වෙබ් ලිපිනය:

Saturday, April 18, 2020

චීන සංඛ්‍යාලේඛණ හා බටහිර කණ්ණාඩි

වුහාන් වල කෝවිඩ්-19 මරණ ප්‍රමාණය ඊයේ (අප්‍රේල් 17) එක වරම 50%කින් ඉහළ ගියා. ඒ අලුතින් මරණ සිදු වූ නිසා නෙමෙයි. චීනය විසින් කලින් ප්‍රකාශයට පත් කර තිබුණු සංඛ්‍යාලේඛණ හදිසියේම සංශෝධනය කළ නිසයි. මේ අනුව වුහාන්හි කලින් මරණ ගණන වූ 2,579ට තවත් මරණ 1,290ක් එකතු වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 හා අදාළ තොරතුරු සැඟවූ බවට චීනයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කිරීමෙන් පසුව මේ සංශෝධනය සිදු වීම අහම්බයක් නොවෙන්න පුළුවන්.


මේ සමඟ චීනයේ  කෝවිඩ්-19 මරණ අනුපාතය 4.0 සිට 5.6% දක්වා ඉහළ ගියා. එහෙත්, යුරෝපයේ රටවල් ගණනාවකම මරණ අනුපාතය මීටත් වඩා වැඩියි. ඉතාලියේ කෝවිඩ්-19 ආසාදිතයින්ගෙන් 13.2%ක්ද, ප්‍රංශයේ 12.6%ක්ද, එක්සත් රාජධානියේ 13.4%ක්ද, බෙල්ජියමේ 19.8%ක්ද, ස්පාඤ්ඤයේ 10.5ක්ද මෙය ලියන මොහොත වන විට මිය ගිහින්. ආසාදිතයින් වැඩිම රටවල් දහය අතර සිටින ඉරානයේ මරණ අනුපාතය 6.2%ක්ද, තුර්කියේ 2.3%ක්ද, ජර්මනියේ 3.1%ක්ද, ඇමරිකා එක්සත් ජනපදයේ 5.2%ක්ද වෙනවා. ඇමරිකාවේ මරණ අනුපාතය ඉදිරියේදී මීට වඩා වැඩි වෙන්න ඉඩ තිබෙනවා. චීනයේ හැර අනෙක් හැම රටකම මරණ අනුපාත පහළ යන්න තිබෙන ඉඩට වඩා ඉහළ යන්න තිබෙන ඉඩ වැඩියි.

කොහොම වුනත් මේ වෙද්දී ලැයිස්තුවේ උඩින්ම ඉන්න හැම රටකම වගේ කෝවිඩ්-19 පැතිරීම පාලනය වී තිබෙනවා. මේ වෙද්දී වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන ජනගහණය වැඩි රටවල් වන්නේ රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාවයි.

ඇමරිකාව, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් මේ වෙද්දී ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම ගැන කතා කරමින් ඉන්නවා. ජර්මනියේ වසංගත චක්‍රය පහළට නැඹුරු වී මේ වන විට සති දෙකකට කිට්ටු වුනත් ඇමරිකාවේ එය සිදු වුනා පමණයි. වසංගත චක්‍රය පහළට නැඹුරු වීමෙන් මුළු ආසාදිතයින් ප්‍රමාණය අඩුවන බවක් අදහස් වන්නේ නැහැ. අඩු වන්නේ ආසාදිතයින් වැඩි වන වේගය පමණයි. මෙය සමාන කළ හැක්කේ උද්ධමනය අඩු වුනත් බඩු මිල ඉහළ යාමටයි. වාහනයක වේගය අඩු වුනත් වාහනය ඉදිරියට යනවා.

කොහොම වුනත් මේ කොයි රටේත් වසංගත චක්‍ර පහළට නැඹුරු වී තිබෙන්නේ සාමූහික ප්‍රතිශක්තිය ලැබීම නිසා ස්වභාවිකව නෙමෙයි. පැතිරීම පාලනය කිරීම සඳහා ගත් විවිධ උපාය මාර්ග නිසයි. ඒ ක්‍රියාමාර්ග ලිහිල් කළ වහාම රෝගය පැතිරීම නැවතත් ඉහළ යාමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ නිසා, නැවත ආර්ථික කටයුතු ආරම්භ කළ යුත්තේ සැලසුම් සහගත ලෙස ටිකෙන් ටිකයි.

ලංකාවේ දැන් පවතින තත්ත්වය ගැන ඇතැම් අයගේ අදහස වන්නේ එය රබර් බෝලයක් දියේ ඔබා ගෙන සිටීමක් බවයි. මේ කතාව නිවැරදියි. ඒ වගේම ඇමරිකාව, ජර්මනිය ඇතුළු අනෙක් හැම රටක් හා අදාළවත් ඒ කතාව නිවැරදියි. තෙරපුම අඩු කරන විට මේ රබර් බෝල ටිකෙන් ටික උඩට එයි. එහෙත්, රෝගය පාලනය කර ගැනීම පිළිබඳ අත්දැකීම් දැන් හැම රටකටම වගේ තිබෙන නිසා බෝලය ඕනෑවට වඩා උඩට එන්න පෙර නැවත යටට ඔබා ගන්න අසීරු වෙන එකක් නැහැ. එන්නතක් හෝ ප්‍රතිකාරයක් වැඩි දියුණු වන තුරු කාට කාටත් ඔය සෙල්ලම දිගටම කරන්න වෙයි.

කෝවිඩ්-19 පාලනයේදී චීනය හැර ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මුළුමනින්ම සාර්ථක නැහැ. චීනයත් සාර්ථකයි කියා කියන්න පුළුවන් වෙන්නේ චීනය ප්‍රසිද්ධ කරන තොරතුරු හා සංඛ්‍යාලේඛණ නිවැරදියි කියන පදනමින් පමණයි. එහෙත්, චීන සංඛ්‍යාලේඛණ සැක කරන්න හේතු රැසක් තිබෙනවා.

As of 20 February, 2114 of the 55,924 laboratory confirmed cases have died (crude fatality ratio [CFR] 3.8%) (note: at least some of whom were identified using a case definition that included pulmonary disease). The overall CFR varies by location and intensity of transmission (i.e. 5.8% in Wuhan vs. 0.7% in other areas in China). In China, the overall CFR was higher in the early stages of the outbreak (17.3% for cases with symptom onset from 1-10 January) and has reduced over time to 0.7% for patients with symptom onset after 1 February (Figure 4). The Joint Mission noted that the standard of care has evolved over the course of the outbreak.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය හා ඒකාබද්ධව ජාත්‍යන්තර විශේෂඥයින් ගණනාවකගේද දායකත්වය ලබාගනිමින්  කෝවිඩ්-19 සම්බන්ධව ලෝකයේ අනෙකුත් රටවල් දැනුවත් කරමින් හා එම රටවලට මාර්ගෝපදේශ සපයමින් පෙබරවාරි තෙවන සතියේදී ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව චීනයේ හුබෙයි පළාතෙන් පිටත දළ මරණ අනුපාතය පැවතුනේ 0.7% මට්ටමේ. එහෙත්, වුහාන්හි එම අනුපාතය 5.8% මට්ටමේ පැවතුණා.


වසංගතය පැතිරෙන අවදියේදී දළ මරණ අනුපාතය නියම මරණ අනුපාතයට වඩා වැඩියෙන් පෙනෙන බව මේ වාර්තාවේ අවධාරණය කර තිබුණු අතර එයට හේතු පැහැදිලි කිරීමක්ද කර තිබුණා. රෝගය ආරම්භයේදී ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුමක් හා පළපුරුද්දක් නොතිබුණත් කල් යාමේදී රෝගය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමෙන් පසු මරණ අනුපාතය අඩු වූ බව මේ පැහැදිලි කිරීමයි. ජනවාරි මුදලදී දළ මරණ අනුපාතය 17.3% මට්ටමේ තිබුණත්, ඒ වන විට අලුතෙන් හඳුනා ගන්නා අලුත් රෝගීන් හා අදාළව මේ අනුපාතය 0.7%ක් පමණක් බව වාර්තාවේ සඳහන් වුනා.

දළ මරණ අනුපාතය කාලයත් සමඟ අඩු වූ ආකාරයත්, වුහාන් වලින් පිටතදී අඩු මට්ටමක පැවතීමත් අවධාරණය කරමින් චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව පෙන්වා දුන්නේ කෝවිඩ්-19 මරණ අනුපාතය 0.7%කට වඩා වැඩි විය නොහැකි බවයි.


(Image: https://covid-19.chinadaily.com.cn/a/202003/24/WS5e793868a3101282172815f4.html)

ඉහත වාර්තාව පිළියෙල කල කණ්ඩායමේ ප්‍රධානීන් දෙදෙනාගෙන් එක් අයෙක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය බ්රූස් ඒල්වර්ඩ් විසින් පෙබරවාරි 25 දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදීද  ඔහු ඉහත කරුණු සඳහන් කළා.

BA: Oh yes, Wuhan’s higher mortality rate; so there are a couple of things that probably contribute to that. One is... Well, three things would contribute to the difference that we see. 

The first is it happened at a different time; Wuhan started fast and early. People didn’t know what we were dealing with, we were learning how to treat this, and remember they’d been through six different treatment guidelines. So some of that high mortality you’re seeing is the first couple of treatment guidelines when we were learning how to do this. 

The second thing was just the sheer scale of the numbers, and this is specialised care. So that could have been a challenge. But the third thing, and this goes back to the point that Helen was making, that at the beginning of this outbreak, remember people were finding severe disease and that’s why the alarm bells went off.

කෙසේ වුවත්, වඩා වැදගත් වන්නේ මිය යන මිනිසුන් ගණන මිස මරණ අනුපාතය නොවන බව අවධාරණය කරන්නට බ්රූස් ඒල්වර්ඩ් අමතක කළේ නැහැ.

But one important thing I want to highlight, folks, is I’ve heard it say the mortality rate is not so bad because there are actually way more mild cases. Sorry, the same number of people that were dying still die, and if that was a problem and a concern, that is still a big problem and a concern.

So we have to be careful how we interpret these numbers sometimes.

චීනයේ තොරතුරු නිදහසේ රටින් එළියට නොඑන බව කවුරුත් දන්නා කරුණක්. එහෙත්, චීනය විසින් කෙතරම් දුරකට කෝවිඩ්-19 හා අදාළ තොරතුරු හිතාමතා වසං කළාද කියා මම දන්නේ නැහැ. රෝගය පැතුරුණු මුල් කාලයේ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි නොවෙන්න වෙනත් හේතු ඕනෑ තරම් තියෙනවා.

වුහාන් වල කෝවිඩ්-19 පැතිරෙන කොට ඒ පිළිබඳව ඇමරිකාවේ පොදු මතය වුනේ එහි සැබෑ තත්ත්වය මීට වඩා ගොඩක් නරක බවයි. බොහෝ විට මේ තොරතුරු පැතිරුණේ ඇමරිකාවේ ජීවත්වන චීන සංක්‍රමිකයින් හරහා. මා සේවය සඳහා යන එන අතර දේශපාලන හා සමාජ ආර්ථික කරුණු සාකච්ඡා කෙරෙන එෆ්එම් රේඩියෝ චැනලයකට සවන් දෙනවා. පෙබරවාරි මාසය ආසන්නයේ චීනයේ සංචාරය කළ හා එහි තමන්ගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන බව පැවසූ චීන නම් තිබුණු අය මේ චැනලය හරහා අදහස් දැක්වීම ඒ දවස් වල සුලබ සිදුවීමක්. මේ ඇතැම් අයගේ "විශේෂඥ මතය" වුනේ චීනයේ කෝවිඩ්-19 පැතිරී ඇති ප්‍රමාණය නිල සංඛ්‍යාලේඛණ වල ඇති ගණනට වඩා කිහිප ගුණයකින් වැඩි බවයි. ඇතැම් අයට මේ "කිහිප ගුණය" තිස් ගුණයක්. තවත් අයට සිය ගුණයක්.

අපි පෙර කී ලෝක බැංකු වාර්තාවට ගියොත්, එයින් දළ වශයෙන් අදහස් වන්නේ කෝවිඩ්-19 මරණ ප්‍රමාණය 0.7% මට්ටමේ තබා ගැනීම අපහසු නොවන බවයි. රෝගය ගැන වූ අනවබෝධය නිසා හා පහසුකම් සීමාවන් ඉක්මවා යාම නිසා වුහාන් වල මෙන් 5.8% පමණ මට්ටමකට මරණ අනුපාතය ඉහළ යා හැකි බවද එයින් අදහස් වෙනවා. මා හිතන විදිහට ඇමරිකාවේ උපාය මාර්ගික සැලසුම් සකස් වුනේ මේ දැනුම මත පදනම්වයි. ඇමරිකාව මුල සිටම උත්සාහ කළේ සෞඛ්‍ය පද්ධතියේ සීමාවන් නිසා සිදු වන මරණ අඩු කර ගන්නයි. චීනයට වඩා හොඳ සෞඛ්‍ය පහසුකම් තිබෙන (හෝ එසේ සිතා සිටින) බටහිර රටවල මරණ අනුපාතය චීනයේ තරමටම එනම් 0.7% මට්ටමට හෝ ඉහළ නොයනු ඇතැයි විශ්වාශයක් පොදුවේ බටහිර රටවලට තිබෙන්න ඇති.

එක්සත් රාජධානියෙන් මුලදී මතු වූ සාමූහික ප්‍රතිශක්තිය පිළිබඳ අදහස ගැනත් යමක් කතා කළ යුතුයි. සාමූහික ප්‍රතිශක්තිය මත ප්‍රශ්නය අවසන් වන තුරු කිසිවක් නොකර සිටීම කිසි විටෙකත් ඇමරිකාවේ උපාය මාර්ගය වුනේ නැහැ. එහෙත්, සැලසුම් සකස් කිරීමේදී මේ සාමූහික ප්‍රතිශක්තිය කියන කරුණද සලකා බැලුනා. දැන් රට නැවත විවෘත කිරීමේ සාකච්ඡාව තුළද එම කරුණ සාකච්ඡා වෙනවා.

කෝවිඩ්-19 සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට ආසාදනය විය යුතු ජනගහණ ප්‍රතිශතය කිසිවෙකු හරියටම දන්නේ නැතත් අපට දළ අදහසක් තිබෙනවා. අපි මේ ප්‍රතිශතය පිළිබඳ ඇස්තමේන්තුවක් ලෙස 70% ගනිමු. ඒ වගේම මරණ අනුපාතය චීනයේ වුහාන් වලින් පිටත මරණ අනුපාතය ලෙස දැන සිටි 0.7% ලෙස සලකමු. එසේ වුවහොත්, ස්වභාවික ප්‍රතිශක්තිය ඇති වන විට ජනගහණයෙන් 0.5%ක් පමණ මිය යනවා. ප්‍රමාණාත්මකව ඇමරිකානු ජනගහණයෙන් 0.5%ක් කියා කියන්නේ මිලියන 1.65ක  පමණ පිරිසක්. එය ඇමරිකාවට දරා ගත නොහැකි, විශාල සමාජ කම්පනයක් ඇති කළ හැකි මරණ ප්‍රමාණයක්. එවන් තත්ත්වයක් ඇමරිකන් දේශපාලනඥයින් විසින් හෝ අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් බැරෑරුම් ලෙස නොසලකන්න කිසිදු හේතුවක් නැහැ.

නමුත්, පොදු වශයෙන් ඇමරිකාවේ මතය වුනේ චීනයේ හඳුනා නොගත් කෝවිඩ්-19 ආසාදිතයින් තවත් විශාල ප්‍රමාණයක් සිටි බවයි. අපි හිතමු චීනය විසින් හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 10%ක් කියා. ඒ තත්ත්වය ඇමරිකාවට ආදේශ කළොත්, ජනගහණයෙන් 7%ක් කෝවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා විට 70% ස්වභාවික ප්‍රතිශක්ති මට්ටම ඇති වෙලා. ඒ කියන්නේ උපරිම මරණ ගණන 165,000ක් පමණයි. යම් හෙයකින් චීනය විසින් හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 1/30ක් පමණක්නම් සිදු විය හැක්කේ මරණ 55,500ක් පමණයි. ඇමරිකාවේ සෞඛ්‍ය සේවය වඩා හොඳ නිසා ඒ ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්.

මම මේ කියන්නේ මගේ මතය හෝ ඇමරිකාවේ වසංගත රෝග විද්‍යාඥයින්ගේ පොදු මතය ගැන නෙමෙයි. එහෙත් මෙවැනි  ගණනය කිරීම් ඇතැම් අය විසින් කළා. ඇතැම් ඇමරිකානු දේශපාලනයින් වුවත් මේ විදිහට හිතුවා වෙන්න පුළුවන්.

මේ වගේ ගණනය කිරීම් කළ අය විසින් වරද්දාගත් දෙයක් තිබුණා. චීනය විසින් වාර්තා කළේ හෝ හඳුනාගත්තේ සැබෑ ආසාදිතයින්ගෙන් 10%ක් කියා අපි හිතමු. එහෙමනම් චීනය හඳුනා ගෙන තිබෙන හෝ වාර්තා කර තිබෙන මරණ ප්‍රමාණය හරියටම හරි කියා කියන්නේ කොහොමද? ආසාදිතයින් ප්‍රමාණය වගේම මරණ ප්‍රමාණයත් වාර්තා කර තිබෙන්නේ 10% අනුපාතයෙන්නම් දළ මරණ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. යම් හෙයකින් මරණ වාර්තා කිරීම සිදු වී තිබෙන්නේ වඩා අඩුවෙන්නම් දළ මරණ අනුපාතය තවත් වැඩි වෙන්න පුළුවන්.

දැනට දකින්නට ලැබෙන දත්ත අනුව, කෝවිඩ්-19 සැබෑ මරණ අනුපාතය මුලින් හිතුවාට වඩා කිහිප ගුණයක් වැඩි බව ඉතා පැහැදිලියි. බටහිර රටවල් අතර සාපේක්ෂව අඩු මරණ අනුපාතයක් තිබෙන ජර්මනියේ පවා මේ අනුපාතය 3%ට වැඩියි. මරණ ප්‍රමාණය 5% මට්ටමට වඩා පහළින් තබා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවයි පෙනෙන්නේ. ඒ වගේම, හඳුනා නොගත් කෝවිඩ්-19 ආසාදිතයින් යම් ප්‍රමාණයක් සිටියත් ඒ ප්‍රමාණය හඳුනාගත් ප්‍රමාණය මෙන් දහ පහළොස් ගුණයක් නොවන බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ ප්‍රමාණය හඳුනාගත් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. කිහිප ගුණයක් වෙන්නත් පුළුවන්. (ඇතැම් ඇස්තමේන්තු අනුව මෙය 50-85 ගුණයක්)

දැනට පෙනෙන්නට ඇති කරුණු අනුව රෝගය පාලනයක් නැතිව ව්‍යාප්ත වුවහොත් ඇමරිකාවේ ජනගහණයෙන් 4-5%ක් පමණ දක්වා වුවත් මිය යා හැකියි. ඒ තත්ත්වයට සාපේක්ෂව දැනට පුරෝකථනය කර ඇති පළමු වටයේ මරණ ගණන ජනගහණයෙන් 0.02%ක් පමණයි. ඒ කියන්නේ සිදු විය හැකි මරණ ප්‍රමාණයෙන් 0.5%ක් පමණ. දැනට ගන්නා ආකාරයේ ක්‍රියාමාර්ග හරහා කළ හැක්කේ සිදු විය හැකි මරණ කල් දැමීම පමණයි. ඒ අතර ප්‍රතිකාර ක්‍රම හා එන්නත් වැඩි දියුණු විය යුතුයි. එය සිදුවන තෙක් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සිහිනයක් පමණයි.

4 comments:

  1. ඉකොනෝමැට්ටා,

    ලංකාව ගැන සංක්‍යා ලඛන විශ්ලේෂණ කරමින් ඉකොනෝමැට්ටා කියපු බොහෝ දෑ වැරදි නේද? කොරෝනා ගැන විතරක් නෙමේ, ජනාධිපතිවරන ප්‍රතිපල ගැන පවා කියපු අනාවැකි වැරදි. ඉකොනෝගේ සංක්‍යා ලඛන විශ්ලේෂණ සතපහකට වැඩක් නැහැනි එකෙන් ආසන්නයට වත් පුරෝකථනයක් කරන්න බැරි නං.

    ReplyDelete
    Replies
    1. ඔබට වැඩක් නැති දේවල් නොගෙන වැඩක් තිබෙන දෙයක් තිබේනම් එය පමණක් ගන්න.

      //කොරෝනා ගැන විතරක් නෙමේ, ජනාධිපතිවරන ප්‍රතිපල ගැන පවා කියපු අනාවැකි වැරදි.//
      කරුණාකරලා නිශ්චිතව පෙන්නන්න පුළුවන්ද ඔය කියන කොරෝනා පිළිබඳ හා ජනාධිපතිවරන ප්‍රතිපල පිළිබඳ අනාවැකි. එතකොට පිළිතුරක් දෙන්නම්.

      Delete
  2. රජයක සංඛ්‍යා ලේඛන හා තොරතුරු කොතරම් දුරට නිරවද්යද? ප්‍රකාශ නිකුත් වුනාට ඒවා ඒ හැටියටම ක්‍රියාත්මක වෙනවාද? යම්-යම් අය සතර අගතියයෙන් එකක් නිසා හෝ වරදක් කළාම මොකද වෙන්නේ?

    කොරෝනා මර්දනයට ප්‍රජා සහාය දෙන්න ගිහින්- මහ දවාලේ ඇඳිරි නීතිය කඩලා, අප නොදන්නා පවුලක් අපේ ගෙවල් තියෙන පටුමගට පදිංචියට ආවා, පොලිසිය-ග්‍රාම සේවක- phi නොදැන. පෙනුණු විදිහට එයාලා පෙන්වූ; එයාලා සතුව තිබුණු එකම සාක්කිය මුලින් පදිංචිව හිටි වසමේ පොලිසියෙන් දුන්නාය කී ප්‍රවාහන බලපතක් විතරයි.

    අපේ පටුමගේ වැසියන්, ඒ ගැන 119- අපේ පොලිසිය- ග්‍රාම සේවක- PHI දැනුවත් කරන්න ගිහින් වෙච්චිදේ
    හැකිතාක් කෙටියෙන් පොස්ටුවකට ලිව්වා. උනන්දුයි නම් කියවා බලන්නටයි මේ ලින්ක් එක එවන්නේ. මෙහි නීත්‍යානුකූල තත්වය ගැන කවුරුන් හරි පහදා දෙනවා නම් හරිම කැමතියි! නඩු යන්න නෙවෙයි.

    මෙහෙ නඩු බලවන එකනේ වැඩි!


    https://nidigepanchathanthare.blogspot.com/2020/04/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. මේ ගැන මම හිතන්නේ ඔබ හිතන විදිහටම නෙමෙයි. ඔබේ බ්ලොග් එකේ ප්‍රතිචාරයක් දැම්මා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: