි වැඩි කරගැනීමක් ගැන හිතන්න බැරිනම් අවාසි හා අවදානම් අඩු කර ගන්නේ කොහොමද? මෙය එක් එක් පුද්ගලයා විසින් තනිව ගත යුතු තීරණයක්.

තමන් ගැන හිතීම කියා කියන්නේ ආත්මාර්ථකාමී වීමක් නෙමෙයි. කෙනෙකුට තමන් ගැන හිතන අතරම අනුන් ගැනත් හිතන්න බැරිකමක් නැහැ. විශේෂයෙන්ම කෝවිඩ්-19 ප්‍රශ්නය හා අදාළව බොහෝ දුරට තමන් ගැන හිතීම අනුන් ගැනද හිතීමක් වෙනවා.

විසඳුමක් නොපෙනෙන නිසා පිදුරු ගස් වල එල්ලිය යුතු නැහැ. කතාවෙන්ම කියවෙන්නේ ගඟේ ගහගෙන යන කෙනා පිදුරු ගහක වුවත් එල්ලෙන බවයි. පිදුරු ගහක එල්ලුනා කියා ගඟේ ගහගෙන යන එකෙන් බේරෙන්න බැරි බව කවුරුත් දන්නවා.

ගඟේ ගහගෙන යන කෙනා පිදුරු ගහක එල්ලුනා කියා වැඩක් වෙන්නේ නැතත් හානියක්ද නොවෙන බව කාට හරි කියන්න පුළුවන්. නමුත්, පිදුරු ගස් වල එල්ලීමෙන් බොහෝ විට වෙන්නේ හානියක්. පිදුරු ගහ අත හැර අතපය ටිකක් එහෙ මෙහෙ කළානම් බේරෙන්න යම් ඉඩක් හෝ තිබෙනවා.

කෝවිඩ්-19 සඳහා යෝජනා කෙරෙන ඇතැම් විසඳුම් සමාන කළ හැක්කේ පිදුරු ගහක එල්ලී ගඟකින් එගොඩ වෙන්න යෝජනා කිරීමකටයි. ගඟෙන් එගොඩ වෙන්න ඔරුවක් නැහැ. ඔරුවක් එන දවසක් ගැන සහතිකයකුත් නැහැ. ගඟ මෙගොඩ හිටියොත් කොයි වෙලාවක හරි වළහෙක්ගේ හෝ කොටියෙක්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම සතෙක් තවම ළඟ පාතක පේන්න නැහැ.

පැත්තක ඉන්න අය පිදුරු ගස් දික් කරමින් ඒවායේ එල්ලී ගඟෙන් එගොඩ වෙන්න කියා යෝජනා කරනවා. මෙගොඩ හිටියොත් වළහෙක්ගේ කොටියෙක්ගේ ගොදුරක් විය හැකි බවත් පුන පුනා කියනවා.

කළ යුත්තේ කුමක්ද? පිදුරු ගහක් අරගෙන ගඟට පනිනවද? වළහෙක්ගේ හෝ කොටියෙක්ගේ ගොදුරක් වීමේ අවදානම අරගෙන ඔරුවක් එන තුරු තව ටිකක් බලනවද?

අද සෙනසුරාදා. සබන් කෑල්ලක් හප හප විෂබීජනාශක ෂොට් එකක් දාගන්න ගමන්!

(Image: https://www.veteranstoday.com/2020/04/24/lysol-maker-and-epa-issue-warning-please-ignore-trump-dont-drink-disinfectant-products-or-do-anything-else-he-says/)

5 comments:

  1. //අද සෙනසුරාදා. සබන් කෑල්ලක් හප හප විෂබීජනාශක ෂොට් එකක් දාගන්න ගමන්!// හා හා දවසේ කතාව

    ReplyDelete
    Replies
    1. //අද සෙනසුරාදා. සබන් කෑල්ලක් හප හප විෂබීජනාශක ෂොට් එකක් දාගන්න ගමන්!//

      https://www.youtube.com/watch?v=sqI5_jH-AbY

      හා හා දවසේ කතාව.....*******!!!

      Delete
  2. කරන්න වෙන්නේ එකිනෙකාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැකිතාක් ශක්තිමත් කරගැනීමයි. වෛරසයේ ස්වභාවය අනුව කෙනෙක් ඊට නිරාවරණය වෙන්නට තිබෙන සම්භාවිතාව ඉතාම වැඩියි නේද?

    අන්තිමට උචිතයා ජයගනීවී!

    ReplyDelete
  3. ලංකාවේ නම් ඇඳිරි නිතිය දමා සිදු කරන්නේ රෝගය පැතිරීම වැලක්විමයි. සියලුම බාධා ඉවත් කිරීමට යෝජනා කරන විට රෝගය වැලක්වීමට ගත යුතු යෝජනාත් ඉදිරිපත් කල යුතුයි. චීනය රෝගය මර්දනය කලේ නිවෙස් වල ගේට්ටු වැල්ඩින් කිරීමෙන් සහ නිරෝධයනයට අකමැති මිනිසුන් බලය යොදා රැගෙන යාමෙන්. ඉතාලිය ඇතුළු රටවල් වසා දමා තිබෙන්නේ කුමක් නිසාදැයි ඇස් ඇරලා බලා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. මේ දෙකම නැති අයට මහපොළොවේ යතාර්ථය තේරුම් කරන්න අමාරුයි. රටේ ආර්ථිකය බින්දුවටම වැටෙන බව සාමාන්‍ය දැනීමෙන් ඕනෙකෙනෙකුට වැටහ ගන්න පුළුවන්. රට ඉදිරියට යන්න නම් දේශපාලනිකව ස්ථාවර විය යුතුයි. මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා රටේ සියලු කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන එම සඳහා සියලුම පුරවැසියන් පවතින තත්වය හමුවේ රජයට අවශ්‍ය සහයෝගය දිය යුතුයි. විවේචන පමණක් ප්‍රමාණවත් නොවන අතර ඉටු කල හැකි යෝජනා රැගෙන යුතුයි.

    ReplyDelete
  4. හතරවන රෝගින් 100 දෙනා දින 4ක් තුලයි හොයාගෙන තියෙන්නේ ..රෝගය පැතිරිම භයානක වෙන්න ඉඩ තියෙනවා මෙහෙම ගි⁣යොත්.
    වෛද්‍ය ජයරැවන් බණ්ඩාර(Director-MRI)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: