වෙබ් ලිපිනය:

Showing posts with label අභ්‍යාවකාශ තරණය. Show all posts
Showing posts with label අභ්‍යාවකාශ තරණය. Show all posts

Thursday, April 9, 2026

වටේ ගිහින් ගෙට එන හඳ ගමන


ආටමස්-II යානය අභ්‍යවකාශගාමීන් හතර දෙනෙකුද සමඟ හඳ වටේ කැරකී හෙට නැවතත් පෘථිවිය බලා ආපසු පැමිණීමට නියමිතයි. පෞද්ගලිකව මා ඇතුළු ලෝකයේ බොහෝ දෙනෙකු මේ සඳ ගමන දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියා. නමුත් මේ විදිහට හඳ වටේ ගිහින්, හඳට ගොඩ නොබැස, ආපසු එන්නේ ඇයි කියන එක ඇතැම් අය විසින් මතු කර තිබෙන සාධාරණ ප්‍රශ්නයක්.

ආටමස්-II ගමන ගැන කිහිප දෙනෙකු විසින්ම සිංහලෙන් සටහන් පළ කර තිබුණා. ඒ සටහන් ගොඩක් හොඳ මට්ටමක තිබුණා. ඒ වගේම, සඳ ගමන ආරම්භයේදී නොතිබුණු උනන්දුවක් පසුව සිංහල පාඨකයින් අතරද දැකිය හැකි වුනා. 

හඳ වටේ රවුමක් ගැසීම අලුත් දෙයක් නෙමෙයි. වසර 56ක පෙර ඇමරිකානුවන් දෙදෙනෙකු ඊටත් වඩා දෙයක් කරමින් පළමු වරට හඳ මත ගොඩ බැස්සා. ඉන් පසුව, ගමන් වාර පහකදී, තවත් ඇමරිකානුවන් දහ දෙනෙකු හඳ මත ගොඩ බැස්සා. පළමු ගොඩ බැසීමට පෙර ආටමස්-II ගමන වැනි හඳ වටා "රවුම් ගැසීම්" සිදු වුනා. ගොඩ බැසීමක් සිදු වුනේ ඉන් පසුවයි. 

ඇපලෝ 8: හඳ වටා රවුමක් ගසා ආපසු පැමිණීම සඳ ගමනක් සේ සැලකිය හැකිනම්, පළමු සඳ ගමන සේ සැලකිය හැක්කේ ඇපලෝ 8 සඳ ගමනයි. 1968 දෙසැම්බර් 21-27 අතර සිදු වූ මේ සඳ ගමනට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු සහභාගී වුනා. ඔවුන් පළමු වරට පොළොවේ ගුරුත්ව ක්ෂේත්‍රයෙන් මිදී හඳේ කක්ෂයට ඇතුළු වුනා. ඉන් පසුව හඳ වටා රවුම් දහයක් කැරකී ආපසු නිරුපද්‍රිතව පොළොවට පැමිණුනා. මෙය ආටමස්-II ගමනෙන් සිදු වූ දෙයට වඩා වැඩි දෙයක්. මුල් වරට හඳේ නොපෙනෙන පැත්ත දුටු මිනිසුන් වන්නේද ඇපලෝ 8 අභ්‍යවකාශගාමීන් තිදෙනායි. 

ඇපලෝ 10: 1969 මැයි 18-26 අතර සිදු වූ මේ සඳ ගමනටද අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු සහභාගී වුනා. මෙම ගමන සිදු වූයේ ඉන් පසුව සැලසුම් කර තිබුණු සඳ මත ගොඩ බෑමට පෙරහුරුවක් ලෙසයි. ඒ අනුව, මෙම අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් දෙදෙනෙකු චන්ද්‍ර පෘෂ්ඨය ආසන්නයටම ගොස් සඳට ගොඩ නොබැස නැවත මවු යානය වෙත පැමිණුනා. ඔවුන් සඳ මතුපිට සිට සැතපුම් 9ක් දක්වා සඳ වෙත කිට්ටු වුනා. 

ඇපලෝ 11: පළමු වරට සඳ මත පා තැබීමක් සිදු වූයේ මෙම ඇපලෝ 11 ගමනේදීයි. එහි ගමන් කළ අභ්‍යවකාශගාමීන් තිදෙනාගෙන් දෙදෙනෙකුම සඳ මත ගොඩ බැස්සා. 

ඉහත ඇපලෝ 11 ගමන ඇතුළුව එවැනිම ගමන් හතක් සිදු වුනා. ඒ එක් එක් ගමනට අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු බැගින් සහභාගී වුනා. ඔවුන්ගෙන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණා. නමුත් තාක්ෂනික ප්‍රශ්නයක් නිසා ඇපලෝ 13 අභ්‍යවකාශගාමීන් සඳ මත ගොඩ බැස්සේ නැහැ. ඉතිරි ගමන් හයේදී අභ්‍යවකාශගාමීන් දෙදෙනා බැගින් සඳ මත ගොඩ බැස්සා. 

ඇපලෝ 11 - 1969 ජූලි 20

ඇපලෝ 12 - 1969 නොවැම්බර් 19

ඇපලෝ 14 - 1971 පෙබරවාරි 5

ඇපලෝ 15 - 1971 ජූලි 30

ඇපලෝ 16 - 1972 අප්‍රේල් 21

ඇපලෝ 17 - 1973 දෙසැම්බර් 11

ඉහත යානා හයත්, සැලසුම් කළ පරිදි ගොඩ බෑමක් සිදු නොකර ආපසු පැමිණුනු ඇපලෝ 13 යානයත්, ගොඩ බෑමේ සැලසුමක් නොතිබුණු ඇපලෝ 8 සහ ඇපලෝ 10 සඳ ගමන් දෙකත් සමඟ ඇපලෝ ව්‍යාපෘතිය යටතේ මිනිසුන් සහිත සඳ ගමන් නවයක් සිදු වුනා. මේ සෑම සඳ ගමනකටම අභ්‍යවකාශගාමීන් තිදෙනා බැගින් සහභාගී වුනා. එහෙත්, මොවුන්ගෙන් තිදෙනෙකු ගමන් වාර දෙකකට බැගින් සහභාගී වූ බැවින් ආටමස්-II ගමනට පෙර සඳ ගමන් වලට සහභාගී වී ඇති පුද්ගලයින් ගණන 24ක් පමණයි. 

ඉහත සඳහන් කළ සඳ මත පා තැබූ අභ්‍යවකාශගාමීන් 12 දෙනෙකු ඇතුළු සඳ ගමන් වලට සහභාගී වූ අභ්‍යවකාශගාමීන් 24 දෙනාම සුදු, පිරිමි, ඇමරිකානුවන් වීම විශේෂත්වයක්. ආටමස්-II ගමනට ප්‍රථම වරට කාන්තාවක, කළු ඇමරිකානුවෙකු සහ ඇමරිකානුවකු නොවන කැනේඩියානුවෙකු සහභාගී වුනා. ඒ අනුව, මේ වන විට සුදු පිරිමි ඇමරිකානුවන් 25ක්, කළු ඇමරිකානුවෙක්, ඇමරිකානු කාන්තාවක් හා කැනේඩියානුවෙක් ලෙස 28 දෙනකු සඳ ගමන් වලට සහභාගී වී තිබෙනවා. 

සඳ මත ගොඩ බෑම වගේම සඳ වටා කැරකී ආපසු පැමිණීම පසුපසද සංකීර්ණ තාක්ෂණික කරුණු ගණනාවක් තිබෙනවා. ඊට අමතරව ආර්ථික හා දේශපාලනික කරුණුද තිබෙනවා. 

වසර 56ක පෙර ඇමරිකානුවන් දෙදෙනෙකුට සඳ මත පා තැබිය හැකි වීනම්, ආටමස්-II යානය හඳ වටේ කැරකී ආපසු එන්නේ ඇයි?

කෙටි පිළිතුර වන්නේ 1969දී ඇමරිකාව සතු වූ තාක්ෂනය එලෙසම දිගටම පැවතුනේ නැති බවයි. 

තාක්ෂනය කියා කියන්නේ මූලික වශයෙන්ම මානව ප්‍රාග්ධනය. භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් වසරින් වසර ක්ෂය වී යනවා. රටක ප්‍රාග්ධන සංචිතය තිබෙන මට්ටමේ ඒ විදිහටම පවත්වා ගන්න වුනත්, දිගින් දිගටම ආයෝජන කළ යුතුයි. මෙම ආයෝජන අවම වශයෙන් ක්ෂය වන ප්‍රාග්ධනයට සමාන විය යුතුයි. මේ කරුණ භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටද පොදු දෙයක්.

ඇමරිකාවට 1969දී ඇමරිකානුවන් දෙදෙනෙකු සඳ මත පා තැබීමට ඉඩ සලසනු හැකි වූයේ අවම වශයෙන් දශකයක පමණ කාලයක් පුරා අවශ්‍ය ආයෝජන සිදු කළ නිසා. නමුත් ඇපලෝ 17 සඳ ගමනින් පසුව මෙම ආයෝජන නැවතුනා. ප්‍රතිපාදන කප්පාදු වීම නිසා කලින් සැලසුම් කර තිබුණු ඇපලෝ 18, ඇපලෝ 19 හා ඇපලෝ 20 සඳ ගමන් අවලංගු වුනා. ඉන් පසුව දශක ගණනාවක් සඳ ගමන් සිදු වූයේ නැහැ.

මේ වන තුරු මිනිසුන් සඳ වෙත රැගෙන යාමක් සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ මෙහෙයවීම යටතේ පමණයි. වෙනත් රටවල් විසින් මිනිසුන් රහිත යානා සඳ වෙත යවා ඇතත්, ඒ රටවල් කිසිවක් මිනිසුන් සහිත යානයක් සඳ මත ගොඩ බැස්වීමට තබා ආටමස්-II යානය මෙන් සඳ වටා යාමට ඉඩ සැලැස්වීමට හෝ සමත් වී නැහැ. ඒ නිසා, සඳ තරණය හා අදාළ වන මානව ප්‍රාග්ධන සංචිතයක් පැවතුණේ ඇමරිකාවේ නාසා ආයතනය සතුව පමණයි. එම මානව ප්‍රාග්ධන සංචිතය ක්ෂය වී අවසන් වීමෙන් පසුව එය මුල සිටම ගොඩ නගා ගනු මිස ලෝකයේ වෙනත් තැනකින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

සියවස් බාගයකටත් පසුව නාසා ආයතනය විසින් නැවතත් සඳ වෙත මිනිසුන් යවන්නට සැලසුම් කිරීමෙන් පසුව බොහෝ දුරට සිදු වුයේ රෝදය නැවත සොයා ගන්නට සිදු වීමක්. ආටමස්-II යානය සඳ වටා කැරකී ආපසු එන්නට ඇත්ත හේතුව එයයි. ආටමස්-II අභ්‍යවකාශ ගමන සිදු වන්නේ අඩ සියවසකට පෙර දැන සිටි බොහෝ දේ නැවත ඉගෙන ගෙන අත් හදා බැලීමෙන් පසුවයි. ඊට අමතරව, පසු ගිය අඩ සියවස තුළ ඇමරිකාව තුළ මෙන්ම ඇමරිකාවෙන් පිටතද වෙනත් බොහෝ කේෂේත්‍ර තුළ ගොඩ නැගී ඇති මානව ප්‍රාග්ධනය මේ ව්‍යාපෘතිය තුළට අවශෝෂණය කර ගෙන තිබෙනවා. 

දැනට තිබෙන සැලසුම් අනුව, නැවත සඳ මත පා තැබීමක් සිදු කිරීමට නියමිතව තිබෙන්නේ 2028 වසරේදී සිදු වන ආටමස්-IV ගමනේදීයි. සැලසුම අනුව, එම ගමනේදී අභ්‍යවකාශගාමීනේ දෙදෙනෙකු සඳ මත ගොඩ බැස සතියක කාලයක් එහි ගත කිරීමට නියමිතව තිබෙනවා. 

මිනිස් ඉතිහාසයේ සාර්ථකම සැලසුමක් වූ ඇපලෝ ව්‍යාපෘතිය හිටිවනම නැවතුනේ ඇයි? ඉන් පසු අඩ සියවසක කාලයක් එවැනි සඳ තරණයක් සිදු නොවූයේ ඇයි? ඒ වගේම, මෑතකදී නැවතත් මේ පිළිබඳව උනන්දුවක් ඇති වූයේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු තිබෙන්නේ තාක්ෂනික කරුණු තුළ නෙමෙයි. ආර්ථික හා භූ දේශපාලනික කරුණු තුළයි. දැන් අපි ආටමස්-II යානය හඳ වටේ ගිහින් ආවා වගේ වටයක් ගහමින් මේ කරුණු ගැන ටිකක් කතා කරමු.

ද්වි ධ්‍රැවීකරණය වූ ලෝකයක, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද්ධයෙන් වියුක්තව ඇපලෝ ව්‍යාපෘතිය ගැන කතා කරන්න බැහැ. ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුළේ පෞද්ගලික අංශය ආයෝජන කරන්නේ පැහැදිලිව පේන අපේක්ෂිත ලාබයක් දිහා බලාගෙන. ලාබයක් නොකියා අපේක්ෂිත ලාබයක් කියා කියා තියෙන්නේ ඕනෑම ආයෝජනයක අවදානමක් තිබෙන නිසා. 

ලාබයක් පැහැදිලිව පේන්න නැතත් පෞද්ගලික අංශය ආයෝජන කරනවා. නමුත් පෞද්ගලික ආයෝජන සිදු වෙන්නනම් අවම වශයෙන් ලාබයක් ලැබීමේ ඉඩකඩ පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන්න ඕනෑ. රාජ්‍ය ආයෝජන හා අදාළව මෙය අනිවාර්යය අවශ්‍යතාවයක් නෙමෙයි. විවිධ දේශපාලනික අරමුණු වෙනුවෙන්ද රාජ්‍ය ආයෝජන කරනවා. 

රාජ්‍යමූලික මධ්‍යගත ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වූ සෝවියට් දේශයේ රාජ්‍ය ආයෝජන අභ්‍යවකාශ තරණය සඳහා අවශ්‍ය භෞතික හා මානව ප්‍රාග්ධනය ගොඩ නැගීම වෙනුවෙන් විශාල ලෙස වෙන් කෙරුණා. ඇමරිකාවේ එවැනි දෙයක් සිදු වුනේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව වූ ස්පුට්නික්-1 සෝවියට් දේශය විසින් 1957දී අභ්‍යාවකාශගත කෙරුණා. මෙය ඇමරිකාව පහු කරගෙන සෝවියට් දේශය තාක්ෂණිකව විශාල ඉදිරි පිම්මක් පැනීමක්.

ඇමරිකාව 1958දී නාසා ආයතනය ස්ථාපනය කළේ සෝවියට් දේශය ස්පුට්නික්-1 යැව්වට පස්සේ. නමුත් මේ හා අදාළ තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටි සෝවියට් දේශය 1961දී පළමු වරට මිනිසෙකුව අභ්‍යවකාශගත කළා. මෙය ඇමරිකාව කම්පනය කළ සිදු වීමක් කියා කියන්න පුළුවන්.

සෝවියට් දේශය විසින් යුරි ගගාරින්ව 1961දී අභ්‍යාවකාශයට යැවීමෙන් පසුව ලෝකය හමුවේ තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටි රට සේ පෙනුනේ සෝවියට් දේශයයි. මේ අභියෝගය හමුවේ, ඇමරිකාවට හැකි ඉක්මණින් මේ හා අදාළ තාක්ෂණයේ ප්‍රමුඛයා වීමට අවශ්‍ය වුනා. ඒ අනුව, 1960 දශකය අවසන් වීමට පෙර ඇමරිකානුවෙකු හඳට යැවීමේ ඉලක්කය ඇතිව, ඇමරිකානු රජය විසින් විශාල ලෙස අරමුදල් වෙන් කළා. මෙය සිදු වුනේ 1961දී.

වසර අටකට පසු, ඇමරිකාව මේ ඉලක්කය ජයගත්තා. හැටේ දශකය අවසන් වීමට පෙර, 1969 ජූලි 20 දින, ඇමරිකානුවෙකු වූ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තබා එහි ඇමරිකන් කොඩියක් හිටෙවුවා. සඳ තරණ තරඟයෙන් සෝවියට් දේශය පසු කර ඇමරිකාව ඉදිරියට ආවා. 1969-1973 කාලයේ ඇමරිකාව නැවත නැවත සඳ මත ඇමරිකානුවන්ගේ පා සලකුණු සටහන් කරද්දී සෝවියට් දේශය විසින්ද මේ සඳහා දිගින් දිගටම උත්සාහ කළත් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. පසුව සෝවියට් දේශය විසින් මේ වැඩේ නිල වශයෙන්ම අත හැර දැම්මා. 

කොහොම වුනත් ඇමරිකාව ඇපලෝ වැඩ සටහන ඊට කලින්ම නැවැත්තුවා. තරඟයෙන් පැහැදිලි ලෙසම සෝවියට් දේශය පරදා ජය ගැනීමෙන් පසුව ඇමරිකාවට මේ වෙනුවෙන් තව තවත් සල්ලි පොම්ප කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔය කාලයේ ලංකාවේ රාජ්‍ය නායිකාවක් විසින් කියා තිබුණු විදිහට, ඇමරිකන් කාරයින් හඳට ගිහින් බලද්දී හඳේ හාල් තිබුණේ නැහැ. ඒ නිසා වියදම් කරලා ගියාට හඳෙන් හාල් ගේන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. වෙන ආර්ථික වශයෙන් වැදගත් දෙයක් හඳේ තිබුනෙත් නැහැ. 

වියදම් කපන්න තවත් හේතු තිබුණා. ඔය කාලය ඇමරිකාවට ආර්ථික වශයෙන් අමාරු කාලයක්. ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය සීමා කර ලෝක තෙල් අර්බුදයක් ඇති කළේත් ඔය කාලයේ. ඇමරිකාවට එතෙක් කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ රන් සම්මත ක්‍රමය තව දුරටත් පවත්වා ගන්න බැරි වී ඒක පාර්ශ්වීය ලෙස රන් සම්මතයෙන් ඉවත් වුනෙත් ඔය කාලයේ. නමුත් තමන්ට අවාසිදායක මේ ලෝක තත්ත්වය හමුවේ ඇමරිකාව විසින් කළේ එතෙක් පැවති "තරඟයේ නීති" වෙනස් කරන එකයි. ඒ අනුව, ෆියට් මුදල් ක්‍රමය ලෝකයේ සාමාන්‍ය සම්මතය බවට පත් වුනා. ඇමරිකාවට අවුලක් නැතුව විශාල වෙළද ශේෂ හිඟයක් එක දිගට අඛණ්ඩව නඩත්තු කරන්න පුළුවන් වුනා. 

ඇමරිකාවේ වෙළඳ ශේෂයේ ඉතිහාසය දිහා බලද්දී පැහැදිලි යුග තුනක් හඳුනා ගන්න පුළුවන්. 1870ට පෙර යුගය, 1870-1970 අතර සියවසක කාලය සහ 1970න් පසු කාලය විදිහට. 1870ට පෙර, යම් විචලනයන් තිබුණත්, ඇමරිකාවේ වෙළඳ හිඟයක් පැවති කාලයක්. රන් සම්මතයක් පැවති ඒ කාලයේ ඇමරිකාවෙන් රන් හමු වූ නිසා වෙළඳ හිඟයක් පැවතීම ඇමරිකාවට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇමරිකාවේ රන් අවසන් වෙද්දී (මෙයින් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම අවසන් වීමක් නෙමෙයි), රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාව විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. ඒ නිසා තරඟකාරී ලෝක වෙළඳපොළ ඇතුලේ පහසුවෙන්ම එක දිගටම වෙළඳ අතිරික්තයක් පවත්වා ගන්න ඇමරිකාවට පුළුවන් වුනා.

ඔය තත්ත්වය වසර සීයක් පැවතුනත්, දිගටම තිබුණේ නැහැ. 1970 පමණ වෙද්දී ඇමරිකාවේ වෙළඳ අතිරික්තය වෙළඳ හිඟයක් බවට පත් වුනා. රටේ ඉන්ධන "අවසන් වීම" මෙයට ප්‍රධාන හේතුවක් වුනා. කාලයක් තිස්සේ ලෝකයේ ලොකුම ඉන්ධන නිෂ්පාදකයා වෙලා හිටියේ ඇමරිකාව. ඔය කාලයේ සිට වසර පණහක පමණ කාලයක් යන තුරු ඉන්ධන ප්‍රශ්නය ඇමරිකාවට ලොකු හිසරදයක් වෙලයි තිබුණේ. ඒ නිසාම, ඇමරිකාව සම්බන්ධ වූ ගැටුම් ගණනාවක එක පැත්තක තෙල් තිබුණා. 1973දී ජනාධිපති නික්සන් විසින් 1980 වෙද්දී ඉන්ධන ස්වායත්තතාව කරා යාම ජාතික ඉලක්කයක් ලෙස ඉදිරිපත් කර ඒ වෙනුවෙන් කටයුතු කළත්, සඳ තරණ ඉලක්කය වගේ පහසුවෙන් ඇමරිකාවට මේ ඉලක්කය ලඟා කර ගත හැකි වූයේ නැහැ. අවසානයේදී ඇමරිකාව ඉලක්කය ජයගත්තේ 2020 පමණ තරම් කාලයකට පසුවයි.

ඔය අතරවාරයේ, වසර පණහක පමණ කාලයක්, විශාල වෙළඳ හිඟයක් එක්ක ඇමරිකාව අල්ලාගෙන හිටියේ ඇමරිකන් ඩොලරයට තිබුණු ලෝක ආධිපත්‍යයේ උදවුවෙන්. නමුත් මේ වෙද්දී එම තත්ත්වය වෙනස් වෙලා. 

දැන් ඇමරිකාව විසින් නැවතත් ඉන්ධන ස්වායත්තතාව ලඟා කරගෙන තිබෙනවා වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු නොකළත් ස්වාධීනව පැවතිය හැකි ආර්ථිකයක් ඇමරිකාව සතුව තිබෙනවා. ඒ තත්ත්වය තුළ ඩොලරයේ ආධිපත්‍යය ඇමරිකාවට තව දුරටත් කලින් වගේ වැදගත් නැහැ. 

ඩොලරයේ ආධිපත්‍යය සහ ඇමරිකාවේ වෙළඳ හිඟය එක කාසියක දෙපැත්ත වගේ. ඩොලරයේ ආධිපත්‍යය තියා ගන්නනම් වෙළඳ හිඟයක් නඩත්තු කරන්න වෙනවා. වෙළඳ හිඟය අඩු කරගන්නනම් ඩොලරයේ ආධිපත්‍යය අත අරින්න වෙනවා. ඔය දෙකෙන් දෙවැන්න භෞතික නොවන සහ කොහොමටත් තිරසාර නැති, නාමික දෙයක්. ඊට සාපේක්ෂව වෙළඳ හිඟය අඩු වීම මගින් නිරූපණය වන්නේ භෞතික වශයෙන් රට ඇතුළේ සිදුවන නිෂ්පාදනය ඉහළ යාම. අඩ සියවසකට පසුව ඉන්ධන ප්‍රශ්නය විසඳා ගෙන නැවතත් ලෝකයේ විශාලතම ඉන්ධන නිෂ්පාදකයා බවට පත් වීමෙන් පසුව, අනෙකුත් නිෂ්පාදන වල තරඟකාරිත්වය හා අදාළවද ඇමරිකාව කාලයක් නොසිටි වාසිදායක තැනක ඉන්නවා. 

නිෂ්පාදනය හා අවශ්‍ය මානව ප්‍රාග්ධනය හා අදාළව අභ්‍යවකාශ තරණය ගැන කතා කරද්දී කියපු දේවල් අනෙක් නිෂ්පාදන වලටත් අදාළයි. ඩොලරයේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් ඇමරිකාවට ලෝකයේම "ගැනුම්කරු" වෙන්න සිදු වුනා. ඇමරිකාවෙන් ඩොලර් එළියට යද්දී ඒ වෙනුවෙන් රටට එන දෙයක් තිබිය යුතුයි. ඒ අනුව, ලෝකය පුරා නිපදවනු ලැබූ භාණ්ඩ ඇමරිකාවට ආවා. නමුත් ඒ භාණ්ඩ සියල්ලක්ම ඇමරිකාව තුළ නිපදවා ගත හැකිව තිබුණු දේවල්. එසේ නැතිව, ඇමරිකාවට තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

ලංකාව වාහන රටේ නොහදා ආනයනය කරන්නේ වාහන රට ඇතුළේ හදා ගන්න අවශ්‍ය තාක්ෂනය රට ඇතුළේ නැති නිසා. නමුත් ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් මිල දී ගන්න පටන් ගත්තේ රෙදි මහන තාක්ෂනය ඇමරිකාවේ නොතිබුණු නිසා නෙමෙයි. අඩු ඩොලර් ප්‍රමාණයක් වැය කර වැඩේ කරගන්න පුළුවන් වූ නිසා. එහෙම පුළුවන්කමක් ඇමරිකාවට ලැබෙන්න එක හේතුවක් වුනේ ලෝකය පුරාම ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම නිසා ඇමරිකන් ඩොලරයට එහි ඇත්තම වටිනාකම ඉක්මවන වටිනාකමක් ලැබී තිබීමයි. 

ඕනෑම සරල දෙයක් කාලයක් නොකර ඉඳිද්දී ඒ සඳහා අවශ්‍ය මානව ප්‍රාග්ධන සංචිතය ක්ෂය වී අවසන් වෙනවා. ඇඳුම් මහන එක වගේ සරල දෙයක් සැලකුවත්, හෙට ඇමරිකාවේ ඇඟලුම් කම්හලක් පටන් ගත්තොත්, ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයෝ ඇමරිකාවේ නැහැ. අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැවත ගොඩ නගා ගන්න යම් කාලයක් යනවා. මෙය පිරිවැය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. 

නිෂ්පාදන ආර්ථිකයක් නැතිකම කාලයක්ම ඇමරිකාවට ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය බොහොමයක් භාණ්ඩ ආනයනය කළා කියලා ඇමරිකානුවන්ට රැකියා නැති වුණේ නැහැ. නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ආනයන ආදේශ වෙද්දී ඇමරිකානුවෝ සේවා අංශ වල රැකියා වලට විතැන් වුනා. ඒ මගින් උපයපු ඩොලර් වලින් ඔවුන්ට ආනයනික භාණ්ඩ මිල දී ගෙන සුවපහසු ජීවිතයක් ගත කළ හැකි වුනා. නමුත් කෘතීම බුද්ධිය විසින් සේවා අංශයේ රැකියා උදුරා ගනිද්දී මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ තත්ත්වය යටතේ, කිසිසේත්ම ප්‍රයෝජනයට නොගැනෙන ශ්‍රමයට සාපේක්ෂව, වැඩි පිරිවැයක් ගෙවන්න වෙන ශ්‍රමය ඇමරිකාවට වාසියක්. ඇමරිකාවේ අලුත් තීරු බදු ප්‍රතිපත්තිය ඔය තත්ත්වය හමුවේ ආපු දෙයක් මිසක් තනි පුද්ගලයෙකුගේ පිස්සු තීරණයක් නෙමෙයි.

අනෙක් පැත්තෙන්, ක්‍රය ශක්ති සාම්‍යය අනුව, වසර කිහිපයක සිටම ලෝකයේ ලොකුම ආර්ථිකය චීනය. 2026 වසර සඳහා මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව ඇමරිකාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 31.8ක් වෙද්දී චීන ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 43.5ක්. ඉන්දියාවේ ආර්ථිකයද ඩොලර් ට්‍රිලියන 19.1ක්.

ඇමරිකාවේ ජනගහණය මෙන් හතර ගුණයක ජනගහණයක් සිටින රටවල් වන චීනයේ හා ඉන්දියාවේ ආර්ථිකයන් ඇමරිකාවට වඩා විශාල වීම අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. අසාමාන්‍ය දෙයක් වන්නේ එය එසේ නොවීමයි. ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව චීන ආර්ථිකය දැනටමත් ඇමරිකානු ආර්ථිකය ඉක්මවා ගොස් අවසන්. නමුත් නාමික පදනමින් චීන ආර්ථිකය තවමත් (මූල්‍ය අරමුදලේ 2026 ඇස්තමේන්තුව) ඩොලර් ට්‍රිලියන 20.7ක් පමණයි. 

චීන ආර්ථිකයේ නාමික විශාලත්වය සහ ක්‍රය ශක්ති සාම්‍ය පදනම අනුව එහි විශාලත්වය අතර ඉහත වෙනස මගින් පෙන්නුම් කරන්නේ ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා තිබෙන ඉල්ලුම සහ චීන යුවානයට එවැනි ඉල්ලුමක් නොමැති වීම අතර වෙනස කියා කියන්නත් පුළුවන්. රටේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය සැලකුවොත්, වඩා ගැලපෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය අගයයි. නමුත් චීන යුවානයට ඇමරිකන් ඩොලරයක් වීම පහසු නැති නිසා තවත් වසර ගණනක් යන තුරු නාමික අගයන් වලට වැදගත්කමක් තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරන සන්දර්භයකදී වඩා ගැලපෙන නිර්ණායකය නාමික අගයයි. 

ඇමරිකන් ඩොලරයට තිබුණු ආධිපත්‍යය කඩා වැටෙමින් තිබෙනවා. නමුත් එසේ වූ පමණින් ඇමරිකන් ඩොලරයට හිමිව තිබුණු තැන චීන යුවානයට ගන්න බැහැ. එහෙම වෙන්නනම් චීනයත් ඇමරිකාව වගේම විශාල පරිභෝජන ආර්ථිකයක් විය යුතුයි. නමුත් චීන ආර්ථිකයේ මූලික පදනම වන්නේම පරිභෝජන ආර්ථිකයක් නොවී නිෂ්පාදන ආර්ථිකයක් වීමයි. 

අනෙක් අතට ලෝකයේ ලොකුම ආර්ථිකය සේ සැලකිය හැකි වුවත්, චීනය ඉහළ ආදායම් රටක් නෙමෙයි. යුවාන් අපනයන කර ලෝකයේ වෙනත් රටවලින් ගෙන්වා ගන්නා ආනයන පරිභෝජනය කළ හැකි තරම් ආදායම් මට්ටමක් චීන පාරිභෝගිකයින් සතුව නැහැ. ඒ වගේම ඔවුන් ඉතිරි කරන්නන් මිසක් පරිභෝජකයින් නෙමෙයි. චීන ජනතාවද ඇමරිකානුවන් මෙන් සමස්තයක් ලෙස පරිභෝජකයින් වුවහොත්, චීන ආර්ථික වර්ධනයේ එන්ජිම නවතිනවා. චීනය මේ මට්ටම දක්වා ආවේ ඇමරිකානුවන්ගේ පරිභෝජනයේ උදවුවෙන්.

ඉහත තත්ත්වය නිසා යුවානයට ඩොලරය සඳහා ආදේශකයක් විය නොහැකි වුවත්, රටක් ලෙස ඇමරිකාවට කළ හැකි බොහෝ දේ කළ හැකි තරමේ ආර්ථික ශක්තියක් චීනය සතුව තිබෙනවා. තාක්ෂනය අතින්ද චීනය සෑහෙන ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ පදනම මත, කාලයක් පැවති ඒක ධ්‍රැවීය ලෝක බල ආකෘතියද නැවත වෙනස් වී තිබෙනවා. ඒ වගේම, ඇමරිකන් හා චීන ආර්ථිකයන් වේගයෙන් එකිනෙකින් විසන්ධි වෙමින් තිබෙනවා. ඔය රටවල් දෙකට අමතරව ලෝකයේ බල කලාප ගණනාවක් ගොඩ නැගෙමින් තිබෙනවා. 

ආටමස්-II සඳ ගමන සිදු වන්නේ මෙවැනි පසුබිමකයි. මේ හරහා සිදු වූ තවත් එක් සුවිශේෂී දෙයක් වූයේ, වෙළඳ යුද්ධය හේතුවෙන් යම් තරමකින් දුරස් වී සිටි, කැනඩාව ඇමරිකාව හා නැවත එකතු වීමයි. මා හිතන්නේ ඇමරිකාවටත් වඩා මේ ගැන කැනඩාව තුළ වූ උනන්දුව වැඩියි. ඇත්ත වශයෙන්ම කැනඩාව හා සිදු වූ වෙළඳ යුද්ධය සහ ආසන්න සිදුවීම් දෙස බැලිය යුත්තේද චීන ඇමරිකා වෙළඳ යුද්ධය දෙස බලන ආකාරයන් නෙමෙයි. මෙය එක්තරා ආකාරයක "ආදර රණ්ඩුවක්". අවසාන වශයෙන් සිදු විය හැක්කේ උතුරු හා දකුණු ඇමරිකානු කලාප දෙකම එක් බල කලාපයක් ලෙස ඒකාබද්ධ වීම සහ ලෝකයේ අනෙක් ප්‍රදේශ වලද එවැනි බල කලාප බිහි වීමයි. 

අනෙක් පැත්තෙන්, සෝවියට් දේශය හෝ චීනය වැනි සමාජවාදී රටවලින් වෙනස්ව ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආයෝජන සිදු විය හැක්කේ පුළුල් ජනතා කැමැත්තක් ඇත්නම් පමණයි. ඇපලෝ මුල් ඉලක්ක ජය ගැනීමෙන් පසුව ඒ වෙනුවෙන් තව තවත් මුදල් පොම්ප කිරීම ඇමරිකානු ජනතා අභිලාෂයක් වූයේ නැහැ. හැදීගෙන එන බහු ධ්‍රැවීය ලෝකය තුළ නැවතත් එවැන්නක් ඇමරිකානු ජනතා අභිලාෂයක් බවට පත් වෙමින් තිබෙනවා. එසේ නැත්නම්, එවැනි ජනතා අභිලාෂයක් ප්‍රවර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ඇමරිකාවේ සැලසුම් සහගත ජාතික දේශපාලන ඉලක්කයක් වී තිබෙනවා.

ඇමරිකාවට ලෝක ආධිපත්‍යය දිගටම පවත්වා ගැනීම සඳහා පළමු බහු-ග්‍රහවාසී ජාතිය වීම වැනි ලොකු පිම්මක් පනින්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම, ඇමරිකාව මේ පිම්ම පනින්නට යන්නේ තනිවම නොව ජපානය ඇතුළු අනෙකුත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද එකතු කර ගෙනයි. එය එක අතකින් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පෘථිවියෙන් ඔබ්බට ගෙන යාමේ වෑයමක්.

අනෙක් අතට මේ දෙවන වටයේ අභ්‍යාවකාශ වැඩ සටහන තුළ ආර්ථික ඉලක්ක වලටද බරක් තබා තිබෙනවා. ඇපලෝ සඳ ගමන් වලට සාපේක්ෂව ආටමස්-II සඳ ගමන සඳහා වැඩි කාලයක් ගත වී තිබෙන්නේ තාක්ෂණයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. පිරිවැය කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වී තිබෙන නිසා. 

මෙවර ඇමරිකාවේ අභ්‍යාවකාශ වැඩ සටහනේ ඉලක්කය හඳට ගොස් ආපසු පැමිණීම නොව හඳේ සහ ඉන් ඔබ්බට අඟහරු ග්‍රහ ලෝකයේ ස්ථිර මිනිස් ජනාවාස හැදීමයි. මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථක විය හැක්කේ ඒ සඳහා අවශ්‍ය ආර්ථික සාධක සම්පූර්ණ වේනම් පමණයි. ඇපලෝ යුගයේදී එය එසේ සිදු නොවුනත් මේ දෙවන වටයේදී එම තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙනවා. අභ්‍යාවකාශ වැඩ සටහන් තුළ පෞද්ගලික අංශයේ දායකත්වය මගින් මේ බව තහවුරු කෙරෙනවා. ඒ අනුව, මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව වෙළඳපොළ අර්ථ ක්‍රමයද පෘථිවිය ඉක්මවා තවත් ග්‍රහලෝක කරා ව්‍යාප්ත වීමක්. එය සිදු වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් විකල්ප අක්ෂයක් පෘථිවි බල දේශපාලනය තුළ ශක්තිමත් වෙමින් පවතින පසුබිමක එයට ප්‍රතිචාරයක්ද ලෙසයි. 

Friday, August 25, 2023

චන්ද්‍රයාන් - ඉන්දියානු ක්‍රමය


අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත් තැන් වල ලියැවී ඇති.

මේ වෙද්දී ලෝකයේ "හඳ ඇල්ලීමේ" තරඟයක් තිබෙන බව බොහෝ දෙනෙක්ට රහසක් වෙන්න බැහැ. මේ තරඟයේ ප්‍රමුඛ ක්‍රීඩකයින් වන ඇමරිකාව, රුසියාව හා චීනය අතරට දැන් ඉන්දියාවත් එකතු කරන්න පුළුවන්. මේ ප්‍රධාන රටවල් හතරට අමතරව ජපානය, ඊශ්‍රායලය, දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් තරඟයේ ඉන්න බවත් අමතක කළ යුතු නැහැ. 

චන්ද්‍රයාන් සාර්ථකත්වය ගොඩක්ම වැදගත් වන ප්‍රධානම හේතුව ඩොලර් මිලියන 75ක් වැනි ඉතා අඩු මුදලකින් වැඩේ කිරීම. දෙවැන්න හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩ බැස්සවීම. වඩා වැදගත් දෙවැනි කරුණට එන්න කලින් පළමුවැන්න ගැන කතා කරලා ඉවර කරමු. 

කවුරු හෝ නොදන්නා කෙනෙක් ඉන්නවානම්, පොළොවට හැම විටම පෙනෙන්නේ හඳේ එක් අර්ධයක් පමණයි. පොළොව මෙන්ම හඳද තමන්ගේ අක්ෂය වටා කැරකෙන නමුත් එසේ කැරකෙන්නේ හඳේ පොළොවට පෙනෙන පැත්ත හා නොපෙනෙන පැත්ත මාරු නොවන විදිහටයි. ඒ නිසා, ඒ නොපෙනෙන පැත්ත පොලොවේ සිට දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න බැහැ. ඒ නිසාම, ඒ පැත්තේ භූ විෂමතා ආදී තොරතුරු දන්නේ අඩුවෙන්. ඒ වගේම, මෙතෙක් සඳ මත කළ ගොඩ බැස්වීම් බොහොමයක් කර තිබෙන්නේ හඳේ සමකය ආසන්න ප්‍රදේශ වලට. ධ්‍රැව පැත්තට යන්න ප්‍රයත්න දරා තිබෙන්නේ අඩුවෙන්.

හඳේ පෙනෙන පැත්තට යානයක් ගොඩ බැස්වීමට සාපේක්ෂව අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වන එක තාක්ෂණිකව වඩා අභියෝගාත්මක කටයුත්තක්. එයට එක හේතුවක් වන්නේ ඒ පැත්තේ භූ විෂමතා ආදිය ගැන හරියටම නොදැනීම. මෙය යානයක් ගොඩ බැස්වීම සඳහා ස්ථානයක් තෝරා ගැනීම කෙරෙහි බලපානවා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය සන්නිවේදන ප්‍රශ්නය. හඳේ හෝ පොළොවේ තිබෙන කඳු, ආවාට වැනි භූ විෂමතා නිසා ප්‍රශ්නයක් නොවුනොත්, හඳේ පේන පැත්තේ සිට රේඩියෝ තරංගයකට කෙළින්ම පොළොව වෙත එන්න පුළුවන් වුනත්, පොළොව එක්ක සෘජු රේඛාවක් හැදෙන්නේ නැති නිසා (line of sight) නොපෙනෙන පැත්තේ සිට රේඩියෝ තරංගයකට ඒ විදිහට එන්න බැහැ. සමකයේ සිට ධ්‍රැව දෙසට යද්දීත් මේ සන්නිවේදන අභියෝගය ඉහළ යනවා. 

ඔබට ඇතැම් විට මතක ඇති මීට කලින් 2019 වසරේදී ඉන්දියාව විසින්ම සිදු කළ චන්ද්‍රයාන්-2 මෙහෙයුම. එම මෙහෙයුම යටතේ හඳට ගොඩ බස්වන්නට සැලසුම් කළ වික්‍රම් යානය (lander) හඳට ඔන්න මෙන්න තියා කඩා වැටීමට හේතුවක් වුනේ යානය සමඟ පොළොවේ සිට සන්නිවේදනය කළ නොහැකි වීම. 

කවුරුත් දන්නා පරිදි සෝවියට් දේශය අභ්‍යවකාශතරණයේදී ඉදිරියෙන්ම සිටි රටක්. ඇමරිකානු රජය අභ්‍යවකාශ වැඩ සටහන් සඳහා විශාල ලෙස මුදල් වෙන් කර මිනිසුන් හඳ වෙත යැවීම දක්වා දුර ගමනක් ගියේ සෝවියට් දේශය විසින් මුලින්ම මිනිසෙකු අභ්‍යාවකාශගත කිරීමෙන් පසුව ඇති වූ කම්පනයෙන් පසුවයි. විශාල කාලයක් සෝවියට් දේශය හා ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය අතින් කරට කර සිටියා. පසුව මේ දෙරටම සිය අභ්‍යවකාශ වැඩ සටහන් වෙනුවෙන් කරන ආයෝජන සීමා කළා. හඳ ගමන් නැවතුනා. කළ ආයෝජන වල තරමට ප්‍රතිලාභ නොතිබීම ඊට හේතුවක්.

ඇමරිකාව විසින් පෞද්ගලික අංශයේ දායකත්වයද සහිතව මෑතකදී සිය අභ්‍යවකාශ වැඩ සටහන් නැවත ආරම්භ කරද්දී රුසියාවද 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගත්තා. 1976දී සෝවියට් දේශය විසින් මිනිසුන් රහිතව හඳට යැවූ ලූනා-24 යානය සාර්ථක ලෙස හඳ මත ගොඩ බස්වනු ලැබූ අතර හඳෙන් පස් සාම්පල් පොළොවට රැගෙන ආවා. මෙය සෝවියට් දේශය විසින් එවැන්නක් කළ පළමු අවස්ථාව නොවුනත් අවසන් අවස්ථාවයි.

මෑතකදී රුසියාව නැවතත් 1976දී නැවැත්වූ තැනින් වැඩ පටන් ගනිමින් දෙසතියකට පෙර (2023 අගෝස්තු 10 දින) ලූනා-25 යානය හඳ වෙත යැවුවා. ඒ 2023 ජූලි 14 දින චන්ද්‍රයාන්-3 හඳ වෙත ගමන් අරඹා සති හතරකට පමණ පසුවයි. රුසියාවේ සැලසුම වූයේ ඉන්දියාවට පෙර නැවත හඳ මතට යානයක් ගොඩ බැස්වීමයි. අගෝස්තු 23 දින චන්ද්‍රයාන්-3 හඳ මත ගොඩ බැස්වීමට දින දෙකකට පෙර අගෝස්තු 21 දින ලූනා-25 ලෑන්ඩරය හඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්වීම රුසියාවේ ඉලක්කය වුනා. 

කෙටියෙන් කිවුවොත් ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 යානය "කොට කොටා" හඳට යද්දී "පාගා ගොස්" ඊට පෙර හඳට යාම රුසියාවේ ඉලක්කය වුනා. එහෙත්, රුසියාවේ වත්මන් අභ්‍යාවකාශ තාක්ෂණ හැකියා ප්‍රශ්න කරමින් දශක ගණනාවකට පසුව රුසියාව විසින් සිදු කළ මෙම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූයේ නැහැ. අගෝස්තු 19 දෙන රුසියාවට ලූනා-25 හා තිබුණු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටුනා. එසේ නොවන්නට චන්ද්‍රයාන්-3 හඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යන්නට දින දෙකට පෙර රුසියාව එහි යනවා. ඊට පෙර, අසාර්ථක වූ 2019 චන්ද්‍රයාන්-2 සඳ මෙහෙයුමට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය විසින් දියත් කළ බෙරසිට් මෙහෙයුම අසාර්ථක වීමටද සන්නිවේදනය බාධකය හරස් වුනා. කොහොම වුනත්, පෞද්ගලික අංශය මුල් වී මෙතෙක් සිදු කළ සාර්ථකම සඳ මෙහෙයුම ලෙස ඉලක්කය කිට්ටුවටම ගිය බෙරසිට් මෙහෙයුම සටහන් වෙනවා. 

චන්ද්‍රයාන්-2 මෙහෙයුමේ අවසන් අදියරේදී අසාර්ථක වුවත් එහිදී සඳ වෙත යවනු ලැබූ ප්‍රධාන යානය තවමත් සඳේ කක්ෂයේ තිබෙනවා. මෙවර වික්‍රම් ලෑන්ඩරය හඳ මත ගොඩ බැස්වීමෙන් පසුව එම චන්ද්‍රයාන්-2 යානය මෙන්ම චන්ද්‍රයාන්-3 මවු යානයද වික්‍රම් ලෑන්ඩරයේ සිට පොළොව වෙත සංඥා එවීමේදී අතරමැදි සංඥා සම්ප්රේෂකයින් ලෙස යොදා ගැනීම ඉන්දියාවේ සැලසුම වුනා. මේ මගින් සන්නිවේදනය බිඳ වැටීමේ අවදානම අඩු කරගත හැකි වුනා. 

තාක්ෂනික බාධා වැඩි වුවත් ලෝකයේ හැම රටකම අවධානය යොමු වී තිබෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය වෙතයි. ඊට හේතුව, හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙන් ජලය (අයිස්) සොයා ගත හැකි වීමේ හැකියාවයි. සඳ ඉලක්ක කරන අනාගත වැඩ පිළිවෙලකදී පොළොවේ සිට ජලය ගෙන යාමට සාපේක්ෂව ජලය හඳ තුළින්ම හොයා ගැනීමේ ආර්ථික වටිනාකම ඉතාම විශාලයි. ඒ වගේම, මේ හරහා ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි හයිඩ්‍රජන් හදා ගැනීමටද ඉඩකඩ විවර වෙනවා. 

මීට පෙර, 2019දී චීනයේ චංඅ 4 මෙහෙයුමේදී පළමු වරට සන්නිවේදන අභියෝග ජයගනිමින් හඳේ අඳුරු පැත්තට යානයක් ගොඩ බස්වනු ලැබුවා. චීනය හඳේ අඳුරු පැත්ත වෙත වැඩි අවධානයක් යොමු කරමින් ඉන්නවා.

හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මුලින්ම සාර්ථකව යානයක් ගොඩබස්වන රට ඉන්දියාවයි. රුසියාවද මේ සඳහා උත්සාහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. රුසියාව මෙන්ම දශක ගණනාවකට පසු සිය අභ්‍යවකාශ වැඩ සටහන් වලට නැවත පණ දී තිබෙන, සඳ වෙත මිනිසුන් යවා ඇති එකම රටද වන ඇමරිකාව මේ වන විට හඳේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට මිනිසුන් සහිත යානාවක් යැවීම සඳහා සැලසුම් කරමින් සිටිනවා. 

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 75ක් පමණක් වීම ලංකාවේ බොහෝ දෙනෙක් කතා කර ඇති දෙයක්. ඉන්දියාවේ අඩු වියදම් අභ්‍යවකාශ වැඩසටහන් ගැන මට මුලින්ම දැන ගන්න ලැබුණේ වසර කිහිපයකට පෙර නාසා ආයතනයේ සඳ ගමන් සැලසුම් වලට සම්බන්ධව සිටි (දැන් පෞද්ගලික ආයතනයක සඳ ගමන් හා අදාළ සැලසුම් වල නිරත) මිතුරෙකු හා කතා කරද්දී. ඔහු එහිදී පැවසුවේ ඉන්දියාවේ අඩු වියදම් සැලසුම ඇමරිකානුවන්ට හිතාගන්නවත් බැරි බවයි. ඇමරිකාවේ ඇපලෝ වැඩ සටහනේ පිරිවැය අද ඩොලර් වලින් බිලියන 280ක් පමණ.  

මිනිසුන් රහිත යානයක් හඳට යවන්න ඇමරිකාවටනම් ඩොලර් මිලියන 400-500 පමණවත් යනවා. චීනයට චංඅ 4 හඳට යවන්න වගේම රුසියාවේ අසාර්ථක වූ ලූනා-25 මෙහෙයුමටත් ඩොලර් මිලියන 200-250 පමණ ගියා. ඉන්දියාව මේ වැඩේ ඩොලර් මිලියන 75කින් කරලා පෙන්නලා තියෙනවා.

ඉන්දියාවේ අඩු වියදම් හඳ ගමනේ රහස වූයේ ගමන් කාලය අඩු කර ගැනීමට මහන්සි නොවී පොළොවේ ගුරුත්ව බලයම හැකිතාක් යොදා ගනිමින් හඳට යානයක් යැවීමට සැලසුම් කිරීමයි. චන්ද්‍රයාන්-3 හඳ වෙත යවන්නට දින 41ක් පමණ ගත වුනේ ඒ නිසා. ඇමරිකන් යානා වලට මිනිසුන්ද සහිතව දින හතරකදී හඳ වෙත යා හැකි වී ඇති අතර මිනිසුන් රහිත සෝවියට් යානා දින තුනකින් හඳ වෙත ගොස් තිබෙනවා. එහෙත්, හඳ වෙත යානාවක් කෙළින්ම, එකවර යැවිය හැකි තරම් බලයක් ඇති රොකට් ඉන්දියාව සතු වූයේ නැහැ. ඉන්දියාව කළේ කාලයක් පොළොව වටා රවුම් ගසන අතර ක්‍රමයෙන් රවුම ලොකු කර ගනිමින් අවශ්‍ය සීමාවට යාමෙන් පසුව පොළොවේ ගුරුත්වයෙන් මිදී හඳ වෙත යාමයි. ඉන් පසුව, ඒ විදිහටම හඳ වටා රවුම් ගසමින් හඳට කිට්ටු වීමයි. මේ ක්‍රමයේදී විශාල බලශක්ති ඉතිරියක් වෙනවා.

තාක්ෂනිකව කාර්යක්ෂමතාව මැනීමේදී බොහෝ විට උපයෝගී කරගන්නා නිර්ණායකයක් වන්නේ යොදවන බලශක්තියට සාපේක්ෂව සිදුවන කාර්යයයි. එහිදී ආර්ථික සාධක සැලකිල්ලට ගැනෙන්නේ අඩුවෙන්. එහෙත්, ආර්ථික කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී සැලකිලිමත් වන්නේ යොදවන පිරිවැයට සාපේක්ෂව සිදුවන ආර්ථික වශයෙන් ඵලදායී කාර්ය භාරය පිළිබඳවයි. ආර්ථික කාර්යක්ෂමතාවය ප්‍රශස්ත වන්නේ තාක්ෂනික කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමට වඩා අඩු මට්ටමක ඇති විටෙක වෙන්න පුළුවන්. 

කාලයක් ගුවන් යානා වල වේගය වැඩි කර ගැනීමේ තරඟයක් තිබුණා. දැන් එය නැවතිලා. දැනට තිබෙන තාක්ෂනය යොදා ගෙන අවශ්‍යනම් දැන් ඇමරිකාවේ සිට යුරෝපය වෙත යාමට ගත වන කාලයට වඩා ගොඩක් අඩු කාලයක් තුළ ගුවන් යානයක් පියාසර කළ හැකියි. එහෙත්, එවැන්නක් සිදු නොවන්නේ එහිදී ඉහළ යන ඉන්ධන වියදම නිසා මෙය ආර්ථික වශයෙන් කාර්යක්ෂම නොවන නිසයි. ගුවන් ගමන් වල යෙදෙන බොහෝ පාරිභෝගිකයින්ට වේගයට වඩා වැදගත් අඩු මිලයි. 

මිනිසුන් රහිත යානයක් හඳට යවන විට මෙන් නොව මිනිසුන් සහිත යානයක් හඳට යවන විට ගමන් කාලය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. මිනිසුන් වැඩි කාලයක් යානයක් තුළ රඳවා ගැනීමේදී මතුවන අභියෝග ගණනාවක් තිබෙනවා. එහෙත්, ඒ හේතුව නිසා, ඉන්දියාවේ අඩු පිරිවැය විකල්පයේ වැදගත්කම අහෝසි වන්නේ නැහැ. 

ඉන්දියාව හඳට ගලක් ගසා තිබෙනවා. මෙය එක පැත්තකින් අඹ ගහේ වඳුරු රංචුවට අඹයකින් ගහනවා වගේ වැඩක්. ඩොලර් බිලියන 550ක පමණ ඉන්දියානු ෆෙඩරල් අයවැය ඇතුළේ ඩොලර් මිලියන 75ක් කියන්නේ අබ ඇටයක්. රටේ ඉන්න බිලියන 1.4ක ජනගහණය සැලකූ විට, එක් අයෙකුට ඉන්දියන් රුපියල් 4ක පමණ මුදලක්. චන්ද්‍රයාන්-3 හඳට යාම නිසා ඉන්දියානුවෙකු ලබපු සතුට පමණක් සැලකුවත් රුපියල් හතරකට වඩා වැඩි විය යුතුයි. ඒ නිසා, මේ වැඩේ ඉන්දියානු රජය විසින් කළ මුදල් නාස්තියක් කියලා මමනම් කොහොමටවත් හිතන්නේ නැහැ. මම පෞද්ගලිකව ගත්තොත් ඇමරිකාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, රුසියාව වේවා මිනිස්සු අභ්‍යවකාශය ජය ගනිද්දී මට ලැබෙන සතුට රුපියල් කිහිපයක සතුටට වඩා ගොඩක් වැඩියි.

නුදුරු අනාගතයේ අභ්‍යාවකාශය තුළ මිනිස් පා සටහන් වේගයෙන් සලකුණු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ එක්කම "භූ දේශපාලනය" වගේ වචන ගැනත් නැවත සිතා බලන්න වෙයි. භූ දේශපාලනය වෙනුවට "අභ්‍යවකාශ දේශපාලනය" ආදේශ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඒ වගේම, අභ්‍යාවකාශය ආශ්‍රිත අලුත් කර්මාන්ත, අලුත් රැකියා අවස්ථා, අලුත් විනෝදාංශ වේගයෙන් බිහි වෙයි. ඉන්දියාව දැනටමත් මේ ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයෙක් වෙලා ඉවරයි.

ඩොලර් මිලියන 75ක ගලක් ගහලා ඉන්දියාව එක පැත්තකින් උත්සාහ කරන්නේ මේ කර්මාන්තය වෙත රට ඇතුළේ තිබෙන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගන්න. ඔය වගේ මුදලක් කජ්ජක් නොවන බිලියනපතියන් ගණනාවක් ඉන්දියාවේ ඉන්නවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවට මේ කර්මාන්තය තුළ ආයෝජනය කරන්න විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන්. අඩු වියදමෙන් වැඩේ කරලා ඉන්දියාව විදේශ ආයෝජකයින්ට පෙන්වලා තියෙන්නේ තමන්ගේ මුදල් මේ කර්මාන්තයේ ආයෝජනය කරන්න හිතනවානම් ඉන්දියාව ඒ සඳහා හොඳ තැනක් වන්නේ ඇයි කියන එකයි.

හඳට මිනිසෙකු යවද්දී දින තුනකින් නොයවා දින හතළිහකින් යවන එක ඒ තරම් ආකර්ශනීය නොවෙන්න පුළුවන්. නමුත් හඳ ගමන් ඉහළ යද්දී හඳට විශාල ලෙස භාණ්ඩ ගෙනයන්න අවශ්‍ය වෙනවා. එහිදී කාලයට වඩා වැදගත් වෙන්නේ පිරිවැයයි. මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් ඉන්දියාවට කියලා ඉන්දියාව දැනටමත් පෙන්නලා ඉවරයි. වට ගහලා හඳ අල්ලපු ඉන්දියාවට වට ගහලා ලෝකය අල්ලන එක අමාරු වැඩක් නෙමෙයි.

Sunday, September 25, 2022

තාරකා යුද්ධය


අනෙක් හැම ජීවියෙක්ම වගේම මිනිස්සුත් කරන හැම දෙයක්ම වගේ කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. පරිණාමයේ නීති අනුව එය එහෙම විය යුතුමයිනේ. තමන්ගේ පැවැත්ම ගැන නොහිතන ජීවීන්ව පරිණාමය විසින් ඉතිරි කරන්නේ නැහැ. 

තමන්ගේ පැවැත්ම ගැන හිතන මිනිස්සුන්ට නිරන්තරයෙන් තමන්ගේ පැවැත්මට අභියෝග කළ හැකි සජීවී හෝ අජීවී සතුරන් ගැන අවධානයෙන් ඉන්න වෙනවා. අනතුරු කලින්ම හඳුනාගෙන සැලසුම්සහගත ලෙස ප්‍රතික්‍රියා දක්වන්න වෙනවා. 

තමන්ගේ පැවැත්මට හානියක් සේ පෙනෙන ඕනෑම සජීවී හෝ අජීවී සතුරෙක්ව විනාශ කරන්න මිනිස්සු පැකිලෙන්නේ නැහැ. අසල්වැසියා ගැන, සමාජය ගැන, පරිසරය ගැන වගේ වෙනත් හැම දෙයක් ගැනම තියෙන මිනිස්සුන්ගේ ආදරය පිටුපස තිබෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහාම අවශ්‍ය වන සහජීවනයට වඩා වැඩි දෙයක් නෙමෙයි. 

ආර්ථික හා සමාජයීය වර්ධනයේ පහළ අදියරකදී මේ සහජීවනය තමන් වටා ඉන්න කුඩා කවයකට සීමා වෙනවා. සතුරෝ වෙන්නේ ළඟපාතම ඉන්න අය. ළඟින්ම ඉන්න අය එක්ක සම්මුතියක් ඇති කරගෙන ටිකක් ඈතින් ඉන්න අයගේ තර්ජන වලට සාමූහිකව මුහුණ දෙන එක තරමක් දියුණු මට්ටමක්. හැබැයි බොහෝ සත්තුත් මේ වැඩේ කරනවා. 

සමාජයක් ලෙස දියුණු වෙනවා කියන්නේ මේ සමීප කවය පුළුල් කරගන්නවා කියන එකයි. ආර්ථික වර්ධනය හා එයට සමගාමී තාක්ෂණික දියුණුව විසින් මේ කවය පුළුල් කර ගැනීම පහසු කරනවා. අද ලෝකයේ දෙකොනක ඉන්න දෙදෙනෙකුට සමීපව සිටීම ඇතැම් විට අහළ පහළ ගෙවල්වල අය එක්ක සමීපව ඉන්නවාටත් වඩා පහසුයි. 

සමීප කවය පුළුල් වෙනවා කියන්නේ පොදු සතුරන් වඩ වඩා ඈත් වෙනවා කියන එකයි. අල්ලපු ගෙදර සතුරෙකු දිහා බලා නොසිට අල්ලපු ගෙදර අයත් එක්ක එකතු වී අල්ලපු ගමේ සතුරන් ලෙස බලා සිටීම සාපේක්ෂව දියුණු තත්ත්වයක්. රටම එකතු වී වෙනත් රටක සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න සැලසුම් කිරීම ඊටත් වඩා දියුණු මට්ටමක්. හැබැයි දැන් මිනිස්සුන්ට පහසුවෙන්ම ඒ මට්ටමෙන් ඔබ්බට හිතන්න පුළුවන්.

යුක්රේන යුද්ධය වගේ දේවල් අතරින් පතර සිදු වුනත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිනිස් කණ්ඩායම් අතර ඒ ආකාරයේ මහා පරිමාණ යුද්ධ ඇති වී නැහැ. එහෙත්, පසුගිය දෙවසර තුළ ලෝකයේම මිනිසුන් එකතු වී මහා පරිමාණ ලෝක යුද්ධයක් කළා. ඒ කෝවිඩ් රෝගයට හේතු වන වෛරස සමඟ. යුද්ධය අවසන් නැතත් මේ වන විට සතුරා සමඟ සංහිඳියාවක් ඇති වී තිබෙනවා.

මිනිස් කණ්ඩායම් අතර මහා පරිමාණ යුද්ධයක් කියා කියන්නේ මිනිස් සංහතියම ක්ෂණිකව විනාශ වී යා හැකි එක් ආකාරයක්. කෝවිඩ් හදන වෛරස වැනි ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමකට වුවත් කෙටි කාලයකින් මිනිස් සංහතිය නැති භංගස්ථාන කර දමන්න පුළුවන්. කෝවිඩ් පැතිරුණු වේගය සමඟ එහි මරණ අනුපාතය 30-40% වැනි මට්ටමක තිබුණානම් සිදු විය හැකිව තිබුණු දේ ගැන සිතන්න.

පෘථිවියේ ජීවත් වන ඇහැට පෙනෙන සතුන් සියල්ලන්ම වගේ මිනිසුන් විසින් සිය අණසකට නතු කරගෙන ඇතත් ඇහැට නොපෙනෙන වෛරස, බැක්ටීරියා ආදිය මිනිස් තර්ජන හමුවේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිනවා. කෙටි ජීව කාලය නිසා, ඉතා ඉක්මණින් පරිණාමය වීමට මෙවැනි ක්ෂුද්‍ර ජීවීන්ට තිබෙන හැකියාව ඔවුන් සමඟ සටනකදී මිනිසුන්ට මුහුණ දෙන්න වන විශාල අභියෝගයක්.

අඩු සම්භාවිතාවක් ඇති දෙයක් වුවත්, පෘථිවියට පිටින් එන තර්ජනයක් හමුවේ මුළු මිනිස් සංහතියම අසරණ විය හැකියි. අභ්‍යාවකාශයෙන් පැමිණිය හැකි ජීවී සතුරු තර්ජන ගැන කිසිවෙකුට කිසිදු නිශ්චිත අදහසක් නැතත්, අජීවී සතුරන් ගැන යම් අදහසක් තිබෙනවා. පොළොවෙහි ගැටෙන විශාල උල්කාපාතයකට මිනිස් සංහතියම විනාශ කර දැමිය හැකියි. 

සෑම දිනකම ටොන් 100ක පමණ අභ්‍යාවකාශ අපද්‍රව්‍ය පෘථිවි වායුගෝලයට ඇතුළු වන නමුත් ඒවා පොළොවට වැටෙන්නට පෙර වායුගෝලය තුළදීම දැවී විනාශ වී යනවා. වසරකට පමණ වරක් මෝටර් රථයක ප්‍රමාණයේ ග්‍රහකයක් (Asteroid) වායු ගෝලයට ඇතුළු වන නමුත් එම ප්‍රමාණයේ අභ්‍යාවකාශ වස්තුවක් වුවත් පොළොවට වැටෙන්නට පෙර වායු ගෝලය තුළ දැවී යනවා. එහෙත්, ඊට වඩා ලොකු අභ්‍යාවකාශ වස්තුවක් වායු ගෝලයට ඇතුළු වුවහොත් එයින් යම් කොටසක් පොළොවට වැටෙන්නට පුළුවන්.

පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණම සාගර නිසා බොහෝ විට පොළොවට වැටෙන අභ්‍යාවකාශ වස්තු කොටසක් වුවත් වැටෙන්නේ මුහුදටයි. ගොඩබිමකට වැටුණත්, ජනාකීර්ණ නැති පෙදෙසකට වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ නොවන අවස්ථා තිබෙනවා. 

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වාසය කළ ඈන් හොජස් (Ann Elizabeth Fowler Hodges) 1954 නොවැම්බර් 30 දින දවල් ගෙදර සෝපාවේ ඇලවී කුකුළු නින්දක් දමාගෙන සිටියා. හරියටම දවල් 12:54ට, පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී යාමෙන් පසුව ඉතිරිව තිබුණු රාත්තල් නවයක උල්කාෂ්ම කොටසක් ඇගේ වහලයේ අඩි තුනක හිලක් හදාගෙන ගේ ඇතුළට කඩා වැටුණා. පළමුව රේඩියෝව මත පතිත වුණු මේ උල්කාෂ්ම කොටස ඉන් පසුව බම්ප් වී ඇවිත් ඇගේ අතක සහ කකුලකද වැදී තැළුම් තුවාල හැදුවා.

ඉන් පසුව, 1992 ඔක්තෝබර් 9 වනදා පස්වරුවේ ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ පීක්ස්කිල්හි නවතා තිබුණු මෝටර් රථයක් මතට රාත්තල් 27.7ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 2003 සැප්තැම්බර් 23 වෙනිදා ඇමරිකාවේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවු ඕලියන්ස් නගරයේ නිවසක වහලය කඩාගෙන රාත්තල් 44ක උල්කාෂ්ම කොටසක් වැටුණා. 

ලංකාවට වැටුණු උල්කාෂ්ම කොටස් සේ සැක කෙරෙන ද්‍රව්‍ය ගැන වසර කිහිපයකට පෙර වාර්තා වී තිබුණා. මතක හැටියට අදාළ කොටස් කොළඹ විශ්ව විද්‍යාලය විසින් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වෙනත් රටක විද්‍යාගාරයකට යවන කතාවක් වාර්තා වී තිබුණත්, ලංකාවෙන් යැවූ පළමු චන්ද්‍රිකාව ගැන වගේම ඒ ගැනත් ඉන් පසු අහන්න ලැබුණේ නැහැ. 

නාසා වෙබ් අඩවිය අනුව, වසර දෙදහසකට පමණ වරක් පාපන්දු පිටියක තරමේ උල්කාෂ්මයක් පොළොවට වැටී සැලකිය යුතු විනාශයක් කරනවා. පෘථිවි වායු ගෝලයට ඇතුළුවන මීටර 25කට වඩා කුඩා ඝන ද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් පොළොවට වැටෙන්නට පෙර දැවී යනවා. මීටර 25 සිට කිලෝමීටරය දක්වා ප්‍රමාණයේ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වූ විට උල්කාෂ්ම කොටස් පොළොවට වැටී යම් හානියක් කරන නමුත් එම හානිය අදාළ ප්‍රදේශයට සීමා වෙනවා. කිලෝමීටර 1-2 පමණ ඝන ද්‍රව්‍යයක් වායු ගෝලයට ඇතුළු වීමෙහි බලපෑම ලෝකයටම දැනෙන්න පුළුවන්. 

කිසියම් අභ්‍යවකාශ වස්තුවක් පොළොව හා ගැටෙන්න යන බව කලින් හඳුනා ගත හැකි වුවහොත්, සිදු විය හැකි විනාශයෙන් බේරෙන්න ගත හැකි පියවර මොනවාද? ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ මෙන් අර්බුදය මුවවිටටම එන තුරු හිටියොත්නම් කරන්න ලොකු දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. උල්කාෂ්ම කොටස් ඔළුවට වැටෙන්න යද්දී කැටපෝල් වලින් විදලා බේරෙන්න බැහැ. විනාශය වෙන්න කලින් පෙර සූදානමක් අවශ්‍යයි.

මෙවැනි විනාශයකින් බේරීම සඳහා කාලයක් තිස්සේ යෝජනා වී තිබුණු පිළියමක් වන්නේ අදාල අභ්‍යවකාශ වස්තුව වෙත රොකට්ටුවක් යවා එහි වැද්දවීම මගින් ගමන් මාර්ගය වෙනස් කිරීමයි. විද්‍යා ප්‍රබන්ධ වලනම් මේ වැඩේ කරලා ගොඩක් කල්. හැබැයි ඇත්තටම එහෙම වැඩක් කවදාවත් කරලා තිබුණේ නැහැ.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි පරීක්ෂාවක් හෙට සිදු වෙනවා. 2021 නොවැම්බර් 24 දින නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කළ ඩාර්ට් (Double Asteroid Redirection Test -DART) අභ්‍යාවකාශ යානය හෙට (සැප්තැම්බර් 26) ඇමරිකාවේ නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 7:14ට (ලංකාවේ වේලාවෙන් සැප්තැම්බර් 27 පාන්දර 4:44ට) සැලසුම්සහගත ලෙස ඩිමෝපස් (Dimorphos) ග්‍රහකයේ වද්දවා එහි ගමන් මග වෙනස් කරනවා. මෙය සජීවී ලෙස නැරඹිය හැකියි. 

Thursday, February 18, 2021

පර්සි අඟහරු වෙත!


පර්සි යන කෙටි නමින් හැඳින්වෙන පර්සිවියරන්ස් රෝවරය මාස හතකට ආසන්න ගමන් කාලයක් ගෙවා පැය කිහිපයකට පෙර අඟහරු ග්‍රහලෝකයේ ජෙසීරෝ ආවාට ප්‍රදේශය වෙත ලඟා වුනා. මෝටර් රථයක ප්‍රමාණයේ මේ රෝවරය මීට පෙර එහි ගිය කියුරියෝසිටි රෝවරයට සාපේක්ෂව සෑහෙන තරමකින් වැඩි දියුණු කළ එකක්. අඟහරු මත යා යුතු තැන දැනුම් දීමෙන් පසුව ඒ කරා යා යුතු හොඳම මාර්ගය තෝරා ගැනීමට මේ රෝවරය සමත්. 

අඟහරු වෙත මේ රෝවරය යැවීම අඟහරු ජනාවාස කිරීමේ ඉතාම මූලික අදියරේ පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය යැවීමේ ප්‍රධාන අරමුණු හතරක් වන්නේ,

- අඟහරු මත පිහිටි මූලික මට්ටමේ ජීවයකට පැවතිය හැකි හෝ පැවතිය හැකිව තිබුණු ස්ථාන හඳුනා ගැනීම;

- එම ස්ථාන ආශ්‍රිතව තිබිය හැකි හෝ තිබී ඇති මූලික මට්ටමේ ජීවයන් හඳුනා ගැනීම; 

- පසු දිනක වෙනත් යානයකින් ආපසු පොළොව වෙත රැගෙන ඒම සඳහා අඟහරුගේ "පස්" සාම්පල එකතු කර එක තැනකට ගොඩ ගැසීම (මේ පස් සාම්පල් පෘථිවියට ගේන්න 2026දී යන ගමනට ඉකොනොමැට්ටත් යන්නයි ඉන්නේ!); හා 

- අඟහරු මත ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමයි.

රෝවරය සමඟ එහි යන කුඩා ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයද අඟහරු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා උපකාරී වනු ඇති. පෘථිවියෙන් පිටත පළමු මිනිස් ජනාවාස හැදෙන්නේ අඟහරු මත වීමට ලොකු ඉඩක් තිබෙනවාක් මෙන්ම එය අපේ ජීවිත කාල තුළම සිදුවෙන්න වුවත් බැරිකමක් නැහැ. 

මිනිසා පැවැත්ම සඳහා කරන අරගලයේදී කුතුහලය කියන සාධකය විසින් හැම විටම වගේ පරිණාමික වාසි සපයා තිබෙනවා. කුතුහලය මිනිසාව අවදානම් ගැනීමට පොළඹවනවා. අවදානම් ගැනීම අලුත් දැනුම් එකතු කරනවා. දැනුම් ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වන්නේ දැනුම් වලින් වැඩක් තිබෙනවාද නැද්ද කියන එකයි. වැඩක් නැති දැනුම් පස්සේ යන අය පරිණාමික ක්‍රියාවලිය තුළ වඳ වී යාමත්, වැඩක් නැති දැනුම් අතහැර වැඩක් තිබෙන දැනුම් හොයා ගන්නට හෝ හොයා ගන්නට බැරිනම් අඩු වශයෙන් නිවැරදිව අනුකරණය කරන්නට පුළුවන් අය ඉතිරි වීම ඉතිහාසය පුරා දිගින් දිගටම සිදු වී ඇති දෙයක්. මිනිස් වර්ගයා අලුත් දැනුම් හොයා යන ගමනේදී පෞද්ගලික ප්‍රාග්ධනය විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

Wednesday, June 3, 2020

අභ්‍යාවකාශයෙන් ආ සීනු හඬ


තරඟකාරී නිදහස් වෙළඳපොළක් ඇති විට කිසිදු තනි පාරිභෝගිකයෙකුට හෝ සැපයුම්කරුවෙකුට මිලට බලපෑම් කරන්න බැහැ.  ඒ වගේ වෙළඳපොලක විකිණෙන භාණ්ඩයේ හෝ සේවාවේ මිල එම භාණ්ඩය නිපදවීම සඳහා වැය වන ආන්තික පිරිවැයට සමානයි. ඒ කියන්නේ, ශ්‍රමය සඳහා හා ප්‍රාග්ධනය සඳහා ප්‍රතිලාභ මිස අමතර ලාභ නැහැ.

නිදහස් වෙළඳාමට ඉඩ ලැබුණා කියලා හැම වෙළඳපොළක්ම තරඟකාරී වෙළඳපොළක් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා  ස්වභාවිකවම ඒකාධිකාර ගොඩ නැගෙන අවස්ථා තිබෙන්න පුළුවන්. කතිපයාධිකර ඊට වඩා සුලභව දකින්න ලැබෙනවා. බොහෝ වෙළඳපොළවල් වල ප්‍රධාන සමාගම් හතර පහකට නැත්නම් හත අටකට වඩා නැති බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ වගේ වෙළඳපොලක වුවත් ලාභ අවසාන වශයෙන් බෙදී යන්නේ ප්‍රාග්ධනය යෙදවූ අය හා ශ්‍රමය යෙදවූ අය අතරයි.

හැම දෙනෙකුටම ජීවිතය ආරම්භ කරද්දී ප්‍රාග්ධනයක් උරුමයෙන් ලැබෙන්නේ නැහැ. එවැනි අයෙකුට මුල් කාලයේදී තමන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත්, ශ්‍රමයේ ප්‍රතිලාභ සියල්ල පරිභෝජනය කර අවසන් නොකර යම් කොටසක් ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධන සංචිතයක් ගොඩ නඟා ගන්න පුළුවන්.

කොටස් වෙළඳපොළ කියන්නේ පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න හොඳ තැනක්. කොටස් වෙළඳපොළ සංකල්පයේ අපූර්වත්වය වන්නේ කිසියම් සමාගමක් විසින් අධික ලාභ උපයනවා කියා හිතන කෙනෙකුට ඒ ගැන දුක් වෙනවා හෝ පැමිණිලි කරනවා වෙනුවට අදාළ සමාගමේ කොටස් හිමියෙකු වී ඒ ලාබ වල කොටස්කරුවෙකු වෙන්න අවස්ථාව මේ හරහා ලැබෙන එකයි.

වෙනත් ඕනෑම අයෙකුටත් ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි සමාගමක කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. කැමතිනම් ගොඩක් ලාබ උපයනවා කියා සමහර අය කියන මොන්සැන්ටෝ වගේ සමාගමක කොටස් වුවත් මිල දී ගන්න පුළුවන්. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් බවට පත් වීම බව පෙන්වන්න දෘශ්‍යමාන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

වෙනත් ඕනෑම අයෙකුට මේ කොටස් මිල දී ගන්න බාධාවක් නැහැ. නියම ජනසතු කිරීමක් කියා කිව හැක්කේ සමාගමක් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කිරීමටයි. ජනසතු කිරීමේ නාමයෙන් සමාගමක් රජය සතු කළ විට සිදුවන්නේ එය ටික දෙනෙකුගේ බූදලයක් වීම බව පෙන්වන්න උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

කොටස් වෙළඳපොළක් කියා කියන්නේ සමාගම් වල කොටස් ගනුදෙනු වන තැනක්. ලෝකයේ ලොකුම කොටස් වෙළඳපොළ නිවුයෝර්ක් කොටස් වෙළඳපොළයි. එහි ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් වල වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 25කට වඩා වැඩියි. ඒ කියන්නේ ඇමරිකාවේ ජාතික ආදායමටත් වඩා වැඩියි. නිවුයෝර්ක් කොටස් වෙළඳපොළ ආරම්භ වී වසර දෙසීයකටත් වඩා වැඩියි.

වසර පණහකට ආසන්න ඉතිහාසයක් තිබෙන නැස්ඩෑක් කොටස් වෙළඳපොළ ලෝකයේ දෙවන විශාලතම කොටස් වෙළඳපොළයි. ඇමසන්, මයික්‍රෝසොෆ්ට් හා ෆේස්බුක් වැනි තාක්ෂණික අංශයේ සමාගම් බොහොමයක් ලැයිස්තුගත කර තිබෙන්නේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ.

නිවුයෝර්ක් කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ වීම හා අවසන් වීම සංඥා කරමින් සීනුවක් නාද කිරීම සියවස් එකහමාරක් පමණ සිට සිදුවන දෙයක්. මේ සීනුව නාද කිරීමේ කටයුත්ත පසුකාලිනව කිසියම් නම්බුකාර වැඩක් බවට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස ලැයිස්තුගත සමාගමක ස්වර්ණ ජයන්තිය වැනි විශේෂ සැමරුම් අවස්ථාවකදී කොටස් වෙළඳපොළ සීනුව හඬවා එම අවස්ථාව සැමරීමට අදාළ සමාගමේ ප්‍රධානියෙකුට අවස්ථාව ලැබෙනවා. නැස්ඩෑක් කොටස් වෙළඳපොළ හා කොළඹ කොටස් වෙළඳපොල ඇතුළු ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වලටද මේ චාරිත්‍රය පැතිරී තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ සීනු චාරිත්‍රය ඉටු කරන අය අදාළ ස්ථානයට පැමිණෙන නමුත් ඊයේ (ජූනි 2) උදේ නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ගනුදෙනු ආරම්භ කරමින් චාරිත්‍රානුකූල ලෙස සීනුව නාද කළ අය ඒ කටයුත්ත කළේ වෙනත් තැනක සිටයි. මේ වෙනත් තැන නිවුයෝර්ක් නගරයේ, ඇමරිකාවේ හෝ අඩු වශයෙන් පෘථිවිය මත පිහිටි තැනක් නෙමෙයි. සීනු හඬ ආවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගිය ඓතිහාසික ගමන සමරමින් ගමනට සහභාගී වූ නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලිත්, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය භාරව සිටින ක්‍රිස් කැසීඩීත් එකතුව ඊයේ මේ චාරිත්‍රය ඉටු කළා. ඒ සඳහා උපයෝගී කර ගත්තේ මේ දවස් වල ගෙදර සිට වැඩ කරන ගොඩක් අයට පුරුදු සූම් මෘදුකාංගයයි.

සූම් මෘදුකාංගය නිපදවූ සූම් වීඩියෝ කමියුනිකේෂන්ස් සමාගමද නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. එම සමාගමේ කොටස් නැස්ඩෑක් කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරමින් පොදු සමාගමක් බවට පත් වීම සමරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිනිය විසින්ද පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නැස්ඩෑක් සීනුව නාද කළා.

(Image: https://www.space.com/spacex-crew-dragon-astronauts-nasdaq-opening-bell.html)

Sunday, May 31, 2020

කොරෝනා අමතක කර අභ්‍යාවකාශගත වෙමු!


ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා අභ්‍යාවකාශගාමීන් දෙදෙනකු ප්‍රවාහනය කරමින් ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඊයේ (මැයි 30) ඇමරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3:22ට හෙවත් ලංකාවේ වේලාවෙන් මැයි 31 දින අළුයම 12:52ට ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථක ලෙස ගුවන්ගත කෙරුණා. මේ අවස්ථාව පෞද්ගලික සමාගමක් මුල් වී මිනිසුන් අභ්‍යාවකාශය වෙත ප්‍රවාහනය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.

කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ මේ පළමු පරීක්ෂණාත්මක ගමනට නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලි සහභාගී වුනා. යානය ගුවන්ගත කිරීම සඳහා මුලින්ම සැලසුම් කර තිබුණු දිනය මැයි 27 වුවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවසන් මොහොතේදී එම කටයුත්ත දින හතරකින් කල් දැම්මා.

මෙතෙක් අභ්‍යාවකාශ තරණය රජයයන් මුල් වී සිදු කළ කටයුත්තක්. ආරම්භයේදී මේ කටයුත්තේදී මුල් තැන සිටියේ සෝවියට් දේශයයි. රටේ ආදායම මිනිසුන් අතර බෙදා හැරීමේ ඒකාධිකාරය රජය වෙත තබා ගෙන සිටි සෝවියට් දේශය වැනි සමාජවාදී රට වලට රජයේ ප්‍රමුඛතා වෙනුවෙන් බාධාවකින් තොරව සම්පත් යොමු කිරීමේ හැකියාව තිබුණු නිසා අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලදී අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටීමට හැකි වුනා.

ඇමරිකාව මුලින්ම අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුනේ සෝවියට් දේශයට දෙවැනි විය නොහැකි නිසයි. සෝවියට් දේශය විසින් පළමු වරට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමෙන් පසුව ඇමරිකානුවන්ගේ ජාතිකාභිමානයට සෑහෙන්න රිදුනා. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් රජයටත් බදු මුදල් යොදවා අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ආයෝජනය කරන්න ඉඩ සැලසුණා. ඇමරිකාව සෝවියට් දේශය පරදවා අභ්‍යාවකාශ තරණය තුළද ඉදිරියට ගොස් පළමු වරට මිනිසෙකු හඳ වෙත යැවුවා.

මුලින්ම සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් ඉවත් වීමත්, පසුව සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අභ්‍යාවකාශ තරණය සඳහා වූ ඇමරිකානු උනන්දුව දියාරු වී ගියා. කෙසේ වුවත්, සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් මිස අභ්‍යාවකාශ තරණයෙන් ඉවත් වුනේ නැහැ. සෝවියට් දේශය වගේම පසුව රුසියාවත් දිගටම අභ්‍යාවකාශ තරණයෙහි යෙදී සිටියා. පසුකාලීනව අභ්‍යාවකාශ තරණයේදී රටවල් අතර තරඟයක් වෙනුවට සහයෝගීතාවයක් ගොඩ නැගුනා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එහි ප්‍රතිඵලයක්.


අභ්‍යාවකාශ තරණය බදු මුදල් නාස්ති කළ ප්‍රදර්ශනාත්මක කටයුත්තක් මිස ආර්ථික වශයෙන් ඵලදායී ලාබ ගෙනදුන් කටයුත්තක් වුනේ නැහැ. අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත් වියදම් අධික යානා එක ගමනකින් පසුව නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත නොහැකි වීම මෙය ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක් ලෙස වැඩි දියුණු වීමට තිබුණු විශාලම බාධාවක්.

සඳ තරණයෙන් වසර පණහකට පසුව දැන් නැවත උදා වෙමින් තිබෙන්නේ අභ්‍යාවකාශ තරණයේ නව යුගයක්. ස්පේස්-එක්ස් සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් විසින් පෞද්ගලික ධනය ආයෝජනය කර අත් හදා බලමින් සිටින්නේ නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත හැකි අභ්‍යාවකාශ යානා නිසා එක් ගමනක් සඳහා වන පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. ඒ අනුව, මුදල් ගෙවන්නට සූදානම් ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශගත වීමේ අවස්ථාව සලසා දෙමින් අභ්‍යාවකාශ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වීමට වැඩි දවසක් යන එකක් නැහැ.

පැය දහ නවයක ගමනකින් පසුව තව මිනිත්තු කිහිපයකින් කෲ ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානයේ අභ්‍යාවකාශගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වන අවස්ථාව පහත සබැඳියෙන් සජීවී ලෙස නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

Saturday, February 1, 2020

මුහුණු වැසුම් වලින් ගසා කෑම


මුහුණු වැසුම් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙත්, කොරෝනා භීතිය පැතිරීමත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. මුහුණු වැසුම් ඉල්ලුම ඉහළ යද්දී මිලත් ඉහළ ගොස්, අන්තිමේදී රජය විසින් පාලන මිලක් පැනවීමෙන් පසුව මුහුණු වැසුම් හිඟයක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

ඇමරිකානුවෙකු මුහුණු වැසුමක් භාවිතා කර සිටිනු දැකීම දුලබ දෙයක් නෙමෙයි. කෙනෙක් මුහුණු වැසුමක් භාවිතා කරන්නේ කිඹුහුම්, කෙළ, හොටු, ප්‍රශ්වාස වාතය ආදී ක්‍රමයකින් වෙනත් අයට බෝවිය හැකි රෝගයක් වැළඳුනු විට හෝ එවැනි රෝගයක් තමන්ට ඇති බවට සැකයක් ඇති වූ විටයි. මේ මුහුණු වැස්ම අනෙක් අයට අදාළ පුද්ගලයාට කිට්ටු වී රෝගය බෝ කර නොගැනීමට සංඥාවක්ද ලබා දෙනවා. වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ඇමරිකානු ඩොලර් ශත දහයකට පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ.

මම හිතන්නේ කොරෝනා භීතිය එන්න කලින් මෙවැනි වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ලංකාවේ විකිණෙන්න ඇත්තේ රුපියල් දහයකට හෝ පහළොවකට වෙන්න ඇති. සමහර විට ඊටත් අඩුවෙන් වෙන්න ඇති. එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වුනු මිලක්. මෙවැනි මුහුණු වැස්මක නිෂ්පාදන පිරිවැය එතරම් විශාල නැති නිසා මේ වගේ මුදලකට විකුණා ලාබගන්න නිෂ්පාදකයෙකුට බැරිකමක් නැහැ. ඒ වගේම පාරිභෝගිකයෙකුට මෙවැනි මුහුණු වැස්මක මීට වඩා මහා ලොකු වටිනාකමක් නොතිබුණු නිසා මුහුණු වැස්මක් රුපියල් දෙතුන් සීයකට මිල දී ගන්න කැමති අය එතරම් සිටියා වෙන්න බැහැ.

මේ විදිහට සරලව විස්තර කළත් ලංකාවේ පාරිභෝගිකයෙකු මුහුණු වැස්මක් මිල දී ගන්නේ එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. ළඟම තිබෙන ෆාමසිය වැනි අතරමැදියෙකුගෙන්. ෆාමසිය හිමිකරු  මුහුණු වැස්ම විකුණන්නේ එය ඔහුට ලැබෙන මිලටම නෙමෙයි. මුහුණු වැසුම් තොග මිලට මිල දී ගෙන ගබඩා කරගෙන සිටීම සඳහා ඔහුට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම හා වෙනත් වියදම් ඔහු විසින් ආවරණය කරගත යුතුයි. අනවශ්‍ය තොග ගොඩ ගසාගෙන සිටීම තේරුමක් නැති වියදමක්. ඒ නිසා ෆාමසි කරුවෙකු විසින් ගබඩා කර තබා ගන්නේ කිසියම් නිශ්චිත කාලයක් තුළ විකිණී අවසන් වේයැයි අපේක්ෂිත මුහුණු වැසුම් ප්‍රමාණයක් පමණයි.

ලංකාවේ ෆාමසි හිමිකරුවෙකු  මුහුණු වැසුම් මිලදී ගන්නේත් සෘජුවම එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ගණනාවක් සිටිනවා. ලංකාවේ බොහෝ පරිභෝජන භාණ්ඩ වල වගේම මේ මුහුණු වැසුම් වල නිෂ්පාදකයින්ද සිටින්නේ ඉන්දියාවේ හෝ චීනයේ වෙන්න පුළුවන්. එය එසේනම් එයින් අදහස් වෙන්නේ ඉන්දියානුවෙකුට හෝ චීනෙකුට ලාංකිකයෙකුට වඩා කාර්යක්ෂමව මුහුණු වැසුම් නිපදවිය හැකි බවයි. එයට හේතු අපි මෙහි කතා නොකර සිටිමු.

කොරෝනා භීතිය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණු වැස්මක තිබෙන පෞද්ගලික වටිනාකම එක වර විශාල ලෙස ඉහළ ගියා. ඒ එක්කම ඔවුන් මුහුණු වැස්මක් සඳහා ස්වේච්ඡාවෙන් ගෙවන්න කැමතිව සිටි උපරිම මිලත් විශාල ලෙස ඉහළ ගියා. මෙය ආර්ථික විද්‍යාවේ කියන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක්.

මේ ආකාරයට මුහුණු වැසුම් සඳහා වන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගියේ දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. කෙටිකාලීනව මුහුණු වැසුම් සැපයුම් වක්‍රය තීරණය වන්නේ ෆාමසි වල ගබඩා කරගෙන තිබෙන තොග ප්‍රමාණ මතයි. නමුත්, වැඩි වූ ඉල්ලුම අනුව, වෙනදා මාස හත අටකින් විකිණෙන මුහුණු වැසුම් ප්‍රමාණයක් දවසකින් දෙකකින් විකිණෙන්න පුළුවන්කමක් ඇති වුනා. ඒ තරම් ඉක්මණින් මුහුණු වැසුම් ආනයනය කරන්න බැහැ.

මුහුණු වැසුම් ඉල්ලුම වැඩි වුනේ ලංකාවේ පමණක් නොවෙයි. කොරෝනා නිජ භූමිය වූ චීනයේ මේ සිද්ධියම මීට වඩා ලොකුවට සිදු වුනා. චීනය ඇතුළේ මුහුණු වැසුම් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමත්, චීනය සමඟ කෙරෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීමා වීමත් නිසා මුහුණු වැසුම් සැපයුම් වක්‍රයටත් බලපෑමක් ඇති වුනා. එය ආර්ථික විද්‍යා භාෂාවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වීමක්.

සැපයුම් වක්‍රය නොවෙනස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමේ ප්‍රතිඵලය මිල ඉහළ යාමයි. ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය වමට විතැන් වීමේ ප්‍රතිඵලයත් මිල ඉහළ යාමයි. ඔය දෙකම එකවර වෙනවා කියන්නේ ඩබල් බෝනස්!

පහුගිය දවස් වල ලංකාවේ ෆාමසි වල මුහුණු වැසුම් මිල ඉහළ ගියේ ඔය මූලධර්මය අනුවයි. නමුත්, මේ වෙලාවේ සිදු වුනේ ෆාමසි කාරයින් විසින් ඉතා අසාධාරණ ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයින් ගසා කෑමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඇත්තද?

මගේ එක් වත්පොත් මිතුරෙක් මේ "අමානුෂික වැඩේ" ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වහාම මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ වෙද්දී ඔහුගේ ඉල්ලීම ඉටු වී තිබෙනවා. දැන් වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැසුමක උපරිම සිල්ලර මිල රුපියල් පහළොවක් පමණයි. නමුත්, ඒ මිලට ගන්න බඩු නැහැ!

මානුෂික වේවා අමානුෂික වේවා, වෛරස් බිය පැතිරෙද්දී මුහුණු ආවරණ වල මිල ඉහළ ගියේ නිදහස් වෙළඳපොළ ක්‍රමය නිසා කියන එක ඇත්ත. භාණ්ඩ හා සේවා මිල රජය විසින් තීරණය කරන විකල්ප ආර්ථික ක්‍රමයක් යටතේ මේ විදිහට මිල ඉහළ යන්නේ නැහැ. මේ විදිහට ආපදා අවස්ථාවකදී වැඩි වැඩියෙන් අවශ්‍ය වන භාණ්ඩයක මිල ඉහළ යන ක්‍රමයක් අමානුෂිකද?

මේ ගැන කතා කරන්න පටන් ගත යුත්තේ බැහැර කළ නොහැකි බිම් යථාර්ථ වල සිටයි. ෆාමසි වල සහ සමස්තයක් ලෙස රට ඇතුළේ කොහේ හෝ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය සීමිතයි. කොරෝනා වෛරස් බිය නොවන්නට මේ මුහුණු වැසුම් ප්‍රමාණය මාස හත අටකටවත් ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත කවුරු හෝ විසින් නැවත තොග ආනයනය කරන නිසා රටේ  මුහුණු වැසුම් හිඟයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත්, දැන් හදිසියේම එකවර ඇති වී තිබෙන විශාල ඉල්ලුම රටේ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ඉක්මවන්නක්. ඒ නිසා, මුහුණු වැසුම් අවශ්‍ය සියල්ලන්ටම මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථික ක්‍රමය සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මේ සැබෑ ප්‍රශ්නය එළෙසම තිබෙනවා.

අපි හිතමු රටේ දැනට තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ලක්ෂයක් කියා. නමුත්, මුහුණු වැසුම් ඉල්ලුම ලක්ෂ පහක්. මේ ගණන් උදාහරණ පමණයි. පවතින තත්ත්වය යටතේ මුහුණු වැසුම් අවශ්‍ය අයගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මුහුණු වැසුම් ලැබෙන්නේ නැහැ. මුහුණු වැසුම් ලැබෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ රටේ සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රමය අනුවයි.

මුහුණු වැසුම් ලැබිය යුත්තේ ඒවා වඩාත්ම අවශ්‍ය පිරිසටයි. ඒ පිරිස කවුද? නිදහස් වෙළඳපොළක සමතුලිත මිල කියා කියන්නේ මේ වඩාත්ම අවශ්‍ය පිරිස තෝරා ගන්නා යාන්ත්‍රණයටයි. මුහුණු වැස්මක මිල ටිකින් ටික ඉහළ යන විට මුහුණු වැස්මක් ඒ තරම්ම ලොකුවට අවශ්‍ය නැති අය ටිකින් ටික මේ තරඟයෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ කීයක් ගියත් මුහුණු වැස්මක් මිල දී ගන්න අවශ්‍ය පිරිසයි.

මුහුණු වැස්මක මිල රුපියල් පහළොවක සිට රුපියල් පණහ දක්වා ඉහළ ගිය විට ඒ ගැන මැසිවිලි නගන කෙනෙක් ගැන කියන්න තියෙන්නේ කුමක්ද? ඔහුට හෝ ඇයට මුහුණු වැස්මක් රුපියල් පණහක් වටින්නේ නැහැ. එපමණ මුදලක් ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්න තරම් අවදානමක් තමන්ට නැති බව ඇය දන්නවා. එහෙත්, රුපියල් පහළොවකට මුහුණු වැස්මක් මිල දී ගත හැකිනම් තිබෙන සුළු අවදානම හමුවේ වුවත් එහි යම් වාසියක් ඇයට තිබෙනවා.

තමා ගැවසෙන ප්‍රදේශයේම කොරෝනා වෛරස් රෝගියෙකු සිටින බව දැනගත් විට, එහෙමත් නැත්නම් යම් අයෙකුට ස්වශන ආබාධයක් ඇති විට මුහුණු වැස්මක අවශ්‍යතාවය වැඩියි. එවැනි අය රුපියල් පණහක් නෙමෙයි සීයක් හෝ ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්නවා. එවැනි අයට තිබෙන වැඩි අවදානම නිසා මුහුණු වැස්මක වටිනාකම වැඩියි. මුහුණු වැසුම් නිපදවන්න යන වියදම සමාන වුවත්, එහි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ෆාමසිකරුවන් විසින් දිගින් දිගටම මුහුණු වැසුම් වල මිල ඉහළ දැමීම නිසා කිසියම් මුහුණු වැසුම් ප්‍රමාණයක් නොවිකිණී ෆාමසි වල ඉතිරි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුණු වැස්මක් අත්‍යාවශ්‍ය අයෙකුට වැඩි මිලක් ගෙවා හෝ මුහුණු වැස්මක් මිල දී ගැනීමේ හැකියාවද අහිමි නොවී ඉතිරි වෙනවා.

මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් දැමූ වහාම මේ ස්වභාවික වෙළඳපොළ යාන්ත්‍රනය බිඳ වැටෙනවා. දැන් මුහුණු වැසුම් අයිති කර ගන්නේ ඒවා අවශ්‍යම පිරිස නෙමෙයි. ගන්නන් වාලේ ගන්න අයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු වැසුම් අත්‍යවශ්‍යම අයට මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල ඉහළ යාම ඉතාම මානුෂීය වන්නේත්, මිල පාලනය අමානුෂික වන්නේත් ඒ නිසයි.

මිල පාලනයේ තිබෙන එකම අවාසිය මෙපමණක් නෙමෙයි. ඉහළ යන මිල කියා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම වෙනස් වී ඇති බව සැපයුම්කරුවන්ට දැනුම් දෙන සංඥාවයි. රුපියල් පහළොවකට මුහුණු වැසුම් හදා වෙළඳපොළට දමන්න බොහෝ අය නොපෙළඹෙන්නේ එසේ කර වාසියක් ලැබීම අසීරු නිසයි. මිල රුපියල් පණහක් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබුණොත් කෙනෙක් ඉන්දියාවට ගොස් තමන්ගේ ගමන් මළු වල දමාගෙන මුහුණු වැසුම් අරගෙන එන්න පවා පෙළඹෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඉතා ඉක්මණින් සැපයුම ඉහළ ගොස් නැවත මිල පහළ වැටෙනවා. නමුත්, හදිස්සි වී මිල පාලනය කළ විට මේ යාන්ත්‍රනය ඇණ හිටිනවා.

සැබෑ ප්‍රශ්නය ඉල්ලුමට සරිලන තරම් මුහුණු වැසුම් සැපයුමක් නැතිකම මිස මිල ඉහළ යාම නෙමෙයි. මිය ඉහළ යාම කියා කියන්නේ සැබෑ ප්‍රශ්නය ගැන දැනුම් දෙන පණිවුඩකරු මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. පණිවුඩකරුට වෙඩි තිබ්බා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව රජය විසින් හඳුනාගත්තානම් කළ යුතුව තිබුණේ කෙසේ හෝ මුහුණු වැසුම් සැපයුම වැඩි කිරීමයි. එසේ කළානම්, මිල ඉබේම පහළ වැටෙනවා. එසේ නොකර මිල පාලනය කරන්න යාමෙන් සිදු වන්නේ මුහුණු වැසුම් හිඟය තවත් උග්‍ර වීම පමණයි.

Wednesday, January 16, 2019

ඉර හඳ ඇල්ලීම


"ඉර හඳ ඇල්ලුවත් මොකටද?"

"අපි හදන්නෙ ඉර හඳ අල්ලන්න නෙමෙයි!"

ඔය වගෙ කතා ලංකාවේ මිනිස්සුන්ගේ කටින් නිතරම පිට වෙනවා. මේ කතා වලින් කියැවෙන්නේ ඉර හඳ අල්ලනවා වගේ ලොකු වැඩ නොකළාට කරන්න ඊට වඩා වැදගත් වැඩ තිබෙන බවයි.

පසුගිය සියවසේ තුන්වන කාර්තුව අභ්‍යාවකාශ තරණය හා අදාළ ගොඩක් දේවල් සිදුවුණු කාලයක්. ඒ කාලයේ ඉර හඳ අල්ලන්න උත්සාහ කළ රටවල් අතර ඉදිරියෙන්ම සිටියේ සෝවියට් දේශය හා ඇමරිකාවයි.

වෙනත් හැම දෙයක්ම වගේ රජය මූලිකව කළ සෝවියට් දේශය අභ්‍යවකාශ තරණය වෙනුවෙන් විශාල ප්‍රමුඛතාවයක් දෙමින්, සැලකිය යුතු තරමින් සම්පත් වැය කර ඔවුන්ගේ එම ආයෝජන වල ප්‍රතිඵල නෙලා ගනිමින් පසුගිය සියවසේ මැද හරියේදී අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා වෙන්න සමත් වුණා. ගොඩක් දේවල් රජයේ මැදිහත්වීමකින් තොරව සිදුවන ඇමරිකාවේ එවැනි දැවැන්ත කටයුත්තකට අත ගැසිය හැකි පෞද්ගලික ආයෝජකයින් සිටියේ නැහැ. එවැනි ආයෝජනයකින් ලැබිය හැකි අවදානමට සරිලන ලාබ පෙනෙන්නට නොතිබීම එයට හේතුවයි.

සෝවියට් දේශය විසින් 1957 ඔක්තෝබර් 4 වෙනිදා මුල් වරට සාර්ථක ලෙස කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික් 1) ගුවන්ගත කළා. ඒ එක්කම ඇමරිකානු ෆෙඩරල් රජයට ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් ලෙස අභ්‍යවකාශ තරණය ගැන හිතන්න අවශ්‍ය වාතාවරණය හැදුනා. 1958 ඔක්තෝබරයේදී නාසා ආයතනය බිහිවුනේ ඒ අනුවයි. නාසා ආයතනය පිහිටුවීමෙන් පසුව ඉලක්ක කළ පළමු ව්‍යාපෘතිය වූයේ අභ්‍යවකාශයට මිනිසෙකු යැවීමයි.

නාසා ආයතනය විසින් 1960 අප්‍රේල් 26 දින අභ්‍යවකාශයට ඇමරිකානුවෙකු යැවීමට මුලින්ම සැලසුම් කර තිබුණත් අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කළ පරිදිම සිදු නොවූ නිසා මේ කටයුත්ත 1961 මැයි 5 දක්වා කල් ගියා. ඊට තෙසතිකට පෙර 1961 අප්‍රේල් 12 වෙනිදා රුසියානුවෙකු වූ යූරි ගගාරින් මුල් වරට අභ්‍යවකාශයට ගියා.

අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ ගගාරින්ට ලොව වටෙන්ම ලොකු පිළිගැනීමක් ලැබුණා. 1961 දෙසැම්බරයේදී ඔහු ලංකාවටත් ආවා. ඒ සංචාරයේදී ගගාරින් විසින් සිටවූ ගස් ලංකාවේ ගොඩක් තැන් වල දැනටත් තිබෙනවා ඇති කියා හිතනවා. 


(Image: http://lka.rs.gov.ru/en/news/10510)

මුල් වරට අභ්‍යාවකාශයට ඇමරිකානුවෙකු යවන්න නොහැකි වුවත්, මුල් වරට ඇමරිකානුවෙකු හඳට යවන්න නාසා ආයතනයට හැකි වුනා. ඒ 1969 ජූලි 21 වෙනිදා. ඇපලෝ ව්‍යාපෘතිය යටතේ, 1969, 1971 හා 1972 වසර වලදී ගමන් හයකදී ඇමරිකානුවන් 12 දෙනෙකු හඳට ගොඩ බැස්සා. ඒ හැර වෙනත් කිසිවෙකු මෙතෙක් හඳට අඩිය තබා නැහැ. මිනිසෙකු අවසන් වරට හඳට ගොඩ බැස්සේ 1972 දෙසැම්බරයේදී. කෙසේ වුවත්, ඒ කාලයේදීම සෝවියට් දේශය විසින් මිනිසුන් රහිත යානා ගණනාවක් හඳට යැවුවා.

ඇමරිකාව විසින් මිනිසුන් හඳට යැවීම මූලික වශයෙන්ම ඇමරිකන් රජයේ දේශපාලන ව්‍යාපෘතියක්. එහි ඉලක්කය වුණේ කෙසේ හෝ සෝවියට් දේශයට වඩා ඉස්සර වීමයි. එය නොකළානම් හඳ සෝවියට් දේශයේ භුක්තියට සින්න වෙලා යයි කියා බයක් හිතෙන්න ඇති. ඒ හැර එහි වෙනත් ආර්ථික වාසි තිබුණේ නැහැ. ඒ නිසා ඉලක්කය පස්සේ පන්නා ජය ගැනීමෙන් පසුව ඇමරිකාව පැත්තෙන් අභ්‍යවකාශ තරණයට වූ උනන්දුව දිය වෙලා ගියා. අනිත් පැත්තෙන් සෝවියට් දේශයත් වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සේ දශක ගාණක්ම ඉර හඳ අල්ලන වැඩේ පැත්තකට විසි වෙලයි තිබුණේ.

දැන් නැවතත් අභ්‍යාවකාශ තරණය ගැන උනන්දුව අලුත් වී තිබෙනවා. ඉර අල්ලන්න ඇමරිකාවෙන් යවපු පාකර් ප්‍රෝබ් එක කලින් කවදාවත් ගිහින් නොතිබුණු තරම් ඉරට කිට්ටු වෙද්දී, අභ්‍යාවකාශ තරඟයට අළුතෙන් එකතු වී සිටින චීනය මුල් වරට හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවා තියෙනවා. මෙය සිදුවන්නේ චන්අ නැත්නම් චන්ද්‍ර දෙවඟන ව්‍යාපෘතිය යටතේ සිදුවන සිවුවන මෙහෙයුම ලෙසයි.

මෙතෙක් කල් හඳේ නොපෙනෙන පැත්තට යානයක් යවනු ලැබ නොතිබුණේ එය තාක්ෂණිකව වඩා අසීරු කටයුත්තක් නිසයි. හඳ තමන් වටා භ්‍රමණය වන අක්ෂය ආසන්න වශයෙන් හඳ පොළොව වටා යන පථයට ලම්බකව පිහිටා තිබෙන නිසා හැම විටම පොළොව පැත්තට හැරී තිබෙන්නේ හඳේ එක අර්ධයක් පමණයි. ඒ නිසා හඳේ පොළොවෙන් විරුද්ධ පැත්තේ තිබෙන කොටසේ සිට පොළොව සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ හැකියාවක් නැහැ. චීනය මේ අභියෝගය ජයගෙන තිබෙන්නේ හඳ මත ගොඩ බස්වපු යානය හා පොළොවේ පාලන මධ්‍යස්ථානය යන දෙකම "දැකිය හැකි" පරිදි හඳේ කක්ෂයේ ස්ථානගත කර තිබෙන "පොල්කිචි පාලම" චන්ද්‍රිකාව වෙත මුලින්ම සන්නිවේදන සංඥා යොමු කර එතැනින් ගමනාන්තය වෙත යොමු කිරීම මගිනුයි. මේ චන්ද්‍රිකාව කලින්ම ස්ථානගත කරනු ලැබුවා.

චන්අ-4 යානය ඇතුළේ කපු ඇටයක් පැල කරවන්නත් චීනය සමත් වුනා. මේ හඳේ පැලයක් පැල වුනු පළමු අවස්ථාව. කොහොම වුනත් ඒ පැලයට ආයුෂ තිබුණේ දවස් කිහිපයක් පමණයි. හඳේ දවසක් පොළොවේ දවස් 27ක් පමණ වන නිසා හඳට රෑ වන තුරු පැලයට දවස් ගානක්ම අවශ්‍ය උෂ්ණත්වය ලැබුණත් හඳට රෑ වෙද්දී එන අධික ශීතලෙන් බේරෙන්න විදිහක් නොතිබුණු නිසා දවස් කීපයකට කලින් ඒ කපු පැලේ මිය ගිහින්. 

අභ්‍යාවකාශ තරණයේ යෙදෙන හැම රටක්ම වගේ එය කරන්නේ තමන්ගේ රටේ ජාතික කටයුත්තක් ලෙස සලකලයි. ඒ නිසා, වෙනත් ක්ෂේත්‍රවල තරමට මේ ක්ෂේත්‍රයේ දැනුම රටකින් රටකට කාන්දු වෙන්නේ නැහැ. කිසියම් රටක් අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියට එනවා කියන්නේ ඒ රටේ තාක්ෂණ දැනුම පිළිබඳ සංඥාවක්.

චීනය වගේම අසල්වැසි ඉන්දියාවත් අභ්‍යවකාශ තාක්ෂනය අතින් වේගයෙන් ඉදිරියට යමින් සිටිනවා. ඉන්දියාවේ "ඒක් ටොයිලට් ප්‍රේම් කතා" සුලභ වීම එයට බාධාවක් වී නැහැ. ඉදිරි දශකයක කාලය තුළ මේ ක්ෂේත්‍රයේ ගොඩක් දේවල් වෙයි කියා හිතන්න පුළුවන්. නුදුරු අනාගතයේ දවසක ඉර හඳ අල්ලන්න ආසාවක් ඇති වුනු කෙනෙක් හඳට ගියොත් දවල් කෑමට චීන කෑම කන්න ලැබෙයිද ඉන්දියන් කෑම කන්න ලැබෙයිද කියා දැන්ම කියන්න අමාරුයි.

Monday, November 26, 2018

රතු ග්‍රහයා වෙත නෑ ගමනක්!



පසුගිය මැයි පස් වනදා කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට අඟහරු ග්‍රහයා වෙත ගමන් ඇරැඹු ඉන්සයිට් යානය සයමසකට වැඩි කාලයක චාරිකාව නිමා කර තවත් පැය කිහිපයකින් සිය ගමනාන්තය කරා ළඟා වෙනවා. මේ අවස්ථාව සජීවී ලෙස නැරඹිය හැකියි.

අඟහරු ගමන බොහෝ අභියෝගාත්මක කටයුත්තක්. මෙතෙක් අඟහරු වෙත සිදු කෙරුණු ගමන් වලින් සාර්ථක වී ඇති ප්‍රමාණයට වඩා අසාර්ථක වී ඇති ප්‍රමාණය වැඩියි. කෙසේ වුවත්, ඇමරිකාවෙන් අඟහරු වෙත යැවූ යානා බොහොමයක්ම අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට සමත්ව තිබෙනවා.

ඉන්සයිට් යානය අඟහරු වෙත ළඟා වීමෙන් අනතුරුව මෙතෙක් නොකළ බොහෝ දේ කරන්නට නියමිතයි. ඒ කටයුතු අතර අඟහරු පෘෂ්ඨයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම විශේෂයි.

ඉන්සයිට් යානය අඟහරු වෙත ලඟා වීමට නියමිතව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී (27 අළුයම) 1.30ට පමණ. මධ්‍යම රාත්‍රී 12.30 සිට නාසා වෙබ් අඩවියෙන් (පහත සබැඳියෙන්) සජීවී විකාශනය නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

Sunday, October 21, 2018

2020 දී මොකක් වෙයිද?


දෙදාස් විස්සෙදී මොකක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. අනාගතයේ වෙන දේවල් අපට නිශ්චිතවම දැනගන්න විදිහක් නැහැ. නමුත්, එයින් කියන්නේ අනාගතය තනිකරම අහම්බයක් කියන එක නෙමෙයි. අද අපි ගන්නා තීරණ අනාගතය වෙනස් කරනවා. හරියට සැලසුම් කළොත් අනාගතය වඩා හොඳ විදිහකට වෙනස් කරගන්න බැරිකමක් නැහැ.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහින් දැන් අවුරුදු පණහකට කිට්ටුයි. ඒ වෙන විට මම ඉපදිලා හිටියත් මේ ගැන සංවේදී වන වයසක නෙමෙයි හිටියේ. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් එක්කෝ ඒ කාලයේ ඉපදිලා නැහැ. එහෙම නැත්නම් මම වගේම ඒ කාලයේ මේ ගැන සංවේදී නැති කුඩා දරුවෙක්. මෙය කියවන අය අතරේ ඔය හඳ ගමන හරියටම මතක තියෙන අයත් සෑහෙන පිරිසක් ඇති. නමුත්, අද ජීවත් වන බොහෝ දෙනෙක්ට ඕක තවත් ඉතිහාස කතන්දරයක් විතරයි.

ආම්ස්ට්‍රෝන් හඳට යන්න කලින් දශක දෙක අභ්‍යාවකාශ තරණය හා අදාළව ගොඩක් දේ සිදු වුනු කාලයක්. නමුත්, ආම්ස්ට්‍රෝන්ගේ හඳ ගමනින් ටික කාලයකට පස්සේ ඒ ගැම්ම අඩු වෙලා ගියා.

අභ්‍යාවකාශ තරණය හා අදාළව මුලින්ම ඉදිරියෙන් හිටියේ සෝවියට් දේශය කියා කියන්න පුළුවන්. ඇමරිකාව වැඩේට බර දැම්මේ සෝවියට් දේශයට දෙවෙනි වෙන්න තිබුණු අකැමැත්ත එක්කයි. ඇමරිකාවට සෝවියට් දේශයට වඩා කලින් මිනිහෙක්ව හඳට යවන්න පුළුවන් වුණත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න වුණා. ගැම්ම අඩුවෙලා යන්න මේ වියදම හේතු වුනා කිවුවොත් එය බොරුවක් නෙමෙයි.

අවුරුදු පණහකට පස්සේ දැන් ආයෙත් ඇමරිකාව හඳත් එක්ක ඔට්ටු අල්ලන්න ලෑස්ති වෙමින් ඉන්නවා. මේ පාර කලින් සැරේ වගේ හඳට ඇමරිකානුවෙක්ව යවලා වැඩේ නවත්වන්න අදහසක් නැහැ.

සැලසුම තිබෙන්නේ හඳ වෙත අඛණ්ඩව ගමන් බිමන් පවත්වා ගැනීම සහ එතැනින් එහාට අඟහරු පැත්තටත් ඔලුව දා ගැනීම. 2020 අන්තිම වෙද්දී නැවත වරක් ඇමරිකානුවෙක් හඳ මත පා තැබීමත් 2030 පමණ වෙද්දී අඟහරු ගමනක් ආරම්භ කිරීමත් සැලසුම් කෙරෙමින් තිබෙනවා. පසුගිය අගෝස්තු 12 වෙනිදා ඉර කිට්ටුවට ගමන් ආරම්භ කළ පාකර් ප්‍රෝබ් එකත් මේ සැලසුම් වලම කොටසක්. ආම්ස්ට්‍රෝන් හඳට යාමේ සිද්ධිය දිහා කුතුහලයෙන් බලා සිටි පරම්පරාවට ලැබුණු, අපට නොලැබුණු අත්දැකීම අපටත් වැඩි කල් නොයා විඳගන්න ලැබෙයි.

පසුගිය දවසක නාසා ආයතනයේ සේවය කරන මිතුරෙකු සමඟ අප කිහිප දෙනෙකු මේ දේවල් ගැන කතා බහක යෙදෙමින් හිටියා. මෙහිදී, අපේ එක් මිතුරෙකු දැඩි ලෙස තර්ක කළේ කරන්න ඕනෑ තරම් දේවල් තියෙද්දී අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලට මෙවැනි විශාල මුදලක් වැය කිරීම නාස්තියක් බවයි.

මේ අදහස ඔහුගේ පමණක් වන අදහසක් හෝ අලුත් අදහසක් නෙමෙයි. මම හිතන්නේ මේ අදහස දරන විශාල පිරිසක් ඉන්නවා. සමහර විට අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘති කාලයක් යට ගිහින් තියෙන්න හේතුවෙන්න ඇත්තෙත් මෙවැනි අදහස්. එහෙමනම්, නැවතත් අභ්‍යාවකාශ තරණය ආකර්ශනීය අදහසක් වෙලා තියෙන්නේ කොහොමද?

මම හිතන්නේ ලෝක බලතුලනයේ සිදු වෙමින් පවතින වෙනස්කම් මෙයට හේතු වනවා කියලයි. කලින් සිටම අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටි රුසියාවට අමතරව නැගී එන අලුත් ලෝක බලවතුන් වන චීනය හා ඉන්දියාවත් අභ්‍යාවකාශය දිහා බලාගෙනයි ඉන්නේ. යම් විදිහකින් ඇමරිකාවට කලින් වෙනත් රටක් හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතුරුවොත් ඒ සිද්ධියම ලෝක දේශපාලනයේ ඇමරිකාවට තිබෙන තැන එක වර වෙනස් කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට ඇමරිකාවේ ආධිපත්‍යය හඳ දක්වා දිගු වුනොත් ඇමරිකාවට පෘථිවිය මත තිබෙන තැන තවත් ස්ථාවර වෙනවා.

මේ හේතු නිසා, මේ පාර ඇමරිකාව හඳට යාමෙන් නොනැවතී හඳ මත තමන්ගේ ආධිපත්‍යය පැතිරීමේ සිට එයින් ඔබ්බට අත පොවන එක දක්වා ගොඩක් දේවල් නොවෙන්න හේතුවක් නැහැ. බරපැන වැඩි වුවත් ඇමරිකාවට ඒ බරපැන දරන්න බල කෙරෙන හේතු පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

(Image: https://en.wikipedia.org/wiki/Parker_Solar_Probe)

වෙබ් ලිපිනය: