විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. මගේ අදහසනම් මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ තිබෙන අවුලක් ලිහෙනවා හැර ප්‍රායෝගිකව වෙන කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එකයි. මේ හා අදාළව අධිකරණ මැදිහත්වීමක් සිදු විය හැකියි. එසේ වුවත්, කලින් ලබා දී තිබෙන අධිකරණ තීන්දු අනුව, මේ සංශෝධනය සිදු කිරීම සඳහා ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. කොහොම වුනත්, මම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. [පසු සටහන. 83 ව්‍යවස්ථාව සැලකිල්ලෙන් කියවූ විට, ජනමතවිචාරණයක් තියන්න අවශ්‍ය වන බව පෙනී යනවා. මේ ගැන පසුව කතා කරමු.]
ජනාධිපතිවරණය සම්බන්ධව මෙයින් බලපෑමක් සිදු නොවන බවත්, ඒ හා අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් වනු ඇති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති විසින් දැනුම් දී තිබෙනවා. ඒ කියන්නේ ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය එනවා කියන එක.
ජූලි 26 දිනට පෙර ගැසට් නිවේදනය ආවොත් අගෝස්තු 16ට පෙර නාම යෝජනා ගන්න වෙනවා. රාහු කාලය නිසා සිකුරාදා දවස් අත ඇරියොත් අගෝස්තු 12-15 අතර දවසක. ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා ගැසට් නිවේදනය නිකුත් කළොත් පමණක් අගෝස්තු 7 හෝ 8 මේ වැඩේ වෙන්න පුළුවන්.
ඒ අනුව, ලබන සතියේ ගැසට් නිවේදනය නිකුත් වුනොත්, සැප්තැම්බර් 26ට පෙර ජනාධිපතිවරණය තියන්න වෙනවා. පෝය දවසට පසු දින නිසා සැප්තැම්බර් 18ත් අත ඇරියොත්, සැප්තැම්බර් 19-26 අතර දවසක තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ.
ජනාධිපතිවරණයක් සාමාන්‍යයෙන් තියන්නේ සෙනසුරාදා හෝ සතියේ නිශ්චිත දවසකද? එහෙම එකක් නැහැ. සෙනසුරා ලබපු අන්තිම ජනාධිපතිවරණය තිබ්බේ සෙනසුරාදා දවසක වුනත්, ඊට පෙර ජනාධිපතිවරණ සියල්ලම පවත්වා තිබෙන්නේ සතියේ දින වල. මෙතෙක් ජනාධිපතිවරණ පවත්වා නැත්තේ ඉරිදා සහ සිකුරාදා දවස් වල පමණයි.
1982 ඔක්තෝබර් 20 - බදාදා
1988 දෙසැම්බර් 19 - සඳුදා
1994 නොවැම්බර් 9 - බදාදා
1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා
2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා
2010 ජනවාරි 26 - අඟහරුවාදා
2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා
2019 නොවැම්බර් 16 - සෙනසුරාදා
මට හිතෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වන සැප්තැම්බර් 19 හා 26 දවස් වලට ටිකක් බර වැඩියි කියලා. ප්‍රතිඵලය අවිනිශ්චිත වූ 2005 සහ 2015 ජනාධිපතිවරණ තියලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස් වල. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය තිබ්බොත් ප්‍රතිඵල එන්නේ සිකුරාදා. රට සන්සුන් වෙන්න සති අන්තය තියෙනවා.