Saturday, August 29, 2015
පෝසත් අප්පච්චී සහ දුප්පත් අප්පච්චී
ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මූල්‍ය කළමණාකරණය සම්බන්ධව දුර්වලතා තිබීමේ වරද කාගේ හෝ පිට පටවා අත පිස දමා ගැනීමට කෙනෙකු සොයන්නේනම් ඒ සඳහා සුදුස්සන් අතර අන්තිමයා ඉකොනොමැට්ටාගේ පියාය. ඔහු පුරුදු වී සිටි මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය මැනවින් හදාරා ඉකොනොමැට්ටාගේ ජීවිතයේ කොටසක් කරගත්තානම් මේ වන විට ඉකොනොමැට්ටා ගජ පෝසතෙකි. ඉකොනොමැට්ටාගේ මැටිකමට ඔහු සිය පියාව හොඳින් අධ්‍යයනය කළේ නැත.
පෝසත් මනුස්සයෙක් වෙන්නට උවමනාවක් තිබුණානම් ඉකොනොමැට්ටාට කරන්නට තිබුණේ ඔහුගේ පියාගේ මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදය හොඳින් හදාරා ඒ ක්‍රමවේදයේ කිසිදු අංගයක් අනුගමනය නොකර සිටීම පමණි.
යමෙකුට ලොතරැයියක මුල් දිනුම ඇදුනොත් මේ මුළු මුදලම වඩාත් ඉක්මණින් වියදම් කර අවසන් කරන්නේ කෙසේදැයි අපට ආදර්ශයෙන් පෙන්වා දීමේ මගඟු අවස්ථාව ඔහුට ගිලිහී ගියේ කවදාවත් ඔහුට එවැනි දිනුමක් ඇදුනේ නැති නිසාය. මා දන්නා තරමින් ඔහුගේ අතේ වැඩිම මුදලක් එක් වර රැඳුනේ ඔහුගේ විශ්‍රාම පාරිතෝෂිකය ලැබුණු දිනයේදීය. මේ බරින් ඔහු නිදහස් වූ ආකාරය දැනට විස්තර නොකර සිටිමි.
අතේ ඇති ලොකු කුඩා ඕනෑම මුදලක් ඇසි පිය හෙළන සැණින් අතුරුදහන් කිරීමේ සුවිශේෂී හැකියාව මගේ පියා ප්‍රගුණ කළේ මත්පැන් පානය වැනි සම්මත දුශ්චරිත හරහා නොවේ.
කලාතුරකින් මංගල උත්සවයක් වැනි අවස්ථාවකදී ඉතා සුළු මත්පැන් ප්‍රමාණයක් තොල ගෑ නිසා ඔහු මත්පැන් කටේවත් නොතබන අයෙකු ලෙස මට හඳුන්වාදිය නොහැකිය. විශ්වාසදායී සහකරුවෙකුගේ අඩුපාඩුව නිසා කණගාටුවෙන් කල් ගෙවූ විහාරාධිපති හිමි නමගේ බලකිරීමට විශ්‍රාම ගැනීමෙන්ද පසු ටික කාලයක් මේ කලාතුර නිතර නිතර තත්ත්වයට වැඩිවී තිබුණත් ඒ හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ඔහු නරක පුරුද්ද නවතා දැමීමෙන් පෙනුනේ වතාවතක් මෙන් කර තිබූ ඉහත කාර්යයද ධර්ම සංවේගයෙන්ම කළ එකක් බවයි.
මත්පැන් පානයට කිසිදා ඇබ්බැහි නොවූවත් මගේ පියා මා දන්නා කාලයේ සිටම අධික දුම් පානයට පුරුදු වී සිටියේය. කවුරු මොන අවවාද දුන්නත් සිය ජීවිතයේ නවවන දශකයට කිට්ටුකර සිටින ඔහු තවමත් දුම්පානයෙන්නම් මිදී නැත. කෙසේ වුවද, ඔහුගේ අතේ මුදල් නොරැඳීමට ප්‍රධාන හේතුව වූයේ මේ දුම්පානයද නොවේ.
තමන්ගෙන් යමක් ඉල්ලා සිටි යාචකයෙකුට තමන් සතුව තිබුණු වටිනාම පාරිභෝගික භාණ්ඩය වූ අඩක් ඉරුණු ඇඳිවත දන්දී නිරුවතින්ම ආවාසයට පැමිණ ජීවිතයේ ඉතිරි කාලය මේ ඇඳිවතේ බරින්ද තොරව සැහැල්ලුවෙන් ගෙවා දැමු ජෛන මහාවීරයන්ට තිබුණු ධෛර්යය මගේ පියා සතු නොවීයැයි මා සිතන්නේ ඔහු කිසිදා එවැන්නක් නොකළ බැවිනි. එහෙත්, සිය කමිසය යමෙකුට දී උඩුකය නිරුවතින් ගෙදර එන්නට තරම් ධෛර්යයක්නම් ඔහු සතු විය.
තමාගේ අතේ ප්‍රමාණවත් මුදලක් ඇත්නම් ළඟපාතක සිටින යන්තම් හෝ දැන ඇඳුනුම්කමක් ඇති කෙනෙකුගේ මෙන්ම එවෙලේ අඳුනාගත් කෙනෙකුගේ වුවද බස් ප්‍රවේශ පත්‍රය, ප්ලේන්ටිය හෝ සිගරැට්ටුව වෙනුවෙන් බරපැන දැරුවේ මගේ පියාය. එහෙත්, මේ වාසිය ලබන්නට බොහෝ දෙනෙකුට බොහෝ විට නොහැකි වුනේ ඔහු අතේ ආපසු ගෙදර එන්නට අවශ්‍ය බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් රැඳුනේ පඩි දවසේ සිට දින දෙක තුනක් යනතුරු පමණක් නිසාය. වැඩි වදයක් නොවිඳ, තමාගේ මාසික වැටුපෙන් දින දෙකතුනකින් පහසුවෙන් නිදහස් වන ඔහු මාසයේ ඉතිරි දින ගෙවා දැම්මේ සිගරැට්ටුවක් සහ ප්ලේන්ටියකට වඩා සංකීර්ණ නොවූ ඔහුගේ සරල ජීවිතය රස විඳිමිනි.
අනුන් වෙනුවෙන් මාසය පුරාම මුදල් වියදම් කිරීමේ හැකියාවක් මගේ පියා සතු නොවූවත් මාසය පුරාම ඔහු අනුන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය යෙදවූයේය. ශ්‍රමය කියා කීවාට ඇඟේ පතේ ලොකු හයි හත්තියක් නොතිබුණු ඔහු බොහෝ විට මෙසේ වැය කළේ කිසියම් ආකාරයක බුද්ධිමය ශ්‍රමයකි. ඔහුගේ ශ්‍රමයේ ඵල ප්‍රයෝජන ගත්තෝ නැති-බැරි අයම නොවූහ. මේ බොහෝ දෙනෙකු ඇති-හැකි බලවත් අයයි. ඇතැම් මහා පුරුෂයන් මෙන් උදවු ඇවැසියැයි පෙනුණු අය සොයා ගොස් උදවු කරනු වෙනුවට ඔහු කළේ යම් උදවුවක් ඉල්ලාගෙන එන කෙනෙකුට හැකි පරිදි 'අතින් කයිට් කරගෙන' උදවු කිරීමයි. මෙවැනි අයගෙන් අපේ ගෙදරට කවදාවත් අඩුවක් තිබුණේ නැත.
අනුන්ට උදවු කළත් මගේ පියා අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. දැනටත්, මොන අඩුපාඩු තිබුණත් තමන්ගේ දරුවන්ගෙන් හෝ ඔහු කිසිවක් බලාපොරොත්තු නොවේ. ඔහුගෙන් නැවත ආපසු දීමේ පොරොන්දුවට යමක් ඉල්ලාගත් කෙනෙකුට සාමාන්‍යයෙන් එය ආපසු ගෙවීම පිළිබඳව සිතීම අනවශ්‍ය දෙයක් විය. එසේ ආපසු දුන්නත් බොහෝ විට ඔහු එය ප්‍රතික්ෂේප කරනු ඇත.
මෙසේ කී විට යමෙකුට එක්වරම සිතෙන්නේ මගේ පියාට 'ලොකු ඔළුවක්' තිබුණු බවයි. ඔහු ඉපදුණු පවුල් පසුබිම අනුව ඉඳහිට යම් ලොකු කමක් පෙන්වන කතා කිවුවත්, බොහෝ දුරට නිරහංකාර, සරල පුද්ගලයෙකු වන ඔහු අතේ සල්ලි නැත්නම් නැති බව කියන්නට ලැජ්ජා වුනේත් නැත. තමන් වෙනුවෙන් වෙනත් අයෙකු බරක් දැරීම අපේක්ෂා නොකළා පමණි.
විය යුතු පරිදිම, අපේ ගෙදර සතුට උතුරා ගියේ නැතත් වාෂ්ප උෂ්ණත්වයට ටිකක් හෝ කිට්ටු කළේ මගේ පියාගේ පඩි දිනයේදීය. යශෝරාවයේ රන්ජනීලාගේ තාත්තා මෙන් තනියම ආතල් එකක් ගන්නට පඩි දිනයේ මගේ පියා දියර වර්ග ගෙන නොආවත්, කුකුළෙකු ඇතුළු වෙනත් දේ නොවරදවා රැගෙන ඒමට අමතක නොකළේ ඔහු මස් වලට ප්‍රිය කළ නිසා නොවේ. සදාචාරාත්මක හෝ ආගමික නොවන, ආහාර රුචිකත්වය පිලිබඳ හේතු මත ඔහු සාමාන්‍යයෙන් මස් මාළු ආහාරයට ගත්තේ නැත. ඇත්තටම ඉතා සුළු ආහාර ප්‍රමාණයකින් කවදත් සැනසුනු මගේ පියා මා දන්නා කාලයේ සිටම රුචිකත්වයක් දැක්වූයේ ඉතා පහසුවෙන් පිළියෙළ කළ හැකි, කොතනත් ඇති, අල, පරිප්පු වැනි ආහාර වර්ග අතළොස්සකට පමණි.
මේ විශේෂ වියදම් වලින් පසුව ඔහු කරන්නේ මාසය පුරා 'පොත් වලට' ගෙන ඇති කඩ වල ණය ගෙවා දැමීමයි. ඉන්පසු නැවත වටයකින් ණය ගැනීම ඇරඹේ. මෙය සෑම මාසයකම සිදුවන චක්‍රයකි.
කාලය හා තාක්ෂණය වෙනස් වී තිබුණත් මගේ පියාගේ මාසික වියදම් රටාව අදටත් ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම වියදම් රටාවයි. දැන් හන්දියේ කඩේ වෙනුවට සුපිරි වෙළඳසැල් සහ මුදලාලිගේ පොත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් ආදේශ වී තිබුණත් සිදුවන්නේ පෙර වූ දෙයමය.
මගේ පියාට ආචාර්ය උපාධියක් නොතිබුණත්, ආසියානු ඇමරිකානුවෙකු වන රොබර්ට් කියෝසාකිගේ පියාට ආචාර්ය උපාධියක් තිබුණේය. මගේ පියාගේ වැටුපට වඩා විශාල වැටුපක් ලැබූ කියෝසාකිගේ පියාගේ පවුලේ ආදායමට හෙදියක වූ ඔහුගේ බිරිඳගේ ආදායමද එකතු විය. එහෙත්, ඔවුන්ගේ පවුලේ වියදම් රටාව මගේ පියාගේ වියදම් රටාවට වඩා වෙනස් වුනේ නැත.
කියෝසාකිගේ පියා හැමදාමත් ණයබරේ ගිලී හිටියේය. මාසික වැටුපෙන් පසුගිය මාසයේ ණය ගෙවන ඔහු නැවතත් ණය එකතු කරන්නට පටන්ගනී. මේ චක්‍රයෙන් ගැලවීමක් නැත. රොබර්ට් කියෝසාකිට අනුව මේ ඔහුගේ 'දුප්පත් අප්පච්චී'ය.
රොබර්ට්ගේ සහ ඉකොනොමැට්ටාගේ වගේම ලංකාවේත්, ඇමරිකාවේත් තවත් බොහෝ රටවලත් ළමයින් බොහෝ දෙනෙකුගේ අප්පච්චිලා දුප්පත් අප්පච්චිලා වී සිටින්නේ ආදායම අඩුකමටම හෝ මහන්සි වී වැඩනොකරන නිසා නොවේ. ධනවාදයේ අඩුපාඩු නිසාත් නොවේ. මූල්‍ය සාක්ෂරතාව අඩුකමටය. (මෙයින් කියන්නේ අනෙක් කරුණු බැහැර කළ යුතු බව නොවේ.) එදිනෙදා වියදම් සඳහා ගිණිපොලියට ණය ගන්නා මේ දුප්පත් අප්පච්චිලා ණය ගෙවා දමන්නේ අළුතෙන් ණය ගැනීමෙනි.
කණගාටුවට කරුණනම් ඇතැම් රටවල මූල්‍ය කළමණාකරණය සිදුවන්නේ දුප්පත් අප්පච්චිලා කරන ක්‍රමයටත් වඩා ප්‍රශ්නකාරී ක්‍රමයකට වීමයි. ඉකොනොමැට්ටාගේ පියා හැමදාමත් ණය උගුලක හිර වී හිටියත් මාසේ පඩියෙන් පියවීමට නොහැකි තරමට ණය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන වැඩේ අනාගත්තේ නැත. එහෙත්, එසේ කර එක් මොහොතක බෙල්ලටම හිරවන අය ඉකොනොමැට්ටාට ඕනෑ තරම් හමුවී තිබේ.
කෙසේ හෝ හොඳ වෙලාවට කියෝසාකිට 'පෝසත් අප්පච්චී' කෙනෙකුත් හිටියේය. ඒ ඇමරිකාවේ එකගෙයි කෑම තිබුණු නිසා හෝ කැත හිතකට මතක් වෙන වෙනත් කරුණක් නිසා නොවේ. රොබර්ට් කියෝසාකි 'පෝසත් අප්පච්චී' ලෙස හඳුන්වන්නේ ඔහුගේ වාසනාවට ඔහුට කුඩා කළ සිටම ඇසුරු කිරීමට ලැබුණු ඔහුගේ මිතුරෙකුගේ පියාය.
මේ පෝසත් අප්පච්චී යන්තම් අටපාස් පුද්ගලයෙකි. මහ ලොකු උගත් කමක් නොතිබුණු මේ පුද්ගලයා ආචාර්ය උපාධියක් තිබුණු රොබර්ට් කියෝසාකිගේ දුප්පත් අප්පච්චී මෙන් ණය බරින් මිරිකී නාහෙන් අඬමින් සිටිනු රොබර්ට්ට කිසිදා පෙනුණේ නැත. ඒ ඔහු එතනෝල් හෝ කුඩු බිස්නස් කළ නිසා නොවේ. ඔහුට මූල්‍ය සාක්ෂරතාව තිබුණු නිසාය.
වයස අවුරුදු නවයේදීම රොබර්ට් කියෝසාකිට මේ පෝසත් අප්පච්චිගේත්, දුප්පත් අප්පච්චිගේත් වෙනස තේරුණේය. ඒ නිසා, ඉකොනොමැට්ටාට කළ නොහැකි වූ බොහෝ දේ කිරීමට රොබර්ට් කියෝසාකිට හැකි විය. දරුවන්ට කුඩා කාලයේදීම මූල්‍ය සාක්ෂරතාව ලබා දීමේ වැදගත්කම පහදමින්, වසර පහළොවකට පෙර රොබර්ට් කියෝසාකි ලියූ, අලෙවි වාර්තා තැබූ පොත එවැන්නකි.
කෙසේ වුවද, මූල්‍ය සාක්ෂරතාව හෝ මූල්‍ය සාර්ථකත්වය හා අදාළව නොවූවත්, රොබර්ට් කියෝසාකිට මෙන්ම හැදෙන වැඩෙන කාලයේදී පෝසත් අප්පච්චි කෙනෙකු ආශ්‍රය කිරීමේ වාසනාව ඉකොනොමැට්ටාටද ලැබුණේය. ඒ පෝසත් අප්පච්චි ජීවත් වුණේ අර කලින් කී දුප්පත් අප්පච්චි ඇතුළේය. කණගාටුවට කරුණනම් අතරින් පතර දෙන දුරකථන හෝ ස්කයිප් ඇමතුමක් හැරුණු විට මේ පෝසත් අප්පච්චිගේ ආශ්‍රය ලබන්නට ඉඩකඩක් නැති තරමට ඉකොනොමැට්ටා දුප්පතෙකු වී සිටීමයි.
Subscribe to:
Post Comments (Atom)
අහම්බෙන් හම්බවෙලා මේ පොත මම බාගයක්ම කියෙව්වා. හරිම රසවත්. රසවත් බව වැඩිඋනාම මට හිතුනා කවුද මේ පෝසත් අප්පච්චි කියලා. පොතේ හැටියට ඒ අප්පච්චී ලෝකප්‍රසිද්ධ චරිතයක්නෙ.
ReplyDeleteහොයලා බලපුවාම එහෙම කෙනෙක් නෑලු. ඒ කවුද කියලා කවදාවත් හෙලිවෙලාත් නෑලු. මේ පොතේ තියෙන න්‍යායන් සැබෑ ලෝකෙදි සිද්ධවෙන්නේ නැති බවට පැහැදිලි කරන කරුණුත් ගොඩක් හම්බුනා. මේක ප්‍රබන්ධයක් කියලාත් තිබුනා.
එතනින් එහාට කියවන්න හිතුනේ නෑ. :)
ඔව්, ඇත්ත. මේ පොත Best seller වර්ගයේ, වැඩි පිටපත් ප්‍රමාණයක් අලෙවි කිරීම අරමුණු කරගත් පොතක්. රොබර්ට් කියෝසාකි දැනටත් ඇමරිකාව පුරා මෙයට අදාල වැඩමුළු පවත්වමින් යනවා. සමහර විට ඔහුගේ ප්‍රධාන ආදායම මේ වැඩමුළු සහ පොත් අලෙවිය විය හැකියි. ඒ වගේම මේ පොතේ ඇති න්‍යායාත්මකව නිවැරදි නොවන කරුණුත් වෙනත් අය පෙන්වා දී තිබෙනවා. කෙසේ වුවත්, ඔහු මේ පොතෙන් ඉදිරියට ගන්නේ සැබෑ ප්‍රශ්නයක්. සාමාන්‍ය ඇමරිකානුවන් මෙහි කියා ඇති දෙයට සංවේදී වන්නේ ඒ නිසා. ඔහු පෙන්වාදෙන මූල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම බොහෝ දුරට නිවැරදි දෙයක්. මා හිතන හැටියට ඇමරිකාව තුල ආදායම් විෂමතාව ඉහළ යාමට හේතුවන එක් කරුණක් මේක.
Deleteඉකොනොමැට්ටාගේ පියා ගැන කියද්දී මට මගේ අප්පච්චි මතක් වෙනවා......... ඔහොමමයි ඔය වගේමයි...........
ReplyDeleteමම ලිවුවෙත් මේක පොදු අත්දැකීමක් නිසාම තමයි.
Deleteමමත් ඔය පොත අතට ගත් මුල් වතාවේ වහවැටීගෙන කියෙව්වා. ඒ කාලෙ ඉගෙනගනිමින් හිටපු මූල්‍ය කලමණාකරණ තියරිවලට මේ පොතේ කරුණු ගලපමින් (මහලොකු දැනුමක් තිබුනෙ නෑ සිමා ලෙවල් එකක් දෙකක් කරලා හිටපු කාලේ) මෙහි කියවෙන රිච් ඩැඩ් මහා පොරක් විදියට මම දැක්කා.
ReplyDeleteඒ ගමන පොත උස්සාගෙන ගෙදර ගිහින් විශ්‍රාමයට සූදානම් වෙන අපේ නොට් සෝ පෝසත් - නොට් සෝ දුප්පත් ඩැඩ්ට කියවන්නට දුන්නේ විශ්‍රාමයෙන් පස්සේ එයා බිසිනොස් එකක් පටන් ගන්නට යනවා යැයි කියමින් උන්න නිසාත්, තාත්තාගේ මහා දාන පාරමිතාව ගැන දන්නා අපේ පවුලේ සියල්ලෝම සාමුහිකව මේ තීරණය ගැන මහත් භ්‍රාන්තියකින් පෙලුන නිසාත්.
අපේ තාත්තා ඒ පොතේ ඇති නොගැලපෙන තැන් සහ "මේ යකා මහ අමානුෂික කතා කියල තියෙන්නෙ, මේ බලන්න මෙතන, මේ මෙතැන" කියමින් පොතත් කියෙව්වා. හැබැයි අන්තිමේ විය යුතු පරිදිම බිසිනොස් එක නිසාම විශ්‍රාම පාරිතෝෂිකයෙන් ලොකු කොටසකටත් කෙලවා ගත්තා. හැබැයි ඒ ඔහු දුප්පතෙක් නිසා නෙමෙයි. දැන් ආපහු හැරී බලද්දි මට පේන දෙයක් තමයි, කියොසාකිගේ දුප්පත් තාත්තත්, මගේ තාත්තත් එක් අතකින් බලද්දි පොහොසතුන් බව. ඒ වගේම කියොසාකි ආඩම්බරෙන් කතා කරන ඔහුගේ රිච් ඩැඩා, තරමක දුප්පතෙක් බව.
හැබැයි. අර රැට් රේස් එක ගැන, මගේ ළමයින්ට මම අනිවාර්යයෙන්ම උගන්වනවා. ඒ කියොසාකිගේ පෝසත් ඩැඩා තරම් පටු විදියට නොවෙයි. මගේ දුප්පත් ඩැඩාගෙන් ලැබුන මානුෂීයත්වය, සෞන්දර්‍යය, ආගමානුකූල චින්තනය ආදී සයිඩ් ඩිෂස් එක්ක.
ලියන්නා කෙසේ ලීවත් කියවන්නා කියවන්නේ තමන්ට ඕනෑ පොතනේ...
Delete//දරුවන්ට කුඩා කාලයේදීම මූල්‍ය සාක්ෂරතාව ලබා දීමේ වැදගත්කම // වැදගත්කම කියලා නිම කරන්න බෑ..
ReplyDeleteමගෙත් මුල්‍ය සාක්ෂරතාවය හොඳටම මදි. එකම දේ මගේ මුල්‍ය විනය හොඳයි.. ඒකෙන් යන්තම් ගැට ගහගන්නවා කියුවොත් හරි.
කමීගේ විනය ඉතිං නරක වෙන්න විදිහක් නෑනේ.
Delete