වෙබ් ලිපිනය:

Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Monday, July 28, 2025

ක්‍රිස්ගෙන් එදා ඇසූ ප්‍රශ්නය


රාජ්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දවස් වල වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන මාතෘකාවක් නිසාත්, මේ මාතෘකාව කාලයක් තිස්සේ මෙහි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙන මාතෘකාවක් නිසාත් ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොදවමු. ලංකාවේ ඊනියා නිදහස් අධ්‍යාපනය හා අදාළව පසුගිය වසර ගණනාවක් තිස්සේ හිතාමතාම කතා කිරීම මග හැර සිටි පැත්තක් ගැන දැන් කතා කළාට ප්‍රශ්නයක් නැහැ කියා හිතනවා. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

සමහර විට ඔය වගේ ප්‍රශ්නයක් කවදාවත් කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නැති වෙන්න පුළුවන්. කවුරු හරි කාගෙන් හෝ ඇහුවා වෙන්නත් පුළුවන්. 

ඔය ප්‍රශ්නය හා අදාළ වාද විවාද ගොඩක් තැන් වල මම දැකලා තිබෙනවා. ඒ වාද විවාද වලට සහභාගී වෙන පාර්ශ්ව දෙකේම එක් පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ මේ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීම. වාදය සිදු වෙන්නේ ඔය වැරදි ප්‍රශ්නය ඇත්තටම ඔය විදිහට ඇහුවද නැද්ද කියන කාරණය සම්බන්ධවයි. මේ ප්‍රශ්නය ඇත්තටම අහපු එකක් වුනත්, කවුරුවත් අහපු නැති එකක් වුනත්, ප්‍රශ්නයේ පැත්ත වෙනුවෙන් කවුරුවත් පෙනී සිටිනවා මම දැකලා නැහැ. 

ප්‍රශ්නය අසනු ලැබූ හෝ අසනු ලැබූයේයැයි දැන් කියවෙන අවස්ථාවේදී වගේම ඉන් පසු කාලය හා අදාළව වුවත් මේ ප්‍රශ්නය ඇසිය යුතු ප්‍රශ්නයක්. කොයි තරම් යහපත් අරමුණකින් සිදු කරන මැදිහත් වීමක වුනත් හානි තිබෙනවා. ඒ නිසා, ඒ හානි ලැබෙන වාසි එක්ක කිරා මැන බැලීම ඉතාම වැදගත් දෙයක්. හානි අමතක කරලා වාසි පැත්ත ගැන විතරක් කතා කරන්න බැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) ගැන කතා කරද්දී තනිකරම මෙන් අවධානය යොමු වෙන්නේ වාසි පැත්තට පමණයි. 

ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවා. ඒ දෙපැත්තෙන් අපි කැමති, ඒ නිසාම අපි හිටගන්න පැත්තක් තිබෙනවා. නමුත් ඒ පැත්ත දිහා විතරක් බලද්දී ලොකු චිත්‍රයේ කොටසක් මග හැරෙනවා. ඉහත ප්‍රශ්නය කවුරු හෝ විසින් ඇහුවත් නැතත්, නිදහස් අධ්‍යාපනය නිසා ඇත්තටම ගම් වල පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වුනේ නැද්ද? 

ගමේ පොල් කඩ කඩ සිටිය හැකිව තිබුණු කෙනෙක් දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වී තිබේනම් ඔය ප්‍රශ්නයේ කතා කරන්න තරම් දෙයක් නැහැ කියා ගොඩක් අයට හිතෙනවා වෙන්න පුළුවන්. තනි පුද්ගල මට්ටමෙන් ප්‍රශ්නය දිහා බැලුවොත් ඒක එහෙමයි. නමුත් රටක් විදිහට බැලුවොත් ඒක එහෙමම නැහැ. නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) රටක් විදිහට බැලුවොත් ලංකාවේ වත්මන් සමාජ හා ආර්ථික ප්‍රශ්න ගණනාවකටද හේතු වී තිබෙනවා. 

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටින අයෙකු වුවත් මේ තත්ත්වයන් තේරුම් ගත යුතුයි. හානි අවම කර ගත හැක්කේ හානි හඳුනා ගන්නේනම් පමණයි. සමහර විට මුල් අවස්ථාවේදීම මේ තත්ත්වයන් හඳුනාගත් අය සිටියා වෙන්න පුළුවන්. එවැනි කෙනෙකු වුවත් ඉහත ආකාරයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

දැන් නිදහස් වෙළඳපොළ ගැන වාචිකව වගේම ප්‍රායෝගිකවත් රටේ ජනතාවට පැහැදිලි කරන සමහර අයට ඒ දේවල්ම කියපු අය "රනිල්ගේ කුක්කන්" වී සිටි වසරකට වඩා නුදුරු අතීතයේදී  කුමක් හෝ වෙළඳපොළ හිතවාදී අදහසක් ඉදිරිපත්  කළ අයෙකුගෙන් පෙරළා අසනු ලැබූ ප්‍රචලිත ප්‍රශ්නයක් වූයේ මෙවැන්නක්.

"ඔය කියන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කරලා ඒවාත් සල්ලි තියෙන අයට පමණක් සීමා කරන්න කියන එකද?"

ඒ කාලයේදී තමන් දක්ෂිණාංශික කඳවුරේ සිටින්නෙකු සේ හඳුනාගත් අය අතරින්ද කිසිවෙකු හෝ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කළ යුතුයි කියා කිවුවේ නැහැ. එසේ කියන අය දැනට වුනත් දකින්න නැහැ. එවැනි අය බොහෝ විට පෙනී සිටියේ මුදල් ඇති අයට මුදල් ගෙවා මෙම සේවාවන් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙනුයි. 

නමුත් ලෝක මට්ටමට ගියොත් අධ්‍යාපනය හා සෞඛ්‍යය සෞඛ්‍යය වුවද රජය මැදිහත් වී සුබසාධනය නොකළ යුතුයි කියන දෘෂ්ඨිවාදයේ නැගී සිටීමක් පැහැදිලිව දකින්න පුළුවන්. කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති පූර්ණ ධනවාදී ක්‍රමයක් යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය රජය මැදිහත් වී සුබසාධනය කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ නැහැ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වාමාංශික අදහසක් මිසක් දක්ෂිණාංශික අදහසක් නෙමෙයි. 

මේ වෙද්දී මේ අන්තවාදී ධනවාදය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසක් ලංකාවේත් ඉන්නවා. ඔවුන් මුදල් ක්‍රමය තුළ පවතින මහ බැංකු ඒකාධිකාරයට පවා එරෙහිව කතා කරන නමුත් නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට එරෙහිව වචනයක්වත් කතා කර ඇති බවක් මා දැක නැහැ. හේතුව පැහැදිලියි. ගුටිකන්න වෙන වැඩ වලට කවුරුවත් කැමති නැහැ!

මා දන්නා තරමින් ලෝකයේ හැම රටකම මෙන් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. වෙළඳපොළ මත සියල්ල තීරණය වන පූර්ණ ධනවාදී රටවල් ලෝකයේ කොහේවත් නැහැ. සෛද්ධාන්තිකව එවැනි ක්‍රමයක් ඇති වුවහොත් ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ යාම නිසා සමාජයේ පහළ ස්ථර මත ඇති වන පීඩනය පුපුරා ගොස් එම ක්‍රමය බිඳ වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. (නමුත් ස්වයංකරණය හා කෘතීම බුද්ධිය ආදිය නිසා අනාගතයේදී මේ තත්ත්වය වෙනස් විය හැකියි)

ධනවාදී රටවල් සේ සැලකෙන රටවල් වල සමාජ දේශපාලන අර්බුද වලට නොගොස් කාලයක් තිස්සේ ස්ථාවරව පවතින්නේ එම රටවල පවතින ද්විපක්ෂ ක්‍රමය තුළ ධනවාදය නියාමනය වන නිසා. ධනවාදය සම්පත් ජනනය පිළිබඳව වග බලා ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදය විසින් එසේ ජනනය වන සම්පත් බෙදී යාම නියාමනය කරමින් සමාජ සාධාරණත්වය පවත්වා ගැනීම පිළිබඳව වග බලා ගන්නවා. ධනවාදී රටක දේශපාලන ආස්ථානාවලිය තුළ  ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය නියෝජනය කරන්නේ වාමාංශයයි. 

කොයි තරම් ප්‍රතිතර්ක ගෙන හැර පෙන්වන්නට උත්සාහ කළ හැකි වුවද නියාමනය නොවන ධනවාදී ක්‍රමයක් තුළ සියලු මිනිසුන් සමාන වන්නේ නැහැ. පුද්ගලයෙකු සතු ප්‍රාග්ධනය වැඩි වන තරමට එම පුද්ගලයා සතු තීරණ ගැනීමේ (දේශපාලන) බලයද වැඩියි. 

සමාගමක කොටස්හිමියන් විසින් සාමූහික තීරණ ගැනීමේදී එක් කොටස්හිමියෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේ එම පුද්ගලයාට අයිති කොටස් ප්‍රමාණය මතයි. ඒ අනුව සියලු කොටස් වලට සමාන දේශපාලන බලයක් හිමි වෙතත්, සියලු කොටස්හිමියන්ට සමාන දේශපාලන බලයක් හිමිවන්නේ වන්නේ නැහැ. ධනවාදයේ අප්‍රකාශිත නීතිය වන්නේද මෙයයි. සමාජය කෙරෙහි යමෙකු සතු බලය අවසාන වශයෙන් තීරණය කරන්නේ එම පුද්ගලයා සතු ප්‍රාග්ධනයයි.

ඉහත මූලධර්මය හා අදාළව ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය හාත්පසින්ම වෙනස් එකක්. ඒ අනුව, සියලුම "කොටස්හිමියන්" සමාන පුද්ගලයින් සේ සැලකෙනවා. ඒ අනුව, කිසියම් රාජ්‍ය මැදිහත්වීමක් මගින් සියලු "කොටස්හිමියන්ගේ" පොදු යහපත සැලසේනම් එය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සිදු වන වත්කම් විතැන් වීම රටේ සමස්ත ධනොත්පාදනය කෙරෙහි අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. ආර්ථික කාර්යක්ෂමතාව පමණක් සලකන්නේනම් රටේ ධනය සීමිත පිරිසක් අතේ රැඳී තිබීම වඩා කාර්යක්ෂමයි. 

ලංකාවේ ගොඩක් අයට අනුව නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ඔවුන්ට ලැබුණු අත්තටු. මෙය කියවන වැඩි දෙනෙකු මගේ පරම්පරාවේ සහ ඊට පහළ පරම්පරාවේ අයයි. මගේ පරම්පරාවට ඉහළ පරම්පරාවේ අයද සුළු පිරිසක් ඇති. මේ පරම්පරා තුන නිදහස් අධ්‍යාපනයේ පළමු, දෙවන හා තුන්වන පරම්පරා සේ හැඳින්විය හැකියි. 

ඉහත පරම්පරා තුනෙන් තෙවන පරම්පරාව ලොකු මහත් වෙද්දී නිදහස් අධ්‍යාපනයට විකල්ප තිබුණත්, මගේ පරම්පරාව සතුව තිබුණු එකම විකල්පය නිදහස් අධ්‍යාපනය සැලකිය සේ සැලකිය හැකියි. ඒ නිසාම, මේ අත්තටු කතාව කියන ගොඩක් අය මගේ පරම්පරාවේ අයයි. 

නිදහස් අධ්‍යාපනයේ උදවුවෙන් ඉහළට පැමිණි අප බොහෝ දෙනෙකුට "පෙනෙන" තත්ත්වය වන්නේ නිදහස් අධ්‍යාපනය නොවන්නට අප දැන් සිටින තැන් වල නොමැති බවයි. එහිදී අප විසින් චිත්‍රණය කරගන්නේ ලෝකයේ අනෙකුත් හැම දෙයක්ම එලෙසම නොවෙනස්ව තිබියදී "මට පමණක් නිදහස් අධ්‍යාපනය නොලැබුණේනම්" සිදු විය හැකිව තිබුණු දෙයයි. එවැන්නක් වීනම්, අනිවාර්යයෙන්ම, අපට මේ අත්තටු ලැබෙන්නේ නැහැ. 

නමුත් අප බොහෝ දෙනෙකු විසින් මානසිකව සිදු කරන මේ සංසන්දනය වැරදි සංසන්දනයක්. නිදහස් අධ්‍යාපනයක් නොපැවතියේනම් ලෝකය (ලංකාව) පවතිනු ඇත්තේ අප දැන් දකින ආකාරයෙන්ම නෙමෙයි. ක්ෂුද්‍ර ආර්ථිකය දෙස බලන ආකාරයෙන්ම සාර්ව ආර්ථිකය දෙස බැලිය නොහැකියි. තනි පුද්ගල ක්‍රියාකාරකම් නිසා රටකට සිදු වන බලපෑම එම තනි පුද්ගල ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්තයට සමාන නැහැ. 

ඔව්. නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පොල් ගෙඩියක් කඩා ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රමාණවත් ශ්‍රමයක් ගම් වල ඉතිරි වෙනවා. මෙයින් සංකේතවත් වන කාරණය ගත්තොත්, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව පැවති තත්ත්වයට සාපේක්ෂව, අඩු අධ්‍යාපනයක් සහිත සැලකිය යුතු ශ්‍රම බලකායක් රටේ ඉතිරි වෙනවා. ඒ නිසාම, එම ශ්‍රමය යොදා ගෙන කළ හැකි ආයෝජනද වැඩි වැඩියෙන් සිදු වී දැන් සිටිනවාට වඩා වැඩි ප්‍රාග්ධනහිමියන් පිරිසක් රටේ බිහි වෙනවා. රටේ සමස්ත ප්‍රාග්ධනයද ඉහළ යනවා. මාක්ස්වාදී අර්ථයකින් මෙය සිදු වන්නේ "ශ්‍රමය සූරාකෑම" සඳහා ප්‍රාග්ධනහිමියන්ට වැඩි අවස්ථා ලැබෙන නිසා කියන්න පුළුවන්. 

දහනවවන සියවසේ දෙවන අර්ධයේදී සහ විසිවන සියවසේ මුල් දශක වල ලංකාවේ අලුත් ධනවතුන් විශාල ලෙස බිහි වී තිබෙනවා. ඒ අතර, ඉතාම පහළ මට්ටමක සිට ඉහළට ගිය අයත් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය නිසා අත්තටු ලැබූ අය නෙමෙයි. ඇතැම් විට කිසිදු අධ්‍යාපනයක් නොලැබූ අය. (මෙය අධ්‍යාපනය අවතක්සේරු කිරීමක් නෙමෙයි.)

මේ ආකාරයෙන් රටේ තිබෙන ප්‍රයෝජනයට නොගත් ශ්‍රම සම්පතෙහි වාසිය ලබා ගනිමින් කිසියම් පිරිසක් ප්‍රාග්ධනය එක්රැස් කර ගනිද්දී, එම ප්‍රාග්ධනය නැවත නැවත ආයෝජනය වීම නිසා රටේ රැකියා අවස්ථා ඉහළ යනවා. විදේශ ආයෝජන සඳහා වූ බාධාවන් නොවීනම් මෙය තවත් වේගයෙන් සිදු වෙනවා. ඒ නැතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව රට තුළ වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා.

ඔය විදිහට පෞද්ගලික අංශය මුල් වී සිදු කරන ආයෝජන නිසා රට තුළ වැඩි වැඩියෙන් රැකියා ජනනය වීනම්, යම් අවස්ථාවකදී ප්‍රාග්ධනහිමියන්ට අවශ්‍ය පමණ ශ්‍රමය රට තුළින් හොයාගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රමයේ මිල ඉහළ යනවා. මුල් කාලයේදී ශ්‍රමය "සූරාකෑමක්" සිදු වුනා කියා කාට හෝ කියන්න පුළුවන්කමක් තිබුණානම්, ඒ විදිහට ශ්‍රමය "සූරාකෑමේ" ප්‍රතිඵලයක් විදිහටම වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වී වැඩි වැඩියෙන් රැකියා බිහි වීම නිසා ඒ තත්ත්වය නිශේධනය වෙනවා. ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහටයි. 

නිදහස් අධ්‍යාපනයක් නොතිබුණු විකල්ප ඉතිහාසයක් තුළ ඔය විදිහට රැකියා ඉහළ ගිහින් ශ්‍රමය සීමාකාරී සාධකයක් වුනාට පස්සේ විදේශ ආයෝජකයෙක් සමහර විට තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් රටකට විතැන් කරගන්න පුළුවන්. නමුත් එහෙම වුනත් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ ඒ වෙනුවට දේශීය ප්‍රාග්ධනහිමියෙක් ආදේශ වෙන එකයි. කාලයක් මෙසේ සිදු වුනත්, යම් අවස්ථාවකදී මුල් කාලයේ සිදු කළ මූලික ශ්‍රමය යොදා සිදු කරන නිෂ්පාදන වලින් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.

ඉහත සීමාවට ආවාට පස්සේ රටේ බිහිවී ඉන්න ප්‍රාග්ධනහිමියන්ට වඩා ඵලදායී ආයෝජන වෙත මාරු වෙන්න සිදු වෙනවා. උදාහරණයක් විදිහට පොල් වතුහිමියෙක් පොල් කර්මාන්තයෙන් යොදවා උපයාගත් අතිරික්ත ප්‍රාග්ධනය යොදවා කිසියම් කාර්මික නිෂ්පාදනයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ වැඩකට ගම් වල ඉන්න පොල් කඩන්න පුළුවන් මිනිස්සුන්ගේ ශ්‍රමය ප්‍රමාණවත් නැහැ. කිසියම් ආකාරයක පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි පුහුණු ශ්‍රමයක් රටේ නැත්නම් මොකද කරන්නේ?

රටේ ප්‍රාග්ධනහිමියන් සිටිනවානම්, ඔවුන්ගේ ලාබ ලැබීමේ අධිෂ්ඨානය ප්‍රබලනම්, මේ වගේ හේතුවක් නිසා ඔවුන් පසුබට වෙන්නේ නැහැ. අවශ්‍ය පුහුණුව වෙනුවෙන් ඔවුන් ආයෝජනය කරනවා. ඒ එක්කම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද යම් ආකාරයකින් ශ්‍රමිකයින්ට හිමිවෙනවා. අද වුනත්, කොයි තරම් උපාධි ලබා තිබුණත්, බොහොමයක් රැකියා සඳහා අවශ්‍ය වන නිශ්චිත කුසලතා ශ්‍රමිකයින්ට ලබා දීම සඳහා ආයෝජනය කරන්නේ ආයතනහිමියන් විසින්. 

නිදහස් සෞඛ්‍යයක් නොතිබුණානම් වෙන්නෙත් ඔය වගේ දෙයක්. ආයතනයකට අවශ්‍ය වන්නේ නිරෝගී සේවකයින්. තමන්ගේ ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කරන එක ප්‍රාග්ධනහිමියෙකුට අවාසිදායක දෙයක් නෙමෙයි. රජය මැදිහත් වී ඒ ආයෝජනය කරනවානම් ඔවුන්ට මේ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් ඔවුන් අතින් මේ වැඩේ වෙනවා. ගොඩක් තේ වතු වල වතු දොස්තරලා සිටීම උදාහරණයක්. 

වසර විස්සකට පමණ පෙර මමත් පැත්තක හිටපු එක් රැස්වීමකට ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ආයතන ගණනාවක සභාපතිවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වුනා. එහිදී රාජ්‍ය අංශයෙන් ඉදිරිපත් වූ එක් යෝජනාවක් වුනේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීමෙන් පසු එහි වියදම සඳහන් බිල්පතක් ලබා දිය යුතු බවයි. මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් අදහස් වුනේ නැහැ. "ඔබට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙපමණ මුදලක් වැය කර ඇත" කියා දැනුම්දීමක් කරන එකයි අදහස් කළේ. තරමක් දුරට අපේ ප්‍රාන්ත රජය බදු ආදායම වියදම් කරන විදිහ දැනුම් දීමට සමාන දෙයක්. සමහර විට මේ අදහස පෞද්ගලික අංශයේ පැසසුමට ලක් වෙයි කියා හිතුවා වෙන්න පුළුවන්.

ඉහත අවස්ථාවේදී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් එහි සිටි පෞද්ගලික අංශයේ ලොක්කන් සියලු දෙනාම එක හෙළා පෙනී සිටිමින් අදහස් දැක්වුවා. මෙය එහි සිටි රාජ්‍ය අංශයේ නිලධාරීන් විසින් අපේක්ෂා නොකළ දෙයක් කියා මා සිතනවා. ඔවුන් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නොවන්නට එම වියදමද ඔවුන්ට සේවක වැටුප් වලට එකතු කරන්නට සිදු වන බවයි. වෙනත් විදිහකින් කියනවානම් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා ඇත්තටම ඔවුන්ට සිදු වන්නේ වාසියක් බවයි. 

විකල්ප ඉතිහාසයට නැවත ගියොත්, කිසියම් ආයතනයකට ඔවුන්ගේ ශ්‍රමිකයින්ව පුහුණු කළ හැකි වුවත්, එය කරන්නත් යම් මූලික අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. එම මූලික අධ්‍යාපනය එක් එක් ආයතනය විසින් වෙන වෙනම ලබා දෙන එක කාර්යක්ෂම නැහැ. රටේ ආර්ථිකය විසින් මෙවැනි මූලික පොදු අධ්‍යාපනයක් ඉල්ලා සිටින තත්ත්වයට ආවට පස්සේ කොහොමටත් එය කරන්නට සිදු වෙනවා. මෙහිදී ඉල්ලීම එන්නේ රටේ ප්‍රාග්ධනහිමියන්ගේම පැත්තෙන්. ඒ නිසා, බදු මගින් පිරිවැය ආවරණය කර ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වෙද්දී, ශ්‍රම බලකාය සඳහා අවශ්‍ය වන මූලික පුහුණුවේ මට්ටමත් එන්න එන්නම ඉහළ යනවා. එවිට රජය මුල් වී ලබා දෙන පොදු අධ්‍යාපනය සඳහා දේශපාලන තෙරපුමද ඉහළ යනවා. මේ තෙරපුම එන්නේ ප්‍රාග්ධනය පැත්තෙන්මයි. ඒ නිසා, මෙයට සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සියල්ලන්ටම තිබෙන අයිතිය වගේ සංකල්ප අදාළ හෝ අවශ්‍ය වන්නේ නැහැ. අධ්‍යාපනයේ අරමුණ වන්නේම රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කිරීම නිසා ඔය දෙක අතර තුලනය දිගටම තියෙනවා. ඉගෙනගත් කෙනෙකුට රැකියාවක් නැති වෙන්නේ නැහැ. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් අවස්ථාවේදී එය නොකළත් යම් කාලයකට පසුව එය සිදු වෙනවා. ඒ නිසා, නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් අපි දැන් ඉන්න තැන නෑ කියා හිතන එක සිදු නොවිය හැකිව තිබුණු තත්ත්වයක් හිතින් මවා ගෙන කරන සංසන්දනයක්. හැබැයි එය මේ විකල්ප ක්‍රමයට සිදු වුනානම් එය සිදු වන්නේ වඩා ප්‍රශස්ත ආකාරයකටයි. එහෙම වුනානම් රටට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඒ විදිහටම ඇති වන්නේ නැහැ. රටට ප්‍රමාණවත් ප්‍රාග්ධන සංචිතයක් නොමැති වීමේ ඉඳලා සංක්‍රමණ ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ගණනාවකට හේතු වී තිබෙන කරුණු අතර ඕනෑවට වඩා කලින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයද එක් හේතුවක්. 

කෙටිකාලීනව හා මැදිකාලීනව ප්‍රශ්න වලට පිළියමක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් කියා කියන්නේත් ඇත්තටම දිගුකාලීනව රටට ප්‍රශ්නයක්. රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොහැදෙන්න සහ අපනයන තරඟකාරිත්වය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ. මේ ගැන පෙර ලිපියක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ මත යැපෙන්න සිදු වී තිබෙන්නේ රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැති නිසා. රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැත්තේ ප්‍රමාණවත් ප්‍රාග්ධන ආයෝජන කළ හැකි ප්‍රාග්ධනහිමියෝ රටේ නැති නිසා. එවැන්නන් රටේ නැති වීමට නිදහස් අධ්‍යාපනය හේතුවෙන් පොල් කඩන්නවත් කෙනෙක් ගම් වල නැති වීමත් හේතුවක්. සමාජ සාධාරණත්වය වෙනම කරුණක්. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ අරමුණ වුනේ සමාජ සාධාරණත්වය වැනි දෙයක් මිසක් රැකියා වෙළඳපොළ අවශ්‍යතාවය කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි පාලනයේ ඊට පෙර කාලයේදී අධ්‍යාපනය ලබාදීම සහ රැකියා වෙළඳපොළ අවශ්‍යතා සැපිරීම එකට ගියා. පල්ලි හා පන්සල් වෙනත් අරමුණු වලින් අධ්‍යාපනය ලබා දුන්නා. එහෙත් එය වෙනත් අයට බරක් වුනේ නැහැ. 

නිදහස් අධ්‍යාපනය නිසා වුනේ කකුල් දෙකට කලින් සපත්තු දෙක යනවා වගේ වැඩක්. අධ්‍යාපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම සෝවියට් දේශයේ පැවති ආකාරයේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට ගැලපෙනවා. එවැනි ක්‍රමයක් තුළ එක් පැත්තකින් විවිධ රැකියා අතර ආදායම් විෂමතා අඩුයි. අනෙක් පැත්තෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීම මධ්‍යගතව සිදු වන නිසා රැකියා සැපයීමද මධ්‍යගත සැලසුමේම කොටසක්. ඒ නිසා, මධ්‍යගත සැලසුම ඇතුළේම, අධ්‍යපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම ලොකු අවුලකට හේතු වෙන්නේ නැහැ. රැකියා අවශ්‍යතා එක්ක එකට යන විදිහට අධ්‍යපනය මධ්‍යගතව සැලසුම් කරන්න පුළුවන්.

ලංකාවේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුමක් තිබුණේ නැහැ. ඒ නිසා, අධ්‍යාපනය මධ්‍යගත ලෙස සැලසුම් වෙද්දී විරැකියාව ප්‍රශ්නයක් වෙලා අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවය පුරවන්න සිදු වුනා. මේ ප්‍රශ්නය මෑතක් වන තුරුම තිබුණු ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඔය මට්ටමෙන් හෝ විසඳී තිබෙන්නේ රැකියා සඳහා විදේශගත වීම් සහ සංක්‍රමණය නිසා. කාලයක් සිවිල්  යුද්ධයත් ප්‍රශ්නයට විසඳුමක් වෙලා තිබුණා. දකුණේ කැරළි දෙක නිසාත් ප්‍රශ්නයේ බර යම් තරමකින් අඩු වුනා.

සමහර සමාජ ප්‍රශ්න හෝ බැලූ බැල්මටම පෙනෙන විකෘති වලටත් නිදහස් අධ්‍යාපනය හේතු වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් වෛද්‍යවරයෙකු වෙන්නේ සැලකිය යුතු ධනයක් තිබෙන පවුලක කෙනෙක් පමණයි. එවැන්නෙක් වෛද්‍යවරයෙක් වී මුලින්ම රැකියාව පටන් ගනිද්දී වෛද්‍යශාලාවක් දමාගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. වාහනයක් ගන්න සල්ලි තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට වෛද්‍යවරයෙකුගේ දරුවෙකුම වෛද්‍යවරයෙකු වී පියාගේ රැකියාව දිගටම කරගෙන යයි. දන්ත වෛද්‍ය (දන්ත කාර්මික) රැකියාව කාලයක් සිදු වුනේ ඔය විදිහට. මේ තත්ත්වය දැනටත් ඇමරිකාවේ එතරම් දුලබ නැහැ.

ඉංජිනේරු රැකියාවක් වගේ දෙයක් ගැන හිතමු. අඩු ආදායම්ලාභී පවුලක දරුවෙකුට අධ්‍යාපනය හරහා ඉහළ නැගීම කළ නොහැක්කක්නම්, ඉංජිනේරු අධ්‍යාපනය තෝරා ගන්නේ ඒ සඳහා විශේෂ කැමැත්තක් තිබෙන අයෙකු පමණයි. එවැන්නෙකු අධ්‍යපනය නිම කිරීමෙන් පසුව කිසියම් ව්‍යවසායයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. ඒ නිසා, රැකියා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වෙන්නේ රැකියා කිහිපයක් අලුතෙන්ම හැදෙන එකයි. ඒ හරහා එම අධ්‍යාපනය ලබා නොමැති අඩු ආදායම්ලාභීන්ටද අවස්ථාවක් ලැබෙනවා.

වෛද්‍ය අධ්‍යපනය මෙන් ලංකාවේ නීති අධ්‍යාපනය විශ්ව විද්‍යාල පද්ධතිය තුළට අවශෝෂණය කර ගැනුනේ නැහැ. ඒ නිසාම, නිල බාධාවක් නැතිවම, කාලයක් ලංකාවේ නීති වෘත්තීය සීමිත කවයකට සීමා වී තිබුණා. නීතිඥයින්ගේම දරුවන් බොහෝ විට නීතිඥයින් වී පියාගේ රැකියාව කරගෙන ගියා. ඔවුන්ට රැකියාව ඇරඹීම සඳහා මූලික ප්‍රාග්ධනය ප්‍රශ්නයක් වූයේ නැහැ. නීතිඥයින්ට රැකියා සැපයීමේ බර රජය මත පැටවුනේද නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා සිදු වූ වෙනස්කම් නොවන්නට වෛද්‍ය වැනි අනෙකුත් රැකියා හා අදාළව පැවතිය හැකිව තිබුණේද මෙවැනිම තත්ත්වයක්. 

නිදහස් අධ්‍යාපනය සාධාරණීකරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද මේ ලිපිය තුළම තිබෙනවා. ඒ පැත්ත ගැන ඕනෑ තරම් කතා කෙරී තිබෙන නිසා මම ඒ ගැන බර තබන්නේ නැහැ. මෙහි උත්සාහ කළේ වැඩිපුර නොදකින පැත්ත පෙන්වා දීමටයි.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පරම්පරා තුනක් තුළ පොල් කැඩූ අයෙකුගේ දරුවෙකු ගුරුවරයෙකු වී ඒ  ගුරුවරයාගේ දරුවා වෛද්‍යවරයෙකු වෙන එකක් නැහැ. ඒ අර්ථයෙන් බලද්දී, පෞද්ගලිකව  බොහෝ දෙනෙකුගේ දෘෂ්ඨි කෝණ වලින්, නිදහස් අධ්‍යපනය කියන්නේ අපට ලැබුණු අත්තටු කියා හිතන එක හරි. නමුත් රටේ පැත්තෙන් බලනවානම් මෙය ලංකාවට සිදු වූ හොඳම දෙයක් කියා අනිවාර්යයෙන් කියන්න බැහැ. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

මේ ප්‍රශ්නය එදා කවුරු හෝ විසින් ඇහුවානම් එය එවකට සමාජ ධුරාවලියේ පහළම සිටි අය ඉහළට පැමිණීම වැළැක්වීමේ පටු අරමුණින් ඇසූ ප්‍රශ්නයක් නොවන්න පුළුවන්. රටේ අනාගතය ගැන පුළුල් දැක්මක් තිබුණු දූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදකයෙකුට මේ වගේ ප්‍රශ්නයක් අහන්න වලංගු හා සාධාරණ හේතු තිබෙනවා.

කවුරු ඉදිරිපත් කළත්, නිදහස් අධ්‍යාපන යෝජනාව කියා කියන්නේ වාමාංශික දේශපාලනයේ කොටසක්. ක්‍රිස්ගෙන් අහපු ප්‍රශ්නය ඇතුළේ තියෙන්නේ දක්ෂිණාංශික දේශපාලනය. සමාජ සාධාරණත්වයට ඉහළින් සමස්තයක් ලෙස රට ගැන හිතපු කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 

Saturday, July 26, 2025

ඇමරිකාවේ අධ්‍යාපනය සුබසාධනය වන හැටි...


ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.

ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්. 

නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.

අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්. 

මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.

පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)

සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)

උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)

රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)

අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)

ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)

මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)

පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)

යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)

මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි. 

වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා. 

මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්. 

ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්. 

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.

අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.

ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි. 

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්. 

උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා. 

මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්. 

Thursday, November 28, 2024

උසස්පෙළ ප්‍රශ්නයක්!


"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,

(1) මුදල් අච්චු ගැසීමෙනි 

(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.

(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.

(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි 

(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."

මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).

"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.

වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.

කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි. 

මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).

නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.

"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතුය."

මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.

Saturday, July 13, 2024

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන්


ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ "ඇමරිකාවේ" කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා.

ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම පොදු ආකෘතිය මූලික, මධ්‍යම හා උසස් පාසැල් ආකෘතිය. උසස් පාසැලක් කියන්නේ 9-12 ශ්‍රේණි හතර. මේ අවුරුදු හතර සම්පූර්ණ කළාම උසස් පාසැල් ඩිප්ලෝමාවක් ගන්න පුළුවන්.

උසස් පාසැල් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරනවා කියන්නේ අවශ්‍ය විෂයයන් හදාරා අවසන් කරන එක. ඒ හැර ලංකාවේ වගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි පොදු විභාග වලට මුහුණ දීමක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ වගේ විද්‍යා, කලා, වාණිජ ආදී විෂය ධාරා අනුව සිසුන් බෙදීමක් වෙන්නෙත් නැහැ.

උසස් පාසැල් ඩිප්ලෝමාව නොකියා උසස් පාසැල් ඩිප්ලෝමාවක් කිවුවේ එවැනි ඩිප්ලෝමා ගණනාවක් තිබෙන නිසා. තමන් සම්පූර්ණ කරන්නේ කොයි ඩිප්ලෝමාවද කියන එක සිසුන්ගේ තේරීමක්. අපේ ප්‍රාන්තයේ අවම, එහෙමත් නැත්නම් පහළම මට්ටමේ, උසස් පාසැල් ඩිප්ලෝමාව Core 40 කියන එක. අනෙක් උසස් පාසැල් ඩිප්ලෝමා සියල්ලම ඊට වඩා වැඩි අවශ්‍යතා ප්‍රමාණයක් සම්පූර්ණ කර ලබා ගත යුතු ඒවා.

මෙහි Core 40 කියන එකේ Core කියන එකේ තියෙන්නේ මූලික වගේ තේරුමක්නේ. 40 කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රෙඩිට් පැය 40ක් සම්පූර්ණ කළ යුතු බව. ක්‍රෙඩිට් පැයක් කියන එකෙන් අදහස් වන්නේ (උසස් පාසැල් මට්ටමේදී) එක දිගට වාරයක් පුරා විෂයයක් හදාරා අවසන් කිරීම. 

ග්‍රීෂ්ම සෘතුව අත හැරියොත් අවුරුද්දකට පාසැල් වාර දෙකයිනේ. එතකොට අවුරුදු හතරට වාර අටක්. එක වාරයකදී විෂයයන් පහ බැගින් සම්පූර්ණ කළොත් පහසුවෙන්ම ඔය ඩිප්ලෝමාව ගන්න පුළුවන්. 

හැබැයි වාරයක් තුළ විෂයන් හයක් හෝ හතක් ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. ඒ වගේම, අවශ්‍යනම් ග්‍රීෂ්ම සෘතුවේදීත් විෂයයන් කිහිපයක් හදාරන්න පුළුවන්. ඊටත් අමතරව, දක්ෂ සිසුවෙකුට හතේ අටේ පන්ති වලදීම උසස් පාසැල් විෂයයන් හදාරා සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා, ගොඩක් සිසුන් ඔය ක්‍රෙඩිට් පැය 40 සීමාවෙන් එහාට ගිහින් වඩා ඉහළ මට්ටමක උසස් පාසැල් ඩිප්ලෝමාවක් ලබා ගන්නවා.

උදාහරණයක් විදිහට අවම වශයෙන් ක්‍රෙඩිට් පැය 47ක් සම්පූර්ණ කරලා ගෞරව සම්මාන සහිත Core 40 ඩිප්ලෝමාවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණික ගෞරව සම්මාන එක්ක  Core 40 ඩිප්ලෝමාව ලබා ගන්න පුළුවන්. තවත් එහාට යන්නත් පුළුවන්. 

ඔය විදිහේ වැඩිමනත් දේවල් තිබුණත්, අවම අවශ්‍යතාවය Core 40 ඩිප්ලෝමාව සම්පූර්ණ කරන එකනේ. පහත තියෙන්නේ ඒ සඳහා අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු විෂයයන්.

ඉංග්‍රීසි භාෂා විෂයයන් ක්‍රෙඩිට් පැය අටක් - මෙයට සාහිත්‍යය, රචනය, කථනය විෂයයන් සංකලනයක් ඇතුළත් විය යුතුයි.

ගණිත විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට වීජ ගණිතය ක්‍රෙඩිට් පැය හතරක් සහ ජ්‍යාමිතිය ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත්.

විද්‍යා විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ජීව විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් සහ භෞතික විද්‍යාව හා/හෝ රසායන විද්‍යාව ක්‍රෙඩිට් පැය දෙකක් ඇතුළත් විය යුතුයි. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක තමන් කැමති විද්‍යා විෂයයක් හෝ දෙකක්. 

සමාජ අධ්‍යයන විෂයයන් ක්‍රෙඩිට් පැය හයක් - මෙයට ඇමරිකානු ඉතිහාසය ක්‍රෙඩිට් පැය දෙකක්, ඇමරිකානු රාජ්‍යය විෂය ක්‍රෙඩිට් පැයක් හා ආර්ථික විද්‍යාව ක්‍රෙඩිට් පැයක් ඇතුළත්. ඉතිරි ක්‍රෙඩිට් පැය දෙක ලෝක ඉතිහාසය හා ලෝක ශිෂ්ඨාචාරය හෝ භූගෝල විද්‍යාව.

නිර්දේශිත විකල්ප විෂයයන් ක්‍රෙඩිට් පැය පහක් - මේ යටතේ වෙනත් භාෂා, සෞන්දර්ය විෂයයන් (ලලිත කලා) හෝ තාක්ෂනික/ ප්‍රාග්-වෘත්තීය විෂයයන් හැදෑරිය හැකියි.

ශාරීරික අධ්‍යාපනය/ ක්‍රීඩා - ක්‍රෙඩිට් පැය දෙකක් 

සෞඛ්‍යය - ක්‍රෙඩිට් පැයක්

කැමති විකල්ප විෂයයන් - ක්‍රෙඩිට් පැය හයක්

මෙම අවශ්‍යතාවයන් ඇමරිකාව තුළ වුනත් සම්මතයක් නෙමෙයි. මෙහි මේ විස්තර දැම්මේ වෙනත් රටක් මේ පිළිවෙලටම කටයුතු කළ යුතුයි කියා නිර්දේශ කරන්නත් නෙමෙයි. ඕක තමයි අපේ ප්‍රාන්තයේ පාසැල් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතාව. ඊට අමතරව  ඔය මූලික උසස් පාසැල් ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා අවම පැය ගණනක් ස්වේච්ඡා සේවය, රැකියාවක් හෝ රැකියා පුහුණුවක් (internship) කිරීම වගේ තවත් අවශ්‍යතාත් තිබෙනවා. 

අපේ පාසැල් දිස්ත්‍රික්කයේනම් ඔය Core 40 ඩිප්ලෝමාව පමණක් අරගෙන නවතින්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. ගොඩක් සිසුන් ඔය අවශ්‍යතා කලින්ම අවසන් කරලා පාසැලේදීම විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරනවා. නවවන ශ්‍රේණියේදීම සමහර විශ්ව විද්‍යාල මට්ටමේ පාඨමාලා හදාරන්න පුළුවන්. හැබැයි ඒවා පුද්ගලික තේරීම්. ඔය උඩ ලැයිස්තුවේ තිබෙන විෂයයන් ටික තමයි අනිවාර්යයෙන්ම ගත යුත්තේ. 

Wednesday, May 1, 2024

අධ්‍යාපනය හා රැකියා අවස්ථා


පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.

උසස් පෙළ අසමත් මට්ටම - 5.5%

උසස් පෙළ මට්ටම - 4.0%

උසස් පෙළ මට්ටමට වඩා වැඩි එහෙත් උපාධියක් නොමැති - 2.7%

දෙවසරක උපාධියක් - 2.7%

වසර හතරක උපාධියක් - 2.2%

පශ්චාත් උපාධි මට්ටම - 1.9%

වෘත්තීය උපාධියක් - 1.4%

ආචාර්ය උපාධියක් - 1.0%

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධය ඉතාම පැහැදිලියි. අධ්‍යාපන මට්ටම ඉහළ යන තරමට විරැකියා අනුපාතය පහළ යනවා. මෙය එම වසරේ පමණක් සිදු වූ දෙයක් නෙමෙයි. ආර්ථිකය ප්‍රසාරණය වන හා සංකෝචනය වල වකවානු සියල්ලකදීම දැකිය හැකි පොදු තත්ත්වයක්.

මෙය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියා කියන්නේ ආයෝජනයක්. යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට මිසක් අඩු කර ගැනීමට නෙමෙයි. ඒ නිසා, අධ්‍යාපන මට්ටම ඉහළ යද්දී විරැකියා අනුපාතය පහළ යාම අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයක්.


මේ හා අදාල ලංකාවේ තත්ත්වය කුමක්ද?

පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 4.7%ක් වූ ලංකාවේ විරැකියා අනුපාතය අධ්‍යාපන මට්ටම සමඟ වෙනස් වූ ආකාරය.

පස්වන ශ්‍රේණිය අසමත් - 0.7%

6-10 ශ්‍රේණි - 3.4%

අපොස (සාමාන්‍ය පෙළ) - 6.1%

අපොස (උසස් පෙළ) - 7.8%

අපේක්ෂා කළ හැකි සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව තනිකරම කණපිට තත්ත්වයක්! වැඩියෙන් ඉගෙන ගන්න තරමට සිදු වෙන්නේ රැකියාවක් හොයා ගන්න එක වඩ වඩා අසීරු වෙන එක. ලංකාවේ ශ්‍රම වෙළඳපොළෙහි මේ විදිහේ විකෘතියක් ඇති වී තිබෙන්නේ ඇයි?

ලංකාවේ සාර්ව ආර්ථිකයේ තිබෙන ගොඩක් අය නිතර කතා කරන අසමතුලිතතා දෙක වගේම අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ අතර සම්බන්ධයේත් විශාල විකෘතියක් තිබෙනවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රමය සඳහා ලැබෙන පංගුව අඩු වී ප්‍රාග්ධනය සඳහා ලැබෙන පංගුව ඉහළ යන්න මේ විකෘතිය දායක වී තිබෙනවා.

විකෘතියට හේතුව කුමක්ද? විකෘතිය නැති කළ හැක්කේ කොහොමද?

ඉතා කෙටි පිළිතුරක් විදිහට හේතුව ජනසම්මතය හා දේශපාලනය. විස්තර කරන එක සහ දෙවන ප්‍රශ්නයට පිළිතුරු දෙන එක කෙටියෙන් කරන්න අමාරුයි. 

වාමාංශික අදහස් දරන ගොඩක් අය වගේම දක්ෂිණාංශික අදහස් දරන ගොඩක් අයත් අහන්න කැමති නොවන, එකඟ වෙන්න ඉඩ නැති, කෙටිකාලීන විසඳුම පුළුවන් තරම් පිරිසක් රට පටවන එකයි. මේ විසඳුම ගැන වැඩිපුර ප්‍රසිද්ධියේ කතා නොකළත් වත්මන් ආණ්ඩුව වගේම, මාලිමාව වගේ පක්ෂ වල ප්‍රතිපත්ති තුළත් බරක් තබා තිබීම නිවැරදි පියවරක්.

Sunday, March 3, 2024

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා


ඇමරිකාවේ අධ්‍යාපන සංඛ්‍යාති ජාතික මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව, 2022/23 අධ්‍යයන වර්ෂයේදී ඇමරිකාවේ අධ්‍යාපන ආයතන 2,710ක් විසින් වසර-4 (හෝ වැඩි) උපාධි ප්‍රදානය කළා. තවත් ආයතන 1,550ක් විසින් වසර-2 (වසර 4ට අඩු) උපාධි ප්‍රදානය කළා.

වසර-4 උපාධි (Bachelor's Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 803

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 1,587

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 320

මේ අනුව, වසර 4ක කාලයක් ගත වන සාමාන්‍ය උපාධියක් ප්‍රදානය කළ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් (59%ක්) ලාබ ඉලක්ක නොකරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයි. එහෙත් වසර-2 උපාධි ප්‍රදානය කළ ආයතන වැඩි ප්‍රමාණයක් (58%ක්) රාජ්‍ය ආයතනයි.

වසර-2 උපාධි (Associate Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 897

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 126

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 527

මෙම ආයතන වල උසස් අධ්‍යාපනය ලබන මිලියන 20ක් පමණ වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් මිලියනයක් පමණ විදේශ සිසුන්. ඔවුන්ගෙන් අඩකට වඩා චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අයයි. ඊට සාපේක්ෂව ලොකු ප්‍රතිශතයක් නොවුනත්, ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු පිරිසක්ද මේ අතර සිටිනවා.

පහත තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසුව ගෙවුනු පළමු දශක හතරක කාලය තුළ ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ක්‍රමිකව හා සීඝ්‍රයෙන් වර්ධනය වූ ආකාරයයි.

1949/50 - 13

1954/55 - 34

1959/60 - 73

1964/65 - 96

1969/70 - 159

1974/75 - 230

1979/80 - 490

1984/85 - 1,480

1989/90 - 2,210

එහෙත්, ඉන් පසුව, මෙම ප්‍රවණතාවයේ වෙනසක් දැකිය හැකියි. මීට හේතුව පාසැල් වල ඉගැන්වීමේ මාධ්‍යය වෙනස් කිරීමේ පසුකාලීන බලපෑම හා අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය හැකියි.

1994/95 - 2,097

1999/00 - 1,968

2004/05 - 1,992

කෙසේ වුවත්, 2005-2009 අතර  කාලයේදී මෙම ප්‍රමාණය නැවත වර්ධනය වෙනවා.

2005/06 - 2,157

2006/07 - 2,373

2007/08 - 2,591

2008/09 - 2,976

ඉන් පසුව දැකිය හැක්කේ බොහෝ දුරට ස්ථාවර මට්ටමක්.

2009/10 - 2,957

2010/11 - 2,965

2011/12 - 2,902

2012/13 - 3,046

2013/14 - 2,917

2014/15 - 2,882

2015/16 - 3,080

2016/17 - 3,263

2017/18 - 3,309

2018/19 - 3,334

2019/20 - 3,206

2020/21 - 2,770

2021/22 - 2,928

2022/23 - 3,106

ඉහත දත්ත වලින් පෙනෙන පරිදි පසුගිය කාලය තුළ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් තුන් දහසක් පමණ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර එම ගණන විශාල ලෙස වෙනස් වී නැහැ. එහෙත්, පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ විශාල වර්ධනයක් දැකිය හැකියි. 

ඇමරිකාවේ සරසවි වල 2022/23 අධ්‍යයන වර්ෂය තුළ ඉගෙනුම ලැබූ විදේශ සිසුන් ප්‍රමාණය 1,057,188ක්. එම ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය 0.3%ක් පමණයි. 2012/13 හා 2022/23 අධ්‍යයන වර්ෂ අතර වසර දහයක කාලය සැලකුවහොත් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ 2%කින් පමණයි. එහෙත්, එම කාලය තුළ ඉන්දියානු සිසුන් ප්‍රමාණය 96,754 සිට 268,923 දක්වා 178%කින්ද, පකිස්තානු සිසුන් ප්‍රමාණය 4,772 සිට 10,164 දක්වා 113%කින්ද, නේපාල සිසුන් ප්‍රමාණය 8,920 සිට 15,090 දක්වා 69%කින්ද, බංග්ලා දේශ සිසුන් ප්‍රමාණය 3,828 සිට 13,563 දක්වා 254%කින්ද වර්ධනය වී තිබෙනවා.

කලාපයේ අනෙකුත් සියලුම රටවලින් ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ප්‍රමාණය පසුගිය දශකයක කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබීම සැලකූ විට ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ වර්ධනයක් නොවීමට හේතුව ඇමරිකාවේ සරසවි වල පාඨමාලා ගාස්තු අධික වීම කියා හිතන්න බැහැ. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළු කර ගැනීමේදී සලකා බලන නිර්ණායක අනුව කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව පසු කර ඉදිරියට යමින් සිටිනවා වෙන්න පුළුවන්. 

රැකියා හා විවාහ මත පදනම්ව මෙන්ම හා සරණාගතයින් ලෙසද ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් ඇමරිකාවට පැමිණියත් ඇමරිකාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් එසේ පැමිණෙන ප්‍රධානම ක්‍රම දෙක වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය හරහා පැමිණීම සහ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණෙන අය ඇමරිකාවට පා තබන්නේම ස්ථිර පුරවැසියන් ලෙස නිසා රැකියාවක් සොයා ගැනීමට නීතිමය බාධාවක් නැතත්, අවශ්‍ය කුසලතා නොමැතිව තරඟකාරී ශ්‍රම වෙළඳපොළ තුළ රැඳී සිටීම සැලකිය යුතු අභියෝගයක්. එහෙත්, ඇමරිකාවේ උසස් අධ්‍යාපනය අවසන් කරන සිසුවෙකුට රැකියා වෙළඳපොළට පිවිසී තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීම ඒ තරම්ම අපහසු කාර්යයක් නෙමෙයි. ඇමරිකානු අධ්‍යාපන සුදුසුකම් ඇති අයට සාමාන්‍යයෙන් ඇමරිකාවේ රැකියා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ට ඒ සඳහා අවශය උපදේශක සේවා හා පුස්තකාල පහසුකම් ඇතුළු නිවැරදි තොරතුරු කොළඹ 5, ගවර් වීදියේ (විශාඛා විද්‍යාලය ආසන්නයේ) පිහිටි "එඩියුකේෂන් යූඑස්ඒ" (EducationUSA) ආයතනය මගින් සපයනවා. 

ඩොලර් බිලියනයේ තෑග්ග (තෙවන කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත සිදු කළ ඩොලර් බිලියනයක පරිත්‍යාගය ගැනත්, එයින් වෙළඳපොළ සමතුලිතතාවයට සිදු වන බලපෑම ගැනත් පෙර ලිපි දෙකෙන් කතා කළා. මෙම පරිත්‍යාගය නිසා දිගුකාලීනව වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. පරිත්‍යාගයේ උදවුවෙන් වඩා හොඳ සිසුන් මෙන්ම වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද ආකර්ෂණය කර ගත හැකි බැවින් දිගුකාලීනව එම වෛද්‍ය විද්‍යාලයට සිය කීර්ති නාමය බොහෝ සේ ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනයක්. ලාබ ලැබීම අරමුණු නොකරන ආයතන කියන්නේ ලාබ නොලබන හෝ පාඩු ලබන ආයතන නෙමෙයි. ලාබ ලැබීම ඕනෑම ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනකද ඉලක්කයක්. එහෙත්, එය ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙවැනි ආයතනයකට ලාබ ලැබීමේ ඉලක්කයට වඩා උඩින් තිබෙන වෙනත් අරමුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආයතනයක් ලබන ලාබ වැය කරන්නේද එම ප්‍රධාන අරමුණ වෙනුවෙන්.

"Our founding mandate has been to combine the pursuit of scientific excellence with the social mission to improve human health through engagement in our local, national, and global communities."

ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික එකඟත්වය මත ආයතනයක නමට ඔහුගේ නම එකතු කර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. මෙම වෛද්‍ය විද්‍යාලයය බිහිවන්නේ ඇමරිකාවේ පිහිටි යුදෙවු විශ්ව විද්‍යාලයක් වන යෙෂිවා විශ්ව විද්‍යාලයේ කොටසක් ලෙසයි. ආයතනයේ අරමුණ විද්‍යාවේ ප්‍රගමනය හඹා යමින් මානව සෞඛ්‍යය දියුණු කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. 

කවුද මේ  රූත් ගොටස්මන්?

ඇල්බට් අයින්ස්ටයින්ට මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළ රූත් ගොටස්මන්ටද තිබෙන්නේ යුදෙවු සම්භවයක්. ඇය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවාර්ජිත මහාචාර්ය වරියක්. එමෙන්ම, එම වෛද්‍ය විද්‍යාලය පාලනය කරන භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වන්නේද ඇයයි. 

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වන බොහෝ අය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මුදල් සෙවීම කරගත් අය නෙමෙයි. එවැන්නෙකු විසින් බොහෝ විට තමන්ගේ ජීවත් වීමේ අරමුණ ලෙස සලකන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීම හා දැනුම බෙදා හැරීම වැනි දෙයක්. මෙම කරුණ හා අදාළව, රූත් ගොටස්මන් කියන්නේද වෙනස් අයෙකු නොවෙයි. ඇය වෙනත් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින්ද අරමුණු කරන ඉලක්ක තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණු බවට පත් කරගත් තැනැත්තියක්. 

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුට එම සුදුසුකම් හා පළපුරුද්ද තිබෙන වෙනත් රැකියා කරන අය තරමටම වැටුපක් ලැබෙන්නේ නැතත්, වෙළඳපොළ මත පදනම් වූ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වල. 

ඇමරිකාවේ ජීවත් වන, ජීවත් වීම සඳහා මුදල් සෙවීමේ ප්‍රධාන අරමුණෙන් රැකියාවක් කරන්නන් බොහෝ දෙනෙකු අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. එහෙත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රැකියාවට තිබෙන කැමැත්ත නිසාම ඉක්මණින් විශ්‍රාම ගන්නේ නැහැ. ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ස්වේච්ඡා පදනමෙන් පර්යේෂණ වල නිරත වීම හා ඉගැන්වීම දැකිය හැකියි. 

බොහෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සරල ජීවිත ගත කරන අයයි. මේ කරුණ හා අදාළවනම්, ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන්ද වැඩි අපහසුවක් නොමැතිව උදාහරණ සොයා ගත හැකියි. ඒ හේතුව නිසාම ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට, වෙළඳපොළ මත පදනම්ව වැටුප් ලෙස ලැබෙන ආදායම තමන් අපේක්ෂා කරන ජීවිතය ගත කිරීම සඳහා ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත්. 

ඇමරිකාවේ බොහෝ සේවාර්ජිත මහාචාර්යවරුන් විසින් ජීවිතයේ අවසාන කාලයේදී තමන් සතු වත්කම් වලින් කොටසක් තමන් සේවය කළ විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පරිත්‍යාග අදාළ මහාචාර්යවරයාගේ අභිලාෂය පරිදි සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා හෝ පර්යේෂණ ආධාර ලෙස වැය කෙරෙනවා. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය සේවාර්ජිත මහාචාර්යවරුන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාග වලින් වෙනස් වන එකම හේතුව පරිත්‍යාගයේ ප්‍රමාණය පමණයි.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවන අභිලාෂය කරගන්නේ පුළුවන් තරම් මුදල් හෙවීම නොවන නිසා, ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලක් පරිත්‍යාග කළ හැකි තරමේ වත්කමක් ඔවුන් වෙත ඉතිරි වන්නේ නැහැ. මෙම කාරණය හා අදාළව වුවද, රූත් ගොටස්මන් වෙනස් තැනැත්තියක් නොවෙයි. ඇයට මුදල් එකතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර නොගත් තැනැත්තියක්. එසේනම්, ඇයට මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ඉඩ සැලසෙන්නේ කොහොමද?

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණක් නොව, රූත් ගොටස්මාන්ටද මෙම මුදල ලැබෙන්නේ අනපේක්ෂිත ලෙසයි. ආර්ථික විද්‍යා අර්ථයෙන් එහිදී වෙන්නේ ඇයට ලොතරැයියක් ඇදීමක්. එම ලොතරැයියනම් ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් විසින් ඇයගේ අභිලාෂය පරිදි වියදම් කිරීමට ඉඩ සලසමින් විශාල ධනස්කන්ධයක් ඈ වෙත උරුම කර මිය යාමයි.

සෘජුව හෝ වක්‍රව දැනුම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ රූත් ගොටස්මාන් මෙන් නොව ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් ධනය නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ අයෙක්. එමෙන්ම තමන්ගේ අභිලාෂ සාක්ෂාත් කරගත් අයෙක්. වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කරන ඔහු දශක ගණනාවක් තිස්සේ එම ආයතනය වැඩි දියුණු කර බිලියනපතියෙකු බවට පත් වෙනවා. රූත් ගොටස්මන්ට උරුම වන්නේ එම වත්කමයි.

වත්කම් කළමනාකරණ ආයතනයක් කියන්නේ සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් නොකරන,  අතරමැදි ව්‍යාපාරයක්. ඒ වගේම ඉතා අඩු ශ්‍රමයක් යෙදවුම් ලෙස භාවිතා කරමින් බොහෝ දුරට ප්‍රාග්ධනය මගින් ප්‍රාග්ධනය නිර්මාණය කරන ව්‍යාපාරයක්. සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයෙකුට සාපේක්ෂව වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථානගත කළ හැක්කේ කවර ආකාරයෙන්ද?

සැබෑ ධනය නිර්මාණය වීමක් සිදු වීමටනම්, අවසාන වශයෙන් පරිභෝජනය කළ හැකි ආකාරයේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු විය යුතුයි. එසේ නිපදවන භාණ්ඩ හෝ සේවාවන් වලට පාරිභෝගිකයෙකු විසින් කොපමණ මිලක් ගෙවන්නට සූදානම් වන්නේද යන්න මත සිදු වූ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු කරන නිෂ්පාදකයෙකුට ඒ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් අඩු "කුලියකට" ප්‍රාග්ධනය සපයා ගත නොහැකි වුවහොත් එවැන්නෙකු විසින් සිදු කෙරෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සීමා වෙනවා. 

අනෙක් අතට, යමෙකු තමන් විසින් උපයන ආදායම් එසැණින්  පරිභෝජනය කර අවසන් කිරීම හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කිරීම නිර්ණය වන්නේ ආදායම් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම මගින් ලබා ගත හැකි "කුලිය" කොපමණද යන්න මතයි. මෙම "කුලිය" ඉහළ යන තරමට රටක වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා. රටක ප්‍රාග්ධන සමුච්ඡනය වැඩි වෙද්දී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය යෙදවීමේ හැකියාව ඉහළ ගොස් රටේ නිෂ්පාදනය ඉහළ යනවා.

වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් කරන්නේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වඩා කාර්යක්ෂම කිරීම මගින් ඉතිරි කරන්නන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතරම, නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකට ප්‍රාග්ධනය සපයා ගැනීමටද අවස්ථාවක් ලබා දීමයි. මේ හරහා එවැනි ආයතනයක් විසින් වක්‍ර ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරනවා. එහිදී අලුතෙන් ධනය නිර්මාණය වීමක් සිදු වෙනවා.

නිෂ්පාදකයෙකු නිෂ්පාදනය කරන්නේ එමගින් තමන්ට ලැබෙන ලාබ නිසා. ඉතිරි කරන්නෙකු ඉතිරි කරන්නේද එයින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා. ඒ දෙදෙනා සම්බන්ධ කරන වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් එසේ කරන්නේද තමන්ට ලබාගත හැකි ලාබ නිසා. එහෙත්, මේ යාන්ත්‍රනය තුළ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙනවා.

යමෙකු ලෝකයට එකතු කරන්නේ ධනය වුවත්, දැනුම වුවත්, වෙනත් යම් දෙයක් වුවත් අවසානයේදී එසේ එකතු කරන දේ ඉතිරි කර මිය යන්නට සිදු වෙනවා. ඉතිරි කර යන දෙයක ප්‍රතිලාභ ජීවත් වන්නන්ට ලැබෙනවා. ඩේව්ඩ් ගොටස්මාන් විසින් මිය යන්නට පෙර ඔහු විසින් ඉපැයූ ධනය නාස්ති කර හෝ විනාශ කර නැහැ. කොපමණ විශාල ධනයක් උපයන අයෙකු වුවද සිය ජීවිත කාලය තුළ පරිභෝජනය කරන්නේ එයින් කොටසක් පමණයි. මෙසේ යමෙකු ඉතිරි කර යන දෙයකු උරුමකරුවෙකු වන අය ලොතරැයියක් දිනන වාසනාවන්තයෙක්.

කෙසේ වුවත්, වයස අවුරුදු 93 ඉක්මවා සිටින රූත් ගොටස්මාන්ට අහම්බෙන් ලැබුණු ඩොලර් බිලියන ගණනක විශාල ධනයකින් කළ හැකි විශේෂ දෙයක් නැහැ. එබැවින් එය එම මුදලෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ ජීවන අභිලාෂ හා ගැලපෙන අරමුණක් වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙහිදී ඩේව්ඩ් ගොටස්මාන් මෙන්ම රූත් ගොටස්මාන් විසින්ද කර තිබෙන්නේ තමන්ට සතුටු විය හැකි පරිදි, තමන්ගේ ජීවන අභිලාෂ ශාක්ෂාත් කර ගැනීමයි. කෙනෙකුගේ ජීවන අභිලාෂය කුමක්ද යන්න පෞද්ගලික කාරණයක්. 

ඩේව්ඩ් ගොටස්මාන් විසින් ධනය නිර්මාණය කරන වෙනත් එවැනි අය මෙන්, තමන්ගේම වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවා ඒ මගින් ධනය නිර්මාණය කිරීමට ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙනවා. ඒ කාර්යය සාර්ථක ලෙස නිමා කර ජීවිතයෙන් සමු ගෙන තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ධනයක් එක්රැස් කර තබා මිය යන ඩේව්ඩ් ගොටස්මාන් වැනි අයෙකුගේ ප්‍රධාන අභිලාෂයක් වන්නේ තමන් මිය යාමෙන් පසු තමන්ගේ උරුමකරුවන්ගේ අභිලාෂ පරිදි එම ධනය භාවිතා කිරීමයි. මෙහිදී ඔහුගේ එම අභිලාශය ඉටු වී තිබෙනවා.

මීට අමතරව, ඩේව්ඩ් ගොටස්මාන් වැනි ඇතැම් අය ජීවත්ව සිටියදීම තමන්ගේ ධනය තමන් සතුටු වන විවිධ දේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේවාත් අනෙකුත් වෙළඳපොළ ගනුදෙනු වැනිම ගනුදෙනු. එකම වෙනස ගනුදෙනුවේ අභිලාශය මූල්‍ය ලාභයක් නොවීම පමණයි. 

රූත් ගොටස්මාන් ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය ඇගේ ජීවිතයේ ප්‍රධාන අභිලාශයක් ලෙස සලකමිනුයි. ඇයට අනපේක්ෂිතව ලැබුණු විශාල ධනය ඈ ඇගේ මෙම දිගුකාලීන අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය කර තිබෙනවා. එයද සාර්ථක ගනුදෙනුවක්! 

Saturday, March 2, 2024

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)


නිවු යෝර්ක් ප්
‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.

අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන් හා අදාළව මෙය ලොතරැයියක් ඇදීමක්. ඔවුන් මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට තීරණය කර තිබෙන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙන හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ පාඨමාලා ගාස්තු පියවීමට සූදානම්වයි. ඒ, එසේ කිරීම වුවද ඔවුන්ට වාසිදායක නිසා. දැන් පාඨමාලා ගාස්තු ඉවත් වීම නිසා ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා.

මෙසේ යම් අයෙකුට හදිසියේ අනපේක්ෂිත වාසියක් ලැබීම ආර්ථික විද්‍යාවේදී ලොතරැයියක් ඇදීමක් ලෙස හැඳින්වෙනවා. එහි අරුත සාමාන්‍ය ලොතරැයි දිනුමකින් ඔබ්බට යන පුළුල් එකක්. හදිසියේ වැස්සට පොළොව සේදුණු තැනකින් වටිනා මැණිකක් මතු වුවහොත් එය මෙම අර්ථකථනය අනුව ලොතරැයියක් ඇදීමක්. කාත් කවුරුවත් නැති දුර ඥාතියෙකුගේ ලොකු දේපොලක් හදිසියේ අයිති වුවහොත් එය ලොතරැයියක් ඇදීමක්.

කෙසේ වුවත්, මෙම වාසිය ලොතරැයියක් ඇදීමක් වනුයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණයි. එම වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේ සිට ඇතුළු වීමට නියමිත සිසුන්ට මෙම සහනය ලොතරැයියක් වන්නේ නැහැ. එය ඔවුන් විසින් තරඟ කර ලබා ගත යුතුව තිබෙන දෙයක්.

ඇමරිකාවේ තිබෙන වෛද්‍ය විද්‍යාල දෙසීයක ප්‍රමාණ ප්‍රමාණය අතරින් එකක් හෝ කිහිපයක් විසින් මෙවැනි පාඨමාලා ගාස්තු සහනයක් ලබා දුන් විට එම වෛද්‍ය විද්‍යාලයට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනවා. නමුත් සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු කර ගන්නා සිසුන් ප්‍රමාණය එකවර හිතුමතේට වැඩි කරන්නේ නැහැ. ඒ නිසා, සිදු වීමට නියමිතව තිබෙන්නේ මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම වඩා අසීරු වීමයි. පසුගිය වසරේදීද මෙම අවස්ථාව ලැබී තිබෙන්නේ අයදුම්කරුවන්ගෙන් 3.3%කට පමණයි. දැන් මෙය තවත් අසීරු කාර්යයක් බවට පත් වෙනවා.

වෛද්‍ය විද්‍යාලයකට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම වඩා අසීරු වෙනවා යන්නෙන් අදහස් වන්නේ අවසාන වශයෙන් එහි ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය ඉහළ යනවා කියන එකයි. මෙය එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි කරනවා. කීර්ති නාමය ඉහළ යවනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඉල්ලුම තවත් ඉහළ ගොස් ප්‍රවේශය තවත් අසීරු වීමයි.

පසුගිය වසරේ USNews ශ්‍රේණිගත කිරීම් අනුව, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය පැවතියේ 42වන ස්ථානයේයි. පහත තිබෙන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව ඇමරිකාවේ හොඳම වෛද්‍ය විද්‍යාල දහය.

1. හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

2. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

3. පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ පෙරල්මාන් වෛද්‍ය විද්‍යාලය

4. කොලම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

5. ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

6. ස්ටෑන්ෆඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

7. සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

8. වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

9. සෙන්ට් ලුවිස්හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

10. කොනෙල් විශ්ව විද්‍යාලයේ වීල් කොනෙල් වෛද්‍ය විද්‍යාලය

ඉහත විශ්ව විද්‍යාල අතරින් සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය හැර අනෙකුත් සියල්ල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් අනුව උඩින්ම තිබෙන වෛද්‍ය විද්‍යාල 21 සැලකුවද (20 ස්ථාන දෙකක් ඇති නිසා), ඒ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අයත් වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ හතරක් පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස ඇමරිකාවේ හොඳම විශ්ව විද්‍යාල බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයි. එහෙත් එම විශ්ව විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි.

වෙනම ලිපියක දීර්ඝ ලෙස කතා කළ යුතු කරුණක් වුවත්, ඉතිහාසය පුරා විධිමත් අධ්‍යාපනය ගොඩ නැගී තිබෙන්නේ බොහෝ දුරට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවයට වඩා අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය මත පදනම්වයි. යම් කිසිවෙකුට වෙනත් අයෙකුට හෝ අයට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය වූ විට එහි පිරිවැයද එසේ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. කාලය වැය කරමින් අප විසින් මේ ලියන ලිපියද ඒ සඳහා උදාහරණයක්.

එයින් වෙනස්ව, යම් අයෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති විට එහි පිරිවැය අධ්‍යාපනය ලබා ගන්නා තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. මෙම ලිපිය කියවීම වෙනුවෙන් කාලය යොදවන ඔබ ඒ සඳහා උදාහරණයක්. බොහෝ විට මෙම අවශ්‍යතා දෙකම සමපාත වීමක් සිදු වන බැවින් පිරිවැයද අවශ්‍යතාවයේ අනුපාතයට දෙපාර්ශ්වයක් හෝ පාර්ශ්ව වැඩි ගණනක් අතර බෙදී යනවා.

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් නඩත්තු වන්නේ රූත් ගොටස්මන් වැනි අයගේ පරිත්‍යාග වල උදවුවෙන්. පරිත්‍යාගශීලීන්ගේ අරමුණ තමන්ගේ වියදමෙන් වෙනත් අයට තමන් කැමති ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීමයි. මෙසේ පරිත්‍යාග ලෙස ලැබී ඇති මුදල් ආයෝජනය කරමින් එම විශ්ව විද්‍යාල ආදායම් උපයනවා. එය කරන්නේ හැකි උපරිම ලාබයක් ලබා ගත හැකි ආකාරයෙනුයි. ඊට අමතරව, මෙම විශ්ව විද්‍යාල විසින් සිසුන්ගෙන් මුදල් අය කරනවා. අය කරන මුදල තීරණය වන්නේ වෙළඳපොළ මතයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය විසින් වුවද ඉදිරියේදී කරනු ඇත්තේ සිසුන්ගේ ගිණුම් වෙත පළමුව පාඨමාලා ගාස්තු බැර කර එම මුදල විශ්ව විද්‍යාලය විසින්ම ශිෂ්‍යත්ව අරමුදලකින් පීයවීම විය හැකියි.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙනස්ව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. ඇමරිකාවේ අධ්‍යාපනය ෆෙඩරල් රජයේ කාර්යයක් නොවන නිසා මේ වෙනුවෙන් වැය කෙරෙන්නේ ප්‍රාන්ත රජයයන්ගි බදු ආදායමෙන් කොටසකුයි. ඒ නිසාම, ප්‍රාන්තයෙන් පිට පදිංචි බදු නොගෙවන්නන් හෝ ඔවුන්ගේ යැපෙන්නන් සුබසාධනය කෙරෙන්නේ නැහැ.

ඉහත වෙනස්කම නිසා ඇමරිකාවේ සිසුවෙකුට තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවහොත් සැලකිය යුතු මූල්‍යමය වාසියක් ලැබෙනවා. එහෙත්, ඇතැම් ප්‍රාන්ත වල වෛද්‍ය විද්‍යාල නැහැ. ඒ වගේම, තවත් ප්‍රාන්ත ගණනාවක වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. ඒ නිසා, මේ අඩු පිරිවැය විකල්පය පසුපස යන සිසුන්ට තිබෙන්නේ සීමිත තේරීමක්.

ප්‍රාන්ත බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කෙරෙන බැවින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තමන්ගේ ප්‍රාන්තයේ හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. මෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස වෙනත් ප්‍රාන්ත වල හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා.

මෙයින් වෙනස්ව, පෞද්ගලික විශ්ව විද්‍යාල විසින් සියලුම ප්‍රාන්ත වල හොඳම සිසුන් පිරිස වෙනුවෙන් තරඟ කරනවා. එසේ කිරීමේදී, ප්‍රාන්ත සරසවි වල අඩු පාඨමාලා ගාස්තු වලට වඩා ආකර්ෂණීය වන පරිදි ශිෂ්‍යත්ව මගින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. බොහෝ විට මෙම තරඟය ඇමරිකාවෙන් පිටතටද දිගු වන අතර, ඇමරිකාවෙන් පිටත සිට අයදුම් කරන දක්ෂ සිසුවෙකුටද මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේදී හා ශිෂ්‍යත්ව ලබා ගැනීමේදී සම අවස්ථා හිමි වෙනවා. එහිදී ඉටු වන්නේ අදාළ විශ්ව විද්‍යාලයට ධනය පරිත්‍යාග කර ඇති අයගේ අභිලාශයනුයි.

රූත් ගොටස්මන් විසින් ලබා දුන් අරමුදල් වල උදවුවෙන් ඉදිරි වසර වලදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය ඇතුළු වන සිසුන්ගේ පාඨමාලා ගාස්තු සුබසාධනය වෙද්දී, බොහෝ දුරට සිදු වනු ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යාමයි. මෙහිදී, එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වනු ඇත්තේ වෙනත් වෛද්‍ය විද්‍යාලයකින් වුවද සෑහෙන තරමක ශිෂ්‍යත්වයක් දිනා ගත හැකි තරමේ සිසුනුයි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

උදාහරණයක් ලෙස ගුණාත්මක භාවය අතින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයට වඩා ඉදිරියෙන් සිටින හා සමාන වෙනත් වෛද්‍ය විද්‍යාල දෙකකට ඇතුළු වීමේ අවස්ථාව තිබෙන සිසුවෙකු ගැන සිතමු. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය නොවන්නට ඔහු හෝ ඇය ඉදිරියේ තිබෙන තේරීම මෙවැන්නක්.

1. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය - ඩොලර් 280,000ක පාඨමාලා ගාස්තුවක්.

2. ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින වෛද්‍ය විද්‍යාලය - ඩොලර් 290,000ක පාඨමාලා ගාස්තුවක්.

3. ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලය - 50%ක ශිෂ්‍යත්වයකින් පසු ඩොලර් 140,000ක පාඨමාලා ගාස්තුවක්.

දැන් මේ සිසුවා විසින් බොහෝ විට ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගන්නේ නැහැ. එක්කෝ අඩු මුදලක් ගෙවා සමාන ගුණාත්මක භාවයක් තිබෙන අනෙක් වෛද්‍ය විද්‍යාලයට යනවා. එසේ නැත්නම්, ඩොලර් 10,000ක් වැඩියෙන් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් තිබෙන වෛද්‍ය විද්‍යාලයට යනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය විසින් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කිරීමෙන් පසුව මෙවැනි සිසුවෙකු විසින් අනෙක් විකල්ප දෙක අත හැර ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගන්නට ඉඩ තිබෙනවා. එහිදී එම සිසුවා වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය විසින් ඩොලර් 280,000ක මුදලක් වැය කළත් සිසුවාට එයින් ඇත්තටම ලැබෙන වාසිය ඩොලර් 140,000ක් පමණයි. ඉතිරිය තෙවන විකල්පය තෝරා ගත්තේ වුවද ලැබෙන දෙයක්. අලුත් ශිෂ්‍යත්වය නිසා ආකර්ෂණය වන බොහෝ සිසුන් මෙවැනි විකල්ප තිබෙන අය විය හැකියි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට ලැබෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

අනෙක් අතට, මෙවැනි වෙනත් විකල්ප තිබෙන සිසුන් විසින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයය තෝරා ගනිද්දී ඔවුන් විසින් ලබා ගත හැකිව තිබුණු විකල්ප අවස්ථාවන් වෙනත් පිරිසකට ලැබෙනවා. උදාහරණයක් ලෙස, ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලයේ 50%ක ශිෂ්‍යත්වය වෙනත් සිසුවෙකුට ලැබෙනවා. ඒ ක්‍රමයට රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගයේ වාසිය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයෙන් පිටත වෙනත් වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් වෙතද ගලා යනවා.

අවසාන වශයෙන් මේ හරහා සිදුවන වෙනස්කම් වලින් වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. ඒ ඔවුන්ට බඳවා ගත හැකි සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යන නිසා. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ වල වෙළඳපොළ තරඟය සරල ලාබ වැඩි කර ගැනීමේ තරඟයක් නෙමෙයි. ලාබ වැඩි කිරීම හා ගැට ගැසුණු ගුණාත්මක භාවය වැඩි කර ගැනීමේ තරඟයක්ද එහි තිබෙනවා. අලුත් ශිෂ්‍යත්ව ක්‍රමය නිසා ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අනෙකුත් වෛද්‍ය විද්‍යාල හා තරඟ කොට හොඳම සිසුන් බඳවා ගැනීමට ඉඩ ලැබෙනවා.

විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය තීරණය කරන ප්‍රධානම සාධකය එහි සිසුන් නොව ආචාර්ය මණ්ඩලයයි. හොඳ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සඳහා විශ්ව විද්‍යාල අතර තරඟයක් තිබෙනවා. අරමුදලේ උදවුවෙන් වඩා හොඳ සිසුන් බඳවා ගැනීමට මෙන්ම, වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමටද ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අවස්ථාව ලැබෙනවා. තමන්ට ලැබෙන වැටුපට අමතරව සිසුන්ගේ ගුණාත්මක භාවය වැනි කරුණුද ආචාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සැලකිල්ලට ගන්නා බැවින් මේ දෙක එකිනෙකටද සම්බන්ධයි.

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. 

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. මේ පළමු උපාධිය වෙනුවෙන්ද ඇමරිකානු සිසුවෙකුට පාඨමාලා ගාස්තු ගෙවන්නට සිදු වෙනවා. 

පසුගිය (2023/24) අධ්‍යයන වර්ෂයේදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පාඨමාලා ගාස්තුව පමණක් වසරකට ඩොලර් 59,458ක් වූ අතර, අනෙකුත් ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තුව එකතු වූ විට මෙම මුදල වසරකට ඩොලර් 69,873ක්. 

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියෙන් සිටින පෞද්ගලික විශ්ව විද්‍යාල ගණනාවකම ප්‍රථම උපාධියක් හැදෑරීම සඳහාද පාඨමාලා ගාස්තු ලෙස වසරකට මීට ආසන්න මුදලක් ගෙවන්නට සිදු වෙනවා. වෛද්‍ය සිසුවෙකු විසින් මේ වියදම එක දිගට වසර අටක කාලයක් දැරිය යුතු අතර, වෛද්‍ය වෘත්තියට පිවිසිය හැක්කේ ඉන් පසුවද වසර ගණනාවක සීමාවාසික පුහුණුවක් අවසන් කිරීමෙන් පසුවයි. මෙම වසර ගණන අදාළ වෛද්‍ය ක්ෂේත්‍රය අනුව වෙනස් වන්නක්.

ඇමරිකාවේ පිළිගත් වෛද්‍ය විද්‍යාල දෙසීකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේවා සම්ප්‍රදායික (ඇලෝපති) වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල සහ DO (ඔස්ටියෝපති) උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ලෙස වර්ග කළ හැකියි. වෙනත් රටවල කෙසේ වුවත්, මේ වන විට ඇමරිකාවේ මෙම දෙවර්ගයේ වෛද්‍ය අධ්‍යාපන පුහුණු මාදිලි අතර විශාල වෙනසක් නැහැ. ඔස්ටියෝපති වෛද්‍යවරුන් විසින් හිපොක්‍රටික් වෛද්‍ය ප්‍රතිඥාව වෙනුවට ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිඥාව ලබා දෙනවා. 

මේ වන විට ඇමරිකාවේ පිළිගත් MD වෛද්‍ය උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 157ක් ඇති අතර, පිළිගත් DO උපාධියක් ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41ක් තිබෙනවා. MD වෛද්‍ය උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල අතරින් 63ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඉතිරි 94 ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සුබසාධනය කෙරෙන වෛද්‍ය විද්‍යාලයි. MD වෛද්‍ය උපාධිය ලබා දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් දෙකක් හැර ඉතිරි සියල්ල ලාබ ලැබීම ඉලක්ක කර නොගත් ආයතනයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයද එවැන්නක්. 

සම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනයක් සමඟ MD උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල වලට සාපේක්ෂව, DO උපාධිය ලබා දෙන වෛද්‍ය විද්‍යාල 41 අතරින් 34ක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වන අතර ඒවායින් 5ක් ලාබ ලැබීම ඉලක්ක කළ ආයතනයි. විශේෂඥ වෛද්‍යවරුන් නොවන සාමාන්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමේදී DO උපාධි ලබා දෙන වෛද්‍ය විද්‍යාල ඉදිරියෙන් සිටිනවා. 

මේ අනුව, ඉහත විස්තර කර වෛද්‍ය උපාධි වර්ග දෙකම සැලකූ විට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල 198ක් ඇති අතර ඒවායින් 97ක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ඉතිරි 101 ප්‍රාන්ත රාජ්‍ය අරමුදල් වලින් සුබසාධනය වන වෛද්‍ය විද්‍යාලයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතරින් 90ක්ම ලාබ ලැබීම අරමුණු කර නොගත් ආයතනයි. 

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලද පාඨමාලා ගාස්තු අය කරන බැවින් රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවද ආසන්නව සමාන පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ සිසුන්ගේ උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු සුබ සාධනය කරන බැවින් තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වන සිසුවෙකුට අඩු පාඨමාලා ගාස්තුවක් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇතත්, සාමාන්‍ය අගයයක් ලෙස ප්‍රාන්තයේ සිසුවෙකු විසින්ද සෞඛ්‍ය රක්ෂණ ගාස්තුව ඇතුළත්ව ඩොලර් 41,737ක වාර්ෂික පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුයි. ප්‍රාන්තයෙන් පිට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකට යන්නේනම් මෙම වියදම වසරකට ඩොලර් 67,308ක්. මීට සාපේක්ෂව ප්‍රාන්තයෙන් පිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අදාළ සාමාන්‍ය වියදම වසරකට ඩොලර් 70,596ක්.

ඉහත වියදමට ඇතුළත් වන්නේ පාඨමාලා ගාස්තු හා වෛද්‍ය රක්ෂණ ගාස්තු පමණයි. මීට අමතරව පොත්පත්, නවාතැන්, ආහාරපාන ආදිය වෙනුවෙන්ද වියදම් දරන්නට සිදු වෙනවා. ඉදිරි වසරේදී (2024/25) ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුවෙකුගේ වසර හතරක වියදම එම වෛද්‍ය විද්‍යාලය විසින් ඇස්තමේන්තු කර තිබුණේ පහත පරිදියි.

වෛද්‍ය විද්‍යාල ගාස්තු පමණක්:

පළමු වසර - ඩොලර් 71,903

දෙවන වසර - ඩොලර් 72,583

තෙවන වසර - ඩොලර් 72,583

සිවුවන වසර - ඩොලර් 70,053

මුළු වියදම:

පළමු වසර - ඩොලර් 95,123

දෙවන වසර - ඩොලර් 96,505

තෙවන වසර - ඩොලර් 101,568

සිවුවන වසර - ඩොලර් 101,553

සාමාන්‍ය කරුණක් ලෙස, ප්‍රාන්තයෙන් පිට වෛද්‍ය විද්‍යාලයක අද්‍යාපනය ලැබීම සඳහා ඩොලර් ලක්ෂ හතරකට ආසන්න වියදමක් දරන්නට සිදු වන අතර ප්‍රාන්තයේ තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හැදෑරුවද මෙම වියදම ඩොලර් ලක්ෂ තුනකට ආසන්න විය හැකියි. මීට අමතරව, වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට පෙර වසර හතරක පූර්ව-වෛද්‍ය උපාධි පාඨමාලාවක්ද හැදෑරිය යුතු බැවින් ඒ වෙනුවෙන්ද සැලකිය යුතු මුදල් ආයෝජනයක් කරන්නට සිදු වෙනවා. මේ සියලු වියදම් දරමින් ඇමරිකාවේ වෛද්‍ය වරයෙකු වෘත්තියට පිවිසෙන්නේ ඩොලර් ලක්ෂ කිහිපයක ණයකරුවෙකු ලෙසයි.

ඉහත වියදම් දරන්නට වුවද, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට එම වියදම ආවරණය කරගනිමින් තමන්ගේ ආයෝජනයට මෙන්ම ගන්නා අවදානමටද ප්‍රමාණවත් ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා, ඇමරිකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තිබෙනවා. එමෙන්ම, මුදල් ගෙවීමේ හැකියාව තිබූ පමණින් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු විය නොහැකියි. ප්‍රස්තුත ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය සැලකුවහොත්, පසුගිය වසරේදී එහි වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අයදුම්කළ අයදුම්කරුවන් 9,782 දෙනෙකු අතරින් එම අවස්ථාව හිමි වී තිබෙන්නේ 326 දෙනෙකුට (3.3%) පමණයි.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වැනි වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීමේ අවස්ථාව ලබා ගන්නා බොහෝ දෙනෙකුට වෙනත් වෛද්‍ය විද්‍යාල වලින්ද එවැනිම අවස්ථාවක් හිමි වෙනවා. ඕනෑම සිසුවෙකු උත්සාහ කරන්නේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ මට්ටමක ඇති සහ අඩු වියදමකින් සම්පූර්ණ කළ හැකි උපාධියක් ලබා ගන්නටයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලද සිසුන් 326 දෙනෙකු අතරින් එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව ඇති ප්‍රමාණය 183ක් පමණයි. 

එක් සිසුවෙකුගෙන් වසරකට ඩොලර් 71,000 බැගින් අය කළහොත්, සිසුන් 183 දෙනෙකුගේ පාඨමාලා ගාස්තු ලෙස වසරකට ඩොලර් මිලියන 13ක පමණ මුදලක් එකතු වෙනවා. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙම මුදල එහි වසරක වියදම් වෙනුවෙන් වැය කරන්නට සිදු වෙනවා. සරසවියක වියදමෙන් වැඩි කොටසක් ආචාර්ය මණ්ඩලයේ වැටුප් හා ප්‍රතිලාභයි. විශේෂයෙන්ම වෛද්‍ය පීඨයක ආචාර්යවරුන්ට ඔවුන්ගේ වෙළඳපොළ අගය හා ගැලපෙන ඉහළ වැටුප් ගෙවන්නට සිදු වෙනවා. 

ඩොලර් බිලියනයක මුදලක් දිගුකාලීනව ආයෝජනය කිරීමෙන් අඩු වශයෙන් 8%ක පමණ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. ඒ කියන්නේ වසරකට ඩොලර් මිලියන 80ක පමණ මුදලක්. ලාබ ලැබීම ඉලක්ක නොකරන වෛද්‍ය විද්‍යාලයකට මෙවැනි ආදායම් ප්‍රවාහයක් ඇත්නම්, එම ආදායම යොදවා සදාකාලිකවම සිසුන්ගේ පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කළ හැකියි. එසේ කිරීමෙන් පසුවද, ආයෝජනය වසරින් වසර වර්ධනය වනු මිස ක්ෂය වන්නේ නැහැ. ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලැබූ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය කරන්නට යන්නේ මෙයයි.

කෙසේ වුවත්, ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මෙවැන්නක් කරන පළමු වෛද්‍ය විද්‍යාලය නෙමෙයි. මෙවැනි විශාල ආධාර මුදල් වල උදවුවෙන් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කරන තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයක්ම ඇමරිකාවේ තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලාබ ලැබීම ඉලක්ක නොකරන පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන්ගේ පාඨමාලා ගාස්තු වලින් කොටසක් හෝ මුළුමනින්ම මේ ආකාරයෙන් සුබසාධනය කරනවා.

මතු සම්බන්ධයි.

වෙබ් ලිපිනය: