වෙබ් ලිපිනය:

Showing posts with label ආර්ථික විද්‍යාව. Show all posts
Showing posts with label ආර්ථික විද්‍යාව. Show all posts

Saturday, August 16, 2025

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය


දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක් හෝ ප්‍රති උපකාරයක් ලෙසම නොවුණත්, ඔහු ඇමරිකාවට ඇවිත් අපේ නගරයේ ගත කළ දින කිහිපය මම ඔහු වෙනුවෙන් වෙන් කළා. වැඩිපුරම කළේ ඔහුගේ රියැදුරු වැඩේ. 

ඔය දවස් කිහිපයෙන් එක් දවසක් ඔහු යොදා ගෙන තිබුණේ මගේත් වැඩසගයෙකු (coworker) වන ඇමරිකානුවෙකු හමු වෙන්න. රාත්‍රී භෝජනයක් එක්ක සිදු වූ ඒ හමුවීම සඳහා නියම කරගෙන තිබුණේ නගරය මැද තිබෙන ජර්මන් අවන්හලක්. සාමාන්‍යයෙන් මම ඔය වගේ වැඩකට තේරීමක් කරද්දී නගරය මැද තැනක් තෝරා ගන්නේ නැහැ. ඊට හේතුව වාහනය නවත්වන්න තැනක් හොයා ගැනීම තරමක හිසරදයක් වීම. නගරයේ පැත්තකට යද්දී ඒ ප්‍රශ්නය නැති තැන් ඕනෑ තරම් තිබෙනවා. කොහොම වුනත් මේ අවස්ථාවේදී වැදගත් වුනේ චීන මිතුරාට සහ ඇමරිකන් වැඩසගයාට පහසු තැනක් තෝරා ගැනීම. මට කළ හැකිව තිබුණේ චීන මිතුරාගේ රියැදුරා ලෙස ඔහුට පහසුකම් සැලසීම පමණයි.

අවන්හල වටේ රවුමක් දෙකක් කැරකුනාට පස්සේ කොහොම හරි පාර අයිනේ වාහනයක් ඉවත් කර ගනිද්දී වාහනය ඒ ඉඩට දමා ගත්තා. මේ වගේ වාහනයක් නැවැත්විය හැකි ඉඩකට අංකයක් තිබෙනවා. ඒ අංකය කිට්ටුව තිබෙන මුදල් ගෙවීමේ යන්ත්‍රයකට ඇතුළු කරලා අවශ්‍ය කාලය වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. අනුන්ගේ ඉඩමක වාහනයක් නවත්වද්දී අපි කරන්නේ එම ඉඩ යම් කාලයකට කුලියට ගන්න එක. මාස කුලියට ගෙයක් ගන්නවා හෝ දවස් කුලියට හෝටල් කාමරයක් ගන්නවා වගේම වැඩක්. 

පාර අයිනේ මේ ඉඩ අයිති නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටයි. වාහන නැවැත්වීම සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව වාහන නැවැත්විය හැකි බිම්කොටස් ප්‍රමාණය සීමිතයි. වෙනත් විදිහකින් කිවුවොත්, ඉල්ලුම කොපමණ වුණත් සැපයුම වැඩි කරන්න බැහැ. හරියට දුම්රියක ආසන ප්‍රමාණය වගේ. ඒ නිසා තිබෙන සීමිත සැපයුම කිසියම් ක්‍රමයකට වෙන් කරන්නම වෙනවා. මේ වෙන් කිරීම කරන්නේ අය කරන මිල මගිනුයි. 

අය කරන මිල නියම මිලට වඩා අඩුනම් ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නේ නැහැ. ඒ නිසා, සල්ලි ගෙවලා වුනත් වාහනයක් නවත්වන්න තැනක් හොයා ගන්න බැරි වෙනවා. අපි වගේ රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට යන කෙනෙකුට එක්කෝ වාහනය සෑහෙන ඈතක නවත්වලා පයින් ඇවිදගෙන එන්න වෙනවා. එහෙම නැත්නම් ළඟ තැනක් හොයා ගන්න සෑහෙන්න කලින් එන්න වෙනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අමතර කාලයක් නාස්ති වෙනවා. ඔය අපහසුතාවය විඳින්න හෝ කාලය නාස්ති වීමේ පාඩුව දරාගන්න කැමති නැති කෙනෙක්ට වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් නගරයට වාහනයකින් එන්නේ ඔය කට්ට කන්න කැමති සහ කාලයේ වටිනාකම අඩු අය. 

අය කරන මිල අවශ්‍ය පමණ වැඩි කිරීම මගින් ඔය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන්. එහිදී වෙන්නෙත් කිසියම් පිරිසක් ඉවත් කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරන එක. මේ විකල්පයේදී, මුදලක් ඉතිරි කර ගැනීම සඳහා ඉහත කට්ට කන්න කැමති අය තරඟයෙන් ඉවත් වෙනවා. වැඩි මුදලක් ගෙවන්න කැමති අයගේ කාලය ඉතිරි වෙනවා. 

දෙවන ක්‍රමය නගරයේ තිබෙන අවන්හල් ආදියටත් වාසියි. පහසුවෙන් වාහන නැවැත්වීමේ විකල්පය නැත්නම් වැඩි මුදලක් වියදම් කළ හැකි පාරිභෝගිකයෝ ඔය අවන්හල් වලට එන්නේ නැහැ. නමුත් මිල ගැන හිතා වාහනය කිට්ටුව පාතක නොනවත්වා ඈතක නවත්වන පාරිභෝගිකයෝ කොහොමටත් එනවා. සංචාරකයෙක් තමන්ගේ සංචාරක ගමනාන්ත තෝරා ගනිද්දී වෙන්නෙත් ඔය වැඩේමයි. තමන්ට අවශ්‍ය තේරීම් නැති බව පේනවානම් ඒ තේරීම් තිබෙන රටකට යනවා. ඉස්තිරික්කයෙන් රොටී පුච්චන සංචාරකයෝනම් කොහොමටත් එනවා.

ඉහත හේතුව නිසාම නගරය මැද තිබෙන මිල අධික අවන්හල් විසින් මුදල් අය කර වාහනය ඉඩ තිබෙන තැනක නවත්වා දීමේ සේවාව (valet parking) සපයනවා. ඒ වගේ අවන්හලකට ඇවිත් ලොකු මුදලක් වියදම් කරන පාරිභෝගිකයෙකුට වැඩි මුදලක් ගෙවා ඔය සේවාව ලබා ගන්න එක වාහනය නවත්වන්න තැනක් හොයන්න කට්ටක් කන එකට වඩා වාසියි. මම ඔය කාණ්ඩයේ පාරිභෝගිකයෙක් නොවුනත්, වාහනය නවත්වන්න තැනක් හොයාගන්න දඟලන එකට තිබෙන අකැමැත්ත නිසාම සාමාන්‍යයෙන් ඉඳහිට නගරයේ අවන්හලකට යන දවසකට ඔය පහසුකම ලබා ගන්නවා. නමුත් මගේ වැඩ සගයින් සහ වෙනත් මිතුරන් බොහෝ දෙනෙක් ඔය ඩොලර් කීපය ඉතිරි කර ගැනීම සඳහා රවුම් දෙක තුනක් කැරකෙන්න වැඩි කැමැත්තක් තිබෙන අය. 

මගේ චීන මිතුරාත් ඔය දෙවන කාණ්ඩයට අයිති කෙනෙක්. සමහර විට වාහනය නැවැත්වීමේ ගාස්තුව ඔහුගේ අතින් ගෙවන්න හිතාගෙන හිටපු නිසා, ඔහුගේ අදහස වුනේ වාහනය නවත්වන්න තැනක් හොයාගන්න ඒ තරම් අමාරු නැති බවයි. "ඒ තරම් අමාරු නැහැ" කියන එක සාපේක්ෂ මිනුමක්නේ. කොහොම හරි වාහනයක් ඉවත් කර ගන්නා බවක් ඔහු නිරීක්ෂණය කළා. මම වාහනය එතැනට දැම්මා.

වාහනය නැවත්වූ ගමන්ම මුදල් ගෙවීම සඳහා චීන මිතුරා බැහැලා ගියා. මේ මුදල් අය කිරීම කරන්නේ පෞද්ගලික සමාගමක් විසින්. නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුව විසින් එසේ මුදල් එකතු කරගැනීමේ අයිතිය පෞද්ගලික සමාගමකට විකුණලයි තියෙන්නේ. රජය විසින් ඔය වගේ සිල්ලර වැඩත් කරන්න යන එකට වඩා ඒ වැඩේ කාර්යක්ෂමයි. අදාළ බිම්කොටස් වාහන නැවැත්වීම සඳහා කුලියට දීම මගින් වැඩිම ආදායමක් උපයන වැඩේ වඩාත්ම හොඳින් සිදු වෙන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ආයතනයක් විසින් ඒ වැඩේ කරද්දීයි. එවැනි සමාගම් අතරින් වැඩිම මිලක් ගෙවන සමාගමකට අදාළ බිම් කොටස් එක වර වසරක් වැනි දීර්ඝ කාලයකට කුලියට දීම මගින් නගරයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවටත් එම බිම්කොටස් වෙනුවෙන් වැඩිම මුදලක් ලබා ගන්න පුළුවන්. 

මම වාහනය නවත්වලා අදාළ මුදල් ගෙවීමේ යන්ත්‍රය වෙත යන කොටත් චීන මිතුරා විසින් පැය එකහමාරක කාලයක් වෙනුවෙන් මුදල් ගෙවලා. ඩොලර් තුනක පමණ සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. අපේ නගරය ඇමරිකාවේ ලොකු නගර එක්ක බලද්දී ඒ තරම්ම ජනාකීර්ණ නගරයක් නොවන නිසා ඔය වගේ සුළු මුදලක් අය කරලා ඉල්ලුම හා සැපයුම තුලනය කරගන්න පුළුවන්. 

මේ වගේ හමු වීමකදී ආගිය කතා කතා කරලා ඉවර වෙද්දී පැය එකහමාර පනිනවා කියන එක මටනම් ඉතාම පැහැදිලි කරුණක්. මගේ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් ඔය වගේ වැඩකට පැය දෙකක් පමණවත් යනවා. ඒ නිසා, චීන මිතුරා මට මුදල් ගෙවන්න ඉඩ හැරියානම්, මම කරන්නේ අඩුම වශයෙන් පැය තුනකටවත් මුදල් ගෙවන එක. එවිට හිතේ නිදහසින් කෑම ටික කාලා වාහනයට එන්න පුළුවන්. එහෙම නැත්නම්, අඩු මුදල ගෙවන්න කෑම නවත්වලා නැගිටලා එන්න වෙනවා. වාහනය නැවැත්තුවෙත් අවන්හලට තරමක් දුරින්. 

මගේ අඬවැඩියාව නිසාම චීන මිතුරා තවත් පැය බාගයක කාලයක් එකතු කළා. දැන් ඩොලර් හතරයි. වැඩිපුර ගියේ තවත් ඩොලරයක් පමණයි. තවත් අමතර ඩොලරයක් ගෙවුවානම් හිතේ නිදහසේ කෑම ටික කන්න තිබුණත්, මගේ කීමට ඩොලරයක් වැඩියෙන් ගෙවුවටත් පස්සේ තවත් ඔය ගැන වාද කරන්න බැරි නිසා මම කටවහගෙන හිටියා. 

අපේ සුහද හමුව අවසන් වෙලා නැවත අවන්හලේ සිට වාහනයට ඇවිදගෙන එද්දී, ලොකු වෙලාවකින් නොවුනත්, පැය දෙක පහු වෙලා. ඒ කියන්නේ දඩ කොළයක් ලැබීමට ඉඩක් තිබෙනවා. රාත්‍රී 7:54 දක්වා අපි මුදල් ගෙවලයි තිබුණේ. චීන මිතුරා දිගින් දිගටම කිවුවේ රාත්‍රී අටෙන් පසුව වාහන නැවැත්වීම සඳහා මුදල් ගෙවිය යුතු නැති බව සහ ඒ දක්වා තිබෙන මිනිත්තු 6ක කාලය තුළ මෙය පරීක්ෂාවට ලක් වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් වාහනයට පැමිණි වහාම තහවුරු වුනේ ඔහු වැරදි බවයි. අවසාන වශයෙන් ඩොලරයක් ඉතිරි කර ගැනීමේ උත්සාහය වෙනුවෙන් ඩොලර් විස්සක දඩයක් ගෙවන්න වුනා.

මේ අවස්ථාවේදී චීන මිතුරා විසින් කළේ වාසියක් අපේක්ෂාවෙන් අවදානමක් ගන්න එක. නමුත් ඔහු සූදුවෙන් පැරදුනා. මේ ගැන කතාබහ දිගට යද්දී ඔහු කිවුවේ ඔහුගේ මිතුරෙක් කිසිම දවසක වාහන නැවැත්වීම සඳහා මුදල් නොගෙවන බවයි. ඊට හේතුව, එම මිතුරාගේ ගණනය කිරීම් අනුව, දඩ කොළ ලැබීමේ සම්භාවිතාව අඩු නිසා වාහන නැවැත්වීමේ ගාස්තු නොගෙවීම මගින් ඉතිරි කරගත හැකි මුදලින් ඉඳහිට දඩයක් ගෙවුවත් අවසාන වශයෙන් කීයක් හෝ ඉතිරි වීමයි. 

මේ තමයි මිනිසුන්ගේ සාමාන්‍ය චර්යාව. ඔවුන් කටයුතු කරන්නේ, තීරණ ගන්නේ තමන්ට ලැබෙන වාසි අවාසි කිරා මැන බැලීමෙන් පසුවයි. ඉහත දිනයේ එම හමුවට මම තනිවම ගියානම් මම කරන්නේ වාහනය නවත්වා දීමේ සේවාව (valet parking) ලබා ගැනීමයි. ඒ සඳහා ඩොලර් 15ක් පමණ ගෙවන්න වෙනවා. විකල්පයක් ලෙස පාරේ වාහනය නැවැත්වීමට තීරණය කළේනම්, මම කරන්නේ අවම වශයෙන් පැය තුනක කාලයක් සඳහාවත් මුදල් ගෙවන එකයි. ඒ අනුව, වාහනය නවත්වා දීමේ සේවාව ලබා ගැනීම වෙනුවෙන් මට අමතර ඩොලර් 10ක් පමණ වැය වෙනවා. නමුත්, මට සාපේක්ෂව, වාහනය නවත්වන්න තැනක් සෙවීමේ අපහසුව මග හැර ගැනීම ඩොලර් 10කට වඩා වටිනවා. නමුත් මගේ බොහෝ මිතුරන් එම අපහසුව විඳ ගැනීම ඩොලර් 10ක් බේරා ගැනීම වෙනුවෙන් විඳ දරාගන්නවා. මා මෙන්ම ඔවුන් කරන්නේද තමන්ට වඩාත්ම වාසිදායක දෙයයි.

ඇතැම් විට අපට කිසියම් තීරණයක වාසි අවාසි ගැන කලින් නිශ්චිතව දැන ගන්න බැහැ. මිල දී ගන්නා ලොතරැයියකින් දිනුමක් ඇදුනොත් වාසියක් වෙනවා. දිනුමක් නැත්නම් අවාසියක් වෙනවා. මේ වගේ අවස්ථා වල මිනිස්සු තීරණ ගන්නේ අපේක්ෂිත වාසි හා අවාසි මත පදනම්වයි. 

ඉහත අවස්ථාවේදී මගේ චීන මිතුරා අපේක්ෂා කළේ සුහද හමුව පැය එකහමාරකින් පමණ අවසන් වනු ඇති බවයි. එමෙන්ම, යම් හෙයකින් වාහනයට නැවත පැමිණෙන විට පැය දෙකක් පසු වී තිබුණේ වුවද එය කිසිවෙකුගේ අවධානයට යොමු නොවනු ඇති බවයි. ඔහුගේ එම උපකල්පන නිවැරදි වීනම් ඔහුට ඩොලරයක වාසියක් සිදු වෙනවා. ඔහුගේ මිතුරා කිසි දිනක වාහන නැවැත්වීම වෙනුවෙන් මුදල් නොගෙවන්නේද එය ඔහුට හෝ ඇයට වාසිදායක නිසයි.

වාහන නැවැත්වීම සඳහා බිම්කඩ කුලියට දෙන සමාගම විසින් එම බිම්කඩ නාගරික අධිකාරයෙන් කුලියට ගෙන නැවත කුලියට දෙන්නේ එසේ කිරීම මගින් ඔවුන්ට ලාබයක් අපේක්ෂා කළ හැකි බැවිනුයි. එමෙන්ම, එම නාගරික අධිකාරය, එනම් පොදු වැඩ දෙපාර්තමේන්තුව, ඒ කාර්යය වැඩිම මුදලක් ගෙවන සමාගමට පවරා තිබෙන්නේ එය වඩාත්ම වාසිදායක නිසයි. 

මේ සියල්ල ආර්ථික ක්‍රියාකාරකම්. ආර්ථික ක්‍රියාකාරකම් හැම විටම සදාචාරය හෝ නීතිය සමඟ එකඟ වන්නේ නැහැ. තමන්ට සාපේක්ෂව වාසියක් වේනම් මිනිස්සු සාමාන්‍යයෙන් ඒ වාසිදායක දේ කරනවා. ඇතැම් විට එවැනි වාසිදායක දෙයක් සදාචාරයේ හෝ නීතියේ සීමා කඩන දෙයක් වෙන්න පුළුවන්. 

දුම්රිය ප්‍රවේශපත් කලින් අලෙවි කරද්දී එසේ කරන්නේ අනන්‍යතා සංකේත රහිතවනම්, එයින් අදහස් වෙන්නේ එසේ අලෙවි කරන්නේ හුවමාරු කළ හැකි (transferable) හිමිකමක් බවයි. එවැනි අවස්ථාවකදී ප්‍රවේශපතක් මිල දී ගෙන නැවත අලෙවි කරනා අයෙකු විසින් කිසිදු නීතිමය හෝ සදාචාර සීමාවක් නොසලකා හරින්නේ නැහැ. නමුත් එම ප්‍රවේශපත් වලට අනන්‍යතා සංකේත ඇතුළු කිරීමෙන් පසුව මෙම හිමිකමේ ස්වභාවය වෙනස් වී හුවමාරු කළ නොහැකි හිමිකමක් (non transferable) බවට පත් වෙනවා. හුවමාරු කළ නොහැකි හිමිකමක් පසුව මුදල් ගෙවා මිල දී ගන්නා අයෙකු විසින් කරන්නේ අවදානමක් ගැනීමක්. එහිදී එවැන්නෙකු විසින් මුදල් ගෙවන්නේ තමන්ට ඇත්තටම අයිති නැති හිමිකමක් වෙනුවෙන්. එසේ මිල දී ගන්නා, වෙනත් අයෙකුට අයිති ප්‍රවේශපත්‍රයක් පෙන්වා අදාළ හිමිකම භුක්ති විඳින අයෙකු විසින් ඇත්තටම කරන්නේ හොරකමක් හෝ වංචාවක්. ව්‍යාජ ප්‍රවේශපත්‍රයක් පෙන්වා දුම්රියකට ඇතුළු වීමට සමාන දෙයක්. එම ප්‍රවේශපත්‍රය වෙනුවෙන් ඉහළ මිලක් තෙවන පාර්ශ්වයකට ගෙවූ පමණින් මෙය නිවැරදි දෙයක් වන්නේ නැහැ. 

යම් ක්‍රියාවක් වැරදි හෝ නිවැරදි වීම සහ එය සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකමක් වීම කරුණු දෙකක්. වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටීම මට සාපේක්ෂව නිවැරදි දෙයක් නෙමෙයි. නමුත් යම් නිශ්චිත වාස්තවික තත්ත්වයන් යටතේ පුද්ගලයින් එසේ කරන්නට පෙළඹීම අනිවාර්යතාවයක්. ඒ වගේම මට සාපේක්ෂව නිවැරදි නොවන දෙයක් වෙනත් අයෙකුට සාපේක්ෂව නිවැරදි දෙයක් වෙන්නත් පුළුවන්. 

අලෙවි කරන්නේ හුවමාරු කළ නොහැකි හිමිකමක් වුවත්, ප්‍රායෝගිකව හිමිකම භාවිතා කරන අවස්ථාවේදී එය පරීක්ෂාවට ලක් නොවේනම්, ඇතැම් අය එම තත්ත්වයෙන් වාසියක් ගැනීමට පෙළඹෙනවා. ලංකාවේ දුම්රිය ප්‍රවේශපත් නැවත අලෙවි වීම සිදු වුනේ ඒ නිසයි. මගේ චීන මිතුරාගේ මිතුරා වාහනයක් නවත්වන විට පුරුද්දක් ලෙස හිතාමතාම ඒ වෙනුවෙන් මුදල් නොගෙවා සිටින්නේද මෙය පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාව අඩු නිසා. නමුත් සදාචාර සීමාවන් හෝ වෙනත් හේතු නිසා හැම දෙනෙක්ම එසේ කටයුතු කරන්නේ නැහැ. යම් හෙයකින් වැඩි දෙනෙකු එසේ කටයුතු කරන්නේනම්, ඒ හේතුව නිසාම පරීක්ෂාවට ලක් වීමේ සම්භාවිතාවද ඉහළ යනවා. 

බැංකුවක ආරක්ෂක විධිවිධාන දුර්වල වන විට එම බැංකුවෙන් මංකොල්ලකරුවෙකු විසින් මුදල් පැහැර ගැනීමේ සම්භාවිතාවද ඉහළ යනවා. ආරක්ෂක විධිවිධාන දුර්වල වූ පමණින් ඕනෑම කෙනෙක් බැංකුව මංකොල්ල කන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් එසේ බැංකු මංකොල්ල කන අයෙකු ඒ සඳහා තෝරා ගන්නේ ආරක්ෂක විධිවිධාන දුර්වල බැංකුවක් මිසක් ශක්තිමත් බැංකුවක් නෙමෙයි. කිසියම් බැංකුවක් නැවත නැවත මංකොල්ල කනු ලබන්නේනම් එය එම බැංකුවේ ආරක්ෂක විධිවිධාන දුර්වල බව පෙන්වන සංඥාවක්. මේවාත් ආර්ථික ක්‍රියාකාරකම්ම තමයි. 

ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිස් හැසිරීම් පැහැදිලි කරන එක. ආර්ථික විද්‍යාව විද්‍යාවක් වන්නේ ඒ හැසිරීම් පරීක්ෂණ මගින් නැවත නැවත තහවුරු කර ගැනීමේ හැකියාවක් පවතින නිසා. එම හැසිරීම් හරිද වැරදිද කියන එක ආර්ථික විද්‍යාවේ වපසරියට අයිති දෙයක් නෙමෙයි. ස්වභාවික මිනිස් හැසිරීම් පැහැදිලි කරන එකට අමතරව එම මිනිස් හැසිරීම් වෙනස් කර ගත හැකි ආකාරයන්ද ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන්. එහෙත් එසේ වෙනස් කර ගත යුතුද නැද්ද යන්න බොහෝ විට ආර්ථික විද්‍යාවෙන් බාහිර දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික සාධක මත තීරණය වන දෙයක්.

Thursday, November 28, 2024

උසස්පෙළ ප්‍රශ්නයක්!


"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,

(1) මුදල් අච්චු ගැසීමෙනි 

(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.

(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.

(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි 

(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."

මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).

"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.

වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.

කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි. 

මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).

නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.

"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතුය."

මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.

Sunday, September 29, 2024

බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

 



බිත්තර ආප්ප වැනි කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා බිත්තර වැනි අමුද්‍රව්‍යයක මිල වැඩි වෙද්දී අදාළ නිෂ්පාදනයේ මිල වැඩි වන නමුත් අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී එසේ වැඩි වූ මිල නැවත පෙර මට්ටමටම නොපැමිණෙන්නේ ඇයි?

කෙටි පිළිතුර, මීට හේතුව උද්ධමනය බවයි. එහෙමත් නැත්නම් උද්ධමනය කියන්නේ මෙයට බවයි.

එහෙමනම් දැන් උද්ධමනයක් නැති තත්ත්වයක් යටතේදී, බිත්තර මිල අඩු වෙද්දී බිත්තර ආප්ප මිල අඩු නොවෙන්නේ ඇයි?

නැවතත් කෙටි පිළිතුරක් ලබා දුනහොත්, බිත්තර ආප්ප මිල ඉහළ ගියේ උද්ධමනය පැවති විටයි. එම මිල අඩු වීමටනම් ඊට සමාන අවධමනයක් සිදු විය යුතුයි. උද්ධමනය නැවතීම ප්‍රමාණවත් නැහැ. උද්ධමනය කියන්නේ රටේ සමස්ත මිල ආකෘතියම උස් තැනක ස්ථානගත වීමක්. එසේ ස්ථානගත වන මිල ආකෘතිය උද්ධමනය පාලනය කිරීමෙන් පසුව නැවත පහත වැටෙන්නේ නැහැ. 

කලින් සැලසුම් කර උද්ධමනය වලක්වා ගත යුත්තේ ඒ නිසා. අස්සයා පැන ගියාට පසුව ඉස්තාලය වැසීම මගින් කළ හැක්කේ පැන නොගිය අස්සයින්ද පැන යාම වලකා ගැනීම පමණයි. ගිය අස්සයා ගිහින් ඉවරයි. නැවත ආපසු එන්නේ නැහැ. 

පහත ලිපිය 2018 මැයි 11 පළ කළ ලිපියක්. දැන් කියවද්දී තවත් සරල කර ලිවුවානම් හොඳයි කියා හිතුණත් ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න අසීරු නිසා එලෙසම පළ කරනවා.

Monday, February 27, 2023

මිරිස් ගොවියාගේ කතාවස්තුව


මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.

 "ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.

ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)

බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.

අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.

මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.

ස්තූතියි."

පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. 

පළමු ගැටළුව මෙහි තිබෙන "නොගැලපීම" කුමක්ද? 

මේ "නොගැලපීම" හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද පෙරදිග ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.

මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ. 

මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?

පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා. 

දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.

අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?

ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?

ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි. 

සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ. 

දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.

දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.

දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.

අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්. 

එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?

ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්. 

ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි? 

ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!

ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද? 

හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ. 

මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම. 

ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.

ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.

සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

Monday, January 9, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (දෙවන කොටස)


මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා. 

පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?

බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා. 

හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා. 

බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා. 

වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු  සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.

වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි. 

අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද? 

බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද? 

ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා. 

මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ.  නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ. 

නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ. 

මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.

ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා. 

ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.

බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

Saturday, January 7, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)


මේ දවස් වල ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108ක් විතර වෙනවා කියලා මම කිවුවනේ. ඇමරිකාවේ බිත්තරයක් ඔය වගේ ගාණකට විකිණෙද්දී ඉන්දියාවේ රුපියල් 26ක් වැනි මිලකට බිත්තර විකිණෙන බවත් කිවුවනේ. ඔය ගණන් දෙකම කියලා තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්.

කොහොම හරි ප්‍රශ්නය මේකයි. දැන් ඇමරිකාව හා ඉන්දියාව අතර ඔය වගේ මිල වෙනසක් තියෙද්දී රටවල් දෙක අතර සිදු වන වෙළඳාම නිසා ඔය මිල ගණන් සමාන විය යුතු නැද්ද? 

සරල, පාඨ ග්‍රන්ථ උදාහරණයකනම් එහෙම වෙනවා. ඒ වගේ පාඨ ග්‍රන්ථ උදාහරණයක උපකල්පන හා ගැලපෙන තත්ත්වයන් යටතේ සැබෑ ලෝකයේදීත් ඔය වැඩේ වෙනවා. නමුත්, මේ නිශ්චිත අවස්ථාව වගේ ඇතැම් අවස්ථා වල පවතින සංකීර්ණ තත්ත්වයන් නිසා ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ.

අපි මේ බිත්තර උදාහරණයෙන් පටන් අරගෙන සැබෑ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ටිකක් කතා කරමු.

කවුරු හෝ කෙනෙක් බිත්තරයක් මිල දී ගන්නේ ඇයි? 

ඔය ප්‍රශ්නයට "ඔම්ලට් හදන්න", "බිත්තර ආප්ප හදන්න", එහෙමත් නැත්නම් "අකැමැති කෙනෙක්ගේ මූණට දමලා ගහන්න" වගේ විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත්, ආර්ථික විද්‍යාවට ආවොත්, පොදු වශයෙන් කවුරු හරි බිත්තරයක් මිල දී ගන්නේ බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට නිසා. සතුට ලැබෙන්නේ බිත්තරේ කඩලා ඔම්ලට් හදන එකෙන්ද නැත්නම් බිත්තරය රක්කවලා කුකුළු පැටියෙක් හදා ගන්න එකෙන්ද වගේ දේවල් ද්වීතියික කරුණු. 

බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් කෙනෙකුට ලැබෙන සතුට පුද්ගලබද්ධ කාරණයක්. ඒක බිත්තරයට සම්බන්ධ වාස්තවික කරුණක් නෙමෙයි. ඒ නිසාම, බිත්තරයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙකු හා අදාළව වුනත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම හිතන්නේ මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට අවුරුද්දකට දෙකකට කලින් බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබුණු සතුටට වඩා වැඩියි. 

බිත්තරයක් මිල දී ගන්න කෙනෙක් අවසාන වශයෙන් මිල දී ගන්නේ සතුටනම්, බිත්තර විකුණන අය විකුණන්නේ මොනවාද? බිත්තර විකුණන අය බිත්තර විදිහට විකුණන්නේත් සතුට. බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට වැඩි වන තරමට බිත්තරය විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

බිත්තරයක හිමිකාරයෙක් වෙද්දී සතුට වැඩි වෙනවා වගේම ඒ වෙනුවෙන් සල්ලි ගෙවද්දී සිදු වන අහිමි වීම නිසා සතුට අඩු වෙනවා. කවුරු හෝ බිත්තරයක් මිල දී ගන්නේ ඒ නිසා වැඩි වන සතුට ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුටට වඩා වැඩිනම් පමණයි.

සමහරු කියනවා සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම කියලා. ඔහොම කියන ගොඩක් අයගේ මනුස්සකම් ගැන අපට හොඳ අත්දැකීම් තිබුණත්, මනුස්සකම හෝ වෙනත් ඔය වගේ දෙයක් තරම් සල්ලි වටින්නේ නැහැ කියා හිතන කෙනෙක්ව අපි අරගනිමු. ඇත්තටම ඔහොම හිතන කෙනෙකුට ටිකක් වැඩි ගාණකට බිත්තරයක් විකුණන්න පුළුවන්. මොකද එහෙම කෙනෙකුගේ සල්ලි වල සාපේක්ෂ වටිනාකම අඩුයිනේ. සල්ලි ගෙවද්දී අහිමි වන සතුට අඩු වන තරමට කෙනෙකුට බඩුවක් විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ තිබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අඩු වෙද්දී අහිමි වන සතුට අඩුයි. අර කියන්නේ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට දැනෙන්නේ නැහැ කියලා. 

ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000කට වඩා වැඩියි. නමුත්, ඉන්දියානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,500ක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානුවෙකුට බිත්තර දුසිමක් මිල දී ගනිද්දී ඩොලර් තුන හතරක් ගෙවන්න වුනත් ඒක දැනෙන්නේ නැහැ. නමුත්, ඉන්දියානුවාට බිත්තර දුසිමට ඩොලර් එකක් ගෙවන්න වුනත් ඒක ඊට වඩා වැඩියෙන් දැනෙනවා. මේ හේතුව නිසා, ඇමරිකානුවෙකුට බිත්තරයක් වැඩි මිලකට විකුණන්න ලේසියි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ඇමරිකාව හා ඉන්දියාව අතර බිත්තර මිලෙහි පහසුවෙන් සමාන නොවෙන වෙනසක් තියෙන්න පුළුවන්. 

හැබැයි අනෙක් පැත්තෙන් මෙහෙම දෙයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානුවෙකුට කෑම බීම හිඟයක් නැහැ. කෑම බීම වෙනුවෙන් වියදම් වෙන්නේ මාසික පරිභෝජන වියදම් වලින් 14%ක් පමණයි. ඉන්දියාවේ ඔය ප්‍රතිශතය 46%ක් පමණ. ඒ වගේම ඇමරිකානුවෙක් අවුරුද්දකට බිත්තර 190ක් පමණ පරිභෝජනය කරද්දී, ඉන්දියානුවෙක් පරිභෝජනය කරන්නේ බිත්තර 50කටත් අඩුවෙන්. මේ හේතු නිසා, ඇමරිකානුවෙකුට සාපේක්ෂව ඉන්දියානුවෙකුට වැඩිපුර හිමි කරගත හැකි බිත්තරයක වටිනාකම වැඩියි. 

ඇමරිකානුවෙකුට බිත්තරයක් වෙනුවෙන් සල්ලි ගෙවද්දී අහිමි වන සතුට සාපේක්ෂව අඩු වුනත්, යම් බිත්තර ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් පසුව තව තවත් බිත්තර හිමි වීමේ සතුටත් සාපේක්ෂව අඩුයි. ඉන්දියානුවෙකුට සල්ලි වල වගේම බිත්තර වලත් වටිනාකම වැඩියි. ඒ නිසාම, ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර විකිණිය හැකි සීමාවක් තිබෙනවා. 

බිත්තර කියා කියන්නේ සමජාතීය භාණ්ඩයක්ද?

ගෙවල් පිටිපස්සේ කූඩු වල කිකිළියෝ බිත්තර දමපු කාලේනම් බිත්තර කියන්නේ බොහෝ දුරට සමජාතීය භාණ්ඩයක්. නමුත්, දැන් තත්ත්වය වෙනස්. මම කලින් කිවුවා වගේ බිත්තර වෙළෙන්දෙක් ඇත්තටම විකුණන්නේ සතුට. බිත්තර වලින් කරන්නේ සතුට නිෂ්පාදනය කරන එක. මේ හේතුව නිසාම බිත්තර විකිණෙන්නේ සතුට නිපදවන තවත් දේවල් එක්ක පැකේජ් කරලා. එහෙම විකුණන බිත්තර තව දුරටත් සමජාතීය භාණ්ඩයක් නෙමෙයි.

මේ වෙද්දී කීල්ස් සහ කාගීල්ස් සුපිරි වෙළඳසැල් වල හැපී හෙන් ලොකු බිත්තර 10ක් විකිණෙන්නේ රුපියල් 650කට. මේ විදිහට රුපියල් 650කට විකිණෙන්නේ බිත්තර දහයක් පමණක් නෙමෙයි. බිත්තර දහයේ ඇසුරුම සහ හැපී හෙන් සන්නාමයත් බිත්තර දහය එක්ක පැකේජ් වෙලා තිබෙනවා. බිත්තර වලින් වගේම ඔය පැකේජ් එකෙන් සහ සන්නාමයෙනුත් සතුට ජනනය කරවනවා. 

මම හිතන්නේ පොඩි සිල්ලර කඩේකින් බිත්තර දහයක් ගත්තත් මේ වෙලාවෙනම් ඔය ගාණට කිට්ටු ගාණක් යනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය විකිණෙන්නේ ඉතාම අඩු මිලකට. නමුත්, අවුරුද්දකට විතර කලින් ඔය මිල ගණන් සංසන්දනය කළානම් සැලකිය යුතු වෙනසක් පේනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය ඒ දවස් වල වඩා වැඩි මිලකට විකිණුනා කියන එක. අතේ සල්ලි අඩු වෙද්දී, සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී, මිනිස්සුන්ට බිත්තර වලට මිසක් සන්නාම වලට සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් සතුට ජනනය වෙන්නේ නැහැ.

මේ කරුණ තහවුරු කෙරෙන තවත් නිරීක්ෂණයක් තිබෙනවා. කීල්ස් සුපිරි වෙළඳසැලේම අලෙවිවන නෙල් ෆාර්ම් ලොකු බිත්තර 10ක් විකිණෙන්නෙත් හරියටම රුපියල් 650කට. කාගීල්ස් එකෙත් ඒ ගණන. ඒ වගේම, ආරෝග්‍යා සහ මහවැලි සන්නාම යටතේ එන බිත්තර දහයක් විකිණෙන්නේත් හරියටම රුපියල් 650ට. මේකෙන් පෙනෙන්නේ බිත්තර මිසක් සන්නාමය විකිණෙන්නේ නැහැ කියන එකයි. 

මෙහි සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී කියන එකෙන් අදහස් කළේ සල්ලි වල පුද්ගල බද්ධ වටිනාකම වැඩිවීම ගැන මිසක් ක්‍රය ශක්තිය වැඩිවීම ගැන නෙමෙයි. ක්‍රය ශක්තියනම් අඩු වෙලානේ. තවත් තේරෙන්න කිවුවොත් අතේ සතේ නැති වුනාට පස්සේ රුපියල් සීයක් වුනත් කෝටියක් වගේ දැනෙන එක ගැන. 

ඇමරිකාව වගේ රටකදී බිත්තර එක්ක පැකේජ් කරන ඇසුරුමට, ලේබලයට හා සන්නාමයට වගේම තවත් දේවල් වලට සැලකිය යුතු මුදලක් අය කරන්න පුළුවන්. ඒ නිසාම, එකම දවසක වුනත්, වෙනස් ලෙස පැකේජ් කර තිබෙන එක වගේ බිත්තර දුසිමක මිල සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. 


මේ ටාර්ගට් සුපිරි වෙළඳසැලේ මිල ගණන්.

ගුඩ් ඇන්ඩ් ගැදර් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.99යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 4.89යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 5.39යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.29යි.

ඔය කොයි වර්ගයෙන් ගත්තත්, සුදු දුඹුරු වෙනසක් නැත්නම්, බිත්තර කලවම් වුනොත් වර්ගය හොයා ගන්න බැහැ. කඩලා ඔම්ලට් හැදුවොත් කිසිම වෙනසක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට බිත්තර වල මිල වෙනස් වෙන්නේ පැකේජ් වෙලා තියෙන අනෙක් දේවල් නිසා. 

එළිමහනේ හදන කිකිළියන්ගේ බිත්තර දුසිමක් කූඩු වල හදන කිකිළියන් දමන බිත්තර දුසිමකට වඩා ඩොලර් ඩොලර් ශත 90ක් වැඩියි. ඕගනික්නම් තවත් ඩොලර් ශත පණහක් වැඩියි. 

බැලූ බැල්මට කිසිම වෙනසක් නැති කූඩු කිකිළියන්ගේ බිත්තර දුසිමක් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී කවුරු හරි කෙනෙක් එළිමහන් කිකිළියන්ගේ බිත්තර ගන්න ඩොලර් ශත අනූවක් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඔය ගොඩේ ඉන්නේ සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියලා හිතන මිනිස්සු. වැඩිපුර ශත අනූව ගෙවන්නේ මනුස්සකම ප්‍රදර්ශනය කරන්න. සමහර විට තමන්ටම. එහෙම කරන්නේ ඒ වැඩෙන් ලැබෙන සතුට ශත අනූව අහිමි වීම නිසා අඩුවන සතුටට වඩා වැඩි නිසා. විකුණන්නේ වගේම මිල දී ගන්නේත් බිත්තර නෙමෙයි සතුට කියලා තේරුම් ගත්තහම මේ හැසිරීමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

ඕගනික් බිත්තර වලට තව ඩොලර් ශත පණහක් එකතු වෙන්නෙත් ඔය ක්‍රමයට. කේජ් ෆ්‍රී ඕගනික් බිත්තරම වුනත්, බ්‍රෑන්ඩ් එක හැපී එග්නම්, ගුඩ් ඇන්ඩ් ගැදර් බ්‍රෑන්ඩ් එකට වඩා තවත් ශත අනූවකින් මිල වැඩියි.  ඒ ශත අනූව අදාළ සන්නාමය විකිණෙන මිල. වටිනාකම කියන්නේ පුද්ගල බද්ධ දෙයක් නිසා මේ වගේ පාරිභෝගික හැසිරීම් ගැන ඕනෑවට වඩා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒවා තේරුම් ගන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකෙත් තේරුමක් නැහැ. එක් එක් පුද්ගලයා සතුටු වෙන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකට කියන එක මතක තියා ගත්තහම ඇති. 

උඩින් දැම්මේ ටාගට් මිල ගණන්නේ. මේ වෝල්මාර්ට් එකේ මිල ගණන්.

ග්‍රේට් වැලියු ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.92යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.32යි.

වෝල්මාර්ට් එකේ ලොකු බිත්තර දුසිමක් ටාගට් එකේ ගණනට වඩා ශත තුනක් අඩුයි. නමුත්, හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් ශත තුනක් මිල වැඩියි.

වෝල්මාර්ට් එකෙන් සාමාන්‍යයෙන් බඩු ගන්නේ මිල සංවේදී පාරිභෝගිකයෝ. ඒ අය බිත්තර වලට මිසක් පැකේජ් එකට, මනුස්සකමට හෝ සන්නාමයට ගෙවන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ඒ අයට පුළුවන් තරම් අඩු තරඟකාරී මිලකට බිත්තර විකිණිය යුතුයි. නමුත් ටාගට් එකට සාමාන්‍යයෙන් එන්නේ ඊට වඩා ටිකක් වියදම් කරන්න කැමති අය. එතැනදී ඉලක්කය වෙන්නේ අමතර එකතු කිරීම විකුණන එක. කූඩු කිකිළි බිත්තර සහ කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර අතර මිල පරතරය අඩු වුනු තරමට මිල වැඩි කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර තෝරා ගන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළ ඔය වගේ එකක්. මිල සංවේදී පාරිභෝගිකයින්ට අඩු මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. කූඩු වල හිර වෙලා බිත්තර දමන කිකිළියන් ගැන අනුකම්පා කරන අයට වැඩියෙන් ගාණක් දීලා කේජ් ෆ්‍රී බිත්තර ගන්න පුළුවන්. ඕගනික් බිත්තර අවශ්‍ය අයට ඒවා ගන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා තමන්ට අවශ්‍ය සන්නාමයම හොයන අයට ඒ තේරීම්ද තිබෙනවා. ඒ නිසා, කඩලා ඔම්ලට් හැදුවහම කිසිම වෙනසක් නැතත් බිත්තර වල මිල තරමක් විශාල පරාසයක විචලනය වෙනවා. ඔය මිලෙන් බාගයක් විතරම අගය එකතු කිරීම්. 

ඉන්දියාවෙන් එක පාරටම ඇමරිකාවට බිත්තර ගෙනත් විකුණන්න බැරි ඇයි කියන එකට එක් හේතුවක් මෙයින් විස්තර වෙනවා. ඉන්දියාවේ අඩුවට විකිණෙන බිත්තර බොහෝ දුරට නිකම්ම බිත්තර. ඇමරිකාවේ වෙළඳපොළ තුළ තරඟ කරන්න පුළුවන් විදිහට අගය එකතු කිරීම් කළොත් ඉන්දියානු බිත්තර වලත් මිල ඉහළ යනවා. 

හැබැයි ඉන්දියානු බිත්තර වලට බලපාන මේ ප්‍රශ්නය හැම රටකටම ඒ විදිහටම බලපාන්නේ නැහැ. ගොඩක් බටහිර රටවල බිත්තර විකිණෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට. ඒ නිසා, කැනඩාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වගේ රටකට පහසුවෙන්ම ඇමරිකාවට බිත්තර අපනයනය කරන්න පුළුවන්. චීනයේ වුනත් ඒ මට්ටමේ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා. නමුත් ඉන්දියාව, ලංකාව වගේ අඩු ආදායම් රටවල විකිණෙන බිත්තර කියා කියන්නේ බොහෝ විට ඇමරිකාව, ජපානය හෝ කොරියාව වැනි රටක බිත්තර වලට සෘජු ආදේශක නෙමෙයි. 

වෙළඳපොළ තරඟය කියන්නේ මිල තරඟයක් පමණක් නෙමෙයි. පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා වන තරඟයක්. මිල මත තරඟ කළ හැක්කේ එමගින් පාරිභෝගිකයා සතුටු කළ හැකි සීමාව දක්වා පමණයි. එතැනින් එහාට පාරිභෝගිකයා සතුටු කළ හැකි වෙනත් ක්‍රම ගැන හිතන්න වෙනවා.

මේ කොටසෙන් කතා කළේ බිත්තර ඉල්ලුම ගැන. සැපයුම පැත්ත ගැන දෙවන ලිපියකින් කතා කරමු. වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක වගේම බිත්තර වලත් ඉල්ලුම හැදෙන්නේ මේ භාණ්ඩය හිමි කර ගැනීම නිසා වැඩි වන සතුට හේතුවෙන්. නමුත්, බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් සතුටු වන විදිහ පුද්ගල බද්ධ දෙයක් නිසා සංවර්ධික රටක බිත්තර ඉල්ලුමේ සහ අඩු ආදායම් මට්ටමක සිටින රටක පාරිභෝගිකයින්ගේ බිත්තර ඉල්ලුමේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

ලංකාව, ඉන්දියාව වගේ රටක පාරිභෝගිකයින් විසින් ගෙවන්නේ බිත්තරය ආහාරයට ගැනීමෙන් ලැබෙන සතුටේ මිල පමණයි. නමුත්, බටහිර රටක පාරිභෝගිකයෙකු විසින් බිත්තර දමන කිකිළියගේ සතුට වෙනුවෙන්ද මිලක් ගෙවනවා. කිකිළියගේ සතුට කියා කිවුවත්, ඒකත් පාරිභෝගිකයා ළඟම මිස කිකිළිය ළඟ තිබෙන දෙයක් නෙමෙයි. ඊට අමතරව, බටහිර රටවල විකිණෙන පාරිභෝගික භාණ්ඩ එක්ක සමාජ සාධාරණත්වය, පරිසරය ගැන තියෙන කැක්කුම වගේ තව තව දේවල් විකිණෙනවා. ඒ දේවල් වෙනුවෙන් ගෙවන්න පුළුවන් තරමේ අතිරික්ත ධනයක් එම රටවල පාරිභෝගිකයින්ට තිබෙනවා. නමුත්, එදාවේල කන්න බිත්තරයක් ගන්න පාරිභෝගිකයෙක්ට පුළුවන් තරම් අඩුවට බිත්තරේ ගන්නවා මිසක් ඔය වගේ අමතර දේවල් වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් අහිමි වන සතුට වැඩියි.

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

Thursday, November 17, 2022

වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?

ඩොලර් එක දැන් තියෙන මට්ටමේ තියෙන්නේ පාලිත තත්ත්වයක් යටතේ කියලා කවුරුත් වගේ දන්නවා. ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න ඇරිය යුතු බව IMF එකේත් නිර්දේශයක්. ඒ විදිහට ඩොලරය නැවත පා කළහම කීයට යයිද කියන එක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම පුළුවන්නම්, මම ඒ ගැන සටහනක් නොදා ඉන්නේ නැහැ. මේ වැඩේ මූලධාර්මික ලෙසම කළ නොහැකි වැඩක්. මොකද එහෙම පුළුවන්නම්, එයින් අදහස් වන්නේ ඩොලරයට වෙළඳපොළෙන් ස්වායත්ත කිසියම් ආකාරයක වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක. 

ඩොලරයක මිල පමණක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක වටිනාකම සම්බන්ධ ධනවාදී අදහස භාණ්ඩයකට හෝ සේවාවකට එවැනි වාස්තවික (objective) වටිනාකමක් නැහැ කියන එක. භාණ්ඩයකට ඒ මත යෙදවූ ශ්‍රමය මත පදනම් වන විශ්වීය (universal), වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක මාක්ස්වාදී අදහසක්. මාක්ස්වාදයේ එන සූරාකෑම කියන කතාව ප්‍රබන්ධ කර තියෙන්නේ ඔය උපකල්පනය මත පදනම්වයි.

ධනවාදී ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම කියන්නේ ආත්මීය (subjective) කරුණක්. එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. රජයට හෝ වෙනත් පුද්ගලයෙක්ට කවදාවත් ඒක හරියටම දැන ගන්න බැහැ. වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වන්නේම මේ හේතුව නිසා. ගනුදෙනු හරහා භාණ්ඩයකට අඩු ආත්මීය වටිනාකමක් දෙන අය අතේ තිබෙන භාණ්ඩ එම භාණ්ඩයටම වැඩි ආත්මීය වටිනාකමක් දෙන අය අතට යනවා. මේ හරහා අගය එකතු වීමක් (value addition) සිදු වෙනවා. ගනුදෙනු වැඩි වන තරමට භාණ්ඩය මත අගය එකතු වීම වැඩියි. 

"වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?


කාගෙවත් ඇස නොගැටෙන 

ඇති නිසා හැමතැනම අපමණව 

ගස් යට වැටී කුණුවන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


දහදියෙන් පෙඟී ගිය 

අත් මිටක මොලවාන 

උතුරනා සෙනෙහසින් අපමණව 

ඔබට දෙන්නට 

සඟවාගෙන ආ වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


නැති නිසා ඔබ ආවේ 

සොවින් පිරි හදවතින් අපමණව 

වීසි කළ ලාච්චුව මුල්ලකට 

කුණු වී දිරා යන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?"


උඩින් තියෙන ජනක විජයකුලසූරියගේ කවියේ භාණ්ඩයක වටිනාකම පිළිබඳ ධනවාදී අදහස ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, ලාච්චුව මුල්ලේ කුණු වී දිරා යන වෙරළු ගෙඩියටත් ආත්මීය වටිනාමක් තිබෙනවා. නමුත් එය විශ්වීය වටිනාකමක් නෙමෙයි. වටිනාකම තියෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාටම වුනත්, ඒ වෙරළු ගෙඩියේ තිබෙන ආත්මීය වටිනාකම සර්වකාලීන වටිනාකමක් නෙමෙයි. කාලයත් එක්ක වටිනාකම් වෙනස් වෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් භාණ්ඩයකට දෙන ආත්මීය වටිනාකම අපිට හරියටම දැන ගන්න බැරි වුනත්, ඒ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි එය කළ හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. මෙය ඩොලරයක මිලටත් අදාළයි.

කවුරු හෝ කෙනෙක් රුපියල් 360කට ඩොලරයක් මිල දී ගන්නවානම් එයින් අදහස් වෙන්නේ එම පුද්ගලයා ඩොලරයට දෙන ආත්මීය වටිනාකම අවම වශයෙන් රුපියල් 360ක් බවයි. එය ඊට වඩා වැඩි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, එය විකුණන පුද්ගලයා ඩොලරයකට දෙන උපරිම ආත්මීය වටිනාකම රුපියල් 360යි. එය ඊට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

දැන් එතකොට ඩොලරයක මිල කියා කියන්නේ කුමක්ද? 

ඕනෑම භාණ්ඩයක, මේ උදාහරණයේදීනම් ඩොලරයක, වෙළඳපොළ මිල කියන්නේ සමස්තයක් ලෙස අදාළ භාණ්ඩයට වැඩිම සමුච්ඡිත ආත්මීය වටිනාකමක් ලබා දෙන මිලයි. ඒ ඇයි?

වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. අපි හිතමු ඩොලරයක ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 400ක් කියලා. එයින් කියැවෙන්නේ කුමක්ද? 

ඩොලරයකට රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් දෙන ඕනෑම කෙනෙකුට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ගෙවන්නේ තමන්ට සාපේක්ෂ ඩොලරයක ආත්මීය වටිනාකමට වඩා අඩු මිලක්. අනෙක් අතට තමන් අතේ තිබෙන ඩොලරයක රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් නොදකින ඕනෑම කෙනෙකුට තමන්ගේ ආත්මීය වටිනාකමට වඩා වැඩි මිලකට ඩොලරයක් විකුණන්න පුළුවන්. මේ වැඩෙන් වෙන්නේ ඩොලර් විකුණන වගේම මිල දී ගන්නා හැම කෙනෙක්ම අතිරික්ත තෘප්තියක් ලබන එක. අතිරික්ත ආත්මීය වටිනාකමක් එකතු කර ගන්න එක.

දැන් ඔය මිල රුපියල් 400 නොවී රුපියල් 360 මට්ටමේ හිර කර ගෙන ඉඳිද්දී වෙන්නේ කුමක්ද? ඩොලරයට රුපියල් 360ක ආත්මීය වටිනාකමක් නොදෙන අය තමන්ගේ ඩොලර් විකුණනවා. ඒ අයට වගේම ඒ ඩොලර් මිල දී ගන්න අයටත් කලින් වගේම වාසියක් වෙනවා. නමුත් රුපියල් 360ක් ගෙවා ඩොලර් මිල දී ගන්න අවශ්‍ය සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය අතෘප්තිමත්. ඒ ඇතැම් අය ඩොලරයකට රුපියල් 400ක් වුවත් ගෙවන්න කැමතියි.  ඒ වගේම, ඩොලර් එකකට රුපියල් 380ක ආත්මීය වටිනාකමක් දෙන කෙනෙකුට එය රුපියල් 360 බැගින් විකුණන්න අවශ්‍ය නැහැ. නමුත් මිල රුපියල් 400 වුනොත් තමන් අතේ තිබෙන ඩොලරය විකුණා රුපියල් 20ක වාසියක් ලබන්න පුළුවන්. මිල පාලනය නිසා ඒ වාසිය නැති වෙනවා. 

වටිනාකම් වල තිබෙන ආත්මීය ස්වරූපය නිසාම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන වෙළඳපොළ මිල හරියටම දැනගන්න පුළුවන් එකම ක්‍රමය නිදහස් ගනුදෙනු වලට ඉඩ හරින එකයි. එහෙම නොකර ඒ මිල කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කරන්න හදනවා කියන එකම රජය විසින් ව්‍යවසායකයින් පුහුණු කරනවා වගේ විරුද්ධාභාෂයක්.

කොහොම වුනත් විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීම පැහැදිලි කරන ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය වගේ මූලධර්ම තිබෙනවා. ඒ ඇසුරෙන් විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි සටහනක කියවමු.



Wednesday, November 2, 2022

සාර්ව ආර්ථික තුලනය හා ආර්ථික කම්පන

සාර්ව ආර්ථික තුලනය යනු කුමක්ද? සාර්ව ආර්ථික තුලනය හැම විටම ස්ථායී නොවන්නේ ඇයි? ස්ථායී ආර්ථිකයක් අස්ථායී වෙන්නේ කොහොමද? ආර්ථික අවපාතයකදී පොලී අනුපාතික අඩු කරන්නේ ඇයි? උද්ධමනය හමුවේ පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි? ආර්ථික අවපාතයක් හා උද්ධමනය යන දෙකම එක විට පහර දෙද්දී කළ හැක්කේ කුමක්ද?

කාලයකට පස්සේ නැවතත් වීඩියෝ එකක් කළා. මෙය සාර්ව ආර්ථික තුලනය ගැන. ඔය ගැන පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස ඇතැම් අය අදහස් දක්වා තිබුණත්, අවශ්‍ය මූලික සිද්ධාන්ත පැහැදිලි නොකර පිළිතුරු දීම අභියෝගයක් වූ නිසා එම සිද්ධාන්ත කිහිපයක් පැහැදිලි කරන එකයි මෙයින් කරන්නේ. ෆේස්බුක් සටහන් ආකෘතිය ඇතුළේ මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. බ්ලොග් ආකෘතිය නරක නැතත් දැන් වැඩි පිරිසක් කියවන්නේ බ්ලොග් එක හරහා. ඔය තුන් තැනෙන් ඕනෑම තැනක ඔබට ප්‍රතිචාර දැමිය හැකියි. පැහැදිලි කර ගැනීමේ අරමුණින් දමන ප්‍රතිචාර වලට පිළිතුරු ලැබෙයි.

ඉකොනොමැට්ටාගේ ලිපි වගේම වීඩියෝත් දිග වැඩියි. ගොඩක් අය කැමති මිනිත්තු 20 නොඉක්මවන වීඩියෝ වලට. දිග වැඩිනම් කොටස් වශයෙන් බලන්න. 

වීඩියෝ එකට ලින්ක් එකක් පහත තිබෙනවා. 

Link: https://www.youtube.com/watch?v=6AkMIpsVxs0



Friday, September 23, 2022

උද්ධමනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාව


උද්ධමනය ගැන විවේචනාත්මක ලෙස කතා කරන ගොඩක් අය විසින් කියන ජනප්‍රිය කතාවක් වන්නේ උද්ධමනය නිසා රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළට වැටෙනවා කියන එක. මේක මිථ්‍යාවක්. 

මේ කතාව මිථ්‍යාවක් කියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාඥයින් එකඟ වන දෙයක්. අවශ්‍ය කෙනෙකුට "Inflation fallacy" කියන වචන ගූගල් කරලා බලන්න පුළුවන්. 

හැබැයි මේ මිථ්‍යා අදහස ලෝකය පුරාම ජනප්‍රියයි. මේ දවස් වල ලංකාවේ මේ අදහස ප්‍රවර්ධනය කරන්නේ සමාජවාදී කඳවුරේ අය පමණක් නෙමෙයි. ලිබරල් කඳවුරේ අයත් බරටම මේ වැඩේට දායක වෙනවා. 

දැන් මම මේ කියන්න හදන්නේ උද්ධමනය හොඳයි කියලවත්, උද්ධමනය බිය විය යුතු දෙයක් නෙමෙයි කියලවත්, උද්ධමනය හැකි ඉක්මණින් මුළු වැර යොදා පරාජය කළ යුතු දෙයක් නෙමෙයි කියලවත් නෙමෙයි. ඉතා පැහැදිලිවම උද්ධමනය පරාජය කිරීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. උද්ධමනය ඉතාම හානිකරයි. හැබැයි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටක ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ නැහැ. 

උද්ධමනය නිසා වෙන්නේ කිසියම් රටක මුදල් ඒකකයක තිබෙන මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය අඩු වෙන එක.  කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය අඩු වීම හා ඒ මුදල් ඒකකය භාවිතා කරන මිනිසුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම කියා කියන්නේ කරුණු දෙකක්. මේ දෙක එකක් නෙමෙයි. 

ලංකාවේ මුදල් ඒකකය රුපියල්නේ. ලංකාවේ උද්ධමනය නිසා වෙන්නේ රුපියලේ ක්‍රය ශක්තිය අඩු වෙන එක. හැබැයි ඒ නිසා රුපියල් භාවිතා කරන මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අනිවාර්යයෙන්ම අඩු වෙන්නේ නැහැ. ඒ, සමස්තයක් ලෙස, රටේ මිනිස්සුන්ගේ වියදම් වැඩි වන තරමට ආදායම්ද වැඩි වන නිසා.   

රුපියලේ ක්‍රය ශක්තිය ගැනම කතා කළත්, ඇතැම් අවස්ථා වල නන්දලාල් වීරසිංහ, හර්ෂ ද සිල්වා වගේ අය පවා ගණන් වරද්දලා කතා කරනවා. උද්ධමනය 60%ක් කියා කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 40%ක් පමණක්ද? 

නන්දලාල් වීරසිංහ වගේම හර්ෂ ද සිල්වාත් ඔය කතාව ඔය විදිහටම වගේ කියනවා මම දැකලා තියෙනවා. සමහර විට ප්‍රශ්නයේ බරපතලකම ඔළුවට දාන්න හිතාමතාම මෙහෙම කියනවා වෙන්න පුළුවන්. මේ කතාවේ අදහස නිවැරදි වුනත්, ගණන් වැරදියි. මේ කතාව ඇත්තනම්, උද්ධමනය 100% වුනොත් රුපියල් වලින් බඩු මිල දී ගන්නම බැරි විය යුතුයි!

දැන් උද්ධමනය 70%යි. ඒ කියන්නේ දැන් මිල දී ගන්න පුළුවන් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 30%ක් කියන එක නෙමෙයි. කලින් රුපියල් 100ක් ගිය බඩු මල්ලට දැන් රුපියල් 170ක් යනවා කියන එකයි. ඒ කියන්නේ දැන් රුපියල් 100කින් මිල දී ගන්න පුළුවන් කලින් රුපියල් 59කින් පමණ (=100/1.7) ගත්ත බඩු ප්‍රමාණය කියන එක. එහෙමත් නැත්නම් කලින් මිල දී ගත් බඩු ප්‍රමාණයෙන් 59%ක් කියන එක.

හරි. ගණන් වෙනස් කියමුකෝ! එහෙම වුනත් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙලානේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ ගිහින් කියන එක. මොකද උද්ධමනය නිසා මේ විදිහට වියදම් වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් ආදායම්ද වැඩි වෙන නිසා.

තනි පුද්ගලයෙක් ගත්තොත්, සමහර විට, උද්ධමනය නිසා වියදම් වැඩි වූ තරමට ආදායම් වැඩි වී නොතිබෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් ලෙස රටේ හැමෝම ගත්තොත් ඒක ඒ විදිහට සිද්ද වෙන්න බැහැ. මොකද කෙනෙකුගේ වියදමක් කියා කියන්නේ හැම විටම තවත් කෙනෙකුගේ ආදායමක් නිසා. වියදම් වැඩි වෙනවානම් කොහේ හෝ තැනක ඊට අනුරූප ආදායම් වැඩි වීමකුත් තිබිය යුතුයි.

මේ කතාව වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා අපි විදේශ ගනුදෙනු සියල්ල පැත්තකින් තියමු. දැන් ඩොලර් සම්බන්ධයක් නැහැ. ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ රුපියල් වලින්. වැඩේ තවත් සරල කර ගන්න රජයත් පැත්තකින් තියමු. රජයක් නැත්නම්, විදේශ ගනුදෙනුත් නැත්නම්, රට ඇතුළේ කාට හරි යමක් මිල දී ගන්න වෙන්නේ තවත් කෙනෙක් එය නිපදවා විකිණුවොත් පමණයි. ඒ නිසා, හැම විටකම රටේ එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වෙනවා. 

සමස්ත ආදායම = සමස්ත වියදම 

මේක අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතු සාම්‍යයක් (identity). රුපියල = ශත 100 වගේ තමයි. ප්‍රවාදයක් නෙමෙයි. 

කවුරු හෝ කෙනෙක් වියදමක් කරන්නේ කොහොමද? ඒ සඳහා, ඊට කලින් ආදායමක් උපයා තිබිය යුතුයි. එහෙම නැත්නම් ණය වී තිබිය යුතුයි. ආදායමක් උපයලා කියා කියන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. ණය වෙනවා කියන්නේ ඒ ණය දෙන පුද්ගලයා විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලා විකුණලා කියන එක. කොයි විදිහට සල්ලි ආවත් අනෙක් පැත්තෙන් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් වෙලා. එහෙමනම්, සමස්ත නිෂ්පාදනය සමස්ත ආදායමටත් සමාන විය යුතුයි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය 

හැබැයි මෙය මුල් සාම්‍යය මෙන් හරියටම නිවැරදි නැති ආසන්න සාම්‍යයක් (near identity). මොකද කවුරු හෝ නිපදවන භාණ්ඩයක් බොහෝ විට ඒ මොහොතේම විකුණන්නේ නැහැ. සේවා වලටනම් මේ කතාව අදාළ නැහැ. සේවාවක් නිපදවන විටම එය විකිණීම හා පරිභෝජනය කිරීමද සිදු වෙනවා. භාණ්ඩ එහෙම නැහැ. ගබඩා කර තබා ගන්න පුළුවන්. 

නිපදවන භාණ්ඩයක් නොවිකුණා ගබඩා කර තබා ගෙන ඉන්න තුරු එය ආදායමක් වෙන්නේ නැහැ. ඒ නිසාම, වෙනත් අයෙකුගේ වියදමක් වෙන්නෙත් නැහැ. අනෙක් අතට මේ වගේ ගබඩා කර ගෙන හිටපු භාණ්ඩයක් විකිණූ විට ආදායමක් ලැබෙනවා. තවත් අයෙකුට වියදමකුත් යනවා. හැබැයි ඒ වෙලාවේ නිෂ්පාදනයක් වෙලා නැහැ. නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඊට කලින්. 

මේ හේතුව නිසා ඉහත සඳහන් ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කර ගන්න අප‍ට බඩු තොග (inventory) වෙනස් වීම් දිහා බලන්න වෙනවා. යම් කිසි කාලයක් තුළ මුළු රටේම සමස්තයක් ලෙස බඩු තොග ඉහළ ගිහින්නම් නිෂ්පාදනය ආදායමට වඩා වැඩියි. බඩු තොග අඩු වෙලානම් නිෂ්පාදනය ආදායමට වඩා අඩුයි. සමස්තයක් ලෙස බඩු තොග වල වටිනාකමේ වෙනසක් නැත්නම්, ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක්.

ප්‍රායෝගිකව ඔය බඩු තොග වෙනස් වීම් ශුන්‍ය නැති වුනත් ඉතා කුඩායි. කුඩා වුවත්, ඒ කොටසත් එකතු කරලා අප‍ට ඉහත ආසන්න සාම්‍යය පරිපූර්ණ සාම්‍යයක් කළ හැකියි. 

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

දැන් මෙතැන උද්ධමනයේ සම්බන්ධයක් නැති බව පැහැදිලි විය යුතුයි. උද්ධමනය නිසා වියදම වැඩි වුනත්, අනිවාර්යෙයන්ම ඊට සමානව ආදායම්ද වැඩි වී තිබිය යුතුයි. මොකද එය සාම්‍යයක්. ඒ නිසා, උද්ධමනය වැඩි වුනා කියලා සමස්තයක් ලෙස රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ බහින්නේ නැහැ. ඒ වගේම ඉහළ යන්නෙත් නැහැ. (මෙය මෙහෙම නොවෙන්න හේතු තිබෙනවා. ඒවා පසුවට!)

උද්ධමනය නිසා ජීවන තත්ත්වයට සිදුවන බලපෑම කෙටිකාලීන එකක්. දිගුකාලීනව එහි කිසිදු හොඳ හෝ නරක බලපෑමක් නැහැ. දිගුකාලීනව ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ රටේ සමස්ත නිෂ්පාදනයයි.

මේ කතා ඔක්කොම කිවුවේ රජය පැත්තකින් තියලානේ. හැබැයි එහෙම කරන්න බැරි බව කියන්නත් දෙයක් නෙමෙයිනේ. රජයේ බලපෑම අපිට නොසලකා හරින්න බැහැ. දැන් මේ සමතුලිතතාවය ඇතුළට රජය ආවාට පස්සේ වෙන්නේ කුමක්ද?

මෙහිදී මම රජය කියා කියන්නේ රජය විසින් කරන ව්‍යාපාර නෙමෙයි. මොනවා හෝ භාණ්ඩ හා සේවා නිපදවා විකුණන රාජ්‍ය ව්‍යාපාරත් ඔය ආකෘතිය ඇතුළේම විස්තර වෙනවා. ආකෘතිය ඇතුළේ නැත්තේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන්. ඒවා මොනවාද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. එය දේශපාලනික කරුණක්. ඔබට කැමති විදිහකට අර්ථ දක්වා ගන්න පුළුවන්. (මේ ලිපියේ කතා කරන සන්දර්භයේදී)

දැන් මේ වගේ වෙළඳපොළේ නොවිකිණෙන රාජ්‍ය සේවාවන් රාජ්‍ය ආදායමක් නෙමෙයි. නමුත් වියදමක් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ රජය විසින් සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය, ජාතික ආරක්ෂාව වගේ දේවල් වලින් රජයට ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් වියදමක් තිබෙනවා. වියදමක් තිබෙනවානම්, ඒ වියදම ආවරණය වන ක්‍රමයකුත් තියෙන්න ඕනෑ. රජයේ වියදම් ආවරණය කර ගන්න සම්මත ක්‍රමය බදු අය කිරීම. ණය ගැනීම හා සල්ලි අච්චු ගැසීම තවත් ක්‍රම දෙකක්. 

රජයට බදු ලෙස ගෙවන්න වෙන්නේ රටේ මිනිස්සු උපයන ආදායමෙන් කොටසක්. ඒ කියන්නේ, රටේ නිෂ්පාදනයෙන් කොටසක්. ඒ නිසා, ඉහත ආකෘතියට රජය එකතු කළා කියලා රටේ සමස්ත ආදායම හෝ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ හා සේවා නිපදවන පුද්ගලයින් හා සමාගම් පමණක් සැලකුවොත් සමස්ත වියදම සමස්ත ආදායමට වඩා අඩුයි. මොකද සමස්ත ආදායමෙන් කොටසක් බදු විදිහට හෝ ණය විදිහට රජයට දීලා. රජය විසින් වියදම් කරන්නේ ඒ කොටස.

රජය වියදම් කරද්දීත් රජයේ සේවකයින් වැනි යම් පිරිසකට ආදායමක් ලැබෙනවා. නමුත්, ඒ ආදායම් ලැබෙන්නේ ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කර වෙළඳපොළේ විකුණලා නෙමෙයි. මෙතැනදී වෙන්නේ රජයෙන් බාහිර පුද්ගලයින් හා සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක්ම රජය විසින් ඒ අයගෙන් අරගෙන රාජ්‍ය සේවකයින් වැනි අයට දෙනවා වගේ වැඩක්. 

රජයේ සේවකයෝ කියන්නෙත් රටේම මිනිස්සුනේ. එහෙමනම්, ඒ අයගේ ආදායම රටේ සමස්ත ආදායමට එකතු විය යුතු නැද්ද? 

අපිට අවශ්‍යනම්, ඉහත තර්කය අනුව යමින්, රජයේ සේවකයින් වැනි අයගේ ආදායම් සමස්ත ආදායමට එකතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී භාණ්ඩ හා සේවා නිපදවා ලැබෙන ආදායමෙන් කොටසක් බදු විදිහට ගෙවපු අයගේ ආදායම් වලින් බදු කොටස අඩු කරන්නත් වෙනවා. මොකද ඒ කොටස ඇත්තටම ඒ අයගේ ආදායමක් වෙලා නැහැනේ. එහෙම කළාට පස්සේ නැවතත් රටේ සමස්ත ආදායම තිබුණු ප්‍රමාණයම තමයි. මොකද රජය විසින් බදු අය කර වියදම් කරද්දී ඒ වියදම් කාගේ හෝ ආදායමක් වුනත්, එහිදී වෙන්නේ එක් අයෙකුගේ ආදායම් අඩු කර වෙනත් අයෙකුගේ ආදායම් වැඩි කිරීමක් පමණයි. සමස්තය වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට භාණ්ඩ හා සේවා විකුණා ආදායම් උපයන අයගෙන් රජය ණය ගත්තත් වෙන්නේ ඕකමයි. 

මේ විදිහට රජය විසින් බදු අය කරද්දී හෝ ණය ගනිද්දී රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. මොකද ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් තමයි රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙන්නේ. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. හැබැයි සමස්තයක් ලෙස ගත්තහම මේ රාජ්‍ය මැදිහත්වීම නිසා රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ වෙනසක් වෙලා නැහැ. මොකද මොන විදිහට බෙදුවත් ඒ බෙදලා තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සමානයි. ඒ නිසා, මුලින් කියපු සාම්‍යය තව දුරටත් ඒ විදිහටම තිබෙනවා.

සමස්ත ආදායම = සමස්ත වියදම = සමස්ත නිෂ්පාදනය + බඩු තොග වෙනස් වීම

අපිට අවශ්‍යනම් රජයේ භූමිකාව වෙන් කරලා පෙන්වන්න පුළුවන්.

සමස්ත වියදම = රාජ්‍ය අංශයේ සමස්ත වියදම + පෞද්ගලික අංශයේ සමස්ත වියදම 

සමස්ත ආදායම = රාජ්‍ය අංශයේ සමස්ත ආදායම + (බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම - බදු)

"රාජ්‍ය අංශයේ සමස්ත ආදායම = එකතු කර ගත් බදු" ලෙස සැලකුවොත්, 

රටේ සමස්ත ආදායම = බදු වලට පෙර පෞද්ගලික අංශයේ සමස්ත ආදායම

සල්ලි අච්චු ගැහුවහම කතාව වෙනස්. මොකද මෙහිදී රජය මැදිහත් වී කිසියම් පිරිසකගේ ආදායම වැඩි කරනවා. අලුතෙන් බඳවා ගන්න රාජ්‍ය සේවකයින් පිරිසක් කියා කියමු. නමුත්, ඒ වියදම රටේ වෙනත් අයගෙන් එකතු කර ගැනීමක් වෙන්නේ නැහැ. හැබැයි රජය මේ විදිහට සල්ලි අච්චු ගහද්දී යම් පිරිසකගේ ආදායම් ඉහළ ගිහින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන එක පැහැදිලි දෙයක්නේ. මොකද අච්චු ගහපු සල්ලි වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ වගේ අය ඒ සල්ලි වියදම් කරලා භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගැහුවා කියලා රටේ නිෂ්පාදනය වෙනස් වෙලා නැහැ. ඒ නිසාම, පෞද්ගලික අංශයේ සමස්ත ආදායම වෙනස් වෙලත් නැහැ. කලින් වගේ රටේ නිෂ්පාදනයෙන්, රටේ ආදායමෙන්, කොටසක් රජය විසින් බදු විදිහට අරගෙනත් නැහැ. ණය විදිහට අරගෙනත් නැහැ. එහෙමනම්, බැලූ බැල්මට පේන විදිහට රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්න විදිහකුත් නැහැ! ඒක වෙන්න පුළුවන්ද?

රජය අච්චු ගහලා දුන්න සල්ලි වියදම් කරද්දී යම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, ඒ වෙනුවෙන් මිලක් ගෙවපු කෙනෙක් පේන්න නැහැ. රටේ නිෂ්පාදනය වැඩි වෙලත් නැහැ. මේ වගේ දෙයක් වෙන්න බැහැනේ. බෙදෙන්නේ එකම භාණ්ඩ හා සේවා ටිකනම්, එක් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී අනිවාර්යයෙන්ම තවත් අයෙකුගේ ජීවන තත්ත්වය පහළ යා යුතුයි. 

ඇත්තමට සල්ලි අච්චු ගහද්දී ඔය වැඩේ වෙනවා. ඒ කියන්නේ, බදු ගහද්දී වගේම, රජයට සම්බන්ධ නැති ගොඩක් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් වෙනවා. ඔවුන්ට පරිභෝජනය කළ හැකි, ඔවුන් විසින් නිපදවා විකුණපු දේවල් වලින් කොටසක් රජය විසින් අරගෙන වෙනත් අයට බෙදා දෙනවා. ඒ දේවල් ලැබෙන අයගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. නමුත්, බදු ගහද්දී වගේ ඔය වැඩේ එක පාරටම හැමෝටම පේන්නේ නැහැ. පේන්න ටිකක් කල් යනවා. සමහර විට අවුරුදු දෙක තුනක්.

උද්ධමනය හැදෙන්නේ සල්ලි අච්චු ගහන මොහොතේදීමයි. හැබැයි ඒක පේන්න ගන්නේ අවුරුද්දකට දෙකකට හෝ සමහර විට තුනකට පස්සේ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ වැටෙන්නේ උද්ධමනය පේන්න පටන් ගන්න මොහොතේ නෙමෙයි. සල්ලි අච්චු ගහන මොහොතේ. උද්ධමනය පේන්න පටන් ගන්නවා කියන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බව මිනිස්සුන්ට තේරිලා මිනිස්සු එයට ප්‍රතිචාර දක්වන්න පටන් අරන් කියන එකයි. 

රජය විසින් බදු වැඩි කරද්දී ඔය කරන්න හදන්නේ අපේ ජීවන තත්ත්වය පහත දමන එක කියලා මිනිස්සුන්ට වහාම තේරෙනවා. නමුත්, සල්ලි අච්චු ගහද්දී මිනිස්සුන්ට ඒක එක පාරට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට වහාම නොතේරුණත්, වෙන්නේ ජීවන තත්ත්වය ක්ෂණිකව පහත වැටෙන එකයි.

අපි හිතමු වී ගොවියෙක් හා පොල් ගොවියෙක් ගැන. වී ගොවියා වී විකුණලා පොල් ගන්නවා. පොල් ගොවියා පොල් විකුණලා වී ගන්නවා. වී ගොවියා වී විකුණද්දී මිල තීරණය කරන්නේ විකුණලා ගන්න සල්ලි වලින් පොල් මිල දී ගන්න ලැබෙයි කියන විශ්වාසයෙන්. පොල් ගොවියාත් එහෙමයි. 

රජය බදු වැඩි කරද්දී වී ගොවියාට වී විකුණා ගන්න පුළුවන් පොල් ප්‍රමාණයෙන් ටිකක් අඩු වෙනවා. ඇයි අතේ සල්ලි අඩු වෙලානේ. පොල් ගොවියාටත් ඒ වැඩේම වෙනවා. ඉතුරු වෙන වී ටික සහ පොල් ටික රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයා විසින් මිල දී ගන්නවා.

සල්ලි අච්චු ගහලා රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවුවහම වී ගොවියාගේ හෝ පොල් ගොවියාගේ අතේ සල්ලි අඩු වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍ය සේවකයා තමන්ට ලැබුණු සල්ලි වලින් වී හා පොල් මිල දී ගන්න නිසා වී හා පොල් වලින් කොටසක් අඩු වෙනවා. වී ගොවියාට හා පොල් ගොවියාට මිල දී ගන්න වෙන්නේ ඒ ඉතුරු වූ කොටස පමණයි. 

වී ගොවියා වී විකුණලා පොල් ගන්න යද්දී පොල් ගණන් ගිහින්. ගණන් ගිහින් නැත්නම් කඩේ පොල් නැහැ. ඒ නිසා, අතේ සල්ලි තිබුණත් කලින් හිතාගෙන හිටපු පොල් ප්‍රමාණය මිල දී ගන්න වෙන්නේ නැහැ. පොල් ගොවියාට වෙන්නෙත් ඒකමයි. ඒ අයගේ ජීවන තත්ත්වය පහත වැටිලා. තමන් ඇණගෙන කියලා මේ අයට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දී පරක්කු වැඩියි.

එක පාරක් ඇණගන්න වී ගොවියා හා පොල් ගොවියා දෙවන පාර ඒ විදිහටම ඇණගන්නේ නැහැ. තමන් විකුණන වී වල, තමන් විකුණන පොල් වල මිල ඉහළ දමනවා. එහෙම මිල වැඩි කරලා සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය තමන්ගේ ජීවන තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කර ගන්නවා. ඔන්න එතකොට උද්ධමනය හොඳින්ම පේන්න ගන්නවා. මේ විදිහට උද්ධමනය පේන්න ගන්නවා කියා කියන්නේ බොහෝ විට සල්ලි අච්චු ගැසීම නිසා පහළ ගිය භාණ්ඩ හා සේවා නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය නැවත යථා තත්ත්වයට පත් වෙලා කියන එකයි. 

රටක ආර්ථිකය කියා කියන්නේ වී හා පොල් විතරක් නෙමෙයිනේ. ඒ දෙක විතරක්නම් සල්ලි අච්චු ගහලා කෙටි කාලයකින් ඔය වැඩේ වෙනවා. වී විකුණලා ඒ සල්ලි අරගෙන පොල් ගන්න යන පරක්කුව විතරයි. නමුත්, විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් හුවමාරු වන, උද්ධමනය නොවන හේතු නිසාත් ඒ භාණ්ඩ හා සේවා වල මිල අඩු වැඩි වන, සංකීර්ණ ආර්ථිකයක් තුළ තමන් නිපදවා විකුණන භාණ්ඩයට හා සේවාවට සාපේක්ෂව අනෙක් බඩු වල මිල සමස්තයක් ලෙස වැඩි වෙලා කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒ කාලය තුළ පොල් ගොවියා කලින් මිලටම පොල් විකුණන්න පුළුවන්. වී ගොවියා කලින් මිලටම වී විකුණන්න පුළුවන්. රජයට ඒ අයට නොදැනෙන්න ඒ අයගෙන් "උද්ධමන බදු" අය කර ගන්න පුළුවන්. 

අපි ලංකාවේ වත්මන් සන්දර්භයට එමු. 2020-2021 කාලයේ විශාල සල්ලි අච්චු ගැසීමක් සිදු වුනා. අච්චු ගහපු සල්ලි ලබාගත් පිරිස් පහසුවෙන් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත්තා. නමුත් නිෂ්පාදනය ඉහළ ගියේ නැහැනේ. නිෂ්පාදනය වැඩි වුනේ නැත්නම්, කිසියම් පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යද්දී තවත් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ යාම විය යුතුමයිනේ. ගොවීන්, ධීවරයින් වගේ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. සල්ලි අච්චු ගැසීම නිසා රුපියල බාල්දු වී ඇති බව නොදැන ඒ අය කලින් මිලටම මාළු, එළවලු විකිණුවා. නමුත් එහෙම විකුණලා ගත්ත සල්ලි වලින් ඔවුන්ට අපේක්ෂා කළ දේවල් මිල දී ගන්න ඉඩක් ලැබුණේ නැහැ. අවශ්‍ය දේවල් ගන්න හොයද්දී එක්කෝ බඩු නැහැ. අච්චු ගහපු සල්ලි වල වාසිය ලබපු අය ඒවා කලින්ම අරගෙන. නැත්නම් ඒ අයගේ ඉල්ලුම නිසා බඩු ගණන් ගිහින්.

මේ කතාව කිසියම් හෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කරන රටේ කාගේත් කතාව. රජය විශාල ලෙස සල්ලි අච්චු ගහද්දී ඒ අයගේ ජීවන තත්ත්වය පහළ ගියා. ඒ අය රැවටුණා. වෙනත් පිරිසක් එහි වාසිය ගත්තා. හැබැයි තමන් ඒ විදිහට රැවටුණු බව මේ අය දැන ගන්නේ ටිකක් කල් ගිහින්. එහෙම දැනගත්ත ගමන්ම ඒ අය තමන්ට හිමි, සල්ලි අච්චු ගැසීම හරහා නැති කෙරුණු, ජීවන තත්ත්වය නැවත ලබා ගන්නවා. ඒක තමයි උද්ධමනය. ඒකෙන් ඒ අයගේ ජීවන තත්ත්වය තිබිය යුතු තැන දක්වා නැවත ඉහළ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හැබැයි අච්චු ගහපු සල්ලි වලින් ආතල් ගත්ත අයගේ ආතල් කුඩු වෙනවා. ඔන්න ඕකයි කතාව.

කතාව සම්පූර්ණ නැහැ. ඉතිරි කිරීම්, ණය ගැනීම් ආදිය ගැන මෙහිදී අවධානය යොමු කළේ නැහැ. විදේශ අංශය ගැන කතා කළේම නැහැ. ඒ දේවල් ගැන පසුව කතා කරමු.

Monday, May 30, 2022

බයිසිකල් මාෆියාව


එක්තරා පුද්ගලයෙක් පාපැදියක් මිල දී ගන්න ගිහින් වෙච්චි අලකලංචියක් ගැන කතාවක් මේ දවස් වල සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. ඔහු වෙළඳසැලට යන්නේ පාපැදියක් රුපියල් 22,000ක් හෝ 25,000ක් පමණ වෙයි කියා හිතාගෙන. ගිහින් බලද්දී මිල රුපියල් 49,000ක්. ඒ නිසා ඔහු ආපහු හැරී එනවා.

කතාව අහපු බොහෝ දෙනෙක් අදාළ පුද්ගලයාට පාපැදියක් අරන් දෙන්න ඉදිරිපත් වෙලා. දැන් එම පුද්ගලයා කියන විදිහට ඔහු වෑන් රථයක් හා යතුරු පැදියක් හිමි රාජ්‍ය සේවකයෙක්. ඒ වෙලාවේ අතේ සල්ලි නොතිබුණත් අවශ්‍යනම් ඔහුට එම පාපැදිය මිල දී ගන්න පුළුවන් බව ඔහු කියනවා. වීඩියෝවේ අරමුණ වී තිබෙන්නේ මෙහි තිබෙන "වැරැද්ද" පෙන්වා දීම.

මේ වැරැද්ද කුමක්ද? ඔහු සහ ඔහුව උපුටා දක්වමින් මේ පුවත පළ කරන අයට අනුව මෙහි වැරදි එකක් නොව කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න, වෙළඳසැල් හිමියා විසින් අසාධාරණ ලාබයක් ලැබීම. දෙවැන්න, මේ මිලට බොහෝ දෙනෙකුට තමන්ගේ මාසික වැටුපෙන් පාපැදියක් මිල දී ගන්න නොහැකි වීම. තුන්වැන්න ලංකාවේ පාපැදි නිෂ්පාදනය නොකිරීම. අපි මේ "වැරදි" එකින් එක අරගෙන කතා කරමු.

මෙහි කියැවෙන විදිහට පාපැදියක මිල රුපියල් 22,000ක් හෝ 25,000ක් පමණ වෙයි කියා හිතාගෙන අදාළ පුද්ගලයා කඩේට එනවා. එයින් ඔහු හිතාගෙන හිටි හැටි හැර වෙනත් කිසිම දෙයක් අදහස් වන්නේ නැහැ. ඒ නිසා, අපි පාපැදියක මිල මෑතක් වන තුරුම එවැනි මට්ටමක තිබුණා කියා උපකල්පනය කරමු. පසුගිය මාස තුන ඇතුළත මේ මිල රුපියල් 22,000 හෝ 25,000 සිට රුපියල් 49,000 දක්වා ඉහළ ගියා කියා හිතමු. 

මේ පුද්ගලයා කියන දෙයින් සමාජයේ විශාල පිරිසක් නියෝජනය වන නිසා මම ඔහුගේ ඇත්ත නම වෙනුවට "ගුණරත්න" කියන මනඃකල්පිත නම යොදා ගන්නම්. ඒ පදනමින්ම, බයිසිකල් කඩේ අයිති පුද්ගලයා "ආරියසිංහ මුදලාලි" ලෙස සලකමු. පහුගිය මාස තුන ඇතුළත ආරියසිංහ මුදලාලිගේ කඩේ බයිසිකල් එකක මිල රුපියල් 22,000 සිට රුපියල් 49,000 දක්වා වැඩි වෙලා කියලා හිතමු. ඒ කියන්නේ 123%ක වැඩි වීමක්. මේ ගණන් වල යම් අතිශයෝක්තියක් තිබෙනවා වෙන්න පුළුවන්. මෙවැනි වැඩිවීමක් ඇත්තම වෙන්නත් බැරිකමක්ම නැහැ.

අපි හිතමු මේ විදිහට මිල වැඩි වුනේ වෙනත් රටකින් ආනයනය කළ "කුමාලා" බයිසිකල් කියලා. රුපියල් 200ට තිබුණු ඩොලර් එක රුපියල් 366 වුණාම මිල කෙළින්ම 83%කින් වැඩි වෙන්න ඕනෑ. ඊට අමතරව ලංකාවේ තරමටම නැතත් බයිසිකලය නිපදවන රටේත් යම් උද්ධමනයක් තියෙන නිසා ඔය මිල තවත් ඉහළ යනවා. බයිසිකල් ආනයනය කරන්න බැංකු වලින් ඩොලර් ගන්න බැරි නිසා කළුකඩෙන් ඩොලර් ගත්තානම් 123%ක වැඩිවීමක් සිදු වෙන්න බැරිකමක් නැහැ. ස්වීව් හැන්කි ලංකාවේ උද්ධමනය ඔය වගේ මට්ටමක තිබෙන බව කියන්නේ ඔය තර්කය අනුවයි. 

දැන් මෙතැන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය විදිහට වැඩි මිලට විකුණන්නේ ඩොලර් එක වැඩි වුනාට පස්සේ ගෙනාපු බයිසිකල්ද නැත්නම් කලින් අඩුවට ගෙනාපුවද? බොහෝ විට කලින් ගෙනාපුවා වෙන්න පුළුවන්. එහෙමනම් අඩුවට ගෙනාපු බයිසිකල් අඩුවට විකිණිය යුතුද?

අපි හිතමු ඔය බයිසිකලේ ගන්න එන "ගුණරත්න" සතුව වෑන් එකක් සහ මෝටර් සයිකල් එකක් තියෙනවා කියලා. පහුගිය කාලයේ වාහන ආනයනය නවත්වා තිබුණු නිසාත්, ඩොලර් එක වැඩි වෙලා නිසාත්, දැන් පරණ වාහන මිල විශාල ලෙස වැඩි වෙලා. ලක්ෂ තිහක වාහනයක් දැන් ලක්ෂ හැටක් විතර වෙලා වෙන්න පුළුවන්. බයික් එකක් වුනත් එහෙමයි. දැන් කවුරු හරි ගුණරත්නගේ වෑන් එක හරි මෝටර් සයිකලේ හරි ගන්න ආවොත් ගුණරත්න ඕක තමන් ගත්ත ගානට විකුණනවද? එහෙම නැත්නම් කාලයක් පාවිච්චි කරලා නිසා ගත්ත ගානෙන් බාගෙකට විකුණනවද?

ගුණරත්න එහෙම කරන්නේ නැහැ. ඔහු මේ වාහන විකුණනවානම් විකුණන්නේ තමන්ට විකිණිය හැකි ඉහළම මිලට. ඒ කියන්නේ වෙළඳපොළ මිලට. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. මොකද අතේ තියෙන වාහනේ අඩුවට විකුණලා ආයේ ඒ ගානට ඔය වගේ වාහනයක් ගන්න බැහැ. ආර්ථික විද්‍යාඥයෝ ඕකට කියන්නේ ආවස්ථික පිරිවැය කියලා.

වෑන්, මෝටර් සයිකල් පැත්තකින් තියමු.  අපි හිතමු ගුණරත්න ළඟ මාස තුනකට කලින් රුපියල් 22,000ට ගත්ත බයිසිකයක් තියෙනවා කියලා. දැන් අළුත් බයිසිකලයක් රුපියල් 49,000යි. කවුරු හරි ගුණරත්නගෙන් ඔය මාස තුනක් පැදපු පරණ බයිසිකලේ ඉල්ලුවොත් දැන් ගුණරත්න අඩු ගානේ ඒ පරණ බයිසිකලේවත් රුපියල් 22,000ට විකුණයිද? බයිසිකලේ හොඳ තත්ත්වයෙන් තියෙනවානම් බොහෝ විට ඔය වැඩේ වෙන්නේ නැහැ. ගුණරත්න ඕක විකුණන්නේ කීයක් හරි වැඩියෙන්.

ආරියසිංහ මුදලාලි කරන්නෙත් ඕකම තමයි. කඩේ තියෙන බයිසිකල් රුපියල් 22,000ට විකුණලා ආරියසිංහ මුදලාලිට ඒ ගානට ආපහු කඩේට බයිසිකල් දාන්න බැහැ. අපි හිතමු මොකක් හෝ හේතුවකට ආරියසිංහ මුදලාලි බයිසිකල් වල මිල වැඩි කළේ නැහැ කියලා. දැන් වෙන්නේ කවුරු හරි කෙනෙක් ඔය බයිසිකල් ටික ඔක්කොම රුපියල් 22,000 ගානේ අරගෙන ගිහින් පසුව වැඩි මිලට විකුණන එක. හාල්, සීනි, ඉන්ධන වගේ  අනෙක් දේවල් වලටත් ඔය වැඩේම වෙනවනේ. 

ආනයන සීමාවන් ඇතුළු සැපයුම් සීමාවන් මිල වැඩි වෙන්න තවත් හේතුවක්. අපි හිතමු මොන හේතුවක් හෝ නිසා කඩේට අලුතෙන් බයිසිකල් එන්නේ නැහැ කියලා. දැන් ආරියසිංහ මුදලාලි කඩේ තියෙන බයිසිකල් ටික ඔක්කොම විකිණෙන්න ඇරලා ඊට පස්සේ කඩේ වහන්නද? ඔහුට කඩ කුලී, ලයිට් බිල්, සේවක පඩි නඩි ආදිය ගෙවන්න තිබෙනවා. බයිසිකල් විකිණුවත් නැතත් මේ වියදම් ඒ විදිහටම තියෙනවා.

අපි හිතමු මේ වියදම් සියල්ලේ එකතුව මාසයකට රුපියල් ලක්ෂ දෙකක් කියලා. මාසයකට බයිසිකල් 40ක් විකිණුවොත් බයිසිකලේකින් රුපියල් 5000 ගානේ තියා ගත්තහම අමතර වියදම් ආවරණය වෙලා. හැබැයි මාස දෙකකට කඩේට අලුතෙන් බයිසිකල් එන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් සැපයුම 50%කින් අඩු වෙලානම්, මාසයකට බයිසිකල් 20ක් විකුණලා ඔය වියදම් ආවරණය කර ගන්න වෙනවා. ඒ කියන්නේ බයිසිකලේකින් රුපියල් 10000 ගානේ තියා ගත්ත වෙනවා. මේ කතාව අදාළ වෙන්නේ ආනයන සීමා හෝ වෙනත් සැපයුම් සීමා තිබේනම් පමණයි. එය එහෙම වෙන්න පුළුවන්.

අනෙක් පැත්තෙන් තෙල් පෝලිම් නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. කලින් විකිනුණේ බයිසිකල් 40 වුනත් දැන් 50ක් විකිණෙනවා කියලා අපි හිතමු. නමුත් සැපයුම වැඩි වෙන්නේ නැහැ. කඩේ තියෙන බයිසිකල් 40 දැන් කොහොමද 50 දෙනෙකුට විකුණන්නේ? 

ඕකට තිබෙන හොඳම විසඳුම මිල වැඩි කරන එක. මිල වැඩි කළාම 10 දෙනෙක් ආපහු හැරිලා යනවා. එතකොට අනෙක් 40 දෙනාට තියෙන බයිසිකල් ටික විකුණන්න පුළුවන්. මේ ක්‍රමයේදී ආරියසිංහ මුදලාලිගේ ලාබ ඉහළ යනවා. නමුත් බයිසිකල් ටික ලැබෙන්නේ ඒවා අවශ්‍යම අයට. ඒ කියන්නේ වැඩි මිලක් දීලා වුවත් බයිසිකලයක් ගන්න කැමති, අතේ සල්ලිත් තියෙන, මුදලට සාපේක්ෂව බයිසිකලයක වටිනාකම වැඩි අයට. 

එහෙම නැතුව බයිසිකලයක් කලින් මිලටම විකිණුවොත් මොකද වෙන්නේ. මුලින් එන අයට බයිසිකල් ලැබෙනවා. කීයක් දීලා හෝ බයිසිකලයක් ගන්න බලාගෙන එන බයිසිකලයක් අත්‍යාවශ්‍යම සමහර අයට බයිසිකල් ලැබෙන්නේ නැහැ. ඒ අයට කලින් බයිසිකල් ගත් අය පස්සේ ගිහින් වැඩි මිලකට බයිසිකලයක් ගන්න වෙනවා. මුදලාලිට ගන්න තිබුණු ලාබය වෙන කෙනෙක් ගන්නවා. මිල කොහොමත් වැඩි වෙනවා. සරලවම කිවුවොත් මිල වැඩි වෙන්නේ ඉල්ලුම වැඩිවීම (හා සැපයුම අනුරූපව වැඩි නොවීම) නිසා මිසක් මාෆියා කෙහෙම්මලක් නිසා නෙමෙයි.

බයිසිකල් මිල වැඩි වීම නිසා දැන් ගොඩක් අයට මාසෙක පඩියෙන් බයිසිකලයක් ගන්න බැරි වෙලාද? වෙන්න පුළුවන්. කාටවත් තමන්ගේ මාසෙක පඩියෙන් තමන් කැමති හැම දෙයක්ම මිල දී ගන්න බැහැ. එක්කෝ පඩියට හරියන්න අවශ්‍යතා සීමා කර ගන්න ඕනෑ. නැත්නම් අවශ්‍යතා වලට ගැලපෙන විදිහට පඩිය වැඩි කර ගන්න ඕනෑ.

වැරැද්ද ලංකාවේ බයිසිකලයක්වත් හදන්නේ නැති එකද? වෙන්න පුළුවන්. ආණ්ඩුවේ රස්සාවක් කරලා පඩියෙන් මෝටර් සයිකලයක්, වෑන් එකක් අරගෙන ආතල් එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී ගොඩක් අය බයිසිකල් හදන්න මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් අයට ලංකාවේ බයිසිකල් හැදිය යුතු බව මතක් වෙන්නේ තෙල් පෝලිම් වල ඉන්න වෙලා, තෙල් ගණන් ගිහිං ආතල් කැඩුනට පස්සේ. දැන් ඔය බයිසිකල් හදන වැඩේ කවුද කළ යුත්තේ? අනුන්ට කිවුවට හරියන්නේ නැහැනේ. වැඩේ කවුරු හරි පටන් ගන්න ඕනෑ.

ලංකාවේ බයිසිකල් හදන වැඩේ ප්‍රවර්ධනය වෙන්නනම් ඔය විදිහට බයිසිකල් මිල වැඩි වෙන්නම ඕනෑ. වැඩෙන් ලාබ ගන්න පුළුවන් බව පැහැදිලිව පෙනුනොත් තමයි කවුරු හරි වැඩේට අත ගහන්නේ. ඒකත් තීරණය වෙන්නේ ආවස්ථික පිරිවැය මත. අසූවේ ජූලි වර්ජනයෙන් රස්සා නැති වුනාට පස්සේ ව්‍යාපාර පටන් ගත් ඇතැම් රාජ්‍ය සේවකයෝ අද වෙද්දී දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා තියෙනවා. දැන් ඉන්න රාජ්‍ය සේවකයින් පිරිසකට රස්සා නැති වුනොත් ඒ අතරින් කෙනෙක් හෝ කීප දෙනෙක් බයිසිකල් නිපදවන වැඩේට අත ගහන්න වුනත් පුළුවන්.

පොදුවේ කියපු මේ දේවල් වල ඉඳලා සැබෑ ලෝකයට එමු. ලංකාවේ බයිසිකලයක්වත් හදන්නේ නැහැ කියන ඔය චෝදනාව ගොඩක් අය කරනවා වුනත්, ලුමාලා කියන්නේ ඇත්තටම ලංකාවේ හදන බයිසිකලයක්. ලංකාවේ හදනවා විතරක් නෙමෙයි ඇත්තටම මේ බයිසිකල් වෙනත් රටවලටත් අපනයනය කරනවා.  ඒ වගේම ලංකාවේ විශාලතම බයිසිකල් නිෂ්පාදකයා වන ලුමාලා අයිතිකරුවන් ලංකාවේ ආනයන ආදේශන කර්මාන්ත බිහි වන හා බිහි විය හැකි සාමාන්‍ය ක්‍රමය පිළිබඳ හොඳ නිදර්ශනයක්.

මේ ව්‍යාපාරය පටන් ගන්නෙත් පිටරටින් බයිසිකල් ආනයනය කර විකුණන ව්‍යාපාරයක් විදිහටයි. ලුමාලා කියා කියන්නේ ඒ විදිහට ලංකාවට ගෙන්වන ජපන් සන්නාමයක්. නමුත් ජපන් යෙන් එක අධිප්‍රමාණය වීම නිසා ජපානයේ මේ ව්‍යාපාරය බිඳ වැටෙනවා. මුදල් අධිප්‍රමාණය වුණාම වෙන සාමාන්‍ය දෙය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලංකාවේ ආනයනකරු ජපානයේ ලුමාලා බයිසිකල් හදපු කර්මාන්ත ශාලාවේ තිබුණු යන්ත්‍ර සූත්‍ර, බයිසිකල් හදන තාක්ෂනය වගේම ලුමාලා සන්නාමයත් මිල දී ගෙන ලංකාවේ මේ බයිසිකල් හදන්න පටන් ගන්නවා.

මේ වැඩේ වෙන්නේ 1985දී. දැන් ලුමාලා ලංකාවේ සන්නාමයක්. ලංකාවේ හදන ලුමාලා බයිසිකල් ඉන්දියාවට, අප්‍රිකානු රටවලට. මැද පෙරදිගට වගේම යුරෝපීය සංගමයේ රටවලටත් යනවා. 

බයිසිකල් හදන්නේ ලංකාවෙනම් ඩොලර් එක වැඩි වෙද්දී ඔය විදිහට මිල වැඩි වෙන්නේ කොහොමද? ලංකාවේ හදන හෝ අනාගතයේදී හදන්න ඉඩ තිබෙන ගොඩක් දේවල් වගේම බයිසිකල් හදන්නත් අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරට වලින් ආනයනය කරන්න වෙනවා. අපනයන වැඩි කරන්නනම් ආනයන වලටත් ඉඩ දෙන්න වෙනවා. ලුමාලා බයිසිකල් ලංකාවේ හැදෙන්නේම මුලින් ජපානයෙන් එම බයිසිකල් ආනයනය කරන්න ඉඩ ලැබුණු නිසා.

පාපැදි නිපදවීමේ කර්මාන්තය ලංකාවට තරඟකාරී විය හැකි කර්මාන්තයක්. ලුමාලා වගේ ලංකාවේ පාපැදි නිෂ්පාදකයෝ කර්මාන්තයේ නියැලී ඉන්නේ (මම දන්නා තරමින්) රජයෙන් ලැබෙන රැකවරණයක උදවුවෙන් නෙමෙයි. ලංකාවේ හදන මේ පාපැදි තිබුණත් චීනය වගේ රටවලින් ආනයනය කරන පාපැදිත් ලංකාවේ වෙළඳපොළට එනවා. නමුත් ලංකාවේ හදන පාපැදි වලට චීන පාපැදි එක්ක තරඟ කරන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවෙන් පිටතදීත් මේ තරඟකාරිත්වය පවත්වා ගන්න පුළුවන්. රජය මුල් වෙලා "දේශීය පාපැදි නිපදවීමේ කර්මාන්තය ආරක්ෂා කරන්න" පාපැදි ආනයනය කරන එක නැවැත්තුවොත් වෙන්නේ ඔය තරඟකාරිත්වය නැති වෙන එකයි.

පාපැදි හදන්නේ ලංකාවේනම් ඩොලරයක මිල ඉහළ ගියාම පාපැදියක මිල ඉහළ යන්නේ ඇයි? එක හේතුවක් පිරිවැය ඉහළ යාම. ලංකාවේ හදන හෝ හැදිය හැකි ඕනෑම දෙයකට ප්‍රායෝගිකව යම් ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යද්දී නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. හැබැයි මෙය එකම හේතුව නෙමෙයි.

ඩොලරයක මිල ඉහළ යද්දී ආනයනික පාපැදි වල මිල ඉහළ යනවා. දැන් දේශීය නිශ්පාදකයින්ටත් ඒ වැඩි වූ මිලටම පාපැදි විකුණා වැඩි ලාබයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වුනොත් ඕක ඔය විදිහටම වෙන්නේ නැහැ. නමුත් දැන් පවතින තත්ත්වයන් යටතේ ඉල්ලුමත් ඉහළ යන නිසා මිල ඉහළ යනවා. 

ඒ විතරක් නෙමෙයි. ලංකාවේ වෙළඳපොළ පැත්තකින් තිබ්බත් දේශීය පාපැදි නිෂ්පාදකයෙකුට දැන් කලින් මිලටම පාපැදි අපනයනය කරලා ලැබෙන ඩොලර් ටික රුපියල් කළාම සැලකිය යුතු වැඩි මිලක් ලැබෙනවා. එහෙම තියෙද්දී හදන බයිසිකල් අඩුවට ලංකාවේ වෙළඳපොළේ විකුණන එකේ තේරුමක් නැහැ. 

බයිසිකල් ලංකාවේ විකිණුවත්, අපනයනය කළත් ඩොලර් එක වැඩි වෙලා නිසා දැන් ලාබ වැඩියි. රට ඇතුළෙන් අලුත් නිෂ්පාදකයෝ, අලුත් අපනයනකරුවෝ බිහිවෙන්නේ ඔය වගේ වාතාවරණයක් තිබෙන විටයි. ඒ නිසා, එක පැත්තකින් බයිසිකල් මාෆියාවක් ගැන කියමින් මිල වැඩි වීමට එරෙහි වන අතරම අනෙක් පැත්තෙන් රටේ බයිසිකලයක්වත් හදන්නේ නැති එක ගැන දොස් කියන එක තනිකරම පරස්පරයක්. 

කොහොම වුනත් ඩොලර් එක වැඩි වීමේ මේ වාසිය නිෂ්පාදකයින්ට ලැබෙන්නේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය "ඕනෑවට වඩා" වැඩි වී නැත්නම් පමණයි. නමුත් ඇත්තටම වෙලා තියෙන දේ කවුරුත් වගේ දන්නවා කියා මම හිතනවා. යකඩ, වානේ වගේ දේවල් අවශ්‍ය පමණ ආනයනය කරන්න ඩොලර් නිකුත් නොකිරීම නිසා මිල විශාල ලෙස ඉහළ ගිහින්. ආනයන සිදු කිරීමට බාධාවක් නොතිබුණානම් මිල ඉහළ යන්නේ ඩොලරයක් ඉහළ යන තරමට පමණයි. 

මේ වෙලාවේ තිබෙන ඩොලර් ටික අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අත්‍යවශ්‍ය මොනවාද කියන එක තීරණය කරන්නේ කවුරු හෝ බලධාරියෙක් විසින්. ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එක මුලින්ම වෙන් කරලා තියෙන්නේ පහත පරිදියි.

ආහාර ද්‍රව්‍ය - ඩොලර් මිලියන 300

ඖෂධ - ඩොලර් මිලියන 200

කාර්මික අමුද්‍රව්‍ය - ඩොලර් මිලියන 500

ආහාර ද්‍රව්‍ය හා ඖෂධ අත්‍යාවශ්‍ය බව ගොඩක් අය එකඟ වන දෙයක්නේ. සමහර අය විරුද්ධ වෙලා තියෙන්නේ ඔය කාර්මික අමුද්‍රව්‍ය කොටසටයි. ආහාර, බේත් ගේන්න ඉන්දියාවෙන් දුන්නු ණය වානේ ගේන්න වියදම් කරලා කියලා කතාවක් හැදිලා තියෙන්නේ ඔය කාර්මික අමුද්‍රව්‍ය වෙනුවෙන් කරපු ඩොලර් මිලියන 500ක වෙන් කිරීම නිසයි. 

මෙතැන යටින් මොකක් හරි ගේමක් ගියාද නැද්ද කියලා මට සහතිකේට කියන්න බැහැ. වෙළඳපොළට මැදිහත්වීමක් කරන ඕනෑම වෙලාවක ඒ වගේ ගේම් වලටත් ඉඩක් ඇරෙනවා. කොහොම වුනත් කාර්මික අමුද්‍රව්‍ය ආනයනයත් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනය වගේම අත්‍යවශ්‍යයි. ඒ ටික නැවතුනොත් අපනයන කර්මාන්ත කඩා වැටිලා ලැබෙන ඩොලර් ටිකත් නැති වෙනවා. බොහෝ දෙනෙකුට රස්සාවල් නැති වෙනවා. 

හැබැයි ඔය විරෝධතාව නිසා හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා මේ වන විට ඔය ඩොලර් බිලියනයෙන් කාර්මික අමුද්‍රව්‍ය සඳහා ලබා දෙන කොටස ඩොලර් මිලියන 260කට සීමා කරලා. අඩු කරපු ප්‍රමාණය වෙන් කරලා තියෙන්නේ ඉන්ධන හා ගෑස් ආනයනය කරන්න. කාර්මික අමුද්‍රව්‍ය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් මිලියන 40ක් වානේ ආනයනය සඳහා ලබා ගෙන තිබෙනවා. 

වෙබ් ලිපිනය: