වෙබ් ලිපිනය:

Showing posts with label ආසියානු සංවර්ධන බැංකුව. Show all posts
Showing posts with label ආසියානු සංවර්ධන බැංකුව. Show all posts

Friday, April 12, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!


ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති මත හා අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මත එමගින් සිදු විය හැකි බලපෑම, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ලොකුම අවදානම ලෙස හඳුනා ගන්නවා.

"Risks to the outlook tend to the downside. Among them, the most important is uncertainty associated with the upcoming elections, including any possible impact on fiscal policy and reform implementation."

පසුගිය වසර අවසාන වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 37,334.5ක විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 6,231.1ක්ම ගෙවිය යුතු වූයේ ආසියානු සංවර්ධන බැංකුවටයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංවර්ධන හවුල්කරු සේ සැලකිය හැකි ආසියානු සංවර්ධන බැංකුව විසින් තවමත් ලංකාවට දිගින් දිගටම ණය ලබා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින්ද දිගටම ආසියානු සංවර්ධන බැංකුවට ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් ගෙවනවා. 



Friday, December 22, 2023

සතියක් තුළ ඩොලර් මිලියන 787ක්!


දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබී තිබෙනවා. ඒ පහත ආකාරයෙනුයි.

දෙසැම්බර් 14 - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක්.

දෙසැම්බර් 15 - ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.

දෙසැම්බර් 20 - ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්.

එකතුව - ඩොලර් මිලියන 787ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ලැබුණු ඉහත අරමුදල් මීට පෙර ලැබිය යුතුව තිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ප්‍රමාද වීම නිසා එයින් අනතුරුව ලැබෙන්නට නියමිතව තිබුණු ඉහත අරමුදල් වාරික දෙක නිදහස් කිරීමද ප්‍රමාද වුනා. කෙසේ වුවත්, අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනු ලැබීමෙන් පසුව, මෙම අරමුදල් ශ්‍රී ලංකා රජය වෙත ක්ෂණිකවම මෙන් ලැබී තිබෙනවා.

නොවැම්බර් අවසාන වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය පැවතුනේ ඩොලර් මිලියන 3,584 මට්ටමේ. එම ප්‍රමාණයට ඩොලර් මිලියන 787ක් එකතු වුවහොත්, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,371 දක්වා ඉහළ යනවා. මීට අමතරව, සාමාන්‍යයෙන් ශ්‍රමික ප්‍රේෂණ වැඩියෙන් රටට එන මාසයක් වන දෙසැම්බර් මාසයේදී වෙළඳපොළෙන් අඩු වශයෙන් ඩොලර් මිලියන 100ක් වත් මිල දී ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් හා නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 117ක් මිල දී ගෙන තිබීම සැලකූ විට දෙසැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 100 ඉක්මවා මිල දී ගැනීම පහසු ඉලක්කයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබුණු ඉලක්කය අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුව තිබුණත්, දෙවන වාරිකය ලබා දෙන අවස්ථාවේදී ඔවුන්ගේ ඇස්තමේන්තුව වූයේ මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි.  

දැන් තත්ත්වය අනුව, වසර අවසාන වන විට රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ඇස්තමේන්තුව වන ඩොලර් මිලියන 3,806 ඉක්මවා මුලින් ලබා දුන් ඉලක්කය කිට්ටුවට යාමට ඉඩ තිබෙනවා. ඒ සඳහා, කළ යුතු වන්නේ ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදල සංචිත වලට එකතු කරගෙන තවත් ඩොලර් මිලියන 60ක් වෙළඳපොළෙන් මිල දී ගැනීම පමණයි.

වෙබ් ලිපිනය: