වෙබ් ලිපිනය:

Showing posts with label පුළුල් මුදල් සැපයුම. Show all posts
Showing posts with label පුළුල් මුදල් සැපයුම. Show all posts

Saturday, October 3, 2026

මහ බැංකුව උද්ධමනය පාලනය කරන්නේ කොහොමද?


මේ වෙද්දී ලංකාවේ නිල උද්ධමනය 8.0% දක්වා ඉහළ ගිහින් තියෙනවා. එයින් අදහස් වෙන්නේ 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල 8.0%කින් ඉහළ ගිහින් කියන එකයි. 

උද්ධමනය හා මුදල් සැපයුම අතර සම්බන්ධයක් තියෙනවා කියන එක මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත් මේ සම්බන්ධයේ ස්වභාවය ගැන විවිධ අය දන්නේ විවිධ මට්ටම් වලිනුයි. කොහොම වුනත් යම් මූලික දැනුමක් තිබෙන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. 

මූලික න්‍යාය අනුව, ඉතාම සරලව, මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ යද්දී, ඒ හා සමානව සැපයුම ඉහළ නොගියහොත්, මිල වැඩි වෙනවා. මුදල් සැපයුමේ විශාල වැඩිවීම් සිදු විය හැකි වුවත් සැපයුමේ එවැනි විශාල වැඩි වීම් සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ඉහළ යන හැම විටකම මෙන් උද්ධමනය ඉහළ යනවා. 

කෙනෙකුට ඔය මූලික න්‍යාය තේරුම් ගන්න හෝ කටපාඩම් කරගන්න අමාරු නැහැ. නමුත් එහි කියැවෙන මුදල් සැපයුම හා උද්ධමනය කියන්නේ සංකල්ප දෙකක් පමණයි. ප්‍රායෝගිකව මේ සංකල්ප සැබෑ ලෝකයේදී දැකිය හැකි වන්නේ එම සංකල්ප මත පදනම් වූ මිනුම් ලෙසයි. පෙර කී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ සමස්ත මිල ඉහළ යාම උද්ධමනය සේ සැලකීම උදාහරණයක්. නමුත් මෙය උද්ධමනය මනින එකම මිනුම නෙමෙයි. 

මුදල් සැපයුම කියද්දී කෙනෙකුට මුලින්ම මතක් වෙන්නේ මුදල් නෝට්ටු හා කාසි. ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරය තිබෙන්නේ මහ බැංකුව සතුවයි. ඒ නිසා, මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි ලෙස සැලකුවහොත්, මහ බැංකුවට ඒ මුදල් සැපයුම පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ මගින් උද්ධමනය පාලනය කළ හැකිනම්, උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවට අසීරු කාර්යයක් වෙන්න බැහැ. 

නමුත් උද්ධමනය කෙරෙහි බලපාන මුදල් සැපයුම කියා කියන්නේ මුදල් නෝට්ටු හා කාසි පමණක් නෙමෙයි. මේ වෙද්දී ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, පෙරගෙවුම් කාර්ඩ්, අන්තර්ජාල ගෙවීම් ආදී විවිධ ආකාර වලින් ලංකාවේ මිනිස්සු මිල දී ගැනීම් කරනවා. ඒ මිල දී ගැනීම් වලට මුදල් නෝට්ටු හා කාසි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ මිල දී ගැනීම් වලදීත් සිදු වෙන්නේ රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාමයි. 

පෙරගෙවුම් කාර්ඩ් සඳහා කලින්ම මුදල් ගෙවිය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් සඳහා මුදල් ගෙවන්නේ පසුවයි. කලින් ගෙවුවත්, පසුව ගෙවුවත්, බොහෝ විට බැංකු ගිණුමක තිබෙන ශේෂයෙන් මේ ගෙවීම් කරනවා. ඩෙබිට් කාඩ් වලින් හෝ අන්තර්ජාලය හරහා ගෙවීම් කරද්දී හැම විටම ඒ සල්ලි යන්නේ බැංකු ගිණුමකින්. චෙක්පත් වලින් ගෙවීම් කරද්දී වුනත් එහෙමයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය භාණ්ඩ හා සේවා ඉල්ලුම කෙරෙහි බලපෑමක් කරනවානම්, බැංකු ගිණුම් වල තිබෙන සල්ලිත් ඒ වගේම බලපෑමක් කරනවා.

මුදල් සැපයුම මනින, පුළුල් මුදල් සැපයුම කියන මිනුමට සංසරණයේ තිබෙන මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය වගේම බැංකු ගිණුම් වල තිබෙන ශේෂයන්ද ඇතුළත්. මේ දෙවර්ගයම සල්ලි නිසා, භාණ්ඩ හා සේවා මිල දී ගන්න ඔය කොටස් දෙකම භාවිතා කරන්න පුළුවන්. ඒ නිසාම, භාණ්ඩ හා සේවා ඉල්ලුමට වගේම උද්ධමනයටත් ඔය කොටස් දෙකම බලපානවා. 

පසුගිය 2025 වසර අවසානයට ගියොත්, ලංකාවේ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975.0ක්. නමුත් එයින් සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 1,248.5%ක් හෙවත් 7.8%ක් පමණයි. ඉතිරි 92.2%ම බැංකු ගිණුම් වල තිබෙන සල්ලි. 

කාසි හා නෝට්ටු නිකුත් කරන්නේ මහ බැංකුව කියලා අපි දන්නවනේ. ඒ නිසා, ඒ කොටස මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන් කියන එකත් පැහැදිලියිනේ. නමුත් ඉතිරි ලොකු කොටස මහ බැංකුවට ඒ විදිහට සෘජුව පාලනය කරන්න පුළුවන්ද?

ඔය බැංකු වල තියෙන්නේ මිනිස්සුන්ගේම සල්ලිනේ. 2025 අවසානයේදී මේ ප්‍රමාණය රුපියල් බිලියන 14,726.5ක්. ඒ කියන්නේ මීට සමාන කාසි හා නෝට්ටු ප්‍රමාණයක් බැංකු වල තියාගෙන ඉන්නවද? ඔන්න එහෙම තියාගෙන ඉන්නවානම්, මේ කොටසත් අවසාන වශයෙන් මහ බැංකුවට සෘජුවම පාලනය කරන්න පුළුවන්. නමුත් ඇත්තටම බැංකු වල තියාගෙන ඉන්න කාසි හා නෝට්ටු ප්‍රමාණය ඔය තැන්පතු ශේෂ එක්ක බලද්දී සොච්චමක්. 2025 අවසානයේදීනම් රුපියල් බිලියන 320.4ක් පමණයි. ඒ කියන්නේ සංසරණයේ තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයට බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණය එකතු කළත් එකතුව රුපියල් බිලියන 1,568.9ක් පමණයි. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමෙන් 9.8%ක් පමණයි. 

බැංකු වල තිබෙන කාසි හා නෝට්ටු ප්‍රමාණයද ඇතුළුව මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේම වටිනාකම රුපියල් 1,568.9ක් පමණක්නම්, රුපියල් බිලියන 14,726.5ක බැංකු තැන්පතු හැදුණේ කොහොමද? එයින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය රුපියල් බිලියන 320.4ක් පමණයි. එහෙමනම්, බැංකු වල තැන්පත් කිරීම සඳහා තවත් අමතර රුපියල් බිලියන 14,406ක මුදල් මිනිසුන්ගේ අතට ආවේ කොහෙන්ද? 

මේ දැවැන්ත මුදල් ප්‍රමාණය මහ බැංකුව විසින් මුද්‍රණය කර හෝ වාත්තු කර භෞතික ස්වරූපයකින් එළියට දමපු මුදල් නෙමෙයි. වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ භෞතික ස්වරූපයක් නොමැති මුදල්!

මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද?

කෙනෙකු බැංකුවකින් ණයක් ඉල්ලා එම ණය අනුමත වුනා කියා හිතමු. දැන් මේ මුදල ඒ බැංකුව විසින් අදාළ පුද්ගලයාට කාසි හා නෝට්ටු ලෙස ලබා දිය යුතු නැහැ. කළ යුතු එකම දේ පරිගණකය හරහා අදාළ පුද්ගලයාගේ ගිණුම් ශේෂය ඉහළ දමන එක පමණයි!

ණය ලබා ගත්තේ මා විසින්නම් දැන් මගේ ගිණුමේ සල්ලි තිබෙනවා. මට ඒ සල්ලි වලින් ගෙවීම් කර භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. එසේ මිල දී ගැනීම් කරද්දී මගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා. භාණ්ඩ හා සේවා විකුණන පුද්ගලයාගේ ගිණුමේ ශේෂය ඉහළ යනවා. එසේ වෙනත් පුද්ගලයෙකුගේ ගිණුම් ශේෂය ඉහළ යද්දී ඒ පුද්ගලයාටත් තමන්ගේ ගිණුමේ තිබෙන ශේෂයෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පුළුවන්. මේ වැඩේ වෙන්න මහ බැංකුවක් අවශ්‍ය නැහැ. මුදල් නෝට්ටු හා කාසි අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් බැංකු විසින් ණය සැපයුම වැඩි කරද්දී රටේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. එය උද්ධමනයට හේතු වෙනවා. 

රටේ උද්ධමනය කෙරෙහි බලපාන පුළුල් මුදල් සැපයුම ඇතුළේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණය 10%කටත් වඩා අඩුයි. ඉතිරි 90% වාණිජ බැංකු විසින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මවනු ලැබූ මුදල්. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට යම් ආකාරයකින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කිරීමට සිදු වෙනවා. 

නූතන මහ බැංකුවක් විසින් බැංකු වල ණය දීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රධානම ක්‍රමය පොලී අනුපාතික පාලනය කිරීමයි. මේ මගින් ණය දීමේ ක්‍රියාවලිය පාලනය කර වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුම පාලනය කළ හැකියි. 

පොලී අනුපාතික ඉහළ යද්දී ණය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. පොලී අනුපාතික පහළ යද්දී එම ඉල්ලුම වැඩි වෙනවා. වාණිජ බැංකු විසින් ණය මැවීම හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කරන්නේ රටේ ණය ඉල්ලුම මත පදනම්ව නිසා පොලී අනුපාතික පාලනය කිරීම මගින් වාණිජ බැංකු වල ණය මැවීමේ ක්‍රියාවලිය පාලනය කළ හැකියි. 

මහ බැංකුව පොලී අනුපාතික පාලනය කරන්නේ කොහොමද?

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කියන එක ගැන ගොඩක් අය අහලා ඇති. වරින් වර මහ බැංකුව විසින් මේ පොලී අනුපාතිකය අඩු වැඩි කරනවා. එහිදී වෙන්නේ කුමක්ද?

වාණිජ බැංකු විසින් ඔවුනොවුන් අතර දෛනික පදනම මත මුදල් ගනුදෙනු සිදු කරනවා. මේ ගනුදෙනු සිදුවන වෙළඳපොළ එක් දින මුදල් වෙළඳපොළ ලෙස හඳුන්වන්න පුළුවන්. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නිර්ණය කිරීමෙන් අනතුරුව මේ එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය එම ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව තබා ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මෙය ඩොලරයක මිල ස්ථාවරව තබා ගැනීම පිණිස මහ බැංකුව විසින් කරන මෙහෙයුම් කටයුතු වලට සමාන කරන්න පුළුවන්.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම්, මහ බැංකුව විසින් ඊට වඩා අඩු පොලියකට ණය ලබා දෙනවා. එසේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් ඇපයට තියාගෙන. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යනවා. ලබා දෙන ණය ප්‍රමාණයට සමානව රටේ මුදල් සැපයුමද ඉහළ යනවා.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම්, මහ බැංකුව විසින් ඊට වඩා වැඩි පොලියකට තැන්පතු ලබා ගන්නවා. එම තැන්පතු වෙනුවෙන් ඇපකර ලෙස මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අදාළ බැංකුවට ලබා දෙනවා. මෙහිදී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පහළ යනවා. ඊට සමානව රටේ මුදල් සැපයුමද පහළ යනවා.

ඉහත ක්‍රම දෙකමගින් මහ බැංකුවට එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව සමාන මට්ටමක පවත්වා ගන්න පුළුවන්. එසේ කරද්දී මුදල් සැපයුමද අඩු වැඩි වෙනවා. නමුත් මේ මගින් රටේ මුදල් සැපයුමට ඇති වන සමස්ත බලපෑම මහ බැංකුවේ සෘජු මැදිහත්වීම නිසා ඇති වන බලපෑමට වඩා ගොඩක් වැඩියි.

එක් දින මුදල් වෙළඳපොළ පොලී අනුපාතය අඩු වැඩි වෙද්දී ඒ මත පදනම්ව වාණිජ බැංකු විසින් තමන්ගේ දිගුකාලීන තැන්පතු හා පොලී අනුපාතිකද අඩු වැඩි කරනවා. එසේ පොලී අනුපාතික වැඩි වෙද්දී, රටේ ණය ඉල්ලුම අඩු වෙනවා. තැන්පතු ඉහළ යනවා. රටේ මුදල් සැපයුම අඩු වෙනවා. එසේ නැත්නම් අවම වශයෙන් මුදල් සැපයුම වැඩි වන වේගය අඩු වෙනවා.

අනෙක් අතට, පොලී අනුපාතික අඩු වෙද්දී, රටේ ණය ඉල්ලුම ඉහළ යනවා. තැන්පතු පහළ යනවා. රටේ මුදල් සැපයුම වැඩි වෙනවා. 

රටේ මුදල් සැපයුම වැඩි වෙද්දී භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් මිල ගණන් ඉහළ යනවා. මුදල් සැපයුම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය විදිහටයි. ඒ නිසා, පොලී අනුපාතික ඉහළ යාමට සලස්වා මුදල් සැපයුම පාලනය කිරීම මගින් මහ බැංකුවට උද්ධමනය පාලනය කළ හැකියි. නමුත් මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් කළ පමණින් දවසකින් දෙකකින් ඔය වැඩේ වෙන්නේ නැහැ. දැනෙන බලපෑමක් වෙන්න මාස ගණනාවක්, බොහෝ විට වසරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. 

රටේ පොලී අනුපාතික මත බලපෑමක් කළ හැක්කේ මහ බැංකුවට පමණක් නෙමෙයි. රජයේ අයවැය හිඟය පොලී අනුපාතික කෙරෙහි සෘජු හා විශාල බලපෑමක් සිදු කරනවා. අයවැය හිඟය ඉහළ යන තරමට රජයේ ණය ඉල්ලුම ඉහළ යනවා. ඊට අනුපාතිකව ණය සැපයුම ඉහළ ගියේ නැත්නම් පොලී අනුපාතික ඉහළ යනවා. ඒ මගින් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා කෙරෙනවා. මෙය ඕනෑවට වඩා දුර ගියහොත් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

රජයේ අයවැය හිඟය ඉහළ මට්ටමක පවතිද්දී, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුමද අවශ්‍ය පමණ මට්ටමක තියා ගන්නනම්, මුදල් සැපයුම සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමට ඉඩ හරින්න වෙනවා. එය ඒ මොහොතේ ප්‍රශ්නයක් නොවුනත්, පසුව හෝ උද්ධමනය ලෙස මතු වෙනවා. එවිට මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉහළ දමන්නට සිදු වෙනවා. පොලී අනුපාතික ඉහළ යද්දී පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පාලනය වී මුදල් සැපයුම සීමා වෙනවා. 

නමුත් පෞද්ගලික අංශය මෙන් රජය පොලී අනුපාතික වලට සංවේදී නැහැ. රජයේ ණය ඉල්ලුම තීරණය වන්නේ අයවැය හිඟය මතයි. එය බොහෝ විට දේශපාලනික ලෙස තීරණය වන දෙයක්. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම සීමා වෙද්දී වුවද රජයේ ණය ඉල්ලුම හේතුවෙන් මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙන්න පුළුවන්. පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය මහ බැංකුව සතු නොවේනම්, මේ තත්ත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. 

රජයට හෝ පෞද්ගලික අංශයට ලබා දෙන ණය කියා කියන්නේ බැංකු වල වත්කම්. මේ කොටස් දෙකම පොදුවේ බැංකු වල දේශීය වත්කම් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ බැංකු වල දේශීය වත්කම් ප්‍රමාණය සාමාන්‍යයෙන් පුළුල් මුදල් සැපයුමටත් වඩා වැඩියි. පුළුල් මුදල් සැපයුම ලෙස අර්ථ දක්වන්නේ බැංකු සතු ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් ප්‍රමාණය සහ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ සංසරණයේ තිබෙන මුදල් වල එකතුවටයි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලට අමතරව බැංකු විසින් ඔවුන්ගේ කොටස්හිමියන්ගේ ප්‍රාග්ධනය සහ කාලයක් තිස්සේ එකතු කරගත් ලාබද වත්කම් ගොඩ නගා ගැනීම වෙනුවෙන් යෙදවීම ඊට හේතුවයි.

උදාහරණයක් ලෙස, 2025 වර්ෂය අවසන් වෙද්දී පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 15,975ක් වුවත්. බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,017ක්. එයින් රුපියල් බිලියන 8,285ක් බැංකු විසින් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. තවත් රුපියල් බිලියන 520ක් රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 10,212 පෞද්ගලික අංශයට ලබා දී තිබුණු ණය. 

පසුගිය ජූලි මාසය අවසන් වන විට පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 17,044ක්.  බැංකු සතු වූ දේශීය වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19,771ක්. එයින් රුපියල් බිලියන 7,884ක් මධ්‍යම රජයට ලබා දී තිබුණු ණය. ඉතිරි රුපියල් බිලියන 11,937 රාජ්‍ය සංස්ථා වලට ලබා දී තිබුණු ණයද ඇතුළු අනෙකුත් දේශීය ණය. 

මේ සමඟ පළ කරන රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ පසුගිය දශකයකට වැඩි කාලය තුළ පුළුල් මුදල් සැපයුම කෙරෙහි දේශීය ණය වල ප්‍රධාන සංරචක දෙකෙන් සිදු වූ බලපෑම. මෙහි පැහැදිලි ලෙස හඳුනාගත හැකි අදියර කිහිපයක් තිබෙනවා.

2015 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,238කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,367කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාපේක්ෂව හොඳ මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන තරමට සමස්ත ණය ඉල්ලුම වර්ධනය වූයේද නැහැ. 

2019 දෙසැම්බර් සිට 2022 මැයි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,727කින් වැඩි වූ අතර, අනෙකුත් දේශීය ණයද රුපියල් බිලියන 2,890කින් වැඩි වුනා. රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉතාමත්ම අයහපත් මට්ටමක පැවති මෙම කාලයේදී මුදල් සැපයුම ප්‍රසාරණය වීමට බොහෝ දුරට දායක වූයේ රාජ්‍ය අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුමට අනුරූපව මුදල් සැපයුමද ප්‍රසාරණය වූ බැවින් පෞද්ගලික අංශයට රාජ්‍ය අංශය විශාල බරක් වූයේ නැහැ. එහෙත්, මේ අයුරින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද ණය ඉල්ලුම ඉහළ යාම නිසා මුදල් සැපයුම විශාල ලෙස ප්‍රසාරණය වී උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා වැඩි වුනා.

2022 මැයි සිට 2023 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,027කින් වැඩි වූ නමුත් අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 1,315කින් අඩු වුනා. මීට හේතුව වූයේ පැවති අධික උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදු වීමයි. අපේක්ෂිත පරිදිම උද්ධමනය පාලනය වුනා.

පෙර විස්තර කළ පරිදි, පොලී අනුපාතික වලට ප්‍රතිචාර දක්වන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයේ ණය ඉල්ලුම අඩු කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. එම මැදිහත්වීම මෙම කාලයේදී සිදු වුවද, අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වුනා. එම අතරමැදි කාලයේදී අධික පොලී අනුපාතික හේතුවෙන් රාජ්‍ය අංශයේ ණය තව දුරටත් ඉහළ ගියා. එහෙත්, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම් ඉහළ ගොස් ප්‍රාථමික අයවැය ගිණුම ශක්තිමත් වීමෙන් පසුව, රාජ්‍ය අංශයෙන් මුදල් සැපයුම මත සිදු වූ බලපෑම මුළුමනින්ම නැවතුනා. 

2023 ජූලි සිට 2025 ජූලි දක්වා කාලය: මෙම කාලයේදී බැංකු පද්ධතියෙන් ලබාගත් මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 715කින් අඩු වී ඇති අතර අනෙකුත් දේශීය ණය රුපියල් බිලියන 3,747කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් පසුව සිදු කළ රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් මේ වන විට මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම සඳහා මධ්‍යම රජය දායක වන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය පාලනය කර ගනිමින්, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සැලකිය යුතු මට්ටමක පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන ප්‍රශ්නය අවශ්‍ය පමණ හා හැකි පමණ ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස පෞද්ගලික අංශයේ ණය වර්ධනය මේ මට්ටමේම පවත්වා ගත යුතුද යන්නයි. 

පසුගිය දශක ගණනාවක් පුරාම ලංකාවේ සාපේක්ෂව ඉහළ උද්ධමනය සඳහා දායක වූයේ රාජ්‍ය අංශයයි. එහෙත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම කණපිට හැරී තිබෙනවා. රටේ මුදල් සැපයුම භාණ්ඩ හා සේවා සැපයුම හා අනුරූපව ඉහළ යාම උද්ධමනයට හේතුවක් වන්නේ නැහැ. 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා යන්නෙන් අදහස් වන්නේ යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා 2%කින් ඉහළ ගියද ඒ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් සැපයුම වර්ධනය වීමට ඉඩ හැර ඇති බවයි. 

ලංකාව වැනි සංවර්ධනය වන රටක ආර්ථිකය කිසියම් වසරකදී අපේක්ෂිත අගය ඉක්මවා අමතර 2%කින් වර්ධනය විය හැකියි. එහෙත් මේ වෙනස 5%ක් තරම් ඉහළ අගයක් වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, 5%ක උද්ධමන ඉලක්කයක් ලංකාවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඊට වඩා අඩු 3%ක පමණ ඉලක්කයක් මේ සඳහා ප්‍රමාණවත්.  

අඩු උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සඳහා ආර්ථික අර්බුදයට පෙර පැවති බාධාව වූයේ ඒ සඳහා අවශ්‍ය සහයෝගය රාජ්‍ය අංශයෙන් නොලැබීමයි. එහෙත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ 5%ක් වැනි උද්ධමන ඉලක්කයක වාසිය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ අතරමැදි මූල්‍ය සේවා සපයන්නන්ටයි. 

ආර්ථික අර්බුදයෙන් පසුව, පෞද්ගලික අංශයේ ණය වර්ධනයෙහි පැවති සාමාන්‍ය ප්‍රවණතාවට බාධා සිදු කෙරුණා. ඒ මත පදනම්ව, පසුගිය තෙවසරක කාලය තුල සිදු වූ ඉහළ ණය වර්ධනය සාධාරණීකරණය කළ හැකියි. එහෙත් මේ වන විට එසේ සිදු වූ අවාසියද ඉක්මවමින් ණය ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ 5% උද්ධමන ඉලක්කය ඉදිරි තෙවසරක කාලය තුළද එලෙසම පවත්වා ගැනීමේ උපාය මාර්ගික අරමුණ තේරුම් ගැනීමට අපහසු නැහැ. මේ මගින් මුදල් සැපයුමේ ප්‍රසාරණය වීමේ වාසිය බදු ලෙස රජයට එකතු කර ගත හැකියි. 

Thursday, August 21, 2025

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 


මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් කියාත් මහ බැංකුව කියනවා. මහ බැංකුවට මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් පසුගිය මාස වලදී සිදුව ඇති බවට විවිධ අය විසින් සිදු කරන ප්‍රචාරයයි. 

මහ බැංකුව විසින් පැහැදිලි කර ඇති පරිදි මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුතෙන් මුදල් නිකුත් කිරීමයි. එනම් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පුළුල් මුදල් සැපයුම (M2b) කියන්නේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාර වලින් එකක්. 

පසුගිය කාලයේදී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් සිදු වී නැහැ. එහෙත් පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් ට්‍රිලියනය ඉක්මවන වැඩි වීමක් සිදු වී තිබෙනවා. මෙසේ පුළුල් මුදල් සැපයුම ඉහළ ගිය විට එය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ දැක්වීම මීට පෙරද සිදුව ඇති දෙයක්. 

ආර්ථික අර්බුදයට පෙර රටේ මුදල් සැපයුම හෝ සල්ලි අච්චු ගැසීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් නෙමෙයි. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව ගිණි පෙණෙල්ලෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කණාමැදිරින්ටද බය වීමේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් විපක්ෂ දේශපාලනයින් විසින් මෙවැනි ප්‍රචාර සිදු කළා. එය දැනුත් සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ විපක්ෂය වෙනස් වී තිබීම පමණයි. 

මහ බැංකුව පැහැදිලි කරන පරිදිම, ඇත්ත වශයෙන්ම, මුදල් සැපයුමේ වැඩිවීම කියන්නේ අළුතෙන් මුදල් අච්චු ගැසූ ප්‍රමාණය නෙමෙයි. නමුත් මහ බැංකුව විසින් මෙහි කියා නොමැති දෙයක් වන්නේ අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ මුදල් සැපයුමේ වැඩිවීම බවයි. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම, එසේ නැත්නම් සංචිත මුදල් වැඩි කිරීම, උද්ධමනයට හේතු වන්නේ ඒ මගින් මුදල් සැපයුම වැඩි කෙරෙන නිසා. ඒ නිසා, මුදල් සැපයුම වැඩිවීම කියන්නේ සල්ලි අච්චු ගැසීමම නොවුනත්, මුදල් සැපයුම වැඩිවීම පිළිබඳව බියවීම අහේතුක නැහැ. 

දැන් මෙහිදී කතා කෙරෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත වූ කාලය තුළ සිදු වූ මුදල් සැපයුමේ වැඩි වීම පිළිබඳවයි. එම වැඩි වීම, 2024 සැප්තැම්බර් අවසානයේ සිට 2025 ජූනි අවසානය දක්වා මාස නවයක කාලය තුළ, රුපියල් බිලියන 1225.9ක්. එයින් සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 136.5ක් පමණයි. පුළුල් මුදල් සැපයුමේ වැඩිවීමෙන් රුපියල් බිලියන 1,060කටම හේතු වී තිබෙන්නේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමයි. 

පෞද්ගලික අංශයේ ණය මේ තරම්ම වැඩිවීමට මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියද හේතු වී තිබෙනවා. සරලව කිවුවොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගැනීම. එසේ කිරීමේදී සංචිත මුදල් ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 1225.9කින් පුළුල් මුදල් සැපයුම ඉහළ යාම සහ රුපියල් බිලියන 136.5කින් සංචිත මුදල් ඉහළ යාම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. 

කෙසේ වුවද, සංචිත මුදල් සැපයුම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම මහ බැංකුවක සාමාන්‍ය කාර්යයක්. මහ බැංකුව විසින් ඒ කාර්යය කළ යුත්තේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි ආකාරයටයි. රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගසන්නට සිදු වේනම් මහ බැංකුවකට එය කළ නොහැකියි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර සිදු වූයේ එවැන්නක්. 

දැන් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව කටයුතු කළ හැකියි. එමෙන්ම රජය විසින් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය නොගන්නා ප්‍රතිපත්තියක සිටිනවා. ඒ නිසා, මහ බැංකුවට කරන්නට තිබෙන්නේ දී තිබෙන උද්ධමන ඉලක්කය හා ගැලපෙන පරිදි පුළුල් මුදල් සැපයුම පාලනය කිරීමයි. මෙය මහ බැංකුවට සෘජුව හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවුණත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම පාලනය කිරීම සහ පොලී අනුපාතික මත බලපෑම් කිරීම මගින් වක්‍ර ලෙස මෙය කළ හැකියි.

මහ බැංකුවට දී තිබෙන ඉලක්කය වන්නේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීමයි. පසුගිය කාලයේම ලංකාවේ උද්ධමනය පැවතුණේ ඊට වඩා බොහෝ පහළ අවධමන පරාසයකයි. එවැනි තත්ත්වයක් තුළ  මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය (2025) ජූනි මාසයේදී 0.7%ක උද්ධමනයක් වාර්තා කළත් නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබුණේ අවධමන තත්ත්වයක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ උදවුවෙන් මේ තත්ත්වය ඉදිරි මාස වලදී වෙනස් වනු ඇතත්, මහ බැංකුවේ පුරෝකථන අනුව, උද්ධමනය ඉලක්ක මට්ටමට යාමට නියමිතව ඇත්තේ 2026 මැද වන විටයි.

මෙම වසරේ පළමු කාර්තුවේ දත්ත අනුව, එම කාර්තුව තුළ, රැකියා 69,714ක් අලුතෙන් නිර්මාණය වී විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී තිබෙනවා. සේවා අංශයේ පමණක් අලුත් රැකියා 258,577ක් අලුතෙන් නිර්මාණය වී ඇති අතර, කාර්මික අංශයේ රැකියා ප්‍රමාණයද 63,800කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ කෘෂිකාර්මික අංශයේ රැකියා වල නියැලුණු ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවා අංශය වෙත මාරු වී ඇති ආකාරයයි. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව, සේවා අංශයේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩියි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයේ රැකියා සේවා අංශය වෙත විතැන් වෙද්දී අදාළ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා කියන එකයි. එමෙන්ම රටේ ආර්ථිකය, විශේෂයෙන්ම කාර්මික හා සේවා අංශ, හොඳින් වර්ධනය වෙමින් පවතින බවයි. කාර්මික හා සේවා අංශ වල ගැනුම්කරුවන්ගේ දර්ශක වලින් පෙන්නුම් කරන්නේ මේ දක්වාම මේ යහපත් ප්‍රවණතාව එලෙසම පවතින බවයි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙන්ම අප‍ට පෙනෙන්නට ඇති පරිදිද මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% වැනි මට්ටමකට යා හැකියි. එය මූල්‍ය අරමුදලේ පුරෝකථන සැලකිය යුතු ලෙස ඉක්මවා යන හොඳ තත්ත්වයක්. මේ වර්ධනය පෙනෙන්නට තිබෙන්නේ උද්ධමන තර්ජනයක් නොමැති පසුබිමකයි. 

ලංකාවේ සේවා අංශය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන සේවා, බැංකු හා රක්ෂණ වැනි අංශයි. මෙවැනි අංශ වේගයෙන් වර්ධනය වෙද්දී මුදල් සංසරණයද ඉහළ යන බව සාමාන්‍ය දැනීමෙන් වුවත් තේරුම් ගත හැකි දෙයක්. එහි ප්‍රතිඵලය රටේ මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. මෙය ඓන්ද්‍රීය ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නෙමෙයි.

රටේ මුදල් ඉල්ලුම ඉහළ යද්දී, මහ බැංකුවට අවශ්‍යනම්, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එම ඉල්ලුම පාලනය කළ හැකියි. එයින් අදහස් වන්නේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම රැකියා ජනනයද විනාශ කරනවා යන්නයි. උද්ධමනය විශාල තර්ජනයක් වී ඇත්නම්, අකැමැත්තෙන් හෝ මෙය කරන්නට සිදු වෙනවා. එහෙත්, උද්ධමන තර්ජනයක් පේන තෙක් මානයක හෝ නැත්නම් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුවක් නැහැ. 

අනෙක් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ යාම යනු රාජ්‍ය අයවැය මත පීඩනය වැඩි වී අනාගත ණය බර ඉහළ යාමයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණ ඉලක්ක සමඟද ගැලපෙනවා. මෙය මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් වේයැයි සිතීම තනිකරම වැරදි අදහසක්.

කෙසේ වුවත්, අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ දේශීය ඉල්ලුම නිසා මිස බාහිර ඉල්ලුම වැඩි වීම නිසා නොවන බවයි. ඒ නිසා, රටේ රැකියා වැඩි වී ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යද්දී විදේශ විණිමය ඉපැයීමට තිබෙන උනන්දුව අඩු වීමටත්, ආනයන ඉල්ලුම ඉහළ යාමටත් ඉඩ තිබෙනවා. ඒ හරහා අනාගත අර්බුදයකට පාර කැපෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ කරුණටයි.

Sunday, August 3, 2025

මුදල් සැපයුම වැඩි වුන හැටි...


ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ සංසන්දනය කළ හැකියි.

2018 ජූනි සිට 2019 ජූනි දක්වා - 8.7%

2019 ජූනි සිට 2020 ජූනි දක්වා - 14.0%

2020 ජූනි සිට 2021 ජූනි දක්වා - 21.5%

2021 ජූනි සිට 2022 ජූනි දක්වා - 17.1%

2022 ජූනි සිට 2023 ජූනි දක්වා - 5.2%

2023 ජූනි සිට 2024 ජූනි දක්වා - 9.8%

2024 ජූනි සිට 2025 ජූනි දක්වා - 10.4%

මේ අනුව, ආර්ථික අර්බුදයට ආසන්න පෙර වසර වලදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මුදල් සැපයුම වැඩි වේගයකින් ප්‍රසාරණය වූ ආකාරයත්, ඉන් පසුව මහ බැංකුව විසින් දැඩි මුදල් ප්‍රතිපත්තියකට මාරු වීමෙන් පසුව මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු වූ ආකාරයත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මහ බැංකුව විසින් නැවතත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයුමෙහි වර්ධන වේගය නැවතත් තරමක් ඉහළ ගොස් තිබෙනවා.

සියයට පහකට ආසන්න මූර්ත ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන අතරතුර මහ බැංකුවට ලබා දී තිබෙන 5%ක උද්ධමන ඉලක්කය වෙත යාම සඳහා 10%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වීමේ ප්‍රශ්නයක් නැතත්, මෙම වර්ධන වේගය මීටත් වඩා වැඩි වුවහොත් එහි ප්‍රතිඵලය උද්ධමන ඉලක්කය ඉක්මවීම වෙන්න පුළුවන්. 5%ක ආර්ථික වර්ධන වේගයක් සැලකිය හැක්කේ අපේක්ෂා කළ හැකි උපරිම වර්ධන වේගයක් ලෙසයි. සැබෑ ආර්ථික වර්ධන වේගය ඊට වඩා අඩු මට්ටමක පවතින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කළේ නැහැ. එමෙන්ම, වාහන ආනයනය කිරීම් හා අදාළව සීමා දැඩි කිරීම සැලකිය යුත්තේ මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එනම් දැඩි මුදල් ප්‍රතිපත්තියක අංගයක් ලෙසයි. මේ අනුව පෙනී යන්නේ මුදල් සැපයුමේ අපේක්ෂිත වර්ධන වේගය සහ එහි බලපෑම් පිළිබඳව මහ බැංකුව නිවැරදි තක්සේරුවක සිටින බවයි.

නිල දර්ශකය අනුව තවමත් තිබෙන්නේ අවධමන තත්ත්වයක්. එහෙත් එයට ප්‍රධාන හේතුව ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව පැවතීමයි. ඇමරිකන් තීරුබදු හේතුවෙන් විණිමය අනුපාතය හා ආර්ථික වර්ධන වේගය කෙරෙහි යම් නිශේධනාත්මක බලපෑමක් ඇති විය හැකිව තිබුණත්, මේ වන විට එම අවදානම පහව ගොස් තිබෙනවා. ඇමරිකන් තීරුබදු ප්‍රශ්නය ආණ්ඩුව විසින් සාර්ථක ලෙස විසඳාගත් "සැබෑ ප්‍රශ්නයක්" ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය පාලනය වන අතරතුර විණිමය අනුපාතය මත ඇති වන  ආතතිය හේතුවෙන් උද්ධමනය සීමාව ඉක්මවා ඉහළ යාමේ අවදානමද මේ වන විට පාලනය වී තිබෙනවා.

පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට කරුණු දෙකක් හේතු වෙනවා. ඒ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුමෙහි සිදු වන වර්ධනය, එනම් සල්ලි අච්චු ගැසීම, සහ වාණිජ බැංකු විසින් සිදු කරන මුදල් මැවීමයි. ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 242.5කින් වැඩි වී තිබෙනවා. මෙය 17.1%ක වර්ධනයක්. පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් බිලියන 1,427.9ක වර්ධනයෙන් 17.0%කට පමණ හේතුව සංචිත මුදල් සැපයුම ඉහළ යාමයි. වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මෙසේ අලුතෙන් එකතු වූ මුදල් ප්‍රමාණය හය ගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා. 

Sunday, November 20, 2022

මුදල්, ගනුදෙනු හා මුදල් මැවීම

 

පෙර සටහනෙන් විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ ඇතැම් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කර ඇති පරිදි, "වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් සල්ලි අච්චු ගැසීමේ ආදීනව ගැන හැම තිස්සේම ලොකුවට කතා කළත්, කලින්ටත් වඩා වැඩියෙන් සල්ලි අච්චු ගසා ඇති බව" පට්ටපල් බොරුවක් බවයි. මේ පට්ටපල් බොරු කතාව නොදැනුවත්කමට කළ ප්‍රකාශයක් කියා මම හිතන්නේ නැහැ. මගේ අදහස වනුයේ මෙය "වඳ කොත්තු" මාදිලියේ හිතාමතා දුෂ්ඨ චේතනාවෙන් කළ ප්‍රකාශයක් බවයි. 

අදාළ පුද්ගලයා විසින් මහබැංකු අධිපතිවරයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යැවිය යුතු බවද කියා තිබෙනවා. ඇත්තටම පුනරුත්ථාපනය කළ යුත්තේ මෙසේ පට්ටපල් බොරු කියන අයවම බව මා නොකියන්නේ එසේ කිරීමෙන් වැඩක් නොවන බව ඉතාම පැහැදිලි නිසයි. පුනරුත්ථාපනය කරනවානම් කළ යුත්තේ මේ වගේ කතා වලට තවමත් රැවටෙන, කරුණු සොයා නොබලා ඔවුන් කියන දේ විශ්වාස කරන අයයි. 

නොදැනුවත්කම නිසා මෙවැනි කතා විශ්වාස කරන අයට මම මේ විදිහට චෝදනා කරන්නේ නැහැ. ගිණි පෙණෙල්ලෙන් බැට කෑමෙන් පසුව කණාමැදිරියන් ගැනද ඇහැ ගහගෙන සිටීම නරක දෙයක් නෙමෙයි. අප කරන්නේ කරුණු සොයා බලා හරි දේ දැනගන්නට කැමති අයට අපට හැකි තරමින් ඒ සඳහා උදවු කිරීමයි. අප මෙහි ලියන දේ ඇතුළු කිසිවක් කිසිවකු විසින් පරීක්ෂා නොකර, ප්‍රශ්න නොකර, කියන නිසාම විශ්වාස කළ යුතු නැහැ.

කලින් ලිපියේ පැහැදිලි කළ පරිදි රටක මහ බැංකුවක් විසින් සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පසුගිය 2021 වසර තුළ පමණක් සංචිත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 964,440 සිට රුපියල් මිලියන 1,305,809 දක්වා 35.4%කින් ඉහළ ගියා. 2022 අප්‍රේල් අවසන් වෙද්දී රුපියල් මිලියන 1,481,805 දක්වා තව දුරටත් ඉහළ ගියා. එහෙත්, අප්‍රේල් මාසයේ සිට ක්‍රමයෙන් සංචිත මුදල් ප්‍රමාණය අඩු වී 2022 නොවැම්බර් 17 වන විට රුපියල් මිලියන 1,336,146 මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. (ප්‍රස්ථාරය බලන්න. එය කෙළින්ම මහ බැංකු වාර්තාවකින් ගත් එකක්.)

සංචිත මුදල් කියන්නේ නෝට්ටු හා කාසි පමණක්ද?

එය එසේ නොවන බව මම පෙර සටහනේ පැහැදිලිව කිවුවා. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි සංචිත වල එක් කොටසක් පමණයි. සංචිත මුදල් කියා කියන්නේ, අර්ථදැක්වීමක් ලෙස, ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංසරණයේ ඇති නෝට්ටු හා කාසි කියන්නේ ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. ඊට අමතරව මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක ඇති වාණිජ බැංකු වලට අයිති මුදල්ද ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි මහ බැංකුවේ වගකීම්. සංචිත මුදල් කියා කියන්නේ මේ කොටස් දෙකේ එකතුව.

සංචිත මුදල් = සංසරණයේ ඇති නෝට්ටු හා කාසි + මහ බැංකුවේ ඇති වාණිජ බැංකු වල මුදල්

මේ අර්ථදැක්වීම ලංකාවට පමණක් අදාළ කරුණක් නෙමෙයි. වෙනත් බොහෝ රටවල් සංචිත මුදල් අර්ථ දක්වන්නේත් මේ විදිහටමයි.

2022 සැප්තැම්බර් අවසානයේදී ඇමරිකාවේ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = ඩොලර් බිලියන 2,279.5

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු වාණිජ බැංකු වල මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 3,131.4

2022 සැප්තැම්බර් අවසානයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ තිබුණු සංචිත මුදල් ප්‍රමාණය = ඩොලර් බිලියන 5,410.9

දැන් මේ ගණන් දිහා බැලුවොත් ඇමරිකාවේ සංචිත මුදල් වලින් 42%ක් පමණ සංසරණයේ තිබුණු නෝට්ටු හා කාසි. එයින් කියන්නේ ඇමරිකාවේ සිදුවන ගනුදෙනු වලින් 42%ක් සිදුවන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. ඇමරිකාවේ නෝට්ටු හා කාසි වලින් සිදුවන ගණුදෙනු ප්‍රමාණය ඉතාම අඩුයි. ගණුදෙනු හා මුදල් කියන්නේ වෙනම කරුණු දෙකක්.

ඇමරිකාවේ ගොඩක් සිල්ලර ගනුදෙනු සිදු වෙන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින්. තව චෙක් ගනුදෙනු, වෙනත් විද්‍යුත් ගනුදෙනු එහෙමත් සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සඳහා යොදා ගන්න ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, චෙක්පත් ආදිය සල්ලි නෙමෙයි. ඒවා තමන්ගේ බැංකුවට ගෙවීමක් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට යොදා ගන්නා ගෙවීම් උපකරණ පමණයි. 

අන්තර්ජාලය හරහා නැත්නම් දුරකථයෙන් මේ වගේ ඉල්ලීමක් කරන්නත් පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේ ගනුදෙනුවේ කොනක තියෙන්නේ කලින් විස්තර කළ සංචිත මුදල්. එක්කෝ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි වලින් බැංකුවක තිබෙන කොටස එහා මෙහා වෙනවා. නැත්නම් ෆෙඩරල් සංචිත බැංකුවේ තිබෙන වාණිජ බැංකු වල සල්ලි එහා මෙහා වෙනවා. ලොකු ගණුදෙනුවක්නම් බොහෝ විට දෙවැන්න.

ලංකාවේ වෙන්නෙත් මේකම තමයි.

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඔය දවස වෙද්දී සංචිත මුදල් වලින් 59.0%ක් මිනිස්සුන්ගේ අතේ. තවත් 20.3%ක් බැංකු වල. එකතුව 79.3%ක්. මහ බැංකුවේ තිබුණු කොටස 20.7%ක් පමණයි. හැබැයි මේ ගණන නියතයක් නෙමෙයි.

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

2022 ජූනි 30 වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,452,596 යි.

මාස තුනකට පස්සේ ගණන් බැලුවොත් සංසරණයේ තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය සංචිත මුදල් වලින් 76.7%ක්. මෙයින් කියන්නේ රටේ ගනුදෙනු වලින් 76.7%ක් සිදු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් කියන එක නෙමෙයි. වසරක් වගේ කාලයක් ගත්තොත් රුපියල් සීයේ නෝට්ටුවක් වාර ගණනාවක් අතින් අත යනවා. ඒ අනුව එකම රුපියල් සීයෙන් රුපියල් සීයේ ගෙවීම් පහක් හෝ දහයක් කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුනත් පුළුවන්. මුදල් සංසරණය කියන්නේ මේ විදිහට එකම මුදල අතින් අත යන එකටයි. මුදල භෞතික මුදල් නෝට්ටුවක් හෝ කාසියක් විය යුතුම නැහැ. එය විද්‍යුත් ලෙස සිදුවන හුවමාරුවක් වෙන්න පුළුවන්. 

මහ බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු වල ගිණුම් වල තිබෙන සංචිත මුදල් කොටස ගනුදෙනු සඳහා වඩා විශාල වාර ගණනක් එහා මෙහා වෙනවා. ඇතැම් විට එකම රුපියල (මේ කියන්නේ භෞතික රුපියලේ කාසියක් ගැන නෙමෙයි) එකම දවසක් තුළ වුනත් හතර පස් වාරයක් එහා මෙහා වෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු හා වෙනත් අන්තර් බැංකු ගනුදෙනු කරද්දී ගෙවීම් කරන්නේ මේ ගිණුම් වලින්. ඒ වගේම, චෙක්, ඩෙබිට් කාඩ් ආදියෙන් කරන සිල්ලර ගනුදෙනු අවසාන වශයෙන් පියවන්නෙත් මේ ගිණුම් වල තිබෙන සල්ලි වලින්. 

ඔය සියල්ලටම අමතරව වාණිජ බැංකුවකට ඔය ගිණුමක තිබෙන තමන්ගේ සල්ලි නෝට්ටු හෝ කාසි විදිහට ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් එක්ක වාහනයක් එවලා මහ බැංකුවෙන් විශාල නෝට්ටු ප්‍රමාණයක් අරන් යන එක වගේම, ඒ විදිහටම මහ බැංකුවේ මුදල් තැන්පත් කරන එකත් අමුතු දෙයක් නෙමෙයි.

මුදල් කියන්නේ ආප්ප තාච්චියක්නම් ගනුදෙනු කියන්නේ ඒ තාච්චියෙන් හදන ආප්ප වගේ. කිසියම් කාලයක් තුළ වැඩියෙන් ආප්ප හදන කෙනා වැඩියෙන්ම ආප්ප තාච්චි ප්‍රමාණයක් තියෙන කෙනාම වෙන්න ඕනෑ නැහැ. සංචිත මුදල් වලින් 75-80%ක් පමණ නෝට්ටු හා කාසි වුනත්, ඉතිරි කොටසින් කරන ගනුදෙනු ප්‍රමාණය වඩා වැඩි කොටසක් වෙන්න පුළුවන්. ගනුදෙනු වල වටිනාකම අනුව බැලුවොත්නම් අනිවාර්යයෙන්ම ලොකු කොටස. මොකද ලොකු ගනුදෙනු වෙන්නේ නෝට්ටු හා කාසි වලින් නෙමෙයි. 

එතකොට මුදල් මැවීම කියා කියන්නේ මේකටද?

නෑ. මුදල් මැවීම කියන්නේ මේකට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බැංකු වල සල්ලි දැම්මහම බැංකු ඒ සල්ලි බැංකුවේ තියාගෙන ඉන්නේ නැහැ. දැන් පේනවනේ බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් මිලියන 300කට අඩු බව. ඒ වගේම මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි ප්‍රමාණයත් රුපියල් මිලියන 300ට අඩුයි. (මේ ගණන් වෙනස් වෙන්න පුළුවන්). ඒ කියන්නේ ඔය කොටස් දෙකම එකතු කළත් රුපියල් බිලියන 600ක් නැහැ. නමුත් බැංකු වල දාලා තියෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය ඔය වගේ 20ගුණයක්වත් වෙනවා. එහෙමනම්, ඉතුරු සල්ලි ටික කෝ?

අපි ගණන් දිහා බැලුවොත්, 2022 සැප්තැම්බර් අවසාන වෙද්දී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු, එහෙමත් නැත්නම් අච්චු ගසා තිබුණු, සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,378.6ක් පමණයි. නමුත්, කාසි හා නෝට්ටු ලෙස හෝ බැංකු ගිණුම් වල තැන්පතු ලෙස මිනිස්සු අතේ තිබුණු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 12,051.5ක්. මුලින්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මහ බැංකුව අච්චු ගසා තියෙන්නේ රුපියල් බිලියන 1,378.6ක් පමණක්නම්, ඒ වගේ නව ගුණයක් විතර බැංකු වල දමන්න මිනිස්සුන්ට සල්ලි ලැබුණේ කොහොමද? 

මේක තමයි මුදල් මැවීම කියන්නේ. මහ බැංකුව විසින් සංචිත මුදල් ලෙස නිකුත් කරන හැම රුපියලක්ම වාණිජ බැංකු විසින් නැවත නැවත වාර ගණනාවක් මිනිස්සුන්ට ණයට දෙනවා. උඩ ගණන් දිහා බැලුවොත් එකම රුපියල නව පාරක් ණයට දීලා. මේක කරන්න පුළුවන් වෙන්නේ ණය ගන්න මිනිස්සු ඒ සල්ලි අතේ තියාගෙන ඉන්නේ නැති නිසා. සල්ලි වියදම් කරද්දී ඒ සල්ලි කාගේ හෝ ආදායමක් වෙලා නැවත බැංකු ඇතුළටම එනවා. එතකොට බැංකු ඒ සල්ලිම නැවතත් ණයට දෙනවා. 

ඔය ටික වෙලා තියෙන්නේ සංචිත මුදල් වලින් 60%ක් පමණ මිනිස්සු අතේ තියාගෙන ඉඳිද්දී. නැවත නැවත පැටවු ගහලා තියෙන්නේ ඉතිරි 40%. ඒ කියන්නේ බැංකු වල හා මහ බැංකුවේ තිබෙන කොටස. මිනිස්සු අතේ තියාගෙන ඉන්න නෝට්ටු හා කාසි ප්‍රමාණය 60%ට වඩා අඩුවුණානම් බැංකු වලට එන කොටස වැඩි වෙලා මුදල් මැවීමත් තවත් වැඩි වෙනවා. මේ විදිහට එකම රුපියල කීප දෙනෙකුගේම වත්කම් හා/හෝ බැරකම් බවට පත් වීම මුදල් ගුණනය ලෙස හඳුන්වනවා. අදාළ අනුපාතය මුදල් ගුණකය. මේ විදිහට ගුණනය වුනාට පස්සේ ප්‍රමාණයට පුළුල් මුදල් සැපයුම කියා කියනවා.

පුළුල් මුදල් සැපයුම = සංචිත මුදල් * මුදල් ගුණකය

මිනිස්සු බඩු ගන්න වියදම් ක‍රන්නේ සංචිත මුදල් පමණක් නොවන නිසා ඇත්තටම උද්ධමනය කෙරෙහි බලපාන්නේ ඔය පුළුල් මුදල් සැපයුම. නමුත්, එය මහ බැංකුව විසින් තනිව තීරණය කරන දෙයක් නොවන නිසා මහ බැංකුවට සෘජුව පාලනය කරන්න බැහැ. මහ බැංකුවට කළ හැක්කේ "සල්ලි අච්චු ගැසීම" එහෙමත් නැත්නම් සංචිත මුදල් ප්‍රමාණය සීමා කරන එකයි. එවිට වක්‍ර ලෙස පුළුල් මුදල් සැපයුමද පාලනය වෙනවා. 

මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මුදල් ගුණකය පාලනය කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය කරන්නේ වාණිජ බැංකු හා මිනිස්සු විසින් වුවත් පොලී අනුපාතික වැඩි කිරීම මගින් ණය දීම හා ගැනීම අධෛර්ය කර මුදල් ගුණකය අඩු කිරීමට උත්සාහ කළ හැකියි. උද්ධමනය පාලනය කරන්නනම් ඔය මොන ක්‍රමයෙන් හෝ අන්තිමේදී පුළුල් මුදල් සැපයුම අඩු වන තුරු මහ බැංකුවට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීම සීමා කරන අතරම පොලී අනුපාතිකද ඉහළින් තියාගන්න වෙනවා. 

වෙබ් ලිපිනය: